කාලය සෙමෙන් ගෙවී ගියේය.
අප පාසල් සිසු භාවයෙන් ඉක්මෙන්නට ආසන්න කාලයේ යාන වාහන තිබෙන මිතුරන් වූයේ; ආනන්දයේ රන්ති රොහාන් ගමගේ සහ දැනට කැන්ගරු දේශයේ පසුවන එවකට මාතර කාලිදාස පාරේ විසූ එස් ඩී ලියනගේය.
රන්තිගේ පියා මොරටුවට පැමිණ තිබුනේ පියානෝ පොලිෂ් කරණ්නෙකු ලෙසය. පසුව ලී බඩු කඩයක් හෙවත් වඩාත් ගෞරවාන්විතයෙන් පවසනවානම් ගෘහ භාන්ඩ නිෂ්පාදනයට හා ලී වෙළෙඳාමට යොමුවූ අයෙකි.
රන්ති පාසලේ අටේ නමයේ පන්ති වල සිට ලී ලෝඩ් එකක් ගැසූ අශොක් ලේලන්ඩ් රථය පැදවීමට සමතෙක් විය.
පාසැල් ජීවිතයෙන් සමුගැනීමත් සමග කාර් සේල් එකක් පටන් ගත් ඔහුට වාහන වලින් අඩුවක් නොවීය.
එස් ඩී ලියනගේ යනු මාතර වයින් ස්ටෝරුව අයිති ඊබල් සිල්වාගේ දෙවන පුතාය. එකල ඔවුන් සතු ලොරි රථ තුනක් හා ලොකු කුඩා වාහන කිහිපයක් තිබුනු මුත් කිසිදු දිනෙක අප සමග වල බැසීම සඳහා ඒවා භාවිතයට නොගැනුනි!
රන්ති මීට හාත්පසින්ම වෙනස් මිතුරෙකි.
අපගේ ඕනෑම ලොකු කුඩා අවශ්‍යතාවයක් සඳහා ඔහුගේ රථ වාහන පෙල ගැසී තිබුනි.
ඔහු සතුව තිබුනු අනේක විධි රථාතර මාගේ සිත්ගත් එකම රථය වූයේ Fiat X 1/9 රථයය.
ඉහත දැක්වෙන Fiat X 1/9 ලින්කුවට ගොඩ වැදී මෙම රථය ගැන කරුණු කාරණා බලා කියා ගන්නට පුළුවන් උනද; "බහු ජන සුඛාය" වෙනුවෙන් පොඩිත්තක් ලියන්නම්.
මෙය දොර දෙකේ දෙදෙනෙකුට පමනක් ගමන් කල හැකි වාහනයකි.
අප සාමාන්යයෙන් දන්නා මයිනර් මොඩලයේ වාහන වල එන්ජිම ඇත්තේ ඉදිරිපස වන අතර එළවෙන්නේ පිටු පස රෝද දෙකෙනි.
ෆෝක්ස්වැගන් රථයේ එන්ජිම පිටු පස වන අතර එලවෙන්නේ පසු පස රෝද යුගලයෙනි. නවීන මෝටර රථ හැම එකක්ම පාහේ එන්ජිම ඉදිරියේ වන අතර දිවවෙන්නේ ඉදිරි පස රෝද යුගලයෙනි.
මෙම ෆියට් X 1/9 රථයේ එන්ජිම සවිකොට තිබුනේ රියැදුරු කුටියට පසුපසින් පිටුපස රෝද යුගලයට ඉදිරියෙන් රථයේ හරි මැද්දට වෙන්නටය. මේවාට කියන්නේ mid Engine කියාය. මෙම රථය Mid Engine Rear Wheel Drive හෙවත් පසුපස රෝද යුගලයෙන් ධාවනය වේ.
මේ නිසාම මෙහි පිටුපස ඩිකිය හෙවත් බූට් එකට අමතරව ඉදිරියේද බොනට්ටුවට යටින් විශාල ඉඩක් බඩු බාහිරාදිය ගෙන යාමට සකස් කොට තිබුනි. සාපේක්ෂව එය පසුපස ඩිකියට වඩා විශාල ඉඩකි.
මෙම රථය සැලසුම්කොට නිර්මානය කොට තිබුනේ Guruppo Bertone වෙනුවෙන් Marcello Gandini වන අතර රථයේ ඔහුගේ සලකුණද සවිකොට තිබුනි.
වහලය ඉවත් කල හැකි වන අතර එය ඉදිරි පස බොනට්ටුව හැර එය තුල තබා ගෙන යා හැකිය.
