Friday, May 7, 2021

195. රස වෑහෙන පොලිස් කථා 1

කාලෙකට පෙර ඒ කියන්නේ  අවුරුදු තුන හතරකට කලින් දවසක මමත් මධුෂානුත්  රාත්තිරි 8 - 9 ට විතර කඩවතින් පිටත් උනේ වව්නියාවෙ යන්න. ඒ උන්ගෙ තාත්තා වෙච්චි මගේ එක්කසුපං අයියා රෝගාතුරව වව්නියාවේ ඉස්පිරිතාලගත කර ඇති පණිවිඩේ අරං ඌ අපේ ගෙදරට ගොඩ වැදූනායිං පස්සෙ! මධූ; දුරක යනවානම් මටත් පොඩි අප්ඩේට් එකක් දාගෙනම යන එක සිරිතක්. ඉතිං ඒ නිසාදෝ මංදා ඇවිත් කියපු ගමන් "පොඩ්ඩක් හිටාං! මාත් එන්නං!!" කියාගෙන නිසාන් පැට්රෝල් ලොරි පොඩ්ඩාවත අරං පිටත් උනා; කඩවතිං රුපියල් හාරදාහක ඩීසල් එහෙම ගහගෙන. අපි ගියේ ඇල්ල හරහා අනුරාධපුර පාරෙං යන්න පස්යාලෙන් මීරිගමට දාලා නාරම්මල ගිරිඋල්ල හරහා.

කොහොමින් කොහොම හරි වාරියපොල දළදා ගම  එහෙම පහු කරලා ගල්ගමුවට එනකොට රෑ 12 ට විතර කිට්ටු කරලා මයේ හිතේ!

ගල්ගමුව ටවුම දුරෙං අඩු ඇත්තේ කිළිනොච්චියට විතරය!

ටවුම පටං ගන්න තැනක් අවසන් වෙන තැනක් නිච්චියකට ගන්න බැරි ගානට ටවුම දුරයි; ඒ වගෙම මුල අග දෙකම වල් වැදිලා. ඒ ඒ වාහන වලට නගර සීමාව තුල ධාවනය කරණ්න ට ඇහැකි උපරීම වේගයක් තියෙනවානේ. නගර සීමාව අවසං උනාම ඇහැට පේන නොපෙනන බෝඩ් ලෑලක් තියෙනවා "දැං කෙලගෙන පලයං!" කියලා ඩැයිවර්ලට කියා පාන්න. අපි හැමෝම ටවුමකට ඇන්ටර් උනාම සොලෝ එකේ යන්නේ මේ නීතිය නිසාම නං වෙන්න බෑ. හුඟක් වේලාවට බොහෝ ඩැයිවර්ලා හිමීට යන්නේ මිනිහෙක් දෙන්නෙක් වාහනේට අඩ තියයි කියලා. බස් ඩැයිවර්ලා නං හිමිං යන්නේ කොහේ ඉඳං හරි තව රුපියල් විස්සක කෑල්ලක් අත දමාවි කියන බලාපොරොත්තුව හිතේ තියං.

කොහොම හරි රෑ 12 ට විතර ගල්ගමුවේ ටවුම මැද්දේ හෙමීට යන්න අපිට කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඒත් කොයි එකටත් කියලා සූදානං සරීරෙ කියලා ගානකට ලොරිය එලෝගෙන ගියා.

හරියට ටවුම මැද්දෙදි රාළ කෙනෙක් පැනලා අත ඇල්ලුවා. සාජං මහතැන් කෙනෙකුත් අත ලඟ.

මං ක්‍රමේට පාර අයිං කරලා නවත්තලා බැස්සා.

මම වාහනයක් ගත්තු ගමන් කරණ දෙයක් තමයි වාහනේ පොතේ කොපියක්, ලැයිසන් එක, ඉන්ශුවරන්ස් එක තව දුං සහතිකේ කියන මේ මෙකී නොකී සියළුම බඩ මාළු ටික පිළිවෙලට පොඩි කාඩ්බෝඩ් ෆයිල් කවර කෑල්ලක අමුනලා තියාගන්න එක. අනෙක් අයටත් එහෙමමයි සැලකීම!

බොහෝ රාළහාමිලා ඒක දැක්ක ගමන්; වාහනේ තියෙන අනිකුත් අඩුපාඩු හොර මැරකං, කුපාඩි කං හොයන්නේ නැතිව යන්න අරිනවා. මොකෝ මේ ලිය කියැවිළි වල තියෙන පිළිවෙල දැකලා!

