කාලෙකට පෙර ඒ කියන්නේ අවුරුදු තුන හතරකට කලින් දවසක මමත් මධුෂානුත් රාත්තිරි 8 - 9 ට විතර කඩවතින් පිටත් උනේ වව්නියාවෙ යන්න. ඒ උන්ගෙ තාත්තා වෙච්චි මගේ එක්කසුපං අයියා රෝගාතුරව වව්නියාවේ ඉස්පිරිතාලගත කර ඇති පණිවිඩේ අරං ඌ අපේ ගෙදරට ගොඩ වැදූනායිං පස්සෙ! මධූ; දුරක යනවානම් මටත් පොඩි අප්ඩේට් එකක් දාගෙනම යන එක සිරිතක්. ඉතිං ඒ නිසාදෝ මංදා ඇවිත් කියපු ගමන් "පොඩ්ඩක් හිටාං! මාත් එන්නං!!" කියාගෙන නිසාන් පැට්රෝල් ලොරි පොඩ්ඩාවත අරං පිටත් උනා; කඩවතිං රුපියල් හාරදාහක ඩීසල් එහෙම ගහගෙන. අපි ගියේ ඇල්ල හරහා අනුරාධපුර පාරෙං යන්න පස්යාලෙන් මීරිගමට දාලා නාරම්මල ගිරිඋල්ල හරහා.
කොහොමින් කොහොම හරි වාරියපොල දළදා ගම එහෙම පහු කරලා ගල්ගමුවට එනකොට රෑ 12 ට විතර කිට්ටු කරලා මයේ හිතේ!
ගල්ගමුව ටවුම දුරෙං අඩු ඇත්තේ කිළිනොච්චියට විතරය!
ටවුම පටං ගන්න තැනක් අවසන් වෙන තැනක් නිච්චියකට ගන්න බැරි ගානට ටවුම දුරයි; ඒ වගෙම මුල අග දෙකම වල් වැදිලා. ඒ ඒ වාහන වලට නගර සීමාව තුල ධාවනය කරණ්න ට ඇහැකි උපරීම වේගයක් තියෙනවානේ. නගර සීමාව අවසං උනාම ඇහැට පේන නොපෙනන බෝඩ් ලෑලක් තියෙනවා "දැං කෙලගෙන පලයං!" කියලා ඩැයිවර්ලට කියා පාන්න. අපි හැමෝම ටවුමකට ඇන්ටර් උනාම සොලෝ එකේ යන්නේ මේ නීතිය නිසාම නං වෙන්න බෑ. හුඟක් වේලාවට බොහෝ ඩැයිවර්ලා හිමීට යන්නේ මිනිහෙක් දෙන්නෙක් වාහනේට අඩ තියයි කියලා. බස් ඩැයිවර්ලා නං හිමිං යන්නේ කොහේ ඉඳං හරි තව රුපියල් විස්සක කෑල්ලක් අත දමාවි කියන බලාපොරොත්තුව හිතේ තියං.
කොහොම හරි රෑ 12 ට විතර ගල්ගමුවේ ටවුම මැද්දේ හෙමීට යන්න අපිට කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඒත් කොයි එකටත් කියලා සූදානං සරීරෙ කියලා ගානකට ලොරිය එලෝගෙන ගියා.
හරියට ටවුම මැද්දෙදි රාළ කෙනෙක් පැනලා අත ඇල්ලුවා. සාජං මහතැන් කෙනෙකුත් අත ලඟ.
මං ක්‍රමේට පාර අයිං කරලා නවත්තලා බැස්සා.
මම වාහනයක් ගත්තු ගමන් කරණ දෙයක් තමයි වාහනේ පොතේ කොපියක්, ලැයිසන් එක, ඉන්ශුවරන්ස් එක තව දුං සහතිකේ කියන මේ මෙකී නොකී සියළුම බඩ මාළු ටික පිළිවෙලට පොඩි කාඩ්බෝඩ් ෆයිල් කවර කෑල්ලක අමුනලා තියාගන්න එක. අනෙක් අයටත් එහෙමමයි සැලකීම!
බොහෝ රාළහාමිලා ඒක දැක්ක ගමන්; වාහනේ තියෙන අනිකුත් අඩුපාඩු හොර මැරකං, කුපාඩි කං හොයන්නේ නැතිව යන්න අරිනවා. මොකෝ මේ ලිය කියැවිළි වල තියෙන පිළිවෙල දැකලා!
