Monday, October 14, 2019

151. කළු ගඟදිගේ . . . . . . 12

ඉහල නාරගල තියෙන්නේ නාරගලට ඉහලින්! පුදුමයි නේද?

ඉහල නාරගලින් ගොඩවූ අප ලොරි පොඩ්ඩා සමග බැල්ලපිටියට  පැමිණ එතැනින් කළුතරට පැමිණියෙමු.

පසුදින අප සියළු දෙනාහට රැකියා සඳහා පිටත් වන්නට තිබුනි. මේ නිසාම අපට තවත් දිනයක් මිඩංගු කිරීමට නොහැකිව තිබුණි. මටත් තෙශාටත් ඇනෝටත් නිවෙස් වල සිට කිලෝමීටර 25 ක 30ක දුරක සේවා ස්ථාන වලට යාමට තිබුනද පසිඳුහට රපෝර්තු කිරීමට තිබුනේ යාල ඔහු සේවය කල කඳවුරු බිමටය!

ඒ කළුතර සිට; ගෙඩි පිටින් කිලෝමීටර 175 ක් දුරිණ් පිහිටි ස්ථානයකය!

අහසින් යනවානම් මෙන්න පාර!

ඔහුට එදින රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට පසුදා උදැහැනැක්කේ එහි යාමටත් සේවය කිරීමටත් නියමිතව තිබුනි. එනිසාම ඔහුව කළුතරින් කතරගම බස් රියකට නැංවීමේ වගකීමක් මාවෙත තිබුනි.
 මෙනිසාම කළුතරට ගොස් ඔහුව බසයකට ඇරලවා මමත් තෙශාත් ඇනෝත් ලොරි පොඩ්ඩාගේ නැගී බණ්ඩාරගම හරහා කඩවතට පමිණියෙමු.

ඔනෑම කටයුත්තක් මග නතර කිරීම බත් මුට්ටිය ඇට්ටකුණා වීමට බොහෝ සෙයින් සමානය. සමහර වැඩ හා පුද්ගලයින් වළං කටු සේය! එනම් එයින් කිසිදා නැවත වළඳක් සෑදිය නොහැකිවනවා සේම කිසිදා පස් වන්නේද නැත!

අපගේ කළු ගඟ චාරිකාව නිමකලේ;එකිනෙකාට සමුදුන්නේ  ඉදිරි සති කිහිපය තුල නැවත ඉහල නාරගලින් ගමන් අරඹා කළුතරට පා තබා අපගේ චාරිකාවට පරිපූර්ණ අවසානයක් ලබා දීමටය.

 දින සති ගෙවීගියේ කිසිදු අස්වැසිල්ලකට ඉඩ නොතබාය.
වැසි වැස්සේය!
තෙශාට රැකියාවට අමතරව ඉගෙනීමේ කටයුතු හරස් විය!!
මාගේ රැකියාව තුල නිවාඩු යනු නිකිණිය!!!
අප සියල්ලන් හටම හැකිවූ දිනයක් වෙතොත් පසිඳු හට එදින ඔරු පදිනවා තබා බාල්දියෙන් නා ගැනීමට වත් නිවාඩුවක් නොමැති විය!!!!

මේ සමගම අප්‍රේල් 21 වන දින බෝම්බ පිපිරී ගියේය!

2019 මාර්තු 16 රත්නපුරෙන් දියට බට අප මාර්තු 17 නාරගලින් ගොඩට පමිණියෙමු. එතන් පටන් ඉතිරි කිලෝමීටර 20ක 30ක දුර ගමන් කිරීමට ගතවූ කලක් නම්.

මේ සියල්ල සමගින් ගමන මාස ගනනාවක් ඇදිනි.

කළු ගඟේ ගමන් චාරිකාව ගැන සිත් තුල මුල් බිජුවට වැපුරුණුදා; අප සිව්දෙනා අතර සංනිවේදනය සඳහා සැකසුනු "River Expedition" වට්ස් අප් ජාලයට පණිවිඩයක් මුදාහරිමින්; ජුනි මස 18 වන දින අනෝපිලිස් පවසා සිටියේ "2019ජුලි මස 14 වෙනි ඉරිදා කලු ගඟ කයක් සවාරියේ ඉතිරි කොටස දියත් කිරීම සඳහා සූදානම් වන්න" කියාය!

මම එයට ඌණ පූර්ණයක් එක්කලේ මෙලෙසිනි.



පසිඳු පලමුවෙන්ම මට හමුවන්නේ"Lakdhasun"  ෆෝරම් එකෙන් සංවිධානය කල; හැමිල්ටන් ඇල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකදී. එදා මම පසිඳුගේ දූරකථන අංකය ගබඩා කර ගත්තේ "Lakdhasun" කියලා. ඒ මීට අවුරුදු 8 කට විතර ඉස්සෙල්ලා මං හිතන්නේ. ඒත් තාම දූරකථන ගබඩාවේ පසිඳුගේ අංකය තියෙන්නේ එහෙමමයි!


ඊට පිළිතුරුලෙස පසිඳු ඔහුට එදින සහභාගී වීමට ඇති නොහැකියාව පවසා ජුලි මස 7 වන දින පවසා සිටියේ ජුලි 14 වනදින ඔහුට නොහැකි බවය.


ජුලි16 වෙනි පෝය දින තෙශාන්ත විසින් යෝජනා කර තිබුනු අතර ඒය ඇනෝ විසින් ස්ථිර කර තිබුනත් එයට පිළිතුරු ලෙස මා පැවසූවේ වැඩේ අගෝස්තු 11 වනදිනට කල තැබීමටය.
වැඩේ එයින් මෙයින් කල්  ගිහිං ගිහිං අගෝස්තු 11 ට යන්නට පිඹුරුපත් සැකසුනි.


අනපේක්ශිත ළෙස ඇනොට උන වැළඳී තිබුනි.

එයට ඇනෝගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොලද්ද අතර ජුලි 29 වෙනිදින ඔහු පවසා සිටියේ "මට සහලෝල උණ!' කියාය. එසේම තවම උණ බැස නොමැති අතර ඉන් ඉක්බිති සති දෙකක් වත් විවේකීව සිටිය යුතු බවය!

වැඩේ හැමදා වගේම අවුල් වී ඇත!



2018 නොවැම්බර් 16 වෙනි දින එනම් හරියටම ඊට මාස  අටකට පමන පෙර මාගේ බ්ලොගයේ දකුනු පස ඉහල කෙලවරේ ඇති "යොමුව" තුලින් මා ලද ඉල්ලීමක් විය.එය සැකවින් මෙසේය:

"ඔබ නැවත බෝට්ටු චාරිකාවක යෙදෙනවාද? එයට අපටද එකතු විය හැකිද?
මගේ දූරකථන අංකය:.................. මගේ ඊ ලිපිනය.................... 
මීට සුදාරක! "

සුදාරක යනු මගේ හිතේ පැලපදියම් වුනු චරිත නාමයකි. ඒ; ජී බී සේනානායකගේ රසාලිප්ත නවකතාවක් වන "වරදත්ත" නවකතාවේ එන චරිතයකි.

 අපගේ බ්ලොග් ලෝකයේ හා ඉන් පරි භාහිරව සැරිසරන අනේක විදි "අයියලා"ගැන මාහට යම්තාක් දුරට අදහසක් තිබුනු බැවින් සුදාරක "රොබෝවකු" නොවන බව තහවුරු කර ගැනීමට; මා මගේ අනන්‍යතාවය හෙළිනොකර ඔහුගේ කරුණු විමසූවෙමි. ඒ සඳහා මා යොදාගත්තේ කාර්යාලයේ ස්ථාවර දුරකථනයයි. සුදාරක ඔහු පදිංචිව ඉන්නා ස්ථානය හැරෙණ්නට වෙන කිසිදු තොරතුරක් ලබා දීමට අකමැතිවිය. එවිට මා මාගේ අනන්‍යතාවය හෙලිකොට දූරකථනය විසන්ධි කර දැමුවෙමි.

සුදාරක දෙතුන් විටක් මා ඇමතීමට උත්සාහ කලද එය මාගේ ස්ථාවර දූරකථන අංකය බැවින් මා එයට නතු නොවීමි.

මෙම සිදුවූ සිදුවීමට හදවතින් මට කුනු බැනුම්ය! මා අනවශ්‍ය තරම් "ස්මාට්" වීමට ගියා වත්ද? කම්ක් නෑ මම තව දවසකින් දෙකකින් කතා කරණ්නම්. මා හදවතට පොරොණ්දු උනෙමි!


හිතවත් කමෙන් ඔතා බෙහෙත් දෙන තැනක්!

ඔබට මතකද මේ රූප රාමුව? "සයිකලයෙන් තල් අරණට 1" පටන් ගන්නෙම  මෙම රූප රාමුවෙන්. මේ ෆාමසියට අධිගෘහිත දේවතාවා තමයි සුසන්ත !

සුදාරකව ඇමතූ දිනට හරියටම දිනකට පමණ පසු දිනෙක මාහට "පුරසඳ ෆාමසියේ" සුසන්ත ගෙන් ඇමතුමක් ලදිමි. 
"අයියෙ ඔයාට කතා කරණ්න ඕනෑ කියලා එක්කෙනෙක් මොබයිල් එකේ නොම්මරේ ඇහුවා මම දෙන්නද?"
තල් අරණ තෙක් මා සමග සයිකල් පැදපු ගමන් සගයෙකු වූ නිශාන්ත නම් අතිශයින් ප්‍රයෝජනවත් මිත්‍රයා මාහට සපයා දීමේ ගෞරවය හිමිවිය යුතුවන්නේද සුසන්තටම වන බැවින් මා දෙවරක් නොසිතුවෙමි.

