මා උසස් පෙල ලියා නිවසේ සිටින කාලයේ එක් දවසක; පියා; මා හමුව අලුත් අදහසක් සිතට එක් කලේය. "පුතේ! මොනවා හරි කෝස් එකක් එහෙම කරණවා නං හොයා ගන්න! මම සල්ලි දෙන්නං!"
එකල මමත් තාත්තාත් පමනක් නිවසේ තනිව විසූ කාලය විය.
අම්මා මිය ගොසින් ය. සොහොයුරාත් සොහොයුරියත් විවාහවී නිවසෙන් බැහැරවී ගොස්ය.
තවත් සතියකින් පමණ; තාත්තාම සොයා දුන් පත්තර කෑල්ලක තිබුනු "ඩීසල් මොටර් කාර්මික ඩිප්ලෝමාව" සඳහා මා ඉල්ලුම් පතක් තැපෑලට එක් කලෙමි.
කුඩා කල "රථ කල්කය" නියමිත මාත්‍රාවට; නිසි කලට ලබා දීමට බැරි වීමෙන් ජීවිත කාලය පුරාවට මා "රථ ගායෙන්" පෙලෙන බව තාත්තා පමණක් නොව අපේ සනුහරේ බොහෝ ඇත්තන් දන්නා කාරණයකි!
සති කිහිපයකින් මා හට ඉල්ලුම් පත්‍රයක් ලැබුනි. එය එවා තිබුනේ ශ්‍රී ලංකා ට්‍රැක්ටර් (නීතිගත) සංස්ථාවෙනි. සිංහලෙන් කියනවා නම් ට්‍රැක්ටර් කෝපරේශන් එකෙනි. ට්‍රැක්ටර් කෝපරේශන් එක මා හට අළුත් තැනක් නොවීය. පාසැලේ "මෝටර් කාර්මික ශිල්පය" උගෙන ගනිද්දී; වාහන වල කැටලොග් (සඟරා) ඉල්ලා ගැනීමට මම බොහෝ විට එයට ගොඩ වී ඇත්තෙමි.
ඒ කෙසේ වෙතත් ට්‍රැක්ටර යනු මගේ සිතේ මහත් විසල් කොටසක් හිමි කර ගත් මෙවලමකි. එයිනුත් මැසී ෆර්ගියුසන් 135 යන්ත්‍රයේ වූ "පිරිමි" හැඩය මාගේ ඉමහත් සිත් ගත් එකකි. මා මීට කලින් ලියා ඇති පරිදිම මම ජීවිතයේ මුල් වරට පැදවූවේද මැසි 135 කි! එය එකල අයත්ව තිබුනේ මාගේ පියා සේවය කල වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත්ව තිබුනු හබරණ, ගල් ඔය හංදිය අසල හතරැස්කොටුව ග්‍රාමයේ පවත්වාගෙන ගිය පැල තවානේය. අද එතැන ඇති මැසියක්, තවානක් තබා බෝඩ් ලෑලලක් වත් එය තිබුනු තැනක් වත් සොයා ගැනීමට නොහැක.
එම පැල තවාන පාලනය කලේ ධර්මරත්න නම් මහතෙක් විසිනි. එය ඉතාමත් විධිමත් ලෙසත් පිළිවෙලටත් පවත්වාගෙන ගිය බව තවමත් මතකය. (කථාවක් ගිය දුරක් නේද?)
ට්‍රැක්ටර් සංස්ථාවෙන් මා ලද අයදුම් පතද පුරවාගෙන ග්‍රාම සේවක (එකල සිටියේ ඒ අයය! අද ග්‍රාම සේවා නිළධාරී වූවාට!) ගෙන් චරිත සහතිකයක් ද රැගෙන එහි ලිපිනය සොයා පිටත් වුනෙමි.
මා එතෙක් ට්‍රැක්ටර් සංස්ථාවට කියා ගොඩ වැදී තිබුනේ; ගිණි නිවන හමුදා මූලස්ථානය අසල තිබුනු කාර්යාලයකට සහ මිහිඳු මාවත අසල තිබුනු පැරණි ගොඩනැගිල්ලට පමණි. මේ වන විට එය මෙතනට ගෙනැවිත් තිබුනි.එය විධිමත් ගොඩනැගිල්ලක් පමණක් නොව ගොඩ නැගිලි සංකීර්ණයකි. වැඩහල, ගබඩාව, කාර්යාලය, විකුණුම් අංශය ආදී එකී නොකී මෙකී සියළුම "ගිණි පෙට්ටි" එහි ස්ථාපිත කොට තිබුනි.
එහෙත් අභිනවයෙන් එය පිහිටා තිබුනේ නාරහේන්පිටින් නාවල පාරට හැරී පුංචි රේල් පාර පනිනවාත් සමගය. එතැනට ගේට්ටුවෙන් ඇතුළු වනවාත් සමග පේලියට නවතා තිබූ මැසී ට්‍රැක්ටර් පෙල දක්නට ලැබුනි. එතැනින් අපව දෙශණ ශාලාවකට රැස් කොට පාඨමලාව ගැන හඳුන්වා දී ඊළඟ සතියේ හෝ දෙකකින් වැඩේ ඇරඹුනි.
අප අවුරුද්දක පාඨමාලාවකට ඇතුලත් වුනෙමු. ඩීසල් එන්ජිමේ නිර්මාණයේ සිට ක්‍රියාකාරීත්වය දෝෂ වැනි සෑම දෙයක්ම පාහේ එහිදී අපට උගන්වනු ලැබීය. සෛධාන්ත මෙන්ම ප්‍රායෝගික කරුණු කාරණාද එහි උගැන්වුනු අතර ඒ සඳහා යොදා ගැනුනේ ට්‍රැක්ටර් එන්ජින්ම විය!
මෙහි වූ ආශ්වාද ජනකම සිද්ධිය වූයේ එතැන තිබූ රථ ගාලේ නවතා තිබුනු යෝධ ට්‍රැක්ටර් අතර කාලය ගත කිරීමට ලැබීමය. එකල මැසී 240 ට්‍රැක්ටර් මෙරටට ආ අලුත වාගේය. අළුත්ම අළුත් කිරි කිරි ටොයියා 240 අසලම යෝධ 275 ක් නවතා තිබුනි. එය එකල මෙරටට ආනයනය කොට තිබුනේ සීනි කර්මාන්ත ශාලාවකට බව කියැවිනි.
