Tuesday, June 22, 2021

202. තිස් අවුරුදු රථ මතක . . . . ! (10)


ලෑන්ඩ්කෲසරයේ නික්ම යෑම!

201 වනි කථාංගය නිමා වූයේ දෙනෝ දාහක් මැද්දේ අප කිහිප දෙනක් "රා ගුඩ්ඩන්" වීමෙන් අනතුරුවය!~ සමහරු දෝෂාරෝපණය දැම්මේ එහි වාහන ගැන කිසිදු වචනයක් ලියවී නොතිබූ බව පවසමින්ය. කථාව තුල මම බොහෝ වාර ගනනක් "වාහනය නැවැත්වූයෙමි!" "පිටත් උනෙමි!" "ගියර් මාරු කලෙමි!" යනාදී වශයෙන් ලියා තිබුනේ ලෑන්ඩ්කෲසර් බීජේ ෆෝටිය ගැනමය.

එසේනම් කථාවට බහිමු. අති බිහිසුණු කොණ්ඩා මෝස්තර, ඉළ ඇදෙන සටන්, ත්‍රාසජනක විහිළු පටන් ගන්නේ දැන්ය. පසුගිය පෝස්ටුව බයිස්කෝප්පේ ඉට්‍රබල් එකය!

කෲසරය මේ වන විට පවුලේ වාහනය වී අවසානය. නිවසේ ඕනෑම ගමනක් බිමනක් සඳහා; මරණෙට මගුලට දානෙට පිරිතට ගමන් බිමන් ගියේ මෙම වාහනයට පිං සිද්ධ වෙන්නටය.  ඉතා ඉක්මණින්ම එය පවුලේ ලොකු පුතා විය! 

දිනක් මමත් වසිකත් කඩවත සිට පන්නිපිටියට යමින් විය.  හයිවේ නොතිබුනු මේ වකවානුවේ කඩවත සිට පන්නිපිටියට ගියේ කඩුවෙල නගරය හරහාය. මා රථය පැදවූ අතර වසික සිටියේ පසුපස ආසනයේය. මෙම රථයේ පසුපස ආසනය හරස් අතට එනම් ඉදිරිපස ආසන වලට සමාන්තරව සවිකොට තිබූ පසුපස ආසනයේය! 

මා කලින් පෙර කොමෙන්ටුවේ පැවසූ ලෙසම රථයේ පසුපස දොරවල් ද්විත්වයේ උඩ කොටස නිරාවණය වී තිබූ අතර එයින් පසු පස බලමින් වසික ආසනය මත දණ ගසා ගෙන ගමන් ගත්තේය. මගේ රථයට පසු පසින් ගමන් ගත් නවීන මෝටර් රථයක ගමන් ගත් අයෙකුහට අත වනමින් ඔහු සිටි අතර කඩුවෙල නගරයට බියගම දෙසින් ප්‍රවිෂ්ඨවෙන පාලමට මීටර 100  කට පමණ පෙරදී එකී මෝටර රිය; අපගේ කෲසරය පසුකරමින් නැවැත්වූයේ මටද නවත්වන් මෙන් අතින් සන් කරමිනි.

නැවත්වූ වාහනයෙන් බැස ගත්තේ කඩවසම් තරුණයෙකි. හේ ගුවන් හමුදාවේ පියාසර නිළධාරී "මාවතගම" ලෙස තමාවම හඳුන්වා දුන්නේය. ගුවන් හමුදාව කියූ සැණින් මාහට  එකල මාගේ අතිජාත මිත්‍රයා ශානක රාජකරුණා පිළිබඳව මතක් වී ඔහු ගැනද පවසා;  ඔහුට මා කවුරුන් ද යන වගත් මාගේ පාසලත් රැකියාවත් ආදී වශයෙන් සියළු විස්තරත් ගෙන හැර පෑවෙමි. ඔහු වාහනය හොඳින් බලමින් සිට; එය විකුණනවාදැයි අසා මා එය නිහතමාණීව ප්‍රථික්ෂේප කල පසු මෝටර් රියේ නැගී ඉගිලී ගියේය.

තවත් සතියක් ගත වෙද්දී ෂානක මාහට දූරකථන ඇමතුමක් දුන්නේය. "අයියෙ! උඹේ වාහනේ අපේ ඔෆිසර් කෙනෙක්ට; වෙන පංචිකාවත්තෙ එකෙක් උගස් තියලා ඊට පස්සේ උගෙන් උස්සං ගිය එකක්ලු. ඌ කියනවා වාහනේ ඌට දීල ගොඩින් බේර ගන්නලු. නැතිනම් ෆ්‍රෝඩ් බියුරො (Fraud Bureau) යන්න උඹට ලෑස්ති වෙන්නලු. ආ! තව එකක් වාහනේ පොත තියෙන්නේ ඌ ගාවලු. උඹ හදපුවාට කීයක් හරි දෙන්නම්  කියලත් කිව්වා!"

"අම්මට සිරි මාර සීන් එකක් නෙ!? වාහනේ පොත මං ගාවනේ තියෙන්නේ!? ඌ කොහොමද මේ වාහනේට අයිතිවාසිකං කියන්නේ?" මම ෂානකගෙන් ඇසුවෙමි.

"ඒකනං මං දන්නේ නෑ! ඔක මහ හොරා! ඒ වගේම .......! ඕකා ඔය ගේම අතාරින එකක් නෑ! උඹ බය වෙන්න එපා අයියේ! අපිත් මොකක් හරි ගේමක් ගහමු!

මට මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි! ඔළුව ඔම්ලට් වෙලාය! මම ෂානකට ආයෙමත් කෝල් එකක් අරං නැවතත් කථාව මුල සිට එකින් එක විමසුවෙමි.

"කවුද බං ඔය කියන එකා? මෙකෙක්ද ඌ? කොහේ එකෙක්ද?"

"ආ! මට කියන්න අමතක උනා ඌ උඹලත් එක්ක එකට රොටරියේ A/L ක්ලාස් ගිය ඩයල් එකක්. ඌ උඹව අඳුනගෙන . උඹ අයියේ ඌව අඳුනගෙන නෑ! නම 'මාවතගම'!"

"අම්මට සිරි ඌද බුවා?" එදා හමුවුනු හමුදා නිළධරයා යැයි තමාව හඳුන්වා දුන් පුද්ගලයා මීට පෙර මුණ්ගසී ඇති බවක් මාහට මතක් වූ බවත් ඔහු ඉතා හොඳින්ම වාහනයට ඉව ඇල්ලූ ආකාරයත් මාහට මතක් විය!

මම මේ කථාව  පවසන්නේ 1997 -98 කාල වකවානුවේ සිදුවූ සිදුවීම් ජාලයක් පිළිබඳවයි තවත් ලෙසකින් පවසනවා නම් අදින් වසර 24 කට පෙර කෙරුණු ජවනිකා පෙලකි. "අම්මටසිරි ඌද බුවා?" යනුවෙන් හඳුනාගත් "බුවා" කවුරුන් දැයි පැවසීමට මාහට තවත් වසර 12ක් එනම් අදින් වසර 36ක් පසු පසට යාමට සිදුවේ. 

ඒ 1983-84 වසර යි! එකල මා උසස් පෙල හදාරමින් සිටියෙමි. අප බොහොමයක් උපකාරක පංති සඳහා පිවිසියේ නුගේගොඩ රොටරි ශාලාවට හෝ රේල්වේ ඇවනියු වෙතය.  එකල පංති නිමවා නුගේගොඩින් 168 බස් රථයකට ගොඩ වදින අපහා එක්ව ගමන් ගන්නා; අපගේ සහෝදර පාසලේ තවත් ශිෂ්‍යයෙකු විය. ඔහුගේ මවද පුංචි බොරැල්ල කිට්ටුව බාලිකාවක ගුරුවරියක් විය! බොහෝ විට ඔහුත් මමත් යාබද අසුන් වල; වල බසිමින් ගමන් ගත්තෙමු. මේ අන් කිසිවෙකු නොව පෙර කී ගුවන් හමුදා නිළධරයාය!

ඉන් පසු තවත් මාස කිහිපයක්ම ෂානක හරහා පණිවිඩ පිට පණිවිඩ මාවෙත ඔහු එවූවත් මා නොසැලී වාහනය මා වෙතම රඳවා ගෙන සිටියෙමි.

ඒ වෙනුවෙන් මා කලේ අතර මගදී වාහනය පැහැර ගැනීමකට ලක් වුවහොත් එයට මුහුණ දීමට සන්නාහ සන්නද්ධ වීම පමනකි! 

මේ අතර දිනක් මාගේ වැඩිමහළු සොයුරා අපේ නිවෙසට හදිසියේ පැමිණියේය. ඔහුගේ පදිංචිව සිටියේ පොළොන්නරුවේ, රවුම් පාරේ, රංකෙත උයන ලිපිනයේය.

ඔබට මතක නම් මෙම බීජේ ෆොර්ටියේ කථාන්දරය පටන් ගත් පලමු පෝස්ටුවේ සඳහන් කලා  වාහනයේ පොත (ඒය පොතක්ම විය!) තිබුනේ පොලොන්නරුවේ රන්කෙත රෙස්ටුරන්ට් නමටය." යනුවෙන් වදන් පෙලක්.  මාගෙ සොහොයුරාගේ  නිවෙස පිහිටා තිබුනේද මෙම වාහනයේ ලියාපදිංචි ලිපිනය ආසන්නයේය! ඔහු කෲසරය දුටු වහාම පැවසූවේ "ආ! මේක පොළොන්නරුවෙ වාහනයක්නේ!? මේකෙ පොත නෑනෙද?!" කියාය.

ඔහු නිවසින් පිටවූ පසු නැවත වාහනයේ පොත; (ඒ රථයට තිබුනේ පෙරලන පොතක්මය CR එක හෙවත් Certificate of Registration  එක දැන් මෙන් තනි කම්පියුටර් ප්‍රින්ට් අවුට් එකක් වෙනුවට ඒ කාලේ තිබුනේ කුඩා පොත් පිංචකි!) ගෙන පෙරලා බැලුවෙමි. මුල් අයිතිය :- FA & FJ සමාගම. දෙවන අයිතිය :- රන්කෙත රෙස්ටුරන්ට්, පොළොන්නරුව!

FA & FJ යනු ස්විඩනයේ සමාගමකි. කඩිනම් මහවැළි යෝජනා ක්‍රමය යටතේ ලංකාවේ විවිධ වාරි කටයුතු සඳහා මෙවන් සමාගම් මෙරට නැවතී  මෙහෙයුම් කලහ. මෙයට අමතරව BBN, ස්කන්ස්කා වැනි විදේශීය ඉඳිකිරීම් සමාගම් මෙරට හැත්තෑව අසූව දශකයේ මහවැළි යෝජනා ක්‍රමය තුල ක්‍රියාත්මක විය.

මම පසුදිනම ක්‍රියාත්මක වී නාරහේන්පිට RMV ඔෆීසියට ගොස් 31ශ්‍රී5460 වාහනයේ ලියාපදිංචි අයිතිකරු කවුරුන්දැයි සොයා බැලුවෙමි. ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා සේ නාරහේන්පිට වාහන මහ දෙවොලේ ග්‍රන්ථාරූඪවී ඇත්තේ මෙම වාහනයේ අයිතිකරු  FA&FJ සමාගම බවයි.

ඊට අමතරව මෙය තීරු බදු රහිතව සිංහලෙන් කියනවා නම් ඩියුටි ෆ්‍රී ගෙන්වපු වාහනයක් වන අතර මෙය යෝජනා ක්‍රමය අවසානයේ රජයේ ගබඩාවට (Government Stores) භාරදිය යුතුව තිබුනු භාන්ඩයකි, කිසිවෙකු මෙය මිලට ගන්නේ නම් රජයේ ගබඩාව හරහා මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බදු ගෙවා වෙන්දේසියකින් හෝ වෙනයම් නියමිත ක්‍රියා පටිපාටියකින් සිදු විය යුතු බවයි!

RMV පොත් පත්වල රංකෙත රෙස්ටුරන්ට් එකක්, පොළොන්නරුවක් තබා පරාක්‍රම භාහු රජතුමාගේ නමවත් කිසිම තැනක මෙම වාහනය පිළිබඳ ඉතිහාසය තුල ලියවී නොතිබුනි.තවත් ලෙසකින් පවසනවානම් වාහනයේ පොතේ දෙවන අයිතිකරු ලෙස සඳහන් "රංකෙත රෙස්ටුරන්ට්" කථාව එකෙන්ම ඊසෝප්ගේ උපමා කථාවකට වඩා එහා නොගිය නොම්මර එකේ ප්‍රභන්ධයකි! තවමත් RMV  කාර්‍යාලයේ පොත් පත් වල මෙම වාහනය දෙවන පාර්ශ්වයක් වෙත හුවමාරුවී නොමැත. වාහනයේ පොත ලෙස මා සතුව ඇත්තේ කූඨ ලේඛණයකි!

