Saturday, March 16, 2024

223. තිස් අවුරුදු රථ මතක . . . . (16)

ISUZU PANTHER

"ශනිදා දහයට" ලෙස අප පටන් ගත් බ්ලොග් ලිවීම මේ වන විටත් පන අදිමින් හෝ පැවතීම සතුටට කරුණකි. 
මෙම සංකල්පයට උර දීමක් ලෙස; කලින් සිට ලියාගෙන පැමිණි "පෝස්ටු වැල්" හෙවත් කොටස් අට දහයේ මෙගා නාට්ටි වැනි පෝස්ටු වෙනුවට: "සිත නිවන කථා" මොඩලයේ ඒකාංගික පෝස්ටු හත අටක් මා ලියාගෙන ආවේය.
මේ නිසාම කලක සිට ලියාගෙන පැමිණි;
"තිස් අවුරුදු රථ මතක!"
"ම පුතු වසික වෙත සෙනෙහසින්!"
වැනි සටහන් නිම කිරීමට නොහැකි විය. 
පසුගිය සතියේ මා මළගෙවල් දෙකකට සහභාගීවිය. ඉන් එකක් ලක්ෂිත වීරසිංහගේ වන අතර අනෙක අම්බලන්ගොඩ නිරෝෂන් ජයරත්නගේ විය. මේ දෙදෙනාම පාසලේ මා හා සම කාලීනයෝය.
කලක සිට; ලයිට් කනු වල අලවා තිබෙන මරණ දැන්වීම් වල "උපත" බැලීමට මා පුරුදුවී සිටියෙමි. දැන් දැන් එය මාගේ උපන් වසරට කිට්ටු වෙමින් පවතින බව ලක්ෂිතගේත් නිරෝෂන්ගේත් වියෝවන් මාහට හඬගා කීවේය.
එසේනම් ඒකාංගික "සිත නිවන කථා" වෙනුවට ලියාගෙන ආ ලිපි අවසන් කල යුතුව ඇත!
හදිසි වෙන්වීමකකට සැරසී සිටිය යුතුය! 
මේ නිසාම "බ්ලොග් පෝස්ටුවක්" ලෙස "අන්තිම කැමැත්තද" ලියා තබන්නට සිතා සිටින්නෙමි.
මේ "තිස් වසරක රථ මතක" ඉතිරි කොටස් කිහිපය!

මම පසුගිය පෝස්ට් එකක ලිව්වා වාගේම; සෑහෙන කාලයක්; නොලියාම ගෙවී යන විට පිටට තට්ටුවක් දාලා මතක කලේ තිලින ප්‍රියසාද් මල්ලී.
ඌත් අපූරු බුවෙක්! පහුගිය කාලේ සයිකල් පැදිල්ලක් කලා. රස්සාවට අමතරව මේ දවස් වල බුලත් වැවිල්ලක් කරනවා.
තව අන්නාසි වත්තකුත්!
මේ යකාත් ඒකාලේ බ්ලොග් එකක් කලා. වැඳලා කිව්වත් ගහලා කිව්වත් ආයේ ඒක පටන් ගන්න පාටක් නෑ. මුහුනු පොතේ නම් උදේට හවහට දවල්ට තුං වරුවෙම ලගින බව නං පේනවා.
වැඩේ හොඳම දේ තමයි මුන්දැ අපේ අර "සොබා රූ" බ්ලොග් එක කල නදීශ් මල්ලිගේ හොඳ මිත්තරයෙක් වීම. දෙන්නම කුප්ප කවි වලට  කාව්‍ය ශිරෝමණීලා!
ඒ කියන්නේ ශිරෝමණීලා දැක්කාම කවියෙන්ම තමයි විදින්නේ!

මේ තිලිනයා මගේ අවසාන තිස් වසරක රථ මතක පෝස්ටුවට දාලා තිබ්බා "ඉන්ටර් නැෂනලය" ගැන කවි ගී ලියවුනා මදි බවක්!
මේ හින්දාම ඒ ගැන පොඩිත්තක් තව ලියන්න හිතුනා ඌට කරන අනුග්‍රහයක් විදියට!
IH vs VV
ඉන්ටර්නැශනලය ගෙනාවේ මොර සූරන වැසි දවසක හවස 6ට 7ට විතර ඇද ගෙන. මේකේ එන්ජිමක් ස්ටාර්ට් වෙන්නෙත් නෑ ඒ නිසාම බ්‍රේක් ඇත්තේම නෑ. මට හිතෙන විදියට ඒ වෙනකොටත් වසර දෙක තුනක් දුවපු නැති වාහනයක් ඒක. කොහොමත් මේ වාහනේ කපන්න "අලි මස් කන්න" ඕනෑය. (මේ අලිමස් කෑමේ ආප්තෝපදේශය ලොරි රියැදුරන් අතර ප්‍රචලිත කියමණකි!)
මේ වාහනේ ලයිට් තබා බැටරියක් වත් නොතිබුනි. 
වාහනේ ඇතුලත දූවිලි එකකි. මකුළු දැල් රටා මවාය!
අවුරුදු දෙක තුනක් පාරක් අයිනේ අතඇර දමා තිබුනු වාහනයක් පිළිබඳව ඔබම සිතා බලන්න.
මෙහි පැති වීදුරු ඉහලට එසවීමට බැරි ලෙස ගල් ගැසී තිබුනේය.
මේ සියළු බාධක මැද මා වාහනය රැගෙන එන්නට පිටත් වුනි.
වාහනය අදින්නේ මා පෙර පෝස්ටුවේ පැවසූ ෆෝ වීල් ඩ්‍රයිව් මෙන්ම ෆෝ වීල් ස්ටියරින් කුඩා කැබ් රතයකින් ය.
කලගෙඩි හේනෙන් පිටත් වී කිලෝමීටර කිහිපයක් ගන ගනිද්දී වම් පසින් ලයිසියම් ගෙවන පාසැලය.
එකල එය නොතිබුනි!
ඒ වංගුවේම තවත් මීටර කිහිපයකින් එම පසම මොන්ටිකාලෝ වයින් ස්ටෝරුවය.
අපගේ පඩංගුව ලියූ සජ්ජා බොහෝ විට මාහට හමුවන්නේ මේ ඒරියල් එකේදීය!
ඒ මොන්ටිකාලෝවට පැමිණ නොව ඔහුගේ දරුවන් රැගෙන පාසලට පැමිණ වටේ ඉන්න අනිත් තාත්තලාට තෙල බෙදමින් කථා බොන්සායි කරමින් ඉන්නා විටය!
හරියටම මොන්ටිකාලෝව පහු කරණවාත් සමග එහි සිට එළියට පැමිණි සුපින්වතෙක් ගේ පා පැදිය මාගේ ට්‍රක් රථයේ පසුපස හා ගැටිනි.
වාහනේ ගෙදරට ගේන්න කලින්ම නඩුවකි.
මේ යකා වාහනයේ වැදු තැන දැක්කාම; මේ තරම් දක්ෂ ලෙස හැප්පුවේ කොහොමදැයි කියා හිතා ගන්නට අපහසු විය. 
කොටින්ම යන වාහනේ පසු පස  වැදී තිබුනේ ඔහුගේ පා පැදියේ පසු පස රෝදයයි!
කුඩා සීරීමක් ඇරුණු විට ඒතරම් අවුලක් නොවීය.
බොහෝ වයින් ස්ටොරු වල මෙන් මෙය අවටද; කාලේ කුප්පිය කටට හලා ගන්නා උතුමන් දක්නට ලැබේ. මේ එවන් පාරිභෝගික බවතෙකි.
ඔහු සමග අනික් කුප්පියට වගකිව් මිතුරා එහි පැමිණ වැටුනු  එකාට අම්ම මෝ නැතිව බැන වැදී අපව මුදා හැරියේය.
ඒ කාලයේ හැටියට කුඩා මුදලක් ඔහුට දුන්නේ බෙහෙත් දමා ගන්නටය!
"මස් කනවාද මාළු කනවාද? කියමින් ඔහු බොහෝ වේලාවක් සිට; "කොහොම උනත් ටික දවසකින් ඉබේ සුව වන තුවාලයට බෙහෙත් දමන්නට සල්ලි නාස්ති නොකරණ්නට" බුද්ධිය පහල වන්නට ඇතැයි මා සිතමි!

වාහනය මාගේ ගරාජයට ගෙන ආ වහාම බිරිඳට ඇමතුමක් ලබා දුනිමි!
ඇය වේගයෙන් පැමිණ වාහනය දෙස මොහොතක් බලා සිට වචනයකුදු නොදොඩා ආපසු හැරී මෝටර් රථයේ නැගී නොපෙනී ගියාය.
හොඳ ආරම්භයක් සනිටුහන් කරමින් දිනය නිමාවට පත් විය .
එතැන් සිට පටන් ගැනුනේ "ඉන්ටර්නැෂනල් හාවෙස්ටරයේ" උපත, පෑ විකුමන්, පෙලපත, කුලය, ධනය, ආදී එකී නොකී මෙකී දේ කියා පාමින්; රාත්‍රිය ගෙදර ගෙවූ කාලයකි.
වාහනය ගොඩ දා ගැනීමට වසරකට කිට්ටු කාලයක් ගතවිය.
ටින්කරිං වැඩ ටික කලේ ඇඹරළුවේ පොඩි කුමාරය! (මගේ වැඩෙන් පසුව ටික කාලයක් ඇතුලත ඔහුට ලක්ෂ  දහයක  ලොතරැයියක් ඇදුනු අතර ඒ ආනුභාවයෙන්ම තවත් මාස ගනාවකින් ඔහුගේ ජීවිතයටම ටිකට් එක ඇදී තිබුනි!)
පොඩි කුමාර බක පණ්ඩිතයෙක් වූවාට ඒ පණ්ඩිතකමටම ගැලපෙන හැකියාවක් ඔහු සතු විය!
"අනින ගොනා වැඩට දස්සය!" 
මෙය පැරණි කියමනකි. බොහෝ පණ්ඩිතයින්ට ගැලපෙන හැකියාවක් බොහෝවිට උපතින්ම ලැබෙන්නේය. මෝඩ පණ්ඩිතයින්ට මෙය අදාල නොවේ!
අප වැටෙන්නේ ඔය දෙවන කැටගරියට! දන්න බම්බුවක් නැති උනාට අපිත් අති පණ්ඩිතයින්සේ රඟ පාති!
ටින්කරින් අවසන් උනාට පසුව ඊළඟ වැඩේ තිබුනේ පින්තාරුවටය.
ටින්කර්ලා සහ පේන්ටරයන් යනු වඩුබාස් ලා සහ මේසන්ලා පන්නයේම "සත්‍යවාදී" මිනිසුන්ය!
සාමාන්‍යයෙන් ටින්කර් වැඩේ සහ පේන්ටින් වැඩේ භාරදුය යුත්තේ කුට්ටමකටය! මන්ද නො එසේ නම් ටින්කරයා; වැඩේ වැඩි කොටස පේන්ටරයින්ට  නිර්ලෝභීව ඉතිරි කරති.
"හරි හරි! පේන්ටර් ට කියන්න කැට්ලෝයි පාරක් හීනියට ඇදලා ගොඩ දාන්න කියන්න!" ඒ ටින්කර්ලාගේ අවසාන විනිශ්චයේදී පවසන දුක් වාක්‍යයය!
පේන්ටරයින්ගේ කතාව මීට ඉඳුරාම වෙනස්ය.
"මහත්තයා! XX ඇද අමුඩෙන් අරින්න බෑනේ!? මේක ටින්කර් කරලා තියෙන්නේ බාල්දි හදන එකෙක්ද කොහෙද!?"
මේ සියළු දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමට නම් කුට්ටමකට එය භාර දිය යුතුවේ. එවිට ඒ ඒ අය ඒ ඒ දේවල් බෙදා හදා ගෙන කති බොති! අපිට ඉතුරුවක් වන්නේ නැත!
කොහෙන් කොහොමින් හරි ඉන්ටර්නැෂනලය පිංතාරු කරන්නේ තල්ස්තෑනි සුනිල්ය! සුනිල් බුලත් විට කන කොට කලිසම් අඳින රේස් දාන සයිකලේ වැඩට එන ආතල් බුවෙකි. ඔහුගේ වැඩේ තඩුවටම සුද්ධ කිරීමය.
කෙසේ හෝ මේ දෙන්නා වැඩේ ගොඩ දා දුන්නේය.
වාහනයට ගෑවේ කැටපිලර් යෙලෝ හෙවත් කැටපිලර් යන්ත්‍ර කර්මාන්ත ශාලාවෙන් එළියට එන විට ආලේප කරණ වර්නයය.

ඉන්ටර් නැෂනලයේ ට්‍රාන්සර් කේසය වෙනම පවතින බව ඔබට කීවා මතක ඇති. ඒ වාගේම තව එක් විශේෂත්වයක් තිබුනි. ඒ එහි නැවතුම් රෝධක  Parking Brake තිබුනේ අතින් අදින්නට නොව කකුලෙන් පෑගීමටය! එම පාදිකය ඇක්සලරේටරයට දකුණු පසින් සවිකොට තිබුනි. පෑගූ විට හිරවන පාදිකය සහ නැවතුම් තිරිංග යලි බුරුල් වන්නේ  ඩෑෂ් බෝඩයට යට දකුණු පස ඇති කුඩා නොබ් එක ඇදීමෙන් ය!
බැලූ බැල්මට වෙනත් වාහන වල පාදික හෙවත් පෙඩල් තුනක් පවතිනවා වෙනුවට මෙහි හතරක් තිබුනි.
මේ ගැන මා කාට හෝ විස්තර කරන විට ඔහු මාගෙන් විමසූවේ "මචං ඔය කියන්නේ මේකේ හෑන්ඩ් බ්‍රේක් තියෙන්නේ කකුලට කියලාද?' කියාය!

වාහනයේ සංජානීය ආභාදයක් ලෙස විඩ්ස්ක්‍රීනයේ ඉරිතැලීම සිදුවිය. එය යෝධ වින්ඩ්ස් ක්‍රීනයක් විය. මාගේ වාහනයේ වින්ඩ්ස්ක්‍රීනය හෙවත් ඉදිරිපස වාමුවාව එක් පසෙකින් ඉරි තලා තිබුනි. 
එකල වින්ඩ්ස්ක්‍රීන් සකසා තිබුනේ වීදුරු දෙකක් එකට අලවාය!
ඒ නිසාම එම ඉරි තැලීම වාහනයට අවුලක්ම නොවුනි!

