Wednesday, April 15, 2026

303. දයා ගේ දයාබර ගීතයක් ගැන අතුරු කතා දෙකක් . . !


මේ කථාව කියන්න හදපු බොහෝ තැන් වලදි මම ඇහුව ප්‍රශ්ණයක් තිබුනා.

"මේ ගීතය ගැන දුක්බර කථාවක් මෙන්ම රසවත් කතාවකුත් තියෙනවා. මුලින් ඕන මොන කතවද?"

මේකට මොන විදියේ උත්තරයක් ලැබුනත් මම අවසානෙට කිව්වේ රසවත් හෙවත් "ආතල්" කථාව.

එහෙමනං අටුවා ටීකා ටිප්පණී පැත්තකන් තියලා කථාව අහමු.

මීට මාස කිහිපයකට පෙර මමත් අපේ නාරි වෛද්‍ය ප්‍රසාද් රන්ණුළුත් එයාගේ අක්කාත් අක්කාගේ පුතා නිපුනුත් අපේ හිතමිත්‍ර පල්ලියගුරුත් කල්පිටියේ ගියා.

ඒ ගමන අවසන් උනේ කල්පිටියට ඔබ්බෙන් තිබෙන බත්තලං ගුණ්ඩුවේ.

නාරි වෛද්‍ය ප්‍රසාද් රන්ණුළු (හෙන් රි කල්දේරා වගේ සිටින්නේ ) ඊට පසු පසින් කොණ්ඩය ඊ ගහ සේ අහසට දිගු කරගෙන විරිත්තාගෙන සිටින්නේ පල්ලියගුරු හෙවත් පල්ලි මල්ලි!
(කල්පිටියේ සිට බත්තලං ගුණ්ඩුව තෙක් බෝට්ටු ගතවී හොඳ සිහියෙන් සිට ගත් අවසන් ඡායා රූපය.)

එදා රාත්‍රිය අප ගත කලේ බත්තලං ගුණ්ඩුවේ වෙරළේ ස්ථාපිත කුඩා අට්ටාලයක හෙවත් Chalet එකක.

වෙනදා පල්ලි - මල්ලී පුරුද්දක් විදියට මෙවන් ගමන් වලට යද්දී තම ගිටාරය රැගෙන යාම කලත් එදා එයා ඒක අමතක කර තිබුනා. ඒත් අපි දෙදෙනා රාත්‍රියේ පැහැදිලි අහස දෙස බලාගෙන සිංදු කීම නොකර සිටියේ නෑ. අපි ගීත කිහිපයක් මිමුණුවා.  පල්ලිත් මමත් මධුවිතින් හොඳින් සංතර්පණය වී සිටියා!

එදා තිබුනේ පැහැදිළි අහසක්. මුහුදේ රළ බිඳෙන වැඩෙන ගලා ගොස් නිහඬ වන හඬ තරමක් ඈතින් ඇසුනා. 

"අයියේ මට හිතෙන්නේ ප්‍රේමකීර්තිගේ ප්‍රථිභාවෙන් දයා ද අල්විස්ගේ හැකියාව වැහිලා තිබුනා කියලා! එයා ප්‍රේම් නැතිව වෙන කෙනෙක් බැඳලා හිටියා නම් එයත් ප්‍රේම් තරම්ම කතාවෙන මාතෘකාවක් වෙන්න තිබුනා . . . . !" සිංදු දෙකක් අතර හිඩැසට පල්ලි මේ "ඇඩ්" එක කූඥ්ඥයක් වාගේ රිංගෙව්වා.

ඇත්තටම මගේ හිතේ හිටිය අංක එකේ ගීත රචිකාවිය යමුනා මාළනී පෙරේරා. ඒත් දයා ගැනත් 'මෙත් සිතක්' හිතේ නැතුවාම නොවේ. වැඩේ තියෙන්නේ යමුනාගේ ගීත; යමුනාගේ කියා අසා තිබුනත් දයාගේ ගීත දයාගේ කියා අසා නොතිබීමත් මීට හේතුවක් වෙන්නට ඇති.