"අවුලක් නෑ දෙන්න මල්ලි!" මම කීවෙමි.

අනේ අපරාදෙ කියන්න බෑ විනාඩි ගනනක් යන්නට ඇත. මගේ ජංගමයට නන්නාදුනනා අංකයකින් ඇමතුමක් ගලුවේය.

"අයියෙ මම සුදාරක! . . . . . ." (අප්පට සිරි!)

කතාව නිම වූයේ ඊළඟ කයාක් සංචාරයට ඔහුව එක් කර ගැනී මේ පොරොන්දුව ඔහු මත මා තබමිනි!

මේ වන විට ඇනෝගේ උන ගැනීම අපේ ගමනට ඇන ගැනීමක් වී අවසානය! පසිඳුගේ දකුණු අප්‍රිකානු ගමන කරණ කොට ගෙන මෙම ගමන ඇනෝගේ උන බසින තුරු කල් දැමීමටද නොහැක!

පසිඳුහට FGASA (The Field Guides Association of Southern Africa)  පාඨමාලාව සඳහා පිටව යන්නට ඇත්තේ සැත්තැම්බරයේය! එයද සැලකිල්ලට ගත යුතුය. එසේම වැසි නැති දිනයක් වියයුතුය. දැඩි ඉඩෝරයද ගමනට බාධා පමුණුවයි.

මට එකවර සුදාරක මතක් විය! මම ඔහුට ඇමතුමක් ගතිමි.

සුදාරක එකෙන්ම වැඩේට ගැලපී ගියේය. ඒ මොහොතේ උවද ඇඳං සිටි ඇඳුම පිටින් හෝ ගමනට ඔහු එකඟය! එළය!
කිසිදා ඇහැට දැක නැති එකෙක් සමග කයාක් සංචාරයකට යෙදෙන පලමු අවස්ථාව මෙය නොවේ. මහවැළියේ "ගඟක් දිගේ"  ගමනට මෛත්‍රීව සහභාගී කරගත්තේද එලෙසමය! 

ඇනෝගේ සිත නොරිද්දාම මා සුදාරක පිළිබඳව; වට්ස් අප් ජාලය හරහා ඔහුට හා අනෙක් දෙදෙනා හට දැනුම් දුන්නෙමි.



එදින රාත්‍රියේ අප දූරකථන සම්මන්තරණයක යෙදුනෙමු. ඔහුව හැකි උපරිමයෙන් අප් දැනුවත් කලෙමු. 

අපගේ සියළු බලා පොරොත්තු සුන් කරලමින් මහ වැසි පටන් ගැනුනි. මේ වැසි රත්නපුරයට ඇතුළු කළු ගඟේ ඉහත්තාවට, ජල පෝෂක ප්‍රදේශ වලට හෝ ගංගා ධාරයට  කඩා වැටුන හොත් අප හට කයාක පදින්න වන්නේ සංචාරයට නොව ආධාර බෙදීමටය.


ගමනේ මුල සිටම කළු ගඟ මා සිත් ගත් එකක් නොවීය! එනිසාම මා කිසිවෙකුට යන්න කියන්නේද නැත! එනිසාම වැසි වැටීමෙන් එම හැඟීම තවත් උද්දීපනය වීමට ඉඩකඩක් ඇත. එසේම කලු ගඟේ නොගැඹුරු තැනක් හමු නොවීය. එනිසාම වැසි සමග එය වඩාත් ගැඹුරු විය හැක.
සත්තකින්ම යත්‍රාවක් තුල සිටිනා අයෙකු ගැඹුර ගැන කලබල විය යුතු නැත. මන්ද එය පාවෙන්නේ මතු පිට බැවිනි. එහෙත් අධික ගැඹුරක් පවතින ස්ථාන හරහා පැදයාමේදී සිතට දැනෙන බිය කිසිදු තර්කයකින් අස්වසාලිය නොහැක. 
කෙතරම් ශක්තිමත්ව නිර්මාණයකල; විශාල උසකින් සමන්විත ගොඩනැගිල්ලක සිට පහත් බැලූ විට සිතට දැනෙන බියට එය සමානය. 
මේ කාරණා නිසාම වැස්ස විසින් මගේ උප විඥ්ඥානය මත ඇති කල ප්‍රථිරෝධය සෙසු පටු නැත!


වැසි නිසාම අගෝස්තු 11 ගමනට මගේ සිත තුල තරමක ප්‍රථිරෝධයක් පැවතුනි. එනිසා අගෝස්තු 10 වනදින දහවල් වනතුරුද පසුදින ගමන පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට අපට නොහැකිවී තිබුනි! ඒවන විටත් පසිඳු යාලින් පිටත් වී කොළඹ බලා පැමිනෙමින් විය.ඒ පසුදින යාත්‍රා කිරීමටය. හෙට දින යාමට නියමිතව තිබෙන ගමන; අද දිනය තුලදී අවලංගු කිරීමේදී සැළකිය යුතුව තිබුණු එකම කරුණ වන්නේ පසිඳුගේ කාලය, මහන්සිය හා මග වියදම පමණි.


අප දෙපසට වැනෙමින් "මස් කනවද? මාළු කනවද??" කියමින් දෙපැත්තට අදිමින් සිටිනා විටදී මගේ වැඩපොලට පසිඳු කඩා වැදුනි. 

"දැන් හෙට යනවද?" මම දෙපැත්තටම නැති ගන්ධබ්බ ප්‍රශනයක් ඇසුවෙමි.

"නැතුව!? යනවා! යනවා!!" 

මට තවදුරටත් ගමන ගැන හිතන්නට දෙයක් නොමැත. හිතන්නට ඉඩ කඩක්ද නොමැත. 

සීතාවක රාජසිංහයන් කල සිටි අරිඨ්ට කී වෙන්ඩු "රාජා හෝ මා හෝ ගංගාවෝ" කීවාසේ; මමද "කයාකයෝ පසිඳුවෝ ගංගාවෝ" කියා සිතාගෙන මගේ අළුත්ම අදහස මෙන්ම යෝජනාව ජාලයට එක් කලෙමි.

මැරෙණ්න එකෙන්ම!

සුදාරක මා ඇමතීමි! මම පසුදින ගමන යන බව අවධාරණය කලෙමි. ඒ ගමන්ම තව පුංචි පහේ ඉල්ලීමක්ද කලෙමි!

"කොල්ලො එවපංකො උඹේ පොඩි පිංතූරයක් උඹ කොයි වගේද කියලා දැක බලා ගන්න"

හොර බළල් මූණත් තහඩුව!

මා ඇනෝව අමතා පසුදින අප නව ගමන් සගයෙකු සමග ගමන් අරඹන බව හෙමි හිමීට කියා දැමුවෙමි. 

"අනෙ අයියේ ලොකු දෙයක්! මට ඔයාට කියා ගන්න බැරිව හිටියේ වෙන එකෙක් දාගෙන යන්න කියලා!"

මදුරුවෙකුගේ සමු ගැනීම!

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට 

මියෙන්නට පෙර දිනෙක 
එතෙක් හද; ඉවසන්න

විඳින අපමණ දුක් ගැහැට












Monday, October 7, 2019

150. කළු ගඟදිගේ . . . . . . 11

ඉංගිරිය, හල්වතුර - හෑගල් ඔය මාර්ගයේ ඇති පාලම

ඇල්ලෙන් නික්මීම සමගම ගඟ අවතිර්ණ වන්නේ කුඹුක් ගස් වලින් තරමක් ආවරණය වූ පෙදෙසකට.

 "කුඹුක්" කියා ලිව්වේ මතකයෙනි!

ගඟ මීටර 50-100 ක් ගලන්නේ ගලින් කල කාණුවක් දිගේ. ඉවුර ලෙස දෙපසම ඇත්තේ තනිකරම  ගල්. ගල් කීවාට පටන් ගත් තැනක් - අවසන් වූ තැනක හොයා ගැනිමට හිස දෙපසට හරවන්නට වන තරම් පර්වත.

ඒ අසලම මිනිසුන් දෙදෙනෙක් පමණ හිටි බව මතකයි.
ඇත්තටම ඔවුන් එහි රැඳුනේ කුමක් සඳහාද කියා සිතා ගැනිමට අපහසුයි දැන් සිතන විටදී වත්!?
මමමෙහෙම කියන්නේ ඔවුන් තුල කිසියම් ආගන්තුක බවක් තිබුණු බව නම් මට හොඳටම මතක බැවින්! ඔවුන් මාළු අල්ලන්නන් නම් නොවෙයි.

සමහර විට ඔවුන් පැමිණියේ; ඇල්ලෙන් අප විඳින දඬුවම හොඳින් බලා ගන්නට විය හැක. ඔවුන් සරම් හා කමිස ඇඳ සිටි බව මතකය.
 එසේම එම ඇඳුම් කිසියම් බැහැරක යෑමට සුදුසු ප්‍රසස්ථ බවකින් යුක්ත වූ බව මාහට තේරුම් ගියේය. එතරම් ජේත්තුවට හැඩවී පාලමක් පල්ලේ ඉවුරක බැරි අමාරුවෙන් ඉන්නේ කුමකටද? සොයන්නේ මොනවාද?

ඇල්ලෙන්; අවුලකින් තොරව අප යාත්‍රා කිරීමේ සතුට තියෙන්නේ ඇනෝ නිසා විය.

ඇනෝ සිටි හෙයින් අප වඩාත් අරපරිස්ස්මෙන්, සැකසුරුවමින් යුතුව කයාකයන් හැසිරවූ නිසා පෙරලීයාමට තිබූ වාසනාව අප වෙතින් ගිලිහී ගියේය.

