Thursday, May 21, 2020

175. සාංකාව . . . . !







ඉර    මුවාවී කන්ද නොපෙනී යන වෙලේ අත ගැටුනු;       ගෙල බැඳි
දුර    කතර මං මුලාවන වනයෙක ගියද  සිත පුරා               තෙද බැඳි
වර    නගන සාගරේ රැළි දැක සිත නොබිඳ සවි               ගත පුරා රැඳි
කර  වටා වර සිඳී නැත; කොටි දත කොහිද රිදියෙන්      සොඳින් බැඳි 







.

Monday, May 18, 2020

174. විජයග්‍රහණයෙන් දශක 1.1 ට පසු . . !

ගලේ කෙටූ දරු දුක . . !

තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් ලොව අතිශය ප්‍රභල ත්‍රස්ථ කණ්ඩායමක් වන එල්ටීටිය යටපත් කොට ශ්‍රී ලාංකික හමුදා විජයග්‍රහණය කොට අදට දශකයකුත් තවත් වසරක් කල් ගත වී ඇත.
කොරෝණා නොඑන්නට රජය හා බහුතර ජනතාව විසින් මෙම අවස්ථාව අතිඋත්කර්ශවත් භාවයෙන් යුතුව සැමරීමට ඇවැසි සියළු යටිතලයන් සැකසී ඇති මෙවන් දිනක් යලිදු ඒ දැයි සැක සහිතය.
මන්ද එදා යුද්ධයට සෘජුව සහභාගීවී සිටි බොහෝ පුද්ගලයින්   නැවතත් අපරටේ දේශපාලන කරළියේ ප්‍රභල චරිත බවට පත්වී ඇති හෙයින්ය.
එදා සේම අදත් රාජපක්ෂ රජයක්ද වික්‍රමසිංහ විපක්ෂයක්ද රටේ විද්‍යාමානවූ අවදියක් යලිදු ඇතිවී ඇත.

එහෙත් කණගාටුවට කරුණකි! 
යුධ ජයග්‍රහණයෙන් පසුව ගෙවුනු වසර එකොලහක කාල පරිච්ඡේදයෙන් වැඩි කාලයක් රට පාලනය කල රාජපක්ෂ ආණ්ඩුව; මෙම ජයග්‍රහණය පොදු ජයග්‍රහණයක් ලෙස සමස්ථ ශ්‍රී ලාංකිකයින් හට දැනෙන ආකාරයකට රට ගෙන ඒම අපොහොසත් වී ඇත.
එය මුළු මහත් රටේම අභාග්‍යසම්පන්න බවකි.

මෙය ගැන අප ටිකක් කථා කරමු.

තිස් අවුරුදු යුද්ධය පැවති කාල සීමාව තුල මෙරට සිටි විවිධ පාලකයින් ගෙන් බහුතරයක් දෙනා තම තමන්ගේ නැණ නුවනේ තරමට මෙම ප්‍රශ්ණයෙන් ගොඩ ඒමට උත්සාහ කල බව මා විශ්වාස කරමි.
ආර්. ප්‍රේමදාස ජනාධිපති විසින් එල්ටීටියට අවි ආයුධ ලබා දුන් සිද්ධිය සත්‍යයක් යන මතයේ සිට කථා කලහොත්; එම සිද්ධිය හැරෙණ්නට අනෙක් සෑම කලෙකම සිටි මෙරට පාලකයින් මා පෙරකී ලෙසට මෙම ප්‍රශ්නයෙන් රට මුදා ගැනීමට තම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කොට ඇත.
උදාහරණයක් ලෙස; රනිල් වික්‍රමසිංහ විසින් ඇතිකල සාම ගිවිසුම තුලින්ද ඔහු උත්සාහ කර ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් එල්ටීටිය හුදෙකලා කිරීමට බව මා විශ්වාස කරමි.
එසේම එල්ටීටිය ඉතිහාසයේ ලබූ දැඩිතම මානසික පසුබෑම ලෙස මා විශ්වාස කරණ; කරුණා අම්මාන්ගේ ඉවත්වීමටද හේතු භූත වූයේ රනිල්ගේ තීක්ෂණ භාවය ලෙස මා දකිමි.
තමළණී ජෙයික්කුමාරන්ගේ "තියුණු අසිපතක සෙවන යට" පොතේ මෙම සිද්ධිය සමග එල්ටීටියේ මානසික ඇදවැටීම පිළිබඳව මනාව සඳහන් කොට ඇත.
මෙසේ සෑම සියළුම රාජ්‍ය නායකයින්; එල්ටීටිය පරාජය කිරීමට විවිධ උත්සාහයන් ගත්තද එහි විපුල ඵල නෙලා ගැනීමට අවස්ථාව ලැබුනේ මහින්ද රාජපක්ෂටය.

1994 දී චන්ද්‍රිකා අති බහුතරයකින් ජනාධිපති වනවිට එම බහුතරය තුල එක්තරා දෙමළ චන්ද ප්‍රථිශතයක්ද විය.
යාපනය දිස්ත්‍රික්කයේ භාවිතා කල ඡන්ද සංඛ්‍යාවෙන් 96% ක්ද වන්නි දිස්ත්‍රික්කයේ 85% ක් ද ත්‍රිකුණාමලයේදී 71% ක් හා මඩකාලපුවේදී 87% ක්ද ඇය දිනා ගත්තාය.

ඒ; චන්ද්‍රිකා මෙම ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කල නිසාය.

මහින්ද බලයට පැමිණෙන්නේ ජාතික ප්‍රශ්ණයට පැහැදිලි විසඳුමක් දෙන බව පවසමිනි.

2004 ජනවාරි 23 ශ්‍රිලනිපය හා ජවිපෙ අතර අත්සන් කරණ එකඟතා ගිවිසුමෙන් පසු එළඹෙන 2004 අප්‍රේල් 5 මැතිවරණයෙන් එම සංධානය ජය ලබා ගන්නා අතර මහින්ද එම ආණ්ඩුවේ අගමතිවරයා වන්නේය.

මහින්ද ජනාධිපති වන්නේ 2005 නොවැම්බර් 17 පැවති ජනාධිපතිවරණයෙන්ය. එදා ඔහු ලබා ගන්නේ රනිල් වික්‍රමසිංහට වඩා වැඩි චන්ද 181,786 කි.
එම පදවි ප්‍රාප්තිය සමග ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරයට කැඳවෙන අතර ගෝඨාභය විසින් සරත් ෆොන්සේකා තම හමුදාපති ධූරයේ රඳවා ගැනීමට කටයුතු කරයි.

මාවිල් ආරු සටන ඇරඹී කෙටි කලක් තුල 2006 අගෝස්තු 8 වනදින මාවිල් ආරු අමුණු දොරටු විවෘථ කරණු ලබයි.
2006 ඔක්තෝබර්28 දින ජිනීවාහීදී පැවති සාම සාකච්ඡා බිඳ වැටේ.
ඉන්පසු දිගෙන් දිගටම ඇවිලී යන සටන් වලින් දිනෙන් දින පියවරෙන් පියවර ජය ලබන රජයේ හමුදාවෝ 2009 මැයි 15,16 සහ 17 යන දිනවල පැවති සටන් වලින් පසු මැයි 19 වන දින අළුයම ප්‍රභාකරන් ගේ මළ සිරුර සොයා ගනීමෙන් පසු සටන; සංග්‍රාමික ජයග්‍රහණයෙන් කෙළවර විය.

