Friday, June 9, 2017

32. ගඟක් දිගේ ගිය ගමනක් 5

මුල් පොත

ජීවිතයේ නුහුරු  නුපුරුදු තවත් නැවුම් අත්දැකීමක් අබ්හියස විය .
එච් රයිඩර් හැගාර්ඩ් ගේ “ රත්නාගාරය”  (කිං සොලමන්ස් මයිනස්), “ඇලන් කවාටර්මන්” පොත් කුඩා කල කියවද්දී ඔවුන් අප්‍රිකාවේ මහා වනාන්තරයට ඇතුලු වීමට මොහොතකට පෙර; වෙන වෙනම තම තමනුත්; පොදුවේ කණ්ඩායමක් ලෙසටත් සූදානම් වූ ලෙසින් අපද අපගේ ගවේශනයට සූදානම් වීම ඇරඹිමු.


මා සතු අබලං ඇලන්ක්වාටර්මන් 
පොත මෙහෙම උනාට චරිතය ශක්තිමත්!

“ඇලන් ක්වාටර්මන්” පොතේ මැදි වයස පසුකොට විශ්‍රාම සුවයෙන් සිටින අප්‍රිකාවේ සිංහ දඩයමේ යෙදී සිටි එම නමැති  මිනිසෙකු වටා ගෙතේ. ඔහුගේ විශ්‍රාම දිවිය අවසන් වන්නේ දිනක් ඔහු හමුවට  ආ පැරණි මිතුරන් පිරිසක් කල යෝජනාවකිනි. ඒ නැවත මහා ඝන වනාන්තරය සිසාරා එතෙක් සුදු මිනිසෙකු පා නොතැබූ ඉසව්වක් සොයා යෑමටයි. එකවරම එයට කැමති නොවූනද අවසානයේ හේ එක්වෙයි.
ඔවුන් තම ගමනට පෙර දිනගනනාවක් සියල්ල සූදානම් කොට ගනිති. කෑම බීම,  ඇදුම්  සිට තුවක්කු, රයිෆල්, රිවෝල්වර,  ඒවාට යොදන පතරොම් උන්ඩ මූනිස්සම් සියල්ල ලැයිස්තු ගත කොට පසුව එක් කර  ගනිති.
දහයක දොලහක කණ්ඩායමක් සමග පිටත් වන  එම කණ්ඩායමේ සිටි මාගේ අසහාය වීරයා වන්නේ “ආමස්ලොපාගාස්” ය. මෙහිදී මම “අසහාය වීරයා වූයේ” කියා යොදනවා  වෙනුවට  “අසහාය වීරයා වන්නේ” කියා යෙදුවේ ඔහු පුරා දශක හතරක් නොඑසේනම් වසර හතලිහක් පුරාවට මගේ හදවත තුලඅද දවසේ පවා  ඉඩක් වෙන්කරගෙන සිටින විරුවාය! මාගේ පොත් එකතුවේ ඇති විශේෂ පොත් වන මහා ගත්කරු මර්ටින් වික්‍රමසිංහයන්ගෙ අත්සන සහිත  “යුගාන්තය”, මඩවල එස් රත්නායක ශූරීන්ගේ අත්සන සහිත “ රොබින්සන් කෲසෝ” පොත්   අතර; අබලන්ව ගිය “ඇලන් ක්වටර්මන්” පොතට ඉඩක් වෙන්වී ඇත්තේ ඒනිසා විය හැකියි!




ඇලන් ක්වාටර්මන් ඉන්නේ මේවා අතර...!





ඇලන් ක්වාටර්මන් යනු මහා පුරුෂයකු නොවන්නේය. මහා නිර්භීත කමක්ද ඔහු තුලින් දිස් වන්නේ නැත. ඉතා දක්ෂ දඩයක්කරුවකුද නොවන්නේය. එහෙත් වන ශිල්පය තුලින්; තමා තුල ඇති කලපුරුද්දෙන්; සියුම් තාර්කික ඥානයෙන් හේ අර්භූධයන්ට මුහුණ දේ.


