Thursday, May 16, 2019

138. මග හිටින් නැති වෙන්න ( I ) . . . . !

කවදා ගමට යයිදෝ මේ රියාණෝ !

සයිකලයෙන් ගියත් ලොරි පොඩ්ඩාගෙන් ගියත් ටිකක් දුර ගමනක් ගියොත් අත් දෙකේ මජං ගෑවෙන මරාළයකට මුහුණ නුදුන්නොත් ඒ මං නෙවෙයි.
අපේ ලොරි පොඩ්ඩා ලෙඩක් දෙන්නේ දැන් බොහොම කළාතුරකින්. ඒත්  මගේ නොවන මගේම වාහනයක් වගේ කාගෙ හරි අනුන්ගෙ එකකට හරි කරගහන්න ලැබෙනවාම මයි. 

අපි කොහොමත් උප්පත්තියෙන්ම යකඩ වලට මනාපයි නොවැ! ඒ හින්දාම; අර ඇඟේ දිස්ඨිය තියෙන එකාට බෙරේ හඬ ඉවසන්න බෑ වගේ; වාහනයක් මග නතර වෙලා තියෙනවා දැක්කොත් ඒකට හොම්බ නොදා මොන හදිස්සිය තිබුනත් එතනින් යන්නට හිත දෙන්නේම නෑ කියන්නකෝ!

ඉතින් මේ විදියට හොම්බ දාන්න කලියෙන් බලන දෙයක් තමයි එතනට මට කලින්; මජං පෙරා ගත්තු බාසෙක් සෙටමෝල් වෙලාද, අරක් ගෙන තියේද කියන එක. 
එහෙම නම් එතනට ගිහින් ඌව පදිරි නොකර මාත් නෝන්ඩි නොවී හිතේ අමාරුවෙන් හරි එතනින් යන එක තමයි කරණ්නේ. 

ඒත් එතන ඉන්න නෝන මහත්තයලා, මහත්තයලා; විරව පට්ටං ගහලා වට පිට බල බලා කර කියා ගන්න දෙයක් නැතිව නිකං සහරා කාන්තාරේ මැද්දෙ අතර මං වෙලා කුජීත වෙලා ඉන්නවා  වගේ සීන් එකක හිටියොත් නම් අනිවා දෙකක් නෑ එතනට ගිහින් හොයා බලලා පුළුවන් දෙයක් කරලා වාහනේ ගොඩ දාන්න බලනවා. 

ඒත් දැන් තියෙන; එකසිය ගානට සොෆිස්ටිකේටඩ් එකක් නම් වැඩේ අල කරණ්නේ නැතිව එතනින් මාරු වෙනවා. මොකද අපි හදන්න ගියාම ඒ වාහනේ ආයෙ මේ ලෝකෙට ජාතක කරපු එකාටවත් හොයාගන්න බැරි වෙන විදියට අල වෙන්න පුළුවන් නිසා.

ඉතින් මෙහෙම මග නැවතිලා තියෙන වාහන වලින් සීයට අනූවක් විතරම තියෙන්නේ එක්කෝ එන්ජිම බොයිල් කරලා හෙවත් ඕවර් හීට් වෙලා. නැතිනම් ටයර් එකකට බබා හම්බෙලා හෙවත් ටයර් පන්ච් එකක්. 
අනේ අපරාදෙ කියන්න බෑ අපේ බොහෝ මහත්වරුණ් ඔහොම සීන් එකක් උනොත් වැඩේ ගොඩ දාගන්න බැරීව ඉන්නවා මා බොහෝ වාර ගනනාවක් දැකලා තියෙනවා.

ඒක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒත් අපි බලමු හිමි හිමීට මේ කාරණා දෙකට අත පය කඩා ගන්නේ නැතිව මුහුණ දෙන්නේ කොහොමද කියලා! 
ඒක කාගෙ කාගෙත් සෞඛ්‍යය අමාත්‍යංශයට සුභ දායක වන බව මා නොකීවාට හැමෝටම තෙරෙණවා ඇතැයි මගේ කිඩ්නියට වැටහේ.

 "අපිට නම් ඕව වැඩක් නෑ! අපි දන්නවා !! අපිට ඕව අදාල නෑ!!! " කියන අයියලත් කාටවත් නොපෙනෙන්න හරි මේකත්  කියව ගන්න. වැඩි වෙන එකක් නෑ. 
ඒ වගේම මේ වායේ මොනවා හරි වැරැද්දක් වෙතොත් කොමෙන්ටුවක් දාලා නිවැරදි කරණ්නත් අමතක කරණ්න එපා! මොකද අපි කියලත් සියල්ල දත් ලා නොවෙයිනේ!?


අපේ වාහනවල උඩට අන්ගින එකම මීටරේ !
 (අනේ ලොරි පොඩ්ඩගේ ඕකත් නෑ!)

වාහනයක එන්ජිම අනවශ්‍ය තරම් රත් වෙලාද කියලා බලන්න ටෙම්ප්‍රෙචර් මීටරේ  හෙවත් උෂ්නත්වමාපකයක් සෑම සියළු වාහනයකම  සවි කරලා ඇත. 
අපේ ලොරි පොඩ්ඩාගෙ ඇති එවන් වූ මීටරයේ කටුව ;  කඩුගන්නාව නැග්ගත්. හුන්නස්ගිරිය නැග්ගත්. ගිනිගත්හේන නැග්ගත් අනේ දෙයියනේ කියන්න හෙල්ලෙන්නේ නැත! 
එහෙම තමයි හොඳ එන්ජින් කියා මේක කියවන ඔබ තමුන්නහැලට හිතුනාට මේකෙ පරහ තියෙන්නේ මීටරේ! කොටින්ම ඒක වැඩ කරණ්නේම නැත!!

මෙන්න කියවනවනම් මෝටර් කාර්මික විද්‍යාවේ බයිබලය !

"එන්ජිමක සිලින්ඩරය තුල ගිනි ගන්නා ඉන්ධන වායු මිශ්‍රණය; ෆැරන්හයිට් අංශක 4000 ක් එනම් සෙල්සියස් අංශක 2200 හෝ එය අභිබවා යන උෂ්නත්වයකට එළඹිය හැක. මෙනිසා එන්ජිමේ කොටස් උණුසුම් වේ. එහෙත් එන්ජිමේ සිළින්ඩර බිත්ති ෆැරන්හයිට් අංශක 500 එනම් සෙල්සියස් අංශක 260 ඉක්මවා නොයා  යුතුය. ඉහළ උෂ්නත්ව වලදී ලිහිසන තෙල් වල ඇති ලිහිසන ගුනංගය බිඳ වැටෙනු ඇත." මෙහෙම කියන්නේ මම නොවෙයි. Automotive Mechanics (10th Edition) පොත ලියන ලද විලියම් එච් කෲස් හා ඩොනල්ඩ් එල් ඇන්ග්ලින් කියන පකීර්ලා දෙදෙනාය.

එත කොට එන්ජිම ඕවර් හීට් වෙලාද හෙවත් අනවශ්‍ය තරම් රත් වෙලාද කියලා හොයා ගන්නේ?

ඒකට පොඩි පොඩි කරුණු කාරණා කිහිපයක් ඇත. මේව සියල්ල සියල්ලන්ටම නොගැලපෙන බව සැබෑය.එවිට තමාට ගැලපෙන කරුණු පමණක්; කොකා කෝලා දැමූ වී ඇස් ඕ ඒ  වලින්  ගල් අරක්කු වෙන් කර ගන්නවා සේ තෝරා බේරා ගන්නවා හොඳය!

1. මීටරේ කරටියට නැග ඇත්නම් ඕවර් හීට් වෙලා කියා ඕනෑම කෙනෙකුට පුළුවන් වාගේම ඕනවට වඩා රත්වී; එන්ජිමේ ජල මට්ටම එකසිය ගානට අඩුවූ විටදී මීටරේ පහත බසිනු මා දැක ඇත. මන්ද එම මීටරේ නැට්ට හෙවත් ස්නා‍යු පද්ධතිය සහිත සෙන්සරේ ගෑවෙන්න වත් වතුර නැති නම් මීටරේ හිතන්නේ උෂ්නත්වය පහත බැස ඇති බවය.

2. දැන් දැන් ගෙවල් වලින් අභාවයට ගියත්; ගෙදර කේතලේ වතුර නටනා විට (පැහෙනා විට) දැනෙන සුවඳ (නැතිනම් ගඳ - සමහරුණට ගඳ දේ තවත් සමහරුණට සුවඳට දැනේ!) මතකද? නැතිනම් වහාම කුස්සියට ගොස් කේතලය හොඳින් ගිනියම් කොට උම්මා එකක් දී බලනු මැන! එන්ජිමක් ඕවර් හීට් වෙන විට බොහෝ විට එම කේතල් සුවඳ නො එසේනම් වාෂ්ප සුවඳ දැනෙන්නට පටන් ගනී.

3. අහන්න ඕන නෑ මම දන්නවා ඉන්තීරුවෙන්ම ඊළඟට අහන ප්‍රශ්නෙ? අපි A/C දාගෙන යන කොට එන්න්ජිම ඉඹ ඉඹ යන්නේ අහවල් එකාද කියන එක. ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. බලන්න සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියලා! 

එන්ජිමක් බොහෝ විට ගිනියම් වෙන්නේ එක්කෝ වෙසක් එකට තොරණ බලන්න යද්දී. ඒ එන්ජිම බොහෝ වේලාවක් එක දිගට වැඩකලත් එයට ආසාවට හුළං පොදක් වදින්නේ නැති නිසා. එහෙමත් නැත්නම් නුවර යද්දී. ඒ එක දිගට කඩුගන්නාව ෆර්ස්ට් එකේ සෙකන්ඩ් එකේ යනකොට එන්ජිම යටි ගිරියෙන් බෙරිහං දීගෙන යන බැවින් හෙවත් හයි ආර් පී එම්  (High RPM - Revolution Per Minute ) එකක එන්ජිම දුවද්දීය.
 එනිසාම ට්‍රැෆික් එකේ යන වෙලාව කෙසේ වෙතත් තමන්ගේ වාහනයට ඕවර් හීට් වීමේ ලෙඩක් රෝගයක් අතුරු ආන්තරාවක් වෙතොත් කඳු සහිත පලාතකට පිවිසීමේදී A/C බොත්තම් අක්‍රිය කරව ගෙන වීදුරු ටික පහතට දාලා යන්නට පුළුවන. ඒ නැතත් ගමන යන අතර තුර වීදුරු පහලට දමා පොඩ්ඩක් ඉව කර බැලීමෙන්ද මේ බව දැන ගැනීමට පුළුවන.

4. එන්ජිම බොයිල් වීම යනු රේඩියේටරයේ වතුර නැටීමට හෙවත් තාපාංකයට ලඟා වීමය. එවිට රේඩියේටර මූඩිය අතරිණ් එළියට එන ජල  වාෂ්ප බොනට්ටුවේ දෙපස දාර අතරිණ් එළියට එනු දැක බලා ගැනීමට හැකිවේ.

5. එන්ජිම තදින් රත්වූ විට එහි ක්‍රියාකාරීත්වය තරමක් දුර්වල වේ. එන්ජිම ඉබේ නතර විය හැක. එන්ජිම නොක් knock  කරයි!

6. සමහර විට එන්ජිමේ ඔයිල් නො එසේ නම් ලිහිසන තෙල් ගිනියම් වී කර ගඳක් හමයි.

7.වාහනයේ වායු සමීකරණ පද්ධතිය තරමක් දුර්වල වේ.

8. පදවන දෙපා වලට කිසියම් උනුසුමක් දැනේ. 

 ලංකාවේ එදිනෙදා කටයුතු වලදී මුහුණ දෙන හා අන් අය කෙරෙහි කරන්ණ්නාවූ කපටිකම්, ඇන්දිලි, වටේ යැවිලි වල තරමට;  මෙවැනි කාරණා කාරණා වලින් එන්ජිම ගිනියම් වී ඇති බව තේරුම් ගැනීමට බැරි වීමට ඉඩක් නොමැත!

එක දිගට එකම ආකාරයෙන් එන්ජිම උපරිම වේගයකින් ක්‍රියා කිරීම එන්ජිම අධික ලෙස රත් වීමට බලපාන ප්‍රධාන හේතුවකි. මේ නිසාම අධිවේගී මාර්ග වල ධාවනයේදී කිසිදා බොයිල් නොකරපු වාහනයකට උනත් "නිකං ඉන්න එකේ - ඔන්න ඔහේ " බොයිල් වී බලන්න හිතෙන්නට පුළුවන!

දැන් අපි පොඩ්ඩක් මේ සිද්ධියේ තාක්ෂණය ගැන සොයා බලමු.

ප්‍රධාන වශයෙන් එන්ජිම සිසිළණ න ක්‍රම දෙකක් ඇත.

1. එයා කූල් (Air cool)  හෙවත් වාතයෙන් සිසිළණ එන්ජින් 
2. ඒක එයා කූල් නම් මේක මෙයා කූල්ද? අනේ නෑ! මේක වෝටර් කූල්  (Water cool) හෙවත් ජලයෙන් සිසිල් වන එන්ජින්. (Liquid cool)  කියන්නෙත් මෙයම තමාය. සමහර මෝටර් සයිකල් එන්ජින් කාණ්ඩ වල LC යනු Liquid cool යන්න අර්ථවත් කෙරේ. Yamaha RD 350 LC

එයා කූල් එන්ජින් වලට දිය හැකි හොඳම උදා හරණය වන්නේ මෝටර් සයිකල එන්ජින්ය. 
මේවායේ එන්ජිමේ ඇතුලෙ හට ගන්නා උෂ්නත්වය සිලින්ඩරයට සන්නයනය වී ඒවා සිලින්ඩරය මතු පිටට පැමිණේ. සිළින්ඩරය මතුපිට ගැටෙන වාතය මගින් එම තාපය ඉවතට ගෙනයනු ලබයි. 


