මින් "අයියා" නමැති කෙටි කථාව කියැවෙන්නේ මල්ලී කෙනෙකු විසින්. අයියාගෙ ස්වාධීන ජීවිතය; තමාගේ කෙළිලොල් ජීවිතය සමග ගලපාගන්නට යන මල්ලී බොහෝ විට අයියා සමග ගැටේ. අවසානයේ එක් වෙසක් උත්සවයක් සඳහා අයියා විසින් සාදනු ලබන විශාල වෙසක් කූඩුව දැල්වීමට යද්දී මල්ලීගේ නොඉවසිලිමත් බව නිසා එය ගිනි ගනී. ඒ ගින්නට අයියාද අසුවී ඔහු රෝහල් ගත කෙරේ. අයියා මියයාවි යැයි බියෙන් මල්ලී අවසාන දිනයේ රෝහලට අයියාව බැලීමට යයි. තමා නිසා අයියා පත්වූ විපත කරණ කොට ගෙන මල්ලීට ඇඬුම් එයි. අයියා කටහඬ අවදි කරයි.
"අඬන්න එපා මල්ලී! අපි ඊළඟ වෙසක් එකට ලොකු කූඩුවක් හදමු!"
"දෙවියන්ගේ දානේ" ඊට හාත්පසින්ම වෙනස්ව වූ කෙටි කථාවකි. ඒ කථාවේ සැකිල්ලද මා පහතින් ලියා තබන්නම්.
මා කථා ද්විත්වයම කියැවූයේ වඩාත් කුඩා වයසක දීය. ඒ කථා කියවා අවසන් වූ අවස්ථා දෙකෙහිදීම මගේ සිත වඩාත් මෙළෙක්වී ගියේය; මාගේ අයියා මතක් වී. ඒ සෑම අවස්ථාවකදීම මගේ පුංචි හිතට වද දුන් ලොකුම ගැටළුව වූයේ; පෙර කී කථා වල "අයියාට ඊට පස්සේ මොකද උනේ?" යන්නය.
මමත් අයියාත් අතර අවුරුදු 8 ක හිඩසකි. සොහොයුරිය සිටින්නේ ඒ හිඩස තුල මට අවුරුදු 6ක් ඈතිනි. මේ නිසාම අයියාත් අක්කාත් කුළුපග මිතුරන් විය. අයියා පිළිබඳ මාගේ පලමු මතකය අළුත්ගම; ඉත්තෑපානේ මවගේ මහගෙදර තුල තැන්පත්වී ඇත. අම්මාගේ එකම මල්ලී වූ ලින්ටන් මාමාද ග්‍රේස් ලොකු අම්මාද ආච්චි අම්මා සහ සීයපප්පා සමග අයියා විසුවේය. එකල අපි සිටියේ දැරණියගල; පොල්ගස්වත්තේය. ඒ අපගේ පියාගේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිවස්නයකය. අයියා කුඩා අවධියේ සිට අවුරුදු 15ක් පමණ ජීවත්වූයේ ඉත්තෑපානේය. ඊට හේතු වූ කරුණ මතබේධයට තුඩුදේ. ඔහුගේ උපන් වේලාව දෙමව්පියනට කිසියම් අපලයක් ගෙන දෙන නිසා ඔහුව ලොකු අම්මා භාරයේ තැබුවා යැයි මා අසා ඇත!
මෙම ආරංචිය අයියා නොදැන සිටියා යැයි මා නොසිතමි. බොහෝ විට එය ලින්ටන් මාමා ගෙන් ඔහුගේ කණට යන්නට බොහො ඉඩක් තිබුනි. මේ නිසාමදෝ අයියා අපේ පවුලට දැඩි ලැදි කමක් දැක්වූ අයෙකු නොවීය. පසු කලෙක අප නුවරඑළියට සංක්‍රමණය වන විට ඔහු නුවරඑළිය ගාමිණී විදුහලටත් අවිස්සාවේල්ලේදී කළු අග්ගල ජෝන් බොස්කෝ විදුහලට යොමුවී තිබුනි. මේ 1972-73 වැනි ඈත කාලයක් විය. නුවරඑලියේදී ඔහු අපගේ පියාගේ දැඩි දණ්ඩනයට පාත්‍ර විය.
