Monday, December 17, 2018

120. අයිතිය . . . !








                                                   

                                       "   බුක්තියට සවිව ඇති . . .
                                            අඳේට අස්වද්දන ලියැද්ද . . . . ;
                                            කහව ගිය ඔප්පුවට . . . ;
                                            නතුව ගිය අපූරුව . . . . . !  "










Friday, December 14, 2018

119. මතකය . . !











ජීවිතය මොනතරම් සුන්දරදැයි
නොසිතුවෙමි ඔබ දකින තුරා
ආදරය මෙතරම් සුන්දරදැයි
නොදන්නෙමි ඔබ දකින තුරා

තෙමුණු තණ පියලි මත 
ඇවිද ඇතිමුත් පා ගෙවෙන තුරා
ඒවා එතරම් සුමුදු යැයි 
නොදැනුනි ඔබ දකින තුරා

මල් ගැවසි වන පෙත්හි
ගැවසී ඇතිමුත් දවස පුරා
ඒවා එතරම් සුවඳ දැයි 
නොදැනුනි ඔබ දකින තුරා

ජීවිතය මොනතරම් සුන්දරදැයි
නොසිතුවෙමි ඔබ දකින තුරා
ආදරය මෙතරම් සුන්දරදැයි
නොදන්නෙමි ඔබ දකින තුරා








Tuesday, December 4, 2018

118. සයිකලයෙන් තල් අරණට . . . . 8

චෙච්නියාවට ගිය සතුටට නොදෙවෙනි සතුටක් - වව්නියාව!


අප මේ වන විට කිලෝ මීටර 200 සීමාව පසු කර තිබුනි! දළ වශයෙන් කිලෝ මීටර 240 කට ආසන්න දුරක් ගමන් කොට තිබුනත්; ගමනේ අවසානය කෙළවර වන්නේ යාපනයෙන් බව හිතට දැනෙන්නේ වව්නියාවේ මෙම කොන්ක්‍රීට් තොරණෙන් ඇතුළු වීමත් සමගය.විශේෂ අනුහසක් හෝ වෙනයම් ආශ්චර්‍යයක් එහි නැතත් එම තොරණින් ඇතුළුවෙන්නේ අළුත් පලාතකට වෙනත් දේශයකට බවක් දැනෙයි. එය තිස් අවුරුද්දක් තිස්සේ හිත තුල ඇතිකල හැඟීමක්දෝ කියා විටෙක මට සිතේ. එය දනවන්නේ පුරාණයේ රාජධානියකට ඇතුළුවන වාහල්කඩක ස්වරූපයකි. 

අන්න වචනය! එය තොරණක් නොව වාහල්කඩකි.අළුතින් එයින් ඇතුළු වන ඕනෑම අයෙකු හිස ඔසවා ඉහල බැලීම කෙරෙණු ඇත. මෙය දුම්රියක් පාලමක් මතින් ගමන් ගනිද්දී සිල්පර කොට අතරින් ජල තලය දෙස ඇස් යොමා බැලීම  වැනි සාමාන්‍ය තත්වයකි. එසේ වව්නියාවේ වාහල් කඩ දෙස බලන විට එය නිල් පැහැති අහසේ තැඹිළි දුඹුරු මිශ්‍ර වර්ණයකින් වැජඹෙනු දක්නට ලැබුනි.එම තොරණේ සිට දිවෙන්නේ සරළරේඛීය ගමන් මගකි.
හිරු හිසට ඉහළින් ගිනිගෙන දැවෙයි. අප වියළි පරඬැල් සේ ය. අප; මුහුණු හිස වටා ඔතා ගත් රෙදි වලින් වසාගෙන පදිමින්ය. නිරාවරණය වූ දෙපා උනුවතුරින්න් පිලිස්සුනු කලෙක මෙන් වේදනා දේ!

බස් වල බෝඩ් එක දැක්කත් ඇඟ කිලිපොලා යන නගරයක් මැද!

අප ටිකින් ටික ජනා කීර්ණ පෙදෙසකට අවතීර්ණ වුනෙමු. වව්නියාව හුදෙක් වානිජ නගරයක් පමනක්ම නොව එය පරිපාලන නගරයක්ද වන්නේය. එසේම එය ප්‍රධාන මාර්ග කිහිපයක් එකිනෙකට හමුවන මසංධියක්ද වන්නේය. මේ සියළු සාධකයන් ගේ එක්වීමෙන් සැදුම ලද්දේ මහා නගරයකි. නගරයට; අපගේ ප්‍රවිෂ්ඨ වීම අමුත්තක් ගෙන දුන් කරුණක් නොවීය. දැඩි හිරු රැසින් පීඩා විඳිමින් තම තමන්ගේ ජීවිතය සරි කරගන්නට නො එසේනම් එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැන්මට කඩියන් සේ කලබලයෙන් නගරය හරහා දදිය මුගුරු හලා ගෙන ඔබ මොබ දිව ගිය මිනිසුන් හට අපගේ මේ "පිස්සුවට" වඩා හිතකය යෙදවීමට ඕනෑ තරම් දේවල් තිබුනි. අප කෙමෙන් කෙමෙන් නගර මාධ්‍යයට ඇතුළු වෙමින් තිබුනි. 
අප දෙස නෙත් යොමා සිටියේ විජෙයි පමණි. ඒ ද අවඥ්ඥාවෙන් මුහුණ පුරවා ගෙනය.  සාමාන්‍යයෙන් ඌරන් හාරණ්නේ රාතෘයට පමනක් යැයි විශ්වාසයක් පවතී. ඒනිසාම පැරණ්නන් අතර "විසේ ඇති ඌරෝ රෑ දවල් දෙකෙහිම හාරති!" යැයි කියමනක් පවතී. විජෙයි අපදෙස බලා හිටියේද එවන් හැඟීමක් පෙරදැරි කරගෙනය.



අනේ ඉතිං . . !

