Thursday, March 23, 2023

255. අරළු බුළු නෙල්ලි


එවකට මාගේ පියා සේවය කලේ හතරැස් කොටුවේය. හතරැස් කොටුව යනු හබරණ පසු කොට ත්‍රිකුණාමළය මාරගයේ ගිය විට හමුවන කුඩා මංසංධියකි. මෙම ස්ථානයෙන් මින්නේරිය දෙසට කුඩා මාර්ගයක් ඇරඹෙන අතර එම මාර්ගයේ මද දුරක් ගිය විට පරසිදු ගල් ඔය දුම්රිය මංසංධිය හමුවේ.

පියාගේ නිල නිවස පිහිටා තිබුනේ මහා මාර්ගයට තරමක දුරිනි. 

එම ස්ථානයේ තවත් නිල නිවාසයක්, වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත් කුඩා කාර්‍යාලයක්, එම දෙපාර්තමේන්තුවටම අයත් පැල තවානක්, කුඩා කඩයක් හා සිංහල බෙහෙත් බඩු කඩයක් හා එම ස්ථානයේම බෙහෙත් කරණා වෙද මහත්තයෙකුද වාසය කලේය.

මෙම බෙහෙත් බඩු කඩයේ තිබූ අරුම පුදුම නම් සහිත ආයුර්වේද බෙහෙත් වර්ග මට තාම මතකය.

කර්කටක ශ්‍රිංගි

ගල් මද

ගල් නහර

. . . . . . . . . 

. . . . . . . . .  .

දිනක් මාගේ මව මෙම බෙහෙත් බඩු කඩය වෙත මා යොමු කලේ කසායක් කිරා ගෙන ඒමටය.

"කසායක් කිරණවා" යනු කසායේ බෙහෙත් ද්‍රව‍ය හෙවත් බෙහෙත් බඩු වෙළෙඳ සලෙන් මිළදී ගැනීමයි.

මා එහි යන විට වෙද මහත්තයා තවත් අයෙකු සමග බෙහෙත් හේත් වල ගුණ අගුණ ගැන තරමක දේශණයක් පවත්වා ගෙන යමින් විය.


"ඔය තිපලා කසාය . . . ඒ කියන්නේ අරළු බුළු නෙල්ලි ගැන වෙද පොතේ ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

අරළු බුළු නෙල්ලී - කෙනෙක් ඇවිදින් ඉල්ලී

තලා හිස ගැල්ලී - දුවයි හිස රද හෙල්ලි හෙල්ලී . . .

 කියලයි!"

එය හරි අපූරු කවියක් විය.

එවන්ම වූ කවියක් මාහට මතකයේ ඇත. එය වෙද ගැටයකි! එය මාහට කියා දුන්නේ මගේ අම්මාගේ පියා වන දොන් රිචර්ඩ් සෙනෙවිරත්න මහතාය.

"මගුලේ යන අය දැකලා - කුඹුරේ මඩ කලල් කලා

වැස්සට පිණි දිය හිඳලා - පොළොං විශට නස්න කලා . . "

මගුලේ යන අය - මගුල් කරඳ පොතු

කුඹුරේ මඩ - කුඹුරු ඇට

වැස්සට පිණි දිය - මුත්‍රා වලින් අඹරා

පොළොං විෂට නස්න කරණ්න!


ඇහෙන ඕනෑම දෙයක් මතක හිටින කාලයක් ජීවිතයට එක් වතාවක් දෙවතාවක් පැමිණේ. සමහරුනට ඒ මතකය ජීවිත කාලයටම පවතී.

මා හට මතක ඇති සමහර කරුණු කාරණා එසේ මතක හිටියත් අධ්‍යාපනික කරුණු මතක තබා ගැනීම උගහට විය.

(කරුමෙක මහත!)

මා වරක් ලියා ඇති පරිදි "කලාව" යන කාරණයට හිත ඇදී යැවීම ඇරඹුනේද එවන් කවි මතකයක් සමගය. 

ඒ මාගේ පියා සමග සේවය කල ඩේවිඩ් මහතා නිසාය.

(මේ පිළි බඳව මා කලින් ලියා ඇති වගක් මට මතකය!)

ඩේවිඩ් මහතා යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි එකම "නොබොන" චරිතය හෙවත් නිළධරයා විය යුතුය!

අපේ නිවසේ පැවැත්වූ තාත්තාගේ මධුපානෝත්සවයකදී එතුමා මාහට මුණ ගැසුනේය.

