Thursday, September 28, 2017

52. ගඟක් දිගේ ගිය ගමනක් 10



පෙර වදනින් පසු ලියැවුනු පලමු පෝස්ටුව එනම් “ගඟක් දිගේ ගිය ගමනක් 9” ගැන මාගේ ආදරනීය පඨකයින්ගේ ගුණ දොස් තවමත් මා වෙත ලැබෙමින්ය.
ඒ බොහෝ දෙනා වෙනුවෙන් මෙතෙක් කතාව සැකෙවින් දක්වමින්ම කතාව අරඹමි.

මමත් පසිඳුත් අම්රානුත් කැළණි ගං සංචාරයෙන් පසු වෙන්වන්නේ නැවත එවන්ම වූ ගමනක් යෑමේ අරමුනින් .නැවත ගවේශනයකට යෙදෙන්නට ඟගක් සොයමින් සිටි මා දිනක් Lakdasun හි පලවූ ලිපියක් නෙත ගැටේ.
Mahaweli Expedition - Shall we do? යන මැයෙන් මෙම ලිපිය  පල කොට තිබුනේ විශ්‍රාමික ගුවන් හමුදා නිළධරයෙකුවූ ප්‍රියන්ජන් ද සිල්වා විසිනි.
මෙයට පසිඳු හා අම්රාන් තම කැමැත්ත පලකරයි. එයට වසිකද එකතුවේ.
මාගේ මිතුරෙකුවූ තෙශාන්තද එක්වේ.

මෙවන් ගමනකට වැඩි පිරිසක් ඇවැසි වන බැවින්;  Lakdasun හි Trip Invitation   එකක් මවිසින් පල කෙරෙයි.

එහි ප්‍රථිඵලයක් ලෙස ධම්මික  හා කෙන් එක්වේ.
කෙන් මෙම ගවේශනය දෙතුන් විටක් සිදුකොට කලපුරුද්දක් ඇත්තෙක් විය.

පසිඳුගේ මිතුරෙකුවූ දිමුතුද ගමනට කැමැත්ත පලකර සිටියි.
අපගේ ප්‍රථම හමුව පාර්ලිමේන්තුව ඉදිරිපිටදී 2015 ජුලි 18 වන සෙනසුරාදා  සිදුවේ.

සමබර ශක්තිමත් කණ්ඩායමක් සමග එතැන් සිට කියවගෙන යමු !

එදිනට මෙම හමුව යොදාගත්තේ නිත්‍ය පදිංචිය බණ්ඩාරවෙළ වූ ප්‍රියන්ජන් ගේ කොළඹ ගමන් හේතු කොට ගෙනය. මන්ද ප්‍රියන්ජන් හැරුණුවිට අන් සියළු දෙනාම අගනුවර අවට පදිංච් අය වූ බැවිනි. මාගේ මතකය නිවැරදි නම් මෙම හමුවට ප්‍රියන්ජන්, පසිඳු, තෙශාන්ත, ධම්මික, කෙන්  හා මම සහභාගී විය. හමුව පැය කිහිපයකට පමනක් සීමා උවද බොහෝ වැදගත් කාරණා රාශියක් මේසය මතට ගෙන  ඒමට සැමදෙන සමත් විය.
Hiking පිළිබඳව අඩු අත්දැකීම කරණකොට ගෙන මා විසින් සකසා අපගේ e-mail ජාලය හරහා ඒමේ අත පාවී ගිය යෝධ අහාර වට්ටෝරුව හකුලා ගැනීමට සිදුවීම එදින සිදුවූ වැදගත්ම සිදුවීම් වලින් එකක් ලෙස ගත හැකිය.