මාත් පොර සේ ලොරි පොඩ්ඩාට අදාල උප්පැන්නෙයි, පෝෂන කාඩ් එකයි, ක්ලීනික් කාඩ් එකයි සියල්ල අමුනපු ෆයිල් පොඩ්ඩ රාලහාමි අතේ තිබ්බේ පොඩි උණකුත් හිතට අරං.
රාලහාමිත් මේ ෆයිල් එක අරං ඒ මේ අත පෙරලලා බලලා කුල්ටූර් වෙනවා වෙනුවට මගේ පැත්තට හැරිලා "කෝ ෆිට්නස් කොලේ?" කියලා අහපි.
"ඇයි රාලහාමි ෆිට්නස් එක තීන හින්දනෙ ලයිසන් එක ගන්න පුළුවං!? ලයිසන් එක ගන්න ගියාම ෆිට්නස් කොලෙයි දුං සහතිකෙයි දෙකම බලලා තමයි ලයිසන් එක දෙන්නේ!"
" මේ මහත්තයා පොඩ්ඩක් අපේ සාජං මහත්තයා එක්ක කථා කර ගන්නකෝ!?"
(මේ සැරසෙන්නේ ජරාවකට කියා නොතෙරෙන්න මම බිව්වේ මදු කිරි යෑ!? )
"දෙන්නෑ සත පහක්!" මම මධූට ඇහෙන්නට කෙඳිරි ගෑවා.
මාත් මධූත් හැරෙන තැපෑලෙන් සාජන් බුවා ඉදිරියේ ප්‍රානි භූත උනා!
"සාජං මහත්තයා මේ මහත්වරුන්ගේ වාහනේ බර වාහනයක්, ලොරියක්! මේකේ ෆිට්නස් කොලේ නෑ!" රාලහාමි කියවගෙන හුස්මක් කටක් නොගෙන!
"නැ! සාජං මහත්තයා! මම මේ රාළ හාමිට කිව්වේ ෆිට්නස් එකයි දුං සහතිකෙයි තියෙන නිසා; එක බලලානේ ලැයිසන් එක දුන්නේ කියලා!?"මම මගේ නිදහසට කාරණාව සාජං මහත්තෙයා ඉස්සරහ ගොනු කලා!
උප්පැන්නෙ ඕන හැඳුනුම් පත ගන්න. හැඳුනුම් පතයි උප්පැන්නෙයි ඕන පාස් පෝර්ට් එකට! දැං රටකට යන්න එයා පෝර්ට් එකට ගියාම එහෙන් ආයෙ උප්පැන්නේ වත් අයිඩෙන්ටියවත් බලන්නෑ නේ!? ඒකයි මගේ නිදහසට කාරණාව උනේ තේරෙන හිංගලෙන් කියනවානං!
"මහත්තයා ගෙදර ගියාම බලන්න ඔය දුං සහතිකේ පිටි පස්සේ හතර වන වගන්තිය විදියට "මෙම සහතිකය සෑම විටෙකම වාහනයේ රැගෙන යා යුතුවේ" කියලා ලියලා තියෙනවා වගේම ෆිට්නස් කොලේ පාමුල "මෙහි එක් පිටපතක් වාහනයේ තබා ගැනීමට අයිති කරුට ලබා දිය යුතුවේ" පැහැදිලිව ලියලා තියෙනවා!" සාජං මහත්තයා කට පාඩමිං කියපි!
"හරි ඔය මගුලක් නං මම ඇහුවෙත් අදයි! කමක් නෑ දැං මොකක්ද වෙන්ඩෝන කියන්නකො!?" මං ඇහුවේ ටික වෙන්න මල පනින ගමංමයි!
"මහත්තයා කොහේද?
"ඔය ලැයිසං එකේ තියෙන කරුණු හරියටම හරි!"
එහෙම කිව්වාම අතේ තිවුනු බැස්ටිය ලැයිසමට ගහලා මගේ ඇඩ්ඩස් එක කියෙව්වා!
"පුහ්! කඩවත!!??"
"ඔව්! කඩවත!"
"අපි නඩුවක් දැම්මොත් මහත්තයාට කඩවත ඉඳං මෙහේ එන්න වෙයිනේද?"