පලමු දිනය ගල්ගමුවේ ගතකල අප දෙවන දිනය ගත කරණ්නට යොදාගේන සිටියේ කනගරගන්කුලමේය. 
ඒවන විට  කනගරාගයන්කුලම හරහා හයවතාවක් මා ගමන් කොට තිබුනද එය කලු ද සුදුද කියා මතකයක් මාහට නොවීය. මන්ද එය ඒ තරම් කුඩා නගරයක් කඩ මණ්ඩියක් වීම හේතු කොට ගෙනය. එය අවිස්සාවේල්ල -  නුවර එලිය නො එසේනම් කොළඹ-හැටන්  A7 මාර්ගයේ පවතින හක්බෙල්ලාවක පිළිබඳ මතකයක් බොහෝ දෙනා හට නැතිවා හා සමානය. 
මධුෂානුත් මමත් Google Street  ඔස්සේ මෙම කුඩා නගරය සිසාරා ඔබ මොබ ගොස් බැලූවද මෙම නගරය තුලින් අවම වශයෙන් ජීවනී පැකට්ටුවක් වත් ලබාගත හැකි ස්ථානයක් දක්නට නොහැකිවිය! මේ නිසාම පසුදා අපගේ පරිභෝජනයට ඇවැසි පෙති කල පාන්, ජෑම්, ජීවනී, රට ඉඳි, මුද්දරප්පලම්, ග්ලූකෝස්, ඕට්ස්, වැනි බොහෝ දෑ ලබාගන්නට තිබුනු එකම හා අවසාන නගරය වව්නියාව බව අප හඳුනාගෙන තිබුනු කාරණයක් විය. මෙහි වඩාත්ම ගැටළු සහගත තත්වය වූයේ පරන්තන් සිට A 57 - සංගුපිටිය මාර්ගය ඔස්සේ යාපනය තෙක්ද මධුෂාන් ගූගල් ස්ට්‍රීට් ඔස්සේ සංචාරය කොට; එම පෙදස ජනශූන්‍ය පෙදෙසක් ලෙස මා වික්ෂිප්ත කොට තිබුනු නිසාය! 

මේ ලංකාවේ එහෙම පලාත් තිබිය හැකිද? මා මගෙන්ම පමනක් නොවේ මධූ ගෙන්ද; ගමනේ සැලසුම් සකස් කරණ විට විමසීය.
 "මොකද නැත්තේ !? බාප්පි එන්නකෝ පොළොන්නරුවෙම මම පෙන්වන්න කිලෝමීටර 20ට 30ට එක කඩයක් තියා ගෙයක් දොරක් වත් නැති තැන්. ආ! වැඩිය ඕනෙ නෑ හබරණ - මොරගස් වැව ඉඳන් මින්නෙරියේ ආමි කෑම්ප් එක ලඟට කඩ තියෙනවද? හබරණ ඉඳන් ට්‍රින්කො පාරෙ හතරැස්කොටුවට වෙනකල් කඩ තියෙනවද ? එතකොට . . . . . ."
"ඇති! ඇති!! . . .ඇත්ත තමයි"

ඔහු කියන දෙය සත්‍යයක් වීමේ සම්භාවිතාවක් පවතින බව මටම ප්‍රථයක්ෂ විය.
මා කලින් ඔබට කීවාසේ වව්නියාව මහා වානිජ නගරයකි. කොළඹ පවතින පාර්ලිමේන්තුව, ටවුන්හෝල් එක, කෞතුකාගාරය, කොටුව, පිට කොටුව හැරෙණ්න අන් සියල්ල පැවතුනි! කොටින්ම කාර්ගිල්ස් සාප්පුවක්ද එහි වැජඹුනි. මෙවන් ගමන් වලදී සුපිරි වෙළෙඳ සැල් දැකීම නෙතට ප්‍රිය දසුනකි!
 මෙතෙක් ගස් ගල් වලට මුවාවී කල කී ශරීර සුවතා කටයුතු කාමරයක් තුල දොරක් වසා පුද්ගලිකත්වය, රහස්‍යභාවය, සභ්‍යත්වය හා සංස්කෘතිය රැකෙන අයුරින් ගුටි කෑමේ හා කට කැඩිච්ච කතා ඇසීමේ අපල උපද්‍රවයකින් තොරව නිදහසේ නිවහල් සුව භුක්ති විඳිමින් ක්‍රියාවට නැගීමේ ප්‍රීතිය හා සතුට  විඳීම මෙහි ප්‍රධාන හේතුව විය!
දෙවනුව මෙතෙක් ගිණි ගහන කූඨකේ පිලිස්සුනු සිරුරට සිසිල් සුළං දහරක පහස විඳින්නට ඉඩ අවකාශය සැලසීමය.
ඊට අවශේෂ වශයෙන් අවශ්‍ය කළමණා සියල්ල එකම වහලක් යට පමනක් නොව එකම සිවිලිමක් යටදී යට මිළදී ගෙන සුන්දර යුවතියකට මුදල් ගෙවා "තැන්ක් කියු . .!" කියා අසන්නට ලැබීමය! (ගුටි කන්නට වෙයිදෝ මංදා!?")

මෙකී නොකී සියළු කරුණු පෙරදැරි කරගත් අප කාර්ගිල්ස් සාප්පුව දුටු සැණින් කිසිදා නොපැදි වේගයකින් එය කරා ලඟාවිය. සාප්පුව අසල සයිකල් ගාල් කල අප ඊළඟ නිමේශයේ එය තුලට වැදහොත්ය.

මාර්කටින් !

ඒ 2017 වසරේ නත්තල් දිනට පෙර දිනයයි! සාප්පුව ජනයාගෙන් පිරී පැවතුනි. ඔවුන් අපදෙස එක එල්ලේ නොබැලුවේ අපගේ භාහිර ස්වරූපයේ තිබුනු ප්‍රසන්න භාවය නිසා විය හැකිය. එහෙත් ඈත සිට අප දෙස; වික්ෂිප්තව බලා සිටිනු දැක ගත් හැකිවිය! අප වෙළෙඳ සැල තුල ඒ මේ අතට රස්තියාදු වෙද්දී  මගේ නෙත ගැටුනේ කාලයක් තිස්සේ හොඳින්ම දන්නා කියන අයෙකි. ඒ ශාන්ත නොකොලස් ක්‍රිස් ක්‍රින්ගල් තුමා හෙවත්, සැන්ටා හෙවත් නත්තල් සීයාය.


(ලොවම) දන්නා කියන කෙනෙක් !