බොහෝ දෙනා කෙන්ගේ සම්ප්‍රාප්තිය අගයකොට සැලකූ අතර දුටුවන් ප්‍රිය උපදවන සුළු ශක්තිමත් දේහ විලාශයකින් යුතු කුඩා තරුණයෙකු විය. වයස අවුරුදු 17 ක් 19 ක් පමන විය. නොඋස් ය. මෙම තරුණයා ගෙන් අපගේ කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් විවිධවූ ප්‍රශ්න අසමින් ගැටළු නිමාකර ගනිමින් සිටියද; මා සිතාමතාම ඉන් වැලකී සිටියෙමි. එයටb ප්‍රධාන හේතුව වූයේ; මාහට  තිබුනු එකම ගැටළුව විවෘථව කථාකොට; එතෙක් අන් අය තුල නොතිබුනු ගැටළුවක් නිර්මාණය වනු දැකීමට තිබුනු අකමැත්තය.

ඒ අනෙකක් නොව කිඹුලන් පිළිබඳව මා සිත තුල තිබුනු  දැඩි බිය ය. මාතුල තිබුනු එම හැඟීම අනෙක් සාමාජිකයින් ඉදිරියේ සඟවාගෙන සිටීමට මා සැමවිටම උත්සාහ කලෙමි. එය; ඒ ආකාරයෙන්ම අන් අය තුලද ඇතිවුවහොත් මේ ගමන කිසිදු දිනෙක යාමට සිදු නොවනු ඇතැයි මා තුල  අනියත බියක් පැවතීම මෙයට ප්‍රදාන හේතූව විය !

එහෙත් එදින එතැන පැමිණ සිටි අප සාමාජිකයින් කෙන් සමග දොඩමළු වෙමින් තමාගේ සිතේ අඳුරු මුළුවල තිබුනු නොයෙක් නොයෙක් අදහස් එළියට ඇද දමද්දී  බොහෝ දෙනා තුළ “කිඹුල් ගැටළුව” දැඩි ප්‍රශ්ණයක්ව තිබුනු බව මාහට ප්‍රථ්‍යක්ශ විය.

“කිඹුල්ලු ඉන්නවා , අපිට කියලා තියෙන්නේ Team එක එකටම යන්න කියලයි ”  මේ කෙන් ගේ පිළිතුර විය.



මෙහි  Team යන්නෙන් ඔහු අදහස් කලේ Borderlands නම් අයතනය මගින් මුදල් අයකොට රැගෙන යන සංචාරක කණ්ඩායම්‍ය.

මෙම  Mahaweli Expedition නමැති සුන්දර  ගමන් සංචාරය කරණ ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ පවතී. ඉන් ප්‍රදාන තැනක් ගෙන කටයුතු කරණ්නේ කිතුල්ගල හා කිරුළපන ස්ථානයන්හි පවත්වාගෙන යන  Borderlands ආයතනයයි. මෙය  නේපාලය හා ලංකාව පාදක කරගෙන තම ව්‍යාපාර කටයුතු කරණ ආයතනයකි. විදේශිකයෙකු විසින් කිතුල්ගල White water rafting සඳහා යටිතල පහසුකම් සැපයීම හා සංවිධානය කිරීමට පටන් ගත් මෙම ආයතනය විසින් Mahaweli Expedition නම් මහවැළි ගඟ දිගේ කරගෙන යනු ලබන මෙම සංචාරය දැනට වසර ගනනාවක සිට  කර ගෙන යනු ලබයි. 

සංචාරය සඳහා සහභාගී වන කණ්ඩායමට ඇවැසි ආහාරපාන, කූඩාරම්, ආරක්ෂාව, ප්‍රථමාධාර, කැනූ හෝ කයාක , උපදේශනය ඇතුළු සියළු දේ මෙම ආයතන වෙතින් සැපයීම කරණු ලබයි. පුහුණුව ලත් කණ්ඩායමකගේ උපදේශනය යටතේ මේ සඳහා අධික මුදලක් අය කරණු ලබයි.
සංචාරක කණ්ඩායමේ යටිතල පහසුකම් සැලසීම සඳහා; මෙම පුහුණු යැයි කියාගන්නා උපදේශකයින් Instructors  හා පහසුකම් සලසන්නන්  Facilitators ඔවුන් හා ගමන් කරයි. ඒ වෙනුවෙන් ඔවුන් වෙනම ම කයාක හා රබර් ඩින්ගි (Rubber Dingy)   භාවිතා කරණු ලබයි.

