අපි ඔහුට පද්මසිරි යැයි කියමු!
පද්මසිරි වැඩ කලේ අපේ සර්විස් එකේ. ඒ කියන්නේ ලිහිසි තෙල් සේවා අංශයේ. ඔහුට තිබුනු වගකීම තමයි තෙල් මාරු කරලා බොඩිය හෝදලා එන වාහන ඇතුල වැකුම් ක්ලීනරයෙන් පිරිසිදු කිරීමත් රෝදවල ඇන ටෝක් රින්ච් එකෙන් පරීක්ෂාවත්.
පද්මසිරි කොට මොඩලයක් විය. මුහුණ පුරා ඝන රැවුලක් වවාගෙන සිටියේය. හිනා උනෙත් ගානකටය. ඔහු තරමක ආඩම්බරයෙන් සිටිය සේවකයෙක්.
ඔහු කිසිදා සිගරට්ටුවක් කටේ තිබ්බේ නැත! රා අරක්කු බී නැත! වෙනත් කිසිදු දුරාචාරයක නොයෙදෙන හේ හැකි නොහැකි සෑම දිනෙකම සේවයට පැමිණේ! හැකි උපරිමයෙන් අතිකාල කරයි!! ලැබෙන සෑම සතයක්ම ඉතුරු කරයි!!! මේ ඔහු තමා පිළිබඳ ආඩම්බර වීමට තිබුනු කරුණු කිහිපය කියා ඔබ සිතනවාද?
නැත!
ඔහු විවාහ වී සිටියේය! ඔහුටම කියා කුඩා නිවසක් තිබුනි!! විසිතුරු මසුන් හා කුරුල්ලන් ඇතිකිරීමේ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන ගියේය!!! තවත් බොහෝ ගෘහ කර්මාන්ත සඳහා ඉදිරි බලාපොරොත්තු විය!!!! මේ ඔහුගේ ආඩම්බරයේ අවශේෂ කරුණු කාරණාය.
"මම මහත්තයා ඔය නිර-පරාදෙ සල්ලි නාස්ති කරන්නේ නෑ නේ!" ඔහුගේ කටේම තියෙන වැකියක් විය.
මා කලින් කීවා සේ ඔහු විවාහ වී සිටියේය. පද්මසිරි ඉතා දිළිඳු පවුලක අයියාය. ඔහුට තවත් බාල සොහොයුරෙකු විය. ඔහු විවාහ වූයේ ඔවුන්ටත් වඩා අන්ත දිළිඳු පවුලකින්ය. පද්මසිරිගේ තාත්තා මියගොස් තිබුනේ ඔවුන් කුඩා කාලයේදීමය! අම්මාට පවුල නඩත්තු කර ගැනීමට උරදී තිබුනේ පද්මසිරිය! ඔහු කියනා පරිදි ඔහුගේ බිරිඳ ඔවුන්ටත් වඩා දිළිඳුය! පද්මසිරිලාගේ ජීවිත දෙස බැලූ විට; ඔවුන් කෙතරම් දිළිඳුදැයි සිතා ගන්නටත් අපහසු තරම්ය!
"කෙල්ල හොඳයිනේ! ඉතින් මම බැන්දා මහත්තයා!! එයාගෙ පවුලෙන් හතර දෙනයි මගේ පවුලෙන් දෙන්නයි හිටියේ මගුලට; වෙන මොනවද ඕනේ?" ඔහු විවහය ගැන පවසන්නේ එලෙසය! පද්මසිරි අංක එකේ ප්‍රායෝගික මිනිසෙකි.
ඔහු ඕනෑම කාර්‍යයක් සඳහා බසින්නේ එහි ඇති මූල්‍යමය වාසිය ගැන හිතා බලාය. බොහෝ විනෝද කටයුතු, මගුල් උත්සව, පාටි, කීටි ඔහු ලිස්සා යාමට සැලැස්සුවේය.
"මං ගියාට අනිත් එවුං වගේ බොන්නෙත් නෑ. ඕනෙනං ඔය රයිස් ටිකක් කයි. කාලා නිකං එන්න බෑනේ!? අඩු ගානේ දාහක් වත් දෙන්න ඕනෙ! දාහක් කියන්නේ මගේ කුරුළු කූඩුවට මාසයක් බජරි දෙන්න පුළුවං සල්ලි!"
