Wednesday, July 12, 2017

කයාක් එකයි! එක ගමනයි!! බත් එක්සිය හතලිහයි!!! 2

එලිපත්තටම පැමිනි ගං වතුර!
 තවත් ටිකකින් කුමක් වෙයිද?

 "ඇයි මිසී මොනවද වෙන්න ඕන? "
ඒ ; මා දන්නා කියනා අංකයකින් ඇමතුමක් ආ විට අමතන නො එසේනම්  පිළිතුරු දෙන  ආකාරයය , රටාවය , නිරන්තරයෙන් එන වචන සැට් එකය!
"අනේ (ඒ අපෙ මිසී කතාවක් පටන් ගන හැටිය!) අපේ  සේනකලගෙ ගෙවල්  සේරම යට වෙලාලු !  අපි කෑම  වගයක් ලෑස්ති කරනවා. අපි ඒවා කැළණියට ගේනවා !   ඒ ටික සේනකලට යවන්න ඕන! මොකද කරණ්නේ?"
" හරි මිසී ! කෑම ටික අරන් එන්න. අපි එතනට එනවා , මොනා හරි කරමු! අපි මාළඹෙන් පිටත්වෙලා!! "

දැන් වැඩේ නැගලා යන හැඩය.  අපට දැන් වැඩක් ඇත. මට මේ වෙලාවේ ; මම  පුංචි කාලෙ කියවපු ලමා කතාවක් මතක් වුනි. ඇත් පැටවෙකු ඇතුළු තවත් කුඩා සතුන් තිදෙනෙක් යහළුවන් සේ ජීවත්වෙති. බොහෝ කෙළිදෙලෙන් ජීවත්වන මෙම සතුන් තිදෙනාහට කිසියම් ප්‍රයෝජනවත් කාර්යයක් කිරීමට ඇවැසිවේ. ඔවුන් තමන්ව ප්‍රයෝජනවත් වැඩකට ; කිසිවෙකු හෝ සම්බන්ධ කරගනු ඇතැයි බලාපොරොත්තුවෙන් ගමන් කරති. ටිකදුරක් යද්දී එක් එක් අය හට විවිධවූ කටයුතු සඳහා මැදිහත් වීමට ඉඩකඩ ලැබේ.

 අවසාන අව්ස්ථාව ලැබෙන්නේ අලි පැටියාටය. ගිනි ගත් නිවෙසක් හේ දකී. ඔහු වහාම අසල  වතුර වලකින් හොඬය පුරා වතුර ගෙනැවිත් ගින්නට පිඹ ගෙය ගින්නෙන් බේරාගනී!  එතැන් පටන් පලාතේ ගිණි නිවීමේ දෙපාර්තමෙන්තුවට ඔහුව බඳවා ගැනේ.පසුව නිවාඩු දිනෙක එකිනෙකා හමුවන ඔවුන් තමතමන් කරණ ප්‍රයෝජනවත් කාර්යයන් ගැන පවසමින් සතුටු වෙති!

දැන් අපටද  යාන්තමින්දැනෙන්නට පටන් ගෙන ඇත්තේ මේ සතුටම විය යුතුය. මාළඹේ සිට අප බොරැල්ල පසු කරණ විට මහා වරුසාවකට මැදි විය. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම එයට "මැදි විය" කියන්නේ මේ වැස්සට වැටෙන්නේ තද වාහන තදබදයකට මැදිව සිටිනා විටය!
 එහෙත් සාමාන්ය ව්යවහාරයෙන්" බෝට්ටුව්ක් වහල උඩ පටවාගත්"  මෙම රථයට මාර්ගයේ ඉඩක් ලැබේ.අපේ රථය රාජගිරියේ සිට බේස්ලයින් පාරට පැමිණියේ  ඔබේසෙකර පුර ගෝතමී පාර ඔස්සේ සර්පන්ටයින් පාර  තුලින්ය. එම පාර මතුවෙන්නේ රජයේ මුද්‍රණාලය අසල රිජ්වේ ආර්යා රොහල ඉදිරිපිටින්ය.

 කොළඹට බලපෑ ගංවතුර තර්ජනය හා මහා වැස්ස නිසා සියලුම පාරවල් ජෑම් වී ගොස්ය!  කණගාටුවට කරුණ   නම් කෙතරම් බඩගිනි දැනුනද මේ ජෑම් ; පාන් සමග කන්නට නොහැකි නිසාය ට්‍රැෆික් ජෑම් වල හැටි එසේය!


මේ ජෑම් නම් මොනවද ට්‍රැෆික් ජෑම් එක්ක ගත්තම!

අප මැන්ගො ජෑම් , වුඩ් ඇපල් ජෑම් කනවා සේම  ට්‍රැෆික් ජෑම් කන එක්තරා කොටසක් සමාජයේ වෙසේ. ඒ ත්‍රී ව්හීල් මල්ලිලාය, ඕනෑම  ට්‍රැෆික් ජෑම් එකක් සුපිරියටම කන්නට ඔවුන් දනිති!