තනීවයි උපන්නේ- තනීවයි මැරෙණ්නේ . . . //
තනි සිළින්ඩරේ එයා කූල්

මෙසේ එන්ජිමේ උෂ්නත්වය වාතය හෙවත් සුළඟ සමග මුසු වීමේ සීඝ්‍රතාවය සඳහා බලපාන කරුණු කීපයක් වෙනවා. 
1. ලෝහයේ ස්වභාවය
2. අවට වාතයේ උෂ්නත්වය
3. වාතය හා ගැටෙනා ලෝහයේ ක්ෂේත්‍රඵලය

මෙහි පලමු කාරණාව වෙනස් වෙන්න පුළුවන් අපේ මල්ලිලා එන්ජිමට තීන්ත පාරක් එහෙම ආවට ගියාට ගැහුවෝතින්. එන්ජිමට සාමාන්‍යය තීන්තක්  ආලේප කලහොත් ලෝහය විසින් උරා ගන්නා තාපය එතැනින් වායු ගෝලයට එක් වීමට තීන්ත ලේයරය බාධාවක් විය හැක. 
එසේ උවහොත් තාපය නිසි පරිදි වායුගෝලයට එක් නොවීම කරණ කොට ගෙන එන්ජිම අධික ලෙස රත් වීමට ඉඩ ඇත. මේ සඳහා උපයෝගී කරගන්නා  විශේෂ තීන්ත වර්ග (Thermal conductive paint) ඇත. ඒ වගේම එන්ජිම වටේට අයිතිකාරයා වාගේම නාවර පෙරිලා නම් එන්ජිම සිසිළ් වන්නේ නැත.

මෙහි අවසාන කරණාව දියුණු කරණ්නට තමයි එන්ජිම් වටේට වැටකොළු ගෙඩියේ මෙන් දාර පිහිටා තිබේ. එන්ජිම හදපු එකාගේ රටේ වැටකොළු නැතිනිසා මේවාට වරළ්  Fins යැයි  කියනු ලබයි.



ලොකු එයා කූල් !

එයා කූල් එන්ජිමක් තියෙන ෆොක්ස්වැගන් රථයේ මෙයට තව නවීකරණයක් එක් කරලා තියෙනවා. ඒ තමයි බ්ලෝවරයක් හෙවත් අවානක් සවිකර එන්ජිමට නොනවත්වාම පවන් ගැසීම! මෙම එන්ජිම හදන කාලයේ; ජර්මනියේ වටාපත් තිබී නැති බවට මෙය ප්‍රභල සාක්ෂියකි!

එයා කූල්- කණේ මයිල් !

ෆොක්ස්වැගන් එන්ජිමක හැඩ වැඩ

දැන් අපි හැමෝම දන්නා වෝටර් කූල් එන්ජිම දෙසට අත පය කඩා ගන්නේ නැතිව හැරෙමු.

යන එන දිය මං !

වෝටර් කූල් එන්ජිමක සිසිළණ පද්ධතියේ ඇති වැදගත්ම අවයවය එන්ජිමයි! මාරයි නේද? නෑ එන්ජිම නොවෙයි වතුරයි! මේ වතුර තියෙන්නේ සංවෘථ පද්ධතියක් ඇතුලේ. මෙම පද්ධතිය ඇතුල් වෙන අවයව නොහොත් අංගෝපාංග මොනවාද කියලා පහතින් ලියන්නම්.

රේඩියේටරය                                              Radiator 
රේඩියේටර් මූඩිය                                      Radiator Cap
සොඬ නළ හෙවත් හෝස්                       Hose
තර්මොස්ටැට්                                             Thermostat Valve
අවාන                                                           Water Fan
අවාන දුවවන පටිය                                    Fan Belt
වතුර පොම්පය                                           Water Pump

රෙඩියේටරය මේකට සිංහලෙන් කියන්නේ විකිරකය. රෙඩියේටරයෙන් කෙරෙණා වැදගත් කාර්‍යයන් කිහිපයකි.

1. වතුර හෙවත් ජලය හෝ කූලන්ට්  රඳවා තබා ගැනීම.
2. එන්ජිම දිවීමේදී රත්වන ජලයේ ඇති තාපය වාතය වෙත මුදා හැරීම.

ජලය රඳවා තබා ගැනීම සඳහා රෙඩියේටරය ටැංකියක් සේ ක්‍රියා කරණු ලබයි. රේඩියේටරය සමන්විත වන්නේ  උඩ යට ටැංකි දෙකක හා එම ටැංකි දෙක සම්බන්ධ කරණ්නාවූ කුඩා හෙවත් සිහින් බට රාශියකිනි.
බොහෝ වාහන වල සවිකර ඇති රේඩියේටර වල ජලය ගලන්නේ  ඉහල සිට පහලට වෙන අතර හරස් අතට ජලය ගලන රේඩියේටර වලින සමන්විත වාහනද  දක්නට ලැබේ.

දිගට හරහට !

එන්ජිමේ සිට රත්වූ වාතය ගලන්නේ ඉහල ටැංකියටය. එම රත්වූ ජලය ඉහල ටැංකියේ සිට පහල ඇති ටැංකියට ජලය ගලන්නේ පෙර කී සිහින් නල හෙවත් බට අතරිණි. 
එයා කූල් එන්ජිමේ මෙන්ම ජලයේ රැඳි තාපය වායු ගෝලයට මුදා හරිණ්නට එම බට වටා වරළ් හෙවත් ෆින්ස් වලින් යුක්තය. මෙවා අතරිණ් ගලා යන වාතය මගින් එම බට තුලින් ගලනා ජලයේ එතෙක් රැඳී තිබුනු තාපය ඉවත් කොට සිසිල් කරණු ලබයි.

ජලයේ ඇති උෂ්නත්වය නල වෙතටද; නල වල ඇති උෂ්නත්වය; නල වටා ඇති සිහින් සියුම් තහඩු වලින් නිර්මිත ෆින්ස් වලටද; ෆින්ස් වලට එක්වන උෂ්නත්වය ඒ හරහා ගලන වාත ප්‍රවාහය මගින් ඉවතට ගෙන යනු ලබයි!

ආස්මී !

ඉහත රූපයේ පෙනෙන පරිදි ඉතා සියුම් මෙන්ම තුනී තහඩු වලින් මෙම වරළ් හෙවත් Fins සාදා ඇති අතර බොහෝ විට අළුත් වැඩියාවන් වලදී කාර්මිකයින් අතින් හෝ ලිහිසන සේවාවේදී සම්පීඩිත ජලය මගින්ද මෙම වරළ් ඇදවීමට පුළුවන.
 එසේ ඇද වීමකදී ඒ හරහා වාතය නිදහසේ ගලා යෑමට ඇති ඉඩ කඩ ඇහිරී යයි. එවිට ඊට අදාල බටය ඔස්සේ ගලනා ජලය නිසි ලෙස සිසිල් වන්නේ නැත.එන්ජිමේ ජලය නියමාකාරයෙන් සිසිල් නොවීමට එය හේතුවක් විය හැක.

හොර මුළට හසුවූ රේඩියේටරය හා තාපස තුමාගේ රේඩියේටරය !

එසේම මෙම කුඩා නල හෙවත් බට  ඇහිරී ගියහොත් ජලය නියමාකාරයෙන් ගමන් කිරීමට බාධා ඇතිවේ. එවිට එම ජලය සිසිල් වීම සිදුනොවීමෙන් එන්ජිමේ උෂ්නත්වය ඉහල යයි. 
මෙම නල ඇහිරීමට බලපාන ප්‍රධාන හේතුව  ජලයේ දියැවී ඇති කඨිනත්වයයි. එසේම සිසිළණ පද්ධතිය තුල ඇතිවන මලකඩ මගින්ද මෙම නල ඇහිරෙණු ලැබේ. 
රේඩියේටර මූඩියෙන් බැලූ විට එමගින් පෙනෙන කුඩා වපසරිය තුල ඇති නල ඇහිරී ඇත්දැයි යම්තාක් දුරකට නිගමනයකට එළඹිය හැක. මෙසේ රේඩියේටර මූඩිය තුලින් බැලූ විට නොපෙනුනත් ඊට ඈතින් මෑතින් පිහිටි නල ඇහිරී තිබිය හැක!




ආන්ඩුවේ වැසිකිළියක්, උක්කුටික පෝච්චියක්, කොමෝඩ් එකක් නොව
  රේඩියේටර කටවල් තුනක් !

වාහනයක් වේගයෙන් ගමන් ගන්නා විට රේඩියේටරයේ ෆින්ස් හරහා හමන වාත ධාරාවෙන් මෙසේ රේඩියේටරය හරහා ගලනා ජලය සිසිල් වුවද සෙමෙන් ධාවනය වන විට හා එන්ජිම දුවන මුත් රථය ගමන් නොගන්නා අවස්ථාවලදී මෙම කාර්‍යය සිදු කිරීම සඳහා එන්ජිමට එමගින් දිවවෙන අවානක් හෙවත් ෆෑන් එකක් සවිකොට ඇත.

මෙම ෆෑන් එක හෙවත් අවාන දුවවන පටිය හෙවත් ෆෑන් බෙල්ට් Fan Belt එක ගෙවී ගොස් තිබුනි නම් හෝ නිවැරදි පරිදි සිරු මාරු කොට නොතිබුනි නම් හෝ අවාන උපරිම කාර්‍යක්ෂම තාවයකින් භ්‍රමණය නොවීම කරණ කොට ගෙන නිවැරදි පරිදි එන්ජිම සිසිළ් වීම සිදු නොවීමට හේතු විය හැක.

සමහර වාහන වල මෙම අවාන හෙවත් රූං පෙත්ත නොපිට දමා ද සවි කල හැක. පැරණි ඔස්ටින් මිනි රථවල මෙසේ පෙත්ත නොපිට දමා සවිකල හැකිවන අතර එවිට සිදුවන්නේ රේඩියේටරය හරහා සිසිල් වාතය ගලා එනවා වෙනුවට එන්ජිම වටා ඇති උනුසුම් වාත ධාරා රේඩියේටරය හරහා ගලා යෑමට පටන් ගැනීමයි. 

මෙහිදී සිදුවන්නේ රේඩියේටරයේ ඇති ජලය සිසිල් වනවා වෙනුවට තව තවත් උනුසුම් වීමය. මෙය සොයා බැලීමට කුඩා පරීක්ෂණයක් කල හැක.
ඒ; එන්ජිම පන ගන්වා  දෙමළ පත්තර පිටුවක් ගෙන රේඩියේටරය ඉදිරියෙන්; රේඩියේටරය ආවරණය වන පරිද්දෙන් ඇල්ලීමයි. අවාන හෙවත් Water Fan  එක ප්‍රශස්ථ ආකාරයෙන් ක්‍රියා කරණ්ණේ නම් කඩදාසිය රේඩියේටරයට ඇලිය යුතුය.මෙහිදී දෙමළ පත්තර පිටුවක් යොදා ගතයුත්තේ එය කියැවීමට නොහැකි බැවිනි!

නවීන වාහන වල මෙම අවාන හෙවත් ෆෑන් පෙත්ත දිවවෙන්නේ මෝටරයක් මගිනි. මෙම මෝටරය නිවරෙදි පරිදි ක්‍රියා නොකරණ විටද එන්ජිම රත්වීම නොවැලැක්විය හැකිය. සමහර වාහන වල රේඩියේටරයද, ඊට ඉදිරියෙන් ටර්බෝ චාජරයට සිසිල් වාතය සපයන ඉන්ටර් කූලරයද, එයට ඉදිරියෙන් වායු සමණය පද්ධතියට අයත් A/C කන්ඩෙන්සරයද යන උපකරණ කට්ටලයම සවිවී ඇත.

 සාමාන්‍යයෙන් A/C කන්ඩෙන්සරය වත් රේඩියේටරය පෙර සවිවී ඇති අතර මේ සියල්ල හරහා වාතය ගමන් කර වීමට ඉදිරියෙන් හා පසුපසින් මෝටර මගින් ක්‍රියා කරණ විදුලි පංකා දෙකක් සවිකොට ඇත. 
මෙසේ අවාන හෙවත් ෆෑන් දෙකක් සවිකිරීමට හේතුව වන්නේ මෙම කන්ඩෙන්සර තුන හරහාම වාතය හොඳින් ගමන් කර වීමට වඩා එක් එක් කන්ඩෙන්සරය පසු කිරීමේදී; එහි තාපය අවශෝෂනය කර ගැනීම කරණ කොට ගෙන වාත ප්‍රවාහය රත් වන බැවින් වඩා වැඩි වාත ස්කන්ධයක් කට්ටලය හරහා ගමන් කර වීමටය.

බිත්ති හතර බිඳගෙන හරි ඔබ බලන්න !

ජලය සෙන්ටිග්‍රෙඩ් අංශක 100 දී වාෂ්පී බවනය වේ.
ගොද! ගොද!!

ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 100 දී වාෂ්ප වන්නේ නො එසේනම් නටන්නේ සාමාන්‍ය වායු ගෝලීය පීඩනය යටතේය. එනම් තවත් ලෙසකින් පවසනවා නම් වායුගෝලයට විවෘථ බඳුනක දීය. 

වායුගෝලයට සංවෘථ බඳුනක් තුලදී සෙන්ටිග්‍රේඩ් අංශක 100 අභිබවා යන උෂ්නත්වයක් තුලදී පවා ජලය තාපාංකයට ලඟා නොවී තියාගත හැක. 
මේ ප්‍රකාශය මා වඩාත් ලිහිල් ලෙස මෙසේ පෙල ගස්වන්නම්. සෙන්ටිග්‍රේඩ් අංශක 100 දී ජලය නටන්නේ නො එසේනම් ජලයේ තාපාංකයට ලඟා වෙන්නේ මුහුදු මට්ටමේදී.  
ඒ මුහුදු මට්ටමේ දී පීඩනය වායු ගෝල එකක් වන බැවින්. එහෙත් නුවර එළියේදී මෙම පීඩනය තරමක් අඩු වෙනවා. ඒ නිසාම නුවර එළියේදී ජලය නටන්නේ නො එසේනම් තාපාංකයට ලඟා වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 98 දී පමන! එනිසාම තමයි කොළඹදී නිවලා බොන ප්ලේන්ටිය නුවර එළියේදී සුරුස් ගාලා එක හුස්මට ගහලා දාන්න පුළුවන්. 