එවකට මා පාසලේ හතේ පංතියේ පමණ විය යුතුය.

තාත්තා ඇතුළු පිරිස මධුපානයෙන් සංථර්පණය වෙද්දී ඊට මෙහායින් හුදෙකලාව ඩේවිඩ් අංකල් වාඩිවී සිටියේය.

නිවස තුල ඒ මේ අතට දුව පණිමින් සිටි මා දුටු ඔහු; තමා වෙතට කැඳවා ගත්තේය.

"පුතා කවි කියවන්නේ නැද්ද?"

"කියවනවා . . !" (ඇයි පාඩම් පොත්වල තිබුනු කවි කොයි තරම් කවි අපි කියවන්න ඇත්ද?)


"චූටි කුරුල්ලනි චූටි කුරුල්ලනි කිචි බිචි ගා ඇයි ඉගිලෙන්නේ

ඉක්මන් කරලා අත් තටු ගහලා කොහෙදෝ මේ ඉගිලී යන්නේ"


"අන්න අන්න සීගිරී - කන්ද පේනවා දුරින්

වට්ටි වට්ටි මල් අරන් - ඉන්නෙ ඇයිද දෙව් ලියන්"


"මෙහෙම කලක් ගත උනේය - මහළු පියා ලෙඩ උනේය

අවසානය ලං උනේය - එවිට තුන් දෙනා


පියාගේ  . . . . . . .  - ඇඬුවෝ පාදෙක අල්ලා

එවිට පියා හිස සොල්ලා - මෙහෙම පැවසුවා


දරුවණි මා මිය ගිය කල - අයිති වන්න නැත දේ පොල 

එහෙත් නිදානෙක සුල මුල - සිහියට ආවා


මගේ ගොවිපොලේ නුඹලා - අඩියක් යට බිම කොටලා

පස පෙරළා බලපල්ලා - කියා ගොළු උනා"


"මා වැනි බිලින්දා

වර වර ළඟට කැන්දා

දුක් සැප කුමන්දා

අසන නිරිඳෝ වෙන කොයින්දා"


"රෝස මලේ නටුවෙ කටූ

වන බඹරෝ ඔහොම හිටූ

නටුව නොවෙයි මල සිඹිමී

මම ළමයෝ පැණි උරමී"


"මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ 

පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතූ

නංගිටයි මටයි - ගෙඩි දෙකක් ඇතී

වැඩිය කඩන නරක ලමයි වෙමු නොවේ අපී"


"අම්බලමේ පිනා පිනා

වළං කදක් ගෙනා ගෙනා

ඒක බිඳපි ගොනා ගොනා

ඒකට මට හිනා හිනා"


"වැල වරකා - කයි හරකා

ඒත් නොකයි - මීහරකා"


මම ඩේවිඩ් අංකල්ට කිව්වේ බොරුවක් නොවේ! මේ හැම කවියක්ම පාහේ; එකල හොඳින් මතක තිබුනි.

"පුතා කවි ලියන්නේ නැද්ද?"

"මට බෑනේ!"

"උත්සාහ කරණ්න! කවියක් ලියන්න පුළුවන් කෙනෙකුගේ හදවත මලක් වගේ!"

ඔහු මට කීවේය. "හදවත" කියන වචනය එකල අපට බර වැඩි වචනයක් විය.  ඒත් එහි අදහස හදවතේ යටටම කා වැදී ගියේය.

"පුතා ඒකාලේ මම හැම ගණිත සූතරයක්ම මතක තබා ගත්තේ කවියෙන්"

"අනේ අංකල් කියන්න්කෝ!"


"පෙරටුව විසම වූ චතුරස්සරය හදා

සමතර දෙපාදේ එකතුව දෙකට බෙදා

එහි උස නැමැති ගණිතෙන් වැඩිකෙරුම සදා

නිමකල විටදි ලැබදෙයි වග පමන උදා"


මෙවන්වූ අතිශය සුන්දර  තවත් කවියක් ඩේවිඩ් මහතා මා සමග කී නමුදු එය දැන් මතකයේ නැත.