තිසර ප්‍රකාශකයන් ගේ ඉතා දුර්වල මුද්‍රණයයක් වුවත් එක දිගට කියවගෙන යන්න පුළුවන් සත්ය කතාවක්.

 මෙම කල්පිත චරිතය ජිම් කෝබර්ට්නම් සැබෑ ජීවමාන චරිතය මත සමපාත කල හැක. ඔහුගේ රුද්‍රප්‍රයාග්හී මිනී කන කොටියාපොතේ  දැක්වෙන පරිදි ඔහු විසින් කොටියාවද; කොටියා   විසින් දඩයක්කරුවද ලුහුබඳී. මිනිස් ජීවිත 125 කට අධික ගනනාවක් බිලිගත් කොටියා අවසානයේ දඩයක්කරුට බිලිවේ.

 මේ සෑම වීරයෙකුම පෙර සූදානම පිළිබඳව; පලපුරුද්දට වඩා විශ්වාසයක් තබා තිබුනි. මෙවන්ම වූ පොතක්; ක්‍රිස්ටොෆර් ඔන්ඩාට්ජි විසින් ද ලියා ඇත. 

 මෙහි විශේෂත්ව දෙකක් පවතී. ඉන් පළමු වැන්න නම් මෙම පොත ලියා ඇත්තේ දඩයක්කරුවා විසින් නොවීමය. අනෙක කරුණ වන්නේ මෙම පොතට පාදක වී ඇත්තේ අප රටේ කොළඹ සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ හමුවන පූනානි නමැති අදටත් කුඩා ගමක් වීමය! මෙම  පලාතේ මීට වසර 97 කට පෙර එනම් 1920 තරම් ඈත අතීතයේදී; මිනිසුන් විසි දෙනෙකු  පමන කා දමන ලද දිවියකු පිළිබඳ සත්‍ය කථාවක් පසුබිම් කරගෙන මෙම පොත ලියැවී ඇත.



රසාලිප්ත ග්‍රන්ථයක්

Life Jackets ජීවිතාරක්ෂක කබා වලින් සැරසුනු අප හදිසි අවස්ථවකදී  යොදා ගන්නා  Buoy  බෝයාවක්, කඹයක්, පිහියක් වැනි උපකරණ කිහිපයක් අපගේ කයාක මත තබා ගැටගසා ගතිමු.


සියල්ල අහුරමින්. නිල් පැහැති ටී ෂර්ට් එකෙන් සැරසී ඉන්නේ අම්රාන් අතාස් . සෙල්ෆිය ගන්නේ පසිඳු අමරසිංහ.


මාගේ කයාකය මතවූ Hatches තුනෙන් දෙකක් තුලට අපගේ පාන් ටිකද අනෙක් එක තුලට Dry Bag එකක්  ඇතුලට දමා මුද්‍රා කරණ ලද අපගේ ජංගම දූරකථන, මුදල් පසුම්බි, ඔරලෝසු කුඩා ප්‍රථමාධාර එකතුවක්  වැනි දේ ගබඩා කර ගත්තෙමු.


අම්රාන් අතේ අපි ගාව තිබුනු එකම ඩ්‍රයි බෑග් එක.



වතුර ගත්තේ මෙගා බෝතල් වලටය. මෙවැනි ගමනක්දී බොහෝ දෙනෙකු   ගෙන යන්නටත්, ප්ර්යෝජනයට ගන්නටත් උනන්දුවන බිලී බෑමේ උපකරණ කිසිවක් අප සතු නොවීය! එය අප  අපම ගිවිසගත් පොරොන්දුවකි!  හක්බෙල්ලාවකට පැමිනෙන තෙක් ඇඳගෙන පැමිනි ඇඳුම්ද බැග්  වල දමාගෙන ඒවාද කයාක මත නොසෙල්වෙන සේ ගබඩා කොට ගත්තෙමු.





