Monday, March 25, 2019

130. රජයේ වැඩ බිම



උදේ නො එති
දවල්ට එති
පොතේ ලියති
අට ම දාති

කහට ගසති
බුලත් හපති
බීඩි උරති
රේස් දමති

ඕමි බලති 
කයිය ගසති 
දෙකක් දමති 
කාලා නිදති

හවස නාති
ගෙදර දුවති
පිකට් කරති 
පඩි ඉල්ලති


Thursday, March 14, 2019

129. කළු ගඟ දිගේ . . . 1


1870 දී කළු ගඟ - රත්නපුර


 "තල් අරණ . . . !" නිමා වූයේ තරමක දුකකුත් සිතට එක් කරමින්.

ජීවිතේට ආසාවට අකුරු 5 ක් කොටලා කොමෙන්ට් නොකලාට හමූනාම එහෙම නැත්නම් දූරකථනයෙන් අමතා "මොනවද මේ ලියන මගුල් . . ?" කියා ඇඟේ වදින්න කමෙන්ට් කරණ එවුන් දෙතුන් දෙනා කිව්වෙත් "උඹේ ඇඩ්වෙන්චර් එක පට්ට ට්‍රැජඩියක්නෙ බං !" කියලා. (ඇනෝපිලිස්ද දැන් ටික කලක සිට වැටී ඇත්තේ මේ කැටගරියටමය!)

ඒකට හේතුව මා හිතන විදියට ලියපු දේ වත් ලියපු විදියේ වත් වරදක් නෙවෙයි.

මොකද එකෙක් අතින් කියවුනා හරිම කතාව.

 "උඹේ සයිකල් ටුවර් එක ඉවර උනාම දැනුනේ අර පොඩි කාලේ ඉස්කෝලෙ නිවාඩුවට ලොකු අම්මලාගේ ගෙදර ගිහින් ආතල් එකේ ඉන්න කොට නිවාඩුව ඉවර වෙන්න දවසක් තියෙද්දි අපිව එක්කන් යන්න අම්මා ආවාම දැනෙන්නේ ? ආන්න ඒ වගේ ෆීලින්ග් එකක්!"

