Saturday, September 17, 2022

242. මව්බිම වටා සයිකලයෙන් . . . 6

2022/04/13





"රූපයක් වචන දහසක් අමතයි!" අමතයි යනු පිළිගත් අදහසකි. සමහර විට මෙය වඩාත් වලංගුවන්නේ අප වැනි ලියන්නන්හට විය යුතුය. මන්ද; ලෝකයේ ශ්‍රේෂ්ඨ නවකථා සියල්ල  වචන ගෙත්තම් විනා චිත්‍ර කථා නොවේ! එහෙත් මම මෙම ලිපි පෙල ඇරඹුමේ සිට සිතියම්, පිංතූර පමණක් නොව එම චාරිකාව සමග සමාන්තරව දිවුනු WhatsApp කථිකාවද මෙයට එක් කොට ගැට ගසා ඇත. ඒ නිසාම මෙම ලිපි මාලාව තුල; මාගේ ලිවීමට අමතරව ඡායාරූප සාක්ෂි සටහන් නැරඹීමටද ඒ සෑම අවස්ථාවක්ම කාචයේ සටහන් වූ වේලාව පිළිබඳවද අදහසක් එක් කර ගැනීමට අවකාශය සැකසෙනු ඇත!
ඒ සියල්ලටම වඩා එම ගමනේදී එදා අප අත්විඳි දේ පිළිබඳව එම මොහොතේම හෝ එදින තුල අප ගේ සිතුවිලිද ඊට අප සමග සිටි අපගේ  සහෘදයින් දැක්වූ අදහස් පිළිබඳවද කියැවීමක් ලැබීමට හැකියාවක් ලැබේ. 
මෙම ලිපිය සකසා ඇත්තේ හුදෙක් WhatsApp කථිකාවට එකතු කල අයිසිං වලිනි. එය රස විඳිනු ඇතැයි මා සිතමි! සෑම දිනෙක සේම එදිනද දිනය ඇරඹෙන්නේ Whats App සමූහය වෙත ඇමතීමෙනි. මේ එතැන් සිට:-


සෑම දිනෙකම උදෑසන 4.00ට පමණ අවදිවන නිශාන් එතැන් සිට කරණු ලබන සූදානම්, වීම් ඇහිරීම්, ඇඳ ගැනීම් - නැවත ගැලවීම් ආදියට අමතරව එදිනට නියමිත ගමන පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට අමතක නොකරයි. 
මෙය සිදු කරණ්නේ; පෙර දින රාත්‍රියේ කරණු ලබන විග්‍රහයට අමතරවය! සෑම දිනෙකම රාත්‍රියේ නින්දට යාමට පෙර නිශාන් විසින් පසුදින ගමන් මග "ගූගල් අහසේ" සිට නිරීක්ෂණය කිරීම සිරිතක් සේ කරගෙන යනු ලැබීය. ඒ සෑම අවස්ථාවකදීම ඔහු විසින් උපයා සපයා ගනු ලැබූ දැනුම, විස්තරය, තොරතුර මා සමග බෙදා ගත්තේ; ඔහුගේ සෙල්ෆෝනය සමග මාගේ උපැස් යුවල මා අසලටම ගෙන පැමිණෙමින්ය! ඒ එදින ගමන් කල දුර, සාමාන්‍ය වේගය, දිනයේ සිදුවුනු වෙනත් සුවිශේෂී කරුණු පිළිබඳව කෙටි සමාලෝචනයකින් පසුවය! එය මීට කලකට පෙර; ඉරිදා රාත්‍රී 8.15 ට  ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ප්‍රේමසර ඇපාසිංහයන් ඉදිරිපත්කල "බිස්ටල් ක්‍රීඩා විසිතුරු" වැඩසටහන මෙනි!
පසුදින ගමන පිටත් වන්නට ප්‍රථම කරණු ලබන්නේ "හරි-වැරදි" බැලීමක් විය යුතුය.
පෙරකී "ඉව ඇල්ලීම" ද සිදුවන්නේද ගූගල් සිතියම් අනුසාරයෙනි.
පෙරදින අප නැවතී සිටි ස්ථානයේ අයෙක් වෙතින්; පසු දින උදයේ "බිත්තර රොටිය" පිළිබඳ කිසියම් අදහසක් සිතුවිල්ලක් ගොඩ නගා ගනු ලබන අතර පසුදින උදයේ හමුවන නන්නාඳුනනා අයගෙන් ලබා ගන්නා තොරතුරුද එක්ව, කැටිව ගෙන පත අට එකට දමා පත බාගයට සිඳුවා එයට අනුපාන දමා; එදින උදෑසන "බිත්තර රොටිය" කන ස්ථානය පිළිබඳව දළ අදහසක් සකසා ගනී!
නිශාන්ගේ උදෑසන විග්‍රහයේ පරිදිද, ලැගුම්පල අයිතිකරුගේ අදහස් වලට අනුවද බිත්තර රොටියක් තබා ප්ලේන්ටියක්වත් ලබා ගැනීමට අතර මැද ස්ථානයක් සොයා ගැණීමට වඩා අපිම කඩයක් දමා ගැනීම පහසු කටයුත්තක් වන බවය!
මේ සියල්ල නිසාම උදෑසන කිස සපයා ගැනීම  සඳහා අප නවාතැන් ගත් පොතුවිල් නගරයේම අවන්හලක් තෝරා ගත්තෙමු. 
අපගේ ජාතික ආහාරය සැකසීම ඒ වනවිටත් අරඹා නොමැති බැවින් ඔවුන් අසල් වැසි අවන්හලකින් සංක්‍රමණය කරවා අප වෙත පිළිගැන්වීය!
"එවන් සුපිරි කෑමක්! උණු උණුවේම . . . .  . !!"
මේ සියළු ආරළු බූරුළු මැද අපගේ ගමන් ඇරඹීම තරමක් පහුවිය!






