Wednesday, August 27, 2025

294. හොම්බෙන් යවන Interview


මම මේ කල්පණා කලේ මේ හෑල්ල ආකෘථ පිරමීඩ න්‍යායෙන් ලියන්නද අනුපිළිවෙළ ලියන්නද කියලා.

ඕ. පු කියලා ඔන්න ඔහේ ලියනවා.

මම ඔටෝ මිරාජ් එකේ ඉන්න කාලේ මට හිටියා සහකාර කළමණාකරුවො දෙන්නෙක් එක්කෙනෙක් මගේ ආදරණීය මිත්‍රයා රුශාන් ගමගේ මල්ලි. ඌ තමයි මෙහෙයුම් සහකාර කළමණාකරු උනේ. 

තවත් ආතල් බුවෙක් හිටියා අසේල කියලා. ඇඟපත එහෙම හොඳට තියෙන, බර වොයිස් එකෙන් කතා කරණ, කතා කලොත් ටෝක් දෙන කෙනෙක්. මෙයා තමා සහකාර කළමණාකරු - කාර්මික! එයා ජර්මන් ටෙක් එකෙන් එළියට ඇවිත්; මෙහේ ඩිපෝ වල එහෙම වැඩ කරලා මැද පෙර දිග ගිහින් ආපු කෙනෙක්. 

"මොනාද මිස්ට මංජුල කියන්නේ . . . " කියලා තමයි මෙයා ඕන ටෝකක්; පොර ටෝකක් බවට පෙරලා ගත්තේ. ටික වෙන්න පණ්ඩිත උනාට යමක් කමක් කරගන්න පුළුවන් මනුස්සයෙක්!

මෙයාගේ ටීම් එකේ හිටිය මිකැනික් ලා එහෙම නැත්නම් කාර්මිකයෝ කිහිප දෙනෙක් අස් වෙලා ගියා. අසේල එක්ක වැඩ කරණ එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි කියලයි හැමෝම කියන්නේ. ඉතිං මේ නිසාම මෙතන වැඩක් හරියට කෙරුණෙම නෑ. මොකද වැඩක් ගත්තොත් එතන ඉන්න ඇච්චි කොල්ලෙක් දෙන්නෙක් අල්ලගෙන අසේල අතින් තමයි වැඩේ ගොඩ ගියේ.

මේ නිසාම අපි සම්මුඛ පරීක්ෂණ හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා නම් ඉන්ටර්වීව් කරණ්න පටන් ගත්තා අපිට ප්‍රාණයක් සොයා ගන්න. ප්‍රාණයක් කිව්වට ඇත්තටම ඒක අසේල දෙයියන්ට දෙන නර බිල්ලක් වගේ එකක්.

ඉතිං ඉල්කෝල වලින් එළියට ආපු ගමන්; ටෙක් වල කෝස් එකක් එහෙම කරපු පොඩි කොල්ලේ දෙතුන් දෙනෙක්ම අපි එක දිගට විටෙන් විට ඉන්ටර්වීව් කලා.

ඉන්ටර්වීව් බෝඩ් එකේ හිටියේ මමත් රුශානුත් අසේලත් තිදෙනායි. 

 මම පළවෙනියෙම්ම කරණ්නේ; අපි ඉස්සරහ;  මරණ්න ගෙනාපු එළුවෙක් වගේ ඉන්න තරුණයාව තිගැස්ම නැති වෙන්න කතා කරණ එකයි. කොලුවා ටිකක් නෝමලයිස් වෙලා බැලන්ස් උනාම අසේලට කියනවා ප්‍රශ්ණයක් දෙකක් අහන්න කියලා.

ඊට පස්සෙ තමයි වැඩේ සුපිරිම සිද්දිය වන්නේ.

අසේල රැල් බුරුල් ඇරලා අහනවා බර දාලා ප්‍රශ්ණයක් ආපු කොල්ලට "හික්" ගෑවෙන්න. අනේ කොල්ලාගෙ තොල කට වේලිලා සුදුමැළි වෙනවා. ඌ; කාමරේ ඇතුලට ආපු දොර දිහා බලන්නේ පැනලා දුවන්න වගේ. 

ඒ එක්කම ආයේ අහනවා ප්‍රශ්ණයක් කොල්ලට තියා ගොඩ්ලිබ් ඩේම්ලර්ගේ කිරි අප්පුච්චටවත් උත්තර දෙන්න ගියොත් "අම්මට සිරි" වෙන්නම! ඔහොම අති භිහිසුණු, ලොමු ඩැහැගන්වන සම්මුඛ පරීක්ෂණ විනාඩි 15 ක් තුල පණ බේර ගත්තු කොල්ලා යන්නේ ආපහු හදිස්සියේ බස් එක කැඩුනත් ඔටෝ මිරාජ්ජෙක පැත්තෙන් පයිං යන්නෙවත් නෑ කියලා හිතට අරං.

"වැඩක් නෑ මිස්ට මංජුල . . . !" අසේල කියන්නේ ගෙදරට ආපු හොරෙකුට හතර හන්දි කැඩෙන්න ගහපු ලයින් එකෙන්.

මේ විදියට; අසේල; කොල්ලො හතර පස් දෙනෙක්ගෙම මොළේ කෑවාට පස්සෙ තවත් හයක් හතරක් දන්නේ නැතිව එකෙක් ඉන්ටර්වීව් ආවා.

කොල්ලව ඉන්ටර්වීව් එකට බෝඩ් රූම් එක ඇතුලේ ඉන්දවන්න කියපු මම මගේ මේසේ ඉස්සරහින් අසේලවයි රුශාන්වයි වාඩි කර ගත්තා!

මම මගේ මෙසේ උඩ තිබුනු සිලිකන් ටියුබ් එක අතට ගත්තා. ඇත්තටම අපි පුරුද්දට කටවහරට; සිලිකන් ටියුබ් එක කිව්වාට මේකට කියන නියම නම RTV Silicone Gasket Maker  කියන එකයි.

ඔය පහලින් තියෙන්නේ ඒවා දෙක තුනක පිංතූර.  





ඇත්තටම මේ ටියුබ් එක ඇතුලේ තියෙන්නේ නිකං කොහොල්ලෑ වගේ එකක් බව හැමෝම දන්නේ නැතුව ඇති කියලා ටිකක් ඒ ගැන ලියන්නංකෝ. 