මෙම රථය කලක් ලඟ තබාගෙන සිටි රන්ති හදිසියේ විකුණා දමා ගෙන ආවේ නිසාන් පල්සර් රථයකි! එකල රිට්‍රැක්ටබල් හෙඩ් ලයිට් නො එසේනම් ගිලී තිබී දල්වන විට පමණක් ඉහලට එසවෙන ප්‍රධාන පහන් සහිත රථ වලට තිබුනේ එකසිය ගානට වූ පිලිගැනීමකි.
කාලය මෙසේ අන් සතු වාහන අතරේ ගෙවී යද්දී මටම කියා මෝටර් රථයක් ගැනීමේ උවමනාවක්, ආශාවක් හා අවශ්‍යතාවයක් පන නැගුනි. එදා සිටම ෆෝ වීල් උණ හිස මුදුනටම වැළඳී තිබුනු මා ෆෝ වීල් රථ දෙකක් මිළදී ගැනීමට ගියද එම රථ දෙකම ඉතාමත් කණගාටු දායක ලෙස ගිලිහී ගියේය. එම රථ පිළිබඳව පසුව කථා කරමු.
ඉන් පසු මා දිනෙන් දින වැඩෙන්නාවූ උනන්දුවෙන් යුතුව මෝටර් රථයක් සොයමින් වනාතර තුර; දෙහිවල කාර් සේල් එකක් තුල නිල් පැහැති සුපිරි මෝටර් රථයක් තිබී ඇහැ ගැටුනි.
එය මිළදී ගැනීමට ගියේ මමත් රන්ති රොහානුත් ය.
මුලින් ලොකු ලොකු ගනන් කීමෙන් අනතුරුව රන්තිගේ මැදිහත් වීමෙන් එය රුපියල් 37500/= කට මිළදී ගැනීමට හැකි විය.
දිනය 1992/01/16 ය. අදින් අවුරුදු 29 කට පෙර දිනයකි.
එය සුපිරි වාහනයක් විය.
එහි මුල් අයිතිකරු වූයේ කහවත්තේ ගුරුගේ මැණික් මහතාය! එය පාවිච්චි කොට තිබුනේ ඔහුගේ පයිලට් බෑනා බව කාර් සේල් එකෙන් වාහනය රෙකමදාරු කිරීමේදී පැවසුවේය.
Fiat 132 2000CC Twin Cam 16 Valve රථයකි.
මදි පාඩුවට A/C, Power Steering ය! වර්ණය සැට්‍රන් බ්ලූ යනුවෙන් පොතේ සඳහන්ව තිබුනි.
මෙම රථය මිළදී ගන්නා අවධිය වන විට මා කිසිදා වාහනයක් තනිව පදවා නොතිබුනි. අයියාගේ ෆියට් රතයේ එක් දිනක් තුල එක් වරක් හෝ දෙවරක් ගියර මාරු කර පදවා තිබුනි.
එකල මා නැවතී සිටි පිට කොට්ටේ නිවසට රතය ගෙන ගොස් දුන්නේ කවුරුන්දැයි මාහට නිවැරදිව මේ මොහොතේ මතකය නො ඒ!
කෙසේ හෝ රථයේ රේඩියේටරයේ තිබුනු කුඩා කාන්දුවීම සකසා ගැනීමට බාසෙක් ලඟට ගෙන ගියේ නම් පිට කොට්ටේ 585/B නිවසේ කුකූ විසින්ය.
සියල්ල අවසානයේ; කාරය මිලට ගෙන සතියක් ගත වෙන්නටත් මත්තෙන් මාහට රථය යටියන්තොට ගෙන යාමට අවශ්‍ය විය.
ඒ වන විට මෙම රථයේ එන්ජිම පන ගැන්වීම හා නිවා දැමීම හැරුණු කොට ගෙන මා කල කී දෙයක් නොමැති විය!
කුකූට කතා කලද ඔහු යටියන්තොට යෑමට එකඟ කර ගැනීමට නොහැකි විය.
පසුව මා නුගේගොඩ 168 බස් නැවතුම වෙත ගොස් එතැන වේලි වේලි සිටි රියැදුරෙකුට කථා කලෙමි.
කොටින්ම වැඳ වැටුනෙමි.
එහෙත් ඔහුව එකඟ කර ගැනීමට නොහැකි විය.