මාත් පොර සේ ලොරි පොඩ්ඩාට අදාල උප්පැන්නෙයි, පෝෂන කාඩ් එකයි, ක්ලීනික් කාඩ් එකයි සියල්ල අමුනපු ෆයිල් පොඩ්ඩ රාලහාමි අතේ තිබ්බේ පොඩි උණකුත් හිතට අරං.

රාලහාමිත් මේ ෆයිල් එක අරං ඒ මේ අත පෙරලලා  බලලා කුල්ටූර් වෙනවා වෙනුවට මගේ පැත්තට හැරිලා "කෝ ෆිට්නස් කොලේ?" කියලා අහපි.

"ඇයි රාලහාමි ෆිට්නස් එක තීන හින්දනෙ ලයිසන් එක ගන්න පුළුවං!? ලයිසන් එක ගන්න ගියාම ෆිට්නස් කොලෙයි දුං සහතිකෙයි දෙකම බලලා තමයි ලයිසන් එක දෙන්නේ!"

" මේ මහත්තයා පොඩ්ඩක් අපේ සාජං මහත්තයා එක්ක කථා කර ගන්නකෝ!?"

(මේ සැරසෙන්නේ ජරාවකට කියා නොතෙරෙන්න මම බිව්වේ මදු කිරි යෑ!? )

"දෙන්නෑ සත පහක්!" මම මධූට ඇහෙන්නට කෙඳිරි ගෑවා.

මාත්  මධූත් හැරෙන තැපෑලෙන් සාජන් බුවා ඉදිරියේ ප්‍රානි භූත උනා!

"සාජං මහත්තයා මේ මහත්වරුන්ගේ වාහනේ බර වාහනයක්, ලොරියක්! මේකේ ෆිට්නස් කොලේ නෑ!" රාලහාමි කියවගෙන හුස්මක් කටක් නොගෙන!

"නැ! සාජං මහත්තයා! මම මේ රාළ හාමිට කිව්වේ ෆිට්නස් එකයි දුං සහතිකෙයි තියෙන නිසා; එක බලලානේ ලැයිසන් එක දුන්නේ කියලා!?"මම මගේ නිදහසට කාරණාව සාජං මහත්තෙයා ඉස්සරහ ගොනු කලා! 

උප්පැන්නෙ ඕන හැඳුනුම් පත ගන්න. හැඳුනුම් පතයි උප්පැන්නෙයි ඕන පාස් පෝර්ට් එකට! දැං රටකට යන්න එයා පෝර්ට් එකට ගියාම එහෙන් ආයෙ උප්පැන්නේ වත් අයිඩෙන්ටියවත් බලන්නෑ නේ!? ඒකයි මගේ නිදහසට කාරණාව උනේ තේරෙන හිංගලෙන් කියනවානං!

"මහත්තයා ගෙදර ගියාම බලන්න ඔය දුං සහතිකේ පිටි පස්සේ හතර වන වගන්තිය විදියට "මෙම සහතිකය සෑම විටෙකම වාහනයේ රැගෙන යා යුතුවේ" කියලා ලියලා තියෙනවා වගේම ෆිට්නස් කොලේ පාමුල "මෙහි එක් පිටපතක් වාහනයේ තබා ගැනීමට අයිති කරුට ලබා දිය යුතුවේ" පැහැදිලිව ලියලා තියෙනවා!" සාජං මහත්තයා කට පාඩමිං කියපි!

"හරි ඔය මගුලක් නං මම ඇහුවෙත් අදයි! කමක් නෑ දැං මොකක්ද වෙන්ඩෝන කියන්නකො!?" මං ඇහුවේ ටික වෙන්න මල පනින ගමංමයි!

"මහත්තයා කොහේද?

"ඔය ලැයිසං එකේ තියෙන කරුණු හරියටම හරි!"

එහෙම කිව්වාම අතේ තිවුනු බැස්ටිය ලැයිසමට ගහලා මගේ ඇඩ්ඩස් එක කියෙව්වා!

"පුහ්! කඩවත!!??"

"ඔව්! කඩවත!"

"අපි නඩුවක් දැම්මොත් මහත්තයාට කඩවත ඉඳං මෙහේ එන්න වෙයිනේද?"

සාජං මහත්තයාගේ තැටමිල්ල හා ඇවටිල්ල සමග මගේ කං පෙති රත් වී ගිණි කන ඔන්න මෙන්නය!

"මේ මහත්තයා කරණ ඕන දෙයක් කරලා මාව ඉක්මනට යවන්න! මම වව්නියාවට ලෙඩෙක් බලන්න අයන ගමං!"

"මහත්තයා ආවේගයෙන් වගෙයිනෙ!?"

