මීට කලෙකට පෙර එක් දවසක මාගේ බ්ලොගයේ කන්ටැක්ට් පෝරමය හරහා කුඩා පණිවිඩයක් ලැබුනි. එහි සඳහන් වූයේ ඊට දිනකට පෙර මවිසින් අවකාශයට මුදා හැරි "සිම්ප්සන් තරණය" පිළිබඳ පෝස්ටුවේ නාම පද දෙකක් නිවැරදි කිරීමට උපදෙසක් ය. තවත් ටික කාලයකට පසුව ඔහුම මා හට ඇමතුවේය. හේ අන් කිසිවෙක් නොව විට්ටර් ගේ මල්ලී වූ හැට්ටර්ය ය!
හැට්ටර් ජීවත්වූයේ අප රටින් කිලෝමීටර දහ හතර දහසක් එපිටින්ය. කාලය ගෙවී යත්ම ඔහු සති දෙක තුනකට සැරයක් මාහට පුරුද්දක් ලෙස ඇමතීම කලේය.
කැන්ගරු දේශයේ සිටි වසිකට රැකියාවක් සොයා දෙන්නට පවා වෙහෙසුනු ඔහු කෙටි කලෙකින් මාගේද වසිකගේද හොඳ මිතුරෙකු විය.
කාලය මෙසේ ගෙවී ගියේය. පසුගියදා මාහට ඇමතුමක් ලබා දුන් අපගේ හිතාදර කොමෙන්ට් කරු ප්‍රාජේ මා අමතා පැවසූවේ; ටික දිනකින්; කෙටි නිවාඩුවක් සඳහා; හැට්ටර් මෙරටට ගොඩ බසින බවය!
වසර ගනනාවකට පසු තම නෑසියන් දැක බලා ගැනීමට සති තුනකට ගොඩ බැසි ඔහු මටත්, ප්‍රාජේටත්, නිදිටත් කුඩා උවත් වටිනා කාලයක් ලබා දී තිබුනි. ඒ එසේ මෙසේ තැනක නොව පයාගලදීය!
පයාගලට ගිය ගමන ඇරඹුනේ කොට්ටාවෙන් වන අතර එතැනින් අධිවේගී මාර්ගයේ ගමන් කොට දොඩංගොඩින් එළියට විත්; කැලෑ පාරක් ඔස්සේ තවත් කිලෝමීටර දහයක් දොලහක් ගමන් කොට දොඩංගොඩ හංදියෙන් ගාලු පාරට වැටී අනතුරුව පයාගල රේල් නැවතුම අසලට යනවිට හැට්ටර් සරමෙ එක කොනක් පසුපසින් ඔසවාගෙන අප එන තෙක් මග බලාගෙනය!
හැට්ටර් හමුව වෙනමම ලියන්න ඕන කථාවක්ය!
විටෙක අප ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයක පසු පස පටවා තිබුනේ සිවුරු දෙක තුනකින් ඔතන ලද බුදු පිළිමයක් විය.
එය දුටු සැනින් මා ඉදිරිපස ආසනයේ වැඩම කල නිමල් දිසානායක අමතා "ඕන්න ඕක බලා ගන්න! මම පෝස්ටුවක් ලියන්නං!!" යැයි පැවසූවෙමි.
මෙන්න ඒ කථාව.
ඇත්තටම මේ කථාව එන්නට සුදුසු මෙතැනට නොව වසිකයා පිළිබඳව මා ලියමින් සිටින "ම'පුතු වසික වෙත සෙනෙහසින්!" ලිපි පෙලටය. එහෙත් හැට්ටර් හම්බුනු ගැම්මටම මෙතැනම ලියා තියන්නෙමි.
වසික පාසැල් ගිය කාලේ එක් වක වානුවක ගණිතය විෂයට බොහෝ සෙයින් දුර්වල විය. ඔය කියන කාලේ අපේ ගෙවල් වලට නුදුරින් ගණිතයට ටියුශන් දෙන ගුරුවරයෙකුගේ පංතියක් තිබුනු අතර ඔහුගේ නම නානායක්කාර නම් විය.
