Friday, September 7, 2018

109. කළු දළ මල....!















                                   සියල් දන නෙතු
                                   වසාගෙන ඇත
                                   නොමත වදනක්
                                   ගෙනෙන තෙතමන . . . .

                                   නිමල් හදවත
                                   දිනාගත් පින
                                   නොමැත නිදියහනේදි
                                   තනිවුන . . . .

                                   කමල් මල්පෙති
                                   ගෙනා මධුවිත
                                   මතකයකි
                                   සිහිනයක ගොනු උන . . . 

                                   පුළුල් උරහිස
                                   ඔබට වෙන්වුන
                                   දවයි සිසිලෙන්
                                   සිරුර ගිනිගෙන . . . .




Monday, September 3, 2018

108. මධුසමය







අඹන්පොළ නගරය පසු කරණ වාරයක් චාරයක් පාසාම මතකයට පැමිනෙන දුක් බර කතාවක් වෙයි. ඒ ප්‍රධාන චරිතය වූයේ එම නගරයේ නොඑසේ නම් කුඩා කඩ මණ්ඩියේ ධාන්ය එකතු කිරීමේ ව්යාපාරයක නිරත වූ එච් එම් කේ බණ්ඩාර නමැත්තෙකු වෙත දවස් පඩියට වැඩ කල සෙනෙවි නම් වූ  අහිංසක මිනිසා ය.

එච් එම කේ බණ්ඩාර ගේ නියම නම වූයේ හොරොව්පොතාන මුදියාන්සෙලාගෙ කිරිබංඩා වූ අතර ඔහු එය එච් එම් කේ බණ්ඩාර ලෙස යතු ගා පුළුක්කු ඇර බොර දම් ගා නව මුහුණු වරකට පත් කර ගෙන තිබුනි
මොහුට අයත් ධාන්ය එකතු කිරීමේ මධ්යස්ථානයක් හා විසල් වෙළෙඳ සැලක් එම කඩ මණ්ඩියේ විය. ඊට අමතරව පැරණි ලොරි රථයක්ද ඔහුගේ ආරූඪ නාමය ගසා ගෙන ඒ මේ අත දිවුනි. එහි රියැදුරු ගේ නම මාගේ මතකයේ හැටියට රත්නායකවාගේය. රත්නායක හීනියට අඩියක්  පුඩියක් ගැසූ රස බර චරිථයක් විය. ලොරි සහයක වුයේ සෙනෙවිය.  මම මේ කථාව ඇසූවේ රත්නායක සමග හීනියට අඩියක් ගැසූ මීට දශක දෙකකට පමන පෙර යෙදුණු සුන්දර සැඳෑවකය.

“ඔන්න  මහත්තයෝ ඔය සෙනෙවියායි මායි දෙන්නා වයසට ගියේ මේ ලොරියටම තමයි. ඔය යකාට මහ පුදුම දෙයක්නෙ වුනේ ඕකා බැදපු දවසෙ!” රත්නායක කතාව පටන් ගත්තේය.

එම කාලයේ ධාන්ය වෙළඳාම හොඳින්ම කෙරුණු අවදියක් විය. ලොරිය රත්නායක හා සෙනෙවි තිදෙනට ඉස්පාසුවකින් තොරව එක දිගට වැඩ යෙදුණු කාලයක් විය. මුදළාලිට ද ඔහුගේ හාමිණේටද බරපතල ලෙස වැඩකට යුතු යෙදුනු මෙම කාල වකවානුවේ ඔවුන් හට ධාන්ය කිරීමේ සිට දබරඟිල්ල කෙළ වලින් තෙමමින් සල්ලි ගනන් කොට අල්මාරියේ අඩුක් කිරීම දක්වා මහත්වූ වැඩ රාජකාරි පිරුණු සමයක් විය.
සෑම උදැහැනැක්කකම මුදළාලි අවදිවූයේ කඩය ඉදිරියේ ධාන්ය විකිණීමට පැමිණි ගොවියන්ගේ කරච්චලය ඇසීමෙන් ය.  කන්නයක් පුරා වෙහෙස මහන්සිවී නිදි වරා දාදිය හෙලා ඇඬූ කඳුලින් සතා සීපාවන් ගෙන් පරිසම් කර ගත් අස්වැන්න මුදල් සොච්චමකට තමන් හට දං දෙන්නට පැමින ඇති අහිංසක ගොවීන් ගේ කරච්චලය අඬෝවැඬියාවක් සේ සලකමින් ඔවුනට දෙස් දෙවොල් තබමින් කඩේ අරින ඔහු එතැන් පටන් මධ්යම රාත්රිය තෙක් ධාන්ය කිරීමේ කටයුත්තේ යෙදේ.
මුදලාලි බඩු කිරීමට උපන් හපන්කමක් ඇති අයෙකු විය. තමා ඉදිරියේ තමා වෙත දන් දීමට ආ ධාන්ය මල්ල ගැමියා ගේ කරේ තිබියදීම එහි බර රාත්තල් වලින් කියන්නට හේ උපන් හපන්කමක් දැක්වීය. තරාදියෙන් කිරීමට පෙර මල්ල කර මත තිබියදීම එහි ඇති බර ඔහුගේ සිතඟි පරිදි පවසා විකුණන්නට ආ එකාගේ හිත; තරාදියෙන් කිරීමට පෙර හැදීමට හේ එම හපන්කම ප්රයෝජනයට ගත්තේය. ධාන්ය කිරීමට යොදාගත් තට්ටු තරාදිය මත; තමා මහත් වැර වෑයමකින් ගෙනෙන සේසත එක තත්පර ගනනාවකින් කුඩා අංකයක් බවට පත් වන අයුරු අසරණ ගොවීන් බලා සිට ලැබෙන මුදල් සොච්චම රැගෙන පිටව යති. තමා ගෙන ආ මල්ල එතරම් බරට දැනුනේ තමා විය පත්ව ඇති නිසා යැයි ඔවුන් ආත්ම වංචාවකින් සිත රවටා ගනිමින් හූල්ලමින් යන්නේ දුක්බරවය. මුදලාලි බඩු කිරද්දී සල්ලි ලාච්චුව භාරව සිටින්නේ ඔහුගේ හාමිණේය. ඇය මුහුණ දික කර ගෙන අතට දෙන සොච්චම තමාට ලැබුණු ත්‍යාගයක් සේ සලකා තමා ගෙන ආ මල්ල හෝ පෝර උරය කඩ පොලේ ගොඩ ගසන ගොවීන් උදේ සිට හවස් වනතුරු පිටව යන අයුරු එකල අස්වනු කපන කාලයේ දී නගරයේ සුලභ දසුනක් විය.

හවස් වන විට බණ්ඩාර මුදළාලි විපිළිසර වන කරුණක් වේ. ඒ අනෙකක් නොව පෙර දින රාත්රියේ ධාන්ය පටවා මහ පාන්දර පිටව ගිය ලොරිය කොළඹ සිට පැමිණීමට පරක්කු වූයේ මන්දැයි සොයා බැලීමටය. රාත්රී හත අට පසුවී පැමිණෙන ලොරිය කඩ පිල ඉදිරියේ ගාල් වන අතර වෙහෙස මහන්සි නොබලා රිය සහයක සෙනෙවි කඩේ වැඩ කරණ කොල්ලෙකුගේ සහයෙන් ඉදිරියේ ගොඩ ගසා ඇති ධාන්ය; ලොරියට පැටවිය යුතුය. ඉන් පසු කඩෙන් ලැබෙන බත් පතෙන් බඩ ගින්න නිවා ගන්නා සෙනෙවි හා රත්නෙ ලොරිය පන ගන්වා ගෙන කොළඹ බලා පිටත් වෙති. ලොරියට බඩු පටවන තෙක් රත්නායක ලොරියේ ඉදිරි අසුනේ නිදාගනියි. සෙනෙවි නිදාගන්නේ කොළඹ ට යන අතරතුරේදී ය. මෙය සංසාර චක්රය සේ නිමාවක් නොමැති වැඩ පිළිවෙලකි. ඔවුනට යාන්තමින් හෝ ඉස්පාසුවක් ලැබෙන්නේ තොග බඩු කඩය වැසෙන පෝයක් වැනි අතිශය දුලභ දිනයකදී පමණි. කන්නය කැපෙන මුළු කාලයෙන් පටන් ගැනෙන මෙම වහල් මෙහෙය මාස හතර පහක පමණ කාලයක් පුරාවට පවතී.