"ඇයිබං උඹ ඒම කියන්නේ?" මම එහෙම ඇහුවේ දයා ගැන අහිතකින් නෙවෙයි. ඔවැනි කාරණා කාරණා ගැන පල්ලියාගේ අදහස් දැක්වීම අසා සිටින්නට ඇති ලෝභකම හින්දාමයි.

"ඔයාට මම එක සිංදුවක් කියන්නම් අහලා බලන්නකෝ.  මට මතකයි ඔබ පිපිලා උන්නා දුනුකේ ගසක සුදූ . . . . . ! මේ සිංදුව කියන දෙන්නා නම් මට මතක නෑ. ඒ උනාට මාර සිංදුවක් ඒක.  . . . . "

"පොඩ්ඩක් හිටහංකො Youtube එකෙන් බලමු . . . . . .!" පල්ලියා පාරට්ටු කරපු ගීතය අසා බලන්නට මම මොබයිලේ අතට ගත්තා . . . ! අරං ඒක ඇහැරව ගෙන; රතු කොටුවේ ඊ හිස හොයන්න  මූනත පහුරුගාන කොට;

"අයියේ ඔයා දයා ද අල්විස් songs කියලා හොයන්නකෝ . . . !" කියලා අත්වැල් ඇල්ලුවේ මගේ මොබයිලේට හොට ඔබාගෙනමයි.

"ආ! ඔය තියෙන්නේ . . . . ! ආ! ඔය තියෙන්නේ පළවෙනි සිංදුව මම කියපු එක. . . .!" පල්ලියා උච්චස්වරයෙන්  මුර ගෑවා.



මෙන්න ඒ  සිංදුව. මෙන්න මෙතනින් අහලම යමුකෝ. මේක අහන්න කම්මැළිනම් මේ පෝස්ටුව කියවන එක මේන්න මෙතනිං නවත්තලා වෙන වැඩක් කර ගන්න යන්න! මම එහෙම කියන්නේ මගේ ජීවිතේට ඇසුව රසාලිප්තම ගීත කිහිපයෙන් එකක් වන නිසමයි.
හැත්තෑව දශකයේ; ගුවන් විදුලි සංස්ථාව; ගුවනේ දික් විජය කල කාලයේ ගුවනේ පාවෙනවා මට අද වගේ මතකයට ආවා.

මෙහි විශේෂත්වය වූයේ මෙම ගීතය ගායනා කිරීම මෙන්ම එය සංගීතවත් කර තිබුනේද මෙම "අඥාත" හෙක්ටර් සිල්වා විසින්ම වීමයි!

මේ සිංදුව ඇසූ පසු මම ඒකේ කැරොකෙ ට්‍රැක් එක හොයාගෙන එතන ඉඳන්ම දෙපාරක් කිව්වා. (ගායනා කලා එහෙම නොවෙයි - තරහ අවසර!)

මේ සිංදුව ඇහුවාට පසුව මේ ගැන හොයන්නට පටන් ගත්තා මම කල්පිටියේ ඉඳන් ගෙදර ආව දවසේ ඉඳන්ම. 

මේ ගීතය ගායනා කර තිබුනේ හෙක්ටර් සිල්වා කියනා ගායකයා විසින්. ඒ හඬ හරිම නිර්මළ හඬක්. කිසිම කවළමක් නැති Unique හඬක්. ඒ වගේම ගායිකාව වන පුන්යා කත්‍රිආරච්චිට තිබුනේ දැළි පිහියක් වැනි තියුණු හඬක්. ඒ හඬවල් දෙක එකිනෙකට ගැලපී ගියා හොඳින්ම.
මේ ගීතය සහ නන්නාඳුනනා ගායකයා පිළිබඳව සොයා බලන්නට; මේ ගීතය යූ ටියුබ් ගත කරලා තිබීම යටතේ තිබුනු කොමෙන්ටු ටික දවසක් මහ රෑ වෙනතුරු මම කියෙව්වා.

ඒ කමෙන්ටු අතර එම ගීතයේ සහ ගායක ගායිකා යුවලගේ ගායනාව ගැන බොහෝ කථා කොට තිබුනා. ඒ අතරින් ඔහු ලංගමයේ රත්මලාන ඩිපෝවේ බස් කොන්දොස්තර වරයෙකුව සිටි බව කියැවී තිබුනා! එසේම ඔහු සංගීතය උගැන්වූ බවට ඉඟියක් පලවී තිබුනා.