වරක් ඔහු ගෙදරින් පැන ගියේය. එකල පිරිමි ලමයින් එසේ ගෙදරින් පැන යාම මාස කිහිපයකට වරක් අසන්නට ලැබෙන සුලභ ආරංචියක් විය! ඔහු තවත් මිත්‍රයින් දෙදෙනෙකු සමග අවිස්සාවේල්ලෙන් පිටත්වී හපුතලේට ලඟා වී තිබුනු අතර හපුතලේ පොලිස් භාරයේ සිට ඔහුව ගෙදරට කැටිව ආවේය. තාත්තාවත් අම්මාවත් ඊට කිසිදු දඬුවමක් ඔහුට දුන් බවක් මාහට මතක නැත!
එක් කලෙක මාත් අක්කාත් සෙල්ලම් පාටියක් දැම්මෝය! ඒ යටියන්තොටදිය. අපගේ ඥාති මිත්‍රාදීන් විවිධ ආහාර පාන ලබා දී අපගේ සෙල්ලම් සාදය උත්කර්ශවත්ව තිබුනි. අපට එනම් මටත් අක්කාටත් ඊළඟ ගැටළුව වූයේ ආරාධිතයෙකු සොයා ගැනීමයි. ඒවන විට නිවස ඉදිරියේ සෙල්ලම් තුවක්කුවක් සාදමින් සිටි අයියා අපගේ සිව් නෙත ගැටුණි. අපි අයියාට ඉන්වයිට් කලෙමු. තවත් නිමේශයකින් ඉතිරි වූයේ පාටියේ හිස් භාජන සමූහයක් පමණි. අයියා සුපිරියටම සාදය "අලෙවි" කොට තිබුනි!
වරක් අප දෙදෙන කුඩා කල රෝද හතරක කරත්තයක් හදන්නට යාමේදී; අයියා අත තිබුනු අත් කියතට මාගේ කුඩා අතේ මහපොට ඇඟිල්ල කැපී ගිය හැටි මතකය. මාගේ අතින් ලේ ගලා ගිය අතර අයියා ඊට බෙහෙවින් බියට පත්විය. එසේම දිනක් මා අත වූ වීසි කැත්ත අයියාගේ ඇස් වටයේ වැදුනු අවස්ථාවේදීද ඔහු නිහඬව වේදනාව විඳ දරා ගත්තේය.
කලක් අප කළු අග්ගල නෙළුවත්තුඩුව ගමේ කුලී නිවසක විසුවෙමු. පැය 24 පුරා "ඔන් ඩියුටි" රැකියාවක් කල තාත්තා ගෙදර එන වෙලාවක් කියන්නට තාත්තාටවත් නුපුළුවන් විය. ඊට අමතරව මිත්‍ර සමාගම් සමග ගැවසී මධුවිතක් තොලගා තාත්තා සමහර දවසට එන්නේ යක්කු ගහෙන් බිමට බහින වේලාවටය. ඒ මොහොත වන තුරු අම්මා රාත්‍රී ආහාරය නොගෙන මග බලා සිටීම සාමාන්‍ය තත්වයකි. දිනක් තාත්තා එන තුරු අම්මා බලා සිටිනා විටෙක අයියාට බඩ ගිනි සෑදුනි. ඔහු අම්මාගෙන් බත් ඉල්ලූ මුත් අම්මා පැවසූයේ "කුස්සියෙන් බෙදා ගන්නා!" ලෙසය. එයට පිළිතුරු ලෙස අයියා ඊට නුරුස්සනා වදන් වැලක් කියාගෙන ගිය අතර අම්මා මුළු බත් මුට්ටියම බත් දීසියකට හිස් කොට සියළු මාළු පිණි එයට බෙදා අයියාට දුන්නාය. අයියාද ඇරියේ නැත! අප පස් දෙනෙකු වෙනුවෙන් ඉදුනු බත මුළුමණින්ම ඔහු කා දැමුවේය. එවිට ඔහුට වයස අවුරුදු 16 - 17ක් වන්නට ඇතැයි සිතමි!
