Thursday, January 7, 2021

188. නොරත රථ . . . . ! (2)

"ඕනෑම සාර්ථක රියෙදුරෙකු පසු පසම ටොකු අනින ලද තාත්තා කෙනෙකු සිටී!" 
- නීල් ආම්ස්ට්‍රොන්ග් හඳේ සිට.

තාත්තාගේ මොරිස් ජේ ටුවේ (J 2) මුල් කාලේ වර්ණය ලා කහ පැහැයය. (මේ දවස් වල "කහ"කියන එකත් හිරේ යන කේස් එකක් ය!)

බොඩිය මැදින් සුදු පැහැති ඉරක් පොල්ලේන් ගැහුවා සේ ඇඳ තිබුණි.කුඩා කල එක් වරක් බාප්පාගේ ඔඩොක්කුවේ සිට මා ඩ්‍රැයිවිං කල බවක් මට යාන්තමට මතකය. මේ කියන්නේ මා හෝඩියේ පන්තියේ වත් නොසිටි අඩ සිය වසක් පැරණි කථාවක්ය.

අපේ තාත්තාහට රියැදුරු බල පත්‍රයක් නොතිබුණු අතර කිසිදාක වාහනයක් පැදවීමට නොහැකිවිය. ඔහු පුහුණු වන කාලයේ සිදුවූ අනතුරක්: ජීවිත කාලයටම ඔහුව රියැදුරු අසුනෙන් ඈත්කර තැබීමට හේතු වී තිබුණි.

 එහෙත් අපි; වයස අවුරුදු හතර පහේ ඉඳංම  ඩ්‍රැයිවිං කල සුපිරි බුවාලාය! අපි කඩේට ගියේත් ආවේත් , ගේ වටේ ගියේත් කාර් එකෙන්මය!! "ඈං!" ගා කටෙන් සද්දේ දාගෙන ඉඳ හිට "පී...ප්! පී..ප්!! ගාමින්; මදි පාඩුවට ගියර දමමින් පාරේ දුව ඇවිදින කොල්ලන් කුරුට්ටන් එකල සුලභ දසුනකි!

මමද ඉන් එකෙක්ම විය! එය නොම්මර එකේ සිමියුලේටරයක් (Driving Simulator) විය!

කඩේට ගොස් රිවර්ස් කොට "වාහනය" නවතා; නැවත හරවාගෙන එකසිය ගානට  ඇවිත් දොරකඩ නවතූ එළම කොල්ලන් සිටි යුගයක් පසුකලෙමු!

"ඔයාගෙ ඩ්‍රැයිවිං හොඳයි! ඒත් ඔයා හොඳ ඩ්‍රැයිවර් කෙනෙක් නොවෙයි!!" කියා ප්‍රවෘථි ප්‍රකාශ නිකුත් කරණ නෝනලා මහත්වරු මේ බව නොදන්නවා ඇත!

මේවාට ආභාෂය ලැබුවේ එකල තිබුනු ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූ ලංගම බස් වල රියැදුරු ආසනයට පිටුපස පොල්ලේ වාඩි වී යමින් දැක තිබුනු රියැදුරන්ගේ සුරු විරු කම් වලින්ය!

අම්මලාට අපිව දොස්තර ඉංජිනේරුවන් කිරීමටහිතේ දහසක් බලාපොරොත්තු තිබුනද; එකල අපේ එකම ආසාව බස් ඩ්‍රැයිවර් කෙනෙකු වීමය!

ඇත්තටම අදටත් ඉඳ හිට හෝ බසයක නැගගත් අවස්ථාවක රියැදුරන්ගේ වික්‍රමයන් බැලීමට පෙලඹේ.

අද කාලයේ; උන් කරණා කියනා තක්කඩි වැඩ බලා සිටීමට පෙර; කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට ගොස් සිත දමනය කර ගැනීමට පුරුදු පුහුණු වී සිටිය යුතුය.

තමා පදවන වාහනය වල පල්ලටම යොමුකොට අන්තිම මොහොතේ එලියට පැන; 
තම  ජීවිතය බේරා ගන්නා තක්කඩි ඩ්‍රැයිවර්ලා මෙන්ම උපදේශකයෝද සිටිති. 
ඉහත රූපයේ දැක්වෙන්නේ එවන් අවස්ථාවක් නොවේ!

මාගේ පියා සේවය කලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස කලකට පෙර බෞතීස්ම ලබූ කැලෑ දෙපාර්තමේන්තුවේය. 

