Tuesday, December 22, 2020

187. තිස් අවුරුදු රථ මතක . . . . ! (1)

 

                       

   
මොරිස් ජේ 2 වක් 

ජීවිතේ ගත කරණකොට කාලෙන් කාලෙට සෙට් වෙනවා එක එක විදියේ ප්‍රොජෙක්ට්ස් හෙවත් ව්‍යාපෘථි. 
ඇත්තම කිව්වොත් මේවා Pet Projects ය!
(Wiktionary. pet project(Noun) A project, activity or goal pursued as a personal favorite, rather than because it is generally accepted as necessary or important)

ජීවත් වීමට හීන අවශ්‍ය වෙනවා මෙන්ම  ජීවත් විම යනු හීන හඹා යෑම කියලයි මට නම් හිතෙන්නේ.

පහුගිය කාලෙට එපිටින් කාලයක් බ්ලොග් ලෝකයෙන් ඈත්ව ඉන්නට වුනේ අපේ Teepee the Campsite හෙවත් කඳවුරු බිමේ වැඩකටයුතු නිසා. ඒක වෙනමම ලියන්න ඕන කථාවක්. මෙතන්දි "අපේ" කිව්වේ මගේත් මගේ මිත්‍රයා පසිඳුත් එක්ව මේ වැඩේ කරණා බැවින්!

මේ දවස් වල කර ගහගෙන ඉන්න ව්‍යාපෘථිය ඊට වෙනස් එකක්.

ඒ පරණ වාහනයක් ජව ගැන්වීම!

මට හිතුනා මේ ගැන ලියා තියන්න ඕන කියලා.

නමුත් ඒ මේ අභිනව වාහනය ගැන පමනක් නොවේ.

මගේ ජීවිතයට සහ සම්බන්ධ වූ සියළුම වාහන පට්ටල් කරගෙන පොඩි කථා වැලක්. (නිකං රෙදි වැලක් වගේ!)

මෙකට හොඳ නමකුත් ඕනේ.

නොරථ රථ! ඔව් ඒක හොඳයි වගේ. පස්සේ හිතුනොත් මාරු කරමු!

මා දන්නා කාලේ පටන් අපේ තාත්තාට "අයිති" වාහනයක් තිබුනේය. ඉහත වැකිය තුල "අයිති" යන විශෙෂණය යෙදුවේ; එහි අයිතිය නමට අපේ තාත්තාට වුවද පාවිච්චි කලේ බාප්පා විසින් වීමය!

මීට වසර 50 කට පමණ පෙර ලංකාවේ හැම නගරයකම පාහේ කුඩා මාර්ග පද්ධතිය ආවරණය කලේ කුඩා වෑන්, ලොරි භාග මගිනි.

මහා බ්‍රිරිතානිය ලෝකයේ කෙලි කාරයා වූ ඒ කාලේ ඔස්ටින්, මොරිස්, කොමර්, ෆාගෝ වැනි වාහන මෙම මාර්ග පද්ධති අයිති කරගෙන තිබූ අතර ෆෝර්ඩ්, ශෙවර්ලේ හෙවත් චවලට් වාහනද රටේ හැම නගරයකම පැවතුනි.

බොහෝ වහන වල පිටුපස පැවතියේ ලොරි බොඩියකි.

යටියන්තොට නගරයටද මෙය වෙනසක් නොවීය.

එම නගරය අරක් ගත් කුඩා ඔස්ටින් හා මොරිස් වෑන් රථ දෙකක්, කැනඩා ෆෝඩ් ලොරියක්. චවලට් ; ලොරි බොඩි ගැසූ කුඩා ලොරි භාගයක් නිතර නගරයේ දක්නට ලැබුනි.

එම වාහන යටියන්තොට සිට කරවනැල්ල, පූනුගල, බෙරන්නාව, සී පෝත් වැනි කුඩා නගර ගම් දනව් කරා ධාවනය වුනි.

