Monday, December 9, 2019

157. කළු ගඟදිගේ . . . . . . 16

අවසානය
 ජීවමාන පාලමක්  - තුරු වදුලෙන් එබී බලා . . . !

සුදා සහ තෙශා විසින් ගෙන එන ලද බත් ගෙඩි හතර පාර අයිනේ ලෙහාගෙන කෑ අපි ඉක්මණින් දියත් වුනෙමු. 

ගඟ අයිනේ ගිනි අවුවේ පැසෙමින් තිබුණු කයාක කොත්තු තැටි සේ ගිනියම් වී තිබුනි. අප සතු සියලු රෙදි පෙරෙදි ගල් මත එලා වේලා ගත් පසු සියල්ල පිළිවෙලට අඩුක් කර ගැනීමෙන් ඉක්බිතිව කෑමට පසු පලමු හබල් පහර ගැසුවෙමු. 

එතැන් සිට ගඟේ තිබුනේ ඒකාකාර රටාවකි. සාමාන්‍යයෙන් ගඟක් පළලින් අඩුවූ විට එහි ගලා යාම වේගවත්ය. එසේම එහි යාත්‍රා කරණ කෙනෙකුට දැනෙන සුළුය. එහෙත් අතිශය පළලකින් යුත් ගඟාවක්; ගඟාවකට වඩා කිට්ටු වන්නේ විලකටය! එවන් ගඟක යාත්‍රා කිරීම අතිශයින්ම මනස වෙහෙස ගන්වන සුළුය. එය තනි යායට දිගට පෙනෙන විට තත්වය වඩාත් බරපතලය! 

ඈත පෙනෙන ඉමක් වෙත ලං වන්නට පැයකට ආසන්න කාලයක් හබල් ගැසීමට සිදුවීම සමාන කල හැක්කේ; ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරයක ඇවිදීමකටය! ගල්පාතින් පසු ගඟ මේ සියළු කාරණා වලට නිදසුන් සපයමින්ය! 

 මෙසේ පැය දෙකක පමණ කාලයක් ගෙවමින් හබල් ගැසූ පසු අප ඉවුරක නිවෙසක් පෙනෙන තැනකට සේන්දු උනෙමු. එම නිවසේ ගෘහපති - අයියා අප සමග මදක් දොඩමළු විය! 
පසුව අපගේඉතිරි ගමනට අවශ්‍ය අවශේෂ කලමණා මොනවාදෝ ; අසල කඩේකින් ගෙනැවිත් දෙන්නට ඔහු කාරුනික විය. මතක ඇති තැනකට ගඟේ ඉවුර අසල යම් පමනකට හෝ බිම පය තබන්නට හැකි ස්ථානයක් වුනි නම් ඒ මෙම ස්ථානයේ පමණි. 

 ගෙදර අයියාව කඩේ යවන්නට මොහොතකට පෙර . . !

එම ස්ථානයෙන් මදක් එබී බැලූ විට දක්නට ලැබෙන්නේ මෙම පෝස්ටුවේ "පෙරවදන" ලෙස දක්වා තිබෙන දසුනය!
 ඒ මෙතෙක් අප පසුකල ගමන් මග තුල දක්නට ලැබුණු විශාලතම පාලම් රාජයාය! දක්ෂිණ ලංකා අධිවේගී මාරගය සඳහා  කලු ගඟ මතින් ඉඳිකොට ඇති මෙම පාලම; ගඟ මැද දරා සිටින්නේ විසල් කනු දෙකක් මත පමණි. 

එම පාලම දකිත්ම සිතට ඇතිවන්නේ ඩයිනෝසරයෙකු දකින විට ඇතිවිය හැකියැයි උපකල්පණය කල හැකි ආකාරයේ කිසියම් බිය උපදවන සුළු හැඟීමකි! ඒ මන්දැයි අද ද  සිතා ගත නොහැකි වුවද එම පාලම යටින් ගමන් ගනිත්දී; කුඩා කල අලියාගේ බඩ යටින් රිංගා යාමේදී ඇතිවූ හැඟීමට සමාන හැඟීමක් සිතට කාන්දුවිය.  


 හිතා ගන්නකෝ අපි නිකං පොල් ලෙලි . . !

එතැන් සිට ඒකාකාරී ගඟ දෙපස මිනිස් පුළුටක් වුනි නම් ඒ අතිශයින්ම දුර්ලභ ලෙසය. 
ගඟේ ඉවුර අසල පවා අධික ගැඹුරකින් යුක්ත වීම නිසා තම එදිනෙදා කටයුතු සඳහා ගඟ ප්‍රයෝජනවත් සම්පතක නොවන හෙයින් මිනිසුන් ගඟෙන් ඈත්ව ජීවත් වනවා විය හැකිය. 

එසේම කළු ගඟ සාපේක්ෂව දැඩි ලෙස ගං වතුර තර්ජනයන් ගෙන දෙන සාධකයක් වන බැවින් ගඟ හුදෙකලා කොට මිනිසුන් ඈත්ව ගොසින්ද? සිතා ගත නොහැක. රත්නපුර, හොරණ ආදී ප්‍රාදේශවලට විනා මේ පලාත්වලටද ගං වතුර තර්ජනයන් වෙත්ද?

දිනය මහළු වියට පා තබා ඇත. හිරු; ගඟ අවට ඇති ගස් වල දිගු සෙවනැළි ගං දිය මත අඳිමින්ය. පසුගිය කාල සීමාවතුල දිගින් දිගටම වට වැස්ස අදත් හවස් අතේ නොලැබේවි යැයි සිතා ගත නොහැක. අහසේ එකදු වළාකුලක් හෝ නැති තරම්ය. මෙතෙක් අව්වෙන් සිදුවූ ආපදා - අපල උපද්‍රව බොහෝ සෙයින් අවම වී ඇත. එහෙත් දහවලේ අත් පා පිළිස්සුණු තැන් තදින් දා යනු දැනෙයි. 

ගංඟාවේ ඉවුරු දියෙන් මතුවූ ගස් වලින් සරුසාර ලෙස වැසී ගොස්ය. අපට කුමණ හේතුවකට හෝ ගමන නවතා ඉවුරකට ගොඩ බැසීමකට කෙලෙසකින් හෝ නොහැකි තරමට එකකට එකක් ලංව ගස් හටගෙනය! ගඟේ ඉවුරු අසල ගස් වැල් වල සෙවනැළි පතිතවී අඳුරු ස්වභාවයක් ගෙන තිබුනි. මේ නිසාම ඉවුරට ඈතින් අප යාත්‍රා කලෙමු.