තාත්තා අවසන් කාලයේ සේවය කලේ වර්කින් ප්ලෑන් (Working Plan) හෙවත් වැඩ සැළසුම් අංශයේය! තාත්තා අනුයුක්තව සේවය කලේ ලෝක බැංකුවේ ව්‍යාපෘථියකටය! එබැවින් එකල ලංකාවට ගෙන ආ ලෑන්ඩ් කෲසර්  BJ 60 කිරි කිරි ටොයියෙක් ළඟ තබා ගැනීමට තාත්තාට වාසනාවක් ලැබුනි. එය ඩිරෙක්ට් ඉම්පොර්ට් කල තිබුනේ ඕස්ත්‍රේලියාවෙනි!

ඔරී...ම ජිනල් BJ 60 යක්! 
බලන්න්කො මූනේ තියෙන සිරියාව.
"ශ්‍රියා මන්මත්වී මාගෙ - දැකලා උන්මාද වේවි හර්දේ . . . //"

මේ ගැන වරක් මම "කාර් පිස්සුවා" ගේ ලිපියකට  කොමෙන්ටුවක් ලෙස ලිව්වෙමි. ඒ මෙසේය:- 

Thattayagekolama April 28, 2017 at 1:50 PM

 "මචං මමත් එදා ඉඳන් යකඩ ලවර්. මටත් තියෙනව ඔය වගේම සුන්දර කතාවක් මගේ තාත්ත වැඩ කලේ වන සංරක්ෂණ දෙපාර්ත්මේන්තුවේ. ඒකාලෙ තාත්තට දීල තිබුනා මරු ජීප් එකක් (ජීප් කිව්වට ඒක "ජීප්" එකක් නෙවෙයි ලැන්ඩ් කෲසර් බීජේ 60 එකක්). තාත්තා නැති උනත් මට ඒ වාහනයේ නොම්මරෙ පවා යාන්තම්  මතකයි 31-8881 හරි 31-8889 හරි.ඊට අවුරුදු 30-40 කට පස්සේ මම ඒ වාහනේ දැක්කා. අනේ ඒකට වෙන බොඩියක් තියලා. හැබැයි වෙනස මම දැක්ක විදියට අලුත් බොඩිය හයි රූෆ් එකක්. . . . . . . . !

-තට්ටයා..." 

(මෙසේ දිගට ලියා තිබූ කොමෙන්ටුව අදටත් "කාර් පිස්සුවා" දැක නැති ලෙසකි)!

තාත්තාට ආණ්ඩුවෙන් දී තිබූ විලීස් ජීපයට ආසන්න වශයෙන් සමාන රථයක්. 
ඒත් ඒ රථය මේ වාගේ  රෙද්ද කඩාගෙන විළි සංගෙ නැතිව ගම පුරා දඩාවතේ දිව්ව එකක් නොව; හොඳින් කැන්වස් රෙද්දක් හැඳගත් ලැජ්ජා බයට හැදුනු එකකි!


අදටත් බොහෝ අය "දරු කමට" හදා ගන්නට කැමති මිට්සුබිෂි  J 44 ජීප් රිය. 
දනෝ මෙය එන්ජින් මොඩලයෙන් 4DR5 ලෙස හඳු වති!

ඊට පෙර ඔහුට; දෙපාර්තමේන්තුවෙන් ලබා තිබුනේ 6ශ්‍රී විලීස් ජීප් රියක්; 13 ශ්‍රී ලෑන්ඩ් රොවර් සීරිස් 3 / 88 හාර්ඩ් ටොප් කොටයක් හා 31ශ්‍රී මිට්සුබිශි J 44 ජීප් රියක් ය. විලීස් ජීප් රියේ අමතර රෝදය සවිවී තිබුනේ පිටුපස වම් පසිනි. නිල් පැහැති එම ජීප් රියේ අමතර රෝදයට සමීපව තාත්තා හා ඔහුගේ අනෙකුත් සහෝදර සේවක මහතුන් සමග කැලෑ තුල ගමන් කිරීම පිළිබඳ ඇත්තේ සුන්දර මතකයකි.

බොහෝ විට ගිය තැන තෙල් පැල්ලමක් දෙකක් ඉතිරි කරණ, ඉඳහිට තර්ඩ් ගියරය පනින, හිම වැටෙන දිනයන් හැර අන් දින වල පැදවීමට නොහැකි පමනට ඇතුලත ගිනියම් වන, බුලත් විට කන විට; හදිසියේ  කෙල ගැසීමට බෙල්ල එළියට දමා ගැනීමට නොහැකි වුවද - අදත් එකසේ ආදරය දිනාගත් රථය!  