මා අමතර හබලක්ද කයාකය මතට ගත්තෙමු. මන්ද එක් හබලක් කැඩී බිඳී ගියහොත් හෝ වතුරේ ගසා ගෙන  ගියහොත් අපට අප්ගේ ගමනට ඇතිවිය හැකි බාධා  අවම කර ගැනීමටය.

සියල්ල සූදානම්ය. මම මගේ අවසාන ඇමතුම බිරිඳට දුනිමි. 


බිරිඳට අවසන් වතාවට අමතමින්. 
 "බුදු සරණයි.....!"

අප තිදෙන; අප තිදෙනටම සුභ පතමින් ගමන පිටත් වන්නට අවසාන පියවරට එලඹිමු.
අපගේ පැරණි මුතුන් මිත්තන් වනාන්තරයකට පිවිසෙන්නට ප්‍රථම සිදු කරණ සම්ප්‍රදායික දේව කටයුත්ත පසිඳු වෙතින්  සිදුවිය. ඒ කොල අත්තක් කඩා එල්ලීමයි! 


අපි සූදානම් වන අතරතුර පසිඳු දෙවියන් වෙනුවෙන්  කොලත්තක් එල්ලමින්.







පළමු හබල් පහර !

සියල්ලන්ට සමු දී...!

මාගේ Triyak   එක මා තනිවම  මවිසින්ද  අනෙක් Solo Kayak  දෙක අම්රාන්  හා පසිඳු විසින්ද පදවනු ලැබීය. දැන්  වේලාව උදෑසන හතට පමනය. පෙරදින වැටුනු පිණි වලින් ගං ඉවුරු මත ඇති ඉලුක් පඳුරු, උණ ගස් ගල් පර්වත යාන්තමින් තෙමී ඇත. ගඟ මතට හිරු රැස් වැටෙමින් විය. නුහුරු  නුපුරුදු ගමනකට අප අවතීර්ණවී සිටින්නෙමු .

මාගේ කයාකයේ ඉදිරියෙන්ම පටවා තිබුනේ තැඹිළි හා නිල් පැහැයෙන් යුත් බෝයාවය. Buoy යන වචනය සෑදී ඇත්තේ  Buoyancy  ජලයේ පාවීමේ හැකියව හෙවත් උත්පලවකතාවය යන වචනය බිඳීමෙනි. Life Jacket නැත්හොත් ජීවිතාරක්ෂක කබා හැඳින්වීමට  බොහෝ අවස්ථා වලදී Buoyancy Aid යන යෙදුම භාවිතා කරණු ලබයි. 
දිය මත කිසියම් මායිමක්  සනිටුහන්  කිරීමේදී, නොඑසේනම් දියෙහි ගිල්වා ඇති යමක් එල්වා තැබීමට; එම ස්ථානය සොයා බලා ගැනීමට හෝ නැවත එම වස්තුව ගොඩට ඇද ගැනීම පහසු කර ගැනීමට බෝයා ප්‍රයෝජනයට ගනී. සීමා මායිම් ලකුණු කිරීමට හෝ මාළු දැල් එල්වා තැබීමට; ඉහල කෙලවර පාවීමට සැලැස්වීමට මෙකල බෝයා බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනු ලබයි. මේවා රෙජිෆෝම් වලින් ඉලිප්සයක්සේ සාදා ඒ මැදින් සිදුරක් සාදා ඇත්තේ ලනුවක්, කඹයක් හෝ වෙනයම් රැහැන් පටක් රිංගවීමටය. 
මුල් කාලයේදී ඝන වීදුරු වලින් සදා දැල් බැගයක දමා ප්‍රයෝජනයට ගෙන  ඇත. මේවා පා පන්දුවකට වඩා විශාලය. මෙම ගමනට අප ගෙනගියේ PVC වර්ගයකින් සාදා තිබූ පාපන්දුවකට වඩා විශාල බෝයාවකි. එහි දෙකෙළවර කඹ ගැට ගැසීමට  හැකි අයුරින් සිදුරු දෙකක් නිශ්පාදනයේදී මෝල්ඩ් කර තිබුනි. එයට ගැටගසා තිබුනු මීටර් 8 ක් දිග කඹය කයාකයට සම්බධ කර  තිබුනි.ඒ අපට ජීවිත ආරක්ෂක උපකරණයක් සේ භාවිතා කිරීමටය.