මම මෙසේ ගෙන හර දැක්වූයේ එම ඉතිහාසයේ ඉතා සියුම් අවස්ථා කිහිපයකි.
මෙම යුධ ජයග්‍රහණයෙන් පසු කෙරෙණ ජයග්‍රහනයේ ප්‍රකාශන වලදී එම ජයට ප්‍රධාන හේතුව ලෙස ගෙන රාජපක්ෂවරු ගෙන හැර දැක්වූ ජිවමාන සාධකය වූයේ සරත් ෆොන්සේකාවය.
වරෙක ඔවුන් ඔහුව හඳුන්වන්නේ ලොව සිටින හොඳම හමුදාපති ලෙසින්ය. 
සරත් ෆොන්සේකාද තමාගේ මෙහෙයුම් සඳහා මහින්ද ජනාධිපතිගෙන් හා ගෝඨාභයගෙන් ලැබුනු පිටුබලය සැමවිටම අගය කලේය.
එහෙත් මේ අගය කිරීම් සුන්දර කථිකාවත් පවතින්නේ ඉතා කෙටි කලෙකි.
2010 ජනවාරි 26 වෙනිදා පවැත්වීමට දින නියම කල ජනාධිපති වරණයට සරත් ෆොන්සේකා නාමයෝජනා දීම සමගම එම ගරුත්වය නැත්තටම නැතිවී ගියේය.
සරත් ෆොන්සේකාහට සේවා දිගුවක් ලබා දී ඔහුව නවතා ගැනීමට ගෝඨාභය තීන්දු තීරණ ගන්නේ; සරත් දිනන යුද්ධයක තීරණාත්මක සාධකයක් වන හෙයින් මිස වෙන කුමණ කරුණක් කරණ කොට ගෙනද?
එතෙක් හමුදාවේ ගතකල දශක ගනනාවක ජීවිත කාලය තුලදී තමාට විනාශ කල නොහැකිවූ ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කිරීමට සරත් ෆොන්සේකාහට හැකියාව ලැබෙන්නේ, අවස්ථාව සැකසෙන්නේ; රාජපක්ෂ දෙබෑයන් විසින් සමස්ථ ත්‍රිවිධ හමුදාවට මෙන්ම රටටද නායකත්වය දුන් හෙයින් බව මාගේ විශ්වාසයයි.
මහින්ද හට එවන් ශක්තියක් ලැබෙන්නේ 2004 සිට ඔහුට සහය ලබා දෙන ජවිපෙ හා හෙළ උරුමය වැනි කුඩා එහෙත් ජනතාව තුල මතයක් ඇතිකිරීමට හැකි පක්ෂ එක්ව කටයුතු කල හෙයින්ය.
එසේම මෙම යුද්ධය පිළිබඳව කටමැත දෙඩවූ එජාපයේ රවී කරුණානායක, කිරිඇල්ල, රනිල් වැනි නායකයින් සිටියද සමස්ථයෙන් අති මහත් බහුතරයක් වූ එජාප පාක්ෂිකයින්ගේ ආශිර්වාදය ලැබුනේ රාජපක්ෂවරුන්හටය. ෆොන්සේකාටය. සමස්ථ ත්‍රිවිධ හමුදාවටය.
එහෙත් සරත් ෆොන්සේකා; මහින්ද සමගින් සටනට එළඹීමත් සමගම යුද්ධයේ ජයග්‍රහණය හුදෙක්  රාජපක්ෂවරුන්ගේ  ජයග්‍රහණයක් බවට පෙරළුනි.
මෙම තත්වයට රාජපක්ෂවරුන් පත්වීමට සරත් ෆොන්සේකාගේ ක්‍රියා කලාපයන්ද තුඩු දෙන්නට ඇත.

මෙයට උදාහරණ දෙන්නට පෙර සරත් ෆොන්සේකා චරිතය පිළිබඳව යාන්තමින් සිහියට නගා ගනිමු.
ඔබ හිතනවාද සරත් ෆොන්සේකා වෙනුවට; මනුෂ්‍ය කමින් පිරිපුන් ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි වචනයේ පරිසමාප්තියෙන්ම මහත්වරයෙකු සිටියානම් යුද්ධය දිනා ගත හැකිවෙයි කියා?
කෙක්කෙන් නැත්නම් කොක්කෙන් තමාට අවශ්‍ය ජයග්‍රහණය තනිව ලබා ගැනීමේ නොනිත් ආශාවෙන් පෙළුණු සරත් ෆොන්සේකා වෙනුවට; සොල්දාදුවන්ගේ රුධිරය, සොල්දාදුවන්ගේ මෑණිවරුන්ගේ කඳුළු පිලිබඳව අප්‍රමාණ වටිනාකමක් ලබාදෙන සෙනෙහෙබර පියෙකුට මෙම යුධ ජයග්‍රහණය නෙලා ගත හැකියැයි ඔබ සිතනවාද?
එනිසාම 2010 දී තමාගේ ප්‍රථිමල්ලවයා පරදා ජනාධිපති සටනෙන් ජය ලබා ගැනීමට ඔහු කුමක් නම් නොකරාවිද?
මා දකින්නේ එය ඔහුගේ ස්වභාවය කියාය.
එසේම ඔහු තුල පවතින සංග්‍රාමික ජීව ගුණය වන්නේද එයමය ය.
තුවක්කුවක වටිනාකම වන්නේ එය දරණ්නා විසින් එල්ල කරණු ලබන ඉලක්ක සුණු විසුනු කරණු විනා බටයෙන් මල් පොහොට්ටු, පැනි බූන්දි පිටවීම නොවේ.
තුවක්කුවට; තමා විසින් මරා දමනු ලබන්නේ තමාගේ අයිතිකරු වුවද කම් නැත.
සරත් ෆොන්සේකා චරිතය මා දකින්නේ උශනත්වය හඹා යන රොකට් මුක්ත කරණ රොකට් ලෝන්චරයක් (Heat seeking rocket launcher) ලෙසය.
එය මුදා හැරිය පසු තමාගෙ අම්මා තමාට උයන බත් මුට්ටිය වුවද කම් නැත.
උෂනත්වය ගැලපේනම් එය සුනු විසුණු කොට දමනු ලබයි.