වාහනේක හරි වෙනයම් උපකරණයක කොටස් දෙකක් සවි කිරීමට යන විට එහි මූනත් දෙක මැද්දට; ඒ කාලේ කිරළ පැකිං, පැකින් පේපර් පැකිං, රබර් පැකිං දානවා වගේ මේ "කොහොල්ලෑ" ටිකක් පලු දෙකේ ගාලා එකට තියලා ඇන දාන එකයි කරණ්නේ.

මේ යට පිංතූරේ තියෙන්නේ එන්ජිමක සම්ප් oil Sump හෙවත් තෙල් දෙන එන්ජින් බ්ලොක් එකට සවි කිරීමට පෙර තෙල් කාන්දු නැවතීමට  (නිල් පැහැතී කඩදාසි පැකින්  එකකින් මුද්‍රාවක් යොදන ආකාරයයි.

ඉහත කඩදාසි පැකිං එක වෙනුවට සීලන්ට් යෙදීම පහත රූපයෙන් දැක්වේ.


දැන් අසේල ලොක්කයි රුශානුයි ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. මම මේසෙ උඩ තිබ්බ; අර කලින් කිව්ව සීලන්ට් ටියුබ් එක අතට අරං අසේලට පෙන්නුවා.
"අසේල ඔයා කොච්චර කාලෙක ඉඳන් මේ සීලන්ට් පාවිච්චි කරණවද . . ?"

"මොනාද කියන්නේ මිස්ට මංජුල අපි සවුදියේ ඉන්න කොට මගේ ලොකර් එකේ හැම වෙලාවේම සීලන්ට් ටියුබ් දුසිමක් විතර තියෙනවා. මම ඔය කියන කාලේ මෙහේ බාස්ලා සීලන්ට් ගැන අහලවත් නෑ . . . . . . . !'

"හරි ඔය ටියුබ් එකේ මොකක්දමේ RTV කියලා ගහලා තියෙන්නේ?"

"අ . . අ . ඒක මේකේ ජාතිය වෙන්න ඇති . . .!'

"නෑ නෑ අසේල ඔය ඕන සීලන්ට් එකක මේ අකුරු තියෙනවා . . .!"

"අනේ මන්දා ඒකනං . . ! මම සීලන්ට් පාවිච්චි කරලා ඇති මගේ මේ ඉසේ කෙස් ගානට . . . !"

" . හරි! ඒක තමයි . . ! RTV කියන්නේ රූම් ටෙම්පරේචර් වොල්කනයිස් (Room Temperature Volcanize) කියන එක! ඒ කියන්නේ මේකෙ ඇතුලේ තියෙන ගම් එක ටියුබ් එකෙන් එලියට ඇවිත් කාමර උෂ්නත්වයේ තිබුනොත්; ඉතා කෙටි කාලෙකදී ඒකෙ තිබුනු රබර් වගේ දේ වොල්කනයිස් වෙලා රබර් පැකින් එකක් නිකංම හැදෙනවා . . . !

දැං බලන්න අසේල මම ඔයාව ඉන්ටර්වීව් කරණ්න ගිහිං ඔය ප්‍රශ්ණෙ ඔයාගෙං මම මළවෙනියෙංම ඇහුවා නම් ඔයා කොර වෙනවානේ . . . . !?!?!? ඒ කියන්නේ ඔයා මේ සීලන්ට් නොදන්න එක නෙවේ. ඔයා නොදන්න ප්‍රශ්ණයක් මට හොයා ගන්න පුළුවන් උනු එකයි ඒකෙ රහස . . . . ! මෙතනට ඉනර්වීව් එන එකාගෙ අපි බලන්න ඕන ඌ නොදන්නේ මොනවද කියලා නෙවෙයි දන්නෙ මොනවද කියන එකයි. අපි ඌව තෝඅර ගත්තොත් අපිට මිනිහෙක් ලැබෙනවා. ඌට ජොබක් සෙට් වෙනවා. ඒක ෆිෆ්ටි - ෆිෆ්ටි, වින් වින් සිටුවේශන් එකක්. හරි ඒ ටික හිතට අරං ගිහිං අපි ඉන්ටර්වීව් එක පටං ගම්මු . . . . . . !"

සම්මුඛ පරීක්ෂණය ඇරඹුනි. සහභාගී වූ තරුණයා ඉතා සාර්ථකව එයට මුහුණ දුන්නේය. එළඹුනු සඳුදා සිට ඔහු ටූ පෝස්ට් ජැක් එක යට සිට මොන මොනවාදෝ ගලවනු දක්නට ලැබුනි.

මා පුරුද්දක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී; අපේක්ෂකයාගෙන් විමසන්නේ මා හොඳින් දන්නා කාරණා ගැන පමණි. අභාග්‍යයකට හෝ ඔහුට ඊට පිළිතුරු දී ගත නොහැකි වුවහොත් මා ඊට පිළිතුර ඉතා හොඳි පැහැදිළි කරයි. එසේම අපගේ ඇබෑර්තුවට නොසෑහෙන තරම් සුදුසුකම් ඇත්තෙකු මුණ ගැහුණු සැම විටම ඔහුව වඩාත් ඔහුගේ අනාගතයට සුදුසු ආයතනයකට යොමු කරණ්නට උත්සාහ ගත්තෙමි.

මේ කතාව අලුතින් මතකයට ආවේ මාගේ මිතුරෙකු වූ ශානක රාජකරුණාගේ දියණිය හා සම්බන්ධ කාරණයකදීය.

ශානාගේ දුව මෙරට ස්ථාපිත ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගන්නේ ක්ලාස් එකක් එක්ක. ඉතිං මේ කෙල්ලට ආධුනික පුහුණු කාර්යය සඳහා සුදුසු නීති කඩයක් එහෙමත් නැත්නම් ලෝ ෆර්ම් එකක් සොයා දීම භාර උනේ අපේ බිරිඳට. එයත් කෙල්ලගේ ජීව දත්ත එයා දන්න එකකට යැව්වාම කෙල්ලට එන්න කියලා. දරුවා ආපහු ගෙදර ගිහිං තියෙන්නේ ලොකු අවුලකින්!
මොකඩ ඉන්ටර්වීව් එකේදී එතන හිටපු උගත් නීතීඥ්ඥ නෝනා මේ ළමයාට කියලා තියෙන්නේම් රස්සාවේ තියෙන බැරි අමාරු කම් ගැනයි අපහසු කම් ගැනයි දුෂ්කරතා ගැනයි.