එයින් දුර ගමනක් ලෙස මා ගොස් ඇත්තේ යටියන්තොටට පමණි!
පාරට දැමූ මොහොතේ සිට දනන් සිත් වසඟ කල එය දැකීම මාගේ බිරිඳට එතරම් සුව දසුනක් නොවීය.
එය පාවිච්චියකින් තොරව බොහෝ කලක් පසෙක නවතා තිබුනු අතර එය අනවශ්‍ය "මුදල් හිරකිරීමක්" ලෙසම බිරිඳ දිටීය.
වාහනයට සවිකොට තිබුනේ එයට උපතින් ලැබුනු පෙට්‍රෝල් සිලින්ඩර හයේ එන්ජිම වෙනුවට 4DR5 එන්ජිමකි. ගියර් පෙට්ටියේ මහිමයෙන් එය දිවූවද එන්ජිම එයට තරම් නොවීය!
මේ සියළු කරුනු කාරණා සමග මාගේ ගරාජය වැසීයාමේ අවධානමකට ලක් විය.
එයට ප්‍රධාන හේතුව වූයේ මාගේ ප්‍රධාන කාරමික සුසන්ත නිවාඩු ලබාගෙන පිටස්තර වැඩ කිරීමට යාමය!

ඒ සමගම වාගේ යුනයිටඩ් මෝටර්ස් හි සේවය ලැබුනු මා ගරාජය වසා දැම්මේය.
ඊළඟ මාස කිහිපය ඇතුලත පුවත්පත් දැන්වීම් හෝ වෙනත් මාර්ගයකින් වාහනය ගැන සිත් පහලවී ඉතාලියේ වෙසෙන හෝමාගම තරුණයෙකු මේ පිළිබඳව විමසීය.
ඒ මේ පැත්තට දෙතුන් වතාවක් චලනය වීමෙන් පසුව එය පන්ලක්ෂ හැට දාහකට මිළ නියමවී ,ආ අතින් ඔහුවෙත්ට පත්විය!

වාහනය මමත් දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන චාමින්දත් හෝමාගමට හෙවත් ගෙදරටම ගොස් ඇරලූවෙමු.
දියණියක් සරණ පාවා දී වල්ලභයාගේ නිවසට ගෙන ගොස් ඇරලීම පැරණි සිරිතකි.
එයට නිසාන් TD42 එන්ජිමක් තබා නවීකරණය කිරීමට මිළදී ගත් තරුණයාට අවශ්‍යවිය. 
මා ඒ සඳහා යෝජනා කලේ අරංගල අවුට්ඩෝර්ස්මන් වැඩහල පවත්වාගෙන යන ෂෝන් හමීඩ්වය.
එහෙත් එය සිදුවී තිබුනේ ඉතා ලාභ හා බාල ලෙසටය!
එය නවීකරණය කිරීමට භාරගෙන තිබුනේ කැළණියේ චන්න විසින් ය! ඔවුන් එයට විකුණා තිබුනේ TD42 එන්ජිමක් සහ ඔටෝ ගියර් පෙට්ටියකි. එම වාහනයට ඔටෝ ගියර් පෙට්ටියක් සවි කිරීමට යන බව ආරංචිවූ සැණින් මා ඒ පිළිබඳව මාගේ අදහස කියා පෑවත් එයට බරක් නොලැබුනි.
එහි රිජිඩ් දුනු වෙනුවට කොයිල්ස්ප්‍රින්ග් කර තිබුනි. කොයිල් ස්ප්‍රින්ග් වලට අවශ්ය කන්ට්‍රෝල් ආර්ම් චැසියට සවි කොට තිබුනේ ඈන්ගල් අයන් යොදාචැසියට අමු අමුවේ වෙල්ඩිං කොටය!
කොටින්ම වාහනය අපේ භාෂාවෙන් කියනවා නම් කා දමා තිබුනි,
ඇනෙන් ඇනේට ඔරිජිනල් කොටස් යොදමින් මා හැදූ වැඩූ වාහනය එසේ විනාස කර තිබුනි.
මෙම හාවෙස්ටරය හදන කාලයේ ඊට ෆෙන්ඩර දෙකක් මා ගෙන ආවේ උඩුගම්පොලනි. සෑම කොටසක්ම ඊට වසර 50කට පෙර ආවාසේ එක්කොට තිබුනි!
පසු කලෙක එම වාහනය දකින්නට ලැබුනු දවසක මා එහි යටට එබී බැලූ විට මා කලින් කී ඇන්ගල් අයන් දුටු පමණින් මගේ සිත බොහෝ සෙයින් රිදී තැලී ගියේය.
මේවා අයකඩ ගොඩවල් වූවාට ඒවා ගොඩ නැංවූයේ දරුවන් හදන්නා මෙනි!
දීග දීමෙන් පසුව තම දියණිය එතෙක් ඇයව හැදූ වැඩූ ආකාරයෙන් වෙනස්ව සංකරවී ඇති අයුරු දුටු පියෙකුට දැනෙන වේදනාව මට එදින දැනුණි.
"වාහනේ කාලානේ . . .!" මට අනායාසයෙන් කියැවිනි. ඒ එක් පරිච්ඡෙදයක නිමාව විය!
මේ වෙන විට මාගේ ගරාජය වැසී ගොසිනි. රැකියාවක් නැති තැනට වැටීය. මේ අතර මාහට වාහනයක් නැති තැණට වැටෙමින් ය!
අස්සයා නැති කව් බෝයි සේ, නයා මැරුණු අහිකුන්ඨකයාසේ මාහට වැතිර සිටීමට නොහැක. හදන්න, හෝදන්න, පදවන්න මාහට වාහනයක් අවශ්‍යය.
මාහට අවශ්‍ය උනේ ඩබල් කැබ් රථයක් ගැනීමටය.
එයට මා ලක්ෂ 18ක් වියදම් කිරීමට සූදානම්ව මුදල් සොයා ගන්නට පටන්ගෙන තිබුනි.
මේ අතර අපගේ නිවසට යාබද නිවසක වෙසෙන; සතොස මෝටර්ස් හි සේවය කල අපගේ මිතුරියක් ඔත්තුවක් ගෙන ආවාය.
ඒ ඔවුන්ගේ කළමණාකාර අධ්‍යක්ෂක පාවිච්චිකල ISUZU Panther රථය විකිණිමට යන වගය.
වාහනය මා බැලීමට ගියෙමි.
නිල් පැහැති එය මනා පෙනුමකින් යුක්ත විය!

එහෙත් ඒ මොහොතේ ඉසූසූ පැණ්තර් රථය හා ISUZU Bighorn රථය මාගේ හිත තුල පැටලී තිබුනි. වාහනය බැලීමට ගියේ මමත් බිරිඳත් ඇයගේ පියාත්ය.
පැණ්තරය; බිග් හෝර්නය මෙන් ෆෝර් වීල් ඩ්‍රයිව් වාහනයක් නොවීය! එහෙත් මාගේ අවශ්‍ය තාවය; එම අඩුපාඩුව නොපෙනෙන සේ මාගේ ඇස් වසා දමමින් විය.
ඒ වන විට වාහනය මිළදී ගැනීමට මා අත මුදල් නොමැති වූ බැවින් එය රුපියල් 1650000/= කට ඔහු විසින් මිලදී මිළදී ගැනීමට බිරිඳගේ තාත්තා ඉදිරිපත්විය. ඒ; පසුව මුදල් දී හුවමාරු කරගැනීමේ පොරොන්දුවටය.
වාහනයේ වහලයේ වැහි පීල්ලක එක තැනක් අඟල් 4ක පමණ ස්ථානයක තීන්ත ඉවත්වී මලකඩ මතුවී තිබුනි.
මාමණ්ඩිය වාහනය ගෙනගොස් සම්පූර්ණ තීන්ත ගෑමට භාරදුන්නේ මාගෙන් නොවිමසාය.
ඒ සඳහා රුපියල් 95000/=ක් වැයවී තිබූ අතර වාහන්යේ මිල සති දෙකක් තුනක් ඇතුලත රුපියල් ලක්ෂයකින් ඉහල ගියේ බලා සිටියදීමය!
කිසිදු අවුලක් ආභාධයක් අතුරු ආන්තරාවක් නැතිව තිබුනු වාහනයේ ඉන්ජෙක්ටර් පොම්පය සර්විස් කිරීමට ගලවා තිබුනි. 
ඒවා මා දන්නේ ගලවා සවිකලාටත් පසුවය.
සාමාන්‍යයෙන් සත්‍යවශයෙන්ම ඉන්ජෙක්ටර් පොම්පය ගැලවීම හැර වෙනයම් විකල්පයක් නොමැති අවස්ථාවකදී විනා එය කෑලි කරණ්නේ නැත!
බොහෝ විට ඉන්ජෙක්ටර් පොම්පයක් ගැලවීම යනු කාන්තාවක් සීසර් කරණවා වැනිය. එය දෙතුන් විටක් කරණ දෙයක් නොවේ!
ඉහෙන් බහින රෝගයක් නොතිබූ වාහනයේ ඉන්ජෙක්ටර් පොම්පය ගැලවීමට හේතුව අදටත් ඔහු නොදන්නවා ඇත!
මේ සියල්ල සමග වාහනයේ මිල ලක්ෂ දාහත හමාරද පසු කොට තිබුනි.
මේ වන විට වාහනයක් ගැනීම සඳහා මා ගරාජය වසා දැමූ ඉඩම විකුණන්නට පිඹුරු පත් සකස් කරමින් ය. බිරිඳ;   බැංකු ණයක් යටතේ ඉඩම මගෙන් මිළදී ගෙන  මා හට ලක්ෂ 18ක් ලබා දුන්නේය!
මාර බිස්නස් නේ?
වහාම බිරිඳගේ පියාගේ මුදල් ගේවා දමා මා වාහනය මා සතු කර ගත්තෙමි.
මන්ද ගෙවෙනා සෑම දිනෙකදීම වාහනයේ මිළ ඉහළ යෑමේ ප්‍රවණ තාවයක් තිබුනු බැවිනි.
මේ දින වල වසික මාගේ පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩාවේ කිසියම් පසු බෑමකට ලක්වී තිබූ අවදියකි. ඊට පිළියමක්  ලෙස ඔහුව රාගම ක්‍රීඩා සමාජයේ පුහුණු කරු සංජීව වෙත යොමු කල අතර එදිනම වසිකට ඉංග්‍රීසි පංතියක් මහරගම පැවැත්වුනි.
මේ ගැන ලියැවිලා තියෙන්නේ මෙන්න මෙතන !
මහරගම පංතිය අවසන් වන වේලාව හා රාගම පුහුණුව පටන් ගැනීම අතර පැවතියේ විනාඩි 30ක පමණ කාලයකි.
මා වසික රැගෙන මහරගම සිට රාගමට විනාඩි 30කින් පැමිණිය යුතුය. ඒ දවසේම  වීම තවත් ගැටළුවක් විය.
ගූගල් මැප් නොතිබූ ඒ කාලයේ මා ඊට පිළියම සෙව්වේ කොළඹ අඟලේ සිතියමක් තුලිණි.
නූල් කැබැල්ලක් ගෙන සිතියමේ මාර්ග ජාලය මත අතුරා මා ආසන්නතම මාර්ගය සොයා ගත්තෙමි.
ඒ මහරගමින් පොල්වත්ත හන්දියට පැමිණ එතැනින් කොස්වත්ත පොලීසිය පසුකොට අංගොඩ හරහා කැළණියට පැමිණ එතැනින් ටයර් හංදියටත් වේවැල්දූව පංසල  ඔස්සේ රාගමට පැමිණීමය!
මා පළමු දිනයේ මේ ගමන ගියත් මා හට අවශ්‍ය වේගය පවත්වා ගැනීමට අසීරු විය. 
ඒ පැන්තර් රථ නිර්මාණයේ වූ දුර්වල බව නිසාමය. 
පැන්තර් රථයේ රෝද සවිකොට තිබුනේ ඇන 4ක් මගිනි. එසේම ඉදිරිපස රෝදවල වීල් බෙයාරිං ලෙස යොදා තිබුනේ ඉතා කුඩා ඒවාය!

මෙම ඉසූසූ පැන්තර් රථය නිපදවා තිබුනේ ඉන්දුනීසියාවේ වන අතර ඊට සවිකොට තිබුනේ; 4WD ලෝලීන් අතර නමක් දිනා ගත්   2800CC ISUZU 4JB1 එන්ජිමක්ය. 
එය අන් සියළුම  ඉසූසූ එන්ජින් වාගේම ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එන්ජිමකි. මේ නිසාම එන්ජිමේ පවතින "ටක - ටකය" අමතක කලවිට ඉතාම හොඳ යන්ත්‍රයකි!
දිග පළලින් එය ඉසූසූ බිග් හෝන් රථයකට ඉතා ආසන්න එකක් වුවද මෙහි රෝද සවිකොට තිබුනේ ඇන හතරකින්ය. එසේම ඉදිරිපස වීල් බෙයාරින් ඉතා කුඩා ඒවා විය.
වාහනයේ වීල් බෙයාරින් ඉතා අඩු කිලෝමීටර ගණනකදී විනාශවී මග හිටීම මෙම වාහනයේ සංජානීය දෝෂයක් බව මා දැන ගන්නා විට මා වෙනුමෙන් මාමණ්ඩිය රථය මිලට ගෙන හමාර විය!
පැන්තරය ගෙන ටික දවසකින්ම පුංචි බොරැල්ලේදී මාගේ ගමන හරහට දැමූ කෑලි හැලෙන ලොරි පොඩ්ඩෙක් පැන්තරයේ ඉදිරිපස බෆරය සුනු විසුනු කොට දැම්මේය.
එයට බෆරයක් මේ ලෝකේ සියා ගැණීමට අපහසු වස්තුවක් විය! ඊට පිළියමක් ලෙස අරංගල Armadillo වින්ච් බෆර් නිපදවා සපයන Outdoorsman හි ෂෝන් හමීඩ් වෙතින් මා කඩවසම් බෆරයක් සාදවා ඊට සවිකර ගත්තේය.
සත්තකින්ම මෙරට තිබුණු සුපිරිම පැන්තරය මාගේ පැන්තරය යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. බලන්න බොරුදැයි කියා! 


මේ ඡායාරූපය යාපනයේ පුස්තකාලය ඉදිරිපිටදී ගත් එකකි. අප දින තුනක යාපනය සංචාරයේ යෙදුනේ පැන්තරයේය.
එකල ඕමන්තේ නවතා යාපනය සිට පැමිණෙන හමුදා මුර රථ පෙල සමග යා යුතුවිය. ඒ යාපනය හමුදාව යටතට ගත් මුල් කාලයේම  විය. යාපන අර්ධ්ද්වීපය පුරාද එතැනින් කයිට්ස් දූපතටද ගිය අප නැවත යාපනයෙන් පිටත් වන්නට එද්දී අර්ධද්වීපයේ අවසාන මුරපොලින් අපට පිටත් වන්නට අවසරය නොලැබුනේ එතැනට පැමිණීමට අවශ්‍ය අවසාන වේලාවට විනාඩි 10ක පමණ පරක්කුවක් හේතු කොට ගෙනය. අවසානයේ වැඩිපුර දිනයක්ද යාපනයේ ගත කොට අප ආවෙමු.
මොනදේ උනත් එම පැන්තරයේ ශක්තිමත් භාවය කෙරෙහි මා සෑහීමකට පත් නොවීමි.
ඔව් මේක හරියන්නේ නෑ!
මේක විකුණන්න ඔනෑය!
වසික ඉංග්‍රීසි පන්තියෙන් රැගෙන පැය භාගයකින් රාගමට ඇරලවන්නට නම් මීට වඩා ජවාධික වාහනයක් අවශ්‍ය වේ!
"ඔව් මම මේක කීයට හරි විකුණනවා" මම එක මතයකට ආවෙමි!