මීට කලකට මා ලියන ලද "ගඟක් දිගේ . ." පෝස්ටුවේද දැක්වූ පරිදි සෙකර;  නිව්යෝර්ක් නගරයේදී රාත්‍රියේ මුන ගැසුනු ; ගමේ වෙල් එළියෙදී මසකට වතාවක් දෙකක් හමුවන 'හඳ' සේම සැන්ටා හමුවීම මාහට ඇතිකලේ නන්නාඳුනන නගරයක් තුල මෙතෙක් අතරමං වී සිටි අපහට  දන්නා කියන කෙනෙකු හමුවීමේ ප්‍රීතිමත් සිතුවිල්ලමය! මෙය හුදෙක් වෙළෙඳ ප්‍රයෝගයක් බව හා මේ තවත් වෙස්වලා ගත් සේවිකාවක හෝ සේවකයෙකු ලෙස සිතන්නට සිත ඉඩ නොතැබීය.

 සුනිල් ආරියරත්නයන් විසින් පබැදූ නන්දා මාලණී ගෝකුළ විසින් ගැයුනු "මගෙ සඳ ඔබ මගේ සඳ ඔබ"  ගීතයේ ප්‍රකාරව සුන්දර ප්‍රේමය තුල ; සඳ යනු චක්‍රාවාට වලින් පිරුණු පය තැබූ කෙනෙකු සැණින් හුස්ම හිරවී මියයන අතිශය භයංකර වටා පිටාවක් පිළිබඳ මතකයක් හැඟීමක්  නොවේ. එය අතිශය සුන්දර සෞම්‍ය අප දෙස බලා සිටිනා සුන්දර යුවතියක හෝ යෞවනයෙකු ලෙසින්ය. "හිරුගෙන් අප කෙතෙක් ඵල ලැබූවද හිත බැඳෙන්නේ සඳ වෙතටය!" යැයි කියන්නේ නිකං ද?

සැන්ටා අපට ඇතිකලේ ඉතා මිත්‍ර ශීලී සහජීවනයක්ය. කාලය මොහොතකට සීමා වූවද ඔහු (හෝ ඇය!) අපහා සෙල්ෆියකටද මුණදීමට පැමිණියේය.(පැමිණියාය!) ඇවැසි දෑ මිළදී ගැනීම මධූ වෙතින් සිදුවිය! අපට කිරීමට ඉතිරි වූවේ ඔහු රාක්ක වලි තූරා බේරා ගන්න බඩු භාහිරාදිය අතින් කටින් ගෙන ඔහු පසුපසින් මුදල් ගෙවන කවුන්ටරය වෙතට එකා පසු පස එකා ඇදීම හා මුදල් ගෙවූ පසු සියල්ල එක් කොට ගෙන සාප්පුවෙන් එළියට පැමිණීමය!  තව ටික වේලාවකින් සියල්ල සීරුවට ගබඩා කරගත් අප පලමුව හැකි උපරිමයෙන්ම ජලය පානය කොට අන් සියල්ල සයිකල වල ගබඩා කර ගෙන එතැනින් නික් මුනෙමු.

දිලෙන අහස !

මේ වන විට වේලාව  12.33 වී තිබුනු අතර දිවා අහාරය ලබා ගැනීම ටික වේලාවක අප පමා කලෙමු. වව්නියාව නගරය පසු කලවිට එලඹෙන්නේ අතිශය උනුසුම් පරිසරයකටය. කාපට් ඇතුරූ මාර්ගය ගිනි කබලක් සේය. හමන්නේ උනුසුම් වාත ප්‍රවාහයක්ය. මාර්ගයට සෙව සදන ගහක් කොලක් වේ නම් ඒ බොහෝ දුර්ලභවය! සිරුරෙ විඩාව සං සිඳුවා ගැනීමට යාන්තම් හෝ සෘණ අනුක්‍රමණ, බෑවුම් හෙවත් පල්ලම් ආසාවටවත් නොමැත. ගෙවෙනා ගෙවනා මුළු කාලය පුරාවටම පැදිය යුතුය. 

අප සයිකල් සඳහා භාවිතා කරණ්නේ 700 X 35C ටයරයන්ය. මෙහි 700 යන්නෙන්  අදහස් කරණ්නේ ටයරයේ විෂ්කම්භය මිලීමීටර වලිනි.
 එවිට එහි අරය 700/2 = 350mm ය.




එවිට එහි පරිධිය හෙවත් වටේ දිග වනුයේ 2 X 22/7 X 350 mm ය.
එනම් 2200මිමි වේ.හෙවත් මීටර 2.2 කි.
සයිකලයේ උපරිම ප්‍රවේග අනුපාතය සැපයෙන ගියර සැකසුම මගින් ලැබෙන්නේ 3.38 ක පමන අනුපාතයකි.
 ඉන් අදහස් කරණ්නේ පැඩලය මුළු වටයක් දෙපයින් භ්‍රමනය කරවූ පසු රොදය වට 3.38 ක් භ්‍රමනය වන් බවයි. 
එවිට සයිකලය ගමන් ගන්නා මුලු දුර වනුයේ මීටර 2.2 X 3.8 = 7.4 මීටර වේ.
එනම් එක් කිලෝමීටරයක් ගමන් කිරීමට පැඩලය වාර  1000/7.4 =  135 වට 135 ක් භ්‍රමනය කල යුතුවේ.
 ඒ එක් කිලෝ මීටරයකටය!
 කිලෝ මීටර 10 කට මෙය 1350 කි!!
 කිලෝමීටර 100 කට 13500 කි.!!! කිලෝ මීටර 380 කට 51300 වතාවකි. මේ ගනනය කිරීම උපරිම ප්‍රවේග අනුපාතය සමගය. නමුත් සැබෑව වන්නේ සිරුර වෙහෙසට පත්වූ පසු මීට වඩා පහල ප්‍රවේග අනුපාතයක් ඔස්සේ තැනතලා ඔස්සේද කඳු හරහා ගමන් කරද්දී වඩාත් අඩු ප්‍රවේග අනුපාත ඔස්සේද ගමන් කරණා බවයි. ඒ නයින් ගත් කල  මෙම වට ප්‍රමානය 60000 කට පමන වැඩි විය යුතු යැයි මා සාධාරණ ලෙස අනුමාන කරණ්නෙමි! පෙරකී කටුක පරිසර පද්ධතිය හරහා සයිකල පැයකට කිලෝමීටර 15 ක පමන වේගයක් පවත්වා ගනිමින් ධාවනය කරණ්නට ඇත. ඒ පැයකට වට 2000 ක පමන වේගයක්ය!