"දොයි දොයි දොයි දොයිය බබා - බයි බයි බයි බයිය බබා


අතට වෙරළු ඇහිඳ ගෙනේ - ඉනට පලා නෙළා ගෙනේ

බරටම දර කඩා ගෙනේ - එයි අම්මා විගසකිනේ


ඔන්න බබෝ  ඇතින්නියා - ගල් අරඹේ සිටින්නියා

ගලෙන් ගලට පනින්නියා - බබුට බයේ දුවන්නියා


නුඹෙ අම්මාත් ඉතා කලුයි - නුඹෙ අප්පාත් ඉතා කලුයි

නුඹ නළවන මාත් කළුයි - නුඹ විතරාක් තළ එළලුයි


පුතේ නුඹේ ලොකු අම්මා - අතේ වළල්ලක දැම්මා

නැතේ ඇගේ එහි  නිම්මා - පුතේ නාඩ නිදියෙම්මා"


උත්පත්තියේ සිට කවි කියන; ජාතියකට අප උරුම වී ඇත. 

මගේ ආදරණීය අම්මා මාහට කී කවි මාහට ඇසුනු බව මට මතක නැතත් ඒ නැලවිලි කවිය මාහට මතක ඇත.

එය ලේ වලක කිඳා බැස ඇත.

වසිකවත් කල්මී වත් මා නැලෙව්වේ එම කවියෙන්මය.

මේ කවි ලිව්වේ කවුරුන්ද?

පබැදුවේ කවුරුන්ද?

මතක තියාගන්න අපට බල කලේ කවුරුන්ද?

එහෙත් ඒ කවි අපට මතක ඇත!


මීට කලකට පෙර වියෝ වූ ඇස්. කරුණාදාස දෙනිපිටියගේ "කරුණාදාසගේ සිනා රැල්ල පොතේ එන දෙබසක් මාගේ මතකයට එයි.

"ඒ කාලේ අපිට කවි පාඩම් කෙරෙව්වේ බොරළු ගොඩේ දණ ගස්සලා"

"එහෙම පාඩං කපු කවියක් කියපංකො බලන්න"

"පාඩං කරවපු හැටි මතක උනාට කවි මතක නෑ බං!"


කවි වල හැටි එහෙමය!

බලෙන් පාඩම් කල ඒවා අමතක වූවාට ආසාවෙන් කියැවූ ඒවා මතකයේ ඇත.

"ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්

කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්

සාදු කාර දී ඔරුවක නැගී වරෙන්"


"තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කකනවා

කටුකැලේ ගාලෙ නොලිහා වද දෙනවා

හපුතලේ කන්ද දැකලා බඩ දනවා

පවුකල ගොනෝ ඇදපං හපුතල් යනවා"


පාලින්දගේ පියා වන සේන අශෝක පෙරෙරාට කවි සම්මේලනයක් විවෘථ කරණ්නට අවස්ථාවක් ලැබුනේලු. 

එහිදී ඔහුට සම්මේලනය විවෘථ කිරීමේ පලමු කවිය කියුආ පාන්නට සිදුවී ඇත.

"කවි සම්මේලනය  - කවි සම්මේලනය"

පලමු පදය සාර්ථකව ගැට ගසා ගත්ත මුත් දෙවෙනි පදය ඒ තරම් පහසුවකින් එළියට නො ආවේය.

"කවි සම්මේලනය - කවි සම්මේලනය . . . . "

ඉතිරිය නොලිව්වාට හිතාගන්නට පුළුවන් විය යුතුය! තෙවැනි හා අවසන් පදය ලෙසටත් "කවි සම්මේලනය - කවිසම්මේලනය" කියා ඔහු වේදිකාවෙන් බැස්සාලු!


මේ හා සමාන අවර ගනයේ කථාවක් වේ.

"අංගම්මන සුමන - අංගම්මන සුමන" නම්වූ නම් දරාපු කවියයි.

අංගම්මන පිහිටා ඇථ්තේ රත්නපුර නගරයෙන් පිටමං වූ වහාම පැල්මඩුල්ල දෙසට වන්නටය.

මෙම ප්‍රදේශයේදී ප්‍රදාන මාර්ගයෙන් හැරෙන මාවතක් දක්නට හැක.

ඒය "සුමන හිමි මාවතයි!"

එකල දැන් මෙන් නොව දෙශපාලන වේදිකාවටද කවිය නැතිවම බැරි වූ අංගයක් වී ඇත.

සෝමවීර චන්දරසිරි කවියා වරෙක වේදිකාවට නගිද්දීම විරුද්ධ වාදීන් පිරිසක් වෙතින් ලැබුනේ හූ සංග්‍රහයකි.