මෙවන් වාහන ලංකාවේ හඳුන්වන පොදු නමක් ඇත. එනම් මෙය "හොර වාහනයකි"! මගේ දෙපතුලේ සිට හිස් මුදුන දක්වා සීතල වී ගොස්ය. මා මෙතරම් මහන්සියක් දුකක් විඳ සෑදුවේ හොර වාහනයක්ද?

මම එදිනම ඉබ්බන්වල හංදියේ පිහිටි මහවැළි අධිකාරියට ගොඩ වැදුනෙමි. ඔවුන් පැවසූවේ එම කොන්ත්‍රාත් කරුවන්  සමඟ මේ වම විට කිසිඳු සබඳ තාවයක් මේ වන විට පවත්වන්නේ නැති බවත්ය. කෙසේ හොඅ ස්විඩ්න් තානාපති කාර්‍යාලයේ ලිපිනය සොයාගෙන මා එහි ගියේය. එකල එය විහාරමහා දේවි උයන කිට්ටුව ජයවර්ධන කේන්ද්‍රය අසල පිහිටා තිබුනා මෙන් මතකයක් ඇත. එම කාර්‍යාලයෙන්ද කිසිදු පැහැදිලි තොරතුරක් හෝ හෝඩුවාවක් මාහට සොයාගැනීමට නොහැකිවිය.

මෙතෙක් මා ආදරයෙන් හදාවඩාගත් දරුවා මට හිමි නැත. දැන් මා කුමක් කල යුතුද?

මේ සියල්ල සමගින් ගුවන් හමුදා නිළධර  'මාවතගමගේ' ප්‍රකාශ හා තර්ජනයන් මෙනෙහිවී ඉහ මොළ රත්විය. පසුදිනම මා වාහනයේ මා සවිකල දොරවල් දෙක ගලවා ගත්තෙමි. ඉක්බිතිව වාහනය රැගෙන නැවතත් කඳානේ නිපෝන් ඉන්ටර්නැෂනල් හොර ගුහාව වෙත ගියෙමි. 

මා වාහනය ප්‍රථික්ෂේප කලෙමි. 

ඔබ විශ්වාසයට ගන්න මා එතෙක් ආදරයෙන් හදාවඩාගත් ලෑන්ඩ්කෲසරය ඔහුගේ ව්‍යාපාර ස්ථානයේ අංගනයේ නවතා රුපියල්  එක්ලක්ෂ පනස්දෙදහස් පන්සියයක් වටිනා චෙක් පතක් රැගෙන බස් එකේ ගෙදර ආවෙමි.

"මට පිටුපා . . ආ . .  උඹ යනවද . . අ . . . . . සුරතළියේ . .ඒ . . ඒ  . . . "

අහන අහන අයගෙන් "උඹ ඔය සල්ලිනම් ගන්නේ නෑ පුතෝ!" යන ආදරණීය සුභ පැතුම් හා ප්‍රශස්ථි ගී ගායනා ආසිරි කෙසේ වුවත් මා මුදල් සියල්ල දෙවතාවකින් ගත්තෙමි. මෙන්න ඊට ලිඛිත සාක්ෂි:-



එම මුදලින් නිවසට කැන්දාගෙන ආවේ 31 ශ්‍රී 9111 ලෑන්ඩ්කෲසර් බීජේ ෆෝටිය ගැන ලබන සතියේ කථා කරමු!

ඔබ කැමති ඇති මාවතගම නම් "රණවිරුවාට" අවසානයේ සිදුවූ දේ දැනගන්න!

ඔහුව ගුවන් හමුදාවෙන් එළවා දැමූයේ ඔහුගේ ලිපි ගොනුවේ "තවදුරටත් ඔබේ සේවය අවශ්‍ය නොවේ!"  SNLR - Service Not Longer Required ලේබලය යටතේය!

තතු දත්තෝ - නම් ගලපා - ගනිත්වා!

289791

Wednesday, June 16, 2021

201. තිස් අවුරුදු රථ මතක . . . . ! (9)

අන්තර් ජාලයෙන් බා ගත කරණ ලදී

ලෑන්ඩ්කෲසර්! ගැන මේ බයිස්කෝප් එක මෙතැනින් බලලාම කථන්දරේ පටන් ගනිමු. 

ෂානක සමග කොග්ගල බලා ගිය ගමන කෙළවර වූයේ අනපේක්ෂිත අයුරිනි. මා කලින් පවසූ ලෙස අපගේ ගමනාන්තය වූයේ කොග්ගල බීච් හෝටලය ය. එකල එය අද මෙන් කොටස් දෙකකට වෙන් කොට නොතිබුනි. (මා අසා ඇති පරිදි එය අද වන විට වෙන වෙන් වෙන්ව කෙරෙණ ව්‍යාපාර දෙකකි!) මේ නිසම මෙහි සිටි සේවක මණ්ඩලයේ සේවා කටයුතු සැපයුනේද; "ජිරාෆියෙකු හා ආදර සබඳතාවයක් පවත්වන්නට ගිය වඳුරාගේ" න්‍යායෙනි!

එය අපට මොනවට වැටහුනේ හෝටලයට ගොඩ වැදී අපගේ කාමරය සොයා යෑමට පටන් ගත් මොහොතේ පටන්මය. 

මා කුඩා කල මහත් ආශවෙන් කියැවූ එච් රයිඩර් හැගාර්ඩ් ගේ කින්ග් සොලමන්'ස් මයින්ස් හෙවත් රත්නාගාරය, ඇලන් ක්වාටර්මෙන් පොත් ද්විත්වයේ ඇලන් ක්වාටර්මෙන්, හෙන්රි හා ගුඩ් ත්‍රිත්වය අප්‍රිකා මහද්වීපයේ මහා වනාන්තර අතර සොලොමන් රජුගේ නිධානය සොයා යාමේදී කන ලද වටිනා කියන කට්ටට පමණක් නොදෙවෙනි කට්ටක් කෑමට අපට අපගේ කාමර සොයා ගැනීමට යාමේදී සිදු විය.

අපගේ බෑග් මළු කරේ එල්ලාගෙන ආ සේවක මල්ලී මගඇරීමෙන් අප පත්වූයේ මං මුලා තත්වයකටය. ඔබ පිළිගන්න! කෙටි වූවා නම් එය කෙටි වූවේ උඩරට දුම් රිය මාර්ගයෙ  සිංජිමලේ බිං ගේට පමණි!

කෙසේ හෝ අප කාමර වලට ගාල්වූ විගසින් ෂානකගෙන් ඇමතුම ලැබුනි. ඒ අපිටත් එක්කම තේ ඕඩරයක් දැමීමටය. ගමන් විඩාව නිවාගැනීමට ඇඟ පත සෝදා ගත් අප තේ බීමට දත කට මැද ගෙන එක්ව බලා සිටියෙමු. විනාඩි 15 වේ සිට අප වේලාව බලමින් සිට නැවත ඇමතුමක් ගෙන ඇනවුම මතක් කලෙමු. පිළිතුර වූයේ මේ වන විට පිටත් වී ඇති බවය. එතැන් සිට තවත් විනාඩි 15 ක් පමණ යද්දී තේ කෝප්ප රැගෙන මල්ලී කෙනෙකු සැපත් විය. තේ එක බීම බටෙන් බීමට හැකි ආකාරයට සිසිල් වී තිබුනි!

මීට අමතරව එහි පාරිභෝගික සේවාව පැවතියේ අන්තිම අඩියකය.

මම මේ කියන්නේ මීට දශක දෙකකට පෙර කථාවකි!

අද වන විට එහි තත්වය කෙසේ දැයි කියා පැවසීමට නොහැක.

මීට අමතරව බොහෝ හෝටල් සේවකයින් දෙශීය සංචාරකයින් දෙස බලන්නේ "මල කරදර කාරයින්" දෙස බලනා ලෙසය! විදේශිකයින් මෙරටට නො එන අවාරයට; සේවක පඩිනඩි ගෙවා ලයිට් බිල් වතුර බිල් ගෙවා ගැනීමට දෙශීය සංචාරකයින් ගෙන්වා ගැනීමට කළමණාකාරීත්වය පොඩි පොඩි උප්පරවැට්ටි  යෙදුවත් සේවකයින් අප දෙස බලන්නේ; ගේ තුලට හදිසියේ කඩා පාත්වූ ගැරඬි පතයෙකු දෙස බලන්නාක් සේය!

එයට එක් සැඟවුනු හේතු කිහිපයක්ද ඇත!

දේශීය සංචාරකයින් ඉංතීරුවෙන්ම "ටිප්" හොරුය! උන් ඇවිත් ගිය පසු කාමරය යතා තත්වයට ගෙන ඒමට කොළඹ මහ නගර සභාවට වත් නොහැක.

උන් සිතා සිටින්නේ මුළු හෝටලයේම සිටින සේවක මණ්ඩලය ඉන්නේ එක කාමරයකට ඇප උපස්ථාන කිරීමට කියාය!

උන්ට කෑම හදන්නට පබිලිස් සිල්වා තබා උන්නැහැගේ කිරි අප්පුච්චාටවත් බැරිය!

කෑම වල රස සොයන්නේ හංදියේ කඩේ කොත්තුවට සාපේක්ෂවය! ලියනවානම් පොතක් පිරෙන්නට කරුණු කාරණා එමටය. ඒ කෙසේ වෙතත් ගුවන් හමුදාවේ නිළධරයෙකුවූ ෂානකට මෙම කුඩම්මාගේ සැළකිල්ල දිරෙව්වේ නැත.

සිදුවූයේ දින දෙකකට පැමිණි ෂානක රාත්‍රී 12.00 ට පමණ  සිය පවුල සමග ආපසු කොළඹ බලා පිටත්වීමය! පසුදින උදෑසන ආහාරයෙන් පසු අපද ලෑන්ඩ් කෲසරය රැගෙන හෝටලයෙන් චුත විය!

තවත් කාලයක් ඉක්බිත්තෙන් යෙදුනු දෙසැම්බරයක අග සතියේ  ගමනක යෙදුනේ බෙන්තොට යෑමටය. ඒ අපගේ ලොකු අම්මලාගේ නිවෙසටය. ලොකු අම්මා විවාහවී සිටියේ සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායක හෙවත් සිඩ්නි අංකල් සමගය. ඔවුන් ජීවත් වූයේ දෙද්දූව, පුස්සැල්බොක්ක වත්තේය. ඔවුන් කිතුණුවන්ය. සිඩ්නි අංකල් ඇංග්ලිකන් හෙවත් ඉංග්‍රීසි සභාවේය! අප සෑම නත්තල් නිවාඩුවකටම එහි යන්නෙමු. එය මා කුඩා කල සිට පැවතුනු චාරිත්තරයක් විය.  මෙය ගැන මම පසුව ලියන්නම් - එය එතරම් රස මතකයක්!

මම මේ කියන්නට පටන් ගත් දිනයේ මමත් බිරිඳත් වසිකත් කඩවතින් පිටත් වූවේ උදෑසන ආහාර ගෙනය. වසික එකල බෝතලෙන් උක්කු බොන කුඩා දරුවෙකු විය! හයිවේ හදනවා තබා හිතන්නවත් හිතුව නැති කාලෙක පුරුදු පරිදි දෙමටගොඩ බොරැල්ල නාරහේන්පිට, බොරලැස්ගමුව  හරහා ගල්කිස්සෙන් ගාලුපාරට වැටී එතැනින් ගාළුපාරදිගේ අළුත්ගමට යෑම අපගේ ගමන් මාර්ගය විය!

සුපුරුදු පරිදි කළුතර පසුකොට පයාගල රේල් ගේට්ටුව පසු කරනවාත් සමග; වම් පස මෝටර් රථ කිහිපයක් නවතා තිබෙනු දක්නට ලැබුනි. රේල් ගේට්ටුව පනිනවාත් සමග වම් පසින් වූ කුඩා නිවස ඉදිරියේ  අඩියක පමන කබොක් ගල් බැම්මකින් වටකොට තිබූ ලිඳක් තිබූ අතර; එය ප්‍රධාන පාරට නොපෙනෙන සේ; වැට පොලතුවලින් ආවරණය කර තිබුනි. ඒ අසලම නවතා තිබූ ලොකු කුඩා කාර් වලින් බැස ගත් මහත්වරුන් එම පොල් අතු වැට ඇතුලට බලාපොරොත්තු දල්වාගත් දෑසින් යුතුව යනවාත්; සංතෘප්ත වූ මුහුණින් යුතුව එයින් එලියට එනවාත් මාගේ උකුසු නෙතට සටස් ගා රීඩ් විය!

ඕනෑම වේගයකින් යන රථයක සිටින කාන්තාවකට මාර්ගය දෙපස ඇති කඩ සාප්පු වල විකිණීමට තබා ඇති ඇඳුම් පෙනෙන්නේ යම්සේද පිරිමින්ට කොල පාට බෝඩ් පෙනේ! එය තර්ක ශාස්ත්‍රයේ හඳුන්වා දෙන්නේ "සුලභ දෘෂ්ඨි අගතිය" ලෙසිනි. අප දකින්නේ අප සොයනා දේය!