Tuesday, March 5, 2019

128. සයිකලයෙන් තල් අරණට ම . . .10


පෙ.ව 7.15 
දිනය පටන් ගෙන. නිල් අහස් කුස තුල ඉන්ද්‍රඛීලයක්සේ නැගිට ගත් තල් අරණ
එදින වැසි මන්දාරමකින් යාපන අර්ධද්වීපය වැසුනු දිනයකි. ප්රේමසර ඈපාසිංහයන් කියන්නාසේ "ක්රීඩාවට උචිත කාලගුණයක් " පැවතුනි. ක්රිකට් ක්රීඩාවට නොව සයිකල් පැදීමටය. අප මද විරාමයක් ගනු පිණිස බෝක්කු ගල මත වාඩි උනෙමු. අනෙකක් නොව; මා ට්රැක්ටරය පසුපස හඹා'විත් නැවතුනු ස්ථානයේය
එතැනට ආසන්නව බස් නැවතුමක් විය. එතැන සිටි තරුණියන් තිදෙන;  එකිනෙකා හා කතා කරමින් සිටි අපදෙස බලා සිටි මුත් අප නිකමටවත් ඔවුන් දෙස බැලුවේ නැත
හොඳටෝම වැරදුනා
"එකිනෙකා හා කතා කරමින් එතැන සිටි තරුණියන් තිදෙන දෙස අප බලා සිටි මුත් ඔවුන් නිකමටවත් අප දෙස බලුවේ නැත! "  යනුවෙන් එය නිවැරදි විය යුතුය!
අප විවේකය සඳහා නැවතුනු විට අනුගමනය කරණ; කාරණා කිහිපයකි.  අහරක් ගැනීම, වතුර බීම, බයිසිකලයේ ටයර මිරිකීම හෙවත් හුලං බැලීම යන කාරණා මින් ප්‍රධාන තැනක් ගනී.පිටුපස ඇති පැනියර සැකසීම. මේ කරුණුවලින් බොහොමයක් සෑම නැවතුමකදීම ඉටු කෙරේ. කෑමේදී හා ජලය පානය කිරීමේදී අනෙක් සගයන්ගෙන්ද විමසීම අනිවාරයයෙන්ම සිදුවන චාරිත්රයකි.
තමා රැගෙන වතුර බෝතලය සම්පූර්ණයෙන් තිබිය යුතුය. නැතහොත් බී අවසන් කලයුතුය යන න්‍යාය කාගේ සිත තුල නොවුනත් මගේ සිතේ තදින්ම කා වදී තිබුනු. එයට නිශ්චිත හේතුවක් නොමැත. 
මේක හදපු එක නොවෙයි පුදුමෙ - කවුද දන්නෑ හිටෙව්වේ?
අප එතැනින් පිටත්ව ටික දුරක් යන විට මෙම පලාතට අවේණික තොරණක් නැතහොත් වාහල් කඩක් හමුවිය. එහි අමු හිංගලෙන් ලියා තිබුනේ "පූනකරි නගරයට සාදරයෙන් පිළිගනිමු!" යන්නනය. මේ පූනරින් වලටම කේන්ති ගියවිට කියන නමක්දැයි අසා දැනගැනීමට කෙනෙකු අසල නොසිටි අතර අප ප්රශ්ණාර්ථයක් සමග එයින් ඇතුළු විය.
අප පසුකර පැමිනි මාර්ගයෙ පසෙක තිබූ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්රථිෂ්ඨාපනය කරණ්නට යෙදුනාවූ නාම පුවරුවල පවා සිංහලෙන් කටපුරා "පුනරින්" කීවාට ඉංග්රීසියෙන් ලියා තිබුනේ Poonakariයනුවෙනි. 
අප බොහෝ ස්ථාන වලින් නවතා විවේක ගෙන තවත් ටික වේලාවක් "අඹ කයියකට" සෙට් වෙද්දී නිශාන් කුමාර අපව දමා "සිකුරු ලියා" සේ ඉගිලෙයි. ඉන් පසු අප වෙනදා මෙන්ම ඔහු පසු පස ලුහු බැඳීම අරඹයි. පෙර ලියන ලද පෝස්ටුවක සඳහන් කල සේම අපෙන් විනාඩි 15 කට 20 කට පෙර ඉවත්ව යන හේ ඇල්ලීමට අපට බොහෝ කාලයක් ගත වේ. සමහර විට ඒ ඔහු සිතින් සිතා නැවතී අප එන තුරු රැඳී සිටිය හොත් පමණි.
පෙ.ව. 7.37
ලොකුවට හිටියාට ඔය තවත්  ගහක් - මීට තණකොල ගහ
පසු ගිය කාලය පුරා වට වැස්ස විසින් පරිසරය තුල මහත්වූ සුන්දරත්වයක් මවා තිබුනි. එම සුන්දරත්වය; ප්‍රදේශයට ආවේණික භූගෝලීය මෙන්ම දේශගුණික සධකයන් තමන් තුල සඟවාගෙන තිබුනි. දකින දකින දසුන තුලින් දිස්වූවේ පහත රට තෙත් කලාපීය පලාතක අසිරියය. ගමන් ගත් මග වැටී තිබුනෙ තල් අරණක් ඔස්සේ වුවද සිත තුල පොල් රුප්පාවක සිසිලසක් පැතිරී ගොස් තිබුනි. 
නිශාන් "වියෝග ප්‍රවේගයෙන්" ඉගිල ගොසිනි! ඔහු නැවත කොයි මොහොතේ දක්නට ලැබේ දැසි සිතිය නොහැක. මන්ද මා ට්‍රැක්ටරය පසු පස ලුහුබඳිද්දී; නිශාන් පැමිණ ඇත්තේ තරමක අසීරුවකිනි. එම මුළු දුර ප්‍රමාණයම ඔහු තද බල ලෙස සුළං ප්‍රථිරෝධයේ අරියාදුවට එදිරිවාදී කමට මුහුණදී තිබුනි. එම මුළු දුර ප්‍රමාණයම මධුෂාන් සයිකලය පැද තිබුනේ නිශාන්ව සුළඟින් ආවරණය වන පරිද්දෙනි!මොන තරම් හොඳ ගමන් සගයෙකුද ඔහු!?
මේ නිසාම නිශාන් සිටියේ තරමක තැති ගැනීමකිනි. නිශාන් යනු දැඩි ආත්ම ශක්තියකින් යුතු අයෙකු වූයේය. එහෙත්; අපගේ අවසාන ඉලක්කය වෙත ලඟා වීමට නොහැකි වේදෝ යි චකිතයක් බියක් සැක සංකාවක් විච්කිච්ඡාවක් ඔහු තුල  ගමනේ ආරම්ඹ්යේ සිටම තිබෙනු දක්නට ලැබුනි! එනිසාම ඔහු හැකි උපරිමයෙන් අප ඉදිරියෙන් පැද යනු චාරිකාව මුළුල්ලේම ඔහු තුලින් විද්‍යාමාණ විය. මෙය එසේ වන්නට හෙතු භූත වන කරුණු අතරින් දෙකක් ප්‍රධාන වශයෙන් මීට ඉවහල් වන්නට ඇතැයි මා සිතමි .
1. ඔහු තුල මෙවන් දීර්ඝ ගමනක් යෙදී නොතිබුනු පලපුරුද්ද.
