Sunday, March 13, 2022

230. නැකත


1985 - ජුනි "කල්පනා" සඟරාවේ කවරයේ කථාව වූයේ "ජාතිය තුනට බෙදූ ප්‍රශ්නයක් ගැන සංවාදයක්" යන්නයි. එහි නිදාන කථාව වූයේ එම වසරේ "සිංහල අළුත් අවුරුද්ද" වෙනුවෙන් වැඩ ඇල්ලීමට නියමිත නැකත රාහුකාලයට අසුවීමය!

මේ පිළිබඳව විවිධ මත පලකල නැකැත් කරුවන් කණ්ඩායම් තුනකට බෙදී විවිධ මතයන් පල කිරීමෙන් පසුව සිංහල බෞද්ධයෝ කොටස් තුනකට බෙදී එම වසරේ නැකත් තුනකට එනම් වෙලාවන් තුනකට ආහාර අනුභව කිරීමය!

ඒ කථාව සිදුවී අදට වසර 37 කුත් ඉක්ම යන්නට ඔන මෙන්න. අප පිළි ගත්තත් නැතත් පසුගිය දශකයක දෙකක කාලය තුල; මෙරට ජනතාව වෙනදාට වඩා බොහෝ සෙයින්; අන්ධ විශ්වාස,  නැකැත්, පුද පූජා ආදී ගුප්ත කරුණු කාරණා වෙතට බොහෝ සෙයින් නැඹුරු වී ඇතැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි. මීට දශක කිහිපයකට පෙර රාජකීය දෛවඥ්ඥයින් සිටියේ නැත. සිටියද ඒ ඉතා අප්‍රසිද්ධියේය. මේවන විට; ඥානක්කාගේ සිට තිරුපති දක්වා ලොකු කුඩා විජ්ජා කාරයින් රාජ්‍ය යන්ත්‍රණයට රිංගා හමාරය! මහින්ද වරක් ඇන ගත්තේද සුමණදාස උන්නැහැගේ නැකතකට අනුව වැඩ කිරීමට ගොසිනි.

ගුග්ලිමෝ මාර්කෝනි (හෝ ටෙස්ලා) සොයාගත් ගුවන් විදුලිය; අද ආරම්භ කරණ්නේ ග්‍රහ වෙළෙන්දන්ට මුල්තැන දීගෙනය!

ඒ කෙසේ වෙතත් අප සමග ඇසුරු කරන දොස්තරවරුන් ඉංජිනේරුවන් පවා නැකත් හා ග්‍රහයන්හට දක්වන්නේ ඉමහත් භය පක්ෂ පාත බවක්ය!

මාගේ එක් කිට්ටු ඥාතියෙක්: තමා අභිනවයෙන් සාදන ගෙය කළු ඉටිරෙදි වලින් මුළුමනින්ම ආවරණය කලේ "අසල්වැසියා; නිවෙසේ අත්තිවාරමට කිසියම් ආගන්තුක දෙයක් මතුරා එක්කරති" යන බිය හේතුකොට ගෙනය. ඔහු භෞතික විජ්ජාව, රසායන විජ්ජාව, ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය හදාරා; කටුබැද්දෙන් එළියට ආ උපාධි ධරයෙකි!

මගේ එක් ඥාතියෙකුවූ දොස්තරවරියක; එක් ඩෙංගු රෝගොයෙකු සඳහා යෝජනා කලේ "ගස්ලබු ගහේ තුන්වෙනි දල්ල කථා නොකර කඩාගෙන ඇවිත්" මිරිකා දීමටය! ගස්ලබු යුෂ වල ඩෙංගු සමනය කිරීමේ ගුණාංගයක් තිබේද නැද්ද යන එක් කාරණයකි. එහි තුන්වෙනි දල්ලද ඉවසිය හැක! "කථා නොකර කඩා ගෙන ඒම" පිළිබඳව මාහට ඇත්තේ සැකයකි!

මේ සියළු කථා කියාගෙන ආවත් 'නැකැත්" ගැන කියනට ඇති සිරාම කථාව එය නොවේ. එය මෙසේය!