Monday, March 11, 2024

239. ලක්ෂිත සමග මගේ මතක!


පාසැලේ 8 පන්තියෙදී පමණ ඔහු ගැන මගේ හිතේ මතකයක් ඇත. අව්‍යාජ මෙන්ම ඉතා සුන්දර සිනහවක් ඔහුගේ මුහුණේ නොතිබූ මොහොතක් නොවීය!
දණ හිස දක්වාම හෝ ඊටත් පහලට මෙන් දික්වූ බම්බු කොට කලිසමකින් සැරසී දිගු අඩි තබමින් ඔහු පාසලට පැමිණි අන්දම මට අද මෙන් මතකය. ඔහුගේ දිගු දෙපා වලින් ජිරාෆ් ගමනින් පාසලේ කොරිඩෝර දිගේ ඇවිද ගියේ සුපුරුදු සිනහවින් මුව සරසාගෙන නොව පුරවාගෙනය! 

ඔහු පාසැලට ගෙන ආවේ; කාර්‍යාලවල CC මහත්වරු භාවිතා කල ආකාරයේ සම් මල්ලකි. බෑගයකි. එය කරේ එල්ලා ගත් එකක් නොව අතින් එල්ලා ගත් එකකි. ඔහු කිසිදා කිසිවෙකු සමග ගැටුමක් ඇති කරගත් අයෙකු නොවීය . ඔහු කිසිදා මට "මචං" කියා කතා කොට නොමැත. ඔහු අසභ්‍ය වදනක් කියනුද මා අසා නැත්තේ ඔහු මාගේ ළඟ මිතුරෙකු නොවූ නිසාද නැතිනම් ඔහු එසේ නොවුනු නිසාදැයි මා නොදනිමි. දැනට සිඩ්නි නුවර වෙසෙන ජෙහාන් පීරිස් මොඩලයේම එහෙත් ඔහුට වඩා මිත්‍රශීලී අයෙකු විය. 

පාසලේ අප; මම, නලීන්, SD, ශාන්ත ආදීන් මෙන් නොව ලක්ෂිතලා පාසැලට පැමිණියේ ඉගෙන ගැනීමටය! පාසැලෙන් ඉවත්වී වසර දහයකට පමණ පසුව ලක්ෂිතව මාහට හමුවන්නේ යුනයිටඩ් මෝටර්ස්; මාගේ රැකියා ස්ථානයේදීය. ඔහු ඒ වන විට විදුලිබල මණ්ඩලයේ සිරා පොරකි! ඔහුට එකල මණ්ඩලයෙන් ලබාදී තිබූ Mitsubishi Lancer EX රථයේ සුළු අළුත්වැඩියාවකට ඔහු පැමිණ සිටියේය! මම; ඔහු ලඟට ගොස් ඇමතූයෙමි! ලක්ෂිත සුපුරුදු සිනහවෙන් මා සමග බොහෝ වේලාවක් කථා කලෙමි. 

දින දෙකකට පසුව ඔහුගෙන් මාහට වට්සැප් පණිවිඩයක් ලැබුනි. ඔහු ඉන්; අපගේ ආයතනයේ පාරිභෝගික සේවය ඒ තරම් ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම සඳහා අප; අපගේ සේවකයින් පුහුණුකල ආකාරය විමසා තිබුනි! 

තවත් වසර ගණනාවකට පසු; හක්බෙල්ලාවක මාගේ නෑදෑයකු කුඩා ව්‍යාපාරයක් පටන් ගන්නට ගොස් ඒ සඳහා විදුලිය ලභා ගැනීමට යාමේදී රුපියල් 69000 ක ඇස්තමේන්තුවක් ලැබී තිබුනි! එම ඇස්තමේන්තුව දෝෂ සහිත එකක් බව අපට වැටහුනි. මා ඒ පිළිබඳව ලක්ෂිතට දන්වා සහනයක් බලාපොරොත්තු උනෙමි. 

මේ ඔහුගෙන් මාහට විනාඩි කිහිපයකින් ලැබුණු පිළිතුරයි:-

 I phoned ES. He said he will again have a look and get back. I will keep you updated. 

ඔහු ඊට මොහොතකින් ක්‍රියාත්මක වී නැවත ඇස්තමේන්තුවක් සිදුකිරීමට අදාල ශාඛාව වන කරවනැල්ලෙන් පැමිණ නැවත තක්සේරුවක් සිදුකොට නැවුම් තක්සේරුවල් ලබා දීමට කටයුතු සැලසීය! නව තක්සේරුව රුපියල් 23000කි! 

එයට මා ස්තූති වන්ත වූ විට ඔහු ඊට පිළිතුරු දැක්වූයේ මෙලෙසය:- 

There will be a further clarification sought with his Area Engineer about whether CEB could bear costs for commercial customers (like your cousin) tomorrow. If it is domestic, it is very clear, CEB bear the cost. But since this is a commercial connection, there is a doubt. The previous practice of this Area has been this. But I am of the openion that for single phase, CEB still can bare cost. This will be further clarified tomorrow and they will let me know. Pls give me time. (I spoke to ES in the evening too). 

මෙයට මා ස්තූතිවන්ත වූ විට ඔහු ප්‍රථිචාර දැක්වූ හැටි බලන්න! :- 

Your matter has been resolved. I guess your cousin has been already informed. He only needs to pay a much lower estimate now. Apologise for the confusion from CEB end. 

ඔහුගේ සිනහවේ තිබූ අව්‍යාජත්වය, නිහතමාණී බව ඔහුගේ ක්‍රියාවන් තුලදීද දක්නට ලැබුණු බවට මීට වඩා තවත් නිදසුන් කුමටද? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මහත්මයෙකු" විය! 

පසු කලෙක ඔහුගෙන් මාහට ඇමතුමක් ලැබුනේය! ඔහු ඉතාමත් බැගෑපත්ව මගෙන් උදව්වක් ඉල්ලීය! "මගේ මල්ලිලා; කෝට්ටේ පුරාවිද්‍යා වටිනාකම් අධ්‍යනය ගැන වැඩ වගයක් කරණවා. ඒකට එයාලට Blog එකක් හදාගෙන සමාජය දනුවත් කරණ්න ඕනලු! අනේ ඔයාට පුළුවන්ද පොඩ්ඩක් උදව් කරණ්න!" මට කියන්නට වදන් නොමැත! "ඔයාට උදව්වක් කරණ්න ලැබීමම මගෙ වාසනාවක්!" මමත් ලක්ෂිතගේ මල්ලීත් කතා බස් කොට බ්ලොගය සැකසුවෝය! මා ඔවුන් ගෙන් ලැබන විස්තර වලට අනුව බ්ලොගය ලියන්නට පටන් ගත්‍තේය. එය අදටත් අවකාශයේ ඇත; යාවත් කාලීන නොවුනත්! මෙන්න එය:- https://kottesandheshaya.blogspot.com/?m=1 

එහි නම කෝට්ටේ සන්දේශය විය. මෙතැනින් ගොඩවී බලන්න.

පසු කලෙක අවස්ථාවක හෝ දෙකකදී මා පාසලේ වට්සැප් සමූහයෙන් වට්සැප් සමූහයෙන් ඉවත්වූ විටෙක ඔහු ඒ පිළිබඳව මගෙන් විමසා සිටියේය! 

Manjula, why did you left? I enjoyed your posts very much.

 මම ඊට පිළිතුරු ලෙස ලියා යැව්වේ "එය අතපසුවීමක් ලෙසය!" ඔහු ඊට ප්‍රථිචාර දැක්වූයේ මෙසේය!

 May I ask Dabare to add you? 

සිසිර සමන්ත දාබරේ යනු අපගේ වට්සැප් සමූහයේ ඇඩ්මින් වරයාය.

ඔහු එතරම් ලෙංගතු මිතුරෙකුව සිටියේය! 

අවසාන වතාවට ඔහු මාවෙත් ලියා තිබූයේ පසුගිය වසරේ නොවැම්බර් 28 වෙනිදාය! 

එදින ඔහු මගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂී ඉදව්වකි! 

Do you have the contact number (email, WhatsApp) of Dr Shantha Jayarathna, former SLIDA officer who writes in Social Media? 

මෙයට පහලින් ඔහු අමුණා එවා තිබුනු ශාන්ත ජයරත්න විසින් ලියන ලද උදෘතයක පිංතූරයේ වූ වගන්තිය මා මෙහි ලියා දක්වන්නම්. (එය මෙයට ඒ සැටියෙන්ම ඇටුළු කිරීමට නොහැකි බැවින්!)

". . . . වැලිකඩ මහ උළු ගෙදර ගාල් කල යුතුය. ජනතාවගෙන් පැහැර ගත් සියළු වත්කම් නැවත ජනතාවට ලභාදිය යුතුය. ඒ සඳහා අවස්ථාවක් අපට නුදුරේම ලැබෙනු ඇත. එහිදී නිවැරදි තීරණයක් ගැනීමට අප අදිටන් කර ගනිමු.

ශාන්ත ජයරත්න 

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක. 

31.10.2013"

මා හැකි ඉක්මණින් ජගත් බණ්ඩාරගේ කණිෂ්ඨ සොහොයුරාගෙන්; ශාන්ත ජයරත්නගේ අංකය සොයාගෙන ඔහුට ලැබෙන්න සැලැස්සූවෙමි! ඔහු ඊට ස්තූතිවන්තවී තිබුනි! 

Thank you very much. One of the few guys who can see through the current issue. 

අපගේ ආදරණීය මාතෲ භූමිය කෙලෙසන එවුන් පිළිබඳ පැහැදිලි විරෝධයක් ඔහුට තිබෙන බව මා හට ඒත්තු ගියේ එවිටය! පාසැලේදී ඔහු පෙන්වූ අවංක මුහුණ ඔහුගේ හදවතින් තවමත් ගිලිහී නොතිනෙන බවත් මාහට වැටහුනි!

ඉන් පසුව ඔහු පිළිබඳව ආරංචියක් ලැබුනේ පෙරේදා එනම් 09/03/2024 දිනය! 

ඒ ලක්ෂිත සොයුරා හෘදයාබාදයක් කරණ කොටගෙන; පලමුව ආසිරි සර්ජිකල් රෝහලටත් දෙවනුව ජාතික රෝහලටත් තුලු කල බවය. 

ජාතික රෝහලේ හෘද රෝග අංශයේම සේවය කරන මාගේ නෑනාගෙන් මා ලක්ෂිත පිළිබඳව විමසූ අතර ඇ‍ය කියා සිටියේ එදිනම දහවල් 1.00 වන විට ඔහුව ශල්‍යකර්මයකට භාජනය කරණා බවයි.

ඔහුගේ ශල්‍ය වෛද්‍ය වරයා වන්නේද අපගේ ආදරණීය නාලන්දාවේ ආදී ශිෂ්‍යයෙකුම වන බවත් ය! 

ඔහු ලක්ෂිතගේ මවගේ ශිෂ්‍යයෙකු වීම ඊට සෘජු හේතුව වූ බවද සැල විය.

වට්සැප් සමූහයේ ඔහු පිළිබඳ පුවත පලවූ වහාම "මගේ රුධිර ඝනය O Negative!" යනුවෙන් ඊට ප්‍රථිචාර දැක්වූ අතර ඉන් පසුව බොහෝ සොහොයුරන් තම තමන්ගේ රුධිර ඝනයන් එහි දක්වා තිබුනු අතර එදිනම සවස ගංගාරාමයේ බෝධි පූජා පිංකමක් සහභාගී කොට තිබුනි.

09/03/2024 දින දවල් 1.00ට පටන් ගෙන තිබුනු ශල්‍යකර්මය අවසන්වී තිබුනේ පසුවව්දා එනම් 10/03/2024 පාන්දර 5.00 ට පමණ!

ඔහුගේ හෘදයේ සිට රුධිරය ශරීරය පුරා ගැලීම ඇරඹෙණ පුප්පුශීය ධමණියේ පැල්මක් තිබී එය සැකසූ බවක් අසන්නට ලැබුනි.

10/03/2024 දිනය පුරා අසන්නට ලැබුණු ආරංචි එතරම් සුභ ඒවා නොවීය!

එදින සවස තවත් බෝධි පූජාවක් බෙල්ලන්විල විහාරස්ථානයේ සිදුකිරීමට 85 සහෝදරත්වය කටයුතු යොදා තිබුනි. 

භෞතිකවාදියෙකු වූ මා ඊට සහභාගී නොවීමි!

ඒ වෙනුවට හවස් වරුවේ සිට ලක්ෂිත වෙත ලබා දීමට රට පුරා සොයමින් සිටි එන්නත් සොයා ගන්නට උපරිම වෙහෙසක් ගත්තෙමි.

මාගේ හිතාදර මිත්‍ර කඩවත පුරසඳ ෆාමසියේ සුසන්තගෙන් හා හෘදරෝග අංශයේම වෛද්‍යවරියකවූ; මා පෙර සඳහන් කල නෑනාගෙන්ද ඒ පිළිබඳව සොයා බැලූ අතර එය සොයා ගැනීමට අපහසු විය! (පසුව හෝ එම එන්නත සොයා ගත්තේදැයි මා මෙය ලියන මොහොතේ නොදනිමි!)

සෑම පැයකදීම අපට අසන්නට ලැබුනේ ලක්ෂිත පිළිබඳ බලාපොරොත්තු කඩවන ආරංචිම වීම කෙතරම් අභාග්‍යයක්ද?

සැත්කමට පසු ලක්ෂිතගේ රුධිර පීඩනය ප්‍රසස්ථ මට්ටමට නොපැමිණීම මීට හේතුව විය. එතැන් සිට සිදුවූ සියල්ල අප දනිමු! 

මා සැමදා පවසන ලෙසම "සිතුවිල්ලකට තණ පතක් හෝ සෙළවිය නොහැක!" යන්න ප්‍රථ්‍යක්ශ කරමින්; අප සමූහයේ (මා සහ තවත් අතලොස්සක් හැර) බොහෝ දෙනාගේ ප්‍රාර්ථනා සැහැල්ලු කරමින් ලක්ෂිත; 10/03/2024 දින එනම් ඊයේ රාත්‍රීයේ  අප අතරින් ඈත්විය. 

එම අවසනාවන්ත පුවත මා අපගේ සොයුරු සිසිර දාබරේට තහවුරු කරණ මොහොතේ මා සිටියේ බොරැල්ලේ ජයරත්න Respect හී තවත් අවස්ථාවකට සහභාගී වෙමින් ය. පණිවිඩය ලද සැණින් මා බිරිඳ සමග කඩවත ඒම පසෙකලා කොළඹ ජාතික රෝහල දෙසට වහනය ධාවනය කලෙමි!

"ඔයාට ගියා කියලා දැන් body එක බලන්න නම් වෙන එකක් නෑ!" බිරිඳ මා අමතා කීවාය. 

"මම ඒක දන්නවා! ඒත් මට එතැනින් යන්නෝන . . . . . !" බිරිඳ නිහඬ විය. 

