Thursday, March 23, 2023

255. අරළු බුළු නෙල්ලි


එවකට මාගේ පියා සේවය කලේ හතරැස් කොටුවේය. හතරැස් කොටුව යනු හබරණ පසු කොට ත්‍රිකුණාමළය මාරගයේ ගිය විට හමුවන කුඩා මංසංධියකි. මෙම ස්ථානයෙන් මින්නේරිය දෙසට කුඩා මාර්ගයක් ඇරඹෙන අතර එම මාර්ගයේ මද දුරක් ගිය විට පරසිදු ගල් ඔය දුම්රිය මංසංධිය හමුවේ.

පියාගේ නිල නිවස පිහිටා තිබුනේ මහා මාර්ගයට තරමක දුරිනි. 

එම ස්ථානයේ තවත් නිල නිවාසයක්, වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත් කුඩා කාර්‍යාලයක්, එම දෙපාර්තමේන්තුවටම අයත් පැල තවානක්, කුඩා කඩයක් හා සිංහල බෙහෙත් බඩු කඩයක් හා එම ස්ථානයේම බෙහෙත් කරණා වෙද මහත්තයෙකුද වාසය කලේය.

මෙම බෙහෙත් බඩු කඩයේ තිබූ අරුම පුදුම නම් සහිත ආයුර්වේද බෙහෙත් වර්ග මට තාම මතකය.

කර්කටක ශ්‍රිංගි

ගල් මද

ගල් නහර

. . . . . . . . . 

. . . . . . . . .  .

දිනක් මාගේ මව මෙම බෙහෙත් බඩු කඩය වෙත මා යොමු කලේ කසායක් කිරා ගෙන ඒමටය.

"කසායක් කිරණවා" යනු කසායේ බෙහෙත් ද්‍රව‍ය හෙවත් බෙහෙත් බඩු වෙළෙඳ සලෙන් මිළදී ගැනීමයි.

මා එහි යන විට වෙද මහත්තයා තවත් අයෙකු සමග බෙහෙත් හේත් වල ගුණ අගුණ ගැන තරමක දේශණයක් පවත්වා ගෙන යමින් විය.


"ඔය තිපලා කසාය . . . ඒ කියන්නේ අරළු බුළු නෙල්ලි ගැන වෙද පොතේ ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

අරළු බුළු නෙල්ලී - කෙනෙක් ඇවිදින් ඉල්ලී

තලා හිස ගැල්ලී - දුවයි හිස රද හෙල්ලි හෙල්ලී . . .

 කියලයි!"

එය හරි අපූරු කවියක් විය.

එවන්ම වූ කවියක් මාහට මතකයේ ඇත. එය වෙද ගැටයකි! එය මාහට කියා දුන්නේ මගේ අම්මාගේ පියා වන දොන් රිචර්ඩ් සෙනෙවිරත්න මහතාය.

"මගුලේ යන අය දැකලා - කුඹුරේ මඩ කලල් කලා

වැස්සට පිණි දිය හිඳලා - පොළොං විශට නස්න කලා . . "

මගුලේ යන අය - මගුල් කරඳ පොතු

කුඹුරේ මඩ - කුඹුරු ඇට

වැස්සට පිණි දිය - මුත්‍රා වලින් අඹරා

පොළොං විෂට නස්න කරණ්න!


ඇහෙන ඕනෑම දෙයක් මතක හිටින කාලයක් ජීවිතයට එක් වතාවක් දෙවතාවක් පැමිණේ. සමහරුනට ඒ මතකය ජීවිත කාලයටම පවතී.

මා හට මතක ඇති සමහර කරුණු කාරණා එසේ මතක හිටියත් අධ්‍යාපනික කරුණු මතක තබා ගැනීම උගහට විය.

(කරුමෙක මහත!)

මා වරක් ලියා ඇති පරිදි "කලාව" යන කාරණයට හිත ඇදී යැවීම ඇරඹුනේද එවන් කවි මතකයක් සමගය. 

ඒ මාගේ පියා සමග සේවය කල ඩේවිඩ් මහතා නිසාය.

(මේ පිළි බඳව මා කලින් ලියා ඇති වගක් මට මතකය!)