නිශාන්ගේ බිරිඳදගේ නිර්මාණ්ශීලී පැතුම!




6.29AM
දිනයේ පැදීම ඇරඹීමත් සමග ගමන් මග වැටී ඇත්තේ සාරවත් කෙත් වතු යායක් මැදින්ය. වැසි බර කාලගුණයක් දිස්වෙමින් තිබුනු අහස දිනයේ අරුණළු සඟවාගෙන සිටියේය. කොල පැහැති ගොයම පෙරදින වට වැස්සෙන් හෝ රාත්‍රියේ වට පින්නෙන් තෙමී; තෙත බරිතව බිමට හිස නමාගෙනය. ඒ සියල්ල පිසදා හමා එන සුළඟ සිරුර සිසිල් කරමින් ගලා ගියේය. 
සයිකල් පැදීම හෝ වෙනයම් ක්‍රීඩාවක් හෝ වේවා කරගෙන යාමට සිරුර තරමක් උණුසුම්ව තිබිය යුතුය. "සයිකල් පදින කොට වහින එක හොඳයි නේද?" බොහෝ අය අසන පැනයකි. කර්කශක දැඩි හිරු රශ්මියට වඩා වැස්සකට තෙමෙමින් පැදීමට ලකුණු දිය හැකි වුවද උදේ වරුවේ පවතින සෞම්‍ය කාලගුණය මෙන් වැසි මැද පැදීම පිළිබඳව මාහට ඇත්තේ අකමැත්තකි! වරක් මා මහ වැස්සක; මේඝ ගර්ජනා මැද කරුවල සැඳෑවක සයිකලයකින් ගිය ගමනක් මගේ හදවතේ සනිටුහන්ව පවතී. සිරුර තරමක් උණුසුම්ව පවතින විට මෙන් වැසි වැටෙද්දී මාංශ පේශීන් හොඳින් ක්‍රියාත්මක නොවන බවක් මාහට දැනේ. ඒ සමග පාදයේ පේශීන් හිරවන බවකි.
මෙදින උදෑසන පැවති සිසිල් බවද සිරුරට ගෙනාවේ ප්‍රභෝධයක් නම් නොවේ. එහෙත් එය වැස්සකට තෙමෙනවා වැනි අප්‍රසන්න හැඟීමක් නම් නොවේ. 
First Inter - Monsoon Season 
(March - April)
කෙත්වතු පසුකොට ඉදිරියට පැද යාමේදී ගමන් මග ඇදී ගියේ වඩාත් සුන්දර වූ ජලාශ්‍රිත ප්‍රදේශයක් පසුකරමින්ය. පසු ගිය කාලය පුරාවට වට වැස්සෙන් පිරී ඉතිරී ගොසින්ය. 
ශ්‍රී ලංකාවට මාර්තු - අප්‍රේල් කාලයට අහස් දිය ගෙන එන්නේ; ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාවෙනි. මෙම කාලය පුරාවට නැගෙනහිර පලාතට මිලී මීටර 200 ක උපරිම වර්ෂාපතනයකට යටත්වය. මේ නිසාම මුළු නැගෙනහිර පලාතේ ඇති වැසි දියෙන් පෝෂණය ලබන ලොකු කුඩා වැව් පොකුණු ජලාශ හා ඒවායෙන් දිවිය අරඹන ලොකු කුඩා ගංගා ඇල දොළ නව ප්‍රබෝධයකින් ඔකඳව සිටිනු දක්නට ලැබේ.  මේ නිසාම අප පසු කල සෑම ලොකු කුඩා පාලමක් බෝක්කුවක් යට දියෙන් පිරී පැවතුනි.
6.41AM

"දහස් වටින පයක් හිමි" දිල් රුක් ගේ පැතුම!

පොතුවිල් නගරයෙන් පිටමංවූ අපගේ පලමු ඉලකය වූයේ ලංකාවේ නැගෙණහිර ඉම වූ  සංගමන්කන්ද තුඩුවට ලඟාවීමය. 
පොතුවිල් සිට සංගමන්කන්ද තුඩුව වෙත යෙදෙන ගමනේදී පසුකරණ වැදගත් ස්ථානයකි කෝමාරි වේලි මග! එම වේලිමග නොහොත් පාලම මතින් ගමන් ගන්නා විට දකුණු පසින් නැගෙණහිර මුහුද දිස්වේ.

මීට වසර 4 කට පෙර ප්‍රවීන් සිවාජිලිංගම් විසින් 
තම කාචයේ සටහන් කර ගනු ලැබූ; 
කෝමාරියේ මුකුළිත  බව!