එදින
හිමිදිරිය යාන්තමින් ගිලිහෙමින්  තිබුනු උදෑසන; සමනල සිරස දෙසින් වැටෙනා හිරු රැස් ගඟේ ඉහල සිට පහලට වැටී තිබුනි. එම තොටුපලින් නික්මුනු අප විනාඩි ගනනකින්  ගඟේ අනෙක් ඉවුරට සේන්දු වූයේ කයාක මත නංවා තිබුනු බඩු භාහිරාදිය, ජලය පිරවූ බෝතල් ආදිය හොඳින් සකසා ගැනීමටය.








මුලින්ම කයාක් ගොඩ තියාගෙන බඩු මුට්ටු අහුරා ගත්තත් පදින කොටයි තේරෙන්නේ තව පොඩ්ඩක් එහා මෙහා  කරන්න ඕන  කියලා. ඒ වැඩෙයි  මෙතනදි සිද්ධ වුනේ.

 කයාකය පැදවීමට පහසු වනසේ එම බඩු භාණ්ඩ  නැවත සකසා; හොදින් තදින් ගැටගසා ගෙන; ගඟේ අනෙක් ඉවුරේ වැළි තලාවෙන් අප ඉක්මනින්ම  පිටත් වුනෙමු.
එම නවතැන සිට මීටර් 50 ක දුරින් හක්බෙල්ලාවක පාලම විය. මෙම පාලම තරණය කරන්නට ඇත්තේ ගඟේ වම් පසින් පමනක් වන අතර එහිදී අපට අපගේ ගමනේ ප්‍රථම Rapid එක හමුවිය. එය අපගේ ප්‍රථම   Rapid අත්දැකීම විය. ජල පහරේ වේගය, ගල් පිහිටා ඇති ස්වභාවය, ඉදිරියේ ඇති ගැඹුර  මත කයාකයේ හැසිරීම රඳා පවතී. මෙවන්  ස්ථානයකදී කයාකයේ හැසිරීම ගැන  කිසිදු වැටහීමක් අප වෙත නොවූයෙන්; අප  හැකි පමණ ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් එය තරණය කලෙමු.
මෙවන් අවස්ථාවකදී එනම් කිසිදු ලෙසකින් කයාකය පැද යා නොහැකි තරම් ගල් පර බාධක වේ නම්; කයාකය ගොඩට  ඇද එය  ඔසවා ගෙන යෑම කල යුතුවේ. එසේම කයාකයේ පසුපසින් ගැටගසන ලද කඹයක  අධාරයෙන් ගලක් මත හෝ වෙනයම් ආරක්ෂිත ස්ථානයක සිට; කයාකය හැසිරවීම කල හැක. ඉදිරිපසින් ගැටගසන ලද කඹයක මාර්ගයෙන් දිය පහරට එදිරිව ඇදගෙන යාහැකි උවත්; පහලට ගලන දිය දරක් ඔස්සේ පහලටම  ගසගෙන යන  කයාකයක් ඉදිරිපසින් හැසිරවිය නොහැක. මන්ද ඉදිරිපස නැවතුවද පසුපස ගසාගෙන විත් කයාකය දියමත භ්‍රනණයවී පාලනයෙන් ඉවත්ව යන බැවින්ය.සාමාන්‍යයෙන් කයාකයට කඹයක අමුනන්නේ ඉදිරිපසින් වුවද ඒ සඳහා යොදාගන්නේ එය ක්ෂණිකව ගැලවිය හැකි Snap Hook එකක් මගිනි. එවිට එය ඉක්මනින් පසුපසට අමුනාගත හැකි වේ. නිරන්තරයෙන් පසුපසට කඹයක් අමුනා නොතියයි. මන්ද එය; පදවන්නාට නොදැනුවත්ම  පටලැවී ගමනට බදාවක්  වියහැකි හෙයින්ය.