"හරියටම හරි! අනිවාර්‍යයෙන්ම ආවේගයෙන්! මගේ අයියා වව්නියාවේ ඉස්පිරිතාලෙ නවත්තලා! මම මේ එයාව බලන්න තකහනියෙං යන ගමං! එයත් ඔය මහත්තයා වගේම ආංඩුවේ යුනිෆෝම් එකක් තමයි අඳින්නේ! ඔබ තුමාට මාව යවන්න බැරිනං වාහනේම තියා ගන්න! ඊළඟට එන බස් එකට මං නගිනවා මොනවා උනත්. නඩු බැරිනං ඕන එකක් බලාගමු හෙට උදේට!"

මම කියෝගෙන ගියේ ආවේසයෙන් වගේ. මධූ සිද්ධිය බලාගෙන ඉන්නවා!

"හරි ලෙඩෙක් බලන්නනං අපි ඒ ගැනත් හිතන්න එපායැ! යන්නකො!" කියලා සාජ්ං මහත්තයා මගේ අතට වාහනේ ලියකියවිළි ටිකයි මගෙ බර වාහන ලැයිසමයි දුන්නා කියන්නකෝ!

ආයෙ "ටැං කිව්!"  කියන්නවත්  ඉන්නැතිව මම ලොරියට නැගලා එතන ඉඳන්ම රේස් කරගෙන

 පිටත් වෙලා වාහනේ නැවැත්තුවේ වවනියාවටම ගිහිං!

මේ ගැන යාන්තම් මම මෙතැනත් ලියා තියෙනවා. 

***************************************************************************************************
ළඟදි දවසක මදූ හෙවත් මධුෂාන් ආවා අපේ ගෙදර! ඌව දැක්ක ගමන් මට මතක් උනා මම ඌට කියන්න ගත්තා අලුත්ම එපිසෝඩ් එක!
ඒක මේ ළඟදි මට සිද්ධ වෙච්ච සුපිරි කථාවක්!

"මධුෂාන් මට මාර මගුලක් උනානෙ . . . !"
"ඒ මොකක්ද ඒ සීන් එක . . . . ?"

ඊයේ පෙරේදා මම හක්බෙල්ලාවක ගිහින් එන කොට රුවන්වැල්ලෙන් නිට්ටඹුව  පැත්තට හරෝලා හැතැම්මක් වත් එන්න උනේ නෑ හරියටම මොරාවත්තේ වලව්ව ඉස්සරහ පොලිස් රාලහාමිලා රෑණක් - එක හය හත් දෙනෙක්!

ඒ අතරේ වටේ පිටේ ගෙවල් වල උනුත් ගෙට්ටු - වැට කඩුලු අස්සෙං බෙල්ල දික් කොරාන මෙතන වෙන සීන් එක නරඹනවා එක සීරුවට.

ඉස්සර වගේ නෙවෙයි දැං මගේ වාහනේ රක්ෂණ සහතිකෙයි, ආදායං බලපත්‍රෙයි, දුං සහතිකෙයි, ෆිට්නස් කොලෙයි, ෆිට්නස් පරීක්ෂණ වාර්ථා කොලෙයි, ඒ ඔක්කෝටම යටින් වාහනේ පොතේ කොපියකුයි එකට අමුනපු ප්‍රෙෂර් ලෙඩෙක්ගේ ක්ලීනික් ෆයිල් එකක් වගේ කොල දුසිං භාගෙක ඇමුනුමක් තමයි වාහනේ තියාගෙනනෙ ඉන්නේ! ඉතිං භය වෙන්න දෙයක් නෑනේ! ඉන්න බැරිකමට මම ගිහින් ලොරිය නැවැත්තුවා එතන හිටිය පොලිස් පරීක්ෂක ඉස්සරහිංම!

"චීෆ් මොකද!? මුකුත් කරදරයක් වත්ද?"

"නෑ මහත්තයා! අපි මේ පාරෙ යන වාහන චෙක් කරණවා බොහෝම ස්තූතියි!"

වටේ ඉන්න එවුං බලාන ඉන්නවා මොකක්ද මේ උනේ කියලා!  මමත් ඇඟට උණ අරන් එන්ජිම ටික වෙන්න දෙපාරක්  රේස් කරගෙනම ෆස්ට් එක දාගෙන පිකප් කලා එතනිං.

එහෙම පිටත් වෙලා ආයේ මීටර පංසීයක් යන කොට වංගුව! අර පදුමුත්තර බුදුංගෙ කාලේ ඉඳං හද හද ඉඳං යාන්තං පහුගිය චන්දෙට ඉවර කරපු පාලං පොඩ්ඩ! ඒක පහු වෙන කොටම ඉස්සරහිං පේන්නේ වම් පැත්තේ අයිනෙ තියෙන යෝධ ගල් ගෙඩිය. මෙන්න ඒ කිට්ටුවම ඉන්නවා රාළහාමිලා දෙන්නෙක් ඒ පැත්තෙං එන වාහන නවත්තන්න.

