Friday, April 6, 2018

89. සයිකලයෙන් තල් අරණට……1


"ගියොත් හොඳ පෝස්ටුවක් . . . !
 නොගියොත් හොඳ ප්‍රවෘථියක් . . . . !!
 මොනවා උනත්  හදවතට දුන් පොරොන්දුවක් . . . . . . . !!!"


මම මේ පාරම්බාන බේත් කඩේ !

මමත් පවුලේ සැමත් කඩවත අසල දන්නා කියන නෑයො නොනෑයොත් බෙහෙත් ගන්න ෆාමසියකට කියලා යන්නේ කඩවත “පුරසඳ ෆාමසියට ”! මේකට හේතු භූථවූ කරුණු කාරණා රාශියක්ම තියෙනවා.

1.   කාරුණික පාරිභෝගික සේවය.

2.   බේත් හේත් ගැන  ඇති දැනුම.

3.   තමාට සැපයීමට නොහැකි වේනම් වෙනත් තැනකින හෝ ගෙනැවිත් සැපයීම.  එම අවස්ථාවේම සැපයීමට අපොහොසත්වේනම්  ලද විගස පාරිභෝගිකයාගේ අංකයට අමතා  දැන්වීම.

4.   සල්ලි ඇත නැතා බෙහෙත් ගැනීමට හැකිවීම.

5.   දූරකථන ඇමතුමකින් දැන්වූ පසු  හවස ගෙදර යන ගමන් ගෙනයාමට සූදානම් කොට තැබීම. (සැමදා  බෙහෙත්  ගන්නා පාරිභෝගිකයින්ගේ බෙහෙත් වට්ටෝරු වල පිටපත් ඔහු ලඟ සුරැකිව පවතී.)

6.   රාත්‍රී 10.30 වනතුරු සේවය සැපයීම. ඉරිදාට පවා රාත්‍රී 9.00 පමන වනතුරු විවෘථව තැබීම. හදිසියේ 10.30 ට කෝල් එකක දුන්නොත් අපි එන තුරු පෙනඩෝල් පෙත්තක්  වෙනුවෙන් හෝ බලා සිටීම. 

7.   බෙහෙත පිළිබඳව  විශ්වාසයක් නොමැතිනම් නොසැපයීම හෝ දන්නා කියන වෙදැදුරෙකු  අමතා සැක හැර දැන සැපයීම.

8.   ගෙදර සියළුදෙනා එක්ව කරණ කර්මාන්තයක් වන බැවින් ඉක්මන් බව හා විනීතබව.

ඔවැනි ලියනවානම් තවත් කරුණු රාශියක් ලියන්නට පුළුවන් මේ ෆාමසිය ගැන. ඇත්තටම මෙච්චර මේ ගැන ලිව්වේ පුරසඳ ෆාමසියේ සුසන්තගේ බිස්නස් වැඩි කරණ්නටනම් නොවේ. එකක් ඔහුගේ සේවයට පලකරණ කෘථවේදිත්වයක් ලෙස. අනෙක බිස්නස් එකක කරණවිදිය අනෙක් උන්නැහැලට දැනගන්න !


ඔය බලාන ඉන්නේ සුසන්ත බුවා තමයි !

ඉතින් කියාගෙන ආවේ ඔය කථාව නොවේනෙ! පුරසඳ ෆාමසියේ  සුසන්ත දැනගත්තා මම බයිසිකල් පදින  වග!
 ඒ දවසක් මම උදැහැනැක්කේ  සයිකලේ පැදගෙන  කංතෝරු යනවා දැකලා!
 ඉතින් මම ඊට ටික දවසකට පස්සෙ ෆාමසියට ගොඩ වැදුන වෙලාවක එයා මේ සිද්ධිය ගැන ඇහුවා. මමත් ඉතින් ඉන්නේ අනේ කවුද  මගෙන් මේ ගැන  අහන්නේ කිය කියානෙ!?  හැමදාම කිලෝමීටර 17.5 උඩට පහලට මා පදිනා බව කීවම සුසන්ත  දැන ගත්තා අර “මිනිස්සු වයසට යන කොට පොඩි ලමයි වගේ වෙනවා !” කියන කතාවෙ ඇත්තක් තියෙනවා කියලා. 
අපේ එක දවසින් කිලෝමීයිටර 200 ක් පැද්ද ; එයා ගාව බෙහෙත් නැති අමාරුව ගැනත් අහලා   තවත් මීට සමන රෝග ලක්ෂණ  ඇති කෙනෙක්  ගැන හෝඩුවාවක් කිව්වා!

දවසක් මම රැකියාවේ ඉන්න වෙලාවක නොදන්න නොම්මරේකින් ඇමතුමක් ඇවිත් පොඩි කයිවාරුවකට සෙට් උනා!