රටේ ඕනෑම නගරයකට නොව රත්මලානේ ගොළුමඩම තුලින් හෝ; රා අරක්කු ටිකක් ගංජා ඇබිත්තක් තිබෙන හොර පොට්ටෙකක ඔත්තුවක් තිප්පොලක් සොයා ගැනීමට  පිරිමින්ට ඇත්තේ නිසර්ඝවූ හැකියාවකි. සමහර පිරිමින් ගත් කල උන් තුල ඇති එකම හැකියාව වන්නේද එයම පමණි. උන්ව අතින් ගෙවා හෝ ට්‍රිප් එක්කං යාමට බොහෝ දෙනා පෙළඹෙන්නේ සමහර අවස්ථාවලදී;   යන වාහනයේ රියැදුරුගේ ඩ්‍රැයිවිං වලටත් වඩා මේ හැකියාවට වටිනාකමක් ලැබෙන නිසාය!

මමද ඉඩකඩ ඇති තැනකින් කෲසරය නවතා එළියට බැස්සෙමි. බිරිඳ ඒ පිළිබඳව විමසීමක් කලා දැයි මාහට මතක නැත! විමසුවද ඊට සාර්ථක පිළිතුරක් මා දෙන්නට ඇත! වාහනයෙන් බිමට බැස ගත් මා හෙමින් සීරුවේ (හොරා වගේ) පෙරකී කුඩා නිවස දෙසට ඇදුනෙමි.

පොල් අතු තිරයෙන් ඇතුලට යනවාත් සමග එලියට පැමිණි තෘප්තිමත් පාරිභෝගිකයෙකු හමුවිය.

"බඩු හොඳද?"

"පොඩ්ඩක් කලවං වගේ!?"

උසාවි වල ටයි කෝට් ඇඳගෙන බයිබලයට අත තබා දිවුරා මහත්වරු බොරු කියති! අඳුරු තැබෑරුම් වල මේස වටා හිඳගත් බීමත්  මිනිසුන් සත්‍ය පවසති; යැයි කීවේ මා නොව ෆිදෙල් කැස්ත්‍රෝය. මා හට කිසි ලෙසකින් ෆිදෙල් කැස්ත්‍රෝ අභිබවා යන්නට හෝ ඔහුට අභියේග කරණ්නට බැරිය! "පොඩ්ඩක් කලවං වගේ!?" කියන්නට ඇත්තේ කලවංම නිසා විය යුතුය. "මළ මිනිස්සු බොරු නොකියති" කියන්නේ වෝහාරික වෛද්‍ය විද්‍යාවේදීය. එසේම ඩෝප් කාරයෙක් තවත් බොන එකෙකුට  මොනවා ගැන බොරු කීවත් රා අරක්කු ගැන බොරු නොකියත්!

මා හැරෙන තැපෑලෙන් ආපසු පැමින වාහනයට නැග පන ගන්වා පාරට ගත්තෙමි.

බොහෝ පිරිමින් පවුලේ වේවා, කාර්‍යාලයේ වේවා, විනෝද ගමනක් අධ්‍යාපන චාරිකාවක් වන්දනා ගමනක් යාමට අවස්ථාවක් යෙදුනු සැණින් එයට සමාන්තරව දිවෙන තම තමන්ට ආවේනිකවූ තවත් පෞද්ගලික අවශ්‍යතාවයන් සන්තර්පනය කර ගැනීමට කරුණු කාරණා පිළිබඳ පිඹුරු පත් සකසති. 

හලාවත,පුත්තලම, පයාගල ඉඳුරුව පැත්තට යන කුමන විදියේ ගමනක උවද පොල් විනාකිරි සුවඳක් තැවරිය යුතුය! කිතුල්ගල , දැරණියගල, මතුගම ඇල්පිටිය, සිංහරාජෙ පැත්තේ යන්නේ නම් කිතුල් පැණි ජුන්ඩක් රස බැලිය යුතුමය. යාල විල්පත්තුව ඇඹිළිපිටිය උඩ වලවේ නම් දඩ මස්ය. උතුරේ නම් තල් අලය! මෙසේ ඕනෑම මල මගුලක් විනෝද ගමනක් කර ගන්නා අපූරුව ඔවුන් දනිති. 

මගෙ සුදු මාමේ - රා පොඩියක් දී ම සනසන්නේ . //

මම කෲසරය පදවාගෙන සෙකන්ඩ් ගියරයේ සිට තර්ඩ් එකට මාරු කලේ අමතක වුනු දෙයක් මතක් වූ ලෙසිනි. මාගේදෙනෙත් ඇත්තේ ගාළු පාර දෙස නොව වම් පසින් දිවෙන රේල් පාරත් අප අතර සැන්ඩ්විච් වී තිබෙන රූස්ස පොල් රුප්පව දෙසය. ගස් අතර බැඳි අතුරු අහසේ රටා මවාය! ඒවා අතර ඇවිදින විශ්ම කර්ම පුතුන් බිමට බසින සේයාවක් නැත. තවත් මීටර දෙසීයක් පමණ දුරට යන විට ගසින් බැසි එක් මදින්නෙකු තමා ගසින් බිමට ගෙන ආ මධු; ගස මුල වූ වෙනත් ලොකු භාජනයකට වත්කරමින් විය. මා හිමින් සීරුවේ දකුණට ඇල කොට වාහනය නවතා දමා ගස මුලට කිට්ටු කලෙමි.

ගස මුලට ලංවූ මම සී.ටී ප්‍රනාන්දු මෙන් "මාමා" ගෙන් රා ගැන විමසීය. 

"අප්පෝ මුදළාලි දැනගත්තොත් මම රා විකුණනවා කියලා හොඳ වැඩක් වෙයි!" මේ ඔහුගේ ප්‍රථිචාරයය! තද කළු අකුරින් මුද්‍රණය කොට යටින් ඉරක් ගසා ඇහි උදෘථය තේරුම් ගැනීම මට නොව එකල උක්කු බොන වසිකට උවද අපහසු නොවනු ඇත!

"කවුද මුදළාලිලාට කියන්නේ? මම බිව්වා! මම ගියා එච්චරනේ!?" මම "වංචාව" සැහැලු කලෙමි. "අනික පාරෙ යන කෙනෙක්ට ආසාවට රා ටිකක් දුන්නා කියන එක වරදක්යැ?" මම "වංචාවට" මානුෂික මුහුණුවරක් දුන්නේය!

"කෝ ඉතිං බොන්න කෝප්පයක්වත් නෑනෙ!?" ඒවන විට රා මාමා ගේ හිත හොඳටෝම "උනු" වී තිබුනි!

"ආ! පොඩ්ඩක් ඉන්න මම වාහනෙන් මොකක් හරි හොයා ගෙන එන්නම්!" මම විදුලි වේගයෙන් රථය වෙතට ඉගිල්ලුනෙමි. මාමාගේ හිත වෙනස් වෙන්නට තප්පරයක කාලයක් වුවද ඕනෑවටත් වැඩිය. 

එකල ලෑන්ඩ්කෲසරයේ පිටුපස දොරවල් වල ඉහල කොටස ආවරණය  එනම් රෙක්සින් කැබැල්ල  තිබුනේ නැත. මම ඒතුලින් අත දමා වාහනය තුල තිබුනු ප්ලාස්ටික් පෙට්ටි තුල භාජනයක් සොයමින් අරගලයකය!

"මොනවද හොයන්නේ?' බිරිඳ විමසුවේ සැකයේ ස්වරයෙනි.

"මේ . . . . .කෝ . ප් . .පයක් . . මම කෝප්පය සැහැල්ලු කොට සුළඟේ පාවෙන්නට සලැසුවෙමි.

"ඔතන කොහෙද කෝප්ප . !?"

ඒ සමගම මාහට එතැන තිබුනු වසන ලද සාස් පානක් ඇස ගැටුනි. එහි ඇත්තේ වසිකගේ කිරි ආයුධ එනම් හැන්ද, කිරි පෙරන ස්ට්‍රෙනරය හෙවත් කිරි ගොටුව, කිරි බෝතලය, හා කිරි හදන ගැජට්ටුව හෙවත් මිල්ක් විස්කරය හා ඊට අදාල ජග්ගුව එහි විය.

එය මේ වාගේ සුපිරි භාණ්ඩයක් නම් නොවීය!

ඝන දෙවි නුවණට මිල්ක් විස්කරය වැඩේට ගලපා ගත හැකි බව ක්ෂණිකව වැටහුනි. විස්කරය ගලවා සාස් පාන තුලට දැමූ මම එහි යට භාගය හෙවත් ජග්ගුව රැගෙන "රා මාමා" වෙත පියා ඹුවේය.

"මාමා" ද කිසිඳු ලෝභ කමකින් තොරව; හිස් කරණ වාරයක් වාරයක් පාසාම  ජග්ගුව පුරව පුරවා දෙමින් මාගේ චරියාවට මහත්වූ මෙහෙයක් කලෙමි. ජග්ගු හතරක් බී අවසානයේ "දැන් ඇති මාමේ!" කියා එතැනින් නැගිට මුදල් ගෙවූයෙමි. (මට මතක ලෙසට රුපියල් 100ක් හෝ 200 යකි!)  ඉතිරි මුදල් නොගෙන මා පිටත්වී රථය දෙසට මුකුත් නොවුනු ගානට පිය මනිමින් එන මා හට ඔහු නැවත ඇමතුවේය!

"මහත්තයා!" 

"අ . ඇයි . . . . . . !?"

"ආයෙත් මේ පැත්තෙන් ආවොත් එන්න මහත්තයා!"

"අම්මට සිරි!"

ලොකු අම්මාගේ නිවසට ගොඩ වැදී වසිකයාට උක්කු හදන්නට ගිය අවස්ථාවේ වැඩේ සුපිරියටම පත්තු විය!

"මොකක්ද මේ ගඳ! මම් දෙතුන් පාරක්ම හේදුවා!! අළුත්ගමින් එකක් ගන්න වෙයි. දැනට නම් මම වෙන භාජනේකින් කිරි ටික හදා ගත්තා!"

ලෑන්ඩ් කෲසර් BJ ෆෝටිය හා සම්බන්ධ තවත් රා  කතාවක් ඇත එයත් මෙහිම ලියා අවසන් කරණ්නම්. මොකද අපේ සෑම් මහත්තයාට රාවල පුසුඹ අල්ලන්නේ නැති බැවින්!

අපි එදා ගාල්ලේ යමින්!

පයාගල බේරුවල පසුකරණ විට දහවල් 12 පමණ වී.

මේ නිසාම රා මදින්නන් ගස් වලින් කපා බා ගත් රා එකතු කොට මඩුවලට යවා අවසන්.

එදිනද වෙනදා මෙන්ම රා වලට ඉව අල්ලමින් යන මා හට ඉඳුරුව රේල් ගේට්ටුව ආසන්නයේ දකුණට ඇති වංගුවේ වම් පසින් ඇති කඩය අසල රා පීප්ප  ගනනාවක් ගොඩ ගසා තිබෙනු දක්නට ලැබුනි.

මේ කඩේ මේ මෑතකත් තිබුනා. මම ගාළු පාරේ ඔය පැත්තට ගියොත් අනිවාර්‍යයෙන්ම ඔය කඩේ දිහා බලනවාමයි. ගාළු පාර දකුණට හැරෙන වංගුවක වම් පැත්තේ තියෙන හුදෙකලා කඩයක්! ඒ දවස් වල එය පැවතියෙ තනිව. තේ වතුරත් තිබ්බාද මංදා! පොඩි සිල්ලර කඩයක් වගෙයි මතක. ඒ කඩේ ලඟින්ම ගම ඇතුලට විහිහුනු පටු පාරක් තියෙනවා පොල් රුප්පාවක් මැදින් විහිදුනු. 

ඉතිං මම කෲසරය පාරේ වම් පසට එනම් කඩය දෙසට ඇල කොට නවතා කඩයට හිස පෙව්වෙමි.

"අයියේ මේ . . !?"

"ඇයි මහත්තයා . . . !?"

" මේ රා ටිකක් බොන්න . . . . . . . . . . !?"

" ආ! මහත්තයා ඔයා යන්න ඔය පාර දිගේම.  මේ කඩේ අයිනෙන් තියෙන්නේ! ඒකෙ යන කොට දකුණු පැත්තේ තියෙනවා සුනිල් අයියලාගේ ගෙදර! අන්න එහාට යන්නකෝ!"

"හරි අයියේ බෝම ස්තූතියි!"

මම වාහනයට නැගී එකී පටු පාරට හරවා ගත්තෙමි. මාර්ගය කෙතරම්පටු දැයි කයනවා බීජේ ෆෝටියේ සයිඩ් කන්නාඩි අකුලා ගෙන යෑමට තරම් විය!

මාර්ගයේ මීටර දෙතුන් සීයක් ගිය පසු පාරේ දකුණු පස තරමක මිදුලක් සහිත නිවෙසක් විය. මම ඊට හරවා නැවැත්වූයේ දන්නා කියන කෙනෙක් ලෙසින්ය. ගෙදර මිදුලේ දිග ගවුමක් ඇඳගත් කාන්තාවක් විය.

"මේ සුනිල් අයියගේ . . . .!?"

"ඔ . ඔව් මහත්තයා! මහත්තයා ක්වුද!?"