මෙවන්වූ වාතාවරණයක් තුළ අප සෙමෙන් සෙමෙන් බොරැල්ලෙන් දෙමටගොඩටත් එතැනින් කැළණියටත් ඇදුනෙමු. මේ අතරදී අපට දෙවන ඇමතුම ලදිමු. ඉන් කියැවුනේ බංඩාර , ඩේමියන් ඇතුළු පිරිසක් කැළණි යේ සිටින බවය.

 මේ ඩේමියන් හෙවත් ඩෙමා යනු  අන් කිසිවෙකු නොව “දවස් දෙකයි! ළිං තිහයි!! තේ පණහක් හැටක් විතර!!! ” පෝස්ටුවේ ෆෙංශුයි පිළිමයක්සේ බිම වාඩි ගෙන : මේ බ්ලොගය කියවන දෙනෝ දාහක් දෙනා බලා සිටියදී තේ නොවන දෙයක් ජෝග්ගුවකට දමා ගෙන; පොලීසියෙන් පනී වාගේ බීගෙන බීගෙන යන එකාමය !


කියන්න වදන් නෑ........!!

  අපි කැළණියට එන විට තරමක් රෑ බෝ වී තිබුනි. කැළණි පංසල පසුකොට කැළණි මුල්ල ; නොඑසේනම් පැරණි  කැළණි පංසල දෙසට එන මාර්ගය ඇරඹෙන ස්ථානයේ ඇති පාලම මිනිසුන්ගෙන් පිරිලාය! අපි එතැනට පැමින ටික වේලාවක් ගත වන විට අපගෙ ක්‍රියාන්විතය සිදු කිරීමට කාලගුණය හා ආලෝකය ප්‍රමානවත් නොවුනු බව අපට ප්‍රථ්යක්ෂ විය. ප්‍රවාහනය සඳහා එහි කිසිවක්  තිබුනේද නොමැතිවූ අතර එතැනින් නික්මී කඩවත පැමිනියෙමු.  

පසුදින උදේ 7.00 වනවිට අප කැළණියේ විය. පෙර දින සේම  වාහන ඒ මේ අතට හිරවී ගොසිනි. ඒ ගං වතුර  බැලීමට හා විපතට පත්වූවන් වෙත ආධාර ගෙන ආ පිරිස්‍.


පට්ට දවල් ලයිට් දාගෙන පිස්සුද ඈ?

 ඈත සිටම හෙඩ් ලෑම්ප් හෙවත් ප්‍රදාන ලයිට් හතරද ; ඒවාට තනිකං දෝසෙ හැදේවි යන බියෙන් සවිකල ෆොග් ලෑම්ප් හෙවත් මිහිදුමට දමන ලයිට් දෙකද දමාගෙන ;  වතුර බේරෙන බෝට්ටුවක් ඔලුව උඩ තියාගෙන ; බඩදරු අම්මා කෙනෙක්ව වින්නඹු අම්මා ලඟට ගෙනියනවාසේ හදිසියෙන් එන අපේ BJ 60 ය දැක්කාම බොහෝවිට පාරවල් වල නැති ඉඩ මතුවේ! 


නාලාගිරියාගේ සමීප ඡායාරූපයක්!
 (බුදුන්වහන්සේට ඇඹරෙන්නට මොහොතකට පෙර!)

බුදු හාමුදුරුවන් ඉදිරියේ පදිරිවී ; විලි ලැජ්ජාවේ සංතෝසෙ බැරිව ගෙදර යන ගමන් ආයෙමත් මුළින් ගිය හොර පොට් එකටම ගොස් රා කල හතට ; දා හතරක්ම බයිට් එකට ලූනු බිකක් තබා සියේට් එකක්වත්  නැතිව එක ගැම්මට ගසා ; පවුලට ගතුව කියන්න පිම්මෙ ගෙදර  යන නාළාගිරියා සේ  එන අපේ   BJ 60 බෝම අමාරුවෙන් වාහන අතරින් රිංගා ගොස් උන බටයක් ඉදිරියේ නතර විය!

 පාලමේ කොන්ද පසුවෙනවාත් සමග හරහට අටවා තිබුනු මේ උන ගස අන් කිසිවක් නොව තාවකලික බැරියර් එකකි. එය අරින්නේ ආධාර ගෙන ආ පරීත්‍යාගශීලී ජනතාවට විනා ගංවතුර බැලීමටත් ; ගං වතුරෙ ගිලුනු  ගෙවල් දොරවල් පසුබිමේ තබා යාලුවන්ගේ කරේ අතදාගෙන සෙල්ෆි ගහන බහුතරයට වත් නොවීය! 
මේ සියල්ල අතරේ  අපේ  BJ 60 ට බැරියර් එක සුපිරියටම ඇරුනේ මා ඉදිරි අසුනේ සිට වාහනයේ සිටම ; ඇඟිල්ලෙන් “රථයේ” වහලය  මත එතෙක් සාමදානව වැඩ හිඳිනා කයාක් භවතාව පෙන්වූ නිසාවෙන් විය යුතුය!