සාජං මහත්තයාගේ තැටමිල්ල හා ඇවටිල්ල සමග මගේ කං පෙති රත් වී ගිණි කන ඔන්න මෙන්නය!
"මේ මහත්තයා කරණ ඕන දෙයක් කරලා මාව ඉක්මනට යවන්න! මම වව්නියාවට ලෙඩෙක් බලන්න අයන ගමං!"
"මහත්තයා ආවේගයෙන් වගෙයිනෙ!?"
"හරියටම හරි! අනිවාර්‍යයෙන්ම ආවේගයෙන්! මගේ අයියා වව්නියාවේ ඉස්පිරිතාලෙ නවත්තලා! මම මේ එයාව බලන්න තකහනියෙං යන ගමං! එයත් ඔය මහත්තයා වගේම ආංඩුවේ යුනිෆෝම් එකක් තමයි අඳින්නේ! ඔබ තුමාට මාව යවන්න බැරිනං වාහනේම තියා ගන්න! ඊළඟට එන බස් එකට මං නගිනවා මොනවා උනත්. නඩු බැරිනං ඕන එකක් බලාගමු හෙට උදේට!"
මම කියෝගෙන ගියේ ආවේසයෙන් වගේ. මධූ සිද්ධිය බලාගෙන ඉන්නවා!
"හරි ලෙඩෙක් බලන්නනං අපි ඒ ගැනත් හිතන්න එපායැ! යන්නකො!" කියලා සාජ්ං මහත්තයා මගේ අතට වාහනේ ලියකියවිළි ටිකයි මගෙ බර වාහන ලැයිසමයි දුන්නා කියන්නකෝ!
ආයෙ "ටැං කිව්!" කියන්නවත් ඉන්නැතිව මම ලොරියට නැගලා එතන ඉඳන්ම රේස් කරගෙන
පිටත් වෙලා වාහනේ නැවැත්තුවේ වවනියාවටම ගිහිං!
මේ ගැන යාන්තම් මම මෙතැනත් ලියා තියෙනවා.
***************************************************************************************************
ළඟදි දවසක මදූ හෙවත් මධුෂාන් ආවා අපේ ගෙදර! ඌව දැක්ක ගමන් මට මතක් උනා මම ඌට කියන්න ගත්තා අලුත්ම එපිසෝඩ් එක!
ඒක මේ ළඟදි මට සිද්ධ වෙච්ච සුපිරි කථාවක්!
"මධුෂාන් මට මාර මගුලක් උනානෙ . . . !"
"ඒ මොකක්ද ඒ සීන් එක . . . . ?"
ඊයේ පෙරේදා මම හක්බෙල්ලාවක ගිහින් එන කොට රුවන්වැල්ලෙන් නිට්ටඹුව පැත්තට හරෝලා හැතැම්මක් වත් එන්න උනේ නෑ හරියටම මොරාවත්තේ වලව්ව ඉස්සරහ පොලිස් රාලහාමිලා රෑණක් - එක හය හත් දෙනෙක්!
ඒ අතරේ වටේ පිටේ ගෙවල් වල උනුත් ගෙට්ටු - වැට කඩුලු අස්සෙං බෙල්ල දික් කොරාන මෙතන වෙන සීන් එක නරඹනවා එක සීරුවට.
ඉස්සර වගේ නෙවෙයි දැං මගේ වාහනේ රක්ෂණ සහතිකෙයි, ආදායං බලපත්‍රෙයි, දුං සහතිකෙයි, ෆිට්නස් කොලෙයි, ෆිට්නස් පරීක්ෂණ වාර්ථා කොලෙයි, ඒ ඔක්කෝටම යටින් වාහනේ පොතේ කොපියකුයි එකට අමුනපු ප්‍රෙෂර් ලෙඩෙක්ගේ ක්ලීනික් ෆයිල් එකක් වගේ කොල දුසිං භාගෙක ඇමුනුමක් තමයි වාහනේ තියාගෙනනෙ ඉන්නේ! ඉතිං භය වෙන්න දෙයක් නෑනේ! ඉන්න බැරිකමට මම ගිහින් ලොරිය නැවැත්තුවා එතන හිටිය පොලිස් පරීක්ෂක ඉස්සරහිංම!
"චීෆ් මොකද!? මුකුත් කරදරයක් වත්ද?"
"නෑ මහත්තයා! අපි මේ පාරෙ යන වාහන චෙක් කරණවා බොහෝම ස්තූතියි!"