නානායක්කාර සර් අමුතුම ආරක් ගත් අයෙකි! ලමයින් 500ක් පමණ සිටි පංතිය ඇමතීමට කිසිදු යන්ත්‍රයක් භාවිතා නොකල අතර ඔහු කථාකලේ තම උස් හඬ උපයෝගී කරගෙනය. එසේම ඔහුගේ පංතිය තුල කිසිවෙකු කිසිදු හඬක් නොනැගීමට තරයේ වගබලා ගත්තේය.
පංතියේ ඉන්දවූයේ කෙල්ලන් හා කොල්ලන් කලවමේය. ඒ නිසාම උනුන් අතර කථාබහක් නොවීය. සෑම දිනෙකදීම අවම වශයෙන් ලමයින් පහක් හයක් ගුටි කෑවෝය. තවත් දෙතුන් දෙනෙක් එලවූවේය. දයක පහලොවකගේ පොත් පියාසලා ඉගිල්ලුනේය. පංතියෙන් භාගයක් බැනුම් ඇසුවෝය. තවත් කිහිප දෙනෙක් හට උන් හිටි තැන් අහිමි වුනෝය.
සියල්ලම හරියටම තේරුණද මේ "උන් හිටි තැන් අහිමි කිරීම" නොතේරුණු බව මට ඉංතීරුවෙනම කිව හැක. ඒ; කලින් දැනුම් දී හෝ නොදී පෙරදින පන්තියට නොපැමිණි අය පංතියේ පසුපසම බංකුව වෙත යැවෙන කරණ ක්‍රම වේධයක්ද ඔහු භාවිතා කල බැවිනි.
ඔය කියනා කාලයේ වසික පාසලේ ක්‍රිකට්, මළල ක්‍රීඩා, පිහිනුම්, ශිෂ්‍ය භට ආදී මෙකී නොකී බොහෝ ඉසව් කල බැවින් ඔහුට බොහෝවිට පංතිය තුල උන් හිටි තැන් අහිමි විය.
මෙම උන් හිටි තැන් අහිමි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට නැවත ඉදිරි පෙළට පැමිණෙන ක්‍රම වේධයක්ද නානායක්කාර සර් හඳුන්වා දී තිබුනි. ඒ දෙන ගෙදර වැඩ හා පංතියේ හදන ගණන් සියල්ල හරි ගිය විට පේලියක් දෙකක් ඉදිරියට ගෙනෙන විධික්‍රමයකි!
පෙර දින පංතියට නොපැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පසුදින පංතියට යායුත්තේ මව හෝ පියා සමගය. මේ නිසාම නානායක්කාර සර්ගේ පංතියකට හිතා මතා නොයා සිටීමට ධෛර්ය සම්පන්න ඒ කාලයේ සොයා ගැනීම; මේ කාලයේ ආණ්ඩුවට නොබනින එකෙක් සොයනවා සේම අතිශය දුෂ්කර කාරණාවක් විය.
වරක් අපගේ පවුලේ සියළු දෙන මාගේ අයියා ගේ නිවසට නෑගම් ගියෝය. අයියා එකල සිටියේ පොළොන්නරුවේය. ගමන පිටත් වීමට ප්‍රථම වසිකගෙන් කොන්දේසිය පැනවිනි!
"කොහේ ගියත් කමක් නෑ ඉරිදා හවස හතරට මට ගෙදර ඉන්නෝන! නානායක්කාර සර්ගේ ක්ලාස්!" ඒ සියළු තහංචි වලට යටත්ව අප සියල්ලෝම ගමන පිටත් වූවෝය. කඩවත සිට පොළොන්නරුවට පැය තුනකින් ගමන් කොට මාගේ වාර්ථාවක් තිබුනි. වාර්ථාව පසෙක තබා පැය හතරකට ප්‍රථම අප පොළොන්නරුවෙන් පිටත් වූවෝය.