යටියන්තොට හා කරවනැල්ල අතර දිවුනු  "වාසනා" ලොරි පොඩ්ඩ සකසා තිබුනේ විශාල කාරයක පසුපසට ලොරි බොඩියක් ගැසීමෙනි. මේ රථය ගැන විවිධ කථා එකල පැතිරුණි. ඉන් එක් කථාවක් වූයේ මෙම රථයේ පෙර අයිතිකරුවා එම කාරය මිලදී ගැනීමට පෙර එහි  මල සිරුරක් ගෙන ගොස් ඇති අතර එයින් පසුව එම රථය රාත්‍රී කාලයේදී ධාවනය කරණා විට පසුපස ආසනයේ සිට ඉදිරි ආසනයට එන්නට උත්සාහ කරණා විශාල මිනිසෙකු දක්නට ලැබෙන බවය! අවසානයේදී මෙම කාරයේ පසු පස කොටස ඉවත් කොට එය ලොරියක් බවට පත් කලේලු!

මේ කථාව මම මගේ මිතුරන් පිරිසකට කී පසු ඔවුන් කීවේ "ඒක තමයි උඹත් ලොරි පොඩ්ඩෝම ගන්නේ!' කියාය! කුමන කථාද ඉතිං!?!?!?!?

යටියන්තොට නගරයේ පැවති කුඩා ඔස්ටින් හා මොරිස් වාහන දෙකේ අයිතිය තිබුනේ පරුස්සැල්ල පාරේ ඉම්පීරියල් සිනමා ශාලාව අසල තිබුනු "කම්මලේ"  ගෙදරටය.

මෙම වාහන දෙක ම J 2 වර්ගයේ වාහන වූ අතර අපගේ බාප්පාගේ මැදිහත්වීමෙන් මොරිස්  J 2 වාහනයට අපේ තාත්තා බෙල්ල තියන ලද්දේය!

එම වාහනය මිළදී ගැනීමෙන් අපගේ හත්මුතු පරම්පරාවට සිදුවූ එකම සුගතිය' බාප්පා; ඉන්දු ඇන්ටීට කරගැසීම පමණක් බව අම්මා නිතර කියණු මට ඇසී ඇත!

වාහනය සඳහා සිදු කෙරෙණ සියළුම වියදම් තාත්තා විසින් දරනු ලැබූ අතර එහි අදායම බාප්පා විසින් වග කියනු ලැබීය.

කොටින්ම බාප්පාට රස්සාවක් සැපයීම; තාත්තා එම වාහනය මිළදී ගැනීමෙන් බලා පොරොත්තු වූ අල්ටිමේට් ටාර්ගට් එක වුනේදැයි මා හට සිතේ!

පෝස්ටුව පටන් ගන්නා තැන නමෝ විත්තියෙන් එල්ලා ඇත්තේ එම මාදිලියේ වාහනයක පිංතුරයකි.

මෙම වාහනයේ එන්ජිම තිබුනේ රියැදුරු අසුනත් වම්පස පැසෙන්ජර් අසුනත් අතර මුනින් නවා තිබූ බන්දේසියක් වන් පියන යටය.

එම පියන ඇර බැලීම හෝ එය රින ලද මොහොතක එයට එබී බැලීම කුඩා මගේ පමණක් නොව ලොකු කුඩා බොහෝ දෙනාගේ සතුටට හේතු භූත වූ කරුණකි.

ඒ එකල මෙවැනි යන්ත්‍රෝපකරණ සුලභ නොවූ අවදියක් වූ බැවිණි.

එන්ජිමේ මුදුන හෙවත් රොකර් ආම් කවරය තද කොල පැහැයෙන් දිළිසුණි!

එන්ජිමේ පසෙකින් සවිකොට තිබූ කිරි පැහැති ස්පාර්කින් ප්ලග් හතරට කුණු ලේ පැහැති වයර හතරක් සවිවී තිබුනි.

එම වයර හතර පැමිණියේ ඩැල්කො එකේ සිටය.

පරණ බාසුනෑලා ඩැල්කො කියන්නේ ඩිස්ට්‍රිබියුටරේටය. උන්නැහැලා ඇක්සලරේටරයට කියන්නේ "ගෑස් පැඩල් එක කියාය. කාබියුරේටරය ටියුන් කරණ්නේ; සීරු මාරු ඇනය "දෙමල කෙස් ගහක්" තරම් එහා මෙහා කිරීමෙනි. මේ තවතෙක් උප සංස්කෘථියකි!