ඩේවිඩ් මහතා යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි එකම "නොබොන" චරිතය හෙවත් නිළධරයා විය යුතුය!

අපේ නිවසේ පැවැත්වූ තාත්තාගේ මධුපානෝත්සවයකදී එතුමා මාහට මුණ ගැසුනේය.

එවකට මා පාසලේ හතේ පංතියේ පමණ විය යුතුය.

තාත්තා ඇතුළු පිරිස මධුපානයෙන් සංථර්පණය වෙද්දී ඊට මෙහායින් හුදෙකලාව ඩේවිඩ් අංකල් වාඩිවී සිටියේය.

නිවස තුල ඒ මේ අතට දුව පණිමින් සිටි මා දුටු ඔහු; තමා වෙතට කැඳවා ගත්තේය.

"පුතා කවි කියවන්නේ නැද්ද?"

"කියවනවා . . !" (ඇයි පාඩම් පොත්වල තිබුනු කවි කොයි තරම් කවි අපි කියවන්න ඇත්ද?)


"චූටි කුරුල්ලනි චූටි කුරුල්ලනි කිචි බිචි ගා ඇයි ඉගිලෙන්නේ

ඉක්මන් කරලා අත් තටු ගහලා කොහෙදෝ මේ ඉගිලී යන්නේ"


"අන්න අන්න සීගිරී - කන්ද පේනවා දුරින්

වට්ටි වට්ටි මල් අරන් - ඉන්නෙ ඇයිද දෙව් ලියන්"


"මෙහෙම කලක් ගත උනේය - මහළු පියා ලෙඩ උනේය

අවසානය ලං උනේය - එවිට තුන් දෙනා


පියාගේ  . . . . . . .  - ඇඬුවෝ පාදෙක අල්ලා

එවිට පියා හිස සොල්ලා - මෙහෙම පැවසුවා


දරුවණි මා මිය ගිය කල - අයිති වන්න නැත දේ පොල 

එහෙත් නිදානෙක සුල මුල - සිහියට ආවා


මගේ ගොවිපොලේ නුඹලා - අඩියක් යට බිම කොටලා

පස පෙරළා බලපල්ලා - කියා ගොළු උනා"


"මා වැනි බිලින්දා

වර වර ළඟට කැන්දා

දුක් සැප කුමන්දා

අසන නිරිඳෝ වෙන කොයින්දා"


"රෝස මලේ නටුවෙ කටූ

වන බඹරෝ ඔහොම හිටූ

නටුව නොවෙයි මල සිඹිමී

මම ළමයෝ පැණි උරමී"


"මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ 

පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතූ

නංගිටයි මටයි - ගෙඩි දෙකක් ඇතී

වැඩිය කඩන නරක ලමයි වෙමු නොවේ අපී"


"අම්බලමේ පිනා පිනා

වළං කදක් ගෙනා ගෙනා

ඒක බිඳපි ගොනා ගොනා

ඒකට මට හිනා හිනා"


"වැල වරකා - කයි හරකා

ඒත් නොකයි - මීහරකා"


මම ඩේවිඩ් අංකල්ට කිව්වේ බොරුවක් නොවේ! මේ හැම කවියක්ම පාහේ; එකල හොඳින් මතක තිබුනි.

"පුතා කවි ලියන්නේ නැද්ද?"

"මට බෑනේ!"

"උත්සාහ කරණ්න! කවියක් ලියන්න පුළුවන් කෙනෙකුගේ හදවත මලක් වගේ!"

ඔහු මට කීවේය. "හදවත" කියන වචනය එකල අපට බර වැඩි වචනයක් විය.  ඒත් එහි අදහස හදවතේ යටටම කා වැදී ගියේය.

"පුතා ඒකාලේ මම හැම ගණිත සූතරයක්ම මතක තබා ගත්තේ කවියෙන්"

"අනේ අංකල් කියන්න්කෝ!"


"පෙරටුව විසම වූ චතුරස්සරය හදා

සමතර දෙපාදේ එකතුව දෙකට බෙදා

එහි උස නැමැති ගණිතෙන් වැඩිකෙරුම සදා

නිමකල විටදි ලැබදෙයි වග පමන උදා"


මෙවන්වූ අතිශය සුන්දර  තවත් කවියක් ඩේවිඩ් මහතා මා සමග කී නමුදු එය දැන් මතකයේ නැත.