ඔහු උසස් පෙළ සඳහා තෝරා ගත්තේ කෘෂිකර්මය විෂය ධාරාවයි. ඔහු ඒ සඳහා තෝරා ගත් පාසල වූයේ වැලිමඩ මධ්‍ය මහා විදුහලයි. කලක් විදුහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි ඔහු; තවත් නිවැසියන් පිරිසක් සමග ආහාර සඳහා හර්තාලයක් කිරීමේ මහිමෙන් ඉන් ඉවතට යෑමට සිදුවිය. ඉන් පසුව ඔහු වසරක පමණ කාලයක් ගතකලේ පිටස්තර ගෙවල් වලය! ඒ මාස දෙකෙන් දෙකට මෙනි! බෝඩිමක හොඳින් ආහාර පානාදිය ලැබෙන්නේ මුල් මාස දෙකෙහි පමණි!" ඒ ඔහුගේ නියමය විය!
වරක් ඔහු අපගේ මිතුරෙකු හට ලිපියක් ලිව්වේ ඔහුගේ නිවසේ සිට වැලිමඩ නගරයට බස් ගාස්තු පිළිබඳව විමසීමටය. ඒ වන විට සිටි බෝඩිමෙන් මිතුරාගේ නිවස අසල වෙනත් තැනකට යාමට පෙර; එහි සිට පාසලට ඒමට වැයවන මුදල දැනගෙන එය අපගේ නිවසින් ලබා ගැනීමටය. අයියාට බස් ගාස්තුවට වංගුවක් ගසා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා නියම මුදල දැන ගැනීමට අවශ්‍යතාවයෙන්පෙර ලිපිය ලියා තිබුනි. "මචං බස් ගාස්තුව ලියන කොට 'සීයා මැරුනේ ........' කියලා ඒවපං. බස් ගාස්තුව කියලා දාන්න එපා!" ඒ අයියා මිතුරාට දුන් අවසාන අවවාදයයි. අයියා ඒ වෙලාවෙම අලුත් බෝඩිම ගැන පවසා තාත්තාටද ලිපියක් ලියා වැලිමඩින් තැපැල් කොට තිබුනි. අපරාදේ කියන්නට බැරිය. කිරිගහට ඇන්නැහේ යාළුවාට ලියන ලද ලිපිය තාත්තා අතට දින දෙක තුනකින් පත්විය!
කාලය ගෙවී යද්දී ඔහු අපගේ ජාතික වීරයා වී තිබුනි. අළුත් චිත්‍රපටි, සටන් නළුවන්, යාන වාහන, ක්‍රීඩා, විනෝදාංශ ආදී මෙකී නොකී දහසකුත් දේවල් දකිණ කවුළුව වූයේ ඔහුය. එකළ නිවාඩු කාලවලදී අප තිදෙන බෙන්තොට ලොකු අම්මලාගේ නිවසේ නිවාඩුව ගත කිරීමට ගිය විට; ලොකු අම්මලාගේ පුතාත් දුවත් සමගින්; මැද සාලයේ අපි සියල්ලෝම පැදුරු දමා නිදා ගන්නා විට එක් කෙළවරක සිටින්නේ ඔහුය. ඒ ඔහු අපගේ පරම්පරාවේ වැඩිමහළු පුද්ගලයා වූ බැවිනි. දන්නා කාලයේ සිට ඔහුට මල පනින අවස්ථාව ඔහුටවත් සිතා ගැනීමට නොහැක!
සැම වෙලාවේම ඔහු ගිණි කන පණින්නට සූදානම්ව සිටි අයෙකි. පවුලේ ඥාතීන් පමනක් නොව අපගේ පියා පවා ඊට හේතුව ලෙස ගෙන දැක්වූයේ ඔහුගේ නමේ ඇති වරදය! එනම් ඔහුගේ නම සනත් ගාමිණී වූ අතර එකල අප සියල්ලන්ගේම නම් ලියැවුනේ මුලකුරු සමගිනි. ඊට අදාලව ඔහුගේ නම S. G. වූ අතර එය බෝර දොලහේ තුවක්කු වලට යොදන භයානක උන්ඩ විශේෂයක් හැඳින්වීම සඳහා දැක්වූ නාමයය!