මේ 1988 -89 වසර විය යුතුය. වසරක පාඨමාලාව අවසන්වී අවසාන පරීක්ෂණයට පවා සහභාගී වූ මුත් මාහට එහි සහතික පත්‍රය ලභා ගැනීමට නොහැකි විය!
මන්ද ඒ වන විට මාහට රැකියාවක් ලැබී තිබුනු හෙයින් හා සහතික ප්‍රධානය කරණා දිනයේ මා රැකියාව සමග කාර්යබහුල වූ නිසා විය හැක.
කාලය ගෙවී ගියේය. අවසන් කල පාඨමාලාවේ සහතිකය ලබා ගැනීම දිනෙන් දිනම පහුවී ගියේය. තවත් කලකින් පැවති රජය මෙම ආයතනය; "ශ්‍රී ලංකා ට්‍රැක්ටර්ස්" නමින් අලුතින් බෞතීස්ම කලේය! විකිණීමට පුඹුරු පත් සකසන ඕනෑම ආයතනයකට මුලින්ම ගමන් ගන්නා මල් බයිසිකලය මෙම "බෞතීස්මය" යි.
2001 වසරේදී හරි අපූරු සිදුවීමක් සිදුවිය!
දිනය හරියටම කියනවා නම් 2001 සැප්තැම්බර් මාසයේ 10 වෙනිදා ය. එදින මම නාරහේන්පිට මෙම ආයතනය ඉදිරියෙන් ඇවිද ගියෙමි. කාලයකට පෙර ආඪ්‍යයව තිබුනු මෙම ආයතනය; ඒවන විට හුදෙක් පාළුවට ගිය ගොඩනැගිළි සංකීර්ණයකි. ඉදිරියෙ මහ ගේට්ටුව වසා කුඩා ගේට්ටුවක් තුලින් යාම් ඊම් කෙරිණි.
ආරක්ෂක නිළධරයෙක් යැයි සිතිය හැකි අයෙකු ඉදිරියේ කුඩා කුටිය තුල සිටියේය. ඔහුද බොහෝ සෙයින් ජරා ජීර්ණ වී සිටියෙය. "ගෙදරක ඉදිරියේ සිටින බල්ලා; ගෙදර පදිංචිව ඉන්නා අයගේ චර්‍යාවන් විදහා දක්වයි!"
"මේක වහලාද?"
"අවුරුදු ගානක ඉඳන්!"
"වැඩ කරපු අය?"
"වන්දි අරං අස් උනානේ! කීප දෙනෙක් ඉන්නවා අන්න අර කෙරෝලේ කාමරේ! කාව හම්බෙන්නද?"
මට ඒවන විට හමුවීමට කෙනෙකුගේ නමක් කියන්නට නොතිබුනි. එහෙත් එය ඇතුලට ගොස් ඉන්නා අය සමග කථා බස් කොට දුක සැප බෙදා ගැනීමට මට සිත් විය. එය අතීතකාමයට වඩා ඒ ගැන සිතමින් ශෝකී වීමට තිබුණු අවශ්‍යතාවය විය යුතුය.
ඒ සමගම මාගේ මනසට හේතුවක්ද ගලා ආවේය.
"මට සහතිකයක් ගන්න තියෙනවා!"
"අනේ මංදා! ගිහිං බලන්නකෝ!"
මම කොරිඩෝරයක් දිගේ ඇවිද ගියෙමි. පසු කරණ සෑම කාමරයක්ම වසා දමා තිබුනි. බොහෝ කාමර වට කොට තිබුනු වීදුරු ඇතුලතින් පත්තර කොළ අලවා ඇතුලත නොපෙනෙන සේ ආවරණය කර තිබුනි.
ඒ සෑම කාමරයක්ම පිළිබඳ යාන්තම් හෝ මතකයක් මාහට තිබුනි.
මෙම පේලියේ නොවුනත් එක් කාමරයක සිටි සුන්දර යුවතිය මාහට තව මත් හොඳින් මතකය. ඇය කාර්යාලයට ඇන්දේ විචිත්‍ර සාරි වූ අතර කොන්ඩය බොහෝ සෙයින් රැලි ගැසුණු කොටට කැපූ එකක් විය. කොන්ඩයෙන් ඇය "සායි බාබාගේ නංගී" යැයි අනුමාන කල හැකි විය. ඇය නමින් සුජීවා විය. වරක් ඇයව 155 ගල්කිස්ස කොට්ටාව බසයකදී දුටු බවක්ද මතකය. ඇය සේවය කලේ අපගේ පාඨමාලා භාර කළමණාකරු සරත් විමලසූරිය (සරත් විමලසූරිය මහතාගේ නම සඳහන් කරණ්නේ මාගේ මතකයෙන් සහ මා ලඟ ඇති කුඩා මූලාශ්‍රයකපිහිටෙන්) මහතාගේ පුද්ගලික ලේකම්වරිය ලෙසිනි. අපට බොහෝ කටයුතු සඳහා ඇය හා සම්බන්ධ වීමට සිදුවූ අතර; නව යොවුන් වියේ සිටි අප එම "සම්බන්ධයෙන්" සියුම් සතුටක්ද නොලැබුවාම නොවේ!
"සුජීවා මිස් කොහේද දන්නෑ!?" මා මගෙන්ම ඇසුවෙමි.
කොරිඩෝරයේ ඇවිද යන ගමන් නිකමට මෙන් මා ආපසු හැරී බැලුවෙමි.
ගේට්ටුවේදී හමුවූ අය ඉනට අත තබාගෙන මා යන දෙසම බලා ගෙනය.
ඔහු අතින් මාහට ස්ංඥාවක් කරමින් විය.
"ඉස්සරහට යන්න ! දිගටම යන්න!!" එහි අරුත වන්නට පුළුවන.
මා කෙළවරේ කාමරයට ලං වත්ම ඒ තුල කිසිවෙකු හෝ සිටිනා බවක් එළියට දැනුනි.