එතන හිටිය ගෝටයිංබර සයිස් රාළ එක පාරටම පාරේ මේ පැත්තට පැනලා දැම්මා කියන්නකෝ වාහනේට අත - හරියට හොර හරක් ලොරියක් නවත්තංන වගේ!

මාත් පාරෙ අයිංකරලා පිළිවෙලට නැවැත්තුවා. ඔව් පිළිවෙලට!

පොලිස් රාලහාමිලා දෙන්නා මම බැහැලා එන තුරු බලාන ඉන්නවා.

මං මොකටද බහින්නේ!? මම අර ෆයිල් එකයි මගේ හෙවි වීකල් ලයිසන් එකයි ජනේලෙන් එළියට දික් කලා.

අත අල්ලපු හයේ හතරෙ බුවා ගාට ගාට ඇවිත් වාහනේ පිටිපස්සෙ බක්කියට එබිල  බලං ඉඳලා ඇවිත් මගෙ අතේ තිවුනු කොල ගොන්න අතට ගත්තා!

මම සිංහාසනේට වෙලා බලා ඉන්නවා "යන්න මහත්තයා!" කියලා කොල ටික පිළිවෙලට ආයේ මගේ අතේ දැං තියයි! දැං තියයි!! කියලා

"මහත්තයා මේ රක්ෂණ සහතිකේ කල් ඉකුත් වෙලානේ!?"

"මොකක්!? ඒක වෙන්න බෑ!"

"වෙන්න පුළුවංද බැරිද කියලනං මං දන්නෑ! ආ! මහත්තයාම බලන්නකෝ!!!!"

එක පාරටම මගෙ උණ හුටස් ගාලා බැහැලා ගියේ හිතාගන්නටත් බැරි වේගෙං!! උණ බැස්ස බැහිල්ලට මාද වාහනයෙන් බිමට බැස්ස උනා කියහංකො!!!

"දැං මොකද කරණ්න පුළුවං!?" මගෙ කටේ කෙළ හිඳිලා.  ගිලින්නට  කෙළත් නෑ කියහංකො!

"අපිට පුළුවං මහත්තයාට ටෙම්පරියක් දෙන්න. දින පහක් ඇතුලත රක්ෂණ සහතිකේ ගෙනත් දීලා ලැයිසන් එක අරං යන්න!

"අප්පට සිරි! මම දවස් පහකින් මෙහේ එන්නේ නෑනෙ!?" මං කිව්වා නෙවෙයි මට කිය උනා!

" හරි දවස් පහකින් මෙහේ එන්නේ නැත්නම් කෙලින්ම සතියකින් විතර උසාවියටම එන්නකෝ මහත්තයා!"

"එහෙම නෙවෙයි! මාව විශ්වාසෙට අරං ලයිසන් එක දෙන්න. මම හෙටම ඉන්ශුවටන්ස් එක අරං රාලහාමිගේ ෆෝන් එකට ෆොටෝ එකක එවන්නම්!" මං ශේප් එකේ කියලා දැම්මා ශේප් නියායෙන්ම.

"හරි! හෙට කථා බෑ! මහ්ත්තයාට ලයිසන් එක ඕනෙනම් අද දිනයට ඉන්ශුවරන්ස් එක ගන්න ඕන! නැතිනං කෙලින්ම උසාවි! කැමතිද?"

"කැමතියි!" මට "හා!" කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් තිබුනෙත් නෑ. අනික උංට හිතුනොත් මං  උංට ආතල් දෙනවා කියලා දෙනවා දඩේ රිදෙන්නම. ආ! මට කියන්න බැරි උනා! ඉන්ශුවරන්ස් එක නෑ කියලා දැන ගත්තු ගමං බුවා අහපු පලවෙනි ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? "දන්නවානෙ දඩේ විසිපංදාහයි!" මම කොර උනා!

"දැං වෙලාව හතරයි විස්සයි!"

"අවුලක් නෑ!"

රාළහාමිලා දෙන්නා මට දුන්නේ එළම කිරි චැලෙන්ජ් එකක්!! මම ට්‍රක් එක නැගලා එන්න ගත්තා ගැම්මට!.

එන ගමන් අලියෝස්  ලඟම ඇති ඔපිස් එක කොයි ලෝකෙද? හිතාගන්නට බෑ!  කරණ්න තිබ්බේ එකෝම දෙයයි! පරණ කාඩ් එකෙන් නොම්මරේ හොයාගෙන උන්ට කතා කලා! කියන්නෝන නෑනෙ උංගෙ විනාඩි 15 ක විතර රෙකෝඩිං එකෙන් පස්සෙ කෙල්ලෙක් කථා කලා!