රත්නායක මේ කාලය වන විට කසාදයක් කාරිය බැදගෙන දරු මල්ලන් දෙදෙනෙකු සාදාගෙන සිටි අතර සෙනෙවි තම මවගේ ඕනෑ එපාකම් පිරිමසාගෙන සිටි අවිවාහකයෙකි. කාලය ගෙවී යත්ම සෙනෙවිගේ ලෝකයටද තරු එළියක් වැටෙන්නට විය. ඒ අසල නිවසක යුවතියක් වෙතිනි. එම කැමැත්තට , එකගත්වයට තිබුණු එකම සාධාරණ හේතුව අසරණකමම වියයුතුය. 
සෙනෙවි ශක්තිමත් මිටි කාලවර්ණ තරුණයෙකි. කටේ බුලත් විටක් නැති වූයේ බත් කන විටත් තේ බොන විටත් පමණි. කටේ දත් බුලත් කෑමෙන් බොහෝසෙයින් අවපහ ගැන්වී තිබුණි. වයස අවුරුදු 35 ක් පමන් වූ සෙනෙවිට තම අම්මාව බලා ගන්නවාට ඇරෙණ්නට තමන්ගේ  කියා වැඩකට තිබුනේ තමා සේවය කල මුදලාලිටම  අයත් කුඹුරු කැල්ලක 1/3 ට වැඩ කිරීම පමණි. ඔහුගේ මුළු ජීවිත කාලයම ගෙවී ගියේ මුදලාලිගේ අන්තේවාසික සේවකයෙකු විලසිනි. සෙනෙවි කුඩාකාලයේදීම පියාගේ වියෝවෙන් පසු ඔහු මෙසේ මුදලාලිගේ බැල මෙහෙවරට නතුවිය. සෙනෙවිගේ මවගේ තරුණ වයසද ගෙවී ගොස් ඇත්තේ මෙසේ මය. සෙනෙවිගේ මව බොහෝ සෙයින් දුක්වුයේ තමා මියගිය පසු සෙනෙවිට කැඳ උගුරක් හෝ  සදා දෙන්නට කෙනෙකු නැති වේදැයි බියෙනි. සෙනෙවිලාටත් වඩා අරණවූ නිවසක සිටි කාල වර්ණ නිවසටම වයසට යමින් හුන් තරුණිය ගැන ලද ආරංචිය ඇයට ජීවිතයේ බලාපොරොත්තු දල්වන්නක් විය.

කාලය ඉතා ඉක්මණින්ම ගෙවී ගියේය. වැවේ නාන්නට ගිය විටෙක සෙනෙවි වරක් ඇය හා කතා කොට තිබුනි. අලුත් බලාපොරොත්තුව විසින් සෙනෙවි වැවට නාන්නට යෑමට ඇති උනන්දුව වැඩි කලේය.

කසාදයට දින නියම කෙරුණි. පංසලේ සාමුදුරුවෝ සාදාදුන් නැකැත් කොලේ මුලින්ම තිබුනු “නැකතට බුලත් දීමට” සෙනෙවිගේ මව ගියේ මුදලාලිගේ නිවසට ය. එය මුදලාලිගේ නිවසට ප්‍රීතිමත් ආරංචියක් නොවීය. තමන්ගේ අන්තේවාසික සේවකයින් කසාදබැඳ දරු මල්ලන් සාදාගෙන පිළිවෙලක් වීම ඔවුනගේ අභිමතාර්තයන් හට බාධාවක් විය හැක!

මගුල් දිනය දා සෙනෙවි අවුරුද්දට මුදලාලිගෙන් ලැබුණු කොටු සරමත්  පාට ගිය කමිසයකුත් ඇද සිටියේය. රත්නායක පැමිණියේ තරමක් හවස් වෙලාය. ඒ ලොරියට බඩු පැටවිමට  හිබුනු  හෙයින්‍ ය. මුදලාලි ට සහභාගි වන්නට නොහැකි උනේ කාර්යබහුලත්වය නිසාය, එහෙත් රත්නායක අත සෙනෙවිට පණිවිඩයක් එවීමට මුදලාලි අමතක කොට නොතිබුණි.

“සෙනෙවි මල්ලි ! ආං මුදලාලි උඹට එන්න කිව්වා...!” රත්නෙ ගෙට ගොඩ උනේම  එහෙම කියාගෙන.

“මට ඒ මොකෑ .........?”

රත්නෙ කෙරෙණ්  හේතුව දන්නා බවක් දැක්වුනද ඔහු කිසිවක් නොකියා
“උඹ ම ගිහින් බලහං කෝ !” කියා කීවේය.

“රූපසීලි ! මුදලාලි මට එන්න කියලා ....!! මොන එහෙකටද දන්නෙ නෑ......... මම ගියා ආවා!!! ඇවිත් නා ගන්න වැවට යමු ........” කියා ගෙනම සෙනවි සරම පසුපසින් කකුලෙන් ඔසවා එය අල්ලා දා  වාටිය දිගේ අත් දෙක ඉදිරියට  එන එමින්ම කඩුල්ල  දෙසට පියවර එසවීය.

ඉළුක් පඳුරු අතරින් ඇඳී අඩි පාර ඔස්සේ යන සෙනෙවි පසුපසින් රත්නේය.

“රත්නෙ අයියේ මොකටද දන්නෑ නේද බං මේ මගුල අස්සේ මට එන්න කිව්වෙ නේද? හවහ නා කියාගෙන පංසලට ගොහිං ලොකු හාදුන්නැහැගෙන් පිරිත් නූලක් බැදං එන්න කියලා අම්මා උදේ ඉදන් කියනවා ....”

“ආ ! උබ හේනං පිරිත් නූලක් එහෙම බැදගෙනම?........ මොකෝ දැන්මම බයවෙලාද ??......” කතාව ඉවර කරණ්නට සෙනෙවි ඉඩක් නොතැබීය. රත්නෙ අයියාගෙ හැකර කටේ හැටි හොඳින්ම දනී.

“අනේ පලයං රත්නෙ අයියේ පඩත්තර  කතා නොකියා ....!”

රත්නෙ මැටි පොලොවට සිනහ වෙමින් තවත් මොනවාදෝ කියමින් සෙනෙවිව අවුස්සයි. විවාහය තීන්දුවූ  දා සිට සෙනෙවිට දැනමුතුකම් දුන්නේ රත්නේය. කිසිදු  දිනෙක නොලබා තිබූ අත්දැකීම් පිළිබඳව සියල්ල  සෙනෙවි  පිළිවෙලින් දැනගත්තේ රත්නෙගෙන්‍ ය. පසුගිය  දිනවල ලොරියෙන් කොළඹ ට යනතෙක්ද කොළඹ සිට නැවත අඹන්පොලට එන තුරුම සෙනෙවිට තිබුනේ රත්නායකගෙන් එක් එක් මාදිලියේ ගැටළු නිරාකරණය කර ගැනුමටය. ඒ සියළු කතා නිමා වෙන්නේ රත්නා උස් හඩින්

“හරි හරි බං උඹ ඔය දැන ගත්තා මදෑ ! ඒකිත් මොනා මොනා හරි දන්නවා නැතෑ ....!?” කියාය.

ඊට සෙනෙවිගෙන් ලැබෙන්නේද එකම පිළිතුරකි.

“අනේ පලයං බං යන්න රත්නෙ අයියේ .....!”

තවත් පැය කාලකින් පමණ සෙනෙවි මුදලාලි අබියස විය. මුදලාලි සෙනෙවි එන තුරු කඩේ දොරකඩ මග බලාගෙනය. ලොරිය ට කෙදිරි ගෑවෙන්න බඩු පටවලාය. “හරියට රෑන් ටික ගහලත් නෑ !” ලොරියේ ඒ මේ අත අපිලිවෙලට ඇද තිබූ ලනු පොටවල් දැක සෙනෙවි තමාටම කියා ගත්තේය.