මා කාමරයට පිවිසෙනවාත් සමග එය තුල මේසයක් පසුපස අසුන්ගෙන සිටි මැදි වයස පසු කල අයෙක් හිස ඔසවා බැලීය.
"මොකටද දන්නෑ . . . !?" ඔහු එසේ විමසනවාත් සමගම එතැන සිටි එක් කාන්තාවක් සහ තවත් අයෙක්ද මා දෙස හිස ඔසවා බැලුවෝය.
"ට්‍රැක්ටර් කෝපරේශන් එකෙන් මෙච්චරද ඉතුරු!?" මට ඇසුනේ ඉබේටම වාගේය. එහෙත් එයට නිසි පිළිතුරක් මා නොලැබූ අතර තව දුරටත් මුව අයාගෙන සිටින; මාහට කථා කල අයට මා දෙන්නට පිළිතුරක් සොයන්නට විය!
"ඔය මහත්තයා ඇයි ආවේ . . ?" දෙවෙනි වර ඔහු අසනවාත් සමග මා පියවිසිහියටත් පිළිතුරකින් සමන් විත වීමත් විය.
"මහත්තයා මම මෙහේ තිබුනු ඩීසල් මෝටර් ඉන්ජිනියරිං ෆස්ට් බැච් එකේ කෙනෙක්. මට මගේ සර්ටිෆිකේට් එක ගන්නට බැරි උනා! ඒක ගන්න පුළුවන්ද කියලා බලන්නයි ආවේ!?"
"අවුරුදු කීයක්ද . . ? මෙච්චර කලක් ඇයි ආවේ නැත්තේ . . . ? ඒ කාලේ හිටපු ට්‍රේනිං මැනේජ්මන්ට් එක දැං ඇත්තෙත් නෑ. ද්ං ඉන්නේ මං! මම බලන්නම් ඔයාගේ නමක් වත් ඒ ලිස්ට් එකේ තියේද කියලා . . . . . ඔයාගේ වෙලාවට තිබුනොත් බලමු මොකක්ද කරණ්නේ කියලා. කොහොමත් සර්ටිෆිකේට්ස් නම් තියෙන්නේ රෙකොර්ඩ් රූම් එකේ. ඒක වහලා . . . !"
"නිකං ඉන්න මගෙන් අහල ගියත් මොකෝ !" කියා කියමනක් ඇත. මම මේ ආවේ මගේ අතීත ස්මරණ පොලිෂ් කර ගන්නට විනා වෙන අවශ්‍ය තාවයකට නොවේ. එහෙත් මාගේ තාත්තා බැරි අමාරුවෙන් උපයා සපයා ගත් මුදලින් මා වසරක් පුරා හැදෑරූ පාඨමාලාවේ සහතික පත්‍රය ලබා ගැනීමට නොහැකි වීම හුදෙක් මාගේ වගකීමක් නැති කමද, වටිනාකමක් නැතිකමද, කියා මටම සිතා ගත නොහැක. එම නොසැලකිල්ල මගේ සිතට; කිසිදා කිසිම හේතුවකින් සාධාරණය කර ගැනීමට නිහැකි එකකි!
මාගේ ජීවිතයේ බොහෝ බොහෝ කාරණා සම්බන්ධයෙන් මේ ගුණාංගය දක්නට පුළුවන. එය මා දුටු අනෙක් චරිතය වන්නේ චින්තන ජයසේන පුවත් පත් යෝධයා ය! ඔහුද මහන්සියෙන් උඩ නග්ගන සරුංගලය නූල කඩා අහසේ පාවෙන්නට යනු බලා සිටිය හැකි අයෙකි.
ඒ කෙසේ වෙතත් පසුගිය වසර ගණනාව තුල ඔය සහතිකය පිළිබඳ මතකය නිරන්තරයෙන් මාගේ සිතට වද දුන්නේය. සෑම කාලයකදීම එය අනාගතයට කොටින්ම "හෙටට" අයත් කාරණයක් ලෙස කල් දැම්මා විනා කල දෙයක් නොමැත.
රජයේ රැකියාවක් කල මාගේ පියා එකල මේ සඳහා ගෙඩි රුපියල් 4000ක් හෝ 6000ක් වියදම් කල බව මට මතකය. මාගේ තාත්තා සේවය කලේ රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් ලෙස නොවේ. හේ සේවය කලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේය.
ඔහු උඩරට පහත රට මෙන්ම වන්නි හත් පත්තුවේද් කැලෑ තුල සේවය කල අයෙකි. වෙනත් රැකියාවල මෙන් "දුෂ්කර සේවය" කියා වෙනසක් එහි නොවීය. දුෂ්කර නොවන සේවා කැලෑ වල කොයින්ද?
අප තිදෙනෙක් හට ඉගෙනීම ලබා දුන්නේද ඇන්දුවේද කැව්වේද නිවසක් ඉඳි කලේද එතුමාගේ තනි පඩි පතිනි. මාගේ මතක ඇති කාලයක මාගේ මව රැකියාවක් නොකලාය. එහෙත් තාත්තා ගෙන එන සොච්චම නිවැරදිව කළමණා කරණය කර ගැනීමට ඇය උපන් හපන්නියක් වූවාය. මව තැපැල් ස්ථානාධිපති වරියක් වුවත් ඒ පිළිබඳව මතකයක් ලෙස ඇත්තේ ඇගේ රැකියා ස්ථාපිත ලිපිය පමණි!
තාත්තාගේ වසර 35ක පමණ සේවා කාලය තුල දෙවරක් වැඩ තහනමට ලක් විය. ඉන් පලමු අවස්ථාවේදී ඔහුගේ වැටුප් මුළුමණින්ම නවතා වසර 5 කට ආසන්න කාලයක් පැවතුනි. ඒ කාලය තුල ඔහු අප වෙනුවෙන් බොහෝ දුක් පීඩා වින්දේය. තාත්තා මෙම පාඨමාලාව සඳහා මුදල් ලබා දීමේදී කවර විදියේ කැපවීමක් කරණ්නට ඇත්දැයි මා සිතීමට නොපෙළඹුනේ එය ම හද මහත්සේ පාරණ කාරණයක් වූ බැවිනි!