එකට වැඩ කල එකෙකුගේ වෙඩිම මිස් කල ඔහු එය සාධාරණීය කරණය කලේ එසේය!
ඔහුට දරුවකු නොසිටියේය. ඔහු දරුවකු හදන්නට පෙර සෑදූ නිවසේ එල්ලෙන සීලිමක් ගැසිය යුතු බව ඔහු විශ්වාස කලේය.
"සීලිමක් නැතිනම් ළමයාට පිනි බාලා සෙම හැදනවා! ඒවට බේත් ගන්න ගියාම ආයෙ ජීවත් වෙන්න සල්ලියක් ඉතුරු වෙන්නේ නැතිවෙයි!" සෑම සියළු දේටම ඔහුට හේතුවක් තිබුනි.
කාලය ගත විය
"මහත්තයා හෙට මං එන්නේ වරුවෙං! පවුලව කිලිනික් එක්ක යන්න තියෙනවා!"
"පද්මසිරි ගිය මාසේ එල්ලෙන සීලිම ගහගන්න ඇති!" මම මටම කියා ගත්තෙමි!
කාලය දින, සති නොව මාස ගනනින් ගෙවී ගියේය! සමහර දින වලට පෙරදින සිදුවීම් හේ මට විස්තර කලේය.
"ඊයේ පවුල එක්ක පංසලටත් ගිහින් එන ගමං රයිස් එකක් කෑවා! එයා නොකිව්වට කන කොට මට තේරුණා ආසාවෙන් ඉඳලා තියෙන්නේ කියලා! ඉතිං මම කටවල් දෙකක් කාලා මගේ පිඟානෙ තිබ්බ ටිකත් පවුලටම කන්න දුන්නා! ගෙදර කොහොමත් දවල්ට උයපුවා තිබුනනේ! මොකටද තව රයිස් එකක් ගන්නේ?"
"මාර වැඩේ මහත්තයා පවුලගේ ප්‍රෙසර් වැඩිවෙලා හොඳටම! සීනිත් නැගලා නහුතෙට!! ඊයේ කිලිනික් එකේදී දොස්තර මහත්තයා මගේ ඇඟට ගොඩ උනානේ! මං මොන්නවා කරණ්නද? ගෑනිට කුරුල්ලන්ට බජරි දාන්නවත් එපා කියලයි මම තියෙන්නේ!"
දින ගනන එළඹෙන්නටත් මාසයකට පමණ පෙර තම බිරිඳව කාසල් එකේ නවත්තන්නට පද්මසිරිට සිදුවිය! බිරිඳගේ සෞඛ්‍ය තත්වය වඩ වඩාත් පිරිහෙද්දී දරුවා ඉක්මණින් ඉවතට ගැනීමට දොස්තර වරු කටයුතු කලෝය. දරුවාගේ චලනයන් නැවතීම හා කළලයේ හෘද ස්පන්දනය දුර්වල වීම ඊට හේතුවිය.
ඒ කාලය පුරා පද්මසිරි සෑම දිනකම උදේ දවල් හා සවස බිරිඳගේ සුවදුක් බැලීමට රෝහලට ගියේය. දහවල් විසිට් එක සම්පූර්ණයෙන්ම සිදුවූයේ අපගේ අනුග්‍රහයෙනි. එනම් ගේට්ටුවේ සිකුරිටිලා අප විසින් බැලන්ස් කිරීමෙන් ලද අවසරයෙනි!
"ළමයා වීදුරු පෙට්ටියේ මහත්තයා!" පද්මසිරි බොහෝ සෙයින් මැලවී සිටියේය!
"එතකොට පවුල!?"
"පවුල අඬනවා මම යන යන වතාවට!"
"අප්පට සිරි! හරි උඹට මොකක් හරි සීන් එකක් උනොත් මට කතා කරපංකො!" දෙබස මා නිමා කෙරුවෙමි!
පසුදින දහවල් ලෙඩා බැලීම සඳහා පද්මසිරි ගේට්ටුවෙන් පිටවී ගොස් පැය භාගයකින් මාගේ දූරකථනය නාද විය!
"ළමයා මලා මහත්තයා!" පද්මසිරි හැඟීම් බරව දූරකථනයේ අනෙක් කෙළවරෙන් කෙඳිරි ගෑවේය!