"අපි ඔයාව ගත්තොත් ඔඅයාට රෑවෙනකල් උනත් ඉන්න වෙයි . . .!" නෝනා කථාව අවසන් කරලා තියෙන්නේ ඒ විදියට. 
මේ මීට දශක කිහිපයකට පෙර ඉන්ටර්වීව් කල ආකාරයයි. එතැන තියෙන අන්තිම "කට්ට" ගැන කියලා ඊට කැමතිවෙන එකාව ගන්නට එකල සිටි පාලකයෝ ක්‍රියා කල බව මටද මතකය. 
සත්තකින්ම ඒ තරම් කට්ටට්ක් කන්නට එන්නේ එල්ලෙන්න වැලක් හොයා ගන්නට බැරි අපි වගේ එකෙක් විනා වැඩක් කරගන්නට පුළුවන් එකෙක් නෙවේය.
ඉන්ටර්වීව් එකකදී තමා ඉදිරියට එන රැකියා අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව; තමාගේ වකුගඩු දෙක ගලවාගෙන යන්නට පැමිණි එකෙක්සේ දකින්නේ ඇයි දැයි මාහට තවමත් සිතා ගත නොහැක.
දුෂ්කර අවස්ථාවකදී කල යුතු කැප වීම පිළිබඳව ඔහු හෝ ඇයට මතක කරණු විනා; උඹට දෙන්නෙත් රුපියල් පහයි, රෑ එළිවෙනකල් ඉන්නෝන, දවස් තුන්සිය හැට පහම වැඩ, අඩු පාඩුවට අපේ ගෙදර බල්ලව නාවලා  ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ කුණු අතුල්ලන්න ඕන යැයි පැවසූ විට රැකියාවකට එන්නේ වෙන කරණ්නට දෙයක් ඇත්තේම නැති එකෙක් පමණි.

මේ ගැන සුපිරි වීඩියෝවක් ජනයි ප්‍රියයි ඩබලගේ ඇත. මේ ගැම්මටම ඒකත් බලලාම යන්න.



සුපිරිනේ?

ඉතිං මගේ බිරිඳට ඔය ගැන කියලා; අර දුවව ඉනටර්වීව් කරපු නෝන මහත්තයාගේ පරලෝ සැපත් මව් පාර්ශ්වය මතක් කරමින් ඉන්නකොට බිරිඳ කරකවලා ඇහුවා මගෙන් කොර වෙන ප්‍රශ්ණයක්.
ඉතිං රෑවෙනකල් වැඩ කරණ්න උන දවසකට කොහොමද ඒ girl ව  නතර කර ගන්නේ මුලින් එහෙම නොකියලා තිබ්බොත්?

අංක එක ටික දවසක් යන කොට එයාට අපිට බැහැ කියන්නට බැරි ලෙසට කණ්ඩායමේ සාමාජිකයෙක් කර ගන්නෝන ඉස්සෙල්ලාම!

දෙක; ඒ වෙලාවට ඒ දරුවගේ අම්මට හරි තාත්තට හරි අපිට කතා කරණ්න පුළුවන් "මිස්ට රාජකරුණා . . . ! ඔයාගේ දුවගෙන් අපිට පොඩි වැඩක් කරගන්න තියෙනවා . . . . ! කෙල්ල  talented නේ . ඒ case එක handle කරණ Lawyer කැමති නෑ මේ දුව කරපු එක වෙන කෙනෙකුට දෙන්න! අද අපි පොඩ්ඩක් මෙයාව තියා ගන්නද . . ? මම එයාව pick me එකක දාලා door step එකටම එවන්නම් . . !? දරුවටත් හොඳ experience  එකක් මෙහෙම case එකක් තනියෙම handle කරණ්න ලැබෙන එකත් . . . !?

එහෙම කිව්වාම බෑ කියයිද?  ඉන්න එවුංට රෑට Pizza දෙකක් ගෙනත් දීලා Coke එකක් ගෙනත් දුන්නාම උනුත් බැලන්ස්! මොකද කියන්නේ එහෙම නැද්ද?"

Thursday, August 14, 2025

293. පොත් හොරා . . . !

වරෙක චන්දන කීර්ති බණ්ඩාර විසින්ද;; තවත් වරෙක මවිසින්ද අවසානයේ ෂානක රාජකරුණා විසින්ද; පාෂාණභූත කලේ මෙවන් පොත් රාජයෙකි!

මගේ පවුලේ මා බාලයා විමි. අක්කා සහ මා අතර වසර 6 ක හිඩසක්ද අයියාත් මාත් අතර වසර 8 ක කාල පරාසයක්ද තිබුනි. ඔවුන්ගේ යොවුන් වියේදී මා කුඩා දරුවෙකු වූයෙමි. ඔවුන්; පුස්තකාල වලින් ගෙන ආ නවකථා පොත් කියවනා කාලයේ මා කියැවූයේ "හත් පෙති මල" ය. අයියා ඩීමන් ආනන්දගේ පොත් පිංච වල් ගෙනැවිත් ගෙදරට හොරා කියැවූ අයුරු මට මතකය. අපේ ගෙදර පොත් කියවන ගෙයක් විය. අක්කාත් අයියාත් ගෙදර ගෙනා පොත් අපේ තාත්තාත් අම්මාත් කියවනු මා දැක ඇත!

තාත්තාට ෆයිල් කබර්ඩ් එකක් තිබුනි. අපේම කියා අපට තිබුනු "එකම" පොත් දෙක වන; මුනිදාස සෙනරත් යාපා විසින් පරිවර්ථනය කර තිබුණු "අපරාජිත බිස්මාකය" පොත සහ ඩබ්ලියු ඒ ද සිල්වාගේ "විජයබා කොල්ලය" පොත පමණි. ඒවා ප්‍රදර්ශණ භාණ්ඩ සේ තබා තිබුනු අතර එය යතුරු ලා වසා තැබීමට තාත්තා වගබලා ගත්තේය. මීට අමතරව "ශ්‍රී ලංකා" සඟරා කිහිපයක්ද තිබුනි.

කලකට පෙර බීබීසියේ සේවය කල චන්දන කීර්ති බණ්ඩාර අපේ අක්කාගේත් අයියාගේත් පාසැල් මිත්‍රයෙකුවූ අතර ඔහු සතු පොත් එකතුවක් වූ බව; අයියා දිනක් අක්කා සමග පවසනු මාහට ඇසුනි.