එහි තවත් තැනක මෙම සංගීතවේදියා, ගායකයා ගැන ඉතාම සංවේදී වීඩියෝ සටහනක් ගැන ලියැවී තිබුනා. ඒ බන්ධුල නානායක්කාරවසම් විසින් රූපවාහිණී වැඩ සටහනකට ඉදිරිපත් කල මතක ආවර්ජනයක් පිළිබඳව. ඒ වීඩියෝව මෙතැනින්  නරඹන්න.

මේවා ඔබ ඔබා නරඹන්නට දුක් විඳින්නට අකමැති අයට ඉතාම කෙටියෙන් පවසනවානම් B ශ්‍රේණියේ ගායකයෙකුවූ මෙම කොන්දොස්තර වරයා කිසිදු අගැයීමකින් තොරව මියගොස් ඇත. 
(මම ඉතාමත් ආදරයෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටිනවා බන්ධුලගේ මෙම ඉතා සංවේදී වීඩියෝවත් ලෝභ නොවී නරඹන මෙන්.)

මේ ගීතයට සම්බන්ධ කිසිවෙකු හෝ අද වන විට අප අතර නැත!

**********************************************************************

දැන් ඇරඹෙන්නේ "හඳ මාමා" ආතල් පිටුවයි.
ඉතින් මම මේ ගීතය හෙවත් සිංදුව අහපු දවසේ ඉඳන් ගායනා කිරීමේ ආශාවකින් සිටියා. 
පසුගිය 10 වෙනිදා පොඩි පහේ උපන්දින උත්සවයකදී මෙම ගීතය ගායනා කරණ්නට මමත් බිරිඳත් සැදී පැහැදී සිටියා. 
එතැන අප වාගේම බොහෝ බොහෝ යුග ගීත ගැ‍යුනා. කොටින්ම එතැන ගයන්නට ආරාධනය (අවසරය ) තිබුනේ යුග ගීත පමණක්මයි.

සියල්ල සුපිරියටම සංවිධානයකර තිබුනත් ගීත ගායනයේදී බොහෝ තාක්ෂණික දෝෂ වලට මුහුණ දීමට ගායක ගායිකාවන්ට සිදු උනා. කැරොකෙ ට්‍රැක් එක නිවැරදිව ධාවනය වුවත් එහි  බිත්තියේ එල්ලා තිබුනු පුළුල් තිරයේ පද මාලාව දිවීම කෙරුණේ "පුළුවන්නම් උඹ කියලා පෙන්නපං!" කියනවාක් මෙන්. බොහෝ විට එය එක තැන නැවතී තිබුනා!
කැරොකේ තිරය බලා ගායනා කිරීම එතරම් චිත්තාකර්ෂණීය දර්ශණයක් නොවෙන නිසා ගීතය කඩදාසියක මුද්‍රණය කරගෙන ඒමට යෝජනාවක් සංවිධායකයින් විසින් කලින්ම කර තිබුනා.
ඒ නිසාම අප අපගේ මෙම "මට මතකයි ගීතය" කඩදාසියක මුද්‍රණය කරගෙන ගෙන ගොස් තිබුනා.

අපගේ නම උත්සවය මෙහෙය වන්නා විසින් කියැවුනා.
අප දෙදෙන එතැනට ගිහින් ගීතය පටන් ගත්තා. අපගේ හඬවල් ශාලාව සිසාරා ඇසුනා.
ඊළඟ මොහොතේ ගීතය කැරොකේ තිරයේ ධාවනය ඇන හිටියා! එතැන සිටි අනුරුද්ධ මල්ලී; ඈත සිට මා දෙස බලා ගීතය ධාවනය නැවතී ඇති බව ඉඟියෙන් පැවසූවා!
ගීතයේ කැරොකේ හඬ අවුලක් නැතිව දිව්වා!

ගීතයේ මුල් සංගීත කණ්ඩය, ස්ථායි කොටස් දෙක අතුරු සංගීත කණ්ඩය පලමු අන්තරා කොටස් දෙක යලිත් අතුරු සංගීත කොටස වැයෙමින් ගැයෙමින් සාර්ථකව ගීතය ගලා ගියා.

