"කුලී පදනං ගැන මම දන්නේ නෑ! ඔයාට ඕන නම් මගේ Trek (Hybrid) සයිකලය අරං ගිහිං පදින්න!" මම කීවෙමි. මිතුරු බව ඇතිවූයේ එලෙසය. මේ අප්‍රේල් 12 ඔහු මෙරටට ඒමට නියමිතය!
මාගේ ඩ්‍රොප් හැන්ඩ්ලයෙන් මම වරක් පොළොන්නරු එනම් කිලෝ මීටර 200 ක චාරිකාවක් ගියෙමි. ඒ වසික 2018 ලංකාවට පැමිණි අවස්ථාවේදීය. එවර මාගේ විශ්වාසවන්ත ගමන් සගයා වන Scott P6 Sportster (Hybrid) සයිකලය වසිකත්; මධුශාන් තම සුපුරුදු Giant Escape (Hybrid) එකත් පැද්ද අතර මා පැද ගියේ Shimano ඩ්‍රොප් හැන්ඩ්ල් ටුවරින් සයිකලයයි. පලමුවර මධුශාන් හා මා පොළොන්නරු ගිය ගමන් මෙන් නොව ඩ්‍රොප් හැන්ඩලයෙන් මා එම චාරිකාව ඉතාමත් සාර්ථකව නිමා කලෙමි.
කෙසේ හෝ වේවා ඩ්‍රොප් හැන්ඩලය විකුණූ පසු නැවත සයිකලයක් ලබා ගැනීමට ආශාවක් ඇතිවූයේ වසර ගනනාවකට පසුවය. ඒ සමගම මාගේ Trek සයිකලය විකුණා දැමීමට මා යුහුසුළු විය. එය විකිණීමට පෙර සම්පූර්ණ අළුත්වැඩියාවක් කලේ දෙල්ගොඩ සමීර මල්ලීය! සයිකලයට බෙල්ල තැබූයේ "කොළඹ ගමයාගේ" අතිජාත මිත්‍රයෙක් වන මාගේ පාසැල් මිතුරෙකුවූ ජනක ලක්මල් කුමාරපේලීය!
Trek සයිකලය ඉක්මණින් විකුණා දැමීමට හේතු වූයේ මාහට Giant SCR 1 ඩ්‍රොප් හැන්ඩලය මිලදී ගැනීමට ලැබුනු හෙයින්ය. එය මිළදී ගත්තේ සයිකල් පකීර් කෙනෙක් වන පැලහැළ රාළහාමි ගෙනි. පැලහැළ රාළහාමි පිළිබඳවද වචන කිහිපයක් ලියා තැබිය යුතුය. ඇන්තනි සීමන්ස් ගේ සිට ඊයෙ පෙරේදා ගුවන් සවාරිය දිනූ අවිශ්ක මැඩොන්සා පිළිබන්දවද ඔහු නොදන්නා මගුලක් නොමැත. සුමනෙ, සුගතෙ, බොනියා, හෙන්ඩලා, එස් එච්ලා; මේ සියල්ලගෙම වංහුං, ආගත නාගත, පැටළිලි දිග ඇරිළි, කියුම් කෙරුම්, කිලෝ ගනට කියන්නට ඔහු දනී. පැදපු සයිකල් වල බරේ සිට පැවැත්වූ වේගයෙ පමණක් නොව උදෙට කාපු පාන් පෙති දෙක මැද්දේ තිබුනු දේ පවා කියන්නට ඔහු දනී. අහම්බයෙන් මුණ ගැසුණු ඔහු සතුව සයිකලයක් පිළිබඳව ඉව වැටී එය බලන්නට යනවිට එයතිබුනේ උස් වහලයක බාල්කයක එල්වාය.
එය මිළදී ගෙන පැලහැළ රාළහාමිගේ පෙරැත්තයට ඔහුත් සමග දවල්ට බත් ජුංඩක්ද; කෑමට පෙර ඔහුගේම නිශ්පාදන වඩියක්ද බඩට දාගෙන ගෙදර පැමිණ පසුදාම එය අළුත්වැඩියාව සඳහා යක්කල පොලීසිය ළඟ මහින්ද අයියාට භාර දුන්නද ඔහුට එහි බොටම් බ්‍රැකට් බෙයාරිං සොයා ගැනීමට නොහැකිවීම නිසා එයද නැවත ගෙන ගොස් භාර දුන්නේ දෙල්ගොඩ සමීර මල්ලී වෙතටය. කටානෙන් බඩු එන තුරු සයිකලය සමීර මල්ලීගේ ගෙවන වාට්ටුවේ ඇඩ්මිට් කොට ඇත.
මෙම ප්‍රකාශයේ වටිනාකම වැඩිවන්නේ ඒ මීට සතියකට පමණ පෙර වීමයි. ඩීසල් හා පැට්රෝල් මිළ ඉහල ගියේ ඊට දින 5 කට පමණ පසුවය!
ඔහු සයිකලය භාරදී ඉවත්ව ගිය පසු සමීර මල්ලී පැවසුවේ සයිකල් අළුත්වැඩියා කිරීමට මේ දිනවල වැඩි නැඹුරුවක් මේ දිනවල් ඇති බවය!
මා සයිකලයෙන් රැකියාව බලා ගියේ දැනට සෑහෙන කලකට පෙරය. එහෙත් සයිකල් පැදීම පසුගිය වකවාණුව තුල මහත් සේ ප්‍රචලිතව ගියේය. ඒ සමගම බොහෝ සයිකල් සමාජ බිහි විය. එහෙත් එම සමාජ තුල සයිකල් පදින ලද බොහොමයක්; ගමන් මග වෙත පැමිණියේ සයිකලය තම SUV රථයේ පසුපස එල්ලා ගෙනය. ඔවුන් බොහෝ විට පැද්දේ ද ලෝකය පුරා නමක් දිනාගත් සයිකල්ය. බොහොමයක වටිණාකම ඉලක්කම් 5 ක මිළක් විය!
මේ සමගම වාර්ශික ඉසව් කිහිපයක් බිහිවිය. එවායේ මුදුන් මල්කඩ වූයේ Around the Perl ලෙස නම් කල ලක්දිව වටා කිලෝමීටර 1400 කර ආසන්න ප්‍රමාණයක් ගෙවමින් පැවැත්වෙන සයිකල් රැලියයි.
සාමාන්‍යයෙන් මේ සඳහා දින දොලහක් වැය වන අතර දින 10 ක පැදීම හා දින දෙකක විවේක මීට ඇතුලත්ය!
Around the Perl
1. කොළඹ
සිට මිරිස්ස 146.20
2. මිරිස්ස
සිට කතරගම 136.40
3. කතරගම
සිට පොතුවිල් 136.10
4. පොතුවිල්
සිට පාසිකුඩා 147.80
5. පාසිකුඩා
සිට ත්‍රිකුණාමළය 126.51
6. ත්‍රිකුණාමළය සිට මුලතිව් 100.70
7. මුලතිව්
සිට යාපනය 132.30
8. යාපනය
සිට මරිච්චුකඩ්ඩි 163.80
9. මරිච්චුකඩ්ඩි
සිට මීගමුව 164.00
10. මීගමුව
සිට කොළඹ 54.00