 සොවින් පිරි මගේ හදවත - තුළින් මතු වෙවී පිටවන
හැඟුම් කැටි ගැසී ගෙනදේ - සිතට වේදනා . . . 
සුවෙන් මා එදා සැතපුණු - යහන් මත මහත් විෂකටු 
තිබෙන්නාවු ලෙසට දැනේ - ගතට වේදනා . . .//

(රිච්මන්ඩ් කාසල් පියස)

තවත් දුරක් පැදගෙන ආවිට; මා ගමන පිටත්වූ මොහොතේ පටන් දකින්නට බලා සිටි මන්දීරයක පියස්ස ඈතින් දිස් විය. 

එය අනෙකක් නොව "රිච්මන්ඩ් කාසල්" මන්දීරයයි. 

මෙය නැරඹීමට පැමිනෙනවානම් කළුතර සිට ගඟබඩ පාරේ පැමින පලාතොට හංදියෙන් කෙත්හේන පාරේ පැමිණිය යුතු වෙනවා. 

අක්කර 42 ක භූමි භාගයක් පුරා විහුදුනු; කළු ගඟට යාබද ඉඩමක උස් කඳු ගැටයක් මත මෙම විසල් මංදීරය පිහිටා ඇත. 1910 දී ඉඳි වන මෙම මන්දීරය කළුතර දිසාව භාරවවූ මහ මුදලි දොන් ආතර්ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිවෙසයි.

මෙතුමා විවාහ වන්නේ  දිසා කළුතර දිසා විනිසුරුගේ දියණිය වන ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර  සමගයි.

එහෙත් දශක තිහක පමණ කාලයක් තිස්සේ විවාහ ජීවිත ගත කලවුනට දරුවන් නොසිටි අතර සූරිය බණ්ඩාර ළමාතැනී  මන්දීරයේම සේවකයෙකු සමග අනියම් සබඳතාවයක් ඇතිකරගත් බවක් ව්යවහාරයේ පවතී.

මේ සියල්ලෙන්ම සිත කලකිරුණු මුදලිතුමා මන්දීරයෙන් හා ළමාතැනීගෙන් වෙන්වී මහනුවර ක්වින්ස් හෝටලයේ; 1947 වසරේදී මියෙන තුරු ජීවත් වුනු බවක් සැලකේ.

ගූගල් වෙතින් - රිච්මන්ඩ් කාසල්

යාන්තම් වහලය පමනක් පෙනෙන රිච්මන්ඩ් කාසල් මන්දීරය ගඟ දිගේ ටික දුරක් පහලට යත්‍රා කිරීමේදී තරමක් පෙනෙන්නට ගනී. 
මීට කලකට පෙර "රැජින" පුවත් පතේ මෙම රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය කොටස් වශයෙන් පලවූවා සේ මට මතකය. 
පෙලින් පෙලට සියලුම කොටස් කියවීමට නොහැකිවුවද එම කාථාවේ ඇති දැඩි ශෝකාකූල බව මේ මොහොතේ මාගේ මතකයට ආවේය. 

මලහිරු ගඟ දිගේ මලාණික එළියක් විහිදුවමින් මුහුදේ ගිලෙන්නට ආසන්නවය. හාත්පසින්ම දිගුවූ සෙවනැලි වලින් ගඟේ බොහෝ කොටසක් ආවරණය කරගෙනය. මුහුදු සුළඟින් ගඟාව රැළි නංවමින්ය. සිසිල් සුළඟක් ගතට සිසිළසක් ගෙන එමින්ය. මුළු ගංගාව පුරාවට හාත්පසම  පාලුවට ගොස්ය. අපේ යාත්‍රා දෙක හා ඈත අහසේ; නිවෙස් බලා පියාඹා යන සියොතුන් හැරුනුකොටගෙන  වෙනත් කිසිම ප්‍රාණියෙකු දක්නට නොහැක. මේ සියල්ල අතරිණ් මගේ මනසට රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය ගෙන ආවේ වචනයෙන් විස්තර කල නොහැකි දුකකි. ඔහු මේ ගඟ දෙස බලා මොන තරම් නම් සුසුම් හෙලන්නට ඇතිද? 


සිනෙක් - බය හිතවන ස්ථානය - කළුතර . . !

 ගඟේ එක් ඉවුරක; ඔව් දකුනු පස ඉවුරේ; රිච්මන්ඩ් කාසල් එක තිබුනේ වම් පස ඉවුරේ; අමුතුම ආකාරයේ බෝට්ටු වැඩපොලක් වැනි ස්ථානයක් ඇත. එය සිනෙක් ආයතනය සතු බව එහි ලියා ඇත. 

මා සිතන පරිදි එය සිනෙක් විදුහලෙන් උගෙන ගන්නා නැවියන් හට ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ස්ථානයක් විය! එය පසුව සොයා බලද්දී එය CINEC- Department of Safety & Survival Training -  Ernest Peter Komorowski Survival Centre - Kaluthara  බව තහවුරු විය!


දිනය මහළුව ගොස් - ඉර ඕෆ් වෙලා පොත  අස්සන් කරණ්න යන ගමන් . . . ! 


 ගඟට කර්ෆිව් . . . !

පාලුවට ගිය ගඟාවේ කුඩා නැමි වලින් එබී බලත්ම හිත් සොයන දසුනක් වේ. ඒ කළුතර දාගැබේ සුදො සුදු කොත් කැරැල්ලය. 

මෙවිට දැනට කැංගරු දේශයේ සිටින වසික දිනෙක ඇසූ ප්‍රශ්ණයක් මගේ මතකයට ඒ.

"හරි කියන්න බලන්න කළුතර බෝධියේ කොත ගාළුපාරේ පලවෙනියෙම්ම පෙනෙන්නේ කොහේදිද කියලා?" 

"බෝධි වලට කොහෙද බං කොත් ?"

"ඒක තමයි!" ඌ නෝන්ඩි හිනාවක් මට දායි!

ඌට මාව වටේ අරිණ්නට බැරිවිය. 
එහෙත් මේ ලියන මොහොතේදී පවා ලියැවෙන්නේ "කළුතර බෝධියේ කොත් කැරැල්ල" යනුවෙන් යොදමින්ය. (ඇත්තටම මේක මට පමණක් ආවේණික රෝගා බාධයක්ද?)

එක් නැම්මකින් ගඟාවට ප්‍රවිශ්ඨ වත්දීම අවට තරමක දවල් එළියකින් සිරිගත් බවක් පෙණින. ඒ මුහුදු ඉමට ආසන්න නිසාදැයි මට සිතේ.

ඒ සමගම අපගේ වම් පසින් ඈත නුබ සිසාරා ඉහල නැගුණු; ශතසහස්‍ර දනන් සිත් පොබකල මහඟු දසුන දෑස් මාණයේ විය. 