හැබැයි කොළඹදී කාලක් ගැහුවාම හතර වරං කියවන එකා නුවර එළියේදී භාගයක් ගහලත් දාං ලෑල්ල වගේ ඉන්නෙ නම් මේ පීඩන වෙනස හින්දා නම් නොවෙයි.

ඒ කියන්නේ අවට පීඩනය අඩු වෙත්ම ජලය අඩු උෂ්නත්වයකදී වාෂ්පීභවනය වන බවයි. එහි විලෝමය ලෙසට අවට පීඩනය වැඩිවෙත්ම ජලය වාෂ්පී භවනය වීමට ඇවැසි උෂ්නත්වය ඉහල අගයක් ගන්නා බවයි. 
අවට පීඩනය වැඩ අගයක තියා ගත හැකි වේ නම් ජලය ඉහළ උෂ්නත්වයකදී  පවා වාෂ්ප නොවී පවතින බවයි!

තම්බන්න බැරි ඩයිනෝසරයෙකුගේ මස් ගාතයක් උනත් බටර් ගානට ප්‍රෙශර් කුකර් එකකින් මෙව්වා කල හැකි වන්නේ මෙනිසාය. 
එවිට සෙන්ටිග්‍රේඩ් අංශක100 අභිබවා යන උෂ්නත්වයකදී උවද ජලය වාෂ්ප නොවී තබා ගත හැකි වන්නේ ප්‍රෙෂර් කුකරයේ පියන මගින් එය තුල පීඩනය ඉතා ඉහල අගයකට නංවා ජලය වාශ්පී භවනය  වන්නට අවශ්‍ය උෂ්නත්වය ඉතා ඉහලට නංවන හෙයිනි. එවිට ප්‍රෙෂර් කුකරය තුල පවතින්නේ උණු වතුර නොව ගිනි වතුරය!

ඩයිනෝසර් නොවේ හිපපොටේමස් මස් උනත් දෙන්නම් බටර් කරලා!

එසේ ජලයෙ තාපාංකය ඉහළ දමා, වාශ්ප වන්නට ඉඩ නොදී තබා ගැනීමක් ප්‍රෙෂර් කුකරය තුල වන්නේ නම්; පියනට උඩින් ඇති සුට්ටං ගැජට් එක ඉස්සි ඉස්සී හූ . . . .! කියන්නේ මොකදැයි කිසිවෙකුට අහන්න සිදුවීම ඉතා සාමාන්‍ය තත්වයකි.
ජලය මතුපිට සිට පියන ඇතුලත ඇති ඉඩ තුල වාෂ්පයෙන් සංතෘප්ත වී එමගින් ජල තලය මතුපිට පීඩනයකට ලක් කරයි. මෙසේ පියන තුල කෙමෙන් වැඩෙනා පීඩනය එක් අවස්ථාවකදී පියන මුදුනේ අටවා ඇති ආරක්ෂිත වෑල්වය තල්ලු කරමින් ඉවතට ඇදී එන එසේ හූ හඬ නං වනු ලබයි.

මේ බලන්න මේ ගැන විලියම් හා ඇන්ග්ලින් කියා ඇති අයුරු. (Automotive Mechanics පිටුව 322.)  "සාමාන්‍යය වායු ගෝලීය පීඩනය යටතේ ජලය ෆැරන්හයිට් අංශක 212 දී එනම් සෙල්සියස් අංශක 100 දී නටන්නට පටන්ගෙන පීඩනය ඉහළ යයි. මේ සමගම ජලයේ තාපංකයද ඉහළ යෑමට පටන් ගනී. උදාහරණයක් ලෙසට පීඩනය වර්ග අඟලට රාත්තල් 15 කින් ඉහළ යත්ම ජලයේ තාපාංකය ෆැරන්හයිට් අංශක 260 ක්  හෙවත් සෙල්සියස් අංශක 127 දක්වා ඉහළ යයි."

ඉතින් මේ තුලින් පෙනෙන දේ තමයි පීඩනය වැඩිවෙන්න වැඩි වෙන්න ජලයේ තාපාංකය හෙවත් නටන උෂ්නත්වය ඉහළ දමා ගත හැකි බව. රෙඩියේටර මූඩිය සකස් කොට ඇත්තේ මම පීඩනයට ප්‍රථික්‍රියා කරණ අයුරිණ්.

ගුරු-ගෝල වෙනස !
කෝ එත කොට ඒක? ඒක තමයි මේක! මේ ඒක නම් කෝ අරක! අරක තමයි මේක!

එකක් වගේ වෙස් වලා ගත් වෙන එකෙක්!

රේඩියේටරයේ වසුන හෙවත් පියන යනු ගෙදර කුස්සියේ රාක්කයේ කෑලි මිරිස් කුඩු දමා ඇති හෝර්ලික්ස් බෝතලයේ මූඩිය මෙන් නිකංම නිකං පියනක් නොවේ.

වාහනයේ නිෂ්පාදකයා විසින් එම එන්ජිම නිපදවීමේදී; එහි සිසිළණ පද්ධතිය තුල පැවතිය යුතු යැයි  නිගමනය කරණු ලබන නිර්දෙශිත උෂ්නත්වයක් පවතී. මෙම උෂ්නත්වය ක්‍රියාකාරී උෂ්නත්වය හෙවත් Working Temperature  නම් වේ. මෙම උෂ්නත්වය පවත්වාගෙන යනු ලබන්නේ එම පද්ධතිය තුල පවතින පීඩනය නියාමනය කිරීමෙන්ය.

තේරෙණ හිංගලෙන් කියනවා නම් එන්ජිම ඇතුලේ යම් උෂ්නත්වයක් පැවතිය යුතුය. එම උෂ්නත්වය අඩු වැඩි නොවී තබා ගන්නේ එහි පීඩනය ගානට බැලන්ස් කර ගැනීමෙන්ය.

මෙම කාරණාව එන්ජිම වෙනුවෙන් ඉෂ්ඨ සිද්ධ කරණු ලබන්නේ ඔය සුට්ටං රේඩියේටර මූඩියෙනි.
රේඩියේටර මූඩිය මත මෙය සළකුණු කොට ඇති අතර මූඩියක් මාරු කිරීමේදී එය අනිවාර්‍යයෙන්ම සැළකිය යුතු වන්නේය.
බොහෝ වාහන සඳහා 0.9 හා1.1 යන පීඩන අවශ්‍යතාවය දක්වා ඇත. මෙහිදී 0.9 යනු අවට වායුගෝලයේ උෂ්නත්වය පරයා තවත් .09 ක පීඩනයක් එම මූඩිය මගින් රඳවා තබා ගන්නා බවයි. එනම් අවට වායුගෝලයේ පීඩනය මෙන් දෙගුණයකට ආසන්න අගයකි. 1.1 යනු අවට වායු ගෝලීය පීඩනය මෙන් දෙගුණයකට වඩා මදක් වැඩි අගයකි.

මූඩි මාරු කිරීම සෙල්ලං නෑ නේද?


මා මෙතරම් කාලයක් මූඩිය සමග සිටියේ එහි අගය දැක්වීමට වඩා එය හා බැඳුනු චර්යා රටාව පිළිබඳව කතා කිරීම මුළුමහත් සිසිළණ පද්ධතිය හැදෑරීමට ආසන්න වශයෙන් සමාන වන නිසාය.

දැන් තවත් පොඩ්ඩක් මූඩියත් එක්කම යමු!

මූඩියක් කිව්වාට මේක මූඩියක්ම නොවේ . . . . !

මේ ගැන කතා කිරීමට පහසු වන පරිද්දෙන්; රේඩියේටර මූඩිය රේඩියෙටරයට සවිකල පසු  මතුපිටින් පෙනෙන පෘෂ්ඨය ඉහල ලෙසද රෙඩියේටරය ඇතුලට බසින කොටස පහල ලෙසද නම් කර ගනිමු.

රේඩියෙටර මූඩියක ඇතුලත බැලූ විට එහි ඇතුළු පස කපාට හෙවත් වෑල්ව දෙකක් පවතී. 
මූඩියේ ඉහළින්ම ඇත්තේ රබර් ගෑස්කටයකි Upper Seal / Upper Pressure Seal. ඉහත රූපයේ කලු පැහැයෙන් දැක්වේ. එයින් රේඩියෙටරයේ මතුපිට කට මුද්‍රා වේ.

එයට පහතින් ඇත්තේ තරමක ලොකු දුන්නකින් Main Seal Spring පිටතට තෙරපාගෙන ඇති පීඩන වෑල්වයයි Main Rubber Seal / Lower Pressure Seal. එය ඉහත රූපයේ නිල් පැහැයෙන් දැක්වේ. මෙයින් රෙඩියේටරයේ ඇතුලත ගෙල මුද්‍රා වේ. පෙරකී ලෙසට 0.9 හෝ 1.1 යන්නෙන් ක්‍රමාංකනය කොට ඇති පීඩනය රේඩියේටරය තුල පවත්වාගෙන යනු ලබන්නේ මෙම දුන්නෙනි.

එම පීඩන වෑල්වය මැද නො එසේනම් මතුපිට කුඩා රවුමක් ලෙස පවතින්නේ අවපීඩන වෑල්වය වෑල්වයයි Low Pressure Valve / Vacuum Valve. එය සෙමෙන් ඉවතට ඇදිය හැකි අතර එය දුන්නකින් පසු පසට තෙරපාගෙන සිටී. මෙම දුන්න සවිකොට ඇත්තේ පියන අභ්‍යන්තරයේ බැවින් පහසුවෙන් දැකිය නොහැක.


කොටස් හා ව්‍යාපාර වස්තු!


සෙල්ලංද කොල්ලෝ?

දැන් මෙහි ක්‍රියා කාරීත්වය ගැන සොයා බලමු. පෙරකී පරිදි නිෂ්පාදිතයා විසින් නියම කරණු ලබන පීඩනයට පද්ධතිය පවත්වාගෙන යෑම පෙරකී දුන්නෙන් තෙරපාගෙන සිටින පීඩන වැසුමෙන් Main Rubber Seal / Lower Pressure Seal මගින් සිදු කෙරේ.
එන්ජිම දිගින් දිගටම ක්‍රියාත්මක වීමේදී කිසියම් ලෙසකින් පද්ධතියේ ජලයේ උනුසුම වැඩි උවහොත් නො එසේනම් පීඩනය වඩාත් වැඩි උවහොත් මෙම පීඩන වැසුම දුන්න තෙරපාගෙන ඉහළ නැග එම ජලය හෝ වාෂ්ප සිසිළණ පද්ධතියට සම්බන්ධ කොට ඇති අමතර ටැංකිය හෙවත් Expansion Tank වෙතට ගලා යයි.


ඔය කොලපාට නෙල්ලි කෝඩියෙල් වගේ ද්‍රාවණයක්  තියෙන්නේ  අමතර ටැංකියේය. 

එන්ජිමක් දිගු කාලයක් නොනවත්වාම ක්‍රියාකරීව පවතින විට; රේඩියේටරෙයේ ජලය සුළු ප්‍රමාණයක් මෙම අමතර ටැංකිය වෙත ගලා ගොස් එහි  එනම් අමතර ටැංකියේ Expansion Tank ද්‍රව මට්ටම යම් පමණකට ඉහළ ගොස් තිබෙනු දැකිය හැකිය. 
එහෙත් එය උතුරා නොයා යුතු වන අතර එසේ එන්ජිම දිවීමේදී රේඩියේටරයෙන් ඉවතට ගලනා ජලය සඳහා අමතර ටැංකියේ ඉඩක් ද තිබිය යුතුය. තවත් ලෙසකින් පවසනවානම් එම අමතර ටැංකිය කට මට්ටම් නොකල යුතුය. එම ටැංකියක් පිරික්සා බැලුව හොත් එම අමතර ජලය සඳහා ඉඩ තබා  "FULL" සළකුණ යොදා ඇති බව දැකිය හැක.

රත්වූ ජලය ඕවර් ෆ්ලෝ  ටැංකියට ගලා යන අයුරු.

ඉන් පසු එන්ජිම නවතා තබා එය සිසිල් වීමේදී එතෙක් සිසිළණ පද්ධතිය තුල පැවති පීඩනය අඩු වීමෙන් ඇතිවන අවපීඩන තත්වය මැඩන් පැවැත්වීම සඳහා; පෙරකී අමතර ටැංකියේ ඇති ජලය නැවත රෙඩියේටරය වෙතට අවපීඩන වෑල්වය Low Pressure Valve / Vacuum Valve හරහා සෙමෙන් ගලා එයි.


රේඩියේටරය සිසිල් වී ඇතුලත ඇතිවන අවපීඩනය පිරවීමට 
ඕවර්ෆ්ලෝ ටැංකිය හෙවත් අමතර ටැංකිය වෙතින්
 ජලය නැවත ගලා එන අයුරු.


කහ පාට මූඩියක් ඇති සුකුරුත්තම අමතර ටැංකියය.

බොහෝ දෙනා අපෙන් අහන ප්‍රශ්ණයක් තමයි හැමදාම වාහන වල තෙල් වතුර බලන්න ඕනෙද කියන එක.
ඒකට කියන්න තියෙන්නේ එය උදේට දත් මදිනවා වගේ වැඩක් කියාය. මන්ද මේ වන විට තාක්ෂණික ලෙස වඩාත් දියුණු කොට ඇති වාහන වල එදිනෙදා ලිහිසන තෙල් හෝ වතුර අඩුවීමක් නොවී තිබිය හැක. එහෙත් දින පතා දත් මැදීමට පුරුදු විම කාගෙ කාගේත් යහපතට හෙතු විය හැකිසේම දින පතා නො එසේනම් සති පතා වත් මැදීම යහපත්වේ.