2. අපගේ හැකියාව පිළිබඳව ඔහු තුල තිබුනු  අධිතක්සේරුව.
මෙනිසාම ඔහු හැකි හැම විටෙකම උත්සාහ කලේ අපට හැකි පමන ඉදිරියෙන් පැදයාමටය!
මෙනිසාම අප අතර ගමන පුරාවට සිදුවිය යුතුව තිබුනු අදහස්, හැඟීම්, සිතුවිළි, සිතුම්-පැතුම් සම්ප්‍රේෂනය සිදුවූයේ මාත් මධූත් අතර පමනකි. එනිසාම කණ්ඩායම අතර තිබිය යුතු මානසික බැඳීම යම් පමනකට සීමාවූ බවක් චාරිකාව මුළුල්ලේ මා අත් වින්දෙමි.
මමත් වසිකත් මධුෂානුත් පසු කලෙක පොළොන්නරුවට ගිය චාරිකාවේදී මවිසින් ඔවුන් දෙදෙනා වෙත එම අසාධාරණයම වන්නට ඇතැයි අද දිනයේ මට සිතේ. මන්ද එම ගමන පුරාවට මා ඔවුන්ට ඉදිරියෙන් පැදයාම කල බැවින්ය. එම ගමන සඳහා මා භාවිතා කලේ මීට මාසයකට පෙර මැද පෙර දිග වසන මහේෂ් මල්ලීට විකුණා දැමූ ඩ්‍රොප් ආම් චේන්ජරයය. එය මගේ හැකියාවට වඩා වැඩි වේගයක් මාහට ආරෝපණය කලේ මටද සිතා ගැනීමට නොහැකි පරිද්දෙනි!
එහෙත් මා "ගඟක් දිගේ" යන විට අප කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනා අතර නිරන්තර සංවාදයක් සිදු විය! බොහෝ විට සයිකල් චාරිකාවකදී; ගඟක් තරණයේදී මෙන් නිදහසේ එකිනෙකා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කිරීමට පාරේ ගමන් ගන්නා විනීත රියැදුරු මහතුන් ඉඩ තබන්නේද නැත. එසේම සයිකල් චාරිකාවක් තරමක වෙහෙස කාරී කට යුත්තකි!
පරිසර චමත්කාරය විඳීමේදීද වෙනයම් හැඟීම් දැනීම් තෙරුම් ගැනීමේදීද කතාබහක් ඇත්නම් එය ආශිර්වාදයකි! සුන්දර අත්දැකීමකි!!
පෙ.ව. 7.43
පත අට එකට සිඳ !
සෑම කිලෝමීටර 20 කටම වරක් අප නැවතී විරාමයක් ගැනීමට නියමිතව තිබුනද; කිලෝමීටර 20 ක් යන්නට මත්තෙන් නැවතීමට කුමක් හෝ කරුණක් යෙදීම බොහෝ විට සිදුවේ. අප එක් එක් අය හා සතු වතුර, ජිවනී හෝ වෙනයම් ආහාර අවශ්‍යතාවයක්, සයිකලයේ හෝ ඊට අනුබද්ධිත පැනියරයේ කුඩා සීරු මාරුවක්, ඡායා රූපයක් ගැනීමේ  උවමනාවක් ඒ කිසිසේත්ම නැතිනම්  විවේකයක් විරාමයක් ගැනීමට සුදුසු පරිසර පද්ධතියක්, සෙවන දෙන ගසක්, පාලමක්, බෝක්කුවක් වැනි යමක් මුණ ගැසීමද මෙයට හේතුවක් විය හැක. 
ජලය කොපමන තිබුනද ජීවනී උගුරක් පානය කිරීමට ඇවැසිව එය සමන්විත බෝතලය ගෙන බැලූ විට එය හිස්ව ගොස් ඇත්නම් හෝ එහි ඇති ප්‍රමාණය අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන්නේ නම් තැන නොතැන නොබලා ජීවනී හදා ගැනීමට කුඩා ඉසිඹුවක් ගැනීම සිදුවිය. 
නියමිත ඉලක්කයක් හැරුනු විට නියමිත නිශ්චිත නොවෙනස් විය යුතු කාල සටහනක් අවසන් දිනය වන විට අප අතර ඉතිරිව නොමැති විය. අප තිදෙන මහත්වූ නිදහසක් භුක්ති විඳිමින් විය. සාමාන්‍ය ජීවිතය තුල අත් දකින, නොවැලැක්විය හැකි, ඇඟේ හැප්පෙන අවශ්‍යතා, වගකීම්,යුතුකම්, නීති රීති වලින් බැහැරව;  අප අපගේ සාමාන්‍ය ජන ජීවිත වලින් ඈත්ව මහත්වූ අස්වැසිල්ලකින් යුතුව ගත කල දින තුනක කාලයක අවසාන දිනයට පිළිපන්ව ඇත.
එක් අයෙකුගේ; පෙර සඳහන් කල පරිදි ඕනෑම හෝ එපාම නො එසේනම් අවශ්‍යා අත්‍යාවශ්ය  හෝ අනවශ්‍ය කරුණක් වෙනුවෙන් අප සියළු දෙන මුවින් නොබැන; තැන නොතැන නොබලා නැවතුනෙමු. "නැවතුනෙමු" කීවාට එය "නැවතුනෙමි!" හෝ "නැවතුනේය!" යනුවෙන් වෙනස් විය යුතුය. මන්ද බොහේ විට මේ කිසිදු අලකලංචියකට මුහුන දිමට නිශාන්ගේ මුහුන ඒ අසල විය නොවීය. 
ඔහු "වියෝග ප්‍රවේගයෙන්" අපට නොපෙනෙන තරම් දුරිණ පදිමින් වන්නට ඇත!
පෙ.ව. 7.53
බෝඩ් ලෑලට තියෙන ආදරේ !
හිරු වළා සේදයන්තුල සැඟව ගොස් ය. තවත් මහා වැස්සක පෙර නිමිත්තක් වත්ද? අහස තුලින් විඩා බර සේයාවක් දිස් විය. විඩා බර කීවාට වඩා ගැබ්බර සෙයාවක් කීවනම් වඩා හොඳ වාගේය. ඇය සිටින්නේ මහා වැස්සක් ප්‍රසූත කරණ්නට වත්ද? 
මා කලින් දිනක කීවා සේ වාහන තදබදය සයිකල් පදින්නන් හට මොනතරම් අන්තරායකරී වූවද පාරේ වහන එහෙම් පිටින්ම හෝදා පාළුවූ දවසට සයිකල් පැදීම බිහෝසෙයින් විඩා බර කට යුත්තකි. මන්ද එදිනට සයිකල් පැදීමට එරෙහිව නැගී සිටින සුළං ප්‍රවාහයට මුහුණ දෙන්නට වන්නේ හුදෙකලාවමය. තනිවමය. කිසිදු අන් හව්හරණක් නොමැතිවය.  