කණ්ඩායමට ඇවැසි සියලුම  දේ මේවායේ ප්‍රවාහනය කෙරේ.
අප හා එක්වූ  කෙන්ද  Borderlands හි මෙවන් කණ්ඩායමක සේවය කොට ඇතිබව කෙන්ගෙන් කියැවුනු අතර Borderlands හි ප්‍රධාන  උපදේශක මහේෂ් විසින්ද තහවුරු කෙරුණි. ඒ මා එදින ඔහු ඉදිරියේම මහේෂ්ව ඇමතූ විටය.
මහේෂ් කලෙක සිට මාගේ මිතුරෙකු විය. මේ මිත්‍රත්වය නිසාම ඔහු තම අත්දැකීම්  දූරකථන මාර්ගයෙන් මාවෙත  ලබාදුන්නේ නිර්ලෝභීවය. ඔහුගෙන් මා අසන සුවහසක් ප්‍රශ්න වලින් දිනක් හොඳින් හෙම්බත්වී එක් අවස්ථාවක මාහට පැවසූයේ “හරි උඹ යන්න  set  වෙලා මට කියහංකො. මට වැඩක් තිබුනේ නැත්නම් One Man  එකක් දාගෙන මාත් එන්නම්කෝ !”  කියාය. One Man යනු One Man Kayak හෙවත්  Solo Kayak එකක්‍.
මේ  ප්‍රකාශය මට මහත් අත්වැසිල්ලක් වුවත් වසර පුරාවටම කිතුල්ගල   White water rafting, නැතිනම් මහියංගනයේ Mahaweli Expedition ඒත් නැත්නම් දකුණු මුහුදු තීරයේදී Ocean safari වැනි අටෝරාසියක් වැඩකටයුතු වලට  ස්වකීය රැකියාවෙන්ම ඇති මහේෂ්ගේ නිවාඩු දිනයක්; අපගේ කණ්ඩායමේ එක් එක් අයට ගැලපෙන ලෙස මහවැළි ගවේශනය සඳහා යොදාගන්නා දිනයක් හා කැලැන්ඩරය මත එක මත එක සමපාත වීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලා පසලොස්වක සඳ දකින්නාසේ අතිශයින්ම දුර්ලභ යෝගයක් වන බව මාහට හොඳින් ප්‍රථ්‍යක්ශවී තිබුනි.

එහෙත් මා ; මාහටත් පොදුවේ කණ්ඩායමටත් දන්වා තිබුනේ මහේෂ්ගේ පැමිණීම ස්ථිර ලෙසය! මන්ද එමගින් මගේ සිතටත් පොදුවේ කණ්ඩායමටත් ඇතිවන ශක්තිය, ධෛරයය මිළකල නොහැකි එකක් වනවා යැයි  මාහට සිත්වුනු හෙයින්‍ !
මහේෂ්ගෙන් මා කෙන් ගැන විමසූ විට ඔහු පැවසූවේ කෙන් “වැඩ්ඩෙකු” බවයි. මෙවන් ගමනකට “වැඩ්ඩන්” වැඩි වැඩියෙන් අවශ්‍ය වේ. කෙන් හැරුණු කොට කයාක පැදීම පිළිබඳව තරමක හෝ පළපුරුද්දක් වූයේ පසිඳුටත්, අම්රාන්ටත්, මටත් පමනි. මේ සියළු කරුණු පිළිබඳව කතාකෙරුණු පළමු දියවන්නා කථිකාව අවසන්වූයේ  විසඳා ගත යුතු  කරුණු  කිහිපයක් හඳුනා ගැනීමෙන් හා එකඟතා කිහිපයකට එළඹීමෙන්  පසුවය.