"දොයි දොයි දොයි දොයිය බබා - බයි බයි බයි බයිය බබා


අතට වෙරළු ඇහිඳ ගෙනේ - ඉනට පලා නෙළා ගෙනේ

බරටම දර කඩා ගෙනේ - එයි අම්මා විගසකිනේ


ඔන්න බබෝ  ඇතින්නියා - ගල් අරඹේ සිටින්නියා

ගලෙන් ගලට පනින්නියා - බබුට බයේ දුවන්නියා


නුඹෙ අම්මාත් ඉතා කලුයි - නුඹෙ අප්පාත් ඉතා කලුයි

නුඹ නළවන මාත් කළුයි - නුඹ විතරාක් තළ එළලුයි


පුතේ නුඹේ ලොකු අම්මා - අතේ වළල්ලක දැම්මා

නැතේ ඇගේ එහි  නිම්මා - පුතේ නාඩ නිදියෙම්මා"


උත්පත්තියේ සිට කවි කියන; ජාතියකට අප උරුම වී ඇත. 

මගේ ආදරණීය අම්මා මාහට කී කවි මාහට ඇසුනු බව මට මතක නැතත් ඒ නැලවිලි කවිය මාහට මතක ඇත.

එය ලේ වලක කිඳා බැස ඇත.

වසිකවත් කල්මී වත් මා නැලෙව්වේ එම කවියෙන්මය.

මේ කවි ලිව්වේ කවුරුන්ද?

පබැදුවේ කවුරුන්ද?

මතක තියාගන්න අපට බල කලේ කවුරුන්ද?

එහෙත් ඒ කවි අපට මතක ඇත!


මීට කලකට පෙර වියෝ වූ ඇස්. කරුණාදාස දෙනිපිටියගේ "කරුණාදාසගේ සිනා රැල්ල පොතේ එන දෙබසක් මාගේ මතකයට එයි.

"ඒ කාලේ අපිට කවි පාඩම් කෙරෙව්වේ බොරළු ගොඩේ දණ ගස්සලා"

"එහෙම පාඩං කපු කවියක් කියපංකො බලන්න"

"පාඩං කරවපු හැටි මතක උනාට කවි මතක නෑ බං!"


කවි වල හැටි එහෙමය!

බලෙන් පාඩම් කල ඒවා අමතක වූවාට ආසාවෙන් කියැවූ ඒවා මතකයේ ඇත.

"ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්

කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්

සාදු කාර දී ඔරුවක නැගී වරෙන්"


"තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කකනවා

කටුකැලේ ගාලෙ නොලිහා වද දෙනවා

හපුතලේ කන්ද දැකලා බඩ දනවා

පවුකල ගොනෝ ඇදපං හපුතල් යනවා"


පාලින්දගේ පියා වන සේන අශෝක පෙරෙරාට කවි සම්මේලනයක් විවෘථ කරණ්නට අවස්ථාවක් ලැබුනේලු. 

එහිදී ඔහුට සම්මේලනය විවෘථ කිරීමේ පලමු කවිය කියුආ පාන්නට සිදුවී ඇත.

"කවි සම්මේලනය  - කවි සම්මේලනය"

පලමු පදය සාර්ථකව ගැට ගසා ගත්ත මුත් දෙවෙනි පදය ඒ තරම් පහසුවකින් එළියට නො ආවේය.

"කවි සම්මේලනය - කවි සම්මේලනය . . . . "

ඉතිරිය නොලිව්වාට හිතාගන්නට පුළුවන් විය යුතුය! තෙවැනි හා අවසන් පදය ලෙසටත් "කවි සම්මේලනය - කවිසම්මේලනය" කියා ඔහු වේදිකාවෙන් බැස්සාලු!


මේ හා සමාන අවර ගනයේ කථාවක් වේ.

"අංගම්මන සුමන - අංගම්මන සුමන" නම්වූ නම් දරාපු කවියයි.