වතුර පරීක්ෂා කල පසු නිවැරදි පරිදි මූඩිය නැවත සවි කිරීමට අමතක නොකරණ්න. සාමාන්‍යයෙන් රේඩියේටර් මූඩියක අගුළු දෙකක් නො එසේනම් කට්ට දෙකකට වැටී සිර වේ. එය කල්පණාවෙන් කරණ්න. නො එසේනම් නිවැරදි පීඩනයට එන තෙක් රේඩියේටරය තුල ජලය සම්පීඩනය නොවී; අඩු උෂ්නත්වයකදී ජලය රේඩියේටරයෙන් ඉවත් විය හැක.

දෙවෙනියට අහන ප්‍රශ්ණය වන්නේ වතුර බැලිය යුත්තේ රෙඩියේටරයේද නැතිනම් අමතර ටැංකියේද යන වග! ඇත්තෙන්ම රාත්‍රිය පුරා එන්ජිම සිසිල් වී ඇත්නම් එසේම අමතර ටැංකියේ අවශ්‍යය තරම් ජලය ඇත්නම් උදෑසන රේඩියේටරයේ මූඩිය ඇර බැලූ විට එහි කට මට්ටම් වතුර අඩු නැටිව තිබිය යුතුය. 
එය එසේ නොවේනම්; එන්ජිම රත්වූ විට  අමතර ටැංකියට ජලය ගලා යෑම සිදු නොවීම හෝ එන්ජිම සිසිළ් වන විට නැවත වතුර ගලා ඒම නියමා කාරයෙන් සිදු නොවී තිබෙන බව නිගමනය කල හැකිවේ.

මෙයට හේතු ගනණාවකි. මූඩියේ අකර්මණ්‍යය බව, එසේත් නැතිනම් පද්ධතිය හොඳින් මුද්‍රා නොවීම මින් කැපී පෙනේ.

උදෑසන පරීක්ෂා කරණාවිට රේඩියේටරයේ ජල මට්ටම නිවැරදි පරිදි වේ නම් දෙවනුව අමතර ටැංකිය පරීක්ෂා කරණ්න. රේඩියේටරයේ ගෙල තෙක්ද; අමතර ටැංකියේ ජල මට්ටම Full ස්ථානය තෙක් ජලය පුරවන්න.

පසුදින නැවත පරීක්ෂා කරණ්න. එවිට ජලය නිවැරදි මට්ටමේ නොමැතිවේනම් පද්ධතියේ දොෂයක්තිබිය හැක.

අප වෙතින් නැවත නැවතත් අහන සුලභ ප්‍රශ්ණයක් වන්නේ රේඩියේටරයේ හෝ අමතර ටැංකියේ ජලය අඩුවූ විට එය පිරවීමට කූලන්ට්ම යොදා ගත යුතුද යන්නය. පැහැදිලිවම එය රඳාපවතින්නේ අඩුව පිරවීමට යෙදිය යුතු ජලය ප්‍රමාණය මතය. 
සාමාන්‍යයෙන් කූලන්ට් වලින් සංතෘප්ත පද්ධතියක් තුලට ජලය මිලී ලීටර 300 ක් පමණ යෙදූ පමණින් එහි සාන්ද්‍රණයේ විශාල වෙනෙසක් සිදු නොවේ.

අපේ වාගේ පැරණි වාහන ඇති උන්නැහැලා අහන එකම ප්‍රශ්ණය වන්නේ "මචං මේවාට කූලන්ට් දාන්නම ඕනෑද?" කියාය. ඉහළ ප්‍රමිතියෙන් යුතු කූලන්ට් යෙදීමෙන් පද්ධතිය මළ කෑමෙන් දිරා යාමෙන් වැළකෙන අතර අද වෙළෙඳ පොලේ දක්නට ලැබෙන බොහෝ කූලන්ට් වල ප්‍රමිතිය ගැන කියන්නට අපහසුය.

රේඩියේටර් ෆ්ලෂ් හෙවත් විරේකයක් යෙදීම හොඳද? සාමාන්‍යය තරමේ මන්ඩි, මළකඩ ඇති පද්ධතියකට මෙය ගැලපෙන මුත් එය සර්ව සම්පූර්ණ ලෙස ඉවත් කිරීමට නොහැකි වූ තැන එහි ඇති රසායන ද්‍රව්‍ය මගින් රේඩියේටරය දිරා යෑමට උත්ප්‍රේරකයක් සේ ක්‍රියා කිරීමට ඉඩ ඇත. එසේම රසායන ද්‍රව්ය මගින් පද්ධතිය තුළ මුදා හැරෙණ අපද්‍රව්‍ය රේඩියේටරයේ කුඩා නළ අවහිර කිරීමටද ඉඩ ඇත.

දැන් පැමිණ ඇත්තේ අවසාන ජවණිකාව වෙතය.
මේ දේවල මොනවා උනත් පාරේ යනකොට එන්ජිම බොයිල් කල හොත අපි කුමක් කල යුතුද?
එන්ජිම බොයිල් කොට නො එසේනම් දැඩි සේ රත් වී ඇති මොහොතක බොහෝ විට එන්ජිම නතර වීමට ඉඩ ඇත. මෙසේ වන්නේ දැඩි තාපය හේතු කොටගෙන එන්ජිමේ චලනය වන කොටස්; විශේෂයෙන් පිස්ටන් ආදිය නිශ්චල කොටස්  සමග ඇතිවන අධික ඝර්ෂනය නිසාය. 
මෙයට සමගාමීව එන්ජිම තුල ඇති ලිහිසන තෙල් වල ලිහිසන භාවය බිඳී යාමද මෙම දඩි තාපය නිසා සිදුවේ.

එන්ජිම නතරනොවී පන ගැන්වී පවත්වා ගත හැකි වන්නේ නම් එය ආශිර්වාදයකි. එන්ජිම නතර නොවී තබා ගැනීමට හැකි හැම විටම උත්සාහ ගන්න / මතක තබා ගන්න.

එන්ජිම අධික ලෙස රත්වීම සමගම එතෙක් යම්තාක් දුරකට හෝ එන්ජිමට සිසිලසක් ලබාදුන් ජල ධාරිතාවෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉවත්ව යෑම අනිවාර්‍ය කාරණයකි.
ඊට අදාලව එන්ජිමට ජලය එක් කිරීම කල යුතුව ඇති අතර ඒ සඳහා රේඩියේටරයේ මූඩිය විවෘථ කර ගත යුතුව ඇත.

ඕනෑම පතක පොතක; වාහනයක් සමග ලබාදෙන උපදෙස් පොත් Instruction Manual වලද පමනක් නොව රේඩියෙටරයේ මූඩියේ පවා දක්වා ඇත්තේ "එන්ජිම රත්වී ඇති අවස්ථාවේදී රේඩියේටරය විවෘථ නොකරනු!" කියාය. එහෙත් රේඩියේටරය විවෘථ නොකර එන්ජිම සිසිල් වීමට කල් ගත කිරීම කාර්‍යබහුල වලිගය ගිණි තබාගෙන දුවන සමාජය තුල කිරීමට අපහසු කාරණයකි.

එසේනම් මෙසේ මෙම තත්වයට මුහුණ දෙමු.

1.  වාහනය ඇතුලත උනුසුම් කරණ වායු සමීකරණ පද්ධතිය වඩාත්ම උනුසුම සපයන අවස්ථාවට සකසා  බ්ලෝවරය උපරිම වේගයට පත් කරණ්න. 

NISSAN PATROL Y60 Owner's Manual එකේ මෙන්න ඒ ගැන එහි ලියා ඇති ආකාරය:
If your vehicle overheating
Warning !
To avoid the danger of being scalded, never remove the radiator cap while the engine is hot
1.Move the vehicle safely off the road.
2. Turan off the A/C switch. Open all windows, move heater or A/C temperature control to "maximum hot" and fan control to "high speed".
3. ..............................................................................................
4. ...........................................................................................





හත රූපයේ දැක්වෙන සටහනේ රතු පාටින් දැක්වෙන්නේ ඉහල උනුසුමට පත්වූ ජලයය. නිල් පැහැයෙන් දැක්වෙන්නේ සිසිල් ජලයය. එන්ජිමට පිටු පසින් දැක්වෙන්නේ වාහනයේ ඇතුලත උනුසුම් කරණ්නාවූ හීටර් කෝරය ය. එය තුලින් උනුසුම් ජලය ගලනා විට එතෙක් එහි රැඳි සිසිල් ජලය පද්ධතියට මුදා හැරේ. ඒ එතෙක් වසා දමා තිබුනු වෑල්වය ඇරීමෙනි. මෙම වෑල්වය විවෘථ වන්නේ වාහනයේ ඇතුලත උනුසුම් කරණ බොත්තම ක්‍රියාත්මක කිරීමත් සමගය. එයට යාබදව ඇති බ්ලෝවරය ක්‍රියාත්මක කිරීම සමගම හීටර් කෝරයද; එය තුල ඇති ජලයද සිසිල් වීමට පටන් ගනී. පද්ධතියට අලුතින් එක්වන කුඩා උවත් සිසිල් ජල පරිමාව හේතු කොට ගෙනද දිගින් දිගටම හීටර් කෝරය වෙතට එන ජලය බ්ලෝවරය මගින් සිසිල් වීමද යන කාරණා ව කරණ කොට ගෙනද පද්ධතිය යම් පමනකට සිසිල් වීම අපේක්ෂා කල හැක.





වාහනයක් ඇතුලත උනුසුම් කරණ්නේ එන්ජිම හරහා දුවන උනුසුම් ජලය වාහනයේ ඇතුලත සවිකොට ඇති හීටර් කෝරය හරහා ගමන් කිරීමට සලස්වා එය හරහා සුළං ධාරාවක් ඇතුලතට එවීමෙන්ය.
 එන්ජිම අධික ලෙස රත් වූ විට අතුලත උනුසුම් වන සැකසුම සකස් කල විට එතෙක් එන්ජිම තුල තිබුනු ජලය පෙර කී හීටර් කෝරය හරහා ගමන් කිරීම නවතා තිබුනු වෑල්වය විවෘථ වී; ජලය හීටර් කෝරය හරහා ගමන් කිරීමටත්; එතෙක් හීටර් කෝරය තුල සිසිල්ව තිබුනු ජලය පද්ධතියට එක්වීමත් සිදුවේ.
 එවිට ඇතුලත් උනුසුම් කරවීමට ක්‍රියා කරණ බ්ලෝවරය හේතු කොට ගෙන හීටර් කෝරය ගලනා උනුසුම් ජලය යම් පමනකට හෝ සිසිල් වන්නට පටන්ගනී.

2.  එන්ජිම ක්‍රියා කරත්දීම  බොනට්ටුව ඇර රේඩියේටර ෆෑන් එක, රේඩියේටර මූඩිය හා අමතර ටැංකිය පරීක්ෂා කරණ්න. රේඩියේටර ෆෑන් එක හෙවත් අවාන භ්‍රමණය නොවන්නේ නම් එන්ජිම වහාම නවතා දමන්න.

MITSUBISHI LANCER Owners Hand Book එකේ මෙන්න ඒ ගැන එහි ලියා ඇති ආකාරය:

2. With the engine still running, raise the bonnet to ventilate the engine compartment.
     A- Radiator fan
     B- Radiator cap
     C- Reserve tank
Note : Confirm that the radiator fan is turning. If the fan is not turning, stop the engine immediately and contact an authorized MITSUBISHI dealer for assistance.




කර්පට් නොවීමට කාපට් එකක් උපයෝගී කරගැනීම.

3. රේඩියේටරයට වතුර එක් කල යුත්තේ එන්ජිම පන ගැන්වී තිබියදීය. එහෙත් දැඩි සේ රත්වී ඇති එන්ජිමේ ජලය සහිත රේඩියේටරයේ මූඩිය ඇරීම අතිශය භයානකය. මන්ද මූඩිය විවෘථ කල සැනින් රත්වූ ජලය හා වාශ්ප ඉහලට විහිදෙන නිසාය. 
 මා පෙර සඳහන් කල පරිදි සාමාන්‍යයෙන් රේඩියේටර් මූඩියක් ඇරෙණ්නේද වැහෙන්නේද පියවර දෙකකිණි. තවත් විදියකට කියනවා නම් "කට්ට දෙකකටය"! ඉන් පළමු පියවර හෙවත් පළමු කට්ටය විවෘථ කල විට තරමක් විවර වී හුමාලය හෙවත් වාශ්පය හා දැඩි සේ උනුසුම් වූ ජලය යම්තාක් දුරකට ඉවත්වේ. 
මෙසේ විවෘථ කිරීමට වාහනය තුල ඇති රබර් කාපට් එකක් භාවිතා කිරීම මාගේ ක්‍රම වේධයකි. එම නිසා මා මේ වන තෙක් උනු වතුරෙන් පිළිස්සී නොමැත!

PEUGEOT 504 Driving Maintenance පොතේ මෙන්න ඒ ගැන එහි ලියා ඇති ආකාරය:
The radiator cap is rated at 280 mb (4 psi). To remove this cap when the engine is warm, turn it up to the first notch and let the steam escape before removing the cap completely, to avoid burn.