ඩොටේ යන මඩූ . . !

තනි කෙලින් ඊ ගහ වන් මාර්ගයට වම් පසින් දුම්රිය මග දිවුනේය. පසුගිය කාල වකවානුව පුරා වට වැස්සෙන් දුම් රිය මගත් මහ මගත් අතර තැනින් තැන වූ විල්ලු නො එසේ නම් නොගැඹුරු කුඩා අගල් ජලයෙන් පිරී පැවතුනි. අප තිදෙන පරඬැල් සේ වේලුම් කෑවාට අප වටා තිබුනු නො එසේනම් අප පසුකරමින් පැද ආ පරිසරය මුළුමනින්ම හරිත වන් විය.සමහර විට එම හරිත පරිසර පද්ධතිය හා මා පෙර කී කුඩා දිය අගල් ; අපගේ දාහය නිවා දමන්නට කිසියම් මෙහෙයක් කරණ්නට ඇත.

 එහෙත් එය ; නුගේගොඩ රොටරියේ රසායන විද්යාව පංතිය කල දෙව් රුවන් අල්විස් ගුරුතුමා උගැන්වූ පරිදි ඇල්ෆා තරම් කුඩා අගයක් ගත් වෙනෙසකි. ඇල්ෆා කෙතරම් කුඩා දැයි කිව හොත් (1- ඇල්ෆාහී) අගයද 1 කම විය.එසේම ඇල්ෆා කුඩා නිසා ඇල්ෆා වර්ගය ඊටත් වඩා කුඩා විය. එනිසාම (1-ඇල්ෆා)/ඇල්ෆා වර්ගය එකටම සමාන විය.

ද හ ය  නොව   දා හ ය !

වට වැස්සෙන් පන ගසා නැගිට ගත් වෘක්ෂයෝ නෙතට ප්‍රිය දසුනක් එක්කලහ. එහෙත් ගතෙහි වූ දැඩි තෙහෙට්ටුව විසින් ඒ සුන්දර දසුන් නෙතින් සිතට ගෙන යාමට වැට කඩුලු බැඳ දැමුවේය.
ගමනේ තවත් කිලෝමීටර 5 ක් පමන ගෙවෙද්දී මහත්වූ බඩ ගින්නක් දැනෙන්නට විය. එය ඉතා සාමාන්‍ය ස්වභාවයකි. එය ; අත් දෙකෙහිම තෙල් ග්‍රීස් තැවරුණු විට නහය කසන්නට ගන්නවා වැනි අතිශය සාමාන්‍ය දෙයකි. බඩ ගින්න බොහෝ විට දැනෙන්නේ කන්නට නැති පරිසරයක් තුලය! මෙය කාගේ කුමන න්‍යාය දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමනක් විය යුතුය,
"අපරාදේ අපිට වව්නියාවෙන් කන්න තිබුනේ . . .!'
"ඒක තමයි . .!"
ඉස්සරහට කඩ තියෙනවද දන්නෙත් නෑ . . .!"

මෙවැනි ප්‍රකාශ අප තිදෙනා අවට වාතලය  සිසාරා ඒ මේ අතට ගමන් කරණ්නට විය. එසේ නොකලේ ඇයි කියා අප කිසිවෙකුට කියන්නට තරම් පිළිතුරක් නොවීය.අප එකම මතයකට විත් වව්නියාවෙන් අහාර නොගන්නා බව හෝ දිවා ආහාරය වව්නියාවෙන් පිටතදී ගැනීමට හෝ  තීරණය කොට තිබුනි. එම මතයට එකඟ වූයේ   කතා කිරීමෙන් නොව නිහඬතාවය පල කිරීමෙන්ය.තවත් ලෙසකින් පවසනවානම් නොකර සද්ද සිටීමෙන්ය. කෙසේ වෙතත් අප කුඩා ගම්මාන පසුකරමින් ගිනි ගහන අව්වේම පැදගෙන යන විට මාර්ගයේ වම් පස කොල පැහැති පුවරුවක් ඈතදීම  මා දුටුවෙමි. 

ඔව්! ඒ අප බලාපොරොත්තු වූ දෙවොල විය!

එහි නම දුටු සැනින් බඩගිනි වෙලාවක මහ ගෙදර ගියා වැනි හැඟීමක් සිතට ගලා ආවේය. දවල් පෙර දින බත සරි කර ගත් භෝජනා ගාරයේ මෙන්ම මෙයටද තබා ඇත්තේ අපූරු නමකි!

අම්මා මතක් වුනු කෑමක්  !

"අම්මා හෝම් ටේස්ටි ෆුඩ් රෙස්ටූරන්ට්" ය.

අවුලක් නැත. බඩගින්නේ මෙතරම් දුරක් ඇවිත් ඇත්තේ අම්මාගෙන් බත් මිටක් කන්නටය.ඒ මොහොතේ මතකයට ආවද නොආවද මේ ලියන මොහොතේදී අම්මා රසට අනා කවන හැටි සිහිනයක් සේ සිතට ගලා ඒයි. දිනක් ඇය : මා කිසිදු දිනෙක කෑමට තබා පල නොරදන ගසක් දෙස වත් බැලීමට රුචිකත්වයක් නොදක්වන තිබ්බොටු කවපු හැටි මතකයට සීරුවෙන් ගලා එන්නේ නිරායාසයෙනි.

එම භෝජනා ගාරය තිබුනේ තරමක ජන ශූන්‍ය පෙදෙසකය. සිරිත් පරිදි මධුෂාන් තම ආහාර වේලට බිත්තර 4 ක් එක් කර ගත්තේය! ගෙවී ගිය පඨක කොටස් අළුත්වැඩියාව සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වේ. ඒත් මෙහෙමත් ප්‍රෝටීන් කෑමක්!ගමනේ මුලසිට මා නිර්මාංශිකයෙකු විමි. එයට ආසන්නතම හේතුව වූයේ ගමන කෙළවර නල්ලූර් කෝවිලට යෑමට මා අදිටන් කරගෙන සිටි බැවිනි.