Rapid එක අසලදීම මාගේ කයාකය ගල් අතර හිර වුනි.

අද එම සිද්දිය දෙස පසු විපරමක යෙදීමේදී Tandem (Two Man) kayakයක්  වූ මගේ කයාකය මා තනිව හැසිරවූ නිසා මෙසේ හිරවන්නට ඇතැයි සිතේ. එයට අමතරව මා පිටුපස හිඳ නොසිට මැද හිඳ පැද්දේනම් ප්‍රථිඵලය වෙනස් වන්නට ඉඩ තිබුනි.
ඉතා  අසීරුවෙන් කයාකයන් තුනම Rapid එකෙන් මුදවාගත් අප එතැන් සිට බොහෝ දුරක් යන තුරු ගමන් කලේ ඉතාමත් සාමකාමී දිය දහරයකය. 

නමුත් මේ ක්‍රීඩාව හෝ ක්‍රියාකාරකම, වඩාත් ආශ්වාද්නීය වන්නේ Rapid මතින් පැදීමෙන් විනා ඇල්මැරුණු දියෙහි පදවා නොවේ. Rapid නැතිව කරන්නාවූ kayaking  සමකල හැක්කේ රෑට වසා තැබෙන නයිට් කඩයකටය. නොඑසේනම් ඉනිමගක් තබා කරණ කඳු නැගීමක් වාගේය. අපගේ පලමු Rapid අත්දැකීම බැවින්ද; කණ්ඩායමේ අන් අයගේ ආරක්ෂාව හේතුවෙන්ද  එම Rapid එක සීරුවෙන් පැමිනීමට  අප එකඟ විමු. 
මුළු ගඟම කුඩා  ගල් කපොලු අතරින් ගමන් ගන්නා මෙම ස්ථානයේදී  දිය දහර අධික වේගයක් ලබාගනී. දිය සෙවල නිසා දැඩිසේ ලිස්සන ගලමතින් මාරු වෙමින් අප සෙමෙන් කයාකයන් Rapid එකෙන් ගලවා ගත්තෙමු. සිට කිලෝ මිටර දෙකක පමන දුරක් අප එකිනෙකා ස්මග දොඩමලු වෙමින්; අවට පරිසරය විඳිමින් පැමිනියෙමු. මේ වන විට හැටන් කොළඹ A 7 මාර්ගය අපේ දර්ශන පතයෙන් ඉවත්වේ  ගොස්ය. එහෙත් එහි ගමන් ගන්නා බර වාහන වල හඬ නිරන්තර යෙන් ඈතින් ඇසේ. ගඟේ වම් ඉවුර අසල පමනක් තරමක් ගැඹුරුය. අනෙක් පසට වන්නට වැලි තලා දිස්වේ. පතුලද වැලි වලින් ගහනය. වැළි තොටුපොලවල් මේ හරියේ දක්නට නොමැත. එසේම නාන තොටු පොලවල්ද තවමත් සක්‍රීය වී නොමැත. පලාත තවම නින්දේ නොවූවද ක්‍රියාශීලී වී  නොමැත. 

