Thursday, October 14, 2021

219. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි . . . !



මේ දිනවල අපේ බ්ලොග් ලියනා නෝනා මහත්තුරු ගුවන්විදුලිය ගැන ලියති. මා තුල තිබෙන මතක මාත්‍ර එක් එක් බ්ලොග් පෝස්ටු යටින් කමෙන්ටු සේ එල්ලා ඇති අතර අද අළුතින් එවන් පෝස්ටුවක් ලියන්නට ගියේ අනුරුද්ධ වැළිගමගේ සොහොයුරාගේ "රූපවාහිණී ළමා ගී" පෝස්ටුව යටින්ය! මෙතැනින් එතෙනට ගොඩවන්න. එහෙත් කමෙන්ටුව ලියන්නට මතකය පෙල ගස්වද්දී එය කමෙන්ටුවක් ලෙසට යෙදී මට තරමක ලෝභ කමක් උපදිනි. අපි පෘථග්ජනයෝ නොවැ? ඒ නිසාම ඒක පොඩ්ඩක් දිගේලි කරලා ලියන්න හිතුනා.

මේ මාගේ රේඩියෝ මතක!

අපි අතින් ගෙවලා ලයිසමක් අරං රේඩියෝ අහපු පරපුරක අය! දැන් වාගේ වෛවාරණ රෙඩියෝ චැනල් ඒකාලේ තිබ්බෙත් නෑ! තිබ්බත් ඒ වායෙන් අහන එවුංට පගාව දුන්නෙත් නෑ "අපේ රෙඩියෝ එක ඇහුවොත් සල්ලි තමා!" කියලා.

අපේ ගෙදර තිබ්බේ ෆිලිප් රේඩියෝ එකක්. රේඩියෝ එක මෙච්චර විතර ඇති! රෙඩියෝ එක තියලා තිබ්බේ ගෙදර තිබ්බ තාත්තාගේ ෆයිල් කැබිනට් එක උඩ. රේඩියෝ එක තිබ්බාම කබර්ඩ් එකෙන් ඉතිරි උනේ අඟල් හතරක විතර තීරුවක් විතරයි. ඒ තීරුවේ තිබ්බේ මොකක්ද දන්නවාද? නිල් පාට "බෙරෙක්" ඩ්‍රයි බැටරිය!බෙරෙක් ඩ්‍රයි බැටරිය ආවරණය කරලා තිබ්බේ කාඩ්බෝර්ඩ් කවරයකින්. ඒකෙ තරම ඇති A4 එකක් තරම්. එහෙ මෙහෙ උනානම් ඒ අඟල් භාගයකින් විතර! මේ කවරෙ එක තැනක රවුමක් ලකුණු කරලා තිබ්බා අඟල් දෙකක විතර විෂ්කම්භය ඇතිව. අළුතින් බැටරියක් ගෙනාවාම මේ රවුම වටේට ඉරාගෙන ගියාම මතුවෙනවා; රෙඩියෝ එකේ ඉඳන් එන; මගේ මතකයේ හැටියට පින් හතරක ප්ලග් එක අමුනන හිල් හතර හෙවත් ප්ලග් බේස් එක! මේ බැටරිය කිලෝ තුනක විතර බරක් තිබ්බා! දැන් හිතා ගන්නකෝ මෙච්චර විතර රේඩියෝ එකේ ඇත්තම සයිස් එක!? රෙඩියෝ එකේ පිටිපස්ස වහලා තිබ්බේ කලු පාට; තද හාඩ් බෝඩ් එකකින්. රෙඩියෝ එක තද දුඹුරු පාටයි. පසුපස කාඩ් බෝඩ් එක ගැලෙව්වාම ඒක උඩයි යටයි තට්ටු දෙකකට බෙදලා තිබ්බා! උඩ තට්ටුවේ තිබ්බේ තඩි පීකරයක් හෙවත් ස්පීකර් එක. යට තටුව ගැලෙව්වාම ඒක විසිතුරු ලෝකයක්! ඒකේ තිබ්බේ තැනින් තැන දිළුණු වීදුරු බල්බ! ඒවාට කිව්වේ වැල්ව් කියලා. රෙඩියෝ එක හදිසියේ අසනීප උනාම පිටු පස කවරය ගලවා බැලුවාම එක වැඇල්වයක් නිල් පාට වී ඇති බව පෙනුනොත් එය ගලවාගෙන ගොස් රේඩියෝ හදන එකෙක් ගෙන් ඒ වෑල්වයක් ගෙන සවිකල විට රෙඩියෝව නැවත පන ගසා නැගිට එයි! ඉදිරි පසින් රේඩියෝවේ දෙපසින් කරකැවීමට එක උඩ එක රවුං දෙක බැගින් දෙකක්ද ඉදිරි පසින් දත් සැට් එක වැනි සුදු පැහැති බොත්තං හයක්ද දකුණු පස උඩ කෙළවරේ කුඩා ලයිට් එකක්ද තිබුනි!

අපේ ලක්ෂ්මන් බාප්පාගේ ගෙදර තිබුනේ PYE වර්ගයේ රේඩියෝ එකකි. එයාලගේ රේඩියෝ ලයිසමේ "වරිගය" ලියන පේලියේ අමු හිංගලෙන් "පයි" කියා කළු පෑනකින් ලියා තිබුනු අතර රේඩියෝ ලයිසම ගන්න මේ වචනෙත් එක්ක යන්න ලැජ්ජා හිතුණු අපේ ඉංදු ඇංටි එයට ඉස්සරහින් නිල් පෑනකින් කොම්බුවක් දමා "පෙයි" කරගෙන තිබුනු හැටි මට අද වාගේ මතකය! මටත්  තක හිටින්නේම ඔවැනි මල හත්තිලව්ම ය!

රේඩියෝ ගැන කථාවේදී මාගේ මතකයට එන පැරණි කථාවකි.  "දෝන කමලාවතී", "බයිසි මොටෝ එක", "මුළු හදින් මම ඇයට පෙම් කොට", "බයිසි මොටෝ එක" වැනි නවකතා රචනා කල ගුලී හෙවත් ගුණදාස ලියනගේ ගේ නිවසේ තිබී ඇත්තේ "එකෝ" නම් ලත් නො එසේනම් ඒම වරිගයේ රෙඩියෝ පොඩ්ඩෙකි. එයට ගුලී කෙතරම් ඇළුම් කලේද කියනවානම් ; එය හැඳින්වූයේ "පොඩි එකෝ" කියලා ලු!

මේ ඊයේ පෙරේදා ඉන්න් බැරි කඩි ගායට ඔක්කම්පිටියේ ගිහින් එමින් ගමන් අපේ කුරුණාගල යකඩ ලියවන පල්ලියගුරු මල්ලි කීවේ; එයාලගෙ සීයා සතුව තිබුනු පරම්පරා ගනනක් පැරණි ගෘන්ඩිග් ජර්මානු රේඩියෝව සීයාගෙන් ඉල්ලාගෙන ඇවිත් එහි පීකරේ ගලවා එය වටේ තිබුනු කාන්දම් වලල්ල  තමා සතු කරගත් අනුවේදණීය කථා පුවතකි!

මේ සියල්ල කිව්වේ රේඩියෝ එකේ යාන්ත්‍රික වටා පිටාවය. එහෙත් අසන්නන් අතින් ගෙවා රෙඩියෝව ක්‍රියාත්මක කලේ මෙම යාන්ත්‍රික වට පිටාව පිළිබඳව පතල මහා කරුණාවකින් නොව; එයින් ප්‍රචාරයට පත්වූ වැඩ සටහන්, ඒවා නිශ්පාදනයකල නිශ්පාදකයින් හා ඉදිරිපත් කල නිවේදක නිවේදකයින්ගේ කලාත්මක හා බහුසෘත වපසරිය නිසාය! 

කාබාසිනියාතුමෙකු" අපේ තාත්තාගේ ප්‍රියතම වැඩ සටහන් තුන හතර වූයේ උදෑසන, මධ්‍යහන ප්‍රවෘති, සන්ධ්‍යා ප්‍රවෘත්ති හා රාත්‍රී නමයට ප්‍රචාරය වූ රාත්‍රී ප්‍රවෘත්ති! එකල වැඩිපුරම ප්‍රවෘති කීවේ සිරිල් රාජපක්ෂය. ඔහුගේ ගැඹුරු හඬටම ගැලපී යන පළමු ප්‍රවෘත්තිය අසන්නන්ගේ මවිල් කෙලින් සිටුවීමට සමත් විය! දැන් වාගේ අර උන්නැහේ පංසල් ගිය ඒවාත් අනිත් උන්නැහීට අතීසාරය සෑදීමත් ප්‍රවෘති නොවූ එකල පෙර වාදනය යද්දීම ගෙදරක, කඩයක් පිලක සිටිය වුන් අමුඩ තද කරගෙන සවන්දීමට සැරසෙන්නෝය! සිරිල් රාජපක්ෂට අමතරව, අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්තිද අල්විස්,  වැනි අය ප්‍රවෘත්ති විද්දේය!  එදා ඒ හඬ පෞර්ෂය හා උක්ත ආඛ්‍යාත ගැලපුනු වැකි වලින් කියන්නට ගැලපුනු නිව්ස්ද තිබුනේය. අද තිබෙන "බල්ලා රට ගියා - රට බල්ලට ගියා වැනි වැකි එදා තිබුනේ නැත!