කළුතර දාගැබ !

අප ගමන පිටත් වෙත්දීම අරමුණු කලේ කළුතර දාගැබ දැකීමය. සත්තකින්ම මා හට "සාදු!" කියැවින!



වදන් තුළ ගොළුව යන හැඟීම . . . . ! 

මා පසුපස හැරී බලන විට පසිඳු හා තෙශා රැගත් කයාකයද අප අසලට පැමිණෙමින් විය. අප එකට එක් වී සෙල්ෆියකට මුහුණ දුන්නෙමු. 

අප ගමනාන්තයට පැමිණ ඇත.  රත්නපුර මහ සමන්දේවාලය අසලින් ගමන් ඇරඹූ අප දින තුනක් ඇවෑමෙන් කිලෝමීටර 70 ක පමන ගමන් මගක් ගෙවා දමමින් දිස්ත්‍රික්ක දෙකක් හරහා පලාත් දෙකක් යා කොට ඇත!


 ගං සෙල්ෆි . . !




පාලම යට - කළුතර







අප සෙමෙන් සෙමෙන් කළුතර පාලම අසලට ගාල් වුනෙමු. පරිස්සමින් හා කල්පණාවෙන් කයාක දෙක ගොඩට ගත් පසු; සුදාත්, පසිඳුත්, තෙශාත්, මාත් අපි එකිනෙකා වැළඳ ගත්තෙමු. 

"මචං එකෙක්ගෙ වත් අතක් පයක් යාන්තමින් වත්  හීරිලාවත් නෑ නේද?" මා බිඳුණු ස්වරයෙන් උස් හඬින් ඇසීය. එම  ආමන්ත්‍රණය වඩාත්; එසේම අනවශ්‍ය තරම් හැඟීම් බර එකක් වූවාද?

"හීරිලාවත් නෑ නෙ!? - සමන් දෙවියන්ට පිං සිද්ධ වේවා!" මා දෙ අත් ලය මත තබා ඉහල අහස දෙස බලාගෙනම පවසනු මට අද වාගේ මතකය.


"අපි ප්‍රවේසමෙන් කළුතරට ආවා!" 
ආදරණීයන් වෙත ආරංචිය මුදා හරිමින්ම ලොරි පොඩ්ඩා සොයා විෂ්වගේ ගෙදර දෙසට මා පිටත් වුනෙමි.

"දිව ගිලෙන පිපාසෙට නොමැත දිය ගඟක් තුල
සිරුර දැවෙමින් තිබුණි සිසිළ නැත      ගං දියට
ඉවුර මත පිපුණු එක් මලකි අන් ගසක්       මත
සිතින් මල නෙලා විත් පුදමි එය          කළුතරට "


උප ග්‍රන්ථය
මෙම චාරිකාව තුලදී අප බහුල වශයෙන් පක්ශීන් දුටුවෙමු. 
එම සතුන්ගේ නමාවලිය පහත දක්වා ඇත. 
මින් අති බහුතරය දුටුවේ රත්නපුරත් ඉහල නරගලත් අතරදීය. 
මාහට නම් මේ සියල්ලෝම උඩයන කුරුල්ලන් පමණි.
 මේ පිළිඹඳව යම් ගැටළුවක් වෙතොත් පසිඳු අමරසිංහ ගෙන් විමසන්න. 
මේ තියෙන්නේ උන්නැහැගෙම අත් අකුරු නිසා නෑ! බෑ කියන්නට ඉඩක් නොමැත! 
ස්තූතියි!





34 comments:

  1. තවත් ගංචාරිකාවක අවසානය මෙසේ සනිටුහන් උනා එහෙනං.

    කළුතර දාගැබට වඩා බෝධිය ප්‍රසිද්ධ හින්ද ඒ සම්බන්ධව ලියවෙන හැමෙකටම බෝධිය කියල ලියවෙනව ඇති.

    එහෙනං ළඟදිම ආයිත් කොහේ හරි ගඟකදි හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. ඔව් තවත් ගං චාරිකාවක් අවසන් උනා. මම හිතන විදියට මම ආයෙමත ගං චාරිකා නොලියාවි. මොකද ඔබ තුමන්ලාටත් මේ ගං චාරිකා කියවලා ඇති වෙලා ඇති කියලයි මට හිතෙන්නේ. බලමු අළුත් දෙයක් කලොත් ලියන්නම්.

      හැබැයි අපි ඊළඟට හමුවන්නේ ගඟකදී නම් නොවෙයි.

      දිය යට දී . . . . . . !

      Delete
  2. 1 of 3

    සුදාගේ කතාව නොහොත් පළමු ගංගා සවාරිය...

    මට ජැක්සන් ඇන්තනීගේ ගඟ දිගේ වැඩසටහනේ මහවැලි ගඟේ ගියපු සීන් එක බලපු කාලේ ඉඳලම උනක් හැදුනා ඒ වගේ චාරිකාවක් යන්න.. කවදාහරි දවසක.. වෙන වෙන සංචාර ගියාට,, ඔරුපැදීමකට සෙට් වෙන පිරිසක්වත් හෝ ක්‍රමයක් තිබ්බේ නෑ හුඟ කාලයක්.. අවුරුදු 15 විතර පස්සේ තමයි චාන්ස් එක සෙට් උනේ... ඒකත් අමුතු විදිහකට... ඔන්න දවසක් සුපුරුදු පරිදි සිංහල බ්ලොග් කියව කියව ඉන්නකොට අහම්බෙන් තට්ටයාගේ කොලම බ්ලොග් එක සෙට් උනා... ටිකක් කියවනකොට තේරුනා අමුතු උනක් තියෙන ඩයල් එකක් තමයි මේ කියලා, කෝකටත් කියලා බුක්මාර්ක් පාරක් දාගත්තා බ්ලොග් එකට... ඕකේ තිබ්බ ගඟක් දිගේ ලේබල් එක යටතේ තිබ්බ පෝස්ට් ටික ඔක්කොම කියෙව්වා ඒවගේම සයිකලින්ග් ලේබල් එකත්,,, ඉතිං මට හිතුනා පොරට මැසේජ් එකක් දාන්න... මම බ්ලොග් එකේ තිබ්බ මැසේජ් සර්විස් එක හරහා මැසේජ් එකක් දැම්මා ඊළඟ ගංගා චාරිකාවකට මටත් සම්බන්ධ වෙන්න පුලුවන්ද අහලා..මාස ගානක් ගියා ප්‍රතිචාරයක් තිබ්බේ නෑ... මම ආයෙත් ඒ වගේම මැසේජ් එකක් දැම්මා...එතකොට කලු ගඟේ චාරිකාව පටන් අරන් තිබුනේ... ඔන්න සතියකින් විතර කෝල් එකක් එනවා මගේ පුද්ගලික අංකයට ලෑන්ඩ් නම්බර් එකකින්....
    XX : හෙලෝ....සුධාරකද....
    මම : ඔව්....
    XX : ඔබතුමා ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද ?
    මම : මොකටද ?
    XX : ඔබතුමාට වාසියක් වෙන දෙයක් කතා කරන්නේ...
    මම : මේක පිරමිඩ් හරි නෙට්වර්ක් මාකටින්ග් හරි දැනුවත් කිරීමක්ද..? ඔයාගේ නම මොකක්ද ?
    XX : අපෝ නෑ මාකටින් දෙයක් නෙවෙයි, මගේ නමට කියනවට වඩා....ඔබතුමාට වාසියක් විතරයි වෙන්නේ...
    මම : හ්ම් කියන්න...
    XX : ඔබතුමාගේ ගම කොහෙද ?
    මම : මාතර
    XX : වැඩ කරන්නේ කොහෙද...
    මම : පුද්ගලික ආයතනයක
    XX : කොහේද..?
    මම : සමාවෙන්න, ඉතුරු තොරතුරු දෙන්න තරම් හේතුවක් මට පේන්න නැහැ...තවදුරටත් කතා කරන එකේ තේරුමක් නෑ බොහොම ස්තූතියි...
    XX : හරි ඔයාට වාසියක් වෙන වැඩක්, ඔයාට අවශ්‍ය නැත්නම් කතාකරලා වැඩක් නෑ........
    ඩොක්........(ෆෝන් එක තිබ්බ සද්දේ)