මා වික්ටර් හියුගෝ ගේ " මිනිසාට නැත්තේ ශක්තිය නොව  ආත්ම ශක්තියයි!' යන කියමන තරයේ විශ්වාස කරණා අයෙක්මි. එසේම අර්නස්ට් හෙමිංවේගේ "මහල්ලා සහ මුහුද" පොතේ තේමාව; යටි පෙල අරුත වන "මිනිසෙකු විනාශ කල හැක! එහෙත් පරාජය කල නොහැක!!" යන්නද මා විශ්වාස කරණ්නට කැමැත්තක් දක්වන කියමනකි. 

සඳ තරු ග්‍රහයන් හෝ දෙවියන් කෙරෙහි මහත්සේ එල්බගෙන සිටීම මාගේ පුරුද්දක් නොවේ. එසේම ගැලරිය පිනවීම පිණිස එවන් විශ්වාසයන් හෝ ආගමක් විශ්වාස නොකර සිටීමට හෝ කොඳු කැඩෙන්නට පහර දීමක්ද මා වෙතින් කෙරෙණ්නේ නැත. විපක්ෂයේ හා මාක්ස් වාදීන්ගේ ප්‍රධාන කාර්ය භාරය වනුයේ පවතින ආණ්ඩුව විවේචනය කිරීම නැතහොත් පට්ටා ගැසීම සේම බොහෝ බ්ලොග් ලියන්නන් හා මූනුපොතේ තීරු ලිපි රචකයන් බොහෝ විට ආගම් වලට ඇට්ටි හැලෙන්න වනනු දැකිය හැක. බොහෝ විට ඔවුන්ගේ පොදු මතයක් වන්නේ  ආගමක් ඇවැසි වන්නේ දුර්වල මිනිසුන්ට  බවය!


කුමන පහන කවුරු වෙතද?

මා සෑම සියළු ආගම් කෙරෙහි ගරුත්වයකින් කටයුතුකරන්නෙමි. එහෙත් මා කිසි විටෙක ආගමක වහලෙක් නොවන්නෙමි. සත්‍ය වශයෙන්ම මා ආගම ඇදැහීමේ සුන්දරත්වය විඳිමි. පල්ලියේ ගීතිකා වල සිට කෝවිලේ නාද ස්වරම් හඬ දක්වා සියළු ගායනා වල මිහිරියාව විඳිමි.
"අපිත් ඒවානම් විඳිනවා! ඒත් ආගමක් ඇදහීමක් කියන්නේ ඒකටද?" බොහෝ දෙනෙකු මගෙන් විමසාවි. නෑ මම ඒ ගායනා දෙක ගලපා ගන්නට උත්සාහ කලේ එම ගායනා වලින් ගැයෙන්නේ නෝ එසේනම් අගයෙන්නේ හෝ වන්දනා කරණ්නේ වෙනස්ම වූ ආගම් දෙකක්  වුවද ඒ සියල්ල එකසේ රසවිඳිමි! යන්න පැහැදිලි කිරීමටය. 
මා කිසිදු ගමනක් හෝ මෙවන් චාරිකාවක් යන්නට ප්‍රථමයෙන් කරණු ලබන පෙර සූදානමට භෞතික හේතු සාධක, උපකරණ, ආදී දේ ගැන විනා වෙනයම් නොපෙනෙන විශ්වාසයන් මුල්කරගෙන කටයුතු කරණ්නේ නැත. එහෙත් ගමන පිටත් වන්නට මොහොතකට මත්තෙන් හෝ ඊට ආගමික ස්පර්ෂයක් ලබාදීමකරණු ලබයි. එය විටෙක බුදු සරණින්ද තවත් විටෙක යේසුස් වහ්න්සේ කෙරෙණ්ද තවත් විටෙක සම්‍යක් දෘෂ්ඨික හෝ මිථ්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙකුගෙන්ද විය හැක. ඒ කුමකින් හෝ වේවා මා හා මගේ කණ්ඩායම අදටත් නිරුප්ද්‍රිථව!

නල්ලූර් කෝවිලට මා ඒවනවිට තෙවතාවක් පමණ ගොඩවී ඇත. වන්දනා මාන සිදුකොට ඇත. මෙම කෝවිලේ ඇති විශේෂත්වය වන්නේ ඊට ඇතුළුවන සෑම පිරිමියකුම උඩු කය නිරාවරණය කලයුතු වීමයි. මහින්දලා,සරත්ලා, රණිල්ලා තම ඕවාළු හැඩය ගත් සිරුර  මාධ්‍යය මගින් පූජා වට්ටියක් සමග විලිලජ්ජාවකින් තොරව ප්‍රදර්ශනය කරණු ලබන්නේ  නල්ලූර් කෝවිලේ ආශිර්වාදය ලබාගන්නට සූදානම්ව සිටිනා වෙලාවේදීය.

සමය යන් එක්ව රට මවන රටා හැඩ

 මාගේ සෑම ගමනක් සමග එවන් ආගමික ස්පර්ෂයක් එක් කර ගැනිම; මා නොදැනුවත්ම සිරිතක් වී ඇත. එහි කිසියම් අපූර්වත්වයක් මා විඳිමි. මාගේ යාව ජීව පාඨක මිතුරා "මද්දා" තම රෝද දෙකේ රස්තියාදුවක යෙදෙන්නට දිනකට දෙකකට කලින් මාහට ඇමතූ මොහොතක මෙවන් ආරම්භයක් පිළිබඳව යෝජනාවක් කලෙමි. ඔහු එයට අනුගතවූ බවක් පසුව ඔහු මාවෙත පවසා තිබුනා මට මතකය.
මා මහවැළි  ගඟ දිගේ යාත්රා කරද්දී පුල්ලෙයාර් ශාමි හට කොල අත්තක් එල්ලන්නට පසිඳු හට පැවසූ අයුරු ඔබට මතක ඇත. ගං දිය මත කරණා ඕනෑම කට යුත්තකදී මා අදාල ජල ධාරාවට,  ගරු කිරීමක්, වන්දනා කිරීමක්, ආමන්ත්රණයක් කරණු ලබයි. කිසිදු විටෙක මා මසුන් මැරීමට වචනයකින් වත් සහයක් ලබාදී නොමැත. ගංගාවකට ඇළකට දොලකට කෙළ පිඩක් හෝ හෙලීමට මා ඉඩ නොතබමි. ජල මූලාශ්රිත සමග පැවති අපගේ මුතුන් මිත්තන්ගේ ජන ජීවිතය සමග වැවට කරණු ලබන වන්දනාව, ගරු කිරීම එතැනින් නොනැවතී අම්බරුවන් හෙවත් මී ගවයන් වෙත කරණු ලබන ආදරණීය ඇමතීම දක්වා යොමුවී තිබුනි. අප;  වසරක් පුරා තම දිය පවස නිවාලූ   ළිඳ සමග පලමුවගනුදෙනු කොට කෘථගුණ සැළකා අළුත් අවුරුද්ද පටන් ගත් ජාතියක අවසන් පුරුක් වන්නෙමු කෙසේ හෝ වේවා මෙවර අපගේ ගමන සඳහා මා අධ්යාත්මික ස්පර්ෂය ලබා ගන්නට තෝරා ගෙන තිබුනේ සියල් මහා පුරුෂයන්ගේ උඩු කය නිරාවරණය කිරීමට තෙදැති නල්ලූර් කෝවිලය!