"අනේ නැ! සුනිල් අයියා මාවනම් දන්නේ නෑ! මම ආවේ එයාගෙන් පොඩි උදව්වක් ගන්න!"

"ආ! පොඩ්ඩක් ඉන්න!"

කාන්තාව ගේ තුලට ගොස් විනාඩි ගනනකදී ගෙදර උළුවස්සෙන් පුරුෂයා මතුවිය!"

"අයියේ මම ආවේ රා ටිකක් බොන්න පුළුවංද කියලා බලන්න. අර හංදියේ කඩෙන් තමයි අයියා ගැන කිව්වේ! . . .!"

"අයියෝ මහත්තයෝ සුළු දෙයක් නේ! එන්න කෝ මේ පැත්තෙන්!"

" ආ නෝනාත් බහින්න . . ! ඒ සුනිල් අයියාගේ ඇඹේණිය ‍ය.

ඔහු මාව ගෙදර අයිනෙන් එක්කගෙන ගියේ රා පීප්ප ගනනාවක්, කෑන් මුට්ටි ආදී රා කර්මාන්තයට අවශ්‍ය සියළුම කවකටු, බෙදුම් කටු, කෝන මාන, විහිදිචතුරස්‍ර තිබුනු කුඩා මඩුවකටය. ඔහු එහි තිබූ රා සාම්පල කිහිපයක් තොල ගා; ඉන් එකකින්;  අතසේදීමට භාවිතා කරණ  ලොකු ප්ලාස්ටික් කෝප්පයක පුරවා ම හට පිළිගැණ්වීය!

එතැන් පටන් මාගේ ආගත නාගත කථා කරමින් ඔහුගේ වගතුග ගැන හාර අවුස්සමින් පැය භාගයක් පැයක් පමන අප මිඩංගු වුනෙමු. තවත් කෝප්පයක් දෙකක් හිස් විය!

සියල්ල අවසානයේ මා යන්න පිටත්  වන්නට සූදානම් විය!

"අයියේ කොහොමද දැන්නෑ ගාන . . !?"

" මොන ගානක්ද . . .!?"

"නෑ රා වල ගාන .ම් . . .  . . . .? මනුස්සයෙකුට ආසාවට බොන්න රා ටිකක් දීලා සල්ලි ගන්න අපිට පිස්සි යෑ!? මහත්තයා ඕනෙ වෙලාවක් එන්න මේ පැත්තෙන් ගියොත්!"

මා වාහනය හරවා ගෙන නැවතත් ගාළු පාරට වැටී හිමින් සීරුවේ සඥ්ඥක හාවා සේ ගාල්ල බලා පිටත් උනෙමි.

"ඇත්තටම සුනිල් අයියලා තාම ඉන්නවාද දන්නෑ . . . . .!?"

අද වන විට මේවා හදවත ප්‍රථිෂේප කරණ කථා වුවද මා සතුව තිබුනු වාහන සමග එකට එක්ව එන රස බර මතකයන්ය.

මම් මේ බ්ලොග් එක ලියන්නට එක් හේතුවක් වන්නේ මාගේ ජීවිතයේ විවිධ -  විවිධවූ කාලපරිච්ඡේදයන් පිළිබඳව සටහනක් තබා ගැනීමටය. එසේම ජීවිතය මෙතැනට ගලා ආවේ කෙලෙසදැයි කියා මටම හෝ වෙනයම් කෙනෙකු හට නිසි සොයා බැලීමක් කිරීමට පහසු වීමටය. ඒ වගේම මා ජීවිතය තුල මුහුණ දුන් අභියෝග හා ඒවාට මගේ නැණ නුවණේ වපසරියතුල මුහුණ දුන් ආකාරය ලියා තැබීමටය. මේ නිසාම මගේ බ්ලොගය පුරා බොහෝ සෙයින්  ඇත්තේ "සිද්ධීන්" විනා "නිර්මාණ" නොවේ. ඊට සමා වෙන්න!

පසු ගිය පෝස්ටුවේ පැවති අධික කාර්මික ස්ව්භාවය පිළිබඳව බොහෝ දෙනෙක් තම අදහස් විවේචන ඉදිරිපත් කර ඇති නිසාම  ඔවුන් වෙනුවෙන් ඉක්මණින්ම මෙය ලියන්නට ගතිමි. 

288622

Monday, June 14, 2021

200. තිස් අවුරුදු රථ මතක . . . . ! (8)


LandCruiser BJ40

ලෑන්ඩ් කෲසර්යේ චැසියට දුනු මිටි හතර සමග ඇක්සල දෙක අමුනා එන්ජිම හා ගියර්පෙට්ටියද සවිකොට එය මත බොඩිය තබා අවසානයටම තද කලේ කුමන ඇනය දැයි මාහට මතක නැත. බොහෝ විට එය Propeller Shaft ප්‍රොපෙලර් ෂාෆ්ට හෙවත් අවරපෙති කඳන් වීමට බොහො සෙයින් ඉඩ ඇත. 

ප්‍රොපෙලර් ශාෆ්ට සවිකිරීමේදී එක් රෝදයක් ඉහල ඔසවා ගත් විට වැඩේ පහසුය. එසේම එහිදී සිහි නුවණින් යුතුව දෙකෙළවර ඇති යෝක් එකම ඉරක තිබෙන පරිදි සවි කර ගත යුතුවේ. ප්‍රොපෙලර් ෂාෆ්ට එකක් ඒකාකාර වේගයෙන් වෘථාකාරව ගමන් කරණ්නේ නැති වග; මෙය කියවන වැඩි දෙනා දන්නවා ඇතැයි සිතමි. එය භ්‍රමණය වන්නේ අංශක අනූවක් වේගයෙන් ද අනෙක් අංශක අනූව සෙමෙන්ද යලිත් ඉතිරි අංශක අනූව වේගයෙන්ද  අන්තිම අංශක අනූව සෙමෙන් යන ආකාරයටය. 

ඒකාකාර වේගයෙන් භ්‍රමණය වන එන්ජිමක්ද එයට බද්ධ වූ ක්ල්ච් හා ගියර පෙට්ටියේ සියළුම දැති රෝදද; අවසානයේ ගියර පෙට්ටියෙන්  එලියටද ඒකාකාර භ්‍රමණයක් ලබාදෙන්නේ නම් කොහෙවත් නැති අවර පෙති කඳක් හෙවත් ප්‍රොපෙලර් ශාෆ්ටයක් පමණක් හිතු මතේ තමාට ඕනෑවට අතර මග රස්තියාදු වෙන්නේ අහවල් කාරණයකටදැයි මෙය බලන බොහෝ දෙනා හට සිතෙනු ඇත. එය එසේ වන්නේ මන්දැයි; ලියා තබනවාට වඩා පිංතූරයක් සහ රූප රාමු පෙලක් අමුනා තැබීම යෙහෙකි බව ඔබටම තේරුම් යනවා ඇති. 

  උගේ පාඩුවේ ඌට ඕනෑවිදියට කරකැවෙන අවර පෙති කඳ. සිංහලෙන් කියනවානම් ප්‍රොපෙලර් ෂාෆ්ටෙක!

අවරපෙති කඳ හෙවත් ප්‍රොපෙලර් ෂාෆ්ටයේ මෙම සන්ධිය යුනිවර්සල් ජොයින්ට් ලෙස ඉංගිලිසියෙන් දැක්වෙන අතර එකල එය සිංහලට හරවා තිබුනේ සර්ව ලෝක පූට්ටුව නමිනි. එහෙත් 1960 වසරේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිංහලට පරිවර්ථනය කරණ්නට යෙදුනා වූ අන්තර්ජාතික කම්කරු කාර්‍යාලය මගින් ප්‍රකාශිත "මෝටර් රිය නඩත්තුව සහ අළුත් වැඩියාව" ග්‍රන්ථයේ මීට නැවුම් වචන ද්විත්වයක් ඇතුලත් කොට තිබුනි. ඒ "දසත මූට්ටුව" යන්නයි.

 ගියර පෙට්ටියෙන් කෙරෙණ ඝූර්ණය; එක් දසත මූට්ටුවක් තුලින් කමන් කරද්දී; මා මුලින් ලියා ඇති පරිදි එය "සෙමෙන් - වේගයෙන් - සෙමෙන් - වේගයෙන්" ලෙසට විකෘථි වුවද නැවත පසු පසින් ඇති දෙවන දසත මූට්ටුව තුලින් ගමන් ගනිද්දී "වේගයෙන් - සෙමෙන් - වෙගයෙන් - සෙමෙන්" චලනයක් සමග ඒකාබද්ධ වූ විට අවසාන එළවුම වන්නේ ඒකාකාර භ්‍රමණයකි! ඝූර්ණයකි!! එම නිසා මේ සර්ව ලෝක පූට්ටුවේ පිස්සු කෙළීම වාහනයට නොදැනේ. මාරයි නේද? 

කෙසේ වෙතත් එය පන ගන්වා ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිය අයුරු නම් මාහට හොඳ හැටි මතකය. වාහනය නිවසේ සිට සෙමෙන් සෙමෙන් මාර්ගයට ගෙන සෙමෙන් පිකප් කලෙමි. වාහනයේ එන්ජිමේ කන්කළු තේජාන්විත ඩීසල් බර හඬ යටින් ඉතා සියුම්ව ඇතිල්ලෙන හඬක් ඉන් නැගුනි.

වාහන්යේ වේගය වැඩිවෙත්ම ඇතිල්ලෙන හඬ වැඩිවී; පැයට කිලෝමීටර විස්සක තිහක වේගයේදී එය මුළු මහත් රථයම දෙදෙරවන හඬක් තරමට වැඩි වීමත් සමග වාහනය පසෙක නවතා; යට රිංගා බැලුව මුත් හොයාගන්නට වරදක් නොවීය.

වාහනය හරවා නැවත නිවසට ගෙනැවිත්; පසු පස එක් රෝදයක් ඔසවා; රථය පන ගැන්වූවෙමි. ඉතා කුඩා ඇතිල්ලෙන හඬක් නික්මුනි. පසුව සොයා ගත් පරිදි ගියර පෙට්ටියේ කම්පෑනියන් ෆ්ලාන්ජය  Companion Flange (එනම් ගියර පෙට්ටියට  ප්‍රොපෙලර් ශාෆ්ටය ඇන හතරකින් සවිවන ප්ලන්ජරය)  චැසියේ ක්‍රොස් මෙම්බරයේ යාන්තමින් ගෑවේ.

මෙවන් ෆ්ලාන්ජ දෙකක් ප්‍රොපෙලර් ශාෆ්ටයේ දෙකෙළවර ඇත. 
(මේ දක්වා ඇත්තේ පසු පස ෆ්ලාන්ජයය!  කෝ අනික? අනික තමයි මේක! ඔව් දෙකම එක වාගේය)

අහංකාර ක්‍රොස් මෙම්බරය!  
ඕන වැඩකට හෙනහුරෙක් ඇති කියන්නේ නිකමටද?

පෙට්‍රෝල් චැසියෙන් ගලවා ඉවත් කිරීමට නොහැකි වූ එකම කොටස මෙයය. වක්‍රාකාර මෙය; චැසිය දෙපැත්තට වෙල්ඩින් කර තිබුනි. එසේ එය වක්‍රාකාර කොට ඇත්තේ ගියර් පෙට්ටියේ කම්පෑනියන් ෆ්ලාන්ජය එලියට දිගු වන ස්ථානයේය. පෙට්රෝල් එන්ජිමට නිෂ්පාදකයා විසින් සවිකොට එන ගියර පෙට්ටියේ දිග පළල හා උස  අනුව එහි කම්පෑනියන් ෆ්ලාන්ජය  මෙහි නොගැටුනත් ඩීසල් එන්ජිම හා ගියර පෙට්ටිය ඊට නොගැලපී තිබුනි!

කරණ්නට ඇත්තේ විකල්ප දෙකකි. ඉන් එකක චැසියේ ක්‍රොස් මෙම්බරය මාරු කිරීම හෝ එහි වක්‍රය වැඩි කිරීමය. දෙවැන්න ගියර පෙට්ටිය මිලී මීටර දහයක් පමන පහත් කිරීමය.

මෙහිදී ගියර පෙට්ටිය තරමක් පහත් කිරීම වඩාත් පහසු බව මා තේරුම් ගත්තෙමි.

එන්ජිමත් ගියර පෙට්ටියත් එක් ඒකකයක් ලෙස ගත් කල එන්ජිමේ  දිග අනුව හරි මැදට තරමක් ඉදිරියෙන් එන්ජින් මවුන්ට් මගින් එන්ජිම චැසිය මත සවිකොට ඇත. එසේම ගියර පෙට්ටියේද හරි මැදට තරමක් පසුපසින් චැසිය හරහා දිවෙන ක්‍රොස් මෙම්බරයක් මත තබන ලද මවුන්ට් එකක් මගින් ගියර පෙට්ටිය රඳවා ඇත.