"තාත්ති හතරට ඉස්සෙල්ලා යන්න පුළුවන්නේ . . !?" වසික විටින් විට ඇසුවේය.
මමද හැකි උපරිමයෙන් එකල මා සතුව තිබුනු ටොයෝටා 106 කැබ් රිය පැදවූවෙමි.
කුරුණෑගල නගරයට ප්‍රවේශ වන විට පාර වාහන වලින් පිරී තිබුනි.
මා කුරුණෑගල නගරය මග ඇර රෝහල ආසන්නයට එන අතුරු මාරගයකට හරවාගෙන පැදවීමේ යෙදුනෙමි. අප; අලව්ව, අඹේපුස්ස, පසු කොට වරකපොළ නගරයටද පැමිණ එතැනින් ඉදිරියටම ඇදුනෙමු.
වේලාව දහවල් 2.00 පමණ වන්නට ඇත.
හතරට තව ඉතිරිව ඇත්තේ පැය දෙකක් පමණි. ඒ පැය දෙක මාහට; දෙපාරක් යාමට ඉඩකි.
වරකපොළ නගරය පසු කොට ඉදිරියට එත්ම එත්ම මාර්ග තදබදය වඩ වඩාත් තීව්‍ර විය. පස්යාල ට කිට්ටු වෙද්දී හතරට විනාඩි තිහකටත් අඩුව ගොස්ය. වසිකගෙන් නෝක්කාඩු වැලකි. පස්යාල පසුකොට පල්ලම් බසින විට හතර පසුවී හමාරය.
තවත් මොහොතකින් අප ඉදිරියට ඉබි ගමනින් එන්නේ ලොරි තට්ටුවක නැගි මහන කණ්ඩායමකි. උන්නැහැලා තොර තෝචියක් නැතිව පිරිත් කෑගසති!
පසු පසින් උපාසක උපාසිකා පිරිසක් රැගත් වාහන පේළියකි. ඒ තරින් පතර යකඩ කටවල් වලින් සාදු! සාදු!! හඬ තලති
"මේ මොන මගුලක්ද?" මම මගෙන්ම අසා ගනිමින් තවත් ඉදිරියට කාන්දු උනෙමි.
තවත් විනාඩි කිහිපයකින් පසුපස හරවා ගත් යෝධ සමාධි පිළිමයක් පටවා ගත් ලොරි තට්ටුවක් මා ඉදිරියේය!
"සෝමාවතී පින් බිමට සමාධි පිළිමයක් වැඩම වීම!" මෙවැනි අදහසක් ගෙන දෙන බැනරයකින් ලොරිය අන්දලාය!
පිළිමයේ දණහිස් පොල්කටු ලොරි තට්ටුවෙන් එළියේය. පිළිමයට පුෂ්ප උපහාර පවත්වන පාර අයිනේ ජනයා හට; පිළිමය හා ගාටන උපාසක තාත්තලා හා උපාසක කොල්ලන් කුරුට්ටන් කැට පාති!
මේ සියල්ලෙන්ම නොම්මර එකේ ට්‍රැෆික් එකක් මාර්ගය මත පහළ කිරීමට මේ පිං බර ඇත්තන් සමත් වී තිබුනි!
"අම්මපා සෝමාවතියට මොකටද බුදු පිළිම! ඔය තියෙන්නේ ඕන තරං!?" මම කේන්තියෙන් මුරගෑවෙමි.
තවත් පැයක පමණ කාලයක් ගතකොට නිට්ටඹුව, යක්කල පසුකොට ජේ ආර් ගුටි කෑ ඉඹුල්ගොඩ දිහාට පැමිණි අප හවස හයේ කණිසමට ගෙදරට යාවත්කාලීන වූ වෙමු!
සතිය පියෑඹුවේය! ඊළඟ ඉරිදා කට උඩට ආවේය.
"තාත්ති එන්න අද මාව පංතියට භාර දෙන්න - ඔන්න!" වසික මීයන් කෑ කිරි හට්ටියක් සේ මුහුණ හදාගෙන කෙඳිරි ගෑවේය.