මගේ ඇසින් කෝමාරිය!
7.03AM

7.05AM

7.05AM
අපගේ WhatsApp සමූහයේ සිටි හිඹුටානේ නිරෝෂන් කොටිගල අයියා විසින් දක්වා තිබුනු පරිදි සංගමන් කන්ද තුඩුව වෙතට ලඟා වීමට අපට තිබුනේ කිලෝමීටර 20ක පමණ දුරකි.
7.20AM
ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර 650610 කින් යුක්ත වන අතර එහි මුහුදු තීරයේ දිග කිලෝමීටර 1340ක් වේ. දිගින් කිලෝමීටර 432ක් වන අතර පළලින් කිලෝමිටර 224කි. මෙම දිග මැනෙන්නේ  පේදුරු තුඩුවේ දෙවුන්දර තුඩුව වෙත වන අතර පළලේ මිනුම වන්නේ කොළඹ හා සංගමන්කන්ද තුඩුව අතරය. මෙම ස්ථාන හතරේම ප්‍රදීපස්ථම්භ හෙවත් ප්‍රදීපාගාර පිහිටුවා තිබීමද සුවිශේෂී කාරණාවකි. එසේම මෙම ස්ථානවල තැපැල් පෙට්ටි පැවතීමද දැකිය හැක!