මෙම ගියර පෙට්ටිය රඳවා ඇති ක්‍රොස් මෙම්බරය චැසියට සවි කොට ඇත්තේ එල් හැඩයේ බ්‍රැකට් දෙකක්  මගිනි. බ්‍රැකටයේ සිරස් අක්ෂය බෝල්ට් හතරකින් චැසියේ ඇතුල් පැත්තට සවිකොට එහි තිරස් අක්ෂය ඔස්සේ දිවෙන කොටස මත ක්‍රොස් මෙම්බරය තබා සවිකොට තිබුනි.

මෙම බ්‍රැකට් දෙක පහත් කල හොත්ගියර පෙට්ටිය මුළුමණින්ම පහත්වේ. එය සිදු කිරීමට පහසු හා අවම හානි ගෙන දෙන කාර්‍යය වන්නේ බ්‍රැකටයේ ඇන තව් ඕවල් කොට පහතට ගෙන ඒමය!

කොපමණ ප්‍රමානයක් ඇන තව්ව ඕවල් කල යුතුද?

එන්ජින් මවුන් එක නොසෙල්වී ගියර් බොක්ස් මවුන්ට් එක පමණක් පහතට ගෙන ඒමෙන් ඊටත් පසු පසින් ඇති  ෆ්ලාන්ජය සෙන්ටි මීටර 10ක් පහතට ගෙන ආ යුතුය.

දැනට තිබෙන විච්ල්‍ය ලක්ෂ තුන හරහා ඇඳි රේඛාවේ ඉදිරි ලක්ෂය වන එන්ජින් මවුන්ට් එක වෙනස් නොකොට පසු පස පමනක් පහත් කල පසු හැදෙන නව ලක්ෂ දෙක හරහා ඇඳි රේඛාවත් මුල් රේඛාවත් එක් කොට  ත්‍රිකෝණයක් සෑදේ. මෙම ත්‍රිකෝණයේ පසු පස පාදයේ දිග මිලී 10ක් විය යුතු නම් ඊට සමාන්තරව ගියර් පෙට්ටියේ මවුන්ට් එක හරහා ඇඳි රේඛාවේ දිග සොයා ගත යුතුය.

බෝම අමාරුවෙන් ඇන්ද චිත්තරයක්!

මම තරමක වේලාවක් කල්පනා කල පසු පාසලේදී උගෙන ගත් සමකෝණී ත්‍රිකෝණ පාඩම  මතක් උනි. සමකෝණී ත්‍රිකෝණ නීතියට අනුව XZP  හා X‍YO යනු සමකෝණි ත්‍රිකෝණ වේ. 

මෙහිදී XZ පාදයට X‍Y දක්වන අනු පාතයට සමාන අනුපාතයක් ZP ට ‍YO දක්වයි.

XZ / XY = ZP / YO වේ.

 මේ වනවිට ZP එනම් ගියර් පෙට්ටියේ කම්පෑනියන් ෆ්ලාන්ජය පහත් කර ගත යුතු දුර මිලී මීල්ටර 10 ක් පමනකි. XY එනම් එන්ජින් මවුන්ට් එකේ සිට ගියර් පෙට්ටියේ මවුන්ට් එක චැසියට සවිවන බ්‍රැකටයට ඇති දුර මැන ගත හැක. එසේම එන්ජින් මවුන්ටයේ සිට කම්පෑනියන් ෆ්ලාන්ජය තෙක් ඇති දුර XZ ද  මැන ගත හැක ඒනයින් ඉහත සරළ සමීකරණයට අනුව ‍YO හෙවත්; කම්පෑනියන් ෆ්ලන්ජය චැසියේ නොගෑවීමට මිලී මීටර 10 ක් පහත් කර ගැනීම සඳහා ගියර් පෙට්ටියේ මවුන්ට් එක සවි කොට ඇති ක්‍රොස් මෙම්බරය චැසියට සවි කර ඇති බ්‍රැකට් දෙක පහත් කල යුතු දුර පහසුවෙන්ම සොයා ගත හැකි වුනි. 

එය මිලි 6 ක් වැනි ඉතා කුඩා ප්‍රමානයක් විය. කඩවත ඔක්සිජන් හවුසය වෙතර ගොස් රවුම් පීරක් ගෙන ඇවිත්; එක් පසෙකට ඇන තව් හතර බැගින් දෙපස ඇන තව් අටම ඵතට මිලී 6 බැගින් ඕවල් කර ගියර පෙට්ටිය එල්ලා බැලූ පසු කිසිදු ආපදාවක් නොවීය.

මෙම 31 ශ්‍රී 5460 මෙරට කොහේ හෝ මාර්ගයක අදටත් දුවනු ඇත. කිසිවෙකු එය සොයා බැලුවහොත්, පෙට්රෝල් චැසිය, එයට ඇන හා මුරිච්චි වලින් සවිකොට ඇති දුනු හැඟර් හා ශැකල්, පහතට ඕවල් කොට සවිකොට ඇති ගියර පෙට්ටිය සවීවී ඇති ක්‍රොස් මෙම්බරය එලෙසින්ම වනු ඇත.

වාහනය නිමකල පසු යෙදුනු එක් නිවාඩුවක අප නිවැසියන් හා මාගේ මිත්‍ර ෂානක හා ඔහුගේ පිරිස එක්ව දකුණු ලක සංචාරයක යෙදුනෙමු. අප ගියේ කොග්ගල බීච් හෝටලයේ දින දෙකක නිවාඩුවක් ගත කිරීමටය.  එම ගමනේදී ෂානක පැදවූයේ ඔහුගේ; එකල නවීන වාහනයක් වූ නිසාන් FB14 රථයක්ය. ලෑන්ඩ් කෲසරය; නිසාන් මෝටර් රිය සමග කරට කර සටනක් යෙදුනේ අප දෙදෙනටම සිතා ගැනීමට නොහැකි පරිද්දෙනි.

 කැබැලි කර නැවත එකලස් කල චැසිය සීයට සීයක්ම නිවැරදි එකෙල්ලක් රථයට ලබා දී තිබුනි. ගාන්ධි අයියාගේ උපදේශකත්වයෙන් මගේ හයියෙන් සැදූ එන්ජිම Zසී හඬ නැංවීය. පයාගල රේල් ගෙට්ටුව තෙක් සමුදුරට සඟවෙමින් ගමන් කල ගාලු පාර සමුදුර් සිප ගැනීමට තරම් ලං වෙමින් යලිත් දුරස් වෙමින් ගලා ගියාය. මුහුදු සුළඟ කපා ගෙන ඊ ගහක් සේ ලෑන්ඩ් කෲසරය ඇදෙමින් ය. වායු සමනය කර නොතිබුනු රථයේ වාකවුළු සිසාරා සුළඟ පාවී ඒ!  

මුහුදු සුළඟ සමග නැහැයට ගෙන ආ පොල් රා සුවඳ . . . . ආ! මොන තරම් ආශ්වාද ජනකද? 

හදවතත් සමග එකාත්මීය වෙමින් ඒවන් ගමනක් යන්නට ඇත්නම් . . . . !

Saturday, June 5, 2021

199. ඊයේ ලියන්න තිබුනු ලිපියක්!

මෝටර් රියෙන්  ගංවතුරට මුහුණ දෙන්නේ කෙසේද?

"රාජා හෝ මා හෝ ගංගා හෝ"
ඊයේ වෙන කොට ජයග්‍රාහී සිව් වන දිනයටත් අත්තනගල්ල ගංගා ද්‍රෝණිය හෙවත් ගම්පහ, රාගම, කඩවත, ගනේමුල්ල, ජා ඇල, සීදූව, මිනුවන්ගොඩ වැනි ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ වලට ධාරාණිපාත වර්ෂාව වැටෙමින් විය! අහසට මෙතරම් වතුර කොයින්දැයි සිතෙන තරම් මහත් වතුරක් ගෙන ආ; වැස්ස බී ගත නොහැකිවූ මහ පොලොව මහා ජල කඳ තම දේහය මත ගලා යෑමට සලසා බලා සිටියාය. කොටින්ම තැන තැන එක්වූ ජලයෙන් පලාත් බදව කුඩා ප්‍රමාණයේ ගං වතුරක් මැවෙමින් විය.

ඊයේ හවස් වරුවේ වත්පොත තුල වනගත වන්නා අටියෙන් මොබයිලයේ අගුළු ඇර වත් පොතට පිවිසෙනවාත් සමගම දුටුවේ ලක්මාල් කන්දෙවිදාන හෙවත් අටමා විසින් පලකල තිබූ රූපමය කඳුළු කථාවය. ඒ  රාගම කිට්ටුව පිහිටි ඔහුගේ නිවස තුලට ගංවතුර ගලාගෙන එන වීඩියෝවක් හා නිවසේ බොහෝ කොටස් ගං වතුරෙන් ක්‍රම ක්‍රමයෙන් යටවී යන ආකාරයත්ය. වහාම ඇනෝපිලිස් ඇමතූ මාඔහුත් සමග මහ වැස්සේ මාගේ අභිනව ලොරි රථයෙන් අටමාගේ දුක සැප විමසීමට පිටත් උනෙමු. 

කෙමෙන් රෑ බෝවී තිබූ අතර මහ වැස්සත් විළිබරෙන් මිරිකුණු වැසි වලාවන් නිසාත් ඝන අන්ධකාරයකින් පලාතම වැසී තිබුනි. කොරෝණා නිසා දවල් සිට නින්දේ වූ රාගම නගරයේ වීදී පහන් වල හා වාහන වල ආලෝකයෙන් තරමක් දුරට අඳුර පලවා හැර තිබුනි. කඩවත නගරයේ සිට අප රාගම නගරයට පිවිසෙත්ම බැසිලිකා විදුහල (එහි නම ඒක වියයුතුය!) මහා මාර්ගය ජලයෙන් අඩි දෙකක් පමණ යටවී තිබුනි. 

එතෙර වී අඹු දරුවන් බලනු රිසිවූ මෝටර් රථ වල නිවෙස් බලා යමින් සිටි මහත්වරුන් ගං වතුර දැක බහිංදෝ නොබහිංදෝ කියා සිතමින් වාහන වලට වී ගං වතුරට ඉව අල්ලමින් සිටියෝය. මියෙම්වා රැකෙම්වා කියා සිතන අපේ රුධිර ඝනය ඇඟේ දුවන සමහරුන් ගං වතුර දෙබෑ කරගෙන එතෙර මෙතෙර විය. මෝටර් රථ කිහිපයක් කටවල් ඇරගෙන මාර්ගයේ පසෙක් ගාල්කොට තිබෙනු දක්නා ලදී. ඒවාට එබුනු තතු දත්තෝ ඒවාට විවිධ ප්‍රයෝග, මායම්, පිළිසකර කිරීම්, අළුත්වැඩියාවන් වල නියෙලනු දක්නට ලැබුනි. ටික වේලාවකින් අපද දිය කඳ හරහා ගමන් කොට රාගම නගරයටත් එය සිසාරා අහසින් ගමන් කොට ඉදිරියට යත්ම මහා වාහන පෝලිමකට සෙට මෝල් වෙන්නට සිදු විය. එතැන් සිට පේරලන්ද හංදිය පසු කරණා තුරුත් ඉක්බිත්තේත් දිස් උනේ මහා ජලශයකි. අවම වශයෙන් අඩි  අඩි තුනේ සිට හතර දක්වා ගැඹුරකි යුක්තවූ වැවක් එහි මැවී තිබුනි. එතැන තත්වය වඩාත් අයහපත්වී තිබුනි. මෝටර් රථ සමහරක් වාහන පෝලිම සමග ඉදිරියට ගොස් චිත්ත ධෛර්‍ය බිඳ වැටී පාර අවහිර කරගෙන බල්ලා සහ පිදුරු න්‍යාය අනුගමනය කරමින් ලැගගෙනය.

"රාජා හෝ මා හෝ ගංගාහෝ" සිතා ගත් රජයේ හා හමුදාවේ වාහන කීපයක් `සබ්මැරීන සේ එතෙර යමින්ය .මෙතෙර එමින්ය. ඇස් මනා පිටම මිට්සුබිෂි L300 වැඇන් රථයක් එන්ජිම තුලට වතුර ඇද දුම් දමමින් හැරමිටි ගමනේය. ලියනවානම් කථා ගොඩකි.

මීට පෙර "ඔබේ මෝටර් රිය දියට වැටුනොත්" කියා මා ලිපියක් පලකොට ඇතත් මෙවැනි අවස්ථාවකදී කලයුත්තේ කුමක්දැයි ලියා නොමැත. විශේෂයෙන් කුඩා මෝටර් රථ භාවිතා කරණ මාගේ සහෘදයින් වෙනුවෙන් යමක් ලිවිය යුතු යැයි මාහට ඊයේම සිතුනි. ඇනෝටද මතක් කලෙමි. "දැන් කවුද අනේ බ්ලොග් බලන්නේ?" කියා ඔහු මාව දිරි ගැන්වූ අතර එය ලියා තබන්නට දැන් පටන් ගනිමි. මම මේ අරම්භයක් ගන්නා අතර අපේ දැන උගත් පාඨක පාඨිකාවන් අඩු පාඩු ඉවත් කරණු ඇතැයි උදක්ම බලා පොරොත්තු වෙමි.