“රත්නෙ බලපංකො අද මුගෙ තංතෝසෙ ....!” මුදලාලි ඇද පැද කීවේ රත්නේට කීවේ සෙනෙවි දෙස බලාගෙනමය. මේ කිසිවක් සෙනෙවිට නැසෙයි.

“රූපසීලි බලානැති........!” සෙනෙවි කිසිවෙකුටවත්  නෑසෙන  සේ මිමිනීය.
“මුදලාලි මට එන්නැයි  කීවෙ .....!?” සෙනෙවි බිම බලාගෙනම බයාදු හඩින් විමසීය.

“ඇ රත්නෙ කීවෙ නැත ....!?  රත්නායක උඹට කිව්වෙ නැතිද කාරණේ? සෙනෙවි උඹට මං එන්නැයි  කීවේ වෙන  හේකට නෙවෙයි උඹේ රස්සාව කොරලා  යන්න කියන්න. වෙනිං අහවල් දේකටයැ !?”

“ඒ ඒ කිව්වේ මුදලාලි ...?

“ අද ලොරියෙ උඹට යන්නම වෙනවා සෙනෙවියො. මොකා කියලා මං යවන්නද?  මොකෑ මම යන්නයෑ ? මගුලේ අවසේස වැඩ ටික හෙට හවහා කොර ගනිං කො! මොකෝ ගෙනාපු ගෑනි ආයෙ කොහේ කියලා යන්නද ?”

සෙනෙවිට කියාගන්නට දෙයක් නොමැතිවිය. එහෙත් කුමක්  නම්  කියන්නද? කාට නම් කියන්නද? ජීවිත කාලයම ජීවත්වූයේ මුදලාලිගේ දංකුඩ වලට පිහිටෙනි. දැනට වැටී ඇති ගේ කබල ඔසවා ගෙන හිටින  ඉඩං කෑල්ලේ බලපත්තරය තියෙන්නෙත් මුදලාලි බාරයේය. තවත් හිතා බලන්නට කාලයක් ඉතිරි නොකලේය.
“රත්නායක ඉක්මනින් පිටත් වෙයං ඉක්මනින් මේක බා ගන්නත් එපායැ...”
සෙනෙවි ලොරියේ එල්ලුනේ “මගුල ......!” කියවෙමින්‍ ය.

“ඔන්න මලේ මා එක්ක තරහ ගන්නවා එහෙම නෙවේ. .....! ඒත් මං කීවා අද උඹේ මගුලනේ කියලා ...!! කොහෙද මුදලාලිගේ වැඩ ගැන ම උඹට කියන්නෝන්නෑනෙ !”

සෙනෙවි කිසිවක් නොකියා ලොරියෙන් ඈත බලා සිටියේය.රූපසීලි ගෙට ගොඩවන  විට ගෙනා ඇදුම් මල්ලට වඩා සෙනෙවිගේ ඇස  ගියේ පිටුපසින් තවත් කෙල්ලක් ගෙනා ගල්ලැහැ පැදුර දෙසටය. තමා ඒ දෙස බලා සිටිනු රූපසීලි දුටු බව දුටු විගස මහත්වූ ලැජ්ජාවක් සෙනෙවිට දැනිනි. තමා පැදුර බලාගෙනම සිටියා යැයි ඇයට හැගේවිදෝ ඔහුට සිතිනි. ලොරිය සැතපුම් ගනනාවක් යනතුරු සෙනෙවි ඉදිරිපස වීදුරුවෙන් ඉදිරිය බැලුවේ නැත. ඔහු තවමත් පසෙකින් එළිය බලාගත්  වනම  සිටියි.
පුරුදු පරිදි ලොරිය කොළඹ ගොස් තොග බඩු කඩයට ගෙන ගිය දෑ බා අවසන් වී ආපසු එන්නට හැරිණි. වෙනදා පැයක් හමාරක් ගතකොට බානා බඩු ලොරිය විනාඩි හතලිහක් ගත වෙන විට බා අවසන් වී තිබුනි. රත්නේට තනිවම හිනාය. ලොරිය හරවා සෙමෙන් සෙමෙන් කොළඹ නගරයේ ජනාකීර්ණ වීදී අතරින් ගම් බිම් බලා යන්නට ලොරිය ඇදෙමින්‍ ය.

“රූප සීලි මොනවා හිතුවාද  දන්නෑ  නේද රත්නෙ අයියේ!?” සෙනෙවිගේ කටහඩ ඇසුනේ පැය ගනනාවකිනි.

“මොනවා හිතන්නද උඹලා කුලෑටි කමට.......;  බයේ මග අරිණ්න ඇති කියලා හිතන්න  ඇති!.....වෙන මොකක්ද ආයෙ . . .?”

රත්නෙ ගෙ පිළිතුරිණ් සෙනෙවි කෝපයටත් වේදනාවටත් පසුතැවිල්ලටත් දුකටත් එකවර පත්විය. ඔහු තම ගිණි ගෙන රත් පැහැගැන්වුනු දෙනෙතින් රත්නායක  දෙස බලා යමක් කියන්නට තතනන විටම රත්නායක පසුබෑවේය.

“නෑ බං ඒකි දැන ගන්නැති  අපේ මේ මුදලාලිගේ තරම ! ආයෙ වෙන මොකක්ද ?” රත්නායක තමා තින් සිදුවුනු වැරදි ප්‍රකාශය පිරියම්  කලේය.

ලොරිය ගමට යන්නේ වෙනදාට වඩා මන්දගාමීව යැයි සෙනෙවිට සිතුනි.

“යංකො බං අයියේ ගාටන්නැතිව......!”

රත්නායකට තනිවම හිනාය. එහෙත් වෙනදා මෙන් කිසිවක්  කියන්නට හේ බියපත් විය.ලොරිය හැකි උපරිම වේගයෙන් රත්නේ පදවමින්‍ විය. එම වේගය විසින් තමා ඉක්මනින්ම රූපසීලී ට ලඟා කරවන බව දැනෙත්ම දැනෙත්ම සෙනෙවිගේ සිත තුල කුඩා පොහොට්ටුවක් ටිකින් ටික විකසිත වෙමින්  තිබුනි.
කොළඹ ආ ගිය හැම දිනකම පාදෙනියේ හංදියෙන්;  නයිකොච්චි ලුණු මිරිස  සමග උනු උනුවේ කන පොල් රොටී බානද පොල් හකුරු එක්ක මහත් අභිරුචියෙන් බොන කහට වීදුරුව සෙනෙවිට අමතකය.
වෙනදා දැදුරු ඔය පාලම අසල අයියනායක  දේවාලයට පඬුරු දමා වෙලාවක් ගත කොට වදින සෙනෙවි අද ඊට එතරම් කල් මරණ්නට අවශ්‍ය නොවීය. කොටින්ම සෙනෙවි හිටියේ අසුනට හේත්තුවී පිට තබාගෙන  නොව තරමක් ඉදිරියට නැඹුරු වෙලාය. ඔහු ලොරියට කලින් ගමනේය. 
රත්නායකද තම හැකි උපරිමයෙන් ; තම එක බඩ වැල කඩාගෙන ආ සහෝදරයා වන් මිතුරාගේ හැඟීම්  දැනීම් තේරුම් ගනිමින් බ්‍රේක් නැති ලොරිය පදවමින් විය.
එන්ජිම මර හඩ දීගෙන එකම ලතෝනියකි! වෙනදා බේරන වලවල් ගැටිති බෝක්කු අද පෙනෙන්නේ වත් නොමැත.  ලොරියේ කර කැවෙන හැම උපාංගයකින්ම වෙනදාට නොඇසෙන සිහින් ගෙරවීමක් නැගෙයි.  රත්නායකට පමනක් නොව සෙනෙවිටද මෙම වේගය මහලු ලොරියට තරම් නොවන බව තේරුනද “ලොරියට උනත් තේරෙණවා ඇති මට වෙලා තියෙන අකටයුත්ත! මේකිවත් හෙට අනිත්දා නාවන්න ඕනෙ.....!” යැයි සිතා සෙනෙවි ලය සැහැල්ලු  කර ගත්තේය.
ලොරියේ බොනට්ටුව වේගයෙන් ඉහල පහල ගැහෙමින් විය. අගුල කඩාගෙන මේක ඇරේදෝයි විටෙක රත්නායකටම සිතුනි දළදා ගම හංදියෙන් ලොරිය අවේ හරහටය. සෙනෙවි ලොරිය තදින් අල්ලාගෙන සිටියේය. තවමත් හේ ඉදිරියට නැඹුරු වෙලාමය!