1. ඒවන විට මවිසින් සකස්  කොට තිබුනු අපගේ ගමන් බඩු ලැයිස්තුව නැවත විමසා බලා  සකස් කිරීම.
2.  අපගේ අහර වට්ටෝරුව නැවත සැකසීම.
3. අප ගමන ආරම්භ කරණ දිනයේ උදෑසන හා එදින දිවා ආහාරය මහියංගනයෙන් සපයා ගැනීම.
4.  අපට කුළියට ගැනීමට  අවශ්‍ය කයාක සියල්ල හැකි ඉක්මනින් වෙන් කර ගැනීම.
5.  ගමනට සහභාගීවන අප කණ්ඩායමේ උන් කයාක පිළිබඳව එතෙක් කිසිදු කලපුරුද්දක් නොමැතිව සිටි ප්‍රියන්ජන් , තෙශාන්ත, දිමුතු හා ධම්මික වෙත හැකි ඉක්මනින් පුහුණු සැසියක් පැවැත්වීම.

මේ වන විට අප කණ්ඩායම; ප්‍රියන්ජන්, තෙශාන්ත, පසිඳු, දිමුතු, අම්රාන්, ධම්මික, කෙන්, වසික හා මමද ඇතුළුව 9 දෙනෙකුගෙන් සමන්විතවී තිබුනි.
මෙම කණ්ඩායම; ප්‍රියන්ජන් - වසික, පසිඳු - දිමුතු, අම්රාන්-ධම්මික  හා තෙශාන්ත හා මම; යුගල හතරක් ලෙස Two Man Kayak හතරක්ද කෙන් තනිව One Man Kayak එකක්ද යනුවෙන් කයාක පහක් මෙම ගමන යන්නට උපයෝගී කර ගැනීමට  අප සැලසුම් කර කලෙමු.

ප්‍රියන්ජන් හට පිහිනීමේ හැකියාවක් නැති අතර ඔහු යුගල ගත  කලේ පිහිනුම් ශූරයෙකු මෙන්ම  ජීවිතාරක්ෂකයෙකුවූ වසික සමගිනි.  “ප්‍රියන්ජන් අංකල්ගේ” කථා ඇසීමට ලොල්වූ නිසාත් වගකීම් දැරීමට ඇති ලෝභකම නිසාත් වසික මෙයට විශේෂයෙන්ම කැමතිවිය.  එසේම ශරීර ශක්තිතියෙන් වසිකගේ ඇති කැපී පෙනීම; මා හා සම වයසේ උන් ප්‍රියන්ජන්හට වඩාත් ප්‍රයෝජනවත් වේ යැයි මා මෙන්ම වසිකද එකසේ සිතීය.
පසිඳු - දිමුතු කණ්ඩායම ගත් කල පලපුරුදු “නාවිකයා” වූයේ පසිඳුය. දිමුතු පසිඳුගේ මිතුරාය. පසිඳු; මා සමගින්  කැළණි ගඟේ හක්බෙල්ලාවක සිට රංවල දක්වා පැමින පලපුරුද්දක් ඇති අයෙකි. දිමුතු හා පසිඳු එක් යුගලයක් බවට පත්කලේ එම කාරණා හේතුකොට ගෙනය.
අම්රාන් - ධම්මික එක් ගොනුවක් බවට පත්කලේද එම සිද්ධාන්තයට අනුවය.
කලක සිට තෙශාන්ත මාගේ මිතුරෙකු විය. අප දෙදෙනා අතුරින්  මෙම කාර්‍යයේ වැඩි පලපුරුද්දක් හා පිහිනීම හා ජීවිතාරක්ෂක ගලවා ගැනීම පිළිබඳව තරමකහෝ හැකියාවක් ඇති අය මා බැවින් අපදෙදෙනා එක කයාකයේ දෙකෙලවර පදින්නට එකඟ විමු.
කෙන් වඩාත් පලපුරුද්දකට හිමි දක්ෂයාය. හදිසි අවස්ථාවකදී කිසිවෙකුවෙත ලඟාවීමට හා ගලවා ගැනීමට ඔහු වෙත පුහුණුවක් තිබිය යුතුය. එහෙයින් One man හෙවත්  Solo කයායයක් සහොතව ඔහුව මෙම ගමනට එක් කරගැනීම වඩාත් ස්ථානෝචිත විය. එසේම කණ්ඩායම 9 ක් වන හෙයින් එක් අයෙකු අනිවාර්‍යයෙන්ම  තනිව Solo එකක  පැමිණිය යුතුම විය. ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා වූයේ මේ බුහුටි තරුණයාමය!