ඩැල්කෝවේ මැදට; එන්ජිම පිහිටි කුටියේ පසෙකට වෙන්න බොඩියේ සවි කොට තිබුනු ඇලුමිනියං පැහැති බෝතලයක් වන් කොයිලයේ සිට කළු පැහැති වයරයක් ඇවිත් තිබුනි.

මේ සියල්ලෙන්ම එන්ජිමට ගෙන ආවේ අලංකාරයකි. නම්බුවකි. ගෞරවයකි. ආඩම්බරයකි!!!!

ගියර් ලීවරය තිබුනේ සුක්කානමට යටින්ය. තේරේන හිංගලෙන් කියනවා නම් ස්ටියරිං ගියර් ය!

අපේ තාත්තා කම්මලේ ගෙදරින් මොරිස් J 2 ව ගෙන ආ පසු එහි ඉතුරු වූයේ ඔස්ටින් J 2 වයි.

                                                                      ඔස්ටින් ජේ 2 වක්

එදාද අද මෙන්ම පෞද්ගලික වාහන වල සෙනඟ පැටවීම පොල් පැටවීමක්ම විය.

අද මෙන් කොන්ද කෙලින් තබා ගෙන යා නොහැකි කුඩා වෑන් හා ලොරි භාගා වල මිනිසුන් ගැහැනුන් විරව පට්ටං ගසාගෙන ඉවසා වැදෑරූහ.

ජේ ආර් ජයවර්ධන පාලනය සමග මෙරටට නැවතත් පෞද්ගලික බස් රථ හඳුන්වා දුන් අවධියේ නගරාන්තරව දිවුනේ මිට්සුබිෂි රෝසා, ටොයෝටා කෝස්ටර්, නිසාන් සිවිලියන් බස් රථය.

දෙයියංගෙ පිහිටෙන් ඒවාද ෆ්ලැට් රූෆ් විය.

කොළඹ ත්‍රීකුණාමළය දිවුනු ඊස්ටර්න් ටුවර්ස් හි ඉසූසූ ජර්නි කේ ලොකු බස් රථය හැරුණු විට අනෙක්වා රෝසා බස් විය!

මෙම  ඉසූසූ ජර්නි කේ හා මිට්සුබිෂි ෆූසෝ බස් රථ වලද වහලය තිබුනේ තරමක පහතින් වූ බැවින් හිටගෙන යන්නට වූයේ; රියැදුරුට ඉහළින් වමට බරව සවිකොට තිබූ සිටිසන් ඔරලෝසුව දෙස බෙල්ල නවාගෙන බලාගෙනය.

 අපගේ වෑන් රියේ ආසන පහසුකම් සකසා තිබුනේ රියැදුරු හැර 8 දෙනෙකුටය. වරක් එම රථයේ අධික ලෙස මගීන් පටවාගෙන යාම  සඳහා අවිස්සාවේල්ල උසාවියේ නඩුවක් වැටිනි.

නඩුව නිෂ්ප්‍රභාවූයේ අපගේ නීතීඥ්ඥ මහතා ගෙන හැර පෙන්වූ කරුණක් හේතුවෙන්ය.

"ස්වාමීනී එංගලන්තයෙන් මගීන් අටදෙනෙකුගේ සීමාවකට සකසා එවන ලද මේ 3ශ්‍රී3296 රථයේ මිනිසුන් 22 කු සිටි බවට පොලීසිය කරණු ලබන පැමිණිල්ල විශ්වාස කල හැකිද?"

හිතා ගන්නකෝ පටවන ලද පැටවිල්ල!

මෙම රථයේ ඉදිරි පස සමන්විත වූයේ I අක්ෂරයේ පරිදි හරස්කඩවූ බීම් ඇක්සලයකි. දිනක් බාප්පා අපගේ නිවසට පැමිණියේ මෙම ඇක්සලය කර ගසා ගෙනය.


බීම් ඇක්සලය

එය දෙකට මැද්දෙන් ඉරිතලා තිබුණි.

දුනු කැඩීමේ සීමාවක් නොවීය.

අවසානයේ තාත්තා මෙය විකුණා දැමීමට තීරණය කලේය. ඒ එයට  ගෙඩි රුපියල් 35000/= ඔෆරයක් ලැබීමත් සමගය.