"කවදා හරි රස්සාවක් කරණ කාලෙකද මාසෙකට එක පොතක් වගේ අරගන්නෝන . . . " අයියා අක්කා සමග පවසනවා මා හට අදටත් මතකය. 

පසු කලෙකදී චන්දන කීර්ති බණ්ඩාර සහ මා හොඳ මිතුරන් වීමු. අප එකට අඩියක් ගැසූ අතර එක සිගරැට් එක දෙකට බෙදාගෙන බීවෙමු. ඔහුත් මාත් එකට නසසපයේ (නව සමසමාජ පක්ෂය) දේශපාලනය කල අතර කලාව, පොත් පත්, දෙශපාලනය, සංගීතය, ප්‍රේමය, ලිංගිකත්වය, චිත්‍රපට මෙවැනි බොහෝ මාතෘකා පිළිබඳව බොහෝ වේලා  අප කථාබස් කලෙමු. සත්තකින්ම "කතාබස් කලෙමු!" කියා ලොකුවට ලීවාට එය  "ඔහුට සවන් දුන්නෙමි!" යනුවෙන් ලීවානම් වඩා නිවැරදිය.

එකල ඔහු සේවය කලේ නසසපයේ නිළ පුවත්පත වන "හරය" පත්තරයේ ඡායාරූප ශිල්පියා සහ වාර්ථාකරුවෙකු ලෙසය. එහි මුද්‍රණාලය තිබුනේ දෙමටගොඩ වැල්ලම්පිටිය පාරේ පෙට්‍රෝලියම් රේල් ගේට්ටුව පහුකරණවාත් සමග දකුණු පසින් ය. එහි කොතලෙ හෙවත් එඩ්වින් කොතලාවල, වටරැක සුනිල් ගාමිණී, නලීන් මහේෂ් පෙරේරා වැනි තවත් පිරිසක් විය. මේ සියළු දෙනාම පොත් කියවන, පත පොත සමග දවස ගෙවූ අයය. 

ලෙටර් ප්‍රෙස් මැෂිම සඳහා ඊයම් අකුරු අමුනමින් සිටිනා ගමන් වුවද; විටෙක ඔවුන් කථා බස් කලේ පත පොත ගැනය. එකල මා උසස් පෙල ලියන කාලය විය. මෙම හමුවීම් මාගේ ජීවිතයේ බොහෝ වෙනස් කම් වලට මූල බීජ සැපයීය. "පොත්" යනු; ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් සේ දැනෙන්නේ මේ සමගය!

චන්දන කීර්ති බණ්ඩාර පිළිපදින, නැතහොත් නිතර පවසන  අමුතු "තියරි" කිහිපයක් විය. 

"මුදල් ඇත්තේ හම්බකරණ්නයි, වියදම් කරණ්නයි, හොරකං කරණ්නයි!" මේ එක් තියරියකි. 

"පොත් ඇත්තේ ලියන්නයි, කියවන්නයි,  හොරකං කරණ්නයි!"

ඔහුගේ විසල් සහ වටිනා පොත් එකතුවෙන් පොතක් ඉල්ලූ විට පවසන ස්ලෝක පාඨයක් විය.

එය මට මේ මොහොතේ මතක් කරගැනීමට නොහැකි වුවත් එහි අදහසවූයේ "ස්ත්‍රිය සහ පොත; අන්සතු කලහොත් එය කිසිදා තිබුනු ආකාරයෙන් ලැබෙන්නේ නැත!" යන්නය.

"මාගේ පොත් එකතුවවේ ඇති පොත් මා කිසිවෙකුට ණයට නොදෙමි! මන්ද: මෙහි ඇති පොත් වලින් බොහොමයක් මා අනුන්ගෙන් ණයට ඉල්ලාගෙන ආ පොත් ය!" ඔහු සෑම විටෙකම පැවසූ අනෙක් වැකිය ය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී "පොත් එකතුවක්" යන සිහිනය තුල මා කිමිදෙමින් ය!

මා; මටම කියා පොත් රාක්කයක් සාදා ගත්තේ පිටකෝට්ටේ 585/B ගෙදර නිවැසියෙකුව සිටියදීය.

පිටකෝට්ටේ හංදියට ඔබ්බෙන් වූ ලී මඩුවකින් රබර් ලෑලි හයක්. එස් ලෝන් බට කැබැල්ලක් හා නට් ඇන්ඩ් බෝල්ට් හෙවත් ඇණ මුරිච්චි කිහිපයක් උපයෝගී කරගෙන මමම එය නිමවා ගත්තෙමි. මේ : උසස් පෙළ ලියනා කාලයේය. 

සාදා නිමකල පොත් රාක්කය "උඹද - මමද" යන රිද්මයට දෙපැත්තට වැනුනු එය තරමක් හෝ ස්ථායි කර ගත්තේ එක පසකට බර කොට බිත්තියකට සිර කර ගැනීමෙන් විය!

හෙළයේ මහා පොත් මැදුර ලෙස විරුදා වළිය ලත් ඇම්. ඩී. ගුණසේන පොත් සාප්පුවේ ගබඩා හිස් කරමින් මහා පොත් සල්පිලක් පැවැත්වූයේ මේ කාලයේදීම වාගේය. එයින් සත 25ට 50ට මිළදී ගත් පොත් කිහිපයක් සහ "අතීත කථාව" සොයා ගත නොහැකිවූ අවජාතක පොත් කිහිපයක්ද මා අත විය. මා සතුව තිබුනු එම පොත් 10 - 12 පොත් රාක්කයේ තැණ්පත් කල මා එදින දවසම පොත් අත පත ගාමින් විය.

පිට කොට්ටේ නිවස්නය හිමි සුජීලා රොෂාන්ලාද ඔවුන්ගේ නිවසේ තැන තැන තිබුනු පැරණි පොත් කිහිපයක් "ආ මේකත් රාක්කේ තියා ගන්නවකො!" කියමින් ලබා දුන්නා මතකය.

මේ කාලය වන විට මා හුදෙක්ම තාත්තාගෙන් ලැබෙනා මුදලින් ජීවත් වූ "සාමාන්‍ය සෙබලෙකි!" ඒ නිසාම පොත් එකතුවක් තබා ඇක්සයිස් පොතක් ගැනීමටවත් මටම කියා ධනයක් නොතිබුනි.

ඒ නිසාම පොත් ලබා ගන්නා ක්‍රම කිහිපයක් මා අභ්‍යාස කොට ප්‍රථ්‍යක්ෂ කර ගතිමි. 