මෙයා තමයි රතුපස්වල DSI සයිකල් ෆැක්ටරියේ ගනකාධිකාරී; තේරෙන සිංහලෙන් කියනවානම් එකවුන්ටන් නිශාන් කුමාර !  එයාටත් අපේ රෝග ලක්ෂණ සියල්ල අඩු නැතිව තියෙන කෙනෙක්. පුරසඳ ෆාමසියේ සුසන්ත තමයි මගේ නොම්මරේ කියලා තියෙන්නේ.
 වරද්ද  ගන්න එපා (ටැලිපෝන් නොම්මරේ !). 
මගේ පෝස්ට් කියවන ඔබ තමුන්නැහැලාත් මේ උන්නැහැ ගැන දන්නවා මං හිතන්නේ! මගේ පෝස්ටු යටින් මාව මුරුංගා අත්තෙ තියලා උඩ අරිණ කොමෙන්ටු; සිංග්ලිශ් වලින් දාන්නෙ මේ හාදයා තමයි!

පස්සට ගිහින් මගේ පෝස්ටු දෙක තුනක් බැලුවොත් පෙනෙන දෙයක් තමයි එයාගේ හැම කොමෙන්න්ටුවකම අග්ගිස්සේ ; හැම බල්ලෙකුගේම කෙලවරේ නකුටක් ඇතිවාසේම “අනේ ඉතින් මාව එක්කගෙන යන්න සයිකල් ගමනක් තට්ටයා සංවිධානය කලේ නෑනෙ!” කියන  අඬෝවැඬියාව!

මගේ හිතේ තිබුනා පසුගිය වසර අවසාන වීමට පෙර කරණ්නට වැඩ කටයුතු තුනක්! තුනක් කීවාට හිතා හිටියේ මින්  එකක් ගොඩදා ගන්න.

1.   අවිස්සාවේල්ලේ සිට ඕපනායකට කිලෝමීටර 74 ක ඉපැරණි කැළණිවැළි  දුම්රිය මග ගවේශනය.

2.   PADI (Professional Association of Diving Instructors) බලපත්‍රය ලබාගැනීම.

3.   කඩවත සිට යාපනයට කිලෝමීටර 380 වකට ආසන්න සයිකල් ගමන.

මෙයින් මා කුමක් කලයුතුද දිනක්  මා මගේම හදවතින් විමසීමක් කලා  ! කල විමසීමේදී  කියැවුනේ යාපනය ගමන වඩාත් සිත්ගන්නා එකක් වනු ඇත යන්නයි. හදවත රිසි වුනේ මා එය කරණවා දකින්න. ඔව් මම ඒක කරණවා ! මම  හදවතට පොරොන්දුවක් දුන්නෙමි.     

ඉන්පසු  මේ ගැන මාගේ පොලොන්නරු ගමන් සගයා මධුෂාන් ටත් නිශාන් ටත් දැන්වූ පසු සිදුවූයේ “කල මෝඩ කමක් !” කියා හිතෙන දෙයකි.   

 එතැන් පටන් ඔවුනට දූරකථනයක් අත ගැටෙන සෑම මොහොතකම කලේ ; මාහට ඇමතුමක් දී  “යාපනේ යන්නේ කවදාදැයි ?” නැතහොත් “යාපනේ යන්නෙ නැද්ද?”, “කිව්වට යාපනේ යන එක කරණ්න අමාරුයි වගෙ නේද ?” යනාදී වශයෙන් විවිධ මුහුණුවරයන්ගෙන් මාගෙන් තතු විමසීමයි.

දිනය මා කැළැන්ඩරයේ වෙන් කර ගත්තෙමි. ඒ ගමනේ දුර කිලෝමීටර ගනන 100 -150  වැනි කණ්ඩිඛ වලට වෙන් කරමිනි. ගමනට දින තුනක් ඇවැසි විය.ආපසු එන්න දිනයයි . සියල්ල දින හතරකි.

2017 කැළැන්ඩරයේ මෙම  අවශ්‍යතාවය සමපාතවූයේ දෙසැම්බර නත්තල් නිවාඩුව මත පමණි. 23 සෙනසුරාදා/ 24 ඉරිදා/ 25 නත්තල/ 26 නත්තලට පසුදින හෙවත් Boxing Day දිනය ! මෙවන් දින හතරක නිවාඩුවක්  2018 වසරේ පෙනෙනතෙක් මානයේ  නොවීය !
දෙසැම්බරය එළඹුනේ  උතුරු , උතුරු මැද පලාත ගිගුරුම් සහිත වැසි වලින් නහවමින් ! 
ඒ අහුඅස්සේ කුණාටු, සැඩසුලං , සුනාමි තත්ව , එතැනින් ගියාම ටොනේඩෝ . 
ය හැම ඉටිගෙඩියම මේ කියන දවස් ඒකියන්නේ දෙසැම්බර් මුල යාපනේ කිළිනොච්චි වව්නියා පැත්තට එන ලක්ෂණ තිබුනා.
වැඩේ පටන් ගන්න නිශාන් කුමාරගෙන් තිබුන අඬෝවැඬියාව මොකද්ද ගෙදරින් ඇදුනු කේස් ටිකත් එක්ක ගත්තාම !