    මමත් ඉතිං පාඩුවේ හිටියා මට පාන්ද කියලා....ඔන්න ටිකකින් ආයේ එනවා කෝල් එක

    XX : මම ඉස්සෙල්ලා කතා කලේ......පොඩි දෙයක් කියන්න තියෙනවා ,,,, මම තමයි තට්ටයාගේ කොලම ලියන තට්ටයා.....ඩොක්.........(ෆෝන් එක තිබ්බ සද්දේ)
    මම : හා......හෙලෝ.....හෙලෝ......

    පොර ෆෝන් එක තියලා එහා පැත්තේ....😀 මම හිතුවා හරි වැඩේ කෙල උනා තමයි කියලා...ඒත් මුලින්ම ඒක කිව්වා නම් මෙච්චර අවුලක් වෙන්නේ නෑ නේ... මොකද ඔච්චර ලොකු සීන් එකක් ගඟ දිගේ නාසි ගෝල්ඩ් ගෙනියන මිශන් එකක්වත්ද කියලා කල්පනා කර කර ආයේ මම ඒ නම්බර් එක්ට ගත්‍තා කෝල් එකක්

    මම : හෙලෝ ... (කෙල්ලෙක් 4න් එක උස්සලා එහා එන්ඩ් එකේ) මට අර කලින් කතාකරලා මහත්තයට කතා කරන්න පුලුවන්ද...?

    XX : සොරි මේක කමියුනිකේශන් එකක්...
    මම : හ්ම්ම්..
    ඩොක්.........(ෆෝන් එක තිබ්බ සද්දේ)

    දැන් මම කල්පනා කරනවා මේ නම් අමුතු ජීවියෙක් කොහොමද පොරව කන්ටැක්ට් කරගන්නේ කියලා.... කල්පනා ලෝකේ ගිලිලා ඉන්නකොට මට මතක් උනා තට්ටයාගේ කොලම බ්ලොග් එකේ තිබ්බ "පුරසඳ" ෆාමසිය ගැන, ඒකේ තිබ්බා ෆාමසියේ ෆොටෝ එකක්... බ්ලොග් එකේ ලියලා තිබ්බ්බ විස්තර එක්ක ෆාමසිය බොහොම හිතවත් වෙන්න ඕන පොර එක්ක,, ඒ උපකල්පනයෙන්..ෆාමසියේ ෆොටෝ එකට අහුවෙලා තිබ්බ ෆාමසි බෝර්ඩ් එකේ ගහලා තිබ්බ නම්බරේ අරන් කතා කලා ෆාමසියට
    මම : හෙලෝ පුරසඳ ෆාමසි
    ෆාමසි : ඔව් කියන්න...
    මම : මහත්තයා මම කතාකලේ පුද්ගලික කාරණයක් දැනගන්න.... අර බයිසිකල් පදින තට්ටේ තියෙන මහත්තයා ව සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් තියෙනවද...?

    මම බය නැතුව එහෙම ඇහුවේ ෆාමසියෙන් ලොක්කයියට තව කෙනෙක් සෙට්වෙලා තිබ්බා බයිසිකල් පදින්න. ඒක බ්ලොග් එකේ ලියලා තිබ්බා.. ඒ නිසා මට විශ්වාසයක් තිබ්බා නම්බර් එක හම්බෙයි කියලා..

    ෆාමසි : ඔව් එයා අපේ හොඳ හිතවතෙක් මට ටිකවෙලාවක් දෙන්න මම එයාට කතා කරලා නම්බර් එක දෙන්නම්

    ඔන්න ටික වෙලාවකට පස්සේ ෆාමසියෙන් නම්බර් එක හම්බුනා...

    ඊට පස්සේ ලොක්කයියාට මම කෝල් එකක් ගත්තා මිනිහා අහනවා කොහොමද නම්බර් එක හොයාගත්තේ කියලා....😉... මට ආයේ කතා කරන්න හිටියේ කිව්වා පස්සේ....🙂....කොහොමින් කොහොමින් හරි... අපි කතා කරගත්තා චාරිකාව යන්න...හැබැයි ඇනෝගේ ප්ලේස් එකට පොර ආවේ නැති උනොත් විතරයි කියන කොන්දේසිය යටතේ.....ඇනෝ අසනීප සීන් එකක හිටියේ මම හිතන්නේ....

    ඊ ළඟ...

    ReplyDelete
    Replies
    1. මට මැවී පේනවා කෝල් එක ගියාම තට්ටය්යා ඔලුවේ අත ගහගෙන කල්පනා කරනවා "මු පෝන් නොම්බරේ හොයා ගත්තේ කොහොමද " කියලා .

      Delete
    2. ඔව් බං ඇත්තටම මම කොර උනා කියහංකො!?!?!?!?

      Delete
  3. 2 of 3

    ලොක්කයියා එනවා කියපු වෙලාවට කලින් මම පාන්දරම නැඟිට්ටා නැඟිටලා කෝල් එකක් ගත්තා

    ආ මල්ලී මම දැන් පානදුරේට එන ගමන්..

