Monday, March 29, 2021

192. තිස් අවුරුදු රථ මතක . . . . ! (6)

අයියා මල්ලී වාගේ අයියා මල්ලී . . !

කාරයක් යනු; ගෙදරක භාවිතා කරණු ලබන වංගෙඩිය, මිරිස් ගල වැනි තවත් එක් උපකරනයක් නොවේ. එය මහන මැෂිම, වොෂින් මැෂිම, ශීතකරණය, රූපවාහිණිය වැනියන්ත්‍රයක්ද නොවේ. එය; ඒවටා ගෙතුනු එතුනු සංස්කෘථියක් සහිත මෙවලමකි, ආයුධයකි, පවුලේ සාමාජිකයෙකි.
මීට කලෙකට පෙර "කාර් පිස්සුව" බ්ලොගයේ පෝස්ටුවකට ලියන ලද කොමෙන්ටුවක සඳහන් කර ඇති පරිද්දෙන්ම; යම් ගමනක් සාර්ථකව නිමකර ගෙදරට පැමිණ වාහනයෙන් බැස නිවෙසට යෑමට පෙර එයට ආදරණීය තට්ටුවක් දමා ස්තූති කිරීම මාගේ පුරුද්දකි!
මෙහ හුදෙක් මොළේ මඥ්ඥ්ං එකෙකුගේ පිස්සු විකාරයක් ලෙස පෙනුනද එය කිසිදා මාහට දැනී නොමැත!
සමහරක් රියැදුරන් තම වාහනයට නැග පන ගැන්වීමට ප්‍රථම එහි සුක්කානමට වැඳීම, හඳුන් කූරක් පත්තු කිරීම ආදියද; වාහන වෙත කෙරෙණ ආදරණීය ආමන්ත්‍රණ වල වෙනත් වෙනත් පැතිකඩයන්ය!
ඔස්ටින් 850 මිනි වැගනය ගෙදරට ගෙන ආ කාලය මාහට යාන්තම් මතකය. ගෙන ආ දිනයේද ඉන් පසුව බොහෝ අවස්ථාවලද එය දිවා කල ගාල් කොට තැබුනේ; අප නිවෙසට ඉදිරියේ වූ වරුසවිතාන මහතාට අයත් හිස් ඉඩමේ කජු ගහ යටය.
එය ගෙදරට ගෙන ආවේ හොඳින් ඉර පායා ඇති දිනෙක දවල් 12.00 ට ආසන්න වේලාවකය. එතැන් සිට බොහෝ කලක් යන තුරු පමණක් නොව මා අතින් ඈත්ව යන තුරුත් එය හොඳින් සෝදා පිරිසිදු කොට තබා ගත්තෙමි.
කුඩා බඳුනකට ගන්නා ලාම්පු තෙල් හෙවත් භූමිතෙල්; පින්සලක උපකාරයෙන් එන්ජිමේ ඕජස් ගැලුනු තෙල් මජං ආදිය සෝදා පිසදා වියලා තබා ගත්තෙමි.
වාහනය ගෙන ආ දිනයේ එහි ප්‍රධාන ලාම්පු වටා ඇති වලල්ල මතුපිටවූ කුඩා පැල්ලම් සිග්නල් දත් බෙහෙත් දමා ඔප කල අයුරු අදද මතකය!
මේවා සියල්ල සුන්දර මතකයන්ය.
6ශ්‍රී2416 යනු එම වාහනයේ ඔර්ජිනල් නොම්මරය නොවන බව කලකින් මාහට දැන ගන්නට ලැබුනි. මෙහි  නොම්මරය 3ශ්‍රී එකක් වුනු අතර මෙම නොම්මරය යටතේ මෙම රිය බෞතීස්ම කර ඇත්තේද මිනි පකීර් කෙනෙකු විසිනි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔහු සතුව තිබූ මිනී රථයක් විකිණීමට යාමේදී 2416 එකතුව 13 වන නිසා එය විකිණීමට ඇතිවූ අපහසු තාවය නිසාය. එසේම එය මෙම පහත රූපයේ දක්වෙන පරිදි වූ පැනල් වෑන් එකක් කපා වැගනයක් සේ සැකසූ එකකි!