මධුෂාන් දිවා ආහාරය ගන්නා අතර . . . !

මධූගේ ප්රෝටීන් වලින් අනූන ආහාර වේලට සපේක්ෂව දුප්පත් බත් පතකින් සෑහුනු මමත් නිශාන් කුමාරත් අවන් හල නැතහොත් බත් කඩෙන් එලිමහනේ තිබුනු මේස ලෑල්ලකට පුටු තුන ලං කරගෙන දෂ්ඨ කිරීමට පටන් ගතිමු. දැඩි වෙහෙස මහන්සිය කරණ කොටගෙන  අන්නශ්රෝතය පමනක් නොව අභිජිඃවිකාව පවා වියලී ගොස් තිබුනි. "අම්මා" ගේ සාම්බාරු බාල්දිය අපේ පිහිටට ආවේ එවිටය. වම්බොටු පාවෙමින්, වට්ටක්කා අවලම්බන සේ රැඳෙමින්, බණ්ඩක්කා ගිලී පතුලේ තැන්පත්ව ආකිමිඩීස්ගේ ඉපිළුම්  නියමය සිහිගැන්වූ; ඉහල දෘශ්රාවිතාවයකින් යුතුවූ සාම්බාරුව අපගේ අහාර මාර්ග මුළුමනින්ම ලිහිසනය කිරීමට සමත්විය. තවත් කිලෝමීටර 50 කට අධික දුරක් පැදයාමට ඉතිරිව ඇතිබව කදුරුගොඩ දාගැබ් සිහිගැන්වූ බත් පිඟන් ත්රිත්වය මේසය මත මස්ථකාරූඩ වීමත් සමග අමතකව ගියේය

වසර 19 නිළ නොලත් සිරබත් කෑමකට ලක්ව සිට  1680 සැප්තැම්බරයේ රොබර්ට් නොක්ස් නැවත පෙරලා එංගලන්තයට ගිය පසු රොස්ට් කල හරක් මස් හා යොක්ශයර් පුඩින් රස බලන්නට ඇත්තේ යම් සේද ඒ හා සමාන ගිජු කමකින් අප  බත් පිඟන් තුන වැළඳ ගත්තෙමු! මෙතෙක් ඉතාමත් සැලකිල්ලෙන් අර පරෙස්සම් කරගෙන ආහර සම්ප්රදාය සාම්බාරුවේ දියවී උළුඳු වඩේ කෑල්ලකින් යටව ගිය අපූරුව!

දිවා ආහාරයෙන් පසු උපරිම වශයෙන් විනාඩි 10 පමන කාලයක් අප නිදහසේ ගත කරණ්නට ඇත.නැවතත් අප; අපගේ අශ්වයන් පිට නැග ගතිමු. වන විට වේලාව පස්වරු 2.00 ඉතා ආසන්න වෙලාය. එතැන් සිට අප හොඳ සුව පහසු රිද්මයකින් පැද ගියෙමු. "අම්මා" කැෆේ එක නුදුරේම කුඩා පල්ලියක් දක්නට ලැබුනි.





එය පින්තාරු කොට තිබුනේ අහස් නිලෙනි. එම පල්ලියේ සවභාවය; පල්ලිය අයත් නිකායේ වත් පොහොසත්කම් ගැන පමනක් නොව මෙම පලාතේ සාමාන් මිනිසුන්ගේ ජීවන තත්වයේ වපසරියත් නිහඬව කියා පෑවේය.









දෙපස සරුසාර කෙත්වතුය. ඒවා හරහා හමනා සුළඟේ කිසියම් සිසිලසක් රැඳී තිබුනි. එය ගොයම් කොලයේ කෙලවරෙහි පවතින හැඩය නිසා ඇතිවන භෞතික විද්යාත්මක සිද්ධාන්තයකි. 
නිල්ල වැදුනු කෙත්වතු මැදින් අප ගමන් ගතිමු !
වළාකුළු සපිරුණු අහස යටින් අප පැද ගියෙමු !!

