Saturday, August 29, 2020

180. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (තෙවැන්න)


ම්ම්ම්ම්ම්ම් . . . . . !
ඉතින් ඔයා කියෙව්වා නේද දෙවෙනි ඒකත්.
අද එතැන ඉඳන්.
ඔයා පුංචි කාලේ තමයි රත්නපුර එක්සත් ජාතික පක්ෂ බලකනුවක් වූ ගාමිණී අතුකෝරළ මිය ගියේ.
ඒ අවමංගල සභාව රූපවාහිණියෙන් විකාශණය කලා වාගේ මට මතකයි.
මෙය විකාශණය වන වෙලාවේ ඔයා ඉඳලා තියෙන්නේ අල්ලපු ගෙදර.
ඉතින් මෙම අවමංගල සභාවේදී බොහෝ කථිකයින් ගාමිණී අතුකෝරළ මහතාව හඳුන්වා තිබුනේ "පුංචි ඇත්පැටවා" යන නමින්.
ඒක අහන් හිටපු ඔයා අල්ලපු ගෙදර නිවැසි කරුණාරත්න මහතා අමතා  "අප්පච්චි . . .මොකද අප්පච්චි එයාට පුංචි ඇත්පැටියා කියන්නේ . . . . ?"  කියලා ඇහුවාලු.
මේකට අප්පච්චි  "ඒ පුතේ ආදරේටනේ . . . !" කියලා උත්තර දුන්නාලු.
එතකොට ඔයා ටිකක් කල්පණා කරලා කිව්වාලු
" ආ! ඒක තමයි තාත්තිත් මට නරි පැටියා කියලා කියනවා ඇත්තේ!" කියලා.
වැඩියෙම්ම ආදරේ අයට "නරියෙක්" කීම මගේ පුරුද්දක්!

පැටියා කථාව කිව්වාම මට තවත් කථාවක් මතක් උනා. 


දවසක් අපි කොහේ හරි දුර ගමනක් යනවා ලොකු සීයගේ වෑන් එකේ.

මමයි වාහනේ පැදෙව්වේ.
ලොකු සීයා හිටියේ අනෙක් පැත්තේ ආසනේ.
ඔයා හිටියේ පිටිපස්සේ පුංචි ආච්චි කිට්ටුව.
මොනවා හරි දේකට මට ටික වෙන්න කේන්ති ගිහින් හිටපු වෙලාවක ඔයා මොනවා හරි මගෙන් ඇහුවා.
මම ඒකට දුන්න උත්තරේ කෙළවර කලේ 
" .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . පැටියෝ!" කියලයි.
ඒක අහන් හිටපු පුංචි ආච්චි ඔයාට කිව්වාලු "තාත්ති එක්ක කථා කරණ්න එපා තාත්තිට කේන්ති ගිහින් තියෙන්නේ . . !" කියලා.
ඔයා ඒකට යස උත්තරයක් දීලා.
"නෑ! තාත්තිට කේන්ති ගිහිල්ලා නෑ! අර මට 'පැටියො!' කිව්වේ"

ඒකාලේ මම දහම් පාසලේදී හවසට; කුමාරතුංග මුනිදාස මහත්තයාගේ "හීන් සැරය "පොත  එකේ ඉඳන් හයේ පංතියට වෙනකල් දරුවන් එක් කරගෙන කියලා දෙනවා ඔයාට මතකද?