ඩිලවරි වෑන් හෙවත් පැනල් වෑනයක්

මිනි කාරය මෙන් මිනි වැගනය මාර්කට් නොවූ නිසා නොම්මර දෙක හා වාහනයේ ටැග්  එක මාරු කොට තිබුනි. අද මෙන් මොරිස් මයිනර් පොත්වලින් මිනි දුවන තරම් හිඟන යුගයක් නොවූ ඒ කාලයේ මගේ ආදරණීය වාහනයට ලැබී තිබුනේද ඔරිජිනල්ම උප්පැන්නයකි!
ඒවන විටත් වයස අවුරුදු 40 කට පමන කිට්ටු කර ඇතිමුත් එය ඇක්සිඩන්ට් ෆ්‍රී වාහනයක්; එනම් කිසිදා අනතුරකට මුහුණ පා නොතිබූ වාහනයක් විය. 
වාහනය ගෙන ආ දිනයේ එහි එන්ජිම එතරම් ජව සම්පන්න බවක් නොපෙන්වූවේය. පසුව මාගේ සොහොයුරිය රැකියාව කල ආයතනයේ සේවය කල හර්බට් පැමිණ ලෙඩේ නිට්ටාවටම සුව කර දුන්නේය.
හර්බට් ගැනද වචනයක් ලිවිය යුතුය.
හර්බට් යනු ඒකල යූනියන් කාබයිඩ් සමාගමේ සේවය කල එහි වෘත්තීය සමිතියේ පොරකි! ඔහු හිනාවෙන්නේ ඔහුට සිතුනු වෙලාවටය! කතා කරණ්ණේ වේගයෙන් කෙටි වාක්ක්‍ය කණ්ඩයන් වලිනි.
ගෙදරට පැමිණි විට; "තේ එකක් බීලාම වාහනේ බලමුකෝ!" කියා මා ඔහුට පැවසුව විට ඔහුගේ පිළිතුර වූයේ "තේ බොන්න බැරියැ ඕන වෙලාවක! වැඩේ බලමුකෝ!"කියාය.
ඕනෑම අළුත්වැඩියාවක් නිමවූ පසු ඔහුට අය විය යුතු මුදල අසා ගැනීමට අවම වශයෙන් එන්ජිමක් බිමට බෑමට ගතවන කාලය තරම් වේලාවක් බලා සිටිය යුතුය! ඉන්පසු ඔහුගෙ මහන්සිය; මහත්වූ මහන්සිය කින් අසාගත් සැනින් ඔහු නැවත මගෙන්  "ගාන වැඩිද?" කියාය! එයට පිළිතුරක් දෙන්නට කට අරින්නටත් ප්‍රථම ඔහුගේ අය කිරීම තවත් කීයකින් හෝ අඩුකොට නැවත ඔහුම පවසයි.
හර්බට් එවකට වයස අවුරුදු 40-42 කට පමණ වන්නට ඇත. ශක්තිමත් හොඳින් වැඩුනු දේහයකට හිමිකම් කියූ උස් කඩවසම් පුද්ගලයෙකි. ඔහු කුඩා මල්ලක සියළු අඬු යතුරු, ස්පැනර් බොක්ස් සොකට් ආදී එකී මෙකී නොකී සියළු අවි ආයුධ දමාගෙන CM125 සයිකලයකින් පැමිනේ. ඔහු එන්ජිම ඇර එහි ප්‍රථම ඇනය මුරිච්චිය ගැල වීමට ප්‍රථම අසන්නේ "ආවුධ හෝදන්න පැට්‍රෝල් තියෙනවා නේද?" කියාය. මන්ද සියළු අළුත්වැඩියා කටයුතුවලින් ඉක්බිතිව හේ; ස්වකීය අයුධ හෝදන්නේ පැට්‍රෝල් වලින් පමණි!
අදාල දිනයේ ඔහුපැමිණ එන්ජිම වරක් පන අන්වා බලා  රොකර් ආම්  ආදිය ඉවත් කොට කිසිදු අනුකම්පාවකින් තොරව හෙඩ් එක ගලවා පසෙකින් තැබීය.
එන්ජින් හෙඩ් එක හා බ්ලොක් එක මුද්‍රා තැබෙන ගෑස් කටය පළුදු වී තිබුනි.
ඔහුත් මමත් පංචිකාවත්තේ සුමන මෝටර්ස් වෙතින් ගෑස්කටයක් ගෙන ආවෙමු. දහවල් 12.00-1.00 වන විට එන්ජිම යතා පරිදි සවිකොට පනගැන්වීමට හර්බට් සමත්විය!
වෑල්ව් ටැපට් ආදිය ෆීලර්ගේජ් එකෙන් සීරු මාරු කල පසු එන්ජිමේ තිබූ "ඔස්ටින් මිහිරි නාදය" දැනටත් ඇහෙනවා ඇහෙනවා වාගේය.
එදිනම එන්ජිමේ තෙල්ද මාරුකොට ඩිස්ට්‍රිබියුටරය කරකවා එන්ජිම ඇඩ්වාන්ස්කොට  මිනි රථය සමන්විතවූ S‍U කාබියුරේටරය යාන්තමින් සුසර කර දී ඔහු දවල්ට බත් කෑමට ආයුධ හා දෑත් පෙට්‍රෝල් වලින් සෝදා අවසනදී මා වෙත හිස හරවා පැවසුවේ "දැන් ඕන දිහාක යන්න පුළුවන්!" කියාය.
සත්තකින්ම එන්ජිම හර්බට්ගේ සුරතින් තිරිහන් වී තිබුනි. එය නවජීවයකින් අපවෙත බැඳුනි. එතැන් පටන් අපගේ සියළු ගමන් බිමන් සඳහා තම ශ්‍රමය වැයකලේ ඔහුය!
මා වාහනයක් ගත් පසු එම වහනයට අදාල පොත පත ලං කර ගැනීම සිරිතකි. ඒ නිසාම කොටුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය අසල වූ ලේක් හවුස් පොත් හලෙන් MINI '59 to '69 All models Owners Workshop Manual- Haynes පොතක් බැරි අමාරුවෙන් මිළදී ගත්තෙමි. එය ඒ ආලේ හැටියට බර ගානකි. මම මේ කියන්නේ මිනිය 48500 ට ගන්නට හැකියාව තිබුනු කාලය ගැනය! පසුව කෙරුණු කුඩා අළුත්වැඩියාවන් බොහොමයක් මා එය පිටුවහල් කරගෙන කරගත්තෙමි.