ඉන් පළමු වැන්න වූයේ සාමාන්‍යයෙන් හෝ ඉඳහිට ගොඩ වදිනා ගෙවල් වල ප්‍රයෝජනයක් නොගෙන පසෙක දමා ඇති පොත් ඉල්ලා ගැනීමය.

දෙවැන්න වූයේ කියැවීමට ඉල්ලාගෙන පැමිණ "ගල්" කිරීමය!

බෝතල් පත්තර කඩ වලින් රාත්තල් ගානට පොත් ලභා ගැනීම අනෙක් ක්‍රමයය.

ඊට අමතරව පොත් ප්‍රදර්ශණ වලදී ඉතා අඩු ගනනට විකුණනට දමා ඇති පොත් තෝරා බේරා ගෙන මිළදී ගැණීමය.

පොත් ප්‍රදර්ශණ වල; අවසන් දිනයේ අන්තිම කාර්තුවේදී; බොහෝ විට පොත් අඩු මුදළට  විකිණෙනවා මා දැක ඇත. 

රාක්ක පුරා උජාරුවට සිටිමින් ලොකු ලයින් දුන් පොත්; අවසන් දිනයේ හවස් වරුවේ කාඩ්බෝඩ් පෙට්ටි කබල් වල දෙක පහට විකිණේ! මෙය කොයි කාටත් පොදු ධර්මතාවයකි.

මෙසේ අවසන් දිනයේ අවසන් හෝරාවේ දී වල අවසාන් හෝරාවේ හෝ අවසන් දිනයේ සල්ලි ගන්නා කවුන්ටර් අසල පිටවන දොරටු අතර ඇතිවන්නේ අසාමාන්‍ය තදබදයකි! වරක් අප පාසලේ තිබුනු පොත් ප්‍රදර්ශණයක් අවසානයේ කුඩා පොතක් මිළදී ගත් මා එයට ගෙවීම් කරණ්නට සිටිනා විට ඇතිවූ තදබදයේ ප්‍රථිපලය වූයේ මම ස්ව්‍යංක්‍රීයව එළියට වැඩැම්මුනා නොව එර්ධියෙන් මෙන් පැමිණුනි!

ආශ්චර්‍යයකි!

මා පැමිණ සිටියේ හිස් අතින් නොව පොත් පිංචක්ද සමගිනි!

එය හොඳ පූර්වාදර්ශයක් විය!

කිසිදු ගෙවීමකින් තොරව මාගේ පොත් ගුලට පොත් එකතුවට පොතක් වැඩම කලේ එලෙසිනි.

මේ සිද්ධිය පිළිබඳව පැවසීමට මා චන්දන අයියා හමුවීමට පසු දින කඩි මුඩියේම සයිකලය පැදගෙන ගියෙමි.

"ආ! ඒක හොඳ වැඩක්! හැබැයි කල්පනාවෙන්! "එහෙමනං ඒ වෙලාවටම යන්න වෙනවා! බලාගෙන ඔය බුක් එක්සිබිශන් වල කැශියර්ට එළියෙන් එකෙක් දෙන්නෙක් දාලා ඉන්නවා නොගෙවා යන උඹලා වගේ එවුංව අල්ලන්න! බලාගෙන!"

චන්දන අයියාගේ අවවාද අනුසාසනා සහිතව ඉන් පසු පොත් ප්‍රදර්ශණ වලට ගියේ අවසාන දින කිහිපයේ අවසාන තත්පරයේදීය.

මෙය නොම්මර එකේම වැඩක් විය.

මක් නිසාද එහි කිසියම් අපූර්වත්වයක් තිබූ නිසාමය. ප්‍රදර්ශණ ශාලාවේ සිට එළියට පැමිණි විට අතට ලැබෙන්නේ පොතක් පමණක් වුවද සිත සතුටින් පිරී ඉතිරී ගොසින්ය.

එය තරමක ත්‍රාස ජනක ක්‍රියාවක් විය.

කාලය ගෙවී යත්ම එක් අවස්ථාවක හෝ දෙකකදී මුදල් අයකැමිට පසු පසින් සිටි අයගේ උකුසු ඇසට මා අසුනොවී බේරුණේ අනූ නවයෙනි.

වරක් මට ඉදිරියෙන් ගිය තරුණයාව ගලග්‍රහණයෙන් අල්ලා ගත් සැණින් මා; අත වූ පොතද බිම දමා ඉක්මන් ගමණින් ශාලාවෙන් ඉවත් වූවේය.

මෙය තව දුරටත් සාර්ථක එකක් නොවීය. පොතක් ගෙන කමිසයට යටින් බඩතුරේ සඟවාගෙන පැමිණීම මීට වඩා බොහෝ සෙයින් ලෙහෙසි පහසු කටයුත්තක් සේ මා හට පෙනී ගියේ මේ කාලයේදීය.

ඉන් ඉක්බිහිව ඇරඹුනේ මාගේ පොත් එකතුවේ ස්වර්ණමය යුගයය!

පොත් සාප්පු, පොත් ප්‍රදර්ශණ, පුස්තකාල ආදී පොත් ගැවසුනු සෑම සියළු ස්ථානයකම මම "පොත් දඩයමේ" ගියෙමි.

කලක් ගතවෙද්දී එය මාගේ ජීවිතයේ තවත් එක් චර්යා ධර්මයක් පමණක්ම විය!

කාලය ගතවිය. රොබර්ට් නොක්ස්ගේ ලංකා වාර්ථාව "එදා හෙලදිව" සිට බොහෝ බොහෝ පොත් මාගේ පොත් එකතුවට එකතු විය.

පිටු ගණනාවකින් යුත් "එදා හෙළ දිව" පැරණි මුද්‍රණය පොත රැගෙන විත් ඒ ගැන චන්දන අයියාට පැවසූ විට ඔහු පැවසුවේ "ඕක මොකක්ද බං; මං ඇමරිකන් සෙන්ටර් එකෙන් අර්නස්ට් හෙමිං වේ ගේ Death in the Afternoon" පොත ගෙනාවේ!" කියලාය. ස්පාඥ්ඥයේ ගොන් පොර පිළිබඳව ලියැවුනු එම පොත මලළසේකර ශබ්ධකෝෂයට පමණවූ එකක් විය!

අභාග්‍යයක මහත අද එම පොත ආචාර්ය ෂානක රාජකරුණා විසින්; මාවෙතින් පැහැරගෙන ගොස් ඔහු සන්තකයේ තබාගෙන ඇත!