එකළ මාගේ පොඩි මස්සිනා හා නෑනා ඉගෙන ගත්තේ රුසියාවේ තිවේර් නගරයේ ය. ඔවුන් වසරකට වරක් හෝ ගෙන්වා ගැනීම මාමණ්ඩියගේ සිරිත විය. එසේම ඔවුන් මෙරටට පැමිණ ආපසු පිටත් වීමට වේලාව යොදා ගන්නේ ගුවන් යානය කටුනායකින් පිටත් වන වේලාවට ගැලපෙන ආකාරයට නොව ග්‍රහයන්ගේ එදින හැසිරීම මතය!

මාමණ්ඩිය නැකැත් බලන්නේ නුගේගොඩ ගණපති නම්වූ නැකැත් කරුගෙන්ය. තම පුතණුවන් හා දියණිය නැවතත් පෙරළා රුසියාවට යෑමට පිටත්වීමට කිට්ටු වන විට මාමණ්ඩිය නුගේගොඩට ගොස් පිටත් වීම සඳහා "වේලාවක්" බලා ඒම සිරිතකි.

එක් වසරක කුමණ හෝ අහේතුවකට ඔහුට එය කර ගැනීමට ඉඩක් නොමැතිවිය. 

අදාල දිනයට පෙර දිනයේ ඒ සඳහා යාමට සිදුවූයේ අහිංසක මා හටය! පසුදින ගුවන් යානය  කටුණායකින් පිටත්වීමට තිබුනේ මධ්‍යම රාත්‍රියට කිට්ටුව යැයි මාහට සිතේ. කෙසේ හෝ වේවා මා නුගේගොඩට ගොස් පොල පාරේ එනම් දුම්රිය ස්ථානය අසල  ගණපති ඉදිරියේ ප්‍රාණ භූත විය!

තවත් පැය භාගයකට පමණ පසුව නැකැත් වෙළෙඳ තැන; තම ලිපි ශීර්ෂයක ලියන ලද වෙලාවක් මා වෙත ලබා දෙන ලදී. එහි වෙලාවට අමතරව පිටත් වීමේදී බැලිය යුතු දිශාව තවත් ආගත නාගත කිහිපයක්ද යොදා; වේලාව "අයිසිං" කර තිබුනි!

වේලාව ලියන ලද කොල කැබැල්ල ලද සැණින් මා ඔහුගෙන් පැනයක් විමසීය!

"වෙද මහත්තයා අපි බොහොම දුර බැහැර ඉඳන් ආවේ! මේ වෙලාවට පිටත් වෙන්න බැරි උනොත් පිටත් වෙන්න තව වේලාවක් ඕකෙම ලියලා දෙනවාද?" දිනකට දෙකකට පෙර ගෙදරින් දොට්ට බැසීමට වේලාව දැනගෙන සිටියද සෑම වසරකදීම පාහේ මොවුන් නිවසින් එළියට බසින්නට සිදුවන්නේ දැඩි කළබලයකින් වීම ඊට හේතුව විය!

නැකැත් කරු මාදෙස ඉහලටත් පහලටත් හොඳින් බලා නැවත කොලය රැගෙන මේසයට නැඹුරු විය.

තවත් විනාඩි 15 කින් පමණ පසු ඔහු නැවතත් කොලය මා වෙත භාර කලේය! ඒ මෙසේ කියාගෙනමය.

"ඔන්න මම තව වෙලාවල් දෙකක්ම හොයලා ලිව්වා. එත කොට වැඩේ හරියටම කර ගත්තෑකි නේ!?"

වැඩේ සුපිරිය. එක වෙලාවක් ගන්නා සල්ලි වලට මා වෙලාවල් තුනක්ම ලබා ගෙන ඇත. මාගේ හිසේ මලක් පිපුණා මෙන්ය! මා හැරෙණ තැපෑලෙන් නැවත මාමණ්ඩියගේ නිවසට ගියෙමි.

මා නිවසට ගිය සැණින් මාමණ්ඩිය පැමින  "වෙලාව බලාගෙන ආවාද?" කියා මාව පිළිගත්තේය!

"ඔව් මෙන්න! වෙලාවල් තුනක්ම දුන්නා!" මා ජයග්‍රාහී ලෙස පැවසුවෙමි.

"තුනක් . . . . !?  ඒ මොකටද . . . . . . . . ????" එතෙක් මහත් උනන්දුවෙන් කිසියම් වැඩක දාඩිය මුගුරු දාගෙන යෙදී  සිටි ඔහු මා දෙස එක එල්ලේ බලා අසතුටෙන් විමසීය!