මිළදී ගත් පොත දකුණේ! දෙවැන්න නොමිලේ !!

එහි ප්‍රධාන පහන් සඳහා විදුලිය සපයා තිබුනේ රිලේ එකක් හරහා නොව පොල්ලෙන් ගැසුවාක් මෙන් ඩිරෙක්ට් බැටරියෙන් වයරයක් ඇද දමාය. එම වයරය වාහනයේ ඇතුලට ගෙන ගැටයක් දමා රඳවා තබා වෙන් කොට තිබුනි. හෙඩ් ලයිට් දැමීමට අවශ්‍ය වේලාවට වයර දෙක එකය්ට අමුනයි. වයර ගැලවීමෙන් ප්‍රධාන පහ නිවී සැනහේ! වම් අතේ දඹර   ඇඟිල්ලේත් මහපොට ඇඟිල්ලේත සම පලුදුවී තිබුනි. ඒ වයර් ඇමිනීමේදීත් විසන්දි කිරීමේදීත් ඇතිවූ පුළුඟුවෙන් පිළිස්සීමෙන්ය!
වරක් අගනුවරට මහා වැස්සක් ඇද හැලුනේය. බිරිඳව කාර්‍යාලයෙන් ගෙන ඒමට මා කඩවත සිට අගනුවරය යාමට විය. වැස්ස දෙගොඩ තලා ගලා යමින්ය. වේලාව සවස 2.00-3.00 වන්නට ඇත. එහෙත් අහස හාත්පසම කළු කරගෙන ඇද හැලෙන වරුසාව කොළඹ මහළු කොට තිබුනි.
මා සෙමෙන් සෙමෙන් මාළිගාවත්තට ප්‍රවිශ්ඨ විය. මාළිගාවත්තේ දනක් පමන වතුරය. වටා ඇති කානු පද්ධතිය මාරගය වාරිමාර්ගයක් පත්කොට ගෙන තිබුනු අතර පන අදිමින් එහා මෙහා දුවන වයිපරය හෙවත් ඉදිරි පස වාමුවා පිසිනය මගින් යාන්තමින් මාර්ගය මාහට දක්වමින්ය!
මාගේ දුප්පත් වාහනය පසු කරගෙන ඉදිරියෙන් පැමිණි බස් රථය මැවූ සුනාමියෙන් එන්ජිම සෝදාපාළු කලේය.  ඒ සමගම එන්ජිම මැරුණි. එය පන ගැන්වීමට කෙතෙක් උත්සාහ කලද ඒ සඳහා කිසිදු අනුකූල තාවයක් එන්ජිම වෙතින් පල නොවුනි.
වාහනය ඇතුලත ජලයෙන් පිරී ගොස්ය.
ගියර් ලීවරය්; වාහනයේ පතුලින් මතුවී ඇති විශාල සිදුර නැතහොත් රවුම තුලින්; ධාවන්යේදී මාර්ගයේ දූවිලි ඒම වලකා ලීමට සිරකොට තිබූ පැරණි බෙඩ් ශීට් කැබැල්ල වාහනය තුල පාවේ. එය අදාල ගියර් ලීවර් බූට් එකක් එහි නොවීය.
මහ වැස්සේම වාහනයෙන් එළියට පැමිණ මා බොනට්ටුව ඇර එන්ජිමට ආදරණීය බැල්මක් දැම්මේය!
"ඇයි මෙහෙම මට කරණ්නේ?"
එන්ජිම නිසොල්මනේය. තවමත් ඇඟේ රස්නය කියා පෑවේ; පන ගොස් ඇත්තේ මොහොතකට පෙර දී බවයි.
බස් සුනාමියෙන් එන්ජිමේ විදුලි පද්ධතිය අකර්මණ්‍ය කොට ඇත.
ස්පාර්ක් පලග් හෙවත් පුළිඟු පේනු වලට ජීවය සපයන නහර එකින් එක ගලවා කටින් පිඹ; ඉන් නොනැවතී; බොනට්ටුවේ ඇතුළු පැත්තේ සිරකොට තිබුනු එන්ජිමේ තෙල් බැලීම සඳහා උපයෝගී කරගනු ලැබූ කුඩා මේස් බැනියං කෑල්ලෙන් පිසදා සවි කලෙමි.
ඊළඟට එම නහර පටන් ගන්නා ඩිස්ට්‍රිබියුටරයය!
ඩිස්ට්‍රිබියුටරයේ කප් එක හෙවත් පියනට සම්බන්ධවන වයර් කෙළවරවල්ද  ඒවා සවිවන සිදුරුද පිළිවෙලින් ගලවමින් පිසදමමින් සවිකලෙමි.
තව ඇත්තේ ඩිස්ට්‍රිබියුටරයේ කප් එක ගලවා පිස දැමීමත් ඉග්නීෂන් කොයිලයේ මුල බැලීමත් පමණි.