  කයාකය පෙරළීයාම හෝ අවසාන මොහොත වන තුරු ජල කඳ සමග සටන් කිරීමට වීම තරම් සතුටක් වින්දනයක් කයාක පැදිමේදී තවත් නැත.

මෙයට පහදාලීමට මා දිය යුතු උදාහරණය කුමක්ද?

"ට්‍රේල්" බයිසිකලයකින් මහ පාරක ගමන් කරණවා වැනි තත්වයකි.
සාමාන්‍යයෙන් කයාක මෙවන් රැපිඩයක් තරණයෙදී එය පෙරළී නොයා පදවාගෙන යෑම දක්ෂ තාවයකි.
 එය සතුට දනවන කටයුත්තකි.
"හොඳම දේ විවාහ නොවී සිටීම! ඊළඟට හොඳම දේ විවාහ වීම" සේ පෙරළී යෑමට ඉඩ නොතබා කයාකය පැදයාම සතුට දනවන දෙයක් වනවා සේම ඊළඟට වඩාත්ම සතුට දනවන දේ වන්නේ කයාකය පෙරළී යාමය!

ඇල්ල පසු කොට පැමිණීමේදී අපට හමුවූ වැලි ගොඩ දමන්නන්, ඉල්ලම් හෝදන්නන්, පතල් කණින්නන්  අතර සිටියවුන්ගෙන් බොහෝ දෙනා අපෙන් විමසූ පොදු විමසීම් කීපයක් විය!

"ඇල්ලෙන් කොහොමද ආවේ?"

"යට ගැහුවේ නැද්ද???"


රැපිඩයක් සාර්ථකව පසු කල පසු කණ්ඩායම එක් තැනකට නො එසේනම් එක් පොදියකට කයාක සියල්ල එක් කොට හබල් එකිනෙක ගැටීම සිරිතකි. එය බොන්නට පෙර චියර්ස් කියනවා වාගේමය.

අප එකිනෙකා අත වූ හබල් එකට වද්දා ගමනට නැවත එක් වුනෙමු.

ගංගාව මේ වන විට තම නමට ගැලපෙන වේශයකට අවතීර්ණ වී සිටියාය.
 එය තරමක පලලකින් යුතු වපසරියක් තුල තම අණසක පතුරුවාය.
එසේ වඩාත් වැඩි පලලක් ගත් ස්ථාන යන් හීදී ගංගාව විලක ස්වරූපයක් ගත්තේය. එම ස්ථාන සිසාරා ගමන් කිරීමේදී වඩාත් වැඩි වෙහෙසකින් මහන්සියකින් යුතුව පැදීමට සිදු විය. ගංගාව ජන ශූන්‍ය පෙදෙස් හරහා ගමන් කලේය.

අප කෙමෙන් කෙමෙන් පහලට බසිත්ම ගඟ හරහා ගමන් කල නිල් පැහැ ගත් අඟුලක් දක්නට ලබීය.
 මුළුමණින්ම කෘථිමව හෙවත් ෆයිබර් වලින් නිපදවා තිබූ අඟුලේ යකඩින් සාදන ලද ඇඳි දෙකක්ද විය. අප කෙමෙන් කෙමෙන් ගඟේ වම් පස වූ තොටු පොලේදී අඟුල පදවන ලද  අඟුල හමුවිය.
එය කළු ගඟේ ඓයිතිහාසික දුම්බර තොටුපොලයි.


ඔහුගේ නම නිමල් මෙන් මා හට මතකය! තොටු පොලෙහි ජල මට්ටම තුල නොපෙනී යන විසල් ගල් කුට්ටි මගින් සීමා වූ ගල් ඇල්ලූ පටු මගකි.
මීට අඩ සිය වසකට පමන පෙර මෙම ස්ථානය ඉතා සාර්ථක ප්‍රවාහන මධ්‍යයස්ථානයක්ව තිබුණු බවක් පැවසේ.
 ඒ අසල පිහිටි මිණිරන් පතලෙන් උඩට ඇදෙන මිණිරන් කොළඹ බලා යැවුනේ මෙම තොටුපල හරහා කලු ගඟ ඔස්සේ බව කියැවේ. 

සමහර රට වල මෙසේ අභාවයට කිය කර්මාන්තයක සංස්කෘථිය අද පරපුරට බලා ගන්නට හකි අන්දමට පවත්වාගෙන යනු ලබයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි බෙලරාත් ප්‍රදෙශයද එවන් ප්‍රදර්ශන මධ්‍යස්ථානයකි. 
මීට වසර ගනනාවකට පෙර පැවති නගරය සියැසින් දැක ගැනීමේ අවස්ථාව සංචාරකයන්ට හිමිවේ. 

ඔය ලියලාම තියෙන්නේ!

මේ පාර පනින්නේද ප්‍රදර්ශන භාණ්ඩයක්ම තමයි.

 1850 ගනන් වල මෙම පලාතේ භාවිතා කල ඇඳුම් පැළඳුම්, කොන්ඩා විළාසිතාවන් වලින් සැරසුනු මෙවන් කාන්තාවන් හා පිරිමින්; නරඹන්නන් අතරින් එහා මෙහා ගමන් කරණු නිරණ්තරයෙන් දක්නට ලැබේ. විටෙක මාර්ගය ඔස්සේ ගමන් කරණ්නේ අශ්ව කරත්තයකි!

ප්‍රථි නිර්මිත බෙලරාත් නගරය!

මාවනැල්ල අසල සර්දියෙල් ගම, අපේ ගම වැනි ස්ථාන කිහිපයක් ඇති වූවාට මෙම මිනිරණ් කර්මාන්තය හා බැඳුනු උප සංස්කෘථිය සුවිශෙෂී ප්‍රදර්ශන භාන්ඩයක් වනු ඇත.

කලකට පෙර මෙරට ප්‍රේක්ෂකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ "බෝගල සවුන්දිරිස්" ටෙලි කථාව  තුල චිත්‍රණය වූයේ මෙම උප සංස්කෘථියයි.

තොටුපොල කරා බඩු බාහිරාදිය ගෙන ආ මාර්ගය පමනක් සිහිවටනයක් ලෙස ඉතිරිවී ඇත.
 අප එම ස්ථානයෙ නැවතී ස්වල්ප වේලාවක් සිටියෙමු. තෙශාන්ත විසින් ගොඩ බිමට ගොස් බීමට ඇවැසි ජලය රැගෙන ආවේය. තවත් ස්වල්පවේලාවකින් අප නැවත ගමන් අරඹූයෙමු.

ගමේ බඩු ! - පිරිසිදු ජලය


දුම්බර දුම්

කොතැන උනත් නැත නින්දට බාධා !

ඉංගිරිය, හල්වතුර - හෑගල් ඔය මාර්ගයේ ඇති පාලම  අසලට එන අතරමග අප නැවතුනේ එක් ස්ථානයකදී පමණි.
ඒ ගඟේ දකුණු ඉවුරේ වූ රමණීය ගල් තලාවක් මතය.
එම ගල් තලාව හුදෙකලා එකක් නොවීය.
 පරිවාර ගල් කිහිපයකින් සෑදුනු ගල් දිවයිනක් නො එසේ නම් සංකීර්ණයක් සේ දිස් විය.

එම ස්තානයේ සුවදායක පරිසරයේ මිහිර අප කිසිවෙකුටත් වඩා ඇනෝ විඳිනු දැකිය හැකි විය. ඔහුට එම ගල් තලාව සුව යහනක් විය. ඇනෝගේ නින්දට කුඩා ඉඩක් වෙන්කල අප එතනින් නික්මෙන විට දවල් ආහාරය සිරුරු අපෙන් ඉල්ලමින් විය.

 පාලම පසු කරණ විට දැඩි හිරු රැසින් සිරුර දැවෙමින් විය. වෙනදා මෙන්ම ගඟේ ඇල් දියෙන් දෑත් හා දෙපා දොවා ගන්නවා විනා වෙන කල හැකි හා කල යුතු වෙනත් කිසිවක් නොවීය.

අප පිළිගැනීමට නිර්මිත තොරණක් !

සයිකල් පැදීමේදී කිලෝමීටර් කනු, මං සල්, කඩ මණ්ඩි; විශේෂයෙන්  මාර්ග සංවර්ධන අධිකාරියෙන් නගර සීමාවේ සවිකොට ඇති කොල පැහැති; නගර නාම පුවරු දැකීමේදී සිතට දැනෙන සතුට සැහැල්ලුව යම්සේද එවන්ම වූ සතුටක්; කයාකින් පැදීමේදී පාලම් දැකීමේදී සිතට දැනෙන්නේ නිරායාසයෙනි!

තවත් කිලෝමීටරයක් පමණ දුරක් අප ගඟ දිගේ පහලට බසිත්ම කුඩා වැලි තොටුපොලක පිරිමින් හා හරි හරියට වැලි ගොඩට අදින කාන්තා රූප දෙකක් අපේ කාචයේ සටහන් කර ගැනීමට සමත් විමු. 
ඒ මා ඔවුන් අසලට කයාකය හරවා ගෙන ගොස් ඡායා රූපයක් ගන්නට අවසර ගෙන ලබා ගත් එකකි. වැළි තොටුපොලේ සිටි සියල්ලෝම ඊට අවසරය ලබාදී  හා ඇයගෙන් ඉල්ලීම කලද ඇය ඊට දැක්වූයේ වස කුලෑටි කමකි. 
එබැවින් අපට සාර්ථක ඡායා රූපයක් ගැනීමට තිබුණු අවස්ථාව මග ඇරී ගියේය.