 අප එම  ස්ථානයට  එනම් කිත්සිරි මෙවන් රජමහ විහාරය හෙවත් එගොඩ කැළණිය  පංසල අසලට යන විට බංඩාර , ඩේමියන් ඇතුළු පිරිස අප බලා පොරොත්තුවෙන් සිටියෝය . ඔවුන්ගේ සහයෙන්   BJ 60 ය පාලමේ එහා ඉම පසුකොට ගං වතුරේ දනක් පමන වනතෙක් ගත්තේ; කයාකය බිමට බාගෙන දියත් කිරීමේ පහසුව තකාය .  
 ඩෙමාලා වසිකලා කයාකය බිමට බාගත්තෝය. කයාකය ; BJ 60 යේ වහලය මත  රඳවා ඇත්තේ  මුනින්  අතටය. එය හුඩ්  රැක් එක මතින් ඉවතට ගනිත්ම කරකැවේ! කයාකය අල්වා ගැනීමට දෙපස කුඩා රැහැන් පොටවල් දෙකක් ඇත. මෙමගින් දෙදෙනෙකු විසින් හුඩ් රැක් එක මතින් කයාකය ඉවතට ගනිද්දී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ කයාකයේ ; පෙර කී කර  කැවීම හෙවත් ඝූර්නයය ! එය අතේ මැණික් කටුව සංධිය හෙවත්  රිස්ට් එකට අනතුරක් කිරීමට බොහෝ ඉඩ කඩ ඇති ක්‍රියාන්විතයකි ! 

 මෙයද දෙදෙනකුට හැර දෙතුන් දෙනෙකුට එකතුවී මෙය කල නොහැකි තවත් එක් කාර්‍යයකි!
කයාකය බිමට ගෙන ඒ මත හබල් දෙකද , ජීවිතාරක්ෂක කබා දෙකද ,පිහියද , කඹද ඩ්‍රයි බෑග් යනාදී වශයෙන් සියළු අඩුම කුඩුම වසිකත් පසිඳුත් අටවද්දී බංඩාර මෙම ක්‍රියාන්විතය ගැන මා දැනුවත් කලේය .


අඩි 2 ක් උස යෝධ ඩ්‍රයි බෑග! 
කට අඹරා අගුළු දැමු පසු වතුර තියා හුස්මක් කටක් ගන්නටවත් නොහැක!

කැළණිය මහ පංසල දෙසින්  එගොඩ කැළණියට  ; කැළණි මුල්ල නො එසේ නම් අංගොඩ දෙසට දිවෙන  මාර්ගයේ එන අයෙකු හට මුන ගැසෙනා පාළම් දෙකක් වේ. 
ඉන් එකක් මහ පංසල අසල ; කැළණි ගඟ මතින් දමා ඇති පලමු පාළම යි. 

පාලමෙන් එගොඩ වූ  සැනින් ඔහු හෝ ඇය පිවිසෙන්නේ සිව්මංසලකටය . එනම් කිත්සිරි මෙවන් රජමහ විහාරය  හෙවත් එගොඩ කැළණිය  පංසල අසලටය.

 තමන් ආ මග හැරුණුවිට අන් මාර්ඝ ත්‍රිත්වයෙන් වම් අතින් ගම ඇතුලට දිවෙන අවශේෂ  පාරකි . 
ඉදිරියෙන් ඇත්තේ අංගොඩ හංදිය දෙසට මාර්ඝයය.

 දකුනු දෙසින් දිවෙන්නේ කැළණි ගං ඉවුර  ඔස්සේ මදක් දුර ගොස් පැරණි අඹතලේ මාර්ගයෙ බුදු පිළිමය අසලට දිවෙනා තුරු පාරය.  

මෙම සිව්මංසල මුළුමනින්ම ජලයෙන් යටව ගොස්‍ !



1. Prominent Temple - කැළණි රජ මහ විහාරය.
2. Kithsiri Mevan Raja Maha Viharaya - කිත්සිරි මෙවන් රජමහ විහාරය.
3. A- පළමු සිව්මංසල.
4. B - පහත් බිම මතින් දමා ඇති දෙවන පාළම.
5. C - හැඩපහර.
6. D - දෙවන සිව්මංසල.
7. E - සේනක ගේ නිවස.
8. Gangathilaka Raja Maha Viharaya - ගංගාතිලක පුරාණ රජ මහ විහාරය. 

පෙරකී ඉදිරියෙන් ඇති  අංගොඩ හංදිය දෙසට දිවෙන මාර්ඝය ඇරඹෙන්නේ තවත් පාළමකිනි . ඒ පහත් බිමක් මතිනි . 
එම පාළමෙන් එගොඩ වූ විට තවත් කුඩා පාළමක්ද ඉන් ඉක්බිති තවත් සිව්මංසලක්ද වේ . 

මින් වම් අතට දිවෙන්නේ අඹතලේ ඔරලෝසු කනුව තෙක් දිවෙන මාර්ගය හෙවත් පැරණි අඹතලේ මාර්ඝයේ ප්‍රථම භාගයය .