මා බොරැල්ලේ සිට කින්සි පාර ඔස්සේ හෘද රෝග අංශය අසලින් සෙමෙන් ධාවනය කලෙමි. ඒවන විට රාත්‍රී 11.00 කණිසම අසල වූ අතර මුළු කින්සින් පාර ලක්ෂිතගේ වියෝවට නිහඬවී සිටියේය.  උස් තාල වර්ගයේ ගස් පෙල අතු නොසෙල්වා සිටියෝය!

මා එතැනින් ද සොයිසා කාන්තා රෝහල පසු කොට හෘදරෝග අංශය ඉදිරියේ සුළු පමාවකින් නැවත ගමන් ඇරඹීය!

අවසාන මොහොතේ මා සිසිර දාබරේ අමතා පැවසුවේත් ඔහු මා හා එකඟවූ කරුණකි "අපිට කරණ්න දෙයක් නෑනේ මචං! මොකද හෘදය වස්තුවක් දෙන්න කියලද?" 

එක එහෙම උනත් ලක්ෂිත; මේ මම ඔයාට පිලිගන්වන්නේ මගේ හෘදය! 

හෘද සාක්ෂිය!! 

ආයුබෝවන් මිත්‍රයා! 

අඩියෝස් අමීගෝ!! 


ලක්ෂිතට කරණා ගරු කිරීමක් ලෙසටවත් අප; අපගේ ජීවිත පිළිබඳව වඩාත් සැළකිලිමත් වෙමු! එය; රැල්ලට "නිවන් පැතීමට" වඩා අර්ථවත් දෙයක් වේවි!

මේ ලියන මොහොතේ මාගේ හිතාදර නාලන්දීය සොයුරු චින්තක කුඩලිගම කතා කලේය.

"මචං අපි ඒ කාලේ ඔය විජයබා කොල්ලය වගේ පොත් කියවන කොට ඕකා ඇවිත් ඔය ෆේමස් ෆයිව්, ඉනිඩ් බ්ලයිටන්ගේ පොත්  එහෙම දීලා 'මේවාත් කියවලා බලන්න' කියලා දුන්නු එකෙක්!"

"ඇත්තට මචං අපි එච්චර මූට ආදරේ කරලනේ!" ඔහු බිඳුණු ස්වරයෙන් පැවසීය.

"ඔව් බං අපි මූට මෙච්චරම ආදරේ කරලා!"


(මෙය අප පාසලේ වට්සැප් සමූහයට මා ලියනා ලද ලිපියක් වන අතර මෙහි සමහර කරුණු ඔබට තේරුම් ගැනීමට අපහසු විය හැකිය! සමාවී එය නොසලකා අරින්න.)

Saturday, March 2, 2024

238. බ්‍රෝකරයෝ සහ කේවලයෝ


බ්‍රෝකරයෝ යනු කවුරුහුද කියා මා; අළුතින් නොකීවාට ඔබ තමුන්නැහැලා හොඳින්ම දන්නවා නොවැ. ඒ කියන්නේ බ්‍රොකර්ලාය. එතකොට කවුද මේ "කේවලයන්"? 

මේක හරියටම තේරෙන්න මම පොඩි කථාවක්ම කියන්නම්  ඒකාලේ ඒ කියන්නේ අපි උසස් පෙල ලියපු කාලේ (විශ්වාස කරණ්නත් අමාරුයි නේ?) අපේ මිත්‍රයෙක් උන්නා රන්ති රොහාන් ගමගේ කියලා. උන්නැහැ හිටියේ රාවතාවත්තේ. 

රන්තිගේ තාත්තට තිබ්බා ලී බඩු වෙළඳ සැලක්. ලී මඩුවක්. වගේ සෑහෙන ලොකු ව්‍යාපාර වගයක්. මේ නිසාම ඒ ආනුභාවයෙන් රන්තිට ඉස්කෝල ගමන නවත්වන කොටම පොඩිත්තං ව්‍යාපාරයක්ම අටවලා දීලා තිබ්බා තාත්තා. ඒ කාර් සේල් එකක්. අපිට "වඩයක් එක්ක ෆුල් ප්ලේන්ටියක්" බොන්න රුපියල් පහක් නැති කාලේ රන්තිට තිබුනේ කාර් සේල් එකක්. 

එයා වාහනයක් ගන්න යනකොට අපි තුං හතර දෙනෙකුත් එල්ලිලා යනවා. අපිට අවශ්‍ය "තේ සිගරට් බුලත් විට" සියල්ල රන්තිගෙන් අඩු නැතිව සැපයුනා.

රන්ති වාහනය අයිතිකාරයා එක්ක; ඒකේ ගාන අඩු කරණ්න ඔට්ටු වෙන කොට අපි කලේ වාහනේ වටේ ඇවිද ඇවිද ඒකේ අඩුපාඩු අයිති කරු ඉදිරියේම රන්තිට රපෝර්තු කරන එකයි! වාහනයේ අයිති කරු දත් කූරු කමින් මිල අඩු නොකොට සිටිනා වෙලාවල් වල අපේ ඇහින්දාස් වැඩේ ටක්කෙටම හරිගියා! අපිත් මැද්දට පැනලා වෙලාවකට; තව පන්දාහක් - දහ දාහක් අඩු කරණ්නට හේතු සපයමින් අඩුවට ඉල්ලමින් "මැරෙන්න හැදීම" කේවල් කිරීමක් වන අතර අප ඒ කාලයේ කේවලයෝ වූහ!

"අනේ මල්ලී වාහනේ ගන්නවා නං ගන්න නිකං කේවල් කරණ්න එපා!" කියා හිසේ කෙස් ගානට (කවුද කිව්වේ මගේ කියලා; රන්තිගේ!) අසා ඇති නමුදු අපි අපගේ සේවය; රන්ති කාර් සේල් එක වසන තෙක්ම කරගෙන ගියෝය!


කාලය ගෙවී යත්ම මා හටද රෝද හතරක් සතුවූ  දශක තුනකට පමණ පෙර කාලයේ සිටම මාගේ වාහන කේවල් කිරීමට මා කිසිදා ඉඩ දුන්නේ නැත!

"ඔයාට විකුණන්න ඕන ගානට වඩා කීයක් හරි වැඩියෙන් දාන්න! එතකොට ගන්න ආවාම අඩු කරලා දෙන්න!" කියා කීවත් මා අදටත් වාහනයක් විකුණන්නට දැන්වීමක් දාන්නේ; එහි නියම විකුණුම් මිළෙනි! සමහර විට එය මිළදී ගන්නට එන එකා "මැරෙන්නට හැදුවාම"; මරණ පරීක්ෂණයට සාක්කි දීමට ඇති අකමැත්ත නිසා කීයක් හරි අඩු කොට ඇතත් ඒ කලා තුරකිනි!

වරක් මාගේ වාහනයක් මිලදී ගන්නට එන අයෙකු තවත් කේවලයෙක් එක්ක ආවේය. ඒ "බාස්" කෙනෙකුගේ ස්වරූපයෙනි. මා වාහනයේ මිල පැවසූ පසු කේවලයා  හෙවත් බාස් වාහනය උඩයට රිංගා එන්ජිම ගිල මුහුණ ඇඹුල් කරගෙන ගැනුම් කරුත් මාත් සිටි තැනට පැමිණියේය."මහත්තයා මේක ඔයා ගත්තොත් අඩුම තව රුපියල් ලක්සයක් වත් වියදම් කරණ්න වෙනවා වාහනයක් කරණ්න!"

"වාහනයක් කරණ්න!" "රුපියල් ලක්සයක්!?"  එම වගන්ති දෙක මගේ කනේ දෝංකාර දෙමින්ය! සාමාන්යයෙන් මම වාහන අටවා දුවන හෝ විකුණන කෙනෙක් නොවේ! "මූ මේ  හදන්නේ වාහනේ කේවල් කරණ්න!" මගේ හිත මට කීවේය.

"මල්ලී මෙයා හොඳ බාසුන්නැහැ කෙනෙක් වෙන්නැති නේ!? ඇත්තටම මම හිතාගෙන හිටියේ මේ වාහනේ ගොඩ දාගන්න මට ලක්ස දෙකක් තුනක් වත් යයි කියලා! ඒත් මේ බාසුන්නැහැම කියනවා නං ලක්සෙන් ගොඩ දාගන්න පුළුවං කියලා; අනේ තරහ වෙන්න එපා ! මම වාහනේ දෙන්නේ නැහැ - හදා ගන්නවා!" මම ගැනුම් කරුට බොහෝම කාරුණික ස්වරයෙන් කීවෙමි!

"නෑ! නෑ!! අයියේ කමක් නෑ අපි හදා ගන්නම්!" කියා ගැනුම් කරු කෙතරම්  පැවසුවත් මම ඔහුට වාහනය දුන්නේම නැත! 


මාවරමණ්ඩියේ ආනන්ද අයියා කියන්නේ ගැරේජ් කරුවෙකි. ඔහු සතුව ජීප් තිබුනේ ඒ කාලයේ සිටමය. කාලයකට පෙර මිට්සුබිෂි 4DR5 ජීප් කිහිපයක්ම තිබුනත් පසු කලෙක ටොයෝටා ලෑන්ඩ් කෲසර් BJ40 මිළදී ගැනීමත් සමග ඔහු එය දරු කමට හදා ගන්නට විය! ඔහු ෆොර්ටියට කොයි තරම් ආදරය කලාද කියනවා නම් එක් වරක් වාහනය විකුණා පසුදා උදෑසන ආපසු රැගෙන ආවේ වැඩිපුර රුපියල් 25000 ක් ලබා දීය! ඒ කාලේ ෆොර්ටිය විකුණන්න ඇත්තේද රුපියල් ලක්ෂ පහ හය කටය!

වරක් ආනන්ද අයියා ෆොර්ටිය විකුණන්නට ලෑස්ති උනේ ඔහුගේ පුතා නවසීලන්තයට ගිය අලුතමය! ඉක්මන්.ල්ක් හො ලහිපිට හරහා ගැනුම් කරුවෙකු සෙනසුරාදා උදේම ආවේලු. ඔහු පැමිණ ඇත්තේ තවත් දෙදෙනෙකු සමගය. ඒ අතුරින් එක් අයෙක් මිකනික් හෙවත් බාසෙක්ය! වාහනය ගෙදරින් එළියට ගත් ආනන්ද අයියා මාවර මණ්ඩියෙන් උඩුපිල පැත්තට හැරී පදවාගෙන ගොස් ඇත. ඉදිරිපස අසුනේ වාහනය මිළදී ගැනීමට පැමිණි අයය. පසුපස ඔහු සමග ආ හිතවතා සහ බාස් ගොයියාය. 

ටික දුරක් ධාවනය කොට දරණාගම ඉස්කෝලේ පසුකරමින් ඉඩ ඇති තැනක් බලා ෆොර්ටිය නැවැත්වූ ආනන්ද අයියා "පොඩ්ඩක් එළවලා බලන්නකෝ!" කියා ගැනුම් කරුට ඉල්ලීමක් ලෙස අවසරය දුන්නේලු. 

ගැනුම් කරු ඉදිරිපස ආසනයෙන් බැස පිටුපසට ගොස් බාස් ගොයියාට වාහනය පදවා බලන මෙන් පවසා ඇත. බාස් රියැදුරු ආසනයේය! ආනන්ද අයියා ඉදිරිපස ආසනයේය! 

බාසා වාහනය ගසාමින් කලචෙක දමා ගැසුවේය! වාහනය ගැස්සි ගැස්සී ගොස් යන්නට පටන් ගත්තේය. එතැන් පටන් වාහනයේ බ්‍රේක් ගසන්නටත් "බර බර" ගාමින් ගියර් දමන්නටත් ක්ලච් පාදිකය ගස්සමින් අතාරින්නටත් විය. 

මීටර 100ක් 150ක් යන්නට ඇති! ආනන්ද අයියාගේ ගිණි කන පැන්නේය.

"ඔයා ඔය වාහනේ මොනවද ටෙස් කරණ්නේ? නවත්තන්න වාහනේ!" 

වාහනය පාර අයිනේම "ක්‍රීස්" ගාමින් නැවැතුනේය!

ආනන්ද අයියා වාහන්යෙන් බැස රියැදුරු ආසනය වෙත ගොස් දොර ඇරියේය.

"තමුසෙ මොන බාස් කෙනෙක්ද?"

"ආ! අයියේ මම ටිංකරිං ප්ලේන්ට් කරණ්නේ  . . . . !?"

"බැහැපිය ........පුතා එළියට!"

ආනන්ද අයියා රියැදුරු අසුනේ උන් බාසාව උරහිසෙන් ඇද බිමට වැඩැම්මුවේය. ඊළඟ මොහොතේ වාහනය පන ගන්වාගෙන ගෙදර ආවේය. ගැනුම් කරු කොර වෙලාය. වැඩේ හොඳම සීන් කෝන් එක වන්නේ බාසාගේ මුදල් පසුම්බියත් මොබයිලයත් දෙකන වම්පස ආසනය මත තිබෙනු දැකීමය!

"කමක් නෑ! බස් හෝල්ට් හතරයිනේ ඕකා පයිං එයි!" ආනන්ද අයියා කියන්නට කලින් ගැනුම් කරු පැවසුවේලු.

""මම වාහනේ විකුණන්නේ නෑ!" බහින්න බහින්න ඔයගොල්ලොත්!" ආනන්ද අයියා මාවරමණ්ඩියෙන් ඉතිරි දෙදෙනාද අතඇර ගෙදර ආවේලු!


මෙවන්ම වූ සින් එකක් මම අපේ කුඹුර විකුණන්න යද්දීද වූවේය. ගැනුම් කරු මුදල් දෙන්නය යද්දීම එතැන සිටි බ්‍රෝකරයා "ඔය කුඹුර ගත්තට වැඩක් නෑ! සෑහෙන්න වියදං කරණ්න තියෙනවා!!" කියා ඇද පැද කීවේය.

"හරි වැඩේ කෙරෙන්නේ නෑ! එච්චර වැඩකට නැති එකක් තමුසෙලා ගන්න ඕන නෑ නේ! දෙන්නෑ කුඹුර!" වැඩේ කෙරුණේ ගැනුම් කරු බ්‍රෝකරයාට කුණු හරුප දෙකක් කියා අපගේ නිවසෙන් එළියට බැස්සූ පසුවය! එයත් බොහෝ සේ ක්ං කෙඳිරි ගෑමෙන් පසුවය!

මෙවන් රස කථා බොහොමයක්ය! මේ දිනවල පවතින අධික අවිවේකී බව නිසාම පසුව ලියමු! ස්තූතියි කියවන්නට ආවාට!

Saturday, February 10, 2024

237. නීතීඥ්ඥයෝද මනුෂ්‍යයෝය!

 


මේක මේ පුංචිම පුංචි කථාවක් . . . . !

(දැන් වේලාව සෙනසුරාදා රාත්‍රී 9.12 යි!) බලමු "ශනිදා දහයට" මේක ලියලා ඉවර කර ගන්න පුළුවන් වෙයිද කියලා . . . !?)