Land Rover Series III

ලෑන්ඩ් රෝවර් රිය අළු පාටට හුරු කොල පැහැයකි.

එහි ඉදිරිපස දොරවල් වල පහත ඇති තහඩු කොටසේ හරි මැද සවිකොට තිබුනු එම්බෝස් කරණලද කුඩා ඝන ලෝහමය පලකයක; එය බ්‍රිතාන්‍යයෙන් ලබා දුන් තිළිණයක් බව; ඉංග්‍රීසි බසින් ලියා තිබුනි.

එම රථය මේවන විට වල පල්ලට ගොස් තිබුනද; පලකය කොහේ හෝ යහතින් පසුවෙනවා ඇත!

මන්ද එම පලකයේ නිමැවුම; රථයේ ඉදිරිපස ග්‍රිල් එකේ හා පසුපස රිවර්ට් මගින් සවිකොට ඇති  "Land Rover - Solihull Warwickshire England" බිත්තරයටත් වඩා එහා ගිය එකකි. (සුද්දා එසේය!)

"නාමේ නොදිරනා - කුණු කය දිරනා"

එකල තාත්තා සේවය කලේ හබරණ ගල් ඔය; හංදිය හතරැස් කොටුවේය! ඒ ආසන්නයේම වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ පැල තවානක් තිබුණි. එහි මැසි ෆර්ගියුෂන් 135 ට්‍රැක්ටරයක් තිබුණි.

වයසට ගියත් හවසට ගෙදර! 
කවදාවත් නම සවුත්තු කර නොගත්; කාට වත් පදිරි නොවුනු එළම බුවෙක්! 
"මඩ සෝදාගත් කල ටවුමට යෑමට පවා සුදුසුය!" -  හිඟුරක්ගොඩ රොබර්ට් අයියා.

මා යම් පමණකට රෝද හතරක් පාරේ කෙලින් ගෙනියන්නට පුරුද්දක් පුහුණුවක් ලැබූවේ ට්‍රේලරය සමග රෝද හයක් තිබුණු එම ට්‍රැක්ටරයෙන්ය.

එකල මා පාසලේ අටේ පංතියේ පමණ වන්නට ඇත.

ට්‍රැක්ටරයේ රියැදුරු අසුන මාහට පූජා කොට එහි රියැදුරු මඩ් ගාඩයට බර දී ගමන් ගත්තේය.

බොහෝ ට්‍රැක්ටර වල මෙන් මැසියේද ත්වරණකය; තේරෙණ හිංගලෙන් කියනවා නම් ඇක්සල රේටරය තිබෙන්නේ ලීවරයක් ලෙසය. පයින් පෑගීමටද ඇක්සලරේටර පැඩලයක් තිබුනද ලීවරයෙන් එන්ජිම එක් වේගයකට හික්මවා ගත් විට එය පැදවීම කිරි කජු වැඩක්ය.

ඉදිරි පස රෝද දෙක පෙනීම බෝනස්ය!

අගනුවර සිට පාසල් නිවාඩුවට හතරැස් කොටුවේ තාත්තාගේ නිළ නිවස්නය වෙත ගාල් වන මා හට සතියකට වරක් දෙවරක් ට්‍රැක්ටරය පැද වීමට පොට්ටෙ චාන්ස් එකක් වදින්නේය!

තාත්තාගේ නිත්‍ය ඩ්‍රැයිවර් උන්නැහැ වූයේ රුවන් වැල්ලේ වැන්දල ජීවත් වූ චන්දරේය.

ඔහු එක් වරක් මිට්සුබුෂි ජීප් රිය පැදවීමට මාහට අවස්ථාව ලබා දී ඇත.

තාත්තාගේ ජීප් රිය හෝ ලෑන්ඩ් කෲසරය ඔහු පාවිච්චි කලේ සතියේ දින පහේ පමණි. සෑම සතියකම සිකුරාදා හවසට තාත්තාව නිවස්නයට ගෙනැවිත් බස්සන "චන්දරේ" තාත්තා සමගින්ම තේ වතුර කෝප්පයක් බී අවසානයේ නැගිට  විමසන සුපුරුදු පැණයක් ඇත. "සර්! මම එහෙනං ගෙදර ගිහිං සඳුදා උදේම එන්නං!  වාහනේ . . . . . .?"

"ආ ඒක තමුසෙ ගෙනියනවා! හැබැයි පුතෝ පරිස්සමෙන්."

චන්දරේ කුරුල්ලා සේ වාහනය රැගෙන පිටව යයි.