රේඩියේටරයේ මූඩිය එකවර විවෘථ වූවහොත් හුමාලය හා උනුසුම් ජලය එක වර වේගයෙන් ඉවතට විදින්නට පටන්ගනී. 
කාපටයක් භාවිතාකල විට කිසිදු හානියක් නොවේ. ඒ පිළිබඳව විශ්වාසය තබා ගෙන විනාඩි 5 - 10 ක කාලයක් අත ඉවතට නොගෙන කාපටය සමග තබා ගැනීමෙන් රේඩියේටරය හීලෑවේ.කිසිදු විටෙක හුමාලයෙ තරමක උනුසුම හෝ එය පිටවන හඬ ඇසීමෙන් තිගැස්මට පත්වී කාපටය අත නොහරිණ්න. 
තමා අත උපැස් යුවලක් හෝ පැහැදිලිව පෙනෙන අව්කණ්නාඩියක් වෙතොත් එය පැළඳ සිටීම අමතර ආරක්ෂාවක් ගෙන ඒ!


4. තවත් විනාඩි ගනනාවකින් උනුසුම් වූ ජලය හා හුමාලය ඉවත් වූ පසු රේඩියේටරයට ජලය එක් කිරීම අරඹන්න. 
ජලය එක් කිරීම අරඹනවාත් සමගම එම ජලය ගිනියම් වූ එන්ජිම වෙත ගලා යෑම සමගම එය ක්ෂ්ණිකව වාශ්පීභවනයවී ආපසු රේඩියේටර කටෙන් ඉවතට විදීමද සිදුවිය හැක. 
කිසිදු විටෙක හුමාලයෙ තරමක උනුසුම හෝ එය පිටවන හඬ ඇසීමෙන් තිගැස්මට පත් නොවන්න. එහෙත් දිගින් දිගටම ජලය එක් කිරීමෙන් එන්ජිම, රෙඩියේටරය ඇතුළු  මුළු මහත් සිසිළණ පද්ධතියම මෙල්ල කර ගත හැක!

අත් දැකීමෙන්ම කියන්නම්. මේ වැඩේට සුපිරිම භාන්ඩෙ  තමයි මෙගා බෝතලෙ. 
ඒක රේඩියෙටර කටට හරියටම ගැල පෙනවා. රෙඩියේටරයට "හ්ම්!" කියන්න ඉඩක් නොදී මෙගා බෝතලේ අරණ් කටට කට තියලා බෝතලේ යටි පතුලට අත තියා ගත්තාම එන්ජිම ගුඩු ගුඩු ගාලා වතුර ටික බොනවා පොඩි එවුන් සූප්පුවෙන් උක්කු බොනවා වගේ. ඒක ඉවර වෙන කොට අනිත් ඒක කස කස ගාලා දෙන්න ඕන එන්ජිමට "මීක්" ගාන්න ඉඩක් නොතියා!
ඒකට ඉතින් ලඟ පාත තව එකෙක් දෙන්නෙක් හිටියානම් තමයි වැඩේ ලේසි වෙන්නේ!  ඔය හැම කාර් එකේම ඒක එලෝන එකාට  ඇරුණාම තව දෙන්නෙකුට තුන් දෙනෙකුට ඉඳගෙන යන්න ආසන පනවලා තියෙන්නේ; ඔය වගේ සීන් වලදි සපෝට් එක ගන්න එකෙක් දෙන්නෙක් දාගෙන යන්නම තමයි!

මා නැවතත් ලියා තබන්නම්: මෙසේ එන්ජිමට ජලය එක් කල යුත්තේ එන්ජිම පන ගන්වා ඇත්නම් පමණි. නො එසේනම් එනම් එන්ජිම පන ගන්වා ගැනීමට නොහැකි වේ නම් එන්ජිම මුළුමනින්ම නිවෙන්නට හැරිය යුතුය. 
කිසි විටෙක අධික ලෙස උනුසුම් වීම කරණ කොට ගෙන පන ගන්වා ගැනීමට අපහසු හෝ නැවතුණු එන්ජිමට සිසිල් ජලය දැමීමෙන් වළකින්න.

දැන් ආයෙත් පසු විපරමක යෙදෙමු.

සිසිලණ පද්ධතියක් හොඳින් ක්‍රියාත්මක වන්නට නම් එය අවහිරයකින් තොරව තිබිය යුතුය.  බොහෝ විට පද්ධතිය තුලින් ජලය හෝ කූලන්ට් ගමන් කිරීම අවහිර වීමට වැඩි ඉඩ කඩක් ඇත්තේ; සිහින් නාල වලින් සමන්විත රේඩියේටරය ය. එය ගලවා පිරිසිදු කාර්මිකයෙකු ලවා පිරිසිදු කරගත යුතුය.

වාහනය ලැසි දිවුමේ යෙදෙන විටදී හා නැවතී ඇතිවිටදී (මාර්ග තද බදයකදී) රේඩියේටරය සිසිළනය කිරීමට අවශ්‍ය සුළං ධාරාව රෙඩියේටරය හරහා ගමන් කරවීම සඳහා අවානක් හෙවත් ෆෑන් එකක් ඇත. 
බොහෝ පැරණි වාහන වල හා බර වාහන වල මෙම අවාන කරකැවෙන්නේ එන්ජිම මගින් දිවැවෙන පටියක් ආධාරයෙනි. මෙම අවාන පියවි ඇසට හොඳින් පෙනෙන අතර එහි ඉද්ද නො එසේනම් ඇක්සලය මගින් දිවැවෙන පොම්පයක් එන්ජිම තුල පවතී.
 එන්ජිම තුලදී අධික ලෙස උෂ්නත්වය ඉහල යන ජලය සිසිල් වීම සඳහා රේඩියේටරය වෙතට යොමු කරණ්නේද; රේඩියේටරයේදී සිසිල් වන ජලය නැවත එන්ජිම වෙතට හුවමාරු කරණ්නේද මෙම පොම්පය මගිනි. 
මෙම අවාන දුවවන පටිය හෙවත් ෆෑන් බෙල්ට් එක කැඩී යාම, ගෙවී යාම හෝ බුරුල්වීම නිසා ජලය නියමාකාරයෙන් සංසරණය නොවීම හේතු කොටගෙන අධික ලෙස රත් වීමට ඉඩ ඇත.
නවීන වාහන වල මෙම අවාන දුවවන්නේ විදුලි මෝටරයකිනි. බොහෝ විට එන්ජිම සිසිල්ව පවතින අවස්ථා වලදී මෙම අවාන ක්‍රියාත්මක නොවී පවතී. 
වාහනයක එන්ජිමේ කාර්‍යක්ෂම තාවය නිසි පරිදි පවත්වා ගැනීමට එහි ක්‍රියාකාරී උෂ්නත්වය Working Temperature  පවත්වා ගත යුතුය. වඩා උනුසුම් වීම මෙන්ම අනවශ්‍ය තරම් සිසිල් වීමද එන්ජිමේ සුමට ක්‍රියා කාරීත්වයට බාධා පමුණුවයි! 
ඉහත කී ෆෑන් මෝටරය අක්‍රිය වීමද එන්ජිම රත්වීමට තුඩු දෙයි. එන්ජිම තදින් රත්වී බොයිල් කරණ මොහොතේ දි පවා එම අවාන ක්‍රියාත්මක නොවී පවතීනම් එය අක්‍රියව පවතින බවට නිගමනය කල හැකිය. 
බොහෝ නවීන වාහන වල වායු සමීකරණ පද්ධතිය සිසිල් කිරීමටද මෝටරයකින් ක්‍රියා කරණ අවානක් (Fan) ඇත. A/C බොත්තමට අවනත වීම නො එසේනම් කීකරු වීම අනුව A/C ෆෑන් මෝටරය වෙනමම අඳුනා ගත හැක.
එන්ජිමෙ ජලය අනවශ්‍යතරම් රත්වූ විට; එන්ජිම හා රෙඩියේටරය සම්බන්ධ කරණ හොස් හෙවත් සොඬ නල පුපුරා යයි. එවිට වතුර දැමීමට පෙර ඒවා අළුතින් යෙදීමට සිදුවේ. මෙහි විලෝමය ලෙස සොඬ නල පුපුරා ජලය පද්ධතියෙන් ඉවත් වීම කරණ කොට ගෙනද එන්ජිම රත්විය හැක!
එන්ජිමේ මෙම ක්‍රියාකාරී උෂ්නත්වය නිවැරදි මට්ටමකට පවත්වා ගෙන යාම සඳහා; එන්ජිම ක්‍රියාකාරී උෂ්නත්වයට පැමිණෙන තෙක් එන්ජිම තුල ඇති ජලය රේඩියේටරයට ගලා නොයා නැවත එන්ජිම තුලටම යොමුකිරීමට පද්ධතිය තුල වෑල්වයක් පවතී. 
මෙය ක්‍රියාකරණ්නේ ජලයේ උෂ්නත්වය සමගය. මෙයට තර්මෝස්ට් වෑල්වය Thermostat Valve යැයි කියණු ලැබේ. යම් හෙයකින් මෙය වැසී අක්‍රිය වුවහොත් පද්ධතිය තුල ඇති  ජලය   කෙතරම් උනුසුම් වූවද රේඩියේටරය වෙතට ගලා නොයෑම නිසා ජලය අධික ලෙස උනුසුම් වීමට ඉඩ ඇත.

මේ සියල්ලටම අහු නොවන දෝෂද  වාහන වල පවතී. භූත දෝෂ, ප්‍රේත දෝෂ හදි හූනියම් ගනයට නොවැටෙන මේවා තරමක් සංකීර්ණ තත්වයන්ය. 
එන්ජිම අනවශ්‍ය තරම් ඇඩ්වාන්ස් වීමද, පෙට්‍රල් මිශ්‍රණය වඩා සරු වීමද, ගෑස්කට් එකේ කිසියම් කාන්දුවක් තිබීම වැනි සංකීර්ණ ව්‍යාකූලතා පවතී. බ්‍රේක් බයින්ඩ් වීමක්, එන්ජිම මිස් කිරීමක්, ක්ලච් ස්ලිප් කිරීමක් වුවද එන්ජිමරත්වීමට අඩු වැඩි වශයෙන් හේතුවිය හැක! මේවා ගැන සිතා මොලය හිරිවට්ටා නොගන්න!



Monday, April 29, 2019

137. කළු ගඟදිගේ . . 3


"මහවැලි, කැළණි, වලවේ, කළු යන ගංගා . . ." 
කියා කට පාඩම් කලාට මේ කවියට ඔරිජිනල්ම ගැලපීම දක්වන්නේ කළු ගඟ පමණි!



අවසන් මොහොතේ ගමනට එක්වූ නිෂ්ඵල ඡායාරූප ශිල්පියාගේ තෙවන ඇස !

මහවැළි තරණය වන විට මා සතුව තිබුනේ එක් කයාකයක් පමණි.
 එය මොරටුවේ දනූශා මැරයින් { මේක මැරීන් නොවී මැරයින් උනේ; මේක මට විකුණන කොට කල වංචාව නිසා බව සළකන්න! (මේ ගැන ලියා ඇත!)  මේක හරියට; කෑ /යටියන්තොට වින්සන්ට් පෙරේරා විද්‍යාලයය යන්න; යටියන්තොට කෑ විසන්ට් පෙරේරා විද්‍යාලයය ලෙස ලිවීම වැනි වචන හරඹයකි!} වෙතින් නිෂ්පාදනය කොට පසුව කිරිල්ලවල - කන්ද කපාපු හන්දියේ ඔරියන්ට් ෆයිබර් හි නලීන් විසින් පුනරුත්තාපනය කල ෆයිබර් කයාකයකි.

 මෙවර අප ගමන සඳහා යොදාගත්තේ එම කයාකය සමග තවත් LDPP- Low Density Polypropylene  කයාකයකි. 
එය මා වෙතට පත්වීමද තරමක රසවත් කථාන්දරයකි. ඒකත් අසා දැන ගෙනම ගඟට බසිමු!

 ගිය වර පෝස්ටුවට කඩා පාත් වුනු කළ්‍යාණ මිත්‍රයන් මෙම පෝස්ටුව ටෙලියකට සම කලෝය. ඒද නිකංම නිකං ටෙලියක් නොව මෙගා ටෙලියකටය!
කළණ මිතු තොමෝ මා වෙත පතල මහා කරුණාවෙන් සමාව භජනය කරත්වා! 

මා සාමාන්‍ය ජීවිතයේ විවිධ කඩයීම් වලදී විශ්වාසය තබන ක්‍රියා පිළිවෙතක් වේ. 
එනම්; "අප කිසියම් ජයග්‍රහණයක් අපේක්ෂිතනම්; එම ජයග්‍රහණය අප වෙත ලැබෙනා තුරු තම සිත නොවෙනස්ව එය කෙරෙහිම අධිෂ්ඨානශීලීව එකාත්මිකව ඒකාග්‍රිකව  එල්බගෙන තබා ගත යුතුය" යන  රීතියය!

 ඊට අමතරව එම කාලය පුරාවට කියවන්නේද ලියන්නේද කතා කරණ්නේද සොයා බලන්නේද එම ඉලක්කය ගැනම පමනි. මෙයට සමගාමීව හිතන්නේද එම සුවිෂේශී කරුණ ගැන පමනක්මය. "එය" ලබා ගැනීමේ සතුට බොහෝ විට විඳිමින්ම රාත්‍රියට නින්දට යමි! උදෑසන පිබිදෙමි. යලිදු දිනය පුරා එම ප්‍රීතිය සමග ගතකරමි. 

මෙයින් අදහස් කරණුයේ හුදෙක් අහසේ මාළිගා තනන මේසන් බාස් කෙනෙකුගේ තත්වයට පත්වීම  නොවේ. ඒ තුල ජීවත් වෙමින් එය ලඟා කරගන්නා ක්‍රම වේධ පිළිඳව නිරන්තරයෙන් අවදියෙන් සිටීමය!

මේ ක්‍රියාකාරකම තුල කිසියම් සැළකිය යුතු කාලයක් ගත කරද්දී අපේක්ෂිත ජයග්‍රහණය එක් වරක් හෝ තමාගේ අතේ දුරට පැමිණෙනු ඇත. තමා එම අවස්ථාව නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙන් මෙතෙක් සිහින මැවූ ජයග්‍රහණය සැබැවින්ම තමා සතු කර ගැනීමට හැකිවනු ඇත.