පෙර වාදනයට දෙශපාලනයක් තිබුනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සමගි පෙරමුණු ආණ්ඩුවබලයට පත්වූ කාල්යේදී වාදනය වූයේ "ඩඩ්ලි ඩඩ්ලි දැන් කොහොමද" අනුවාදනය වනාතර යූ ඇන් පිය බලයට පැමිණි වහාම වාදනය වූයේ "ඇන් ඇම් ට පුළුවංද - හත් හවුළ පෙරළන්න" අනුවාදනයයි.

ගුවන් විදුලියේ ස්වර්ණමය අවදිය ලෙස සැලකෙන්නේ රිජ්වේ තිලකරත්න යුගයයි. ගුවන්විදුලියේ සුපිරි ගනයේ නිවේදකයෙකුවූ කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේ සේකර, නාට්‍ය ශිල්පී හෙන් රි ජයසේන, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, හා දොස්තර ගුණදාස අමරසේකර ඔහුගේ නාලන්දාවේ සමකාලීනයෝ වූහ. බොහෝ නව නිර්මාණාත්මක වැඩසටහන් බිහිවූ මෙතුමාගේ යුගය සමකල හැක්කේ ලංගමයේ අනිල් මුණසිංහ, රේල්ලුවේ ඩී. බී. රම්පාල යුගයන්ටය!
මාගේ මතකය නිවැරදි වේනම් ටී. එම්. ජයරත්න ගායනා කරන "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය ලියා ඇත්තේද රිජ්වේ තිලකරත්න මහතා විසින් වන අතර එම පදමාලාව ටී එම් හට භාරදී ඇත්තේ "මෙන්න මේ කවුද සිංදුවක් එවලා තියෙනවා! හොඳනං කියන්නකෝ!" කියාය!
තිලකරත්න මහතා ගැණ කථා කරන කොට කරුණාරත්න අබේසේකර පිළිබඳව කියැවුනු නිසා එතුමා ගැනත් ඇති මතකය මෙහිම දිග අරිණ්නම්. ඔහු පිළිබඳ මාගේ මතකය නැවතී ඇත්තේ දාස සමූහ ව්‍යාපාර වෙතින් ප්‍රචාරය වූ "පිබිදෙන ගායක පරපුර" වැඩසටහනෙනි. ඔහු එය   ඇද පැද; උත්කර්ශවත් හඬින් "පිබිදෙන . . . .ගායක . . . .පරපුර කියන අයුරු අදත් සවනේ රැව්දේ! ලංකාවේ වැඩිම ගීත ගනනක් ලියා කප් ගසා සිටින මෙතුමා ගීතයක් ලියන්නට පෙර සරස්වතී දේවියට පොල්තෙල් පහන් හඳුන්කූරු පවත්වූ බව මාහට පැවසූවේ පත්තර ලොවේ පෙරළි කාර චරිතයක් වූ චින්තන ජයසේනයන් විසින්ය. දිනක් චින්තන අයියා මුණ ගැහුනු අවස්ථාවක "අඩියක්"ගැසීමට "සීගිරියට' එන ලෙස කරුණාරත්න අබේසේකර ආරාධනා කලේලු. සීගිරිය යනු කාෂ්‍යප බලකොටුව නොව; පුංචි බොරැල්ලේ සිරිධම්ම මාවතේ ගෝතමියට යන පාරේ (සැලස්කි පෙදෙස නේද නම?) අද එතුමාගේ නමින් හැඳින්වෙන පටු මාවතේ පැවති  ඔහුගේ නිවෙසයි. චින්තන අයියා යනු හිටගෙන ගල් අරක්කු බෝතලය; "බත් කා කට දනවාට බොන" පන්නයේ "බෙබේ බී බොතේජුවෙකි! එසේම ඔහු මධුවිතට ආලය කලේ; ඔහුගේත්; ටයිටස් තොටවත්තයන්ගේ හඳයාහි "සූප්පුවාට" පන පෙවූ කිත්සිරි මෙවන් ජයසේනගේත් අම්මාට තාත්තට මෙන්ය! එදින ඉක්මණින් කණ්තෝරුවෙන් පැනගත් චින්තනයාණන් පාටියක් විඳීමේ අධිටනින් යුතුව සීගිරියට කිට්ටු කලේය. ඉතාමත් ආදරයෙන් සාදරයෙන් හා ගෞරවයෙන් යුතුව චින්තන අයියාව පිලිගත් කරූ ඔහුව සාලයේ කෙළවරක; කනප්පුවක් ඉදිරියේ  අසුන් ගන්වා ලයන් ලාගර් බෝතලයක් හා වීදුරු දෙකක් ගෙනැවිත් කනප්පුව මතින් තැබුවේලු. "වෙහෙර ගිල්ල යකාට අග්ගලාවත් කජ්ජක්ද?" කීවා සේ චින්තන අයියා බීර වීදුරුවකින් සංතෘප්තවී ගේට්ටුවෙන් එළියට ඇවිත් කඩප්පුලි භාෂාවෙන් කුණුහරුපෙන් බැන බැන කොලෝනියල් එකට ටැක්සියකින් ගියාලු.
ගුවන් විදුලියට අදාල නොවුනත් චින්තන අයියා කියපු තවත් රසවත් කථාවක් පවසන්නට තරහ අවසර! 
හෙළයේ මහා ගත්කරු;මාර්ටින් වික්‍රමසිංහයන් මධුවිත ඔෆර් කරණ්නේ ඔහුගේ පොත් ගුල තුලදීලු. පොත් රාක්කයේම පසෙක තිබුනු කුඩා කබර්ඩ් එක තුලින් බෝතලය ගෙන වීදුරු වලට  වත් කොට නැවත කබර්ඩය තුලට දමා යතුරු ලන්නේලු. ඒම මදුවිත වඩිය සියල්ලෝඅම බී අවසන් වූ විට නැවතත් කබර්ඩ් එක ඇර වීදුරු පුරවා නැවතත් පෙර පරිදිම යතුරු ලන්නේලු! ඔය මදෑ ඒ ගැන කිව්වා!
ඉතින් කරුණාරත්න අබේසේකරද ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රකාශ කල බව මා අසා ඇත! ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරයේ මුදුන් මල්කඩ වූයේ පාලිත පෙරේරා සහ ප්‍රෙමසර ඈපාසිංහයන්ය. ක්‍රිකට් ක්‍රීඩාව ගම් නියංගම් වලට ගෙන යෑමේ ගෞරවය කරපින්නාගෙන සිටින්නේ ගුවන් විදුලියත්, පාලිතත් ඈපාත්ය. ඔවුන් පලමුවෙන්ම විස්තර විචාරය කොට ඇත්තේ "ආනන්ද - නාලන්දා සුලෝහිත මහා සංග්‍රාමය" ලෙස විරුදාවලිය ලැබූ මහා ක්‍රිකට් තරගය පිළිබඳවයි. ක්‍රිකට් ක්‍රීඩාවට උචිත බොහෝ වචන සෑදීමටද කරුණාරත්න අබේ සේකර මැදිහත්වී ඇත!
ඇපාසිංහ විසින් ඉදිරිපත් කෙරුණු තවත් අගනා වැඩසටහනක් වූයේ "බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු" වැඩසටහනයි. මාගේ මතකය නිවැරදිනම් එය ප්‍රචාරය වූයේ ඉරිදා රාත්‍රී 8.15 ටය! "ගෙවී ගිය සතියේ ක්‍රීඩා ලෝකය තුල . . යනුවෙන් පටන්ගෙන කට කම්මිස්සිරියාවක් නැතිව වේගයෙන් සියළු ක්‍රීඩා විස්තර කියා පා ඈපා සිංහ හුස්මක් ගන්නේ "යලිත් ලබන සතියේත් බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සමගින් හමුවන බලා පොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නේ ප්‍රේමසර . .ඈපාසිංහ ආයුබෝවන්!" කියාය. ඔහුගේ තිබුනු "කඩදාසි ලිපේ දැම්මාසේ" පවසන වේගවත් වචන තුලින් අසන්නන් තුලද ජවයක් ඇතිකර ලීමට සමත් විය. ඔහු වචන පිටපතට ලෝඩ් කොට රේඩියෝවෙන් වෙඩි තැබීය! ඔහුගේ වෙඩි මුරය අවසන් වූ වහාම 8.30ට පටන් ගැනෙන්නේ මොණරතැන්න ය. ජේ. එච්. ජයවර්ධනයන් එහි පන පෙවූ "රජ්ජුරුවො" චරිතය තවමත් මතකයේ ඇති අය සිටිති. බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සඳහා අනුග්‍රහය දැක්වූයේ සිලෝන් ටුබේකෝ ආයතනය වන අතර මොණරතැන්න ගුවන් ගත්වූයේ ජයතිස්ස ඉන්ඩස්ට්‍රීස් හට පින් සිදු වන්නටය.
සඳුදා රාත්‍රියේ ප්‍රචාරය වූයේ වික්ටර් මිගෙල්ගේ නව මුවන් පැලැස්සය. මුවන් පැලැස්ස පසුව නව මුවන් පැලැස්ස වී ඇති අතර එහි පලමු රචකයා වූයේ මුදලිනායක සෝමරත්න වූ අතර පසුව එය වික්ටර් මිගෙල් විසින් රචනා කරණා ලදී. එහි ප්‍රධාන චරිතය වූ කදිරාගේ චරිතයට පන පෙව්වේද විටර් මිගෙල්ය. මාහට මතක ඇති කාලයේ එය ප්‍රචාරය වූයේ කඳානේ "ලින්ටන්ස්" ආයතනය අනුග්‍රයෙනි. මුවන් පැලැස්ස ගැන වැඩි දුර මෙතනින් කියවන්න! මේන්න මෙතනත් තියෙනවා හොඳ විස්තරයක් ඒකත් බලන්නකෝ! 1964 මාර්තු 12 වනි දින ඇරඹි මෙම ගුවන් විදුලි නාටකය ලොව දෙවෙනි වන්නේ 1951 ජනවාරි 1 වන දින එංගලන්තයේදී ප්‍රචාරය ඇරබි "ආර්චර්ස්"  නාට්‍යයට පමණි. මුවන්පැලැස්ස සමග තරග වැදුනු අනෙකුත් නාට්‍ය වූයේ ධර්ම ශ්‍රී මුණසිංහයන්ගේ මොනරතැන්නය! මීට අමතරව "ගජ මුතු", "වජිරා" වැනි නාට්‍යය වටාද ශ්‍රාවකයින් රොද බැඳ ගත්හ.