 සති අන්තයේ චන්දරේ ගේ අඹුදරුවන් එයින් ප්‍ර යෝජන ලබනවා ඇත!

අප සුපුරුදු පරිදි සති අන්තය වෙනදා ලෙසම ලංගමේ පිහිට ලැබුවෝය! 

පොසොන් එකේ වෙසක් කූඩු!

දෙපාර්තමේන්තුවේ වාහනයෙන් තාත්තා පෞද්ගලික ගමනක් ගොස් ඇත්තේ එකම එක වතාවක් බව එකල අපේ අම්මා නිහතමාණී ආඩම්බරයෙන් යුතුව පවසනවා මාහට මතකය! ඒ එක් පොසොන් දිනයක රාත්‍රියේ; ගෙදර උදවිය සමග පොලොන්නරුවේ "පොසොන් බැලීමට" ගිය ගමනකි! නමුත් මෙම සිද්ධියේ අභ්‍යන්තරයට ගොස් බැලූ විට "සත්‍ය" එයම නොවේ! එකල තාත්තාගේ ආසන්න ඉහලනිළධරුවා වූයේ ලෝක බැංකුවෙන් මෙරට පත්කොට එවා තිබූ වැන්ක්‍යුලන්බර්ග් නමැති විදේශික මහතාහට (හෝ බ්ලැකට් / මෙම මහත්වරුන් දෙදෙනා කවුරුන්දැයි මා හට නියමිතව මතක නැත!)  පොලොන්නරුවේ පොසොන් අසිරිය පෙන්වීම සඳහා එම ගමන තාත්තා සංවිධානය කල එකකි! අපේ ගෙදර හුදී ජනයාහට ලැබී ඇත්තේ හුදෙක් පොට්ට චාන්ස් එකක් පමණි! කරුමෙක මහත - මා හට එම ගමනට සහභාගී වන්නට නොහැකි විය! එමගමනේ වඩාත් අසිරිමත් සිදුවීම වී ඇත්තේ; දන්සැලකින්; බඩ පුරා කා අවසන; එම විදේශික මහතා එයට මුදල් ගෙවීමට යාමය! 

ඔහු අපරටේ මිනිසුන් ගේ ත්‍යාගශීලී භාවය පිළිබන්ඳව විප්ෂිප්ත වූවේලු!

ඉන්පසු මෝටර් රියක් කියා රෝද හතරක් මිළදී ගත්තේ අපේ අයියාය.

"අහිංසක!"

ඒ පැරණි ෆියට් 1100 රථයකි.

එය කළු පැහැති හුරු බුහුටි එකකි.


"ඇර දොරලා!"

එම රථයේ ඉදිරිපස දොර අරින්නට තිබුනේ; ආ පිට ඉදිරිපස කෙළවරෙණි. මෙම ලක්ෂණය පර්ජෝ 203 රථයේද තිබුණි.  එකල බොහෝ අය පර්ජෝ රථය හැඳින්වූයේ පියුජුවෙට් යන නමිනි. මන්ද එම රථයේ නාම පුවරුව ලියා තිබුනේ Peugeot කියාය. එය ප්‍රංශ වචනයකි. ප්‍රංශ බසින් පර්ජෝ ලියන්නේ එහෙමලු!

එකල සුපිරි වන්ඩියක්!

"අත පය අඹරවා ගෙන!"

මෙම රතය එක් වරක් කිලෝමීටර දෙක තුනක් එලවීමට හෙවත් පැදවීමට මාහට එක් අවස්ථාවක් ලැබුණි.

ඒ අයියාගේ ගෙදර ගිය අවස්ථාවකදී කදුරුවෙල පාලු පාරකදීය!

එහිදී අයියා මාහට දුන් අවවාද කිහිපයක් මාහට තවමත් මතක තිබේ.

"වාහනේ පාර මැද්දේ ගෙනියන්න හදන්න එපා! මල්ලි පාර මැද්දේ යන්න! එතකොට වාහනේ නිකංම පාරේ හරි විදියට එයි! ඒ ඔහුගේ පුහුණු කරු ඔහුට කියා දුන් කෙරේමේය!

"පුළුවන් තරම් තනි අතින් ඩ්‍රයිව් කරණ්න බලන්න! එතකොට ගියර් දානකොට ස්ටියරිං එක එහේ මෙහේ කැපෙන්න බලන එක වෙන්නේ නෑ!"

වම් අත ගියර ලීවරය මතය. එකල සිට අදටත්; බ්‍රේක් කඳුලක් නැති වාහන ගියරයෙන් ආම්බාන් කරගෙන එළවීමේ රහස එයමය!