අඹන්පොල  ඔන්න මෙන්නය!   මුදලාලිගේ  වෙනදා මෙන් මහ පාරේ පෙනෙන්නට  ඇත. මෙතරම්  ඉක්මනින් ලොරිය ආපසු පැමිනෙතැයි ඔහු හීනෙකින් වත් හිතාගත නොහැක! මුදලාලි නොපෙනුනාට කඩයේ වහලයේ මට්ටමට ගොඩ ගැසූ මුං ඇට , අබ , මෙනේරි , කුරක්කන් ගෝනි ලොරිය එන තෙක් මග බලාගෙනය .

“මහත්තයෝ දුර කියවන්නෙ නැතිව කියන්නම්කෝ! අනේ අර යකාට එදා රෑත් අර අලුත ගෙදරට ගෙනා ගෑනි ගාව ලගින්න මේ අපේ මුදලාලි ඉඩ දුන්නේ නෑ කියන්නකෝ !!  
මහත්තයා විශ්වාසකරණ්නැති වෙයි මට මගේ අම්මට වඩා කෙනෙක්නෑ. ඔහොම දවස් හතක්ම මේකව ලොරියට පට්ටල්කලා කිසිම මනුස්සකමක්නැතිව ඔය යකා!!! 
අම්මප මහත්තයෝ ඔය සෙනෙවියා දෙවෙනි තුන්වෙනි දවස්වලදි කොළඹ ඉදන්මෙහාට එනකොට ඈත ඉඳන් බලාගෙන ඇවිත් ගෝනි ටික ඈත තියා දැක්කාම 
“බුදු රත්නෙ අයියේ අදත් මට යන්න වෙන්නේනෑ!” කියලා කියනවා මට තාම මතකයි. ඉතිං මං කියලා මක්කරණ්නද?
ඔහොම ගිහින්ගිහින්සතියකට පස්සෙ තමයි මේකට ගෙදර යන්න ලැබුනේ ! දන්නවද මහත්තයෝ හොඳම වැඩේ ?”

“................................................................................”
රත්නෙ මාගේ කනට ලංවී රහසින් යමක් පවසා අසෝක වීදුරුවේ තිබූ අන්තිම අරක්කු ස්වල්පයත් කටට හලා ගත්තේය.
සතියක් කඹුරා ගෙදර ගිය ද; රූප සීලිගේ ජීව චක්‍රය තවත් සතියකට සෙනෙවිට පැදුරේ නිදන්න තහනම් කොට තිබුනේලු!

Thursday, August 30, 2018

107. ආර් ප්‍රේමදාස




ජාතිය එක්සත් කල නොහැකි වූ සඳ එක්සත් ජාතීන් වෙත
!


මගේ; "තල් අරණ" ට දුමිඳු ගමගේ මල්ලි දාලා තිබුනා කොමෙන්ටුවක්! මේපෝස්ටුවේ මම; දළදාගම පිහිටි ප්‍රේමදාස මහත්තයාගේ අඹ වත්තක් ගැන ලියාඇති බැවින් දුමිඳුගේකොමෙන්ටුවෙන් අසා තිබුනේ; 

"අයියේ අර අඹ වත්ත ලැවරියා විකුනලා ගත්තු එකක්ද දන්නෙ නෑ නෙ?" කියාය. කොහොමටත් ප්‍රේමදාස චරිතය ගැන පොඩි කයියක් ගහන්න මම කලක ඉඳන් පෙරුම් පුර පුරා හිටියේ. මං හිතන්නේ අද ඊට නිසිඅවස්ථාව යෙදුනා කියාය.


දැන් ඊළඟ ප්‍රශ්නෙ!  

කොහෙන්ද පටන් ගන්නේ කියන එක.  

මේ කතාවට යම් වටිනාකම ලැබෙන්න මා මෙලෙස කතාව පටන් ගන්නම්. 
"මා කිසි දිනෙක ප්‍රේමදාස මහතා හට හෝ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය පාවිච්චි කල අයෙක් නොවෙමි. එසේම ඔහු ආමර් වීදියේදී ජීවිතක්ෂයට පත්වීමේ පණිවිඩය සතුටු සිතින් අසා දැනගත් අයෙක් විමි." දැන් ඒ පිළිබඳව මා එක්ක තර්ක විතර්ක නොකර කතාව පටන් ගනිමු.

අප එක් එක් අයගේ සිත් තුල මුල් බැසගත් වීරයන් සිටිති. මාගේ සිත තුල බොහෝ කලෙක සිට එසේ ලැගුම් ගත් වීරයෙක් වූයේ අමෙරිකාවේ සිව් වන ජනාධිපති එබ්‍රහම් ලින්කන්ය. 
ඊට ප්‍රධාන හේතුව වන්නේ ඔහුගේ චරිත කතාවේ උදෘථයක් අපෙ හතරෙ පන්තියේ පෙල පොතේ එක් පාඩමක් ලෙස කැටි කොට තිබූ නිසාය. එම පාඩම මගේ රුධිරයට කෙතරම් බද්ද වී ඇත්දැයි කිව හොත් එහි එන; "නොපසුබස්නා වීර්යයත්, උට්ඨාන ධෛර්යයත්" ; යන වදන් පෙල අද ද මවෙතින් ලියැවෙන්නේ එකම පෙලටය. මීට දශක හතරකටත් පෙර කියැවුනු එම වදන් පෙලින් ගරු බුහුමන් ලබන්නේ එබ්‍රහම් ලින්කන් තුමාවය. 
අද දින මා මෙරට කිසියම් දේශපාලන චරිථයක් ගැන ලියන්නට ගිය හොත් එම වදන් පෙල භාවිතා කරණ්නේ ප්‍රේමදාස චරිථයට ඉදිරියෙන් පමනි. ඔව් ඔහු එතරම්ම අධිෂ්ඨානශීලී අයෙක් විය. එසේම කැපවීම, වෙලාවට වැඩ කිරීම, සෘජු බව, ගැටළු විසඳීමේ බුහුටිබව අතින් ඔහු රටේ අනෙකුත් නායකයින් වෙතින් ගව් ගනනාවක් ඉදිරියෙන් සිටියේ යැයි මා සිතමි. 
බොහෝ දෙනා තම ඉනෙහි පසෙක කොපුවේ ලා තිබුනු අසිපත් එළියට ගෙන මුවහත් කරණ හඬ මට ඇසේ. මා ඔවුන් නිහඬ කරවන්නම්; ඒ අසිපත් නැවතත් කොපු තුල රඳවන්නම් මේ වගන්තියෙන්. “ඔහු සුදුසු වන්නේ රටක දෙවැනියා වීමටය! දෙවැනියාව සිටිනාතුරු ඔහු වඩාත් ප්‍රායෝගික නායකයකු විය. ඔහු පලමු නායකයා වීම සමග එම ජනප්‍රියත්වය ඔහු වෙතින් ගිලිහුණි!”





මහ පොළොවේ පය ගසා සිට රජ ගෙදරට !

ඒබ්‍රහ්ම් ලින්කන් ජීවිතය පටන් ගත්තේ ඉතාමත් දුගී දුප්පතෙක් ලෙසටය. එය ඔහුට ආභරණයක් විය. ඔහු ජනාධිපති පදවිය දැරූ රට ලංකාව නොවී අමෙරිකාව වූයේ එරට මිනිසුන් තුල තිබුනු හා පවතින එම උසස්ආ කල්පය නිසාම විය යුතුය. 
ප්‍රේමදාස මහතා අගමති පදවිය සමග මුලින්ම හෙබවූයේ සභානායක කමය. ඔහුගේ මුල්ම පාර්ලිමේන්තු කතාවක් තුල; "කන්ටේනර් පර්යන්ත, ග්‍රැන්ටි දොඹකර"; ගැන කියැවුනා මට අද මෙන් මතකය. එම කතාව මටත් වඩා හොඳි අසා සිටි අයෙකු සිංගප්පූරුවේ සිටියේය ඒ එරට අගමතිවරයාය.  