 කිසිදා අත්නොවිඳි ප්‍රථිරෝධයක් මේ ගමනට ඉදිරියෙන් නිර්මාණය වුනා. දන්නා කියන නෑයෝ බෑයෝ ටිකයි  යාළුවෝ මාළුවෝ ටිකයි මේ ගමනට පුදුමාකර විදියට මාව දිරිමත්කලේ !
 “මොකෑ මෙයාට වෙලා තියෙන්නේ?” 
 “ඉතිං බස් එකේ හරි කෝච්චියේ හරි ගියානං ඉවරයිනේ !”  “පිස්සු වැඩ !”
 “ උඹටත් තියෙන්නේ  එසේ මෙසේ අමාරුවක් නම් නෙවෙයි !”
 “මේ උඹ  හදන්නේ   අපේ දවසක පඩියට කෙලින්නද ?” (ඒ අය එසේ මාහට කාරුණිකව ආමන්ත්‍රණය කලේ ; අපේ කංතෝරුවේ එකෙක්  වල කජ්ජ ගැසූවිට ජීවත්ව ඉන්න එවුන්ගේ පඩියෙන් එකදවසක වැටුපට කෙළා වදාරා ඒක මැරිච්ච එකාගේ පවුල අතට දෙන ක්‍රමවේදයක් තියෙන නිසාය!)   ආකාරයේ වැකි ඉදිරිපත් කරමින් ඒඅය කලේ පුදුමාකාර සහ්යෝගයක්.
යාළු මිත්තරයෝ හා නෑ පරාණ!
මේ ගැන ඇත්තටම වික්ෂිප්තව අහපු මාගේ මිතුරු තොමෝ හට මම  මගේ
 “පාන් ගේන්න  කඩේට යනකොට ….” සිද්ධාන්තය ඉදිරිපත් කලාම ඒ අය  නිහඬ වුනා.
 “මචං මම මලොත් යකෝ මල ගෙදර නයිට ගහන්න හරි  ඇවිත් උඹලට කියන්න දෙයක් තියෙන්න ඕනෙ !” මම උන්ට පැහැදිලි කලා .
 “ඔව් ඒකනං වෙයිම වගේ තමයි …! අවුලක්  නෑ ඒදවස්ටික කොහොමත් නිවාඩුනේ ”
 උන් මට ඇහෙන නෑහෙන ගානට  කියමින්  කැමැත්තෙන් අකමැත්තෙන් සමු දුන්නා! 

ඔවැනි දිරි ගැන්වීම රාශියක් මැද්දේ අපි ගමනට ලෑස්ති වුනා.

මම පුරුදු පරිදි Scott P6 Sportster  මාගේ විශ්වාසවන්ත ගමන් සගයා සමගින් ගමනට එක්වෙන්න තීරණය කලා. මධුෂාන් තම කිලෝ දහයේ  සුපිරි  Giant  Escape සයිකලයට පොඩි නවීකරණයක් එක් කලා. ඒ එහි තිබූ සිහින් ටයර් හා ටියුබ් අයින් කොට ඒ වෙනුවට මාගේ සයිකලයේ ප්‍රමාණයේ එනම් 700 X 35 ඒවා යෙදීමයි. මන්ද සිහින් ටයර් හා ටියුබ් ඉතා කුඩා ගල් කැටයකට වුවද බොහෝ පහසුවෙන් ගොදුරු වීමයි ! 

බයිසිකල් ටයර වල ප්‍රමාණයන් කියැවෙන විවිධ කරම ඇත.

1.   ISO (ERTRO-European Tire and Rim Technical Organization) ක්‍රමවේදය 
ටයරයේ පලල (mm)  x රිම් එකේ ඇතුලත විෂ්කම්භය (mm)

2.   අඟල් ක්‍රමය
ටයරයේ පිටත විෂ්කම්භය x ටයරයේ (පමනක්) උස x ටයරයේ පලල

3.   ප්‍රංශ ක්‍රමය
ටයරයේ පිටත විෂ්කම්භය (mm) x ටයරයේ පලල (mm)


ඉහත මමත් මධුශානුත් 700 x 35 යනුවෙන් යෙදුවේ ඉහත ප්‍රංශ ක්‍රමයෙන් මිනුම් කරණ ලද  ටයරයන්ය.