එහෙත් එම ජනාධිපති සටනේදී මහින්ද හා සරත් යන දෙදෙනාහටම; තම ප්‍රථි මල්ලවයන් වෙත දැඩි හානි ඇතිකිරීමට මෙන්ම තමාට ජයග්‍රහණය සඳහා තිබුණු සුදුසු කම වූවේ අන් කිසිවක් නොව යුධ ජයග්‍රහණය පමණක්ම විය.
මෙය කෙතරම් ඛේදණීය තත්වයක් වූවේද යත් යුධ ජයග්‍රහණය  තමාගේ තනි උත්සාහක් ලෙසත්; ජනපතිවරණයේ ප්‍රථිමල්ලවයන් එම ජයග්‍රණයේදී කකුලෙන් ඇද බාධා පැමිණවූවන් බවට දැක්වීමට තරම් දෙපාර්ශ්වයම සාහසික විය.
සරත් ෆොන්සේකා හට සහය දුන් එජාපය හා ජවිපෙ ඇතුළු සියල්ලන් විසින්ම එතෙක් තම හදවත් තුල පැවති යුධ ජයග්‍රහණයේ ආශ්චර්‍යමත් පොදු අයිතිය; රාජපක්ෂ වරුන් විසින් සාහසික ලෙස උදුරා ගත්තේ එය තමන්ගේත් තම පාක්ෂිකයින්ගේත්; පරවේණියෙන් භුක්තියට සවිවූ බූදලයක් ලෙස පෙන්වමින්ය.
2009 මැයි 19 වනදින කිරිබත් උයාගෙන රතිඥ්ඥා පත්තු කරමින් කොඩි බැඳගෙන සමරා ඇත්තේ තමන්ගේ ජයග්‍රහණයක් නොව වෙනත් කණ්ඩායමකගේ ජයග්‍රහනයක් බවට; රාජපක්ෂ වාදීන් නොවන රටේ ඉතිරි මිනිසුන්ගේ හදවත් තුල පැල පදියම් වී මේ වන විට  අවසානය.

වඩාත්ම ශෝක ජනක තත්වය වන්නේ සමාජ මාධ්‍ය මගින්ද; රාජපක්ෂ වාදීන් නොවන අන් සියළුම "කුහකයින්" හට මෙම යුධ ජයග්‍රහණය සැමරීමේ අයිතියක් නැති බව හුවා දැක්වීමයි.

යුද්ධය පටන් ගත් කාලයේ සිට මෙම යුද්ධයට සිංහල-බෞද්ධ තීන්ත ආලේප කර තිබුණි. හාමුදුරුවරු පවා රණ ගී ලියා යුද්ධයට සිංහල බෞද්ධ උප්පැන්නයක් ලබා දී තිබුණි. මේ නිසාම යුද්ධයෙන් මුස්ලිමුන් මෙන්ම සාමකාමී ද්‍රවිඩයන් ඉවතට තල්ලු වී ගියෝය.
අනුන්ගේ යුද්ධයකට එකතුවී මිය යාමෙන් පලක් නැති බව නිසා හෝ "අපි දෙමළ" යන පදනම නිසා හෝ හමුදාවට ද්‍රවිඩයින් එක් වූයේ නැති තරම්ය.
එසේම වතුකරයෙන් හෝ ද්‍රවිඩයින් හමුදාවට  එක් කර ගැනීමට උනන්දු නොවූයේ එය සංග්‍රාමික උපක්‍රමයක් ලෙසදැයි මා නොදනිමි.
එය එසේ සිදු නොවී එල්ටීටිය සමග කල සටන් වලදී ද්‍රවිඩ හමුදා සෙබළුන් මිය ගියා නම් මෙම යුද්ධ ජයග්‍රහනය පොදු ජයග්‍රහණයක් වීමට ඉඩ තිබුණි.

එදා දෙවරක්  හෝ අවම වශයෙන් එක් වරක් හෝ මහින්ද පත් කිරීම සඳහා තම ඡන්දය පාවිච්චිකොට මේවන විට එජාපයට, ජවිපෙට සහය ලබා දෙන සාමාන්‍ය පුද්ගලයෙකු පිළිබඳව හෝ එදා වෙනත් පක්ෂයක  පාක්ෂිකයෙකුව සිට හදවතින් යුද්ධයේ ජයග්‍රහණයන්හට ආශිර්වාද කල අයෙකුගේ තත්වය සිතා බලන්න.
යුද්ධයට සහභාගීවූ සොල්දාදුවන් අතර හා ඔවුන්ගේ පවුල් පසුබුම් සොයා බැලුව හොත් එම පිරිස් අතර වෙනත් පාක්ෂිකයින් කෙතරම් සිටින්නට ඇත්දැයි සාක්ෂාත් කර ගත හැක.
පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හෝ ජේවීපී මව් පිය වරුන්ගේ දරුවන් යුද්ධයේදී මිය ගිය අවස්ථා නැතිද?
එදා ඔහු මහින්දව පත් කිරීමට ඡන්දය පාවිච්චි කලද අද වන විට රාජපක්ෂවරුණ්ගෙන් වියෝ වී ඇත්නම් ඔහුට යුද්ධ ජයග්‍රහණයේ ආශ්චර්‍යය නොවිඳිය යුතු එහි අයිතියක් නැති කුහකයින් විය හැකිද?
මේවා මොන තරම් අඳබාල කථාද?

මෙය සාධාරණ, යුක්ති යුක්ත ප්‍රකාශ හෝ අදහස්ද?

මේ සියළු මුග්ධ ක්‍රියා වලින් පීඩාවට පත්වන්නේ යුද්ධයට සෘජුවම දායකත්වය දක්වූ සොල්දාදුවන් හා මිය ගිය සොල්දාදුවන්ගේ දෙමව්පියන් හා නෑ සියන්ය.
මන්ද අදද රාජපක්ෂ පාක්ෂිකයින්; යුද්ධ ජයග්‍රහණය "පොදු" සාධකයක් හෝ පොදු අයිතියක් බවට ජනසතු නොකොට එය රාජපාක්ෂිකයින්ගේ පරවේණී උරුමයක් සේ දකිමින්; ඔවුන් ගේ ප්‍රථිවාදීන් හට පහර දීමට භාවිතා කරණ පහසුම ආයුධය ලෙස භාවිතා කිරීමය.
යුධ ජයග්‍රහණය පිළිබඳව කණගාටුවන කුහකයින්සේ; තම ප්‍රථි මල්ලවයින් පිළිබඳ අර්ථකතනයන් ලබා දීමය.
එනිසා රාජපක්ෂ පාක්ෂිකයින්  හැරුණුකොට අන්සියල්ලම හා  සිංහල නොවන සියල්ලන්ම ගාල් කොට ඇත්තේ එකම තැනකටය.

මේ නිසාම ඔවුන්ද "උඹලගෙ නම් උඹලාම තියාගන්!" කියනවා හැරෙණ්නට එම ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්නට එන්නේද නැත.

මේ සියල්ලෙන්ම හදවත් ඉරී යන්නේ රට වෙනුවෙන් දරුවන් දන්දුන් වන්දණීය පූජනීය අම්මා වරුන්ගේය. තාත්තලාගේය.
මේ සියලු කරුණු කාරණා සමග; සෑම නගරයකම; නො එසේනම් අවම වශයෙන් සෑම දිස්තිරික්කයකවත් ස්ථාපිත කල රනවිරු ස්මාරකයක් අභියස; අභිනවයෙන් ජීවිත අරඹන තරුණ තරුණියන් වෙතින් පූජෝපහාර ලැබීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය අයුරු!
රුසියාවේ එවන් සිරිතක් ඇති බව මා අසා ඇත.
අප පාසැල් යන කාලයේ කොළඹ මහජන පුස්ථකාල භූමියේ  පසෙක තිබෙන නන්නාඳුනනා සොල්දාදුවන් වෙනුවෙන් ස්ථාපිත කොට ඇති ස්මාරකය  වෙත බොහෝ වරක් මා ගොස් එහි අති ඵලකය කියවා ඇත!