කිසිවෙකුට මෙය එකෙන්ම බැහැර කිරීමට පුළුවන. ඔහු හෝ ඇය තම ජග්‍රහණයන් ලබා ගත්; අත්දුටු; ප්‍රඨ්‍යක්ෂ; මීට ඉඳුරාම වෙනස් ක්‍රම වේදයක් තිබීමට පුළුවන. 
ඔවුනට කියන්නට ඇත්තේ එයින් අපගමනය නොවී තම තමන්ට සුවිශේෂී වූ ක්‍රම වේදයන් මගින් තම තමන්ගේ ඉලක්කයන් සපුරා ගැනීම මැනැවියි කියා ය!
අනේ පුළුවන්නම් ඒ ක්‍රමය අපටත් කියා දෙනු මැනවැයි කියාය.
 (ලේසි එකක් තෝරා ගන්න!)



රතු පාට - Sit on top (Sot)  තැඹිළි පාට - Sit in top (Sit)

යත්‍රාවක් පිළිබඳ අශාවක් කුඩා කල සිට තිබුනද එය Sit On Top කයාකයක් වෙතට යොමු කලේ මීට කලකට පෙර මා හා සේවය කල චෙලාන් ගුණතිලක මහතා විසින් ය. කොටින්ම කයාක් කියන නම පවා මා දැන හඳුනා ගත්තේ ඒ මහතා ගෙන්ය. ඒ මහතා වසර ගනනාවක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වුනු; නමින් පමනක් ලාංකික වුනු කෙනෙකි. 

ඔහු විසින් එරටදී අත් දුටු; අත් විඳි දෑ පිළිබඳව  අප වැනි ස්වදෙශිකයින් වට කොට  "තෙල බෙදද්දී": කයාකින්, කෑම්පින්, හයිකින් පිළිබඳ පරිච්ඡේද්යේදී ඔහු වෙත රැඳෙමින් අති මහත් කුහුළෙන් යුතුව සියළු වචනයක්  වචනයක් පාසා, තිතක් කොමාවක් කොමාවක් පාසා ග්‍රහණය කර ගනිමින් අසා සිටියේ මා පමණි. අසා දැන ගැනීමෙන් නොනැවතී ඔහු සතුව තිබූ කයාක් කැටලොග් සඟරා වල ඡායා රූප පිටපත් පවා රැගෙන සුරැකිව තබා ගැනීමට මා යුහු සුළු විමි.

මේ අදින් වසර 20 කට පමන එහා කාලයකි.                                            
එයින් එදා පටන් එතෙක් මෝටර් ෂෝ, කොළඹ පොත් ප්‍රදර්ශනය වැනි දේට පමනක් ආගිය මා "වාර්ෂික බෝට්ටු ප්‍රදර්ශනය" හෙවත් Boat Show නැරඹීමද පුරුද්දක් කර ගතිමි.


පොත් ප්‍රදර්ශන, කාර් ප්‍රදර්ශන, ගෘහ නිර්මාණ ප්‍රදර්ශන අතර . . !

 මුලින් එය පැවතියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වුවද කාලය විසින් එය දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයට දියත් කොට හැරියේය.

මගේ මතකය නිවැරදිනම්  ප්‍රථම වතාවට දික්ඕවිට පැවති ප්‍රදර්ශනය තුල  ස්ථාපිත ශ්‍රී ලංකාව තුල නමක් දිනූ වතුර ටැංකි නිෂ්පාදකයකුගේ වෙළඳ කුටියේ ප්‍රදර්ශනයට  කයාක් දෙකක් තබා තිබුනි. 
ඉන් එකක් One man කයාකයක් වන අතර අනෙක Two man හෙවත් ටැන්ඩම් කයාකයකි.


මෙන්න මේ දෙන්නා තමයි ප්‍රදර්ශනේට උන්නේ. 
කහ එක්කෙනා Solo (One man kayak) කයාක් එකක්.
 ඒකෙ යන්න පුළුවන් එක්කනෙකුට විතරයි. 
මගේ හිත ගියේ නිල් එක්කෙනාට. 
ඒක දෙන්නෙකුට යන්න පුළුවන් Tandem (Two man kayak) කයාක් එකක්. 

නෙතට රසාංජනයක් වූ මෙම යාත්‍රාව දෙස බොහෝ වේලාවක් බලා සිටි මා ඔවුන් ගෙන් එහි මිල ගනන් විමසීමේදී ඔවුන් පැවසුවේ මෙම කයාක දෙක ඔවුනට මෝල්ඩ් හෙවත් අච්චු ලබා ගැනීමට ගෙන්වූ ඒවා බවත් එම ව්‍යාපෘථිය නොබෝ දිනකින් ඇරඹීමට නියමිත බවත්ය. ඒවන විට නිෂ්පාදනය ඇරඹී නොමැති බැවින් මිළ ගනන් දැන ගැනීමට නොහැකි විය.

කාලය ගෙවී ගියේය. 

මාස ගනනාවකට පසු මා එම ආයතනය වෙත අමතා නැවත් කයාක පිළිබඳ විමසීමක් කලෙමි. ඒ වන විටද මා එක් කයාකයක් හෝ මිළදී ගෙන නොතිබුනි. 
ඔවුන් ඒවන විටද කයාක ව්‍යාපෘථිය අරඹා නොතිබුනි. තවත් වසරක දෙකක  කාලයක් ගෙවී ගිය තැන නැවත ඔවුන් ඇමතූ මාහට දැන ගන්නට ලබුනේ ඔවුන් එම ව්‍යාපෘථිය අතර මග නවතා දමා ඇති බවත් අච්චුව සඳහා ගෙන ආ කයාකය ගබඩාවක් තුල "වේලෙන" බවත්ය!

එතැන් පටන් තවත් මාස හයක පමන කාලයක් ගෙවී ගියේ මිල ගනන එකඟ තාවයටය. අවසානයේ රුපියල් 125000 - 150000 පමන වටිනා කයාකය රුපියල් 55000 කට විකිණීමට ඔවුන් එකඟ විය! 

කරේ පාලුවට තිබුනු චේන් පොට හැටන් නැෂනල් බංකුවේ වැඩි පරිස්සමට තැබූ මා එදිනම පසිඳු සමග වාරියපොලට ගොස් කයාකය රැගෙන ගොස් හක්බෙල්ලාවක ගාල් කලෙමි.

කයාකය සමග ලබුනේ එක් හබලක් පමනි. හබලක වෙළඳ පොල වටිනාකම රුපියල් 12000 - 15000 පමන වේ. ලැබුණු හබලද එතරම් දෘඩ එකක් නොවීය. පසුව මා ඒ සඳහා තරමක සටනක් දියත් කලෙමි.

ඒ  "ගියොත් වචනයක් ලැබුනොත් අලියෙක්" තියරියට අනුවය!

අවසානයේ මා හා සටනට පිවිසියේ එම ආයතනයේ අධ්‍යක්ෂක වූ රටේ පිළිගත් මහාචාර්ය තුමෙක්ය! ඔහු මා ගේ ප්‍රශ්ණය ඉතාමත් ප්‍රශංසණීය අයුරින් හරි අපූරුවට විසඳා දුන්නේය.
 ඔහු ගේ වචනයෙන්ම මා එය මෙහි උපුටා දක්වන්නම්. 

"ඔය ගානට ඔය කයාක් එක විකුණුවේ කාගෙන් අහලද කියලයි මම තාම දන්නේ නැත්තේ. කරුණාකර ඕක ආපහු ගෙනත් දෙන්න. මම ඔයාගෙ සල්ලියි ප්‍රවාහණ වියදමයි දෙකම දෙන්න කියලා අකවුන්ටන්ට කියන්නම්! ඕක අපිට කොස්ට් වෙලා තියෙනවා එක්ලක්ෂ හැත්තෑපන් දාහක් විතර ෆ්‍රෙයිට් චාජර්ස් එක්ක" 

ඔබට සතුටුයිද දැන්? මා මගෙන්ම අසා සිටියෙමි!

මා නැවත හබල් ඉල්ලා අඬන්නට නොගියෙමි. 

හබල උන් ගාවද කයාකය මං ගාව නැවතුනි!!!

මෙවර අප ගඟක් දිගේ යාත්‍රා කරණ්නට එම කයාකය මුල් වරට යොදා ගන්නට මා තීරණය කොට තිබුනි.එය ප්‍රථම වරට දියට ප්‍රවිෂ්ඨ කලේ මීට වසර එක හමාරකට කලිනි. එවර මමත් පසිඳුත් මීටර 25 - 50 ක වටයක් පැද ගෙනවිත් ගාල් කල පසු නැවත යාත්‍රා කරණ්නේ මෙවරය. 



මැය ට ඇය නොකියා කුමක් නම් කියන්නද ?

නැවක් හඳින්වීමේදී යොදන සර්ව නාම පදය Pronoun වන්නේ ඇය යන අරුත දෙන She යන්නය. (She නමින් එච් රයිඩර් හැගර්ඩ්ගේ රසාලිප්ත නවකතාවක් වේ. එහි සිංහල පරිවර්ථනය "අයේෂා" ය!) 
 කාන්තාවට ප්‍රමුඛ තාවය උසස් ගරුත්වයක් ලභාදෙන යුරොපීය සමාජය තුල නෞකාවක් හැඳින්වීමට She සර්ව නාම පදය යෙදීමත් සමග එයටද  සමාජය තුල මහත්වූ ගෞරවයක් නිතැතින්ම හිමි වන්නට ඇත!

මේ; නැව දියත් කරණවා විනා  දිය බත් කරණවා නොවේ!

නැවක් නිපදවා ඇය ප්‍රථම වරට දියත්  කිරීම Ship Launching විශාල උත්සවයකි.නැවක් අධිකාරීත්වයට පත් කිරීමට පෙර පවතින උත්සවය එය දියත් කිරීමය. 
සාමාන්යයෙන් නැවක් දියත් කරණ ප්‍රධාන ක්‍රමවේධ තුනකි. ඉන් පලමු වැන්න ආනත තලයක් ඔස්සේ නැවේ පසුපස ප්‍රථමයෙන් දියේ ගැටෙන සේ දියට තල්ලු කර හැරීමය. දෙවැන්න වන්නේ නැව හරස් අතට දියට තල්ලුකර දැමීමය. තෙවන හෙවත් අවසාන ක්‍රමය ලෙස සැලකෙන්නේ නැව සාදන වියළි නැව් තටාකාංගනයට දිය පිරෙණ්න සලස්වා එලියට ගැනීමය. මෙම උත්සවයේදී නැව් බඳේ ගසා ෂැම්පේන් බෝතලයක් බිඳීම සම්ප්‍රදායකි.  


(මල පැන නොවේ - සතුටින් !)
මේ කඩන්නේ ගල් බෝතලයක් නොව ෂැම්පේන් බෝතලයකි.

එය අධිකාරීත්වයට පත් කිරීම සිදුකරණ්නේ චාරිත්‍රානුකූලවය. මෙය හඳුන්වන්නේ Ship Commissioning ලෙසය. කිසියම් කලෙක එම නැව සේවයෙන් ඉවත් කරන්නේ නම් අධිකාරීත්වයෙන් මුදා හැරීමද Ship Decommissioning තවත් උත්සවයකි. එහිදී සියල්ලෝ ඇයට ගෞරව  ආචාර සමාචාර පවත්වා සමුදෙති. 


Ship Commissioning

අපට; අපගේ අභිනව කයාකයට එවන් උත්සවයක් ලබා දීමට නොහැකි වුවද එම ගෞරවණීය පිළිගැනීම මගේ සිත තුල එදා තිබුනි.කිසි දිනෙක අගෞරවාන්විතව, එසේම නොසැලකිල්ලෙන්, අනාදරයෙන්,වගකීමකින් තොරව කයාක බෑම පැටවීම දියට මුදා හැරීම කිරීමට මා කිසිවෙකුට ඉඩ නොදෙන්නෙමි. මා සමග සිටින්නවුන් තුලද එවන් අවර ගනයේ හැසිරීම් මා කිසිදු දිනෙක දැක නොමැත.

දිනය 2019 මාර්තු 15 වැනි සිකුරාදා. තවත් ලෙසකින් පවසනවානම් 16 වෙනිදාට පෙරදා!

ගමන යන්න තියෙන්නේ හෙට!

දැන් සියල්ල සූදානම්ය!  
කණ්ඩායම හරි ය! 
මමත් තෙශාත් පසිඳුත් මෙතෙක් නොදුටු කසුනුත්!!
කයාක් දෙක ගෙනැවිත්ය!!!
හෙල්මට් හතරක් ලැබී ඇත.!!!!
සියල්ල යහපත්ව සිදු වෙමින්ය . . . . . . . . . . . 

උදෑසන  7.30 වන විට කිලෝමීටර 60 ක් ගෙවා මා; මාගේ සේවා ස්ථානයට ස්ථාන ගතවී හමාරය. වසරකට වැඩි කාලයක් දූවිලි වැදෙමින් පැවති කයාක පරිස්සමින් බිමට ගෙන සම්පීඩිත ජල දහරාවකින් හොඳින් පිරිසිදු කිරීම මාගේ සහෝදර සේවක "මල්ලිලා" විසින් ඉෂ්ඨ සිද්ධ කොට දුන්නෝය. ගමනට සියල්ල සූදානම් වෙමින්ය!

අනේ ඉතින් ! වයසට යන විට මිනිසුන් පොඩි ළමයින් වගේ වෙනවා!" 
කියන එක තේරුම් ගත් මගෙ සහෝදර සේවක මල්ලිලා. 
කයාක නාවමින්!


පෙර වරු 11.00 පමන පසිඳු මාගේ කර්‍යාලයට කඩා පාත් විය! සැමදා දකින කෙළිලොල් ස්වභාවය මුහුනේ එලෙසින්ම. මා ඔහු අත අපට මිලදී ගැනීමට; සපයා ගැනීමට තිබුනු අවශේෂ, විශේෂ අඩුම කුඩුම වල ලැයිස්තුව පත් කලෙමි.