 එම මාර්ඝයම දකුණු පසින් සෙදවත්ත , කොහිලවත්ත  ඔස්සේ තොටළඟ තෙක් කැළණි ගං ඉවුර  ඔස්සේ දිවේ . 

ඉදිරිපසින් ඇත්තේ අංගොඩ හංදිය තෙක් දිවෙනා මාර්ඝයය .

 මෙම සිව්මංසලද  මුළුමනින්ම යටව ගොස් තිබුනි. එම වතුර එතැන් පටන් පැරණි අඹතලේ මාර්ඝය මුළුමනින්මද අංගොඩ මාර්ඝය පෙනෙනතෙක් මානයද යට කරගෙන පැතිර ගොස් තිබුනි!

ගංවතුරෙන් හිස ඔසවා සිටියේ මෙම පාලම් දෙක පමනි ! අන් සියළු පෙදෙස් අඩු වැඩි වශයෙන් දියන් යටවී ගොස්‍ ! ඒ වන විට ගංවතුර තම හැකියාව  තම උපරිමයෙන්ම පෙන්වමින් සිටියේය. ඒනිසා දෙවන පාළම  මිනිසුන් ගෙන් තොර කලාපයක් විය . එය මිනිසා විසින් සාදන ලද මිනිස් වාසයෙන් තොර දූපතක් සේ පෙනුනි .

බංඩාරගේ විස්තරයට අනුව සේනක ඇතුළු පිරිස සිරවී ඇත්තේ ; මා පෙරකී  දෙවන සිව්මංසලෙන් පහලට වන්නට කොහිලවත්ත කිට්ටුව ඇති ගංගාතිලක පුරාණ රජ මහ විහාරයේ ය.  එම ස්ථානයේ හැටකට ආසන්න පිරිසක් රැස්ව  සිටි අතර පංසලේ  බණ මඩුවේ සකස් කොට තිබූ එම තවකාලික කඳවුර හාමුදුරුවන් ඇතුළු තවත් ගිහියන් කිහිපදෙනෙකු විසින් මෙහෙයවනු ලැබීය. මෙම ගිහියන් අතුරින් මූලික ස්ථානය හිමිව තිබුනේ අපේ සේනකටය! ඒ උගේ බෙලෙක් හඬ නිසාම විය යුතුය!

මෙම පංසලවෙත අහාර ඇතුළු සියළු එදිනෙදා ඇවැසිදේ සැපයුනේ කැළණියේ සිටය.   
පළමු පාලම අවසාන වන ; ප්‍රථම සිව්මංසලේ සිට දෙවන පාළමට ඉහළින් හෝ පහළින්; දෙවන සිව්මංසල තෙක් යාත්‍රාකොට ; එතැනින් කොහිල වත්ත දෙසට දිවෙන මාර්ඝය ඔස්සේම පහලට යාත්‍රා කල යුතුව තිබුනි. 

සේනකලාගේ ගෙදර පිහිටා තිබුනේ පංසලට ඉහලින් මාර්ගයට යාබදවය. පංසලද තිබුනේ පාර අයිනේමය.


අපගේ ප්‍රධාන මෙහෙයුම් මධ්යස්ථානය.

මේ වන විට අපගේ  කන්තෝරුවේ ආපනශාලාව මෙහෙයුම් මධ්යස්ථානයක් බවට පරිවර්ථනය වී තිබුනු අතර එහි සකස් කරණ ලද ප්‍රථම ආහාර තොගය අප වෙතට එවන්නට එච් ආර් මිසීලා කටයුතු කර තිබුනි. අප කැළණියට එන්නට සැරසෙත්ම ගෙවල් අසල කිහිප දෙනෙකුද තමන්ට හැකි පමනින් පිසූ ආහාර සකස් කර දුන්නෝය. මේ සියලු අහාර වලින් තරමක ප්‍රමානයක්ද , බෙහෙත් හේත් වගයක්ද, පනගන්වන ලද පවර් බෑන්ක් කිහිපයක්ද  අපගේ ප්‍රථම සැපයුම් තොගය සමන්විත විය. අප ගෙන ආ විශාල ප්‍රමානයේ ජල මුද්‍රිත ඩ්‍රයි බෑග් වල අසුරාගත් අප නමෝ විත්තියෙන්කයාකය දියත් කලෙමු!

ඉදිරියේ පදින්නේ පසිඳුය. මා පසුපස අසුන ගෙන සිටියෙමි. මා කලින් පෝස්ටුවක ලිව්වාසේ පසුපස අසුන ගන්නේ වඩාත් පලපුරුදු යාත්‍රිකයාය. පසිඳුත් මමත් කයාකින් පිළිබඳව ඇත්තේ සමාන පලපුරුද්දක් වුවත් ඔහු මාගේ වයසට ගරු කලා විය හැක. සමහර විට මාතුල තිබෙන ගඟ කියැවීම පිළිබඳව ඇති පරිචයට අවස්ථාවක් දුන්නා විය හැක. ඔහු කිසිදු දිනෙක එයට අභියෝග කොට නොමැත. මා ඒ පිළිබඳව මෙහිදී ඔහුට හිස නමා අචාර කරමි.