ඔවුන්ගේ හෙට දිනය අපගේ අද වෙනුවෙන් පුදකලෝය!" එහි ලියා ඇත!

මේ මව් වරුන් පිය වරුන් වෙනුවෙන්; යුධ ජයග්‍රහණයේ 12 වන සැමරුමට පෙර අප විසින් ඉටු කල යුතු එහෙත් අතිශය වැදගත් වූත් වටිනාකමකින් යුක්ත වූත්  වගකීමක් තිබේ.
මෙහි වැඩි වගකීමක් ඇත්තේ දැනට බලයේ පවත්නා දේශපාලකයින්හට හා පාක්ෂිකයින්ටය.

මෙම ජයග්‍රහනය ජනගත කරණ්න!
එහි පරම අයිතිය අත් හරින්න, එය තනි අයිතියක් නොවන බව හදවතින් හා බුද්ධියෙන් තේරුම්ගන්න!!
සෑම ශ්‍රී ලාංකිකයෙකුහටම එහි ඇති අයිතිය තහවුරු කරණ්න!!!
එහි ඇති වටිනාකම පහදා දෙන්න!!!!
සෑම ශ්‍රීලාංකිකයෙකුම මෙම ජයග්‍රහණය ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව වැළඳ ගන්න!!!!!

Friday, May 15, 2020

173. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (පලමු වැනි එක)



පුතේ අද ඔයා මට කතා කරලා කිව්ව කතාව ගැන මම බොහෝ  දුරකට සිතුවෙමි.

ඔබ නරඹපු How I Met Your Mother නමැති රූපවාහිණී නාට්‍ය මාලාවේ එන එක් ජවණිකාවක; "මාෂල්"  තම පියා මිය යාමට පෙර; අවසන් වතාවට; තමාට කිසිවක්  නොකියාම නික්ම යාම පිළිබඳව කණස්සල්ලෙන් සිටියි.
පියා අවසන් ගමන් යන්නේ; අවසන් වශයෙන් කිසිවක් ඔහුට නොකියමින්ය.
පසුව තම පියාගෙන් තමන්ට ලැබුණු කථන පණිවිඩයක් හෙවත් වොයිස් මේල් එකක් මාෂල් හට හමුවේ.
"පුතා මම ඔයා ගැන හරි ආඩම්බරයි - මාෂල්!"
මාෂල් එය අසා සතුටු වෙයි.
ඔයා කියපු විදියට මට තේරුණු කථා සාරාංශය එයයි!

තාත්තා වෙලාවට බෙහෙත් බොනවද?
සයිකල් පදිනවා නේද?
ඔයා ඒවා ඇහුවේ බාගෙට අඬාගෙන!
ඔයා අහපු විදියට මටත් උත්තර දෙන්න ගිහින් උගුර පැටළුනා!!

ඔයාට බයයි නේද තාත්තා ඉක්මනට මැරෙයි කියලා.
මමත් ඉක්මනට මැරෙණ්න කැමති නෑ.
ඒත් මගේ ජීවිතයේ කිහිප වතාවක් මරණය කිට්ටුවටම ගිහින් ඇවිත් තියෙනවානේ.
ඒ එක වෙලාවක වත් මට මහා දුකක් නම් ඇති වුනේ නෑ.
මම ජීවිතය විඳපු මිනිහෙක්.
සැප දුක දෙකම!
මම තව දකින්න කැමති ඔයාගේත් නංගිගෙත් ජීවිතයේ විජයග්‍රහණ!
ඒක හැම තාත්තෙකුගේම හැටියක්.
ඔයා දැනටමත් මට වඩා බොහෝ දුර ගිහිල්ලා.
නමුත් එක දෙයකින් නම් ඔයා මට පරදියි  ඒකාන්තයෙන්ම.
ඒ මොකක්ද කියන්න පුළුවන්ද?
ඔයාට මට වගේ ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් ලැබෙයිද කියලා නම් සැක සහිතයි!
හහ් හහ් හා!
කොහොමද ඒක?

"තාත්තා මොනවද මං ගැන හිතන්නේ?
බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට නොදැම්මට කමක් නෑ!
ලියලා තියන්න!
මට දවසක බලන්න!" ඔබ මගෙන් ඉල්ලයි.
කොහොමත් මම ඔයා ගැන ලියන්නමයි හිටියේ.
මම ටිකක් ලිව්වත් එක්ක.
ඒ ටික කොහෙදෝ මන්දා!
මම ආයෙමත් ඔයා ගැන ලියන්න පටන් ගන්නම්!
මම කොහෙන් මේ කතාව පටන් ගන්නද?
මගේ මුළු ජීවිතයම ඔයාගෙන් පිරිලා!
ඒ නිසාම පටන් ගන්නට පොටක් හොයා ගන්නට බැරුව ඉන්නේ.
මේ කථාව මම ලියලා බ්ලොග් පෝස්ට් පෙලක් විදියට දාන්නම්.
ඒ මේ විදියටම.
ඔයා කැමති වෙන්නේ මීට වඩා මම විධිමත් විදියට ලියන දේවල් කියවන්න බව මම දනිමි.
ඒත් අද මේ ලියන්නේ හරිම අමු විදියට.
මට හිතෙන දේ; ඒ විදියටම.
දවසක ඔයාටම හිතෙයි ඒක හොඳයි කියලා!
ඔයා මේක බලපු දවසක හිතා ගන්න; ඔයා මොන තරම් මගේ ජීවිතයට බල පෑමක් ඇතිකලාද කියලා.
මම ඔයාගෙ ජීවිතයට මොන විදියේ බල පෑමක් ඇතිකලාද කියලා ඔයා දන්නවා ඇති.

මම ඔයා දන්නා  තැනකින්ම පටන් ගන්නම්.

ඔයා දන්නවා ඔයා ඇවිත් මගේ ජීවිතයට අහම්බයක් නොවන බව.
ඔයා මෙලොවට එන්නේ මගේත් අම්මාගේත් ආරාධනයෙන්.
ඒ; ඔයා ඉපදුනු අවුරුද්දට පෙර අවුරුද්දේ පොසොන් පෝය දවසෙ අපි ඒ ප්‍රාර්ථනය කරණ්නේ!
ඔයා ඉපදෙන්නේ ඔයාව අපිට අවශ්‍ය නිසාම.
ඒත් මට ලොකු විශ්වාසයක් තිබුනා මට ලබෙන පළමු දරුවා පුතෙක් වේවි කියලා.
ඒ නිසාමයි ඔයා අම්මගෙ කුසයට එන්නටත් මත්තෙන්; මම ඔයාව අපේ ඉස්කෝලෙට ඇතුලත් කරගන්න පලමු පස් පිඩැල්ල කපන්නේ.
ඔයාට මම කියලා තියෙනවා ඔයාට මතකද මන්දා; මම ඔයාට පොඩිකාලෙදි කියවන්න "බුද්ධගජ්ජය", "සකස්කඩය", "ගණදෙවි හෑල්ල" මගේ පොත් එකතුවේ එකතු කරලා තිබ්බා.
(උඹ ඒවා එකක් වත් නොකීව බව නම් මට හොඳටම මතකයි!)
"සකස්කඩ - නොකී කට
උගේ කට - හුඹස් කට"
කියන පැරණි කියමනට දිය හැකි වර්ථමාන පිරිපුන්       ජීවමාන නිදසුන තමයි පුතේ උඹ !