හිරු මුදුන් වී ආපසු ගමට යන්නට පටන් ගෙන තිබුණි. අප ගං ඉවුරකට සේන්දු උනෙමු. ආසාවට ගහක් තබා හෙවනකට වතුපාළු වැලක් වත්  එම ස්ථානයේ නොවීය.
 තෙශාන්ත හා පසිඳු සිරිත් පරිදි දිවා ආහාරය සපයා දීමට ඉවුරේ කපොල්ලක් තුලින් නොපෙනී ගියේය.
 ඒ වන විට මාගේ හිස තදින් රිදුම් දෙන්නට පටන් ගෙන තිබුණි. 
මා බොහෝ විට බියපත් වන තර්ජනය මෙම හිසේ රුදාවය. 
සැමදා එය; මා බිම හෙලන්නට සමත් පෙළීමකි!  

මේ සියල්ල අතර ඇනෝ ගං දියේ ගිලෙමින් සිත්සේ නා ගනු මා දුටුවෙමි. 
ජීවිතාරක්ෂක කෑනය ලබාදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කර ගත් මා ඔහු නෑම අවසන් කරණා තුරු ඒ අසල නවතා තිබූ වැලි ගොඩ දමන ෆයිබර් බෝට්ටුවේ බඳින් සැකසුණු කුඩා සෙවනැල්ල තුල හිස තබා ගෙන බිම වැතිරී සිටියෙමි. 

දෙනෙත් තෙත් වන තරම් අමාරුවකින් සිටි මා හිස එසවූයේ ඇනෝ නෑම අවසන් කොට ගොඩට පැමිණීමත් සමගය. 
ඇනෝ මා ඔහු අසල බිම වාඩිකරවා හිසේහි දෙපස ඇති නිල නැතහොත් පීඩන ස්ථානයන් තෙරපමින් නිල වෙදකම්ක් කලේය. 
එය එම අවස්ථාවේදී මිළ කල නොහැකි අස්වැසිල්ලක් විය.




දිවා ආහාරය අසල වැලි බෝට්ටුවේ තට්ටුව හෙවත් ඩෙක් එක මත දිග ඇර ගත් අප තවත් ටික වේලාවකින් ගමනට පිටත් විය.
දිනය අතිශයින් උනුසුම්  වාතාවරණයක් සියල් කල්හිම අපවටා ගොඩනගමින් විය. 
අප දිවා ආහාරය ගෙන එතනින් පිටත් වී නොබෝ වේලාවකින් හාත් පස පවති කාළගුණික තත්වයේ කැපී පෙනෙන වෙනසකට මුල පුරණ්නට විය.

එතෙක් අප දවාලූ චන්ඩ හිරු රැස් වළාකුල් තුල සැඟව ගියේය. 
තවත් ටික වේලාවකින් වැහි බීරිමකින් අහස බර විය.
 දහවල් 3ට පමන වන්නට ඇතැයි සිතේ. 

එක් වරම මහා වරුසාවක් කඩා වැටෙන්නට විය. වැහි බිඳු සිරුර මත යකඩ බෝල පොලා පනින්නා සේ දැනුනි. මහ වැස්ස නොතකා අප තවත්; තව තවත් පැදගෙන ගියෙමු. 

මාගේ හිස පුපුරණ්නට තරම් වේදනා දෙමින්ය.

 ඒ වන විටත් මා පැදවූයේ බරසාර ෆයිබර් ට්‍රයෑකයය. "මචං! ඉන්න බෑ ඔළුව පුපුරන්න වගේ අමාරුයි!" හැම මොහොතකම මගේ මුවින් පිටවුනු ශෝකාලාපයයි. මෙය අසා ඉන්නට බැරිම තැනදෝ; කයාක දෙක මාරු කිරීමට පසිඳුත් තෙශාන්තත් මා හට යෝජනා කලෝය. ඔවුන් පදින ලද LDPP - කයාකය පැදීම වඩාත් පහසු කටයුත්තක් විය. තවත් ටික දුරක් පැදගිය මා; ඔවුන්ගේ කීමට අවනත විය. 

මහවැළි ගඟේ, කැළණි ගඟේ මෙන් සිතෙන පරක්කුවෙන් ගොඩ බිමට බැසිය හැකි තැන් කළු ගඟේ නොවීය. මන්ද ගං ඉවුරට ඉතාමත් ඉතාමත්ම ආසන්නයේ වුවද අපේ උස පොවන්නේ නති තරම් ගැඹුරකින් යුක්ත විය!මෙය අතිශයෝක්තියක් නොවේ. බොහෝ තැන් වල පතුල රොන් මඩ හෝ ඉල්ලං ගල් වලින් පිරී ගොස් තිබුණි. මේ සියල්ල මිනිස් ක්‍රියා කාරකම් වල අනිසි පල විපාකයන්ය!

මහ වැස්සේම වම් පස ඉවුරට අපසේන්දු විය. කයාකය ඉවුරටම ලංකර ඉදිරියේ සිටිනා අය ඉවුරේ කිසියම් ගහක් වැලක් හෝ වෙනයම් ස්ථාවර වස්තුවක් අල්ලාගෙන ගොඩ බිමට පැනිය යුතු වේ. 
මන්ද ඉවුර අසල ගැඹුර නිශ්චය කර ගත නොහැකි නිසාය. 

ඉවුරට බට ඇනෝ "තව පොඩ්ඩෙන් . . .!" යැයි කීවේය. 

කයාකය ගොඩ බිම සිට; ඇනෝ විසින් අල්ලාගත් පසුව මමද ඉවුරට පැන ගත්තේය. 

"අම්මට සිරි!' මටද කියැවුණි.

ඉවුරට අඩි එකහමාරක පමණ සමීපයේ  හාරණ ලද අඩි 4 X 4 පමණ අත හැර දැමුණු පතලකි. 
පුවක් ගස් මගින් ඉවුර කඩා වැටීම නවතා තිබුණු මෙම පතලේ කට මට්ටමට ජලය පිරිලාය. 
අත හැර දමා තිබුණු එහි වතුර කොලම කොල පැහැය ගෙන තිබුණි. සත්තකින්ම එය  මර උගුලකි.
 පසිඳු හා තෙශාන්ත පරිස්සමින් ගොඩ බෑ පසු; .මා තන බිස්සේ මදක් වැතිරුණෙමි.එය කිසිසේත්ම සුවයහනක් නොවුණි. එහෙත් මාගේ හිසේ රුදාව විසින් මා කපා හෙලූ ගසක තත්වයට පත්කොට අවසානය.

එක වරම ඇද හැලුණු ධාරානිපාතය සමග දසත් ගිගුරුම් දෙමින් හෙන පුපුරණ්නට විය. මෙවන් එළිමහනක සිටින අප හෙන සැරයකට ඉලක්ක වීමට ඇති ඉඩ කඩ අති මහත්ය. නිඹඳවම පුපුරා හැලෙන විදුලි කෙටීම් වලින් අඳුර විටෙන් විට කපා දැමුණි.


මා තරමක වේලාවක් දෑස් පියාගෙන සිටියෙමි. 
ඔර්ලෝසු වේලාව ගැන කිසිදු හැඟීමක් අප කිසිවෙකුට තිබුනාදැයි මාහට නොසිතේ. එහෙත් හාත්පස කරුවල වැටෙන්නට පටන් ගෙනය. ඒ දිනය මහළු වීම අතික්‍රමණය කල වැහි වළාකුළු හා වැස්සය. 

කිසිවෙකු මා හට බාධා නොකලේය. එහෙත් අප ඉක්මණින් පිටත්ව යා යුතුය. අපගේ ගමනාන්තය වන කළුතරට තවත් කිලෝමීටර 30 ක් පමන ඉතිරිව ඇති බව සිතියම කියා පෑවේය. කළුතරටම යන්නේ නම් තවත් පැය 8 ක් පමණ ගත වෙනු ඇත. 
ගඟ බොහෝ සෙයින් නිසලව ඇත. කළුතරටම ඇත්තේ පැදීමක්මය! එය අතිශයින් වෙහෙසකාරී ක්‍රියාවකි.  

මෙම ගඟේ බිම පය ගැටුණු තැනක් නොමැත. එතරම්ම ගැඹුරකින් යුක්තය. එනිසාම රාත්‍රී කාලයේ සංචාරයට සුදුසු මෙම ගඟ නම් නොවේමය. 
අප තීරණයක් ගත යුතුව ඇත. ගඟ  ගලන්නේ ජන ශූන්‍ය පරිසරයක් තුලින්ය. ගඟෙන් අත් මිදෙන්නට නම් පාලමක් හමුවිය යුතුම විය. 

"මචං! මං හිතන්නේ අපි ඉක්මණින්ම ඊළඟ පාලම ලඟින් ගොඩට යන්න ඕන කියලා! අපි භාරයක් ඔප්පු කරණ්න වගේ පැදලා වැඩක් නෑ!!  මේ ගඟත් කිසිම ශුවර් එකක් තියන්න පුළුවන් එකක් නෙවෙයි ගැඹුරත් එක්ක! මොකද උඹලා කියන්නේ!?"

"............................................................................................"

සියළු දෙනාම මාගේ අදහස සමග එක් විය. 

"එහෙනං ඉක්මන් කරලා යමු. වෙලාවක් නෑ!"

"අයියේ ඔයා මේක පදින්න!"

 පසිඳු ඔවුන් එතෙක් පැද ආ කයාකය මා වෙත ප්‍රදානය කලේය. තෙශාත් එය අනුමත් කලේය. මමද එය අකමැත්තෙන් වුවද භාර ගතිමි.  

නැවත අප දියට බටහ! එතැන් සිට ගසන් ගසන හබල් පහරක් සමගම ටිකින් ටික අඳුර අප වෙතට පැමිනෙමින් විය. නොපෙනෙන අරමුණක් හමුවන තෙක් අප වෙහෙස නොබලා හබල් ගසන්නට ගැසීමු. 