එයින් නොසැලුනු කවියා මයික්‍රෆෝනය ගෙන හූ කියන ලද පිරිස ඇමතූවේ කවියකින්මය.


"මිනිහෙකු උපන්නොත් නරියෙකු හට දාව

 ඔහු හට  උරුම වෙන්නේ උපතින් හූව

මිනිසුන් වෙලත් අද ඔබ මට හූ කීව

අම්මා ලඟට ගොස් මකවාපන් හූව"


මෙහි ඇති සුන්දර බව වන්නේ උත්පත්තියෙන් සිදුවන්නාවූ වරද නිවැරදි කර ගැනීම මව වෙතින්ම විය යුතු බව; හිටිවන කවියට නැංවූ ආකාරයය.


ඒ මනමාලිය කැඳවාගෙන යාමට ගිය මනමාලයා හට "නැකත් පත" අමතක වීමෙදී කියැවුනු කවියද මෙවන්ම වූ සුන්දර ද්පැත්ත කැපෙන කවියකි.


මෙවන්ම වූ අන්දරේගේ කවි, ගජමන් නොනාගේ, රංචාගොඩ ළමයාගේ, පැල් කවි, ආදර්ශ කවි කොතෙක් නම් අප මතකයේ වෙත්ද?

මේ සියල්ල මතක සිටියේ කෙසේද?


අරළු බුළු නෙල්ලි යොදා පත අට එකට සිඳුවා සාදන කසාය ට අනුපාන සේ එක් කරණ්නේ මී පැණිය, සූකිරිය


ජීවිතය අරළු බුළු නෙල්ලි සේ දැනෙනා විට අනුපාන වන්නේ මී පැණි සූ කිරි වන් කවි ය! 

(මේ සියල්ල මා ගොනු කලේ මතකයෙනි! සදොස් තැන් නිදොස් කල මැන!)

Monday, March 20, 2023

254. මව්බිම වටා සයිකලයෙන් . . . 10

248. මව්බිම වටා සයිකලයෙන් . . . 9

 2022/04/17

අනේ මේ පැය 2 විනාඩි 17 යි කියන්නේ
කාර් එකකින් මිසක සයිකලේකින් නම් නොවන බව 
තේරුම් ගන්න තරහ අවසර!