"අම්මට සිරි! රෝහණ අයියේ පොඩි කේස් එකක්! අරූගේ ලමයා මැරිලා! මම පොඩ්ඩක් ගිහින් එන්නම්!" මගේ ළඟින්ම උන් අනෙක් නිළධරයා හට පැවසීය!
"හුටා! හරි උඹ පලයං! මම මෙහේ බලා ගන්නම්! මොනවා හරි ගේමක් ගහපං! (සල්ලි එහෙම ඕන උනොත් මට කෝල් එකක් දියං!)" අන්තිම ටික කට ඇතුලේ තියාගෙන රෝහණ අයියා කිව්වේය.
"මේ උඹ මෙහෙන් වාහනයක් අරං පලයං! මේකෙ නිකං ඉන්න පිං පඩි කාරයෝ ඔය ඕන තරං ඉන්නේ? කාගෙ හරි එකක් අරං පලයන්; උඹ චාටර් වෙන්න එපා" රෝහණ අයියා ඌණපූරණය කලේය.
එච් ආර් එකේ මිසීටත් වැඩේ යාන්තමින් කියාගෙන ෆොන්සේකා මහත්තයාගේ ලාන්සර් සෙඩියා රථය ගෙන මම ගේට්ටුවෙන් ඉගිළුනෙමි.
"මහ්ත්තයා එනවා නේද? පෙට්ටියකුත් ගන්න ඕනෑ! මට මිනිය ගෙදර ගෙනියන්න ඕනෙ නෑ! මේක මෙහෙමම ඉවර කරණ්නයි ඕන!" පද්මසිරි නැවත මා ඇමතුවේය!
යමින් ගමන් පුංචි බොරැල්ලේ ප්‍රසන්සා හට ඇමතුවෙමි.
"අනේ ප්‍රසන්සා . . . . . ."
"කිසි අවුලක් නෑ! ඔයා කෙලින්ම යන්න . . . . . . . . . .!"
ප්‍රසන්සාගේ උපදෙස් ප්‍රකාරව රථය පුංචි බොරැල්ලේ "නීලා මල් ශාලාව" ඉදිරියේ නැවැත්විය.
කාරණාව සැකවින් පවසන විට එහි සේවකයෙක් "මේක ඇතිනේ!? මහ වියදමක් කරණ්න ඕනෙ නෑනේ! මේහෙම වලලනවා කියලනේ කිව්වේ! 3500ක් දෙන්න!"
"අනේ ඕක මේ කාර් එක ඩිකියට දානවද?" තවමත් දුම්මල සුවඳ හමන පෙට්ටිය අතින් ඇල්ලීමට වත් මා හට උවමනාවක් නොවීය!
ජීවිතයේ ප්‍රථම වතාවට මිනී පෙට්ටියක් ප්‍රවාහනයේ මා යෙදුනෙමි. මා රෝහලට යනවිට පද්මසිරිත් ඔහුගේ සොයුරාත් මෝචරිය ආසන්නයේය! රෝහලෙන් ලැබුණු ලිපි ලේඛණ එහා මෙහා කිරීමෙන් ඉක්බිතිව බොරැල්ල කනත්තේ වල දැමීම සඳහා බිළිඳාගේ සිරුර සහිත කුඩා පෙට්ටිය පද්මසිරි අතට රෝහල් සේවක්යින් විසින් පත් කෙරුණි.
"මහත්තයා මේක කොහොමද ගෙනියන්නේ?"
"දා ගම්මු බං මං ආපු කාරෙකට!" වෙන කරණ්නට තරම් දෙයක් ඉතිරිව නොවීය!
එතෙක් මෝචරියෙන් පිටත නවතා තිබුනු මෝටර් රථයේ ඩිකිය තුල දෙන තැන්පත්විය! අවට සිටි මිනිසුන් තුශ්නිම්භූත වූ නිමේශයේ මමත් පද්මසිරිත් ඔහුගේ සොයුරාත් බොරැල්ල කනත්ත දෙසට පැමිණියෙමු.
වාහනය කනත්ත කිට්ටුවෙන් නවතා ගත් පසු ඩිකිය ඇර නැවතත් පද්මසිරි පෙට්ටිය දෝතට ගත්තේය.
වේලාව හවස 3.30 ට 4.00 වන්නට ඇති. තිදෙනෙකුගෙන් සමන් විත අවමංගල පෙරහැර බොරැල්ල කනත්තට අවතීර්ණ විය!