රේඩියෝ නාට්ටි හෙවත් ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව කතා කෙරෙණ විට අමතක කල නොහැකි නාට‍යයක් සමන් ආතාවුද හෙට්ටි අතින් ලියැවුනි. ඒ අන් කිසිවක් නොව සෙනසුරාදා උදේ වරුවේ  ප්‍රකාශය වූ "ලන්දේසි දූපත" නමැති ළමා රහස් පරීක්ෂක කථාවයි. සත්තකින්ම අදද ඒ නාට‍යය ඇසීමට ඇත්නම් යැයි මට සිතුණු වාර අනන්තය. එහි ප්‍රධාන චරිතයක් වන රොන්ජන්හට පණ පෙව්වේ සමන්ම වන අතර ජිල්ජෝන් හා වැන්දබෝනා චරිත ද්විත්වයෙන් එකකටද ඔහු හඬ මුසු කලේය. අනෙක් චරිතය පනපෙව්වේ කොළඹ නගර සභාවේ පරාක්‍රම පෙරෙරාය. එකල නිරංජලා සරෝජනී හා රෝහණ සිරිවර්ධන වැනි අයද හඬ නළුවන් විය. අංක එකේ කාන්තා ලාලිත්‍යය වූයේ නම් කුසුම් පීරිස්මය! එය ඒතරම්ම හැඟීම් දැනවූ හඬකි!
නෙතලී නානායක්කාර, වොලී නානායක්කාර, ශ්‍රීනිමල් පද්ම කුමාර, ඇග්නස් සිරිසේන, විජේරත්න වරකාගොඩ, වැනි බොහෝ අය; රේඩියෝ චරිත ජීවත් කර වූවේය. වරක් මුවන් පැලැස්සේ උක්කු බණ්ඩාට හා නාමලීට පන පෙවූ වොලී නානායක්කාර හා නෙතලි නානායක්කාරගෙ ඇඩ්‍රස් නැතිකරේ නාට්‍යානුසාරයෙන්මය! 
මීට අමතරව විනෝද සමය, හංදියේ ගෙදර වැනි වැඩ සටහන් වලින් සැමුවෙල්, බර්ටි, ඇනර්ස්ලි, ඇලෝ පෙරෙරා, මර්සි, ගැමුණු වැනි අයද අපගේ ඉළ ඇට සම්භාහනය කලෝය. හංදියේ ගෙදර්ට රෙඩියෝ නාට්ටියේ; ප්‍රවීණ ගායක බන්ධුල විජේවීරයන්ද හඬ කැවූ බව යාන්තම් මතකය. එහි "කල්කදුරු තිත්තගේ ගල්නෝමිස් ඉරිවේරිස්" නම් චරිතයක්ද තිබුනු බව මතකය. සැමුවෙල් ගේ "අමාරිස් අයියා" චරිතයද ඇනර්ස්ලිගේ හාමු මහත්තයා චරිතයද "නාමෙ නොදිරණා - කුණු කය දිරණා" යන ගීත කණ්ඩයට අරුත් සැපයූවේය!
ගුවන් විදුලියේ තම හඬ පෞර්ෂයෙන් ආමන්ත්‍රණය කල අමරබන්දු රූපසිංහ, ලලිත් එස් මෛත්‍රීපාල, ප්‍රේමකීර්තිද අල්විස් පිළිබඬව ඇත්තේ සුපහන් මතකයකි. මෙම තිදෙනාම ප්‍රවෘති ප්‍රකාශයටද සහභාගී විය. මින් වැඩහටහන් සම්පාදකවරයෙකු ලෙස ඉමහත් කීර්තියට පත් ප්‍රේම්ගේ ශනිදා සාදය දුහුනන් සඳහා විවරවූ වැඩ සටහනකි. එසේම රේඩියෝ සඟරාවද (සෙනසුරාදා සවස 4.00) ඔහුගේ වැඩ කිඩ වලින් ඔපවත් උනා යැයි මාහට මතකයක් පවතී. වැඩසටහන අවසානයේ " . . . . . . . .  හි පදිංචි  . . . . .ගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස් වන මා විසින් කොළඹ හතේ  . . . . .ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී . . . . . . . ." යනාදී වශයෙන් අවසන් කලේ රේඩියෝ සඟරාව යැයි මාහට මතකයක් පවතී. 
නිවේදක නිවේදිකාවන් ගැන කථා කරණ විට බණ්ඩාර කේ විජේතුංගය පිළිබඳව අමතක වුවහොත් එය විසල් අඩුපාඩුවකි.මා ගේ මතකය නිවැරදි නම් ඉරිදා දහවල් 1.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ "සිනමා පුවත්" වඩසටහන ගුවන් ගත විය. මීට කලකට පෙර ඉන්දියානු චිත්‍රපට ශ්‍රී ලංකාව තුල ජය කෙහෙළු නංවමින් තිරගත වූ කාලයේ ඒ පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහන මෙහෙය වූවේ බණ්ඩාරය. "ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි - වෙන් කලේද සංගීතයයි දෙවෙනි අභිමානවත් මාසයේ අභිමාන්" ඔහුගේ වදන්ය! "ළඳුනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ! පියෙකු නැති දරුවෙකුට පියෙකුවූවා පමණි!", "එක මලයි බඹරු දෙන්නයි!" මේ ඔහුගේ යෙදුම්ය. මේව්වා කියැවුනේ ඔහුගේ ගැඹුරු ස්වරයෙනි. එවන් හඬක් මා කිසිදා අසා නැත! "ඉන්දීවරියේ අඬනු එපා" - සනත් නන්දසිරි,  "දිනෙන් දින ඔබ මා කෙරෙන්" - සනත් නන්දසිරි වැනි රසාලිප්ත ගීත රචනා ගනනාවක් පබැදූ ඔහු අකාලයේ මීවිත සමගම අපෙන් වෙන්ව ගියේ හයිකු කවියෙකු ලෙසද ඔහුගේ මුද්‍රාව අපගේ හදවතේ ගැඹුරුම තැන ස්ථාපිත කරමින්ය!
එසේම පැණ විසඳුම් වැඩ සටහන් වන "පුළුවන්නම් දිනාගන්න", "ඕවල්ටීන් පැන පොඩි", වැනි බොහෝ වැඩ සටහන් වලින් ගුවන් කාලය පිරීතිබුනි. ඊට අමතරව කේ ජයතිලක මහතාගේ ප්‍රිය බිරිඳව සුමනා ජයතිලක නැන්දා; සෑම සතියකම සිකුරාදා සවස 5.00 ට ලැම්බර්ට් පෙම්මාවඩු මාමා සමග එක්ව ගෙන ආ හඳ මාමා වැඩ සටහන පොඩිත්තන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. එහි තේමා ගීතය; "ලොව ඝනඳුරු දුරු කරන්න . . . . . කියමින් පටන් ගෙන හඳ මාමට සවන් දෙන්න . . " යනුවෙන් කරටියෙන් ගැයූවේ ජේ ඒ මිල්ටන් පෙරෙරා විසින්ය.
සෑම උදෑසනකම 5.30 ට පටන් ගන්නා විකාශය තුල පන්සිල්, සෙත් පිරිත්, ධම්ම චින්තා, දවසේ සිතුවිලි, ජාතික ශරීර සුවතා වැඩසටහන, අරුණ කිරණ, ප්‍රවෘත්ති, අසන්නන්ගේ ඉල්ලීම්, ලෝක ප්‍රවෘත්ති, නිවේදක තෝරයි වැනි වැඩ සහන් වලින් දිනය ඇරඹීය. ඉක්බිති ගීතමය වැඩසටහන් ලෙස සරල ගී, ශාස්ත්‍රීය ගී, චිත්‍රපට ගී. සමූහ ගී, කණ්ඩායම් ගී, ලමා ගී, පැරණි ගී, දිවා ගී, බයිලා ලෙසින් සෘජුව ප්‍රචාරය විය. ඊට අමතරව නිවේදක තෝරයි, ස\ස්කාරක තේරීම්, රංග තරංග, අසන්නන්ගේ ඉල්ලීම්, කාන්තා ඉල්ලීම්  අඟහරුවාදා සවස 5.00 ට නොවරදවා ප්‍රචාරය වන "ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම්" වැනි වැඩ සටහන් වලින්ද  උතුරු ඉන්දීය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය, හිංදි චිත්‍රපට ගීත වැනි වැඩ සටහන් වලින්ද පිරී පැවතුනි.
ඉරිදා දහවල් 2.00 ට; ජර්මන් තානාපති කාර්‍යාලයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය වූ ප්‍රචාරය වූ ජර්මන් ජන හඬ වැඩ සටහනේ සිට ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුවෙන්; සෑම දිනකම ඉරමුදුං සමයට ප්‍රචාරයවූ "පොලීසියෙන්" ,  සිට  විනෝද මේළා -ඔව් නෑ බෑ  (ඩී. පී මොරවක), සාරභූමි (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව), මව සහ ළදරුවා (ජේ එල් මොරිසන්ස්), පුෂ්පාංජලී (ජයරත්න මල් ශාලාව), පහන්සිළුව (ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස්), සෞඛ්‍ය ගැටළු (ජා ඇල වෛද්‍ය දිනපාලද සිල්වා - ජා ඇල) විනාඩියක් පමණයි (නිකාඩෝ), ජය ලලිතා රත්තරන් පැතුම් (ජයලලිතා ජුවලර් හෙට්ටිවීදිය), වජිරා (ගුරුගේ මැණික්), පුළුවන්නම් දිනාගන්න (ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව), ගීත කතන්දර (ලෙච්චමී ජුවර්ලර්ස්), හංදියේ ගෙදර (ද ෆිනෑන්ස්), කුසුම් රේණු (කොළඹ මල් ශාලාව), ඊ. එච් ගීත ධාරා (ඊ එච් කුරේ) වාසනා උදාව (සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාර), වැනි රසාලිප්ත වැඩ සටහන් රාශියක් ඒවායේ අනුග්‍රහකයින් සමග මතකයේ ඇත! 
මෙවන් අතීතයක් විඳි අපගේ ගුවන් විදුලිය මේ වන විට පන අදිමින්ය. එහි අවසන් කටයුතු සඳහා මේ දිනවල ආයතන පාලකාධිකාරිය සූදානම් වෙනවා ඇති! කාලයක් අප සමග සිටි නෑදෑයෙක් හිත මිතුරෙක් වෙනුවෙන් තවමත් හිතේ දුකක් ඇත!  මළ ගෙදරටවත් යන්නෝන!

