ඇය ජීවිතයේ මා ලද හොඳම ගමන් සගයා වූවාය. කිලෝ මීටර දහස් ගනනක් ඇය මා සමග ගමන් කලාය. ඇයව මට මුණ ගැසුනේ කිරිඳිවැලදීය. කලෙක පටන් අප පැද ගියේ සාමාන්‍ය සයිකල වූ අතර අපගේ කල්ලිය අතරට පැමිණි ප්‍රථම බ්‍රැන්ඩඩ් හෙවත් උසස් පෙලපතකට හිමිකම් කියූ ගමන් සගයා ඇය වූවාය.
මීට වසර ගනනාවකට පෙර එතෙක් අප පැදි සාමාන්‍ය සයිකල් වලින් ඇත්වී බ්‍රෑන්ඩඩ් සයිකලයක් ගැනීමට මාහට සිත්විය. එකල; දවස පුරා; ලැබුණු හැම ඉසිඹුවකදීම ikman.lk හරහා එවන් සයිකලයකට ඉව අල්ලමින් විය.
Google තුල ලොව හොඳම සයිකල් දහය අතර නමක් දිනා ගත් Treck, Giant, Cannondale, Scott, Fuji වැනි සයිකලයක් සොයා ගැනීම එම ඉව ඇල්ලීමේ අරමුණ විය. දිනක් ඊට යහපත් ප්‍රථිපලයක් ලැබුනි. ඒ කිරිඳිවැල නිවැසියෙකු පල කල තිබුනු දැන්වීමක්ය. "Scott සයිකලය - විදෙස් රටකදි මිලදී ගත් සයිකලය, ඉතා අඩු දුරක් පැද ඇත. Rs: 23,000" මම වහාම පහතින් දැක්වූ නොම්මරය අමතා රුපියල් 18,000 ක ඔෆරයක් ගැසූ අතර එය 20,000 න් නැවතුනි. කතාවට අනුපාන වශයෙන් අයිතිකරු එක් කල; "ඉක්මනට ඇවිත්; ගන්නවනම් ගන්න, කීප දෙනෙක්ම අහලා එනවා කිව්වා!" යන්නෙන් මාව කෙතරම් සුපිරියට ඇන්දවීමට ඔහු සමත් වූවාදැයි පවසනවානම්; මා සයිකලය පියවි ඇසින් නොදැක එයට ; ණයට ඉල්ලාගත් රුපියල් 4000 ක අත්තිකාරමක් ඔහුගේ ගිණුමේ තැන්පත් කිරීමට පෙළඹුනි! මේ කියන කාලයේ සාමාන්‍ය සයිකල තුනක් මා මිලට ගත්තේ රුපියල් 21000 කටය!
ඊළඟ සති අන්තයේ මා කිරිඳිවැල බලා බසයෙන් ගොස් යන්තමින් ඔහුගේ ගෙය සොයා ගත්තෙමි. එතෙක් වැඩ නිමකර නොමැතිව තිබුනු නිවසක ඉදිරි පස ජෑම් ගහකට හේත්තු කොට තිබුනු සයිකලයේ ස්පෝක් කම්බි එක් කොට මකුළුවන් දැල් බැඳ තිබුනි.
සයිකලයේ අයිතිකරු ලෙස පෙනීසිටියේ සිහින් සිරුරකින් යුත් තරුණයෙකි. සරමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු මෙම සයිකලය මිලදීගෙන තිබුනේ සවුදි අරාබියේ සයිකල් සාප්පුවකිනි. එම සාප්පුවේ නම සඳහන් කහ පැහැති කුඩා ස්ටිකරයක් සයිකලයේ අලවා තිබුනි. රෝද දෙකම කුසගින්නේ පිට පොත්තට ඇලී තිබුනි. අසල නිවසකින් ඉල්ලාගත් පොම්පයක පිහිටෙන් ටයර පුම්බා ගත් පසු ඔහු ඇසූ පලමු පැණය වූයේ "මොකේද ගෙනියන්නේ? කියාය. එවකට එක් වරක් කිලෝමීටර 69ක් සයිකල් පැද තිබුනද මෙකල මෙන් දුර පැදිමක් මා කර නොතිබූ අතර කඩවතට සයිකලය පැද ඒමට මා සිතා සිටියෙමි. එය එසේම සිදුවිය. සයිකලයේ ගියර නියමාකාරයෙන් ක්‍රියා නොකල අතර එමනිසා සියළු ගියර වල ධවනය කීරීමට නොහැකිවිය. එම නිසාම මහත්වූ වැර වෑයමකින් පසුව කඩවතට ලඟාවන්නට පැය ගන්නාවක් ගතවූ අතර තවත් දින ගනනාවකට පසුව සයිකලය යතා තත්වයට පත් කර ගැනීමට හැකිවිය!