වටේ ඉන්න එවුං බලාන ඉන්නවා මොකක්ද මේ උනේ කියලා! මමත් ඇඟට උණ අරන් එන්ජිම ටික වෙන්න දෙපාරක් රේස් කරගෙනම ෆස්ට් එක දාගෙන පිකප් කලා එතනිං.
එහෙම පිටත් වෙලා ආයේ මීටර පංසීයක් යන කොට වංගුව! අර පදුමුත්තර බුදුංගෙ කාලේ ඉඳං හද හද ඉඳං යාන්තං පහුගිය චන්දෙට ඉවර කරපු පාලං පොඩ්ඩ! ඒක පහු වෙන කොටම ඉස්සරහිං පේන්නේ වම් පැත්තේ අයිනෙ තියෙන යෝධ ගල් ගෙඩිය. මෙන්න ඒ කිට්ටුවම ඉන්නවා රාළහාමිලා දෙන්නෙක් ඒ පැත්තෙං එන වාහන නවත්තන්න.
එතන හිටිය ගෝටයිංබර සයිස් රාළ එක පාරටම පාරේ මේ පැත්තට පැනලා දැම්මා කියන්නකෝ වාහනේට අත - හරියට හොර හරක් ලොරියක් නවත්තංන වගේ!
මාත් පාරෙ අයිංකරලා පිළිවෙලට නැවැත්තුවා. ඔව් පිළිවෙලට!
පොලිස් රාලහාමිලා දෙන්නා මම බැහැලා එන තුරු බලාන ඉන්නවා.
මං මොකටද බහින්නේ!? මම අර ෆයිල් එකයි මගේ හෙවි වීකල් ලයිසන් එකයි ජනේලෙන් එළියට දික් කලා.
අත අල්ලපු හයේ හතරෙ බුවා ගාට ගාට ඇවිත් වාහනේ පිටිපස්සෙ බක්කියට එබිල බලං ඉඳලා ඇවිත් මගෙ අතේ තිවුනු කොල ගොන්න අතට ගත්තා!
මම සිංහාසනේට වෙලා බලා ඉන්නවා "යන්න මහත්තයා!" කියලා කොල ටික පිළිවෙලට ආයේ මගේ අතේ දැං තියයි! දැං තියයි!! කියලා
"මහත්තයා මේ රක්ෂණ සහතිකේ කල් ඉකුත් වෙලානේ!?"
"මොකක්!? ඒක වෙන්න බෑ!"
"වෙන්න පුළුවංද බැරිද කියලනං මං දන්නෑ! ආ! මහත්තයාම බලන්නකෝ!!!!"
එක පාරටම මගෙ උණ හුටස් ගාලා බැහැලා ගියේ හිතාගන්නටත් බැරි වේගෙං!! උණ බැස්ස බැහිල්ලට මාද වාහනයෙන් බිමට බැස්ස උනා කියහංකො!!!
"දැං මොකද කරණ්න පුළුවං!?" මගෙ කටේ කෙළ හිඳිලා. මට ගිලින්නට කෙළත් නෑ කියහංකො!
"අපිට පුළුවං මහත්තයාට ටෙම්පරියක් දෙන්න. දින පහක් ඇතුලත රක්ෂණ සහතිකේ ගෙනත් දීලා ලැයිසන් එක අරං යන්න!
"අප්පට සිරි! මම දවස් පහකින් මෙහේ එන්නේ නෑනෙ!?" මං කිව්වා නෙවෙයි මට කිය උනා!
" හරි දවස් පහකින් මෙහේ එන්නේ නැත්නම් කෙලින්ම සතියකින් විතර උසාවියටම එන්නකෝ මහත්තයා!"
"එහෙම නෙවෙයි! මාව විශ්වාසෙට අරං ලයිසන් එක දෙන්න. මම හෙටම ඉන්ශුවටන්ස් එක අරං රාලහාමිගේ ෆෝන් එකට ෆොටෝ එකක එවන්නම්!" මං ශේප් එකේ කියලා දැම්මා ශේප් නියායෙන්ම.
"හරි! හෙට කථා බෑ! මහ්ත්තයාට ලයිසන් එක ඕනෙනම් අද දිනයට ඉන්ශුවරන්ස් එක ගන්න ඕන! නැතිනං කෙලින්ම උසාවි! කැමතිද?"
