Friday, April 2, 2021

193. සමුගැනිමේ සාද . . . . !


බොක්කෙන්ම දුන්නු පාටියක්!
"කොල්ලනේ උඹලට බොහොම ස්තූතියි! මට මේ සංග්‍රහය ජීවිත කාලයටම අමතක නොවේවි!"

මේ ලිපිය මා අනුපිළිවෙළ න්‍යායෙන් ලියන්නම්.

මාගේ වැඩිමහළු සොහොයුරා සේවය කලේ මාගේ පියා සේම වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේය.

ඔහු කිසි කලෙක සහෝදර සේවකයින් හෝ තමන්ගේ උසස් නිළධරයින් අතර සමග මහා ඇයි හොඳැයියක් පවත්වපු එකෙක් නොවීය. ඊට හේතු භූත්වූ කරුණු කාරණා අතර මා දකින ඔහුගේ ලොකු වරද වන්නේ පොර අංක එකෙන්ම අමද්‍යප බුවෙක් වීමය. "වනසංරක්ෂන දෙපාර්තමේන්තුව" යන ගරු නම්බු නාමයෙන් මෙකල එය හැඳින්වූවද එය අංක එකෙන්ම කැලෑ දෙපාර්තමේන්තුවම විය. දෙයියනේ කියලා දේවානි ජයතිලක නෝනලා වගේ අය ටෙලියෙන් මූනු පොතෙන් ඇමටියන්ට බූරුවා ගහනවා වාගේ එලෝ මෙලෝ නැතිව  විදලා "වනසංරක්ෂන දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවාය, ඒකේ යමක් කමක් දන්න උදවිය වැඩකරණවාය කියලා රටට ලෝකෙට නොපෙන්වන්න ඒ ආයතනය "කලෑ දෙපාර්තමේන්තුවම" වීමට හොඳටෝම ඉඩ තිබුනි! මට මතක කාලේ මේ ගොල්ලන්ගේ හෙඩ් ඔපීසිය හෙවත් ප්‍රධාන කාර්‍යාලය ඉස්සරහ බෝඩ් එකේ පවා ගහලා තිබ්බේ "කැලෑ දෙපාර්තමේන්තුව" කියලයි.

කැලෑ දෙපාර්තමේන්තුවේ නොබොන එකෙක් යනු නියුඩ් කෑම්ප් එකක ඉන්නා ටයි කෝට් දාගත්තු එකෙක් වගේය. කොටින්ම හාරත වංසේ කොල අත අතර තිබ්බ කලාබරේ වාගේය. මෙලෝ ගැලපීමක් නැත!

අයියාගේ එකම කොල්ලා මධුසාංද තාත්තාගේ අඩිපාරේ යමින් නොබොන චරිතයක්ය. ඇත්තම කථාව ඌට බොන්නට බැරිය. නොබොන  එවුංට බොන්න පුරුදු කරණ්නට තරම් ත්‍යාගශීලී මිනිසුන් දැන් සමාජයේ දක්නට නොලැබෙන හෙයින් ඌට කිසිවෙකුගේ නිසි මග පෙන්වීමක් "බීම' සඳහා ලැබී නොමැත! නමුත් ඇද නැතිව කියන්නට පුළුවන් කාරණයක් ඇත. ඕනෑම බොන කන සමාජයක  ඩෝප් කාරයෙකුටත් වඩා ගැලපී ඉන්නට ඌ දස්සයාය. බොන තැනක නොබොන ඩ්‍රැයිවර් කෙනෙකු යනු චූඩා මාණික්කයකි!වස්තුවකි!! රැකගත යුතු සම්පතකි!!! ඒ නිසාමදෝ ඌට යාලුවන් බොහෝය. බොන කන එවුන්ද උන්ගේ සියළුම පාටි වලට මධුසාංට ඇරයුම ලැබෙන්නේය.

අපේ අයියා හෙවත් මදුසාංගේ තාත්තාගේ කල කිරියාව මීට ඉන්තීරුවෙන්ම අනෙක් පැත්තේය. බීම පමනක් නොව බොන එවුන්ද, බොන තැන්ද, තැබෑරුම්ද කොටින්ම අසොක වීදුරුවක් දැක්කද ඔහුට මල පනී. ඔහුගේ දර්ශනයේ හැටියට "බීම නොකල යුතු දෙයකි! අපරාධයකි!! තේරුමක් නැති මල මගුලකි!!!