7.26AM
සංගමන්කන්ද තැපැල් පෙට්ටිය; පාරේ වම්පස සවිකොට තිබුනි. එහි ළඟා වන බොහෝ සංචාරකයින් විසින් තමන්ගේ නමට ලියන ලද තැපැල් පතක් ලියා මෙහි බහාලීම සිරිතකි. එය රටේ කුමන ඉමකට ගිය සංචාරකයෙකු විසින් සිදු කරණ සිරිතකි. එහෙත් කරුමෙක මහත! අප අත එවන් තැපැල් පත් තබා මුද්දර වාටියක් වත් නොවීය. මේ නිසාම තැපැල් පෙට්ටියේ ඡායාරූපයක් ගැනීමෙන් සැනසුනු අප එතැනින් ඉදිරියට පදින්නට විය. 
මාහටත් වඩා මාගේ ගමන් සගයා ස්ථානීය සාක්ෂි පිළිබඳව මහත් අභිරුචියකින් ක්‍රියා කරන්නෙකු විය. මා ඒ පිළිබඳව දැක්වූයේ ඇල්මැරුණු ආකල්පයකි. ඒ නිසාම අප; යාපා පටුනට ගිය ගමන පිළිබඳව ඇත්තේ නල්ලූර් කෝවිල අසල ඡායාරූප මතකයක් පමණි! එම ගමනේදී නිශාන්හා මධූහට (විශේෂයෙන් නිශාන්හට) යාපනය දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ඡායාරූපයක් ගැනීමට ඇවැසි උනත් මා එය නිර්දය ලෙස ප්‍රථික්ෂේප කිරීම පිළිබඳව මා තුල අදටත් පවතින්නේ කණගාටුවකි. 
සංගමන්කන්ද තැපැල් පෙට්ටියේ රූගතකිරීම් වලින් අනතුරුව පැද යාම ඇරඹුවද ඉන් ඉතා කෙටි දුරක් අතර හමුවූ කුඩා කැලෑ මණ්ඩිය ස්නායු පද්ධතිය වෙත ගෙන ආවේ අවකාශයට නිරාවරණය වීමේ අවශ්‍යතාවයකි. මා ඊට නැවතී නැවත ගමන් අරඹන විට නිශාන්; නොපෙනෙන දුරක් ගමන් කොට තිබුනි. එයට ප්‍රධාන හේතුව; මා ඒ සඳහා ඔහුට අවසරය දීමම විය හැකිය. එතැන් සිට කිලෝමීටර ගනන් දිගැති මාර්ගයන් තුල ඔහු නොපෙනෙන ඈතක ගමන් කොට තිබුනි. 
එය මා ඔහුගෙන් යාපනය සංචාරය තුලදීද දුටුව ගුණාංගයකි. මේ නිසාම එතැන් පටන් බොහෝ වේලාවක් යනතුරු ඔහුව දකින්නට නොලැබුනු අතර මමද මාගේ රිදමයෙන් පැදීම කරගෙන යෑම කරගෙන ගියෙමි. මෙවන් දීර්ඝ සංචාරවලදී; තමා හැර ගියවුන් සොයා හැල්මේ පැදීම නොකල යුතු එකක් සේ මා දකිමි. අප අපගේ ශක්තිය; දිනය පුරා පැදීම සඳහා පවත්වා ගත යුතුය. එසේම සයිකලයේ හෝ තමාගේ ශරීරයේ සිදුවිය හැකි ආපදාවක් කරණ කොට ගෙන සියළුම කටයුතු අවුල් වීමට ඉඩක් තිබේ. 
මේ නිසාම මා මාගේ රිදමයෙන් ඉදිරියට පැදයමින් විය. ඒ සමගම මාගේ සිතට ගලා ආවේ; මේ රටේ එක් ඉමක් වුනි නම් මුහුද නොපෙනෙන්නේ මන්ද?" යන පැනයය! එසේම සිව්කොනේ ප්‍රදීපාගාර පිහිටා ඇත්නම් සංගමන්කන්ද Light House එක කොහිද? මා මගෙන්ම ඇසුවෙමි. ගමන් මගේ ඊළඟ සංදිස්ථානය වූයේ කුඩා මංසංදියකි. මෙය හරියටම දැනෙන්නට කියනවානම් පුංචි හංදියකි; කඩ කාමර හතරක් පහක් ඇති. එහි කුඩා කෑම කඩයක්, හා බාබර් සාප්පුවක්, සිල්ලර කඩයක්, එළවළු ලෑල්ලක් පිහිටා තිබුනි. එතැන බසයකට නගින්නට සුළු පිරිසක්ද විය. මා ඔවුන් වෙත ලඟාවී මේ පිළිබඳව මහත් ආයාසයකින් නිශාන් පිළිබඳව විමසුවද ඔවුන් ගෙන් කිසිදු යහපත් ප්‍රථිචාරයක් හෝ ආරංචික නොලැබුනි. "නිශාන් කොහි ගියාද?, ඔහු ප්‍රදීපාගාරය සොයා ගියේද???  සිතා ගත නොහැක! ඒ පිළිබඳව සැක හැර දැන ගැන්නීමට නොහැකි වන තරම් එතැන සිට පිරිස හා මා අතර භාෂාමය බාධකයක් පැවතුනි! පසුව ඔවුන්ගෙන් ප්‍රදීපාගාරය පිළිබඳව; "Light House?" යැයි විමසූ විට ඔවුන්; මාර්ගයේ දකුණු පසට එනම් රටේ නැගෙණහිර දෙසට විහිදුනු දෙවැටක් පෙන්වීය. මීට දශක ගනනාවකට පෙර තාර අතුරා  තිබුනු මාර්ගයේ දැනට මතුපිට පැවතියේ ඊට දුර්වල සාක්ෂි පමණි. මාර්ගය අඩි දහයක දොළහක පළලකින් යුක්ත විය. 
සීතාවක රජ දවස සිටි "අරිට්ඨ කීවෙන්ඩු" නම් ඉන්දීය සම්භවයක් පූජකයා අවසානයේ පැවසූ පරිද්දෙන්;  "රාජාහෝ - මාහෝ - ගංගාහෝ" කියා නන්නාදුනනා පාරකට මමත් වැටුනෙමි. පසුවෙන සෑම මීටර 100කින් - 200 කින්ම පාර වඩ වඩාත් ග්‍රාමීය වූ අතර ජනශූන්‍ය විය. අඩි 10-12 පාර අඩි 4 -5ට කෙට්ටුවී අවසානයේ අඩි පාරකට නැඹුරු විය. කුඩා බෝක්කුවක් හා සපත්තු පාලමක් - පාලමක් කීවාට එයද අඩි 4 ක පලලින් හා අඩි 6-7 ක් පසු කරමින් තවත් ඈතට පැද ගියෙමි. සපත්තු පාලම මතින් අඟල් 9 ක පමණ දිය දහරාවක් පැතිරී තිබුනි. එතැණ් සිට මා නිශාන් ඇමතීමට උත්සාහ කලද "ඩයලොග්" ඊට හරස් විය.   එම අඩිපාර දිවුනේ කුඩා ලඳු කැලෑ රොදවල් හා පුරන් වී ගිය කුඹුරු අද්දරනි. කැලෑ රොද හරකුන් විසින් උලා කා බිම්මට්ටමට ගෙවුනු තණ තලාවකින් වැසී ගොසිනි. වම් පසින් ඇති පෙර කී කුඹුරු ලියැදි කිහිපය ට ඔබ්බෙන් ඈතින් උස් ගස් පේලියකි. ඒවා අතර තල් ගසුත් තිබුනාද කියා දැන් මතකයට නො ඒ! ගස් පේලියට ඔබ්බෙන් වගා බිමකි. එහෙත් එහි කිසිවෙකු පෙනෙන්නට නොසිටියේය. එම වගා බිමේ පොලොව සකස් කර තිබුනේ කිසියම් වගාවක් සඳහා වියයුතුය. දකුණු පසින් වූ; මා පෙර කී වන රොද කුඩා පඳුරු ගැවසී ගත්තේය. එය අපට හුරු පුරුදු දං කැලයක් සේය. මේ සියල්ල අතරින් මිනිස් පුළුටක් නොමැති ඉසව්වක ප්‍රදීපාගාරයක් සොයා මා සයිකලය පදිමින්ය. අඩි පාර ගොස් වැටුනේ පස් මං හංදියකටය. එතැනින් ප්‍රදීපා ගාරය සොයා යා යුත්තේ කුමණ මාරගයේදැයි සිතා ගත නොහැක. ඉන් එක් මාර්ගයක් තෝරා ගෙන මා ඉදීයටම ගියෙමි. 