"ඔන්න තාත්තිටත් බොරු කියන්න බෑ!" ඒ වෙන කිසිවක් නිසා නොව මා වසිකට කට කුඩා කල සිට පාඩම් කල එක් පාඨයක් නිසාය.
"පුතේ මොකද්ද ලෝකේ තියෙන ලොකුම වැරැද්ද?"
"බොලු කීන එක!"
"හරියට හරි!"
ඒ; මම දරුවන් දෙදෙන ලොකු මහත් කරද්දී ඔවුන්ව ශික්ෂණය කිරීමට ගත් කුඩා උපක්‍රමයක් ය. බොරු නොකියන්නේ නම් සිදුවන, සිදුවෙන, හිතා මතා කරණ ඕනෑම වරදක් පිළිබඳව අසා දැන ගත හැක! එසේම සත්‍යය කියන්නට තමාට සිදුවන බව දන්නා දරුවා එසේ කීමට නොහැකි දෙයක් කිරීමට මැළි කමක් දක්වයි.
හවස හතරට පැය භාගයක් තිබියදී එනම් තුන හමාරට මා නානායක්කාර සර් අභිමුව සිට ගත්තෙමි.
නානායක්කාර සර් බඩ ගින්නට කෑවේ සිගරට් ය. ඔහු දිනකට විස්සේ පැකට් තුනක් හෝ හතරක් කා දැමුවේය. කෑමෙන් පසු බීවේ තවත් සිගරට් දෙක තුනකි.
අදාල දිනයේද දුම් කුටියක් තුලින් නානායක්කාර සර් මතුවිය.
"මොකද?" ගැඹුරු දැඩි හඬින් ඔහු එක එල්ලේ මා වෙත දවා හළු කරවන තියුණු බැල්මක් හෙලුවේය.
වසික පසෙකින් ය.
"මොකද?" කියා අසන්නේ පෙර සතියේ පංතියට නොපැමිණි කාරණය කුමක්දැයි කියාය. මොන දෙයක් වුවද දරුවා ඉදිරියේ මාහට බොරු කීමටද බැරිය. මා ඔහුට දිනපතාද දවසකට දෙතුන් වතාවක්ද වන පොත් දෙන වරද ඔහු ඉදිරියේම කිරීම යනු කලිසම පමණක් නොව පිරි වැස්සද ගැලවී යාමකි!
"සෝමාවතියට බුදු පිළිමයක් වැඩම කලා!" මා දැහැමි නිවුනු පිංබර මුහුනක් ආරූඪ කරගෙන ඇසෙන නෑසෙන හඬින් කීවෙමි!
"බොහෝඕ..ම හොඳයි! ඒවා හොඳ වැඩ!!" නානායක්කාර සර්ගේ මුහුණද බැති බරින් පෙඟී ගියේය.
"යන්න පංතියට!" කොලුවාට අවසර ලැබුනි.
වසික එදින හවස ගෙදර පැමිණියේ සිරිත් පරිදි කැදැලි ගත වීමට නොව තාත්තාව අල්ලා ගැනීමටය!
"තාත්තිනං තාත්ති හරිම කපටියි!"
"ඉතිං මයෙ පුතේ මම බොරුවක් කිව්වයැ? ඇත්තටම පංතියට එන්න බැරිවුනේ සෝමාවතියට බුදු පිළිමයක් වැඩම කල නිසානේ!?"
"ඉතිං අපි යැ?"
"ඉතිං මම "අපි කලා!" කිව්වයැ?
පසුගිය මාසයේ ගනේමුල්ල පාරේ සුදු කොඩි වැලක් යටින් ඔහුට අවසන් ගෞරවය දැක්වීම යද්දී මාහට මේ කථාව යලිත් මතකයට ආවේය.
ඔව්! ලමුන් දස දහසකට පමණ ගණිත විශයට A සාමාර්ථ ලබාදු නානායක්කාර ගුරු පියා අප අතරින් සිගරට් දුමක් සේ මැකී ගියේය!