ඩිස්ට්‍රිබියුටරයේ පියන සිරකොට තිබුනු කුඩා තහඩු අගුල් දෙක පන්නා කප් එක ගැලවූවා පමණි.
ඩිස්ට්‍රිබියුටරයේ මුදුනේ සිට රෝටරයට විදුලිය සැපයෙන කුඩා කාබන් දඬු කැබැල්ල ගැලවී අඩියක් පමණ වතුරට වැටී අන්තරස්දානය වී ගියේය.
කප් එක තුල කාබන් දඬු කැබැල්ල එතෙක් වේලා රඳවාගෙන තිබූ කුඩා දුන්න හෙවත් ස්ප්‍රිනය තට්ට තනිවම එල්ලෙමින් තිබුනි.
කිරීමට කිසිදු දෙයක් නොමැත. 
වැස්ස නොනවත්වාම ඇද හැලෙමින්ය.
ඒ වන විට ඒ අසල සිටී මාවන්ම දුප්පත්වූ පැල්පත් වාසී පිරිසක් මගේ දුක්බර කථාව රසවිඳිමින්ය.
වාහනය පන ගැන්වීමට නම් ඉග්නීශන් කොයිලයේ සිට ගලා එන අධිබල විදුලි ධාරාව රොටරය මත පතිත  වියයුතුමය. එසේ නම් කුමන් හෝ දඬු කැබැල්ලක් සොයා ගත යුතුය. එය ලෝහමය එකක් වුවහොත් රොටරය තුවාල වේ. 
එය කාබන් මගින් යොදවා ඇත්තේ මෙනිසා විය හැක.
කාබන් කූරක් හොයන්නේ කෙලෙසද?
මෙවන් කාලගුණික තත්වයක් තුල කාබන් කූරක් තබා ගල් ඉන්නක් වත් හොයා ගැනීමට මෙම තෙත බරිත ගෙන්දගම් පොලොවේ උගහටය.
මොහොතකින් මාගේ ටිකිරි මොලයට අදහසක් ගලා ආවේය!
වහාම පාරේ සීමාවෙන් ඔබ්බේ සිටි නරඹන්නෙක් අමතූවෙමි.
"අයියේ පරන පෙන්ටෝච් බැටරියක් හොයා ගන්නට පුලුවන්ද? ලොකු උදව්වක්!"
"ඇයි බැටරියක් දැම්මොත් වැඩේ හරිද?"
"නෑ අයියේ ඒකෙ මැද්දේ තියෙන කාබන් කූරයි ඕන!"
"විටුක්කු පොඉට්ටු රිමොර්ට් සින්න් බැටරි කලටි වාංග!"
ගෙදර ගිහින් ටීවී රිමෝට් එකේ තියෙන අරං වරේං - පාරේ අයියා ලඟ උන්නු පොඩි එකෙකුට අන කලේය!
විනාඩි ගානකින් කොල්ලා බැටරියකුත් මිට මොලවාගෙන එතන!
පේමන්ට් එක උඩ තියාන වාහනේ රෝද ඇන ගලවන ගැජට් එකෙන් බැටරිය තඩලා ගෙන කාබන් කූර මතු කරගන්න එක මට ගේමක් තිබුනේම නැත.
වෙලාවේ හැටියට බැටරිය කටින් විකා හෝ කාබන් කූර අතට ගන්නා මානසකිත්වයක් සිටි මා කාබන් කූර ගෙන ඉන් අඟල් භාගයක තුන්කාලක පමන කෑල්ලක් කඩා සීරුවට දුන්නට සිර කොට ඩිස්ට්‍රිබියුටර කප් එක ස්තාන ගත කලෙමි.
ඉග්නීශන් කොයිලයේ මුලද වයරය ගලවා පිරිසිදු කල මා ජනේලයෙන් අත දමා යතුර කරකවා ඉග්නීශන් ඔන් කොට එන්ජිමෙම පසෙකින් සවිකොට තිබූ විශාල රිලේ එක අතින් තද කොට එන්ජිම පන ගැන්වීමට උත්සාහ කලෙමි.
මෙම වාහන වල ඉග්නීශන් රිලේ එක අතින් ඔබා පන ගැන්විය හැකිව තිබුනි.
එන්ජිම වට දෙකක් තුනක් කැරකී පන ඇදෙමින් යළි උප්පත්තියට පත්විය.
මලවුන්ගෙන් නැගිට ගත් මිනියද පදවාගෙන මා බිරිඳද කැටිව දෙයියනේ කියා කඩවතට පැමිණියෙමි.
විශ්වාස කරණ්න ආයිබොවංඩ වාහනේ තවත් වසර ගනනාවක් මා සමග සිට ඉවතට යන තෙක්ම බැටරි කාබන්කූර එලෙසින්ම වන්නට ඇත!
කොටින්ම එය යතා තත්වයට පත්කල බවක් මාහට මතක නැත!