අපගේ නිවසේ දෙමව්පියන් ඇතුළුව සාමාජික සාමාජිකාවන් පස් දෙනෙකි. මා දන්නා කාලයේ සිට අපගේ නිවසේ සුවිශෙෂී රාත්‍රීන් වලදී බෝඩ් ක්‍රීඩා පැවැත්වුනි. බෝඩ් ක්‍රීඩා කීවාට ඒ අනෙකක් නොව පංච දැමීම හා ලූඩෝ ක්‍රීඩාවය. මෙහිදී එම බෝඩ් ඇන්දේද අපගේ අයියා විසිනි. ඒවා බොහෝ විඅට සෑම මසකම පාහේ අළුත් වේ! ඊට හේතුව මෙය කියවාගෙන යන විට ලියැවෙනු ඇත! ඔහු අඳින ලද පංච පෙතක් බොහෝ කලක් යන තුරු අපගේ නිවසේ තිබුනි. එය ඇඳ තිබුනේ ෆයිල් කවරයක ඇතුළු පසය! මෙම ක්‍රීඩා දෙකම නිර්මාණය කොට ඇත්තේ ඉරට්ටේ සංඛ්‍යාවකට ක්‍රීඩා කල හැකිවන පරිද්දෙනි. ඒ නිසාම අපගේ නිවසේ වැසියන් දෙපිළකට බෙදුනේ අප පස් දෙනාට අමතරව "හුංගෙකු" ඇතුළු කර ගැනීමෙනි. "හුංගා" යනු අවකාශයේ සිටිනා චරිතයකි. ඔහු වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එම පිළේ ඌනෑම අයෙකු හට අවස්ථාවක් ලැබේ. බොහෝ ක්‍රීඩා අවස්ථාවලදී තාත්තාත් අක්කාත් එක් පිළකටත් අම්මාත් අයියාත් තවත් පිළකටත් බෙදේ. මමත් හුංගාත් සිල්ලරට බෙදී යයි. මෙම ක්‍රීඩා බොහෝ අවස්ථාවල කෙළවර වන්නේ අයියා මා සමග හෝ අක්කා සමග ගිණි කන පැනීමෙනි! ඒ සමග ඔහු ලුඩෝ බෝඩ් එක හෝ පංච පෙත ඉරා දමයි! කිරීඩාව එතැනින් සමාප්ත වේ! මෙහි ඇති අති භායනකම ක්‍රියාව පටන් ගන්නේ ඉන් අනතුරුවය. ඒ අම්මාගේ විධානයට අනුව මමත් අක්කාත් අයියාගේ කකුල් දෙක අල්ලා වැඳ සමාව ගැනීමෙනි. මෙහිදී වරද කාගේද යන කාරණයට වඩා අම්මා සොයා බලන්නේ අයියාගේ සීනියෝරිටිය ය! මීට ප්‍රධාන හේතුව ලෙස මා දකින කාරණා දෙකකි. ඉන් එකක් වන්නේ අයියාද අම්මාද එක පිළක වීමය! අනෙක දකුණේ ගැහැණියක වූ අම්මා "වරද" යන කාරණයට වඩා "තමන්ගේ" සහ "වැඩිහිටි" යන සංකල්පයට වැඩි බරක් තබන නිසාය! මෙය දකුණේ මිනිසුන් අතර දක්නට ලැබෙන ගුණාංගයකි. මේ රටේ අප අද දින අත් දකින බොහෝ දුක් ගැහැට වලට එක් හේතුවක් වන්නේද මෙම දකුණේ ගතිය ලෙස මා දකිමි!