අදටත් මා නොදැනුවත්ම; බොහෝ වේලාවට තනි අතින් වාහනය පැදවෙයි. එය මතක් වෙන්නේ දකුණු අත උරහිස රිදෙන්නට ගත්විටය! හැකි හැම විටෙකම මතක් කරමින් අත් දෙකම සුක්කානම මත තබා ගැනීමට උත්සාහ කරමින්ය!



21 comments:

  1. අම්මප මේවා කියවද්දී අපි ඩ්රයිවින් පුරුදු උන හැටිත් මතක් වෙනවා.
    පරණ ටයර් එකක් ලී කෝටු කෑලී දෙකකකින් බැලන්ස් කරන් දුවලා ඇති කිලොමිටර් බර ගානක්. කඩේ නම් යන්නෙම ඔය කියපු වාහනේ. කොච්චර සුන්දර ළමා කාලයක්ද අපි ගෙව්වේ.

    ReplyDelete
    Replies
    1. අපේ පරම්පරාවේ පාරදිගේ වාහන නෝළවපු, ටයර් නොපැදපු, වැලි බෙලෙක්කයක් නොඇද්ද, ලීයට ටින් පියන ගසා තල්ලු නොකරපු එකෙක් නැති තරම්!

      Delete
  2. සුභ නව වසරක්!

    මම බොහොම ආදරය කරන වාහන කිහිපයක් ගැන බොහොම ලස්සනට ලියලා තියනවා.

    මේ ලිපියේ කියැවෙන BJ 60 ය ඕස්ට්‍රේලියාවෙන් ආවේ කොහොමද කියලයි මම කල්පනා කලේ. සමහර විට "කොළඹ ක්‍රමය" (Colombo Plan ) වගේ වැඩ සටහන් යටතේ ජපානයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ආධාර හැටියට ලැබුන එකක් විය හැකියි.

    අපේ වයසේ හැමෝම රියදුරු කමට පුර්වාදර්ශයක් කර ගත්තේ CTB රියදුරන් බවත්, බස් එකේ ප්‍රියතම ස්ථානය, හාමුදුරු සීට් එකට ඉදිරියෙන් තිබුන පොල්ල හෝ බැටරි පෙට්ටිය බවත් කවදාවත් අමතක නොවෙන සුන්දර මතකයන්.

    ලංගම ඩ්‍රයිවර්ලා ක්ලච් එක පාගන්නේ බස් එක නවත්තලා පිටත් වෙනකොට විතරයි ඉන් පස්සේ ගානට ස්පීඩ් එක බැලන්ස් කරලා ගියර් මාරු කරනවා බලන්නත් ආසයි. ඩබල් ක්ලච් කලයුතු ලේලන්ඩ් ලඩි, ඩබල් තියා සිංගල් වත් නොපාගා ඇක්සලරේටර් එක පොඩ්ඩක් වැඩියෙන් පාගලා 4 ඉඳන් 3 ට දාන කොට කිසිම විටක ක්‍රෑෂ් වෙනවා ඇහිලා නැහැ. මමත් ඉස්සර ආසා කරන, සංගීතයක් ලෙස රස විඳින ශබ්දයක් තිබුනා. ඒ පරණ බෙන්ස් 352 එකක් එක්ස්හෝස්ට් බ්රේක් දාගෙන පල්ලම් වල වේගය අඩු කරගෙන ධාවනය කරන (දැන්නම් ඒක තියෙන්නේ හිතේ විතරයි) ශබ්දයයි.
    203 එකෙත් ඒකටම ආවේනික සයිලන්සරය දෙදරලා එන ලස්සන සද්දයක් තිබුනා. ඒ කාලේ පොලිසියේ ASP ලාගේ නිල වාහනය උනේ 203 එකයි.