කොල්ලා ගෙදර සිටින විට මැවෙන්නේ මහා කං කරච්චලයකි.එහෙත් ඌ නැති වෙලාවට දැනෙන්නේ මහා පාළුවකි. කාන්සියකි. තනිකමකි. මෙයද එවැනිම හැඟීමකි දැනීමකි. 
හිරු නැතිවීමද හිතට ගෙන එන්නේ කාන්සියකි. කම්මැළි කමකි. අලස බවකි. මෙසේ පැදයාමේදී හමුවන මං සළකුණක් ග්‍රාම නාම පුවරුවක් හිතට ගෙන එන්නේ "අප ඉදිරියට යමින් වන්නෙමු!" යන සිතුවිල්ලය. 
අප ගාළුපාර දිගේ දකුණු ලකට ගමන් කිරීමේදී දැනෙන හැඟීම අධිවේගී මාර්ගයේ ගමන් ගනිද්දී නොදැනෙන්නේ මන්දැයි සිතන්න. අප කොළඹ කොටුවෙන් ගමන් ඇරඹුව කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන,කටුබැද්ද, රාවතවත්ත, මොරටුව යනාදී වශයෙන් ගමින් ගම, හංදියෙන් හංදිය පසු කරණු පෙනෙයි,දැනෙයි, හැඟෙයි. 
එහෙත් අධිවේගී මාර්ගයේදී එසේ දැනෙන හැඟෙන ක්‍රම වේදයක් ඇත්තේ; මාර්ගයෙන් පිටවීමකදී-පිවිසුමකදී හා වැළිපැන්න කඩ මණ්ඩියේදී පමණි! 
එසේම අපගේ මේ ගමනේදීද අප ගමන් ගන්නේ මහත්වූ ජන ශූන්‍ය පෙදෙසක් හරහා වන අතර එහෙයින්ම අප පසුකරණ බොහෝ කිලෝමීටර වලට නාම පදයක් නොවීය! ඒවා හුදෙක් කිලෝමීටර දුර වල් ම විය. එසේ බොහෝ දුරක් ගමන් කිරීමෙන් ඉක්බිතිව හමුවන ගමේ නමද කඩයක බෝඩ් ලෑල්ලක ලියා තිබුනේ දෙමලෙන් හෙවත් දමිලෙන් හෙවත් ද්‍රවිඪ භාෂාවෙන්ම පමනක් විය. අප තිදෙනාම දැන සිටියේ සිංහල හැරුණුවිට "අණ්ඩර දෙමල" පමණි. එනිසාම පසුකල කිලෝමීටර වලට නමක් දීමට අපට නොහැකි විය. තවත් දුරක් ගමන් ගනිත්දී හමුවන බෝඩ් ලෑල්ලෙ ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ලියා තිබුනත් ඒ කිසිදා හීනෙන් වත් අසා නොතිබුනු ගමක් වීමෙන්ද වුනු සෙතක් නොමැත. 
එහෙත් අතරිණ් පතර හමුවන අප පසුගිය තිස් අවුරුදු යුද්ධයේදී කෙරුණු  බෝම්බ පිපුරුණු තැන් වල මතක හිටින නමක් සඳහන් පුවරුවක් දුටු විට හිතට ගලා එන්නේ මහත් වූ සතුටකි. ඒ පිපුරුණු බෝම්බ නිසා නොව දන්නා කියන, අසා ඇති කියවා බලා ඇති පලතකට පැමිණ ඇතැයි සිතට දැනෙන අහිංසක ආඩම්බරය නිසා ඇති වන්නක් විය යුතුය.
පරන්තන් පිළිබඳ මගේ මතකය වසර ගනනාවක් නොව දශක ගනනාවක් ඈතට ගමන් ගනී. ඒ කුඩා කල පාසැලේදි; ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ වලට ආවේණික; නො එසේනම් ප්‍රසිද්ධ  නිශ්පාදන, කර්මාන්ත හෝ සම්පත් සඳහන් ලැයිස්තුවේ "රසායනික ද්‍රව්‍ය" යන්නට ඉදිරියෙන් වූයේ "පරන්තන්" යන්නය. රසායනික ද්‍රව්‍ය යනු හකුරුයි පොලුයි වැනි කෑමක්ද කියා නොදන්නා ළපැටි අවධියේදි පවා පරන්තන් අසා සුපුරුදු ගමක් විය.
එසේම අපගේ ගමන් මගේ ඊළඟ අසා පුරුදු ගම හෝ නගරය වූයේ "පූනරින්" ය. ඒ පසුගිය යුධ කාලයේදී එම නම බොහෝ සේ කන වැකුණු එකක් වූ නිසාය!
පූනරින් බෝඩ් ලෑල්ල අපට මහත්වූ අස්වැසිලක් විය.
අපි යාපනේට කිට්ටු කරලා !
පූනරින් යනු සංග්‍රාමික වශයෙන් වැදගත් ස්ථානයක් බව තේරුම් ගෙන තිබුනෙ වර්ථමානයේ පමනක් නොවේ.වර්ෂ 1658 වැනි ඈත කාලයකදි ලංදේසීන් විසින් එතෙක් පෘතුගීසීන් අත පැවති බලකොටුව අත්පත් කරගෙන ඇත. එය පෘතුගීසීන් විසින් ස්තාපිත කලයක් පිළිබඳව විස්තර සොයා ගැනීම අපහසුව ඇත.
ලංකාවේ සිටි පෘතුගීසි යුගය පිළිබඳ මහා ප්‍රාඥ්ඥයා වූ කොළඹ ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නැසීගිය ටිකිරි අබයසිංහයන්ගේ "පෘතුගීසීන් හා ලංකාව" ග්‍රන්ථයේ හෝ පූනරින් බලකොටුව ගැන කිසිවක් ලියැවී නොමැත. 
පෘතුගීසීන් සතු ව තිබූ සියල්ල ලන්දේසීන් විසින්ද; ලන්දේසීන් සතුවූ සියල්ල ඉංග්‍රීසීන් විසින්ද ඩැහැ ගැනීම ලක්දිව ඉතිහාසය තුල ඉතා සාමාන්‍ය කාරණාවක් වන අතර පූනරින් බල කොටුවටද සිදුවී ඇත්තේ එයමය ය.
මෑත භාගයේදී මෙම ස්ථානය පිළිබඳව කතා බහට ලක් වන්නේ 1998 නොවැම්බර් 11 දින් එහි වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කඳවුරට එල්ලවූ එල්ටීටීඊ ප්‍රහාරය හේතු කොටගෙනය. හමුදා සෙබළු 600 කට වඩා වැඩි පිරිසකට ජීවිත අහිමි කල මෙම ප්‍රහාරය නිසාම "පූනරින්" යන නම සමග සිතට ගලා එන්නේ කිසියම් හිස් බවක් වීම නොවැලැක් විය හැකි විය. මුළු මහත් ඉතිහාසය පුරා රුධිරයෙන් පෙඟුනු එම බිම  එතෙක් අප හැර ගොස් සිටි නිශාන් නැවත අප සමග එක් කිරීමට සමත් විය. 
පෙ.ව. 8.13
පුනරීන් හංදිය  !