අද අහම්බෙන් හෝ මා එළඹී ඇත්තේ ඒ පිළිබඳව යන්තමින් හෝ උත්සාහ කිරීමටය.
මා සිතුවිලි අතර සැරිසරණාතරතුර ඔහු එතැන තිබුනු ලී අල්මාරියක් ඇර ලිපි ගොනුවක් දිග ඇරියේය. ෆූල්ස් කැප් කොල කිහිපයක් ඒ තුල අමුනා, නවා එම ෆයිල් කවරය තුල සතපවා තිබුනි.
"ෆස්ට් බැච් එකේ අයගේ නම් මෙතන තියෙනවා. ඔයා කලේ ඉන්ග්ලිශ් මීඩියම්ද සිංහල මීඩියම්ද . . ?
"ඉන්ග්ලිශ් මීඩියම් . . !"
ඔහු ලිපි ගොනුවේ කඩදාසි ආපිට පෙරළමින් දිගැති කඩ දාසියක් මතු කර ගත්තේය!
ඔහුට කලින් මම මාගේ දෙනෙත් ඉහල සිට පහලට දිව යැව්වේය.
"මායා දුන්න" හරි මායාදුන්න කියන්නේ අපේ ඉස්කෝලේ අපිත් එක්ක මේ කෝස් එක කරපු එකෙක්. උගේ නම මට මතකය. මේ සොයා ගෙන ඇත්තේ නිවැරදි ලැයිස්තුවයි! "දෙයියනේ මොන කරුමයකට හරි මගේ නම මේකේ නොතිබ්බොත්!" මගේ සිත මටම මුර ගාමින් විය.
"මොකක්ද ඔයාගේ නම . . ?"
"මංජුල . . ශ්‍රීනාත් . . පෙරේරා . .!" මම; ඒ වන විට මා මගේ පසුම්බිය ඇද අතට ගෙන තිබුනු ජාතික හැඳුනුම් පත මේසය මත තබා මාගේ නම පැහැදිළිව නවත්වමින් පැවසීය.
"හරි මේ තියෙන්නේ . . !"
"මංජුල ශ්‍රීනාත් පෙරෙරා" දෙයියනේ මගේ නම ලැයිස්තුවේ ඇත. එවිට ඔහු එම නම ඉදිරියේ තිරස් අතට ඇඟිල්ල ගෙන ගියේය!
"අන්තිම කාලේ වැඩිය ලෙක්චර්ස් වලට ඇවිල්ලා නෑ වගේ!" එහි තැනින් තැන වූ බිංදු අසලින් ඇඟිල්ල ගෙන යමින් පැවසීය.
"ආ හරි ඔයා ෆයිනල් එග්සෑම් එකත් කරලා තියෙනවා. මේ එන්ජින් තියරි වලට වෙරි ගුඩ් පාස් එකකුත් අරං තියෙන්නේ . . !?" ඒ සියල්ල එම ලැයිස්තුවේ සඳහන් වී තිබුනි.
"හරි සර්ටිෆිකෙට් එක අරං නෑ තමයි! ඇයි ගන්න ආවේ නැත්තේ රට වත් ගියාද?" මාහට ඉඩ ලැබුනේ හතරට පහට ඇඹරෙන්නට පමණි.
"වෙනින් දවසක ඇවිත් වත් ගන්න පුළුවන්ද?" මම ඔහුට නැඹුරු වී සෙමින් ඇසීය. මේ මා ඉදිරියේ ඉන්නේ මා අතින්; මාගේ නොසැලකිළිමත් භාවය නිසා ගිලිහී ගිය අතීතය නැවත එක්කාසු කොට' මා අත ඇzති ෆයිල් කවරයක් තුලට දැමිය හැකි ඉෂ්ඨ දේවතාවාය!
"පුතා! ඒවා ශුවර් නෑ! අපිත් මේකට හෙට එයිද නැද්ද කියන්නත් බෑ!! හෙට වෙන කොට මේ බිල්ඩිම වත් තියෙයිද කියන්න බෑ!!!" ඔහු බර සුසුමක් හෙළමින් ප්‍රකාශ කලේය.
"සර්! දැන් මොකද්ද මේකට කරණ්න පුළුවන්! මට සර්ටිෆිකට් එකක් අද ගන්න බැරි නං ලියුමක් වත් දෙන්න බැරිද?" මම බොහෝ ගරු ගාම්භීරව ඇසීය.
"ඔව් එහෙම එකක් කරණ්න බලමු! මිස් ලෙටර් හෙඩ් එකක් අරං මේ ළමයට මෙන්න මේ ටික ටයිප් කරලා දෙන්න! . . . . . . . . . . This is to certify that . . කියලා මෙයාගේ නම දාලා . . . has followed the Diploma in Diesel Motor Engineering Technology . . . . . . . . කියලා ලියුමක් ගහලා දෙන්නකෝ! ඔයා අන්න අර මිස්ට ඔයාගේ නම හරියට දෙන්න . .! . . . . . . . . . . . . " ඔහු කියාගෙන කියා ගියේය..
"සර් ඕකට දාන්න පුළුවන්ද මට එන්ජින් තියරි වලට වෙරි ගුඩ් පාස් එකක් තියෙනවා කියලා . . .!?" මම බැගෑපත් ස්වරයෙන් ඇසීය!
"ඔව් ඔයාට ඒක වැදගත් නම් අපි ඒක දාලා දෙන්නම්! ඒක බොරුවක් නෙවෙයිනේ . . මිස් මේ ටිකත් දාන්න . . . . . .He has obtained a very good pass in Engine Theory at the final Examination . . !
මගේ වසනාවට එදා එහි සිට ඇත්තේ ට්‍රැක්ටර් සංස්ථාවේ (පසු කලෙක ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ් වූ) අවසන් Training & Technical Development Manager ජී. ඒ. මාකෙවිට මහතාය. ලිපිය ලබා අගත් පසුව ඔහුට හා අනෙක් අයට බෙහෙවින් කෘතඥවූ මා එයින් පිටවිය.