මේ වන විට නිශාන් පදිමින් වූයේ   DSI සයිකලයක්. එය අමු අමුවේම මවුන්ටන් සයිකලය වූ අතර එහි වූයේ විශාල  හරස් කඩක් ඇති ටයර හා කුඩා වේග පරාසයකට හිමිකම් කී  ගියර පද්ධතියකි! 
එය කිසිසේත්ම මෙවන් ගමනකට ගැලපෙන එකක් නො විය. අපගේ පලමු පුහුණු සැසියේදී ඔහුටම එය ප්‍රථ්‍යක්ශ වීමට අපවෙතින් කරුණු යෙදුනි.

 ඔහූ ඊට පිළියම ලෙස කලේ චීනයේ නිශ්පාදිත පෝලන්ත සයිකලයක්  ඒ සදහාම ගෙන්වා ගැනීමයි! 
 “අයියේ මේක ඔරිජිනල්ම ටුවරිං බයික් එකක් !” කියා නිශාන් කීවද ; දුටු පමණින් එය  මා සිත නොගත්තේය. 
එය බොහෝසෙයින් දරදඩු එකක් විය. 
එය බරින් කිලෝ 17 – 18 සීමාවට ලඟාවූ එකකි. එහෙත් සයිකලය ලැබුනු දිනයත් ගමන යෑමට තීන්දු තීරණය කල දිනයත් අතර තිබුනේ සීමිත කාල පරාසයක්. මේ දෙසැම්බර් 12 වනදා. එදා තමයි අපි ප්ලෑන් එක නොහොත් සැලසුම හැදුවේ.

සාමන්‍යයෙන් අපි වැනි  වෘථීය නොවන සයිකල් කරුවන් මෙවන් දුර ගමන්  සංවිධාන කරණ විට දිනකට පැදිය යුතු  සම්පූරණ දුර කිලෝමීටර 100 -150  පමණ වන්නටත් එම දුර කිලෝමීටර 20 කොටස් වලට වෙන් කර ගැනීමත් කලයුතු වෙනවා.

සාමාන්‍ය සයිකල් කරුවෙකු සයිකලයක් පදින්නේ පැයට කිලෝමීටර 15-24 ත් අතර වේග පරාසයකින්. මේ නිසාම  අපි සැලසුම්කරණ්නේ පැයකට කිලෝමීටර 20 ක වේගයකින්   පුරා පැයක් පැද විනාඩි 15 ක විවේකයක් ගනිමින් ගමන් කිරීම.

මේ සැලසුමට අනුව අප අපේ  ගමන මූලික වශයෙන් කොටස් තුනකට වෙන් කර ගතිමු.

1.   කඩවත සිට ගල්ගමුවට      කි මීටර  - 152            23/12                
2.   ගල්ගමුවේ සිට මාන්කුලම්   කි මීටර - 150             24/12

3.   මාන්කුලම් සිට යාපනයට    කි මීටර -  106            25/12

පලමු දින රාත්‍රිය ගත කිරීමට අප තෝරා ගත්තේ “සමීර රෙස්ට් “ වැනි නමක් ඇති ගල් ගමුවේ ස්ථානයක් .

එහෙත් මන්කුලම් හී රාත්‍රී නැවතු පොලක් සොයා ගැනීම ට අපොහොසත් වුනු නිසා  එයට කිලෝමීටර 12 මෙපිටින් පිහිටි කනකරායගන්කුලම් හී “ආනා රෙස්ට්” තෝරාගත් හෙයින් දෙවැනි  දිනයේ සම්පූර්ණ කරණ්නට තිබූ  දුර ප්‍රමාණය  කිලෝමීටර 12 කින් අඩුවූ අතර තෙවැනි දිනයට එය අඩු නැතිව එක්විය.

එදින අප  මූලික සැලසුම්  කටයුතු හා ඒ සඳහා  දළ ඇස්තමේන්තුවක්ද සකසන ලදී.

මෙහිදී මුදල් පාලනය හා මිළදි ගැනීම් මධුෂාන්  වෙතද ගමනට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා අඩු වැඩි අමතර කොටස් ආදිය සැපයීම නිශාන් හටද නවාතැන් ආදිය සොයා බලා ගමන කළමනාකරණය මා ගේ  නමට ඉදිරියෙන්ද  පැවරුනි.

ගමනට යන මුළු වියදමෙන් හරි අඩක් මදුශාන් වෙත ලබා දීමට අප දෙදෙන එකඟ විය.

සයිකල් ගමන් ආකාර රාශියක් ගනී .

1.   Light weight touring. (Credit card touring ) – ගෙනයන දේ ඉතා අවම වන අතර සියල්ල මුදලට සපයා ගැනීම මෙහි සිරිතය. නවාතැන් ගැනීම සඳහා හෝටල් උපයෝගී කරගනී.