"නිට්ටඹුව!" කියලා තිබ්බා. දැං මට කියන්න ඕනෙ මං එනකල් ඒ මගුල ඇරලා තියන්න කියලා!මුකුත් කියන්න බැරිඋනා මේ කෙල්ල තිබ්බ හිංදා!

මම ට්‍රක් එක ඩ්‍රයිව් කලේ වේගයෙන් නොවුනත් ඉක්මනින්, කලබලෙන් නොවුනත් සීරුවෙන්, මදාවි දැමිලි නොදැම්මට ටැක්ෆුල් විදියට! ඩෑශ් බෝර්ඩ් එකේ වොච් එක දිහා බල බල රන් රේට් එකේම ප්ලේ කලා! ඇයි බං හදිස්සියේවත් කොහේ හරි යන එකෙක් මේකෙ ඇනලා කේස් එක ගියොත් කට ඇරලා කියන්න පුළුවංද "මේ ඉන්ශුවරන්ස් එකක් ගන්න කෙල ගෙන ගියා!" කියලා?

හරියටම 5 ට විනාඩි 3 ක් ඉතිරිව තිබියදී මා නිට්ටඹුවේ අලියොන්ස් ඔපිස් එක ඉස්සරහ කියන්නකෝ!

මැනේජ' බුවා; බිත්තියේ ගහල තිබ්බ ඔරලෝසුව දිහා බලලා "දැං වෙලාවක් නෑනෙ!" කිව්වා.

මට දැං කොර ගන්න දෙයක් නෑ! " අනේ මෙක ලොකු උදව්වක්! ලොකු දෙයක් කරලා දුන්නෝතිං!" මම එකසිය ගානට ඇඹරෙණවා.

මැනේජ' එතන ඉස්සරහ කවුංටරේක හිටපු කුමුදුද, මොකක්ද කියලා කෙල්ලෙකුට කථාකරලා  "මේක දැං කරලා දෙන්න පුළුවංද?" කියලා ඇහුවාම අනේ ඒ මනුස්සයා කැමති උනා වැඩේ කරලා දෙන්න.

තවත් විනාඩි 20 කින් පමණ එලකිරි වන් කිරි ටොයියා ඉන්ශුවරන්ස් කාඩ් එකක් මගේ අතේ!

සටස් ගාලා ඒකෙ ෆොටෝ එකක් රාලහාමිගෙ වෙත වට්සැප් එකට දැම්මා. පහත වාක්කිය යටින් ගැහුවා; ඇඟිලි වලින් නෙවෙයි; ඇත්තටම බොක්කෙන්!

"ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කෙරෙහි බොහොමත්ම ස්තූතියි!"

පස්සෙ මම කෝල් එකකුත් දීලා කථා කලා පොරට! වැඩේ ගොඩ!

අම්මට සිරි එළනෙ! මටත් උනා මරු වැඩක්! ඒකත් පට්ට! මදූ තවත් "රස වෑහෙන පොලිස් කථාවක් " කියන්න පටන් ගත්තා. ඒක ඊළඟට!

17 comments:

  1. පොලිස් කොත්තුවක්වත් අරං දෙන්න වටිනව දෙවෙනි බුවාටනං.. :))

    ReplyDelete
    Replies
    1. නේවි එකේ හිටි ලොකු සර් කෙනෙක් කාලෙකට කලින් අනගි බ්ලොග් එකක් ලියුවා .
      පස්සේ පස්සේ ඒක දූට පංගාර්තු කොරල තිබ්බ කවි ලියන්ඩ. ඒ සර්ව හමුඋනොත් කියන්ඩ මතක් කළා කියලා.
      ජයවේවා!

      Delete
    2. ආදරණීය කල්‍යාණ මිතු හට: එයා අනිවා ඉතා ලඟදි දවසක අපිට සෙටමෝල් වෙයි හතරැස් මේසයක් වටේ!!!!

      හැට්ටරට: එතුමගෙ නම දියවන්නාවේ රනවිරු ගල්ලෑල්ලක කොටන්නයි හිතාන ඉන්නේ!? මෙහෙම හරි දකින්න ලැබුනු එක සතුටක්. නැතිනම් හිතුවෙම ක්‍රියාන්විතයකදි සෙත්ත පෝච්චි කරලා කියලමයි!