ඔයා ඉපැදුනු දවසෙ; පැය ගනනකින්ම ඔයාව  දැක බලාගන්න වාසනාව ලැබුනා.
ඒ කාසල් ආරෝග්‍යශාලාවේ වැඩකරපු හෙද සොහොයුරියකගේ උදව්වෙන්.
එදා රෑ මම ඔයාව බලලා එන කොට පමුණුවේදී නින්ද යනවා.
මට එක තත්පරෙන් ඇහැරිලා බලන කොට මම පදවාපු වෑන් රථය ලයිට් කණුවක ගැටෙන්නට ඔන්න මෙන්න.
අඩියක් වත් නෑ!
මම ක්ෂණිකවම වාහනය ඉවතට ගන්නවා.
වෙන්න තිබුණු අනතුර බේරෙණ්නේ කෙස් ගහකින්.

ඔයා පුංචි කාලේ ඒතරම්ම ලස්සන බබෙක් උනේ නෑ!
(දැනුත් නෑ තමයි!)
මම එහෙම කිව්වේ ඔයා නිකන් අර "ලැක්ටෝජන් බබා" වගේ බෝලයක් උනේ නෑ.
ඉපදෙන කොටම ඔයා හොඳ උපත් බරක්  තිබුනා.
නීරෝගී දරුවෙක්!
ඔයාගෙ  පලමු අමුත්තා වුනේ ශානක රාජකරුණා.
එයා කාසල් එකට ඇවිත් ඔයාව බලලා ගිහින් තිබුනා.

ඔයාව කාසල් එකෙන් ටිකට් කපාගෙන එන්න ගියාමයි දැනගත්තේ; දරුවාට නමක් නැතිව ගෙදර එක්කරගෙන යන්න බැරි බව!
මොකද අපි මීට කලින් මෙහෙම දෙයක් කරලා නෑනේ!
ඉතින් දවල් ඔයාගෙයි අම්මගෙයි ටිකට් කපලා ගෙදර යන්න ගියාමයි ඔයාට තාම නමක් නෑ කියලා මතක් උනේ.

ඊට පස්සේ පොතක් ගෙනල්ලා ඒකෙන් නමක් තෝරලා මම ඒකත් අරං ඉස්පිරිතාලේ කොරිඩෝර දිගේ දුවගෙන ගිහින් නම දුන්නා රෙජිස්ටාර් ට.
මොකද පරක්කු උනොත් ඔයාව එදා ගෙදර ගෙනියන්න බැරි වෙනවා.
යන්තම් ඔයාවත් අරන්  දෙකට තුනට විතර පන්නිපිටියෙ යන්න පිටත් උනේ.

මට මතකයි මම ඔයාට නම දැම්ම හැටි.
බටහිර කොදෙව් ක්‍රීඩක විවියන් රිචඩ්ස්ට එයාගෙ මිත්‍රයින් කිව්වේ විවි නැත්නම් විව් කියලා.
මට ඕන උනා ඔයාටත් ඒ පෙට් නේම් එක එන විදියේ නමක් දාන්න.
අනෙක හොඳට රයිම් වන නමක්!
ඒකයි ඔයාට මම දැම්මේ වසික විභාවිත් කියලා.
ඒකෙ තේරුම ගෞරවාන්විත නුවණැති කියන එක.

ඔයාව ගෙදරට ගෙනෙන දවසෙ ආච්චිලගෙ ගෙදර පුදුම ලක ලෑස්තියක්.
ඔයානෙ ඒගොල්ලන්ගෙ පලමුවන මුණුබුරා.
ඔයාව වඩා ගන්න නලවන්න කවන්න පොවන්න හරියට කට්ටිය. - ඒ දවල්ට.
රෑට ඔයා නැගිටින නැගිටින වාරයක් වාරයක් පාසා මට ඇහැරුණා.
අම්මගෙන් උක්කු බීලා ඔයා එහෙමම දොයිය නොගත්තොත් මම ඔයාව කරේ තියාගෙන පරක් කරණවා නින්ද යනකල්.
කරේම තියාගන්න ඕන උනේ නෑ.
මගේ අතෙමත් නිදා ගත්තා.
මම ඔයාව නිදි කෙරෙව්වේ ලස්සන සිංදු කියලා.
ඔයාට මම කිව්වේ පාරම්පරික "ඔන්න බබෝ ඇතින්නියා . ." විතරක්ම නෙවෙයි.
"මුණි සිරිපා සිඹිමින්නේ", "මිහිකත නලවාලා", "මේ සිංහල අපගෙ රටයි", "මුහුදු පතුල යට ඉඳලා" වගේ අර්ථාන්විත ගීත.
ඔයා ඒවා අහගෙන ඉඳලා නිදා ගන්නවා.

දවසක් මරු වැඩක් උනා.
මේ වැඩේ උනේ ආච්චිලාගෙ ගෙදර දි.
ඔයා අඳෙන් වැටෙයි කියලාත් රස්නෙ වඩි නිසාත් අපි සමහර දවසට නිදා ගත්තේ බිම.
ඇඳ උඩ නිදා ගත්තත් බිම නිදා ගත්තත් ඔයා බොහෝ විට නිදාගත්තේ මගේ ඇඟට තුරුල් වෙලා හේත්තු වෙලා.
මම ඔයාව අතෙන් ඇඟට හේත්තු කර ගන්නවා.
රෑට නිදාගෙන උදේට නැගිටින කොටත් ඔයා මගේ දකුණු අතත් ඇඟත් අතර.
මමත් එළිවෙන තුරු පෙරළෙන්නේ නැතුව එක ඉරියව්වෙන්ම.
ඉතිං එදා මම ඔය කියන කතාව වුනු දවසෙත් ඔයා මගෙ ඇඟට තුරුල් වෙලා නිදා ගත්තා.
එදා ටිකක රස්නෙ වැඩි නිසා මම ඔයාව මගේ ඇඟට හේත්තු කර ගත්තේ නෑ.
මටත් නින්ද ගියා.
ඔයාගෙ අම්මටත් නින්ද ගිහින්.
මට එකවරම රෑ ඇහැරුණා.
අනේ ඔයා නෑ.
මම ඔයාගෙ අම්මාට කතා කලා.
"දරුවා නෑ!"
ඔයා මේ  කියනදේ විශ්වාස කරණ්න.
අම්මයි මමයි පොලොව අතගගා "අනේ කෝ දරුවා" කිය කියා කරුවලේ හොයනවා අඬ අඬා!
එහෙම විනාඩි 5 ක් විතර හොයන කොටයි අපිට කාමරේ ලයිට් දාන්න මතක් උනේ.
ඒ දාලා බලන කොට ඔයා රෝල් වෙලා ගිහින් එතන තිබුනු මහන මැෂිමක්ද මොකක්ද එකක් යටට!

ටික දවසක් ආච්චිලගෙ ගෙදර ඉඳලා අපි තුන් දෙනා කඩවත ගෙදරට ආවා.