අප කුමණ රාත්‍රියක අවදි වූවද ඔරලෝසුව නොබලා ඒ දිනයේ කුමන හෝරාවදැයි යම් අදහසක් ගොඩනගා ගත හැකිවේ. එයට උදව් වන්නේ අපගේ සිරුරේ ඇති "ජීව ඔරලෝසුවයි"! එසේම කල්පණාවෙන් යුතුව ගමනක යෙදෙනා විට; එම මාර්ගය කුමණ අතකට හැරුනද අදාල අවස්ථාවේදී අප ගමන් කරමින් සිටින්නේ කුමණ දිශාවකට දැයි දළ අදහසක් සිතේ ඇතිවේ. පස් මං හංදියෙන් ඔබ්බට දිවෙන තවත් අඩි පාර හතරක් තිබුනත් මාගේ "ජීව මාළිමාව" තෝරා දුන්නේ ඉන් මාර්ග දෙකක් පමණි. ඉන් එක මාර්ගයක ටික දුරක් ගමන් ගනිද්දී පාරේ තිබුණු දැඩි නො එසේ නම් දෘඪ ස්වභාවය; මා ආපසු හරවනු ලැබීය. මන්ද වෙරළක් ආසන්නයට දිවෙන මාර්ගයක් එසේ ද්‍රඪ වීමට ඉඩක් නොමැත. එය වඩ වඩාත් මෘදු වැලි වලින් වැසී තිබිය යුතුමය! මෙසේ නැවතත් පස් මං හංදියට පල්ලම් බැස ආ මම; "ජීව මාළිමාවෙන්" තෝරා දී තිබුනු ඉතිරි මාර්ගය ඔස්සේ ගමන් ඇරඹීය. එවර මාගේ නිගමනය නිවැරදි විය. මීටර දෙතුන් සීයක් ගමන් ගනිද්දී එය වඩාත් මෘදු වැලි පාරකට පරිවර්ථනය විය. තවත් ටික දුරක් ගෙවෙද්දී සයිකලය පැද යාම අතිශය අමාරු කටයුත්තක් වන තරමට එහි රෝද එරා ගියේය. මා ගමන පිටත් වීමට ප්‍රථමයෙන් සයිකලය සන්නද්ධ කල Mega Wheel එකටද මා ගෙනයාමට නොහැකි විය. මේ වන විට මා සයිකලය තල්ලු කරමින් වුනු අතර තවත් ටික දුරකින් අඩි පාර වෙනත් දෙසකින් ආ කුඩා පාරකට එක්වී ගමන තරමක් පහසුවිය. 
එම මාර්ගය හරහා කේබලයක් ඇද හරස් කොට තිබුනු අතර එය යටින් රිංගා ගිය මාහට දකින්නට ලැබුනේ පොල් වත්තක් මැද පිහිටා තිබුනු  Chellet පන්නයේ හෝටලයකි. එයට ළඟා වූ මාහට; එහි සිටි කොණ්ඩය උර හිස තෙක් වවා ගත් උස් තරුණයෙකු හමුවූ අතර ඔහුගේ මග පෙන්වීමෙන් එම හෝටලය පසුපස වූ නටබුන් වූ ප්‍රදීපාගාරය සොයා ගැනීමට හැකිවිය. හෝටලයේ මායිම ඔස්සේ වූ එරෙණ සුළු වැල්ලේ සයිකලය තල්ලු කරගෙන වෙරළට ගිය මා හට එය දිස්වූයේ පැරණි බළකොටුවක නශ්ඨාවශේෂ සේය.
එහි ඡායාරූප සාක්ෂි සටහන් කරගත් මා නැවත හෝටලය වෙතට පැමිණ තරුණයා හමුව; ඔහු විසින් යෝජනා කල තේ කෝප්පයද සාදර සිතින් ප්‍රථික්ෂේප කරමින් ආපසු හැරුණෙමි. නැවතත් සුපුරුදු ගමන් මගේ පස්මං හංදිය තෙක් පැමිණි මාහට එතැනින් පහ පාරට එන්නට පටන් ගතිමි. 
මීටර 50 ක පමණ දුරක් පැමිණෙද්දීම එය මා යායුතු මාර්ගය නොවන බව තේරුම් ගිය අතර නැවතත් පස් මං හංදිය වෙත පසු බැසීමි. තව වරක් උත්සාහ කලමුත් එවරත් මා තෝරාගෙන තිබුනේ නිවැරදි මාර්ගය නොවීය. ඒ වන විට මාගේ සිත තරමක් කලබල වී තිබුනි. සිත කලබල නොවී පවත්වා ගැනීමට කෙතරම් උත්සාහ කලද ඊට ඉඩක් නොමැතිවිය. සත්තකින්ම මා අතර මං වී සිටියෙමි. නන්නාදුනනා පලාතක මාගේ භාෂාව නොදත් පරිසරයක මා අතර මං වී ඇත. අසන්නට කෙනෙක් හෝ එසේ සිටියද මා කියන්නක් තේරුම් ගැනීමට හැකි අයෙකු මෙහි නැත. කිසියම් උපද්‍රවයක් සිදුවුවහොත්; මා මිය ගිය බව දන්නා කියන අය දැන ගැනීමට අවම වශයෙන් දින දෙක තුනක් හෝ ගතවේ. වසික මේ හදිස්සියේ එන්නේ ඒ නිසාමද? මෙසේ විනාඩි 15ක පමණ කාලය මිඩංගු කිරීමකින් පසුව නිවැරදි මාර්ගය මාහට තෝරාගත හැකිවිය.
එහෙත් ඒවන විට සයිකලය කිඹුලා බනිස්ගෙඩියක් හෝ චයිනීස් රෝලයක් මෙන් වී තිබුනි. සිහින් වැලි සයිකලයේ නොගිය අස්සක් මුල්ලක් නොමැත. චේන් ස්ප්‍රොකට්ස් ආදී සියළුම කොටස් සිහින් මුහුදු වැළි වලින් පිරී තිබුනු සයිකලයේ රිම්  හා රෝධක කොටස් ගැන කුමණ කථාද? ඒවා සියල්ල වැලි වලින් වැසී ගොසිනි. සයිකලය නැවත පැදීමටනම් එය මුළුමණින්ම පිරිසිදුකල යුතුව තිබුනි. සයිකලය තල්ලු කරගෙන ආපසු සපත්තු පාලම වෙතට පැමිණි මා සයිකලය ඇඟට හේත්තු කරගෙන එයට දෝතින් වතුර ගෙන වක් කරමින් සෝදන්නට විය. මහත්වූ පරිශ්‍රමයකින් පසු සයිකලය යතා තත්වයට ගත් මා නැවතත් සෙමෙන් සෙමෙන් ප්‍රධාන පාර දෙසට පදින්නට විය. සයිකලය නැවත පාරට පැමිණෙන විට පසු පස රෝදයේ අමුත්තක් දැනුනි. රෝදයේ හුළං බින්දුවට ආසන්නයේය. වාසනාව ඒ මොහොතේත් මා සමග සිටගෙනය. පාර මාරුවූ තැනම අහිංසක දුප්පත් වින්කලයක්ය. සයිකලයට එතැන ගාල් කොට අසල වූ හෝටලයෙන් පාරාටා දෙකක් කෑමට මා හැරුනෙමි.
සංගමන්කන්ද ප්‍රදීපාගාරය
7.57AM