"කැමතියි!" මට "හා!" කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් තිබුනෙත් නෑ. අනික උංට හිතුනොත් මං උංට ආතල් දෙනවා කියලා දෙනවා දඩේ රිදෙන්නම. ආ! මට කියන්න බැරි උනා! ඉන්ශුවරන්ස් එක නෑ කියලා දැන ගත්තු ගමං බුවා අහපු පලවෙනි ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? "දන්නවානෙ දඩේ විසිපංදාහයි!" මම කොර උනා!
"දැං වෙලාව හතරයි විස්සයි!"
"අවුලක් නෑ!"
රාළහාමිලා දෙන්නා මට දුන්නේ එළම කිරි චැලෙන්ජ් එකක්!! මම ට්‍රක් එක නැගලා එන්න ගත්තා ගැම්මට!.
එන ගමන් අලියෝස් ලඟම ඇති ඔපිස් එක කොයි ලෝකෙද? හිතාගන්නට බෑ! කරණ්න තිබ්බේ එකෝම දෙයයි! පරණ කාඩ් එකෙන් නොම්මරේ හොයාගෙන උන්ට කතා කලා! කියන්නෝන නෑනෙ උංගෙ විනාඩි 15 ක විතර රෙකෝඩිං එකෙන් පස්සෙ කෙල්ලෙක් කථා කලා!
"නිට්ටඹුව!" කියලා තිබ්බා. දැං මට කියන්න ඕනෙ මං එනකල් ඒ මගුල ඇරලා තියන්න කියලා!මුකුත් කියන්න බැරිඋනා මේ කෙල්ල තිබ්බ හිංදා!
මම ට්‍රක් එක ඩ්‍රයිව් කලේ වේගයෙන් නොවුනත් ඉක්මනින්, කලබලෙන් නොවුනත් සීරුවෙන්, මදාවි දැමිලි නොදැම්මට ටැක්ෆුල් විදියට! ඩෑශ් බෝර්ඩ් එකේ වොච් එක දිහා බල බල රන් රේට් එකේම ප්ලේ කලා! ඇයි බං හදිස්සියේවත් කොහේ හරි යන එකෙක් මේකෙ ඇනලා කේස් එක ගියොත් කට ඇරලා කියන්න පුළුවංද "මේ ඉන්ශුවරන්ස් එකක් ගන්න කෙල ගෙන ගියා!" කියලා?
හරියටම 5 ට විනාඩි 3 ක් ඉතිරිව තිබියදී මා නිට්ටඹුවේ අලියොන්ස් ඔපිස් එක ඉස්සරහ කියන්නකෝ!
මැනේජ' බුවා; බිත්තියේ ගහල තිබ්බ ඔරලෝසුව දිහා බලලා "දැං වෙලාවක් නෑනෙ!" කිව්වා.
මට දැං කොර ගන්න දෙයක් නෑ! " අනේ මෙක ලොකු උදව්වක්! ලොකු දෙයක් කරලා දුන්නෝතිං!" මම එකසිය ගානට ඇඹරෙණවා.
මැනේජ' එතන ඉස්සරහ කවුංටරේක හිටපු කුමුදුද, මොකක්ද කියලා කෙල්ලෙකුට කථාකරලා "මේක දැං කරලා දෙන්න පුළුවංද?" කියලා ඇහුවාම අනේ ඒ මනුස්සයා කැමති උනා වැඩේ කරලා දෙන්න.
තවත් විනාඩි 20 කින් පමණ එලකිරි වන් කිරි ටොයියා ඉන්ශුවරන්ස් කාඩ් එකක් මගේ අතේ!
සටස් ගාලා ඒකෙ ෆොටෝ එකක් රාලහාමිගෙ වෙත වට්සැප් එකට දැම්මා. පහත වාක්කිය යටින් ගැහුවා; ඇඟිලි වලින් නෙවෙයි; ඇත්තටම බොක්කෙන්!
"ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කෙරෙහි බොහොමත්ම ස්තූතියි!"
පස්සෙ මම කෝල් එකකුත් දීලා කථා කලා පොරට! වැඩේ ගොඩ!
අම්මට සිරි එළනෙ! මටත් උනා මරු වැඩක්! ඒකත් පට්ට! මදූ තවත් "රස වෑහෙන පොලිස් කථාවක් " කියන්න පටන් ගත්තා. ඒක ඊළඟට!