ඔහු අන්තිමට සේවය කලේ වව්නියාවේය. ඔහුට වව්නියාව එකෙන්ම ඇදලා ගියේය. කොයි තරම් සුපිරියට අල්ලලා ගියාද කියනවානම් එයා එහෙන් ඉඩමක් අරං සුට්ටං ගෙයක්ද අටවා ගත්තේය.

කැලෑ දෙපාර්තමේන්තුවේ විශ්‍රාම යෑමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මා  67.තාත්තා නොම්මර.......1 (ii)  හි ලියා ඇත. එය සැනකෙළියකි - ඉඳ හිට වළියක් දෙකක් ගියාට! එදිනට මාසයකට පමණ පෙර ආයතනයේම රථයකින් ලංකාව වටේ ඇවිද ඔහු හා සේවය කල පැරණි කකුල් හමුවී, ඇදවී, කොරවී, යාළු මිත්තරයො දෙන දෙයක් පත්තර කොලේකින් ඔතාගෙන; අන්තිමට තමා එවකට සේවය කරණා සේවා ස්ථානට පට්ටල් වී එතැනින් කට්ටියට "ආයිබොං!' කියා ගෙදරට මන්දො කිරීමක්ය.

මේ සියළු වත් පිළිවෙත් තිබෙන්නේ බොන කන ඩයල් වලට මිසක තැඹිලි කුරුම්බා බොන මගේ අයියා වැනි අයට නොවේ.

ඒනිසාම ඔහුගේ අවසාන දවස තවත් එක් දවසක්ම විය! 

සත්තකින්ම එය කිසිවෙකුට හෝ විය යුතු සිදුවීමක් නොවේ. 

ස්තූති කථාවක් නැත!

සේවය අගය කිරීමක් නොමැත!!

තේ පැන් සංග්‍රහයක් හෝ නොමැත!!!

ත්‍යාගයක් ලෙස වම වශයෙන් පොලේ විකුණන තාරාවෙකු හෝ නොලැබුනි!!!!

ඒ සියල්ලම පැත්තක තබා සෙල්ෆියක් වත් නැත!!!!!

ඔහු ඒ සියල්ල අමතක කර ගෙදර පැමිණියේය. ඒ වසර 32 ක සේවා කාලයක් නිමා කරමින්ය. සත්තකින්ම මම හෝ ඔහු වටා සිටි කිසිවෙකු ඒ පිළිබඳව නොසතුටක් හෝ කණගාටුවක් ඔහුට පෙන්වා නොසිටියහ! මන්ද එය ඔහුට වඩාත් කණගාටු දායක මතකයක් වනු ඇතැයි සිතාය.


පසු ගිය දිනෙක මා සේවය කල ආයතනයෙන් මා ඉල්ලා අස්විමි. මා ආයතනයෙන් ඉවත්වීම සමගම මාගේ සහයක සොයුරා - රුශාන් මල්ලී මාගේ තනතුරට පත්විය. අවසාන දිනයේ ඔහුත් මාත් වෙනදා ලකාර් එක ගහනා ආසනයේම වාඩිවී ඔහේ බලා සිටියෙමු. ඔහු කතා කලේම නැති ගානය. අප ඒ තරම් ලඟින් සිටි අතීතයක් තිබීම ඊට හේතු වී යැයි මා උපකල්පනය කලෙමි. අන්තිම හෝරාවේ ඔවුන් කුඩා උත්සවයක් සංවිධානය කලෝය. එහිදී මාවෙත පගේත් අපගේ සොයුරු සේවක  සේවිකාවන්ගේත් පිංතූර වලින් සැකසුනු රාමුකල පිංතූරයක් ලැබුනි. එය ජීවිත කාලයේදී මාලැබූ අනර්ඝ ත්‍යාගයන්ගෙන් එකකි. එදින රුශාන් මල්ලීත් මමත් අපගේ තවත් ආයතනික මිත්‍රයෙක් වෙන සෆ්‍රාසුත් සමගින් නාරහේන්පිට කුඩා තැබෑරුමකට ගොඩ වැදී අඩියක් ගැසුවෝය. එය නාරහේන්පිට; රත්නාගේ රන්සිළු බාර් එකය! අණුකරණ වලට නොරැවටෙන්න! කිරි මණ්ඩල මාවතෙන් බේස්ලයින් පාරට වැටෙන තැනම පිහිටි මෙයින් ෆ්‍රයිඩ් පෝක් එකක් ගෙන වෙනස වටහා ගන්න. සත්තකින්ම එය කුඩා එහෙත් සුන්දර මතකයක් විය. තැබෑරුමෙන් සැපයුනු ඝෝෂාකාරී කචකචය සමග සුපිරි පෝක් ඩෙවල් එක අපගේ මිතුරු හමුව වඩාත් ලගන්නා සුළු එකක් කලේය.සෆ්‍රාස් පෝක් කන්නේ නැති බැවින් ඌට ගත් චිකන් ඩෙවල් එකටද මමත් රුශාන් මල්ලී වග කීවෙමු! අවසානයේ එතනට පැමිනි අපගේ තවත් එකෙකු මා නිවසට තම ත්‍රී වීලරයෙන් ඇරලුවේය.