මේ කාලය තුලදී ගෙදරින් ලැබෙන යැපීම් දීමනාවෙන්; නොකා නොබී බෝතල් පත්තර කඩවලින් රාත්තල් ගානට පොත් ගැනීමද කරගෙන ගියෙමි.

එක් වසරක මාගේ සොහොයුරියගේ උපන් දිනය හෙට වැනි දවසකය. ඇයට කිසියම් තෑග්ගක් දීමට මට සිත් විය. මේ; මා දෙවන වර උසස් පෙළ ලියන වසරයි. උපකාරක පංති ගාස්තු ආදිය මා වෙත ලැබුනේ ඇය වෙතිනි. මව මිය ගොසින් ය.

ඇයට සූප සාස්ත්‍ර පොතක් ලබා දීමට මා සිතා ගත්තෙමි.

මම පිට කෝට්ටෙන් බසයේ එල්ලුනෙමි. කොටුවේ බෝ ගහ අසලින් බැස ගත් මම "හෙළයේ මහා පොත් හලට" ඇදුනෙමි!

සූප සාස්ත්‍ර නැතහොත් ඉංග්‍රීසි  කුකරි පොත් තිබෙන උඩු මහලට මා සෙමෙන් සෙමෙන් ගොඩ උනෙමි.

ඉතා කෙටි වේලාවකදී අදාල පොත් රාක්කය වෙතට ගිය මා කුඩා පොත් දෙකක් අතට ගෙන; එතනම බිම දණ ගසා ගෙන පොත් තෝරණ නියාවෙන්;  ඇඳ සිටි කමිසය ඇතුලින් ඉනේ රඳවා ගත්තෙමි.

කමිසයට උඩින් කිසිවක් නොපෙනේ. පොත් ඇත්තේ කලිසමේ ඉනේ දාරය අසලය.

වැඩේ අවසන්ය. මා සෙමෙන් සෙමෙන් උඩු මහලින් බිම් මහලට පැමිණ ප්‍රධාන ද්වාරය අසලට පැමිණියේය. 

එතැන ආරක්ෂක නිළධරයෙක් විය. එය සාමාන්‍ය තත්වයකි.

පොත් මිළදී ගත් අයගේ ඉන්වොයිසිය පරීක්ෂා කිරීම ඔහුගේ රාජකාරිය විය.

මා තවත් තත්පර ගණනකින් ඕල්කට් මාවතට නිදහස් වීමට නියමිතය.

මා තරමක් ඉක්මන් ගමනින් ඇම්. ඩී. ගුණසේන සාප්පුවෙන් එළියට එන්නට පිය එසවූවෙමි.

එක වරම ආරක්ෂක නිළධරයා මා දෙස තියුණු බැල්මක් හෙලුවේය. ඔහුගේ උකුසු ඇස් මාගේ කලිසමේ  ඉන දාරයට යොමුවිය.

අදත් ගුණසේන සාප්පුවේ ප්‍රධාන දොරින් විසල් සුළං ප්‍රවාහයක් ඇතුලට හමා ඒ. ඇඟට ඇළුනු කමිසයට යටින්; ඉනෙහි රැඳි පොත් දෙකෙහි ඉහළ දාරය ඔහුට දිස් වූවා විය යුතුය.

හේ එක වරම ඉදිරියට පැන වැරෙන් මාගේ අතින් අල්ලා ගත්තෙමි.

එතැන් සිට සිදුවීම් පෙළ අදටත් මාගේ සිතේ කාලයෙන් කාලයට මතකයට එන නපුරු සිහිණයකි.

එකල එහි කළමණාකරු වූයේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාය. 

ලාල් ප්‍රේමනාත් ද මැල් යනු ගත් කතුවරයෙක් විය. ප්‍රවීන පුවත් පත් කලා වේදී  සුන්දර නිහතමානීද මැල් ගේ පිය තුමාය!

මා ග්‍රහණයට ගත් ආරක්ෂක නිළධරයා පරඬැලක්සේ මා ඇදගෙන ගියේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ඉදිරි පිටටය!

ඒවන විට ඔහුගේ "ලස්සන ලංකා" පොත මා කියවා තිබුනි. ඔහුගේ මේසය තිබුනේ පහල ශාලාව මැදය. ඔහු සිටියේ මේසයක් ඉදිරියේ තබා කැරකෙන පුටුවක වාගේ මට මතකය. ඔහු මීට පෙර මා බොහෝ අවස්ථාවලදී දැක ඇතිමුත් කිසිදු දිනෙක ඔහු හිනහ මුසු මුහුණකින් සිටුනු මා දැක තිබුනේ නැත. සෑම විටෙකම; ඉස් මුදුනේ "ටින් ටෙස්" ඇණයක් ඇනුනු ලෙසක් ඔහුගේ මුහුණෙන් විදහා දැක්වුනි.

"සෑම  විටෙකම පාහේ ඔහු සිටියේ; ඇරියස් එකකය, නො එසේනම් "මල අතින් ගෙනය" කීවොත් මෙය කියවන බොහෝ දෙනාහට සුපිරියටම තේරුම් යනු ඇතැයි මා සිතමි.

සමහර විට ඒ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය විය හැක! 

ආරක්ෂක නිළධරයා; මා ඔහු ඉදිරිපිටට වැඩැම්මුවේ වීරයෙකු පරිද්දෙනි. ඒ නිකම්ම නොවේ; මා කවුරුන්දැයි හැඳින්වීමක්ද සමගය!

ලාල් මහතා මාදෙස බැලූවේ අසූචි පිඩක් දේ බලනා ආකාරයෙන් මුහුණ අකුළුවාගෙනය. පිළිකුළෙන් යුතුවය. 

"නම මොකක්ද?"

මම නම පැවසූවේමි. තවත් විස්තර කිහිපයක් අසමින්ම "අයිඩෙන්ටිය දෙනවා!" කීවේය.

සාමාන්‍යයෙන් මෙරට වෙසෙන ඕනෑම අයෙකුගේ අයිඩෙන්ටියේ පිංතූරය මෙලෝ රහක් නැත. 

එය තමාගේ ජීවිත කාලය තුලදී ලබා ගත් අජූතම ඡායාරූපය වීමට ඇත්තේ 90% සම්භාවිතාවකි.