මාගේ සයිකල් පාඨකයින් බලනවා ඇති අපි රට වටා ගමන  යාපනෙන් නවතා; සයික්ලෙත් පටවා ගෙන බස් එකක වත් නැග්ගාද කියලා. ඒ තරම්ම කල් ගියා. මොකද පහු ගිය දවස් වල තේරුමක් නැති දේවල් වලට බොහෝ කාලයක් වැය කල හෙයින්. 
අපි කඩවතින් පිටත් උනේ දින දොලහකින් ලංකාව වටේ ගිහින් එන්න උනත් වසිකගේ පැමිණීම නිසාම ගමන දින දහයකින් නිමා කරණ්නට උත්සාහයක යෙදෙමින් සිටින බව ඔබට මතක ඇති!
ඉතින් තව ඉතිරිව ඇත්තේ දවස් දෙකයි දින දහයට! ඒ වගේම නැවතුම් දෙකයි. ඉන් පලමු වැන්න මන්නාරම.
දැන් එහෙනම් යාපනේ ඉඳන් A9 පාරේ පහලට ඇවිත් නාවක්කුලි හංදියෙන් බෙදිලා සංගුප්පිඩි (සංගුපිටිය පාලම ඔස්සේ මන්නාරමට යන්න පිටත් වෙමු. 
පෙරදින රාත්‍රිය ගතකල නවාතැන්පොල පිළිබඳව මා නොලියන්නට සිතා සිටිමුත් වචනයක් දෙකක් නොලීවහොත් එය අඩු පාඩුවකි. එය OYO කළමණාකාරිත්වයෙන් පාලනයක් ලෙස; ඉදිරියේ වූ පුවරුව දැනුම් දුන්නේය. එය තුලට ගොස් පලමු මිනිත්තු කිහිපය ගෙවී යද්දීම එම පුවරුව අටවා තිබුනේ OYO  කළමණාකාරීත්වය සමග පරණ කෝන්තරයකට දැයි සිතෙන තරම් ආශ්චර්‍යයකින් සිත වෙලා ගත්තේය. කාමර කිහිපයක් සහිත විශාල නිවසක් වූ එය පිහිටා තිබුනේ මදුරු හැචරියක් මැද්දේය.
සුවිශේෂි විශාලත්වයකින් යුතුවූ කාමරය තුල තබා තිබුනු ඇඳට ගොඩවූ විට දැනෙන්නේ; නිවසක මැද සාලයේ නිදා සිටිනා අයුරකි. ඒ කාමර එතරම්ම විශාල විය!
නාන කාමරය කලුවර ගුහාවකි.
එහි සවිකොට තිබුනු කුඩා විදුලිපහනේ එලියෙන් තමන්ට තම නාසය අල්ලා ගැනීමට වත් ප්‍රමාණවත් නොවීය.
එදින රාත්‍රිය බොහෝ දිගු එකක් විය. බොහෝ රෑ වනතුරු; කොටින්ම මධ්‍යම රාත්‍රිය ගෙවී යන තුරුත් මා අවදියෙන් විය. උදෑසනින් අවදිව ගමන පිටත්වීම මරන්නට ගෙන යාමක් ම විය. කෙසේ වෙතත් අප අද දිනය තුල මන්නාරමට යා යුතුය. දින දහයකින් ගමන අවසන් කලයුතුය. වසික පැමිණ දින ගනනාවක් ගෙවී ගොසිනි. මේ සියළු සිතුවිලි සමග නවාතැන්පලින් ඉක්මණින් පිටත් වුනෙමු. 
මන්නාරම පිළිබඳව; බුකියේ මොනතරම් කවි ගී ලියවුනද; "මන්නාරම" කියූ සැනින් සිතට එන්නේ කරවල හාල්මැස්සන්ය! ගීතයක් ලෙසින්ද මතකයට ගලා එන්නේ "මන්නාරම් පිටි වැල්ලේ . . . . ." ය. මේ සියලු කරුණු කාරණා සමග සිතට දැනෙන්නේ යාපනයද දෙවෙනි වන ඉරුගේ ගිණි කණට අප පාත්‍ර වීමට නියමිත බවකි. මේ නිසාම; මුලතිව් සිට යාපනයට පිටත්වූ ලෙසින්ම; අප දිනය ඇරඹූවේ උදෑසන 5.30ට ය.
යාපනයේ මාර්ග ජනශූන්‍ය බවක් ඉසිලීය. පෙරදින වැටුනු පින්නෙන් හෝ පොද වැස්සෙන් මාර්ගය යාන්තමින් තෙමී තිබුනි. මුලතිව් සිට පිටත් වීමේදී නොතිබූ විදුලි පහනක් අද කොයින්ද? අද දින ද පිටත්වුනේ අනුන්ගේ පහනින් එළිය බලමින්ය. (ඔව්! බනින්න එපා; ඒක මගේ අත්වැරැද්දක්!)
A9  මාර්ගයෙන් (යාපනය - මහනුවර මාර්ගය); A32 මාර්ගයට (නාවත්කුලි - කාරතිව් මන්නාරම ප්‍රධාන මාර්ගය) හැරුණු පසු මාර්ගය තරමක් පටු බවක් ඉසිලීය. කාපට් ඇතිරූ සුපිරි මාර්ග වල ඈතින් ඇතින් පිහිටා තිබුනු පහන් කනුවල ආධාරයෙන් අප ඉදිරියටඇදෙන්නට පටන් ගතිමු. සිසිල් සුළඟක් ගත උදාසීන කරමින් ඇදීගිය උදයේ ඈතින් ඈතින් ඇසෙන සුන්දර; ඉංදියානු නාද ස්වරම් හා තවිල් බෙර නද ඇසෙද්දී අප යාපාපටුනෙන් ඈතට පැද ගියෙමු. 
ඒ වන විට කුමන හෝ කාරණයක් කරණකොට ගෙන මා මදක් නැවතුනු අතර  නිශාන්ත මා වෙතින් ඈතට ගමන් කොට තිබුනි. කළාමැදිරි එළියක් හෝ පැවතුනේ නිශාන්තගේ සයිකලයේ පමණි! මා කරුවලේම ඉදිරියට ඇදුනෙමි. 
උදෑසන සයිකල පැදීම හෝ වෙනත් ශාරීරික ක්‍රියාන්විතයක් ඇරඹි මොහොතේ පටන් උපරිම කාර්‍යක්ෂමතාවයකින් කටයුතු කෙරෙන්නේ හෝ කරන්නේ නැත. එන්ජිමක හෝ ශරීරයේ ක්‍රියාකාරී උෂ්නත්වයට පත්වන තෙක්; ලැසි දිවුමේ ක්‍රියාත්මක විය යුතුය. එය එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වන සාධකයක් වන අතර මාහට එය කිලෝමීටර 5-6 ක දුරකි. මේ නිසාදෝ මා සෙමෙන් සෙමෙන් සයිකලය පැදයන අතර නිශාන්ත නොපෙනී යන තරම් දුරක් පැද ගෙන ගොස් තිබුනි. නැවත ඔහුව මුණ ගැසෙන්නේ නාවක්කුලි හංදියේදීය. ඔහු මාහට ඉදිරියෙන් A9 මාර්ගයේ පල්ලම් බසින්නට ආසන්නයේය. මා ඔහුව පසු පස සිට අමතා A32 එක් කර ගත්තෙමි. යාපනයේ සිට පහලට විහිදෙන A9 මාර්ගය නාවක්කුලියේදී වමට හැරේ. සෘජුව ඉදිරියට විහිදෙන්නේ A32 මාර්ගයයි.
නිවැරදි මාර්ගයට පිවිසීමෙන් පසුවද ඔහු නැවතත් මාගෙන් වියෝවී පැද යන්නට විය. මීට ආසන්නතම හේතුව මා වඩාත් සෙමෙන් පැදීමදෝ කියා මාහට සිතා ගැනීමට අපහසුය. ඉන් පසුව ගමන් මග ඇදීගියේ වෙරළට සමාන්තරවය. ඈතින් හුලං මෝල් හෙවත් සුළං ටර්බයින පෙනෙන්නට විය. ඒවන විට නිශාන්ත පෙනෙන්නටවත් නොමැති විය. මා සුළං මෝලක් අසලටම ගොස් බලා කියාගෙන නැවත ගමනට එක් විය.