ඒකෙන් හරි ගෙදර තිබිලා කියවලා හරි ඔයාට ඒ පොතේ එන සමහර සමහර සිද්ධි මතක තියෙන්නට ඇති.
එම පොතේ එක පරිච්ඡේදයක් වූයේ "කොටි කටුසු හටන" නමින්.
නරියාගේ සංඥාවට අනුව කොටියා; කටුස්සා සිටි ස්ථානය එල්ලය බලා පැන බිම පහුරු ගා දඟලා මහා විනාශයක් කලද කටුස්සාට වූ අවැඩක් නැති.
ඊළඟ අවස්ථාව යෙදුනේ කටුස්සාටය.
නරියාගේ සංඥාවට අනුව "කටුසු හාමි කොටි රාලගේ කන විකුවේය! නහය විකුවේය!! ඇහි බැම විකුවේය!!! . . . . . ." යනුවෙන් පොතේ ලියැවේ.
එකල ඔයා උදේ පාන්දරට ඇඳේ නිදා සිටිනා විට ඔයා ගේ ඇඟට  උඩින්,  දෙපසින් අත් දෙකත් දණහිසත් තබාගෙන; "කටුසු හාමි කොටි රාලගේ කන විකුවේය! නහය විකුවේය!! ඇහි බැම විකුවේය!!! . . . . . ."  කියමින් ඔයාගේ කන, නාසය, ඇහිබැම විකයි.
ඔයා උඩ පැන පැන හිනාවෙමින් ඇඹරෙයි . . !
මම නිදා සිටින විට ඔයාට ඒ අවස්ථාව ලදොත් මාහටද එම අත්දැකීම එලෙසින්ම විඳින්නට සිදුවේ.
ඔයා කර දඬු උස් වී ගියද; අප හමුවූ අවසන් අවස්ථාවේදීද ඔබ මගේ කනද, ඇහි බැමද විකූ බව මෙය කියවන අන් අය විශ්වාස කරයිද?
ඔව්! ඔයාට වයස අවුරුදු විසි ගානක් වෙලත් තවම අපි දෙන්නා කොටි කටුසු හටන රඟ දක්වති.
තවමත් ඔයා මාවත් මම ඔයාවත් විකයි.

මම ඉස්සර රෑ අන්තිමට නින්දට යන්නට පෙර ඔයාගෙ කාමරේටත් නංගිගේ කාමරේටත් ගිහින් ඔයාලාව අන්තිම වතාවට බැලීමේ පුරුද්දක් තිබුනා.

ඔයා ඒ වෙලාවට හොඳට නිදි.
මම ඔයාගේ යටි පතුල් ඉඹලා ඒවා දිව ගානවා.
ඊළඟට නංගීට.



නංගී කිව්වාම මතක් උනේ ඔයාගේ නංගී ගෙදරට එනකොට ඔයාට වයස අවුරුදු දෙකයි.
ඔයා හරිම සංවේදී දරුවෙක් උන නිසාම; නංගීගේ සපැමිනීම ඔයාට දුකක් ගෙන දේවි කියලා අපි හැමෝම හිතුවා.
එහි ප්‍රථිපලය උනේ ඔයාට හැමෝම වැඩි වැඩියෙන් ආදරය කිරීම.
ඔයා වැඩුනේ සාගරයක් බඳු ආදරයක් මැද කිව්වොත් ඒක අතිශෝක්තියක් නොවේ.
විශේෂයෙන් ඔයා අම්මාගේ පවුලේ පළමු මුණුබුරා වීමම සුවිශේෂී දෙයක් උනා.
ඔයාව බලා ගන්න කවන්න පොවන්න හරියට කට්ටිය.
ඒත් මම ඊට සතුටු උනේ නෑ.
මම කැමති උනේ නෑ ඔයා මගේ අච්චුවෙන් පිට අන් අයගේ ආදරය මැද ගොඩ නැංවෙනවාට.
ඒක හරිම ආත්මාර්ථකාමී දෙයක් ලෙසට බැලූ බැල්මට පෙනේවි.
ඔයාට කන්නදෙන බොන්න දෙන  තැන සිට සෑම සියළු දේකටම මාවිසින් නිර්මාණය කල ක්‍රම වේදයක් තිබුනා.
ඒ නිසාම කේක් එකක කෑල්ලක් පමනක් කා සෑහීමට පත්වීම; චොකලට් එකකින් සීමිත කොටසක් පමණක් රසවිඳ ඉතිරිය ශීතකරණයේ ඉතිරි කොට තැබීම වැනි දේට ඔයා ඉබේම පුරුදු පුහුණු වී තිබුනා.
ඔයාගේ ඥාති සමූහයා "වැඩි ආදරයට" මුළු චොකලට් එකම, මාශ්මෙලෝස් පෙට්ටියම කවන ආකාරයේ අත්දැකීමකට ඔබ ලක්වේවි යැයි මා බොහෝ කල්පණාවෙන් උනා.
ලොකු සීයාගේ වෑන් එකේ කොහේ හරි ගමනක් යන විට එහි ඉදිරි පස ආසනයේ ගමන් කරණ්නේ ලොකු සීයානේ.
ඉතින් එක් වරක් ලොකු සීයා ආසනයේ හරි බරි ගැහී ඉඳගෙන "කෝ පුතා එන්නකෝ මං ගාවට!" කියලා ඔයාව එයාගෙ උකුළ උඩට ගන්න හැදුවා.
මම ඊට එකවරම විරුද්ධ උනා කිසිම තෙතක් නොමැතිව.