කඩවත ගෙදර ඒකාලෙ බිමට සවි කරලා තිබුනේ ටෙරා කොටා බිම් ගඩොල්.
ඒ බිම හරිම සිසිල්.
ඔයා ඒකෙ රෙද්දක් එළලා තිබ්බාම හොඳට නිදාගත්තා.

ඔයාට පලතුරු දෙන්න පටන් ගත්තු කාලෙම අපෙ ගෙයි ජනේලෙ ලඟ ගස් ලබු ගහක් හැදුනා ඒකෙ ගෙඩි වල ඇතුල රතුම රතුයි.
දොස්තරලා ඔයාට දෙන්න කිව්වේ මේස හැන්දෙන් දෙකක්ද කොහෙද.
ඔයා අඬු කෝප්ප භාගයක් ගේමක් නැතිව ඒකාලෙ බිව්වා.
මදි උනොත් බඩ උඩ දදා ඈඟිරි ගානවා.

ගෙදරට එන කොට ඔයාව බලාගන්න වෙන කවුරුත් නෑ.
ඒකාලෙ මම එක රස්සාවකින් අස්වෙලා තවත් තැනක් බලමින් උන්නු කාලෙ.
අම්මාට රස්සාවට යන්න විදියක් නෑ ඔයාව දාලා.
මම තමයි ඔයාගෙ කෑම බොහෝ දුරට හැදුවේ. මුං ඇට, හාල් මැස්සො, පීකුදු, මාමයිට්, බටර්, ගොටුකොල ඔය වගේ රටේ නැති පෝෂ්‍ය පදාරථයන් ගෙන් යුක්ත් පල්පයක් තමයි මම ඔයාට කැව්වේ.
ඔයාට කියන්න අර "ජීවයේ ආරම්භය" සිදු වුනා කියන සුපයටත් වඩා ගුණ වත් පල්පයක් තමයි ඒක!

කාලයත් එක්ක ඔයා දණ ගාන්න පටන් ගත්තා.
බිම දිගේ විතරක් නොවෙයි පඩි පෙළවල් වල පවා.
ඔයා පඩිය දිගේ ඉහළට දණ ගාලා පහලට එන හැටි බලන්න ලස්සනයි.
ඔයා එන්නේ පස්සෙන් පස්සට.
එක කකුලක් පහලට දාලා ඒක පල්ලෙහා පඩියේ ගෑවෙනවානම් විතරයි ඔයා පස්සට ආවේ.
කොහෙන් ඉගෙන ගත්තු දෙයක්ද මන්දා.


ඔයාට බත් කවන කාලෙ මම ඔයාට කථාන්දරයක් කියල දෙමින් තමයි කවන්නේ.
එහෙම කියන කථා අතුරිණ් ප්‍රසිද්ධම කථාව තමයි "විලියම් ටේල්" ගේ කථාව.
අර දක්ෂ දුනු වායෙක් වුනු විලියම් ටේල්ට රජ අණින් තමාගෙ එකම දරුවාගේ හිස මත තබන ලද ඇපල් ගෙඩියකට විදින්න වෙන්නේ.
ඒක තමයි කථාව.
ඉතින් මම කථාව කවන ගමන් කියව ගෙන ගිහින් "තාත්තා පුංචි දරුවාගේ හිස මත තැබුණු ඇපල් ගෙඩියට දුණු දිය ඇදලා ඊ තලය ඉලක්ක කරණ" අවස්ථාවට වෙන තැනට කථාව එන කොටත් ඔයා බත් එකෙන් භාගයක් වත් කාලා නෑ.
ඉතින් මම "දුන්න ඇදලා ඇදලා  . . .ඇදලා ඇදලා . . . . බලන කොට එයාට තමන්ගේ පුතාව පේනෙනවා. එයා කොහොමද දරුවාගේ මූන බලලා විදින්නේ. පොඩ්ඩක් එහේ මෙහේ වුනොත් තමා අතින් තමන්ගේම පුතාව පුතාට මොනවහරි කරදරයක් වෙයි කියලා මතක් උනාම එයා දුන්න පල්ලෙහාට දානවා!" කියලා තවත් එක හබුං කටක් ඔයාට කවනවා.
ආයෙත් "දුන්න අරණ් ඇදලා ඇදලා . . . . " කියලා තවත් කටක් කවයි.
ඔයා "අනේ ඉතිං කියන්නකෝ ඉක්මනට මොකද වුනේ කියලා  . .!" කියමින් ඇවිටිලි කරයි.
ඒත් අන්තිම කටත් කා අවසන් වනතුරු ඊතලය; දුනු දිය මත; මා සම්ම්‍යක් ප්‍රයෝගයක් ලෙස පමා කරයි!
ඒ මොනවා උනත් ඔයා හැම දාකම ඒ කථාව අහන්න ආස වුනා!
අනේ මන්දා!
මට තාමත් හිතා ගන්න බෑ ඒ ඇයි කියලා!?

තවත් කොටසක් ඉදිරියේ . . . . . . . . !

Thursday, May 7, 2020

172. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving VII


බයිස් කෝප් එකක් බලලාම .  . !

අප දිය යට සිට ක්‍රම ක්‍රමයෙන් උඩට පැමිණෙමින් සිටියෙමු.
මෙහිදී "අපි" යනු මමත් තෙශාන්තත් ෆිලීත් ය.
අප දිය යටට පැමිණියේ නැංගූරම කඹයේ එල්ලී "කණ වැල" අල්ලමින් උවද මේ වන විට එය අපට මග ඇරී තිබුනි.
එය සෙවීමට මහන්සි වීම කානිවල් එකකදී මග ඇරුණු පොඩි එකෙකු සොයනවාටත් වඩා අපහසු එකක් වනු ඇත.
මන්ද ඒවන විට එය පෙනෙන මානයේ නොපෙනීම හා එය කොයි ඉසව්වක වෙත්දැයි අප කිසිවෙකුට නිශ්චය කර ගැනීමට නොහැකි හෙයින්ය.
අනෙක් අතට එය සොයා ගැනීමට වඩා පහසුවෙන් දිය මතුපිටට පැමිණ පාවෙමින් පවතින බෝට්ටුව සොයා ගැනීමකල හැකි බැවින්ය.
"අප සෙමෙන් සෙමෙන් දිය මතු පිටට ආවෙමු!" කියා පවසනවාට වඩා "ෆිලී අපව සෙමෙන් සෙමෙන් දිය මතු පිටට ගෙනාවේය!' කියන ප්‍රකාශය වඩා සාධාරණවූත් සත්‍යවූත් ප්‍රකාශය වේ.
දිය යට සිටිමින්; Inflator Hose යේ කෙලවර ඇති  තැඹිළි පාට බොත්තම; කිසිදුන් පාලනයකින් තොරව ඔබා සිටීමෙන්; BCD යට ටැංකියේ රැඳි වාතය පිරවීමෙන් අපට මිනිත්තු කිහිපයකින් දිය මතු පිටට ඒමට හැකිවේ.
එහෙත් දිය යටට යෑමේදී ක්‍රම ක්‍රමයෙන් හැකිලී හා දිය මතුපිටදී මෙන් දෙතුන් ගුණයක වාත පරිමාවක් පිරී ඇති පෙනහළු ඊට ඔරොත්තු නොදී පිපිරී යාමට ඉඩ ඇත.
මේ නිසාම දිය යට සිට මතුපිටට පැමිණීම ඉතාම සීරු මාරුවකින් යුක්තව කලයුතු කාර්‍යයකි.
ඒ නිසාම ෆිලී අපව; සාගර පතුලේ මතු පිටට ගෙන ඒමේ කටයුත්ත අදියර කිහිපයක් යටතේ; විවිධ ගැඹුරු මට්ටම් වලදී නියමිත කාලයක් නැවතෙමින් රැගෙන ආවේය.
මෙහිදී ඔහු ඊට අවශ්‍ය දත්ත එනම් තමන් සිටින ගැඹුර, කාලය වැනිදේ ලබා ගත්තේ තම අත බැඳි ඩයිවින් කොම්පියුටරයෙනි.