"එක වෙලාවක් දුන්නා! බැරි වෙලාවත් ඒ වෙලාවට පිටත් වෙන්න බැරි උනෝතින් කියලා තව දෙකක් ලියලා දුන්නා . . . .!" මා වැඩි ගානකට නොගෙන පැවසීය.

"ඒ මොන වෙලාවල් බැලිල්ලක්ද . . . . !?" ඔහු දැඩි අසතුටෙන් පැවසීය.

" මං දන්නේ නෑ! ඔය ගණපති කියන කෙනාම තමයි ඔය ලියලා දුන්නේ . . . . !" මෙම අමතර වෙලාවල් තුන මා ඉල්ලා ගත් එකක් බව කියන්නට නොගියෙමි!

"ඒ උනාට මේ ඉස්සෙල්ලාම එක තමයි හරි වෙලාව වෙන්න ඕන!" තමාටම කියා ගත් ඔහු පළමු වේලාවට තම පුතණුවන් හා දියණිය ගෙදරින් එළියට වැඩමවීමට සියල්ලන්වම "දක්කන්නට" පටන් ගත්තේය.

අමාරුවෙන් යමක් සිදු කිරීමට හේතු වීමම වඩාත් ප්‍රථිඵල දායක යැයි සිතන්නට ඔහු පෙළඹුනා විය හැකිය!

48 comments:

  1. මා මුහුණ දුන් සිදුවීමක් කෙටියෙන් මෙසේය. එවකට බාහිර උපාධිය සඳහා සූදානම් වෙමින් සිටි මා හට ඇන්ටන් චෙකොව්ගේ Cherry Orchard නාට්‍යය අවශ්‍යව තිබිණ. එහෙත් එය මිල දී ගැනීමට නොවීය. අවසානයේ මා හා මගේ මිතුරකු අධ්‍යාපන ආයතනයට යාමට පෙර උදයේම සෝවියට් පොත් විකිණීමට තිබූ කොමියුනිස්ට් පක්ෂයේ පොත්හළ වූ පීපල්ස් පබ්ලිෂිං හවුස් වෙත ගියෙමු. අප යනවිට පොත්හළ විවෘත කළා පමණය.ඇතුලට යාමට තැත් කරත්ම වෙළඳ සේවකයා කෑගසා අප කැවැත්වීය. හා, හා එන්න එපා! දෙවියන්ට තව පාන තිබ්බෙ නෑ! අප දෙදෙන සිනහව තද කරගෙන ඔහු පහන තබා අවසන් කරන තුරු සිටියෙමු. කොමියුනිස්ට් පක්ෂයේ පොත්හළ උනත් වැඩ එහෙමය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය මේරටේ බොහෝ පෙළපාලි නතර වෙන්නේ දේව කණ්නලව් වලින්නේ!

      Delete
  2. "ඒ මොන වෙලාවල් බැලිල්ලක්ද.. " - පව් අසරණ මාමණ්ඩිව කම්පියුස් කරලනෙව තට්ට්යතුමා

    කෝමද ප්ලේන් එක මෙවෙලාවට නැග්ගුවොත් සුභයි කියලත් ගුරා ලියලා දුන්නනම්.. බඩුමතමා😄😄😄

    ReplyDelete
    Replies
    1. එතුමාව මම කන්ෆියුස් කරපු අවස්ථා තව තියෙනවා හෙමිහිට ලියන්නම්කෝ!

      Delete
  3. හපෝයි --ඉතා ආඩම්බරයෙන් කියන වගනම් අද වෙනතුරුත් වෙලාව බලා කොහෙවත් ගොස් නැත.
    රුසියාවේ තිවේර් නගරයේ මගේ යාළුවෙක් බලන්න ගියා. මොකද මොස්කව් වලින් වැඩි ඈතක නොවන නිසා. fernando වගේ නමක්.

    ReplyDelete
  4. Replies
    1. ඔව් මම වත් පොතේ දැක්කා මරු දේව කන්නලව්වක්! කරුමෙට මතකෙට එන්නෑනේ!

      Delete
  5. මගේ යාලුවෙක් නෙකෙත් හදන්න ගිහින් මලා (මතකද ඒ ඇනොව )?

    ඇපා ලිත පමණක් තිබුන රටට මේවා පුරුදු කරේ මහින්ද මහත්තයා.