අප වෙහෙසුනද අපගෙ යාවජීව යන්ත්‍ර කිසිදු ලෙසකින් වෙහෙසට පත්වූ බවක්, රෝගී තත්වයක්, අබල දුබල බවක් නොපෙන්වීය. එය මහත්ම වූ අස්වැසිල්ලකි. ගමන යෑමට පෙර නාවල බියන්කි  වැඩ හලෙහි සජිත්ගේ අතින් නිමැවෙන සයිකලය මගදී ලෙඩ වීමේ අත් දැකීමක් අප  මෙතෙක් ලබා නොතිබුනි.සජිත් සයිකලයේ දම්වැල ඇතුළු කොග් සෙට් එක හා ක්‍රෑන්ක් එක ලිහිසනය කොට තිබුනේ වියලි ලිහිසන-Dry Lubricant වලිනි. එහෙත් අපගේ ගමනට එය නොසෑහුනි. එන ගමනේදී අලව්වේ ඉන්ධන පිරවුම් හලෙන් 0 - W20 දුස්‍රාවිතාවයකින් යුත් ලිහිසන තෙල් දමා ගත්තෙමු.
වියළි ලිහිසන නො එසේනම් Dry Lubricant බයිසිකල් සඳහා භාවිතාකරණු ලබන්නේ එහි ඇති නොඇලවෙන සුළු භාවය නිසාය. බයිසිකල් චේන් නැතහොත් දම්වැල සඳහා  වාහන වලට යොදන එන්ජින් තෙල් හෝ මහන යන්ත්‍ර සඳහා යොදන තෙල් බොහෝ දෙනා පාවිච්චි කරති. එම තෙල් වර්ග යෙදීමෙන් පසු පරිසරයේ ඇති දූවිලි අංශු, කුඩා වැලි කැට යනාදිය දම්වැලේ හා දැති රෝද මත ඇලීමෙන් පසු එම ඝන ද්‍රව්‍ය වෙතින් දම්වැල කැපී යාමට, දැති රෝද ගෙවීයාමට පටන් ගනී. මෙම උපද්‍රවයෙන් වැලකීම සඳහා වියළි ලිහිසන භාවිතා කලද එය ඉක්මනින් වියලී යාමේ හා ලිහිසන ස්වභාවය නැතිවී යාමේ අවදානමක් පවතී.වියළි ලිහිසනභාවිතා කරණ්නේ නම්;   කිලෝ මීටර 100 කට වරක් වත් නැවත නැවතත් ලිහිසනය කල යුතුවේ. එහෙත් හදිසියේ දම්වැල හා ඒ හා බැඳුනු උපාංගයන් තෙමී ගියහොත්; වැස්සකට හසුවුවහොත් නැවත දම්වැල වියලෙන්නට හැර වියලි ලිහිසන මගින් ලිහිසනය කල යුතුවේ! එහෙත් තුනී එන්ජින් තෙල් හෝ මහන යන්ත්‍ර තෙල් ඕනෑම දේශගුණික සාදකයක් තුල නොසැලී සිටී.

ගමන පටන් ගෙන කිලෝමීටර 50 ක් ගෙවීයද්දී මාගේ සයිකලයේ දම්වැල ඈඟිරි ගාන්නට විය! එය මහත්වූ කරච්චලයකි. කුඩා දරුවකු කුස ගින්නේ කිරි ඉල්ලා අඬද්දී සිත් පිත් ඇති එකෙකුහට අසාසිටින්නට නොහැකි වනවා සේම සයිකලයකට ආදරය කරණ අයෙකු හට ඒ කෙඳිරිය අසා සිටින්නට නොහැක. ඒ කෙඳිරිල්ල ඇසෙද්දී; බියන්කි ක්ලීනික් එකේ වෛද්‍ය සජිත් මහතා මොනතරම් නිර්දේශ කර තිබුනත් එය පසෙක ලා ඇන්ජින් තෙල් ටිකකින් දම්වැලේ සා පවස නිවා දමන්නට පියෙකු ලෙස මට සිතේ! අලව්වේදී සිදුවූයේ එයය. එතැන තිබුනු ඉන්ධන පිරවුම් හලෙන් ඉවත දැමූ තෙල් කෑන් හෙවත් ලීටර පහේ බූලි වල රැඳී තිබුනු තෙල සීරුවට දම්වැල් මතට පතිත කර ගත්තෙමු. ඉදින් ඉක්බිති දම්වැල "මීක්!" ගෑවේ වත් නැත!
0-20W යනු නවීන වාහන සඳහා යොදන දුශ්ස්‍රාවිතාවයෙන් ඉතා පහල මට්ටමේ ඇති තුනී තෙල් කාණ්ඩයකි.එයින්  සිදුවිය හැකි හානිය යම් පමනකට හෝ අවම විය හැක.




හිරු සිරසට එක එල්ලේ නොවුනත් පසෙකින් රක්තතප්තව දිලේ! මීට පැයකට දෙකකට පෙර ශ්වේතතප්තව දිලුණු හිරු නිවෙන්නට පටන් ගෙනය. එහෙත් එයින් ඇති කල පීඩාවේ වෙනසක් නොමැත.එය; නිවසකට අඩි දහයක් උඩින් ගලන ගංවතුර අඩි දෙකකින් පහල බැස ගිය පමනින් එයට මැදි වූවනට ඇතිවන සෙතක් නොමැතිවා සේ ය!
දිවා ආහාරය ගැනීමට ගත් සුළු විවේකය මත තරමක් සිරුර හීල් වූවද එයින්  හානි පූර්ණය වී නොමැත.දිනයේ අඩකටත් වඩා කාලයක් දැඩිසේ වෙහෙස වී; සිරුරේ ශක්තිය බොහෝ සෙයින් සිඳි ගොස් සිටි අපගේ සිරුරු;  දාහය මගින් ඉතා ඉක්මනින් හා පහසුවෙන් නතු කර ගත්තේය. විඩා බර සිරුරට ඉක්මනින් ඉක්මනින්ම කුඩා විවේක-විරාම ඇවැසි විය. අප කිලෝ මීටර 5 න් 5 ට නැවතෙමින් විඩා නිවමින් පදින්නට පටන් ගත්තෙමු. මේ සඳහා කිලෝ මීටර කනු මතක තබාගෙන පදින්නට විය. අප 199 වන කණුව පසු කලෙමු. හරියටම තවත් කිලෝ මීටරයක් ගෙවී යද්දී ඇස ගැටුනේ A 9 මාර්ගයේ 200 වන කණුවයි. කිලෝමීටර 200 කණුව කිසිදු ආඩම්බරයකින් තොරව අප සමග සෙල්ෆියකට පෙනී සිටියේය!


මහනුවර සිට ද්විත්ව ශතකයක් !





200 කනුව තිබුනේ තට්ට තනි පංගලමේය.  අහල පහල වෙනත් කිලෝමීටර කණුවක් තබා ටැලිෆෝන් කණුවක්, ලයිට්කණුවක්, ගෙයක් දොරක්, ළිං ගැට්ටක්, බෝක්කුවක්,ගෙයක් දොරක් කඩමණ්ඩියක් තැපැල් පෙට්ටියක්, කාගිලිස් සාප්පුවක් වත් නොතිබුනි! ඒ පෙදෙස ජන ශූන්‍ය කැලෑ රොදක් බව යාන්තමින් මතකය! තවත් කෙටි දුරක් පැද ගොස් මහ පාරේම මොහොතක් ඇලවීමි. රත්වූ කාපට් පාර වෙතින් පිට තැවුනි. එහි කිසියම් ආශ්වාදයක් තිබුනි.පාප්ප ගා ඇලවුනු පරිද්දෙන් ඉන් ඉවත්වීමට හිත හදා ගැනීමට ඉඩක් නොතිබුනි. 