එහෙත් බාප්පා එයට හරස් විය.

තවත් කාලයක් ගතවීමෙන් පසු එය  විකුණා දැමීමට බාප්පා එකඟ කර ගැනීමට තාත්තාට හැකිවිය.

අවසානයේ තාත්තා මහත් වැර වෑයමෙන් වෑන් රිය විකුණා දැම්මේය.

ඒ රුපියල් 17500/= කටය!

ඒ අපේ තාත්තාගේ අවසන් වාහන අයිතිය විය!

23 comments:

  1. Every family has a freeloader like your Bappa.

    We still have my father's Fordson (face is like this, see link below)I learned driving in this. Steering play is about 180 degrees, and lot of other interesting options like peddle 5 times before brake works etc.

    We also had a Minor wagon, this was in very good condition. Every year we went Katharagama and Kandy in that one. Aaaa Good old days. (Wijebahu)

    https://www.pinterest.com.au/pin/106749453652601294/

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කලින් එකසිය ගානට සමාවෙන්න ඕනෑ පිළිතුරු පමා උනාට. කොළඹින් පිට සිටි නිසාත් විවිධ ව්‍යාපෘථි නිසාත් ලියන්නට බැරි වූවා.

      ඔයාට කියන්න අපේ බාප්පා; තාත්තා පලමු වතාවේ වාහනේ විකුණන්නට යද්දී "මේක විකුණන්න හැදුවොත් පෙරෙළලා දානවා!" කියලයි වැඩේ දෙල් කලේ! මං හිතන්නේ ඒ තරම් නරක එකෙක් නම් ඔබතුමාලගේ පවුල් වල නොඉන්න ඇති.
      මොරිස් මයිනර් වැගන් ඒ කාලේ වතු වල ලොකු මහත්වරුන් බොහෝ දෙනෙක් පාවිච්චි කලා.
      ඒ වාහනයක් නැවැත්වූවාම බොඩිය වටේට ගහල තියෙන ලී රාමුව අතගා බැලීම නොකල එකෙක් නැතිව ඇති.
      බැරිවෙලාවත් බොනට් එක ඇරියොත් නම් බෝනස්!