තවත් ටික වේලාවකින් වැස්ස තරමක් තුරල් විය. ඊට සමගාමීව වැසි බර වළාකුළු තරමක් ඈත් මෑත්ව අපේ ගමනට සුළු සහ යෝගයක් දක්වමින් විය. කිලෝ මීටර 4 ක පම ණ දුරක් හබල් ගැසූ පසු ඈතින් කුඩා පාලමක් දිස් වන්නට විය. අප සීරුවෙන් එතැනට සේන්දු විය. 


ගොඩ බෑ සතුට !

අප සිටින්නේ කොහිද?
ගූගල් සිතියම උප කාරයෙන් අප සිටින ඉසව්ව සොයා ගත්තෙමු. එය ඉහළ නාරගල පාලමය. අපේ ලොරි පොඩ්ඩා සිටින්නේ කළුතරය. කළුතරට යන්නට නම් අප මෙම ස්ථානයෙන් බැල්ලපිටිය හංදියට ගොස් එතැනින් බසයක නැගිය යුතුය.

මමත් තෙශාන්තත් ලහිලහියේ ඇඳුම් මාරු කර ගත්තෙමු. කයාක තවම පාලම යටය. එතැන සිට පාලම මතුපිටට ඇත්තේ සීඝ්‍ර කන්දකි. කයාක දෙක පාරට ගෙන සියල්ල අසුරා ගැනීම පසීටත් ඇනෝටත් භාර කල අප දෙදෙන බැල්ල පිටිය හංදිය බලා පාගමනෙන් ඉගිළුනෙමු.

අප පාම් හෙවත් කටු පොල් වගාවක් තුලින් ගමන් කලෙමු. සොහොන් පිට්ටනි අසල සිට සෙල්ෆි ගැසුවෙමු. විකාර කියවමින් නාඹර ගැටව් දෙදෙනෙකු ලෙස සිනහ වෙමින් ඉදිරියටම පැමිණියෙමු.

පසු කල දිගු මං මාවත් !

ඔබ මාගේ මෙම බ්ලොගය මුල සිට බලා ඇත්නම් "දවස් දෙකයි ළිං තිහයි" යනුවෙන් ගං වතුරට අසුවූ ළිං ඉසීමකට මෙම පැත්තේ අප මීට කලකට පෙර කරක් ගැසූ බව මතකයට එනු ඇත. 

එම සත් ක්‍රියාව සම්බන්ධීකරණය කල හොරණ, කඳන, ජල පිරිපහදුවේ ඉංජිනේරු තැන්පත් සාගර මහතාවද ඔබට මතක ඇත. 

තෙශාන්ත; සාගරව ඇමතූවේය. අපේ වෙලාව තවමත් හොඳින්ය. සාගර නිවසේය. ඔහු අපව බැල්ල පිටිය හංදියට ඇරලවන්නට එන්නට පොරොන්දු වූවේය.  

ත්වත් කිලෝමීටර දෙකක් පමණ ගමන් ගනිත්දී අපගේ ඉටු දෙවියා අප ඉදිරියේ විය. ඔහු අපව බැල්ලපාන හංදියට ඇරලුවේය. 

අප මුදා ගැනීම ගොඩට ගැලූ සාගර !

අප දෙදෙන එතැනින් කළුතරට පැමිණ ලොරි පොඩ්ඩා රැගෙන ඉහළ නාරගල බලා යන්නට විය.! අප නාරගලට යන විට ඇනෝත් පසිඳුත් ඇටපල් කරුවලේ පාලම් ගැට්ට මත "මරු" කියවමින් සිටිනි දක්නට ලැබුනි. හරවා ගත් ලොරි පොඩ්ඩා මත සියල්ල තබා ගට ගසා ගත් අප කරුවලේම සිට සෙල්ෆිය ගසා ගම රට එන්නට පිටත් වුනෙමු!


කළු ගඟට සමු දෙමින්; විරාමයකට . . .  !

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ

සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම - කළුතරට 

මියෙන්නට පෙර දිනෙක 

එතෙක් හද; ඉවසන්න

විඳින නෙක දුක් ගැහැට





Friday, September 13, 2019

149. ගිණිහලට බැඳි පෙම . . !

ආමරියේ ප්‍රේමය . . . !

සිංහල ගීත සාහිත්‍යයේ එක් එක් කාල වකවාණු වල බිහිවී; පවතින ගීත ලියන ලද සුළු පිරිසක් වේ.
කලාව කලාකරුවාගේ භාව ප්‍රකාශණ මාධ්‍යය වන විට; ඔහු තුල එම භාවයන් බිහිවීමට හේතු භූත වන කරුණ මෙය යයි ලඝු කොට දැක්විය නොහැක.
තමන් ගේ හෝ අන් අයෙකුගේ  ජීවිත අත්දැකිම් හෝ තමා තුලම හට ගන්නා හැඟිමක් මිට හේතු විය හැක.
තමන්ට හෝ අන් අයෙකුගේ ජිවිත අත් දැකීමක් මෙන් නොව පුවතක් කවියක් ලෙසට උද්දිපණය වන්නේ කවිකොල යුගයේදීය.
එහෙත් පසුකාලීනව ඇන්ටන් ජෝන්ස් ගායකයා විසින්ද මෙරට - නොරට පුවත් සිද්දි සිදුවීම් මෙලෙස තම ගායනයට එක් කර ගත්තේය.
සමකාලීන ගීතරචකයින් සොඳුරු පුද්ගල ප්‍රේමය, විරහව වියෝව විප්‍රයෝගය තුල තම රචනා කොටු කර ගනිද්දී රත්නශ්‍රී විජේසිංහයෝ සියඹලාන්ඩුව කච්චේරිය මුල  ගොවි නැගිටීම තම ගීතයට ප්‍රස්ථූතය කර ගනිමින්  සාර්ථක ගීතයක් ලෙස බිහි කරයි.
හැත්තෑව දශකයේ එනම් ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී තරුණ ජවය පිළිබඳ ගොවිබිම් පිළිඹඳව මහපොලවට දහදිය හෙලන ගොවියා කම්කරුවා පිළිබඳව ලියැවුනු රචනාවන්ට පසුව ප්‍රේමයට එහා ගිය ගීතයේ නිම් වළලු පුළුල් කල රචනාවන් බිහි වූයේ ඉතා මන්දගාමීවය. 

සොඳුර මට සමු දෙන්න - සමුදෙන්න . . // - ඩී ඩී ගුණසේන / සමන් චන්ද්‍රණාත් වීරසිංහ / ප්‍රේමසිරි කේමදාස

අඳුරු කුටිය තුල - දොර ගුළු ලාගෙන . . - ටී එම් ජයරත්න / ප්‍රේමදාස ශ්‍රී අලවත්ත / ප්‍රේමසිරි කේමදාස

සඳ මඬලේ සිට - තරු මඬලේ සිට . . - මාළණී බුලත්සිංහල / සමන් චන්ද්‍රණාත් වීරසිංහ / ෂෙල්ටන් ප්‍රේමරත්න

පසු කාලීනවද . . . . . . . . ;

කරදිය ගැඹරේ - තුන් යම ගෙවුනේ . . එඩ්වඩ් ජයකොඩි / ප්‍රේම කුමාර ජයවර්ධන / රෝහණ වීරසිංහ

ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා . .  එඩ්වඩ් / කුමාරදාස සපුතන්ත්‍රී / රෝහණ වීරසිංහ

විවෘථ වෙළෙඳ පොලේ ඉල්ලුමක් නොමැති සංධර්භය තුල මාකට් කල නොහැකි ගීත ලියන්නන් බිහි වන්නේ කෙලෙසද?

අමරදේවගේ දුක්බර හඬට "සුදු පියුම" ලියන රත්නශ්‍රී; කපුගේ ගේ අඬහැරයට ලියන්නේ "බිම්බරක් සෙනෙඟ" ය!
මේ සියල්ල පුවත් හෙවත් නිව්ස් ය!
ලංකාදීප පත්තරේ පලවන; ප්‍රාදේශීය වාර්ථාකරුවකු විසින් සැපයුනු; හරි හමන් හෙඩිමක් පිංතූරයක් වත් නැතිව පලවූ නිව්ස් කෑලිය.

ගිතය; ලාලිත්‍යයෙන් පිරුණු කලා කටයුත්තක් වන තැන සේකර "මුනිසිරිපා සිඹිමින්නේ" ලියයි. 
එයට අමරදේව එක් කරණ්නේද පුළුන් රොදක් යාන්තමින් පාවයන සිහිල් පවන් පොදක් වන් සංගීත රාවයකි, නන්දා හා එක්ව සුමියුරු ගැයුමකි - කටහඬකි, තනුවකි!
එම ගිතයේම තවත් වරෙක අන්තරාවේදී ගැයෙන "ජාතික රණ දෙරණ මතේ කැපී වැටී මල මොහොතේ . . //" ගැයෙන විට එම කටහඬෙහි ඇති රණ කාමීත්වය!?
එය ගිතයට ලැබෙන්නේ කට හඬින් පමනක්ද?
නැවතත් මා ලියන්නම් වෙහෙස නොබලා.
තනිව ඔබම ගායනා කොට බලන්න ඒ වචන පෙල නැවතත්.

"ජාතික රණ දෙරණ මතේ කැපී වැටී මල මොහොතේ . . //"

එම රිද්මය, එම හඬ, එම අදීනත්වය, එම ප්‍රෞඩත්වය,එම සටන් කාමිත්වය එම වචන තුල සැඟව නොතිබේද?
"සුදු නෙළුම කෝ සොර බොර වැවේ . ." කියා රත්නශ්‍රී අප කැඳවා ගෙන යන්නේ; හේ ගිය ගොක් කොල වලින් දෙපස සැරසූ මගක බව මාහට දැනේ.
දියණියගේ වියෝව වෙනුවෙන් වත් හෙලීමට කඳුළු ඉතිරි නොවූ ඇස් කෙවෙණි වලින් මව අප එන මග බලා සිටියි.