2.   Ultra light touring . පදින්නා විසින් ඉතාමත්ම අව්ශ්‍ය දේ පමනක් රැගෙන යෑම කරණු ලබයි.

3.   Fully loaded touring . සයිකල් කරු තමාට අවශ්‍ය සියල්ල රැගෙන යාම කරණු ලබයි. කෑම්පින් සඳහා ඇවැසි සියළුදේ මීට අඩංගුවේ.

4.   Expedition touring.  සියළුමදේ රැගෙන යයි. බොහෝවිට ග්‍රාම්‍ය දුෂ්කර පලත්බදව ගමන කරගෙන යනු ලබයි. 

5.    Mixed terrain. දුෂ්කර ගමන් මාර්ග වල කරණු ලබන ගමන. ඉතාමත් සැහැල්ලු දේ පමනක් රැගෙන  තනිව කරණ්නාවූ සංචාර.

6.   Supported touring. සයිකල් කරුවන් සමග ගමන් කරණු ලබන වාහනයක් මගින් සියළු පහසුකම් සලස්වයි.

7.   Day touring. කිසියම් සමජසේවා ආයතනයකින් හෝ වෙනයම් සංවිධානයකින් සංවිධානය කරණු  ලබන චාරිකාවක්.

8.   S24O- Sub 24hour- Overnight. මෙහිදී සයිකල් ගමනට වඩා  රාත්‍රිය කූඩාරම්ගතව සිටීමට වැඩි අවදානයක්  දක්වයි!

අපද කරණ්නට යන්නේ  Light weight touring. (Credit card touring) සහ  Ultra light touring  දෙකේ එකතුවක් කිව්වොත් වඩ නිවැරදි විය. එය වඩාත් ආසන්න වූවේ   Ultra light touring  එකකට ය.

දිනෙන්  දිනම කාලගුණය පිළිබඳව අපට දැනගන්නට ලැබුනේ සතුටු විය හැකි ආරංචි නම් නොවීය. මේ පිළිබඳව වඩාත් කරුණු විමසූවේ මධුෂාන් ය.

“බාප්පි (ඌ මට හුරතලේට කියන්නේ එහෙම !) එහේ මේ කාලෙට එකසිය ගානට වහිනවලු. මොකද කරණ්නේ?”
 “මං දන්නෑ බං ! මම තනියෙං හරි යනවා …..!” මම පොඩ්ඩ්ක් පොර ටෝක් එකක් දෙමි.

 “හරි ! හරි!! මම දැන් බෑ කිව්වද …?” ඌ කෙඳිරි ගායි.

“ඉතිං එහෙනං අවුලක් නෑනෙ ..!?” මම කොල්ලාව පදිරි කරයි.

කතාව එදට ඉවර වේ. ආයෙත් හෙටය !

මම ගමනට තේමාපාඨයක් එක් කර  ගතිමි. ඇත්තෙන්ම මේ ගමන යන්නට හැකි උනොත් එය හොඳ පෝස්ටුවකට බිජුවට සපයයි.

“ගියොත් හොද පෝස්ටුවක් ….!”

මධුශාන් මේ අතරේ මොකක්දෝ බ්ලොග් එකකින් බාගත කල නිවුස් අයිටම් එකක් එවයි! ඉන් කියැවුනේ අපි යොදාගෙන තිබුනු ගමන් මාර්ගයේදී අලියෙකුගේ පහර දීමකින් තරුණයෙකු  මියගිය තොරතුරක්!

“ යකෝ බය කරණ්න එපා බං …!” හැරෙණ තැපෑලෙන් මධූව මම ඇමතුවෙමි.  

“ඇයි බය  වුනාද ? මම නිකමට එව්වේ …!”

“කොල්ලෝ මග නොමැරුණොත් ගමන යමු !”

ඔව්! ඇත්තටම මගදී කිසියම් අනතුරක් නොවුනොත් අනිවාරයයෙන්ම මේ  ගමන  යාතුය! නොගියොත් ඒ මග මලොත් පමණි! 
 නොගියොත් හොඳ ප්රවෘථියක් …!!”
  “ඇයි මෙතරම් උනන්දුවක් ?”
  “ඇයි මා හදවතට පොරොන්දු වුනානෙ ?”
        
  මොනවා උනත් මේක  පොරොන්දුවක් !!!”
කෙසේ වෙතත් ගමන 23 වෙනිදාට කරණ බව මම මා සමග එකඟතාවයකට  එළඹ  තිබුනි.    කරුණු මෙසේ තිබියදී 16 වන දින සන්ධ්‍යාවේ මා ; නිශාන් ගෙන් ඇමතුමක් ලදිමි.  