මා කුඩා කල සිට සයිකලයකට මහත්වූ ඇල්මක් දැක්වූ අයෙකුවුවද සයිකලයක් ලැබුනේ පාසැලේ 10වන ශ්‍රේණිය පසුවූ පසුවය. එයද RMI සයිකලයකි. අපගේ බාප්පා කෙනෙකු අහක දමා තිබුනු එය අම්මා මිලට ගත්තේ ගෙඩි රුපියල් 250 ක් වියදම් කරමිනි. මම මේ කියන්නේ 1982 වසරේ දීය! පසු කලෙක අගනා පැරණි රැලේ රෝයල් සයිකලයකට හිමිකම් කියන්නට ලැබුනද බොහෝ කාලයක් සයිකලයක් නොමැතිව දුකින් සිටි අයෙක්මි. එය කෙතරම්දැයි පැවසීමට නොහැකි තරම් කණගාටුදායක කාලයක් විය. සයිකලයක් ඉල්ලාගෙන පැදීම යනු ඉතාම අසරණ තත්වයකි. මා පාසලේ 7 - 8 වසරවල ඉගෙන ගන්නා කුඩා දරුවෙක්ව සිටියදී වැඩිහිටි තරුණයෙකුගෙන් සයිකලය ඉල්ලූ විට ඊට හිලව්වට ඔහු මගෙන් බලාපොරොත්තු වූ දෙය මා මෙහි නොලියා තබන්නම්!
එහෙත් පසුකාලීනව එනම් Scott P6 Sportster සයිකලය කැන්දාගෙන එන සමය වන විට මා සතුව සයිකල් 9 ක් පැවතුනි. 9ක් තියා 10 ක් පැවතුනද මා සතුවූ ප්‍රමිති ගත සයිකලය වූයේ Scott සයිකලය පමණකි.
පසු කලෙක එම සයිකල් විකුණා දමා; විටෙක හුවමාරු කරමින් Trek Fx 7100 සයිකලය නිවසට එන තෙක්ම බ්‍රැන්ඩඩ් සයිකලයක් ලෙස පැවතුනේ Scott සයිකලයය.
පසු කලීනව මා සතුවූ Trek සයිකලයට: කොළඹ ගමයාගේ ගජ මිතුරු ජනක ලක්මල් රුපියල් 40,000 ක් දී කරගැසීමේ සිට මා අතට පත්ව වෙන්ව ගිය GT Urban 4.0, Giant Escape, Giant Rock 4500 වැනි නම් දරාපු සයිකල මා විකුණා දැමූවද Scott සයිකලය විකිණීමට හෝ මාරු කිරීමට මාගේ සිත එකඟ කර ගැනීමට නොහැකිවිය! "මචං අළුත් එකක් තියාගෙන පරණ එක අත ඇරපං!" කියා බොහෝ දෙනා කීවාට එය මට කල නොහැක්කක් විය. ඇයත් මාත් අතර තිබුනු අන්‍යනෝන්‍ය හඳුනා ගැනීම තේරුම් ගැනීම බැඳීම ඒ තරම් විය. බොහෝ ගමන් සඳහා අළුත් සයිකල තෝරා ගෙන සකසා, ලිහිසනය කොට නිමවා තිබුනද අවසන් මොහොතේ තෝරා ගත්තේ Scott එකමය. කෙතරම් ඇඳුම් ආයිත්තම් තිබුනත් ගමනක් යන්නට සූදනම්වූ විට පරණ Levi's හම්පඩයටම හිත යාම පිරිමින් අතරේ සාමාන්‍ය තත්වයකි. බැඳීමට ලංසු තැබිය නොහැක!
