කිසිවෙකු අතට පත්වෙන තුරු ඉන්නා ආඩම්බරේ
කාට කාටත් හොඳ පාඩම්!
ට්රීං......ට්රීං.......! ට්රීං......ට්රීං.......!!
මේ
පෝස්ට් එක ලියන්න පටන් ගත්තු වෙලේ ඉඳන් එකසිය ගානට බාධා! ඇති යාන්තම් කෝල් එක කට් උනා!!
එහෙමනම් කතාව පටන් ගනිමු උදයසිරි ගැන . . . . . .
මට
ඔහු ගැන ඔත්තුව කීවේ එවකට නාලන්දාවේ ක්රිකට් පුහුණු කරුව සිටි ප්රසාද් මහතා.ඒ වසික හරහා.
වසික
17න් පහල වෙන තුරු ක්රීඩා කලේ උපුල් චන්දන දුන්නු බැට් එකකින්. ඒක SG බැට් එකක්. උපුල් චන්දනට දීලා තිබුනේ රොහාන් ගවස්කාර් - සුනිල් ගවස්කාර් ගේ පුතා. SG කියන්නේ
සුනිල් ගවස්කාර් කියන එක වෙන්න ඕන.
ඒ
බැට් එකෙන් අවුරුදු ගානක් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසට ක්රීඩා කල වසික නෙවේ අළුත් බැට් එකක් ඉල්ලුවේ.
ඒත් දවසක් . . . . . . . . . . !
"තාත්ති
ප්රසාද් සර් කිව්වා අළුත් සීසන් එකේ ප්ලේ කරණ්න අළුත් බැට් එකක් ගන්න කියලා . . . . !"
"ඉතින්
. ,. . ?'
"අරණ් NCC
එකේ උදයසිරි කියලා කෙනෙක් ඉන්නවලු. ආන්න එයාට කියලා සීසන් කර ගන්න කිව්වා . .!"
වසික
කවදත් ක්රීඩා කලේ No name බැට්
එකකින්. ඒ කියන්නේ නමක් ගමක් කිසිදු ජාතක කතාවක් කියැවෙන ස්ටිකර් නැති නිකම්ම නිකං ලැලි කෑල්ලක් වගේ එකකින්. මේකට හේතු කාරණා ගනනාවක් තිබුනා. ඉන් මූලික එක තමයි ස්ටිකර් ගසා ඇන්දූ පසු බැට් එකක සාමාන්ය එකකට වඩා මිලෙන් අධික වීම. අනෙක අනිත් පිති කරුවන් "Gray Nichols ",
"S S ","Slazenger","Duncun Fer neal " ,වගේ නම් දරාපු ඒවායින් ගහද්දී වසිකට ඕන උනේ නමක් ගමක් නැති බැට් එකකින් සුපිරි පිති හරඹයක යෙදෙන්න!
ඉතින්
මමත් අඩු මුදලකට නිරුවත් බැට් එකකුත් අරගෙන NCC එකට
ගියේ උදයසිරි හමුවන්න. නොබෝ
වේලාවකින් උඩු රැවුලක් සහිත කුඩා මිනිසෙකු බොක්කෙන්ම උපන් සිනහවක් අතින් ගෙනම මා ඉදිරියට ඇවිත් හිට ගෙන!
"උදය
සිරි . . .
!?"
"ආ!
ඔව්!! මමතමයි . . . . . !"
මා
අවශ්ය තාවය කීවෙමි.
"හෙට
නෙවේ අනිත්දා 2 න්
පස්සෙ එන්නකෝ . . . . !"
ක්රිකට් පිත්තක් පිළදී ගැනීමෙන් පසු එය එකවරම පන්දුවට පහර දීම සඳහා යොදා නොගනී. ක්රිකට් පිති සාදන්නේ Willow දැවයෙනි.