      Delete
  2. පරණ වාහන වලට ආදරය කරන අය මොන හේතුවක් නිසාවත් ඒ ආදරය නැති කරගන්නේ නැහැ. ඒක ජීවිතයේම කොටසක් මිසක් බාහිර දෙයක් නොවෙයි. මම කලකට පෙර ඔයාගේ බ්ලොගයට ලියාපු පළමුවැනිම කොමෙන්ට් එකත් පරණ වාහනයක නොම්මර තහඩුවක් ගැනයි. ඒකට ඔයාගෙන් ලැබුන දිරිගැන්වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම සිංහල කොමෙන්ට් භාවිතය පටන් ගත්තේ!
    මේ J 2 එකයි, LD 5 (තැපැල් වෑන්) එකයි තමයි නොයෙකුත් විදියට බොඩි ගහලා අයිස්ක්‍රීම් වෑන් එකේ සිට ඉඳලා මගී ප්‍රවාහන වාහන (ඒවා බස් කිව්වාට හුඹස් ) දක්වා වන සියලු කටයුතු වලට එකල භාවිතා උනේ.
    ඉහළ විජේබාහු කියලා තියන විදියේ අංශක 180 ස්ටියරින් ප්ලේ එක, බ්රේක් පැඩල් එක පම්ප් කිරීම, වයිපර්, හෙඩ්ලයිට් වගේ ස්විච් ඔන් කරලා, ඊට පස්සේ ස්විච් එකට හොඳ තට්ටුවක් දැමීම, වගේ දේවල් විතරක් නොවෙයි, තල්ලු ස්ටාට් කිරීම , ක්ලච් එක ඕෆ් වෙන්නේ නැතිඋනාම එලවන විදිය වාගේ විශාල අත්දැකීම් සම්භාරයක් ඒ කාලේ රියදුරන්ට තිබුනා. රේඩියේටර් ලීක් වලට කෝර් එකේ අමු කෙහෙල් කහට ගෑම, ඊටත් වඩා දරුණු ලීක් වලට (අමු)බිත්තර සුදු මද දැමීම, බ්රේක් වොෂර් ගිහිල්ලා නම් පුංචි ඇනයක් දමා ලයින් එක බ්ලොක් කිරීම, වයිපර් වැඩ කරන්නේ නැතිනම් දුං කොලයක් හෝ එඬරු නැට්ටක් ඇතිල්ලීම, ස්ටාර්ට් වෙන්නේ නැති පරණ ඩිසල් වාහන වලට "යකා පෙන්නා" ස්ටාර්ට් කරගැනීම වගේ දේවල් නොදන්නා කෙනෙක් එකල රියදුරෙක් හැටියට සැලකුනේ නැහැ.
    1970 දශකයේ අග, ලෝක බැංකු සභාපති වූ රොබට් මැක්නමාරා මහතාගේ ලංකා සංචාරය අතරතුරදී (දඹුල්ල, හෝ පොලොන්නරුව වගේ තමයි මතක) පාර අයිනේ තිබුන කැටපිලර් එකක් දැකලා ඒ මහතා ඒ ගැන විමසිලිමත් වෙලා තියනවා. ඒවා ඒ වනකොට (ඇමරිකාවේ) භාවිතයෙන් ඉවත් කරලත් දශක ගණනක් වන පුරාවස්තුවක් හැටියට තමයි ඔහු සලකලා තියෙන්නේ. නමුත් මේක වැඩ කරන එකක් කියා කිව්වාම එතුමන් විශ්වාස කරලා නැහැ. නමුත්, එහි ක්‍රියාකරු ඇවිත් කොහු ලණු කැරැල්ලක් ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ ඔතා, ඩිසල් පොඟවා එයට ගිනි තබා මැනිෆෝල්ඩ් එක හොඳටම රත් උනාම වෙන වාහනයකින් ජම්ප් ස්ටාර්ට් කරලා වැඩ කරවලා පෙන්නලා.තියනවා. මේ දේ මතකයේ තිබුන මැක්නමාරා මහතා, තම අවසන් වාර්තාවේ ලංකාවට දෙන ආධාර වලින් ලාංකිකයන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා බව තමන් පුද්ගලිකව අත්දුටු බව ලිව්වා කියලා තමයි වංශ කතා වල කියැවෙන්නේ.
    අද අපිට නම් නත්තල් නිවාඩුව පටන් ගත්තා. ඔබ සියලු දෙනාටත් සුභ නත්තලක්.

    ReplyDelete
    Replies
    1. පොස්ටුවට තරම්ම ඔබේ කොමෙන්ටුවත් රසවත්. ඇත්තටම ඒ වගේ මිනිස්සුත් ලංකාවේ හිටියා නේ.

      Delete
    2. සියල්ලටම කලින් එකසිය ගානට සමාවෙන්න ඕනෑ පිළිතුරු පමා උනාට. කොළඹින් පිට සිටි නිසාත් විවිධ ව්‍යාපෘථි නිසාත් ලියන්නට බැරි වූවා.

      සැමදාම වගේම අදත් අත දිග ඇරලා ලියාපු කොමෙන්ටුවක්. ඇත්තටම එය මගේ පෝස්ටුවටත් වඩා රසවත් කිව්වොත් අතිශයෝක්තියක් නොවෙයි.

      ඔබගේ කොමෙන්ටුව මාගේ ලිපියට ආභරණයක් වූ සේයාවක්.

      ඇත්තටම ඒකාලේ රියැදුරන්ට ඔබ කියනා විදියේ දැනුමක් තිබුනා. ඔබ අතින් නොලියවී තිබුනේ තෙත රෙදි කෑල්ලක් ඉග්නීශන් කොයිල් එකේ ඔතා ගැනීම විතරයි මං හිතන්නේ.
      LD 5 ට කලින් ආවා LD 2 කියාලා වාහනයක්. බොහෝ විට ඒක ලොරි පොඩ්ඩෙක් විදියට බොඩි ගහලයි තිබ්බේ. ඒකාලේ කිතුල්ගල ඇම්. ජී. පෙරේරා මහත්තයා ගාවත් කොල පාට ලොරි පොඩ්ඩෙක් හිටියා!
      ස්තූතියි ගෙවදුනාට ලීවාට!