ප.ලි. :- ලැම්බර්ට් පෙම්මාවඩු පිලිබඳව සොයා යාමේදී තවත් බ්ලොගයක් හමුවිය. එයට මෙයින් පිවිසෙන්න!


72 comments:

  1. +++++++++++++. තාම උඩින් ස්කෑන් කලා විතරයි.
    හොඳයි කියල තේරෙනවා. ඇහැරුනාම, ආයෙ එන්නම්.🙏👌😊🤗

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් කියවා ඔබතුල බුර බුරා නැගෙනා මතකයන් අවදි කරණ්න!

      Delete
    2. පැරණි බ්ලොග් වලට මග - බලු නකුට නමින් මාගේ ආදරණීය බ්ලොගය තුල; ඉහලින්ම තැනක් වෙන්කොට කූඩුවක් හැදුවා! ඇවිත් බලන්න එය සුවදායක දැයි කියා!?

      Delete
    3. නියමයි, ස්තූතියි. ඇඞෙනවා සෑර්, මට ඔය කූඩුවක් ලැබුනමයි.:)

      Delete
    4. අපි එහෙමයි! අපිට බොලොක්කෙන් උනත් අපි බොක්කෙන්ම තමයි ටොමියෝ!

      Delete
  2. රේඩියෝ. හ්ම් මතකනම් බොහොමයි තට්ටයා තුමා. හොඳ ලිපියක් මතක ආවර්ජනය වෙන්ටත් එක්ක මටනම්

    ReplyDelete
    Replies
    1. ඔබ එසේ කීවාට තවත් මතක හිතේ අහුමුළු අස්සේ තිබී හමු උනා. දැන් ඒව කොහේ ලියන්නද කියලා කල්පණා කලේ!? බොහොමත්ම ස්තූතියි මෙහි ඇවිත් ගියාට!

      Delete
  3. මේ අතරට රම්‍යා වනිගසේකර මහත්මියවත් එතුමියගේ මද්‍යාහන පුවත් ප්‍රකාශයත් ඇතුලත් කරා නම් අගේයි නේ .. ....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්! ඒ වගේ තව මතක දැන් තමයි එළියට එන්නේ!? (අර වැඩේ මොකද්ද කර ගත්තේ?)

      Delete
  4. හොඳ ලිපියක්, ලියපු හුඟාක් දේවල් අහලා මතකය්. ඇය් කඩායම් ගී, අස්සලමු අලෛකුම් මුස්ලිම් කාන්තා අඩපැය (ඒ කාලේ මම මුස්ලිම් කෙල්ලෙකුට සිරාවට love කරා) බණ්ඩාර විජේතුංග ගේ හින්දි ෆිල්ම් ඇඩ් නම් හිතට තදින් වැදුන ඒවා.

    අපේ ගෙදරත් Philips dry battery radio එකක් පැත්තක දාල තිබුනා, අය්යා තැපෑලෙන් රෙඩිඕ හදන්න ගිහින් එක මස් කරා, අපරාදේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මා මේ ලිපිය ලිව්වේම අපේ කාලයේ, අපේ වංශයේ සිටින ඔබ තමුනැහැ වගේ අයගේ මතක ඇවිස්සීමටමයි! ඇත්තටම එහෙමකෙතරම් සුන්දර වැඩ සටහන් තිබුනාද? ඇත්තටම ඒකාලේ තමයි "ගුවන් විදුලි අසන්නෝ" කියලා පිරිසක් හිටියේ!? දැන් ඉන්නේ අසන්නෝඅ නෙවෙයි "ඇසෙන්නෝ!" නොවැ!?
      දෙයියනේ අපරාදෙ රේඩියෝ එක!!?

      Delete
    2. //අය්යා තැපෑලෙන් රෙඩිඕ හදන්න ගිහින් එක මස් කරා, අපරාදේ//
      Guilty as charged.😉

      පොඩි කාලෙ ගෙදර අය කිව්වෙ"මූට යමක් අහුවුනොත් ඉවරයි" කියලයි. ඒත් හිත වෑව්වෙම නෑ, මස්කරලා වැඩ කරන හැටි දැණගන්නකං.

      බොහෝ කාළෙකට පස්සෙ, මම නැවතිලා හිටිය ගෙදර යස්ස පොඩ්ඩො දෙන්නෙක් හිටියා, ඔය වගේම. දරුවන්ගෙ පියා-මගේ මිත්‍රයා මේ ගැන කිව්වම, මම කිව්වා" ඔය පුරුද්ද මටත් තිබ්බා. දරුවන්ගෙ නිර්මාණශීලිත්වයට අකුල් හෙලන්න එපා" කියලා.

      පස්සෙ දවසක ඇහෙනවා "ඩෝං, ඩෝං" ගාලා සද්දයක්. බැලින්නං, ලොකු කොලුව, ඒකගෙ උපන්දින සෙල්ලම් බඩුව පොලේ ගහනවා, මෙහෙම කියමින්" අයි ඩෝන්ට් වොන්'නා දිස් ස්ටුපිඩ් තිංග්. අයි වොන්ට් ද රියල් තිංග්". ට්රූ ඉස්ටෝරි.😊

      Delete
    3. මගේ එකෙක් නං මං දනී මස් කොරණ්න!? හුහ්!

      Delete
    4. ටොමී මස් කරේ පොඩිකාලේ විතරද?

      Delete
    5. නෑ, නෑ දැනුත් කරනවා. මිත්‍රයො, මම උන්ගෙ, කැඩිච්ච භාණ්ඩ දිහා කෑදර බැල්ම දැම්මොත්, කියන්නෙ " තෝ එහෙම ඕකට අත තිබ්බොත්, ගහනව බල්ලට ගැහැව්වා වගේ" කියලා.

      උන්ට වාසනාව නෑ, සෑර්, මගේ අටුව කඩා පුටුව සෑදීමේ පලපුරුද්දෙන්, ප්‍රයෝජනේ ගන්ට.:(

      Delete
  5. මේක එකසැරේ බලා ඉවර කරන්න ලෝබයි. තව කීපසැරයක්ම ඇවිත් යන්න ඕනෙ. මලීගෙ පෝස්ට් එකක, අපි ගුවන් ප්‍රසිද්ධ විදුලි "අසන්නන්" ගැන කතා වුනා. වතුරේගම සුදිරට් අබේසේකර, කොල්ලුපිටියේ හැරිසන් පෙරේරා, මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ,බෝයගනේ පර්ල් අයිරින්...වගේ අය ගැන.
    http://hotchocolatedays.blogspot.com/2021/09/blog-post_28.html?showComment=1632840218870#c6465637914352698032

    ඔය අතර හිටිය පුෂ්පා රම්ලානි බ්ලොග් ලස්සන බ්ලොග් එකක් ලිව්වා "අක්කණ්ඩි" නමින්.
    https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. බස්සෝ මමත් මලීටනම් අත පුරෝල කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒත් අක්කණ්ඩි හොයාගෙන ගියාම හමූනේ ලැයිස්තුවේ අංක 19 ට තියෙන "අක්කණ්ඩිගේ පුලින තලාව" කියන බ්ලොග් එක! ඒකේ හැම අස්සක් මුල්ලක් නෑරම බැලුවත් ඔබ දක්වා ඇති පෝස්ටුව සොයා ගැනීමට බැරිවූ බව "මහත්වූ ප්‍රීතියෙන්" යුතුව පවසමි. (ඒක මගේ වරදක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත! අපි වයස් ගත් මිනිස්සු නොවැ හදවතින් තරුණ උනාට!?)
      කෙසේ වෙතත් මගේ හිතේ තිබුනු රස මතක කොහේ හෝ ලියා තබන්නටයි මට ඇවැසි උනේ අන් අයගේ මතක සමග සැන්ඩ්විච් කරමින්!
      යටියන්තොට හින්ටන් ඒ ද සිල්වාව. පැපිලියවල ඩෙන්සිල් රාමනායක, පද්මාවෝ මහේෂ්වරී, රෙඛාවෝ ඊශ්වරී වැනි අය අමතක කිරීම පිළිබඳව හද පිරි මෙව්වා එක!