අප ඊළඟ Rapid එකට මුහුන දෙන්නේ නවට, පරුස්සැල්ල හන්දියට සමාන්තරවය. පළමු වතාවට අපගේ කයාකයක් පෙරළී යන්නේ මෙම ස්ථානයේදීය. ඒ “වාසනාවන්තයා” වූයේ අම්රාන් අතාස් ය !
එය එතරම් දරුණු ගනයේ එකක් නොවුනි. එහෙත් ජලයේ වේගය තරමක් වැඩිය. Rapid එකට අවතීර්ණ වීමත් සමග අම්රාන් වෙතින් පැදීම පමා වන්නට ඇත. ඒ සමගම හරස් වූ කයාකය ක්ෂණිකව  පෙරළී ගියේය. පෙරළීමත් සමගම ඔහුගේ කයාකය මා පසුකරමින් ඇදී ගියේය. 
ඒ සමගම අම්රානුත් දිය  පහරේ ගසාගෙන යයි. කයාකයත් අම්රානුත් ඇදී යන්නේ වඩාත් දරුණුවූ ඊළඟ  Rapid එක වෙතය! ගඟේ වම් පස ගැඹුරුවූ අතර ගඟ එම ස්ථානයේ බෙහෙවින් පටු විය. දකුණු පසින් වැළි තලාව  මතුවී ඇතත් අප සියල්ල ඇදී යන්නේ වම් පසටමය. එහෙත් මමත් පසිදුත් අපගේ යාත්‍රා ඉදිරියට පැද ඔහුව නිරුපද්‍රිතව  බේරා ගතිමු. එතැනට ගොට බට අප සුලු වේලාවකින්ම දියට බටහ.  ඉන් පසු කෙටිදුරක් අප සාමකාමී වටා පිටාවක යාත්‍රා කලෙමු.

එක් නිවෙසක පිටුපස සිටි වයස අවුරුදු පහක පමන කුඩා දරුවකු අප දැක  වික්ෂිප්ත බව පල කලේය. අප ඔහුට අත් වැනූ මුත් ඔහුගේ ප්‍රථිචාරයේ කිසිදු වෙනසක් නොවීය. ඊළඟ Rapid එක අපට හමු වන්නේ අලි වත්ත ආසන්න්යේය. අප; අපගේ යාත්‍රා ගොඩට ගෙන උදෑසන ආහාර ගත්තෙමු.


නැංගූරම් ලා!


උදෑසන අහර උදෑසනින්ම.....


පිටව යන්නට මත්තෙන් එකම එක සෙල්ෆියක්!

25 comments:

  1. Replies
    1. Thanks Lalith for your valuable comments. It helps me to develop my writing skill.

      Delete
  2. ගෝෆෝ කැරමාවක් ගත්තානං පංකාදු පහයි ....

    ReplyDelete
    Replies
    1. ගෝප්‍රෝ එකක් ඒ දවස්වල තිබුනේ නෑ මචං. තිබුනානම් වටිනාකම කියන්න බෑ.

      Delete
  3. කමෙන්ට් ආප්ට ඇප්රුවල් වෙන එක වාතයක්

    ReplyDelete
    Replies
    1. මචං ඇයි අවුල් කියන්නේ? කමෙන්ටුව දැම්ම ගමන් ; දැම්ම එකාට පේන්නේ නැති නිසාද?

      Delete
    2. 1 ) කමෙන්ට් තුල සංවාද ගොඩනැගෙන්නේ නැ ඒක විශාල පාඩුව , සහ අත්‍යඅවශ්‍ය දෙයක්

      2 ) කමෙන්ට් දාන එකාගේ කමෙන්ට් එකක් දාන ආතල් එක හම්බෙන්නේ නැ

      3 ) මට කමෙන්ට් වැඩක් නැ ... දාන එවුන් දානවනං දාපං .. නැත්තං පලයං ... වගේ පනිවිඩයක් දෙනවා

      4 ) කමෙන්ට් දාන උන්ට ඔහේ කමෙන්ට් පබ්ලිස් කරලද . ඒකට රිප්ලයි වැටෙනවද විශේෂයෙන් හොයා බලන්ඩ වෙනවා.... ඒක හෙන කරදර වැඩක් ෆෝන් වලින් කියවන අයට


      හොදම විදිහ තමයි ආප්ට ඇප්රුවල් දාන එක ටු ඩේස් ආප්ට

      එත කොට ඔයාට තියෙන්නේ දවස් දෙකක් අළුත් පොස්ට් එක දිහි බලාගන ඉන්ඩ විතරයි ... දවස් දෙකක් පැන්න ඒවායේ කමෙන්ට් පබ්ලිස් කරන්ඩ ඔයාට ඇප්රු කරන්ඩ වෙනවා


      Delete
    3. හිස නමා පිළිගනිමි! පැයක් දෙන්න! මමයි මගේ ට්‍රක්නිකල් සපෝර්ටරුයි කන්න යන්වා. කෑමෙන් පසු!