      Delete
  2. මම ඉන්ෂුවරන්ස් එක වොලට් එකේ දාගෙන තියාගන්නෙ. දවසක් අමතකවෙලා ඕක නැතුව ගියා එලියට. ඇල්ලුවා පොලීසියෙන්. ඉන්ෂුවරන්ස් ඉල්ලුවා, මම බයික් එකේ ඉන්ජිම ගලෝපු නැති ටික විතරයි ඉන්ෂුවරන්ස් එක හොයන්න. අන්තිමට ගෙදර ලග තියෙන්නේ දැන් ගෙනත් පෙන්නන්නන් කියලා ගියා. ඉන්ෂුවරන්ස් එක ගෙදරින් අරන් ගිහින් පෙන්නුවා මේ තියෙන්නේ කියලා.බැලින්නන් ඒක සතියක් පරක්කු වෙලා. ඉන්ෂුවරන්ස් එක කල් ඉකුත් වෙලා කියලා කිව්වම මම "නෑ නෑ මෙතනයි දිනේ තියෙන්නේ" කියලා ලැජ්ජ නැතුව ඇගිල්ල තියලත් පෙන්නුවා අර පරණ දිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා! ඒක නම් පුදුමාකාර දෙයක් තමයි. මගේ මිත්‍රයා පහුගිය කාලෙම උගේ 27ශ්‍රී නිසාන් පැට්‍රොල් ලොරිය (කහ පාට) එලෙව්වෙම බරවාහන ලැයිසමක් නැතිව. කොයි ලෝකෙ ගියත් අල්ලනවා හිටු කියලා. ඊට පස්සෙන් පහු මාර දුකක් විඳලා ලැයිසම ගත්තාට පස්සෙ ආසාවට පොලිස් රාළ කෙනෙක් අත අල්ලන්නැතිලු. ඒ ශ්‍රද්ධා සම්පන්න හස්තය දිගු කලොත් අනිවා මොකක් හරි මගුලක්ම තමයි ඉතිං! මොකක්ද ඒ න්‍යාය?

      Delete
  3. මේක බැලුවම මතක් උනේ මගේ මැස්ඩ රතේ (මගේ කිව්වට මගේ නෙවේ කොම්පැනියේ රතේ). ඒකෙ බොහොම බලගතු කාන්දම් බලයක් තිබුනා වාහන ඇදගන්න. හතර පාරක් ඒක හැච්බැක් කරලා දුන්න නොමිලේම. අනේ ඉතිං අහිංසක පොලිස්ලගේ, බලගතු ඉන්ශුරන් කෂ්ටියගේ උදව්වෙන් කෝම කෝම හරි ආයේ හදාගත්ත.
    අංක දෙක තුන එනකං බලං ඉන්නවා හිටං.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් හැට්ටර් මල්ලී ඇත්තටම රක්ෂණයක වටිනාකම තේරෙණ්නේ වැඩක් උනාම තමයි! කියන්න සංතෝෂයි මහත්වරුණි මගේ ලොරියටත් ඇත්තේ තර්ඩ් පාටියකි. ඒ වගේම ලොකු උනාම ෆුල් ඉන්ශුවරන්ස් එකක් දා ගැනීමට සිහින මවමි!

      Delete
  4. ඇල්ල හරහා අනුරාධපුර කියන්නේ පාදෙණියේන් හරෝපුවාම රෝද ඇබරෙන්න එලවන්න හිතෙන පාරක් තමා .... ඒ උනාට කොහේ යන්නද අෆ්ෆා , " පොලු බලිස් " වැහි වැහැලා ...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා! වෙලාවකට හිතෙනවා මොකට මේ තරං වියදම් කරලා පාරවල් හදනවාද කියලත්!

      Delete
  5. පොලිස් කතා නං එමටයි 😂😂

    ReplyDelete
    Replies
    1. කියමුකෝ එකක් දෙකක් මතක් වෙන්නත් එක්ක!

      Delete
  6. ඔය වගේ දුර ගමන් යන්න සුපිරිම වෙලාව තමා පාන්දර 3 ඉඳන් 6 විතර වෙනකල් කියන්නේ.(දැන් නම් කොහොමද දන්නේ නෑ. මම මේ කියන්නේ 2017 විතර) වාහන, පොලිස් මාමිලා තියා බලු බල්ලෙක් නෑ පාරේ. එක දවසක් කිරිල්ලවල ඉඳන් අනුරාධපුරේට ගියා පැය 2 විනාඩි 15න්. (හොන්ඩ ෆිට් ශටල් එකකින්) ඇල්ල,දළදාගම, ගල්ගමුව, මහගල්කඩවල, තබුත්තේගම වගේ ටව්න් වල බෝර්ඩ් ආපහු අපි එන ගමන් තමා දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අදටත් ඒ වෙලාව සාර්ථකයි. හොර හරක් පටවන වෙලාව!