එයට ප්‍රධානම හේතුව එකල බොහෝ අය සතුව පැවතියේ පාසල මූලික කරගෙන ලබාගත් හැඳුනුම්පත්ය. හැඳුනුම් පත ලබාගන්නා අවස්ථාවේදී කොන්ඩා පීරීමට, පුයර ඉලීමට, මූන දෝවනය කිරීමට තබා දහදිය පිස දමා ගැනීමටවත් උවමණාවක්, ඉඩක්, අවස්ථාවක්, උපදේශනයක් බොහෝ අයට නොලැබේ.

මේ නිසාම ඩීසල් වලින් මූන හෝදා ගත් කල මෙන් තෙල් ගැහුණු මුහුණක් කපුටු කූඩයක් වන් කෙස්සක් සහිතව ලබා ගත් ඡායාරූප එකල සෑම අයෙකුම සතුව පැවති හැඳුනුම්පත් වල දැකීම සුලභ විය.

මා කමිසයේ උඩ සාක්කුවෙන් හැඳුනුම්පත ගෙන ඔහුට දෝතින්ම පෑවේය. මාගේ මුහුණ බලමින්ම උදුරා ගත් එය උපැස් යුවල තුලින් බලමින්ම නැවත මා දෙස බැලූවේ; මා පොත් හොරකමේ ඒමට පෙර අයිඩෙන්ටියද පොකට් ගසාගෙන ඇවිත්දැයි සැකයෙන් මෙනි!

බුලත් හෙප්පුව ගෙන අභිනව මනාල මහතා හමුවට යන ළමිස්සියක් සේ මා හතර අත ඇඹරුනාද නො එ සේ නම් මා වෙනතක බලා සිටියා දැයි මතක නැත. ඔහු එය මේසය මත වූ කඩදාසි බරුව යටින් තබා;

"මෙයාව පල්ලෙහා කාමරයකට දාලා එනවා!" කීවේය.

සිද්ධිය සිද්ධවන විට හෙළයේ මහා පොත් හලේ සෑහෙන හෙළයන්  පිරිසක් විය. ඔවුන් මා දෙස බලා සිටිනු මට දැනේ. මම ඒ දෙස නොබැලුවෙමි. කිසිදු ගානක් නැති ලෙසින් වගේ වගක් නැතිව සිටියෙමි. වටා පිටා සිටි වුන් "මූට නං ගානක් නෑ!" කියා සිතනවා විය හැක. ලැජ්ජාව හා බය මගේ සිත ගිණියම් කරමින්; කන් පෙති රතු කරමින් ය. 

ආරක්ෂක නිළධරයා නැවතත් පොත් රාක්ක අතරින් මාව දක්කාගෙන පහත මාලයට ගෙන ආවේය. 

පහත මාලය පිහිටියේ පොලොවෙන් යටට වන්න්නටය.

එයට එළිය ලැබී තිබුනේ විදුළි එළියෙන් සේ මතකය. කුඩා කාමරයක් එහි විය. එහි දොර යකඩින් නිමවා තිබුනි. එය ග්‍රිල් දොරක් සේ මතකය.  මා ඒතුල රුවා යතුර දැමූ හේ ඉවත්ව ගියේය.

එහි පුටුවක් විය.

අළුත් පොත් අට්ටි එය වටා විය.

එතැණ් සිට මා පොතක් ගෙන කියැවීමට පටන් ගතිමි.

මෙය සිදුවන විට උදෑසන 10.00 ට පමණය. එතැන් පටන් පැය ගණනාවක්ම මා එහි සිර කාරයෙකු ව සිටියෙමි.

පැයකට එකෙක් නැතිනම් දෙන්නෙක් පැමිණ කිසිවක් රැගෙන යයි. තබා යයි. ඔවුනට මගේ හැසිරීම වගක් නොමැත. 

ඒ තුල කොපමණ වේලාවක් සිටියා දැයි මට නිනව්වක් නැත. බොහෝ හවස් වන තුරු මා එතැනය. කන්නට යමක් හෝ බොන්නට වතුර පොල් කටුවක් හෝ නොමැතිව මා එහි පැය ගණනාවක් සිටියෙමි.

"මුංට මාව අමතක උනොත් මම මුළු රෑම මෙතැනම ඉන්න වෙයිද?" මම මගෙන්ම ඇසීමි.

ඔරලෝසුවක් අහල පහලක වත් නැත. වේලාව දැන ගැනීමට කිසිවෙකු නොමැත. තවත් බොහෝ කාලයකට පසුව නැවතත් ආරක්ෂක නිළධරයා පැමිණ අගුළු හැර මා ඉහල මාලයට රැගෙන ගියේය.

ඒවන විට එහි සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ සිටි හෙලයන් නොව වෙනත් පිරිසකි.

මා නැවතත් ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා අභියසය!

"තමුසෙ යනවා! හෙට තාත්තා එක්කගෙන! අයිඩෙන්ටිය ඔහෙ තිබුනාදෙං!"

අයිඩෙන්ටිය නොව කලිසම උනා දමා හෝ එතැනින් එළියට ඒම මගේ එකම අවශ්‍ය තාවය විය. මා පිටකෝට්ටේ නිවසට පැමිණියෙමි. සොහොයුරිය මාගේ ප්‍රමාදය සමග බොහෝ සේ කලබල වී සිටියාය. සියල්ල මා ඈ සමග කීවෙමි.

අවසානයේ මටත් වඩා ඇය කලබල වූ සේයාවකි. 

"චන්දන අයියට ගිහිං කියන්න!"

රාත්‍රියේම මා සයිකලය ගෙන පිට විය. පිට කෝට්ටේ සිට රාජගිරියට පැමිණ එතැනින් ඔබේසේකර පුර හරහා කොලොන්නාවට ආවෙමි. කොලොන්නාව වැල්ලම්පිටිය ගැට්ටේ තිබුනු "හරය" මුද්‍රණාලයට එන විට චන්දන අයියා නොමැති විය.

ටික වේලාවකින් කුඩා මෝටර් සයිකලයකින් චන්දන අයියා එහි සැපත් විය.

" ආ! තමුසෙ!?"

"ඔව් අයියේ මාර කෙළියක්නෙ උනේ! මේ එන්නකො . . . " මා පසෙකට ඔහුව කතා කරගෙන ගොස් සිද්ධිය පැවසූවෙමි.