අයියේ අපේ තාත්තා නැති වෙලා …….!”


32 comments:

  1. Thanks for your post. It's good to see you are organizing things very well before embark on an expedition. But in my days, 1980s, we just decide and go. I had a phoenix bicycle with all the accessories, including a speedo, horn/radio etc. Speedometer had it's top speed at 50MPH. One day when we coming down towards Galigomuwa on Kandy road in Ambanpitiya hill, I was monitoring the speed. It reached the top speed of 50mph, wobble the needle few times, and gone to zero. That's the end of my speedo. When I get home, I dismantle the speedo to find out all the plastic wheels are melted, due to the speed. On that very same trip, when I go pass the level crossing in Kelaniya I stood up, because my buttocks are so sore. Both my thighs got muscle cramps at the same time. So one of my friends had to ride faster and gain some distance, stop, put his bicycle away, and catch me when I reach him.
    In a way, I feel jealous about the modern technology we have these days, because we only had a strong will and bare minimum basics during our time. Compare the weight of a phoenix bicycle with a modern carbon fibre framed bike!!
    I really like the way you set your challenges, and conquer them. Good Luck, and wish you well.
    One day, we all going to die, but until that we should live our dreams.

    ReplyDelete
    Replies
    1. හිතාදර සෑම් මහතානෙනි,
      ඔබගේ කොමෙන්ටුව දැක මම මහත් ආනන්දයට පත් වුනෙමි!
      ඔබගේ සුන්දර අතීතය මා සතුටින් - දුකින් රස වින්දෙමි. ඔබ පවසන ඕනෑම සතුට දනවන කතාවක් තුල ගැබ්වී ඇති දුක අතිශය දුකක් විඳිමින් සොයා ඒ වෙනුවෙන් දුක් වීමටත් කඳුළු සැලීමටත් මා හට ඇත්තේ නිසග හැකියාවකි. උපතින් ගෙන ආවකි.

      සත්තකින්ම ඔබ ඔබේ සුන්දර කතාවෙන් මා මගේ අතීතයට අතින් අල්වාගෙන ගිය ලෙසකුයි මට හැඟුනේ. මාහට මගේ වයසින් බොහෝ කලක් යන තුරු බයිසිකල් පැදීමට හැකියාවක් නොතිබුනි. එයට ප්‍රධාන හේතුව වූයේ මාගේ පියා ඔහු සතුව තිබුනු හම්බර් සයිකලය ගෙදර එවකට පැවති දරිද්‍රතාවය නිසාම විකුණා දැමීමයි! ඔව් මේ ඇත්ත එවකට ගෙදර සතුව පැවති එකම වාහනය වූ එයත් ඔහුට විකුණා දමන්න සිදුවූවා!
      මාහට සයිකලයක් ලැබෙන්නේ පාසලේ 10 වෙනි පන්තියෙනුත් පසුව. එකල ෆීනික්ස් සයිකලයක් යනු මාහට සිහිනයක්මාහට සිහිනයක්. මාහට ලැබුනේ නො එසේනම් මගේ ආදරණීය මව ලබාදුන් මුදලින් මාහට ගන්නට ලැබුනේ ඉන්දියාවේ නිශ්පාදිත ආර් එම් අයි සයිකලයක් ගෙදරක පැත්තක දමා තිබුනු!
      සැම් මහතා ඔබ හිතන්න මට ලැබුනු සයිකලය සියළු අංගෝපාංග තිබුනත් සැඩලයක් නොහොත් සීට් එකක් / අසුනක් තිබුනේ නෑ! අපගේ ඉතාමත් ලඟ නෑයෙකු ගෙන් සීට් එකක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් එය ඔහු විසින් මග හැරියා නිර්දය ලෙස! මා ලෑලි කැබැල්ලකින් සාදාගත් අසුනක් සවි කොට ගෙන මා මාගේ පැදීම කරගෙන ගියෙමි!

      ලියන්නට කියන්නට බොහෝ දේ ඇත.වරක් මා අපගේ පාසලේ ක්‍රීඩා පිට්ටනිය අසල සිටි පාසලේම ආදි ශිෂ්යයෙකුගෙන් ඔහු පැදගෙන ආ චේන්ජරයක් ඉල්ලූ විට ඔහුගෙන් මාවෙත ඉදිරි පත්වූයේ කුඩා ළමයෙකුට ඉහිලිය නොහැකි නිහීන යෝජනාවකි!

      ඔබ ඔබගේ චාරිකා වේ රස මුසු තැන් කියද්දි මා ඔබ සමග පසුපස සයිකලේ සියල්ල නරඹමින් ආවෙමි! එය අතිශයින් සුන්දර මතකයකි!

