Tuesday, November 23, 2021

224. පිටකෝට්ටේ ඒ කාලේ . . . 1

ෂාන් සහ සුජී  -  එක ගෙයි බත් කෑම!
පාසැලේ අවසාන කාලයේත් ඊට පසුව රැකියාව කල මුල් කාලයේත් මම හිටියේ පිටකෝට්ටේ 585/B ගෙදරය.   තිබුනේ පිටකෝට්ටේ එපිටමුල්ල පාර ආසන්නයේ. ඒකාලේ 585/B නිවසට පිටුපසින් තිබුනු පරණ නිවසෙත් අයිතිය තිබුනේත් නිවස හිමි ලක්ෂමන් අංකල්ලටමයි. ලක්ෂ්මන් අංකල්ගේ බිරිඳ උනේ හේමා ඇන්ටි. එයාලට හිටියා කොල්ලො තුන් දෙනෙකුයි කෙල්ලෙකුයි. ලක්ෂ්මන් අංකල් වගේම මේ කොල්ලෝ තුන්දෙනත් ගියේ නාලන්දෙට. ලොකු එකා රොෂාන්, දෙවෙනි සුජී, තුන් වෙනියා කුකූ! කෙල්ල නිපුනි අනුලාවට ගියේ;නුගේගොඩ!
වයසින් මට ආසන්නව හිටියේ රොෂාන් උනත් වඩාත් හිතයෛෂී මිත්‍රයා උනේ සුජීව හෙවත් සුජී. සුජීගේ ළඟම මිත්‍රයා උනේ ෂානක.   ෂානකලා හිටියේ බංගලාව හංදියේ CMS එකේ ගුරු නිවාසේ. ෂානකලාගේ අම්මා ඒ පාසලේ ගුරුතුමියක්. තාත්තා විශ්‍රාමික පොලිස් නිළධරයෙක්. සුජීලගෙ තාත්තා සේවය කරලා තිබ්බේ මහරාජා ආයතනයේ. මට මතක විදියට "බෙරෙක්" බැටරි ආයතනයේ.
සුජීලටම අයත් එයාලගෙ ගෙදරට පිටුපසින් තිබුනු පැරණි ගෙදර මහ පිරිසක් හිටියා. පසු කාලීනව "විදුසර" පුවත් පතේ ප්‍රධාන සංස්කාරක ඒ. ආර්. කුලසිංහත් එයාලගෙ අක්කලා තුන්දෙනා එක පැත්තකත්, මමත් මගේ අක්කාත් අයියාත් අනෙක් පැත්තේත්, තවත් පවුලක් ලෙස නිමල් අයියාත් චම්මි අක්කාත් අනෙක් පැත්තේත් විසුවා.
සුජී කියන්නේ කලකින් කෙනෙකුට හමුනොවන ආකාරයේ පිරිසිදු, විශාල හදවතක් තිබුනු මිත්‍රයෙක්. කාලෙකට පසුව උනත් ඒ නිවසට ගිය අවස්ථාවලදී තමන්ගේ කෑම එක එයාලගෙ කාමරේට බෙදාගෙන ඇවිත් ඉන් අඩක් කන්න දුන්නු හැටි තාම මතකයි.
ලක්ෂ්මන් අංකලුයි හේමා ඇන්ටියි මම මගේ ජීවිතේට දැක්ක ඉතමත් ගැලපෙන ජෝඩුව කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ. දෙදෙනාගේ ශරීර ප්‍රමාණයේ සිට කන - බොන - සිතන හැම දේකින්ම එයාලා සීයට සීයක් ගැලපුනා කිව්වොත් නිවැරදියි. සුජීලගෙ තත්තාත් අම්මාත් දුටු විට ගම "පින්නවල" දැයි අසන්නට හිතෙන තරම් "කෙට්ටු" චරිත දෙකකි. දෙදෙනා ස්කූටරයේ නැග ගමන් ගත් කිහිප අවස්ථාවකදී ස්කූටරයේ පසු පස ඇති අමතර රෝදය සවිකොට ඇති යකඩ බ්‍රැකට්ටුව ඇඹරී කැඩී ගොස් තිබුනි! ඒ කෙසේ වෙතත් ඔවුන් දෙදෙන වචනයක් එහේ මෙහේ වනු අප කිසිදා දැක නැත!
ඒකාලේ සුජීට සෙරෙප්පු දෙකක් ගන්න උනත් අපි සෙට් එකක් නුගේගොඩට යෑම පුරුද්දක්. සුජීගේ යාළුවන් අතරින් ෂානක හැරුණු විට අබේ හෙවත් ප්‍රදීප් අබේ නායක, මීයා හෙවත් මීගමාරච්චි, රවී පනාමල්දෙනිය තව රොහාන් මුදන්නයක වගේ පිරිසෙන් කවුරු කවුරු හරි ඔය ගමන් වලට එකතු උනා.
දවසක් සුජීට අව් කණ්නාඩි කුට්ටමක් හෙවත් සන්ග්ලාස් එකක ගැනීමට මමත් සුජීත් තවත් "අනුපාණයකුත්" සමගින් නුගේගොඩ ගියා. මට අද වගේ මතකයි දුඹුරු පැහැති සන් ග්ලාස් කුට්ටමක් මිලදීගෙන අපි ආපසු පැමිණියා. ඒක සුජීවගෙ එවකට තිබුනු සුන්දර බුහුටි මුහුණට හොඳින්ම ගැලපුනා. ඊළඟ දිනය සති අන්තයක්. සති අන්තයේ සුජීගේ අම්මා හේමා ඇන්ටිත් ලක්ෂ්මන් අංකලුත් එයාලගෙ ලානිල් පැහැති ස්කූටරයේ නැගී පිටත් උනා. තවත් පැය ගනනාවකට පසුව දෙපල යළි සැපත් උනා. හවස දකිණ විට සුජී හිටියේ තරමක කණස්සලු මූණකින්. බලන කොට සුජීගේ අම්මා අර සන්ග්ලාස් දෙක තාත්තාට දීලා උදේ ගමන යද්දී දාගෙන යන්න. ඇවිත් මේසෙ උඩින් තිබ්බාම තමයි සුජී සීන් එක දැකලා තියෙන්නේ. සුජීගේ වචනයෙන්ම කියනවානං "සංගලාස් දෙකේ අඬු දෙක මේම වෙලා; තාත්ති දාලා! මම එයාටම දාන්න තිබ්බා!"
වරක් සුජීලගෙ ගෙදරට හොරෙක් පැන්නේලු. හොරාට ආයේ යන එනමං නොමැතිව අතටම අසුවූ අතර තාත්තා හොරාට නෙළන්නට පටන් ගත් අතර ටික වේළාවකින් හොරා හොඳින් සිටිය අතර ලක්ෂ්මන් අංකල්ට එකසිය ගානට හතිලු! හේමා ඇංටි සුජීට කථා කොට "ඉක්මනට ඔය හොරාට ගහන එක නවත්තන්න සුජී! තාත්තිට මොනවා හරි වෙයි!!" කීවාලු.
88-89 කාලයේදී මා රැකියාවක් කලෙමි. මාගේ හිතාදර මිත්‍ර රාවතාවත්තේ රන්ති රොහාන් ඔහුගේ කාර් සේල් එකට සුසූකි ජී එල් එක්ස් 250 බයිසිකලයක් ගෙනැවිත් තිබුනි.
එකල එම මොඩලයේ බයිසිකල් ලබා දී තිබුනේ පොලීසියටය. බයිසිකලය සුදු හා රතු මිශ්‍ර එකකි. සත්තකින්ම එය ඉතා ලස්සන එකකි. එය මාගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්වී තිබුනි. එය මිළදී ගැනීම මාගේ එකම බලාපොරොත්තුව වුනු අතර ඒ සඳහා මුදල්; මාගේ සොහොයුරාගෙන් ඉල්ලා ගැනීම මාගේ අරමුණ විය. බයිසිකලය දුටු දිනම දහවල් මා පිට කෝට්ටේ 585B නිවසට ගියේ එදිනම හවස මාගේ සොහොයුරා හමුවීමට පොළොන්නරුව බලා යාමේ අධිඨනෙනි. මේ සමය රට තුල ජනතා විමුක්ති පෙරමුණ මැඩීම සඳහා පාර්වල් පුරා ටයර් සෑයවල් මැවුණු කාලය විය.  පිටකෝට්ටේදී සුජීව හමුවූ මා පොළොන්නරු ගමන පිළිබඳව පැවසූ අතර ඔහුද මා සමග එන්නට කැමැත්ත පල කලේය. මා අත ගමන් වියදම් වත් නොතිබුනු අතර සුජීව සතුව තිබුනු සුළු මුදලක්ද එක් කරගෙන අප ගමන සඳහා පිටත් උනෙමු.  අප යන්නේ කොහේදැයි සුජීලාගේ ගෙදරට කීවාදැයි මාහට නිවැරදිව මතක නැත. 585 නිවෙසින් පිටත් වූ අප දෙදෙන ඊළඟට ගියේ ෂානක හමුවීමටය.  ඒ කාරණා දෙකක් සඳහාය. එක අප යන ගමන නිවැරදිවම කාහට හෝ කිවයුතු බැවින්. දින දෙකකින් අප ආපසු නොපැමිණියහොත් සුජීලාගේ ගෙදරට අප ගිය ගමන පිළිබඳව හෙලිදරව් කිරීම ෂානකහට පැවරීමට. දෙවෙනි කාරණය වූයේ ගමනට අවශ්‍ය මුදල් ටිකක් සම්පාදනය කර ගැනීමට!  ෂානක හමුවී ඔහුගේ කණට ලංවී අපගේ වැඩපිළිවෙල කීවෙමි. ෂානකගෙන් ලැබුනේ දුර්වල ප්‍රථිචාරයකි. 

"මම නං කියන්නේ ඔය ගමන යන්න එපා කියලා! මං ගාව උඹළට දෙන්න සල්ලිත් නෑ!! අනික ඔය ගමන මාර ඩේන්ජර්!"