    අයියේ කොහේද ඉන්නේ...?..

    මචං මම හොරණ...

    ඕකේ අයියේ පානදුරේට කිට්ටු වෙනකොට කෝල් එකක් ගන්න මම මඟට එන්නම්..

    මම එහෙම කිව්වා... මගේ පුරුද්දක් තමයි පරක්කු නොවී අපායට උනත් යන එක..කලින් කතා කරගත්තේ ලොක්කයියා එනකොට හොරණදි කෝල් එකක් දෙනවා මම පානදුරේ ස්ටෑන්ට් එකට එනවා එතනින් සෙට් වෙලා කලුතරට යන්න... ඒ නිසා මම කල්පනා කලා ඇයි ලොක්කයියා එනවා කියලා කිව්වේ නැත්තේ කියලා මේකා පානදුරේට ඇවිල්ලම මට කතා කරන්න හිටියාවත්ද එතකොට බුවාට, මම රෙඩි වෙනකන් ඉන්න වෙනවා නේද ... ඔය කල්පනාවෙන්ම මම ඉක්මනට ලේස්ති උනා ඇස්බැස්ටෝස් ටේප් එක සහ ගලවුස් කුට්ටම් හතර දාගත්තද කියලා දෙතුන් සැරයක්ම බැලුවා.. පළවෙනි ට්‍රිප් එකම සවුත්තු වෙන්න ඕන නැති නිසා.(මේවා ගන්න කියලා කිව්වේ කලින් දවසේ රෑ කඩ වහන ටයිම් එකේ...😀....පානදුරේ ඇරලා තිබුන අන්තිම හාර්ඩ්වෙයාර් එකෙන්..යන්තම් ගත්තේ...).

    විනාඩි පහලොවක් විස්සක් යන්න ඇති ලේස්ති වෙන්න උපරිම ... ඔන්න ලොක්කයියාගෙන් කෝල් එකක්....

    මචං මම පානදුරේ උඹ කොහෙද ඉන්නේ.....

    ලොක්කයියා කෙලගෙන ඇවිල්ලා....මම පොරට මම ඉන්න තැන කිව්වා...වැඩි හොඳට කලින් දවසේ ලොකේශන් එකත් වට්ස් ඇප් ගෲප් එකට දාලා තිබ්බේ.. මම හිතන් හිටියේ කලින්ම ටවුන් එකට යන්න..ලොක්කා හිතුවොත් මුගේ ලොකු සීන් ළඟට වඩම්මනකන් හෙලවෙන එකෙක් නෙවෙයි කියලා.... විනාඩි 5යි පයින් යන දුර..ඕක මහදෙයක් නෙවෙයි නේ ඇවිදන් යන එක... කොහොමහරි ලොක්කයියාගේ අධික වේගය නිසා මම ඉන්න තැනටම එන්න උනා..😀😀

    වාහනේ නතර කරලා තිබුනේ මම ඉන්න තැනට මීටර් 100කට අඩු දුරකින්..දොරවහලා එතනට යන්න උපරිම විනාඩි 2ක් යයි... මම යනකොට බුවාට මල විකසිත වෙලා... දැන් ඔය කිය කිය යන්නේ මම විනාඩි 10ක් ගත්තා කියලා 😀.. ලොක්කට කශ්ණික නින්දක් යන්න ඇති තප්පර ගානක..විනාඩි ගානක් විදිහට දැනෙන..කොහෙද කිව්වට පිලිගන්නේ නෑ...

    කොහොමින් හරි අපි දෙන්නා කලුතර බලා ආවා.. එන අතරේ ලොක්කා එක එක ඒවා කියෝනවා....මම හිතුවා ලොක්කයියට නිදිමත නිසා හරි එහෙම නැත්නම් පට්ට මලෙන් ඇත්තේ කියලා කෝකටත් කියලා මම ශේප් එකේ හිටියා....අපි කලුතර වාහනේ දාලා පොලීසිය ඉස්සරහින් කලුතර හොරණ බස් එකට නැග්ගා...බස් එකේ යන ගමන් ලොක්කයියා එක්ක කතාබහ කර කර බැල්ලපිටියට ගිහින් බැල්ලපිටිය හංදියෙන් බැහැගත්තා බැහැලා ත්‍රීවීල් එකකින් පසිඳු සහ තෙශාන්ත ඉන්න තැනට ආවා. ඒ එන මඟ ෆොටෝවක් තමයි ලොක්කයියා කලින් පෝස්ට් එකකටත් දාලා තිබ්බේ...

    ReplyDelete
  4. 3 of 3

    ඇත්තටම මම කට්ටිය ලයිව් දැකලා තිබ්බේ නෑ...අපි එතනට යනකොට කයැක් දෙක බාලා පාලම යට ඉවුර උඩ සෙට් කරලා තියෙනවා යන්තමට දැක්කා... එතන ලොතරැයි කූඩුවක් සයිස් කොළ කැඳ හා බුලත්විට කඩයක් තිබ්බා තෙශාන්ත අයියා කඩේ අංකලයත් එක්ක හෙන කයියක...ටික වෙලාවකින් අංකලයා ගියා කඩේ අපිට භාරදීලා දැන් මුදලාලියා තෙශාන්ත අයියා ඔය අස්සේ එතනට ලොරියක් ආවා ඉතිං කඩේ මුදලාලි කරපු ජොබ් එක ඒ වෙලාවේ තෙශාන්ත අයියා කරන ෆොටෝවක්, ලොක්කයියා එල්ලලා තිබ්බා කට්ටිය දකින්න ඇති....අංකලයා එනවා ටිකකින් කෑම පාර්සල් හතරක් අරගෙන... බලනකොට තෙශාන්ත අංකල්ට කියලා ගෙදරින් කෑම හදවගෙන... මම පස්සේ සීන් එක දන්නේ... පලාත පත්තුවේ කඩයක් නැති නිසා ඒ වැඩෙත් හොඳට ගියා... මට නම් බඩගින්නක් ගෑවිලාවත් තිබ්බේ නෑ ඔරු පැදීමේ උද්දාමයෙන් හිටපු නිසා...ඉතිං හතරදෙනාම පල්ලම් බැස්සා

    කයැක් එකට නඟින්න කලින් ලොක්කයියා පරීක්ශා කිරීම් සියල්ලම සිද්ධ කලා ඒ වගේම මට ලොකු උපදෙස් මාලාවක් කෙටියෙන් ලබා දුන්නා... ඒ අතර ලොක්කයියා පසිඳුට හෝ තෙශාන්ත බ්‍රෝට කිව්වා කොළ අත්තක් එල්ලලා වරෙන් කියලා... මම නම් ඕවා එච්චර විශ්වාස කරන එකෙක් නෙවෙයි නිසා නිකන් හිටියා, කටක් හෙල්ලුවේ නෑ.....😀😀... හැබයි අතුඑල්ලපු ගහපැත්තටම සූ පාරක් නම් දාලා ආවා... අනිත් උනුත් ඒකම කලා මහේ හිතේ... මොකෝ ඕකට ආයේ ගොඩට පදින්නයැ... මූලික චාරිත්‍ර අවසානයේ යාත්‍රා කිරීම ආරම්භ උනා....