      ඔබ මාගේ චාරිකා සටහන් ගැන මහ ඉහලින් වර්ණනා කිරීමටනම් මා කොහෙත්ම එකඟ නොවෙමි. මා ලියන්නේ මේ සියලු දේ තුල කිසිදු අරුමයක් නොමැතිබව දැක්වීමටය.

      එහ් රයිඩර් හැගාර්ඩ්ගෙ ඇලන් ක්වාටර්මෙන් පොතේ එක් තැනක තියෙනවා මෙවන් අදහසක් ගැබ්වූ වගන්තියක්. මා ලියන්නම් මතකයෙන්. " මා සිංහයන් , ඇතුන් දඩයම් කරණ්නෙකු ලෙස මහත්වූ වීරාභිවන්දන්යෙන් යුතුව ඔබ සැලකුවද මා එම ක්‍රියාකාරකම් වල යෙදුනේ හුදෙක් ජීවත්වීම උදෙසා ය! එයද සිතේ මහත්වූ බියක් රඳවාගෙනය!"
      මා ගැන මා හඳුන්වා දෙන්නේද එයට ඉතා සමීපවය හා සමාන්තරවය!

      ඉතින් අවස්ථාවක් ලදොත් නැවත පදිමු පෙරදින ඔබ ආගිය මග තොටෙහි! මා එන්නම් නැවත යන්නට ඔබහා!

      ස්තූතියි කියෙව්වාට ලිව්වාට! සත්තකින්ම නැවත වටයක් පදිමු! එය අප දෙදෙනාටම මියෙන දින ඉතිරිවන නොමියෙන මතකයක් වනු ඇත!

      ස්තූතියි නැවතත්!

      Delete
  2. ගියොත් හොද පෝස්ටුවක්

    ReplyDelete
  3. මෙය මා කැමතිම බ්ලොගයක් බවත්.ඔබනම් එලම කොල්ලෙක් බවත් පමණක් කියනු කැමැත්තෙමි....

    ReplyDelete
    Replies
    1. මා ඔබගේ බ්ලොගයට ගොඩ වැදුනෙමි! ඔබ ලියන ලද අවසාන පෝස්ටුව හා එහි අන්තර්ගතය රස විඳිමි! ඔය අදහසහා මා ලඟින්ම සිටින්නෙක්මි! ඔබගේ රෙකමදාරුව මා මොහොතකින් මොණරෙකු කලේය . එහෙත් ඉහත මා සෑම් මහතාට කීදෙයම මා නැවත මෙහි ලියන්නම්!

      එහ් රයිඩර් හැගාර්ඩ්ගෙ ඇලන් ක්වාටර්මෙන් පොතේ එක් තැනක තියෙනවා මෙවන් අදහසක් ගැබ්වූ වගන්තියක්. මා ලියන්නම් මතකයෙන්. " මා සිංහයන් , ඇතුන් දඩයම් කරණ්නෙකු ලෙස මහත්වූ වීරාභිවන්දන්යෙන් යුතුව ඔබ සැලකුවද මා එම ක්‍රියාකාරකම් වල යෙදුනේ හුදෙක් ජීවත්වීම උදෙසා ය! එයද සිතේ මහත්වූ බියක් රඳවාගෙනය!"

      මා ගැන මා හඳුන්වා දෙන්නේද එයට ඉතා සමීපවය හා සමාන්තරවය
      බොහොමත්ම ස්තූතියි ගෙවැදුනාට මෙහි!

      Delete
  4. බිඳ දමමින්ම බාධක පසුපසට නොයා
    විඳ ගත් ක්‍රමය නුඹ දිවියට අරුත් තියා
    හොඳ පුරුදුමය පාපැදි සංචාරෙ කියා
    අද මම සුභ පතන්නෙමි මේ කවිය ලියා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගතට ගෙන සිත රැඳුනු සවි බල පැද ගියෙමි දුර නො බලලා
      සිතට ගෙන එන බැඳුනු පද වැල ගලයි සිහිලක් ගත වෙලා

      ස්තූතියි දුමී!

      Delete
  5. අර කියුව රෙද්දේ විරාමේ ඉවරද

    ReplyDelete
    Replies
    1. ඇයි ඉක්මන් වැඩිවීමෙන් හිත කැඩුනද?

      Delete
    2. නැ තොලොන්ච් වෙනකං බලාන ඉන්නෙ

      Delete
  6. හිතුව තරම් ලොකු කාලයක් බලන් ඉන්න වුනේ නෑ එහෙනම් .නැවතත් තට්ටය්යා සමග ගමනේ ජය වේවා ....

    ReplyDelete
    Replies
    1. මගෙත් එක්ක දනිස් පොල්කටු ගෙවෙන තෙක් පැදපු එවුන් වෙනුවෙන් ඉක්මනට ලියන්න ගත්තා අවිවේකී බව නොතකා! ස්තූතියි!