එකල ෂානකත් සුජීත් දෙදෙනාම උසස් පෙළ සිසුන් වූ අතර ඔවුන් අත තිබුනානම් තිබුනේ දෙමව්පියන්ගෙන් ලද යමක් පමණක්මය!

"එහෙනං අවුලක් නෑ! අපි යනවා බං!" අපි දෙදෙන පරක්කු නොවී ආපසු හැරුණෙමි.  ෂානකගේ මිදුල කෙළවරේ ඉඳි කඩුල්ලක් විය. ඒ මිදුලේ තිබුණු යෝධ අරලිය ගහට පසෙකින්ය.  මමත් සුජීත් එකා පසු පස එකා ඉඳි කඩුල්ල පැණීමට ඔන්න මෙන්නය!

"මේං . . ! මං ගාවත් රුපියල් 150ක් තියෙනවා මාත් එන්න උඹලත් එක්ක යන්න? පොඩ්ඩක් හිටපල්ලා!!" අපිට මාර ආතල්ය!  ෂානක විනාඩියට ලෑස්තිවී අපි තිදෙන පිටත් උනෙමු.

අප තිදෙන පිටකොටුවට ගිය මුත් කුමණ හෝ හේතුවක් මත හෝ  පොළොන්නරුවට බසයක් නොමැති විය. අප එතැන් සිට පොළොන්නරුව බලා ගියේ  වාහන කිහිපයකය. වරෙක මැල්සිරිපුර, දඹුල්ල, ගලේවෙල පසුකලේ අඹ ලොරියක පිටුපසය! කෙසේ හෝ පසු දින උදේ අප මින්නේරියටත් එතැනින් පොළොන්නරුව බලා; ආසන විසි හයේ කුඩා බස් රථයකත් පිටත් උනෙමු. 
බසය ජයන්තිපුරට ළඟාවන විට පාර හරහා පෙරළී ගිය බෆල් රථයකි.
ඔබ විශ්වාස කරණ්න පසෙකට පෙරළී තිබුනු  රථයේ රෝද ඒ වන විටත් රෝද සෙමෙන් කැරකෙමින් විය! බසය පාර අයිනේ නවත්වනවාත් සමගම අප තිදෙන බසයෙන් එළිය පැන්නෙමු.
බෆල් රථයක්!
බෆල් රථය දෙසට අප දිව ගිය අතර ඒවන විටත් එයට යටවී ගිය සොල්දාදුවන් තිදෙනෙකි. එහි ඉදිරිපසින් මතුවූයේ  යුධහමුදා කපිතාන්වරයෙකි.  
දැන් ඊළඟ මොහොතේ රථයේ යකඩ බඳට යටව ගොස් සිටින සොල්දාදුවන් බේරා ගත යුතුය. තවත් මොහොතකින් ගමක සෙනඟ එතැනය.  කපිතාන් වරයා ගල් ගැසීබලා ගෙනය. මෙතෙක් තමන් සමඟ එක්ව ගමන් කල සොල්දාදුවන්ගෙන් කිහිප දෙනෙකු රථයටත් මහපාරටත් හිරවී නිසොල්මන්වය. මහ පාර රුධිර ධාරාවන්ගෙන් රත්පැහැ ගැන්වී ගොස්ය. තරුණ කපිතාන් වරයා ඊළඟ මොහොත පිළිබඳව අවිනිශ්චිතව ගොස්ය. ඊළඟ තත්පරයේදී අප තිදෙන සිදුවීමට නායකත්වය දුන්නෙමු. එකල අප තිදෙනාම පාසලේ ජීවිතාරක්ෂකයින් විය. විශෙෂයෙන් ෂානකත් සුජීවත් පුහුණු ජීවිතාරක්ෂකයින් වූවාට අමතරව පාසලේ ශිෂ්‍ය භටයන්ද වූවෝය. ඒ සැම දෙයකින්ම පන්නරය ලැබූ අප ඉතා තියුණු තරුණ නායකයන් සේ හැසුරුණෙමු. එතැනට රැස්වූ පිරිස යොමු කරවා ටොන් 6.14 බරැති යකඩ ගොඩ ඔසවා එයට යටවූ සොල්දාදුවන් මුදවා ගැනීමට අපට හැකිවිය!
ඊළඟ මොහොතේ කිසිදු හැල හොල්මනක් නොමැති ඔවුන් තිදෙන ඔසවා අප පැමිණි බසයේ බිම නිදි කරවූවේය. කබල් කෑලි හැලෙන බසය පොළොන්නරුව බලා ඉගිල්ලෙන්නට පටන් ගත්තේය. කපිතාන් වරයා දොරේ එල්ලීගෙනය. ඒ වන විට ෂානකත් සුජීත් ඔවුන්හට පපු තෙරපුම් දීම අරඹා තිබුනි. මා තරුණ කපිතාන් ඇමතීය. "මේ දෙන්නා ලයිෆ් සේවර්ස්ලා! බලමු ට්‍රයි එකක් දීලා!" බසය පොළොන්නරුව ඉස්පිරිතාලයේ ගේට්ටු අතරින් ගොස් ගොඩනැගිල්ල ඉදිරිපිට නැවැත්වූවේය. මොහොතකින් සොල්දදුවන් තිදෙන; රෝහල් සේවකයින් වෙතින් ස්ට්‍රෙචර මතට ගැණුනි. කපිතාන් තැන අපිට සමුදුන්නේය.
"මං කැප්ටන් හතුරුසිංහ! ඔයාලා අපිට ලොකු උදව්වක් කලේ!"

අපි එතැනින් පිටත් උනෙමු. සුජී කටහඬ අවදි කලේය."අයියෙ ඒ මිනිස්සුනං එකෙක් වත් ජීවත්වෙනකක් නෑ. පපුවට අත තිබ්බාම එක ඉළ ඇටයක්වත් අතට දැනුනේ නෑ. පිටටම හේත්තු වෙලා."   
අප එතැනින් එළියට බැස පා ගමණින් අයියාගේ නිවෙසට ගිය අතර ඔහුගෙන් මාගේ ඉල්ලීම ප්‍රථික්ෂේප වීම සමගම නැවතත් කොළඹ බලා පිටත් උනෙමු. ආපසු එන ගමනද බස් ලොරි ටිපර් ආදී කිහිපයක ගමන් කොට රාත්‍රී 2.00 පමන කොළඹට සේන්දුවිය.
කොළොඹ නගරයේ ඈත  ඉමට ළඟා වූ අප තිදෙන මහ රෑ ම  පිට කෝට්ටේ දෙසට පයින් එන්නට විය. 
එකල හවස හයෙන් පසුව තරුණයන් එළියට බසින සමයක් නොවීය! දෙමටගොඩ බොරැල්ල මංසන්ධි දැඩි පාළු බවක් ඉසිලීය. අප රාජගිරිය පසුකොට පාර්ලිමේන්තු පාර දිගේ ඇතුල් කෝට්ටේට ළඟා උනා පමණි. අප ඉදිරියට පැමිණි ඩිෆෙන්ඩර් රථය අප පසු කොට ගොස් නැවත හරවා විත් අප ගේ ගමන හරස් කොට නැවැත්වීය. 
"කොහෙද උඹලා . . ? නැගපල්ලා ජීප් එකට . . . " අප තිදෙන පසු පසින් ජීප් රියට නැග්ගෙමු. එතැන් පටන් "අපි මේ . . . කියා ඇරඹි කථාව අවසන් වූයේ අපගේ පොළොන්නරු ගමනේ කූඨප්‍රාප්තිය වූ කැප්ටන් හතුරුසිංහගේ බෆලය පෙරළුනු හා එහිදී අප කල කී දෑ පැවසීමෙන් අනතුරුවය! අපගේ කථාව; ඩිෆෙන්ඩරයේ ඉදිරිපස අසුනේ සිටි යුධ හමුදා ප්‍රධානියා හට "තවත් එක් බයිලාවක්ම " පමණක් වූ බව තේරුම් යමින් විය. ජීප් රිය පිටත් වුවහොත් ආපසු ඒමක් නොමැත! ඒ ජීවිතයේ අවසාන ගමනම වන බව ඒවන විට මාහට දැනෙමින් විය!
"කැප්ටන් හතුරුසිංහගෙන් ඕන නම් අහන්න!" මට ඉබේටම වාගේ කියැවුනි!
ජීප් රිය පිටත්වීමට ඔන්න මෙන්නය!
"අයියේ මේ බලන්න එතන හිටිය සෝල්ජර් කෙනෙක්ගේ සාක්කුවේ තිබ්බ ලයිටරේ!" සුජී; තහඩු කොටස ඇකිළී ගිය නිල් පැහැති ලයිටරයක් අතට ගෙන පෙන්වීය! පපු තෙරපුම් දීමට යාමේදී; එයට බාධාවක් වූ  කමිස සාක්කුවේ තිබූ ලයිටරය සුජී ඉවත් කර තිබුනි.
හමුද ප්‍රධානියාගේ වචන නැවතුනි. ඔහු එය දෙස හොඳින් බලා සිටියා හෝ අතට ගෙන බැලුවාදැයි මා හට මේ මොහොතේ මතකයට නො ඒ! කෙසේ හෝ ඔහුගේ අවධානය මුළුමණින්ම ඩැහැ ගැනීමට එය සමත්වූ බව නම් හොඳින් මතකය! තත්පර කිහිපයක නිහැඬියාවක් ගතවිය.
"බහිනවා! බහිනවා!! මේ රෑ මගුලෙ යන්නෙ නැතුව ගෙවල් වලට වෙල ඉන්නවා!" ඉදිරි අසුනේ සිටි නිළධරයා ගුගුලේය!
සැහෙන දුරක් යන තුරු අප තිදෙන නිහඬව ගමන් කලෙමු!
"උඹට මල්ලි හොඳ වෙලාවට ඒක මතක් උනේ!" මම සුජීගේ පිටට තට්ටු කරමින් කිව්වේය.
"අම්මට හුදු නැත්තං ටයර් සෑයක ගමනකට තමයි සෙට් වෙන්න ගියේ!" ෂානක අඩු වැඩිය සැපයුවේය.
"ඒකනේ! ඒකනේ!! කොහෙද උඹල මගේ වටිනාකම දන්නේ නෑනේ! සුජී සුපුරුදු සිනහවෙන් ඊට පිළිතුරු දුන්නේ එලෙසින්ය.