5.51AM







සංගුප්පිඩි පාලම අභිමුව! 

යලිදු නිශාන්තව දක්නට ලැබුනේ සංගුප්පිඩි පාලම අසලදීය! ඔහු මා එන තුරු නැවතී සිටියේය. 
සංගුප්පිඩ්ඩි පාලම තරණය කරන දෙවන අවස්ථාව විය. එම අවස්ථා දෙකම ගමන් කලේ සයිකලයකින් වීම විශේෂ කාරණයකි. පලමු වතාව කඩවත සිට යාපනයට පැමිනි "සයිකලයෙන් තල් අරණට" එද්දීය. මෙවර මව් බිම වටා ගොස් යාපනයේ සිට පල්ලම් බසිද්දීය. මෙවරට වඩා මාගේ මතකයේ තැන්පත්ව ඇත්තේ පලමු වතාවේදී දුටු දසුන්ය. පාලම අසල ජලය හරිත වර්ණ නිල් පැහැයක් ගත්තේය. අදත් එදා ලෙසම ඇතැයි මා සිතමි. ඒ අසල මුහුදේ; ඇතෙන්ම කලපුවේ ඉඳ හිට ධීවර යාත්‍රාවක් ගමන් ගනී. පාලම ඉහලට ඔසවා ඇත්තේ එම යාත්‍රා ගමනට ඉඩ සලසමින්ය. මා පාලම දුටු අවස්ථා දෙකේදීම ඒ අසල පිරිසක් ගැවසුනි. කුමන හේතුවක් කරණ කොට ගෙන හෝ එම පාලමට සැමගේ සිත් සතන් තුල ගරුත්වයක් ඇතිවී ඇත!





6.48am

6.52am

අපි පන දාගෙන "පූනරින්" කීවාට!

පුනරින් 
පුනරින් නගරයේදි එසේත් නැතිනම් මං සන්ධියේදී අප උදෑසන ආහාර ගතිමු. සිරිත් පරිදි බිත්තර රොටී වලින් සමන්විත උදෑසන ආහාරයකින් සංතර්පණය වී අප අවන්හලෙන් එළියට පැමිණෙන විට එතැන සිටි ආගන්තුක හැඩරුවක් සමග මා මදක් දොඩමළුවිය. ඔහු රැකියාව කොට ඇත්තේ ස්කාගාර සංස්ථාවේ වන අතර මේ වන විට පදිංචිව සිටින්නේ එංගලන්තයේය. ඔහුගේ නෑ සියන් සියල්ල දැනට වත්තල සිටියත් මෙරටට පැමිණි සෑම වතාවකදීම පූනරීන් වෙතට පැමිණීම සිරිතකි. ඒ පිළිබඳව මා විමසූ විට ඔහු පැවසුවේ "මෙහේ තරං හොඳ රා ලෝකෙ කොහෙවත් නෑ!" කියාය.
තව කාලෙකින් මෙරටට සම්ප්‍රාප්තවන "සිරිබිරිස්" ද කිතුල්ගල  සිරිල් අයියාව සොයා යාවි යැයි මාහට මෙය ලියන මේ මොහොතේ සිතුනෙමි.