ජලයෙන් වැසී ගිය මාර්ගයක් හරහා අප ගමන් කලයුත්තේ කෙසේද?

අප මෙය මේ විදියට පටන් ගනිමු. 

අද පවතින වාහන පෙට්‍රෝල් වාහන, ඩීසල් වාහන, විදුලි  වාහන හා හයිබ්‍රිඩ් වාහන යනුවෙන් වෙන් කර ගැනීමට පුළුවන. පලමුව අප පෙට්‍රෝල් වාහන හා ඩීසල් වාහන ගැන කථා කරමු.

පෙට්‍රෝල් එන්ජිමක් ක්‍රියා කරණ අවස්ථාවේදී  එය තුල ඇති පිස්ටන ඉහල පහල ගම්න්කරණු ලබයි. පිස්ටනය පහලට පැමිනීමේදී  පෙට්‍රෝල් එන්ජිමක් තුලට පෙට්‍රෝල් සහ වායු මිශ්‍රණයක්ද ඩීසල් එන්ජිමක; එය තුලට අවකාශයේ තිබෙන වාතයද ඇතුලට උරා ගනී (Intake Stroke). එන්ජිමේ වට භාගයකදී මෙසේ ඇතුලට උරා ගන්නා ඉන්ධන+වායු මිශ්‍රණය හෝ වාතය සිලින්ඩරය තුල පීඩනයට ලක්වේ (Compression Stroke). මෙය පෙට්‍රෝල් එන්ජිමක 9 ට එකක අනුපාතයට පමණ  තෙරපෙන අතර ඩීසල් එන්ජිමක මෙය 22 ට එකක පමණ දැඩි පීඩනයකට ලක් වේ. (එනම් නිදහස් අවකාශයේ තිබෙන වායු කොටස් ඒකක 22 ක පරිමාව ඒකක 1 ක පරිමාවකට තෙරපීම වේ.)

එන්ජිමක ක්‍රියා කාරීත්වය මෙතැනින් බලා අවබෝධයක් ලබා ගන්න බලන්න.

ඔබ සිතන්න එන්නත් සිරින්ජයක් ගෙන එය ඉදිරිපසින් වසා දමා පසුපස හැන්ඩලයෙන් තෙරපන අවස්ථාව. නො එසේනම් බයිසිකල් හුලං පොම්පයක් එසේ තෙරපන අවස්ථාව. පිස්ටනය ඉවතටම ඇද  ගත් අවස්ථාවේදී සිලින්ඩරය තුලට පිරෙන වාතය පිස්ටනය තදකිරීමේදී  සිලින්ඩරය තුල පීඩනයට ලක්වේ. පිස්ටනය පහතට ගමන් කරත්ම සිලින්ඩරය තුල පරිමාව අඩුවන අතර එයට සාපේක්ෂව එය තුල සිරවී ඇති වාතය සම්පීඩනයට ලක්වේ.

මෙය වායු වල ඇති ගුණයක් සේ පාසලේ 6 වසරේ විද්‍යාව පාඩමේදී උගෙන ගත්තා මතකයි නේද? 

වායුවල භෞතික ගුනාංග:- නියමිත බරක් ඇත! නියමිත  හැඩයක් නැත!! නියමිත පරිමාවක් නැත!!!

ඒ පාඩමේම ඔබට මතකද ද්‍රව වල ගුනාංග ඉගෙන ගත්තා.

ද්‍රව වල භෞතික ගුනාංග:-  නියමිත බරක් ඇත! නියමිත  හැඩයක් නැත!! නියමිත පරිමාවක් ඇත!!!

දැන් අපි නැවත පෙර සඳහන් කල එන්නත් කටුව දෙසට හැරෙමු. එන්නත් කටුව තුලට එන්නත නැතහොත් බෙහෙත් දියරය පුරවා ගත් පසු අපට ඉදිරියෙන් වසා පිස්ටනය හෙවත් හැන්ඩලය තෙරපිය හැකිවේද? නොහැක! මන්ද සිලින්ඩරය තුල ඇති ද්‍රව පරිමාව මගින් පිස්ටනය හිරකොට ඇති නිසාය!

ඔබ සිතන්න පෙට්‍රොල් හෝ ඩීසල් එන්ජිමක් තුලට නො එසේ නම් සිලින්ඩරය තුලට පිස්ටනය මගින් ඇදගන්නා වායුව වෙනුවට ද්‍රවයක් නො එසේ නම් ජලය පැමිණිය හොත් කුමක් සිදුවේදැයි කියා? සිලින්ඩරය පහතට ගමන් කිරීමේදී සිලින්ඩරය තුලට ගලා එන ජලය නැවත පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී තෙරපීමකට හෙවත් සම්පීඩනයට ලක්වේ. එහෙත් වාතය මෙන් ජලයේ (හෝ ද්‍රව වල) පරිමාව වෙනස් නොවේ. එවිට සිදුවන්නේ පිස්ටනය ජලය සමග තෙරපී හිරවීයාමයි.  වේගයෙන් එතෙක් කර කැවෙමින් පවතින එන්ජිමක් මෙසේ හිරවීම (Hydro Lock) සමගම පිස්ටන් අත් කැඩීයාම, ඇදවී යාම, ක්‍රෑන්කය කැඩී යාම, එන්ජින් බ්ලොක් ඒක පුපුරා යාම සිදුවිය හැක! තවත් ලෙසකින් කියනවානම් එන්ජිම ගලවා සම්පූර්ණ අළුත්වැඩියාවකට හෝ අළුතින් එන්ජිමක් සවිකිරීමට උවද සිදුවේ!

මේ සියල්ල සිදුවන්නේ එන්ජිම අභ්‍යන්තරයට හෙවත් සිලින්ඩර තුලට ජලය ගලා ඒමෙන්ය. එසේ ජලය ගලා ඒමට ඇති මාර්ගය වන්නේ එන්ජිම තුලට පිරිසිදු වාතය උරාගන්නා එයා ක්ලීනරය හරහාය. 

මෙයින් තේරුම් ගත යුතු වැදගත්ම කරුණ වන්නේ එයා ක්ලීනරය හෝ එයා ක්ලීනරය තුලට වාතය ඇදගැනීමට වාහනයේ සවිකොට ඇති සොඬ නලය හෙවත් හෝස් පයිප්පය තුලට වතුර ඇතුලු නොවන ගැඹුරක වාහනය පැදවීමෙන් එන්ජිමට කිසිදු අවුලක් නොවන බවය. බොහෝ වාහන වල එයා ක්ලීනරය හා ඉහත කී නල ඇතුළු උපාංග සවි කොට ඇත්තේ එන්ජිම මත හැකි උපරිම උසක් ලබා දෙන පරිදිය. මෙසේ සවිකිරීමට ඇති එකම හේතුව ජලය තරණය කිරීමට අමතර හැකියාවක් ලබා දීමට යැයි වරදවා නොවටහා ගන්න. එයත් එක් හේතුවකි.




එකිනෙකට වෙනස් වර්ග කිහිපයක මෝටර් රථ (කාර්) වල 
එයා ක්ලීනරය නැතහොත් එයා ඉන්ටේක් එක ස්ථානගත කර ඇති ආකාරය!

විශේෂයෙන් මෝටර් රථ වල නැතිනම් කාර් වල මෙම උපාංගය එන්ජිමට ඉහලින් සවි කොට ඇති අතර බොහෝ වෑන් රථවල එයා ක්ලීනරය සවිකොට ඇත්තේ වාහනයේ පසෙකට වන්නට, ඉදිරි පස දොරට පසුපසින් ඉතා පහලින්ය. එවිට එන්ජිම කෙතරම් උසකින් තිබුනත් එයා ක්ලීනරය හරහා ජලය එන්ජිම තුලට ඇදී ඒම නවතාලිය නොහැක.

මෙසේ උවද අන්තර්ජාතික වශයෙන් මෝටර් රථයක් ගමන් කලයුතු උපරිම ගැඹුර ලෙස දක්වා ඇත්තේ සෙන්ටි මීටර 10 ක ගැඹුරක පමණි. එසේම බොහෝ වාහන සෙන්ටි මීටර 30 ක ගැඹුරකදී පාවෙන්නට පටන් ගන්නා බවට අනතුරු හඟවා ඇත.

වාහනයක් ගං වතුර ප්‍රදේශයක් හරහා තල්ලු කරගෙන හෝ වෙනත් වාහනයක් මාර්ගයෙන් ඇදගෙන යාමේදී එන්ජිම තුලට වතුර ගමන් කිරීමේ අවධානම බොහෝ සෙයින් අඩුවේ. මන්ද එන්ජිමේ පිස්ටන් ක්‍රියා කාරීත්වය මගින් ජලය එන්ජිම තුලට ඇද නොගන්නා බැවිනි. එසේ ගං වතුර ස්ථානයෙන් වාහනය ඉවතට ගත් පසු එයා ක්ලීනරය හෝ ඊට සම්බන්ධ සොඬ නලය එනම් එයා හෝස් එක ඉවතට ගලවා එන්ජිම  අසලට ජලය ඇවිත් දැයි සොයා බැලිය හැක.

එවිට සයිලන්සරය තුලින් එන්ජිමට ජලය ගමන් කරණ්නේ නැත්දැයි මෙය කියවන යම් අයෙකුට ප්‍රශ්ණයක් මතුවීමට ඉඩ ඇත. එන්ජින් නිර්මාණය තුලම සයිලන්සරයෙන් එන්ජිම තුලට ගමන් ගන්නා ජලය නැවත පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී ඉවතට ගලා යාම සිදුවේ. 

බොහෝ හයිබ්‍රිඩ් හා විදුලි වාහන වල බැටරිය සවිකොට ඇත්තේ වාහනයේ පතුලේය. එම නිසා ඉතා ඉක්මණින් බැටරිය තුලට ජලය නො එසේ නම් ජල වෂ්ප හෝ පිණි ඇදී යාමෙන් බැටරිය අකර්මණ්‍ය වීමට ඉඩ ඇත. 

SUV රථයක් උවද මිට්සුබිෂි අවුට්ලෑන්ඩර් හයිබ්‍රිඩ් රථයට ගමන් කල හැකි උපරීම ගැඹුර ලෙස නියම කොට ඇත්තේ අඟල්  9 ක ගැඹුරක් තුල පමණි!

නවීන වාහන වල ඇති ඉලෙක්ට්‍රොණික මෙවලම්, හා කොම්පියුටරය ආදී කොටස් වලටද ජලයෙන් හානි විය හැක. 

නවීන ටොයෝටා හයි ඒස් රථයේ එයා ක්ලීනරය පිහිටා ඇති තැන සියැසින් දැක ගන්න.

අප දැන් කථා කල පරිදි වෑන් සහ කුඩා ලොරි රථ වල එයා ක්ලීනරය (එයා ඉන්ටේක් එක) ඉතා පහලින්, පොලොවට ආසන්නව පිහිටි හෙයින් කුඩා වතුරක හෝ යාම කල්පණාවෙන් කල යුතුය. හදිසි අවස්ථාවකදී වෑන් රථයේ එයා ක්ලීනරයේ සිට එන්ජිමට පැමිණෙන සොඬ නලය හෙවත් ඒයා හෝස් එක එන්ජිම අසලින් ගලවා ගතහොත් එයා ක්ලීනරය ජලයේ ගැටුනද ගිලුනද එන්ජිමට සිදුවන හානියෙන් ගැලවී ගත හැක! (මන්ද මෙම වාහන වල  එන්ජිම පවතින්නේ එයා ක්ලීනරය හෝ එයා ඉන්ටේක් එකට ඉහලින් නිසාය.)

සමහර ෆෝ වීල් ඩ්‍රයිව් රථවල එයා ස්නෝකලයක් සවි කොට ඇත. එම නිසා එවන් වාහන වලට ඉතා ගැඹුරු වතුරක හෝ ගමන් කිරීමට හැකියාව පවතී. 