    මගේ ජීවිතයේ පළමුවෙන්ම එලවපු (එතකොට පැඩල් වලට කකුල් දිග නැහැ, රියදුරාගේ උකුලේ ඉඳගෙන ස්ටියරිං එක පමණක් ගෙන යාම) වාහනය වෝක්සෝල් වයිවර්න් (Vauxhall Wyvern) එකක්. වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පේන්නේ නිල් අහසයි, සාගරයක් වගේ පේන තෙක්මානය පුරා පැතිරුණු බොනට් එකයි විතරයි. පාර අයිනේ තියන පොල්ගස්, ලයිට් කණු, ටෙලිපෝන් කණු වලින් තමයි පාර කොහේ තියනවාද කියලා ගෙස් කරගෙන එලවන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ 1980 - 82 වගේ කාලෙ මට මතක විදියට. ඒ කාලේ තාත්තා තමයි කිව්වේ ඒක ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නලා තියෙන්නේ කියලා! නැවත නැව්ගත කිරීමක්ද නැතිනම් ටොයෝටා ඕස්ට්‍රේලියා සමාගමේ නිෂ්පාදනයක්දැයි කියන්නට මා නොදනිමි.
      සත්තකින්ම රියැදුරු අසුනට පිටුපස ඇති පොල්ල මත හෝ බැටරි පෙට්ටිය මතින් වාඩි වූ විට කරණ්නේ රියැදුරුගේ සුරු විරු කම් නැරඹීමම තමයි ඉතිං.
      ඔව් ඒ අය ක්ලච් එක නොපාගා ගියර් දැමීමට රුසියන්. ඔබ තුමාට මතකද මංදා; ඒකාලේ රියැදුරු අසුන ආසන්නයේ හෝ එංජිම් වසුන මත හෝ ගහලා තියෙනවා "ක්ල්ච් පාදිකය පාවිච්චි නොකර ගියර් දැමීම තහනම්!" කියලා.
      බෙන්ස් 352 කියන මොඩලය ගැනනම් නිනව්වක් නෑ.
      ඒත් 911,1113, 312, වගේ සෑම මොඩලයකම බස් රථ වලට එක්ස්සෝස්ට් බ්‍රේකිං සිස්ටම් එකක් තිබුනා. මින් 1113 වල පමනක් එය ක්‍රියාත්මක වූයේ කුඩා පාදිකයක් පෑගීමෙන්. අනෙත් බස් යුගලයටම තිබුනේ සුක්කානමට යටින් වූ කුඩා ලීවරයක්.
      203 රථයේ සයිලන්සර් බටයේ කෙළවර තලලායි සකස් කරලා තිබුනේ. ඒ සුවිශේෂී නාදය උපන්නේ එයින්.
      ඔව් සැඇම් මහත්තයා ඒකාලේ ස්ටියරිං එකට හුරු කරවන එකම ක්‍රමය වූයේ; ඔබ සඳහන් කල ක්‍රම වේධයම විය.

      Delete
  3. මහත්තයා පළපුරුදු ලංගම රියදුරෙක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මහත්තයා. මම ලංගම පළපුරුදු මගියෙක්!

      Delete
  4. Hmmm another one about 'Ratha Gaya'

    Even my life was touched by most of the above except BJ60. Best was J44 My friend had one with a petrol engine, not sure if it was modified. Even today I like to buy good J44 if anyone has one.

    One of my uncle had Fiat 1100, he bought it from Jaffna (yes he went to Jaffna to buy a car) MF did not impress me much.

    Talking about Peugeot, my last car in SL was black 505 belongs to SL Govt. Very comfortable and very expensive to maintain. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම J44 කියන්නේ හොඳ රථයක්. BJ40 / 60 කියන්නේ හොඳම වාහන. BJ40 /60 ගැන ලියැවෙනවා ඉස්සරහට තව ටිකක්.

      ෆියට් 1100 රථයේ තියෙන සුවිශේෂීතත්වය තමයි එහි ඇති අනර්ඝ තිරිංග පද්ධතිය. ඒ වයසේ අනෙකුත් වාහන වලට සාපේක්ෂව හොඳ නැවතුම් බලයක් ඊට නිෂ්පාදකයා එක් කොට තිබුනා.

      පර්ජෝ 504 කියන්නේ හොඳම රථයක්. අපි ඒ ගැනත් පොඩ්ඩක් විතර කතා කරනවා.
      ස්තූතියි මේ පැත්තේ ගොඩ වැදුනාට. සුභ නව වසරක්!

      Delete
  5. මගේ පලමු වාහනය වුනේ ගල්රෝලක්. ලක්ස්ප්‍රේ හෝ නේසටමොල්ට් ටින් එකේ අඩියත් පියනත් මැදින් හිලක් විදලා කම්බියක් දමලා ඇතුලට ගල්පුරවලා ඇදගෙන එහෙ මෙහේ දිව්වා මතකයි. ඊට පස්සේ කාර් එකක්. පරණ කැළණි ටයර් එකකට කොසු පොලු දෙකක් දාගෙන ඇරියා ඇරිල්ලක් වත්තේ වංගු කෙලින් වෙන්න. ලුබිරිකේටින් වලට දමාපු වතුර වැඩිවුනාම හා ස්පිඩ් එක වැඩිවුනාම ඇගපුරාම කලුපාට වතුර නාපු දවස් තමයි වැඩි. පස්සේ කාර් එකෙන් ඊට වඩා තරමක් ලොකු බස් ටයරයකට මාරුවුනා. අල්ලපු ගෙදර කොල්ලා බයිසිකල් රිම් එකක් අරන් සෙල්ලම් දාද්දි එකට ආසාවුනත් රිම් එකක් හොයාගන්න බැරිවුන නිසා අතහැරලා දැම්මා. ජිවිතයේ එලවපු පලමු රෝද හතරවුනේ තාත්තා ගත්තු Austin 1300 කාරය.