එදින රාත්‍රියේ මා නිවෙසට එන්නට ඒමට පෙර නැවතත් සේවා ස්ථානය කරා ගියෙමි. මාගේ ආයතනයේ සේවය කල කොල්ලන් කුරුට්ටන් එහි විය!

" ඇයි සර් ඉක්මනින්ම ගියේ?" උන්ට තිබුනු එකම ප්‍රශ්නය එය විය.

"සර්! අපි සර්ට පාටියක් දෙන්න ඕනෙ!!"

"පිස්සු කෙළින්න එපා මචං! මොන පාටිද? උඹලට තාම ගිය මාසෙ පඩියවත් හම්බුන්නෑ නේ?" මම දෙපසට වැනෙමින් කීය. මං උන්ට කතා කලේ නමින් නැතිනම් මල්ලි, කොල්ලෝ, මචං - හුචං කියාය! 

"ඒක සර්ට වැඩක් නෑනේ! ලබන සතියෙ සර් එන්ඩෝන!"

මා සේවය කල ස්ථානයේ කණිෂ්ඨ සේවකයින් සියල්ලම පාහේ හැටන්, තලවාකැලේ, මස්කෙළිය, නුවරෑළිය ආදී ඈත පලාත් වල දරුවන් විය. යාන්තමින් 18 සපිරුනු ඔවුන් මට පෙනුනේ අපේ වසිකයා සහ උගේ ගැන්සිය වාගේය. මුන් සියල්ල මගේ දරුවන් වාගේය. උන්ට ලැබුනේ සීමිත වැටුපකි. බොහෝ දෙනාගේ පවුල් රැකුනේ මුන්ගේ පඩි පතිනි. මල ගෙයක් වූ වරක මමත් මාගේ සහයක සොහොයුරාත් එහි ගියෙමු. කුඩා ලැයිං කාමර වැනි නිවෙස් වල ඔවුන් ඉතා දුක්ක්ඛිත ජීවිත ගතකරති. සමහරුනට ත්‍රීවීල් තිබුනි. ඒවායේ ෆිනෑන්ස් ගෙවාගැනීමට රෑ එළිවන තුරා කොළොඹ කරක් ගැසූහ. කරුමෙක මහත යනු මාස කිහිපයකින් මේ කොල්ලන්හට නියමාකාරයෙන් පඩි ගෙවීමට පාලනාධිකාරිය අපොහොසත්  වීමය. මේ සියල්ල අස්සේ උන් මට පාටියක් දෙන්නට සෙට් වෙලාය!

දිනය ලං වත්ම උන් මට නිරන්තරයෙන් කථා කලහ!

"දැන් කොහෙද බං ඔය මගුල තියෙන්නේ?" මම උන් එක්ක කතා කරන්නේ එලෙසය.

"සර්! අපේ යාලුවෙක්ගේ රූම් එකක් තියෙනවා. අපි එහේට ඔක්කොම ගේනවා! සර්ට තියෙන්නේ එන්න විතරයි!"

"හරි මම එන්නං!"

අදාල දිනයේ මම ගෙදරින් පාර පැමිණ බසයක එල්ලී දෙමටගොඩට පාත් විය. කොල්ලන් එකා දෙන්නා සේවා ස්ථානය අසල පෙනෙන්නට විය. මම ඇමතුමක් ගත්තෙමි!

"කොල්ලො මම ඇවිත්"

"සර් ඕම්ම ගිම්හාන් එකට යං!"