දිය යට IT . . . . ?

අප කෙමෙන් දිය මතු පිටට පැමිණ බැලූ විට අප සිටියේ අපගේ බෝට්ටු දෙක ගාල් කර තිබූ ස්ථානයට මීටර 30 ක පමන දුරිණි. 
එවන් අවස්ථාවලදී බෝට්ටුව අප වෙතට ගෙන ඒමට වඩා සිදු වන්නේ අප සෙමෙන් සෙමෙන් "පසුපස ආර' හෙවත් Back Stroke  එකෙන් බෝට්ටුව වෙත ලඟා වීමය.

පිටි පස්සට රිවර්ස් කිරීම . . . !

මෙහිදී විශේෂයෙන් Back Stroke එක භාවිතයට ගන්නේ අන් කුමන ලෙසකින් පිහිනන්නට උත්සාහ කලද; තම පිටෙහි එල්ලා ගෙන ඇති වාත සිළින්ඩර වර බර තමාට දරාගැනීමට සිදුවන් හෙයිනි.
දිය මතුපිටට පැමිණි වහාම එතෙක් පන නළ රැක දුන් මවුත් පීසය ඉවත දමා මත්ස්‍ය ජීවිතයෙන් මිනිස් ජීවිතයට මාරු වුනෙමු.
ඒ සමගම එතෙක් දෑස් හා නාසය ආවරණය කරගෙන තිබුණු මාස්කය ද ගලවා එය ගෙලට දමා ගත්තෙමු.
මාස්කය දෙනෙත් හා නාසය ආවරණය වන අයුරින් නොපලඳින සෑම විටෙකම එය තිබිය යුත්තේ ගෙල වටා මිස නලළේ නොවේ. 
මෙය ෆිලීගෙන් උගත් නීතියකි!
මෙසේ මුඛයේ හා දෙනෙත් මත රැඳුණු අංගෝපාංගයන්ගෙන් මිදුනු අප   සෙමෙන් බෝට්ටු වෙතට පැමිණි අතර එතෙක් බෝට්ටුවේ රැඳී සිටි පදවන්නා අපව මුදා ගැනීමට සූදානම්වය.
බෝට්ටුවෙන් දියට දමා තිබුනු සුදු යකඩ ලැඩරයේ හෙවත් ඉනිමගේ එල්ලී සිටි අප ප්‍රථමයෙන් කලයුතු වන්නේ පා පැලඳි ෆින්ස් යුගලය ගලවා බෝට්ටුවට දැමීමය. 
දෙවනුව  බර පටිය ගලවා බෝට්ටුවට ලබා දීමය.
ඊලඟ පියවරේදී අපව එතෙක් ආවරණය කරගෙන ඇති BCD යේ ගාංචු වෙල්ක්‍රෝ පටි බුරුල් කරගත් සැනින් එහි කර පසු පස ඇති හැඬලයෙන් අල්ලා එය බෝට්ටුව තුලට ගැනීම සිදුවේ.
එහෙත් අන්තර් ජාලය පිරික්සීමේදී BCD හා සිලින්ඩර සමග බෝට්ටුවට ගොඩවන අවස්ථා මා දුටුවෙමි.


බෝට්ටු කෙළිය . . . . !

බෝට්ටුවට ගොඩවී එහි වූ බංකු මත වාඩි වූ අප; අදහස් හුවමාරු කරගන්නට පෙර "පහක්" හුවමාරු කරගත්තෙමු
ගොඩ බිමෙන් දියත් වීමට මත්තෙන් මේතරම් වතුර බෝතල් තොගයක් ගෙන එන්නේ මුහුද පිරවීමටදැයි සිතමින් සිටි මා හට වතුර වල අගය බොහෝ සෙයින් දැනෙමින් විය.
ෆිලී විසින් සපයා තිබුණු ක්‍රීම් ක්‍රැකර් බිස්කට් හා වතුර අපගේ කුස පිරෙව්වේය.
සැබෙවින්ම දිය යටදී කිසිදු වෙහෙසක් මහන්සියක් නොදැනෙන මුත් ගොඩට පැමිණි විට තරමක වෙහෙසක් දැනීම සාමාන්‍ය දෙයක් බව බෝට්ටුකරු අප හා පැවසීය.
අප බෝට්ටුවට පැමිණි මුත් අප හා කිමිදීම ඇරඹූ විදේශිකයින් තිදෙනා හා ඩයිව් මාස්ටර් ඒ වන විටත් දිය යට ඇසට නොපෙනෙන ගැඹුරකය.
එහෙත් බෝට්ටු පදවන්නා විසින් ඔවුන් ගේ ගමන් මග බෝට්ටුවේ සිට අවබෝධ කර ගනිමින් විය.
ඒ ඔවුන්ගේ ප්‍රාශ්වාසයේදී මුදා හරිණ වායු බුබුළු දිය මතට එන අයුරු ඔහුගේ තියුණු නෙත විසින් ග්‍රහණය කර ගැනීමෙන්ය.
තවත් විනාඩි ගනනකින් ඔවුන්ද අපහා එක් විය.
සාමාන්‍යයෙන් වායු සිලින්ඩරයක් සකසා ඇත්තේ ලීටර 12 ක පරිමාවක් සහිතව වුවද එය තුල;  බාර් 200 ක පමණ පීඩනයකට යටත් කොට ගබඩා කොට ඇති වාත ප්‍රමාණය ටෙලිෆෝන් කුටියක් තුල පවතින වාත  ප්‍රමාණයට සමාන බව ලක්ෂ්මන් මුතුගල මහතා තමාගේ කිමිදුම් කලාවේ අත් පොත නමැති අනර්ඝ ග්‍රන්ථයේ සඳහන් කොට ඇත. 
මෙය සාමාන්‍යයෙන් මීටර 15-20 ක පමණ ගැඹුරක සිටින කිමිදුම් කරුවෙකු හට පැයක පමණ කාලයක් ආශ්වාස කිරීමට ඇවැසි වාත ප්‍රමාණය කි.
මෙහිදී ඔබ මුල සිට මාගේ මේ ලිපි පෙල පරීක්ෂාකාරීව කියවා ගෙන ආවේනම් ; මෙම ඉහත ප්‍රකාශය ගැටළුවක් නොවනු ඇත. 
එය එසේ නොවේ නම් ඉහත වගන්තියේ දැක් වෙන "මීටර 15-20 ක පමණ ගැඹුරක සිටින" යන කොටස පිළිබඳව මතබේදයක් ඇති වනු නොවනුමානය.
මා නැවතත් එහි සිද්ධාන්තය මෙහිදී පැහැදිලි කරණ්නම්.
දිය මතුපිටදී අපගේ පෙනහල්ලේ පරිමාව තුලට ඇතුළු කර ගත හැකි වායු ප්‍රමාණය මෙන් දෙගුණයක්; අඩි 33 ක් නැතහොත් මීටර 10ක ගැඹුරකදී ඇතුළු කිරීමට හැකිය.
අඩි 66 ක් එනම් මීටර 20 කදී එම ප්‍රමාණය තෙගුණයක් වේ.
එහිදී සිදුවන්නේ පෙනහල්ලේ ප්‍රමාණය විශාල වීම නොව දිය යටට  ගමන් කිරීමේදී වායු අංශු වඩාත් ලං-ලංව "පැක් වීම" හෙවත් ඇසිරීම නිසා සිදුවන භෞතික විද්‍යාත්මක සංසිද්ධියක ප්‍රථිඵලයකි.
තවත් ලෙසකින් පවසනවානම් මීටර 20 ක් දිය යටදී ඔබ විසින් පැයක කාලයක් පුරා ආශ්වාස කරණ්නාවූ වායු ප්‍රමාණයෙන්; දිය මතුපිටදී පැය තුනක් ජීවත් විය හැකි බවය.
මෙහි විලෝමය ලෙස මීටර 20 ක් දිය යට පැයක කාලයක් ගත කිරීමට ; දිය මතුපිට පැය 3 ක කාලයක් සඳහා ඔබ විසින් භාවිතා කරණු ලබන වාත ප්‍රමාණය ටැංකියක ගබඩා කරගෙන යායුතුය.