හැකි හැම විටෙකම වාහනය තුල කුඩා නයිලෝන් කඹයක් හෝ වානේ කේබලයක් ලඟ තබා ගන්න. වාහනය ගංවතුර ඔස්සේ පදවාගෙන යනවාට වඩා වෙනත් රථයකින් ඇදගෙන යාම වඩා යහපත් වන බැවිනි.
ගං වතුරක් මැදින් මෝටර් රියක් (කාරයක්) ගමන් කරද්දී; ඉදිරියෙන් ගමන් ගන්නා වඩාත් විශාල ට්‍රක් රථයක්, බස් රථයක් හෝ වෑන් රථයක් පසු පසින් ගමන් ගන්නේ නම් වාසි රාශියක් මෝටර රථයේ රියැදුරුට නොමිලේම ලබා ගත හැක.
මාර්ගය නිශ්චිතව හඳුනා ගත හැක.
මාර්ගයේ කඩතොළු, වලවල් හානිවූ ස්ථාන මග ඇර ගැනීමට අදහසක් ගොඩ නගා ගත හැක. 
මාර්ගයේ සීමාව එනම් කට වහරේ "තාර ගැට්ට" ලෙස හඳුන්වන දාරය හඳුනා ගැනීමටත් තවත් වාහනයක් පසු පසින් ගමන් කිරීම වැදගත්ය.
සුනාමියට සතියකට පෙර රට පුරා මහ වැසි වසිද්දී මා අම්පාරට යමින් විය. පදියතලාව පසුකොට මහඔයට යනවිට මාර්ගය මුළුමනින්ම වැසී තිබුනි. එවිට මා මාර්ගය හඳුනා ගත්තේ මාර්ගය අයිනේ වූ ලයිට් කනු මගිනි.
ඉදිරියෙන් ගමන් ගන්නා වාහනය මගින් ඇති කරවන රැල්ල කරණකොට ගෙන මෝටර් රථයට මුහුණ දීමට ඇති බාධාව අවම කර ගත හැක.
රෝද හා සම්බන්ධ තිරිංග පද්ධතියේ කොටස් තුලට ජලය ගමක් කිරීමෙන් තිරිංග කාර්‍යක්ෂමතාවය අඩුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් පදවන්න.
හැකි හැම විටම එන්ජිම අඩු වේගයකින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්න. එවිට යාන්තමින් හෝ ජලය එන්ජිම තුලට උරා ගැනීම තරමකට හෝ මග ඇරෙනු ඇත. වේගයෙන් එන්ජිම රේස් වීමේදී එය තුලට උරා ගැනෙන වායු පරිමාව මෙන්ම තීව්‍රතාවයද ඉහල නැංවේ. එවිට "කොහෙවත් නැති" ජලය උවද ඇද ගැනීමට එන්ජිම පෙළඹේ!
වාහනය තුල මගීන් සියල්ල සිටීම යහපත් ය. මන්ද වාහනය වඩාත් සැහැල්ලුවූ පසු එය පාවීමට පටන් ගැනීම නිසා වහනයේ පාලනය තමා වෙතින් ඉවත් වීමට පුළුවන.
ගං වතුරෙන් ඉවත් වූ පසු වාහනයේ තිරිංග පද්ධතිය තාවකාලිකව අකර්මණ්‍ය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති හෙයින් ඒ සම්බන්ද කොටස් තරමක් රත්වී වියලී යාමට බ්‍රේක් පාදිකය මත යාන්තමින් පය තබා ධාවනය කිරීම හෝ තරමක දුරක් ප්‍රවේශමෙන් ධාවනය කිරීමටද මතක තබා ගන්න.
ගංවතුර ස්ථානයෙන් ඉවතට පැමිණි වහාම එනිජිමේ ලිහිසි තෙල් සමග ජලය කලවම් වී ඇත්දැයි බැලීමද යහපත්ය. ලිහිසි තෙල් හෙවත් එන්ජින් ඔයිල් කලවම් වී ඇත්නම්; ඔයිල් කූර Deep-stick  එක ඇද බැලූ විට ඒවා කිරිපාට වී ඇති බව තහවුරු කර ගත හැක.
කෙසේ වෙතත් වාහනයේ ගියර් ඔයිල් හා ඩිෆරෙන්ශල් ඔයිල් සමග වතුර මිශ්‍රවී ඇත්දැයි පසුව හෝ සොයා බැලීම යහපත්ය.

හදිසියේ වත් ගංවතුර මැදදී එන්ජිම නැවතුන හොත් එන්ජිම පන ගැන්වීමට උත්සාහ නොකරන්න. ජලය එන්ජිම තුලට ගමන් කොට එන්ජිම නැවතුන හොත් නැවත පන ගැන්වීමට යාමේදී එන්ජිම මුළුමණින්ම විනාශ වීමට ඉඩ ඇත!
යම් හෙයකින් වාහනය ගං වතුර මැද දී එන්ජිම නතර වුවහොත් වාහනය තල්ලු කොටගෙන හෝ වෙනත් වාහනයකින් ඇද ඉවතට ගන්න. ඉන් පසු මා පෙර කී පරිදි එයා ක්ලීනරය ගලවා ජලය ඊට ඇතුළුවී ඇත්දැයි සොයා බලන්න. 
පෙට්‍රෝල් වාහනයක නම් පුළිඟු පේනු හෙවත් ස්පාර්කින් ප්ලග් සියල්ල  ගලවාද ඩීසල් වාහනයක් නම් ඉන්ජෙක්ටර සියල්ල හෝ හීටර් ප්ලග් සියල්ල ගලවා හෝ එන්ජිම ස්ටාටර් මෝටරයෙන් කරකැවීමෙන් එන්ජිම තුල ජල ඇත්දැයි කියා නිශ්චය කර ගැනීමටත්; ජලය එන්ජිම තුලට ඇතුළුවී තිබුනේ නම් එය ඉවත කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබේ.

හයිබ්‍රිඩ් හෝ විදුලි වාහනයක බැටරිය තුලට ජලය යාන්තමින් හෝ ඇතුළුවී ඇත්දැයි පසුව හෝ නියමිත තාක්ෂණික ඥානය ඇති පිලිගත් ආයතනයකදී පරීක්ෂා කර බලන්න.
මෙය කියවන මහත්වරුන් නෝනා මහත්වරුන් මෙහි යම් අඩුපාඩුවක් වෙත් නම්; මෙය නිවැරදි කරණමෙන්ද; අළුතින් යමක් එක් කිරීමට අවශ්‍ය වේනම් එසේ කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් යුක්තව මෙයින් ඉල්ලා සිටිමි.

Wednesday, June 2, 2021

198. පැනි බේරෙණ කොම්පැනි කථා 1

ක්‍රියාන්විතයේ මුල් ගමන් කරුවෝ නලීන්-හුස්නි-සෆ්ෆ්‍රාස්
 
කනු කුනු නොගෑ කුණු ප්‍රශ්ණය! 
මා වසර දොලහක් සේවය කල යුනයිටඩ් මෝටර්ස් සමාගමේ සිට අවසන් වතාවට සේවය කල ඔටෝමිරාජ් ආයතනය වෙතට පැමිණීම සිදු උනේ හරිම අනපේක්ෂිත විදියට. ඇත්තටම ඊට මුල් උනේ මගේම හදවත කිව්වොත් මම වඩාත් නිවැරදියි!

වසික කැන්ගරු දේශයට ගිය අලුත එයාගේ තනිය ටික කාලෙකට හරි මකා දමන්නට එහාට යන්න මගේ අදහසක් තිබුනා.

නමුත් ඒ සඳහා වීසා ගැනීමේ සිට වෙනත් වෙනත් කටයුතු වලට කාලය ගතවන විට ඔටෝ මිරාජයට සෙට් වෙන්නට කරුණු කාරණා යෙදුනා.

දෙමටගොඩ ඔටෝමිරාජය යනු ඔටෝමිරාජ් සමූහයේම වැඩිම ආදායම් ලබපු ශාඛාව නැතිනම් ඒකකය.

අපේ ඉලක්කය වූයේ මසකට මිලියන 15 ක්. අපි මිලියන 10 ක 12 ක මට්ටමක් සැමදා පවත්වාගෙන ගියා.

මගේත් එක්ක ලොකු කණ්ඩායමක් වැඩකලා.

එයින් ප්‍රධාන උනේ රුෂාන් මල්ලී.

ඔහු මට සෙවනැල්ල සේ එකටම අදටත් සිටින මිත්‍රයෙක්.

ගැන්සිය - දකුණේ සිට - රුශාන්, ජනක, මලීෂා, ප්‍රියන්ජි, අසේල. සෆ්ෆ්‍රාස්, සුගත්, පොඩි ඉසුරු, ලසන්ත

ඊට අමතරව අසේල, සෆ්‍රාස්, රොක්සි, නලීන්, නන්දික, මනෝජ්, සුදත්, විජේ, සම්පත්, ලසන්ත, ප්‍රියන්ජි වගේ නිළධර කාඩරයකුත් ඔවුන් වෙතින් පාලනයවූ දෙමල, සිංහල, මුස්ලිම් එළ කොල්ලො සෙට් එකකුත් එතන හිටියා.

රුෂාන් ඔපරේෂන් එක; එහෙම නැතිනම් ක්‍රියාන්විතය මුළුමනිනම දිවැව්වා.

එයාට ඒ සඳහා තිබුනේ අනර්ඝ පලපුරුද්දක්.

මම පෞද්ගලිකව රුෂාන්ගේ කළමණාකරණයටත් පොදුවේ අනෙක් අයගේ කටයුතු වලටත් අනවශ්‍ය බලපෑම් කරණ්න ගියේ නෑ.

මට අවශ්‍ය වුනේ ආයතනයේ සේවාවේ ගුණාත්මක බව ඉහල මට්ටමකට ගෙන ඒමයි.

ඒ සඳහා මම කුඩා කුඩා අත් හදා බැලීම් කලා වගේම ඉන් බොහොමයක් සාර්ථක උනා. වාහනයක් සේවාවෙන් පසු ආයතන භූමියෙන් ඉවතට යන අවස්ථාවේ දී කරණු ලබන අවසාන සුපරීක්ෂනයේදී වීල් නට් හෙවත් රෝද වල ඇන පරීක්ෂා කිරීමටත් ප්‍රමිතියට තද කිරීමටත් ටෝක් රින්ච් පාවිච්චිය හඳුන්වාදීම ඉන් එකක්.

හරිනේ! ඇයි වැරදිද? අසේල මුල්ම ටෝක් රින්ච් එකෙන් වැඩ පෙන්වමින්
වමේ සිට - අසේල, හසන්, වික්‍රමසිංහ, කුමාර, ලසන්ත, සම්පත්

අදටත් එය එහි සාර්ථකව කරගෙන යනු ලබනවා.

නමුත් ආයතනයට පැමිණි මුල් දිනයේම මා දුටු; මවිසින් පළමුව විසඳිය යුතු ප්‍රධාන ගැටළුව වූයේ අපද්‍රව්‍ය කළමණාකරණය කියලා මට ඒත්තු ගියා.

දිනපතා එකතුවන විශාල අපද්‍රව්‍ය හෙවත් කුණු බැහැර කිරීම සඳහා සතිපතා ලොකු වියදමක් දැරීමට වාගේම ඒ සඳහා නගර සභාවෙන් වාහනයක් ගෙන්වා ගැනීමට ආයතනයක් ලෙසට අපි සැවොම මුහුණ දුන් අප්‍රසන්න අත්දැකීමක් උනා.

මෙය මට මහත්වූ අභියෝගයක්නේ ආණ්ඩුවටවත් විසඳ ගන්න බැරි!? 

එය මා සතුටින් භාර ගත්තා.

පළමුව ආයතනයේ එක් වන කුණු මොනවා දැයි සොයා බැලුවා. එතනදි මම තේරුම් ගත්තු දෙයක් තිබුනා අනිවාර්‍යයෙන්ම එක්තු වන අපද්‍රව්‍ය හා අපට පාලනය කරගත හැකි ඒවා ලෙස කොටස් දෙකක් ඇති වග.

මොනවද මේ අනිවාර්‍යය කුණු:- ඒවා තමයි වාහන වලින් ඉවත් කරණු ලබන දැවිතෙල් හෙවත් කළු තෙල්. අනෙක ඉවත් කරණ පෙරහන් හෙවත් ෆිල්ටර් ඊළඟට ලිහිසි තෙල් කෑන් හා වෙනත් ඇසුරුම්.

මම ආයතනයට යන විට දැවිතෙල් බැරලයක එනම් ලීටර 200ක මිල වූයේ රුපියල් 7500ක්. මමත් රුශානුත් එකවුන්ටන් ප්‍රියන්ජිත් එකතුව අපි තීරණයක් ගත්තා කළුතෙල් බැරලයක මිල රු: 10,000 කට ඉහල දැමීමට. ඒ පියවර කිහිපයකින්. පලමුව එය රු: 9000 කට ඉහල දැමීමට සමත් උනා.

 ඒ ගැනත් පොඩිත්තක් ලිව්වොත් හොඳයි වගේ. මේ කළු තෙල් විකුණන මුදල බැර උනේ අපේ අර මුලින් කීව මල්ලිලාට උදේ කෑම එක දෙන්න. තෙල් වලට ලැබෙන මුදල මත තමයි අපිට මේ දරුවන්ට දෙන්න පුළුවන් කෑම එකේ ගුණාත්මක බව තීරණය උනේ!

මෙහෙම තෙල් විකිණීමට මෙතෙක් පැවති ඒකාකාර මිල ඉහල දැමිය හැකි වේ දැයි බොහෝ දෙනා හට කුකුසක් තිබුනා.  ඒ පිළිබඳව වගකීම මා භාර ගත්තා. නැවත කළුතෙල් මිළදී ගන්නා අය ආ විට; ඔහුව මා මුණ ගැසීමට තීරණය කලා. දිනක් සවස් වරුවේ තෙල් මුදලාලි ආ විගස ඔහුව මා වෙත ස්ටෝරුවේ මනෝජ් රැගෙන ආවා.

ඔහුගේ නම ලැම්බර්ට්!

"ලැම්බර්ට් ඔයාට එන්න කිව්වේ අපට ඉදිරියේ ඔයාට තෙල් දෙන්න බැරි වෙන බව කියන්න!" මම කීවේ  පොඩි බොරුවක්.