      Delete
  4. Replies
    1. බොහොමත්ම ස්තූතියි ! දිගටම කියවන්න!! හැකි හැම තැනම කමෙන්ටුවක් දාන්න.

      Delete
  5. හක්බෙල්ලාවක ඉදං නවට ට එන්න කොච්චර වෙලා ගියාද. බොක්ක කූල් වෙලා යනව ඇති නේ හෙහ්

    ReplyDelete
    Replies
    1. මචං පැයක් විතර ගියා!

      Delete
  6. ශා මචං. මරු හොඳේ. මට හෙන ආසාවක් ආව කයාකියක් ගන්නත් පදින්නත්. දැනට අවුරුදු 15 කට විතර කලින් මාතර බීච් එකේ පැය බාගයක් විතර කයාකියක් වගේ එකක් පැදල තියෙනව.

    ලංකාවේ කයාකි පදින්න සේෆ් තැන් තියෙනවද? ඒ කියන්නෙ කිඹුල්ලු එහෙම නැති ගංගා වැව් ඇළ වල් එහෙම මචන්?

    මේක ෆුල් ඉන්ටරෙස්ටින් බ්ලොග් එකක්. මටත් නේචර් එක්ක පොඩි අවුලක් තියෙනව. හිටි ගමන් කැම්පින් බෑග් එකයි ටෙන්ට් එකයි අරං කොහේ හරි ගිහිං දවස් දෙක තුන ඉඳල එනව.

    විස්තර ලියහන්කෝ.

    ජය වේවා..!!

    👊🏽

    ReplyDelete
  7. මට තිබුනු ඇඟේ අමාරුවට තමයි කයක් එකක් ගත්තේ. කයාකින් කරන්න කයාක් එකක් තියෙන්නම ඕන වෙන්නේ නැහැ. පටන් ගන්න හොඳයි කැළණි ගඟ. මචං ඔයා බීච් එකේ පැද්දේ සර්ෆ් බෝඩ් එකක් නෙවෙයිද? ඒ කත් සුපිරිම වැඩක්. ආරුගම්බේ , මිරිස්සෙ එහෙම කරන්නේ. ඔයා දන්නවා ඇති. හැබැයි වෝටර් ස්පොර්ට්ස් වල එළම වැඩේ තමයි Scuba Diving (self-contained underwater breathing apparatus)හෙවත් ඔක්සිජන් සිලින්ඩර භාව්තයෙන් කරණ කිමිදීම. මචං ඒකට ලයිසන්ස් එකක් ගන්න ඕන PADI (Professional Association of Diving Instructors) කියලා.
    ලංකවේ රුපියල් 40000 - 50000 සමග දින 4-5 ගතවෙන වැඩක්.ඒ ගැන හොඳ පොතක් ලියලා තියෙනවා සිංහලෙන්. මම මතක් වුනු ගමන් නම දාන්නම්. ඉංග්‍රීසිටෙන් ලියැවිලා තියෙනවා පොත්ක් Classic Diving in Ceylon කියලා ආතර් සී ක්ලාක් මහත්තයා විසින්. ඒක දැන් හොයාගන්නවත් නෑ. ඩිවින්ග් වල ප්‍රබේධ ගනනාවක්ම තියෙනවා. පට්ටම එක තමයි Wreck රෙක් ඩයිවින්. ඒ කියන්නේ ගිලුනු නැව් ගවේශනය. සාමාන්යයෙන් මීටර්10-15ක් ගියාම බලන්න පුළුවන් ඒවා අපේ රට වටේම තියෙනවා. !