අප ගමනරම්භය සඳහා තෝරාගැනීමට බලාපොරොත්තු වන්නේ; බොහෝ දෙනා මෙන්ම මහියංගනයේ නිපෝන් නොහොත් සකුරා පාලම පාමුලින්ය. ගමන සඳහා යොදාගන්නා කයාක කොළඹ සිට මහියංගනයට      ප්‍රවාහනය කරගතයුතුවේ. නිරුපද්‍රිතව අප මනම්පිටියට ලඟාවුවහොත් නැවත මනම්පිටියේ  සිට කොළඹට මේ සියල්ල නැවත ගෙන ඒමට ක්‍රමෝපායයක් අපට අව්ශ්‍ය විය.

මා කලින් සඳහන් කල Borderlands, Lanka Adventures වැනි ආයතන මගින් විශාල මුදලක් අයකොට කරණු ලබන යටිතල පහසුකම් සැලසීමේදී මෙවැනි ප්‍රවාහන කටයුතු    කිරීමට වෙනම කණ්ඩායම් හා ඒ සඳහා විශේෂයෙන් සැකසූ රථ යොදාගනු ලබයි.

මේ ගමන වෙනුවෙන් දින 3 ක් සඳහා ලොරියක් අවශ්‍ය වූ අතර ඒ ගැන සොයා බැලීම තෙශාන්ත භාර ගත්තේය. කොළඹසිට මහියංගනයටත් එහිසිට මනම්පිටියටත් මනම්පිටියේසිට කොළඹටත් යන මුළු ගමන් ගමන් කරමින්; දින තුනක් පුරා රැඳෙමින් සේවය සැපයීමට ලොරිහිමියෙකු රුපියල් 50,000 ක මුදලක් අවශ්‍ය බව පැවසූ බව තෙශාන්ත මාහා පැවසීය! 
එම මුදල ‘ අපක්ණ්ඩායමේ එක් අයෙකු සමස්ථ ගමන සඳහා යෙදවිය යුතු මුදල රුපියල් 5500 කින් ඉහල දැමීමට හේතුවිය ! එයට අමතරව අහාර , කුලී පදනම මත ලබාගන්නට බලාපොරොත්තුවන කයාක සඳහා ගෙවිය යුතු  මුදල් , මගවියදම් සියල්ල ගනනය කලවිට; එක් අයෙකුට දැරිය යුතු මුදල විශාල අගයකට ඉහල නැංවීමට මෙම අගය සමත් විය.

නිශ්චිත වශ්යෙන්ම අපගේ කයාක් ප්‍රවාහනය ඇතුළු සමස්ථ වියදම කොතරම්වේදැයි ගනනය  කිරීමට අපට සැලකිය යුතු කාලයක් ගතවිය.මෙම ප්‍රවාහන කටයුත්ත සඳහා දැරිය යුතු වියදම සොයා බැලීම, අහාර වට්ටෝරු සොයාබලා එය නැවත සකස් කිරීම හා අවශ්‍ය ද්‍රව්‍යය ලැයිස්තුව සැකසීම, මහියංගනයෙන් උදෑසන අහාර සපයා ගැනීමට ස්ථානයක් සොයා බැලීම හා ඒ සඳහා වැයවන මුදල අප වෙත  දැන්වීම   යන කාරණා පැවරී තිබුනේ තෙශාන්ත මුල්කිරිගල වෙතය. ඇත්තෙන්ම එය ඔහුවෙත අප විසින් පැවරීමක් නොව ඔහු විසින් පවර ගැනීමක් විය! 

එහෙත් එම දිනවල තෙශාන්ත වෙත් ඔහුගේ කාර්‍යාලයයෙන් පැවරී තිබුනු වැඩ අධික බව හා ඕනෑම කටයුත්තක් අන්තිම මොහොතේ කුමන අකාරයකින් හා කුමන තත්ව මට්ටමකින් ඉටුකොට ගැනීමටත්  ඉන් සෑහීමකට පත්වීමටත් තිබුනු හුරුව නිසාත් තෙශාන්තගෙන් කණ්ඩායම වෙත අව්ශ්‍ය දත්ත සැපයීප සඳහා ගතවූ කාලය තරමක් අධික විය.