හොඳම පිති සාදන්නේ English Willow ලීයෙන්
වන අතර මේවන විට Kashmir Willow දැවය
මේ සඳහා බහුලව යොදා ගැනේ. මෙසේ සාදන ලද ක්රිකට් පිත්තෙන් දෙන පහර පන්දුව මත දැඩි ගම්යතාවයක් ඇතිකිරීමට පිත්තේ මූනත හොඳින් පදම කර ගත යුතුය. එසේම; පන්දුවට වැරෙන් එල්ල කරණ පහරින් පිත්තට හානියක් නොවීමට නම් මෙම
පදම් කිරීම අනිවාර්ය යෙන්ම කලයුතු අවශ්ය කරුණකි.
ඇයි
ඔය සීසන් කිරීම පිති නිශ්පාදකයා විසින්ම නොකරණ්නේ ? යැයි කිසිවෙකුට හෝ ප්රශ්ණ කල හැක. එයට පිළිතුරු කිහිපයක්ම ඇත.
1.පිත්තක්
පදම් කල පසු පිත්තේ මූනතේ පෙර පැවති ප්රභාව අතුරු දහන් වේ. එය බැට් එක මාකට් කිරීමට බාධාවකි.
2. පිත්තක්
සීසන් කිරීම යනු හුදෙක්මූනත තලා දැමීම පමනක් නොවන්නෙය .පිත්තේ බර ; පිතිකරුට අවශ්ය පරිදි අඩු කිරීමද ඇතුලත්වේ.පිති නිශ්පාදකයා විසින් පිත්ත නිපදවන්නේ තාක්ෂනික වශයෙන් නිවැරදි උස බර සමබරතාවය රැකෙන පරිදිය. එහෙත් බොහෝ විට සිදුවන්නේන් පිත්ත මිළදී ගන්නා පිතිකරු තමන්ට සරිලන පරිදි එහි බර උස මහත වැනි අගයයන් තමන්ට රුචි පරිදි වෙනස් කරමින් සීරු මාරු කරගැනීමයි!
මේ
සියල්ල සිදු කෙරෙණ්නේ බැට් එක සීසන් කිරීමේදීය. එසේම බැට් එකේ හෙවත් පිත්තේඉහල හා පහල කෙලවර වල ආරක්ෂාව සඳහා බයින්ඩ් යෙදීම; එනම් පිත්ත හරහා නයිලෝන් නූලක් වාර ගනනාවක් තදින් එතීම සිදුකරණ්නේද මෙම සීසන් කිරීම අතර වාරයේය.
එසේම
පිත්තේ මූනත මත ආරක්ෂා වීම පිණිස අලවන සුපර් කවරය අලවන්නෙද මෙම අවස්ථාවේදීමය.
තවද
බැට් එකේ හැන්ඩලයට පිති කරුගේ අවශ්ය තාවයට අනුව ග්‍රිප් එකක් නොහොත් මිට ආවරණය කෙරෙණ රබර් වැස්ම යෙදීමද මේ සමගම සිදු කෙරේ.
මේ
බොහෝ කාරණා සිදුවන්නේ පිත්තේ අවසන් පාරිභෝගිකයාගේ අභිමතය පරිදි විය යුතු හෙයින් නිශ්පාදනයේදී පදම් කිරීම කරණු නොලබයි.
ඇති පදං පදම් දිවුමේ දිවූ බස් කොමළියන් අවාරෙට පැහෙනා දෙල් සේ දක්නට දුලබය!
මීට
කලකට පෙර ලංගමයට අළුතින් බස් රථ ගෙන ආවිට කිසියම් කාල පරාසයක් "පදම් දිවුමේ" යොදනු මෙය
කියවන සෑම් මහත්තයාලට, කුමාර මහත්තයාලට, අසංග රණසිංහ ආරච්චි සොයුරාට මතක ඇති. මේ වන විට එන්ජිම නිශ්පාදනයේදී වඩාත් සුමට ලෙස එය නිමැවීම හෝ / හා කම්හලේ සිට නැව්ගත කිරීම වන තෙක් කෙරෙණ ධාවනය කරණ කොට ගෙන; මේ වන විට අපට අළුත් කිරි කිරි ටොයියා බස් රථ සත පනහේ රුපියලේ දුරවල් වල යෙදෙනු දැකීම අතුරුදහං කොට ඇත්තේය!