පෙ.ව. 8.14
පංසල් 1/2 ක් !

පෙ.ව. 8.16
සාමයේ පරවියා ඉගිල ගත නොහැකිව ගල් වී !


ලේ වැකුණු බිමක සංසුන් බව !

ඔන්න පෙරේරලාගේ සිල්වලාගෙ මෙන්ඩිස් ලගෙ වැඩ !

ගලේ කෙටූ සාමය !


පූනරීන් නගරයක් නොව මං සංධියකි. රජයට අයත් ගොඩනැගිලි කිහිපයක් හා කුඩා කඩ කිහිපයක් ඇති එම කඩමණ්ඩිය කිසියම් විවෘථ බවකින් යුක්ත විය. වෙනත් ගම් වල පිහිටි කුඩා කඩමණ්ඩි කිසියම් අඳුරු බවක් ගස් කොලන් වලින් ආවරණය් වූ බවක් දක්නට ලැබුනත්; එවන් වාතාවරණයක් මෙහි දක්නට නොලැබුනි. නගර මාධ්‍යයේ පිහිටි වට රවුම මැද ස්ථාපිත  සුදු පරවියා පෙන්නුම් කිරීමට උත්සාහ කලේ "සාමය" විය යුතුය. සත්තකින්ම පූනරින් හැරුණුකොටගෙන සුදු පරවියාට ලැග සිටින්නට වෙනත් සුදුසු ස්ථානයක් ලක්දිව තව ඇත්දැයි ඉතිහාසය පිරික්සීමේදී සිතෙයි.
සාමය ගැන අප මොනතරම් කතා කලත් ඇත්තෙන්ම සාමය අවශ්‍යව තිබුනේ කාටදැයි විවිධ වරනැගීම් තුලින් කතා කල හැක. තිස් අවුරුදු යුධ සමය තුල දකුණේ අපට ජීවත් වීමට යම් වටා පිටාවක් නොතිබුනේ යැයි කිසිවෙකුට කීමට නොහැක. එහෙත්; තිස් අවුරුද්ද පසෙකින් තබා මාවිල් ආරු සොරොව්ව වසා දැමූ 2006 ජුලි 21 සිට නන්දිකඩාල් හීදි ප්‍රභාකරණ් මරා දැමුනු 2009 මැයි 19 අතර අවුරුදු තුනක කලය තුල එල්ටීටීඊ පාලන ප්‍රදේශය තුල සිටිය වුනට සාමයේ අවශ්‍යතාවය කෙතරම් දැනෙන්නට ඇත්දැයි සිතා ගත හැකිද? 
එල්ටිටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිනී විසින් කොටි සංවිධානය හා සම්බන්ධ තම රහසිගත ක්‍රියාකාරකම් හා බිහිසුනු අත්දැකීම් විවරණය කෙරෙණ "තියුණු අසිපතක සෙවණ යට" නමැති කෘතියේ; අතීතයේ දී මෙන් මේ රටේ රුධිර ගංගාවන් ගලායාමේ බිහිසුණු, අමිහිරි, වේදනාකාරී තත්වයන් තවදුරටත් ඇති නොවේවා යන උත්තුංග පරමාර්ථය පෙරදැරි කරගනිමින්  සිය යුධ අත්දැකීම් පිළිබඳව තූලනාත්මක විවරණයක යෙදෙමින් මෙසේ පවසන්නීය.
"එයට පසුව අපව දෙණියාය ප්‍රදේශයට කැඳවාගෙන ගියේය. එය තේ,රබර් වතුවලින් යුතු සුන්දර කඳුකර ප්‍රදේශයකි.හරිතවත් බවත්,ශීතලත් හමායන කඳුකර සුළඟත් සළ සල හඬින් ගලා යන කළු ගඟත්,කුමන අන්දමේ චිත්ත තුවාලයක් වුව සුව කිරීමට සමත් ස්වභාව ධර්මයෙහි මහඟු ඔසුය යන සත්‍යය අපට පසක් කලේය. පසුව සිංහල ගමක ජනතාව විසින් අපව පිළිගැනීමේ වැඩ සටහනක් පවත්වන ලදී. වැඩිහිටි සිංහල මාතාවන් සිංහල සංස්කෘථියට අනුව අපව බුලත් දී පිළිගත් අතර සිංහල ළමුන් විසින් අපට මල් පොකුරු දී පිළිගන්නා ලදී. ඇත්තෙන්ම එම වැඩ සටහන දේශපාලන අරමුණක් සහිතව සංවිධානය කර තිබුනත්, අප වට කර ගෙන සිනාමුසුව අප පිළිගත් ජනතාවගේ සහ අපේ සිත්වල ඇතිව තිබූ සැහැල්ලු බවද ඇස් කොන්වල මතු ව තිබූ කඳුළු බිඳු ද මිනිස් සිත් තුල සැඟවිය නොහැකි සැබෑ හැඟීම්වල ප්‍රකාශනයන් ලෙසින් හැඳින්විය හැකිය. සියවස් කාලයක දේශපාලන එදිරිවාදීකම් මෙවැනි සම්බන්ධතාවන් එකකින් දෙකකින් නැති කළ නොහැකි බව සත්‍යයකි. එහෙත් භාෂාව, ආගම යනාදිය පසු කර ගොස් මිනිස් සම්බන්ධතාවල ආදරය බෙදා හදා ගත යුතුය. එවැනි පුළුල් මානසික  යෝග්‍යතාවක් මිනිසුන් තුළ අති වුවහොත් ලෝකය සාමය සහ සැලැසුම පිරුණු ස්වර්ගයක් වනු ඇත. එහෙත් කළ හැක්කේ කුමක්ද? ලෝකයේ ආයුධ වෙළෙන්දෝ සුදු පරවියන් පියඹා යවන විට සාමයද ඒ සමඟ එක්ව පියාඹා නොපෙනී යයි. අපි ගිය චාරිකාවේ මුළු වැඩසටහන්වලින් මගේ සිත පිරී ගියේ එම ගමේ ජනයාගේ ආදරයෙන් පමණි."
(235 පිටුව - තියුණු අසිපතක සෙවණ යට) 
පෙ.ව. 8.37
පුනරීන් හංදියෙන් ඊසාන දෙසට විහිදී ගොස් ඇති  මාර්ගය යාපනය හා අප සම්බන්ධ කරණ රේඛාවයි. පුනරීන් හංදියේ සිටුවා ඇති මාර්ග දැක්වෙන පුවරුවේ යාපනයට කි.මි 36 කියන වචන පෙලට වඩා සිත් අදී ගියේ "සංගු පිටිය / සන්ගුපිඩි පාලම 9 කි.මි."  කියන පෙලටය.
මන්ද දැක- නොදැක  සංගුපිටිය පාලමට මා සිත තුල මහත් ඇල්මක් ඇතිවී තිබුනි.
වෝටර්ලූ සටනින් පරාද වීමෙන් පසු නැපෝලියන් බොනපාට් එල්බා  දූපතට පිටුවහල් කිරීමට පෙර ඔහු විසින් පැවසූ වැකියක් යැයි මාගේ සීයා වන දොන් විල්ෆ්‍රඩ් පෙරේරා විසින් නිතර පවසන වැකියක් විය. "Able was I ere I saw Elba!" එහි ආසන්නතම සිංහල අදහස වන්නේ "එල්බාව දකින්නටත් පෙර එය මගේය!" යන්නයැයි මට සිතේ. එම වැකිය වමේ සිට දකුණට හෝ දකුණේ සිට වමට කියවිය හැකි එකම වැකිය ලෙස මාගේ සීයා මට පවසා ඇත!  සංගුපිටිය පාලමත් මට එසේමද?
 මාගේ සොහොයුරු මීට වසර ගනනාවකට පෙර මනම්පිටිය පාලම ගැන පැවසූ විශ්මිත කරුණ නිසා එයද දැක ගැනීම මාගේ සිතේ කලක සිට තිබුනු ආශාවක් විය. එම විශ්මිත කරුණ වූයේ එකම පාලමක් මතින් මහා මාර්ගයද දුම් රිය මාර්ගයද  වැටී තිබීමය. එහෙත් මහා මාර්ගයේ දිවෙන රථ වාහන නවතා දුම්රියට ඉඩදී පසුව දුම් රිය ගිය පසු එම මගෙහිම සාමාන්‍ය රථ වාහන සඳහා ඉඩ දෙනු මා හට කිසිදා දැකීමට නොහැකි විය.අද වන විට අළුතින් සාදන පාලම නිසා නැවත කිසිදා මහ මග මැද ගම්න් ගන්නා දුම්රියක් දකින්නට කිසිදා කිසිවෙකු හට නොහැකි වනු ඇත.
ඔන්න කෝච්චියක් එනෝ ! 
- මනම්පිටිය පැරණි පාලම් රැජින
  
මනම්පිටිය පැරණි පාලම - කොහොමද ජීවය ?