මේ කථා සියල්ල මතකයට ආවේ වසර දහයකට පමණ දීර්ඝ කලයකට පසු ඊයේ පාන්දර 3.54 ට නොදන්නා අංකයකින් වට්ස් ඇප් පනිවිඩයක් ලැබී තිබුනු නිසාය!
 Hello! Are you in WhatsApp?    ඒ හඳට ගිය රටේ බෝස්ටන් නගරයේ වෙසෙන සුජී ගෙන්ය.
"ඉන්නවා ඉන්නවා කොල්ලෝ!" මා පිළිතුරු ලීවෙමි!

Thursday, November 11, 2021

223. ලිඛිතාට (සංගීතමය) පිළිතුරක්!

 

මෙම පෝස්ටුව කියැවීමට පෙර මෙන්න මෙතනට ගොඩ වැදී එන්න!

මගේ (මම හිතාන ඉන්න විදියට) සිරා පෝස්ටුවට පිළිතුරක් ලෙස ඔබ ලියපු පෝස්ටුවේ මුලින්ම දැක්වෙන පිංතූරයෙන්ම ඔබ මාව පූසාට දමා ඇති බවක් පෙනේ! ඔබ මාව බල්ලාට නොදමා බළලාට දැමූ එකට අනේක වාරයක් පිං!  

ඇත්තෙන්ම ඔබට වැනි ගීතවත් ලමා කාළයක් මට නොතිබුනි. චිත්‍රපට සමග ගෙවුනු කාලයක් යනු සිහිනයකි. නමුත් ඒ කාලයේ "හිංදි ගීත අඩපැය", ඉරිදා දහවල් 1ට පමණ; ඉර මුදුන් සමයමේ ප්‍රචාරය වුනු, අසහාය නිවේදක බණ්ඩාර කේ විජේතුංගයන් ඉදිරිපත් කල චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක වැඩසටහනෙන් අප හිංදි ගීත ඇසුවෙමු. එසේම කාලයකට පෙර බොහෝ දනන්ගේ තුඩග රැඳි ගී රාවය වූයේ හිංදි හෝ හිංදි අනුකාරක ගීතයකය. "දෝස්ති" චිත්‍රපටයේ ලක්ෂ්මිකාන්ත් ප්යාරෙලාල්ගේ මන මෝහණීය සංගීතයට එන ගීත අතුරින් රාෆි ගේ හඬින් ගැයුණු  "koy jab raah naa paye" ගීතය හා "chahunga mein tujhe saan savere" ගීතය හ සන්ගම් චිත්‍රපටයට ෂන්කර් ජායෙකිශන්ගේ සංගීතයට මුකෙශ් ගේ ශෝකාකූල හඬින් ගැයුණු "mere maann ki ganga"  යන ගීත එවකට තරුණයන් ගයනවා මා හට අද මෙන් මතකය!