ඔයා ඉපදෙන කොට මට තිබුනේ පරණ ඔස්ටින් මිනි වැගන් එකක්.

6ශ්‍රී 2416

6ශ්‍රී 2416 - 2+4+1+6=13 ඒ උනාට කිසිම දුකක් නොදුන් කෙනෙක්

ඒක හරිම අබලන් එකක්.
ඊට පසුව වාහන කොපමන තිබුනත් ඔයාව පුරුදු කරලා තිබුනේ පසුපස ආසනේ යන්න.
ඒ වැඩි ආරක්ෂාවට.
කිසිදිනෙක ඔයාව උකුල උඩ හොවාගෙන මා ඉදිරි අසුනක ගොස් නොමැත.
අන් අයෙකුට එසේ ගෙන යාමට ඉඩ තබාද නැත!
බොහෝ දෙමාපියන් තම දරුවන් ඉදිරිපස ආසනය අසල හිටගෙන තබා ගෙන හෝ පසුපස ආසනයේ සිට ඉදිරිපස ආසන දෙක අතර හිටගෙන රඳවාගෙන තම මෝටර් රථ පැදෙව්වාට මා කිසි දිනෙක ඊට ඔබට අනුබල දී හෝ අවස්ථාව ලබාදී හෝ නැත!
බොහෝ විට මම කලේ ඔයාව ගමන යන්න කලින් නිදි කරවලා ඔයාගේ; හතරැස් නාන බේසම මත රෙදි නවල තියලා පරිස්සමට ඒකෙ ඇතුලෙන් තියලා ඒක ඔස්ටින් මිනි වැගන් එකේ ඉස්සරහ ආසන දෙකයි පසු පස ආසනයයි අතර හොඳින් හිරවෙන්න තබා ගැනීමයි.
මේ සැකැස්මට ලොකු ආච්චිලා සීයලා නම් ටිකක් අකමැතියි.
ඒත් ඒ කිසිවෙකු එම විරෝධතාවය මගේ ඉදිරියේ කියන්න මැළි උනා.

එසේම මාකිසිදිනෙක ඔබව පාර මාරුවෙන ස්ථානයකින් හැර අන් ස්ථානයකින් ගමන් කරවා නැත.

කිසිදිනෙක මා පෝලිමක් පනිනු ඔබ දැක නැතිවා මෙන්ම මමද කිසිදා පෝලිමක් පැන නැත.
මේක කිව්වාම මට හොඳ දෙයක් මතක් උනා.
ඔයා මොන්ටිසෝරි යන කාලේ පොඩි දිවීමේ තරඟයකට සහබාගී උනා.
ඒ කකුල් දෙක බැද්දේ බැලුම් බෝලයක් තබාගෙන දීවිමේ තරඟයක්.
අපි බලා ඉඳිද්දී ඔයා තරඟයේ අංක එකට දුව ගෙන ආවා.
ඇවිත් දිනුම් කනුව ලඟ තිබුනු නූල අසල නැවතුනා.
වටේට හිටපු අය කොතරම් කෑ ගැසුවත් ඔයා නොවේ නූල කඩාගෙන ගියේ.
පසුව දෙවෙනියා පැමිණ නූල කඩාගෙන ගියාට පසුව තමයි ඔයා ගියේ.
නූල කඩාගෙන යාම වැරදි දෙයක් විදියටයි ඔයාගේ පුංචි හිත ඔයාට ඒවෙලාවේ කියලා තිබුනේ.
ඒතරම්ම ඔයා විනය ගරුක දරුවෙක්.

ඉතින් ඒකෙන් මේකෙන් නංගී ගෙදර ගෙනාපු කථාව පස්සට ගියා.