"මල්ලි උඹ මේ බඩු ටික අරණ් වරෙන් . . . !"

"අයියෙ පොඩි කේස් එකක් . . . . . !"

"මොකක්ද කේස් එක . . . . . . !?"

"කසුන් ඇතුලෙ . . . . . !?"

"මොකක් . . . . ?"

"ඒකනේ . . !"

පෙරදින බීමතින් රිය පැදවීම කරණ කොටගෙන කසුන් තනමල්විල (මා සිතන පරිදි) පොලීසියෙන් අතඩංගුවට ගෙන අද දින ඇඹිළිපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පසිඳු එක හුස්මට කියාගෙන ගියේය!

"අද උදෙම ඇප  දුන්නොත් ඌ එයි . . !"

"මගුලයි . . . ! නෑ ඌ ගැන කිසිම බලා පොරොත්තුවක් තියා ගන්න එපා. ඌ නෑ කියලා හිතා ගනිං. ඉක්මනට වෙන එකෙක් බලපං. නැත්නම් වැඩේ එහෙම පිටින්ම අල වෙයි !" මම පසිඳුට මගේ ස්ථාවරය පැහැදිලි කලෙමි.

"හරි අපි වෙන එකෙක් හොයා ගත්තාට පස්සේ කසුන්ට එන්න පුළුවන් කිව්වොත් ?" පසිඳු මගෙන් ඇසුවේ මාහට පැනයක් ඉදිරිපත් කරණ්නටද නො එසේනම් පිළිතුරක් බලා පොරොත්තුවද කියා මට හිතා ගන්නට බැරිවිය.

"ටීම් එක සෙට් උනාට පස්සේ මොකා ආවත් ඌව හලලා යමු . . !?උඹ ආයෙත් ආයෙත් අම්රාන්ට කතා කරපං !"

මුළු මෙහෙයුමම කලවම් වී ඇත. අප; මීට දින දෙක තුනකට පෙර සිටි තැනට වැටී ඇත ! මොනවා කලත් 16 වෙනිදා එනම් හෙට උදේට අප ගඟක විය යුතුය!

"අම්රාන්ට කතා කරලා වැඩක් නෑ අයියේ. ඌ එන්නේ නෑ!"

"හරි!" මම තෙශාන්තව ඇම්තූවෙමි. සිද්ධිය සැකවින් කියා පෑවේය . . .!

" . . . . . . . . . . . ! " මේ තෙශාන්තගේ තනි වචනයේ පිළිතුරය.

"මචං මම ආයෙමත් ධම්මිකට කතා කරණ්නම් . . . !" මම කීවෙමි. මීට පෙර ධම්මිකට තෙශාන්තත් පසිඳුත් කතා කොට තිබුනි. පසුගිය දා යුග දිවියට එළඹුණු ධම්මිකව මුදා ගැනීම තරමක අපහසු කටයුත්තක් බව පසිඳු මා හා පැවසූ අතර නැවත මා ඔහුට ඇමතූවෙමි. 

ඔහු ඉතා සෙමෙන්; පරිස්සමෙන්; ඇහෙන නෑහෙන ගානට; කෙඳිරි ගාමින්; හිත නොරිද්දෙන පරිද්දෙන්; එනවාද - එන්නේ නැද්ද කියා නොතේරෙණ ලෙස මොනවාදෝ මිමිනුවේය! තවත් විනාඩි ගනනාවකින් පසු මට තේරුම් ගියේ ඔහු කියා ඇත්තේ "එන්න වෙන්නේ නෑ!" කියන එක බවය!

මම නැවත තෙශා මතා තත්වය යාවත් කාලීන කලෙමි!

"මගේ අයියා අනුරයා! ඕකා එළ ස්විමර් ! මං කිව්වොත් මැරෙණ්න හරි ! උඹට මතකයිනෙ අර ගං වතුරේ මල්වානෙ අපිත් එක්ක ආධාර බෙදන්න ගියේ . . . .!  අර ගල්වල හංදියේ කඩේ කරණ්නේ . . !?"තෙශා ඔහුගේ ඤාති සොහොයුරෙකු ගැන කියාගෙන කියා ගෙන යයි!

"හරි හරි බං ! මොකෙක් හරි අපිට සෙට් වෙන එකෙක් උඹ හොයාපං! " තෙශාගේ ආරළු බූරුළු අසා ඉඳ ඇතිවී මං කීවෙමි. " මොන දේකට හරි කමක් නෑ උඹ පසිඳු ඔය බඩු ලිස්ට් එක ගෙනෙං !" පසිඳුව පිටත් කර හැරියෙමි.

විනාඩි 15  ගතවෙන්නට මත්තෙන් තෙශගෙන් ඇමතුමක් ලද්දෙමි!

"මචං වැඩේ අවුල් ! උගේ දුවෙක් ලොකු ළමයෙක් වෙලා! "

"හුටා . . !"

"තව එකෙක් ඉන්නවා . . . . . පොඩ්ඩක් හිටපං මං ඌවත් බලන්නම්. . !  කිව්වොත්නම් එන්න හැට හුට හමාරක් ඉන්නවා ! ඒත් අපිට සෙට් වෙන එකෙක් වෙන්න එපායැ . !?"

දැන් ඔයින් මෙයින් දහවල් 1.00 පසුවී ගොස් ය. ඒ අතරේ පසිඳු මග සිට ගේන්නට ගිය බඩු මුට්ටු ගැන විවිධ විමසීම්ය.යලිත් තෙශා මා ඇමතුවේය.

"මචං ඌ හරියන්නෙත් නෑ . . ! ඌ කච්චතිවු ගිහින් !"

මට මේ වන විට පරාජයේ ඉව දැනෙමින් විය. හදවත මගෙන් විවිධ ආකාරයෙන් ප්‍රශ්න කරයි. "මොන විදියට හරි අපි හෙට යනවා . .! එච්චරයි . . !"

අවසානයේ මම "රෝද දෙකේ රස්තියාදුවේ" මද්දා ඇමතිමි.

 (මල්ලි ! බලන්න 2019/03/15 දින ඔබේ දුරකථනයේ මගෙන් ඇමතුමක් සටහන් වී ඇත්දැයි කියා?)  ම්හු! මද්දාගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොමැත.

තවත් පැයක් පමන කාලය ගෙවීයද්දී තෙශාත් මාත් අතර ඇමතුම් දුසිමක් පමන එහා මෙහා ගලා ගියේය.

"අම්මට සිරි! මචං තව එකම එකෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ ! ඌ මගේ බ්ලොග් එකට කමෙන් කරණ එකෙක්. ඌ ෆොටෝග්‍රැෆර් ! ඕකා දවසක් මට කිව්වා ගඟක යනවා නම් එන්නම් කියලා. පොඩ්ඩක් හිටිං ! මං බලන්නම්!" මම තෙශාට කියාගෙන කියාගෙන ගොස් දූරකථනය විසන්ධි කර නැවත එයට එබුනෙමි. මම දූරකථනය ගෙන නාමාවලිය පිරික්සුවෙමි.

"ආ මේ තියෙන්නේ . . ! 




මා දෙවරක් නොසිතාම ඔහුව ඇමතුවේ ය.

"මල්ලි ! හෙටයි අනිත්දායි මොකද කරණ්නේ ?”

“…………………………………!”

“හරි එහෙම නියමිත් වැඩක් නැත්නම් කයාකින් කරමුද ?”

“………………………………………….”

 ආ ඒකට කමක් නෑ ලයිෆ් ජැකට් තියෙනවානේ ? එළ එහෙනම් උඹ අද අපේ ගෙදරට සෙට් වෙයං !

“………………………………………….”

 පොඩි අඳුම් කෑලි ටිකක් ගනිං ! උඹ ගාව වොටර් පෲෆ් කැමරාවක් තියෙනවාද ?

“……  …..”

“ අවුලක් නෑ මං ගාව ගෝ ප්‍රෝ  එකක් තියෙනවා. හරි එහෙනම් වෙනසක් නෑනෙ!"

"හරි අයියේ! මං එන්නම් රෑට එන්නම් ඔයාලගෙ ගෙදරට !"

එළ!



ගමනට සූදානම්ව ගෝ ප්‍රො !

අපගේ සැලැස්මේ මුල් කොටසට අණ්ඩ දමා මෙලෙසින් අවසන් විය. ගමන කළු ගඟ දිගේ බව එකිනෙකා හට දැනුනේ කෙලෙසින්දැයි කියන්නට මට මතක නැත. කෙසේ හෝ වේවා කළු ගඟ දිගේ යන ගමනක් සඳහා පිඹුරු පත් සැකසෙමින්ය!


හොඳින් කුනු අතුල්ලා නා ගැනීමෙන් පසු 
නැවත ලොරි පොඩ්ඩාගේ පිට මතට වී . . !

මෙවර මා අමතර හබල ලෙස ගෙන ගියේ අළුත් කයාකය සමග ලැබුණු හබලය. එය කොටස් දෙකකට වෙන් කල හැකිවීම ; අමතර හබල ලෙස ගමනට එක් වීමට තිබුණි එකම සුදුසු කම විය!

අමතර හබල විශ්වසණීය ලෙස සැකසීම!
අමතර ශක්තිමත්භාවයක් එක් කරලනු වස් ගැසීමට රිවටයක් ලකුණු කිරීම.

සියල්ල යම් පමණකට සෙටමෝල් කර ගැනීමට හවස් වන විට අපට හැකි විය.
 පසිඳු හවස් වන විට නැවත මා හා එක් විය.

මා හදවත ස්පර්ශ කොට බැලුවෙමි. එය උනුසුම්ය. එය මා නිරණ්තරයෙන් මා උනුසුම් කරමින් ය! ඔව් ඒ උනුසුම සමගින්  නැවතත් මා ශක්තිමත්ව !

ඒත් අහපු ගමන් "හා!" කියූ ලෙසින්ම තව ටික වේලාවකින් ඇනෝපිලිස් "බෑ" කියයිද? සිත දෙගිඩියාවෙන් නිරන්තරයෙන් අසයි. හවස 5.00 ට විතර මා නැවත ඇනෝපිලිස්ට ඇමතුමක් ගත්තෙමි.

 ම්හු! 

ඇමතුම විසන්ධි වනතුරු බලා සිටියෙමි. නැවත ඇමතූවෙමි. ප්‍රථිඵලය පෙර පරිදිම විය. මෙසේ හත් අට වරක් උත්සාහ කලමුත් ප්‍රථිඵලයේ වෙනසක් නොවීය. 

"ඇත්තටම මූ එන්නේ නැතිව කෙළින් කියන්නට බැරි නිසා ෆෝන් එක නොගෙන මග අරිණවා වත්ද?" මා මගෙන්ම ඇසීමි. 

අවසානයේ මා ඔහුට කෙටි පණිවිඩයක් ලියා යැව්වෙමි.


"යකෝ කෝල් එක ගනිංකෝ !" 

මේ ඒ පණිවිඩයය!

තවත් විනාඩි 10 කින් පමණ මගේ දූරකථනය ඈඟිරි ගෑවේය!


"ඇනෝපිලිස් "

මා දෙගිඩියාවෙන් ඇමතුමට අවතීරණ වුනෙමි.

"ඇයි අයියේ ?"හීන් හඬින් කෙඳිරියක් සේ එහා ඉමෙන් ඇසුනි!

"ඇයි උඹ කතා නොකලෙ මල්ලි!? උඹ සිරාවටම එනවා නේද? ආයෙ මට වෙන එකෙක් හොයා ගන්නත් වෙලාවක් නෑ! හරිණේ?" මා නොනවත්වාම කියවා ගෙන ගියෙමි.

"නෑ දැන් රෑ යන්න තියෙනවා කිව්ව නිසා මම පොඩ්ඩක් ඇල වුනා! හරි! හරි!! ඇයි අපි යනවා නේ?"

ඔහුගේ පිළිතුරෙණ් මා නව ජීවයක් ල්බා ගත්තෙමි. මේ වගේ වැඩ වලට ඇඟේ මොන ලේ දිව්වත් හිත B Positive  විය යුතුමය. 

අප ගමන ඇරඹීමට සූදානම්ව සිටින්නේ රත්නපුර මහ සමන් දේවාලය අසලිනි. එතැන තෙක් කයාක ප්‍රවාහනය කරණ අපේ ආදරණීය ලොරි පොඩ්ඩාව එතැන සිට කළුතරට ගෙන ආ යුතුය. ඒ; ගඟ දිගේ කළුතරට එන අපව ගෙදර එක්කගෙන ඒමටය.


එහෙත් රත්නපුර සිට කළුතරට ලොරි පොඩ්ඩාව ගෙන ඒමට ක්‍රම වේදයක් නොමැති විය. තෙශා මුල සිටම කීවේ ඔහුගේ යාවජීව මිතුරෙකු වුනු සුසන්ත නම් අයෙකු වෙතින් අපගේ ලොරි පොඩ්ඩාව රත්නපුර සිට කළුතරට ගෙන යාම කර ගැනීමට හැකි බවයි.

 මන්ද රෑ 9.00 ත් පාන්දර 4.30 ත් අතර පානදුරෙණ් රත්නපුරට පැමිණීමට පොදු ප්‍රවාහන සේවාවක් නොමැති බැවින්ය. ලොරි පොඩ්ඩා කළුතරට ගෙන ගිය පසු ආපසු පැමිණීමට සිදුවන්නේ ගිය ආකාරයෙන්ම වන පානදුර හරහාය.