    ReplyDelete
  8. ටික්කා මචං
    කයාකින් කරන්න කැමති නම් කියන්න. යටිතල පහසුකම් නොමිලේම සපයන්නම්. මේ පෝස්ටුව නිදිමරාගෙන් ලියන එකෙන් බලාපොරොත්තුවෙන්නෙත් ඒකම තමයි.

    ReplyDelete
  9. නියමයි....
    අටමගේ ඔත්තුවට මේ පැත්තට ආවේ.. එකේ ඉදන් පහ වෙනකං සේරෝම කියෙව්වා. කැලේ කොලේ රිංගන්න තියෙනවනං ඊට වඩා දෙයක් මටත් නෑ. හැබැයි බෝට්ටු පැදිල්ල නං අලුත්ම දෙයක්.
    දිගටම ලියන්න..
    ජය වේවා. තවත් මේ වගේ ගමන් යන්න වාසනාව ලැබේවා. !!!

    ReplyDelete
  10. අටමාගේ පාරෙන් ආපු මචංලා සෙට් එකක් තමයි ඉන්නේ සීයට අනූවකම! බොහොම ස්තූතියි බෝට්ටුවට නැග්ගාට ගඟ දිගේ යන්න. මචං තාම මේක පෙරවදන (පෙරගමන)! දිගටම අපීක්ක යමු. මේක කරණ එක ඒ ගැන ලියනවාට වඩා පහසුයි. කරණ්න ඕන නම් කියන්න . ගහකොලට සතා සීපාවට ආදරේ නම් ඒක තමයි ලයිසන් එක ගඟ දිගේ යන්න!

    ReplyDelete
  11. හැමදාම ඇවිත් හොරෙන් බලල යනව. අද තමා පලවෙනි කොමෙන්ටුව මගෙ බොග් බැලිල්ලෙ. මේක පට්ට අත්දැකීමක්. දිගටම ලියහන් වස්තුවෙ.

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ උඹලගෙ කොමෙන්ටු වලට මම දාපු රිප්ල්යි එකක මම කියලා තියෙනවා ඕකට මගේ උත්තරේ. මචං අංක එක තමා උඹලගෙ කොමෙන්ටු තමයි මගේ පෝස්ටුව ලිවීමට සැපයෙන ඉන්ධන! අංක දෙක තමයි කමෙන්ටු බලන කොට ගමන් ගියාට වඩා සැපක් සනීපයක් දැනෙනවා. බොහොම ස්තූතියි වගේම බොහොම් පින්. 6 ත් එල්ලුවා බලන්න. කොමෙන්ටුවක් නොදා යන්න එපා!

      Delete
  12. නියමයි.
    ඇලන් ක්වාටමන් මගේ ලඟත් තියනවා වගේම මගෙත් ප්‍රියතම පොතක්. අම්ප්ලපොගාස්, සොරේස් අමතක වෙන්නෙම නෑ

    ReplyDelete
  13. පාසල් යන කාලේ මගේ ටියුෂන් පංතියක ලස්සන කලු සිහින් සිරුරක් තිබුනු යුවතියක් හිටියා. මම් එයාට නම දාලා තිබුනේ "ඉන්කොසිගාස්" කියලා. මතකද?

    ReplyDelete
  14. ලියලා තියෙන ඒවා කියවනකොට පොඩි දුකක් දැනෙනවා ,,,"අනේ ඕවා කරන්න වෙලාවක් කොහෙද දැන් "කියලා ...හිතින් කායක් පදින්න තමයි වෙන්නේ ...වෙලාව ලැබෙන කොට හැට පැනලා හොටත් ඇනිලා තියෙයි .... දිගටම ලියන්න

    ReplyDelete
  15. එහෙම හිතන්න එපා දුමින්දු. ඔය වැඩේට ඕන උවමනාව විතරයි. කරණ්න ඕනකෙනෙක් ඉන්නවා නම් ඕන උදව්වක්! අනෙක හැටත් වයසක්ද මචං!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...