    මගේ යාලුවෙක් STF එකේ නිසා බදින්න කලින් දෙන්නගේ කේන්දර බැලුවා, මාර වැඩේ ගැලපෙන්නේ නැ. අපේ නුවර පැත්තේ පොරක් නෙකතත් හුනට කියලා හොදටම ගැලපෙන එකක් කොල්ලට හදල දුන්නා. දෙන්නා අදත් හොඳින් ඉන්නවා.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේභාහු මහත්තයා ඔහොම කිව්වාට චින්තන ජයසේන ලියපු "කොලම" ටැබ්ලොයිඩ් පත්තරේ තිබුනා "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හූනියන් දේශපාලනය" කියලා ලිපියක්. ඒක කියෙව්වානම් තේරෙණවා ඒ මිනිස්සුත් මොනතරම් අවිද්‍යාව පිළිගෙන තිබුනාද කියලා!
      පොරොන්දම් වලට නම් හොඳම වැඩේ උපන් වෙලාව කරකෝන එකම තමයි!

      Delete
  6. තට්ට මාමෙ, මේකෙන් අදහස් කරන්නෙ නැකැත් අරව මේවා ඕනිවට වඩා වැඩියෙන්, හැමදේටම අනවශ්‍ය විදියට යොදා ගන්න එක ගැන ද?
    නැත්නම් ඒවා සම්පූර්ණයෙන්ම වැරදි වගේ එකක් ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ රටේ නොවේ මුළු ලෝකයේම තියෙන දේවල් තමයි මේවා අඩු වැඩි වශයෙන්. ඒත් තමන්ගේ තීන්දු තීරණ ගැනීමේදී මීට වඩා විද්‍යාත්මකව හිතනවා නම් වඩා හොඳයිඔ කියලයි මටනම් හිතෙන්නේ.
      බඳින්න පෝරුවේ නගින්න වගේ වැඩකට නැති දේවල් වලට ඌවා බැලුවා කියලා මහා විනාශයක් වෙන්නේ නැහැ. ඒත් කේන්දර ගැලපීම වගේ දේවල් වලදී සිදුවිය හැකි හානිය හිතා ගන්නවත් බැහැ. කේන්දර නොගැලපීම කරණකොට ගෙන මොනතරම් පෙම්වතුන් වෙන් වෙලා ඇතිද? පුළුවන්නම් දුලීකා මාරපනගේ මවත් පියාත් අතර සිදුවූ නඩු හබය "මාරපන එදිරිව මාරපන" නඩුව කියවා බලන්න. ඔය පල්ලෙහා ඉන්න ප්‍රාජේ මහත්තයාගෙන් ඇහුවත් ඒ ගැන නම් කියාවි!

      Delete
    2. නැකත් බලපු අප්පොච්චිට වෙච්චි හදිය තෙරුන්ගතපු එකෙක් ආයෙ ඕව බලන්ටෙ නෑ...

      Delete
    3. ඔය මාරපන නඩුවේ කොපියක් ඊයේ පෙරේද කියෙව්වනේ මගේ නීතිඥ යාළුවෙක් එක්ක. කෙනෙකුට උදව්වකට.

      Delete
    4. නඩුව හංගලා තිව්නෙ. පිස්කල් උන්නාන්සෙට, මීයො දෙන්නෙක් දීලායි කොපිය බා ගත්තෙ.

      https://www.gossiplankanews.com/2020/04/duleeka-marapana-legal-story.html

      Delete
    5. මගෙ නම් අදහස ඒවගෙ මොනව උනත් යම් ගත යුත්තක් තියෙනව කියල. ඒක අර මොල ගෙඩිය කියන අලගෙඩියෙන් හොඳට හිතල භාවිතා කරනව නම් වඩාත් හොඳයි කියල....
      විවාහ වගේ දේවල් වලදිත් එහෙමයි මගෙ අදහස නම්...

      Delete
    6. ඒවායේ ගත යුත්තක් තියෙනවා! නැත්නම් කොහොමද නැකැත් හදන එවුං ජීවත් වෙන්නේ?

      Delete
    7. එච්චරම නිර්දය වෙන්න හොඳ නෑ නෙහ්😐

      Delete
  7. මෙව්වා වුණත් එක විදිහක දැනුමක්ය
    වරද හරියටම දන්නෝ නැතිකමය
    මට සිහි වෙන්නෙ 'වයිට් මහත්තය' නමය
    අනුන් සුව කරපු ඔහු ගියෙ ලෙඩකින්ය

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඇත්ත නේන්නම් කුණ්ඩලණී ශක්තියට කෙළවුනු කෙළවිල්ලක්!