ඕනෑම  කලාවක වේවා තාක්ෂණයක වේවාඕනෑම ක්‍රියාකාරකමක වේවා සීයට 99.99 ක්ම ඇත්තේ කොපි කිරීමය! අපි පාසැල් යන කාලයේ පටන් ගෙදරදීත් පාසැලේදීත් කනට ඇහුනේ "කොපි කරණ්න එපා!", "කොපි කලොත් බලා ගෙනයි!" වාගේ මෘදු සුමට වදන්මය. "කොපි කිරීම" යනු ඒ තරම් භයානක දෙයක් ලෙස අපගේ හිත් වලට කාවද්දා ඇත! 
කොපි කිරීම මේ තරම්ම වැරදි දෙයක් නම් ඇයි දෙයියනේ පංසිල් පද පහට ඒක බුදු හාමුදුරුවෝ ඇතුලත් නොකලේ? කියා මාහට තිබූ විචිකිච්ඡාව පහව ගියේ පංසිල් පද පහෙනුත් සමහර සමහර ඒවා බුදු රදුන්; ජෛන මහා වීර හෙවත් නිගණ්ඨ නාථ පුත්තගෙන් කොපි කලා කියා දැන ගත් දායින් පසුවය! මේ සියල්ලම වැටෙන්නේ කොපි ලෙසය!මේ සියළු කොපි කිරීම් "අවුලක් නැත!" යැයි සිතුනේ කොම්පියුටර් භාවිතය සමග එන "කොපි" - "පේස්ට්" බොත්තං සමගය. එය එසේ නොවන්නට අදටත් "කොපි" කිරීම යනු මහා භයානක අකුසල කර්මයක් යැයි මා අදටත් සිතා සිටින්නේය!
මම පුංචි කාලේ අපේ ගෙවල් ලඟ නැන්දා කෙනෙක් "ආස්මී" හදන හැටි බලා ඉන්න කොට එයා පිටි වලට දාන ලිහිසි ද්‍රව්‍ය මොනවා දැයි ඇසූවද ඇයගෙන් මාහට පිළිතුරක් නොලැබුනි! පසුව මා ගෙදර විත් අම්මා ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඒ "දවුල් කුරුඳු" හෝ "උළු දවුල්" විය හැකි බව අම්මා අනුමාණ කොට පැවසීය. මගේ ඊළඟ ගැටළුව වූයේ ඒ නැන්දාට එවැනි කැලෑ ගසක  පොතු වලින් උකහා ගත් යුෂ; මේ "අසාමාන්‍ය" කෑමට දාන්න ඉගැණ්වුයේ කවුරුන්ද කියාය. බලාන ගියාම එය උගන්වා තිබුනේ ඇයගේ මවය. මෙය සොයා ගෙන ගියහොත් සිංහලේ මුල හොයා ගෙන ගිහින් තිරිසනෙකුට "මුත්තෙ" කියන්නට සිදු වෙනවාට වඩා දෙයක් හිතා ගත නොහැක! බලාගෙන ගියාම අම්මලා කොරලා තියෙන්නෙත් කොප්පෙ ගැහිල්ලය! අපේ ගුරාලා කරලා තියෙන්නෙත් කොප්පෙ ගැහිල්ලය!! එබැවින් අපි කරණ්නෙත් ඒකමය!!! 
ටොයෝටා කොරොල්ලා වාහනය පසු ගිය කාල වකවාණුව පුරා වාහන මිලියන 40 ක් නිපදවා විකුණා දැමූවත් ඔහු ආදීම වාසියාගෙන් "රෝදය" කොප්පෙ ගැසූ බව නිකමට වත් කියැවෙන්නේ නැත!
මම අළුත් තැනකින් මෙහෙම පටන් ගන්නම්! මීට කලකට පෙර ලංකාවට පැමිණි ටාටා බස් රථවල පසු පස තිබුණු ලාංජනයේ දෙපැත්තේ තිබුණු වී කරල් දෙකට මැදිව ඉහලින් TATA කියා තිබුණු අතර පහලින් වූ යේ කට පුරා BENZ කියාය. අද වන විට රතන් ටාටා බෙන්ස් වලිගය හලා ටාටා නම නිදහස් කරගෙන ඇත. ඉංදියාවේ කුමණ කර්මාන්තය ගත්තද කලාව ගත්තද මේ බව දැකිය හැක! පලමුව පිටස්තරයෙන්  එන ඕනෑම දෙයක් ඇතුලට ගෙන පසුව එය තමන්ගේ අච්චුවට හැඩ ගසා ගන්නා බව පෙනී යයි!
සංගීතය ගත්තද එය එසේමය. නෞශාඩ් අලී ගේ ගත්තත් එස් ඩී බර්මන්ගේ ගත්තත් ලන්ෂ්මී කාන්ත් ප්‍යාරේ ලාල්ගේ ගත්තත් ඔවුන්ගේ ඔකෙස්‍රට්‍රා තුල වැයෙන්නේ ඉන්දියානු සංගීත බාන්ඩ පමණක්ද? නැත! ඔවුන් ඒ සඳහා වයලීන් ද, චෙලෝද, ඩබල් බේස් ද, ඉයුෆෝනිම්ද, ට්‍රම්ප්‍රට්ද, ජෑස් ඩ්‍රම්ද යනාදී වශයෙන් බටහිර සංගීත භාන්ඩ ඔවුන්ගේ රාග තාල වාදනය කිරීමට යොදා ගත්තේය. එහෙත් ඒවායෙන් ගැයුනේ හින්දුස්ථානි, දකුණු ඉංදීය, කර්ණාට, බෙංගාලි තනුය! (මේ උදාහරණ කිහිපයක් පමණි) සමහර අවස්ථාවලදී ඒවාට ඉතා දුර්ලභ ලෙස බටහිර තනු, මෙලඩි කොටස් ගත් අවස්ථාද නැතිවා නොවේ.
මේ හැම දෙයකින්ම පෝෂණය වූ;  ඉංදීය සංගීතය පවතින්නේ ඉතා උසස් තැනකය. ඊට හේතු භූතවූ ප්‍රධාන කරුණක් ලෙස මා දකින්නේ ඉංදියාව තුල තිබෙන සංගීතයේ මහා සම්ප්‍රදායය. ඊට සාපේක්ෂව ලංකාවේ ඇත්තේ චූල සම්ප්‍රදායකි. කලකට පෙර මකුළොළුව මහතාත් පසු කාලීනව ලයනල් රන්වල, බැද්දගේ වැනි අය හැකි උපරිමයෙන් කාරණා කාරණා කලත් කෙරුණු යමක් දක්නට ලැබෙන්නේ "මේ අවුරුදු කාලේ" පමණය. කොටින්ම එඩ්වර්ඩ් ජයකොඩිට රෝහන බැද්දගේ තනු යොදපු "ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා . . ." ගීතයද ගොඩ නගා ඇත්තේ බිලාවල් රාගය පදනම් කොට ගෙනය!
මහා සම්ප්‍රදායකින් කරණ කියන දේවල් චූල සම්ප්‍රදායකින් කිරීමට නොහැක. එය හරියට රෝද තුනේ ට්‍රයිසිකල් එකකින් ප්‍රංශ සවාරිය පදිනවා වාගේ වැඩකි! ඒ නිසාම මහා සම්ප්‍රදායන්ගේ ඇල්ම් බැල්ම අප ලංකර ගත යුතුවේ. නො එසේ නම් අපට ඉතිරි වන්නේ පංච කෙළිය, අං කෙළිය, ඔළිඳ කෙළිය වැනි කෙළි මිසක "පෙම් කෙළියේදී" ගැයෙන රසාලිප්ත ගීතයන් නම් නොවේ!
මහා සම්ප්‍රදායෙන් චූල සම්ප්‍රදාය පෝෂණය වීමේදී පලමුව සිදුවන්නේ අනුකරණයන්ය!  ටොයෝටා රෝදය; ආදී මානවයාගෙන් හොරා ගත්තාට කොපි කලාට අද භාවිතාවන්නේ ඒ කොපි කල රෝදය නම් නොවේ. ඩන්ලොප් විසින් හුලං ගසන රබර් ටයරය නිපදවා කාලය සමග ඒවාට විවිධ කට්ටා රටා, විවිධ ප්‍රමාණ ආදී එක් කරණ ලද "ආරළු බූරළු" වලින් එය ඉතා දියුණු තත්වයකට පත්වී ඇත. එසේම මහා සංගීත සම්ප්‍රදයකින් අප වැනි චූල සම්ප්‍රදායක් සහිත රටක් කලා මාධ්‍යයක් ණයට ගන්නා විට පලමුව ඔවුන්ගේ තනු අනුකාරක  ලෙස යොදා ගැනීම දක්නට ලැබීම  සාමාණ්‍ය දෙයකි. 
වඩාත් වැදගත් වන්නේ එම ණයට ඉල්ලාගත් තනුව කෙතරම් සාධාරණ ආකාරයකට භාවිතා කරණ්නේද හා කලේද යන්නය. 
මීට කලකට පෙර ලංකාවේ විසූ එක් සංගීතවේදියෙකු තමා වෙත ගීතයක් නිර්මානය කර ගැනීමට පැමිණි විට පලමුව අසන්නේ "මේක සැඩ් මූඩ් ද හැපී මූඩ් ද?" කියා යැයි  මා අසා ඇත! එයට හේතුව ගීතය කියවා එහි අරුත දැන ගැනීමට මෙම  සංගීතවේදියා සිංහල භාෂාව  නොදන්නා හෙයින්ය! (මාගේ මතකයේ හැටියට මේ මොහමඩ් ගවුස් මාස්ටර්ය!  වැරදි නම් නිවැරදි කල මැන!) ගායකයා වෙතින් ගීතයේ භාවය කුමණ ආකාරයක් ගනී දැයි අසා දැන ගන්නා ඔහු ඊළඟ මොහොතේ තම හාමෝනියම් වාදන භාණ්ඩයෙන් රසාලිප්ත මධුර තනුවක් නිමවයි! එසේ නිපදවෙන දුක්බර තනුවට ; දුක්බර හඬින් ගැයෙන දුක්බර වචන  සපිරි පදමාලාව සඳ කිඳුරු කවි පරදා ලන්නට සමත්වෙයි. මෙවන් වූ තනුවකට ඊට ගැල පෙන දුක් බර පදමාලාවක් සකසන පද රචකයා පිළිබඳව මා අදටත් ලියන්නේ ගෞරවයෙනි. 
 මා වරක් පැවසූ ලෙස 1971 වසරේ ජුලි 20 වන දින තිරගතවූ හතරදෙනාම සූරයෝ චිත්‍රපටයට පී එල් ඒ සෝමපාලගේ සංගීතයට ලතා වල්පොල ගැයූ  "පැතුම් මල්ලෙකී මේ ජීවිතේ . ." ගීතය ගෙන බලන්න! "පැතුම් මල්ල" අප කිසිදා සාමාන්‍ය ජීවිතයේදි භාවිතා නොකරණ වදන්යුගලයකි. ලියුම් මල්ල,  එලවළු මල්ල, පං මල්ල හැරුණු විට අප කිසිදා; "පැතුම් මල්ලක්" යන්න භාවිතා නොකරයි. එහෙත් බලන්න එම ගීත රචකයා එය භාවිතා කොට ඇති සුනම්‍ය ආකාරය!? නිල් කමල් චිත්‍රපටයට රවිගේ සංගීතයට  රාෆි ගයන මෙහි හිංදි ගීතය මෙතැනින් රස විඳින්න!
දැන් ලිඛිතාගේ පෝස්ටුවට සෙමෙන් සෙමෙන් අවතීර්ණ වෙමු! ඇය පලමුව උදාහරණය ලෙස දක්වා ඇත්තේ මදර් ඉන්ඩියා චිත්‍රපටයට නෞෂාල් අලීගේ සංගීතයට ලතා මංගෙස්කා ගැයූ ගීතයක්ය. මෙම ගීතය ඇතුලත් මදර් ඉන්ඩියා චිත්‍රපටයේ මෙම ජවණිකාව තෙක් කථාව සැකවින් ගෙන බලමු. දරිද්‍රතාවයෙන් පීඩිතව සිටින ඈත එපිට ගමක සිටින නව යුවලක් පොලී කරුවෙකුගේ උගුලකට හසුවේ. අවසානයේ තරුණයා ජීවිතය සමග පොර බදිද්දී තම  දෙ අත් අහිමි වේ. අවසානයේ ඔහු ජීවිතයෙන් පලා යයි.  තම දෙ අත් නැති වීම නිසා ඔහුගේ ජීවන බරද තම ආදරණීය බිරිඳට ඉසිලීමට සිදුවීම බලා සිටින්නට නොහැකි වන සැමියා තම බිරිඳගේ නළලත තිලකය මකා දමා රාත්‍රියේම යලි කිසිදා නො එන්නටම පිටව යයි! තරුණ බිරිඳ තම පුතුන් දෙදෙනා සමග ජීවිතයට මුහුණ දේ. ගවයෙකු නොමැති බැවින් මෙම තරුණ මව නගුල අදිමින් මෙම ගීතය කියණ්නීය. මේ ගීතය බලන ඕනෑම අයෙකුට මෙන්ම මටද සිතුනේ ජීවිතයෙන් පලා යන සැමියා කරණ කොට ගෙන තරුඅන බිරිඳ වඩාත් දුක්ඛ දායක මෙන්ම අසරණ තැනකට පත්වන බවයි! සත්තකින්ම එය හදවත ඉරා දමන රූපරාමුවක් සහිත ගීතයකි. ශෝකාලාපයකි!  
දැන් මෙම තනුවට ගැයෙන සිංහල ගීතය පිළිබඳවත් සොයා බලමු! 
එම ගීතය වසන්තා සන්දනායක ගායිකාව විසින් ගායනා කරණු ලබන  "නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා - මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා" ලෙසින් ගැයෙන යශෝදරාවගේ ශෝකාලාපයයි. ඉතින් බලන්න මෙම එකම තනුව ඉතාමත් සාධාරණ ආකාරයට සිංහලට ගෙන ඇති හැටි! එසේ නැතිව එයට "ඇරපං කරාමේ - මේක අපේ පයිප්පේ"  මොඩලයට ගෙන කෙලෙසා නොමැත. ඒ නිසාම හිංදි ගීතයට හින්දු අයෙක් සවන් දුන්නත් සිංහල ගීතයට හින්දු අයෙක් සවන් දුන්නත් මෙලඩියට පමණක් සවන් දුන්නත්  මේ ත්‍රිවිධාකාරයේ සවන් දීම් වලට සිංහල රසිකයෙකු භාජනය උනත් මෙම භාෂා දෙකම නොදන්නා අයෙකු සවන් දුන්නත් දැනෙන හදවත ඉරිතලන හැඟීම නැතිවන්නේ නැත. එසේ හෙයින් එම තනුවට සිංහල පද රචකයා ඉතාමත් සාධාරණයක් සිදු කොට ඇති බව පෙනී යනු ඇත!