    ලොක්කයියා කයැක් එකේ පිටිපස්සේ සීට් එකේ මම ඉස්සරහා පසිඳු සහ තෙශාන්ත අනිත් කයැක් එකේ ඒක තමයි ආතල් සීන් එක පසිඳුවාගේ බර නිසා කයැක් එක බැක් වීල් එකේ ගියේ 😀😀 මම හිටපු කයැක් එකේ හිටපු ලොක්කයියා හබල් ගෑමේ උපදෙස් ලබාදුන්නා මුලදි හබල කයැක් එකේ වදින ගතියක් තිබ්බට ටික වෙලාවක් යනකොට රටාව අල්ලාගත්තා... ගඟේ චාරිකාව ලොක්කයියා සුපිරියට ලියලා තියෙන නිසා මම කියන්න අවශ්‍ය නෑ.. කොහොම උනත් තෙශාන්ත බ්‍රෝ බොහොම නිදහස් ඔරු පැදීමක හිටියා කියලා කියන්න ඕන පසිඳුවා පණ දාගෙන පැද්ද නිසාමත් නෙවෙයි..😀... ඔවුන් දෙන්නා හුඟ වෙලාවට කයැක් එක නිදහසේ පාවෙන්න ඉඩ්දෙන්න වැඩි කැමැත්තක් දැක්වුවා කිව්වොත් නිවැරදි...ගඟේ ෆ්ලෝ එක හොඳට තිබ්බා නම් නිදහසේ පාවෙන එක සුන්දර අත්දැකීමක් වෙන්න තිබ්බා...ඒත් මම සහ ලොක්කයියා බරදාල හබල් ගාන මූඩ් එකක හිටියේ ලොක්කයියා බයේ හිටියේ ටාගට් එකට ළඟාවෙන්න බැරි වෙයි කියලා ඒ වගකීම ලොක්කයියාගේ කතාවලින් සහ හැසිරීමෙන් ප්‍රකාශ උනා.... අපි ඉතිං ගඟ දෙපැත්තේ ඉන්න උන්ගෙන් අහනවා කලුතරට දුර මම හිතන්න්නේ දවල් කෑමෙන් පස්සේ හැන්දෑ වෙනකන්ම ලැබුනේ එකම පිලිතුර "තව කිලෝමීටර් 8 යි" 😀😀...... අර පන්සලේ ගල්තලාවේ පන්සලේ සීන් එක ලොක්කයියගේ පෝස්ට් එකේ කියවන්න ඇති නේ. මම ඈත තියාම දැක්කා කන්ද උඩ හිටපු හාන්දුරුවෝ ළමා ළපටි රෙදි උස්සන් දුවන් එනවා ගල් උඩින් ඔරුව ගිහින් අපි බෙල්ල කඩාගන්නා වටිනා දර්ශණය නරඹන්න... මම ගඟේදි තේරුම් ගත්ත සත්‍යක් තමයි... ගඟ දෙපස ඉන්න මිනිස්සු ගඟේ ස්වභාවය ගැන අධිතක්සේරුවකින් ඉන්නවා කියන එක... රැපිඩ් සහිත ස්තාන ගැන කරපු ප්‍රකාශ වලින් ඒක හොඳට පැහැදිලි වෙනවා....

    සැරින් සැරේ තේ අවශ්‍යතාව සඳහා ගොඩට ආපු අපි දවල් කෑමටත් ගොඩට ආවා... ලොක්කයියා ඒ ගැන නම් විස්තරයක් ලියලා තිබ්බේ නෑ... ගොඩට ආපු වෙලාවේ තෙශාන්ත බ්‍රෝ එක්ක මම සෙට් උනා කෑම හොයන්න යන්න... කිලෝමීටරයක් විතර පයින් ප්‍රධාන පාරට ආවා ගිනි අව්වේ සෙරෙප්පු දෙකක්වත් නැතුව... පාර රත් වෙලා රොටිතැටිය වගේ.... අපි ආපු හංදියේ කෑම කඩ නෑ අපි දෙන්නා බස් එකක නැඟලා තව කිලෝමීටර් තුන හතරක් කොහෙටද ගියා දැන් නම් මතකත් නෑ....😀...ගිහින් කොන්දොස්තර මහත්තයාගේ උපදෙස් මත හංදියකින් බැහැලා කඩේකින් කෑම ගත්තා කඩේ මිනිස්සුත් හූරලා වගේ කෑම ටික දුන්නේ.... බිත්තර හතරකුත් බැදගත්තා... කෑමත් ඔතන් අපි ත්‍රීවීල් එකක කයැක් පාකින් තැනට ආවා...ඒ ඇවිල්ලා රඹුටන් ගහක් යට බිම එලාගෙන කෑම කෑම කන ෆොටෝවක් ඔය ලොක්කයියා දාලා තිබ්බේ කලින් පෝස්ට් එකක...ලඟ ගෙදරකින් අපිට පානීය ජලය සඳහා අනුග්‍රහය හිමි උනා... කෑමෙන් බීමෙන් පස්සේ අපි ගමන අවසානය තෙක් යාත්‍රා කරන අරමුණින්...ආයේ වතුරට බැස්සා....

    අව්රශ්මියත් එක්ක තරමක පීඩාවක් තිබ්බත් කලුතර වෙහෙර දකින අරමුණින් දිගටම හබල් ගැහුවා... ඊළඟ වංගුව ඊළඟ වංගුව කියලා බලාපොරොත්තු උනත් හවස 5 වෙනකන් කිසිම සහනයක් තිබ්බේ නෑ.. ලොක්කයියත් නොසන්සුන් වෙලා හිටපු බව පෙනුනා... ඔන්න හදිසියේම මට යාන්තම් ලවුඩ්ස්පීකර් බණක් යාන්තම් ශ්‍රවණය උනා අනිවාර්‍යෙන් කලුතර බෝධිය කියලා හිතුන නිසා අපි දිගටම පැද්දා ටික වෙලාවක් පදිනකොට මුලු දවස පුරා දකින්න් බලාපොරොත්තුවෙන් හිටපු සුදුපැහැ චෛත්‍යය දර්ශනය උනා.. ඒ මොහොතේ ගත්ත් ෆොටෝවක් ලොක්කයියා එයාගේ පෝස්ට් එකේ එල්ලලා තියෙනවා... ඒත් අපිට කලුතර පාලම ළඟට පදින්න තව විනාඩි 30ක් විතර ගියා.. එතනින් ගොඩ වෙලා අපි කයැක් දෙක සූදානම් කරද්දි..