පදම් කොට මුට්ටියෙන් එළියට එන මුහුරත් උළෙල දා!
ගෙවල්
වල ආච්චි අම්මලා සමග කොණ්ඩ කැවුං හදපු නෝනලා වෙත්නම් හදපු කැවුං ටික දවසක් යනතුරු පදම් වෙන්නට මුට්ටියක දමා කට ගැට ගසා ; මුරට ගෙදර පූසාව තබා තියන්නට ආච්චිලා වග බලාගනු මතක්
වෙනු ඇති. සිංහල වේවා මැලේ වෙවා කොහි හත් දීපංකරෙණ් කොපි කොට සැකසුවද අච්චාරුවට ගැම්ම ආරෝපණය වන්නේ ටික දිනක් පදම් වෙන්නට තැබීමෙනි.
සිංහ ලේ . . කියා මැරෙණ්න හැදුවට නම ම ලන්දේසි !
ඉතින්
ක්රිකට් පිත්ත ගැන කුමණ කතාද?
පිත්තක්
පදම් කරණ්නේ රාත්තල් හතරේ බෝල මිටියකින් දෑත බදා කෙළා වදාරා නම් නොවේ.
එයට
කාලයක් ගතවෙන ක්රමානුකූලව ඉවසිල්ලෙන් යුතුව කලයුතු දෙයකි.පලමුව පිත්තේ මූනත මත අමු ලින්සිඩ් තෙල් වත්කොට රෙදි කැබැල්ලකින් පිත්තේ ආලේප කර ගත යුතුය.ඉන් පසු එය පුරා පැය 24 ක් උරා ගැනීමට තබනු ලැබේ. මෙසේ තෙවතාවක් පමන සිදුකොට ඉන් පස ලී මිටියකින් (Mallet) ක්රමිකව සෙමෙන් පහර දෙමින් පිත්තේ මූනත පදම් කර ගනු ලැබේ.
අපට
එකල පාසලේ ඉංග්රීසි කාලපරිච්ඡේදයේදී ගුරුතුමිය How to make a coconut sambol
යනුවෙන් වැකි පහක් අපි ලවාම ලියවන්නට යෙදුනි.කාලපරිච්ඡේදය අවසන් වී පංති කාමරයෙන් පිටවන්නට මත්තෙන් ඇය කීවේ දැන් ගෙදර ගිහින් අම්මාට පොල් සම්බෝලයක් සාදා දෙන ලෙස ය. කාරණය ඇත්තය අපි ඒ වනවිට පියවර පහෙන් පොල් සම්බෝලය සාදන
හැටි සාකච්ඡා කොට උගෙන කියවා ලියා අවසන්ය. එහෙත් අපි අම්මාට හදා දුන් පොල් සම්බෝලයක් තබා බැලුම් බෝලයක් වත් නැත! මන්ද ගිරවා දැම්මාට කොරණ්න ගිය තැන එය සෙල්ලමක් නොවන නිසාය. කීම හා කිරීම අතර වෙනස දෙවෙනි වන්නේ රුපියලත් ඩොලරයත් අතර වෙනසට පමණි! එය එසේ නොවන්නට අප පියවර තුනෙන් අලියාව ෆ්රිජ් එකට දමා වසා ; තවත් ටික වේලාවකින් පියවර හතරෙන් ජිරාෆ් හටද එම විනැම්බෑසියම සිදුකොට හමාරය.