"මොකක් ගිම්හාන්!? ය..යකෝ දැන් අර කාමරයක් නේද සෙට් වෙනවා කිව්වේ? " ගිම්හාන් එකෙන් කන්නට බොන්නට ගියෝතින් වෙන දේ මම හොඳින්ම දනී. මේ කොල්ලන්හට එකසිය ගානට වියදම් වන මගුලකි!

"ඒ කාමරේ යතුර අරං ෂෙඩ් එකේ කොල්ලා බදුල්ලේ ගිහිං!"

වෙනත් දවසකට පාටිය කල් ද  මේ කොල්ලන් කැමති නොවුනි! අපි සියල්ලෝම ගිම්හාන් ක්ලබ් එකේ එකට පූටු කල මේස හතරක් වටා ගාල් උනෙමු! මේසයේ ඈත කොනේ අතේ එකතුවී ඇති සල්ලි ගනිමින් උන් පාටිය පවත්වාගෙන ගියෝය.  මමත් මාගේ සහයක සොහොයුරා රුශාන් මල්ලී වෙතත් ජින් බෝතලයක් ලබා දී ඔවුන් යාන්තමින් සැනහුනි! "කොල්ලෝ බෝතල් ගනං බොන්න බෑ බං! අපි සීය සීය ගම්මු!" කීවද උන්ට ඒක ගැලපුනේ නැත. උන්ට බෝතලයක්ම මාවෙත පූජා කරණ්නට උවමනා විය!

සත්තකින්ම උන්ට මට බොන්න දී ලැබෙන දෙයක් නැත! මිනිසුන් ආවඩන්නේ නැගෙන හිරුට මිසක බැසගිය හිරුට නොවේ. ඒත් උන් මාගේ හදවතේ ගැඹුරුම තැනට ආමන්ත්‍රණය කලෝය.මං උන්ට කර තිබුනේ උන්ව බඩ ගින්නේ නොතියා  බලාකියා ගැනීමය. සහරාන් ගහපු වෙලාවෙදීත්, කොරෝනා ආපු වෙලාවේදීත් මා උන්ව බඩ ගින්නේ නොතිබ්බේය. මා  ආයතනය තුල උයන්නට කටයුතු සැකසුවේය.  මා සිතන්නේ එය මාගේ රැකියාවේ කොටසක් කියාය. මා රැකියාවෙන් ඉවත්ව යන බව දැනගත් මොහොතේ එක කොලෙකුට කියැවී ඇත්තේ "අනේ අපිට කන්න නැතිවෙයි!" කියාය. එය පසුව ඇසුනු මොහොතේ මාගේ දෙනෙත් තෙත් වුනි!

"කොල්ලනේ උඹලට බොහොම ස්තූතියි! මට මේ සංග්‍රහය ජීවිත කාලයටම අමතක නොවේවි!" ඒ මා ඔවුන් අමතා කල කථාවේ අවසාන වැකිය විය.


තවත් සතියක් ගත විය.

හදිසියේ මගේ දූරකථනය නාද විය.

"MD" තිරයේ දිස් වුනි. මොකක් හරි කේස් එකක් වත්ද?

"ගූඩ් මොර්නිං සර් . . . . !"

"ගුඩ් මොර්නිං! මට ඔයා යන්න කලින් එකට ලන්ච් එකක් ගන්නත් බැරි උනානේ. කොහොමද මේ සැටර්ඩේ හවස?"

"පුළුවං සර්! මට වැඩක් නෑ!"

එදින; සෙනසුරාදා හවස අප රාජගිරියේ අවන් හලකට ගාල් වුනෙමු. ආයතනයේ සියළුම කළමණාකරුවන්, විධායකයින්, ඝනකාධිකාරීවරුන් එතැන විය. අප හොඳින් අඩි පුඩි ගසා කන් සාක්කුවල දමාගෙන;   ගෙදර ආවෙමු! එහිදී අපගේ කළමණාකාර අධ්‍යක්ෂක තුමා කෙටි කථාවක් පැවැත්විය. උන්නැහැගේ කෙටි කථාවක් යනු ගොගොල්ගේ "හිම කබාය" මොඩලයේ එකක්ය!

එහිදී කියැවුනු සුන්දර කියමනක් විය!