එය ඒ තරම් ආදරණීය, හැඟීම්බර වේදනාකාරී, සුන්දර මතක රාශියක් එය සමග එකතුවී තිබුනි.
කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය සකසන කාලයේදී එක් රාත්‍රියක සිදුවූ අනතුර, රත්මලන මැලිබන් හංදියේදී දකුණු අතේ ඉහල මස් ගොබයේ මැහුම් දහයක කැපුම් තුවාලයක කැළලක් සණිටුහන් කරමින් සිදුවූ අනතුර හා අවසාන වශයෙන් තිහාරියේදී පාර මැදවූ ටෙලිකොම් මරාලයක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරෙනුත් පසුව; සයිකලය ; මා නිවසට ගෙන ඒමට තරම් ශක්‍යතාවයකින් හා ජවයකින්යුක්තව සිටියේය.
මෙම සයිකලය හා බැඳුනු ආදාණීය මතක හදවතට කිසිදාක මතකයෙන් ගිලිහී නොයනු ඇත!
කාලය ගෙවී මා හට උපන් බිමෙන් වෙන්ව කුඩා කලකට වසික හා කල්මලී සමග ජීවත් වන්නට කැන්ගරු දේශය බලා එන්නට සිදුවූයේ පසුගිය 15 වන දිනයේදීය. ඒ සඳහා එරටින් මාහට අවශ්‍ය බල කඩදාසි ලැබුණු දිනයේ සිට මා; නිමකල යුතු, කල යුතු හා සකස් කලයුතු කටයුතු කාර්‍යය 71ක් සණිටුහන් කරගෙන ඒවා නිමකිරීමට පටන් ගත්තෙමි.
ඒ සමග ම වසිකට කතා කොට මට කැන්ගරු දේශයෙන් සයිකලයක් සම්පාදනය කරගන්නා ආකාරය පිළිබඳව විමසීය.
"හරි තාත්ති! අපි එකක් ගම්මු!"
"මම සයිකලයක් ගෙනාවොත්!?"
"අවුලක් නෑ! ගේන්න පුළුවන්නම්! ඇත්තටම මම ඒක ගැන දන්නේ නෑ!"
ඒවන විට Scott සයිකලය වෙනුවෙන්; ලක්බිමේදී මාගේ ගමන් සගයා වීමට තවත් දෙදෙනෙකු සැදී පැහැදී සිටියෝය. ඒ තවමත් ගිලන් ඇඳේ පසුවන Giant SCR1 Drop Handle Tour සයිකලය හා Chevaux 1CV Hybrid සයිකලයය.
එහි මූලික වැඩ කටයුතු අතර Scott සයිකලය රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමද මූලික තැනක් ගත්තේය! මව්බිම වටා ගමනේදී සයිකලයේ රිම් හොඳටම කැපී තිබුනු අතර එයට රිම් දෙකක් මොරටුවේ සයිකල් අරටුවක්වූ ලකී අයියගෙන් ලබා ගත් අතර එය හබ් වලට ඇමුනුවේ කඩවත ලකී අයියා විසින්ය. එතෙක් පැවති ෆ්‍රීවීලය මස් කොට එහි පැවති දැති 14 ගියර වීලය වෙනුවට දැති 13 දැති රෝදයක් යෙදවූවෙමි. දැති 34 මෙගා වීලයකින් සන්නාහ සන්නද්ධව තිබුනු සයිකලය හොඳ "ගමනක්" ලබා දෙනු ඇතැයි මා විශ්වාස කලෙමි.
බොහෝ මාගේ හිත මිතුරන් මීට විවිධ අර්ථ කථන සැපයුවේය!
"ඇයි බං මේ මගුලක් ගෙනියන්නේ - එහේ සයිකල් නෑ කියලා හිතුවාද?" මේ බහුතරය ඇසූ පැනය විය. මාගේ අතිජාත මිතුරු දොස්තර ප්‍රසාද් රන්නුළු වඩාත් ආකර්ශණිය උපදෙසක් යෝජනා කලේය!
"මම උඹට සල්ලි දෙන්නම් එහෙන් හොඳ සයිකලයක් ගන්න! උඹ පැදලා එන දවසක මට ඒක ගෙනත් දියං!"