Light House Beach Hut - Komariහෝටලය අසලන් 
වෙරළට දිවෙන  වැලි පාර


හිතා ගන්න පුළුවන්ද ගිහින් තියෙන දුර ප්‍රදීපාගාරයක් සොයා!

9.35AM

9.35AM

9.35AM
නැවත අප මුණ ගැසෙන්නේ තව පැය දෙකක් පමණ ඉකුත්ව කිලෝමීටර 25 කට කිට්ටු දුරක් ගිය පසුවය. ඒ අක්කරෙයිපත්තු නගරය ආසන්නයේදීය! මාගේ මතකය නිවැරදි නම්  ඒ පෙරිය කුලම් ජලාශය අවසානයේදීය. ප්සුව ඒ ආසන්නයේ පිහිටි ආපන ශාලාවකින් මොන මොනවාදෝ කාදමා තේ බී අවසානයේ යලිදු පදින්නට විය.
9.48AM

9.48AM












11.28AM

11.29AM

11.55AM

11.55AM


Kalawanchikuddy
12.26AM
අක්කරපත්තුවෙන් පසු ඔලුවිල් පසුකොට කල්මුනෙයි ප්‍රදේශයේ ස්සරවත් කෙත්වතු පසුකරමින් අප එක දිගටම පැමිණියෙමු. කලුවන්චිකුඩි නගරය ආසන්නයෙන් ව්ල්ලාවලි නගරයට හැරෙන හංදිය හමුවේ.  එතැණ් සිට වම් පසින් දිස්වන කරදිය ජලාශ පසුකරමින් කාත්තන්කුඩි නගරයරයටද එතැනින් මඩකලපුවටද ආවෙමු. ඒ වන විට වැසිබර කාළගුණයක් අහලකවත් නොතිබුනු අතර මඩකලපුවේ කල්ලඩි පාලම පසු කරණ විට වේලාව පස්වරු  2.20 පමණ විය.
Kalladi Bridge 2.22AM
"කල්ලඩි පාලම" ට ආදරණීය ආමන්ත්‍රණයක් අප හැමගේ සිත්තුල පවතී. ඒ "සින්දු කියන මාළුන්" පිළිබන්දව මතකය සමගය. එය මහනුවර නිරිතදිග බෑවුමේ  පිහිටි "හන්තාන" යන නාම පදය සමග සිතට එන හැඟීමට ඉතා ආසන්න හැඟීමකි. පේරාදෙනිය සරසවියට උපන් බුද්ධ හඳවියක පය ගසා නැති අයෙකු තුලද "හන්තාන" ප්‍රේමණීය හැඟීම් ජනිත කරවයි. "කල්ලඩි පාලමද" එවන් සොඳුරු අදහස් දනවන ජීවමාන වස්තුවක්සේ මා දකිමි. 
කල්ලඩි පාලම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ; හරියටම කියනවා නම් 1924 දි පිහිටුවන ලද්දකි. එම පාලම මුල්කාලයේදී නම් කරණ ලද්දේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙකුවූ විලියම් මැනිංගේ බිරිඳ නමිනි. ඒ "මැනිං ආර්‍යයා පාලම" ලෙසය.  එය එකල ශ්‍රී ලංකාවේ පැරණිතම දීර්ගතම යකඩ පාලම විය. 
සින්ංදු කියන මාළුන් පිළිබඳ පුරාවෘථය 1954 වැනි අතීතයක සිට පැවත එන්නකි. මඩකලපුවේ ශාන්ත මයිකල් විද්‍යාලයේ සිටි අමෙරිකානු පූජක දෙපලක් වූ Rev. Fr. Lang හා Rev. Fr. Moran යන දෙපල විසින් 1954 වසරේදී මෙම කල්ලඩි පාලම යටදී මාළුන්ගේ ගී නද තැටිගත (හෝ පටිගත)  කරණු ලැබූ අතර එය 1960 වසරේදී ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරයවී ඇත! කල්ලඩි පාලම ලඟ මාළු කියන සිංදු මෙතැනින් සවන් දෙමින්ම කියවාගෙන යමු.
ගමනාගමනයේ පහසුව තකා 2013 වසරේදී; JAICA ආධාර යටතේ මීටර 288.35 දිගින් යුතුව ඉඳිවුනි!
Google