      Delete
  7. ලංකාවේ "සියළුම" පොලිස් නිලධාරීන් හෝ රථවාහන පොලිස් නිලධාරීන් දූෂිතයන් නොවෙයි. නමුත්, බහුතරයක් දූෂිතයන් නිසා ඉතාම හොඳ, නීතිගරුක ගුණයහපත් නිලධාරීන්ගේ යහගුණයන් යටපත් වෙනවා. මගේ මතකයෙන් කතාවක් ලියන්නම්.
    80 දශකයේ දිනක අපේ අසල්වැසි ගෙදරක වයසක ගැහැණු කෙනෙකුට අංසබාගේ (සිංහලෙන් කියනවානම් ස්ට්‍රෝක් එකක්) හැදුනා. ඒ තැනැත්තියගේ දුව, ටෙලි නාට්‍ය වල රඟපෑ ලස්සන තරුණියක්. (ඒ කාලේ අපේ වයසේ හැටියට එයා ලඟින් හිටියත් සැපයි.) එයා ඇවිත්, අනේ මල්ලී, අම්මාට අසනීපයි, ඉස්පිරිතාලේ අරං යමු කීවාම, එයාව මහ ඉස්පිරිතාලෙට අරං ගියා.
    වේගයෙන් එලවන්න ආසාව තිබුනාට, ඒකට හේතුවක් නැතුව ඉන්න මට, මේවාගේ අවස්ථාවන් ලැබෙන්නේ කලාතුරකින් නිසා එයින් උපරිම ප්‍රයෝජන ගන්න මම මැලි උනේ නැහැ. සති අන්ත දවසක් වෙච්ච එදා, නුගේගොඩ හංදියේ පාර පනින කහ ඉරේ මම නැවැත්තුවේ එතන පාර මැද හිටපු පොලිස් රාලහාමි ගේ අවධානය යොමුවෙන විදියටයි. හෙඩ් ලයිට් දාගෙන ඉන්න මගේ වාහනය දිහා බලාපු ඒ රාලහාමිට, "අමාරු ලෙඩක්, මම ඉස්පිරිතාලේ යනවා " කියලා කෑ ගහලා කියපුවාම, ඒ "පොලිස් මහත්තයා", පාර පනින මිනිස්සුන්ටත්, ඉස්සරහින් තිබුන වාහන වලටත් 'මේ වාහනේට යන්න ඉඩ දෙන්න' කියලා කෑ ගහලා, මට ඉඩ අරං දුන්නා.
    ලෙඩාව දාලා ආපහු එනකොට, ඒ රාලහාමි පැට්‍රෝල් ෂෙඩ් එක ගාව, පෙට්ටි කඩේ ළඟ ඉඳගෙන ඉන්නවා. මම එයා ළඟට වාහනේ අයින් කරලා නවත්තලා කතා කළා. ලෙඩාගේ විස්තර අහලා, එයා තේ එකක් බොන්න කියපුවාම මම කිව්වේ, මගේ ළඟ මුදල් පසුම්බිය වත්, සල්ලි සතයක්වත් නැති බවත් කොට්ටාවට යන්න තරමට ඩීසල් තියනවාද කියන එකවත් විස්වාස නැති බවයි. ඒ පොලිස් "මහත්තයා" මට කියාපු වචන ටික මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
    "මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. ඔයා මගේ ගානේ තේ එකක් බොන්න. ඩීසල් මදි වෙයි කියලා හිතනවානම් මම ෂෙඩ් එකෙන් ලීටර් දෙකතුනක් ඉල්ලලා දෙන්නම්. පස්සේ ඇවිත් සල්ලි දෙන්න, අපි කවුරුත් මැරෙන මිනිස්සු. කෙනෙකුට උදව්වක් කරන්න බැරිනම් මනුස්ස ජීවිතයෙන් වැඩක් නැහැ."
    මේ කියමන මගේ මුළු ජීවිතය පුරාම මම ආදර්ශ පාඨයක් ලෙසට සලකනවා.(නමුත්, ලංකාවේ පොලිසියේ බහුතරයක් මෙහෙම නොවන බවත් අවධාරණය කරනවා.)