මිනිසෙකු; තම ළමා කාලය තුල කණ්ඩායම් ක්‍රීඩාවක නිරත විය යුතුය! ඒ ඉවසීම, කණ්ඩායම් හැඟීම වැනි බොහෝ කාරණා ඉගෙන ගන්නේ ඒවා තුලිනි. මෙවන් කිසිදු ක්‍රියාකාරකමක් නොකල අය තුලද එවන් ගුණාංග තිබිය හැකි නොවේදැයි ඔබ මා සමග සංවාදයකට එළඹෙනු ඇත! සත්තකින්ම එය එසේ විය හැකිය. එහෙත් මා පවසන්නේ උණුවතුර බීමට පුරුදු වීම වැනි කාරණයකි. එනම් එම ජලයේ විශබීජ තිබුනද නැතිවද කම් නැත! වතුර උණු කොට බීමෙන් හානියක් සිදු නොවේ! මේ නිසාම ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දක්වාම එම නොඉවසිලිමත් භාවය මා දුටුවෙමි.
පෙර සඳහන් කල පරිදි පවුලේ සාමාජිකයින් ගනන ඔත්තේ වූ හෙයින්ම කිසියම් දෙයක් බෙදා හදා ගැනීමට ගිය විට ඇතිවන්නේ තරමක ගැටළුකාරී තත්වයකි. පසැඟිල්ලන්, කාමරංගා වැනි පහෙන් බෙදෙන දේවල් අපට ලැබුනේ නැති තරම්ය! අඹ ආදී පලතුරක් ලැබුනු විට එය පහට බෙදීම සිදුවූයේ අයියා අතිනි. ඒ දෙපැත්ත හතරට කපා කොටස් හතරක් ලෙසද ඇටය හා ඒ ආශ්‍රිත කොටස තවත් අයෙකුට ලෙසය. අයියා අඹ ආදිය කැපීමේ රුසියෙකුවූවා සේම ඇටය ගැනීමට අකමැත්තක් තිබුනේ නැත! කිසිවෙකු උනන්දු නොවන ඇටයට ඔහු ලොභ බඳින්නේ ඔහු අඹ ගෙඩිය කපනා අවස්ථාවලදීය! ඇටය වඩාත් පෝෂණය කිරීම කපන්නාගේ අතේ හුරුව මත ඇති කටයුත්තක් බව තේරුම් ගන්නා විට බොහෝ කල් ගතවී ගොස් තිබුනි!
උසස් පෙල විභාගය දෙවරක් උත්සාහ කල මුත් ඔහුට සරසවි යාමට නොහැකිවිය. තවත් බොහෝ කළක් ඔහු රැකියාවක් නොමැතිව නිවසේ රැඳී සිට පසුව මාගේ පියා සේම වන සංරක්ෂන දෙපාර්ත මේන්තුවට සහ සම්බන්ධ විය. මා දන්නා පරිදි ඔහු දැන උගත් නිළධාරියෙකු විය. උසස් පෙළ උද්භිද විද්‍යාව සඳහා සම්මාන සාමාර්තයක් ඇතිව සිටි එකම ආධුනිකයා ලෙස ඔහු ත්‍රිකුණාමලයේ වන විදුහලට ඇතුලත් විය. ඔහු ප්‍රිය මනාප පුද්ගලයෙකු වුවද ජනප්‍රිය පුද්ගලයෙකු නොවීය. ඔහු කිසිදු දිනෙක මධුවිත පානය නොකලේය. දුම්වැටි භාවිතාවක් නොවීය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොබොන එකෙක් යනු නියුඩ් කෑම්ප් එකකට ටයිකෝට් ඇඳන් ගිය එකෙකු වාගේය! එයද ඔහු ජනප්‍රිය චරිතයක් නොවීමට හේතුවක් වන්නට ඇත. එහි වඩාත්ම අන්තගාමී භාවය වූයේ ඔහු එවන් ස්ථානවලද නොරැඳීම හා එවන් අයගෙන් පවා ඈත්වීමය!
"අම්මේ අයියා මැරෙයිද?"
"ඇයි පුතේ . . ?"
"නෑ එතකොට අපිට පල්ලියෙන් දෙයියන්ගෙ දානේ ලැබෙයිනේ . . !?"
එම කෙටි කථාවේ හරය විය.
අයියාගේ පවුලේ සියළු දෙන පැය 24 පුරාවටම වෙහෙසුනු මුත් කිසිවකින් ඔහුගේ ගමන නවතා ලීමට කිසිවෙකුටත් නොහැකිවිය.