බොහෝ දෙනෙක්ගේ අවධානය ඊට යොමුවී ඇති බවක් හැඟුණු ඒ මොහොතේ දෙවන අතුරු වාදනය අතරේ නොටේශන් ස්ටැන්ඩ් එකේ අමුනා තිබුනු ගීතයේ යටි කෙළවරට මාගේ නෙත් යොමු උනා.

"අම්මට සිරි! මේකෙ සිංදුවේ අන්තිම පෙළි හතර නෑනේ!" මම බිරිඳට මිමුණුවා.
බිරිඳට එය ඒ මොහොතේ වත් සිතා ගැනීමට හෝ තේරුම් ගැනීමට නොහැකි උනා!

අතුරු සංගීත කණ්ඩය අවසන් වී මගේ ගායන කොටස ඇරඹුනා.

"ඕ පූ!" කියලා හිතින් හිතාගෙන මා ගායනය ආරම්භ කලා.

 "දිය සුළි නැගිලා - වෙරළට ඒද්දී
  දිය සුළි නැගිලා - වෙරළට ඒද්දි
  බෙලි කටුවේ සැඟවීලා
  මුතු ඇටයක් තිබුනා . . . "

දැන් තමයි වෙන්න තියෙන හොඳම දේ වෙන්න තියෙන්නේ. ඊළඟට ගායිකාව විසින් ගායනා කිරීමට නියමිත පද පේළි හතරින් එකක් වත් කඩදාසියේ තිබුනේ නැහැ.
මීට දින දෙකකට පෙර අප දෙතුන් වතාවක් මේ ගීතය පෙර හුරුවක් ලෙස  ගායනා කොට තිබුනත් අප දෙදෙනාටම මේ ගීතය ආගන්තුක එකක් වූවා!


ජීවිතේට දෙතුන් විටක් පමනක් අසා ඇති මෙම ගීතයේ 
" සසරේ පෙරදා - වරම් ලැබූ ලෙස
  සසරේ පෙරදා - වරම් ලැබූ ලෙස
  බෙල්ලෙකුගේ සඟවාලා
  මම ඔබ රැක ගත්තා . . . . . . "  
යන කොටස ඇයට කෙසේ නම් මතක් වේවිද? අන්තරා කොටස ඇය කෙසේ නම් ගයන්නේද?  
ඊළඟ මොහොතේ එතෙක් අප වෙත තිබුනු ආකර්ශණය පොල් මල පොළොවේ ගැසූ සෙයින් සුනු විසුනු වී යනු ඇත! (මගේ යටි  සිත මට මුර ගා කියයි.)

අවසන් අන්තරා කොටස් දෙක අතර වූ; ගායකයාගේ හා ගායිකාවගේ හඬෙහි පහත් උස්  බව තූලනය කිරීමට යොදා ඇති   කෙටි අතුරුවාදනය ශාලාව පුරා ගලා යෑමෙන් අනතුරුව ගායිකාවගේ අන්තරා කොටසට නිමේශය නිරාවරණය උනා.

ඇය කිසිදු වෙනසකින් තොරව ගයන්නට උනා..

"සසරේ පෙරදා පෙරදා - වරම් ලැබූ ලෙස
 සසරේ පෙරදා පෙරදා - වරම් ලැබූ ලෙස
 පිළිගන්නේ සැංගීලා
 මම ඔබ රැක ගත්තා . . . . "

කිසිම අවුලකින් තොරව ගීතය සමාප්ත විය. කිසිවෙකුට කිසිදු අඩුපාඩුවක් නොදැණුනා සේය. 

සුපිරි අත් පුඩියක් ලැබුනි.
ඇයට අමතකව තිබුනේ තෙවන පද පේළිය පමණි. 
ජීවිතේට කවියක් ලියා නැති ඇයට; ගීතයේ ගලායාමට බාධාවක් නොවන සේ හිටිවන කවි පදයක් දිවගට පැමිණී තිබුනි! 
ඇය ගීතයේ අමතකව ගිය කොටස දිවගට ආ වදන් පෙළින් පිරියම් කරගෙන තිබුනි.

වෙන්න ගිය හතර විළි ලැජ්ජාවක් එසේ නිමා විය.