      Delete
    2. අනුන් ඇත්තටම සුව කරා නම් මොකක් හරි විදියකට, ඒකෙන් අදහස් වෙනවද එර් දොස්තර හරි කවුරු හරි මැරෙන්නෙ නැතුව ඉන්න ඕනි කියල?

      Delete
    3. කොහෙද කාවද එයා සුවකරලා තියෙන්නේ? කොටින්ම විජය නන්දසිරිගේ මරණයට පවා ඔය මනුස්සයා වගකිවයුතු බව මා අසා තියෙනවා!

      Delete
    4. මම දන්නෙ නෑ සුව කරාද නැද්ද කියල නම්, එහෙනම් ඉතින් ඔච්චර කියන්නෙ ඇයි මිනිස්සු?

      Delete
    5. මිනිස්සුනං එක හරෙකෙකුට "වැඩ කරණ අපේ විරුවා!" කියලත් කිව්වේ!?

      Delete
    6. කරපු දේ නෙමෙ වැදගත් ඒ අවස්ථාවට අනුව ඒක කලේ ඇයි කියන එකයි වැදගත්.....

      පසු ආවර්තිත දැක්මකින්(retractive vision) බලල කලින් ගත්තු තිරණේක හරි වැරද්ද දකින්න බෑ.

      Delete
  8. //පසුගිය දශකයක දෙකක කාලය තුල; මෙරට ජනතාව වෙනදාට වඩා බොහෝ සෙයින්; අන්ධ විශ්වාස, නැකැත්, පුද පූජා ආදී ගුප්ත කරුණු කාරණා වෙතට බොහෝ සෙයින් නැඹුරු වී ඇතැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි. //

    මටත් හිතෙන්නේ හා අත්දැක ඇත්තේ ඒකම තමයි.

    අපේ දෙමව්පියන්ගෙ කාලෙ ඉගනගත්ත අය (විශේෂයින් බටහිර විද්‍යාවට සම්බන්ධ ක්ෂේත්‍රවල ) හුඟක් අඩුවෙන් තමයි ගුප්ත විද්‍යා විස්වාස කලේ. ඒකත් වැඩිය ප්‍රසිද්ධියෙ නෙමෙයි. දැන් ඒ අය හුඟක් දෙනා තමගේ ක්ෂේත්‍රයේ විද්‍යාවට වඩා පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවලින් ඔප්පු කලා වගේ ගුප්ත විද්‍යා විස්වාස කරනවා.
    කිසිම විශ්ලේෂණයක් හෝ හිතා බැලීමක් නැතුව සීයට සීයක් විස්වාස කරනවා.

    කේන්දර, තොවිල්, ගුරුකම්, ෆෙන්ශුයි, බටහිර (witches'/Wizards' spells) /චීන/ජපන්/මලයාලි ගුරුකම්( අප්‍රිකානු හා දකුණු ඇමරිකානු ඒවත් එයි ලඟදි) , විශ්ව ශක්ති, රාවණා, රොඩී දැහැන් ඇතුලු මෙකී නොකී ඔක්කොම විකුණන අය දැන් ලංකාවෙ ඉන්නව.ඒවා හුඟක් ලාභදායී බිස්නස් වෙන්න ලොකු හේතුවක් පැතිරී තිබෙන පුලුල් වපසරිය. මාධ්‍ය භාවිතය/ප්‍රචාරණය පුලුල් වීමත්, මිනිස්සුන්ගෙ ප්‍රශ්න සංකීර්ණ විමත් , ඔය ජාතියෙ විසඳුම් මිලදී ගැනීමේ තාක්ෂණය පහසු වීමත් ( ඊමේල්, සූම්, විඩියෝ කෝල් වලිනුත් පුලුවන් ගුරුකං ) එක්ක ගුප්ත විස්වාස පැතිරුනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ මහත්තයාට මතකද හැත්තෑව අසූව දශකවල "හේතුවාදී සංගමය" මොනතරම් ක්‍රියා කාරීද? ඒත් අද!?