එල් ටී ටී ඊ සංවිධානයට මෙරට වසර ගනනාවකින් පසුපසට ඇදදමීමට අවශ්‍ය ධෛර්යය ආශිර්වාදය ඔවුන් වෙතින් නොළැඹුනා යැයි අපට විශ්වාස කල හැකිද? මන්ද අප කන්ටේනර් හැසිරවීමට පටන් ගත්තානම් මුලින්ම බඩේ පාර වදින්නේ ඔවුන්ට බැවිනි.

එකල විපක්ෂයේ ඡන්ද රැස්වීම් වල ප්‍රධාන සටන් පාඨය වූයේ ; "ලැවරියා කොල්ලාගේ"; කථාවය. ප්‍රේමදාස තම ග්‍රැන්ටි දොඹකර කථාව අස්සේ ; "වලව්වල අවජාතක කොල්ලන්ට වඩා ලැවරිය විකුණූ කොල්ලාගේ. ." යනුවෙන් ඊට ප්‍රැථි උත්තර බැන්දේ පාර්ලිමේන්තුවේදී මය! 
මේවායේ ඇත්ත නැත්ත පසුකලෙක චින්තන අයියා ලෙස මාගේ නිඹඳ ගරු බුහුමනට ලක් වන චින්තන ජයසේන මහතා මාසමග අඩියක් පුඩියක් ගසපු අවස්ථාවක පවසා ඇති අතර ඒවා පන පිහිටුවීම; බොහෝ පාර්ශවයන්ට සිදුවන අසාධාරණයක් බැවින් ඉදිරියට නොලියා සිටීමට තීරණය කරමි. මේ කතාවේ ඉහත මා සඳහන් කල වාග් ප්‍රහාරය ට

අනුබද්ධිතව තවත් ප්‍රකාෂයක් කිරීමට ඔහු පසුබට වූයේ නැත! ; 

"මෙරට වස්සාටයි වැස්සිටයි සිදුවූයේ ඉංදියාවේ වැස්සිටයි වස්සාටයි සිදුවූදේට නොවෙනස් දෙයකි!" ; ඔහු තොලේ කටේ නොගැවී කීවේය. 
ලෝකයේ පලමු අගමතිණිය වූ සිරිමාවෝ ආර් ඩී බණ්ඩාරනායක මතිණියද ඇයගේ එකම පුත් අනුර බණ්ඩාරනායකද ඉංදියාවේ ඉන්දිරා ගාන්ධි මතිනියද ඇයගේ කණිටු පුත් සංජේ ගාන්ධිද දේශපාලන බිමෙන් අතුගෑවී ගියේ එකම වකවානුවක වීම පුදුම සහගතය.  

මේ දේශපාලන ගැලරි කතා ඔහුට පාරා වලලක් වූයේ කොහෙවත් සිටි රජීව් ගාන්ධි ඉංදියාව හසුරුවන්නට පටන් ගැනීමත් සමගය.

(මගේ චරිතය ඝාතනය කරන්න !
මා කුඩා කල සිට රැක ගත මාව මරන්න එපා !! නොව)
"මාව මරන්න !
මා කුඩා කල සිට ගොඩනගා ගත් චරිතය ඝාතනය කරන්න එපා !!"


ප්‍රේමදාස චරිතය ගොඩ නැගෙන්නේ පිටකොටුවේ පේමන්ට් එකෙනි.
 එහෙත් ඔහු සුරා සූදුවෙන් තොර අයෙක්විය. ඔහුගේ;"සුචරිත" ව්‍යාපාරය ඔහුගේ දේශපාලන ජීවිතයේ ඇරඹුමයි.
 ඔහු නැගීසිටියේ ඔහුම දහ දියෙන් මහන්සියෙන් තැනූ ඔහුගේම වේදිකාව මත මිස එක්සත් ජාතික පක්ෂය හෝ වෙනයම් අයෙකු තැනූ වේදිකාවක නොවීය.
 වේදිකාව තැනීමට භාවිතාකල සෑම කණුවක්ම ලෑල්ලක්ම වරපටක් ඇනයක් හේ දැන සිටියේය.

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී ඇෆ් කාරියකරවන ගේ;"දශක සතක මතක"; පොතේ ප්‍රේමදාස මහතා වෙනුවෙන් පරිච්ඡේද තුනක් වෙන් කොට ඇත. ඉන් පලමු වැන්න ;"ආර් ප්‍රේමදාස"; ලෙසින්ම ලියාතබා ඇත. ඉන් ඡේදයන් තුනක් පමනක් මම මෙහි බහා ලන්නම්.


"මේ අතරතුරේ අනෙකුත් ලියුම් වලින් මාගේ සිතගියේ ඉතා ලස්සන අකුරෙන් වියත් සහ ආචාරශීලී අන්දමට ලියා තිබුනු ලියුමකටය. එය ආර්. ප්‍රේමදාස නමැත්තෙකු ගෙනි. ;"මිහිර" සඟරාව අගයමින් ලියූ එම ලියුමෙන් තවත් කරුණක් අසා තිබිණි. ඒ, ඔහුත් සඟරාවක් පළ කරණ්නට යන හෙයින් ඊට උපදෙස් දිය හැකිද යන්නයි. මම පිළිතුරු ලියනුවා වෙනුවට කොළඹ ගිය විටෙක දී කෙහෙල්වත්තේ, සාන්ත බස්තියමේ; "සැනසුම"; සොය ගියෙමි. මුඩුක්කු පෙදෙසක වුවද ඇතුලට වන්නට පිහිටි ඒ ගෙය විශාල එකක් විය. ඉහළ මධ්‍යම පන්තියේ ගෙයක් සේ පෙනිණි.

එදා මා සාන්ත බස්තියමට ගිය ගමනේ දී අප දෙදෙනා; මිහිර සඟරාව ගැනත් ඔහු පල කරණ්නට යන ; "ස්වදේශය"; සඟරාව ගැනත් බොහෝ වේලා සාකච්ඡා කළෙමු. ඉන් පසු නිතොර නිතොර හමුවූ අපි දෙදෙන කුලුපග මිතුරෝ වීමු. ප්‍රේමදාස චරිතය ගොඩ නැගෙන්නේ මුඩුක්කු පරිසරයක් තුල වුවද ඔහු ඒ තුල ගොඩ නැංවීමට යන්ත දරණ්නේ සුචරිතවාදී  සමාජ රටාවකි. "දසක සතක මතක" හි ප්‍රේමදාස වෙනුවෙන් වෙන්වුනු ප්‍රතම පරිච්ඡේදය අවසන් වන්නේ මෙවන් වූ වැකියකිනි.

"සුචරිත ව්‍යාපාරය මඟින් කැරුණු පිටකොටුවේ තැබෑරුම් වහන ඡන්දෙට ද මම සම්මාදම් වීමි!"  

ඔහු වෙනුවෙන් ලියැවුනු දෙවෙනි පරිච්ඡේදය නම් කොට ඇත්තේ "ප්‍රේමදාස සමඟ" කියාය. එම පරිච්ඡේදය අවසන් කොට තිබුනේ  


"වැඩකට බැස්සා ම වෙහෙස, අව් වැසි, කාල වේලා නොබලන, අප්‍රතිහත ධෛයයක් ඇති මේ හාදයා, කවදා හරි ඉහළ තැනකට යනු නිසැක බව මට සිතිණි. එහෙත් ඔහු මේ රටේ අගමැති - මේ රටේ ජනපති වේ යැයි මට නම් කිසි සේත්ම සිතුණේ නැත!" කියාය.

