201 වනි කථාංගය නිමා වූයේ දෙනෝ දාහක් මැද්දේ අප කිහිප දෙනක් "රා ගුඩ්ඩන්" වීමෙන් අනතුරුවය!~ සමහරු දෝෂාරෝපණය දැම්මේ එහි වාහන ගැන කිසිදු වචනයක් ලියවී නොතිබූ බව පවසමින්ය. කථාව තුල මම බොහෝ වාර ගනනක් "වාහනය නැවැත්වූයෙමි!" "පිටත් උනෙමි!" "ගියර් මාරු කලෙමි!" යනාදී වශයෙන් ලියා තිබුනේ ලෑන්ඩ්කෲසර් බීජේ ෆෝටිය ගැනමය.
එසේනම් කථාවට බහිමු. අති බිහිසුණු කොණ්ඩා මෝස්තර, ඉළ ඇදෙන සටන්, ත්‍රාසජනක විහිළු පටන් ගන්නේ දැන්ය. පසුගිය පෝස්ටුව බයිස්කෝප්පේ ඉට්‍රබල් එකය!
කෲසරය මේ වන විට පවුලේ වාහනය වී අවසානය. නිවසේ ඕනෑම ගමනක් බිමනක් සඳහා; මරණෙට මගුලට දානෙට පිරිතට ගමන් බිමන් ගියේ මෙම වාහනයට පිං සිද්ධ වෙන්නටය. ඉතා ඉක්මණින්ම එය පවුලේ ලොකු පුතා විය!
දිනක් මමත් වසිකත් කඩවත සිට පන්නිපිටියට යමින් විය. හයිවේ නොතිබුනු මේ වකවානුවේ කඩවත සිට පන්නිපිටියට ගියේ කඩුවෙල නගරය හරහාය. මා රථය පැදවූ අතර වසික සිටියේ පසුපස ආසනයේය. මෙම රථයේ පසුපස ආසනය හරස් අතට එනම් ඉදිරිපස ආසන වලට සමාන්තරව සවිකොට තිබූ පසුපස ආසනයේය!
මා කලින් පෙර කොමෙන්ටුවේ පැවසූ ලෙසම රථයේ පසුපස දොරවල් ද්විත්වයේ උඩ කොටස නිරාවණය වී තිබූ අතර එයින් පසු පස බලමින් වසික ආසනය මත දණ ගසා ගෙන ගමන් ගත්තේය. මගේ රථයට පසු පසින් ගමන් ගත් නවීන මෝටර් රථයක ගමන් ගත් අයෙකුහට අත වනමින් ඔහු සිටි අතර කඩුවෙල නගරයට බියගම දෙසින් ප්‍රවිෂ්ඨවෙන පාලමට මීටර 100 කට පමණ පෙරදී එකී මෝටර රිය; අපගේ කෲසරය පසුකරමින් නැවැත්වූයේ මටද නවත්වන් මෙන් අතින් සන් කරමිනි.
නැවත්වූ වාහනයෙන් බැස ගත්තේ කඩවසම් තරුණයෙකි. හේ ගුවන් හමුදාවේ පියාසර නිළධාරී "මාවතගම" ලෙස තමාවම හඳුන්වා දුන්නේය. ගුවන් හමුදාව කියූ සැණින් මාහට එකල මාගේ අතිජාත මිත්‍රයා ශානක රාජකරුණා පිළිබඳව මතක් වී ඔහු ගැනද පවසා; ඔහුට මා කවුරුන් ද යන වගත් මාගේ පාසලත් රැකියාවත් ආදී වශයෙන් සියළු විස්තරත් ගෙන හැර පෑවෙමි. ඔහු වාහනය හොඳින් බලමින් සිට; එය විකුණනවාදැයි අසා මා එය නිහතමාණීව ප්‍රථික්ෂේප කල පසු මෝටර් රියේ නැගී ඉගිලී ගියේය.