මෙය කෙන් සහ වසික වැනි; ඒ වන විටත් අධ්‍යාපනයේ නියුතු අයහට  තරමක ගැටළුවක් විය. තමන්ට ස්ථිර හෝ අස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ඔවුන් හට පමනක් නොව ඔවුන්ගෙ දෙමාපියනටද මෙය ප්‍රශ්නයක් වූවාට සැක නැත!
මේ කාලය වන විට අප කණ්ඩායම අතර දිනපතා e mail පණිවිඩ සංසරණය වූ අතර ඒවාට නිරන්තරයෙන්  පිළිතුරු සැපයීම, අළුත් අදහස් මගින් කණ්ඩායම පෝෂනය කිරීම සිදුවූයේ පසිඳු, තෙශාන්ත හා ප්‍රියන්ජන් වෙතින් පමනි. අපගේ කණ්ඩායමේ අදරනීය අනෙකුත් ලිපිය  කියැවූ බවවත් දන්වා  එවීමට කාරුණික නොවීය!

අප අපගේ ගමන සඳහා අගෝස්තු මාසය පසුකොට දිනයක් යොදා ගැනීමට  හේතුවූයේ එවකට පාසල් සිසුවෙකුවූ වසිකගේ උසස් පෙළ විභාගය අවසන් වන තුරු බලාසිටින්නට සිදුවූ නිසාය.

පෙර මා සඳහන් කල පරිදි 2015 ජුලි 18 දින සිදුවූ අපගේ ප්‍රථම හමුවෙන් පසු දිනෙක ප්‍රියන්ජන් විසින් ලියන ලද  e- mail පණිවිඩයක් අපවෙත ලැබුනි. කලෙක සිට ඔහුගේ සිතේ පැවති සිහිනය අපවෙත කියා පෑවේය. එයට අනුව ඔහුට මෙම මහවැළි චාරිකාව සිදුකිරීමට අවශ්‍යව තිබී ඇත්තේ කිරිගල්පොත්තේ  සිට තිකුණාමළයේ කොඩ්ඩියාර් බොක්ක දක්වා අදියර තුනක් යටතේය. 
ඉන් පළමු වැන්න කිරිගල්පොත්තේ සිට මහියංගනය දක්වා පාපැදියෙන්ද; මහියංගනයේ සිට හැකි උපරීම දුරකට යාත්‍රා මගින්ද; අවසාන කොටස පාගමනින්ද අවසන් කිරීමට නිම කිරීම මේ අපූර්ව සිහිනය විය. 
දැනට ඔහු අප හා එක්වන්නේ එහි මැදි කොටස සම්පූර්ණ කරගැනීමට වන අතර ඉතිරි කොටස් දෙක සඳහා එක්වන ලෙස විවෘථ ආරාධානයක් අප කණ්ඩායම වෙතටද එවා තිබුනි!
මේ වන විට කයෑක් සම්බන්ධයෙන් මා සතුව තිබූ සියළු ලිඛිත දැනුම අප කණ්ඩායමේ අන් අය අතර Scan කොට යවමින් විය. අභාග්‍යයකි! ඒවා ඔවුන් වෙත ලැබුනු බව; මා අද වනතුරාවට දන්නේ නැත.

මේ වන විට රජ රටට එනම් වියළි කලාපයට ; මෝසම් සුලං සක්‍රීය වීමට ආසන්න වීමත් ; සංවහන වැසි අතරින් පතර වැසීමත් සිදු වෙන්නට පටන් ගනිමින් විය.

2015 අගෝස්තු මස 26 වන දිනය වනතුරු ද වියදම් සටහන සැකසීම භාරගෙන තිබූ තෙශාන්ත මුල්කිරිගලගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොවීය.
කුලී පදනම මත සපයා ගතයුතුව පැවති කයාක පිළිබඳව සම්බන්ධීකරණය කිරීමට පසිඳු පටන් ගෙන තිබුනි. මේ වන විට දිමුතු පසිඳු සමග තම පුහුණු සැසිය සාර්ථකව පවත්වා තිබුනි. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන තිබුනේ කරවනැල්ලත් යටයන්තොටත් අතර පිහිටි කබුළුමුල්ලේ ඉපැරණි පත්තිනි දේවාලය අසල තොටුපොලය.