"ගම් උදාව" පමනක් නොව ඔහුගේ කාලයේ පැවති ඕනෑම රාජ්‍ය හෝ ජාතික උත්සවයක්පැවැත්වීමට නියමිතව කෙරෙණ සූදානම බලන්නට ඔහු පෙර දින එහි පැමිණීම අනිවාර්‍ය අංගයක් විය.
 පැමිණීමෙන් පමනක් නොව එහි අඩු ලුහුඩුකම් සොයා බලමින් ඒවාට පිළියම් යොදමින් කටයුතු කිරීම ඔහු අතින් නිබඳවම සිදුවිය. 
වරක් සාක් සමුලුව සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සකසමින් තිබෙන විට ඔහු එහි ගොස් මාලදිවයින් අගමැති අබ්දුල් ගයුම් මහතා වෙත පනවා තිබුනු ආසනය අනෙක් ආසන වලට වඩා මදක් ඔසවා තබන්නට උපදෙස් දී ඇත. 

මන්ද සාක් රටවල එතෙක් මෙතෙක් සිටි වාර්ථාගත උසින් අඩුම රාජ්‍ය නායකයා වූයේ ඔහු බැවිනි. ඔහු සෑම දිනකම පාන්දර 3.00 වන විට පිබිද දවසේ වැඩ කටයුතු අරඹයි. රෑ එළිවන තුරා කණ සාක්කුවේ වැටෙන්නට බොන කන අනෙකුත් දේශ පාලුවන්ට මෙන් නොව ඔහු නැගිට ගත් මොහොතේ පටන් නියමිත පැය ගනනාව සුචරිතයේ රැඳී සිටිමින් සාමාන්‍ය මිනිසුන්ගේ ගැටළු වලට ඇහුම් කන් දීම හා ඒ හා බඳුණු ලිපි ලේඛණ භාර ගැනීම මියයන තෙක්ම කරගෙන ගිය කටයුත්තකි. 

අගමැති පුටුවේ සිටියදී පාන්දර ඉතා සාමාන්ය ඇඳුමකින් සැරසී තනිවම තම මොරිස් මයිනරය පදවාගෙන අවශ්‍ය ගමනක හේ යෙදීමේ පුරුද්දක් විය. එසේ ගමන් ගන්නා විට සොම්මරයක් නොහොත් ජටාවක් හිසේ පටලවාගෙන යන පුරුද්දක් පැවති බව දුටුවන් පවසති.

එක් දිනක් ඔහු රුවන්වැල්ලට රැස්වීමක් සඳහා පැමිණියේ අඟුරුවැල්ලේ සිටය. අඟුරුවැල්ලේ සිට රුවන්වැල්ලට කිලෝමීටර දෙක පැමිණියේ පිරිවර පිරිවරා පා ගමනෙන්ය. ප්‍රේමදාස පයින් යන්න රුසියෙකි! එය කාරියකරවන මහතාද පවසා ඇත. එදා අඟුරුවැල්ලේ සිට රුවන්වැල්ලට ඔහු පමිණියේ අධික වේගයකින් බව මාහට යාන්තම් වාගේ මතකය. ඔහු සමග පා ගමනේ යෙදුනු අනෙක් පිරිස පමිණියේ කඩින් කඩ දුවමින්ය!





දේශපාලනයේ හරි පදම !

ඔහු සතුවූ ප්‍රායෝගික දැනුම හා ගැටළු නිරාකරණය කිරීමේ බුහුටිබව පිළිබඳ රසවත් කතාවක් මා අසා ඇත. දිනක් ප්‍රේමදාස මහතා හට හදිසියේ ත්‍රිකුණාමලයට යැමට අවශ්‍යතාවයක් පන නැග ඇත. ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් මහා රත්‍රියේ කුණාටු සහිත දැඩි වැසි සහිත කාලගුණයක් මාධ්‍යයේ කෙරුණු මේ ගමන කෙලවරදී හෙලිකොප්ටර නියමුවා මුහුණ පා ඇත්තේ අසීරු අවස්ථවවකටය. 
ඒ එදින කුමන හෝ සිදුවීමක් කරණ කොටගෙන නගරය මුළුමනින්ම අඳුරේ ගිලී තිබීම නිසා යානය ගොඩ බැස්සීමට ස්ථානයක් සොය ගැනීම කිසිසේත් නොහැකි වීමය. ගුවන් නියමුවා ප්‍රේමදාස මහතාට මෙම අපහසු තාවය දන්වා නැවත අනුරාධපුරයට හෝ කොළඹට එන්නට අවසර පැතීලු. 

ප්‍රේමදාස මහතා නියමුවාගෙන් පෙරලා විමසා ඇත්තේ යානය ගොඩ බැස්සවීමට කොපමණ ඉඩකඩක් අවශ්‍යදැයි කියාය. ඉඩ කඩ ගැන වැටහීමක් ලබාගත් ජනපති වහාම ත්‍රිකුණාමලයේ පොලිස් අධිකාරි කන්තෝරුව ඇමතීය. ඔහුගෙන් ඊට විධානයක් ලැබුනි."පොලීසියේ වාහන හතරක් අඩි මේ මේ පරමාන දුරිණ් හෙඩ් ලයිට් දාගෙන මුහුණට මුහුණ සිටින ලෙසට අසවල්විද්යාලයේ පිට්ටනියේ නවත්වන”! ලෙසය.  

හෙලිකොප්ටරයඅහසේ වට දෙකක් කරකැවෙන්නට මත්තෙන් පාසල් පිට්ටනියක හෙලිකොප්ටරය බැස්සවීමට ප්‍රමාණවත් ඉඩක් ආලෝකමත්වී තිබෙනු නියමුවාට පෙනිනි. යානය සුරක්ෂිතව එහි ගාල් කර ගැනීමට හේ සමත් විය!

ප්‍රේමදාස වෙත රට පත්වන්නේ ඔහුගේ වචනයෙන්ම පවසනවානම් "දෙකොන විලක්කුවක්" ලෙසිනි. දකුණේ ජේ වී පිය හා උතුරේ එල් ටී ටී ය සමග ආණ්ඩුව කරගෙන යාම ඉතා අපහසු කට යුත්තක් විය. ඔහු තේරී පත්වුනු ජනාධිපති වරණය ජේ වී පිය විසින් තහනම් කල ඡන්දයක් විය. 

1989 ජනවාරි 02 වනදා මහ නුවර බෝගම්බර පත්තිරිප්පුවේදී ජනපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා ඔහු කල කතාවේදී ජනතා විමුක්ති පෙරමුණ හා එල්ටීටීඊය සමග සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර සිටියේය.1983 සිට එක දිගට පවත්වාගෙන ආ හදිසි නීතිය ඉවත් කිරීම නිසා ත්‍රස්තවාදී මර්දන නීතිය යටතේ බූස්ස කඳවුරේ හා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩංගනයේ රඳවාගෙන සිටි 1800 දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබුනි. එසේම ගිරාඳුරුකෝට්ටේ පැවති ජන හමුවකදී හේ ජේ වී ප යට හා එල් ටී ටියට සාකච්ඡා වලට එන ලෙස ඉල්ලීය.  

හරියටම පසුදින උපතිස්ස ගමනායකගේ අත්සනින් නිකුත් කල ලිපියකින් ජනපති නීතිවිරෝධීව පත්වුනු අයෙක් ලෙස නම්කොට සිටි අතර එල් ටී ටිය සාකච්ඡා සඳහා එකඟ විය. ඇන්ටන් බාලසිංහම් 1989 අප්‍රේල් 27 දින මෙරටට තම ඇඹේණිය සමග ගොඩ බසින්නේ මේ සමගය. 

කවුරුන් කෙසේ කීවත් දේශපාලකයින් ඇතුළුවන්නේ වෙනත්කුලකයකටය. එය පොදු ජනතා කුලකය සමග කිසිවිටෙක ඡේදනය නොවේ. එසේ ඡේදනය වුනු එකම දුර්ලභ අවස්ථාව ප්‍රේමදාස මහතා බලයට පත්වීම ලෙස මා දකිමි. ඒ නිසාම පක්ෂය තුලින්ම ඔහු වෙත එල්ල වන්නට වූවේ සීසර්ට මෙන්ම වූ පිටිපසින් එල්ල කරන පිහි පාරවල්ය. ඊට හේතු මූලිකවූ කරුණක සේයාවක් වික්ටර අයිවන් විසින් රචිත "අර්භූධයේ අන්දරය "; පොතේ ජේ ආර් ජයවර්ධන සම්බන්ධයෙන් ලියැවී ඇති තැනෙකින් පරාවර්ථනය වේ. 