"ජීවිතේ සුන්දරද මෙතරම්" ගීතය ඊළඟට ගැ‍යුනා නම් කෙතරම් අගනේදැයි මට සිතුනි.

21 comments:

  1. අය්යෝ.. ළගම ඉදගෙන් සිංදුව අහලත් මට එහෙම අවුලක් තේරුනේ නැහැ කියන්නකො ...

    ReplyDelete
    Replies
    1. ඔයා නම් මොකද එතන හිටිය විශරද තුමාටවත් ඒක තේරිලා තිබුනේ නෑ නේ!

      Delete
  2. දෙපාරක් ඇහුවා

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රාජේ ඒක හරිම ලස්සන ගීතයක්; සියල්ල අඩු - වැඩි නොවූ!

      Delete
  3. තිලින ප්‍රියසාද්April 16, 2026 at 4:21 PM

    ඒක පට්ට සින්දුවක් තමා අයියෙ.. මම ඇහුවෙත් අද... හෙක්ටර් සිල්වා මහත්මයා ගැනත් දැනගත්තෙ මේක කියවලා. දයා ද අල්විස් මහත්මිය පට්ට සින්දු ගොඩක් ලියලා තියෙනවනෙ ගූගල් සර්ච් කරලා බැලුවාම.. හිමීට අහලා බලන්න ඕනි..

    ReplyDelete
  4. තිලින ප්‍රියසාද්April 16, 2026 at 4:23 PM

    වෙලාවක් තියේනම් සෞම්‍ය කුමාර යාපා බණ්ඩාර මහත්මයා ගැනත් පෝස්ට් එකක් ලියන්නකො අයියෙ.. එතුමාගෙත් ලස්සන ගීත දෙකක් අපිට අහන්න ලැබුනේ අපි මචං බෑන්ඩ් එකෙන් ඒ සින්දු කිවුවට පස්සෙ...

    ReplyDelete
  5. ස්තූතියි මල්ලී!

    ReplyDelete
  6. බන්ධුල නානායක්කාරවසම්ගෙ කටහඞ කියන්නෙම භාවනාවක්. හිත සසල කල කතාවක්. තව කොච්චර "කොම්දොස්තරවරු" අපට මිස් වෙලා ඇද්ද? ස්තූතියි 🙏💐

    ReplyDelete
    Replies
    1. මගේ ඊළඟ උත්සාහය මේ හෙක්ටර් සිල්වා සොයා යෑම්! බලමු ඒකත් හොඳ පෝස්ටුවක් වෙයිද කියලා!

      Delete
    2. ආන්න ජංසං! නියමයි, ඒක අපට මඟෑරිච්ච ඒ වගේ කලාකාරයිට කරන පිදුමක් වේවි.
      +++++++++++++++++++👌🙏💐

      Delete
    3. සති දෙක තුනක් යාවි! 😁😁😁

      Delete
  7. දයාද අල්විස් ගේ සින්දු ඒ දවස් වල නිතරම වෙළඳ සේවයේ ගියා

    ReplyDelete
    Replies
    1. දයා ද අල්විස් අප අතරින් වෙන්වෙන්නට බොහෝ කාලෙකට පෙර තමයි ගුවන් විදුලිය
      අවසන් ගමන් ගියේ!

      Delete
  8. එයා ලියපු මම කැමතිම සින්දුව - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට කියන එක . https://www.youtube.com/watch?v=zoUaG0Ull-w&list=RDzoUaG0Ull-w&start_radio=1

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරිම සුන්දර ගීතයක්!

      Delete
  9. ඔබේ සටහන ආසාවෙන් කියෙව්වා. දයා අක්කා ගේ ගොඩක් ගී මතු වුනේ නෑ කියන අදහසේ තමයි මමත් ඉන්නේ. ඇගේ එකෝමත් එක දවසක සහ එකෝමත් එක දවසකට පස්සේ පොත් පුළුවන් නම් කියවන්න. ඔබට ගොඩක් දේ දැනගන්න පුළුවන්. https://www.sinhalasindu.lk/mata_mathakai_oba_sinhala_song_1021.html . ඔබ දිගු එකතු කරලා තියෙන එක හරිම වටිනවා . බන්දුල අය්යාගේ විස්තරත් හරිම ආසාවෙන් ඇහුවා. ඔබේ සටහන ගොඩක් දිහා වලට ගෙනියනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ!
      හැමදා වගේම ඔබගේ වදන් මගේ ලිවීමට ඉන්ධන!