ක්රිකට් පිති පදම් කරණ ආකාරයත් වැකි දෙක තුනකින් මා ලියා දැමූවද එය ප්රායෝගිකව සිදු කිරීම පොල් සම්බෝලයක් සාදනවා සේම අත්ගුණය බලපාන කරුණකි. “පොල් සම්බෝලත් කාලා තියෙනවා මෙහෙම එකක්නම් කෑවමයි!” කියා; හිටපු ගමන් කියැවෙන්නේ එනිසාමය!
මීට
වසර 8 කට පමන පෙර දිනක් වසික මා හමුව "තාත්ති ප්රසාද් සර් කිව්වා අළුත් සීසන් එකේ ප්ලේ කරණ්න අළුත් බැට් එකක් අරණ් NCC එකේ උදයසිරි කියලා කෙනෙක් ඉන්නවලු. ආන්න එයාට කියලා සීසන් කර ගන්න කිව්වා!" යැයි කීවේ මේ නිසාමය.
එදා
උදයසිරි කී පරිදිම දින දෙකකට පසු පිත්ත මා අතට පත්විය. පිත්තෙන් වසික කල කී දෑ ඔහු පිළිබඳව මා ලියන්නට සිතා සිටින පෝස්ටුවෙන් කියවමු.කෙසේ වෙතත් එය අතිශය ප්රවේගකාරී බවක් පෙන්නුම් කලේය.එය "Four Scoop Gray Nicolls ",
"S S Jumbo",
Gunn and Moor, Kookaburra Kahuna අතර
වසිකට සිටගෙන සිටීමට
අවශ්ය වාරුව ලබාදුනි.
උදයසිරිගෙ ලියකම්!
My name is nobody
හරි දැන් හෙලවියංකො බලන්න!
ඉන්ධන මිල සුත්‍රය එන්නට කලින් දැනගෙන සිටි ලොකුම හිර වීම
සුපර් කියන්නෙ නිකං නොවේ!
පදම් කිරීමෙන් අනතුරුව සුපර් කවරයක් අන්දා!!
බැට් පදම්
කරණු මා ජීවිතයේ මුලින්ම දුටුවේ එවකට නාලන්දයේ ක්‍රීඩා පිට්ටනියට අධිගෘහිත දේවතාවන්
වූ ඇඩ්ඩිං අයියා වෙතින්ය. සමහරුන් පිති පදම් කිරීම සඳහා ලී මිටියක් හෙවත් Mallet එකක්
වෙනුවට ක්‍රිකට් බෝලයක්ම පාවිච්චි කරති. ඇඩ්ඩි අයියාද ක්‍රිකට බෝලයකින් බැට් එකකට:
භාරයක් ඔප්පු කරණා ලෙසින් ගහගෙන ගහගෙන යනු මා දුටිමි.බොහෝ කාරණා කාරණා පසුව වැටහෙන
ලෙසින්ම පසුව ඒ සිදුකලේ කුමක්දැයිවැටහුනි."සත්‍යය වැටහෙන විට සියල්ල සිදුවී හමාරය..!"යැයි
ත්‍රී වීලරයක ගාසා තිබුනේ බැට් පදම් කිරීම ගැන විය නොහැක!
ඇඩ්ඩිං
අයියාගේ අතින් පදම්වූ පිති වලින් විපුල ඵල නෙලා ගත් වර්ණපුරලා, මහානාමලා, ගුරාලා ඉන්පසු
සේවය ලබාගත්තේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ඩීන් වෙතින්ය.තවත් කලෙකින් මහානාමගේ ගුරාගේ
පමනක් නොව මුළුමහත් ශ්‍රී ලංකා කණ්ඩායමේම ක්‍රිකට් පිති පදම් කලේ උදයසිරි ජයවර්ධන හෙවත්
උදය සිරි වෙතින්ය. දැන් මෙන් නොව එකල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරග වලදී
බොල අල්ලන්න්ට පමනක් නොව; අපටද බැට් කරණ්නට චාන්ස් ලැබුනි. එම චාන්ස් එකෙන් උපරීම ප්‍රයෝජනය
ගත් අප කණ්ඩායම ලකුණු වැපුරුවේ උදයසිරි පදම් කල පිති වලිනි.