Google


කිරාන් යනු A15; එනම් මඩකලපුව - ත්‍රිකුණාමලය යා කරණ මාර්ගෙයේම පිහිටි කුඩා නගරයකි. මෙයට නගරයකි කීවාට මෙය නගර කාලකි! පාසිකුඩා - කල්කුඩා සංචාරක කලාප පිහිටා ඇත්තේ මෙම A15 මාරගයට ඔබ්බෙන් දකුණු පසින් වන අතර එම ප්‍රදේශයට යාම සඳහා මෙම ප්‍රධාන මාරගයෙන් හැරී දකුණු පසට ගම්න් කල යුතු වේ. සයිකලයක පිහිටෙන් රට වට කරණ්නට යන අපට මාර්ගයෙන් මීටර 500ක් ඔබ්බෙන් පිහිටි පිහිටි දිව්‍යලෝකයටද ගව් ගණනකි. එබැවින් වෙරළ ඉම වෙනුවට රට මාධ්‍යයේ පිහිටි කුඩා කඩ මණ්ඩියක පිහිටි කිරාන්හී පැවති ප්‍රාථමික නවාතැන් පොලක නැවතීමට අප හිත හදා ගත්තෙමු. එම අවන් හලේ නම මේ මොහොතේ මතකයට නගා ගැනීමට අපහසු වුවද; එම ස්ථානය බලා කියා ගත්; හිංගල මළපොතේ අකුරක් නොදත් ඔවුන් අපට රාත්‍රී ආහාරය ඉතා රසවත්ව සකසා දුන්නෝය! ඔවුන් සැපයීමට සූදානම් වූ "අනාපු බත්" වෙනුවට මාගේ මෙනුවකට සාදන ලද පරිප්පු, තෙල් දමන ලද හාල්මැස්සෝ හා තක්කාලි සලාදය සමග; අත පිච්චෙන උණු උණුවේ බත් අප මදි නොකියන්නට කොටා බෑවෙමු. සත්තකින්ම එය ඉතා රසවත් ආහාර වේලක් විය - 8.8  Lion Strong Lager සමග එක්ව! හොඳින් බඩ කට පුරා සප්පායම් වූ අප විනාඩි ගනනක් "මරු" කියවමින් සිට සයනයට වැටුනෙමු. 
වියළි රාත්‍රිය සිසිල් විය! කාමරයේ සිවිලිමේ සිට කරකැවුනු පංකාව නොනවත්වා සිසිල් සුළඟ අවකාශය පුරා සැපයුවේය. සිරුරේ මාංශ පේශීන් යන්තමින් රිදුම් දේ. සුව පහසු සයනය ඊට අවශ්‍ය පරිදි විවේක ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැකසුවේය. කුස පිරී ඇත. මනස සැහැල්ලුය. හිස රිද්මයානුකූලව පාවෙමින්ය. හොඳ නින්දකට අවශ්‍ය සියළුම අමු ද්‍රව්‍ය එකට පෙළ ගැසී ඇත!

"ජීවිතේ සුන්දරද . . . . මෙතරම් . . . . . . . . !?"

31 comments:

  1. Great. This tour is one of my dreams. Wonder whether I can make it a reality.

    ReplyDelete
    Replies
    1. සිහින තියෙන්නේ සැබෑ කර ගන්න! මේක කරණ්ණ බැරි දෙයක් නෙවෙයි. මම කල කී දෑ හැම දෙයක්ම ලියලා තියෙන්නේ; තව කෙනෙකුට කරණ්න පුළුවන් බව දැනෙන්න! මම කැමතිම දේ; මේ දේවල් තව කෙනෙක් කරණු දැකීම!

      Delete
    2. ස්තූතියි. ඔබේ මේ චාරිකා සටහන් හොඳ උත්යේජකයක්. ඔසී වටා යන්න බැරි උනත් ඉන්න පලාතේ ලග පාත පැදල විස්තර දැම්මොත් පංකාදුයි.

      Delete
  2. තනියම ප්‍රදීපාගාරය සොයා ගිය ගිය ගමන ලොකු අවදානම් ගමනක් නොවැ. හදිසි කරදරයක් උනොත් ෆෝන් සිග්නල් නැති නොදන්නා පලාතක යාලුවාට ටෙලිපති ඉවෙන් මිසක් ලොවෙත් හොයා ගන්න නම් බැරිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් හිතුවාම නම් එහෙම හිතෙනවා! ඒත් ඒ ගමන ගියේ අඩියෙන් අඩිය . . . . මීටරයෙන් මීටරය නොවැ!? ඒක හරියට බූරු පිටියකට ගිහින් අන්තිම සත පහටම පරාද වෙනවා වගේ එකක්. දැන් දිනයි . . . දැන් දිනයි . . . . කියලා හිත හිතා ඔට්ටු අල්ලනවා වගේ . . . .. දැන් දකින්න ලැබෙයි . . . දැන් දකින්න ලැබෙයි . . . . . කියලා හිත හිතා යනවා. ගිය දුර හැටියට නොදැක එන්නත් බැහැ නොවැ!?