එහෙත් මා  ලොරි පොඩ්ඩාව කිසිවෙකු අතට මොහොතකට හෝ පත් කිරීමට හිතේ කිසිදු මනාපයක් නොවීය. එම අකමැත්ත, අමනාපයට හේතුව හුදෙක් ලොරි පොඩ්ඩාට ඇති දැඩි ආදරය ලෙංගතුකම නිසා නොවන්නට තෙශාගේ මිතුරාගේ රියැදුරු භාවයේ අඩු පාඩුවක් හෝ විශ්වසණීයත්වයේ ගැටළුවක් කරණ කොට ගෙන නොවේ.

මා සිතා සිටියේ රත්නපුරයට කයාක ප්‍රවාහණයෙන් පසු මා කළුතර මාගේ මිතුරෙකුගේ නිවසට ලොරි පොඩ්ඩා ඇරළවා නැවත රත්නපුරට පැමිණීමටය. නමුත් රත්නපුර සිට කළුතරට ගෙඩි පිටින් කිලෝමීටර 70 ක් පමණ වේ යැයි සිතන විට එය කල නොහැක්කක් බවත් කලත් එය දැඩි වෙහෙස කාරී හා කාලය නාස්ති වන කට යුත්තක් බව මා හටම පසක් විය. 
පසුව තෙශාන්ත හා මා අතර; අපහසු තාවයෙන් වුව  එකඟ තාවයකට එළඹුනේ ලොරි පොඩ්ඩා සුසන්ත වෙතින් කළුතරට ඇරළවීම පමනක් වුවත් අවසාන හෝරාව වන විට එය තරමක් වෙනස් විය.
ඒ මෙසේය: මමත් පසිඳුත් රාත්‍රී එනම් 15 වන දින9.00 පමන; අවසාන සැකසීම් වල යෙදෙන විට අහස දෙදරවා, මහ පොළොව කළම්භවා, වා තලය දෙබෑ කරමින් මතුවූයේ තෙශාන්ත මුල්කිරිගලය! එසේ නොවුනා නම් ඒ තෙශාන්ත නොවේය!

ඒ ඔහුගේ සාමාන්‍ය චර්‍යා රටාවය. ඔහු පැමිණියේ මහවැළි යන්නට පොරොන්දුව අවසාන මොහොතේ පොල්ල තැබූ  ප්‍රියන්ජන් සිල්වාගේ පජේරෝ රථයෙනි. ඒ තනිවමද නොවේ. මෙතෙක් නමින් පමනක් දැන සිටි "සුසන්ත" ද කැටිවය.
 රාත්තල් 300 ක ආදරයක් පුදන "අසන්ධිමිත්තා" තරම්ම විශාල නොවුනත්; සුසන්ත; හයෙ  නැතත් හතරේ ඩෑල් එකකි. අත්දෙක පුරා නොසිටියේ තාරා හොටක් සහිත ප්ලැටිපස් හා කුහුඹුවන් ඇහිඳ කන ආඩ්වාර්ක් පමණි! කනේ කඩුක්කමකි! කොන්ඩය ද බැඳලාද කොහෙද?


 සුසන්ත වගේ(ම) පොරක්!


නොහොටියානම් නොහිටියේ මුං දෙන්නා පමණි.! 
තාරා හොටක් ඇති ප්ලැටිපස් හා කුහුඹුවන් ඇහිඳාගෙන කන ආඩ්වාර්ක්.


ඇඟට හිරවෙන්නට ඇඳි ටීෂර්ට් එකකින් හා දණ හිස ලඟට දික් වූ කොට කලිසමකින් හේ විළිවසාගෙන පැමිණ තිබුනි. 

"සුසා මෙන්න භාන්ඩෙ . . . !?" තෙශා ලොරි පොඩ්ඩාව සුසාට දැක්වූයේ ටවුමේ මස් කඩේ මුදළාලිට හරකෙකු පෙන්වන බ්‍රෝකර් කෙණෙකු මෙනි.


මා ලොරි පොඩ්ඩා ඉස්සරහින් හිට ගත්තේ තරුණ ළමිස්සියක් ආවරණය කර ගන්නා තාත්තෙකු පරිද්දෙනි. ලොරි පොඩ්ඩා මා දෙස බලා සිටියේ මා කුමක් කරණ්නේදැයි සිතා ගත නොහැකිවය. සුසා ලොරි පොඩ්ඩාට ඉව කලේ එතරම් කැමැත්තකින් නොවේ.

ලොරි පොඩ්ඩා කයාක දෙකද පිට මත පටවා ගෙන නොසෙල්වී සිටියි. 

"මචං මූට බැරිලු මේක කළුතරට දාලා බස් එකේ කොළඹ එන්න. මූ  අපිව දාලා රත්නපුරෙන් ගෙදර ඇවිත් ඉරිදට අපිව ගන්න කළුතරට එයි. අවුලක් නෑනේ?"

"අම්මට සිරි ඒ කියන්නේ මේ සුසාද මොකාද කියන පෝරිසාදයා; ලොරි පොඩ්ඩාව රත්නපුරේ ඉඳන් කොළඹ ගෙනත් ආයෙ කොළඹ ඉඳන් කළුතරට ගෙනියන්න දෙන්න වෙනවාද?  මගෙ අම්මෝ මේකා මගෙ ලොරි පොඩ්ඩාව අපයෝජනය කරයි! මේකට මම එකඟ උනත් මගේ හදවත එකඟ කර ගන්න කොහොමත්ම බැරිවේවි!මේක හරියන වැඩක් නෙවෙයි!" මම මටම කියා ගත්තෙමි!


"අයියෙ බැරිද මේ දෙක ඔයාගෙ කැබ් එකේ දා ගන්න . . .?"

සුසා තෙශා දෙස හැරෙමින්ම විමසුවේය.

 දන් හවස් වනතුරු තෙශාන්ත සමග මා එකඟ වී සිටියේ පාන්දර යන්නට සිතා සිටියාට පැයකට කළින් එනම් පාන්දර 2.00 නිවෙසින් පිටත් වීමටය. මන්ද ලොරි පොඩ්ඩාව කළුතරට ගාල් කොට සුසන්තට ආපසු කොළඹට උදේ 7.00 වන විට පැමිනීමට ඉඩ අවකාශ සැපයීමටය. ඒත් දැන් ගහෙන් ගෙඩි එන්නැහැ තෙශා කියන්නේ වෙන අපභ්‍රංසයකි! මට ටික වෙන්න ගිනි කණ පැන ගෙන එමින්ය!

කොහොමටත් ලොරි පොඩ්ඩාව පැදවීමට මා කිසිවෙකුට වත් ඉඩ දෙන්නේ දැඩි අපහසු තාවයෙනි! 

 " මචං මේක හැම තැනම හිටිනවා. හැමෝටම ගෙනියන්න බෑ! තාම හදන ගම්න් නේ තියෙන්නේ! මේකෙ තියෙන සර්වාංග ලෙඩ ටික දන්නේ මමනේ. මාත් මේක අටව ගෙනනෙ දුවන්නේ!" 

මා කටට ආ විස්තරේ පත්තරේ දැම්මේය. ඊට හරියටම සතියකට පෙර මමත් මධුෂානුත් කඩවතින් රාත්‍රී 9.00 ට පිටත් වී හම්බන්තොට ගොස් පසු දින උදේ වැඩට යන්නට කොළඹ ආවේ ලොරි පොඩ්ඩා සමගින් බව තෙශාට අමතක වුනු සේය!

තවත් දෙබස් කිහිපයක් ඒ මේ අතට ගමන් ගනිද්දී මා දැඩි තීරණයක් ගතිමි.

"හරි කවුරුත් එපා. මම වැඩේ කර ගන්නම්! උඹ හෙට උදේ 6.00 වෙන කොට රත්නපුරේ මහ සමන් දේවාළෙ ලඟට වරෙං තෙශා. එච්චරයි මම ගේම ගහන්නම් කොහොම හරි. පසිඳු මල්ලි දැං නිදා ගන්න වෙලාවක් නෑ. දැං පිටත් වෙමු. මම ට්‍රක් එක කළුතරට දාලා එන්නම්!


" හරි ඕ කේ මචං! අපි යං සුසා!" තෙශා ආවටත් වඩා වැඩි වේගෙකින් Mitsubishi 4D56 ඉන්ටර් කූලර් ටර්බෝ එන්ජිම යටිගිරියෙන් කෑ ගස්සවමින් ඉගිල ගියේය.  ඒක්ෂණයෙන් මා ඇනෝපිලිස් අමතූවෙමි. ඌ ද එකෙන්ම සෙට්ය. 

මමත් පසිඳුත් ඇනෝ ලාගෙ ගෙදර යද්දී ඇනෝ තම පියාට තෙලක් බෙදමින් විය.

"නෑ! නෑ!! ඒ වයිට් වෝටර් රාෆ්ටින්නේ!? මේක මේ  අපි පොඩි බෝට්ටුවක් පදිනවා එච්චරයි! නෑ නෑ අවුලක් කොහෙත්තම නෑ!" 

ඇනෝගේ හීන් හඬ මිදුලටම ඇසෙයි!
වැඩි ප්‍රශ්න කිරීම් වලට හසු නොවී අප තිදෙන ඇනෝ ගේ නිවසින් පැන ගෙන රාත්‍රී 10.30 ට පමන ගමන ඇරඹූවෙමු.

සියළු බඩු මුට්ටු ආම්පන්න ඇඳුම් ආදී එකී මෙකී නොකී සියල්ල අතුරිණ් තෝරාගත් අත්‍යාවශ්‍ය යැයි හැඟුණු දේද කයාක දෙකද පටවා ගත් අප වෑබඩින් ඇඹරළුව හරහා වැලිවේරියටද එතැනින් වතුරුගම හේනෙගම; සේකරගෙ උපන් ගම්පියස වන තුං මං හංදියද පසු කරමින් කරමින් ය.   
කිරිඳිවැලට ආසන්නයෙදී  නවතා බිමට බැස සියල්ල හදවතට ප්‍රථ්‍යක්ෂ කරගෙන රී ලෝඩ් එකක්ද දා ගනිමින්ම කිරිඳිවැලට ආවෙමු.පසු කරණ කිලෝමීටරයක් කිලෝ මීටරයක් පාසා රස කතා කියමින්ද; ලබන අගෝස්තුවේ දකුණු අප්‍රිකාවේ Kruger National Park ආයතනය වෙත; Field Guide Association of South Africa - FGASA level 1 පාඨමාලාව සඳහා යෑමට නියමිත පසිඳුගේ එම විස්තරද අසමින් අප තිදෙන ගමන් ගනිමින්ය. 



මා ඇනෝ ගෙන් ලබාගත් රී ලෝඩ් එකක් හෙවත් බුලත් කොලයක් හා පුවක් කෑල්ලක් හපමින් ලොරි පොඩ්ඩා පදවමින්ය. 

ජීවිතයේ තවත් සොඳුරු අත්දැකීමක් අභියස සිටිමින් පාසල් වයසේ තුරුණු යෞවනයන් මෙන්; අප නිදහසේ ;  ටර්බෝ චාජරයකින් සවි ගැන්වෙන එන්ජිමකින් බලගැන්වෙන ෆෝ වීල් ට්‍රක් රියක නැගී මහ රාත්‍රිය ඉරා දමන වොට් 200 ක එළියකින් ගමන් ගනිමින්ය. හෙට දින අපගේ ජීවිත අවිනිශ්චිතය.
මේ මොහොතේ සුව පහසු ඇඳ ඇතිරිල්ලක් මත සුව දායක නින්දක වෙසෙන සිටුවරයෙකුගේ ජීවිතයට අපේ ජීවිතවලට වඩා වැඩි ලංසුවක් දෙවියන් හෝ මාරයා තබාවිද? 
කොහෙත්ම නැත! එකම මිළකි ! 
අද පරිස්සමින් තම සයනයට ගිය කී දෙනෙකුගේ ජීවිත් ඉරණම එම සුව යහන මතම විසඳේවිද? 
එහෙත් අපේ ජීවිත වල අවසානය වඩා සුන්දර වනු ඇත. අප මිය ගියද ඒ ජීවිතයේ අතිශය සුන්දර මතක රොත්තක් සමගය!
 එසේම අප ගැන කතා කරණ්නට යමක් තියේවි.

මද්දුම බණ්ඩාරගේ විනා ඔහුගේ සොහොයුරාගේ නම අපට මතක නැත!

කිරිඳිවැලෙන් අවිස්සාවේල්ලට යන්නට අප තොරා ගත්තේ අමිතිරිගල හරහා වැටුනු මාර්ගයය.

තනි කෙලින් හා යාන්තමින් වංගු වැටුනු පුළුල් පාරේ අප තරමක වැඩි වේගයක් රඳවා ගනිමින් ගමන් කළෙමු.
 32 X 11.50 X 15 ටයර මගින් ඉපැදුනු හඬ ගමනට  එක් කලේ තීව්‍ර ජවයකි. 
එය එන්ජිමේ හඬ අභිබවා අවට වා තලය සිසාරා පැතිර ගියේය. Nissan TD 27 ටර්බෝ චාජරයෙන් බල ගැන්වෙන එන්ජිම එකම හඬක් නගමින් ය.

 එය කනට මිහිරි හඬකි. වේග පහේ ගියර පෙට්ටිය; එන්ජිම මහන්සි නොකලේය!

 තරුණ එන්ජිම  හා අළුතින් එක්කල වේග පහේ ගියර පෙට්ටිය;  වයසක ලොරි පොඩ්ඩාට නව ජීවයක් ලබා දෙමින් ය. අප තිදෙන ග්‍රාම්‍ය නොසරුප් වදනින් අලංකාරවූ කතා කියමින් උස් හඬින් හිනා වෙමින් යමින් වන්නෙමු. 

ඔව් එය  සුන්දර ගමනක්! අතිශය සුන්දර ගමනක් . . . . . . . !


අමිතිරිගල පසු කොට ගුරුගල්ල තල්දූව හරහා අවිස්සාවේල්ලට පැමිණි අප රත්නපුර දෙසට හැරුණෙමු.  






තවත් නවමු අත් දැකීමක් සමගින් . . . . ළඟදීම . . . . !



23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...