ඒ නිසාම හිංදි මෙලඩිය නමැති බනිසට මැදි කොට ඇත්තේ එකම වර්ගයේ සොසේජස් විනා බිත්තර නොවන බව පෙනී යයි. ඒ වගේම එකම ගීත තනුවක් වෙනත් අදහස් දෙකක් උද්දීපනය වන සේ භාවිතා කල නොහැකිවේද?  
මල් කාන්ති හා සනත් නන්දසිරි   ගයන "සහසක් පැතුමන් ඉපදී මිය ගොස්" සහ "සහසක් පැතුමන් නැත මා පැතුවේ"    යන එකම මෙලඩියට ගැයෙන ගීත දෙකෙන් හැඟවෙන අදහස සර්ව සම නොවේ! 
දැන් අපි මේ වාගේම ගැයෙනා හිංදි ගීත දෙකක්ද ගෙන බලමු. එම ගීත දෙකම ගැයෙන්නේ ටාජ්මහල් චිත්‍රපටයටය.  පලමුව තම මුම්ටාස දේවිය සමග සාර්ජාන් අධිරාජයා ගයන ගීතය මෙතනින්ද දෙවනුව ඇය මිය ගිය පසු ගැයෙන ගීතය මෙන්න මෙතැනින්ද රස විඳින්න! මේ දෙවෙනි ගීතය යූ ටියුබයේ දක්වා ඇත්තද "jo wada kiya woh nibhana padega sad song"ලෙසය!  එකම මෙලඩිය උවද දෙ ආකාරයකටම යෙදිය හැකි බව මෙයින් තහවුරු නොවේද? එසේනම් හිංදි සොසේජස් බන් එකෙන් සොසේජ්  ඉවත් කොට සිංහල හෝ වෙනත් භාෂාවක බිත්තර දමා එග් බන් කීමේ වරදක් වේද? ටාජ්මහල් චිත්‍රපටයේ සංගීතවේදී රෝෂන් මෙසේ තම බනිස වරෙක සොසේජ් බන් ලෙසද තවත් වරෙක එග් බන් ලෙසින්ද මේසයට යවා 1964 වසරේදී හොඳම පසුබිම් සංගීතයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනුවේය! එසේම ගීත රචනා වෙනුවෙන් සහීර් ලුදියාන්වි හටද ෆිල්ම් ෆෙයාර් සම්මානය ලැබුණු අතර හොඳම පසුබිම් ගායිකාව ලෙස ලතා මංගෙස්කා ව මෙම ගීතය වෙනුවෙන් නම් කරණ ලදී!
මාගේ උගත් මිතුරිය දක්වා ඇති "පන්චි ලයින්" එක පිළිබඳව මා හට නිවැරදි වැටහීමක් නැති බව බය පක්ස පාතව පවසන අතරම; මා කිසි විටෙක හිංදි ගීතවල පද මාලාව පිළිබඳව කථා කොට නොමැත!  අප හිංදි ගීත වල මූලික වශයෙන් රස විඳීනේ ශබ්ද රසය විනා අර්ථ රසය නොවේ! ඒ නිසා එකම මෙලඩියට "දුටුවාම  එදා  . ." ගැයූවද "වෙහෙර හේන විහාරයට  . . . ." ගැයුවත් භාෂාව නොදන්නා අයට අවුලක් නැත!  ඒ නිසාම හිංදි පද මාලා පිළිබඳව කථා නොකිරීමට මා ප්‍රවේශම් විය!~
හින්දුස්ථානි රාගධාරී සංගීතය තුල උදේ වරුවට ගැයෙන රාග හා දවලට ගැයෙන රාග සේම රාත්‍රියට ගැයෙන රාග වෙන් කොට ඇත. භාෂාවේද ගුඩ් මෝනිං, ගුඩ් ආෆ්ටර් නූන් , ගුඩ් ඊවිනිං හා ගුඩ් නයිට් යනුවෙන් සුභ පැතීම් වර්ග කොට ඇත. එහෙත් ගීත එසේ අර්ථය හා වචන  අනුව ගැයුව යුතු කාලය තීරණය කරණ බව මා දැන සිටියේ නැත! මා සිතන පරිදි "අප දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ  . ." ගීතය චිත්‍රපට ගීතයක් විය යුතුය. එය එසේ වී නම් චිත්‍ර පටයේ රූප රාමුවට අදාලව එම ගීතය ගැයෙන්නට ඇත. චිත්‍ර පටය තුල; පට්ට පාන්දර මෙම ගීතය නොගැයෙන්නට ඇති බවටනම් මට හොඳ හැටි විශ්වාසය! එසේ ගීතයේ වචනාර්ථයට අනුව ගායනා කල යුතු කාලය නිර්ණය කල යුතු වේ නම් හෝ ගීතය ගයන කාලයට අනුව ගීතය තෝරා ගත යුතු වෙන්නේ නම් උදෑසනට කීමට ඇත්තේ සී ටී ගේ "අවදිවන්න . අවදිවන්න", අයිවෝගේ "උදෑසනක් වේවා ඔබට සුභ උදෑසනක් වේවා", "උදෑසනම පොඩි අපි දිව යනවා", "කුරුළු ලොවේ කුරුළු හඬට මා පිබිදෙනවා" වැනි ගීත කිහිපයක් පමණි! "සොඳුර මට සමු දෙන්න" ජීවිතේට කියන්න බැරි ගීතයකි! මන්ද ඈත ගමේ සරු පස පෙරලන්නට යන්නේ "හෙට" බැවිනි! ඒ නිසා එය අද නොව "හෙට" ගැයෙනා ගීතයකි! මේ පිළිබඳව මා වැඩි පුර කියන්නට යන්නේ නැත!
ගීතයකට රාගයක බල පෑම  සම්බෝලයකට "අජිනො මොටෝ " දැමීමක් ලෙස සිතනවා නම් එය පිළිබඳව නැවත සොයා බැලිය යුතුවේ. එසේනම් රාගය විස්තර කෙරෙණ ගීත යනු තනිකරම අජිනො මොටෝද? මෙයට මං සුට්ටං උදාහරණයක් දෙන්නම් මෙහෙම:- සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් රචිත "තනුව" නමැති ග්‍රන්ථයේ පලමු ගීතය ලෙස දක්වා ඇත්තේ "ඇවිළුණු ගිනි දැල්" ගීතයයි. මෙම ගීතය පිළිබඳව කෙරෙණ හැඳින්වීම මා මෙලෙස ලියා තබන්නම්! "දක්ෂිණ භාරතීය රාගයක් වන  කලාවතී රාගය ආශ්‍රය කොටගෙන මෙම ගීතයේ තනුව නිර්මණය  වී ඇතැයි එකවරම පෙනෙන නමුදු එම රාගයට අයත් නොවන මධ්‍යමය සහ රිෂභය මෙම තනුව සමග සංකලනය  වී  තිබීමෙන් තවත් රාග යුගලයක ඡායාව ජනිතව ඇතැයි සිතේ. කලාවතී රාගයේ ආරෝහණ අවරෝහන වශයෙන් පිළිගැනෙනුයේ  ස ග ප ධ නි ස, ස නි ධ ප ග ස යනුවෙනි. එහෙත් රිෂභය සහ මධ්‍යමය යොදා තිබීමෙන් ජනසම් මෝහණීය හස ගාවතී යන රාග යුගලයේ ඡායාවද අල්පව දැකිය හැක. . . .. .. . ...  ." තවත් වචන, විස්තර, දිගු එකකි. මෙයින් පෙනෙනවාද රාග යනු හුදෙක් අජිනො මොටෝ  ලෙස ලඝු කොට දැක්විය හැකි කාරණයක් නොවන බව! මෙම පොතේ ගීත 50 ක් පමණ දැක්වෙන අතර ඒ  එක් එක් ගීතය පිළිබඳව රාගධාරී සංගීත විශ්ලේෂනයකින් යුක්තවේ! අජිනොමොටෝ පිළිබඳව තවත් කියන්නට අවශ්‍ය නැති බව මාගේ හැඟීමයි!
සිංදු නිර්මාණය කිරීම ආප්ප බෑමක් නොවන බව මමද පිළිගන්නා සත්‍යයකි. එහෙත්ම් එසේ ආප්ප බානවා වැනිව් බිහිඋනු ගීතද රසික ජන මනස පිනවා ඇති අවස්ථාද අප දැක ඇත. දීපිකා ප්‍රියදර්ශනී ගයන "කවිය ඔබ" එසේ ක්ෂ්ණිකව නිමැවුනු ගීතයකි. බොහෝ ඊත පිළිබඳව ජාතක කථාව සොයා බැලීමේදී එසේ නිර්මාණ්ය වූ ඒවා නැත්තේම නැති බව තේරුම් යයි. 
හිංදි තනු වලට වචන ලියා ගැයෙන ගීත වල වචන වලට ලැබෙන්නේ අඩු ලංසුවක් නම් මම ගීත කිහිපයක් කියන්නම් එසේ තනුවට අකුරු එක් කල! 
කුමාරදාස සපුතන්ත්‍රී ගේ "මලින් මලට" ගී පොතේ දැක්වෙන පරිදි එඩ්වඩ් ගයන "මල් මාලතී ලතා", "මාලතී වසන්තේ" , "දොඹ මලින් මලට" ගීත තුනමද සුනිල් ගයන 'මිනිසා සුවඳයි මලසේ" ගීතයද තනුවට වචන එක් කිරීමෙන් බිහිවූ නිර්මාණයන්ය. ඒවායේ පද රචනය පිළිබඳව අපට අඩු ලංසුවක් හැකිද?
දඬුබස්නා මානයේ සංගීත සංයෝජනයේදී පැරණි ස්ත්‍රොත්‍ර, හටන් කවි වැනි අමුද්‍රව්‍ය එකතු කරගෙන ඇති බව ඇත්තකි. මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාන කරුවන්ට; විශෙෂයෙන් සංගීත සමායෝජකයින් හට වඩා හිංදි අණුකරණ මත සංගීත තනු යොදන නිර්මාපකයින් උසස් යැයි පවසා නැත! දඬුබස්නාමානය ටෙලිය පදනම් වී ඇත්තේ සුදලිය - මරුවල්ලිය සටන් සම්ප්‍රදායයන් මත බැවින් මාස්ටර් එවන් හටන් කවි අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරණ්නට ඇත. එසේම ප්‍රෙම් ලියා වික්ටර් ත්නුව යොදා ගායනා කරන "අදරයේ උල්පතවූ අම්මා" ගීතයේ තනුවට පදනම් වී ඇත්තේ "දොයි දොයි දොයි . .දොයිය බබා . ." නම්වූ ඔබගේත් මගේත් සවනත රැඳුණු මුල්ම ගීතයේ පදනමය!  මෙසේම වැදි නැළවිළි ගීත වැනි දෙයින් උකහා ගත් කුඩා අංශු එක් කොට ගීතය නව ප්‍රවනතාවයකට ගෙන ආ අවස්ථා බොහෝ සෙයින් දැකිය හැක! එසේම අප අහන හිංදි තනු වල මූල බීජ මොනවාදැයි අප සොයා බැලුවේද? 
ලිඛිතා තම ලිපියේ එක තැනක මතු කරණවා "තාලෙ තිබ්බා නම් පද මවන්න පුළුවන්" කියලා යෙදුමක්. මීට වසර ගනනාවකට පෙර ප්‍රවීණ ගීත රචක ආචර්‍ය ය අජන්තා රණසිංහයන් පවසනවා මෙවන් අදහසක්. " ගීත රචකයා විසින් පද මාලාව සැකසූ පසු එහි තුල ගැබ්වූ තනුවක් පවතී!" කියා. ඒ නිසාම  ඔහුගේ අදහස වූයේ පද මාලාවට; එහි තනුව හා සංගීතය හා ගායනයට වඩා වැඩි බරක් තැබිය යුතු බවයි!
ගීතයකට නර්තණයේ යෙදීම වෙනමම කාර්නයක්. ඔබට මතකද ඩෙස්පරාඩෝ එකෙ එන ගීතය! සුපිරි පන්ච් එකක් තියෙන ගීතයක්! එය රස විඳින්නේ ඒ පන්ච් එකට බීට් එකට මිසක් වචන වලට නොවේ. ඔය වගේම ගීතයක් කීර්ති පැස්කුවෙල් ඒ කාලේ කීවා.ඒවා අහන්නේ ශබ්ද රසයට. රිද්මයට! හද්ද ඩොටේ ඉන්න එවුං ඒකාලේ බෆලෝ සොල්ජර් සිංදුවට රැඟුවේ එහි රෙගේ බීට් එකට. ඉන් අදහස් වෙන්නේ නෑ වචන අභිබවා සංගීතයට සෑම ගීතයකම අවස්ථාවක් හිමිවෙනවාය කියා. කවියට යෑමට හැකි උපරීම දුර ගියාට පසුවයි ගීතය නිර්මානය වන්නේ. එහිදී වච්නවලින් කියන්නට හැකි  උපරිම හැඟීම කීවාට පසුව ඉතිරිය පැවසෙන්නේ සංගීතයෙනුයි. මෙලඩි වල ඇති "මී පැණි වන් " රසාස්වාදය නිසාමයි ඒවා සිංහලට ගෙන ඒවා අපේ කර ගන්නේ!  මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් දෙවන් තැනට හෙළුවේ නැති බව නැවත මතක් කරමි. නමුදු කරුණාරත්න අබේසේකර ඇතුළු හිංදි අනුකාරක ගීත රචකයින් "මම බයිසි කලේ පැද්දා " තැනට දානවා නම් ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව. 
නමුදු ඔබ මගේ කමෙන්ටුවකට පිළිතුරු ලෙස "සින්දුව පංකාදුයි - හිංදි කොපියක් නොවුනා නම්" කියන අදහස සමග මාගේ ඇති එකඟ නොවීම නිසාම මෙම පෝස්ටු දෙකම ලියා ගෙන ආවෙමි!