නංගී ආපු දවසේ ඉඳන් ඔයා එයාට බොහෝ ආදරය කලා.
"නංගී ඇහැරේවි!" කියා ඔයා සද්ද කලේ නෑ.
හදිසියට ඔයාව නංගී ලඟ තියා පොඩි ඉසිබුවක් ලබන්නට හැකි තරම් ඔයා එයාට ආරක්ෂකයෙක් උනා.



මට මතකයි එක් වරක් ඔයාගේ අතක් තුවාල වී අඬාගෙන නංගී හිටිය කාමරයට ආවා.
ඒ වෙලාවේ නංගි හොඳටෝම දොයි!
"අනේ පුතෙ නංගි ඇහැරේවී !" කියා එතන සිටි අයෙක් පැවසූ විට ඔයා; ඔයාගේ චූටි අත් දෙකෙන් ඔයාගේම කට වසාගත්තා!
ඔව් එහෙම ඔයා ඒ දුක තද කරගත්තා.

ඒ තරම් පිංවත් දරුවෙක් ඔයා!


15 comments:

  1. ලෝකයේ සියල්ල වෙනස් වන සුළුයි කියලා කිව්වාට, දෙමව්පියන්ගේ ආදරය කියන්නේ නොවෙනස් වන දෙයක්. ඒ වගේම මුළු ජීවිත කාලය පුරාම නැවත නැවතත් මතක් කරමින් සතුටු විය හැකි අත්දැකීමක්.
    වසික ළදරුවෙකු කාලයේ නාන බේසමක ඇතිරිලි මත තබා වාහනයේ රැගෙන යාම ගැන කියෙව්වාම මට මතක් උනේ Car Seat Capsule එකයි. මීට වසර විසිපහකට තිහකට පෙර වාහන වල දරුවන් රැගෙන යාමට සකස් කර තිබුන baby Capsule එක හරියටම හතරැස් නාන බේසමකට සමානයි. එකම වෙනස දරුවා එහි රැඳවීමටත්, කැප්සියුලය ආසනයට සවි කිරීමටත් පටි තිබුන එක පමණයි. ඒ කියන්නේ ඔයා දරුවා වාහනයේ ගෙනගිය ක්‍රමය, ලංකාවේ ඒ කාලයේ හැටියට ආරක්‍ෂිත ක්‍රමයක්.
    ඕස්ට්‍රේලියාවේ නම් දරුවෙකුගේ වයස අවුරුදු 7 වනතෙක් ඉදිරි ආසනයේ (සිංගල් කැබ් වාහන නොවේ නම්) යාම තහනම්.
    මේ ලිපිය කියෙව්වාම මටත් මගේ දරුවන්ගේ අතීත සිද්ධීන් මතක් උනා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම "සිංහභාහු" කතාවේ කියැවෙනවා වාගේ ඇට මිදුළු තෙක් දිවෙනා හැඟීමක් දාරක ප්‍රේමය කියන්නේ. මම ලියන්නෙකු නිසාම තාත්තෙකුගේ හැඟීම් දැනීම් ලියනවා. එයාගෙ අම්මටත් ඇති මේ වාගේම හැඟීම් බර කථාවක් කියන්නට.
      මේක වසිකගේ අම්මටයි තාත්තටයි පමණක් පොදුවූ එකක් නොවෙයි.
      සියළු තාත්තලාගේ අම්මලාගේ කථාවක්.
      නම් ගම් ස්ථාන නාම එහේ මෙහේ උනාට කාටත් පොදුවූ තැන් ඇති මේ ලියැවිල්ල තුල.
      ස්තූතියි ගෙවැදුනාට.
      ආ තව එකක් දරුවාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටයි මම ඒ නාන බේසම් ප්‍රයෝගය යෙදුවේ.
      බලාන ගියාම ඒක ඉන්ටර්නැෂනල් වැඩක් නේද?

      Delete
  2. ඔබවාගේ පියෙක් ලබන්නට පුතාත් - එවැනි පුතෙක් ලබන්නට ඔබත් බොහෝ වාසනාවන්ත වි ඇත.
    තට්ට මහත්තයෝ ඔය කාර් එක ඔස්ටින් 1300 එකද 1100 එකද? එයාර් සස්පෙන්ෂන් ආපු නිසා ගොඩාක් මිනිස්සු ගන්න බයවුනා නේද?