මරණය ගීතය තුල චිත්‍රණය කල අවස්ථා අතර සනත් ගේ "එදා මෙදා තුර . ."ට හිමිවන්නේ මහත්වූ රසික ප්‍රසාදයකි.
කපුගේ "සුමනෝ . . " ගයන්නේ වෙස්සන්තර ජාතකේ කියන්නට කෙනෙකු සොයාගත නොහැකි වූ තැනද? එතරම්ම සෝචණීය හඬකි එය.
කලකට පෙර යොවුන් සිත් වසඟ කල නාමල් උඩුගමද මරණය ගීතය තුලට කැඳවාගෙන ආවේය. "නිසල වෙලා හද - නොසැලේ හසරැල් . . " ගීතය බිහිවන්නේ ඒ තුලිනි.
මේ සියළු ගීත අතර රත්නශ්‍රී ගේ තෙලි තුඩෙන් චිත්‍රණය වන "සිංහල සිංදු කියන . . නළලේ තිලක තියන කිරිල්ලී " ගීතය අතිශය ප්‍රේමයේ සුන්දරත්වය සනිටුහන් වන ශෝචනීය කථාවක්  අපට මතක් කර දෙයි.
වරෙක අන් පෝස්ටුවකට කඩදාසි කොලේ ලියන ලිඛිතා ලියන ලද කොමෙන්ටුවකට මා ලියන ලද මගේ අදහස ලෙසට මෙම ගීතය උදාහරණයකට ගතිමි.
"සකල සිරිණ් පිරි සිරි ලංකාවේ කඹුරුපිටිය නම් ගම සොබනා . . . " යනුවෙන් කවිකොලයකට නගන්නට තිබුනු අදහසක් රත්නශ්‍රී කවියා ප්‍රේමණීය පද ගෙත්තමක් බවට ආදරණීය වියමනක් බවට පත් කරයි.
ඒ ඔහු තුල ඇති වචනකෝෂයේ දිග පලල නිසා නොව තම සරල සුගම වදන් වලින් කෙරෙණ්නාවූ ගීතය නම් වූ දුම්බර පැදුර තුල දක්වන වදන් හැසිරවීමේ බුහුටි බව නිසාම බව මා සිතමි
ඒ නිසාමයි මා දක්වන්නේ ඔහු වෙතින් කෙරෙණ්නේ පද ගෙත්තමක් කියා!?
එම ගීතයේ ජාතක කතාව හෙවත් නිධානය අතිශයින් විචිත්‍ර වූ කතා පුවතකි. අපි ටිකකට ඔහු සමග දොඩමලු වෙමු.

"මට මතක හටියට නවසිය අනූ හතරෙ වගේ කාලේ මට රාත්‍රියේ කපුගේ ගෙන් ඇමතුමක් එනවා.
ඒ දවස් වල ගුණසිංහ මහත්තයා පලකල සඟරාවක් තිබුනනෙ සිව්දෙස කියලා. මේ සඟරාවේ පලවුනු ආර්ටිකල් එකක් ගැන මේ කියන්නෙ එයා.

මගෙන් අහනවා කියෙව්වද කියලා !

මම කියනවා නැහැ කියලා !

ඒ පාර එයා කියනවා හොයාගෙන කියවන්න.ඒකෙ තියෙනවා අළුත් දෙයක් කියලා.
සඟරාව හොයාගෙන කියවන කොට ඒකෙ තියෙනවා දකුණු පලාතෙ ඉඳලා කාන්තාවක්; පොලිස් නිළධාරිනියක් විදියට කොළඹ යනවා. 
කොළඹ දී එයා වැඩකරනවා කිරුළපනෙයි මිරිහානෙයි. 
කිරුලපනේදී එයාට හම්බෙනවා උතුරෙ ඉඳලා ආව ද්‍රවිඩ ජාතික පොලිස් නිළධාරියෙක්. 
ඒ දෙන්නා අතර දැන හැඳුනුම් කමක් ඇතිවෙලා  ඒක ප්‍රෙමයක් දක්වා වර්ධනය වෙනවා. . . . . . . . . !"

ආදරය ප්‍රේමය යන කාරණාවන් හට ජාති බේධයක් නොමැත. එය සංගීතය වැනිම වූ විශ්ව ධර්ම තාවයකි. නඩේසන් තරුණවියේ කඩවසම් නිළධරයෙකු විය. ඔහු තරුණයෙකු සේ  පොලිස්ථානයට එන විට ඔහුට කොලඹ නුහුරු පරිසරය තුල හිතෛශී අයෙකු ලඟ පාතක නොමැති විය. වැල්ලවත්ත කිට්ටුව සිටින ද්‍රවිඩ ජනතාව අසලදී පමණක් ඇසෙන කනට හුරු පුරුදු බස පොලීසියේදී නොඇසුනේය.

ඔහුගේ දෙසවනට හුරු හඬක් පොලීසිය තුලදී නොඇසුනද හදවතට හුරු පුරුදු දසුනක් පොලීසිය තුලදීම දක්නට ලැබෙන්නේ කාලය සමගය. දෙමළ නඩේසන් දෙනෙතින් කෙරෙණ ආමන්ත්‍රණයට; සිංහල විනීතා දෙනෙතින්ම කෙරුණු පිළිතුරු කියවාගන්නට නඩේසන්හට සිංහල දැනුමක් අවශ්‍ය නොවන්න්නට ඇත. නඩේසන්ගේ ප්‍රේමණීය ස්වරය ඇයට ආත්මීය හඬක් විය.

"දිව නුහුරු බසින් පෙම් කවි කී - කුරුල්ලාට වශී වී  . . . . . . . //"

රත්නශ්‍රී ගේ ගෙත්තම වියැවෙන්නට පටන් ගත්තේය.

මීට දශක ගනනාවකට පෙර භාරතයේ ශාන්ති නිකේතනයට සංගීතය හදාරණ්නට හෙළයේ සිට පිවිසෙන සූර්‍යය කුමාර් මොල්ලිගොඩ තරුණයා පෙමින්වෙලෙන්නේ හින්දු භක්තික සුන්දරාවියකටය. 
ඔවුන් ආදරය කරණ්නට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වන්නට ඇතැයි මට සිතේ.
ඇයට අනිවාර්‍යයෙන්ම යුරෝපීය බස තම පියා වන ජ්වහල්ලාල් නේරු විසින් උගන්වන්නට ඇතැයි සැකයක් නැත.
ඇය ඉන්දිරා ගාන්ධි නමින් පසු කලෙක; අගමැතිනිය ලෙසින් භාරතය පාලනය කලාය!

මාගේ මතකය නිවැරදිනම් ගායන වාදන විශාරද ටී ෂෙල්ටන් පෙරේරාද විවාහ වූයේ ඉන්දීය තරුණියක් සමගය.

පෙම්වතා හා පෙම්වතිය එකම රටක එකම බසක් හුරුවූ අයවළුන් වූවද පළමුව කෙරෙණ්නාවූ ආමන්ත්‍රණය  කෙරෙණ්නේ දෙනයණෙනි!

සනත් නන්දසිරිට ගීතයක් ලියන කරුණාරත්න අබේසේකරයන්;
"ආයාචනාත්මක බැල්මෙන් - ආයාචනාත්මක කැල්මෙන්
ගොළු හදවත තුල ගොනුවුනු සිතුවිළි
අපමණ තෙරපෙන බව වැටහේ . . //"
කියා ලියාදෙන්නට ඇත්තේ මෙනිසා විය යුතුය

ප්‍රේමය හා ගීතය අතර ඇත්තේ ඉතා කිට්ටු සබඳතාවයකි. 
ඒ අති බහුතරයක් ගීතයනට ප්‍රේමය පස්ථූතය වන කාරණාව නිසා නම් නොවේ. 
ගීතයක් කියන්නට හැකි නොහැකි ඕනෑම  මවක තම දරුවා නළවා ගන්නට නැලවිළි ගීතයක් ගයන්නාසේ ආදරයෙන් බඳුණු පසු තරුණයෙකු කිසිවෙකුට නොඇසෙන සේ හෝ ගීත  මිමිණීම කරණු ලබයි! 
බොහෝ විට පෙම්වතුනට ගීත ඇසෙන්නේ තමා වෙනුවෙන් ලියැවුණු කියැවුනු සේය.
නඩේසන්ද දෙමළ ආදර ගීත විනීතාට ඇසෙන්නට ගයන්නට ඇත. ඒවා තේරුම් ගන්නට ඇත්තේ බුද්ධියෙන්න් භාෂා ඥානයෙන් නොව හදවතිනි. ඇයට එම ගීත තේරුම් යන්නට ඇති; තමාට නුහුරු බසකින් කියැවුනත්.
තමාගේ හදවතේ ගැඹුරින්ම ලියලා වැඩුණු ප්‍රේමය පිළිබඳව නඩේසන් ගයද්දී විනීතා දෑස් දල්වා බලා සිටින්නට ඇත. තාල අල්ලන්නට ඇත. සෙමෙන් ඔහුගේ උරහිසට බරවන්නට ඇත.
මේ සියළු ප්‍රේමණීය සිහින අතර එක් බියකරු සිහිනයක් දැක ඔවුන් තිගැස්සී අවදි වෙයි. කොළඹ නගරයේ බොහෝ ස්ථාන වලින් අහසට නැගුණු පුළුටු ගඳැති දුම් රොටු නඩේසන් හට තමාගේ ප්‍රෙමය කෙතරම් අස්තීර දැයි මතක් කරදෙන්නට විය.
තමා ප්‍රේම කරණ්නේ තමාගේම ඥාතීන් සිය ගනනක්; දෙමළුන් වූ පමණට; අමුවේ මරා දැමුණු ජාතියකට අයත් එකියකට නොවේද? කළු ජූලිය සිංහල අන්තවාදීන්ගේ පමණක් නොව සමහර  පොලීස් නිළධරයන්ගේ පවා පක්ෂග්‍රාහී පිළිවෙත නඩේසන්හට පෙන්වා දුන්නේය.
"ඉතින් මා යා යුතුය! මා මගේ නිජබිම වෙතට යායුතුය!! මාහට ආරක්ෂාව ඇත්තේ උතුරේ විනා දකුණේ නොවේ. මා එහි ගොස් තරුණයන් හා එක් වන්නෙමි!!!! ඇය කුමක් කරයිද? " නඩේසන් දවල පුරා මෙන්ම රාත්‍රිය පුරාද අනුලෝම ප්‍රථිලෝම වශයෙන් තමා දිනාගත් සිංහල ප්‍රේමය ගැනත් තම නිජ බිම ගැනත් සිතන්නට විය.