අවසානයේ ඔහු එකඟ කර ගත හැකිවූවේ මාගේ පන හා සමාන රථය පිට කොට්ටේ සිට නුගේගොඩ බෝ ගහ හංදියට හෙවත් හයිලෙවල් පාරට ගෙන ඒමට පමණය!
මාගේ බලාපොරොත්තුව එතැන් සිට සෙමෙන් සෙමෙන් යටියන්තොට වෙත රථය ගෙන යෑමයි!
ඔහු සමග මා පිට කෝට්ටේ සිට නුගේගොඩ වාහනය ගෙන එමින්ය!
"දැන් මෙතන ඉඳන් වාහනේ ගෙනියන්නේ කවුද?" ඔහු විමසුවේය.
"මම!"
"ඔයාට ඩ්‍රැයිවිං පුළුවන්ද?"
"බෑ!"
"ඉතිං බැරි නම් ඔයා කොහොමද ගෙනියන්නේ? පිස්සු වැඩ කරණ්න එපා!"
වාහනය නුගේගොඩ බෝගහ හන්දියෙන් මහරගම පැත්තට මුහුණ ලා නෙලූ ඇඩ්වටයිසිං සමාගම පසු කර නැවැත් වුනි!
ඔහුට පොරොන්දු වූ ගනනට වඩා රුපියල් 50ක් ඔහුගේ අත තැබීමි.
"අනේ ඔයා යන්න එපා! එහෙම වාහන කියන ඒවා ගෙනියන්න පුළුවනෑ!? අඩු ගානේ මොටූ සයිකල් ලැයිසමක් වත් නෑ නේද?" ඔහුගේ මුහුනේ අනුකම්පාව දෝරේ ගලා ය!
"ප්‍රශ්නයක් නෑ! ඔයාට එන්නත් බෑ නේ! මම යන්නම්!!"
මා රථයට ගොඩ වැදී දොර වසාගෙන එන්ජිම පන ගන්වා පලමු ගියරයට ලීවරය මාරුකොට ගෙන ක්ලච්චය සෙමෙන් මුදා හැරියෙමි.
රථය මදක් ගැස්සී සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය.
මා අඩි දෙතුන් සීයක දුරක් යන ගමන් වින්ඩ්ස්ක්‍රීනයට ඉහලින් සවිකොට තිබුනු පසුපස බලන කණ්නාඩියට ඇස යොමු කලෙමි.
මාගේ ආදරණීය රියැදුරු මහතා ඉනට අත් දෙක තබාගෙන තවමත් බලා ගත් වනමය!
මා එක් වරක් දෙවරක් රථයේ වේගය අඩු කොට බැලුවෙමි. ගැටළුවක් නැත. වාහනය හොඳින් කීකරුය!
තවත් කෙටි දුරක් පදවාගෙන එද්දී හමුවන යමුනා ටුවර්ස් ආයතනය අසල වංගුව ඔස්සේ පදවමින්බලද්දීත් ඔහු එතනම නැවතී එසේම සිටිනු මා අවසන් වතාවට දුටුවෙමි.
වේලාව උදෑසන 10.00 ට පමන වන්නට ඇත!
දිනය සතියේ දිනයක් ද නො එසේ නම් සති අන්තයක් දැයි මා හට අද වන විට නිනව්වක් නැත.
මා සෙමෙන් සෙමෙන් මහරගම හෝමාගම ආදී නගර පසු කර ගියෙමි.
කිසිවෙකු හට මා පාර අවහිර නොකලෙමි.
මා අවිස්සාවේල්ල පසු කරණ විට රියෙදුරෙකු වී අවසානය.
යටියන්තොට පසු කොට යන විට මා කුඩා ගියර වලට ගියර පෙට්ටිය පසු බස්සමින් වාහනයේ වේගය හා පාලනය මාගේ අණසකට නතු කොට ගෙන අවසානය!
මා හොඳ රියෙදුරෙකු ලෙස පැය ගණනාවකින් හක්බෙලාවකට සේන්දු විය!
සත්තකින්ම මාහට එය අදත් ආශ්චර්‍යයකි.
ඒ සියල්ල පසු පස ඇත්තේ කුඩා කල සිට ලංගම බස් රථවල රියැදුරන්ගේ සුරු විරු කම් පිළිබඳව තිබුණු දැඩි ආශාව හා විමසිලිමත් කම මය.
අද වන විට අපේ ඩ්‍රැයිවිං දැක; "ඩ්‍රැයිවිං අප්ශැට්!" කීවද අපිට නම් අපි පොරවල් ය!