තවත් සතියක් ගත වෙද්දී ෂානක මාහට දූරකථන ඇමතුමක් දුන්නේය. "අයියෙ! උඹේ වාහනේ අපේ ඔෆිසර් කෙනෙක්ට; වෙන පංචිකාවත්තෙ එකෙක් උගස් තියලා ඊට පස්සේ උගෙන් උස්සං ගිය එකක්ලු. ඌ කියනවා වාහනේ ඌට දීල ගොඩින් බේර ගන්නලු. නැතිනම් ෆ්‍රෝඩ් බියුරො (Fraud Bureau) යන්න උඹට ලෑස්ති වෙන්නලු. ආ! තව එකක් වාහනේ පොත තියෙන්නේ ඌ ගාවලු. උඹ හදපුවාට කීයක් හරි දෙන්නම් කියලත් කිව්වා!"
"අම්මට සිරි මාර සීන් එකක් නෙ!? වාහනේ පොත මං ගාවනේ තියෙන්නේ!? ඌ කොහොමද මේ වාහනේට අයිතිවාසිකං කියන්නේ?" මම ෂානකගෙන් ඇසුවෙමි.
"ඒකනං මං දන්නේ නෑ! ඔක මහ හොරා! ඒ වගේම .......! ඕකා ඔය ගේම අතාරින එකක් නෑ! උඹ බය වෙන්න එපා අයියේ! අපිත් මොකක් හරි ගේමක් ගහමු!
මට මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි! ඔළුව ඔම්ලට් වෙලාය! මම ෂානකට ආයෙමත් කෝල් එකක් අරං නැවතත් කථාව මුල සිට එකින් එක විමසුවෙමි.
"කවුද බං ඔය කියන එකා? මෙකෙක්ද ඌ? කොහේ එකෙක්ද?"
"ආ! මට කියන්න අමතක උනා ඌ උඹලත් එක්ක එකට රොටරියේ A/L ක්ලාස් ගිය ඩයල් එකක්. ඌ උඹව අඳුනගෙන . උඹ අයියේ ඌව අඳුනගෙන නෑ! නම 'මාවතගම'!"
"අම්මට සිරි ඌද බුවා?" එදා හමුවුනු හමුදා නිළධරයා යැයි තමාව හඳුන්වා දුන් පුද්ගලයා මීට පෙර මුණ්ගසී ඇති බවක් මාහට මතක් වූ බවත් ඔහු ඉතා හොඳින්ම වාහනයට ඉව ඇල්ලූ ආකාරයත් මාහට මතක් විය!
මම මේ කථාව පවසන්නේ 1997 -98 කාල වකවානුවේ සිදුවූ සිදුවීම් ජාලයක් පිළිබඳවයි තවත් ලෙසකින් පවසනවා නම් අදින් වසර 24 කට පෙර කෙරුණු ජවනිකා පෙලකි. "අම්මටසිරි ඌද බුවා?" යනුවෙන් හඳුනාගත් "බුවා" කවුරුන් දැයි පැවසීමට මාහට තවත් වසර 12ක් එනම් අදින් වසර 36ක් පසු පසට යාමට සිදුවේ.
ඒ 1983-84 වසර යි! එකල මා උසස් පෙල හදාරමින් සිටියෙමි. අප බොහොමයක් උපකාරක පංති සඳහා පිවිසියේ නුගේගොඩ රොටරි ශාලාවට හෝ රේල්වේ ඇවනියු වෙතය. එකල පංති නිමවා නුගේගොඩින් 168 බස් රථයකට ගොඩ වදින අපහා එක්ව ගමන් ගන්නා; අපගේ සහෝදර පාසලේ තවත් ශිෂ්‍යයෙකු විය. ඔහුගේ මවද පුංචි බොරැල්ල කිට්ටුව බාලිකාවක ගුරුවරියක් විය! බොහෝ විට ඔහුත් මමත් යාබද අසුන් වල; වල බසිමින් ගමන් ගත්තෙමු. මේ අන් කිසිවෙකු නොව පෙර කී ගුවන් හමුදා නිළධරයාය!
ඉන් පසු තවත් මාස කිහිපයක්ම ෂානක හරහා පණිවිඩ පිට පණිවිඩ මාවෙත ඔහු එවූවත් මා නොසැලී වාහනය මා වෙතම රඳවා ගෙන සිටියෙමි.
ඒ වෙනුවෙන් මා කලේ අතර මගදී වාහනය පැහැර ගැනීමකට ලක් වුවහොත් එයට මුහුණ දීමට සන්නාහ සන්නද්ධ වීම පමනකි!