"මම යාපනේ යෙනවා . . ! පොලීෂියෙනුත් යෙනවා . . . !!"

"යාපනේට යනවා . . ? තනියෙමද . . ? එතකොට මං . . . !?'

" නේ . . .නේ!  යේක තනියෙම නෙවෙයි . . !! ඔයාත්  තෙක්ක!!! ඔයා යෙනවා නේද . . ?

කිසිවෙකුට නොඇසෙන සේ ඔහු ඇයව තම මතයට එක් කර ගන්නට ඇත. එක වරම ඇය වචනයක් නොකීවත් දින ගනනාවක් නඩේසන් කරණ්නට වුනු කනපිංඳුන් වල ප්‍රථිපලයක් ලෙස ඇය පලා යන්නට එක්වන්නට ඇත.
නඩේසන් කිසිදාක; ඇය තමා සමග තල් අරණට ඒ යැයි මොහොතකට වත් නොසිතුවේය. ඇය ඊට එකඟ වීම ඔහුට අදහා ගත නොහැකි විය.

මේ සම්බන්ධය ගැන විනීතාගේ ගෙදරට යාන්තම් ඉවක් වැටුනු දින සිට ඇයව මාතර පොලීසියට අනුයුක්ත කරගැනීමට ඇයගේ දෙමව්පියන් සියළු වෙහෙස මහන්සි දැරුවාය!

"ඔය්යා දාසක මාව දාලා අම්මා අප්පා ගෙදර යයි.  . . . . .!"

නඩේසන් එහෙම කී අවස්ථාවලදී විනීතා පළමුව තරහක් පෙන්නුවේය. 

"ඔයා හැම තිස්සෙම කියන්නේ ඕකමනේ! කියනකොට කියන කොට ඕකම වෙයි!! ඔයාට කර ගන්නට ඕනත් ඒකමනේ . . .!!! නඩාට තෙරුණත් නොතෙරුණත් ඒ ගැන කිසිදු තැකීමකින් තොරව විනීතා කියවාගෙන ගියාය.
පසුව හිස පහත් කර ගත්තීය.
මහත් වෑයමෙන් නඩේසන් ඇගේ හිස ඔසවා බැලූ විට ඇයගේ දෙනෙත් කඳුළින් පිරී තිබෙනු දැක නඩේසන් හට සතුටක් මෙන්ම දැඩි දුකක්ද ඇති විය.
 එදිනම ඇය ව වැල්ලවත්ත කෝවිලට එක් කරගෙන ගොස් ශිව - පාර්වතී ඉදිරියේ වැඳ නළල මත තිලකයක් තැබුවාය.

"සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී . . ."

විනීතාගේත් නඩාගේත් විවාහය ඉතාමත් චාම්ව කෙරිණි. චාරිත්‍රයක් ලෙස කෙරුණේ කෝවිලට පය තැබීම පමණි. විනීතාගේ වත් නඩා ගේ වත්  නිවස් වලින් කිසිවෙකු පැමිණ සිටියේ නැත.
විවාහට ටික කලකට පෙර දිනක් උදෑසන ඔවුන් දෙදෙන කෝවිලට ගියෝය. කොවිලෙන් එලියට පැමිණ සයිවර් කඩයකට  ඔවුන් ගොඩ වැදුනි. සුදු වේට්ටියකින් සැරසී කඩේ කෑම බෙදන මැදිවියේ සේවකයා පැමිණ  හැරුණේ විනීතා දෙසටය.

"උංගලක එන්න් සාපාඩ කොණ්ඩු වරුනම් . ?"

විනීතාට එක වරම හිනා ගියේය. කොණ්ඩයේ පැළඳි මල් මාලාව හා නළලේ තැබූ තිලකය ඇය දෙමළියක් කර ඇත. ඇය එක වරම නඩේසන්ගේ උරහිස අල්ලා සිනහ වීය.

" ඉවල් සිංගල පිල්ලෙයි . . ! නාන් කලියානම් මුඩික්ක ඉරුප්පද අන්ද පිල්ලෙයි . . . . !! "

නඩේසන් කඩේ සේවකයා හට තත්වය පැහැදිළි කර දෙන්නට ඇතැයි විනීතාට සිතුනේ එම සේවකයා ඉතාමත් විනීත ලෙස තමා දෙස බලා සිටිය අයුරිණ්ය.

"ඒ මනුස්සයාවත් මේ යක්කු මරලද දන්නේ නෑ!" විනීතාට සිත්විය. එම කඩය අළුගොඩක් වන්නට ඇති. ඇය තනිවම සිතුවාය. මෙහේ පමණක් නොව උතුරද ගිණිගෙන ඇත. ත්‍රස්තවාදීන් කුඩා කණ්ඩායම් ලෙස රජයේ හමුදාවට හා පොලීසියට පහර දෙන්නට පටන් ගෙන ඇත. නඩේසන්හට දුන් පොරොන්දුවේ බරපතල කම  විනීතාට සිහිවිය.

"මං සිංහල කියලා යාපනේ මිනිස්සු මාව මරලා දායි . . !"

"ඉෂ්ශෙල්ලා මාව මරණ්න වෙයි එයාලට . . ! නේ! නේ!! අපිලගෙ අම්මා ඔයාට ගොඩාක් ආදරේ වෙයි!"

කුමන දෙයක් කීවත් ඇය යාපනයට යන්නට පය ඔසවන්නේ දහසකුත් එකක් දුක් කම්කටොළු  කරපින්නා ගෙනය. තමා මෙතෙක් කල් ලොකු මහත් කල අම්මා තාත්තා සියල්ල යලිත් කිසිදු දිනෙක දකින්නට වත් නොහැකි වනු ඇත.

"සිංහල සින්දු කියන නළලේ තිලක තියන  කිරිල්ලී . . . . . 
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී . . . . . ."

රත්නශ්‍රීගේ කවීත්වය හිස් කරදාසිය පුරා රටා මවමින්ය.

ඇය තල් අරණ වෙත යන ගමන  සීමා මායීම් රාශියක් හරහා යෙදුනු එකක් විය. 
ඇය අළුත ගෙනා මනාළියකි. හුළවාලි චිත්‍ර පටියේ ආරම්භක ගීතය ලෙස බන්ධුල විජේවීරයන් ගයනා සේම; දුම්බර මැණිකක් නොවුනත් කුළගෙදරින් කැන්දාගෙන එන කුළ කතකි.
එහෙත් ඇය ඔසවන පියවරක් පියවරක්  පාසාම ගමට, හැදුනු පරිසරයට, දෙමාපිය සෙනෙහසට තිබුනු ඇල්ම , බැඳීම ටිකින් ටික තුනී වී යනවා වෙනුවට තව තවත් ඝන වීමක් වනු ඇයට දැනුනි.
ගතවන සෑම මොහොතක් මොහොතක් පාසාම ඇයට ඇසුණු කතා බහ ටිකින් ටික නොතේරී යමින් විය.
ඇය නඩේසන් වෙතට තව තවත් තෙරපිනි.
ඒ හිත වෙලා ගනිමින් තිබුනු තනිකම බිය පත් බව අසරණ කම නිසාමය. 
ජීවිතේ කිසියම් දිනෙක සුවඳ මලින් සැදුම් ලත් මල් කළඹක් දෝතින් ගෙන සුදු සේලයකින් සැරසී දෙමාපිය ආශිර්වාදය මැද; අෂ්ඨක, ජයමංගල ගීත ගායනා ගයද්දී පෝරුවක් මත දෑඟිලි පටලා ගැනීමට ඇය සිතා සිටියාය.

දිනක් ඇයට කලකට පෙර නැරඹූ "සරුංගලේ" චිත්‍ර පටය  මතක් විය. 
ඒ සමගම ඇය ඉදිරියේ "ඉසුරු දෙවිඳු - උමයාංගන සේ පෑහෙන්නයි . . "  ගීතයේ රූපරාමු සිහිනයක් සේ පෙනෙන්නට විය. ඇත්තටම අපිටත් ඒවගේ දෙවිදියටම මගුලක් ගන්නට අත්නම් . . !" ඇය සිතීය. 