"තව මොනවා හරි තොරතුරක් ඕනෑ වුනොත් මට කතා කරණ්න. එතැන සිටි එකම කාන්තාව වූ මංගලිකා මහත්මිය ඇගේ නිවසේ දූරකතන අංකය මාහට නිර්ලෝභීව ලියා දුන්නීය!
මේ පහලින් ඇත්තේ එම ලිපියයි. ජීවිතයේ සතුටින්ම සිටි දවසක් ලෙස එදින මාගේ මතකයේ අදටත් පවතී.
මෙම ලිපිය ලැබී කාලය සෙමෙන් ගෙවී ගියේය. ඒ ගෙවී ගිය කාලය තුල මෙම ලිපිය මා එකසිය එක් වතාවක් බලන්නට ඇත. එය ඒ තරම්ම ජීවිතයට වැදගත් එකක් විය. කාලාන්තරයක් අත හැරී තිබී; සතුවූ වස්තුවක් විය. වසරින් වසර ගෙවී ගොස් 2006 වසරේ අවසාන කාර්තුවට ලඟා විය. මේ කලය වන විට යටි සිත නැවත මුර ගාන්නට විය.
"ලියුමක් තිබුනාට සහතිකයක් නෑනේ! පාඨමාලාවකට පසු අත ඉතිරි විය යුත්තේ සහතිකයක් විනා ලිපියක් නෙවෙයිනේ . . !" මේ යටි සිත මාහට කෙඳිරූ අයුරුය!
මා හට දැන් අවශ්‍යව ඇත්තේ සහතිකයක්ය. එසේම එය හොර සහතිකයක්ද නොවිය යුතුය! මා හට මරදානේ ඇවිද සහතිකයක් කොයි ලෝකෙන් හෝ ගසා ගැනීමට හැකියාවක් ඇති වුවත් මට ඇවැසි වූයේ එවැන්නක් නොවේ! මට අවශ්‍ය වූවේ "ජෙනුයින් සර්ටිෆිකේට්" එකකි!
එහෙත් ගතවූ කාලය තුල; පැවති රජයයන් විසින්; ට්‍රැක්ටර් සංස්ථාව දියකොට හැර තිබුනි. එය පෞද්ගලික අංශයට විකුණා දමා දමා තිබුනා පමණක් නොව එය මිළදී ගත් මුදලාළිලා එහි ඉඩ කඩම් ගැන උනන්දු වූවා මිස මෙරටට ට්‍රැක්ටර් ගෙන්වා විකිණීමක් කිරීමට උනන්දුවී නොතිබුනි.
කලකට පෙරට මෙරට දිවුනු මැසි ෆර්ගිසන්, කුබෝටා (මට මතක ඇති පරිදී ඉසෙකි ) යන්ත්‍ර ගෙන ආ ආයතනය හුදෙක් නිශ්චල දේපලක් පමණක් වී තිබුනි.
ඒ වන විට මා ඩිප්ලෝමාව අවසන් කොට වසර 17ක් ගත වී ඇත. ට්‍රැක්ටර් සංස්ථාවක් ඒ වන විට නැත!
එය මිළදී ගත් ආයතනය ලෙස වෙනත් පෞදගලික සමාගමක නමක් කියැවුනි. මා එම ආයතනය සොයා බොහෝ වාර ගණනාවක් ගිය පසු; එම ආයතනයේ සේවය කල එක් නිළධරයෙකු; ඒවන විට වසර දහයක පමණ කාලයක් වසා දමා තිබුනු කාර්යාලයක් ඇර පෙන්වීමට පොළඹවා ගැනීමට මාහට හැකිවිය.
"ඔරීමජිනල් සහතිකයක් මා කෙසේ හෝ ලබා ගනිමි' යි මා ස්ථිරව අධිෂ්ඨානය කර ගත්තෙමි. මේ ලෝකේ කොහේ හරි ඔරිජිනල් සහතිකයක් ඇතොත් මම එය සොයා යා යුතු මය! මම මටම නියෝගයක් පනවා ගත්තෙමි.
එක්සෙ නසුරාදා දිනෙක මම නාවල වසා දමා තිබුනු ඉස්ටෝරු සංකීර්ණයකට ගියෙමි. එහි සිටි ආරක්ෂක නිළධරයා හමුවීමත් සමග ඔහු දූරකථනයෙන් පෙරකී අයව සම්බන්ධ කරගත්තේය. පසුව ඔහු එකල එනම් ඊට වසර ගනනාවකට පෙර ආයතනයේ කාර්යාලය ඇර පෙන්වීමට කැමති විය.
"මේකේ තිබුනු ඔක්කොම ලිය-කියවිළි තියෙන්නේ මෙන්න මේ කෑල්ලේ!" ඔහු දොරක් අබියසට ගොස් පැවසීය. මකුළු දැල් වැහුණු දූවිලි පිරුනු දොර ඇරීමට ගියෙමු!
අප මකුළු දැල් පිරුණු දූවිල්ලෙන් වැසී ගිය දොරක් අභියස සිටියෙමු. ආරක්ෂක නිළධරයා අත යෝධ යතුරු කැරැල්ලකි. ඔහු එහි වූ යතුරු එකින් එක දමා දොර අරින්නට උත්සාහ ගනිමින් විය.
"දැන් මේක ඇරියත් ඔහේගෙ ඔය ගත්තෙ නෑ කියන සහතිකේ මේකෙ කොහේ තියෙනවද නෙවෙයි තියෙනවාද කියලාවත් කවුද දන්නේ? මේ ඉස්ටෝරුවේ වහලෙ දෙපාරක් හැදුවා. තිබුනත් දැන් තෙමිලා විනාස වෙලා ඇති!" ඔහු මාගේ සිත පාරවමින්; යතුරු කැරැල්ලේ තවත් යතුරක් යතුරු සිදුර ඇතුලට දැමීමට උත්සාහ කරයි.
"මගුල! මේවා අරින්න බෑ අප්පා; මළකඩ කාලා!" මගේ ඇඟේ ගෑවී නොගෑවී යන පරිද්දෙන් නිළධර තොමෝ යතුරු තහඩුවට දෙස් දෙවොල් තියමින්ය.