      Delete
  3. ඒක තමයි එහෙනං අර අපේ මළ ගෙදර එද්දි සිංගල් කැබ් එකේ ආවෙ නේද? දැනුයි තේරුණේ...

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කලින් එකසිය ගානට සමාවෙන්න ඕනෑ පිළිතුරු පමා උනාට. කොළඹින් පිට සිටි නිසාත් විවිධ ව්‍යාපෘථි නිසාත් ලියන්නට බැරි වූවා.

      "තේරුණේ දැන් තමයි . . . . (එකොළහයි)"


      Delete
  4. classic (සම්භාව්ය) වාහන ගැනනම් මටත් මෙව්වා එකක් තියෙනවා. ලංකාවට ආපු කාලෙක project එකක් කරන්න හිතන් ඉන්නේ. මේ පොස්ටුව ලොකු උපකාරයක් වෙයි එහෙනම්. දැන් කාර් පිස්සුවත් ලියන්නේ නැහැනේ.

    ඔය කියන ලොරි බාග කුඩා වැන් plat roof වල අත්දැකීම මටත් ටිකක් තියෙනවා. අපි ස්කොලේ යන කාලේ නම් 202 (ගම්පහ කිරිදිවැල) බස් පාරේ තිබ්බෙම plat roof.

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කලින් එකසිය ගානට සමාවෙන්න ඕනෑ පිළිතුරු පමා උනාට. කොළඹින් පිට සිටි නිසාත් විවිධ ව්‍යාපෘථි නිසාත් ලියන්නට බැරි වූවා.

      ඔව් ඒකාලෙ තිබුනෙම ෆ්ලැට් රූෆ් බස්ම තමයි. මම මේ කියන කාලේ තිබුනේ එකසිය ගානට පොඩි වැන්. ඔය රෝසා, ජර්නි, කෝස්ටර් ආසන 26 බස් දුවන කාලේ පොඩි පොඩි පාරවල් වල දිව්වේ ළLH30 හයි ඒස් වැන්! එල්ෆ් , කැරවෑන්, ෆාර්ගෝ වගේ වාහන! 168 නුගේගොඩ බොරැල්ල, 163 බත්තරමුල්ල දෙහිවල පවා දිව්වේ මේවා!~
      ඒවානම් සුපිරිම කරුම!


      Delete

  5. මං පාවිච්චි කරන වාහනනම් ඉතින් මට පහසුව සඳහා භාවිතා කරන යන්ත්‍රයක් පමණක් වුනාට,
    පරණ ඒවා දකිනකොට නම් ආසාවක් එනවා. කැරැක්ටර් එකක් තියනව වගේ හිතෙන නිසා. හරියටම ඒක විස්තර කරන්න මට අපහසුයි.

    ඔස්ටින් එක ටිකක් විතර අර යටියන්තොට ඇෆ්‍රිකන් අලියා වගේ .

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කලින් එකසිය ගානට සමාවෙන්න ඕනෑ පිළිතුරු පමා උනාට. කොළඹින් පිට සිටි නිසාත් විවිධ ව්‍යාපෘථි නිසාත් ලියන්නට බැරි වූවා.

      ඇත්තටම අර "කාර් පිස්සුවා" කියනවා වාගේ වාහනයකට සංස්කෘථියක් තියෙනවා. මම නම් හිතන්නේ ඊකට ආත්මයකුත් තියෙනවා කියාලායි.

      නෑනෑ මේකනම් ඇෆ්‍රිකන් අලියෙක් නෙවෙයි. ඔරීම ජිනල් ඔස්ටින් ජේ
      එකක්!

      Delete
  6. බාප්පා කිව්වට මිනිහා ලොකු මාරකයක් වගේ. ඔය යකා තව හිටියා නං තාත්තාගේ ඇට දෙකත් විකුනනවා. හොද වෙලාවට ඔයින් ගැලවුනේ.

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කලින් එකසිය ගානට සමාවෙන්න ඕනෑ පිළිතුරු පමා උනාට. කොළඹින් පිට සිටි නිසාත් විවිධ ව්‍යාපෘථි නිසාත් ලියන්නට බැරි වූවා.