මේ කථාවට සම්බන්ධ එක් චරිතයක් වන්නේ; මීට කලකට පෙර  ලංකාවේ අංක එකේ ධනවතා. කථාව මට ලියන්නයි කියවන නෝනාවරු මහත්වරුන්ගේ පහසුවටයි මම් වැඩිය දිග නැති නමක් දාන්නම්. 

මොකකද හොඳ . . . . ?

ම් . ම්ම් . .ම් . . ආ හරි මම දාන්නම් "ලැරී" කියන නම! දැං මේ නමට ගැලපෙන මේ රටේ හිටිය සල්ලි කාරයන්ගේ නම් වරනගාගෙන "අරූ ද? මූ  ද? කියලා මාව අපහසුතාවටය පත් කරණවා එහෙම නෙවෙයි.

ඔන්න ඒ පොරොන්දුවටයි මේ ලියන්නේ.

මේ ලැරීට ලංකාවෙන් භාගයක් විතර ඉඩ කඩං තියෙන කෙනෙක්. 

ඒවා එයාගේ අප්පා මුත්තා ගෙං ආව ඒවා නං නෙවෙයි එයාගේ ව්‍යාපාර වලින්ම ගොඩ දාගත්තු ඒවා කියලයි මට චින්තන අයියා (චින්තන ජයසේන) කිව්වේ.

මුල් කාලේ පත්තර වලට සම්බන්ධ ඔපීසියක අයිනක පොඩි මේස කෑල්ලක් දාගෙනලු  එයා; එයාගේ ව්‍යාපාර පටං ගෙන තියෙන්නේ!

ඉතිං මේ උන්නැහැට අගනුවර කොලොම්තොටත් පිට පලාත් වලත් කොයි තරං නං ඉඩ කඩං තිබ්බත්; ඉඩ කඩං වලට තියෙන පෙරේතකමනං ගිහිල්ලා නෑ කියලයි දන්න උදවිය කියන්නේ!

මේ ලැරී මහත්තයාගේ ඉඩමක් තියෙනවා තොට ලඟ කිට්ටුව. ඉතිං;  ඒ ඉඩමේ එක් කොනකට වෙන්න ඉඳලා තියෙනවා අහිංසක දුප්පත් ඩෑල් එකක්! 

එයාගේ රස්සාව වෙලා තියෙන්නේ කොළඹ නගර සභාවේ -  පාර අතු ගෑම!

මේ මනුස්සයාටත් අපි පොඩි නමක් දාගමු. කුණු ලොරියට කුනු එකතු කරණ නිසා; "පොඩි ළමයා" කියනවා වාගේ "සුවඳරත්න" කියමු.

ඉතිං මේ සුවඳරත්නගේ ඉඩමයි අපේ ලැරී මහත්තයාගේ ඉඩමයි වෙං වෙන්නේ තාප්ප කෑල්ලකින්.

මේ සුවඳයාගේ ඉඩම නිසා ලැරී මහත්තයාගේ "චීස් කෑල්ල" වගේ ඉඩමේ හැඩේට සිද්ධ වෙලා තිබුනේ වනේ වන හතුරෙකුටවත් සිදු නොවිය යුතු දෙයක්. ඒ කියන්නේ බොහෝම ලස්සනට; මේ මහ පොලොව හෙවත් භූමි තලය මත පැතිරී තිබුනු ඉඩම තුලට නැම්මක්, බොක්කක්, වැනි අතුලට නෙරාගිය තැනකයි අපේ සුවඳයා ජීවත් උනේ.

සුවඳයාගේ අප්පා මුත්තා කාලේ ඉඳන් ඉඳලා තියෙන්නේ මේ ඉඩමේ.

"ඉතිං අවුලක් නෑනේ . . !?" මේක කියවන නෝනා මහත්වරු කියාවි!

ඒත්  ලැරී මහත්තයාට මේ සුවඳයාගේ පැල් කොටේ දකිණ දකිණ පාරක් පාරක් ගානේ මල පනිනවලු "මොන මගුලක්ද?" කියලා

ඉතිං ලැරී ලොක්කා; සුවඳයාගෙන් එක එක විදියේ සීන් කෝන් දාලා තියෙනවා මේ ඉඩං කෑල්ල්ල ගන්න!

ඒත් සුවඳයා නෙවෙයි දීලා තියෙන්නේ!

අන්තිමට ලැරී කරලා තියෙන්නේ සුවඳයාට විරුද්ධව නඩුවක් ෆයිල් කරලා ඉඩමේ අයිතිය ගන්න! (මේක කියවන ප්‍රා ජේ ඇතුළු; නීතියේ දෙවගනගේ නෑතුරුස්ලා මේ ලිවීමේ වරදක් වෙතොත් නිවැරදි කරණ්ණෝන ඔන්න!)

අනේ අපේ සුවඳයාට මේ වැඩෙන්  "හික්!" ගෑවිලා!

යන්න්තං අමාරුවෙන් දිරා පත් වෙන්න නොදී "පවුල" අටවා ගෙන, දුවා දරුවන් තනාගෙන, ජීවිතේම කොළොම්පුරේ ජනී-ජනයාගේ කැත කුණු අතගාමින් ජීවත් වෙන සුවඳරත්නලාට "නඩුවක්" කියන්නේ ආයේ "සුනාමියක්" වාගේ මය.

ඉතිං සුවඳයා මේකට මොකක්ද කරණ්ණේ කියලා දහ අතේ කල්පණා කර කර ඉන්න කොට සුවඳටම මතක් වෙලා එයා අතුගාන පාරක ඉන්න ලෝයර් මහත්තයෙක් ගැන!

"ඒත් මේ කොළඹ රටේ ලොකුම තැනක ඉන්න ඔච්චර ලොකු මහත්තයෙක් මං වගේ කෙනෙකුගේ නඩුවකට උසාවියෙදි නැගිටියිද? අනික මේ යක්කු කීයක් ගනීද අප්පා!?" සුවඳරත්න තමාගෙන්ම අසා ගත්තේය!

එල්ලෙන්න "පෙකිණි වැලක්" වත් නැතිව ජීවිතේම එල්ලීගෙන ඉන්න සුවඳාට වෙන කිසිදු ඔප්ශන් එකක් ඔළුවට නො ආවේය! උදේ ඉඳන් හවස් වෙන තුරු කල්පනා කලත් ඔහුගේ හිතට පිළිතුරක් එන්නේද නැත!

හවසට ගෙදරට ගිය විට සුවඳාගේ ගෑනිටද ලමා ළපටීන්ටද තිබුනේ එකම ගැටළුවකි!

"අපිට මේ ගෙදරිං යන්න වෙයිද . . ?"

පහුවෙනිදා උදේම සුවඳ රත්න උදෙන්ම ගියේ අද දෙකිං එකක් කරගන්නෝන කියා සිතාය. ඇලෙක්සැන්ඩර් ප්ලේස් එක පිරිසිදු කරණ්ණට ඉදලත් ගෙන සූදානම් විය! ලෝයර් මහත්තයාගේ තඩි ගේට්ටුව ඉදිරියේ ඔහු අතු ගාන්නට විය! හිත දෙගිඩියාවෙනි.

"ඔන්න ඔහේ ඕන දෙයක් උනාවේ අහනවා! වෙන මට නැතිවෙන්න දෙයක් නෑනේ! . . !" සුවඳ රත්න හිත දැඩි කරගෙන ගේට්ටුවේ සීනුව එබුවේය.

පැමිණි සේවකයා හට තමන්ගේ ගැටළුව පැවසූ පසු මොහොතකින් ඉදිරිපස දොරින් මතු වූයේ උස මහත තට්ටය පෑදුන් පැසුනු හිසක් සහිත හයේ හතරේ ඩෑල් එකකි.

"සර්! . . !" කථාව කියන්නට පෙර සුවඳාට ඇඬුම් ආවේය!

"හරි මට මේ තියෙන ලේඛන ඇතිවෙයි! ආයේ ඕන උනොත් මම ඔයාට කියන්නම්! ඔයා මේ කියන දවසේ උසාවියට එන්නකෝ!"

"අපේ ලෝයර්" මහතා එදින උදෑසනින්ම පැමිණියේ කුඩා ලෝයර් අංකුරයක් හමුවීමටය. (සුවඳරත්න මේ හමුවෙන් පසු ගෙදරත් දන්නා කියන හැමටත් මේ නීතීඥ්ඥ මහතා හැඳින්වූයේ "අපේ ලෝයර් මහත්තයා" යනුවෙනි. මමද එයම ගත්තෙමි. මේ "අංකුරයක්" කීවේ අපේ ලෝයර් මහත්තයාට සාපේක්ෂ්ව සහ කාලයට අනුවය!)

මේ අංකුර ලෝයර් මහතා නමින් ශ්‍රීමාල් වීරක්කොඩි විය.

"ශ්‍රීමාල් පොඩි කේස් එකක් තියෙනවා ඔයාට ප්‍රොක්සි දාන්න පුළුවන්ද? හැබැයි මේකට පේමන්ට් එකක් නම් ලැබෙන්නේ නෑ! අපේ පාර අතුගාන මනුස්සයාගෙ කේස් එකක්!"

"හරි සර්! වීරක්කොඩි මහතා වැඩේ භාර ගත්තේය! ඔහුටද පුදුමය! මන්ද; සාමාන්‍යයෙන් ලැරී මහතාගේ නඩු වලදී ඔහුගේ පාර්ශවයට සාමාන්‍යයෙන් පෙනී සිටින  "අපේ ලෝයර් මහත්තයා" මේ කේස් එකේදී ලැරී මහතාට එරෙහිව නඩුවට පෙනී සිටීමය!

කාලය ගෙවී ගියේය!

නඩු දිනය එළඹුනි!

ලැරී මහතාගේත් සුවඳරත්නගේත් නම් තෝල්කතැන කෑගැසුවේය. එවිටම දෙපැත්තේ නීතීඥ්ඥයින් විනිශ්චය ආසන දෙපසින් නැගී සිටියෝය.

ලැරී මහතාට ඇස් උඩ ගියේය!

"මේ පාර අතුගාන එකා අල්ලලා තියෙන්නේ මෙයාවද?" ඔහු තමාගේ නීතීඥ්ඥයාගෙන් විමසීය!

ලැරී "අපේ නීතීඥ්ඥ මහතා වෙතට නැඹුරුව පැනයක් නැගීය!

"ඔබ; මේ ස්කැවෙන්ජර් (කසල ශෝධකයා) වෙනුවෙන් පෙනී සිටින්නවාද?'

"ඔව් ඔහු කසල ශෝධකයෙකු වුවත් මේ නඩුවේ මගේ සේවාදායකයා!"

එතැන් පසු නඩුව ගලා ගිය ආකාරය ලියන්නට මට මතක නැත! නමුත් එහි අවසානය වූයේ අහිංසක සුවඳරත්නලාගේ අයිතිය තහවුරු වීමෙනි.

පසු දින සුවඳරත්න නැවත පාර අතු ගෑමට ගියේය.

"අපේ මහත්ත්යාගේ නම වත් හරියට දැන ගන්න බැරි උනානේ!?' සිතමින් ගේට්ටුව දෙස බලනා විට තාප්පයේ ඇති නාම පුවරුව දුටුවේය. එය කියවා ගන්නට බැරි උනත් පින්නෙන් බේරීමට ඔලුවේ ඔතාගෙන ආ තුවාය ගෙන පුවරුව වසා තිබුනු දූවිළි පිසදා දැමුවේය!

"කවදා හරි; කාගෙන් හරි අහ ගන්නෝන!' ඔහු තනිව සිතීය.

පසු කලෙක සුවඳරත්න කෙසේ හෝ "අපේ මහත්තයාගේ" නම දැන ගන්නට ඇති.

දූවිළි පිස දැමීමෙන් පසු ඉංගිරිස් අකුරු සාස්තරේ දන්නා ඕනෑම අයෙකුට  දැන් එය "Romesh De Silva" ලෙස කියවා ගත් හැකිව තිබේ.


Saturday, February 3, 2024

236. සහතිකයක් සොයා!


 මා උසස් පෙල ලියා නිවසේ සිටින කාලයේ එක් දවසක; පියා; මා හමුව අලුත් අදහසක් සිතට එක් කලේය. 

"පුතේ! මොනවා හරි කෝස් එකක් එහෙම කරණවා නං හොයා ගන්න! මම සල්ලි දෙන්නං!"

එකල මමත් තාත්තාත් පමනක් නිවසේ තනිව විසූ කාලය විය.

අම්මා මිය ගොසින් ය. සොහොයුරාත් සොහොයුරියත් විවාහවී නිවසෙන් බැහැරවී ගොස්ය.

තවත් සතියකින් පමණ; තාත්තාම සොයා දුන් පත්තර කෑල්ලක තිබුනු "ඩීසල් මොටර් කාර්මික ඩිප්ලෝමාව" සඳහා මා ඉල්ලුම් පතක් තැපෑලට එක් කලෙමි. 

කුඩා කල "රථ කල්කය" නියමිත මාත්‍රාවට; නිසි කලට ලබා දීමට බැරි වීමෙන් ජීවිත කාලය පුරාවට මා "රථ ගායෙන්" පෙලෙන බව තාත්තා පමණක් නොව අපේ සනුහරේ බොහෝ ඇත්තන් දන්නා කාරණයකි! 

සති කිහිපයකින් මා හට ඉල්ලුම් පත්‍රයක් ලැබුනි. එය එවා තිබුනේ ශ්‍රී ලංකා ට්‍රැක්ටර් (නීතිගත) සංස්ථාවෙනි. සිංහලෙන් කියනවා නම් ට්‍රැක්ටර් කෝපරේශන් එකෙනි. ට්‍රැක්ටර් කෝපරේශන් එක මා හට අළුත් තැනක් නොවීය. පාසැලේ "මෝටර් කාර්මික ශිල්පය" උගෙන ගනිද්දී; වාහන වල කැටලොග් (සඟරා) ඉල්ලා ගැනීමට මම බොහෝ විට එයට ගොඩ වී ඇත්තෙමි. 

ඒ කෙසේ වෙතත් ට්‍රැක්ටර යනු මගේ සිතේ මහත් විසල් කොටසක් හිමි කර ගත් මෙවලමකි. එයිනුත් මැසී ෆර්ගියුසන් 135 යන්ත්‍රයේ වූ "පිරිමි" හැඩය මාගේ ඉමහත් සිත් ගත් එකකි. මා මීට කලින් ලියා ඇති පරිදිම මම ජීවිතයේ මුල් වරට පැදවූවේද මැසි 135 කි! එය එකල අයත්ව තිබුනේ මාගේ පියා සේවය කල වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත්ව තිබුනු හබරණ, ගල් ඔය හංදිය අසල හතරැස්කොටුව ග්‍රාමයේ පවත්වාගෙන ගිය පැල තවානේය. අද එතැන ඇති මැසියක්, තවානක් තබා බෝඩ් ලෑලලක් වත් එය තිබුනු තැනක් වත් සොයා ගැනීමට නොහැක.