    ReplyDelete
  5. සමාවෙන්න ...............කොටස් තුනකට කතාව ලිව්වට කමෙන්ට් බොක්ස් එකේ ඉඩ නැති නිසා හතරවෙනි නොහොත් අවසාන කෑ ල්ල වෙනම ලියන්න උනා.....




    ලොක්කයියා ගිහින් වාහනය ගෙනාවා... කයැක් දෙක සහ බඩුබාහිරාදිය සියල්ලම පටවගෙන කලුතර බෝධියත් වඳින්න ගියා ලොක්කයියා නම් සියලු දෙවිදේවතාවුන්ට අපිව නිරුපද්‍රිතව ගෙන ආ එකට මහ පාරේ ඉඳන්ම හුඟ වෙලාවක් පින් පමුණුවන විදිහ දැක්කා... කොහොමින් හරි මඟින් තේ එකකුත් බීලා අපි එන්න ආවා... මාව ටවුන් එකෙන් දාලා යන්න කියලා කල ඉල්ලීමත් නොසලකා ගෙදර ළඟටම ඇරලවන්න සියලුදෙනාම කාරුණික උනා...ඒකට මම බොහොම ස්තූතිවන්ත වෙන්න ඕන... ඊළඟ චාරිකාවටත් එකතුවෙන පොරොන්දුවෙන් (මුන් මට ආයේ කතා කලොත්) කට්ටිය සතුටින් විසිර ගියා...
    විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි... තෙශාන්ත බ්‍රදර් තරම් ට්‍රිප් විසේසඥයෙක් වගේම පසිඳු වගේ කුරුලු විසේසඥයෙකුත් ....ලොක්කයියා වගේ ඇඩ්වෙන්චර්ස් වගේම වගකීම භාර අරන් වැඩකරන කෙනෙකුත් හමුවීම බොහොම සතුටුදායක අවස්තාවක්, මේ විදිහට මිතුරන් පිරිසක් මුණගැහුනේ නැත්නම්..මගේ මේ ගඟක යාත්‍රා කිරීමේ සිහිනය.. තව බොහෝ කලකට ඉශ්ට වෙන්නේ නෑ..
    ...............ඉවරයි......

    ReplyDelete
    Replies
    1. ඔව්! උඹ අනිවාර්‍යයෙන්ම ඊළඟ චාරිකාවේ එක් සාමාජිකයෙකු වේවි. මට හමුවූ හොඳම ආධුනිකයෙක් උඹ! මම බඩ අල්ලන් කියෙව්වේ ඔයාගෙ කොමෙන්ටුව. මගේ පෝස්ට් එකට වඩා රසවත් වේවි කියවන අයට ඔයාගෙ කොමෙන්ටු රොත්ත!

      සත්තකින්ම මට තිබුනා මාවෙත ආරෝපණය වූ වගකීමක්. ඒක තමයි නිරුප්ද්‍රිතව; තනි කෑල්ලට දවල් එළියෙන් කළුතරට යන්න. ඊට ප්‍රධාන හේතුව ගඟේ තිබුණු අධික ගැඹුර! අනෙක හදිසියකදී ඉවුරකට නැග ගැනීමට ඇති අපහසුව!! අනෙක් ආධුණිකයෙකු වූ ඔබ!!! ඒනිසාම මම තරමක් නොසන් සුන් වූවා තමයි. ඒත් අපි ඉලක්කය ජය ගත්තා.

      බොහොමත්ම ස්තූතියි අපිව විශ්වාසකොටගෙන (ගෙදරට බයිලා කියා හෝ) පැමිණිම ගැන. එසේම සෑහෙන වෙහෙස මහන්සියකින් මේතරම් දීර්ඝ කොමෙන්ටුවක් ලිව්වාට.

      නැවත ගඟක හමුවෙමු!

      Delete
    2. තිරය පිටුපස් විස්තරය ඔයඅගේට ලියල තියෙන්නෙ.

      තට්ටයා උගත යුතු පාඩම : ෆොටෝ ගැනීමේදී අදාල ස්ථානවල දුරකථන අංක අහු නොවන ලෙස ෆොටෝව ගත යුතු බව. හැක්..

      Delete
    3. අම්මපා ඇත්ත නේන්නං!

      Delete
    4. Thank you for back write-up Suda, and as always my thank to Manju for the nice article. Next interesting point is "under water...."

      Delete
    5. මචං! දී කිරට සාක්කි දුන්න බළලා දැන් ඉන්නේ උඹලගෙ ගෙදරද තෙශා . . ?

      Delete
    6. කොස් ඇට බාපු එකා දැන් සාක්කිත් දෙනවද? හම්මේ

      Delete
  6. විශිෂ්ටතම චාරිකාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් එය රසවත් අත්දැකීමක්!

      Delete
  7. ඉතාම ගුණයහපත් ක්‍රිස්තියානිකරුවෙක් වන තට්ටයා මහතාගේ මෙම සංචාරය දුටුවම ක්‍රිස්තියානින් වන අපටද ඉමහත් ආඩම්බරයක්. සාන්ත අන්තෝනි මුනිතුමාගේ පිහිටයි ඔබට.

    ReplyDelete
  8. එලකිරි...
    පොඩි දුකකුත් නැත්තෙම නෑ ඉතිං ...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ, උඹ ගියානං අර ඇල්ලෙදි යසට නාගන්න තිබුණ.

      Delete
    2. ඔව්!
      රත්නපුර සිට කළුතර තෙක් මුළු චාරිකාවටම සහභාගී වූවානම් එය සුපිරි මතකයක් ජීවිත කාලය තුල නිඹඳවම මතකයට එන; නිරායාසයෙණ්; සුන්දරත්වයෙන් පිරිපුන්!

      Delete
  9. මේ ඔබතුමාගෙ ෆෑන් කෙනෙක් ලියලා
    https://nidigepanchathanthare.blogspot.com/2019/12/blog-post.html#comment-form

    ගං ඉවුරේ සිට රිච්මන්ඩ් මන්දිරයේ කාමර දක්වා සිසිල් වාතය ගෙන එන natural airconditioning ducts system එක දැකලා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. හං! හං!! හා!!! නියම කතා!