මේ අතර දිනක් මාගේ වැඩිමහළු සොයුරා අපේ නිවෙසට හදිසියේ පැමිණියේය. ඔහුගේ පදිංචිව සිටියේ පොළොන්නරුවේ, රවුම් පාරේ, රංකෙත උයන ලිපිනයේය.
ඔබට මතක නම් මෙම බීජේ ෆොර්ටියේ කථාන්දරය පටන් ගත් පලමු පෝස්ටුවේ සඳහන් කලා " වාහනයේ පොත (ඒය පොතක්ම විය!) තිබුනේ පොලොන්නරුවේ රන්කෙත රෙස්ටුරන්ට් නමටය." යනුවෙන් වදන් පෙලක්. මාගෙ සොහොයුරාගේ නිවෙස පිහිටා තිබුනේද මෙම වාහනයේ ලියාපදිංචි ලිපිනය ආසන්නයේය! ඔහු කෲසරය දුටු වහාම පැවසූවේ "ආ! මේක පොළොන්නරුවෙ වාහනයක්නේ!? මේකෙ පොත නෑනෙද?!" කියාය.
ඔහු නිවසින් පිටවූ පසු නැවත වාහනයේ පොත; (ඒ රථයට තිබුනේ පෙරලන පොතක්මය CR එක හෙවත් Certificate of Registration එක දැන් මෙන් තනි කම්පියුටර් ප්‍රින්ට් අවුට් එකක් වෙනුවට ඒ කාලේ තිබුනේ කුඩා පොත් පිංචකි!) ගෙන පෙරලා බැලුවෙමි. මුල් අයිතිය :- FA & FJ සමාගම. දෙවන අයිතිය :- රන්කෙත රෙස්ටුරන්ට්, පොළොන්නරුව!
FA & FJ යනු ස්විඩනයේ සමාගමකි. කඩිනම් මහවැළි යෝජනා ක්‍රමය යටතේ ලංකාවේ විවිධ වාරි කටයුතු සඳහා මෙවන් සමාගම් මෙරට නැවතී මෙහෙයුම් කලහ. මෙයට අමතරව BBN, ස්කන්ස්කා වැනි විදේශීය ඉඳිකිරීම් සමාගම් මෙරට හැත්තෑව අසූව දශකයේ මහවැළි යෝජනා ක්‍රමය තුල ක්‍රියාත්මක විය.
මම පසුදිනම ක්‍රියාත්මක වී නාරහේන්පිට RMV ඔෆීසියට ගොස් 31ශ්‍රී5460 වාහනයේ ලියාපදිංචි අයිතිකරු කවුරුන්දැයි සොයා බැලුවෙමි. ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා සේ නාරහේන්පිට වාහන මහ දෙවොලේ ග්‍රන්ථාරූඪවී ඇත්තේ මෙම වාහනයේ අයිතිකරු FA&FJ සමාගම බවයි.
ඊට අමතරව මෙය තීරු බදු රහිතව සිංහලෙන් කියනවා නම් ඩියුටි ෆ්‍රී ගෙන්වපු වාහනයක් වන අතර මෙය යෝජනා ක්‍රමය අවසානයේ රජයේ ගබඩාවට (Government Stores) භාරදිය යුතුව තිබුනු භාන්ඩයකි, කිසිවෙකු මෙය මිලට ගන්නේ නම් රජයේ ගබඩාව හරහා මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බදු ගෙවා වෙන්දේසියකින් හෝ වෙනයම් නියමිත ක්‍රියා පටිපාටියකින් සිදු විය යුතු බවයි!
RMV පොත් පත්වල රංකෙත රෙස්ටුරන්ට් එකක්, පොළොන්නරුවක් තබා පරාක්‍රම භාහු රජතුමාගේ නමවත් කිසිම තැනක මෙම වාහනය පිළිබඳ ඉතිහාසය තුල ලියවී නොතිබුනි.තවත් ලෙසකින් පවසනවානම් වාහනයේ පොතේ දෙවන අයිතිකරු ලෙස සඳහන් "රංකෙත රෙස්ටුරන්ට්" කථාව එකෙන්ම ඊසෝප්ගේ උපමා කථාවකට වඩා එහා නොගිය නොම්මර එකේ ප්‍රභන්ධයකි! තවමත් RMV කාර්‍යාලයේ පොත් පත් වල මෙම වාහනය දෙවන පාර්ශ්වයක් වෙත හුවමාරුවී නොමැත. වාහනයේ පොත ලෙස මා සතුව ඇත්තේ කූඨ ලේඛණයකි!