      Delete
  3. දවස් තුන හතරක් ඇවිත් බැලුවා තට්ටයා අයියා කතාව ලියලද කියලා..... ඇති යන්තම්....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න එකසිය ගානට! මේ දවස් වල නුහුරු පරිසරයක නොවැ!? ඒකයි! කොහොමත් දැණ් දිගටම වගේ ලියැවෙයි. ආ! තව දෙයක්! අර WhatsApp සමූහයේ වෙලාවල් පිළිබඳව ගැටළුවක් ආවා! පස්සෙ බැලුවාම පැය 4 1/2 ක වෙනසක් මේ පරිසරය තුල තිබෙන බව අන්තිමේදී මතක් උනා. ඒක නිරාකරණය කර ගන්න කාලයක් ගත උනා! ස්තූතියි රැඳුනාට!

      Delete
  4. හප්පේ ලැයිට් හවුස් එකක් හොයාගන්න විඳල තියෙන දුක.
    ඔහොම යං ඉස්රහට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගමනට එක්වෙනවාට!

      Delete
    2. ස්තූතියි ගමනට එක්වෙනවාට!

      Delete
  5. නියමයි. ජීව මාලිමාව කතාවනම් හරියටම හරි. දවස් 2-3 ක ගමනක් නම් මමත් එනවා ඔය දෙන්නත් එක්ක.

    ReplyDelete
  6. දවස් දෙකක් පදිනවා වගේම තමයි ඉතිරි දවස් අටත්! ස්තූතියි රැඳුනාට!

    ReplyDelete
  7. සීතල නකල්ස් පැත්තේ ගොස් හිටි හින්දා
    උතුරේ දාහෙ වැඩියෙන් දැනුනද මන්දා
    ඒත් මොකද, ඔය ටික ගිය හැටි පෙරදා
    මැවුණා හිතේ, සුන්දර තතුවලින් මෙදා!

    ReplyDelete
    Replies
    1. ජය වේවා! නකල්ස් ගියා කිව්වාම නම් ටික වෙන්න ඊරිසියත් හිතුනා!

      Delete
  8. ඔසීබිම වටා ප්ලෑන් එකක් තියනවද ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් අම්මට සිරි වෙනම වැඩක්නේ! ඒක කිලෝ මීටර 15000ක් විතර වෙනවා. අපි පදිනවා වගේ දවසකට 150ක් පැද්දොත් දවස් 100ක් ඒ කියන්නේ මාස තුනක් යනවා. අමාරුම වැඩේ ඒක නෙවේ. නගර අතර ඇති අධික දුර! ඒ අතර කිලෝමීටර 150 න් 150ට නවතින්න තැනක් නොමැති බව. අනෙක් භයානකම දේ තමයි සමහර පලත්වල පරිසරයට නිරාවරණය වීමම මරණයට හේතුවක් විය හැකි වීම. ඊට හේතුව අධික සීතල හෝ උෂ්ණය විය හැකියි. රටවල් 25ක සයිකල් පැද තිබූ ජර්මන් ජාතික උල්ෆ් (මට මෙයා එක්ක කිලෝමීටර 26ක් පදින්න අවස්ථාවක් ලැබුනා!) උනත් ඕස්ට්‍රේලියාවේ පැදලා නෑ! ඊට හේතුව රටේ අප්‍රමාණ විශාලත්වය!

      Delete
  9. Hamaddama wage niyamayi.JEEVITHEE SUNDARADA metharam.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එකෙන්ම! ඔව් ඇත්තටම "ජීවිතේ සුන්දරද මෙතරම් . . . . .!" තමයි; හිතුවාම.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කල්ලඩි පාලම පාමුල සිංදු කිව්ව මාළුවෝ... සිංදුවත් මතක් උනා.
    කොලොම්පූර් කිව්වා වගේ ප්‍රදීපාරේට ගිය ගමන ලොකු අවධානම් වැඩක් නෙ. ආයේ ඉතීම් බැලුහම ජීවත් වෙනව කියන්නෙත් එක අවධානමක් නොවැ 😄

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම ඒක තරමක් භයානක වැඩක් තමයි. ඒත් ඉතිං ජීවිතේ උන දේවලුයි කල දේවලුයි ගත්තාම නම් ඒක සාමාන්‍යයි වගෙයි. අනෙක ඒ වෙලාවෙ මට එහෙම හිතුනේ නෑනෙ! හැබැයි අතර මං උනාම නම් සිරාවටම බය උනා!
      ඔව්! මම හිතාන හිටියා කපුගේ ගේ ඔය සින්දු කියන මාළුවෝ එක් කරණ්න පෝස්ට් එකට! අනේ ඒක අමතක උනානේ!

      Delete
  12. Replies
    1. ටැන්කිව්! ටැන්කිව්!!

      Delete
  13. කොහේ හරි ඇවිදිනකොට , යනකොට තමයි මටත් ජීවිතය සුන්දරයි කියල හිතෙන්නේ

    ReplyDelete
  14. කිරාන් ගැන කෝප්රල් ආරච්චිත් ලියල තිබුණා කාලෙකට කලින්...

    www.rasadawatha.blogspot.com

    ReplyDelete
  15. https://rasadawatha.blogspot.com/2020/05/blog-post_9.html

    ReplyDelete
  16. සුභ ගමන් චාරිකාව සාර්ථකව නිමකරන්න ශක්තිය ලැබේවා ... ලයිට් හවුස් එක දැක්කම හිතෙන්නේ සංචාරක ආකර්ශනය දිනාගන්න පුළුවන් තැන්වලට බලදරින් සලකලා තියෙන හැටි, අඩුම ගානේ යන පාරවත් සලකුණු කරන්න බැරිද ..

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...