"පවුලගෙ අම්මාත් එන්න හැදුවා! මම කිව්වා පවුල ලඟින් ඉන්න කියලා!" සෙනඟ මදි නිසාදෝඅ පදමසිරි කියවාගෙන ගියේය!
මා ඇවිද ගියේ පද්මසිරිත් සොයුරාටත් මීටර දෙකක තුනක පමන දුරක් ඉදිරියෙන්ය! මා විටින් විට ආපසු හැරී බලන විට පද්ම සිරි කිසිදු හැඟීමකින් තොර හිස් මුහුණකින් යුතුව පෙට්ටිය දෝතින් ඔසවාගෙන පැමිණෙනු දුටුවෙමි.
සොහොන් පල්ලා හා ප්‍රසන්සාගේ මිත්‍රත්වය අපට ඉක්මණින් කනත්ත තුලට ප්‍රවේශ වීමට ඉඩ සලසා දුන්නේය!
පාළු කනත්තේ අප ඉදිරියට පා නගද්දී ඈතින් තරුණයෙකු සිට අප ඇමතූවේය!
"මිනිය වලලන්නද?"
"වලලන්න නැතුව මොන ඒකට මෙහේට ගේනවද?" පද්ම සිරි මිමිනුවේය.
ඔහු ඉදිරියට පැමිණියේ කුඩා ගෙවී ගිය උදැල්ලක්ද රැගෙනය.
ඒ පැමිණ මිනී වලලලා උස් කර තිබූ කුඩා පස් කඳු දෙකක් අතර උදැල්ලෙන් හාරණ්නට විය! විනාඩි ගනනකින් අඩියක් පමණ ගැඹුරට කිසිදු හැඩයකින් තොර අගලක් හෑරුණි.
"ආ දාන්න!"
"මේ ක මදි තව යට හාරණ්න!" පද්මසිරි විරෝධය පෑවේය!
පිස්සුද ලොක්කා! මීට වඩා හාරන්න ඕන නම් ගෙදර මිදුලේ වලල ගන්න!"
පද්මසිරිගේ ඇස් කෝපයෙන් දිලිසෙනු මා දුටුවෙමි.
"මේ මල්ලි! මං පොඩි සපෝට් එකක් දෙන්නං! තව පොඩ්ඩක් යට කපහං!!" මම ගැටළුව නිරාකරණය මැදිහත් උනේ මුදල් පසුම්බිය අතට ගනිමින්ය!
තවත් උදළු පාරවල් කීපයක් වල මැද්දට පතිත විය!
"ඕං . . .!"
"මල්ලි පෙට්ටිය දාහං!" තවත් උත්සාහ කිරීමෙන් වැඩක් නැති බව තේරුම් ගිය මගේ විධානයෙන් පෙට්ටිය වල තුල තැන්පත් විය!
වටා පඉටාවේ තිබුණු පස් ටික එකතු වී පෙට්ටිය යාන්තමි වැසී ගියේය.
"යමු!" වල පාදපු එකාට රුපියල් 500ක් මිට මෙලවූ මා ආපසු හැරුණි.
"බලන්නකෝ මහත්තයා මුං පෙට්ටිය ගන්න ඕනෙවට ඒක යට කරපු හැටි!?" පද්මසිරි එන ගමනේදී වල හාරපු එකාට දෙස් දෙවොල් තියමින් විය!
පද්මසිරිවත් සොහොයුරාවත් රෝහල අසලින් බැස්සවූ මා ආපසු ආයතනයට ආවේමි.
"මොකද බං උනේ!?" රෝහණ අයියා දුර සිටම විමසීය.
"මොනව වෙන්නද මිනිය වළලලා දාලා ආවා!" මා තොලේ කටේ නොගෑවී කීවෙමි. සත්තකින්ම මුළු ක්‍රියාන්විතයටම පැය 3 ක් යන්නට ඇති.
පසුදා පද්මසිරි වැඩට ආවේය. මුහුණ බොහෝ සෙයි විඩාබර වී ඇති සේයාවක් දිස් විය!
"මොකද උනේ?"
"පව් මහත්තයා! මගේ පවුල අඬ අඬ අහනවා ඒ ගෑනිව මම අත අරිනවද කියලා ලමයා මැරුණු නිසා! මං කිව්වා ඔයා බය වෙන්න එපා ඊළඟට උපදින දරුවා මලත් මං මැණිකෙව අත අරිණ්නේ නෑ!" කියලා.