මේ කරණු කාරනා මොනවා උනත්  හිංදි තනුවකට කරුණාරත්න අබේසේකර පද ලියා ජෝති ගැයූ සුමියුරු ගීතයක් සේම රසවත්වූ මෙහි ඊළඟ කොටස හෙවත් දිගුව මෙතැනින් කියවන්න.

තෙවැනි කොටස මෙන්න මෙතැනින් කියවන්න.

Sunday, November 7, 2021

222. මී පැණි වන් ගී තනු 1

මගෙ හදවත හිස් කඩදාසියකි  !  එහි ඔබේ නම මා ලියා තැබුවෙමි  !!

මෙතෙක් කථාව:

මේ කියැවීමට වටිනාකමක් එකතු වීමට ලියන්නට හිතාන හිටියේ වර්ෂ එක්දාස් අටසිය ගනන් වලින්; ඒ කියන්නේ මීට ශතවර්ෂ දෙකකට කලින් උවත් මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන්!

මේ කියන කාලේ අපි හිටියේ අවිස්සාවේල්ලේ. ඒ ගෙදර ලිපිනය 874C, කුඩගම පාර, අවිස්සාවේල්ල.  ඔය කියන කාලේ අවිස්සාවේල්ලට ෆිල්ම් හෝල් දෙකක් තිබුනා. ඉන් එකක් ඉම්පීරියල් එක හැටන් පාරේ. අනෙක කොළඹ පාරේ උක්වත්ත හංදියට පොඩ්ඩක් උඩහට වෙන්න CTB ඩිපෝ එකට එහායින් චන්ද්‍රා එක! උක්වත්ත හංදියෙන් හැරිලා යන පාර තමයි කුඩගම පාර! ඔය මං මුලින් කියපු 874C නිවස පිහිටා තිබුනේ උක්වත්ත හංදියේ ඉඳන් මීටර 600 ක 700  පමණ දුරින් පිහිටා තිබුනු මහාමාර්ග සහ වාරිමාර්ග කාර්‍යලය ඉදිරිපිට. චන්ද්‍රා හෝල් එකට අපේ ගෙදර ඉඳන් තිබ්බේ කෙටි ගුවන් දුරක්. පැහැදිලි නිහඬ රැයකදී චන්ද්‍රා එකේ දාන සිංදු අපේ ගෙදරට ඇහෙනවා ඕනෑකමින් කන් දුන්නොත්!

මා ජීවිතේ පලමු වතාවට චිත්‍රපටයක් බැලුවේ මේ චන්ද්‍රා හෝල් එකේ. චිත්‍රපටය "සුහද පැතුම"! රංගනයෙන් දායක වුනේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලණී ෆොන්සේකා. පසුබිම් ගායනා එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන්  ගුණතිලක. ගීත රචනා කරුණාරත්න අබේසේකර. සංගීතය පී එල් ඒ සෝමපාල මෙම චිත්‍ර පටය මුලින්ම තිරගත් වූයේ 1973 පෙබරවාරි 23 වනදා!  ආන්න එකයි මම කථාව පටන් ගනිද්දීම කීවේ මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන් කියලා!

ඒකාලේ චිත්‍රපටි දිව්වේ සිංදු උඩ. ලව් සීන් හෙවත් ප්‍රේම ජවණිකා කොමිට් කෑලි සහ සටන්  තමයි කථාවේ ෆ්‍රේම් වර්ක් එක හෙවත් දැලිස! ඒක ආවරණය උනේ සිංදු වලින්.  හිංදි ප්‍රේම කාව්‍ය මම එහෙම හැඳින්වූයේ හිංදි චිත්‍රපටිම තමයි! ඔව් ඒ ප්‍රේම කාව්‍ය වල ගැයුණු මී පැණි වන් තනු වල රසයෙන් මත්වූ සිංහල ප්‍රේක්ෂකයා තමන් වෙත ඇද බැඳ තබා ගැනීමට නම් එවන්ම වූ රසාලිප්ත තනු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂකවරුනට ඇවැසි උනා. අනෙක ඒ කාලේ බිහිවූ බොහෝ  සිංහල චිත්‍රපට වල මුල් කථාව හිංදි චිත්‍රපටයක සේයාවක්! මේ නිසාම හිංදි තනුවලට සමාන තනු සොයනවාට වඩා එම තනු වලටම සිංහල වචන බඳවා ජෝතිගේ ගැඹුරු, ආදරණීය ලයාන්විත, පිරිමි හඬින්; තිරයේ පිටු පස සිට ගාමිණීට, විජේට තිස්සට පන පෙවීම වඩාත් පහසු මෙන්ම සාර්ථක කාර්‍යය වන්නට ඇත!

"ඔයාව ජීවිතයේ මට හමුවූ මුල් දවසේ - සිනාවේ දෑසෙ අහිංසක ආදරයයි තිබුනේ"

අහන්න මෙතැනින් ඒ ජෝතිගේ මම කලින් කියපු ආදරණීය, ලයාන්විත හඬ!?

ඉතින් කථාව පොඩ්ඩක් එහා මෙහා උනා මටම නොදැනීම! මං මේ කියාගෙන ආවේ; එකල චිත්‍රපටි පටන් ගන්නට පොඩි වෙලාවකට පෙර එම ශාලා ඉදිරියේ විකුණුනු පොත් විශේෂයක් තිබුනා! ඒ චිත්‍රපටයේ ගීත අඩංගු පොත් පිංචවල්. දම් පාට, නිල් පාට, දුඹුරු පාට  වගේ තනි පාටකින් මුල් පිට කවරය අච්චු ගසා තිබුනු චිත්‍ර පටයේ රූප රාමුවකින් සැරසුනු මෙම සිංදු පොත් එකල විකුණුනේ සත දහයකටත් වඩා අඩු මුදලකට කියලයි මට මතක.  ශාලාවට යන්නට මත්තෙන් සිංදු පොතක් ගන්නා ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ ගීතය ගැයෙන වෙලාවට ඒ සමග ගයයි! මා කලින් කීවා සේ ජීවිතයේ පලමු චිත්‍රපටය ලෙස "සුහද පැතුම" නරඹන්නට ගිය වෙලාවේද එවන් සිංදු පොත් විකුණුවා මට යාන්තම් මතකය. අපේ තාත්තාට සිංදු අරහං ය! එහෙත් අයියාට එවන් පොතක් අරණ් දුන්නේය. චිත්‍රපටිය බලා ගෙදර පැමිණි පසු එම පොත බලාගෙන අයියා සිංදු කී බවක් මාහට මතක නැත! එහෙත් එම සිංදු පොත; ගෙදර පොත් පෙට්ටි හෙවත් ලෑලි වලින් නිර්මිත සන්ලයිට් පෙට්ටිවල අඩිය වේයන් විසින් අකාරුණික ලෙස කා දමනා තුරු ගෙදර තිබුනේය! වේයෝ දන්නවද ඒ සිංදුවල වටිනාකම් බොහෝ මහත්වරුන්ට, නෝනා මහත්වරුන්ට වත් නොතේරෙණ කොට!?

එම චිත්‍රපටයේ එන සුන්දර ගීතයක් පසුගිය දා;  ලිඛිතා මංජරීගේ "කඩදාසි කොලේ  - උන්මාද චිත්‍රදෝ මා" ට යටින් යෙදුවේ මතකයෙන්!  ඒ සුහද පැතුම චිත්‍රපටයට ජෝති ඇන්ජි ගැයූ "ජීවිතයේ කන්තාරේ" ගීතයයි! මෙම චිත්‍රපටයේ ගීත අතුරින් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ "දෝතින් දෝතයි - ජීවෙන් ජීවෙයි" ගීතය උනත් වඩාත්ම සුන්දර ගීතය ලෙස මගේ මතකයේ තැන්පත්ව ඇත්තේ "ජීවිතයේ කන්තාරේ - තුරුණු වියළි වැල්ලේ" ගීතයයි.