රන්ජන්
මඩුගල්ල, අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රුමේෂ් රත්නායක, හෂාන් තිලකරත්න, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර ඇතුළු බොහෝ ක්රීඩකයින් වැඩ පෙන්නූ පිති වලට පන පොවන ලද්දේ උදයසිරි විසිනි. අදද ඔහු
එම කටයුත්ත දිගින් දිගටම කලද වර්ථමාන ක්රීඩකයින්ගේ නම් මෙම ලැයිස්තුවට ඇතුලත් නොකිරීමට මා වග බලා ගතිමි.ඒ ඔහුටත් හිටපු ක්රීඩකයින්ටත් කරණ ගෞරවයක් ලෙසය!
උදය
සිරි පිළිබඳව මාහට පෝස්ටුවක් ලියන්නට සිතුනේ හේතු උනේ මේ කිසිදු කරුණක් නිසා නොවේ! ඔහුගේ සේවය ලබා ගෙන ඇත්තේ අපරටේ ක්රීඩකයින් පමනක් නොවන නිසාය.
"මම
තෙන්දුල්කාර්ටම විතරක් බැට් 17 ක් හදලා දීලා තියෙනවා!එයා තමයි මම දන්න බරම බැට් එකෙන් බැට් කරණ කෙනා. එයා ලංකාවට ආවොත් යන කොට බැට් දෙක තුනක් ගෙනියනවාමමයි. ඒවා ගත්තේ "The Cricket Shop" එකෙන්. ඒ අරගෙන මාව ගෙන්වාගන්නවා SSC එකේ ඩ්රෙසිං රූම් එකට. ඊට පස්සෙ එයාට ඕන විදියට බැට් එකේ බර බැලන්ස් කරලා සීසන් කරලා දෙනවා!” මේ ඔහුගේම වචන.
ට්රීං......ට්රීං.......! ට්රීං......ට්රීං.......!!
මේ
පෝස්ට් එක ලියන්න පටන් ගත්තු වෙලේ ඉඳන් එකසිය ගානට බාධා!
ට්රීං......ට්රීං.......! ට්රීං......ට්රීං.......!!
ඔය
ආයෙත් වැඩේ නවත් වන්න වෙනවා. ඔන්න ආයෙමත් අර කෝල් එකමද කොහෙද! දැන්නම් කමක් නෑ ; පෝස්ට් එකේන් සැහෙන ප්රමාණයක් ලියලා ඉවර නිසා.පොඩිත්තක් ඉන්න ඒකට කථා කරලාම ඉන්නම්.
ඔවර් සීස් කෝල් එකක්.කිලෝමීටර 8000 කට එහා සිට - කැන්ගරු දේශයෙන්; වසික!
" හෙලෝ
පුතා කියන්න . . . .!"
"තාත්ති
මාව මෙහේ යුනි එකේ ටීම් එකට සිලෙක්ට් උනා!
“එළ!
කොන්ග්රැට්! කොන්ග්රැට්!! ඉතින්?”
“මම පස්සෙ කතා කරණ්නම් ; විස්තර කියන්න! මගේ පරණ බැට් එක එවනවද උදයසිරි අංකල්ට කියලා ආයෙමත් සීසන් කරවලා . . .?"
"ඉතින්
දරුවො ඔහේන් ගන්නකෝ අලුත් හරි යූස් කරපු හරි බැට් එකක්! මේ පරණ බැට් හොයනකල්!'
"අපෝ
මට මෙහෙන් බැට් එකක් ගන්න එකනම් එච්චර දෙයක් නෙවෙයි! ඒත් කවුද උදයසිරි අංකල් වගේ ඒක මෙහේ සීසන් කරණ්නෙ?"
"එළ!"