"තාම උදේට කාලත් නෑ! මේවට කවුරු හරි එවන එවුං දැන ගන්න ඕන !" ඔහු ඔහුගේ බැරි අමාරුකමින් වටේටම පහර දෙමින් සිටියේය.
"අයියේ මේ සහතිකෙන් මගේ මුළු ජීවිතේම වෙනස් කරණ්නටපුළුවන් එකක් අයියේ! ඔයාට මේකට පොඩි වෙලාවක් මහන්සි වෙන්න නං වෙයි! මම මේ මේකට මහන්සි වෙන්නේ අවුරුදු ගානක ඉඳන්!" මම ඔහු අමතා කීවෙමි.
ඒ වැකිය ඔහුට පැවසූ මාගේ බිඳුණු ස්වරය ඔහුගේ හදවතේ ගැඹුරුම තැන ඇනෙන්නට ඇති! ඔහු මද වේලාවක් මාගේ මුහුණ දෙස බලා සිටියේය.
"ඔව් නේද!? හරි බලමුකෝ !" ඔහු බොහෝ සෙයින් වෙනස් වී ගිය බවක් පෙණුනි. "දොර ඇරීම හා මාගේ සහතිකය සොයා දීම" යන කාරණය ඔහුගේ කාර්යයක්, යුතුකමක්, සද්ක්‍රියාවක්, පිංකමක් ලෙස ඒත්තු ගැන්වීමට මාගේ වදන් පෙළ සමත් වී තිබුනි.
මා එකල විශ්වාසකල ලෝකයේ පවතින- නොපවතින, දෘෂ්‍යමාන - අදෘෂ්‍යමාන, මිය ගිය මාගේ ආසන්නතම ආදරණීය වස්තුව "අම්මා" මේ සියළු දෙනාහට මා නිහඬව මගේ දුක කීවෙමි. "අනේ මේ දොර ඇරෙන්න! ඇරලා දෙන්න!!" එහෙත් අවසානයේ ඒ මොන බලවේගයකටවත් දොර ඇරීමට නොහැකි විය!
"අනේ දෙයියනේ . . . !" මට කියැවිනි.
"පොඩ්ඩක් ඉන්න තව යතුරු දෙක තුනක් බෙලෙක්කෙක දාලා තිබ්බා . . .!" ඔහු නැවතත් මාගේ බලාපොරොත්තුවේ නිවී යන්නට සූදානම් වූ පහනේ තිරය සකසා තෙල් ස්වල්පයක් එක් කලේය.
මා ඔහු පසු පසම; ගේට්ටුව අසල කුඩා කුටිය වෙත ගියෙමි. මේසයක් යටින් ඔහු සාමාන්‍ය තරමේ මලකඩ කා දුර්වර්ණ වූ විස්කෝතු ටින් එකක් එළියට ගත්තේය.
"මෙතන නැත්නං මට කරණ්න දෙයක් නෑ! මට පුළුවං උපරිමෙං මම කලා . . . . !"
"ඔව් මම දන්නවා අයියේ! මොනා කරණ්ණද . . !?"
අප ආයෙමත් පා ගමනින් පැරණි ගබඩා කාමරය අසලට කිට්ටු කලෝය. ගබඩාව පිහිටියේ හිස් බිමකට මුහුණලා ය. එහි පසෙක පහලින්ම අතු විහිදී ගිය අඹ ගසෙකි. එහි දිගු සෙව නැල්ලක් පොලොව මත පතිත කරමිනි. ගොඩ නැගිල්ල ඉදිරියේ වූ හිස් බිම් කඩේ තැනින් තැන උස් තණකොල පඳුරු වැවී තිබුනි. එහෙත් අපගේ ගමන් මග විහිදී තිබුනේ දූවිළි පිරුණු නිරුවත් පස් බිමක් මතය!
ගබඩාවේ ඉදිරි දොර කොටස් හතරකින් සමන් විත විය. එහි ප්‍රධාන කොටස ඇරීමටයි අප මෙතෙක් මහන්සි වූයේ. එය වසා දමා හිර කරගෙන සිටි යෝධ ඉබ්බා; "ආ! වරෙල්ලකෝ බලන්න ආයෙ . . !" කියමින් ඔරවාගෙන සිටියේය.
දොර ඇර පෙන්වීමට මා සමග ආ ආරක්ෂක නිළධරුවා යතුරු බෙලෙක්කය බිම තැබීමට සූදානම් වන විට මම ඊට ඉඩ නොදී අල්ලා ගත්තෙමි.
"දෙන්න අයියේ . . !"
මොනවා කලත් එම දොර ඇරීමට ඒ කිසිදු යතුරකට නුපුළුවන් විය.
"කරුමෙ අයියේ . . !" මම ඔහුට කීවෙමි. මා වට පිට බලන විට මෙම මහ දොරට ලම්භකව එලියට නෙරා ආ ගොඩ නැගිල්ලේ කොටසක තවත් කුඩා දොරක් දක්නට ලැබුනි.
"අයියේ අර දොර ඇරගෙන ඇතුලට යන්න පුළුවන්ද දන්නෑ නේ . . ?
"අනේ මංදා මේක නිකං වංක ගිරිය වාගේයි . . . බලමු ඒකත්!"
ඔහුට කලින් මා එතැනට අඩි කිහිපයකින් ළඟා විඅය! මාගේ අතවූ බෙලෙක්කයේ පතුලේ ඒ මේ අත විසිරී තිබුනු යතුරු කිහිපය ගෙන එකින් එක අගුලට දමා කරකැවීමට උත්සාහ කලෙමි.
ඔබ පිළිගන්න දෙවෙනි තෙවෙනි උත්සාහයේදී අගුල ඇරුනි!
"මං කිව්වේ . . මෙතන ඕකේ යතුර තියෙනවා කියලා . . !" ඔහු තම වෘථීය ඥානය මා ඉදිරියේ ගෙන ඇර පෑවේය.
මා දොරේ අගුල ඇරියත් දොර ඇරියේ නැත. එය ඇරීමට ඔහුට ඉඩදී පසෙකට වූයෙමි. ඒ ඔහුට ගෞරවයක් ලෙසය! (පිස්සු මනස් ගාත!)