"ඒ මොකද සර්!?"

"නෑ! අපේ ඔටෝමිරාජ් ඔක්කොම ඒවායෙ තෙල් ගන්න එක්කෙනෙක් ටෙන්ඩර් එකක් දාලා තියෙනවා. එයා 9000 ගානේ ගන්නවාලු. ඒ හින්දා අපිට තෙල් පිට දෙන්න එපා කියලා හෙඩ් ඔෆිස් එකෙන් කියලා තියෙනවා. වෙනසක් උනොත් මම ඔයාට දන්වන්නම්."

"හරි සර් මම 9000 ට ගන්න කැමති උනොත්?"

"මට දැන්ම ඒක ගැන කියන්න බෑ! මම හෙඩ් ඔෆිස් එකෙන් අහලා ඔයාට දන්වන්නම්!"

ඒ කෙටි වේලාව අවසන් උනේ අපේ ඉලක්කය සපුරා ගනිමින්.

අපිට ෆිල්ටර විකිණීමත් නියමිත ක්‍රම වේධයකට සකස් කර ගන්න පුළුවන් උනා.

ඒ වගේම හිස් කෑන් සියල්ල ප්ලාස්ටික් කැට හදන තැනකට විකුණා ගන්නටත් පසුව ප්ලාස්ටික් එකතු කරණා අයෙකු අපගෙ ආයතනයටම විත් හිස් කෑන් වතුර බෝතල් කිලෝ ගානට අරං ගියා. ඒ කුණු සේරම මුදල් කර ගැනීමට හැමෝම මට උදව් කලා!

දැන් තමයි සංකීර්ණ ප්‍රශ්නය:

දෙවෙනි අපද්‍රව්‍ය උනේ පාලනය කල හැකි කුණු!

මෙහි ප්‍රධාන වශයෙන් තිබුනේ කෑම ඔතන කඩදාසි, ලන්ච් ශීට්, ඉඳුල්.

ඒ වන විට ආයතනයේ 40 කට අධික සේවක පිරිසක් සේවය කලා.

ඔවුනට උදෑසන සහ දිවා ආහාරය දුන්නේ ආයතනයෙන්මයි, උදෑසන ආහාරය මුළුමණින්ම නොමිලේ වුනු අතර දිවා ආහාරයට අය කලේ අඩක් පමණයි. ඉතිරිය ආයතනයෙන්. මේ ආහාර ගත්තේ සැපයුම් කරුවන් දෙදෙනෙකුගෙන්. ඔවුන් ගෙනා ආහාර වල ගුණාත්මක භාවය කෙසේ වෙතත් ප්‍රමාණාත්මක භාවය ඉහල මට්ටමක තිබුනා. මේ නිසා විශාල ඉඳුල් ප්‍රමාණයක් මෙන්ම කෑම ඔතන කඩදාසි කොල 80ක් ද ලන්ච් ශීට් 80ක් ද අනිවාර්යයෙන්ම දිනකට එකතු උනා.

මම අළුත් අදහසක් ගෙනාවා.

"අපි කෑම ගේන්න කියමු ප්ලාස්ටික් පෙට්ටියක. උදේට ගේන එක්කෙනාට පෙට්ටි 40 කුත් දවල් කෙනාට පෙට්ටි 40 කුත් අරණ් වැඩේ පටන් ගන්න කියමු."

"පෙට්ටි එතකොට අපි අරන් දෙනවා?" ප්‍රියන්ජි ඇහුවා.

"නෑ! නෑ!! නෑ!!! එයාල ගන්න ඕනෙ! එයාලට දැන්ටත් කඩදාසි වලට ලන්ච් ශීට් වලට මුදලක් වැයවෙනවානේ!? ඒක ඉතුරුයි. අපි එයාලගෙන් අනිවාර්‍යයෙන්ම මාස තුනක් කෑම ගන්න පොරොන්දු වෙනවා! එතකොට එයාලගෙ ඉනීශියල් කොස්ට් එක කවර් වෙනවා. ඊළඟට වෙන සප්ලයර් කෙනෙක් ගෙන් අපි කෑම ගන්න පටන් ගත්තොත්; මේ බොක්සස් ටික අළුත් සප්ලයර්ට ගන්න කියනවා මෙයාට සල්ලි දීලා!?

"ඔව් එහෙම නම් එයාලා කැමති වෙයි!" ප්‍රියන්ජි සැනසුම් සුසුමක් හෙළුවා.

"ඔව් එතකොට ඒගොල්ලන්ට පාඩුවක් නෑනෙ . . . !? රුශාන් මල්ලි මගේ පැත්තට කථා කලා - නිකං දී කිරට බලල්ලුත් ඥාව් ඥාව් ගානවා වගේ. (ඌ කොහොමත් මාව බේර ගන්නවා!)

"එතකොට ඉඳුල් . . ? (මට මතක නෑ කවුද ඇහුවේ කියලා නම්!)

"ඉඳුල් එයාලා ගෙනියන්න ඕනෙ!!!!!!" මම ගානක් නැතිව කිව්වා.

"මොන පිස්සුද? ඒකට නම් කවුරුවත් කැමති වෙන එකක් නෑ!" රුශාන්ද මංදා කිව්වේ.

"හරි සප්ලයර්ස්ලා දෙන්නාව අදම හවස මීටින් එකකට එන්න කියන්න!" අපි එයාලත් එක්ක කථා කරමු. මම උන්ට කථා කරණ්නං! උඹලා මට ග්‍රවුන්ඩ් සපොර්ට් එක දෙන්න ඕනෙ! හාද?"

"හරි හරි! හා හා!! ප්‍රියන්ගි අක්කේ!? අපිටත් ගුටි කන සීන් එකක් තමයි සෙට් වෙන්න යන්නේ" කවදත් ඕන එකකට කින්ඩිය දාන රුශාන් කියගෙනම පහලට ගියා.

හවස මීටිම සෙට් උනා. මාත් හිටියේ තරමක චකිතයකින්. ඒත් මගේ හිතේත් චකිතයක් තිබුනාට සාධාරණ තර්කයක් තිබුනා මේ "ඉඳුල් රිටර්න්" වැඩේ ගැන!

සප්ලර්ස්ලට මාව අඳුන්වලා දුන්නේ ප්‍රියන්ජි වගේ මතක.

මම මගේ  කථාව පටන් ගත්තා. ඔවුන්ට වටහා දුන්නා කෑම පෙට්ටි වල කෑම ගේන එකේ තියෙන වටිනාකම. ඒක එයාලට ලාභ දායක වන හැටි. කථාව දිගට යන්න ලැබුනේ නෑ. ඒ අය අකමැති උනා මේ කරදර වලට.

මොනවා කරණ්නද? මට පරාජය භාර ගන්න උනා.

මම එවෙලේම ස්ටෝරුවේ මනෝජ්ට කථා කරලා කිව්වා හෙට දවස ඇතුලත අපිට අළුත් සප්ලයර්ස්ලා දෙන්නෙක් හොයාගෙන එන්න කියලා.

"මනෝජ් මල්ලී උඹ මුකුත් කියන්න යන්න එපා. මං ගාවට එක්කගෙන එන්න. ඔය කෑම පෙට්ටි හුට පට ගැන උඹ කථා කලොත් වැඩේ අල වෙනවා!"

"හරි සර්! මම මුකුත් කියන්නෙ නැතිව කෑම සප්ලයි කරණ්න පුළුවංනං සර්ව ඇවිත් හම්බෙන්න කියන්නම්!"

"එළ!'

පසුදා  වන විට අපට අවස්ථා දෙකකදී  සැපයුම් කරුවන් දෙදෙනෙකු මුණ ගැසීමට හැකිවිය. දෙදෙනාම පෙට්ටි කථාවට දෙදෙනාම පහසුවෙන් එකඟ කර ගැනීමට අපහට පුළුවන් විය. මා ඔවුන්ව අපේ අවශ්‍යථාවයට පොළඹවා ගැනීමට කථා කරණ විට එයට ප්‍රියන්ජිත් රුශානුත් ම ග්‍රවුන්ඩ් සපෝර්ට් එක දුන්නෝය.

පහසුවෙන්ම  සැපයුම් කරු අපගේ පෙට්ටි සීන් එකට නවා ගත්තෙමු.

ඊළඟට "ඉඳුල් රිටර්න්" සීන් එක.

"දැං ඔයා හොඳ කෑම එකක් දුන්නොත් අපේ කොල්ලෝ පෙට්ටිය වත් ඉතුරු කරණ්නේ නෑ! කෑම අවුල්නම් ඉඳුල් ඉතුරු වෙනවා! පිළිගන්නවාද? ඔව්! (උං "ඔව්!" කියන්නටත් කලිං මම  "ඔව්!" කියාගෙනම කථාව ඇද්දෙය!) දැන් ඔයාලා හැම පෙට්ටියටම කෑම පුරෝලා දාන්න යන්න එපා. සයිස් දෙකකට හරි තුනකට හරි කෑම එවන්න. එතකොට අඩුවෙන් කන කෙනාට පොඩි කෑම එකක්. ගොඩක් කන කෙනාට ලොකු එකකුත් ගන්න පුළුවන්. හරිනේ? ඒක ඔයාලටත් ලාභයි කෑම අපතේ යැවෙන්නෙත් නෑ. හැබැයි එක දෙයක්! අන්තිමට ඉතුරු වෙන කෑම අපි පොඩි ශොපින් කවරෙකට දාලා තියනවා. ඔයා ඒක අරන් යන්න ඕනෙ ආපහු! ඔයා හොඳට - ගානට කෑම දුන්නොත් ඔයාට මෙච්චරක් වත් ආපහු ගෙනියන්න වෙන්නේ නෑ!" මම අත් දෙක එකට තබා දෝත ඔහුට පෙන්වීය.

අපරාදෙ කියන්න බෑ. ඔවුන් ඊට එකඟ විය.

අපේ පවිත්‍රතා අංශයේ අංශාධිපති මිස්ටර් පෙරෙරාටත් වැඩ අඩු විය. සතියක් යනකොට සියළු දෙනා වඩේට එකෙන්ම සෙට් විය. සහරාන් බෝම්බ ගසනා තුරු වඩේ පුරා වසරක වැනි කාලයක් නියමෙට නැගලා ගියා. 

ඔබ පිළිගන්නවාද? අන්තිමට නගර සභාවට පටවන්න කුණු නැතිවූ වග?

වරක් රජයේ නිළධාරිණියක් පැමිණ අපගේ අපද්‍රව්‍ය බැහැර කරණා අන්දම ගැන විමසුවාය.

"අපිට එහෙමට කියලා කුණු නෑ මිස්!"

"මොකක්!?"

"ඔව්! අපි කුණු ප්‍රශ්නය විසඳා ගෙන තියෙන්නේ මෙහෙමයි! . . . . . . . . . . . . . .!!  රුශානුයි මමයි තරඟෙට මෙන් කියාගෙන කියාගෙන ගියා! මිසී ඇස් උඩ තියාගෙන  යන්න ගියේ අපි නිකං දුන්නු ස්මැක් දිවුල් බීම එකත් නොබීම!

ආතල් එකේ වැඩ - රුශාන් මල්ලීත් රොක්සිත්  එක්ක!

අප ආයතනයකට වේවා. පලාතකට වේවා, රටකට සේවය කරණා විට; නායකත්වය සපයන විට එය පාලනය කලයුත්තේ සැපයුම් කරුවන්ගේ ඕනෑ එපාකම් වලට අනුව නොව එකී සංස්ථාවේ උන්නතිය සුභ සිද්ධිය උදෙසාය! මෙසේ කල හැක්කේ ජරාව නොකන එවුංට පමණි. සැපයුම් කරුවන්ගෙන් ජරාව කන එකා සැපයුම් කරුවාට නැවේ. ඉන් පසු ක්‍රියාවට නැගෙන්නේ සැපයුම් කරුවාගේ න්‍යාය පත්‍රයයි!

සියල්ල අතිශය සාර්ථකව කෙරුණි. අති මහත් බහුතරයකගෙ ආශීර්වාදය මත වැඩේ ලස්සනට ගියේය. එතෙක් බත් කොලේ මේසය මත එළාගෙන කෑ කොල්ලන් කෑම පෙට්ටියක පිළිවෙලට සුරා තිබුනු බත් එක මා සමගම එක මේසයේ කෑවෝය.  ගෙදර වසිකලාට;  ඉතුරු කරණ්නට ඉඩ නොදී; බලෙන් ඇන ඇන කවන ලෙසින්ම උන්ට එළවළු මැල්ලුම් ඉතුරු කරණ්නට නොදී කන්නට බල කලෙමි! උන් මගේ වයසට ගරු කල නිසාදෝ නො එසේනම් අනුකම්පා කල නිසාදෝ; මැල්ලුම්, කරවිල, හාල් මැස්සෝ; තිබ්බොටු වැනිදේ කරබාගෙන ගිල දැමුවෝය. ඇත්තෙන්ම එය අතිශය සුන්දර මතකයකි!

කොහොමටත් තිබ්බොටු කෑම මගේ ජීවිතයේ අමරණීය මතකයකි!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...