හේන්ස් තම පොතේ පෙන්වා ඇති රූපයේ අංක 2 යටතේ "බැටරි කූර"

එකල වසිකව ඔහුගේ කුඩා නාන බේසමේ නිදිකරවා වටේට කොට්ට ආදිය සිර කොට පිටුපස අසුනට ඉදිරියෙන් බිම තබාගෙන අප ගමනේ යෙදුනෙමු. වරක් එය; ජයවර්ධන පුර නව රෝහල පාරෙන් පමුනුවට හැරෙන හංදියේ සිට කිඹුලාවලට තෙක් කිලෝමීටර 2-3 ක් පමන මා තනිවම තල්ලුකරගෙන ආවෙමි. ඒ පැට්‍රෝල් සොයාය.
වරක් විදුලි පහන් ඩිම් කිරීමට බැරිවී පොලීසියට කොටු උනෙමි. වයර් අමුනා දල්වන විදුලි පහන් ඩිම් කරණ්නේ කෙලෙසද?
මිනි රථයේ තිරිංග පද්ධතිය බොහෝ දුර්වල එකක් විය.  එය  පැදවීමට මහත්සේ අසීරුවක් ගෙන ආවේය.
එකල ලංකාවේ මිනි බාස්ලා කීප පොලක් සිටියෝය. ඒ අතුරින් නම් දරාපු වැඩ්ඩා වූයේ මිනී සිරා හෙවත් සිරිවර්ධනය. ඔහුගේ ගම් පලාත මාතලේ මෙන් යාන්තමට මතකය. දැන් වැඩ්ඩෙකුවන රනිල් සිරාගේ ගෝලයා ලෙස ග්‍රෑන්ඩ් පාස් හි කලින් රාජා බීඩි වැඩපොල පිහිටි ස්ථානයේ සිටි විජයානන්ද ලඟ සිටි අයෙකි.
එකල මහරගම සිටි සිරිල් අයියාද තවමත් බොරැල්ලේ මොඩල් ෆාම් පාරේ වැඩ කරණ ලකී අයියාද මිනී උස්තාද් අලී ඛාන් ලාය!
මාගේ මිනියෙන් මා කල අද්විතීය ක්‍රියාවක් වන්නේ මුළු මහත්බ්‍රේක් පද්ධතියම ගලවා වාහනයේ පසුපස දමාගෙන බොරැල්ලේ ලකී අයියා හමුවට; මහ දවල් මිනිය පදවාගෙන කඩවත සිට උඩුපිල, දෙල්ගොඩ, කඩුවෙල, මාලඹේ, බත්තරමුල්ල හරහා ගෙන ඒමය!
මෙවන් වික්‍රමාන්විතයක් (මෝඩ කමටහෝ) කල අන් අයෙක් වෙතොත් ඒ අපගේ මිත්‍රයෙකුවන මීරිගම නුවන් මල්ලීය. ඔහු වාහනයේ මාස්ටර් පොම්පයේ වොෂර් ගලවා සාම්පල් පත්තර කෑල්ලක ඔතාගෙන බඩු ගෙනෙන්නට ඒ වාහනෙන්ම  යන ඔරිජිනල්ම බුවෙකි. ඌ ගැනද වචනයක් ලියන්න අවසර. ලංකාවේ විශාලතම මෝටර් සයිකල් එකතුව ඇත්තේ ඔහු වෙතය. එය ගනනින්  200 ක් පමණ වේ.