ආරක්ෂක නිළධරයා දොර ඇර ඇත්ලට ගියේය. මමද ඔහු පසු පසින් වැටුනෙමි. ශාලාවේ පසක තොනී ලෑලි වලින් වෙන් කල කුටිඅක් විය. එහි දොර ඇර තිබුනු අතර එය මුළුමණින්ම ලිපි ද්‍රව්‍ය වලින් පිරී තිබුනි. විශාල ලිපි ගොනු එහි පීත්ත පටි වලින් ගැට ගසා තිබුනි. පීත්ත පටි සකස් කොට තිබුනේ යතුරු ලියන තීන්ත රිබන් වලිනි. ඒවා රතු පැහැයෙන් හා කළු පැහැයෙන් ෆයිල් කවර වතා දරණ ගසාගෙන සිටියෝය!
"ඔන්න ඔතන බලන්න! තියෙන මගුලක් ඔතන තමයි! නැත්නං නෑ! ඔයාට තියෙන්නේ ඔය ප්‍රෙස් එකකට ගිහිල්ලා කීයක් හරි දීලා සහතිකයක් ගහ ගන්න!" මම ලිපි ගොනු එකින් එක ලිහා බලද්දී ඔහු පසු පස සිට උපදේශනයක යෙදෙමින්ය. ඒ අතර ඔහු අසල වූ මේස ලාච්චු ආදිය එකින් එක ඇර බැලුවේ ඔහුටත් යමක් වෙත්ද කියා විය යුතුය!
දෙවෙනි තෙවෙනි ලිපි ගොනුව මේසය මතට ගෙන ලිහා බලන විට බිම තිබුනු ෆයිල් කන්ද යට වූ එක් කවරයක් අතරින් එලියට පැන තිබුනු කහ පැහැති කාඩ් බෝර්ඩ් මිටිය මා දුටුවෙමි. මා සියල්ල නවතා දමා එම ලිපි ගොනුව සීඋවට අතට ගෙන ඩිග ඇර බැලුවෙමි.
මා එතෙක් සොයා ආ වස්තුව එහි විය! ඔව් කිසිවක් නොලියන ලද සහතික මිටියක් එහි විය.
"අයියේ මේ තියෙනවා . !" මට කෑගැස්සිනි.
"ගන්න ගන්න එකක්! ඔයාගේ නම තියෙනවාද?"
"නෑ මගේ නම තියෙන මගේ සහතිකේ හොයන එක ලේසි වෙන්නේ නෑ! අවුලක් නෑ මට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්!"
ඔහු මගේ අතින් සහතිකය ගෙන දෙපැත්ත බැලුවේය. "අයියෝ මේකටද මේ මැරුණෙ!? මේක සටස් ගාලා ගාලා දෙයිනේ ප්‍රෙස් එකකට ගියා නං!" ඔහු කීවේ එලෙසින් ය. ඔහු එය නොසැලකිළිමත්ව ඇල්ලූ තැන ඔහුගේ දූවිළි වැකුණු ඇඟිළි සටහන සහතිකයේ රටාවක් ඇඳීය. මා නැවතත් ලිපි ගොනුවට නැඹුරු වී අලුත් නොයිඳුල් සහතික කන්‍යාවක් ගෙන එතැනින් පිටත් විය.
දැන් සහතිකේත් හරිය! එහෙත් එහි කිසිවක් ලියා නැත. අත්සන් නැත. කොටින්ම හොර මුද්‍රණාලයකින් ගසා ගත් සහතිකයකට වඩා මෙහි ඇති සුවිශේෂී අලබෝලයක් නොමැත. පලමුව මා දැන් කල යුත්තේ මාගේ නම මෙහි මුද්‍රණය කර ගැනීමය!
ඊට මා උදව් කර ගත්තේ මාගේ සොහොයුරියයි. ඇය එකල ජා ඇල ඒකල යූනියන් කාබයිඩ් සමාගමේ සේවය කලාය. (මේ වන විට එයද වැසී ගිය කර්මාන්ත ශාලාවකි!) ඇය කාර්යාලයෙන් සහතිකය මත මාගේ නම කොටා ගෙනැවිත් දුන්නීය.
තෙවැනි ක්‍රියාන්විතය ඇරඹුනේ ඉන් පසුවය. මෙම සහතිකයේ ට්‍රැක්ටර් සංස්ථාවේ එවකට සිටි සභාපති, සාමාන්‍යාධිකාරී සහ පුහුණු කළමණාකරු යන තිදෙන අත්සන් කල යුතු විය. මේ වන විට මා සමග මෙම පාඨමාලාව කල කිසිවෙකු පිළිබඳව කිසිදු ආකාරයේ සම්බන්ධයක්ද නොමැති විය.
දැන් තව අත්සන් තුනක් මා සොයා යා යුතුය! වසර ගණනාවකට පෙර වැළලුනු අතීතයක් සොයා යෑමට යලිත් මා පටන් ගතිමි. මා මෙවර අමන් ඇරඹුයේ දෙහිවලිනි. ඒ මාකවිට මහතාගේ කාර්යාලයේදී තම නිවසේ දූරකථන අංකය ලබා දුන් මංගලිකා මහත්මිය හමුවීමෙන් ය. ඇය "සරත් විමලසූරිය" (සරත් විමලසූරිය මහතාගේ නම සඳහන් කරණ්නේ මාගේ මතකයෙන් සහ මා ලඟ ඇති කුඩා මූලාශ්‍රයකපිහිටෙන්) එනම් එවකට මාගේ පුහුණු කළමණාකරුගේ නිවෙස තිබෙන ඉසව්ව පිළිබඳව ඉඟිය දුන්නීය.
"එයා හිටියේ රත්මලානේ සිරිමල් උයනේ" මට පාර නම් හරියට මතක නෑ! ඔයා පොඩ්ඩක් ඒ පැත්තේ ගිහිං බලන්නකෝ.!' ඇය කාරුණිකව මා හට කීවේය.
"තාම ජීවත්ව ඉන්නවා ඇතිනේ . . ?"
"ඔව් වොව් තාම ඉන්නවා . . .!' ඇය සිනහ වෙමින් පැවසීය.