පූනරින් මංසන්ධියෙන් පිටවීම සමගම මාගේ යන්ත්‍රයද වේගවත් විමි. සාමාන්‍යයෙන් මෙවන් චාරිකාවලදී බොහෝ විට ඉදිරියෙන් පදින්නේ මාය! ඒ මන්දැයි මා නොදනිමි. සමහර විට වයසින් ජේෂ්ඨයා මා වන නිසා විය හැක. එහෙත් බොහෝ අවස්ථාවලදී නිශාන්ත මා සමග සමාන්තරව පැදයාමට උත්සාහ කරණු මා දුටු අතර ඒ සෑම අවස්ථාවකදීම මා ඔහුට ඉදිරියට ගෙන පැදීමට අවස්ථාව දුනිමි. මන්ද මහ පාරක සමාන්තරව සයිකල් පැදීම අනතුරකට අත වැනීමක් වන බැවිනි. පූනරින් පසු කොට තවත් කිලෝමීටරයක් පමණ දුරක් ගමන් ගන්නා විට මා ඉදිරියට ගෙන පදින්නට විමි. අද දිනය තුල අවස්ථා දෙකකදී ඔහු; මා නොපෙනෙන මානයකට පැදීම නිසාම මා හට වේගයෙන් පැද යාමට අවශ්‍ය බලපත්‍රය, අවසරය ලැබී ඇත. කෙටි දුරක් පැද යාමේදී; ට්‍රැක්ටරයක් මා පසුකොට ගමන් කරණ්නට විය. ඒ සමගම එය පසුපසින් වැටුනු මා කිලෝමීටර 10 - 15 ක දුරක් පැද ගියෙමි. එය සුපිරි වේගයකි. සේද මාවත් ය. හුදෙකලාය. මාර්ගය සම්පූර්ණයෙන්ම වැටී ඇත්තේ වනාන්තර පරිසරයක් තුලිනි. කිලෝමීටර ගනනාවකට පසු ට්‍රැක්ටරය වම්පසට හැරී වනාන්තරය තුලට විහිදුනු බොරළු පාරකට හැරුනි. එතැන් සිටද මා එම වේගයම පවත්වා ගනිමින් පැද ගියෙමි. ඔබ විශ්වාස කරණ්න නැවත නිශාන්තව මාහට මුණ ගැසුනේ මන්නාරමේදීය!

මන්නාරමර කිලෝමීටර 40ක පමණ දුරක සිට මාර්ගය සකසා ඇත්තේ කොන්ක්‍රීට් මගිනි. මේ ගැන යමක් කියන්නම අවශ්‍ය වේ. එම කොන්ක්‍රීට් මාර්ගයේ මතුපිට ඉතා රළු ස්වභාවයක් ගනී. එය කෙතරම් රළු දැයි කිවහොත් කිලෝමීටර කිහිපයක් ගමන් ගනිද්දී මාගේ හිස රිදෙන්නට පටන් ගත්තේය. ඒ මතින් ගමන් ගනිද්දී සයිකලය දෙදරවන්නට විය. එවන් රළු සවභාවයක් ඊට ආරෝපනය කොට ඇත්තේ; සුමට බව නිසා ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට යැයි කිසිවෙකුහට පැවසිය හැකි වුවද මටනම් සිතුනේ එය සකස් කල පෙදරේරුවන්ගේ නොහැකියාව බවයි. මෙම දුක කිලෝමීටර 10ක් හෝ ඊටත් වඩා විඳින්නට සිදුවිය. 
මාර්ගය දෙපස වගුරු ස්වභාවයක් ගත්තේය. එහි ජලජ ශාක දක්නට ලැබුනි. ප්‍රදේශය පුරාවට දැඩි හුදෙකලා බවක් ආරෝපනය වී තිබුනි. විටෙන් විට මා පසු කොට ගිය හෝ මා හමුවට ආ වාහනයක විනා මිනිස් පුළුටක් බේතකට නොවීය. මෙම මාර්ග තත්වය තවත් කොපමණ දුරක් වෙත්දැයි; වාහනයක් නතරකොට අසන්නට තරම් සිත් විය. එම ප්‍රදේශය ඉබි ගමණින් පසුකල මාහට දක්නට ලැබුනේ ගුවන් හමුදා කඳවුරකි. ඒ තල්ලඩි ගුවන් හමුදා කඳවුරයි.
කොන්ක්‍රීට් දුක!