මෙම පාළම හා පංසල අසලදී ගංගාව වක්‍රව ගමන් කරයි. කොටින්ම විසල් වංගුවකි. පිටාර ගැලූ විට ගඟට  වංගු අමතකවේ.  කොටින්ම ගඟ; ට්‍රැෆික් ලයිට්, සුදු ඉරි , ඩබල් ඉරි , කහ ඉරි නොතකා පාරෙ දුවන දේසපාලුවන්ගේ ඩිෆෙන්ඩර පේලියක් මෙනි.  එය වංගු කෙළින් කරමින් ගලයි.

ගඟේ වතුර වැඩිවීම සමග කැළණි ගඟේ වම් ඉවුර බොහෝ සෙයින් යටව ගොස්‍. අංගොඩ ,මුල්ලේරියාව , හිඹුටාන ,ගොතටුව වැනි පෙදෙස් සියල්ලම වාගේ යටව ගොස් ය! මෙසේ ගඟේ කැළණියට ඉහලින් ඉවුර මතට ගලන මහා ජල කඳ වම් ඉවුර මතින් ගඟට සමාන්තරව ගලා එයි. මින්  කොටසක්  අඹතලේ පාර ඔස්සේද ඉතිරිය  අඹතලේ පාරත් ගඟත් අතර ඇති නිම්නය හරහාද ගලයි.



පාළම වම් පස ඇති ප්‍රජා ගොඩනැගිල්ල. ඈතින් වොලි බෝල් පිටිය පෙනේ. 
ගං වතුර මෙම ගොඩනැගිල්ල වහලය තෙක් ගිලගෙන සිටියේය.
අනුග්‍රය ඩෙමා   

ගං වතුර නැති අද වැනි දවසක ඔබ මෙම පළමු සිව්මංසලේ සිට දෙවන පාළම මතින් ගමන් ගත්හොත් වම්පසින් ; ගොඩනැගිලි ,වොලිබෝල් පිට්ටනියක් සහිත පහත් බිම දක්නට ලැබේ . 
එසේම දකුණු  පසින් පෙනෙන්නේ ලවල් කැලයකි .එහි ජලාශ්‍රිත ශාක වර්ගයන් ගෙන් පිරුනු පරිසර පද්ධතියකි. 

මෙවන් පරිසරයක් මතින් ගමන් කිරීම අනතුරු දායකය. මන්ද හදිසි යේ වතුරට බසින්නට සිදුවුව හොත් එය කැලයක් මතට පැරශුටයකින් බහිනවා හා සමාන වනබැවිනි. එසේම යාත්‍රාව හිර වීමටද වැඩි ඉඩ කඩක් පවතී. 

එම පාළමේ  යට දාරයට අඩියක් පමන යටින් ගැලූ ජලස්කන්ධය මේ සියල්ල සඟවා ගෙනය!  


  නො වසී නම් පාලමේ වම් පස. මේ අද උදේ!
  අනුග්‍රය ඩෙමා 

  පාළමට ඉහලින් වූ තැනිතලා ප්‍රදේශ්‍ හරහා ගැලූ ජල කඳට බාධක පැවතියේ අවමමට්ටමකය .
 මේ නිසාම පාළම තෙක් අන්ඩව ගලන මෙහි දරුණු හැඩ පහරක් නිර්මානය වී තිබුනි.  

හැඩපහරක් හරහා යාත්‍රාවක් ගෙනයාමේදී හැඩ පහරේ මුරණ්ඩු ගතිය ක්ෂය වීගිය; වඩාත්  පහතින් ඇති පථයක් තෝරා ගැනීම බුද්ධි ගෝචරය . එහෙත් පාළමට ඉහළින් නොඑසේනම් වම්පසින් ගමන්කරද්දී ; හැඩ පහරේ නිවීගිය කලාපයකින් එගොඩ  වීමට යාමේදී ගමන් මාර්ඝය නොඑසේනම් පථය සැකසෙන්නේ පාලමට ආසන්නවය.

යම් හෙයකින් හැඩ පහරට අසුව ගසා ගෙන ගියහොත් නතර වන්නේ පාළමේ  ගැටී හෝ පාළම යට සිරවීමෙන් ය

ඒ නිසාම හැඩ පහරට මුහුණ දෙන්න අප තීරණය කලෙමු.


ඉහත සිතියමේ කොල වර්නයෙන් ; කඩ ඉරි වලින් දැක්වෙන්නේ හැඩ පහරට එදිරිව කයාකය යාත්‍රා කල යුතු ගමන් මාර්ඝයය.


මේ නිසා හැඩ  පහරට සමාන්තරව  එයට ඈතින් හා එයට එදිරිව තරමක දුරක් ඉහලට  ගමන්කොට  හැඩ පහරට හසුනොවී හරවාගෙන හැඩපහර සමග පැමින එගොඩ වීම කල යුතුව ඇත.