මිනි මෝක්

එකල මිනි  සඳහා බඩු තිබුනේ පංචිකාවත්තේ සුමන මෝටර්ස් ලඟ හා බම්බලපිටියේ කොස්මික් ඔටෝ එකේ ඉක්බාල් ලඟය. පසුව පිටකෝට්ටේ එපිටමුල්ලපාර අසලද අයෙකු අමතර කොටස් අලෙවිය සිදුකල මුත් මේවන විට ඒ අයට කුමක් සිදුවී ඇත්දැයි කියන්නට නොදනිමි. ඉක්බාල් ලඟ 5 ශ්‍රී සුපිරි මිනි මෝක් එකක් තිබුනි. මිනි මෝක් ලංකාවට ආවේ ඩඩ්ලි සේනානායක රජය යටතේ ආරම්භවූ "වගා සංග්‍රාමය" වෙනුවෙන් බව මා අසා ඇත. එය ගනනින් 200 කි. 
මිනි ලෝකයේ සාඩම්බර නිපැයුම මිනි මෝක් එක යැයි මම අදද සිතමි. එහෙත් ලෝලීන් අතර ප්‍රචලිත වන්නේ 1275 එන්ජිම සහිත මිනි කූපරයය. 1275 හෙවත් ටුවෙල්ව් සෙවෙන්ටි ෆයිව් එන්ජිම ලංකාවේ දිග් විජය කල එන්ජිමකි! එකල මිනි 848CC, 970CC, 997CC, 1071CC හා 1275CC යන ආකාර ගනනකින්ම සාදා තිබුනි. පසුව 1098CC ධාරිතාවයෙන්ද එන්ජිමක් නිපදවා ඇත. 
මාගේ සොහොයුරිය සේවය කල ඒකල යූනියන් කාබයිඩ් සමාගමේ පිළිගැනීමේ නිළධාරිණිය ගේ සැමියා හටද එක්තැන්වූ ඔස්ටින් මිනියක් තිබුනි. වරක් ඔවුන්ගේ නිවස අළුත්වැඩියා කිරීමේදී මිනිය ගේ ඇතුලේ තිබියදීම එය වටා බිත්ති බැඳ තිබුනේය!
මෙම කථාවට ආසන්නතම සිදුවීම ලෙස මාගේ මතකයට  එන්නේ අපගේ පාසැලේ ක්‍රිකට් ක්‍රීඩාගාරයේ ක්‍රීඩකයින්ගේ ඩ්‍රෙසිං රූමය හෙවත් ඇඳුම් ඇඳගැනීමට තිබූ කාමරය තුල සිට සෑදූ; තරඟ මැදදී ක්‍රීඩකයින් වෙත සිසිල් පැන් ගෙන යාම සඳහා සෑදූ බීම කරත්තයේ හෙවත් ට්‍රොලියේ කථා වස්තුවය! සිදුවූ  දේ ලියන්නට මා වචන නාසති නොකලද ඔබට එය සිතා ගත හැකි බවට මා විශ්වාස කරමි!



ඔරිජිනල් මිනි කැබ් රියක් ඔසී අබේගුණසේකරගේ බාල සොහොයුරා වන රාජා ලඟ තිබුනු බව මා අසා ඇත. මාකොල ද එවන්ම වූ රථයක් ඇත. මා දුටු හොඳම මිනි වැගනය වූයේ විජයානන්දගේ නිල් පැහැති මිනි වැගනයයි. ලොකය පුරා මිනි ප්‍රචලිත වූයේ The Italian Job චිතර පටය තිරගත්වූ පසු බව මා අසා ඇත.

මිනි රියක් පැදවීමේ ආශ්වාදය එය ප්‍රමාණයෙන් කුඩා වූවාට සැප පහසුවෙන් හා මානසික සුවයෙන් අනූනවූ හා අද්විතීයවූ; කිසිදු දිනෙක එපා නොවන ආදරණීය වස්තුවක් වන බැවිනි!
මාගේ ආදරණීය මිනියේ දුක්ඛ දායක වෙන්වීම එන සතියේ . . .!

17 comments:

  1. I never had a chance to drive a mini, did not have a much of so called 'Ratha gaya'

    However I have good friend who has Ratha gaya to the max, at the time his father had a Riley RM, he was looking all over SL for old Riley RM's for parts. I had few car adventures with him, he did convert petrol cars to diesel, I once bought a skeletal willys jeep and he fixed a diesel engine had lot of problems, I do not like diesel engines even today.

    Few days ago friend of mine here(a SL Doctor) bought a Aston Martin Vanquish, he gave it for me to drive, I went for a spin but driven very slow thinking about the price tag. (Wijebahu)