සිරිමල් උයන යනු මීට වසර ගණනාවකට පෙර ජනාවාසයක් නැතහොත් ජනපදයක් වූ විසල් බිම් කඩකි. එයට ඇතුළු වීමට අත්තිඩිය පාරෙන් හා ගාළු පාරෙන් මාර්ග තිබුනි. අත්තිඩිය පාරත්, ගාළු පාරත් ටෙම්ප්ලර්ස් පාරත් අතර මැද මෙම ප්‍රදේශය පැතිර තිබුනේය. මෙම ප්‍රදේශය පුරාවට විහිදී තිබුනේ මල් වල නම් වලින් හැඳින් වුනු මාර්ග පද්ධතියක්ය. උපුල් මාවත, සමන් මාවත, නෙළුම් මාවත ආදී වශයෙන් වූ නෙක පුෂපයන්ගෙන් එම ප්‍රදේශය පිරී තිබුනි.
මා රත් මලානට ගොඩ බැස්සේ දිවා කල ගෙවී යාමත් සමගය. දහවල් එකේ දෙකේ සිට පලාතේ කොනක සිට සෑම පාරක් පාරක් ගානේ මා "සරත් විමලසූරිය" සොයමින් ඇවිද්දේය. කාලය ගෙවී යමින් ය. දැන් වේලාව සවස 6.00 පසුවී ගොස්ය. සිරිමල් උයනේ එක් කෙළවරක ටෙනිස් පිටියක් (හෝ බැඩ්මින්ටන් පිටියක්) විය. ඒ අසල සිටියේ තුවා කරේ දා ගත් යොනෙක්ස් කොට කලිසම් හා ටී ෂර්ට් ඇඳගත් සුදු ක්‍රීඩා සපත්තු ලාගත් එක විදියක පිරිසකි. මා සෙමෙන් සෙමෙන් එතැනට කිට්ටු කලෙමි.
"මහත්තයා මේ අර . . . සරත් විමල . . ." මට කියා අවසන් කරණ්නට ලැබුනේ නැත.
"ආ! පොඩ්ඩක් ඉන්න දැන් මෙතැනට එනවා . . !"
තවත් විනාඩි ගණනකි එතැන පසෙකි නැවැත්වූ මෝටර් රියකින් සරත් විමලසූරිය මෙලොවට සැපත් වුනි.
"අර එන්නේ . . . !" එතැන සිටි අයෙකු මට ඉහුව දැක්වීය. එසේ නොකලානම් එකවර මට ඔහුව හඳුනා ගැනීම පහසු වන්නේ නැති තරම් ය. වටා පිටාවේ අඳුර, කාලය, ඔහුගේ ඇඳුම ආදී සියල්ල ඊට හේතු විය.
"සර්! . . . . මම . . !" කථාව මුල සිට පැවසීමි! නළල රැලි කරගෙන සිනහ මුසුව ඔහු ඒ සියල්ල අසා සිටියේය විමතියෙනි. මාකෙවිට මහතා මා අතට පත් කල ලිපිය මාගේ කථාවට මහත්වූ පිටුවහලක් සැපයූවේය!
"ඔයා මාර මනුස්සයෙක්නේ . . . . !" ඔහු සහතිකය ගෙන ඔහුගේ මෝටර් රිය වෙතට ගොස් Manager Training සන් නාමය ඉහලින් අත්සන් කර දුන්නේය.
"සර් චෙයාමන් සර්ගෙයි ගෙනරල් මැනේජර සර්ගෙයි අත්සන් ගන්නේ කොහොමද . . . ?"
"ආ! ඉන්න මම ඒක කරලා දෙන්නම්! මම ලියුමක් ලියලා දෙන්නම් ඔයා ගිහින් මිස්ට අමර සිංහව හම්බෙන්න! එයා දැණ් ඉන්නේ කැළණියේ " . . . ." කම්පනි එකේ! එයා උදව් කරයි අනිත් අත්සන ගන්න!"
සරත් විමලසූරිය මහතාට ලිපියක් ලිවීමට කොල කැබැල්ලක් සොයා ගැනීමට අපහසු නිසාදෝ; මාකවිට මහතාගේ ලිපියේ පසු පස ඔහු සටහනක් තැබීය.
සරත් විමලසූරිය මහතාගෙන් මා සමුගෙන පියවර කිහිපයක් ඉදිරියට ඇවිත් ආපසු හැරී බලනා විට ඔහු අනෙක් පිරිසට මා පෙන්වමින් රසවත් කථාවක් කියන්නට පටන් ගෙන තිබුනි!
පසුදිනම මා අමරසිංහ මහතා මුණ ගැසී සහතිකය මත අත්සන තබා ගත් අතර ඔහුගේ මග පෙන්වීමෙන් නුගේගොඩදී අවසන් අත්සන නොබෝ දිනකින් ලබා ගෙන සහතිකය සර්ව සම්පූර්ණ කර ගත්තෙමි!
ජීවිතය එසේය!
මුළු මහත් ජීවිතය පුරාවටම යන බස් එක පසු පසින් දිව ගොස් පස්සා දොරින් එල්ලුනු මා හට මෙය අමුත්තක් නොමැත!
මේවා සියල්ල ජීවිතයේ පසු කල ආ මං පෙතේ සළකුණුය.
ඉන් පසු 2007 සිට පුරා වසර 12කට ආසන්න කාලයක් මා ජීවත් වූයේ එම සහතිකයේ පිහිටෙනි. යුනයිටඩ් මෝටර්ස් ආයතනයට ගොඩවීමට මාහට දොර හැරුනේ එළෙසින් ය!
දුක් මහන්සියෙන් හරි හම්බ කල දේ දුන් තාත්තාට කිසිදා ඒ සහතිකය දැක ගැනීමට බැරිවිය. තාත්තා කිසිදා මගෙන් "කෝ කරපු කෝස් එකේ සහතිකේ . . ?" කියා විමසා නොතිබුනි! මා එය තාත්තාට කිසිදා නොපෙන්නූ බව මතක් උනේ අද මා මෙය ලියන මොහොතේය! මා කෙතරම් අකාරුණික පුතෙක් ද?