සදා යොවුන්සොඳුරු කල්ලඩි !
මෙසේම මඩකලපුවේ කල්ලඩි පාලම දැකීමද කලක සිට සිතේ තිබුනු අශාවක් විය.
ඈතින් පෙනෙන තල් ගස් හැරුණු කොට වෙනයම් ගහක් කොලක් නොමැති පරිසරය වෙනස් වී කලපුවක් හරහා ගමන් ගන්නා ආකාරයකට හැරුණි. දෙපස වූයේ යාන්තමින් රැළි නගන නොගැඹුරු ජල තලාවකි.ඒ මැද තැනින් තැන විල්ලු සේ තන කොළ පිරුණු බිම් කඩවල් පෙනෙන්නට විය. මයා රන්ජන්ගේ "දිගාමඩුල්ලේ ආශ්චර්යය" පොතේ නෙල්ලි කැලේ ගැන කියන විස්තරයේද මෙවන් පරිසරයක් ගැන වර්ණනාවක හේ යෙදේ. තණ පිටි අතර ඇති කැලෑ කුට්ටි ඔහු දකින්නේ දූපත් මෙන්ය! තැනින් තැන ඉහලට එසවුණු බිම් කඩවල් අළු පැහැයක් ගෙන තිබුනි. ඒවා සැදී තිබුනේ ලුනු  වලින් මෙනි. ඇත්තෙන්ම ඒ ලුනුද? ලුනු ලේවායක් මැදින් ගමන් ගන්නා අයුරක් දැනිනි. දිය කඩ  නො එසේනම් දිය තලාව මැදින් මාර්ගය තද කළු පැහැයෙන් ඇදී ගොස්ය.
පීත්ත  පටි  හා ලිප් ලයින් !
මා ගමන පිටත් වන්නේ Go-Pro කැමරාවද රැගෙනය. එය මාහට ලැබුනේ මාගේ අතිජාත දොස්තර මිත්‍රයෙකු වෙතින්ය. ලෝභයාගේ දේ කූඹි කනවා කියා ඇත්තේ කුමන සංසිද්ධියක් මුල් කර ගෙන දැයි මාහට සිතා ගත නොහැක. එය මා අසා ඇති මුත් අක් මුල් සොයන්නට වෙහෙස නොවීමි. කැමරාව තිබුනද එය ප්‍රයෝජනයට ගෙන තිබුනේ අනුරාධපුරයට ඇතුළු වන විටය. එහෙත් පසුව බලනා විට එය පටිගතවී නොතිබුනි! මේ හා සමාන සිදු වීමක් පොළොන්නරු ගමනෙදීද මටත් මධූටත් සිදුවිය. මධූගේ අදහසට අනුව දීර්ඝ කාලයක් පාවිච්චි නොකර තිබීමෙන් එහි බැටරියට වැඩේ සිදුවී ඇති බවය. මේ ගමනට මා එය ගෙන ආ අතර එය සවි කිරීමට පාලම ආසන්නයේදී අප කටයුතු කලෙමු. සංගු පිටිය / සන්ගුපිඩි පාලම හරහා දිවෙන මාර්ගය ඔස්සේ වීඩියෝ සටහනක් ලියා තබා ගැනීම මගේ අදහස වුනු අතර එය ක්‍රියාවට නැගීම භාර වූයේ මධූ හටය.
වැඩකට නැති ඇටවීම !

පෙ.ව. 8.47
මොනවා කියලා ලියන්නද?

අමුනා ගත් කැමරාව සහිතව මධූද මමද පදින්නට පටන් ගත්තෙමු. මාර්ගය දෙපස ක්ෂිතිජය තෙක් දිවෙන දසුනක්ය. අහස අළු පැහැයට හුරු නිල් පැහැයක් ගෙනය. අහසෙ පැහැයට නෑකම් කියන වර්ණයකින් නිසල මුහුද සෙමෙන් නලියයි. කලපුව හරහා හමන දැඩි සුළඟ ඒකාකාරව හමා යයි. එප ප්‍රථිරෝධය හමුවේ මමත් මධූත් සෙමෙන් සෙමෙන් ඉදිරියට පදිමින්ය. නිශාන් අප කැමරාව අමුනද්දී අප පසුකොට අනියත බිය හා එක්ව යන්නට ගොස් ය! සිහින් දිය බිඳු ගොන්නක් විටෙන් විට මුහුනට කඩා වැටේ. එය දෙතොලට සිහින් ලවන රසයක් මතු කරයි. මාර්ගය ඊ ගහක් සේ ඈතින් ඈතට විහිදී ගොස්ය. ඈත පෙනෙන තෙක් පානයට දිවෙන මාර්ගය දිගේ ගමන් ගත හැකි තරම් දුර දිවයන ඇස නොපැහැදිලි දසුනක් සමග ආපසු හැරේ! තවත් විනාඩි 15 ක පමන කාලයක් ගත වන විඅට අප දෙදෙන සංගුපිටිය පාලම අභියස විය. අප එහි යන විටත් නිශාන් එහි ලඟාවී සිටියේය. හරියටම විනාඩි 15 ක දුරක් යනු කිලෝමීටර 5 ක පමන දුරකි. ඔව්! සත්තකින්ම මාගේ මතකය නිවැරදිනම් එය එක දිගට තනි කෙලින් දිවුනු කිලෝ මීටර 5 කට ආසන්න මගකි!  පාලමට පලමුව පිලිපන්නේ මම විය යුතුය. පාලම සකසා තිබුනේ අරුක්කුවක් විලසිනි. එතෙක් සමතලා දිවෙන මග පාලම සමග අඩි 30 ක් පමන ඉහලට නැගෙයි. ඒ ඊට යටින් බෝට්ටු ඔරු වැනි යාත්‍රා ගමන් කිරීමට ඉඩ සැලසීමටය. මා පාලම පතට පැමින නැවතුනි. පාලමින් පහත මුහුද බුබුළු නගමින්ය. පතුල නොපෙනෙන කොල - නිල් මිශ්‍ර වර්ණයකින් හෙබි කර දිය කුඩා රැළි නංවමින් තිබුනි.
ඔබ බලන්නට මා පැමිනි දුර ඔබ දන්නවා නම් !?
සංගු පිටිය / සන්ගුපිඩි පාලම


පාලම උඩ ! පාලම යට !