 මේ කාරණය මා තව ටිකක් ඉහිල් කොට ලියන්නම්. 

ඔරුවක් හෝ කයාකයක් ගඟක් හරහා ගමන් කිරීමෙදී  පලමුව තමා සිටිනා ඉවුරට ආසන්නව මද දුරක් ඉහල බලා ගඟේ හැඩපහරට එදිරිව ගමන් කරයි. 

මාගේ " ගඟක් දිගේ ගිය ගමනක් 8" දැක්වෙන පරිදි ගඟක ජලයේ උපරිම වේගයක් ඇත්තේ එහි මැදය. මේ නිසාම අයින දිගේ ඉහලට ගමන් කිරීම එතරම් අපහසු කට යුත්තක් නොවේ.  තම සිටිනා තැනින්  කොපමන දුරක් ඉහලට ගමන් කරනවදැයි තීරණය වන කරුණු කිහිපයකි.

1. ගඟේ හැඩ පහරේ වේගය.
2. ගඟේ පළල
3.මෙගොඩ දැනට සිටින ස්ථානයට සාපේක්ෂව එගොඩ  විය යුතු  ස්ථානය.(එනම් ඍජුවම ගඟේ අනෙක් පසටද, තරමක් පහලින් පිහිටි ස්ථානයකටද නො එසේ නම් සාපේක්ෂව ඉහලින්  පිහිටි ස්ථානයකටද යනවග.)
4.යාත්‍රාවේ විශාලත්වය හා හැඩය.
5.යාත්‍රාවේ මුළු බර.
6. යාත්‍රාවේ වේගය.


 අප මෙම මානුෂික ආධරද රැගෙන යාත්‍රාව දරුණු හැඩපහර සමග මුහුණට මුහුණ සටනකට සූදානම්ය. 
අන්තිම මොහොතේ වසික ලඟට ඇවිත් "අව්ලක් නෑ නේද ?" කියා ඇසුවේ  මට ඇති ආදරය නිසාම වෙන්න ඇති!
 මට මාව විශ්වාසය!  පසිඳු ගැනත් එසේමය! අපි දෙදෙනාට අපේ කයාකය සියල්ලටම වඩා විශ්වාසය.

 ඔව් වැඩේ දෙමු!

මම හබල ගෙන පසිඳු අත තැබිමි.

 "එළ!"

 මම ඉතිරි හබලගෙන කයාකය දියට තල්ලු කලෙමි.


වසික බංඩා ඩෙමා   ඇතුළු බොහෝ පිරිසක් අප දෙස නෙත් යොමා ගෙනය. හොඳින් කිටි කිටියේ බඳින ලද ඩ්‍රයි බෑග් සමග අප සෙමෙන් සෙමෙන් ගොඩ බිමින් නික්මුනි!

30 comments:

  1. කියවන්න කියවන්න ආස හිතෙනවා!

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි X 2 ! එකක් කියෙව්වට!! දෙක කොමෙන්ටුවට!!!
    දිගටම යන්න එන්න!

    ReplyDelete
  3. ඩෙමා දැක්කද මේක ? පිළිමේ වගේම තමා. ඉක්මනට ඉතුරු ටිකත් ලියපන් මචෝ.

    ReplyDelete
  4. ඩෙමාට මම වෙනම මේල් එකක් දැම්ම මේදෙක එල්ලලා! "අයියයි ඩෙමයි" කියලා කැප්ශන් එකක් එක්ක මූ මට කියනවා උගේ ඩෝප් වොයිස් එකෙන් "අපි ඒම තමයි.....!" කියලා. ඉතින් ඌත් එක්ක මොන කතාද කියපන්!

    ReplyDelete
  5. පලවෙනි එකට කමෙන්ට් කලාද කියල මතක නැහැ, ඒ කොටසත් මේ කොටසත් දෙකම කියෙව්වා...

    ඩ්‍රයි බෑග් ගන්න තියෙන්නේ කොහෙන්ද...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයි බෑග් ඉස්සර නම් තිබුනා තලවතුගොඩ හංදියේ තැනක . හොයාගන්න අමාරු නැහැ. හේමාස් හොස්පිටල් එක ඉස්සරහ උඩ තට්ටුවක. හැමැයි ඒක මේ තරම් කොලිටි නම් නැහැ. මට ලැබුනේ ඕස්ට්‍රේලියාවෙන්. වසික ඉන්නේ දැන් එහේ. ඔයාට ඕන නම් අහලා බලන්නම්. පසිඳුටත් කන්ටෑක්ට්ස් ඇති. මම අහලා බලලා ඔයාට දාන්නම්. බොහොමත්ම ස්තූතියි! දිගටම යන්න එන්න! "ගඟක් දිගේ....." බැලුවද? ඒකෙ ඉතිරියත් මේක ඉවක වෙලා පටන් ගන්න්වා. දිගටම එන්න.

      Delete
  6. සුපිරියටම ලියලා තියෙනවා.. ඔහොම යං , ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි , බැලුවටයි , කොමෙන්ටුවක් දැම්මටයි! ඔයා කොහෙද මේ කාලෙ ඉන්නෙ?