මේ කඩවත පුරසඳ ෆාමසියේ සුසන්ත මල්ලී. 
මගේ "සයිකලයෙන් තල් අරණට 1" පෝස්ටුවේ සුසන්ත ගැන ලියලා තියෙනවා.
 ගොඩ වැදිලාම බලන්නකෝ.







වේලිමගේ සිට ආපසු

මන්නාරමට ඇතුළු වන්නට ඇත්තේ දිගු දිය පැන්නුමක්; වේලිමගක් නැතහොත් Cause way මාර්ගයක් ඔස්සේ ගොසිනි. ගමන පිටත්වී කෙටිකලකින් අපගේ වට්සැප් සමූහය හා එක්වූ "රෝද දෙකේ රස්තියාදුවේ" මද්දාද; "ඇවිද්ද පයේ" සුදීක, නිරෝෂන් කොටිගල අයියා සේම මාර්ගය පිළිබඳ පෙරයීම් හා පුරෝකථන සැපයීමෙන් අපගේ ගමන සාර්ථක කරගැනීමට එකතුවී සිටියේය.
මද්දාද ලංකාව වටා යතුරු පැදියෙන් ගමන් කොට තිබුනි. ඒනිසාම අප මන්නාරමට එන්නට පෙර එහි රාත්‍රිය ගත කිරීමට ස්ථානයක් පිළිබඳ ඔත්තුවක් සැපයිය. මා මන්නාරමට පැමිණ කෙටි වේලාවක් ගතවන විට වැස්ස මහ පොලොව නතු කරගෙන සිටියේය. මේ නිසාම තැනක් සොයා බැලීමට මහා විසල් දුරක් ගමන් කිරීම  ගැටළුවක් විය. මන්නාරම නගරයට වරක් පිවිස නැවතත් ප්‍රධාන බිමට පැමිණියෙමි. 
ප්‍රධාන බිමෙන් මන්නාරම් දූපතට හැරෙන තැන තුංමංහංදියකි. ඉන් එක් මගක් වන්නේ අප පැමිණි A32 මාරගය වනාතරතුර අනෙක් මාර්ගය වන්නේ තලෙයි මන්නාරමේ සිට මැදවච්චිය දෙසට දිවෙන  A14 මාර්ගයයි. එම සංධිස්ථානයෙන් මනාරම දෙසට දිවෙන වේලි මගය. 
ප්‍රධාන භූමියට ලඟාවී මැදවච්චිය දෙසට හැරුණි. ඒ නවාතැනක් සොයා ගැනීම සඳහාය. ඒ වන විටත් නිශාන්ත පැමිණෙමින්ය.  එම මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු; හමුදා අනුකණ්ඩයකින් මෙහෙයවන ගිමන් හලක් දක්නට ලැබේ. එහි සිටි අයගෙන් නවාතැනක් පිළිබඳව විමසූවද හෝඩුවාවක් සොයා ගැනීමට අපහසුවිය. මේ කරුණු වෙනාතරතුර නිශාන්ද මන්නාරමට ගොඩ බැස තිබුනි.
ඉන් ඉක්බිතිව මමත් නිශානුත් ගිමන් හල් සොයමින් මන්නාරමේ පටු මාවත් වල පැද ගියෙමු. බොහෝ ස්ථාන වලින් ලැබුනේ ඉතාමත් නරක ප්‍රථිචාරයන් ය. කොටින්ම අප ඔවුන්ගෙන් ආධාරයක් බලාපොරොත්තුව පැමිණි සේයාවකින් කතා කලහ. මෙසේ සිදුවනාතර තුර අප දුටුවේ අලුතින් විවෘථ කරණ ලද ගිමන්හලක බෝඩ් ලෑලලක් හෙවත් පුවරුවකි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සුපිරි තැනක් විය! මන්නාරමේ සිට සාලිය වැව දක්වා ඊළඟ ගමන් වාරය පටන් ගන්නට පෙර මෙම තැන ගැන කථා කරමු!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...