අංගම්මන පිහිටා ඇථ්තේ රත්නපුර නගරයෙන් පිටමං වූ වහාම පැල්මඩුල්ල දෙසට වන්නටය.

මෙම ප්‍රදේශයේදී ප්‍රදාන මාර්ගයෙන් හැරෙන මාවතක් දක්නට හැක.

ඒය "සුමන හිමි මාවතයි!"

එකල දැන් මෙන් නොව දෙශපාලන වේදිකාවටද කවිය නැතිවම බැරි වූ අංගයක් වී ඇත.

සෝමවීර චන්දරසිරි කවියා වරෙක වේදිකාවට නගිද්දීම විරුද්ධ වාදීන් පිරිසක් වෙතින් ලැබුනේ හූ සංග්‍රහයකි.

එයින් නොසැලුනු කවියා මයික්‍රෆෝනය ගෙන හූ කියන ලද පිරිස ඇමතූවේ කවියකින්මය.


"මිනිහෙකු උපන්නොත් නරියෙකු හට දාව

 ඔහු හට  උරුම වෙන්නේ උපතින් හූව

මිනිසුන් වෙලත් අද ඔබ මට හූ කීව

අම්මා ලඟට ගොස් මකවාපන් හූව"


මෙහි ඇති සුන්දර බව වන්නේ උත්පත්තියෙන් සිදුවන්නාවූ වරද නිවැරදි කර ගැනීම මව වෙතින්ම විය යුතු බව; හිටිවන කවියට නැංවූ ආකාරයය.


ඒ මනමාලිය කැඳවාගෙන යාමට ගිය මනමාලයා හට "නැකත් පත" අමතක වීමෙදී කියැවුනු කවියද මෙවන්ම වූ සුන්දර ද්පැත්ත කැපෙන කවියකි.


මෙවන්ම වූ අන්දරේගේ කවි, ගජමන් නොනාගේ, රංචාගොඩ ළමයාගේ, පැල් කවි, ආදර්ශ කවි කොතෙක් නම් අප මතකයේ වෙත්ද?

මේ සියල්ල මතක සිටියේ කෙසේද?


අරළු බුළු නෙල්ලි යොදා පත අට එකට සිඳුවා සාදන කසාය ට අනුපාන සේ එක් කරණ්නේ මී පැණිය, සූකිරිය


ජීවිතය අරළු බුළු නෙල්ලි සේ දැනෙනා විට අනුපාන වන්නේ මී පැණි සූ කිරි වන් කවි ය! 

(මේ සියල්ල මා ගොනු කලේ මතකයෙනි! සදොස් තැන් නිදොස් කල මැන!)

25 comments:

  1. Replies
    1. මතකයේ තියෙන කවියක් දෙකක් ලිව්වානං!? - තට්ටයා

      Delete
    2. දැන් එයි "කාව්‍යසේකර" දිසානායක. මෙන්න ඊට ඉස්සෙල්ලා මගෙන්:
      කොළඹ කොටුවෙ කොටු දොරකඩ තාප්පේ
      ඩගු,ගුඩු ගගා බිම පෙරලෙන පීප්පේ
      එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
      දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ

      කරත්ත කවියක්:
      බැඳලා විය බාන ගොන් දෙන්නගෙ කරට
      මැනලා ගනිමු බෝතලයක් සිලිමකට
      බෙදලා බොමුව හැම දෙන එක්ක හරියට
      කොතලාවල පසුකර මිතුර හනිකට

      පාරු කවි
      වගේ අස මිතුර – මකියන දී සවන
      ඇඟේ මල් දමසෙ – පෙති ගෝමර දිළෙන
      ගඟේ යන පානදුර – යේ තොටු පලින
      මගේ නම් මෙ ළඳ – ඇවිදිමි වඩා ගෙන

      කද්දුව එගොඩ උළු අම්බලම ගාවා
      ගැහැණු තුන් දෙනෙක් ඉස නාව නාවා
      අප දැකලා උන් කරවන නුරාවා
      කොහොමද ලියෝ සිත නළවන උපාවා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අඹතලේ පැත්තෙ "චරිතවත්" බස්සෙක්ට, ගැමි ලඳක් කියපු කවියක්:

      වෙල මැද්දේ ගුරු පාරේ දුටු කලට
      හාගන්නට කුඹුරක් දුන්නා යලට
      ඇයි උලමෝ, මොනවාවත් අඩුද මට?
      ලිස්සල ගියේ ඇයි, නගුලක් නැත්ද බොට?