      Delete
    2. එතකොට අලුත් පොස්ට් එකක් එනකල් බලාගෙන ඉන්න අපි ඔටුවෝ .......

      Delete
  7. මදෑ කොලා. දැං ඉතිං ඉතුරු කෑල්ල එනකල් බලා ඉන්න වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. වැඩි කාලයක් බලා ඉන්න දෙයක් නෑ කොටස 4 කින් 5 කින් අවසන් වේවි! ස්තූතියි!

      Delete
  8. අඩේ අප්පා! මේපාර නම් තන්ගච්චි කෙනෙක් පලාන්ට ජාපනේ යනවා වගේ! ෂරි ෂරි ඕම යාන්!!

    පටාන් ගන්නෙම මලගෙයක් එක්කනේ.. ආඩවනේ පය කුරාන්ට එපා.

    ( මේකත් අර කිඹුලා කනෝ කියලා බය කරපු එක වගේද මන්දා... අපි රැවටෙයි ඕවට!)

    ReplyDelete
    Replies
    1. බලන්නට ගියාට ගෙන යන්නට දෙයක් ඉතිරිව නොමැති විය!

      Delete
  9. Replies
    1. දී කිරට බළල්ලුත් සාක්කි කියලා කිව්වේ උඹලගෙ තාත්තද මල්ලියේ?

      Delete
  10. තට්ටය අයියෙ සමාෙවෙයන් මේක දැක්කෙ නැහැ මම.
    උඹ මේ කතාව ලියනතුරු අගිලි ගැනගැන හිටියෙ. උඹගෙ අර කලින් පෝස්ටුව දැක්කම මට ෙකෝල්් එකක් දීීීීල විස්තර අහන්න හිතාගත්තත් මට මගෑරුනා, ාාොාසෙ අන්තිමට අති(අ)සාර්තක 5ෙවෙනි සංචාරයෙ වැඩගොඩ ගැහුන නිසා.(අර ‘ජ්‍යෝෆ්‍රී බේකන්’ කාරය ලියන කතා ටික කියවද්දි මම උඹ ඒක දැක්කද කියලත් කලිපනාකරා)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! මම දැක්කා ඔය කියන පෝස්ට් එක. මම කියෙව්වා . ඒක ලියැවිලා තිවුනේ වෙනත් ආරකින් . ඒකත් හොදයි. රසවත්!

      Delete
  11. Hi Manjula Ayya,
    You have started to write the story. Thank you. It will be very interesting.
    Still I am waiting for a low wight(10 to 12 kgs), 700C*35 (28"*1 1/2"), 17"size seat tube (suitable for 5'-2" to 5'-7"), 3 piece chain wheel (48 , 38 , 28) , 7 pieces free wheels set (3*7 = 21 speead) bike. I have refused the earlier one. requested a new bike. They have promised to bring a new bike for me.

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි මට හිතා ගන්න බෑ උඹ දියුනු වුනු තරම! විෂිශ්ඨයි!

      Delete
  12. ගමන යන්න කාගෙනුත් ලැබිලා තියෙන්නේ දිරිගැන්වීම් නෙමෙයිනේ. හැමෝම වගේ කකුලෙන් ඇදලයි තියෙන්නේ. කොහොම උනත් අන්තිම පින්තුරේ දැක්කම ගමන ගිය බව පේනවා. ඒ නිසා මට නම් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඒ පිංතූරෙ නම් තියෙන්නෙ මග යන එකක් මිසක් අවසන් කල ව්කක් නොවෙයි නේ! ස්තූතියි

      Delete
  13. //ගියොත් හොඳ පෝස්ටුවක් ! නොගියොත් හොඳ ප්‍රවෘථියක්// සුපිරි පෝස්ටුවක්. සුපිරි ටැග් ලයින් එකක්... ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! ඔයානෙ මේ! මචං ලොකුම දෙයක් ගොඩ වැදිලා අකුරු පහක් ලියපු එක! රොම්බ තෑන්ක්ස්!

      Delete
  14. මම කාලයක් තිස්සේ කැළණිය DSI Bicycle Plant සහ මහර DSI Tyre කර්මාන්ත ශාලාව වෙත නිතර යාම් ඊම් කරා රාජකාරි වද සඳහා. ඔය කියන නිශාන් එමගින් මා දැන හඳුන සිටි අයෙක්දෝ යයි කුකුසක් තියනවා.

    ReplyDelete
  15. සයිකලයෙන් තල් අරණට 6 න් පස්සේ දැම්මේ නැද්ද
    ආසාවෙන් කියෙව්වා ඉතිරිටික හොයා ගන්න නෑ වගේ

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...