"ජේ ආර් ජයවර්ධන එජාපයට තිබුණු කොළඹ හතේ පෙනුම නැති කොට එයට පොදු ජන පෙනුමක් ලබා දුන්නේය. රාජ්‍ය නායකයා ගොවිගම කුලය නියෝජනය කරණ විට දෙවැනි නායකයාගේ තැනට ගන්නේ සිංහල කුල ධූරාවලියේ ආන්තික කුලයක් නියෝජනය කළ ආර්. ප්‍රේමදාසවය!"

චින්තන ජයසේනයන් කියනා පරිදි ජේ ආර් එලියට රෙද්ද ඇන්දාට ගෙදරදී අඳින්නේ කකුල් දෙකටම කලිසම්ය. මෙය සත්ය ප්‍රකාශයකි. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ගත්තද එය එසේමය. උන්නැහැද සාමාන්ය ගමනට ඇන්දේ කලිසම්ය. කිරිබත් ලුණුමිරිස් කැවුම් කෑවේද හැන්දෙන් ගෑරප්පුවෙන්ය. බැසිල් රාජපක්ෂද උන්නැහැගේ දෝනියැන්දාගේ මගුලට සහභාගී වුනේ කුරහං සාටකේ කුස්සියේ දොරේ එල්ලාය.  

කේ ජයතිලකට සම සමාජය අරහං වන්නේද කොල්වින්ගේ ක්‍රියා කලාපයකි. යූඇන්පියේ රජ කකුල් වලට ප්‍රේමදාස ගැලපුනේ නැත. ඔවුනට ඕනෑ වූයේ මීට වඩා සමාජශීලී සෝශල් පොරක්වය! එයට හේතු භූතවූ කරුණු රාශියකි.

1998 ජුනි මස “මුතුහර” සගරාවට ලිපියක් සපයන ඇම්. සී. ඉඳුනිල් ප්‍රනාන්දු නම ලියුම් කරු “දේශපාලනයේ රසකතා - රණසිංහ ප්‍රේමදාස” නමැති ලිපිය ආරම්බ කොට ඇත්තේ මෙසේය. 

“ශ්‍රී ලංකාවේ නිදහසට පසු ගමන් ගත්දේශපාලන මග වෙනස් කල නායකයෙකි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. පොදු ජනයා තුලින් පන නැගී දේශපාලන කරළියේ ඉහළම පෙත්තට නැගි එකම පුද්ගලයා එතුමා ය.ඊටප්‍රථම අගමැති ජනපති තනතුරු වලට පත් සියල්ලෝම උපතින් ප්‍රභූත්වය දරා සිටියවුන්ය.මෙම පුද්ගලයින්ගේ ප්‍රභූත්වයට හේතු වුයේ ඔවුන් පැන නැගි සමාජ පදනමයි. මෙම පවුල් පදනම ප්‍රභූවරුන් යැයි හැඳින්වූයේ පසවදාරුම්හේතුන් මතය.

1. ලන්දේසි , ඉංග්රීසි පාලන යුග වලදී නිළ හා නම්බුනාම වශයෙන් මුහන්ධිරම් , මුදලි , මහා මුදලි , නයිට් නාම ආදිය ලැබූ පරම්පරාවකට අයත් වීම.

2. තේ , පොල් ,රබර් , මිනිරන් , හා කොන්ත්‍රාත්වලින්

විශාල ලෙස මුදල් ඉපැයු පවුලකට අයත් වීම.

3. ව්යවස්ථාදායක සභාව , රාජ්‍ය මන්ත්‍රණ සභාව , පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරලැබූ පරම්පරාවකට අයත් වීම.

4. පිටරට හෝ මෙරට විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම.

5. උඩරට රදළ පරපුරකට ඥාති සම්බන්ධකම් ඇති වීම.

ගෙන හැර දැක්විය හැක.”

මේ කිසිදු “සුදුසුකමක්” ප්‍රේමදාස මහතාට නොවිය. ඔහුට තිබුනේ දැඩි අද්විතීය ආත්ම ශක්තියකි. මෙම සුදුසුකම් ලද්දවුන් අතර ප්‍රේමදාස මහතා නියුඩ් කෑම්ප් එකේ ඇදුමක් ඇද සිටින එකාගේ තත්වයට පත්වන්නට ඇත! එවකට ප්‍රේමදාස වෙතින් අමාත්‍ය මණ්ඩලය කැඳවූම් ලැබුවේ වෙලාවකින් අවෙලාවකින් තොරවය. ඒ ඕනෑම වේලාවක ජනපති කැඳවන රටේ ඕනෑම ස්ථානයකට සපැමිණීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් විය. එසේම ප්‍රේමදාස මහතා නීති විරෝධී ව්‍යාපාර හෝ හොර වංචා දූෂන කල බවට මේ වනතෙක් කිසිවෙකු පවසා නැත. කිසිදු හොර මුලක්; හොරෙක් නොවන අයෙකු තම නායකයාලෙස තබා ගන්නට කැමති නැත. 
එසේම ප්‍රේමදාස පොෂ් පොරක්ද නොවීය වික්ටර අයිවන් මතු කල කරුණද හේතු විය හැක. කොහොමත් උදේ ඉඳන් රෑ වනතුරු වැඩ කරණ; හැමදේටමහොටේ දාන; තමා ගැන සෙවීලෙන් ඉන්න් බොසෙකුට අපිවත් කැමති නැත! ඉතින් ප්‍රේමදාස මහතාට පමනක් එය වෙනස්විය හැකිද? 

අද මෙන් නිළධාරීන්ට හෝ සේවක සංගං හෝ ශිෂ්යන්ට අවශ්‍ය ලෙසට රටේ පාලනය හා සාමාන්‍ය මහජනතාවගේ දිවි පෙවෙත අල කරන්නට ඔහු ඉඩ දුන්නේ නැත. ප්‍රේමදාස මහතා ඡන්දයට යන්නට පෙර දළදා මාළිගයට භාරයක් වී තිබුනි. ඒ මාළිගාවට රණ් වියනක් සාදා නිමකර දෙන්නටය. දිවුරුම් දී පත්තිරිප්පුවෙන් බිමට බැස ඔහු මහනුවර ජනාධිපති නිවස්නයේදී රටේ හා පලාතේ ප්‍රධාන නිළධරයන් හමුවිය. ඉතිරිය මා දෙබසක් ලෙසින්ම ලියන්නම්:.

"මගේ අදහසක් තියෙනවා මේ ද්ළදා මාළිගාවට රණ් වියනක්ලබා දෙන්නට. ඒ ගැන ඔබ තුමන්ක්ලාගේ අදහස් දැන ගන්න මම කැමතියි. . . !"; ජනපති තුමා මෙය ප්‍රකාශ කොට අවසන් වනවා සමගම නැගී සිටී එක් නිළධරුවෙක්

" සර්! ඔය වැඩෙන් මෙම ස්ථානයේ තිබෙන පෞරාණික බව එහෙම පිටින්ම නැතිවී . .. . "ඔහුට කතාව නිමකරණ්නට නොලැබුනි.

"තමුසෙට මම එන්න කිව්වේ මේක කෙරෙණ හැටි අහගන්න මිසක් නොකෙරෙන හැටි අහගන්න නෙවෙයි . . . . යනවා යන්න මෙතනින් එළියට!"කියා ඔහු එලවා ගත්තේ ලු.  එතැන් පටන් සියල්ලො වැඩේ කෙරෙණ ආකාරය හා පිළිවෙල ද තම තමන්හට ඒ සම්බන්ධයෙන් කල හැකි දායකත්වය පිළිබන්ධව ප්‍රේමදාස මහතාව දැනුවත් කරණ ලදී. රණ් වැට අදත් පවතින්නේ එනිසාය.

හිට්ලර් ගේ මහඟු ප්‍රකාශයක් වෙයි. මාගේ බ්ලොගයේ වම් පස මා එය දක්වා ඇත. "යමක් ඉටු කිරීමට පෙර දහසකින් වුව විමසන්න. එහෙත් කාර්‍යය පටන් ගත්පසු දසක් එයට එරෙහි වුවද නොනවතින්න!" එහි සැකවින් අදහසය.