පෙ.ව. 9.02
නිශාන් කලකට පසු !
පාලම මතට පැමිනි මා සෙල්ෆියකට මුහුණ දුන්නෙමි! පසුව මධූ ගේත් නිශාන්ගේත් සංගුපිටිය / සන්ගුපිඩි තරණය මාගේ ෆොනයෙන් වීඩියෝ ගත කලෙමි. පාලමේ මෙහා ඉවුරේ දුර පලාතකින් පැමිණි සංචාරක පිරිසක් රැඳී සිටියෝය.ඔවුන් අප දෙස බලා සිටි මුත් කිසිවක් නොඇසුවෝය. පාලම අසල මොහොතක් රැඳී සිට නැවත ගමන ඇරඹුවෙමු.
තරමක දුරක් ගමන් ගන්නා විට මග ගම තුලට විහිදුනි. එතෙක් කලපුවක් මාධ්‍යයේ ගමන් ගත් මාර්ගය ඉන් පසු නැවත නිල්වන් කෙත්වතු මැදට වැදහොත්ය. තවත්  පැයක පමන දුරක් ගමන් ගෙන ලද විරාමයකදී කෙත්වතු මැදින් ගමන් ගන්නා දැක පුරුදු දසුනක් දිස්විය.
 ඒ අන් කිසිවක් නොව ගම බලා දිවෙන දුම්රියකි. දුම්රියේ දිගින් එය දුර සේවාවක් සඳහා යොමුවූවක් යැයි අප අනුමාණ කලෙමු. 
මීට කලකට පෙර මධූ මාසමග කී කතාවක් මාහට මතකයට එන්නේ නිතැතිනි. කොළඹදි; පොළොන්නරුව බස් එකක් දැක්කාම ඔක්කෝම දමලා ගිහින් ඒකෙ එල්ලිලා ගම යන්න හිතෙනවායි හේ වරක් මා සමග කීවේය. සත්තකින්ම එය ගමේ අක්මුල් සිඳ බිඳ නොගත් ඕනෑම පෘතග්ජන මිනිසෙකුට හැඟෙන දැනෙන සිතුවිල්ලකි. හැඟීම් සමුදායකි. 
වරක් කළණ හට මා ලියන කොමෙන්ටුවකට පිළිවදන් සපයමින් "ලංකාවේදී කෝච්චියක් දැක්කාම ඉස්සෙල්ලාම බලන්නේ මොකක්ද ඒකෙ  ඇන්ජිම කියලයි!" කියන්නේද මීට සමාන හැඟීමක් එලි දක්වමින්ය. 
සේකර "හඳ හා නිව්යොර්ක් නුවර" කවියෙන් කියන්නේද මේ අදහසමය!
සත්තකින්ම රැකියාව සඳහා සයිකලයෙන් පැමිණෙන සෑම දිනෙකදීම මා කැළණි ගඟ දෙස බලමි. හැකි බොහෝ අවස්ථාවල එහි ඡායා රූපයක්ද ගනිමි. "ඔව් මේ දින දෙකකට පෙර හක්බෙල්ලාවකින් ගලා ආ ගංගාවම නොවේද?" මගේ සිතට නැගෙන සිතු විල්ලය. 
ගීත කලාව තුල මේ හා සමාන හැඟීමක් ගැන කියැවුනු අවස්ථා දෙකක් මගේ මතකයට ඒ! ඉන් එකක් වන්නේ ටී එම් ජයරත්න ගයන "පාවී පාවී මේ එන්නේ - අතීතයේ සිට එන සුළඟයි . . ." ගීතයයි. 
අනෙක වන්නේ සේකර අතින් ලියැවුනු අමරදේවයන්ගේ ලයාන්විත ස්වරයෙන් ගැයුනු "රත්නදීප ජන්ම භූමි- ලංකා දීප විජය භූමි . ." ගීතයයි. කවිය තුල ගීතය තුල පමණක් නොව හැඟීම් දැනීම් තුල පවා අජීව වස්තුවකට ජීවයක් පිඹීමට ඉඩ අවකාශයක් පවතී.

පෙ.ව. 9.54
ගම මතක් - වෙන දසුන !
සුනිල් එදිරි සිංහයන් ගයන සුන්දර ගිතයක් මගේ මතකයට එයි. 

"අනේ යාල් දේවි - නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස පළඳනාවේ  තිබුනා ලියලා - කන්කසන්තුරේ කියලා"

යාල් දේවි යනු හුදෙක් දුම්රියක්ම පමනක් නොවීය. එය දෙරටක් එක් කල පාලමක් විය. ජාතීන් දෙකක්, ආගම් දෙකක්, භාෂාවන් දෙකක් එක් කල බැඳීමක් විය. ත්‍රස්තවාදීන් විසින් උතුරු දුම්රිය මර්ගය දෙකඩ කිරීමෙන් වෙන් වූයේ යකඩ රේල් පීලි, සිල්පර කොට පමනක් නොව. ජාතීන් දෙකක් අතර තිබුනු අවබෝධය සහජීවනය ද සුනු විසුනු වී ගියේය. 
යාපනය කොළඹ දුම් රිය මාර්ගය බිහිවන්නේ 1884 තරම් ඈත අතීතයකදී බව පැවසේ.යාපනයේ සිට කොළඹට දුම් රියක් පැමිනෙන්නේ 1905 දීය. ඒ පැය 13 කුත් මිනිත්තු 20 ක් ගෙවා බව පැවසේ. 
1956 දී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පත්වන නව සාමාන්‍යාධිකාරී ඩී.බී රම්පාල මහතා යාල්දේවි සීග්‍රගාමී දුම් රිය සේවාව පටන් ගනිමින් එය පැය 7 කින් නිම කිරීමට පුරෝගාමී විය. 1990 දී එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් දුම්රිය මග පුපුරවා හැරීමත් සමග නැවතුනු මෙම උතුර දකුණ එක් කල රන් හුය නැවත ඇරඹෙන්නේ 2014 වසරේදීය! 
ඒ සමගම ශ්‍රී ලංකාවේ විවිධ මූල්‍ය ආයතන හා වෙනත් ආයතන මගින් ඒ වන විට අබලන්ව පැවති දුම්රිය ස්ථාන පිලිසකර කිරීම හා නැවත සෑදීම සඳහා මූලය පිටු බලය සැපයූ අතර නාවක්කුලිය දුම්රිය ස්ථානය සෑදීමේ බර කරට ගත්තේ සම්පත් බැංකුව මගිනි. 
එහෙත් කණගාටුවට කරුණවන්නේ මේ පිළිබඳව විස්තරයක් අන්තර් ජාලයේ සොයා ගැනීමට නොහැකි වීමය. සම්පත් බැංකුව මගින් මුදල් යෙදවුවද ඒ සඳහා දායක වූවන් වන්නේ ප්‍රධාන වශයෙන් දකුණේත්, උතුරේත් කුඩා මිනිසුන් වන හෙයින් දුම්රිය දෙපාර්තමේන්තුවට නැතත් සම්පත් බැංකුවටවත් මෙම අභිමානවත් මෙහෙය පිළිබඳව ඉතිහාසයේ සඳහන් කොට තැබීම යුක්ති යුක්තය! 
පෙ.ව. 10.10