එම පැල තවාන පාලනය කලේ ධර්මරත්න නම් මහතෙක් විසිනි. එය ඉතාමත් විධිමත් ලෙසත් පිළිවෙලටත් පවත්වාගෙන ගිය බව තවමත් මතකය. (කථාවක් ගිය දුරක් නේද?)

ට්‍රැක්ටර් සංස්ථාවෙන් මා ලද අයදුම් පතද පුරවාගෙන ග්‍රාම සේවක (එකල සිටියේ ඒ අයය! අද ග්‍රාම සේවා නිළධාරී වූවාට!) ගෙන් චරිත සහතිකයක් ද රැගෙන  එහි ලිපිනය සොයා පිටත් වුනෙමි. 

මා එතෙක් ට්‍රැක්ටර් සංස්ථාවට කියා ගොඩ වැදී තිබුනේ; ගිණි නිවන හමුදා මූලස්ථානය අසල තිබුනු කාර්යාලයකට සහ මිහිඳු මාවත අසල තිබුනු පැරණි ගොඩනැගිල්ලට පමණි. මේ වන විට එය මෙතනට ගෙනැවිත් තිබුනි.එය විධිමත් ගොඩනැගිල්ලක් පමණක් නොව ගොඩ නැගිලි සංකීර්ණයකි. වැඩහල, ගබඩාව, කාර්යාලය, විකුණුම් අංශය ආදී එකී නොකී මෙකී සියළුම "ගිණි පෙට්ටි" එහි ස්ථාපිත කොට තිබුනි.

එහෙත්  අභිනවයෙන් එය පිහිටා තිබුනේ නාරහේන්පිටින් නාවල පාරට හැරී පුංචි රේල් පාර පනිනවාත් සමගය. එතැනට ගේට්ටුවෙන් ඇතුළු වනවාත් සමග පේලියට නවතා තිබූ මැසී ට්‍රැක්ටර් පෙල දක්නට ලැබුනි. එතැනින් අපව දෙශණ ශාලාවකට රැස් කොට පාඨමලාව ගැන හඳුන්වා දී ඊළඟ සතියේ හෝ දෙකකින් වැඩේ ඇරඹුනි.

අප අවුරුද්දක පාඨමාලාවකට ඇතුලත් වුනෙමු. ඩීසල් එන්ජිමේ නිර්මාණයේ සිට ක්‍රියාකාරීත්වය දෝෂ වැනි සෑම දෙයක්ම පාහේ එහිදී අපට උගන්වනු ලැබීය. සෛධාන්ත මෙන්ම ප්‍රායෝගික කරුණු කාරණාද එහි උගැන්වුනු අතර ඒ සඳහා යොදා ගැනුනේ ට්‍රැක්ටර් එන්ජින්ම විය!

මෙහි වූ ආශ්වාද ජනකම සිද්ධිය වූයේ එතැන තිබූ රථ ගාලේ නවතා තිබුනු යෝධ ට්‍රැක්ටර් අතර කාලය ගත කිරීමට ලැබීමය. එකල මැසී 240 ට්‍රැක්ටර් මෙරටට ආ අලුත වාගේය. අළුත්ම අළුත් කිරි කිරි ටොයියා 240 අසලම යෝධ 275 ක් නවතා තිබුනි. එය එකල මෙරටට ආනයනය කොට තිබුනේ සීනි කර්මාන්ත ශාලාවකට බව කියැවිනි.

මේ 1988 -89  වසර විය යුතුය. වසරක පාඨමාලාව අවසන්වී අවසාන පරීක්ෂණයට පවා සහභාගී වූ මුත් මාහට එහි සහතික පත්‍රය ලභා ගැනීමට නොහැකි විය! 

මන්ද ඒ වන විට මාහට රැකියාවක් ලැබී තිබුනු හෙයින් හා සහතික ප්‍රධානය කරණා දිනයේ මා රැකියාව සමග කාර්යබහුල වූ නිසා විය හැක. 

කාලය ගෙවී ගියේය. අවසන් කල පාඨමාලාවේ සහතිකය ලබා ගැනීම දිනෙන් දිනම පහුවී ගියේය. තවත් කලකින් පැවති රජය මෙම ආයතනය; "ශ්‍රී ලංකා ට්‍රැක්ටර්ස්" නමින් අලුතින් බෞතීස්ම කලේය! විකිණීමට පුඹුරු පත් සකසන ඕනෑම ආයතනයකට මුලින්ම ගමන් ගන්නා මල් බයිසිකලය මෙම "බෞතීස්මය" යි.

2001 වසරේදී හරි අපූරු සිදුවීමක් සිදුවිය!

දිනය හරියටම කියනවා නම් 2001 සැප්තැම්බර්  මාසයේ 10 වෙනිදා ය. එදින මම නාරහේන්පිට මෙම ආයතනය ඉදිරියෙන් ඇවිද ගියෙමි. කාලයකට පෙර ආඪ්‍යයව තිබුනු මෙම ආයතනය; ඒවන විට හුදෙක් පාළුවට ගිය ගොඩනැගිළි සංකීර්ණයකි. ඉදිරියෙ මහ ගේට්ටුව වසා කුඩා ගේට්ටුවක් තුලින් යාම් ඊම් කෙරිණි.

ආරක්ෂක නිළධරයෙක් යැයි සිතිය හැකි අයෙකු ඉදිරියේ කුඩා කුටිය තුල සිටියේය. ඔහුද බොහෝ සෙයින් ජරා ජීර්ණ වී සිටියෙය. "ගෙදරක ඉදිරියේ සිටින බල්ලා; ගෙදර පදිංචිව ඉන්නා අයගේ චර්‍යාවන් විදහා දක්වයි!" 

"මේක වහලාද?"

"අවුරුදු ගානක ඉඳන්!"

"වැඩ කරපු අය?"

"වන්දි අරං අස් උනානේ! කීප දෙනෙක් ඉන්නවා අන්න අර කෙරෝලේ කාමරේ! කාව හම්බෙන්නද?"

මට ඒවන විට හමුවීමට කෙනෙකුගේ නමක් කියන්නට නොතිබුනි. එහෙත් එය ඇතුලට ගොස් ඉන්නා අය සමග කථා බස් කොට දුක සැප බෙදා ගැනීමට මට සිත් විය. එය අතීතකාමයට වඩා ඒ ගැන සිතමින් ශෝකී වීමට තිබුණු අවශ්‍යතාවය විය යුතුය.

ඒ සමගම මාගේ මනසට හේතුවක්ද ගලා ආවේය.

"මට සහතිකයක් ගන්න තියෙනවා!"

"අනේ මංදා! ගිහිං බලන්නකෝ!"

මම කොරිඩෝරයක් දිගේ ඇවිද ගියෙමි. පසු කරණ සෑම කාමරයක්ම වසා දමා තිබුනි. බොහෝ කාමර වට කොට තිබුනු වීදුරු ඇතුලතින් පත්තර කොළ අලවා ඇතුලත නොපෙනෙන සේ ආවරණය කර තිබුනි.

ඒ සෑම කාමරයක්ම පිළිබඳ යාන්තම් හෝ මතකයක් මාහට තිබුනි. 

මෙම පේලියේ නොවුනත් එක් කාමරයක සිටි සුන්දර යුවතිය මාහට තව මත් හොඳින් මතකය. ඇය කාර්යාලයට ඇන්දේ විචිත්‍ර සාරි වූ අතර කොන්ඩය බොහෝ සෙයින් රැලි ගැසුණු කොටට කැපූ එකක් විය. කොන්ඩයෙන් ඇය "සායි බාබාගේ නංගී" යැයි අනුමාන කල හැකි විය. ඇය නමින් සුජීවා විය. වරක් ඇයව 155 ගල්කිස්ස කොට්ටාව බසයකදී දුටු බවක්ද මතකය. ඇය සේවය කලේ අපගේ පාඨමාලා භාර කළමණාකරු සරත් විමලසූරිය  (සරත් විමලසූරිය මහතාගේ නම සඳහන් කරණ්නේ මාගේ මතකයෙන් සහ මා ලඟ ඇති කුඩා මූලාශ්‍රයකපිහිටෙන්) මහතාගේ  පුද්ගලික ලේකම්වරිය ලෙසිනි. අපට බොහෝ කටයුතු සඳහා ඇය හා සම්බන්ධ වීමට සිදුවූ අතර; නව යොවුන් වියේ සිටි අප එම "සම්බන්ධයෙන්" සියුම් සතුටක්ද නොලැබුවාම නොවේ!

"සුජීවා මිස් කොහේද දන්නෑ!?" මා මගෙන්ම ඇසුවෙමි.

කොරිඩෝරයේ ඇවිද යන ගමන් නිකමට මෙන් මා ආපසු හැරී බැලුවෙමි.

ගේට්ටුවේදී හමුවූ අය ඉනට අත තබාගෙන මා යන දෙසම බලා ගෙනය.

ඔහු අතින් මාහට ස්ංඥාවක් කරමින් විය.

"ඉස්සරහට යන්න ! දිගටම යන්න!!" එහි අරුත වන්නට පුළුවන.

මා කෙළවරේ කාමරයට ලං වත්ම ඒ තුල කිසිවෙකු හෝ සිටිනා බවක් එළියට දැනුනි.

මා කාමරයට පිවිසෙනවාත් සමග එය තුල මේසයක් පසුපස අසුන්ගෙන සිටි මැදි වයස පසු කල අයෙක් හිස ඔසවා බැලීය.

"මොකටද දන්නෑ  . . . !?" ඔහු එසේ විමසනවාත් සමගම එතැන සිටි එක් කාන්තාවක් සහ තවත් අයෙක්ද මා දෙස හිස ඔසවා බැලුවෝය.

"ට්‍රැක්ටර් කෝපරේශන් එකෙන් මෙච්චරද ඉතුරු!?" මට ඇසුනේ ඉබේටම වාගේය. එහෙත් එයට නිසි පිළිතුරක් මා නොලැබූ අතර තව දුරටත් මුව අයාගෙන සිටින; මාහට කථා කල අයට මා දෙන්නට පිළිතුරක් සොයන්නට විය!

"ඔය මහත්තයා ඇයි ආවේ . . ?" දෙවෙනි වර ඔහු අසනවාත් සමග මා පියවිසිහියටත් පිළිතුරකින් සමන් විත වීමත් විය.

"මහත්තයා මම මෙහේ තිබුනු ඩීසල් මෝටර් ඉන්ජිනියරිං ෆස්ට් බැච් එකේ කෙනෙක්. මට මගේ සර්ටිෆිකේට් එක ගන්නට බැරි උනා! ඒක ගන්න පුළුවන්ද කියලා බලන්නයි ආවේ!?"

"අවුරුදු කීයක්ද . . ? මෙච්චර කලක් ඇයි ආවේ නැත්තේ . . . ? ඒ කාලේ හිටපු ට්‍රේනිං මැනේජ්මන්ට් එක දැං ඇත්තෙත් නෑ. ද්ං ඉන්නේ මං! මම බලන්නම් ඔයාගේ නමක් වත් ඒ ලිස්ට් එකේ තියේද කියලා  . . . . . ඔයාගේ වෙලාවට තිබුනොත් බලමු මොකක්ද කරණ්නේ කියලා. කොහොමත් සර්ටිෆිකේට්ස් නම් තියෙන්නේ රෙකොර්ඩ් රූම් එකේ. ඒක වහලා . . . !"

"නිකං ඉන්න මගෙන් අහල ගියත් මොකෝ !" කියා කියමනක් ඇත. මම මේ ආවේ මගේ අතීත ස්මරණ පොලිෂ් කර ගන්නට විනා වෙන අවශ්‍ය තාවයකට නොවේ. එහෙත් මාගේ තාත්තා බැරි අමාරුවෙන් උපයා සපයා ගත් මුදලින් මා වසරක් පුරා හැදෑරූ පාඨමාලාවේ සහතික පත්‍රය ලබා ගැනීමට නොහැකි වීම හුදෙක් මාගේ වගකීමක් නැති කමද, වටිනාකමක් නැතිකමද, කියා මටම සිතා ගත නොහැක. එම නොසැලකිල්ල මගේ සිතට; කිසිදා කිසිම හේතුවකින් සාධාරණය කර ගැනීමට නිහැකි එකකි!

මාගේ ජීවිතයේ බොහෝ බොහෝ කාරණා සම්බන්ධයෙන් මේ ගුණාංගය දක්නට පුළුවන. එය මා දුටු අනෙක් චරිතය වන්නේ චින්තන ජයසේන පුවත් පත් යෝධයා ය! ඔහුද මහන්සියෙන් උඩ නග්ගන සරුංගලය නූල කඩා අහසේ පාවෙන්නට යනු බලා සිටිය හැකි අයෙකි.

ඒ කෙසේ වෙතත්  පසුගිය වසර ගණනාව තුල ඔය සහතිකය පිළිබඳ මතකය නිරන්තරයෙන් මාගේ සිතට වද දුන්නේය. සෑම කාලයකදීම එය අනාගතයට කොටින්ම "හෙටට" අයත් කාරණයක් ලෙස කල් දැම්මා විනා කල දෙයක් නොමැත.

රජයේ රැකියාවක් කල මාගේ පියා එකල මේ සඳහා ගෙඩි රුපියල් 4000ක් හෝ 6000ක් වියදම් කල බව මට මතකය. මාගේ තාත්තා සේවය කලේ රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් ලෙස නොවේ. හේ සේවය කලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේය.

ඔහු උඩරට පහත රට මෙන්ම වන්නි හත් පත්තුවේද් කැලෑ තුල සේවය කල අයෙකි. වෙනත් රැකියාවල මෙන් "දුෂ්කර සේවය" කියා වෙනසක් එහි නොවීය. දුෂ්කර නොවන සේවා කැලෑ වල කොයින්ද? 

අප තිදෙනෙක් හට ඉගෙනීම ලබා දුන්නේද ඇන්දුවේද කැව්වේද නිවසක් ඉඳි කලේද එතුමාගේ තනි පඩි පතිනි. මාගේ මතක ඇති කාලයක මාගේ මව රැකියාවක් නොකලාය. එහෙත් තාත්තා ගෙන එන සොච්චම නිවැරදිව කළමණා කරණය කර ගැනීමට ඇය උපන් හපන්නියක් වූවාය. මව තැපැල් ස්ථානාධිපති වරියක් වුවත් ඒ පිළිබඳව මතකයක් ලෙස ඇත්තේ ඇගේ රැකියා ස්ථාපිත ලිපිය පමණි!

තාත්තාගේ වසර 35ක පමණ සේවා කාලය තුල දෙවරක් වැඩ තහනමට ලක් විය. ඉන් පලමු අවස්ථාවේදී ඔහුගේ වැටුප් මුළුමණින්ම නවතා වසර 5 කට ආසන්න කාලයක් පැවතුනි. ඒ කාලය තුල ඔහු අප වෙනුවෙන් බොහෝ දුක් පීඩා වින්දේය. තාත්තා මෙම පාඨමාලාව සඳහා මුදල් ලබා දීමේදී කවර විදියේ කැපවීමක් කරණ්නට ඇත්දැයි මා සිතීමට නොපෙළඹුනේ එය ම හද මහත්සේ පාරණ කාරණයක් වූ බැවිනි!