එහෙත් ඒ කිසිදු යෝජනාවකින් හෝ අදහසකින් මා නොසෙල්වුණි.
මා Air Lanka හි සේවය කරණ මාගේ ඥාති දියණියක් වන රොෂාණිගෙන් මේ පිළිබඳව විමසීය!
"ඔව් Uncle ඔයාට තියෙන කිලෝ 30 ඇතුලත සයිකල් එකක් ගෙනියන්න පුළුවන්!"
මගේ ඉහේ මලක් පිපුණ වැනිය!
ඒවන විට වසික Trek Madone 3.1 Drop Handle Tour සයිකලයක සාඩම්බර හිමිකරුවෙක්ව සිටී.
එහෙත් මා සයිකලයක් නැතිව එහි ගොස් සිටීම; අස්සයා මැරුනු Cow Boy තැනට මා වැටීමක් වේ! මේ නිසාම Scott සයිකලය ගෙන යෑම මගේ පැත්තෙන් හොඳ තීන්දුවකි! එවන් ආදරණිය මතකය අතහැර දමන්නේ කෙසේද?
සයිකලයක් ගුවන් මගින් ගෙනයාම සඳහා භාවිතා කරණු ලබන Cycle Bag වෙළඳ පොලේ ඇත. වෙළඳ පොලේ කීවාට අපේ ගමේ ඉරිදා පොලේ හෝ මැනිං මාකට් එකේ නොව E Bay, Amazon, Ali Baba වැනි ජාත්‍යන්තර පොලවල් වලය! මේවා මිලෙන්ද ජාත්‍යන්තරම වේ. පසුව Google සිසාරා සයිකල් බෑගයක සයිකලය අසුරණ ආකාරය හා බෑගයේ ස්වරූපය පිළිබඳව අදහස් එකතු කරගෙන ඊට ගැලපෙන පතරොමක්, බ්ලොක් එකක් නැතහොත් ටෙම්ප්ලට් එකක් කපා ගත්තෙමි. නිවසේ පැරණි අල්මාරියක පැවති සුදු පැහැති කැන්වස් කැබැල්ලක්ද සොයාගෙන අසල වූ ගමන් මළු මසන "අක්කා" කෙනෙකු සොයා ගියෙමි.
දින තුනකට පසුව වැඩේ සුපිරියටම මසා මා අතට පත්විය. ඇයගේ ගාස්තුව වූයේ 1500ක් වූ අතර සයිකය බෑගය තුල හොඳින් ඇසිරීම සඳහා දෙපසින් තැබීමට ස්පොන්ජ් කැබැලි දෙකක් සපයා ගැනීමට අඟල් 2 ක ඝනකම මෙට්ටයක් රුපියල් 4000 කට මිලදී ගත්තෙමි.
ඇසුරුම් ද්‍රවය සමග සයිකය අසුරා ගත්විට එයට ජාත්‍යන්තර තත්වයක් ලැබුනි.
එය තුල ඇත්තේ සයිකලයක් බව කියා පෑමට ස්ටෙන්සිල් එකක් කපාගෙන එයින් බෑගයට වඩාත් අකර්ශණීය බවක් එක් කලෙමි.
එයද සුන්දර කථාවකි. අපගේ සියළු ගමන් මළු අංක 7 දරණ පටියෙන් ළඟටම ගෙනැවිත් දුන්නද ආදරණීය "ඇය" හට සිදුවූ දෙයක් හෝ ආගිය අතක් හෝ සොයා ගැණීමට නොහැකිවිය. තවත් විනාඩි තිහ හතලිහකින් පසුව ගුවන්සේවිකාවක් ශබ්ධ විකාශන යන්ත්‍රයෙන් මොරගා පැවසුවේ; ක්‍රීඩා භාන්ඩ, සංගීත භාන්ඩ වැනි මොලේ මඥ්ඥං පොරවල් ගෙනා මගුල් අංක 1 දරණ පටිය අසල ගොඩබා ඇති බවය!
මා එතැනට යනවිට මාගේ සුදුවත හැඳි සයිකලය තවත් බඩු බාහිරාදිය පිරිවරාගෙන සිටුනු දිස් විය!