"අනේ යකෝ ඕකද!? ඕක ගනං ගන්න ඒපා. තමුසෙට අයිඩෙන්ටියක් අළුති හදා ගන්නවා. තාත්තෙක් ඕනෙනම් මේ කොතලාවල සහෝදරයව එක්ක ගෙන යනවා. දැන් හොරකමට වටිනාකම්ක් නෑනේ. මොකද පොත් ටික ආයෙ උං ගාව නේ!"

"හරි මොනා හරි උනොත් . . . ?!"

"හරි ඕයි! මේ වගේම මෙතැණට එනව . . ! එතකොට ඒක ඒ වෙලාවට බලා ගම්මු!"

ඉන් පසුව මා ඒ වැඩේ යලිත් කිසිදා නොකලෙමි! ඒ පොත් හොරකම නොව; ඇඟට හිර කමිස ඇඳගෙන ගොස් පොත් ඉනේ ගසා ගැනීමය!

තවත් කාලයක් යන විට පොතක් පතක් මිළදී ගැනීමේ හැකියාව ලැබීමත් සමගම එම පුරුද්ද අභාවයට ගියේය. ඒත් එතැන් පටන් මම බොහෝ කාලයක් යන තුරු ගුණසේන සාප්පුවට නොගියෙමි.

ජීවිතය හරි අපූරු එකකි. මා පළමුව පුවත් පතකට සම්බන්ධ වූයේ "හරයෙනි". දෙවනුව "නවයුගයට" එක් උනෙමි. පුවත් පතට ආයුබෝවන් කීවේ "ලක්බිමෙනි". 

ලක්බිමේ රිද්ම අතිරේකයට ලියන කාලයේ සුන්දර නිහතමාණීද මැල් හෙවත් සුන්දර අයියා සංස්කරණය කලේ "මංජුසාව"යි.

දිනක් මම; රිද්මෙට ලියන තීරුලිපිය; "මංජුලගේ දිනපොත" ලියාගෙන එහි සංස්කාරක නිහාල් පීරිස්ගේ කුඩා මේසය අභියසය.

"මංජුල ඕක ඉවර වෙලා මාව හම්බෙලා යන්න!" ගොරෝසු හඬකින් සුන්දර අයියා පැවසීය. ඒක පොඩි ආතල් සිද්ධියකි.  මම ඔහු මුණ ගැසුනෙමි!

එතෙක් සුන්දර අයියා සමග යාන්තමින් සිනාසුනා මිස වචනයක් හෝ කථා බස් කොට නොතිබුනි. ඔහුඑවකට පත්තරේ "පොරක්" ය! ඔහුට ඉහලින් සිටියේ බන්ධුල පද්මකුමාර පමනකි. සමන් වග ආරච්චිද සුන්දර අයියාට සමාන තැනක සිටියා යැයි මතකයක් ඇත.

"ඔයා රිද්මෙටම ලිය ලියා ඉන්න එපා මටත් ලියන්න! මගේ හිසේ මලක් නොව හක්ගල මල් වත්තම පිපුනා සේය!

වැල්ලවත්ත පොලීසියේ සේවය කල පෙරේරා ට්‍රැෆික් සාර්ජන් මහත්තයා පිළිබඳව මා ලියූවේ එහි ප්‍රථිඵලයක් ලෙසය. මම එය ලියාගෙන ගියේ මගේ සුපුරුදු නිදහස් ලිවීමේ ශිලියෙනි. 

"අනේ! අනේ! මහත්තයෝ මෙහෙමනං ලියලා හරියන්නෑ මට! ආයේ ලියාගෙන එන්න!" සුන්දර අයියා මාගේ අත් පිට පතේ මම ලියා තිබූ නොසරුප් වදන් කිහිපයක් රතු පෑනෙන් රවුම් කොට නැවත මටම භාර දුන්නේය. 

නැවතත් මුළුමණින්ම ලියා සකසා පසුදින ග්‍රෑන්ඩ්පාස් - අශෝකා සිනමා හල ඉහල මාලයේ ලක්බිම කාර්යාලයට ගෙන ගොස් භා දුන්නෙමි.

එතැන් පටන් මම සුන්දර අයියාට ලිපි කිහිපයක්ම ලිව්වෙමි.

ඔහු එකල බීවේ බ්‍රිස්ටල්ය.

පඩිපෙලේ මදක් පහලට බැස එතැන් තිබුනු හතරැස් ලෑන්ඩිම මත සිට ඔහු එය රසවත්ව පානය කරයි. දිනක් මමද ඔහු හා නැවතී ගෝල්ලීෆ් එකක් ඔහුගෙන්ම පත්තු කරගෙන කතාවට වැටුනෙමි!

"අයියේ මට ඔයාගේ තාත්තව දවසක් හම්බුනානේ. එම්.ඩී.ගුණසේන එකේදී . . . . . . !"

"ඉතිං! ඉතිං . . . . . .!! සුන්දර අයියා ඉදිරියට නැඹුරුව බොහෝ සෙයින් විපිලිසර විය. ඒ සුන්දර අයියාගේ සාමාන්‍ය ස්වභාවයයි.

 මම එතැනදී මෙම කථාව කීවෙමි. 

"තමුසෙ මාර පොරක්නෙ හලෝ!" සුන්දර අයියා පැවසූ හැටි තාම අදමෙන් මතකය. මා අහිංසකව ඔහු දෙස බලා සිටියෙමි.

මේවා සියල්ල අතීතය ය. අද මාගේ පොත් එකතුවේ පොත් 3000කි! (ඒවායින් බොහොමයක් මා අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ හොරකං කරගෙන ආ ඒවා කියා මඩ ගැසීමෙන් වළකිනු ඇතැයි මා උදක්ම ඔබ කෙරෙහි විශ්වාස කරමි!)

ඒවාට කුමක් කරණ්නේදැයි මා සැම විටම සිතමින් සිටිමි. 

බලමු! පොත් වලට ආදරය කරණ එකෙක් මැරෙණ්නට පෙර හම්බුනොත් වාසනාවක්ය! 

මේ දේවල් ගැන අද හිතෙන විට ඒවා සුන්දර මතකයන්ය!

ජීවිතේ කියන්නෙම "මාර ආතල් ලෝකයක් අප්පා" කියා  වෙලාවකට සිතේ!


එහෙම නැද්ද; හා එහෙනං . . . . ?


මේ ලිපිය කලක සිට ලියමින් ආ එකක්! උෂාන් වික්‍රමරත්න මල්ලීට වුනු පොරොන්දුව නිසාම මෙය අදම ලියා අවසන් කරන්නට සිත්වුනේ!




23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...