අද අහම්බෙන් හෝ මා එළඹී ඇත්තේ ඒ පිළිබඳව යන්තමින් හෝ උත්සාහ කිරීමටය. 

මා සිතුවිලි අතර සැරිසරණාතරතුර ඔහු එතැන තිබුනු ලී අල්මාරියක් ඇර ලිපි ගොනුවක් දිග ඇරියේය. ෆූල්ස් කැප් කොල කිහිපයක් ඒ තුල අමුනා, නවා එම ෆයිල් කවරය තුල සතපවා තිබුනි.

"ෆස්ට් බැච් එකේ අයගේ නම් මෙතන තියෙනවා. ඔයා කලේ ඉන්ග්ලිශ් මීඩියම්ද සිංහල මීඩියම්ද . . ?

"ඉන්ග්ලිශ් මීඩියම් . . !"

ඔහු ලිපි ගොනුවේ කඩදාසි ආපිට පෙරළමින් දිගැති කඩ දාසියක් මතු කර ගත්තේය!

ඔහුට කලින් මම මාගේ දෙනෙත් ඉහල සිට පහලට දිව යැව්වේය.

"මායා දුන්න" හරි මායාදුන්න කියන්නේ අපේ ඉස්කෝලේ අපිත් එක්ක මේ කෝස් එක කරපු එකෙක්. උගේ නම මට මතකය. මේ සොයා ගෙන ඇත්තේ නිවැරදි ලැයිස්තුවයි! "දෙයියනේ මොන කරුමයකට හරි මගේ නම මේකේ නොතිබ්බොත්!" මගේ සිත මටම මුර ගාමින් විය.

"මොකක්ද ඔයාගේ නම . . ?"

"මංජුල . . ශ්‍රීනාත් . . පෙරේරා . .!" මම; ඒ වන විට මා මගේ පසුම්බිය ඇද අතට ගෙන තිබුනු ජාතික හැඳුනුම් පත මේසය මත තබා මාගේ නම පැහැදිළිව නවත්වමින් පැවසීය.

"හරි මේ තියෙන්නේ . . !"

"මංජුල ශ්‍රීනාත් පෙරෙරා" දෙයියනේ මගේ නම ලැයිස්තුවේ ඇත. එවිට ඔහු එම නම ඉදිරියේ තිරස් අතට ඇඟිල්ල ගෙන ගියේය! 

"අන්තිම කාලේ වැඩිය ලෙක්චර්ස් වලට ඇවිල්ලා නෑ වගේ!" එහි තැනින් තැන වූ බිංදු අසලින් ඇඟිල්ල ගෙන යමින් පැවසීය.

"ආ හරි ඔයා ෆයිනල් එග්සෑම් එකත් කරලා තියෙනවා. මේ එන්ජින් තියරි වලට වෙරි ගුඩ් පාස් එකකුත් අරං තියෙන්නේ . . !?" ඒ සියල්ල එම ලැයිස්තුවේ සඳහන් වී තිබුනි.

"හරි සර්ටිෆිකෙට් එක අරං නෑ තමයි! ඇයි ගන්න ආවේ නැත්තේ රට වත් ගියාද?" මාහට ඉඩ ලැබුනේ හතරට පහට ඇඹරෙන්නට පමණි.

"වෙනින් දවසක ඇවිත් වත් ගන්න පුළුවන්ද?" මම ඔහුට නැඹුරු වී සෙමින් ඇසීය. මේ මා ඉදිරියේ ඉන්නේ මා අතින්; මාගේ නොසැලකිළිමත් භාවය නිසා ගිලිහී ගිය අතීතය නැවත එක්කාසු කොට' මා අත ඇzති ෆයිල් කවරයක් තුලට දැමිය හැකි ඉෂ්ඨ දේවතාවාය!

"පුතා! ඒවා ශුවර් නෑ! අපිත් මේකට හෙට එයිද නැද්ද කියන්නත් බෑ!! හෙට වෙන කොට මේ බිල්ඩිම වත් තියෙයිද කියන්න බෑ!!!" ඔහු බර සුසුමක් හෙළමින් ප්‍රකාශ කලේය.

"සර්! දැන් මොකද්ද මේකට කරණ්න පුළුවන්! මට සර්ටිෆිකට් එකක් අද ගන්න බැරි නං ලියුමක් වත් දෙන්න බැරිද?" මම බොහෝ ගරු ගාම්භීරව ඇසීය.

"ඔව් එහෙම එකක් කරණ්න බලමු! මිස් ලෙටර් හෙඩ් එකක් අරං මේ ළමයට මෙන්න මේ ටික ටයිප් කරලා දෙන්න! . . . . . . . . . . This is to certify that  . . කියලා මෙයාගේ නම දාලා . . . has followed the Diploma in Diesel Motor Engineering Technology . . . . . . . . කියලා ලියුමක් ගහලා දෙන්නකෝ! ඔයා අන්න අර මිස්ට ඔයාගේ නම හරියට දෙන්න . .!  . . . . . . . . . . . . " ඔහු කියාගෙන කියා ගියේය..

"සර් ඕකට දාන්න පුළුවන්ද මට එන්ජින් තියරි වලට වෙරි ගුඩ් පාස් එකක් තියෙනවා කියලා . . .!?" මම බැගෑපත් ස්වරයෙන් ඇසීය!

"ඔව් ඔයාට ඒක වැදගත් නම් අපි ඒක දාලා දෙන්නම්! ඒක බොරුවක් නෙවෙයිනේ . . මිස් මේ ටිකත් දාන්න . . . . . .He has obtained a very good pass in Engine Theory at the final Examination . . !

මගේ වසනාවට එදා එහි සිට ඇත්තේ ට්‍රැක්ටර් සංස්ථාවේ (පසු කලෙක ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ් වූ) අවසන් Training & Technical Development Manager  ජී. ඒ. මාකෙවිට මහතාය. ලිපිය ලබා අගත් පසුව ඔහුට හා අනෙක් අයට බෙහෙවින් කෘතඥවූ මා එයින් පිටවිය. 

"තව මොනවා හරි තොරතුරක් ඕනෑ වුනොත් මට කතා කරණ්න. එතැන සිටි එකම කාන්තාව වූ මංගලිකා මහත්මිය ඇගේ නිවසේ දූරකතන අංකය මාහට නිර්ලෝභීව ලියා දුන්නීය!

මේ පහලින් ඇත්තේ එම ලිපියයි. ජීවිතයේ සතුටින්ම සිටි දවසක් ලෙස එදින මාගේ මතකයේ අදටත් පවතී.


මෙම ලිපිය ලැබී කාලය සෙමෙන් ගෙවී ගියේය. ඒ ගෙවී ගිය කාලය තුල මෙම ලිපිය මා එකසිය එක් වතාවක් බලන්නට ඇත. එය ඒ තරම්ම ජීවිතයට වැදගත් එකක් විය. කාලාන්තරයක් අත හැරී තිබී; සතුවූ වස්තුවක් විය. වසරින් වසර ගෙවී ගොස් 2006 වසරේ අවසාන කාර්තුවට ලඟා විය. මේ කලය වන විට යටි සිත නැවත මුර ගාන්නට විය.

"ලියුමක් තිබුනාට සහතිකයක් නෑනේ! පාඨමාලාවකට පසු අත ඉතිරි විය යුත්තේ සහතිකයක් විනා ලිපියක් නෙවෙයිනේ . . !" මේ යටි සිත මාහට කෙඳිරූ අයුරුය!

මා හට දැන් අවශ්‍යව ඇත්තේ සහතිකයක්ය. එසේම එය හොර සහතිකයක්ද නොවිය යුතුය! මා හට මරදානේ ඇවිද සහතිකයක් කොයි ලෝකෙන් හෝ ගසා ගැනීමට හැකියාවක් ඇති වුවත් මට ඇවැසි වූයේ එවැන්නක් නොවේ! මට අවශ්‍ය වූවේ "ජෙනුයින් සර්ටිෆිකේට්" එකකි! 

එහෙත් ගතවූ  කාලය තුල; පැවති රජයයන් විසින්; ට්‍රැක්ටර් සංස්ථාව දියකොට හැර තිබුනි. එය පෞද්ගලික අංශයට විකුණා දමා දමා තිබුනා පමණක් නොව එය මිළදී ගත් මුදලාළිලා එහි ඉඩ කඩම් ගැන උනන්දු වූවා මිස මෙරටට ට්‍රැක්ටර් ගෙන්වා විකිණීමක් කිරීමට උනන්දුවී නොතිබුනි.

කලකට පෙරට මෙරට දිවුනු මැසි ෆර්ගිසන්, කුබෝටා (මට මතක ඇති පරිදී ඉසෙකි ) යන්ත්‍ර ගෙන ආ ආයතනය හුදෙක් නිශ්චල දේපලක් පමණක් වී තිබුනි.

ඒ වන විට මා ඩිප්ලෝමාව අවසන් කොට වසර 17ක් ගත වී ඇත. ට්‍රැක්ටර් සංස්ථාවක් ඒ වන විට නැත! 

 එය මිළදී ගත් ආයතනය ලෙස වෙනත් පෞදගලික සමාගමක නමක් කියැවුනි. මා එම ආයතනය සොයා බොහෝ වාර ගණනාවක් ගිය පසු; එම ආයතනයේ සේවය කල එක් නිළධරයෙකු; ඒවන විට වසර දහයක පමණ   කාලයක් වසා දමා තිබුනු කාර්යාලයක් ඇර  පෙන්වීමට පොළඹවා ගැනීමට මාහට හැකිවිය. 

"ඔරීමජිනල් සහතිකයක් මා කෙසේ හෝ ලබා ගනිමි' යි මා ස්ථිරව අධිෂ්ඨානය කර ගත්තෙමි. මේ ලෝකේ කොහේ හරි ඔරිජිනල් සහතිකයක් ඇතොත් මම එය සොයා යා යුතු මය! මම මටම නියෝගයක් පනවා ගත්තෙමි.

එක්සෙ නසුරාදා දිනෙක මම නාවල වසා දමා තිබුනු ඉස්ටෝරු සංකීර්ණයකට ගියෙමි. එහි සිටි ආරක්ෂක නිළධරයා හමුවීමත් සමග ඔහු දූරකථනයෙන් පෙරකී අයව සම්බන්ධ කරගත්තේය. පසුව ඔහු එකල එනම් ඊට වසර ගනනාවකට පෙර ආයතනයේ කාර්යාලය ඇර පෙන්වීමට කැමති විය.

"මේකේ තිබුනු ඔක්කොම ලිය-කියවිළි තියෙන්නේ මෙන්න මේ කෑල්ලේ!" ඔහු දොරක් අබියසට ගොස් පැවසීය.  මකුළු දැල් වැහුණු දූවිලි පිරුනු දොර ඇරීමට ගියෙමු! 

අප මකුළු දැල් පිරුණු දූවිල්ලෙන් වැසී ගිය දොරක් අභියස සිටියෙමු. ආරක්ෂක නිළධරයා අත යෝධ යතුරු කැරැල්ලකි. ඔහු එහි වූ යතුරු එකින් එක දමා දොර අරින්නට උත්සාහ ගනිමින් විය.

"දැන් මේක ඇරියත් ඔහේගෙ ඔය ගත්තෙ නෑ කියන සහතිකේ මේකෙ කොහේ තියෙනවද නෙවෙයි තියෙනවාද කියලාවත් කවුද දන්නේ? මේ ඉස්ටෝරුවේ වහලෙ දෙපාරක් හැදුවා. තිබුනත් දැන් තෙමිලා විනාස වෙලා ඇති!" ඔහු මාගේ සිත පාරවමින්; යතුරු කැරැල්ලේ තවත් යතුරක් යතුරු සිදුර ඇතුලට දැමීමට උත්සාහ කරයි.

"මගුල! මේවා අරින්න බෑ අප්පා; මළකඩ කාලා!" මගේ ඇඟේ ගෑවී නොගෑවී යන පරිද්දෙන් නිළධර තොමෝ යතුරු තහඩුවට දෙස් දෙවොල් තියමින්ය.

"තාම උදේට කාලත් නෑ! මේවට කවුරු හරි එවන එවුං දැන ගන්න ඕන !" ඔහු ඔහුගේ බැරි අමාරුකමින් වටේටම පහර දෙමින් සිටියේය.

"අයියේ මේ සහතිකෙන් මගේ මුළු ජීවිතේම වෙනස් කරණ්නටපුළුවන් එකක් අයියේ! ඔයාට මේකට පොඩි වෙලාවක් මහන්සි වෙන්න නං වෙයි! මම මේ මේකට මහන්සි වෙන්නේ අවුරුදු ගානක ඉඳන්!" මම ඔහු අමතා කීවෙමි.

 ඒ වැකිය ඔහුට පැවසූ මාගේ  බිඳුණු ස්වරය ඔහුගේ හදවතේ ගැඹුරුම තැන ඇනෙන්නට ඇති! ඔහු මද වේලාවක් මාගේ මුහුණ දෙස බලා සිටියේය.

"ඔව් නේද!? හරි බලමුකෝ !"  ඔහු බොහෝ සෙයින් වෙනස් වී ගිය බවක් පෙණුනි. "දොර ඇරීම හා මාගේ සහතිකය සොයා දීම" යන කාරණය ඔහුගේ කාර්යයක්, යුතුකමක්, සද්ක්‍රියාවක්, පිංකමක් ලෙස ඒත්තු ගැන්වීමට මාගේ වදන් පෙළ සමත් වී තිබුනි.

 මා එකල විශ්වාසකල ලෝකයේ පවතින- නොපවතින, දෘෂ්‍යමාන - අදෘෂ්‍යමාන, මිය ගිය මාගේ ආසන්නතම ආදරණීය වස්තුව "අම්මා" මේ සියළු දෙනාහට මා නිහඬව මගේ දුක කීවෙමි. "අනේ මේ දොර ඇරෙන්න! ඇරලා දෙන්න!!" එහෙත් අවසානයේ ඒ මොන බලවේගයකටවත් දොර ඇරීමට නොහැකි විය!

"අනේ දෙයියනේ . . . !" මට කියැවිනි.

"පොඩ්ඩක් ඉන්න තව යතුරු දෙක තුනක් බෙලෙක්කෙක දාලා තිබ්බා . . .!" ඔහු නැවතත් මාගේ බලාපොරොත්තුවේ නිවී යන්නට සූදානම් වූ පහනේ තිරය සකසා තෙල් ස්වල්පයක් එක් කලේය.

මා ඔහු පසු පසම; ගේට්ටුව අසල කුඩා කුටිය වෙත ගියෙමි. මේසයක් යටින් ඔහු සාමාන්‍ය තරමේ මලකඩ කා දුර්වර්ණ වූ විස්කෝතු ටින් එකක් එළියට ගත්තේය. 

"මෙතන නැත්නං මට කරණ්න දෙයක් නෑ! මට පුළුවං උපරිමෙං මම කලා . . . . !"

"ඔව් මම දන්නවා අයියේ! මොනා කරණ්ණද . . !?"