      Delete
    2. පුලින තලාව උඩ කිලික් කලාම තමයි,"එකගෙයි කෑමට" පාර කියන්නෙ.

      https://pdissanayake.blogspot.com/2010/07/blog-post.html

      මේක මගේ වැරැද්දක්. හරි නම් වෙන්න ඕනෙ, "එකගෙයි කෑම" උඩ ක්ලික් කරාම එතෙන්ට යන්නයි. ස්තූතියි. වරද පෙන්නුවාට.����

      හුටා! දැන් හදපංකො, ලින්ක් 51 ම.����

      Delete
    3. අක්කණ්ඩි බ්ලොග් 4 ලිව්වා. එකක් "පුලින තලාව", අනික"මල් තුහින". දෙකේම නම් උඩ ක්ලික් කලාම අදාල තැනට යනවා.

      වරද, නිවැරදි කලා. දැන් "එකගෙයි කෑම" ක්ලික් කලාම එතැනට යනවා.:)

      Delete
    4. එළම එළ! මම ටොමීගේ කූඩුව හැදුවේ බ්ලොග් එකේ ලින්ක් එක නෙවේ අදාල පෝස්ට් එකේ ලින්කුව අරං! ඒ නිසා එතනට කෙටුවාම ඒ පෝස්ට් එකටම යයි නේද? ඔයාට පුළුව්ං ඒ පෝස්ට් එක දිගටම අප්ඩේට් කරණ්නත්!

      Delete
  6. ක්‍රීඩා විස්තර ප්‍රචාරය ගැන කියනකොට මතක්වෙන තව නාමයක් තමයි "මයිකල් කරුණාතිලක". නාට්‍ය ගැන කියද්දි "ශාස්ත්‍රීය සංග්‍රහයෙන්" ප්‍රචාරය උන "විශ්ව සාහිත්‍යයෙන්" අමතක කරන්න බෑ. ඒ වගේම රහස් පරීක්ෂක නැත්නම් අද්භූත කතාවක් ගිය අඩපැයක් තිබුනා හවස් වරුවේ. අධ්‍යාපන සේවයෙන් ප්‍රචාරය උන සාහිත්‍ය ලෝකයේ ලොක්කෝ ගහගත්තු "රූපන මණ්ඩපය" මට මතක විදියට කළේ ධම්ම ජාගොඩ.

    ReplyDelete
    Replies
    1. ඔව් සමාවෙන්න ඕනෙ එකසිය ගානට! මයිකල් කරුණාතිලක මහත්තයාගේ නම අමතක වීම පිළිබඳව!
      ඇයි රහස් පරීක්ෂක කථා වල හඬ කැවූ කරුණාරත්න අමරසිංහ මහත්තයා!? කතා ලියපු සුගතපාලද සිල්වා, නිශ්පාදනය කල පී වැලිකල වගේ චරිත දැනුයි මතකයට එන්නේ! ආයේ තව එකක් ලියමු!

      Delete
  7. ආයුබෝවන්ඩ, තට්ටයා මහත්තයෝ. උදේම ඔයාගේ මතකාවර්ජනය ඇහැ ගැටුනා. හිතටම සීමාවනු දේවල් ගැන කථා කරනකොට හරිම නෙවෙයි හරීම ආසයි. මහන්සියට ස්තුතියි.....
    මට නම් මේ ඔබ ඔය කියන බැටරි සෙට් එකක අසිරිය විදින්න ලැබුණේ නැහැ.ඒ වුනාට 1969 විතර මගේ අප්පච්චි සාක්කුවේ දාගෙන ගිය සල්ලි දිලා (ඒ කාලේ බඩු ගන්න සල්ලි ඇරගෙනම යන්න එපෑයැ, මොකද දැන් කාලේ වගේ ක්‍රෙඩිට් කාඩ් එක දීලා නයට බඩු ගන්න නම්බුකාර ක්‍රම ඒ කාලේ තිබුන එකක්යැ) ගෙදරට ගෙනාව JVC-NIVICO (mw/sw) ටෝච් බැටරි කෑලි හතරක් දමපු ට්‍රාන්සිස්ටර රේඩියෝ එක නම් තවම මගේ එකතුවේ තියෙනවා. මතකද උදේ 6.00 ඉඳන් 6.30 වෙනකම් ප්‍රචාරය වුන "උදා ගී" වැඩ සටහන. මේ වැඩ සටහනේ හැමදාම ඩී ඩී ගුනසේන මහත්තයාගෙ "සොදුර මට සමු දෙන්න" ගීතය ප්‍රචාරය වුනා. බොහොම අඩුවෙන් ඇහෙන බොහොම ලස්සන ගීතයක්. ඒත් එක්කම දහවල් දෙකට හින්දි ගී. ඉස්කෝල් ඇරිලා එනකොට කඩවල් වලින් ඒවා ඇහෙනවා නොමිලේම. මුදලාලියා දන්නේ නැහැ අපි සින්දු අහන බව. නැත්තං ඌ ඒකටත් අපෙන් ගානක් කඩා ගන්නවා.
    තට්ටයා මහත්තයෝ, මේ ටික නම් ආයෙත් කියන්න වෙනවා. ඔයා අපේ මතක ගබඩාව අවුස්සනවා.......

    ReplyDelete
    Replies
    1. මට මතක ලෙසට උදා ගී පටන් ගත්තේ 77 ආණ්ඩුවෙන් පස්සෙ වගේ. (මට මතක ලෙසට) ඊට ඉස්සර මැතිණිගේ යුගේ ඉඳන් තිබ්බා "අරුණ කිරණ", "දෙශාභිමානී ගී" කියලා පොඩි ආතල් සින්දු ටිකක් යන තත්පර 900 ඒවා දෙකක්.
      ඔය "සොඳුර මට සමු දෙන්න" ගීතය පටිගත කිරීමට නියමිත ගායක මොටා ආවේ නැති නිසා අපේ කේමදාස මාස්ට "තමුසේ කියනවා මේක!" කියලා ඩී.ඩී. ගුණසිංහයන්ගේ ඇඟේ ගහපු එකක් කියලයි මම අසා ඇත්තේ!?
      ඔඅය කාලේ; මම මේ කියන්නේ ජේ. ආර් බලේට එන්න ඉස්සර; මැතිනිගේ කාලේ තිබ්බා "වගා සංග්‍රාමය" කියලා වැඩ පිළිවෙලක්. ඒකට සමගාමීව එලියට ආපු ගීත කියලයි මටනම් හිතෙන්නේ. සඳ මඬලේ සිට - මාලිනී බුලත්සිංහල , පුංචි හාමු පුංචි හාමු කුඹුරු කොටන්නේ ඇයි - වික්ටර් රත්නායක, . . . . . . . ට්‍රැක්ටරයෙන් හඬ පැතිරෙයි - කුඹුර බලා කඩිමුඩියේ ඇල මත්තේ ජලය දිවෙයි (ගීතයේ මුල් කොටස අමතකයි! ඒ වගේම වික්ටර් රත්නායකගේ "ගී සියයක්" පොත අවසානයේ තියෙන සුචියෙන් හොයන්නට කම්මැලියි!!) වැනි ගීතබිහි උනෙත් ඔය "සොඳුර මට සමු දෙන්න" ගීතය බිහිවූ වප සරිය තුල කියලයි මට මතක! මොනවා උනත් ඒවා සුන්දර මතක! බොහොමත්ම ස්තූතියි සැමදා වගේම කියවන්නට ආවාට!~

      Delete
    2. මෙන්න කාලෙකට කලින් අපි 'සොඳුර මට සමු දෙන්න' ගීතය ගැන කතා කරපු දේවල් ටිකක්.

      http://hadageepotha.blogspot.com/2010/03/blog-post_04.html

      ඔය බ්ලොග් එකේ සැරිසැරුවොත් තට්ස්ට මිණිමුතු ගොඩක් හම්බෙයි. අවාසනාවට තිසා අයියා දැන් කාලෙක ඉඳන් ලියන්නෙ නෑ.

      Delete
    3. ඔව්, ඔව්, මේක වගා සංග්‍රාමය කාලේ ගීතයක් තමයි. මගේ මතකයේ හැටියටයි වැඩසටහනේ නම ලිව්වේ. නිවැරදි කලාට ස්තුතියි. මේවගේ දේවල් ගැන කථා කරන්න මෙවැනි වේදිකාවක් හදපු එක ගැනත් හැරෙන තැපෑලෙන් (මං කීවේ ලංකාවේ තැපෑල ගැන එහෙම නෙවෙයි) පිළිතුරු ලියපු එකටත් ගොඩක් ස්තුතියි. ඩී ඩී ගුනසේන මහත්තයා ගැන ලියා ඇති දෙය මමත් අහලා තියෙනවා. ඒවා
      ඉතින් කේමදාස මාස්ටර්ගේ සදාකල් පවතින හිතුවක්කාර තීරණ..