ඒ; ගීත් චිත්‍රපටයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ ගීතය මොහමඩ් රාෆි ගයන "මේරේ මීත වා - මේරේ මීත රේ" උවත් එහි වඩාත්ම ලයාන්විත ගීතය වූයේ මහේන්ද්‍ර කපූර්  ලතා මංගෙශ්කා ගයන "ජිස්කේ සපුනේ-හ'මේන් රෝzස් ආතේ රහේ" ගීතය වාගේය!

ජීවිතයේ කන්තාරේ පමණක් නොව එම චිත්‍රපටයට ගැයුණු සියළුම ගීත හිංදි තනු වලට ගැයුණු ගීත වේ. මෙයට පිළිතුරු ලෙස ලිඛිතා ලියා තිබුනේ "සින්දුව නම් පංකාදුයි - හිංදි කොපියක් නොවුනා නම්!" කියාය. මේ ඇය වෙතින් ලියැවී ඇත්තේ මෙරට පොදු ජනප්‍රිය මතයය! ඒ ගීතය මෙතැනින් නරඹමින් සවන් දෙමින් ඉදිරියට කියවමු!

අද එතැන් සිට:

ලාංකීය කලාවට ඉන්දීය මැදිහත් වීම වර්ෂ 1750 වැනි කාලයකට දිව යන බව; 1966 වසරේදී සංස්කෘථික දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරණ්ණට යෙදුනු "ස්වර ලිපි සහිත සිංහල නෘත්‍ය ගීත"  ග්‍රන්ථය සම්පාදනය කරණ ලද විල්ම්ට් පී ජයතුංග පවසයි.

යාන්තමින් ඉන්දියාවේ සෙවනැල්ල වැටී තිබුනු මෙරට ගීත සාහිත්‍යයට  ක්‍රිස්තු වර්ෂ1880 දී ඉංදියාවේ සුප්‍රසිද්ධ වාණිජ්‍ය හිංදුස්ථානි සංගීතනාටක කණ්ඩායමක් වූ බොම්බායේ ඇල්පින්ස්ටන් නාටක සමාගමේ නළු නිළි කණ්ඩායමක් සංගීත නාටක රඟ දැක්වීමට අවශ්‍ය උපකරණ සම්භාරයක් රැගෙන දැවයෙන් තැනූ තමන්ගේම රුවල් නැවකින් කොළඹ වරායට පැමිණීමත් සමගම වෙනත්ම මගකට පිලිපන්නේය!

එකල බොම්බායේ මෙම කර්මාන්තයේ අයිති කරුවන් වූයේ පාර්සි ජාතිකයින්ය. මෙම කණ්ඩායම බාරව පැමිණියේ කේ ඇම් බලිවාලා නමැති; පසුව එංගලන්තයේ රජ මැදුරෙන් පවා ප්‍රශංසා ලැබූ කලාකරුවෙකි.

ඔවුන් ලංකාවට පැමිණ ගතකල මුළු කාලය තුල මෙරට රඟ දක්වන ලද ෂේක්ස්පියරයන්ගේ රොමියෝ ජුලියට් ඇසුරින් නිර්මාණය කල නාට්‍යය මෙරට රසික රස මනස පුබුදුවාලූවේය.  1852 වසරේදී උපන් සී දොන් බස්තියන් නමැති නිර්මාණශීලී තරුණයා තමන්ගේ හිත මිතුරණ් කිහිප දෙනෙකුත් සමග කොටුවේ ෆ්ලෝරා ශාලාවට සෑම දිනෙකම පාහේ වැදී රෝමියෝ ජුලියට් නාට්‍යය; මනසේ ග්‍රහණයට නතු කර ගත්තෝය!

සී දොන් බස්තියන් යනු හින්දුස්ථානී රාගධාරී සංගීතයට ඉමහත් රුචියක් දැක්වූ අයෙකි. බලිවාලාගේ පැමිණීමට පෙර මෙරට වේදිකා ගතවූ නාඩගම් වලට වඩා වෙනස්ම වූ සංගීතරටාවකින් සමන් විත වූ මෙම කලා කෘථි සඳහා බලිබාලා භාවිතාකල නාම පදය වූයේ "නාටක්" යන්නය. 

බලිබාලා ඇතුළු කණ්ඩායම මෙරටින් ආපසු නැව් නැග කෙටි කලකින් සී දොන් බස්තියන් විසින්ද "රොමියෝ සහ ජුලියට්" නමින් නාට්‍යයක් ඉදිරිපත් කල අතර ඒ සඳහා යොදගෙන තිබුනේද බලිබාලාගේ ගීතයන්ම විය. ඒවා බොහොමයක් "ගසල්" සම්ප්‍රදායේ ගීත විය. එඩ්වර්ඩ් ජයකොඩි විසින් ගායනා කරණ මුව මුක්තා ලතා  ගීතය මේ ඉස්ටයිල් එකේ ගීතයකි!

බස්තියන් තම කලා කාර්යයට භාවිතා කල නාමය වූයේ නෘත්‍යය ය! එය කාලයකදී ව්‍යවහාරයේ නූර්ති විය. මේ  හින්දුස්ථානී සංගීතය මෙරට ව්‍යාප්තවූ එක් මාර්ගයකි. එතැණ් පටන් සී දොන් බස්තියන් විසින් රචනා කොට ප්‍රදර්ශනය කරණ ලද රෝමියෝ ජුලියට්, රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම, ශූලා නොහොත් කපටි බෑනා, බ්‍රම්පෝර්ඩ් හෙවත් වොලිලන්ඩ් සහ එන්ග්ලින්, සෙලෙස්තිනා, රුබිනා, මාලිනී සහ චිත්‍ර, ඇලඩින් සහ පුදුම පහන, හරිශ්චන්ද්‍ර, ස්වර්ණතිලකා, බ්‍රැඩොව්රා කතාව යන සියළුම නෘත්‍ය සඳහා ඔහු හින්දි ගී තනු ප්‍රයෝජනයට ගෙන ඇත.

නෘත්‍ය කලාවේ අවසානය සමග බිහි වන්නේ චිත්‍රපට කලාවයි. මෙරට ප්‍රථම සිංහල කථා නාද චිත්‍ර පටිය  වූයේ කඩවුනු පොරොන්දුවයි. මෙම චිත්‍රපටයේ පටන්ම සිංහල චිත්‍රපට ගීතය හිංදි ගී තනුවලට නතු වී තිබුනේය. සිංදු දුසිමකින් සමන්විතවූ කඩවුනු පොරොන්දුවේ සංගීත අධ්‍යක්ෂණය නාරායන අයියර් ගේය. එතැන් පටන් ගත් සිංහල චිත්‍රපට වංශ කථාවේ කියැවෙන සංගීත අධ්‍යක්ෂක වරුන් 50 කට ආසන්න ගනනාවගේ නම් කියැවෙන අතර එයින් බොහෝ දෙනෙකු තම චිත්‍රපට පසුබිම් සංගීතය සඳහා හිංදි තනු යොදා ගෙන ඇත. මෙහිදී පී එල් ඒ සෝමපාලයන් විශේෂ තැනක් ගනී. 1973 වසරේදී; එවකට නවකයෙකු ලෙස සරත් දසනායක; "සදහටම ඔබ මගේ" චිත්‍රපටයට ස්වතන්ත්‍ර ගී තනු නිමවා සිංහල චිත්‍රපට ජනප්‍රිය සංගීතයේ නව පෙරළියක් කලේය. එහෙත් ඉන් පසුවත් අන් අයත්, සරත් දසනායකමත් හිංදි තනු සිංහල ගීත බවට පෙරලීය.

පී එල් ඒ

මෙම හිංදි තනුවලට සිංහල වචන ලියන ලද අංක එකේ ගීත රචකයා වන්නේ කරුණාරත්න අබේසේකරයි.

කරු
1936 එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සිරි බුද්ධ ගයා විහාරේ ගැයුවේද හිංදි තනුවකටය. දැණ් ආසාවට වත් අහන්නට නොලැබෙන අමරදේව මාස්ටර්ගේ "නවක චලිත සීත සුළඟ" ගීතයද හිංදි මෙලඩියකි. ෂෙල්ටන්පෙරේරා මාස්ටර්ගේ බොහෝ ගීත තුල හිංදි මෙලඩි හොල්මං කරයි.  "ආරාධනා" හිංදි චිත්‍රපටයට එස්. ඩී බර්මන් ගායනා කරණ "කාහෙ කො රෝයේ - චහෙ ජො හෝ යේ" ගීතය; එගොඩහ යන්නෝ ගීතයේ ගෑවී නොගෑවී යන අවස්ථාද නැත්තේම නොවේ. (මේ ගීතය අහලාම මෙතනින් ඉදිරියට යමු! සංගීතය යනු විශ්ව භාෂාවක් බවට තියෙන මා දන්නා නොම්මර එකේම උදා හරණය! පෙම්වතා මිය ගිය පසුව තම පියා සමග පිටත්ව යන ඇයට අවසානයේ; තම එකම රැකවල් කරු වන පියාද නැතිවී යයි! ඒ හැඟීම අසා බලා තේරුම් ගන්න! අවසානයේ ඇය; පෙම්වතාගෙන් ලත් දරුවා සමගින් මෙලොව තනිවී යයි!)