      Delete
    5. අම්මට සිරි සුපිරිනෙ කොල්ලො සුපිරිනේ! - තට්ටයා

      Delete
  2. පෙර ලකේ විසුව සිංහල පොහො සත්තූ
    නොවැලකේ ලොවැඩ ගැන වෙහෙසය ගත්තූ
    අද ලකේ සිටින ජනයගෙ මහ වස්තූ
    බලු පුකේ බැන්ද මීයක සිරි ගත්තූ
    (නීතිඥ ජෝන් ද සිල්වා)

    ReplyDelete
    Replies
    1. එළ එළ! (ඕක නං ඇත්තම ඇත්ත බං!) - තට්ටයා

      Delete
  3. https://www.psychologytoday.com/us/blog/science-choice/201510/why-do-we-remember-certain-things-forget-others#:~:text=The%20experience%20of%20emotion%20enhances%20our%20memories.&text=A%20normal%20function%20of%20emotion,to%20make%20them%20more%20memorable.

    ReplyDelete
    Replies
    1. මම කෙළගෙන හිහිං බැලුවා කයියක්ද කයි මඩුවක්ද කියලා! මට හති!! - තට්ටයා

      Delete
  4. අපි ඉස්කෝලෙ යන කාලෙ මේ වගෙම දෙයක් උනා මතකයි. අපේ ඉහල පන්තියක හිටියා කවි බුවෙක්.. ඌ කවි මඩුවක් දාලා ඉස්කෝලෙ උන්න හැමෝටම කවියට ආරාදනා කර කර හිරිහැර කලා. හැමෝටම කවි කියන්න බැහැනෙ. සාමාන්යයෙන් කවියක් ගැට ගසා ගන්න පුළුවන් බව දන්න මාව අතැරලා අපේ අක්කාව කිච කලා.අක්කව බේරාගන්න මම නැගිටලා කවියකින් මිනිහට වාදෙට කතා කලාම මල්ලී එපා අක්කයි අප හට ඕනේ කියල මාවත් ඉන්දෙව්වා. ඔහොම කවි කියන්න බැරි අය ‍තෝර ‍තෝර මිනිහා කිච කරන් ගියා. ඔහොම ගිහින් ඉස්කෝලෙ උගන්නපු ස්වාමින්වහන්සෙටත් කතා කලා. උන්වහන්සෙ කවියෙ කෙල පැමිණි කෙනෙක් බව මෙයා දැන හිටියෙ නෑ.

    ගරුතර සුවාමිනි කවියක් පවසන්න කියලා ආරදනා කලාම හාමුදුරුවො ඇවිත් ගරුතර සුවාමිනි කවියක් පවසන්නම පලවෙනි පදේ හැටියට කියල කියල පටන් ගත්ත
    මිනිත්තුවක් විතර ඉඳල ආයිත් ඔහොම ඇතිතරන් කාලෙ අරන්
    ගරුතර සුවාමිනි කවියක් පවසන්න ආයිත් කියල ටිකක් කල්පනා කරනවා වගෙ හිටිය. හැමෝම බලන් හි‍ටියෙ ඊලඟ පදේ කියනකල්. ඔහොම පදෙන් පදේට ඇති තරම් කාලෙ අරන් එකම හතර පාරක් කියල බැහැල ගියා. අපේ මෑන්ට කට උත්තර නැති උනා.
    තේරුමක් නැති පද හතරක් එකට කලාම කවියක් වෙන්නෙ නැති බවයි උන්වහන්සෙ කිව්වෙ කියල අපේ සාහිත්ය ගුරුතුමා පස්සෙ ඇවිත් ගැදියෙන් කිව්වමයි ඔක්කොටම තේරුනේ සියුම් ප්‍රහාරයක් හාමුදුරුවො කලා කියලා.