එතැන් සිට නිශාන් අප සමග එකට පැද යාම දක්නට ලැබුනි. අපගේ සැලසුමට අනුව තල් අරණට පැදයාමක් විනා පැද ඒමක් නොමැති විය. නිශාන් සේවය කල DSI Bike ආයතනයට අනුබද්ධිත DSI  සමූහයේ යාපනය නියෝජිත මහතා අපගේ සයිකල් තුන නැවත නිරුප්ද්‍රිතව කොළඹට ගෙන ඒම භාර ගෙන තිබුනි. එතැන් පටන් අප නිශාන් ව පොළඹවන්නට වූයේ එම වෙළෙඳ නියෝජිත මිත්‍රයාව ඉක් මනින් සම්බන්ධ කර ගන්නා ලෙසිනි. එහෙත් එතැන් පටන් බොහෝ දුරක් යනතුරු ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ යේ අප සැම තරමක අවිනිශ්චිත තත්වයකට හෙලමිනි.තවත් දුරක් පැද යාමේදී වෙල් යායක් මැද පිහිටා තිබුනු  පිළිසකර කරමින් තිබුනු කුඩ පාලමක් හමුවිය. එම පාලමේ දකුණු පසින් දක්නට ලැබුනේ අඩ කවයක්ව පිහිටි සොරොව්වකි. 
පෙ.ව. 10.16
නැමි පනා හොරොව්ව !
අප පසු කල සෑම ප්‍රධාන නගරයකටම පාහේ ඇතුළුවීමට කිලෝ මීටරයක දෙකක සීමාව තුල නගරයේ නම සඳහන් පුවරුවක් දක්නට ලැබුනි. අප පූනරීන්, නාවක්කුලිය පසු කල පසු මාර්ගයේ දෙපසට ඉව ඇල්ලුවේ "යාපනය" අකුරු හතර දැක ගැනීමට දෑස් දල්වා ගෙනය. එහෙත් යාපනය, "යාල් පානම්" තබා JAFFNA කියා වත් බෝඩ් ලෑල්ලක් දක්නට ලැබුනේ නැත. ඒ තර තුර අපට පාර අයිනේ සිටි කිහිප දෙනෙකුගෙන්
"යාල්පානම් . . . . . ?"
කියා විමසද්දී
"නේරා පොංග . ! නේරා පොංග . . .  !!"
කියා අප පැද යන මගම පෙන්වා සිටිමුත් යාපනය බෝඩ් ලෑල්ලක් මග දෙපස දුටුවේ නැත. ටික දුරක් පැදයාමේදී A9 පුවරුවක් පසෙක විය. එය සිරිලක අපට හොඳින් දන්නා කියන අංකයකි. ගෙදරය යන මාර්ගයේ අංකය නිවැරදිව නොදන්නා මුත් A9 කුමක්දැයි කියන්නට අප සියල්ලෝම දන්නෙමු. 
සත්තකින්ම A9 යනු නුවර - යාපනය මාර්ගයයි. අප මෙතෙක් පැමිණියේ යාපනය - මන්නාරම  A32 මගෙහිය. කොයි මොහොතේ කුමන ඇසිල්ලක අප A32 න් A9 මගට වැටුනාදැයි නොදන්නෙමු. ඒ කෙසේ වෙතත් A9 හමුවීම සේකරට නිව්යොර්ක් නුවරදී පුන් සඳ හමුවූ හැඟීමම ගෙන දීමට සමත්විය. දැන් අප ගමන් ගන්නේ දන්නා කියන පාරකය. තවත් කිලෝ මීටර කිහිපයක් පදිමින් සිටින විට අපගේ හිසට ඉහලින් H යකඩින් නිර්මිත යෝධ පුවරුවක් පෙනෙනට විය.
"යාපනය නගරයට ඔබව සාදරයෙන් පිළිගනිමු !"
පෙ.ව. 10.18
සිමෙන්ති මුදලාලිගේ පිළිගැනීම !
ජීවිතයේ තවත් එක් කඩ ඉමක් මෙසේ නිමාවමින් පවතින මොහොතක සිතට දැනෙන සිතුවිළි මොන වගේදැයි මේ ලියන මොහොතේ මතකයේ නැත! 
ගමන ඉවර උනා ඉක්මන් වැඩි දැයි සිතුනා මතකය. 
ඔව් අප සයිකලයෙන් තල් අරණට ආවෙමු! 
හදවත අමතා කීවෙමි. 
නොගියොත් හොඳ ප්‍රවෘථියක් . . !
ගියොත් හොඳ පෝස්ටුවක් . . . . . . .!!
කොහොම උනත් මේක හදවතට දුන් පොරොන්දුවක් . . . !!!
ඔව් පොරොන්දුව ඉටු කලෙමි.
ජීවිතයේ අවසන මියෙන මොහොත තෙක් මතකයේ රැඳෙනු ඇත 
මේ කල කී දේ ! 

පෙ.ව. 11.10
මධූත් නිශානුත් මගේ  අපි  අත් අල්වා ගත්තෝය.
"...................................!"
මහත්වූ සෙනෙහසකින් නල්ලූර් කෝවිල් බිමේදී 
මා 
ඔවුන් වැළඳ ගත්තෙමි. 
-සමාප්තයි-

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...