කලකට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් හට රට නැවැත්වීමේ සිවිල් බලතල තිබුනි. ඒ මිසීලා හරහාය. හෙද සංගමයේ නියමුවා ලෙස ඔහු පාරට බැස්ස විට රෝහල් සියල්ල ඇන හිටී. දිනක් ප්‍රේමදාස මහතා ඔහුගේ පංසලට ගොඩවිය. තරමක් වේලා අල්ලාප සල්ලාපයේ යෙදී සිට

"හාමුදුරුවන්ට මොනවද තියෙන අඩු පාඩු එහෙම . . .? විමසීය.  

හාමුදුරුවන් ජනපතිට කිසියම් පාරිභූගික වස්තුවක නාම පදය කියා දක්වීය. ප්‍රේමදාස මහතා මොහොතකින් එය ලබා දීමට අදාල සමාගමට උපදෙස් දුන්නේය.  

ඉන් අනුතුරුව හාමුදුරුවන් වහන්සේගෙන්ද සුළු ඉල්ලීමක් කලේය.

"දැන් හාමුදුරුවූ මේ පංසලේ වැඩ ටික බලාකියා ගෙන ඉන්න. මම රටේ වැඩ ටික බලා ගන්නම්. කරුණා කරලා ඒවාට ඇඟිලි නොගහා ඉන්න බලන්න!" හාමුදුරුවන්ද ඒ ඔවදන අකුරටම පිලිපැද්දෝය.

දින කිහිපයකට පෙර මා වෙත ලබුණු වට්ස් අප්පණිවිඩයකින් දැක්වුනේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ප්‍රසිද්ධ වේදිකාවේ සිට ජනතාව අමතා කල ප්‍ර කාශයකි. සමහර විට එය මෙය කියවන ඔබට අළුත් දෙයක් නොවනවා ඇත. 1980 දී සිංගප්පූරුවේ ගුවන් සේවාවේ නියමුවන් වැඩි පඩි ඉල්ලා කල වැඩ වර්ජනයට ඔහු මුහුණ දුන් ආකාරය එහිදී ඔහු විස්තර කරයි.






"මම ඔවුනට තෝරාගන්න විකල්ප දෙකක් ලබා දුන්නා.එකක් නැවතත් වැඩට යන්න. නැත්නම් පරම්පරා ගනනකට මතක හිටින්න මගෙන් පාඩමක් ඉගෙන ගන්න! ඔවුන් ආපසු වැඩට යාමට තීරණය කලා. මන්ද ඔවුන් දැන සිටියා; ඔවුන් ඇතිව හෝ නැතිව මම ගුවන්සේවය නැවත අරඹන බව!"



1951 ජුලි 08 වන දින සිළුමිණ පුවත් පතට "කොළඹනගරයේ පාලනය හා නගර සභාව " යන මැයෙන් එවකට කොළඹ නගරික සභිකයෙකු ලෙස ලිපියක් ලියමින් ඔහු මෙසේ පවසයි. "මගෙ කොට්ඨාශයට අයත් ප්‍රදේශය තුළ වීදි විස්සක් ඇත්තේය. මේ වීදි විස්සේ ඡන්ද දායක සංඛ්‍යාව හයදහසක් පමණ ඇත. ඉදින් මේ වීදි විස්සේ අඩු පාඩුකම්ද, ඒවායේ පදිංචිව සිටින්නන්ගේ අපහසුකම්ද ඔවුන්ට ලැබිය යුතු සහනයද සොය බලා ක්‍රියා කිරීම පහසුවන්නේ ඒ ඒ වීදිය වෙනුවෙන් නියෝජිතයින් පත් කොට ඒ නියෝජිතයින්ගේ මාර්ගයෙන් ලබෙන තොරතුරු අනුව ක්‍රියා කිරීමෙන්ය යනු මගේ කල්පනාවයි" මේ ඔහුගේ පාලන ව්‍යූහය පිළිබඳ තිබුනු සිතුවිළිය.





කාගේවත් උපදෙස් නොපතා තනිවම නාන්න යෑම !


ප්‍රේමදාස මහතාට තිබෙන විශාලතම චෝදනා වන්නේ ඉන්දියාව වෙතින් එල්ටීටීයේකොන්ද කඩා දමනා තුරු බලා නොසිට ඉන්දියාව පලවා හැරීම හා එල්ටීටීය කෙරෙහි අපමන විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමය. 
මේ කටයුතු නිවැරදි පීල්ලට දමන්නට හැකි බුද්ධිමතුන්, පරිණත දේශපාලකයින් යූඇන්පිය තුල එවකට සිටියත් “උඹම ඇදගෙන නා ගනිං!” කියා පසෙකට වී ඔවුන් බලාසිටියා විනා ප්‍රේමදාසව නිවැරදි කරණ්නට කිසිවෙකු උත්සුක නොවීය. එසේම ප්‍රේමදාස මහතා තුල තිබුනු මුරණ්ඩු ගති ස්වභාවය නිසා කිසිවෙකු ඔහුට උපදෙස් ලබා දීමට නොයන්නටද ඇත.

රිචඩ් මුදලාලියි ගෙදර උදවියයි.


මේ කතාව ඇරඹි අඹ වත්ත ගැනත් යමක් පවසන්නම්. 
එය ඔහුගේ පියාවන ඒ රිචඩ් සිල්වා විසින් අඹන්පොල ප්‍රදේශයේ වැව් තාවුල්ලක සියඹලා ගසක් යට බොහෝ කලකට පෙර පැවැත්වූ ඉඩම් කච්චේරියකින්මිළදී ගත් බවක ප්‍රේමදාස මහතාම අඹන්පොල පැවති රැස්වීමකදී කී බවක් මා අසා ඇත. 
එහි කිසියම් සම්භාවිතාවක් පවතී. මන්ද සිල්වා මුදලාලිගේ මීගමුවේ පෙරියමුල්ලේ කඩේට යාබද කඩේ අයිතිව සිටි මනුවෙල් මුදලාලි අඹන්පොල ප්‍රදේශයේ දුම්කොල වවන ලද අයෙක් බව ඩීඇෆ් කාරියකරවන මහතා තම පියා ගැන සඳහන් කරමින් කියා සිටී.

මෙම ලිපිය අවසන් කිරීමට මා තෝරා ගත්තේ චින්තන ජයසේනයන් වරක් ඔහුගේ කොලම නම්වූ ටැබ්ලොයිඩ් පුවත් පතට ප්‍රේමදාස මහතා පිළිබඳව ලියන ලද ලිපියක තිබූ කොටසකින්ය. මෙය ලියන්නේ හුදෙක් මාගේ මතකයෙන් වන බැවින් සුළු වශයෙන් විය හැකි වෙනසක් වෙතොත් ඊට කමාව භාජනය කරණු ඇතැයි මා උදක්ම විශ්වාස කරමි.

"වල්ලට අත තබන්නට පෙර කුරුම්බාවේ රස කීමට දැන සිටි ප්‍රේමදාස; තමා වටේ සිටි දේශපාලන ඇට්ටි හා ගොං කළටි නිසා ආමර් වීදියේදී ගහ මුල වැටී මිය යාමට සිදුවිය"





ජිවිතයේ අවසන් ජවනිකාව රග දැක්වීම !

07/09/2018
“මගේ ලෝකය - My World” අප වෙත විදහන අපේ හිත මිතුරු  දීඝජන්තු කළණ  මල්ලී මෙම පෝස්ටුවේ අගට ආර් ප්රේමදාස මහතා ගැන රසාලිප්ත මතකයක් ආවර්ජනය කොට ඇත. එයද කියවා බලන්නට  අරණ සුහද ආරාධනයයි  මේ! මල්ලිගේ ශ්රේෂ්ඨ පිය තුමා ගැන  “මගේ ලෝකයේ” පලකල ලිපියක ලින්කුවද ඔහු අප වෙත දක්වා ඇත. එයද රසාලිප්ත ලිපියකි. “එළ !” මෙන්න  මෙගේ මුද්රාව . එයත් කියවා බලනු මැන !









23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...