    ReplyDelete
    Replies
    1. දැක්කේ නැද්ද මම මහේෂ් මල්ලීට ලියපු කොමෙන්ටුවේ ඔය ගල් රෝල් සීන් එක ලියලා තියෙනවා. ඇත්තටම ඒක සුපිරි භාන්ඩයක් තමයි.
      ඔස්ටින් 1300 කියන්නේ සුපිරි වාහනයක්. ඔස්ටින් මිනි එක්ක ආපු වාහනයක් කියලයි මට හිතෙන්නේ. (මිනි එකෙන් පස්සේ)
      පොලොවට බදලා යන ඒ වාහන දකින්නත් ආසයි.

      Delete
  6. //පෙර බෞතීස්ම ලබූ කැලෑ //

    Labookellie ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඒකාලේ කිව්වේ "කැලෑ දෙපාර්තමේන්තුව" කියලානේ. මට හොඳට මතකයි තාත්තලාගේ ප්‍රධාන කාර්යාලයේ (ඒ කියන්නේ කිව් පාර මුල ) ලොකු සුදු පාට බෝර්ඩ් එකක කලු පාටින් "කැලෑ දෙපාර්තමේන්තුව" කියලා පරණ බෝර්ඩ් එකක් තිබුනා.
      ඔයාට කියන්න ඒ කාලේ දෙපාර්ත්මේන්තු ප්‍රධානියා වන CF (Conservator Of Forest) ට කිව්වේ කැලෑ රජ්ජුරුවෝ කියලයි!

      Delete
  7. මේ කොමෙන්ට් එක ලියන්නෙත් ඉස්කෝලෙ කාලෙ බස් ඩැයිවර් කෙනෙක් වීමට සිහින මැවූ තවත් එකෙක්.
    ඒ කාලෙ ගියර දමමින් පාරේ දුව ඇවිදින කොල්ලන් හරියටම කියනවනං අතින් 'සිග්නල්' එකත් දාල තමයි සර් වාහනේ හරවන්නෙ, නැද්ද ලොකු සර්.
    එදා ලස්ප්‍රේ ටින් ටැට්ටර් ඇදපු එවුන් අද ගියර් දහාටේ ඇංජිමෙන් අඩි පනස්තුනේ ටේලර් බර බර ගාල අදිනකොට කෝමද සර්. බස් ඩැයිවර් නොවුනට රෙන්ට් එකට පාට් ටෛම් ටැට්ටර් පදිනකොට කාටද ආඩම්බර.

    ජයවේවා!

    Sam Perera සර්ගේ Vauxhall Wyvern එක දැකල මතක් උනේ. පහු කාලෙක මට මිත්‍රයෙක් පෙන්නුවා පරණ පේප කටිං එකක්. Vauxhall ඇඩ් එක.
    Vauxhall Wyvern එකට අමතරව Vauxhall Velox එකත් එකේ තිබුණා. නියම සමින් පෙරාදු කළ, සිලින්ඩර් හයේ Vauxhall Velox රථය. අන්න එහෙමයි එදා පත්තරේ තිබ්බෙ.
    ඇත්තම කියන්ඩ ඕනේ, Wijebahu උන්නැහේ නං පූජෝ එකට හොඳින් නාල තියෙනවා වගෙයි. දැනගෙන නියම ක්‍රමේට වැඩ ටික කලානං 504, 505 එච්චර නඩත්තුවට වියදං වාහන නෙවේ, හැබැයි පැස්ටෝල් ගැහිල්ල නං ලොකු සර් ඉතින් වෙනම කතාවක්.

    ෆොග් ලෛට් 1100ට ආසනං මෙන්න ගින්දර වගේ බඩු!