"මින් පසුව වසරක් පාසා අපි සියල්ලෝම එක් දවසකට මේ විදියට එකතු වෙමු. එහි විශෙෂත්වය අපගේ ආයතනයෙන් ඉවත්ව ගිය සියල්ලන්ම එකතුව මධුවිතක් තොලගා දොඩමළුවීමයි!"

ඇත්තටම එය එසේ උනෝතින් අගය කල යුත්තකි. මේ සියල්ල අතර මම; ගිය සතිය තෙක් මා සමග සේවය කල රුශාන් මල්ලීගේ කනට කිට්ටු උනෙමි. "මචං මේ හැම එකටම වඩා අර කොල්ලෝ දුක් මාංසියෙන් දුන්නු බෝතලේ මට වටිනවා බං!" ඩෝප් මරගාතේ ඔහුද එය "නැතුව!නැතුව!!" කියා අනුමත කලේය.

මේ සියළු කථා සමග පෘථග්ජනයෙකු ලෙස මා යෝජනාවක් කරමි.

"කිසියම් අයෙකු ආයතනයක සේවය කල යුතුව වන්නේ; යම් දිනෙක තම බැහැර වීම ආයතනයට දැනෙන හා ඔවුන් තමා වෙත ගරු කටයුතු සමුගැනීමක් ලබා දෙන ආකාරයට වන අතර ආයතන ක්‍රියා කල යුතු වන්නේ තමා වෙතින් ඉවත්ව යන ඕනෑම ආකාරයක "කරදර කාරයෙකු" වෙතත් ආදරණීය සමු ගැනීමක් ලබා දීමටය!"

TIME

 to say goodbye

 BUT

  FAREWELL 

is not forever

 only for a little while 

so until we meet again!

මේ  වැකිය මාහට ලැබුනු සමරු තිලිණයේ ලියා තිබුනි!


21 comments:

  1. වැඩි ජවයෙන්යුතු ක්‍රියාශීලි විරාමයක් ලැබේවා

    කොහොමත් ලොක්කන්ට වැඩිය පොඩිඩන්ගේ හිත හොදයි.....
    බොක්කෙන්ම දුන්නු පාටියක් කියලා දැම්මානම් මරු


    මේක කියවද්දි මතක්වුනේ කොරෝනා ඇදිරි නිතිය දමපු දවස්වල අවරුදු 55 සම්පුර්ණවෙලා විශ්‍රාම යන්න වුනු මාගේ කාර්යාලීය සගයෙක් දැන් නිරන්තරයෙන් කතාකරකර අහන්නේ එයාට පාටියක් දෙන්නේ කවදාද? තෑග්ග ගත්තාද? ඒක අමතකද ? කියලායි මොකද රැකියාව කරපු අවුරුදු ගනනාවටම එයා අනුන් වෙනුවෙන් මුදලින් සම්මාදම් වෙච්චි පාටිවලට හිලව්ව මේකෙන් කවර් කරගන්නයි පට්ට මසුරෙක් වෙච්චි එයාගේ අදහස.

    ReplyDelete
    Replies
    1. අන්න පලවෙනි පික්ස්තූරෙට යටින් තිබුනු කැප්ශන් එක උඹට ඕන විදියට වෙනස් කලා මචං!

      ඔව් බං අපිට සෙට් වෙන්නෙ ඔය වගේ එවුන්ම තමයි. ඒ වගේ එවුන් අතරෙයි මේ වගේ කොල්ලො සැට් එකක් හිටියේ. දැන් 10 වෙනිදා පහුවෙලා උං ටික නාරහේන්පිටට එක්කගෙන ගිහින් බොන්න ටිකක් අරං දෙන්නයි මමයි රුශාන් මල්ලියි කථා උනේ! ඒම හොඳයි නේද?

      Delete
  2. බැලුව, හොඳයි. ජපානෙත් වැඩ ඉවරවෙලා ලොක්කො-සොක්කො කන් පාත්වෙනකං බොන, රාජකාරී සංස්කෘතියක් තියෙන්නෙ, ඔය කියන සහජීවනේ නිසා වෙන්ටෑ?

    අහිංසක සඤ්ඤක හාව ලියපු "තාත්තා..නොම්මර 1" නියමයි :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි මචං! දන්නවානේ බ්ලොගර් කෙනෙක්ගෙන් ලැබෙන කමෙන්ටුවක වටිනාකම.