      ඇත්තටම තාත්තා ඒ යකා කියන කියන විදියට වැඩ කරණ කොට "ඒ" වෙළඳාම කලින්ම කරලාද කියලත් අපට හිතෙනවා දැන්නම්!

      Delete
  7. අලිමාලු කන්න ඕනේ ඔය ඔස්ටින් ළඟ කපන්න නං

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කලින් එකසිය ගානට සමාවෙන්න ඕනෑ පිළිතුරු පමා උනාට. කොළඹින් පිට සිටි නිසාත් විවිධ ව්‍යාපෘථි නිසාත් ලියන්නට බැරි වූවා.

      අම්මට සිරි කොහෙද හැට්ටර් හිටියේ! කොහොමද ඔහේ හිමද?
      ඔව් ඒවායේ එන්ජිමෙන් කලේ පිටිපස්සෙ රෝද දෙක කරකවන එක විතරයි. වෙන කිසිම දෙයකට එයා හවුල් උනේ නෑ. ඒ නිසා අතේ පවර් තමයි ඉතිං!

      Delete
  8. අයියා මෙහෙම ලියද්දි මතක ගොඩක් ඇවිස්සෙනවා.

    ඉස්සරම මඩපාත - පිළියන්දල (157) දිව්ව බස් ලොරිය මතක් උනා (සමපෝෂ ඇඩ් එකේ තියෙන්නේ ඒක තමයි) .... හම්මේ බලන්න එපැයි ආඩම්බර කාර මුණ .

    අදටත් දෙකම දුවනවා ... දැන් පාසැල් සේවය .
    මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් , google ස්ට්‍රීට් වීව් එකට සෙට් වෙලා තියනවා .
    https://www.google.lk/maps/@6.764,79.930043,3a,75y,77.71h,83.13t/data=!3m6!1e1!3m4!1sC7qssiQLetMDFlo2wU_i_A!2e0!7i13312!8i6656

    ReplyDelete
    Replies
    1. මල්ලි කොහේද? මෙරටද නොරටද? බොහෝ කාලෙකින්! ඔයා එවපු ලින්ක් එකේ තියෙන්නේ Austin FG Range වාහනයක්. ඇත්තටම මේ මෝස්තරේ පුංචිම එක. ලොකු ලොරිත් ආවා. සාමාන්‍යයෙන් මිනිස්සු මේවාට කිව්වේ ඔස්ටින් වඳුරු මූන කියලයි. අනිත් එක ලේලන්ඩ් ෂර්පා එකක්. බොහොමත්ම ස්තූතියි මේ පැත්තට ආවාට!

      Delete
  9. හොඳටම පරණ 'ලඩි'වලටත් පෙම් බැන්දොත්
    තවත් නාකි වෙයි කියලා බයත් හිතෙත්
    තවත් කොහෙද දැනටත් වයසයි කියලත්
    හිතුණත් කියෙව්වා මේ ලිපියත් රසවත්

    ලිපියේ වැඩි හරිය මට දිරවන්නෙ නැත
    වාහන ගැන මෙලෝ හසරක් දන්නෙ නැත
    යන්තර ගැන අජීරණයක් මෙමට ඇත
    ඒකට මං මිසක් ඔහෙලා පළිද? නැත!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මෙහි පැමිණියාට නිදි මහත්තයා!

      Delete
  10. ඇමරිකන් හමුදාව කැඳවා මාවනැල්ල නගරයේ පරිපාලනය ලබා දෙමු. සන්නධ අරගලයකින් මාවනැල්ල නගරයේ පරිපාලනය අත්කරගමු. කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලයේ නියුතු විමුක්ති ගරිල්ලන් සටනට කැඳවමු

    ReplyDelete
  11. දෙමු! දෙමු!! කොහොමත් මුළු රටම දෙන එකේ ආයෙ මාවනැල්ල විතරක් ඉතුරු කරගෙන අහවල් කෙංගෙඩියකටද?

    ReplyDelete
  12. lreKdlr
    merKs jdyk ms,sn|j lshùug
    cSú;fha Ths,a me,a,ï
    kjl;dj lshjd n,kak
    lra;D ;rs|q Y%S f,dl=.uf.a

    ReplyDelete
  13. නොරත රථ ඔන්න මුල ඉඳල කියවන්න ගත්තා. :)

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...