    ඊළඟට ඕස්ට්‍රේලියාවේ පොලිසිය ගැනත් අත්දැකීමක් (අත්දැකීම් ගොඩකින් එකක්)කියන්නම්.
    ප්‍රධාන නගර වලින් පිටත, මම නිතර යන එන තැනකදී මාව වේග සීමා ඉක්මවා ධාවනය කළා යැයි මට චෝදනා කළා.
    මම, වේග සීමා ඉක්මවා වාහන පැදවීම මගේ විනෝදාංශය ලෙස සැලකුවාට, කිසිවිටෙකත් නොහොබිනා ලෙස වේග සීමා ඉක්මවා ප්‍රශ්න ඇතිකරගන්නේ නැහැ . මේ අවස්ථාවේදීත් මාව නවත්වා, මගේ වරද ගැන මාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් නැති උනත්,(දඩ ,කොලේ ගෙදරට එවනවා මිසක්) ඒ පොලිස් නිලධාරියා මාව නවත්වා. මාව දැනුවත් කළා.. මම පසුගිය වසර දෙක තුල කිසිම රථවාහන වරදක් නොකළ නිසා, මේ දඬුවමෙන් ගැලවීම සඳහා Official warning එකක් ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ඒ පොලිස් නිලධාරියා මාව දැනුවත් කලා. මගේ දඩ ගැන මටත් වඩා හොඳින් දන්නා මගේ ගෙදර උන්දෑ කිව්වේ, ඒක වසර දෙකක් නොව, වසර විසිහයක් විය යුතු බවත්, මම 1993 සිට කිසිම දඩයකට යටත් වී නොමැති බවත්ය

    මේ සිද්ධිය උනේ 2019 දී බවත් කිව යුතුයි. ,කෙසේ හෝ, මගේ අභියාචනය පිළිගෙන, මගේ දඩය අවලංගු කළා.
    දඩ ගැසීම හෝ දඩ අවලංගු කිරීම විශේෂ දෙයක් නොවුනාට, මේ දඩය අවලංගු කර, මාව නිදහස් කල වික්ටෝරියා පොලිසියේ නිලධාරියා ගැන යමක් කිව යුතුයි..

    නගරයට ඇතුළු වෙද්දී වේග සීමාව අඩු වූ විට,,කෘස් කොන්ට්‍රෝල් ක්‍රියා විරහිත කර, ඇක්සලරේටරය පෑගීමේදී වේගය වැඩි වූ බවත්, එය අත්වැරදීමක් බවත් මගේ නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කළා.
    එය පිළිගෙන මාව නිදහස් කල නිලධාරියා, වික්ටෝරියා පොලිසියේ රථවාහන වැරදි පිලිබඳ Administration Officer වීමත් කිසිම විශේෂ දෙයක් නොවෙයි.
    නමුත් ඒ නිලධාරියා, එස්. ජිනදාස (S. Jinadasa, Administration officer, Victoria police, traffic infringements) වීම නම් ලාංකිකයෙක් හැටියට සෑහෙන්න බොන්න වෙන කාරණයක්.

    ReplyDelete
    Replies
    1. සැමදාම වගේම අදත් ඔබ දිගු කොමෙන්ටුවක් රැගෙන!
      සත්තකින්ම එවන් හොඳ නිළධරයින් නැතිවාම නොවේ. ඇත්තටම අද වෙන විට පොලිස් සේවයේ යම් වෙනස් කමක් ඇතිවී තිබෙන බවත් කිව යුතුයි.
      ගල්ගමුව නගරය මැදදී හමුවූ නිළධරයා උවත් 'නරකම" කෙනෙක් ලෙසට සැලකිය යුතු නෑ.
      මීට වඩා බොහෝ සෙයින් තක්කඩි දේශපාලකයින් ඉන්නා රටක යන්තමින් හෝ සානුකම්පිත ලෙස තම "ගොදුර" දෙස බලන නිළධරෙයෙකු අගය කල යුතු වෙනවා.

      සත්තකින්ම එස්. ජිනදාස මහතා ගැන කියැවූ පසු නම් හිතට හරි සුන්දර හැඟීමක් ඇති උනා කියන්නේ ඉතාමත් ආදරයෙන්.
      මේ රටට අපි මොන තරම් ශාප කලත් ශ්‍රී ලාංකිකයෙකු වෙනත් දේශයකදී කරණු ලබන සත් ක්‍රියාවක්, දක්ෂ තාවයක් හිතට ගෙන එන්නේ හරිම හැඟීම් බරවූ පහන් සංවේගයක්!
      බොහොමත්ම ස්තූතියි සෑම් මහත්තයා.
      (වසිකගෙන් සුභ ආරංචියක් මේ සතිය ඇතුලත ලැබෙන තත්වේයක් තියෙන්නේ!)

      Delete
  8. වැඩි හරියක් නොවුණු පොලිෂ්
    වෙඩි දෙනෙකුට 'එපා' පොලිස්
    ඉඳහිට ඇත නොවෙන රකුස්
    පොලිෂ් වෙච්චි නියම පොලිස්!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබගේ කාව්‍යමය පිළිතුරට!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...