      Delete
  3. රා අරක්කු බොන්ට එපා අප්පච්චි

    ReplyDelete
  4. //කැලෑ දෙපාර්තමේන්තුවේ නොබොන එකෙක් යනු නියුඩ් කෑම්ප් එකක ඉන්නා ටයි කෝට් දාගත්තු එකෙක් වගේය.//

    මේ කියමන නිසා බේබද්දෝ වැඩියෙන්ම ඉන්නේ Forest එකේ (එහෙම නේද වන සංරක්ෂණ අය කියන්නේ) කියලා හිතුනාට කිව්වාට අනිකුත් රාජ්‍ය ආයතනත් ඒ නම්බු නාමය ගන්න හොඳ සටනක් දෙනවා.

    පෞද්ගලික ආයතන වල නම් ටිකක් හොර රහසේ හෝ සේවා කාලයෙන් පසුව මේවා පාවිච්චි කලාට, රාජ්‍ය ආයතන වල නම් වැඩ කරන වෙලාවේ උනත් දෙකක් නවා ගන්න පුද්ගලයන් බොහොමයි.

    ගඳ එනවාට පෙපර්මින්ට් කෑම, කොත්තමල්ලි ඇට කිහිපයක් හැපීම වැනි දේවලුත් සරල විසඳුම්.

    රාජ්‍ය ආයතන පහ හයක් ගැන මටත් (මගේත්, මගේ ලඟම මිතුරන්ගේත්) අත්දැකීම් තියනවා. ඒවායේ තත්වයත් forest එක වගේම තමයි.

    මේ කියන ඉල්ලා අස්වීම විරාමයක් සඳහාද? විශ්‍රාමයක් සඳහාද? එහෙම නැතිනම් වෙනත් රැකියාවක් සඳහාද?

    කාරණය මොකක් උනත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ෆොරෙස්ට් එකේ කියන්නේ ඉතින් ආයේ වචන දෙකක් නෑ හොඳම බෙබේ බී බොතේජුලා තමයි!
      ඔවුන් එක්ක සුරාබදු, වන ජීවී වැනි දෙපාර්තමේන්තු කරට කර සටනක් දෙන බව මා අහලා තියෙනවා.
      සත්තකින්ම ආයතනයෙන් ඉවත්වීම පෙර විශ්‍රාම ගැන්වීමක්! පහල මහේෂ මල්ලීට දුන් පිළිතුර බැලුවාම වැඩේ තේරෙයි. මා මේ දවස් වල පඩි සහිත නිවාඩු තත්වයක සතුට ලබමින් සිටිනවා.
      මගේ බලා පොරොත්තුව මමත් මගේ මිතුරු පසිඳු මල්ලීත් එක්ක අපේ කඳවුරු බිම වැඩි දියුණු කරගන්න.
      මැරෙන කල් මොනවා හරි කරණ්න එපෑ සෑම් මහත්තයා නේද?

      Delete
    2. https://thattayagekolama.blogspot.com/2020/02/161-teepee-camp-site.html මෙන්න මේකයි අපේ වැඩේ!

      Delete
  5. මා ආයතනයෙන් ඉවත්වීම සමගම මාගේ සහයක සොයුරා - රුශාන් මල්ලී මාගේ තනතුරට පත්විය.. තමන්ගෙන් පස්සේ තමන්ගේ සහයකයෙක්ට උනත් ඒ වැඩේ කරන තරමට වැඩ කටයුතු කරලා තියෙනවා කියන්නේ ඔහු සැබවිම්ම දක්ෂ නිළදාරියෙක්.
    ඉවත් උන කරණය මොකක් උනත් සුබ පැතුම් මංජුල අයියා.
    ගොඩක් දුරට ජුනි අග එන්න හිතන් ඉන්නේ. ලංකාවේ හිටියොත් හම්බ වෙමු.