    Again ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැට්ටර් මල්ලි ඒකාලෙ ආයෙ එන්නේ නෑ. කියලා වැඩක් නෑ!
      වොක්ෂාල් වයිවන් එකක මම පළමුව ගියේ අපේ අම්මා එක්ක.
      අපේ අම්මාට හිටියා ඥාති සොහොයුරෙක් එයාට අම්මා කිව්වේ "පොල්දුගොඩ අයියා" කියලා. එයා කාලගුනේ ලොක්කෙක් වෙලා ඉඳලා පස්සේ කෝච්චියට යට වෙලා මැරිලා තියෙනවා.
      ආන්න ඒ මාමාගේ මල්ලි ගාව මේ ජාතියෙ කාර් එකක් තිබ්බා!
      අප්පා බලන්න එපායැ!
      අපි පර්ජෝ ගැන කථා කරමු.
      සුභ නව වසරක්!
      ආ කියන්න බැරි උනා එළ ෆියට් 1100 එක!!!!

      Delete
  8. ඩ්‍රයිවර් හීන කවදාවත් නොතිබූකොට
    මොනවා ලියන්නද අන් අය වගෙ රහට
    කවදාවත්ම වාහනයක් නොතිබුණට
    නොමිලෙම ඒවයින් යන පින තිබෙයි මට!

    ReplyDelete
    Replies
    1. නිදී මහත්තයා! සුභ අළුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්දේත් පසුගිය අවුරුද්දේ මෙන්ම අන් රථ; තමාගේ සේ පරිහරණය කිරීමට ලැබේවා කියා පතනවා.

      Delete
    2. බොහොම ස්තුතියි ධනාත්මක සුබ පැතුම වෙනුවෙන්!

      Delete
  9. අපිත් පොඩි කාලෙ මොන ලැයිසමක්වත් ඇල් බෝඩ් එකක්වත් නැතුව මේඩ් ඉං සිරි ලංකා වාහන එලෝපු කට්ටිය තමයි. ඒ ලෙවල් ලියල ලර්නස් ගිහිල්ල ලයිසොං ගත්තට අවුරුදු 10 ක් විතර යනකල් ඩ්‍රයිවිං සීට් එකක වාඩි වෙන්නවත් හමුබඋන්නෑ හැබැයි.
    ඔය තනි අතිං එලවිල්ලනං මටත් පුරුදු වෙලා තියෙනව.

    තට්ට මහත්තයට සුබ නව වසරක් වේවා කියන්න පරක්කු නෑ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. හප්පේ දැක්ක කල්! අපි හැමෝම එක පරපුරක අවයව නේ ප්‍රසන්න!

      Delete
  10. මට තිබ්බ ටෑරෙක පටලවං දරුණු රිය අනතුරක් උනයින් පස්සෙ තාත්තා ඒක හෙලපල්ලට විසික් කෙරුවා. ඊට පස්සෙ ගත්තෙ පුස්සයිකලේ, ඒකෙං වැටුනට පස්සෙ තාත්ත ඒකත් විකුනුවා. ඊට පස්සෙ ආයිත් පුස්සයිකලේ. ඒක තියෙද්දිම මෝට සයිකලේ ගත්දි පුස්සයිකලේ පුංචම්මා ගත්තා. මෝට සයිකලේ තියෙද්දි ගත්ත මරුටිය මාව හිඟමනට දාලා යන්න ගියා. දැං තියෙන්නෙ තමුන්නැහැලෑ අනුබද්ධ සමාගම වන යුනිමෝඩයින්ගෙන් ගනිපු සොටිය. දැං ඒක පදිනවා. මෝට සයිකලේ ගෙයි. ඉස්සර නං වාහන එළවිල්ල ජොලියක් තමා. දැං නං ඒකත් බත් කනව වගේ නොකර බැරුවට කරන දෙයක්.

    ReplyDelete
  11. ප්‍රිය මහත්මයාණෙනි,
    ඔබ විසින් අප ආයතනයට අනුබද්ධ ආයතනයක් වන යුනි මෝඩයින් ගෙන් මිලදී ගත් වාහනය පසු පස No Mad කියා පැහැදිලි අකුරෙන් ලියා තිබෙනු නොදුටුවේද?
    ඒ "මා මෙය මිළදී ගත්තද සිහි මද ගතියකින් පසුවන්නෙකු නොවේ!" යන්න අන් අයට දැන සැලැස්වීමට අප ආයතනය මගින් බොහෝ සිතා මතා ගත් තීන්දුවකි! තීරණයකි!! පියවරකි!!! ක්‍රියා කාරකමකි!!!! ඒ සියල්ලටම වඩා අපගේ පාරිභෝගික මහතුන් වෙත පතල මහා කරුණාවෙන් යුක්තව ගත් දූර දර්ශී පිං කමක ප්‍රථිපලයකි!
    ස්තූතියි.

    ජය වේවා!!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...