      Delete
    2. මම සෞදියේ මක්කමයි ජෙඩා අතර කෑම්ප් එකක ඉන්නේ...
      මේ දවස් වල වැඩ ටිකක් වැඩි..

      Delete
  7. අනුන්ට උන කරදරයක් තමන්ට උනා වගේ හිතන අය ඉන්න එකත් අපට ලොකු සතුටක්........

    ReplyDelete
    Replies
    1. අපි වගේ එක වැඩක් කරලා බෙර හතක් නොගැහුවාට ; වැඩේ කරලා සද්දෙ වහලා ඉන්න අය කොතෙක්ද? මේ බ්ලොග් එකට කොමෙන්ටු දාන තෙශාත් ඒ වගේ මම දන්න එකෙක්. මාත් එක්ක ළිං ඉහින්න ගිය සුමියාත් මාදන්න තරමින් සද්දෙට වඩා ඉදිරියෙන් වැඩ කරණ අය. මීතොටමුල්ලේ කුණු කන්දෙ සිද්දියේදී එතනට ගිය මුලම පස් හය දෙනා අතර ඌත් ඉඳලා තියෙනවා.බොහොමත්ම ස්තූතියි , බැලුවටයි , කොමෙන්ටුවක් දැම්මටයි!

      Delete
  8. සෑහෙන්න මහන්සිවෙලා තියනව උදව් කරන්න.ලියල තියන එක කියවන්න ලැබීමත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. අනේ පිළිවදන් සපයන්න පරක්කු උනාට සමාවෙන්න. ඉක්මනට අලුත් එක එල්ලන්න මහන්සි උනා.

      Delete
  9. මචං මල්ලි, උඹට කියන්නතියෙන්නෙත් ඉරොමනීට කියපු ටිකමයි! මේ අපි දන්න කියෝන උන්නේ. ඔය කිසිප පබ්ලිසිටියක් නැතිව වැඩ කරණ එවුන් කොතෙක්ද? මට මේ පාර ගං වතුරෙදි හමූනා රිටයර් වුනු බෑන්ක් ඔෆිසර් කෙනෙක් අඟුරුවතොටදි ; නම අලහකෝන් නිකම්ම අලහකෝන් නෙවෙයි මිස්ටර් අලහකෝන්! ඇත්තටම පුදුමාකාර විදියට කැපවීමෙන් වැඩකලා. විශෙෂත්වය තමයි ඒකට ගමේ නිනිස්සුන්ගෙන් ලොකු රිගාඩ් එකක් තිබුනේ නෑ. ඒත් එකම ජවයෙන් වැඩකලා අපි දකින තුරාවට! දැන් තෙශා - තෙශාන්ත මුල්කිරිගල හදන්න හදනවා මේ අපි වගේ ඇඟේ අමාරුව ත්යෙන එවුන්ගේ ඩේට බේස් එකක්. එතකොට ඒක ; කල හැකි දේ හා පලාත් බදව ෆිල්ටර් කරගත්තාම ඕන රටේ හදිසි තත්වයකදී මොනවා හරි දෙයක් කරන්නට හැකි වෙනවා සක්‍රීයව.( මොන ආණ්ඩුව තිබුනත්! අපේ පක්ෂය පිරිමි පක්ෂය නොවැ!!)

    ReplyDelete
  10. හොඳට විස්තර ඇතුව ඉන්ටරෙස්ටින් විදියට ලියල තියෙනව.
    ඉතුරු කෑල්ලත් ඉක්මනින් එනකල් බලා ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්ග ඔයා ගලේවෙල පැත්තෙද? මගේ යාළුවෙක් ඉන්නවා ගලේවෙල වීක්ලන්ඩ් බේකරියේ සුනන්ත කියලා.
      පහු ගිය අප්‍රේල් පලමු වෙනිදා ඔය හරහ ගියා සුපිරි ගමනක් අපි දෙන්නෙක්.ඒකත් ලියන්නම් ".........................! ............................!! කිලෝ මීටර් දෙසීයයි!!!" කියලා. (ඔයාට තමයි මුලින්ම කිව්වේ කාටවත් කට හොල්ලන්න එපා ඔන්න!)
      බොහොමත්ම ස්තූතියි කියෙව්වාට ; ලිව්වාට !

      Delete
    2. මම ‍ගලේවෙල නෙමෙයි ගොඩකවෙල ප්‍රසන්න.

      හොඳයි හොඳයි මම කට හොල්ලන්නෑ ඔන්න.

      Delete
    3. අනේ සොරි වෙන්න ඕන! මට ගලේවෙලයි ගොඩකවෙලයි ටැපලුනා! ඔන්න මම ඔයාට මුකුත් කිව්වේ නෑ ඕන්! එළ! එළ!!