තාර පාර සුව යහනක් වේවා !

ඒ කෙසේ වෙතත් අප යා යුතුව ඇත! අපගේ ගමනාන්තයට තවත් දුර බැහැරක්පැදිය යුතුය. අපගේ දත්ත වලට අනුව කණගරායන්කුලම් හංදියට තිබිය යුත්තේ තවත් කිලෝමීටර 15-20 ක දුරක් පමණි. අප කිලෝ මීටර 5 න් 5 ට නැවතෙමින් පැද ගියෙමු. එකිනෙකා සමග කිසිදු කතා බහකින් තොර විය. අපට ගමනාන්තය ඉක්මනින් දැකිය යුතු විය. 


ස ර ක ස් !

"තව දුරයිද බං . . . . . . . . . . . . ?"

මම නිරණ්තරයෙන් මධූ ගෙන් ඇසීමි! මධූ තම අතෙහි වූ සටහන කියවා  දූරකතනය මගින් අන්තර්ජාලය පිරික්සා අවට වූ කිලෝමීටර කණුවලට ඉව අල්ලා සියල්ල එකට ගලපා . . . . . . .

"තව කිලෝමීටර 12  . . . . . .!" වැනි ඉලක්කමක් කියයි. 

ඇයි බං තාම පැද්දේ කිලෝමීටර 2 කද . . . . . . ?  තවත් කිලෝ මීටරයක් හමාරක් නිහඬව ගෙවීයයි. යළිත් පෙර පරිදිමය!

මෙසේ පැදයන අපට පාරේ වම් පස පුවරුවක් දිස් විය. කෙමෙන් කෙමෙන් ලංවත්ම ලංවත්ම අකුර අකුර කියවා ගෙන යන්නට හැකි විය!

"ක . .  . . . න . . . . ග . . . රා . . . කනගරායන්කුලම්!"

පස්වනක් ප්‍රීතියෙන් අප පිනා ගියෙමු.


ගමක නමක් සිතට ගෙනා සතුටු ගඟක් !

මෙදින රාත්‍රිය අප ගත කරණ්නට යොදාගෙන තිබුනේ කනගරායන්කුලමේ "ආනා රෙස්ට්" හෝටලයේය. මා ඒවන විට එයට 5-6 වතාවක් අමතා තිබුනි. 

අප එහි සිටම  ආනා රෙස්ට් නවාතැනේ සශී - 0779358597 ඇමතීමි. ඇමතූවෙමු!
"ආ යෙන්න ෂේර්! ඔක්කොම රෙඩි!"
අප අපගේ නවා තැන දකින්නට මත්තෙන් එය අපගේ යන හැඟිමකි හදවත් පිරී ගියේය!

වෝටර්ලූ සටනින් පැරදුනු නැපෝලියන් බොනපාට් එල්බා දූපතට පිටුවහල් කර; ඔහුව එහි ගෙනයන අවස්ථාවේ ඈත තියා දූපත දකින  ඔහුගේ මුවින්  කියැවුනු වැකියක් මාගේ සීයා එනම් දොන් විල්ෆ්‍රඩ් පෙරේරා මහතා නිතර කියනු මා අසා ඇත.

"ABLE  WAS  I  ERE  I  SAW  ELBA"

(මෙය 'රතුවතුර ' , 'වඩුමඩුව 'දෙපසටම කියවිය හැකි වැකියකි.)

එසේම "ආනා රෙස්ට්" නොහොත් ආනාව දකින්නටත් මත්තෙන් එය අපේ විය. ඒ එහි සිටි සේවක මහතාගේ ලෙංගතු බව නිසාමය

තවත් ස්වල්ප මොහොතකින් අප ආනා රෙස්ට් අභියස වීමු. අළුත නිමකල මධ‍යම ප්‍රමානයේ අවන් හලක් හා නවා තැන් පොලක් විය එය! අප එහි යන විට අපහා කතා කල  සශී එහි අප එන තුරු බලා සිටියේය. සුදු සරමක් සුදු කමිසයක් ඇඳ සිටි ඔහු හයේ හතරෙ ඩයල් එකක් විය. දකුනු ඉන්දියානු චන්ඩියෙකු වැනි ඔහු ඉතාමත් මිත්‍ර ශීලීව අප පිලිගත්තේය.

"ෂෙර් මොනවද් ඕන! ඉල්ලන්න !! ඕන දෙයක් තියෙනවා . . . . !?"

එය තුල අපාන හලක් පැවතුනි. එය මටත් නිශාන් හටත් මහත් අස් වැසිල්ලක් විය!

මා හට මුලින්ම නා ගැනීමට මාගේ මිතුරණ් අවස්ථාව ලබා දුන්නෝය. හොඳින් නාගත් මා එලියට එන විට වැඩි කහට කිරි තේ එකකි. තේ එක බී මොහොතක්; කාමරයේ වූ ඇඳෙහි ඇල වුනෙමි.

රාත්‍රිය ඉක්මනින් ආනාව වසා ගති. අප අපගේ කාමරය ඉදිරියේ වූ කොරිඩෝරයේ පහසු ඇඳි පුටු තුනක අසුන් ගෙන සිටියෙමු. අප තිදෙන අත පොවන මාණයේ කුඩා රවුම් මේසයකි. අප අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිනා'තර අවන්හලේ පහසුකම් සලසන සොයුරෙකු අප ඉදිරියේ පෙනී සිටියේය. නිශාන් ඔහුව තම ලඟට කැඳවාගෙන අපගේ මිතුරු කවය තවත් පැය කිහිපයකින් ඉදිරියට ගෙන යාමට ඇවැසි ජවය ඇනවුම් කරණු; මොබයිලය මත අකුරු කරමින් සිටි මා ඡායාවක් සේ දුටිමි!



සුවය සදන සයන !


.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...