      Delete
    4. බුරතීනුලා වගේ මේවයේ උරුමක්කාර පොල්මහ්කාරයින් ඒ මහත්වරුන්ව ආපහු කැඳවන්න ඕන! සත්තකින්ම මට අවශ්‍ය කථා බහ ඇතිවෙමින්! ඊට අවංක ගෞරවය!

      Delete
    5. // මේවයේ උරුමක්කාර පොල්මහ්කාරයින් //

      අනේ බුදු සෑර්, අවුරුදු 10-12ක් මේකෙ යහතින් හිටපු මට ඉතුරු ටිකත් යහතින්ම ඉන්න දෙන්න. සැර් කියන විදියකට කමෙන්ට් එකක් කොටන්, පරණ පෝස්ට් එකක් එළියට ඇඳන් ඉඤ්ඤං.

      සෑර් නොදන්නවට, ගූගල්කාරය නිකං දෙන මේ සිංහල බ්ලොග් අවකාශෙටත් ඉස්සර අයිතිකාරයො හිටියා. ඒ උත්තමයො කෝප වුනොත් හෙම.

      Delete
    6. ඒම නෙවෙයි! ඔබ තුමංලා දන්න පරණ කකුල් ගෙන්නන්න පොඩ්ඩක් උනංදු වෙන්ඩෝන! එළ!

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  8. අපෙ ගෙදරටත් ඉසේල්ලාම ගෙනාවේ වීරසිරි මහත්තයා කියා තිබෙන nivico රේඩියෝ එකක්. මගේ ඔලුවේ ඒ නම තිබුණේ nevico කියලයි. අනේ අම්මේ ඒක ගෙනාපු දවසේ අපට තිබිච්චි සතුට .... අපේම පවුලේ කෙනෙකුගේ මඟුල් ගෙදරකදීවත් දැනිලා නෑ, මට නං.

    තට්ටයා මහත්තයෝ, මාත් තැනින් තැන රේඩියෝ එකේ වැඩ ගැන ලියල තිබුණත් ඒවා මට අදාල වුනු තැන ගැන විතරයි ලිව්වේ. එනිසාමයි මට පුංචි අඩුවක් අහු වුනෙත්. කරුණාරත්න අමරසිංහ මහත්තයාව අමතක වුණාවත්ද? (මං පොස්ටුවක් නොකියවා කමෙන්ට් කරන්නෙ නෑ. අද නං කියවන්නේ කඩදහිය ලිපේ දාලා. කරුණාරත්න මහත්තයගෙ නම තිබිලත් මට මඟ ඇරුනා වෙන්නත් හැකියි.)

    තව තිබුණු සුපිරි වැඩ සටහනක් තමයි 'විසි පැන'.

    මට රේඩියෝ ගැන තියෙන අමිහිරිම මතකේ තමයි පිටරටක රාජ්‍ය නායකයෙක් මැරුනාමත් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරලා ,රේඩියෝ එකේ දවස තිස්සෙම අඬවැඩියා සංගීත ඛණ්ඩ වාදනේ කිරීම.

    වෙලාව, නිදහස, කැමැත්ත තියෙන කෙනෙකුට ගිහින් කියවලා බලන්නයි, ගුවන් විදුලියට අදාළ මගේ සටහන් ඇති තැන කිහිපයක links මෙතැනට දාන්නේ.
    https://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_49.html
    http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_91.html
    https://nidigepanchathanthare.blogspot.com/2019/08/neil-sunil-wa.html
    https://nidigepanchathanthare.blogspot.com/2020/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. මට උඩ ලියන්නට බැරි උනා අමරසිංහ මහත්තයාගේ නම! යට කමෙන්ට් එකකට පිළිතුරක් විදියට ලියලා ගොඩ දාගත්තා! සත්තකින්ම ඒ වා රස මතක!
      මට මතකයි එක් වරක් කවුදෝ සංගීත පකීර් කෙනෙක් ගුවන් විදුලියේ සාකච්ඡාවකට ඇවිත් කියපු දෙයක්! "මේ රටේ ඉන්න මිනිස්සුන්ට හරි යමං ශාස්ත්‍රීය සංගීතයක් අහන්න ලැබෙන්නේ කවුරු හරි මැරුණම තමයි!" කියලා. එදායි මම දැන ගත්තේ අර ඔබ කී "දුක් අඳෝනා" ශාස්ත්‍රීය සංගීතයේ එන "රාග" කියලයි අපි දෝෂ දැක්කාට මොහයෙන් යුතුව!

      Delete
    2. ඔබගේ කවි රස වඳිනවා. හරිම ලස්සනයි. අර කියලා තියෙන JVC NIVICO රේඩියෝව තවම තියෙනවාද? තිබුනත් FM නැති නිසා අහන්ට නම් බැහැ. ඒත් ඒවා යුගයක් නියෝජනය කරනවා.

      Delete
    3. ස්තුතියි වීරසිරි මහත්තයෝ, කවිවලට කැමති බව අහන්නත් සතුටක්. රේඩියෝ එකට වෙච්චි දෙයක් නෑ. අපෙ මහ ගෙදර තිබුණු බඩුවකට ඉතිරි වුණේ පීකුයි, පුටු හතරකුයි, අල්මාරියකුයි විතරයි. ඒ කාලේ අපි බොහොම දුප්පතුන්නේ.

      Delete
    4. අනේ අපරාදේ පරන රේඩියෝ එක. නිදි මහත්තයට මතකද මන්දා, ඔය රේඩියෝ වලට අලුත් බැටරි දැම්මේ රේඩියෝව අලුතින් ගෙනාපු දවසේ විතරයි. ඊට පස්සෙ දාන්නේ කෑලි දෙකේ බැස්ටියෙන්, අමු හිංගලෙන් කීවොත් ටෝර්ච් එකෙන් අයින් කරන බැටරි බවයි මට මතක. ටික දවසක් යනකොට ඒවාගේත් හොදි බහින්ඩ පටන්ගන්නව. එතකොට බැටරි අව්වේ තියලා ඊට පස්සෙ ලී කෑල්ලකින් තලනවා. ඉන් පස්සෙ ඊළඟ ටෝර්ච් බැටරි සෙට් එක එන කල් අල්ලා ගෙන ඉන්න පුළුවන්. ඒවා ඒ කාලේ නැතිකම නිසා වින්ද කරදර වුනාට දැන් බැලුවම ඒවායේ මහා සුන්දරකමක් තියෙනවා කියලා හිතෙනවා. පරන රේඩියෝව හොයාගන්න බලන්න. මොකද,ඒවායේ ආර්ථිකමය වටිනාකමට වැඩි යමක් තැවරිලා තියෙනවා.......

      Delete
  9. Wow! ඔය ඔක්කොම මතකෙන් ලිව්වද? එහෙම නැත්නම් මිස්ටර් තට්ස් ගාව රෙෆරන්ස් පොත්පත් තියනවද?
    ඔය තරම් ලොකු නැති සිගරට් පෙට්ටි දෙකක විතර සයිස් කලු බේක්ලයිට් කවර් එකක් තිබුන බැටරි වර්ගය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සීයට අසූවක් මතකය. අනෙක්වා "ගුවන් විදුලි" සඟරාවකින් ගත්තේ. ඇත්තටම ඒ වැඩසටහන් ප්‍රචාරය වූ වෙලාවල් ටක්කෙටම ලිව්වේ ඒ සඟරාවෙන්. මුතුහර සඟරාවකට ඇම් සී ඉඳුනිල් ප්‍රනාන්දු ලියන ලද "තිස් වසක් සපිරෙන මුවන් පැලැස්ස ලිපියෙන් තමයි දින වකවානු හොයා ගත්තේ! ස්තූතියි ආවාට. මට මතකයට එන්නේ නෑ ඒ බැස්ටිය ගැනනම්!

      Delete
  10. Ape gedarath thibune PYE radio set ekak thamayi.Oya kiyana BEREC bateriyath oya kiyana paththu wena valve ehemath mata hondata mathakayi.Lipiya ithama rasawath.
    Mulu radio wada satahan ithihasema lipiye anthargathayine.Oba kohoma me serama mathaka thiya gannawada kiyana eka gana mata pudumayi.

    ReplyDelete
    Replies
    1. සරත් මහත්තයා සීයට අසූවකට වඩා නම් මතකයම තමයි. අනික්වා මගේ පොත්ගුලෙන් හොයා ගත් දත්ත. දින වකවානු වෙලාවල් නම් එහෙම හොයා ගත්තු ඒවා! අනිත් දේවල් අමූලික මතකය!

      Delete
  11. අඩේ, තට්ස්ට 'අම්බිගා ගීතයෙන් ගීතය' අමතක වෙලා නෙව. වස වැරැද්දයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒකනං සමාව දෙන්න බැරි වැරැද්දක් තමයි! ඒක ඉතා රසවත්. මම අර "ගීත කතන්දර" ලියන කොට ඔය ගීතයෙන් ගීතය මතක තිබුනා! ඒත් ඉතින් A කෝ B කෝ කිය කියා කොටන කොට ඕක මිස් උනා බොස්! ස්තූතියි මතක් කලාට!