මෙවන් වාහන ලංකාවේ හඳුන්වන පොදු නමක් ඇත. එනම් මෙය "හොර වාහනයකි"! මගේ දෙපතුලේ සිට හිස් මුදුන දක්වා සීතල වී ගොස්ය. මා මෙතරම් මහන්සියක් දුකක් විඳ සෑදුවේ හොර වාහනයක්ද?
මම එදිනම ඉබ්බන්වල හංදියේ පිහිටි මහවැළි අධිකාරියට ගොඩ වැදුනෙමි. ඔවුන් පැවසූවේ එම කොන්ත්‍රාත් කරුවන් සමඟ මේ වම විට කිසිඳු සබඳ තාවයක් මේ වන විට පවත්වන්නේ නැති බවත්ය. කෙසේ හොඅ ස්විඩ්න් තානාපති කාර්‍යාලයේ ලිපිනය සොයාගෙන මා එහි ගියේය. එකල එය විහාරමහා දේවි උයන කිට්ටුව ජයවර්ධන කේන්ද්‍රය අසල පිහිටා තිබුනා මෙන් මතකයක් ඇත. එම කාර්‍යාලයෙන්ද කිසිදු පැහැදිලි තොරතුරක් හෝ හෝඩුවාවක් මාහට සොයාගැනීමට නොහැකිවිය.
මෙතෙක් මා ආදරයෙන් හදාවඩාගත් දරුවා මට හිමි නැත. දැන් මා කුමක් කල යුතුද?
මේ සියල්ල සමගින් ගුවන් හමුදා නිළධර 'මාවතගමගේ' ප්‍රකාශ හා තර්ජනයන් මෙනෙහිවී ඉහ මොළ රත්විය. පසුදිනම මා වාහනයේ මා සවිකල දොරවල් දෙක ගලවා ගත්තෙමි. ඉක්බිතිව වාහනය රැගෙන නැවතත් කඳානේ නිපෝන් ඉන්ටර්නැෂනල් හොර ගුහාව වෙත ගියෙමි.
මා වාහනය ප්‍රථික්ෂේප කලෙමි.
ඔබ විශ්වාසයට ගන්න මා එතෙක් ආදරයෙන් හදාවඩාගත් ලෑන්ඩ්කෲසරය ඔහුගේ ව්‍යාපාර ස්ථානයේ අංගනයේ නවතා රුපියල් එක්ලක්ෂ පනස්දෙදහස් පන්සියයක් වටිනා චෙක් පතක් රැගෙන බස් එකේ ගෙදර ආවෙමි.
අහන අහන අයගෙන් "උඹ ඔය සල්ලිනම් ගන්නේ නෑ පුතෝ!" යන ආදරණීය සුභ පැතුම් හා ප්‍රශස්ථි ගී ගායනා ආසිරි කෙසේ වුවත් මා මුදල් සියල්ල දෙවතාවකින් ගත්තෙමි. මෙන්න ඊට ලිඛිත සාක්ෂි:-
එම මුදලින් නිවසට කැන්දාගෙන ආවේ 31 ශ්‍රී 9111 ලෑන්ඩ්කෲසර් බීජේ ෆෝටිය ගැන ලබන සතියේ කථා කරමු!
ඔබ කැමති ඇති මාවතගම නම් "රණවිරුවාට" අවසානයේ සිදුවූ දේ දැනගන්න!
ඔහුව ගුවන් හමුදාවෙන් එළවා දැමූයේ ඔහුගේ ලිපි ගොනුවේ "තවදුරටත් ඔබේ සේවය අවශ්‍ය නොවේ!" SNLR - Service Not Longer Required ලේබලය යටතේය!
තතු දත්තෝ - නම් ගලපා - ගනිත්වා!
289791