      Delete
    4. මේ නයා ගොඩකවෙල සුපිරි වෙළදසැලේ අධිපති, ලදී සමුපකරෙට ගහක් පෙරළුවා,බඩු අඩුවට දෙනවා කියලා ..
      පසා ඊ මේල් එකත් මෙතනම පසිද්ද කොරන්ටද, පයිවෙට් එකේ ගල් බාගයක් දෙනවද????

      Delete
    5. සමූපෙට හිතාමතා ගස් ගල් පෙරලුවා නම් ඒක හොද මදි.

      Delete
  11. නාලාගිරියා ඇෆ්‍රො වෙලානෙ. :-D

    ReplyDelete
  12. සිරාවට ඕක එතන සීන් එක බලන්න ආපු සංජය බෙල්ලට්ඨිපුත්ථගේ අනු ගාමිකයකු ගත්තු එකක්. පොර ගාව සෙල්ෆියකුත් තියෙනවා පදිරි උනු නාලාගිරියා එක්ක ගත්තු!

    ReplyDelete
  13. අය්යේ ඔය කලනිමුල්ලෙන් එහාට තියෙන අඹතලේ පාරේ මම සමහර දවස් වලට එනවා. ගඟත් එක්ක බොහොම සමාන්තරව යන පාරක් .සාමාන්යෙන් වතුර අඩු දවස් වලට පාරට අඩි දහයක් විතර පහලින් වතුර යන්නේ .ගඟ ගැලුවම ඔය අඩි දහයත් උතුරලා තව අඩි පහ හයක් වතුර තියෙනකොට ගඟේ උඩහ කයාක් පැද්දා වගේ නෙමෙයි වෙන්න ඇති නේද ?ලොකු බෝට්ටු වලින් කරන වැඩ පොඩි කායක් එකෙන් කරපු ඕගොල්ලන්ට "මෙන්න මිනිස්සු" කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද ?

    ReplyDelete
  14. මල්ලි හැඩපහර ගැන තමයි කල්පණාවෙන් කටයුතු කරණ්න ඕනේ. ගැඹුර නම් අවුලක් නෑ. බොහොම ස්තූතියි. දවසක ඔයා එන්න කයකින් කරණ්න. එදාට ඔයාට තේරෙයි මේවා අතිශය සාමාන්ය දේවල් කියලා. ඔයා අර 'හම්බයන්ද....." පෝස්ටුව ශෙයර් කලාද බුකියේ? කොහොමද ප්‍රථිචාර?

    ReplyDelete
    Replies
    1. අය්යේ දවසක් අටං අය්යා කිව්වා වගේ කමෙන්ට් කරනකොට reply කරන්න .එතකොට ඔන්දස්පොට් අපි දන්නවා .නැත්තම් පොස්ට් එකේ හොයාගෙන යන්න ඕනේ .ඔයාගේ 'හම්බයන්ද....." පෝස්ට එක ශෙයා කරන්න අවසර දුන්නා කියලා දැන ගත්තේ දැන්. දැන් බුකියට දැම්මේ.සාමජිය වැදගත් දෙයක් බුකියේ කලාතුරකින් තමයි එහාට මෙහාට යන්නේ .කගේ හරි ඇහැක තියෙන පොල් කෙන්දක් දැම්මොත් නම් රස කර කර බුකියේ හිට් වෙයි .ඔන්න අඹ ගෙඩි ලංකාවේ සමාජ මාද්‍යයේ හැසිරීම ..
      බොහොම ස්තුතියි අය්යාගේ ආරාදනවට .එකෙන්ම එහෙම අත්දැකීමක් ගන්න කැමතියි .ගෙදර කැබිනට් එකට දාලා අනුමැතිය ගන්න එක තමයි පොඩි කොස්සකට තියෙන්නේ .(දන්නවනේ පව්ලක් පන්සලක් වුනාම තියෙන ප්‍රශ්න).......

      Delete
  15. අපිටත් ගෙවල් වල කේස් ඒකාලේ සුපිරියටම තිබුනා. ඒත් කාලයක් යනකොට එයාලම තේරුම් ගන්නවා අපි එයාලටත් වඩා "ආරක්ෂාව" කියන එක ගැන හිතනවා කියලා. එතකොට ගෙදර මායියා ඇතුළු පිරිසට විශ්වාසයක් ඇතිවෙනවා "මූ කොහේ ගියත තනි කෑල්ලට එනවා" කියලා. එතකොට ශේප්!

    ReplyDelete
  16. සුපිරි ඈ... පලවෙනි එකත් කියවලයි මේ ආවෙ...

    ReplyDelete
  17. බොහොමත්ම ස්තූතියි. විභාගය තියෙද්දිත් ආවාට! මොකද්ද ඔය සිරා විභාගෙ ? ඒකත් ඉතිහාසය හා සම්බන්ද එකද්ද?

    ReplyDelete
  18. Hi Manjula Ayya, Sorry comment delay unata. Last days wala accounts wada. Today evening the meeting was finished. great job ekkak karala thiyanawa. Highly appreciated. Apitath kathakara balanna.puluwan support ekak dennam. Habai Kayaki nam baha. When we will go to Huk?

    ReplyDelete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...