      අනේ කියන්න ලැජ්ජයි! මට තාම රිච්මන්ඩ් කාසල් බලන්න යන්න බැරිඋනා! ඒත් මම අහලා තියෙනවා ඔය කතාව!

      Delete
  10. මෙවන් වූ වීර චාරිකාවක් යාම ලේසී පහසූ දෙයක් නොවන්ණේය . ඇතැම් වීර චාරිකා යන අයගේ මතක , මතක පෙට්ටගමේ ගොඩ ගසා සිටින සමයක , ඔබ තුමන් වැනි අය තම වීර චාරිකා වචනයට ගැනීමත් අගය කරයුත්තක් ය. අවංකවම මම ඔබට සූබ පතමි . තවතවත් මෙවන් චාරිකා යන්නටත් ඒවා මෙසේ ලියන්නටත් .

    රිච්මන්ඩ් කාසල් කථාව සිතට දුකක් දුන් අතර කළුතර මහා වෙහෙරේ කොත දූටූ විට ඔබට දැණුන ඒ හැගීම මගේ නෙත කදුළින් තෙත් කරන්නට තරම් තාත්වික විය. තවද දක්ෂිණ අධීවේගයේ පාලම කොටස කියවන විට මම ද ඔබ සැමගේ මනසින් එහි ගියෙමි .

    ඉතිං තට්ට මහත්මාණනි , කරුණාකර මගේ සුබපැතුම් පිලිගන්න .

    ~ ආටියා ~
    මගේලෝකය01 බ්ලොග් අඩවිය වෙනුවෙන් .

    ReplyDelete
    Replies
    1. ඔබ හිතන්න ඔබ යනවා මගුල් ගෙදරක!

      ගිහින් පැත්තකට වෙලා ඉන්න කොට එතනට අළුතින් එන මහත්මයෙකු ඔබ මනමාළ මහතා යැයි වරදවා වටහා ගෙන; රැවටී ඔබට සුභ පතනවා. ඔහුගේ බිරින්දෑටත් ඔබව මනමාළයා යැයි හඳුන්වා දෙනවා!

      මෙවන් අවස්ථාවක් සිතින් මෙනෙහි කොට ඒ දැනෙන අපහසුතාවය ලැජ්ජාව මොහොතකට අත් විඳ බලන්න.

      ............................................................................

      දැන් තේරුණාද ඒක මොන තරම් සැපද කියා?

      ආන්න එවන්ම වූ සිතුවිල්ලක් තමයි මටත් දැනෙන්නේ; ඔබ මගේ මේ ඉන්න බැරි කමට කරණ ආතල් ගමන්; "වීර චාරිකා" ලෙස හැඳින් වූවාම. මේවා ලියන එක නම වීරක්ක්‍රියාවක්ම තමයි රෑ එක දෙක වෙනකල් නිදි මරාගෙන කරණ! එහෙම ලොකු සීන්ස් එකක් නෑ. ඕනෑම කෙනෙකුට් කරණ්න පුළුවන් මෙව්වා.

      ඉතින් ඔබ මෙරටද නොරටද?

      නොලියන්නේ මන්ද? මගේ බ්ලොග් ලිස්ට් එකෙ ඔබගේ බ්ලොග් එක එක තැන! මට බයයි මේ වැහිකාලෙ ඩෙංගු බෝ වෙයි කියලාත්. දෙතුන් විටක් ඒ පැත්තට මේ පැත්තට හැරෙව්වා. ඒත් නිකංම තියලා අවුලක් උනොත් මට නම් කරණ්න දෙයක් නෑ!

      Delete
    2. එතැනදී නම් සාධාරණ සැකයක් එනවනේ... මොකද කසාද බැඳපු මනමාල මහත්තයා සහ මල් මල් හිනා සහිත මනමාල මහතා කියලා පොඩියට වෙනසක් තියෙනවානේ... ඉතින් වරදිනවා.

      මගුල් ගෙදරක උනත් දත් බෙහෙත් හිනාවෙන්, එනකොට දොරකඩම උන්නහම වෙනවා...

      Delete
    3. මල් මල් හිනා එන්නේ මල් පැනි වඩියක් තොල ගෑවාම තමයි ඉතිං!

      Delete
  11. අනේ ඒත් තව මල් පිපියන් - කෝටි ගණන් තව මල් පිපියන්!

    ReplyDelete
    Replies
    1. දහසක් මල් පිපේවා - දහසක් මත ගැටේවා කියලා මාවෝ ද කොහෙද කියලා තියෙනවානේ.

      අතින් නෙළන මල් පිපෙන්නේ - පෙර පිනටයි මට සිතෙන්නේ කිව්වේ නම් නන්දා මාළණී

      ගසේ තිබියදීම මල් පූජා කරණ ගාථාව ලිව්වේ නම් කවුදෝ මන්දා

      කොහොම වෙතත් ඔබේ ප්‍රාර්ථනාවට මෙන්න දුන්නා සාධු කාරයක්!

      සාදු! සාදු!! සා ආ ආ දු!!!

      Delete
  12. හම්මේ ඉතින් ඒකත් ඉවරයි ඈ!

    අපිව බය කොලාට නෑනේ කිසි මෙව්වා එකක්. අර අලුත් සාමාජිකයා නම් ඔබ පෝස්ට් එක අස්සෙම කමෙන්ට් පෝස්ට් එකක් දාලා තියෙන්නේ තට්ට මහතාගේ කාඩ් එහෙම ලාවට කුඩුවේගන යන ගානට කපලා එහෙම! හි හි හි...

    දැන් මගේ පුංචි මොලේට වැටහෙන විදියට වතුරේ ගිලන මොකක් හරි විකුරුත්තමක් නේද ඊළඟට ලියන්න ඉන්නේ? මේකත් ඉතින් අර පිචෑර් වගේ තමයි.. පයිට් 5යි සින්දු 4 එක්ක ලියනවා වගේද මන්ද...

    ReplyDelete
    Replies
    1. හැබයි ඒකෙන් තරාදිය ගානට බැලන්ස් වුණා

      Delete
    2. බොහෝ විට මේ කයාකින් ගැන ලියන අවසාන ලිපිම් පෙල වෙන්න ඕන! මොකද ඔය කයිවාරුව අහලම දැන් හැමෝටම එපා වෙලා ඇති. දිය මත ඇති! දැන් ඉතිං බලන්න ඕනෙ දිය යට තමයි!

      Delete
    3. එල කිරි මම ආසම සබ්ජෙක්ට් එකක් .හැබැයි ඉතින් වීඩියෝ කෑලි දෙක තුනක් වත් අමුනන්න වෙනවා

      Delete
    4. හරි හරි බලමුකෝ! ලියාගෙන යන කොට අවශ්‍ය උනොත්!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...