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! මම වාගේ කියලා ලඝු කරණ්නට එපා. අපි වාගේ තාත්තලාත් ඔවුන් වාගේ දරුවනුත්. මේ දේවල් මට විතරක් ගැලපෙන දේවල් නොවේයි. බොහෝ තාත්තලාට දරුවන්ට පොදු දේවල්.
      මේක Austin MINI 850 Wagon එකක්.

      Delete
  3. මහ සාගරය වාගෙයි මේ පිතු සෙනෙහේ
    කියවන විටදි, උණු කඳුළැලි පිරෙයි ඇහේ
    මෙච්චර සෙනෙහසක් හැංගී තිබුනෙ කොහේ
    ඇවිදින් දකින්නට වටිනා කෙනෙකි ඔහේ

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නිදි මහත්තයා. මම ලියපු ටික මමම බලලා සතුටු වෙනවා වගේ දෙතුන් ගුණයක් ඔබ තුමන්ලාගේ අදහස් බලලා විඳිනවා. එයට අනේක වාරයක් පිං!

      Delete
  4. Replies
    1. බොහොමත්ම ස්තූතියි විජේ භාහු මහත්තයා.

      Delete
  5. Obe lipi harima rasawath harabara e wagema athishayinma sanwedi siduweem pelaka sankalanayak!Mama me lipiya ithama hangumbarawa kiyewwa.Oba mawa mage puthage ladaru kalayata matath nodanima paya keepayakata ragena giya!

    ReplyDelete
    Replies
    1. ඔබට කියන්න සරත් මහත්තයා මේ පෝස්ටු මම ලියන්නෙත් දෑස් තෙත් කරගෙන. ඒවාගේම අතිශය ගැඹුරු හැඟීමක් දැනෙනවා ඔබ තුමන්ලාගේ අදහස් කියවන විටදීත්.
      මා ඉහතින් සෑම් මහත්තයාට කිව්වා වාගේ මේක මගෙත් වසිකගේත් කතාව නොවේ.
      හැම දරුවෙකුටම හා දෙමව්පියනට ගැලපෙන දේවල් ලියැවී ඇති; ලියැවේවි.
      ස්තූතියි ගොඩවැදුනාට!

      Delete
  6. හැඟීම්බරබව ගැන ඉහත කමෙන්ට්කරුවෝ කියල තියන නිසා මං වෙන ප්‍රශ්නයක් අහන්නන්

    ඔලුව උඩ මොනවද කලුවට තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. විල්පත්තුවත් ඉස්සර ඔහොම තමයි තිබුනේ මහත්තයෝ! දැන් මෙහෙම වෙලා තිබුනාට!

      Delete
  7. හරිම සංවේදී ලිපියක්........
    ඔබ සැමට තෙරුවන් සරණයි........

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ලලිත් මහතා! අර බදුල්ලවල ඉස්පිරිතාල බුවා ගැන මම පොඩි ඉඟියක් කරලා තියෙනවා හරිද බලන්න ඉස්සෙල්ලා පෝස්ට් එකේ?

      Delete
    2. ඔව් ඔබ හරි,
      ඔතනම ලොකු ඇක්සිඩන්ට් එකක් උනා, ඔය බොදිය පහුකරලා දැන් බෙකරියත් එක්ක කඩේ තියෙන තැනට මෙහා ඉස්සර හොදට හදපු බස්හොල්ට් එකක් තිබුන මතකයිද?
      දවසක් ඔය බශෝල්ට් එකත් කඩාගෙන ලොරියක් හෝ බස් එකක් පාරෙන් පල්ලට ගුහින් තිබුනේ කොල්ලෙකුත් යටකරගෙන, ඒ කොල්ල ඔයාට මීටර් නොවෙන්ඩ විදියක් නැ, ඒ හරියෙම පාරෙන් උඩ පඩි පෙලෙන් ගිහින් යන්ඩ තියෙන ගෙදර පෙන්සන්ගිය කෙට්ටු ටීචර්ගේ එකම පුතා තමයි මැරුනේ...හරිම හොද මිනිස්සු.....

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...