කිලෝ 13ක උපත් බරක් සහිත වූ සයිකලය සියළු පැකින් හා ඇඳුම් ආයිත්තම් සමග කිලෝ 15.250 කට උසස්වීමක් ලබා තිබුනි. මේ නිසාම මේ දේශයේ වසන හිතමිත්‍රාදීන්හට පමණ්ක් නොව දුවා දරුවන් හට පවා ගෙනෙන සාම්ප්‍රදයික කෑම බීම කිසිවක් මාහට ගෙන ඒමට නොහැකි විය.
පසුදිනම සයිකය නැවත යතා තත්වයට ගෙන ආවද මෙල්බර්න් නුවර කාලගුණය ඉතාමත් අහිතකර එකක් වූ නිසා එය පැදීමට තරම් යහපත් අවස්ථාවක් සොයා සපයා ගැනීමට අද දින උදෑසන වන තුරුත් නොලැබුනි.
අද දිනයේ උදෑසන කල්මලී සේවය සඳහා ගියේ තම උදේ ආහාරය පමණක් නොව දිවා ආහාරයද අතහැර දමමිනි. ඒ කාලය විසින් පැනවූ තහංචියක් නිසාය.
නැකැත් බලමින් සිටින්නට තවත් නොහැක. කල්මීට කෑම එක ගෙන යා යුතුය.
ඇය විසින් එවන්නට යෙදුනු අක්ෂාංශ දේශාංශ රූපයෙන් ඉසව්ව පිළිබඳ අදහසක් ගොඩනගා ගත්තද ඒ සඳහා ප්‍රයෝජනයට ගැණීමට තරම් මාගෙ මොබයිලය පනගැන්වී නොපැවතීම හා තවමත් මා යැපෙන්නේ නිවස තුල වූ වයිෆයි කලාපයෙන් වීම සියල්ල හරස් වන්නට හේතු විය.
මා නිවසේ සිට මොබයිලයේ Google Maps මගින් දැක්වෙන මාර්ගය කඩදාසියක සණිටුහන් කර ගත්තෙමි. කෑම පෙට්ටියද Back Pack මල්ලේ දමාගෙන ඉහෙන් කනෙන් පෙරෝගෙන පාරට වැටුනෙමි. Toorak පාර එතැනින් Burwood Highway . . . Holland Road . . . Canterbury Road . . . යනාදී වශයෙන් පාර හොයාගෙන ප්‍රධාන Land Mark එක වූ BP පිරවුම් හලකින් හැරී ගමන් කොට කල්මලීගේ සේවා ස්ථානය සොයා කෑම එක දුන්නෙමි!
සියල්ල වෙනස් වේ!
මාගේ ජීවිතයේ බොහෝ සතුටු දායක මෙන්ම දුක්ඛ දායක අවස්ථා ඇය දැක ඇත! ජීවිතයේ බොහෝ හැල හැප්පීම් ඇය දුටුවාය! මාගේ ජීවිතය ගලායන අයුරු ඇය බලා සිටියාය! ඒවාට හැකි උපරිම දිරිය දුන්නීය. ඇයව හමුවූ දිනයේ පටන් අදවන තුරු මා අතරමං නොකිරීමට ඇය වග බලා ගත්තීය!
මම ඇයට ආදරය කල තරම්ම ඇයද මා හට ඒතරම හෝ ඊටත් වැඩියෙන් ආදරය කොට ඇත - යකඩ ගොඩක් සේ සිටියට!
නැතිනම් එයා මා වෙනුවෙන් මේ තරම් මෙහෙයක් කරාවිද?
"මම මේක විකුණ්නන්න බලා පොරොත්තුවක් නෑ! මේකෙන් වැටුණු වැටිලි වල හැටියට මේක තියෙන්නේ මාත් එක්කම මැරෙන්නද කොහෙද!" මා සිනහ වෙමින් කීවේය!
"ඒක හරියට අර ආම්ස්ලොපාගාස්; ඉන්කෝසිගාස් එකත් එක්කම මැරෙනවා වගේද?" වසික මාගෙන් ඇසීය.
"අම්මට සිරි උඹ ඇලන් ක්වාටර්මන් කියෙව්වාද? නියමනේ!" මගේ සිතට ඇතිවූයේ අප්‍රමාණ සතුටකි.