පෙම්බර මධූ චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර වචන ලියා පී එල් ඒ සෝමපාලගේ සංගීතයට වික්ටර් රත්නායකයක ගයන "පෙම්බර මධූ මගේ" ගීතයද එවන් නොරට මෙලඩියකි. එය පකිස්ථානු මෙලඩියක් යැයි; මෙම ලිපිය සම්පාදනය කිරීමට කරුණු එකතු කිරීම සඳහා අද උදෑසන ප්‍රවීන හිංදි ගී වැඩසටහන් ඉදිරිපත් කරණ්නෙකු වූ රංජිත් එදිරිසිංහයන් දූරකථනයෙන් සම්බන්ධ කරගත් මොහොතේ පැවසුවද එය 1976 වසරේ තිරගතවූ කබී කබී චිත්‍රපටයට මුකෙෂ් ගැයූ "කබී කබී මෙරෙ දිල් මේන් " ගීතයේ උනුසුම දැනී ඇත. කාලය ගෙවී යද්දීමුළු ගීතයම ඒ ආකාරයෙන්ම සිංහලට නොගෙන "ජාමෙ බේරාගෙන  වැඩේ ගොඩදාගන්නා හැටි" අපේ තනු නිර්මාපකයින් පුරුදුව සිට ඇත. ඒ නිසාම "පෙම්බර මධු" ගීතයේ මෙලඩියේ  හා කබී ගීතයේ මෙලඩියේ ටච් එක තියෙනවාදැයි කියා සිතා ගැනීමට නොහැකි තරම්ය!

පසුව හොයාගෙන යන විට එම ගීතයේද අක්මුල් සොයා ගන්නට  ලැබුනි. එය උර්දු බසින් ගැයුණු ගීයකි. 1971 සැම්තැම්බර් මස 17 වන දින තිරගත වීම ඇරඹි  Chiragh Kahan Roshini Kahan චිත්‍ර පටයේ මෙය ගැයුනි. මෙම ගීතය ඇතුලත් චිත්‍ර පටය ඉන්දියාවේදි හින්දි චිත්‍ර පටයක් ලෙසද පාකිස්ථානයේදී උර්දු බසින්ද නිමවා ඇත. මෙම උර්දු චිත්‍රපටයට මෙම ගීතය ගයා ඇත්තේ Masood Ranaa නමැති ගායකයා විසින්ය! මෙතැනින් අසා බලන්න! 

දැන් ඊළඟට කථා කලයුතු වැදගත්ම දේ වන්නේ හිංදි අනුකාරක ගීයක් නිර්මාණය පහසු කටයුත්තක්දැයි කියා විමසීමය. ගීතයක් යනු තුන් ඈඳුතු නිර්මාන කාර්‍යයකි. ගීත රචකයකු තනුවකට වචන ලිවීම නැතිනම් පද එක් කිරීම කෙතරම් අපහසු දැයි ඔබ මොහොතකට සිතුවාද?

මේ බලන්න දීපිකා ප්‍රියදර්ශණී ගයන සුනිල් ආර් ගමගේ රචනා කල මේ ගීතය ගැන සිතන්න.

 "කවිය ඔබ  

 තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී

සිත දෙගිඩියාවෙන් තව නොලියූ

කවිය ඔබ - කවිය ඔබ"

මේ ගීතය කිසිදා අසා නැති අයෙකු ; මෙම පද මාලාව දුටු විට; "පුළුවන්නම් සිංදුවක් කරලා පෙන්නපන් කෝ!" අරියාදුවට ලියූ වචන පෙලක් සේ දැනෙනු ඇත! ඒ මන්ද එහි එළි සමයක් හෝ රිද්මයක් දක්නට නොමැති වීමයි. තවත් ලෙසකින් පවසනවානම් කවියා තම නිදහස උපරිමයෙන් ගෙන පබැදූ කවි පෙලක් සේ එය පෙනේ.

එහෙත් ඔබ සිතන්න මෙලඩියකට පද ගැලපීමේදී එය කෙතරම් අසීරු කාරණයක් වනවාදැයි කියා!? මන්ද මෙලඩිය තුල ගැයෙනවා වගේම ගීතයේ ලය හා සෘතියට එය ගැලපිය යුතුය. එසේ නැතිව ඉබාගාතේ යන වචන වලින් මෙලඩිය පුරවා ලීමෙන් සාර්ථක ගීතයක් නිර්මාණය කරගත නොහැක!

මහේන්ද්‍ර
මේ බලන්න මේ ගීත දෙක අහලාම. පලමු ගීතය මහේන්ද්‍ර කපූර් විසින් 1967 වසරේදී "හම්රාzස්" චිත්‍රපටයට ගැයූවක්.  1970 දී "දැන් මතකද?" චිත්‍රපටයට ගැයුනු "මේ සීත සුව දෙන රැයේ" යන මේ ගීත දෙකම  එක දිගට මෙතැනින් අසා බලන්න.

දැන් මෙයට සවන් දෙන්න!  ඒ  කුමන ගීතයේ අනුවාදනයද? ඔව් එය "නින්ද නේන රාත්‍රියේ ගීතයේ නම් මෙයටත් සවන් දෙන්න! ඒ කුමන ගීතයේ අනුවාදනයද? ඒ "චාවුද්වින් ක චාන්ද් හෝ" රාෆිගේ ගීතයයි.  එහෙත් මුල් අනුවාදනය සවන් දෙන විට එය කෙතරම් දුරකට "අපේ" කරගෙන අයිති කර ගෙන සිටිනවා දැයි ඔබට සිතා ගත හැකිද? ඉංදියාවෙන් ඉල්ලා ගත් රෙදි කැබැල්ලක් වුවත් ගීත රචකයා වන අජන්තා රණසිංහ හා ගායකයා වන එච් ආර් ජෝතිපාල  එය අපේ මිම්මට මසා ඇති අයුරු කෙතරම් අපූරුද? ජෝතිගේ ගීතයත් මෙතනින් අහලාම යං!

 (නින්ද යන්නෑ! සිංදුවක් ලියන්නෝන!  හ්ම්ම් . .  නින්ද නේන රාත්‍රියේ . . . . හරි!!)
මේ ගීතය පිළිබඳව අදහස් දක්වන; පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රූපවාහිණී හා මාධ්‍ය අංශයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය අතුල සමරකෝන් මහතා පැවසූවේ හරි අපූරු කථාවකි. එනම් ඔහු ඉංදියාවට ගිය අවස්ථවකදී හමුවූ පිරිසක් පවසා ඇත්තේ මෙම මෙලඩියේ ඔරිජිනල් හිංදි ගීතයට වඩා සුන්දරව ජෝති ගයන බවය!

අරථ රසය හා මෙලඩියට අනුව වචන ලිවීම පහසු කටයුත්තක් නොවේ. ගායකායා හට මුහුණ දීමට සිදුවන්නේ ඊටත් වඩා අසීරු තාවයකටය. දැනට ගයා ඇති ගීතයක මෙලඩියකට ගයන විට  අසන්නන්හට එය සංසන්ධනාතමකව බැලීමට නිර්ණායකයක් තිබීම කෙතරම් අභියෝගයක්ද? මීට මා කදිම උදාහරණයක් දක්වන්නම්. මේ භාරතයේ මහා සංගීතඥ්ඥයෙකු වන නෞෂාඩ් අලී  ගේ  දැවැන්ත ඔකේස්ට්‍රාව ඉදිරියේ මොහමඩ් රෆි "ඕ දුනියාකේ රඛ වාලේ" ගීතය ගැයූ අයුරියි. මෙතැනින් අහලම බලන්නකෝ. මේ එම ගීතයම භාරතයේ යේසුදාස්ගේ හඬින් මෙතැනින් අහන්න!

නෞෂාඩ්
රෆි

අවසාන වශයෙන් අපේ මොහොදීන් බෙග් ගේ හඬින් එම ගීතයේ සිංහල ගීතය වන "මායා" මෙතැනින් අසා තේරුම් ගන්න ස්වර තන්ත්‍ර නිර්නාණයකට වඩා අනුකාරක ගීතයක් ගැයීමේදී ගායකයාට  ඇති අභියෝග කෙතරම්දැයි කියා!?

අවසාන වශයෙන් මම මේ කථිකාවට සම්බන්ධ කර ගත්තේ විශාරද ආනන්ද රාජපක්ෂවයන් ය!  " අනන්ද අයියා" ලෙස ආදරයෙන් හඳුන්වන ඔහු පිළිබඳව මීට පෙරද මා ලියා ඇති අතර ඔහු මෙරට සිටින හිංදි ගී ගයන හා ගැයුව හැකි හඬකට හිමිකම් කියන අයෙකි. මහේන්ද්‍ර කපූර්ගේ හඬට සබැඳි හඬකට හිමිකම් කියන ඔහු සමග කෙරුණු කතා බහේදී ඔහු හිංදි අනුකාරක ගීත හැඳිවූයේ "සරළ වූවාට බොළඳ නොවුනු" ගීත සම්ප්‍රදායක් ලෙසය. 
ඔහුගේ ප්‍රකාශයේ පරිදි නුවන් ගුණවර්ධනගේ "කිරි මුහුදු වෙරළේ . . . " ගීතය සේම හරූන් කුමාර් ලන්ත්‍රා ගයන "මගෙ නාමලී බැඳි ආදරෙන් . . ." ගීතය පවා හිංදි අනුකාරක ගීතයන්ය. එසේම හින්දුස්ථානී රාගධාරී සංගීතයට අනුව ගැයුණු ගීතත් මෙසේ අප බැහැර කලයුතු දැයි ඔහු අසයි.

" මන්නාරම් පිටි වැල්ලේ - ෆ්‍රෙඩී සිල්වා "
" ඉර පායා. . . ඉර පායා . . . සමිතා මුදුන්කොටුව"
"මධුර යාමේ  . . සුවදෙ සාමේ . . . . මුත්තුසාමි"
"මනරංජණ දර්ශණීය ලංකා . . . කේ රාණි"
"අතීතය සිහිණයක් පමණයි . . .  කරුණාරත්න දිවුල්ගනේ"

මේ සියළු ගීත හිඳුස්ථානී සංගීතයේ එන "බූපාලි" රාගයට අනුව ගැයුණු ගීත වේ. මේවාත් හිංදි කොපි ලෙස අප බැහැර කරණ්නෙමුද?  

මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් සම්බන්ද කර ගැණීමට ගත් අවසාන උත්සාහය අවසාන වූයේ  "හෙට කථා කරමු!" යන පොරොන්දුව මතය! "හෙට" එතුමා කථ කලොත් එයත් මෙම ලිපියට ඇතුලත් කරණ්නම්! එතෙක් කියවන්න!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...