      Delete
    2. ගීත කතන්දර ලියලා චරිත නිරූපණය කල ගැමුණු විජේසූරිය හිටියේ මහරගම පන්සල පාරේ. මං හිතන්නේ නිවේදක කැලුම් විජේසූරිය එතුමාගේ කවුරු හරි.....
      මත තවම මතකයි එක ගීත කතන්දර එකක් ප්ලොට් එක තිබ්බේ යුනියන් ප්ලේස් හොයන්න යනවා, ඒත් නම අමතක වෙලා කරදර ගොඩක් වෙනව. අන්තිමට 'මේ හූනියම අතාරිමු' කියද්දී 'නම මතක් වෙනව!

      Delete
    3. ඔව් ඇත්තටම ගැමුණු සැබෑම දක්ෂයෙක්! ඔහුට කටහඬවල් හයක් තිබුනා!

      Delete
  12. රසාලිප්තය මතකයක් නොවැ.හරිම ලස්සනට ලියලා.මං පොඩිසංදියෙත් අපේ ගෙදර රේඩියෝවක් තිබුනා මතකයි.මට ඒකෙන් වැඩිපුර මතක මුවන්පැලැස්සයි විකටර් මිගෙල් කියන නමයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සොඳුරු මේ පැත්තේ ගොඩවූවාට! ඔඑ ඒ කාලේ මුවන් පැලැස්ස කියන්නේ සාමාන්‍ය ජන ජීවිතේම කොටසක්! වරක් වික්ටර් මිගෙල් ඒකියන්නේ කදිරා රෑවෙලා ගමනක් යන ගමන් කඩේකට ගොඩ වැදිලා මොන මොනවාදෝ ගන්න! මුදලාලි ඇඟට ගොඩ උනාලු "මහත්තයා වෙන වෙලාවක එන්න! මේ වෙලාවට කවුද බඩු දෙන්න ඉන්නේ මාත් මේ මුවංපැලැස්ස අහන්නයි හදන්නේ!" කියලා. ඇත්තෙන්ම රසබර මතකයන් ඒවා යලි කිසිදා නොඑන! ඒ කතා වැඩක් නෑ! මොකද ලියන්නැත්තේ? අනිවා ලියන්න ඕන! අපි ලොකු මහන්සියක් ගන්නවා ආයෙත් "බ්ලොග්" තරමක් හෝ ඉදිරියට ගෙන එන්න! අනිවා ඔයාලගෙ සපෝට් එක ඕන මයි! තවත් එකක් ලෝටස් බත් කඩවත දිහාට ගෙනත් දෙන්නැතෙයි?

      Delete
  13. අපේ ගෙදරත් තිබ්බා වෑල් රේඩියෝ එකක්. අපේ තාත්තගෙ තිබුණු නරක පුරුද්දක් තමා, තියෙන එක විකුණලා, අලුත් එකක් ගේන එක. එයිං අරක නැතිවුණා. අපසාදෙ...

    අපේ යාළුවෙක් වන, අර දේවාරූඪයෙන් ටීවී හදන අශෝක ළඟ තාමත් වැඩ කරන වෑල් ටීවී එකක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ටෙලිවිෂන් ට්‍රාන්ස්මීටර් වල අන්තිම ස්ටේජ් එකට තවමත් වෑල්ව් භාවිතා කරන බව අහලා තියෙනවා.කවුරුහරි සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්න.

      Delete
  14. ටීවී ගැන මට මතකයි සුරංග වරක් ලිව්වා. ඒක පට්ට ඈ...

    ReplyDelete
  15. මේ තියෙන්නෙ සුරංග ලියපු රේඩියෝ ලිපි පලේ පළමුවැනි එක...

    "...පහ වසරේ සිස්සත්ව පෙරහුරු ප්‍රශ්ණ පත්තරේ ප්‍රශ්ණවලට "රේඩියෝව හොයාගත්තේ කවුද?" කියලා ඇහුවම අපි ලිව්වේ "ගුග්ලි එල්මෝ මාර්කෝනි" කියලයි. ඒ මාර්කෝනි කියන කෙනා කොයි දීපංකරේක ඉන්න කෙනෙක්දැයි දන්නේ නැතත් රේඩියෝ නැතිබංගස්ථාන කරන මකබාස්ල නං අපේ ගමේ මං දන්න කීප දෙනෙක්ම හිටියා. එයිං එක්කෙනෙක් අපේ පවුලේ කෙනෙක් විදිහටත් බොහොම ආඩම්බරෙං කියන්න පුළුවං.


    මං පොඩි කාලේ අපේ ගමේ ගෙවල්වල "ගෑනි" ඇරුණහම තොරතුරු දැන ගැනීමේ අනික් ක්‍රමය උනේ රේඩිවේක. ඉංග්‍රීසියෙං Radio කියලා ලිව්වත් සිංහලෙං "ගුවන්විදුලි යන්ත්‍රය", "රේඩියෝව" කියලා ලිව්වත් අපි ඒකට කිව්වේ "රේඩිවේක", "රේඩියේක" නැත්තං "රේඩීක". ඉස්සර මිනිස්සු රේඩිවේකට "කතා පෙට්ටිය" කියලා කිව්ව බව ඉස්සර කාලෙ කතා ලියන අය පත්තරේ ලිව්වත් එකදාස් නමසිය තිස් ගනංවලවත් එහෙම කියාපු කෙනෙක් නොහිටිය බව අපේ ආතා මට කිව්වා. ඒ විතරක් නෙමෙයි රේඩිවේකට "වෑර්ලස් එක" කියල කියන කෙනෙක්වත් අපෙ ආතගෙ මතකෙ හිටියෙ නෑ. ටෝච්චෙකට "බැටලිය" කියන අපේ තාත්තගෙ අම්මත් කිව්වෙ "රේඩිවේක" කියලා..."

    කොහොමද උගෙ ලිවිල්ල?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී උං ඔක්කොම ආයෙත් ගෙන්නෝන මේ වේදිකාවට! අපි කලේ උං නිවාඩු ගිය ටිකට වැඩ බැලුව එක! දැං ආයෙත් උංට ඇවිත් වැඩ භාර ගන්නයි කියන්නෝන. උගෙ නොම්මරයක් තියේනං දාන්න!

      Delete
    2. SMS එකක් දැම්ම. ඕකව කණෙං අල්ලල ඇදගෙන එන්ඩ

      Delete
    3. නොම්මරේ එවපං මල්ලී!

      Delete
  16. රසවත් අතීත මතක ආවර්ජනය කලාට ස්තුතියි.

    හැමදාම අසන්නන්ගේ ඉල්ලීම් ඉල්ලන මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණි සුබසිංහ, ගම්පහ පද්මාවෝ මහේෂ්වරී හේරත් හෙමත් අවුරුදු පනහකට පස්සෙත් තාම මතකයේ තියනවා.

    උපන් දිනයට සුමානෙකට විතර කලින් "පෝස් කාඩ්ඩෙකක" නමයි උපන් දිනෙයි ලියලා ඇරලා, හවස පහට "මෙන්න අපෙන් සුහද පැතුම්, සුබ උපන් දිනක් වේවා" කියලා නම කියනකං බලා හිටපු කාලය තාම මතකයි.

    අපේ ගෙදර තිබුන පායි රේඩියෝ ලයිසන් එකෙත් ලියලා තිබුනේ පයි කියලා තමා.

    අන්තිමටම වගේ තියන //ඔව් නෑ බෑ (ඩී. පී මොරවක)// කියන එක දැක්කාම ඒකේ තියන ඉතාම සුළු වරදක් නිවැරදි කරන්න හිතුනා.

    ඒක බී පී මොරවක (බෙම්බි පෙරේරා මොරවක) මිසක් ඩී පී මොරවක නොවෙයි. මෙතරම් සුළු වරදක් පෙන්නා දෙන්න හිතුවේ, "ඩී පී මොරවක" කියන්නේ අපේ පවුලේ හැම දෙනාගේම නම නිසායි. මගේ සීයාත්, තාත්තාත්, ඩී පී මොරවක වන අතර, මා ඇතුළු තාත්තාගේ දරුවන් සියලු දෙනාමත්, මගේ දරුවනුත් හැම දෙනාගේම නම් වලටත් ඩී පී මොරවක කොටස ඇතුලත්. ඉතින් ඒ නම වෙන කෙනෙකුට දෙනකොට නිකංම ඉන්න බැහැනේ!

    ReplyDelete
    Replies
    1. මොරවක මෙඩිටො කොම්පැනිය තිබ්බෙත් පන්නිපිටිය පරණ පාරේ කන්ද උඩ ආණ්ඩුවේ ඩිස්පැන්සරි එකට කිට්ට්ටුව නේද , සෑම් මහත්තයෝ.

      Delete
    2. නි දි මහත්තයාට තැන ටිකක් අමතක වෙලා වගේ!
      ඒක තිබුනේ පන්නිපිටියේ නොවෙයි. පරණ පාරේ, කොට්ටාව හන්දියේ ඉඳලා මීටර් දෙසීයක, දෙසිය පණහක දුරකින්. "මෙඩිටෝ කොම්පැනිය" කියන්නේත් බී පී මොරවක සමාගම ටම තමයි.

      Delete
    3. සෑම් මහත්තයා කොට්ටාවේ ඉඳන් අළුත් පාරේ එනකොට මොරවක පෙට්‍රොල් ශෙඩ් එක ලඟ නේද ඩී බී රම්පාල මහත්තයා හිටියේ? ඒ හරියෙ නෙවෙයිද මෙඩිටෝ කොම්පැනිය තිබ්බේ?

      Delete
    4. සමාවෙන්න එය බී පී මොරවක තමයිනේ!