      Delete
    2. මොනතරම් ක්‍රියා කාරීද? හ්ම්.....Zaouli dance

      https://www.youtube.com/watch?v=_94viw75ulc

      Delete
    3. මිනිස්සු ගොඩක් දුරට තමන් හිතල වැඩ කරනව අඩුයි නේද?
      එයාලට ඕනි මොකක් හරි, විශ්වාස කරන්න දෙයක්, අනුගමනය කරන්න දෙයක්

      දීපති කියනවා වගේ මහා අනිකා කඩා වැටිලා නිසා ඒකෙ ආතතියෙන් ගැලවෙන්න කරන දේවල්,

      එතකොට මේ කරන දේවල් තාර්කිකව පැහැදිලි කරල දෙන්න විදියක් නෑ

      Delete
  9. ජපනා, රාහු කාලය පන්නලා සුභ මුහුර්තයෙන් හදලා, ලංකාවට එවන කාර් වලට ඉස්සරහට එල්ලන්න දෙහි/මිරිස් එහෙමත් factory fitted options හැටියට තියනවා නම් ඒ බ්‍රෑන්ඩ් එක ලංකාවේ නැගලා යනවා කියලා විශ්වාසයි.

    මේ දීර්ඝ සති අන්තයේ මම පරණ යාළුවෝ සමග එක්වෙන්න මෙල්බර්න් ගියාම ඩැන්ඩෙනොං ප්ලාසා එකේදී අත් පත්‍රිකා බෙදන ගැහැණු කෙනෙක් මගේ වයිෆ් ට එයා බෙදන පත්‍රිකාවක් දුන්නා. මාත් තැන්කිව් කිව්වා. බැලූ කොට හඳහන් බලන දෛවඥයෙකු ගේ කාඩ් එකක් නේ!

    // එහි තුන්වෙනි දල්ලද ඉවසිය හැක! "කථා නොකර කඩා ගෙන ඒම" // කොටස කියෙව්වාම මට හිතුනේ මෙහෙමයි.

    සිංහල වෙදකමේ දී ලෙඩාගේ විශ්වාසය ඇතිකිරීම, එහෙම නැතිනම් මානසික සහනය ඇති කිරීමට මෙවැනි සම්‍යක් ප්‍රයෝග කිරීම සාමාන්‍ය දෙයක්. ගස්ලබු දළු වල යම් ඩෙංගි නාශක හැකියාවක් තියනවා නම්, නිකම්ම නිකං වඳුරෙක් ගස් ලැබූ දළු කනවා වාගේ කන්න කිව්වාම ඒ පිලිබඳ විශ්වාසයක් ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම, හරියටම තුන්වෙනි දල්ල, කතා නොකර සාර්ථකව කෑවාම ගුණ ලැබෙන බව හිතුවාම, මානසික සහනයකුත්, එයින් ලැබෙන්න ඉඩ තියනවා.

    අපි අවඥාවට ලක් නොකෙරුවාට, ඉංග්‍රීසි වෙදකමේදීත් මෙවැනිම දේවල් වෙනවා. සුළු අමාරුවකට, "පැනඩෝල් දෙකක් ගහලා බුදියා ගන්නවා ඕයි " කියන්නේ නැතුව, ලියාපු කෙනාටවත් කියවාගන්න බැරි තරම් කැත අකුරෙන් paracetamol 500mg කියලා ලියාපු prescription එකක් දීලා, මේ බේත බීලා, දවසක් දෙකක් විවේක ගන්න කියා කීමත් ඉහත තුන්වෙනි දල්ල කන්න කිව්වා වගේ තමයි.

    මේ වගේම පරණ කතාවකුත් මතක් උනා. Intern කෙනෙක් එක්ක ලොකු දොස්තර මහත්තයා ward round යනවා. ලොක්කා නියම කරන බෙහෙත් ලියා ගනිමින් පොඩි දොස්තර මහත්තයාත් පස්සෙන් යනවා. හැම ලෙඩෙක්වම බොහොම ගැඹුරු විදියට හොඳින් පරීක්ෂා කරලා බෙහෙත් නියම කලාට, කිහිප දෙනකුටම ADT three times a day කියලා නියම කරනවා. වාට්ටු රවුම ඉවර උනාම, කවදාවත් අහලාවත් ඉගෙනගෙනවත් නැති ADTකියන්නේ මොකක්ද කියලා ගෝලයා බයෙන් බයෙන් වගේ ලොක්කාගෙන් අහනවා.

    Any Damn Thing අයිසේ, Any Damn Thing, ඒ ගොල්ලන්ට ඇති ලෙඩක් නැහැ, ඒ උනාට මොනවා හරි නොදුන්නොත් ලෙඩේ සනීප වෙන්නෙත් නැහැ!