ඊළඟ දිනයේ පොලීසියේ ආපන ශාලාවේදී නඩේසන් හමුවූ විඅට පලමුව විනීතා පවසුවේ එම අදහසය. නඩේසන් අහිංසක ලෙස සිනහ වුනා පමණි..
ඔහුගේ පවුලෙන් මෙම සම්බන්ධයට තහංචියක් නැතත් තමන්ගේ ගෙදරිණ් කිසිදු ලිහිලක් නැතිබව නඩේසන් දන්නා නිසා එසේ සිනහවකින් පිළිතුරු දුන් බව විනීතාට රහසක් නොවීය.

"කවදා හරි අපිට අපේ අම්මලා ඉඩ දෙයි නඩා . . එතකල් අපි වෙනස් නොවී ඉම්මු . . !"

ටිකින් ටික විනීතා හට තල් ගසින් පිරුණු යාය යන් දර්ශණ පතයට එක්වෙමින් විය. 
ඇය පැතූ සුදෝ සුදු සුවඳවත් මල් කලඹ ඇයගෙන් මිදී විසිරී ගොසිනි. 
ටිකෙන් ටික අවිළෙණ ජාති වාදයේ ගිනි දල් සමග ඇය අත රැඳුනු මල් පොකුර පිළිබඳව රත්නශ්‍රී මෙසේ දකිමින්ය.

"දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී . . . . "

මේ පටන් ගනිමින් වී ඇති ගිණි දැල් සමග ඇයගේ මධු සමය කෙසේ විය හැකිද?
යුධ සෙබළුනට මෙන්ම ගරිල්ලා සටන් කාමීන් හට ප්‍රේමය අකැප මාතෘකාවක්ද? ප්‍රේමය සියල් සතුන් ගේම සිත් සතන් තුල හට ගන්නා සුන්දර හැඟීමකි. 
එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමළිණී ජෙයක්කුමාරන් විසින් ලියැවුනු ස්ව්‍යං චරිතාපදානය - "තියුණු අසිපතක සෙවන යට" පොතේ; යොවුන් ගරිල්ලා සෙබලියන්ගේ පුද්ගල ප්‍රේමය ගැන යාන්තමින් ලියවී ඇත. 

"කාන්තා සාමාජිකාවන්ගේ විවාහයන් සහ විවාහයට පසුව ඔවුන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ ප්‍රශ්න අතිවිය. ස්ංවිධානය තුළ සටන්කාමී ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධතා සහ විවාහ සම්බන්ධතා ඇතිවිය." 

" දහ අට වියෙහි දී තම ආයුධ සන්නද්ධ අරගලකාරී ජීවිතය ආරම්භ කල විදූෂා අවසන් යුද්ධයේ ආරම්භක අවස්ථාවේ දී හතළිස් වන වියට ආසන්නව උන්නාය. 'අපිට විතරක් ඇයි බං, මේ වගේ ජීවිතයක්?"

යාපන අර්ධද්වීපයේ දිවියට ඇය ඉක්මනින්ම පුරුදු පුහුණු වෙමින්ය. උතුරට පය තැබූ පළමු මොහොතේ පටන් නඩේසන් තරුණ සටන් කාමීන් හා එක් විය. 
තමා සේම හිරිමල් වයසේ උන් බොහෝ තරුණියන් ගිනි අවි සමග පෙමින් වෙලී සිටියෝය.
කුමනහෝ දෙශපාලනයක් විසින් ඔවුන්ගේ යොවුන් විය සොරා ගනිමින් විය. 
එය කඳුළු කථාවකි.
කඳුළු වලට ජාතියක් නොමැත.
ඒවා ගලන්නේ ඇස් කෙවෙනිවළිණි ඇස් දෙමළ උනත් සිහල උනත්! 
ඒවා ලුණු රසය කුම ජාතියකට අයත් වුවත්.
එහෙත් ඒ කඳුළු කථාව විනීතාට හොඳින් තෙරුම් යන්නට ඇත. 
කාලය විසින් කඳුළු හෙලූවන්ද; එම කඳුළු කථාව අපට තේරුම් කර දෙන්නට සිටි විනීතාද ඇගේ ආදරණීය නඩේසන්ද අපෙන් ඈත් කොට හමාරය.
එහෙත් විනීතාගේත් නඩේසන්ගේත්  සුන්දර මෙන්ම ශෝචණීය වූ කථාව අපට ඉතිරිවී ඇත. ඒ කපුගේගේ දුක්බර හඬිනි.
ඒ හඬ මැවෙන්නේ මා කලින් "ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ . ." ගීත කණ්ඩය ගෙන හැර පෑ ලෙසින්ම රත්නශ්‍රීගේ පද ගෙත්තම මත සිටය.
විනීතාගේත් නඩේසන්ගේත් ප්‍රේමයට කුමණ අර්ථකතන සැපයුනද ප්‍රේමයට සීමා මායිම් නොමැත.

"ප්‍රේමය නම් අසෙණිය කුසුමක්වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්" 

යැයි  එදිරිවීර සරච්චන්ද්‍රයන්  පැවසුවේ එනිසා විය හැක!


"සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුනු විහඟ සෙනඟ හඬාවී
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය පියාවී
ආදරේ නුඹට බාරයි රැක ගන්න දේවතාවී "

නඩේසන්

 කපුගේ 












                                                                                                                                                                                                                                                            රත්නශ්‍රී                                                                                                                                                 


                     මෙම සුන්දර ගීතය අකුරුකල රත්නශ්‍රී ගීතය ගැන කියන කතාව

"මට මතක හටියට නවසිය අනූ හතරෙ වගේ කාලේ මට රාත්‍රියේ කපුගේ ගෙන් ඇමතුමක් එනවා.
 ඒ දවස් වල ගුණසිංහ මහත්තයා පලකල සඟරාවක් තිබුනනෙ සිව්දෙස කියලා. මේ සඟරාවේ පලවුනු ආර්ටිකල් එකක් ගැන මේ කියන්නෙ එයා.
මගෙන් අහනවා කියෙව්වද කියලා !
මම කියනවා නැහැ කියලා !
ඒ පාර එයා කියනවා හොයාගෙන කියවන්න.ඒකෙ තියෙනවා අළුත් දෙයක් කියලා.
සඟරාව හොයාගෙන කියවන කොට ඒකෙ තියෙනවා දකුණු පලාතෙ ඉඳලා කාන්තාවක්; පොලිස් නිළධාරිනියක් විදියට කොළඹ යනවා. 
කොළඹ දී එයා වැඩකරනවා කිරුළපනෙයි මිරිහානෙයි. 
කිරුලපනේදී එයාට හම්බෙනවා උතුරෙ ඉඳලා ආව ද්‍රවිඩ ජාතික පොලිස් නිළධාරියෙක්. 
ඒ දෙන්නා අතර දැන හැඳුනුම් කමක් ඇතිවෙලා  ඒක ප්‍රෙමයක් දක්වා වර්ධනය වෙනවා.
හැබැයි මේ ප්‍රේමයට දෙපැත්තෙම නෑයො බර පතල විදියට විරුද්ධ වෙනවා.
විශෙෂයෙන් කාන්තාවගෙ පැත්තෙන් ලොකු විරෝධයක් එනවා. 
ඔවුන් දෙන්නා ඒ විරෝධය නොතකා විවාහ වෙනවා. 
විවාහ වෙලා ඉන්න කොට තමයි 83 ජූලි කලබල පටන් ගන්නේ.
 ඒ කළබලවලදි සිද්ධවෙන දේවල් ගැන කළකිරෙණ මනමාළයා පොලිස් සේවයෙන් ඉවත් වෙනවා. 
ඉවත් වෙලා තමන්ගෙ අළුත් මනමාළිත් එක්ක තමන්ගෙ ගමට යනවා.
ප්‍රේමය කියන එක  ඇත්තටම මම විශ්වාස කරණ විදියට ඇත්තටම ජාති කුළ ගෝත්‍ර ආගම් වර්ණ ආගම් ආදී සියල්ල ඉක්මවා පවතින මානව ධර්මයක්! 
ඒකෙදි එකක් වත් අදාල වෙන්නේ නෑ ප්‍රේමය විතරමයි!
සටන් විරාම කාලයේදි; ලක්බිම පත්තරේ එක මාධ්‍යවේදියෙක් උතුරෙ ගියා.
ගියාම ඉස්සෙල්ලා පොලිස් පති පස්සෙ දෙශපාලන අංශයේ නායක නඩේසන් හමුවෙලා තියෙනවා. 
මට මතක හැටියට රමේෂ් වරල්ලගමද කොහෙද!? 
එයා කියනවා ඔයා දන්නවද ඔයාල ගැන සිංදුවක් තියෙනවා කියලා සිංහලෙන්? 
නඩේසන් අහනවා ඇයි අපිට බැනලද කියලා!?
නෑ! නෑ!! සිංදුව මම එවන්නම් කියලා පොරොන්දුවෙලා එයා එනවා.
සතියකට පස්සෙ එයා අහන කොට පහුවෙනිදාම නඩේසන් සිංදුව කොළඹින් ගෙන්නගෙන අහලා!  දෙන්නගෙ දුවට ඒ සිංදුව ලස්සනට කියන්න පුළුවන්ලු! 
ඇය විනීතා සමරසිංහ ගුණසේකර.ඇත්තටම ඔය විවාහයට අස්සන් කරලා තියෙන්නේ වාසු!
ඔය නඩේසන් නව සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්! 
කොහොම හරි අවසන් සටනෙදි ඔය දෙන්නාම මැරුනා කියලා තමයි ආරංචිය!
රත්නශ්‍රී ශෝකී හඬින් පැවසීය.

මෙයට පෙරද මෙම ගීතය ගැන ලියැවුනු බ්ලොග් සටහනක් හමුවිය: වැඩි දෙනාගේ පහන් සංවේගය වෙනුවෙන් එහි ලින්කුවද මෙහිම බහා ලමි!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...