අප ආයෙමත් පා ගමනින් පැරණි ගබඩා කාමරය අසලට කිට්ටු කලෝය. ගබඩාව පිහිටියේ හිස් බිමකට මුහුණලා ය. එහි පසෙක පහලින්ම අතු විහිදී ගිය අඹ ගසෙකි. එහි දිගු සෙව නැල්ලක් පොලොව මත පතිත කරමිනි. ගොඩ නැගිල්ල ඉදිරියේ වූ හිස් බිම් කඩේ තැනින් තැන උස් තණකොල පඳුරු වැවී තිබුනි. එහෙත් අපගේ ගමන් මග විහිදී තිබුනේ දූවිළි පිරුණු නිරුවත් පස් බිමක් මතය!

ගබඩාවේ ඉදිරි දොර කොටස් හතරකින් සමන් විත විය. එහි ප්‍රධාන කොටස ඇරීමටයි අප මෙතෙක් මහන්සි වූයේ. එය වසා දමා හිර කරගෙන සිටි යෝධ ඉබ්බා; "ආ! වරෙල්ලකෝ බලන්න ආයෙ . . !" කියමින් ඔරවාගෙන සිටියේය.

දොර ඇර පෙන්වීමට මා සමග ආ ආරක්ෂක නිළධරුවා යතුරු බෙලෙක්කය බිම තැබීමට සූදානම් වන විට මම ඊට ඉඩ නොදී අල්ලා ගත්තෙමි.

"දෙන්න අයියේ . . !"

මොනවා කලත් එම දොර ඇරීමට ඒ කිසිදු යතුරකට නුපුළුවන් විය.

"කරුමෙ අයියේ . . !" මම ඔහුට කීවෙමි. මා වට පිට බලන විට මෙම මහ දොරට ලම්භකව එලියට නෙරා ආ ගොඩ නැගිල්ලේ කොටසක තවත් කුඩා දොරක් දක්නට ලැබුනි.

"අයියේ අර දොර ඇරගෙන ඇතුලට යන්න පුළුවන්ද දන්නෑ නේ . . ?

"අනේ මංදා මේක නිකං වංක ගිරිය වාගේයි . . . බලමු ඒකත්!"

ඔහුට කලින් මා එතැනට අඩි කිහිපයකින් ළඟා විඅය! මාගේ අතවූ බෙලෙක්කයේ පතුලේ ඒ මේ අත විසිරී තිබුනු යතුරු කිහිපය ගෙන එකින් එක අගුලට දමා කරකැවීමට උත්සාහ කලෙමි.

ඔබ පිළිගන්න දෙවෙනි තෙවෙනි උත්සාහයේදී අගුල ඇරුනි!

"මං කිව්වේ . . මෙතන ඕකේ යතුර තියෙනවා කියලා . . !" ඔහු තම වෘථීය ඥානය මා ඉදිරියේ ගෙන ඇර පෑවේය.

මා දොරේ අගුල ඇරියත් දොර ඇරියේ නැත. එය ඇරීමට ඔහුට ඉඩදී පසෙකට වූයෙමි. ඒ ඔහුට ගෞරවයක් ලෙසය! (පිස්සු මනස් ගාත!)

ආරක්ෂක නිළධරයා දොර ඇර ඇත්ලට ගියේය. මමද ඔහු පසු පසින් වැටුනෙමි. ශාලාවේ පසක තොනී ලෑලි වලින් වෙන් කල කුටිඅක් විය. එහි දොර ඇර තිබුනු අතර එය මුළුමණින්ම ලිපි ද්‍රව්‍ය වලින් පිරී තිබුනි. විශාල ලිපි ගොනු එහි පීත්ත පටි වලින් ගැට ගසා තිබුනි. පීත්ත පටි සකස් කොට තිබුනේ යතුරු ලියන තීන්ත රිබන් වලිනි. ඒවා රතු පැහැයෙන් හා කළු පැහැයෙන් ෆයිල් කවර වතා දරණ ගසාගෙන සිටියෝය! 


"ඔන්න ඔතන බලන්න! තියෙන මගුලක් ඔතන තමයි! නැත්නං නෑ! ඔයාට තියෙන්නේ ඔය ප්‍රෙස් එකකට ගිහිල්ලා කීයක් හරි දීලා සහතිකයක් ගහ ගන්න!" මම ලිපි ගොනු එකින් එක ලිහා බලද්දී ඔහු පසු පස සිට උපදේශනයක යෙදෙමින්ය. ඒ අතර ඔහු අසල වූ මේස ලාච්චු ආදිය එකින් එක ඇර බැලුවේ ඔහුටත් යමක් වෙත්ද කියා විය යුතුය!

දෙවෙනි තෙවෙනි ලිපි ගොනුව මේසය මතට ගෙන ලිහා බලන විට බිම තිබුනු ෆයිල් කන්ද යට වූ එක් කවරයක් අතරින් එලියට පැන තිබුනු කහ පැහැති කාඩ් බෝර්ඩ් මිටිය මා දුටුවෙමි. මා සියල්ල නවතා දමා එම ලිපි ගොනුව සීඋවට අතට ගෙන ඩිග ඇර බැලුවෙමි.

මා එතෙක් සොයා ආ වස්තුව එහි විය! ඔව් කිසිවක් නොලියන ලද සහතික මිටියක් එහි විය.

"අයියේ මේ තියෙනවා . !" මට කෑගැස්සිනි. 

"ගන්න ගන්න එකක්! ඔයාගේ නම තියෙනවාද?"

"නෑ මගේ නම තියෙන මගේ සහතිකේ හොයන එක ලේසි වෙන්නේ නෑ! අවුලක් නෑ මට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්!"

ඔහු මගේ අතින් සහතිකය ගෙන දෙපැත්ත බැලුවේය. "අයියෝ මේකටද මේ මැරුණෙ!? මේක සටස් ගාලා ගාලා දෙයිනේ ප්‍රෙස් එකකට ගියා නං!" ඔහු කීවේ එලෙසින් ය. ඔහු එය නොසැලකිළිමත්ව ඇල්ලූ තැන ඔහුගේ දූවිළි වැකුණු ඇඟිළි සටහන සහතිකයේ රටාවක් ඇඳීය. මා නැවතත් ලිපි ගොනුවට නැඹුරු වී අලුත් නොයිඳුල් සහතික කන්‍යාවක් ගෙන එතැනින් පිටත් විය.

දැන් සහතිකේත් හරිය! එහෙත් එහි කිසිවක් ලියා නැත. අත්සන් නැත. කොටින්ම හොර මුද්‍රණාලයකින් ගසා ගත් සහතිකයකට වඩා මෙහි ඇති සුවිශේෂී අලබෝලයක් නොමැත. පලමුව මා දැන් කල යුත්තේ මාගේ නම මෙහි මුද්‍රණය කර ගැනීමය!

ඊට මා උදව් කර ගත්තේ මාගේ සොහොයුරියයි. ඇය එකල ජා ඇල ඒකල යූනියන් කාබයිඩ් සමාගමේ සේවය කලාය. (මේ වන විට එයද වැසී ගිය කර්මාන්ත ශාලාවකි!) ඇය කාර්යාලයෙන් සහතිකය මත මාගේ නම කොටා ගෙනැවිත් දුන්නීය. 

තෙවැනි ක්‍රියාන්විතය ඇරඹුනේ ඉන් පසුවය. මෙම සහතිකයේ ට්‍රැක්ටර් සංස්ථාවේ එවකට සිටි සභාපති, සාමාන්‍යාධිකාරී සහ පුහුණු කළමණාකරු යන තිදෙන අත්සන් කල යුතු විය. මේ වන විට මා සමග මෙම පාඨමාලාව කල කිසිවෙකු පිළිබඳව කිසිදු ආකාරයේ සම්බන්ධයක්ද නොමැති විය. 

දැන් තව අත්සන් තුනක් මා සොයා යා යුතුය! වසර ගණනාවකට පෙර වැළලුනු අතීතයක් සොයා යෑමට යලිත් මා පටන් ගතිමි. මා මෙවර අමන් ඇරඹුයේ දෙහිවලිනි. ඒ මාකවිට මහතාගේ කාර්යාලයේදී තම නිවසේ දූරකථන අංකය ලබා දුන් මංගලිකා මහත්මිය හමුවීමෙන් ය. ඇය "සරත් විමලසූරිය" (සරත් විමලසූරිය මහතාගේ නම සඳහන් කරණ්නේ මාගේ මතකයෙන් සහ මා ලඟ ඇති කුඩා මූලාශ්‍රයකපිහිටෙන්) එනම් එවකට මාගේ පුහුණු කළමණාකරුගේ නිවෙස තිබෙන ඉසව්ව පිළිබඳව ඉඟිය දුන්නීය.

"එයා හිටියේ රත්මලානේ සිරිමල් උයනේ" මට පාර නම් හරියට මතක නෑ! ඔයා පොඩ්ඩක් ඒ පැත්තේ ගිහිං බලන්නකෝ.!' ඇය කාරුණිකව මා හට කීවේය.

"තාම ජීවත්ව ඉන්නවා ඇතිනේ . . ?"

"ඔව් වොව් තාම ඉන්නවා . . .!' ඇය සිනහ වෙමින් පැවසීය.

සිරිමල් උයන යනු මීට වසර ගණනාවකට පෙර ජනාවාසයක් නැතහොත් ජනපදයක් වූ විසල් බිම් කඩකි. එයට ඇතුළු වීමට අත්තිඩිය පාරෙන් හා ගාළු පාරෙන් මාර්ග තිබුනි. අත්තිඩිය පාරත්, ගාළු පාරත් ටෙම්ප්ලර්ස් පාරත් අතර මැද මෙම ප්‍රදේශය පැතිර තිබුනේය. මෙම ප්‍රදේශය පුරාවට විහිදී තිබුනේ මල් වල නම් වලින් හැඳින් වුනු මාර්ග පද්ධතියක්ය. උපුල් මාවත, සමන් මාවත, නෙළුම් මාවත ආදී වශයෙන් වූ නෙක පුෂපයන්ගෙන් එම ප්‍රදේශය පිරී තිබුනි. 

මා රත් මලානට ගොඩ බැස්සේ දිවා කල ගෙවී යාමත් සමගය. දහවල් එකේ දෙකේ සිට පලාතේ කොනක සිට සෑම පාරක් පාරක් ගානේ මා "සරත් විමලසූරිය" සොයමින් ඇවිද්දේය. කාලය ගෙවී යමින් ය. දැන් වේලාව සවස 6.00 පසුවී ගොස්ය. සිරිමල් උයනේ එක් කෙළවරක ටෙනිස් පිටියක් (හෝ බැඩ්මින්ටන් පිටියක්) විය. ඒ අසල සිටියේ තුවා කරේ දා ගත් යොනෙක්ස් කොට කලිසම් හා ටී ෂර්ට් ඇඳගත් සුදු ක්‍රීඩා සපත්තු ලාගත් එක විදියක පිරිසකි. මා සෙමෙන් සෙමෙන් එතැනට කිට්ටු කලෙමි.

"මහත්තයා මේ අර . . . සරත් විමල . . ." මට කියා අවසන් කරණ්නට ලැබුනේ නැත.

"ආ! පොඩ්ඩක් ඉන්න දැන් මෙතැනට එනවා . . !"

තවත් විනාඩි ගණනකි එතැන පසෙකි නැවැත්වූ මෝටර් රියකින් සරත් විමලසූරිය මෙලොවට සැපත් වුනි.

"අර එන්නේ . . . !" එතැන සිටි අයෙකු මට ඉහුව දැක්වීය. එසේ නොකලානම් එකවර මට ඔහුව හඳුනා ගැනීම පහසු වන්නේ නැති තරම් ය. වටා පිටාවේ අඳුර, කාලය, ඔහුගේ ඇඳුම ආදී සියල්ල ඊට හේතු විය.

"සර්! . . . . මම  . . !" කථාව මුල සිට පැවසීමි! නළල රැලි කරගෙන සිනහ මුසුව ඔහු ඒ සියල්ල අසා සිටියේය විමතියෙනි. මාකෙවිට මහතා මා අතට පත් කල ලිපිය  මාගේ කථාවට මහත්වූ පිටුවහලක් සැපයූවේය!

"ඔයා මාර මනුස්සයෙක්නේ . . . . !" ඔහු සහතිකය ගෙන ඔහුගේ මෝටර් රිය වෙතට ගොස් Manager Training සන් නාමය ඉහලින් අත්සන් කර දුන්නේය.

"සර් චෙයාමන් සර්ගෙයි ගෙනරල් මැනේජර සර්ගෙයි අත්සන් ගන්නේ කොහොමද . . . ?"

"ආ! ඉන්න මම ඒක කරලා දෙන්නම්! මම ලියුමක් ලියලා දෙන්නම් ඔයා ගිහින් මිස්ට අමර සිංහව හම්බෙන්න! එයා දැණ් ඉන්නේ කැළණියේ " . . . ." කම්පනි එකේ! එයා උදව් කරයි අනිත් අත්සන ගන්න!"

සරත් විමලසූරිය මහතාට ලිපියක් ලිවීමට කොල කැබැල්ලක් සොයා ගැනීමට අපහසු නිසාදෝ; මාකවිට මහතාගේ ලිපියේ පසු පස ඔහු සටහනක් තැබීය.


සරත් විමලසූරිය මහතාගෙන් මා සමුගෙන පියවර කිහිපයක් ඉදිරියට ඇවිත් ආපසු හැරී බලනා විට ඔහු අනෙක් පිරිසට මා පෙන්වමින් රසවත් කථාවක් කියන්නට පටන් ගෙන තිබුනි!

පසුදිනම මා අමරසිංහ මහතා මුණ ගැසී සහතිකය මත අත්සන තබා ගත් අතර ඔහුගේ මග පෙන්වීමෙන් නුගේගොඩදී අවසන් අත්සන නොබෝ දිනකින් ලබා ගෙන සහතිකය සර්ව සම්පූර්ණ කර ගත්තෙමි!


ජීවිතය එසේය!

මුළු මහත් ජීවිතය පුරාවටම යන බස් එක පසු පසින් දිව ගොස් පස්සා දොරින් එල්ලුනු මා හට මෙය අමුත්තක් නොමැත!

මේවා සියල්ල ජීවිතයේ පසු කල ආ මං පෙතේ සළකුණුය.

ඉන් පසු 2007 සිට පුරා වසර 12කට ආසන්න කාලයක් මා ජීවත් වූයේ එම සහතිකයේ පිහිටෙනි. යුනයිටඩ් මෝටර්ස් ආයතනයට ගොඩවීමට මාහට දොර හැරුනේ එළෙසින් ය!

දුක් මහන්සියෙන් හරි හම්බ කල දේ දුන් තාත්තාට කිසිදා ඒ සහතිකය දැක ගැනීමට බැරිවිය. තාත්තා කිසිදා මගෙන් "කෝ කරපු කෝස් එකේ සහතිකේ . . ?" කියා විමසා නොතිබුනි! මා එය තාත්තාට කිසිදා නොපෙන්නූ බව මතක් උනේ අද මා මෙය ලියන මොහොතේය! මා කෙතරම් අකාරුණික පුතෙක් ද?


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...