    ReplyDelete
  2. අර ඔරු පදින කොල්ලාට පණ්ඩිතයා කිව්වා වාගේ; මිනියක් එළවලා නැත්නම් ජීවිතෙන් භාගයක් ඉවරයි! (හහ්! හහ්!! හා!!!)
    ඇත්තටම මේ පෝස්ට් එකේ නම "නොරත රථ" එහි අදහස මා වර නගා ගත්තේබ් "රත් නොවූ වාහන" හෝ "රත් නොවන වාහන" කියන අදහස ගම්‍ය වෙන්න. ඒත් පෝස්ටුව පල කිරීමේ හදිසියට එය කැටගරියේ නමින්ම පෝස්ට් උනා. (දැන් හැදුවා!)
    ඔබ පවසා ඇති රයිලි RM කියන වාහනේ ගැන නම් මම හරියටම දන්නේ නෑ. ඒත් රයිලි එකක් ආවා ඔස්ටින් මිනි එකටම පිටිපස්සේ ෆෙන්ඩර්ස් පොඩ්ඩක් දික් කරලා හරියට 404, ඔස්ටින් කේම්බ්‍රිජ් A60 එකේ වගේ.
    ඔය වගේම දෙයක් උනා මම යුනයිටඩ් මෝටර්ස් වැඩකරන කොට. එතනට ආපු කස්ටර්මෙර් කෙනෙක් මට දුන්නා පැදලා බලන්න කියලා පෝෂෙ එකක්. අනේ මං 20 ට වඩා ගියේ නෑ. මොකක් හරි මගුලක් උනොත් ගේ දොර ඉඩ කඩම් ටික දීලා මදි පාඩුවට තව අවුරුදු 10ක් විතර ඒ මහත්තයාගේ ගෙදර කුස්සියේ දර පලන්න යන්න වෙයි කියලා!

    ReplyDelete
  3. https://en.wikipedia.org/wiki/Riley_RM

    Nice looking car, not many left in SL I guess. My friend's father and father's brother both had the same car.

    ReplyDelete
  4. පරණ වාහන වලට මටත් මෙව්වා එකක් තියෙන එක හේතුවක් තමා ඔය කියන ගුණය. කාර් පිස්සත් එක සැරයක් කියලා තිබ්බේ ගිනි ගත්ත ඉබ්බෙක්ව වතුර ගහලා නිමුවට පස්සේත් වයර් කෑලි ටිකක් අමුණලා අපහු ස්ටාර්ට් කරපු සිද්දියක් ගැන. (ඌ කරපු එකක් නෙමෙයි. වෙන අන්කල් කෙනෙක්ට උන සිද්දියක් )
    කතාවකුත් තියෙනවනේ තමන්ගේ කාර් එකේ පිරිසිදු කමෙන් තමන් ඉන්න ගෙදර(කාමරේ) පිරිසිදුකම පිලිබිබු වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය වාහන පිරිසිදු කම ගැන සුපිරිම ටොපි දෙන පොරක් විදියට හැරී ජයවර්ධන මහත්ත්යා ප්‍රසිද්ධයි. ඔහු එක් ආයතනයකින් තවත් ආයතනයක් වෙතට යෑමට සමහර විටෙක තම ආයතනයක කළමණාකරුවෙකුගේ රථයක් උපයෝගී කර ගන්නේලු! එවිට වාහනය අපිරිසිදුව තිබුනේ නම් "ඔයාගෙ Under wear එකත් මේ වගේ ඇති නේද?" කියා අසා ඇතිබව මා අසා ඇත! ප්‍රාජේ මෙය නිවැරදි කරාවි. කොහොම වෙතත් හැරී මහත්තයාගේ කොම්පැනියකට ලොරි චැසියක් භාර දෙන්නට ගිය විටදී එය පරීක්ෂා කර බැලීමට ඔහුම පෞද්ගලිකව පැමිණි බවත් එහි එක් ඇනයක් දෙකක් මලකා තිබෙනු දැක මුළු වාහනයම ප්‍රථික්ෂේප කල බවත්නම් මා හොඳා කාරවම දනිමි!

      Delete
    2. හැරී ජයවර්දනට අයත් stasan කියලා තේ කොළ කොම්පැනියට කොන්ටනර් ගෙනියන වාහන අදටත් ලංකාවේ තියෙන පිරිසුදුම කොන්ටනර් රථ වෙන්න ඕන. (අපි prime mover කියල සිංහලනේ කියන්නේ) රියදුරන් උනත් ඉතාම විනීත මැදිවියේ අය. මම aitken spence logistics එකේ වැඩ කරපු නිසයි දන්නේ. ඇත්තටම මොනවා නැතත් ඒ කොලිටි එක නම් මරු.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  5. වාහනේට ස්තුති කරන්න තට්ටුවක් දානවා කිව්වාම මට මතක් උනේ මගේ යාළුවෙකුට උන සිද්ධියක්. ඔහු මිලදී ගත් වාහනයේ යතුර ඔහුට බාර දීලා He will look after you කියලා වාහනේට තට්ටුවක් දමමින් පරණ අයිති කාරයා කිව්වා. ඊට පස්සේ, සතියකින් විතරත්, නැවත මාස කිහිපයකට වරක් බැගිනුත් යාළුවාට කෝල් කරලා how is she? කියලා වාහනයේ විස්තර අහලා බලනවා. අපි දෙන්නාටම මේ මනුස්සයා වාහනයට තියන බැඳීම/ආදරය ගැන පුදුමයි.