    ReplyDelete
    Replies
    1. රුශාන් කියන්නේ ඇත්තටම දක්ශයෙක්. මම ඉන්න කාලෙත් ඔහු තමයි මුළු ආයතනයේම ක්‍රියාන්විතය මෙහෙයූවේ. මම ඔහු පසු පස සිට ඔහුට ශක්තිමත් "කොන්දක්" ලබා දුන්නා වැඩ කරගෙන යන්න. එසේම සමහර කුඩා කුඩා සුවිශේෂි කාරණා වලදී ඔහුට උදව් කලා මාගේ "වයසෙන්"!
      මේ ආයතනයෙන් ඉවත්වීම පිළිබඳව මාහට තියෙන විශාලතම කණගාටුව වන්නේ රුශාන් නම්වූ "මිනිසා" ගෙන් දුරස් වීමට සිදුවීම පමනයි.
      ආයතනයෙන් පිටමංවීමට ප්‍රධාන හේතුව නව කළමනාකාරීත්වයක් විසින් ආයතනය භාර ගැනීමේදී ඔවුන් අපේක්ෂා කල තරම් මා නම්‍යශීලී නොවීම කියලයි මටනම් හිතෙන්නේ.මොකද එම අවස්ථාවේ මා ගන්නා කුමන හෝ තීරණයක් පූර්වාදර්ශයට ගනිමින් මුළු ආයතනයම ගන්නා තීරණයක් ඔවුන්ගේ අනාගතයට මුළුමණින්ම බලපෑමට හේතුවන හෙයින් මා බොහෝ අවස්ථාවලදී දෘඨ ප්‍රථිපත්තියක් අනුගමනය කලා.
      ඔව් අපි ඉක්මණින් හමුවෙමු.
      ස්තූතියි!

      Delete
  6. පව් අප්පච්චි පව්

    ReplyDelete
  7. අපි වැඩ කරපු මුල් කාලයට වඩා අන්තිමට ගතකරපු කාලවකවානුවකට මං තාම ආසයි ආදරේයි මොකද අපි පැය අටේ යාලුවෝ නොවෙන තරමට ලංවෙච්ච නිසා, කොහොම උනත් මගේ ජිවිතේ වටිනාම හදුනා ගැනිම මේක මට කොහොමත් මහ ගසක් යට ඉන්න නිසා කොයිම මොහොතකවත් චකිතයක් දැනුනේනෑ සමහර තින්දු තිරණ ගනිද්දී මං දන්නවා මේ දැවැන්ත මිනිසා මා සමග කියා.
    වෙලාවකට බොස් කෙනෙක්,
    වෙලාවකට යාලුවෙක්,
    ඇත්තට තාත්තෙක් නැතිමට තාත්තා කෙනෙක්...!
    දිර්ඝායු...!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි රුශාන් මල්ලී! මටත් මගේ ජීවිතේට ලැබුනු; මිනිසත් බවින් පිරිපුන් වටිනාම මිනිසා උඹයි! මම කයිවාරු ගැහුවාට; උඹේ මනුස්සකම ඉදිරියේ මමත් පදිරි! කථා වැඩක් නෑ එන සතියේ ඉඳන් ආයෙමත් පීනන්න යමං. මම නැති කාලෙක උනත් උඹ ලඟ සුරැකිව තියෙන දෙයක් මට ඉතුරු කරලා යන්න ඕනේ!

      Delete
  8. Finally you are your own boss, Congratulations!!!!!
    Good luck with your new adventure. (Wijebahu)

    ReplyDelete
  9. 'තිබහට වතුර බොන්නට පොඩි ළිඳ විතර
    කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර'
    සිහි කරවූ සබඳ හදවත දයාබර
    සතුටකි දැකීමත්, උඩ ඇති ප්‍රතිචාර!

    බොරුවට නොවේ ඒ වැනි දේ කියවෙන්නේ
    හදවත පතුලෙනුයි ඒවා මතු වෙන්නේ
    වස්තුව, මිල-මුදල් කොහොමද ලොකු වෙන්නේ
    මිනිසත්කමයි සැමවිට උත්තම වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සතුට අදටත් අඩු නැතිව මයේ හිතේ තියෙනවා නිදි මහත්තයා!

      Delete
  10. ආඩම්බරයි!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම! හැබැයි බ්ලොග් එක නොලියන ඒක ගැන නම් කිසිම සමාවක් නෑ!

      Delete
  11. කොහොමත් ලොක්කන්ට වැඩිය පොඩ්ඩංගෙ හිත හොඳයි. උංට දැනෙන්න සලකගෙන හිටියොත් උං දෙන රිටන් එකත් ඇඬෙන සයිස් එකක් වෙනව සත්තයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ප්‍රසන්න මල්ලී! මම ඒක බොහෝ අවස්ථාවල අත් දැකලා තියෙන සත්‍යයක්!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...