මාළුන්ට  සලකනවා මදි නේද?

මේ ව්න විට මධ්‍යහනය පසුවී බෝට්ටුව හා අවට පරිසරය මුලුමණින්ම ගිනියම් වී තිබුනි.
අප නැවතත් ගොඩ බිම බලා ඒමට පිටත් වුනෙමු.
දැඩි මුහුදු සුළඟ කරණකොට ගෙන දහදිය  නොපෙනුනද දැඩි තාපයකින් අප හෙම්බත් වී සිටියෙමු.
තවත් පැය භාගයකට පමණ පසු අප වෙරළට සේන්දු විය.
බෝට්ටුවේ සිට ගිනියම්වී තිබෙන වෙරල ඔස්සේ අප; අපගේ කිමිදුම් පාසලේ ගොඩ නැගිල්ල වෙත දුව ආවෙමු.
වෙරළේ සිට මීටර 50 ක පමණ දුරක් අප දුව ආ ආකාරය ගැන මා නොළියා ඉන්නම්; ඔබටම සිතා ගැනීමට!
අප එහි පැමිණි වාහාම සිසිල් බීම සංග්‍රහයක් එහි සකස් කොට තිබුණි.

"කොහොමද ඩයිව් එක?"

ඒ ෆිලීගේ බිරින්දෑය.

අප එළියේ වූ වතුර මල් වලින් හොඳින් ස්නානය කර ඇඳුම් මාරු කරගත්තෙමු.
තවත් ස්වල්ප වේලාවකින් අප දිවා අහාර ගත්තෙමු.

" හෙට නම්  පරක්කු නොවී එන්න. මොකද අනික් අය බලා ඉන්න වෙනවානේ "

"හෙට!? ඇයි අදින් කෝස් එක ඉවර වෙන්නේ නැද්ද?"

" . . . . . . . . . . . . . . . . . . . . . .!"

මා රැකියාව කරනා ස්ථානයේ මාහට බොහෝ සෙයින් නිදහසක් ඇත. 
ඒ ඕනෑම වෙලාවක කෑමට, බීමට, හුස්ම ගැනීමට, නෑමට හා සතියේ ඕනෑම දිනයක එක් නිවාඩුවක් ගැනීමටය. එහෙත් මා සෑම  සති අන්තයකම පෙනීසිටීම අනිවාර්‍ය 
 අංගයක් විය.
මේ සති අන්තයේ මා මාගේ උසස් නිළධරයාට ලොකුම ලොකු රස කථාවක් කියා තිබුණි.
සතියකට අපට ලබා ගත හකිව තිබුනේ එක් නිවාඩුවක් පමණි.
තෙශාගේ තත්වයද ඊට නොදෙවෙනි නොවීය.
නිවාඩු නිකිණි වාගේය!

"අපිට එහෙම නිවාඩු නෑ මිස්ට ෆර්නෑන්ඩු! අපි මේ දවස් දෙක ගත්තෙත් මාර අමාරුවකින්!"අප ඈඟිරි ගාන්නට විය.

" හරි එහෙනම් ඔයාලට පුළුවන් දවසක එන්න! හැබැයි මුහුද රෆ් වෙලා තිබුනොත් ඊළඟ ලෙසන්ස් ටික කරණ්න බැටිකලො එන්න!"

"අම්මට සිරි! එහේ යන්නෙ කොහොමද!?"

අපේ පිළිතුර ඇසීමටවත් නොනැවතුනු ෆිලී යෝධ බත් එකක් ඉදිරියේ අසුන් ගත්තේය!

අප එතැනින් නැගිට ප්‍රනාන්දු මහත්මිය වෙතට ඇදුනෙමු.
ඒ ඇයට අප පත්වී ඇති ගතුව කියා; ඇය ලවා ෆිලීහට බලපෑමක් ඇති කොට; මුහුද රළු වීම කල් දමා ගැනීමටය!!!
එහෙත් අප ඇයට කථා කිරීමට මත්තෙන් ඇය අපට කථා කලාය.

" ඔයාල මේ ලැප් එකෙන් PADI  එක ට ලොග් වෙලා මෙන්න මේ නොම්මරේ ගහලා සර්ච් කරණ්නකෝ?"

විධානය පරිදි අප කටයුතු කලෙමු.

සෙවිල්ල අරඹා තරමක හරඹයකින් පසු . . . . . . . . . .

උන්න හැටියට මළා මදෑ . . . . !?

"මේ . . . . . . . ?"

"ඔව් මේ ඔයාලව PADI එකේ රෙජිස්ටර කරගෙන තියෙන්නේ!"

"එළනෙ . . . . !

". . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  . . . . . . . ?"
". . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ."
". . . . . . . . . . . . . . . . . .  .  . . . . . . . . . . . . ! "
". . . . ! "

PADI  අවකාශය තුල අපගේ නම් දැකීමම අපට මහත් වූ දිරියක් විය. 
ඒ සිතුවිල්ල සමග එකට ගැටගැසී ආ සිතුවිල්ල වූයේ "රස්සාව නම් මොකක්ද . . !?" කියාය.
සිතට ආවේ එකසිය ගානක ගැම්මකි!
අප නැවත එකත් පසව ෆිලීට ලං කෙලෙමු!

"හරි මිස්ට ෆර්නෑන්ඩු! අපි හෙටත් එන්නම්"

"හ්ම් . . . . . . .!  හ්ම් . . . . . . . !

"හෙටත් අපට ඩයිවිං . . . . !" මම දූරකථනයේ කෙටුවෙමි!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...