    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔය වගෙර් කතාවක් මට මතක් උනා දැන්. කුමාරතුංග මුනිදසුන් ආනන්දයේදී කී පද හතරේ කවියේ සිද්ධිය. එකල කවිය පිළිබඳව බොහෝ කතිකා ඇතිවී තිබුනි යුගයක ආනන්දයේ එවන් සාකච්ඡාවක් පැවැත්වුනි ලු. එතනදී මුනිදසුන් කල කතාවේදී; කවියක් සඳහා වචන රාශියක් අවශ්ය නැති බවත් වචන හතරකින් පවා කවියක් ලිවිය හැකි බව පවසා ඇත. මෙහිදී එය අභියෝගයට ලක් කරමින්; කර පලල් හවුමකින් සැරසුනු කාන්තාවක් නැගී සිට "එහෙම කොහොමද වචන හතරින් කවි ලියන්නේ?" යැයි පවසා ඇත.
      "ඇයි;
      අනේ
      පනේ
      තනේ
      පෙනේ
      කියලා ලියන්නත් පුළුවන්නේ!!!?!" මුනිදාසයන් ඇඟට පතට නොදැනෙන්න පැවසුවේලු! - තට්ටයා

      Delete
  5. මෙන්න කෙටිම හතර පදේ කවිය
    අනේ
    පනේ
    තනේ
    වැනේ

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. එකිනෙකාට ඇති අත් දැකීම් වලට අනුකූලව අවසන් පදය වෙනස් විය හැක! - තට්ටයා

      Delete
  6. බලෙන් කරන දේ පාඩම් නොහිටින්න
    මතකෙට වැටෙන දේ පතුලේ රැඳවෙන්න
    කසාය තිත්ත විට අකමැති වෙයි බොන්න
    එය දුරු වේවි මීපැණි දැමුවොත් ඔන්න

    (මේ කවිය මටත් තේරෙන්නෑ ඔන්න.. හැක්..)

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඔය එන්නේ කවි සට සට ගාලා! - තට්ටයා

      Delete
  7. බැලුවම තට්ටයා මහත්තයත් හොඳ කවියෙක්නේ...... හැමදාම කවියකින් ලංවුන "නිදි" මහත්තයා අඩුයි වගේ දැනෙනවා........
    -වීරසිරි බන්ඩාර-

    ReplyDelete
    Replies
    1. මතකය විතරයි! නිදි තාම නිදි ඇති.😂😂😂

      Delete
  8. අපිත් දෙන්නං කවි...

    ඒ දණ්ඩෙන් කොටා
    යන කලටා
    වැටුණි ගඟටා
    හුටා...!

    ReplyDelete
    Replies
    1. ඔව්ව කවි ද? කවි කියන්නෙ මේං මේ වගේ ඒවට.

      මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
      දුන්නොත් මගේ ජීවිතයකි කඳුලු බොන
      මිනීවලක මා යටකර තබන දින
      කන්නේ කරවලයි රට හාලේ බතට

      Delete
    2. මාත් කියන්නං.

      උතුම් රාජ ලේ ටික මගෙ තියෙන තුරු
      විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
      නෙතින් කඳුලු නොහලමි දිවි තියෙන තුරු
      ආඩම්බරයි ලෝවා මහ පායෙ කණූ

      ආන්න ඒ වගේ ජාතික වැදගත්කමක් තියෙන කවි කියහල්ලා.

      Delete
    3. මෙන්න ඔරිජිනල් රාත්තල වගේ කවියක්!

      Delete
  9. කූට මතනා ගරා අඹු සොඳ කට කාරී
    අට අඹු ගෙන සිටී අඹු එකකට බේරී
    එම අඹු කණා සුණු ලා සතියක් නෑරී
    අටවන ජොරා බැට කාගෙන යයි බේරී

    කොට්ටං, රසකිඳ, අමු ඉඟුරු, කටුවැල්බටු සහ කළාඳුරු
    පත අට එකට සිඳුවා
    තිප්පිලි කුඩු මිශ්‍ර කර සතියක් බීමෙන්
    අට විධ ජ්වරය (උණ) සුවවේ.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි වෙද ගැටයක් නේද එකෙන්ම?

      Delete
  10. එතන කවි මඩුවක්!- තට්ටයා

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...