      Delete
  10. ලිපිය කියෙව්වා... හරිම රසවත් ...
    අන්තිමට අර ගායක යුවලට උන හදිය ගැන කියවද්දී නම් හිනා කාල මලා බම් අයියේ..
    මේ වගේ දෙයක් මට උනා නම් ගීතය පැත්තක තියෙද්දී මම හිනා වෙයි.... අයියෝ.... සාමි.....

    ReplyDelete
  11. දිනමිණ - April 29, 2026

    මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස් ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

    මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

    සුභා­ෂිණී සේනා­නා­යක

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
    Replies
    1. @ anonymous 7.49 AM

      අපේ ගයනි කෞෂල්‍යා මැඩම්ට මඩ ගහන්න එපා ඕයි, ඕවා බොරු මඩ, මෙන්න එතුමිය ගැන චරිත සහතිකයක්

      ////ජාතික ජන බලවේගයේ (NPP) පාලනය යටතේ නවෝදයක අරුණළු සොයන වර්තමාන ශ්‍රී ලංකාව තුළ, ළමා පරපුරේ සුරක්ෂිතතාව උදෙසා ගයනි කෞෂල්‍යයා විජේසිංහ මහත්මිය සහ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය පෑහී සිටිනුයේ දේශයේ දරුවන්ගේ නෙත් අග රැඳි කඳුළු පිසලන මහා කරුණා මෙහෙවරක පුරෝගාමීන් ලෙසිනි.

      දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය පරිපාලනය අතර තිබිය යුතු සුසංයෝගය මනාව පසක් කරමින්, සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ඉතාමත්ම සමීප මිතුරියක මෙන්ම විශ්වාසනීය සහකාරියක ලෙස ගයනි කෞෂල්‍යයා විජේසිංහයන් දක්වන දායකත්වය, දශක ගණනාවක් පුරා අඳුරේ පැවති ළමාරක්ෂක ක්ෂේත්‍රයට අලුත් බලාපොරොත්තුවක් එක් කර ඇත.

      විශේෂයෙන්ම "You Belong to the Country" වැනි ජාතික ජන බලවේගයේ ජාතික වැඩසටහන් හරහා ඇය පෑ සහයෝගය, අමාත්‍යවරියගේ සමාජ සාධාරණත්වයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට විශාල රුකුලක් වූ අතර, ඇයගේ විශිෂ්ට පරිපාලනමය ශක්තිය සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ඍජු ප්‍රතිපත්තිමය තීන්දු ක්‍රියාත්මක කිරීමට මනා පිටිවහලක් වී තිබේ. එනමුදු, අහස උසට වැඩ කරන දැවැන්තයන්ට එරෙහිව පවතින නීතිමය රාමුවල දුර්වලතා හේතුවෙන් ළමා අපචාර නඩු ප්‍රමාද වීම වැනි චෝදනා ඇය හමුවේ එල්ල වූයේ, දැවැන්ත වෘක්ෂයකට පවා කුණාටු හමන නියාමය සිහිගන්වමිනි.

      එසේ වුවත්, වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය දැක්ම තුළ ඇය පෑ මිතුදම සහ නිල මෙහෙවර, දරුවන්ගේ මල් වැනි සිත් සුවපත් කරමින් රටට අලුත් හෙටක් උදා කරන උදාර පාරමිතාවක් ලෙස ඉතිහාසයට එක් වනු නොඅනුමානය.//

      මේ පාරමිතා පුරන බෝසත් වරියක් ඕයි?

      Delete
  12. අර මොකෝ අර පිළිකන්නේ හැංගිලා රැකගන්නවැයි කියන්නේ? හැංගිමුත්තං සෙල්ලමක්ද? :)))))))))

    පහුවෙලා හරි සුබ උපන්දාවක් වේවා බොසා.. ආයේ කවදාද හම්බ වෙලා අඩියක් පුඩියක් ගහන්නේ ඈ?

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...