    ලංකාවේ වාහන අංක වල එකතුව 13 එන ඒවා බොහොමයක්ම රජයේ හෝ ලොකු සමාගම් වල වාහන. වාහනයක් අලුතෙන් ලියාපදිංචි කරන පෞද්ගලික අයිතිකරුවන් කොහොම හරි 13 මගහරින්න උත්සාහ කරනවා.

    මගේ වාහනේ බොහොම පිටිසර තැනක (කළු ගඟේ දුම්බර? නම්බපාන? තොටුපොලෙන් එගොඩ වෙලා යන්න තියන ගවරගිරියේ) ඇක්සිඩන්ට් උන වෙලාවේ ඒක යාන්තමට එලවන්න පුළුවන් කම තිබුනට බ්‍රේක්/හෑන්ඩ් බ්‍රේක් දෙකම නැතුව බොහොම කඳු පල්ලම් තියන ඒ පාර(පාර කිව්වට රෝද ට්‍රැක් විතරක් තියන කැලෑ පාරක්) දිගේ එලවාගෙන ආපු එකත් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

    පරණ මිනි එකක්, එහෙම නැත්නම් ෆොක්ස්වැගන් එකක්,හෝ පරණ ලෑන්ඩ් රෝවර් එකක් restore කරන්න මගේ හිතේ ලොකු අසාවක් තවමත් තියනවා.

    //මාගේ ආදරණීය මිනියේ දුක්ඛ දායක වෙන්වීම එන සතියේ . . .!// පියේහී විප්පයෝගෝ දුක්ඛෝ

    ReplyDelete
    Replies
    1. ඔව් සැම් මහත්තයා මමත් වාහනයක් විකුණපු බොහෝ අවස්ථාවලදී එය හොඳින් රැක බලා ගන්න යැයි පවසා තිබුනා. ඒ වගේම් නැවත එම වාහනය විකුණන්නේනම් මාහට දැනුම් දෙන මෙන්ද ඉල්ලා සිට ඇත.
      ඔව් අපේ වයසේ බොහෝ දෙනා ඉංග්‍රීසි වාහන වලින් ඩ්‍රැයිවිං උගෙන ගත්තු අය. ඒ නිසාම බ්‍රේක් එක පාගන්නේ ගියරය පහලට අමුනන ගමන්. ඒ නිසා ගියර වල එලවා මනා හික්මීමක් තියෙනවා. සාමාන්‍යයෙන් මා අසා ඇති පරිදි කන්දක් නැගීමට භාවිතා කල ගියරයම එම කන්ද නැවත බැසීමේදී භාවිතා කල යුතු බව ලංගමයේ උගැන්වෙනවාලු. මම අදටත් හැකි හැම වෙලාවක දීම එය අනුගමනය කරණ්නෙක්. වසිකටත් එය කදිමට හුරුව ගිහින්!
      ඔව් පරණ වාහනයක් ගොඩ දැමීම කියන්නේ එක අතකින් සතිටක් දනවන කරුණක්.
      අනෙක් අතින් මහත්වූ කුසල කර්මයක්!

      Delete
    2. Talking about driving on the right gear, once I had a chance to drive a Ashok Leyland Comet with a tile load from Nigombo to Galle. My friend's advice before giving me the wheel was drive this as if there is no brake (control the speed by gear change) and double clutch. It was so fun at the time, but had Wenivalgata at the end of the trip. Wijebahu

      Delete
  6. වාහන ගැන උනන්දුව නම් බිංදුවෙය
    අන් අය වඩම්මන හින්දා යන්නේය
    එනමුත් ලිපිය බැලුවේ රස හින්දාය
    කළගුණ- තුති පිදුම නම් හරි අගනේය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදී මහත්තයා!

      Delete
  7. නියමයි. වාහන ගැන එච්චර උනන්දුවක් නෑ, ඒත් පොඩි, පොඩි දේ තනියම කර ගන්නවා. මේක ලියන රටාව හරි අගෙයි. අර පැත්තක තියෙන දිනපොත ඊටත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මෙන්ම සෙනෙහසින් යුතුව පිළිගන්නවා! බලන්න කොහේ හරි අස්සක මුස්සක ඔබට ගැලපෙන ආසාවෙන් කියවිය හැකි එක් ලිපියක් හෝ ඇති! ස්තූතියි ගොඩ වැඩී නැවතී මදක් හෝ දොඩමළු වූවාට!

      Delete
  8. බ්‍රේක් වැඩක් නෑ තට්ට මහත්තයො ඔන්න ඇංගිම ගලෝල ඩිකියෙ දාගෙන ඒ වාහනේම පංචිකාවත්තෙ ගියානං තමයි ඔන්න හපංකම. හැක්..

    ReplyDelete
    Replies
    1. අහා එහෙම එකක් කලාලු ෆොක්ස්වැගන් එකක් ගත්තු එකෙක්! අහලා තියෙනවා නේද?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...