      Delete
    5. රම්පාල මහත්තයාගේ ගේ තිබුනේ මොරකැටියෙයි.

      මොරකැටිය හන්දියේ, හයි ලෙවල් පාරේ සිට, පරණ පාරට ගියාම දකුණු පැත්තේ තිබුන පළමුවැනි ගෙදර. දැන් ගූගල් මැප් එකේ අංක 423/2 "කරුණාකර ගේට්ටුව අවහිර නොකරන්න" කියන පුද්ගලයා පදිංචි ගෙදර තියන තැන. 6.84600, 79.95314

      මොරවක "ටොනික් මෝල" තිබුනේ මොරවක ෂෙඩ් එක පසුපසට වෙන්නයි. (6.84322, 79.96156) එය පසුපසින් පරණ පාර දක්වා තිබුන අතර, පරණ පාරෙන් එහා පැත්තේ ලොරි නඩත්තු/අලුත්වැඩියා කරන කොටස තිබුනා.

      ඊයේ පිළිතුර ලිව්වාට පස්සේ ගුවන් විදුලිය ගැන තව දෙයක් මතක් උනා. ඒ තමයි ඒ කාලේ අපට තිබුන "රේඩියෝ උණ".

      කොටුවේ/පිටකොටුවේ කඩේකින් කොටස්/උපදෙස් අරගෙන, එහෙම නැතිනම් VPP මගින්ගෙන්වාගෙන, ෆෝමිකා ලැමිනේට් කෑල්ලක සර්කිට් බෝඩ් එක හදලා, ඒකේ සද්දේ අහපු දවසේ දැනිච්ච සතුට මාකෝනි ට වත් දැනෙන්න නැතුව ඇති.

      Delete
  17. ලොව ඝනඳුරු දුරු කරන්න
    ගුණ නුවණට මඟ පෙනෙන්න
    පුංචි අයට දැනුම දෙන්න
    හඳ මාමට සවන් දෙන්න

    සුමනා ජයතිලක නැන්දගේ පින්තුර ටිකක් තියෙනවා මෙතන .

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මම ඒ කවියම දාන්න එලෝ මෙලෝ නැතිව කල්පනා කලා. ඔය දෙවන පදේ ආවෙම නෑ කියන්නකෝ! බොහොමත්ම ස්තූතියි පරණ මතකයන් අළුත් කලාට! ඒ පිංතූර ටිකත් බැලුවා! බොහොම ස්තූතියි හැට්ටර් අයියාට!

      Delete
  18. ප්‍රවෘත්ති කිව්ව තවත් එක්කෙනෙක් බර්ටි ගලහිටියාව.
    ඔය බෙරෙක් බැටරිය කාලයක් ගියාම බලය අඩු වෙනවා.එතකොට අපි දවල්ට අව්වෙ තියනවා. ටිකක් පන ගහනවා . මට මතක හැටියට තාත්තා ඒවා ගත්තෙ ඩාලි පාරේ තිබුන බ්‍රවුන් සමාගමෙන්.

    ReplyDelete
    Replies
    1. ඔය බෙරෙක් බැටරිය ගැලෙව්වාම හරියට යෝධ පෙපර්මින්ට් එකක් ගැලෙව්වා වගේ පෙති පෙති!

      Delete
  19. මහාරාජා සමාගම ප්‍රශ්න විචාරන තරඟ වැඩ සටහනක් ඉදිරිපත් කල බව මතකයි. ඒ අය හදපු දන්තාලේප නමින්.Forhans වාසනා හත. ලලිත් එස් මෛත්‍රීපාල මෙහෙයවීම.

    ReplyDelete
    Replies
    1. ලලිත් කුමක් හෝ ප්‍රශ්න විචාරත්මක වැඩ සටහනක් කල බව මතකයි. ෆෝරෑන්ස් තැඹිළි පාට ටියුබ් එක. අමුතු මූඩියක් තිබ්බේ. දත් මැද්දාම හරියට හුනු වැඩියෙන් දාලා විටක් කෑවා වගේ! කට පුපුරු ගහනවා!

      Delete
  20. මේ ලිපිය නං පට්ට රහයි. ඇස්වහක් කටවහක් නෑ, හොඳට රසවින්දා. ඒකට හරියන, නියම කමෙන්ට් ටිකකුත් වැටුනා.

    අවන් හල ලියන මහේෂ් ලියපු,තනිකරම බැස්ටි පෝස්ටුවෙන්:
    //රේඩියෙක අහං ඉන්නකොට.... බැට්ටිය බැස්ස .... ඒ වෙලාවට යන සිංදුව කියන කෙනා හරි කතා කරන නි‍වේදකය හරි එක පාරටම වචන ගිලින්න පටං ගන්නව.

    ආයු..වන්.. න්ධ්‍ය වුත්ති.. කාශය රම්‍යා ‍..සේකර. ශීර්..පාඨ..//
    https://awanhala.blogspot.com/2021/10/blog-post.html
    එතැනම කමෙන්ටුවක් දාපු හැට්ටර් මහත්තයා:
    //ඔව්වයින් අර බළල පයින බැස්ටි ජාතිය නං හොඳයි//
    පනින බළලා මාක් - එවරෙඩි බැස්ටි. "එවරෙඩි පූස " කියලත් කියමනක් තියෙනවා.

    ලන්දේසි දුපතේ මතක:
    "දැන් සතුටුද ජෝනා, සන්තෝසයි වැන්දබෝනා.

    ගුවන්විදුලි රඟමඩල: ඇඟේ මයිල්-ඉස්මයිල් වෙන පට්ට කතා සැට් එකක් තිබ්බා. "හාරත ආසියා" එහෙම ත්‍රාසජනක රහස්පරීක්ෂක කතාවක්. ඔය කියන වකවානුවෙ, ගුවන් විදුලි ශිල්පීන්ට "BBC" පුහුණුවක් ලැබුන බවත්, එහිදී ලැබුන "සවුන්ඩ් එෆෙක්ට්" හඞපට, මේ සඳහා ලෙසටම පාවිච්චි කල බවත්, පසුව මුණගැසුන ජේෂ්ඨ රේඩියෝ නිළධාරියෙක් කිව්වා.

    මේ වගේ පට්ට රස, අතීත ආවර්ජනා ලිපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා:)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! රස මතක! මතකද දැති මෝරා රහස් පරීක්ෂක නාට්‍යය! ඇත්තටම ඒ ශිල්පීන් සැබෑම දක්ශයින්. ඔය දැති මෝරා කතාවේ රහස් පරීක්ෂක චරිතයට හඬ දුන්නේ කරුණාරත්න අමරසිංහ මහත්තයා!

      Delete
  21. සැමුවෙල්, බර්ටි, ඇනස්ලි
    ඉස්සර 'ඩයල් ටෝන්' විකුණපු එවුනුත් හිටිය!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  22. ලලිත් එස් මයිත්රිපාල.❤❤❤

    ReplyDelete
    Replies
    1. සිරාම හඬක්! සිරාම කවිත්වයක්!

      Delete
  23. අපේ ගෙදරත් තිබුනා වැල් රේඩියෝවක් අගල් 24 ටැලිවිසොන් එකක් විසාල. ඇතුලේ විවිධාකාර විදිහේ ලයිට් බල්බ ගොඩාක් තිබුනා කනාමැදිරි එළි වලටත් වඩා අඩු එලියක් විහිදවන.එකේ පිටිපස්ස කවර් කරපු හාඩ් බෝඩ් කෑල්ල මොකක් හරි රෙපෙයාර් එකකට ගැලවුනාට පස්සේ ආපහු සවිවුනේ නෑ. මම පොඩි එකා සන්දියේ ඕක පිටි පස්සේන් බලන් ඉන්නවා ඇතුලේ කතාකරන චුටි කුරුමිටි මිනිහයි ගෑණියි අල්ලා ගන්න. චුරු චුරු සද්දේ වැඩවෙලා අන්තිමේදි එයා පැත්තකට වැටුනේ 84 දී තාත්තා සෝනි ටැලිවිසොන් පෙට්ටියක් ගෙදරට අරන් ආවට පස්සේ. වැස්සට තෙමිලා ලී පෙට්ටි දිරා පත්වෙලා එයා නොඑන ගමන් ගියා. අසු ගනන් අග 90 මුල අපේ අල්ලපු ගෙදර වැඩට හිටිය මාටින් අයියාගේ මාගෙලගොඩ ගෙදරට පාසැල් නිවාඩුවේ ගිය කාලේ එහේ විදුලිය තිබුනේ නෑ. ගෙදර කටිටිය වටවෙලා රේඩියෝවේ මුවන්පැලැස්ස හරි මොණරතැන්න හරි අහනවා කුප්පි ලාම්පු එළියත් එක්ක මගේ මතකයේ සටහන් වෙලා තියේනවා.
    මුවන්පැලැස්ස ගැනත් ළමාපිටිය ගැනත් මම ලිව්ව මේ ලිපි බලන්න.

    https://kolompure.blogspot.com/2016/09/blog-post_0.html

    https://kolompure.blogspot.com/2016/08/blog-post_14.html

    ReplyDelete
  24. ඔහොම තඩි රේඩියෝ එකක් , කැබිනට් එකක් කරපු එකක් නම් අපේ මහ ගෙදර තියෙනවා. ඊට මෙහා මම මේ කියන එව්වා අහල නෑනේ!

    ඒ උනාට කට්ටිය ඊස් මීස් නැතුව මෙතන පිරිලා.. මරුනේ!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...