    ReplyDelete
    Replies
    1. Placebo and Nocebo effects

      https://www.verywellmind.com/what-is-the-placebo-effect-2795466

      https://bpac.org.nz/2019/nocebo.aspx

      Delete
    2. ඔය රට යන අපේ, ඉංදියාවේ හා පාකිස්ථානයේ වැනි හාල්පාරුවන්ගේ වැඩක් තමයි ඒ රටට ගිහින් ඒක ඇතුලේ තම්න්ගේ රටේ අංකුරයක් ස්ථාපනය කිරීම. ඒ අය අපේ සංස්කෘථියටයි, ආගමටයි, ජාතියටයි කැමතිනම් ඇයිද දන්නේ නැහැ මෙහේ නොනැවතී වෙනත් රටකට ගියේ.
      ඕස්ට්‍රේලියාව වැනි බහු සංස්කෘථික රටකට යන අපේ එවුන්ගෙන් වෙන්න ඕන තමන්ගේ සංකෘථියෙන් එරට සංස්කෘථිය පෝෂණය කිරීම මිස ඒරට තුල පුංචි පහේ සිරිලංකා කෑල්ලක් ඇටවීම නම් නොවේ!
      ඔව් සෑම් මහත්තයා ඔබ කියන ලෙසට බටහිර වෛද්‍ය විද්‍යාවේත් ඔවැනි සම්‍යක් ප්‍රයෝග තියෙනවා තමයි!
      වැඩේ තියෙන්නේ මගේ ඒ ඥාති දොස්තර නෝනා; ධාතු තැන්පත් කිරීම, බෝධි පූජා, වැනි අටෝරාසියක් දේ; වෙදකමට අමතරව සිදු කිරීමයි! (ඇත්තටම මෙරට බොහෝ වෛද්‍ය වරු රුක්ෂ වන්දනාවට දක්වන්නේ දැඩි ඇල්මක්!)

      Delete
  10. නැකත් හරි. හැබැයි මේක හරියට ඉගෙන ගෙන තියෙන කෙනෙක් ගෙන් හදහන් බලාගන්න ඕනි.

    විජේභාහු

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්! හ්ම්ම්!!

      Delete
    2. Copy Wijebahu above LOL, I am so popular

      Delete
  11. ඕව නැති කරන්නනං ඉතිං මොට්ටිසෝරියෙ ඉඳලම ලංකාවෙ අධ්‍යාපන ක්‍රෙම් වෙනස් කරන්න වෙයි.
    මමනං මට ඕන වෙලාවට තමයි වැඩ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි මාත් කියන්නේ! තම්න්ට පුළුවන් වෙලාව තමයි වෙලාව!~

      Delete
  12. සමාජයේ අවදානයට යොමුවිය යුතු වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාමින්ද මහත්තයා!

      Delete
  13. ගණපති වෙද මහත්තයගෙ 'නැකත් පත'.
    අම්මප ඔහෙත් කරන වැඩ!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මේ මනමාල මහතාගේ නැකත් පත
      අමතක වීමකින් අද මෙහි ගෙනත් නැත

      Delete
  14. අපේ වචන වලට සංඛ්‍යාතයක් තියෙනව නෙහ්, අපි කතා කරන දේවල් වලින් වතුරට වෙන්න පුලුවන් දේවල් ගැන ජපන් ජාතිකයෙක් පර්යේෂනයකුත් කරලා තිබුනා,

    ඉතින් අන්න ඒ වගේ විදියකට පැපොල් කොලේට උනත් මොනව හරි බලපෑම් වෙන එක වලකින්න, කතා කරන්න එපා කියනව වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඕන දේකට කෙස් පැලෙන තර්කයක් ඉදිරිපත් කිරීමට නම් පුළුවන්! ඒත් සත්‍ය්ය එය නොවන බව මා වගේම ඔබත් දන්නවා!

      Delete
    2. 😊😊
      සත්‍ය අසත්‍ය ගැන නම් දන්නෙ නෑ ඇත්තටම

      Delete
  15. නැකතහැකි සුති වෙන්න කියුවලු.. :))))))))

    ReplyDelete
    Replies
    1. ඉඳලා ඉඳලා ඇවිත් ලිව්වා කියහංකො ඉතින්! කමක් නෑ මේත් මදෑ!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...