ඒ වනතෙක්  ප්‍රියන්ජන්හට පුහුණුවක් ලබා ගැනීමට අපොහොසත් වූයේ ඔහු මේ අතර කාලය තුල අගනුවරට නොපැමිනීම හා පැමිණියද ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට ඔහුට නොහැකි වීම නිසාය.

සැප්තැම්බර් 10 වන විටත් ගමනට ගතවන වියදම; කණ්ඩායම වෙත දැනුම් දීමට අප අපොහොසත් විමු. අම්රාන් අතාස් මාවෙත ඊ මේල් පණිවිඩයක් එවමින්; එළඹෙන සඳුදා දිනයේ එනම් සැප්තැම්බර් 14 වන විටදීවත් වියදම පිළිබඳව දළ අදහසක් හෝ අබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

සැප්තැම්බර 12 වන දින අපවෙත දීර්ඝ ලිපියක් ලියන ප්‍රියන්ජන්; අපගේ ආහාර වට්ටෝරුව හා ගෙන යාමට නියමිත බඩු බාහිරාදිය විශේෂ කරුණු රාශියක් ගොනුකොට තිබුනි. 
අංක 8 ක් යටතේ වැදගත් කරුණු  රාශියක්  එක් කල තිබූ අතර අවසානයේ එහි අන්තර්ගතය වූයේ කාලය ගතවන, බර වැඩි වෙන, වැඩි ඉඩක් ගන්නා අහාර වට්ටෝරු වලින් මිදී; සමපෝෂ, මැගී නූඩ්ල්ස්, වැනි සැහැල්ලු අහාරයකින් සංතෘප්තවී මෙම ගමන යන්නේ නම් බොහෝ කාලය  හා ශ්‍රමය  ඉතිරිවන බවත්ය.  
මෙය ඉතා වැදගත් අදහසක් බව අදද මාගේ පිළිගැනීම වන්නේය. මන්ද ඔහු හැරුණු විට කිසිවෙකු වෙතින් ඒ වනතුරු   එවන් අදහසක් ඉදිරිපත් නොවීම නිසාය. ඔහුගේම වචන වලින් කියනවා නම් "බරපතල ඉහුම් පිහුම් කටයුතු වලින් " වැලකී සිටීම ප්‍රඥ්ඥා ගෝචර බවය. 
මෙවැනි චාරිකාවක් සඳහා තමන් සතු දැනුම අල්ප බව නිහතමාණීව පිළිගන්නා ප්‍රියන්ජන්; මේ සම්බධයෙන් සිතන්නට අපට ඇරයුම් කොට තිබුනේය. ඔහුගේ එම අදහස එතෙක් පැවති අපගේ සැලැස්ම වෙනත් මගකට යොමු කිරීමට සමත් විය. එදිනම එම යෝජනාව පසිඳු වෙතින් ස්ථිර වී තිබුනි.

ඒ වන විට තෙශාන්තගේ මිතුරෙකු විසින් මහියංගනයේ පවත්වාගෙන යන ද නෙස්ට් නම් වූ කුඩා අවන්හලෙන් අපට අවශ්ය  උදෑසන  හා දිවා අහාර ලබාගත හැකි බවත්   වස්ගමුව කැලය මැද ගතකරණ රාත්‍රියේ අහාර සඳහා  BBQ කරගැනීමට අවශ්ය කිලෝ හතරක්වූ කුකුළු මස් තොගයද කුළු බඩු යොදා පදම් කොට සකස් කොට සැපයීම ඇතුළු සියල්ල සඳහා ඔවුන්ගේ අයකිරීම රුපියල් 7000 ක් බවත් තෙශාන්ත  අපව දැනුවත් කලේය. මෙය ඉතා සාධාරණ මුදලක් වන බැවින් එයට  අප බහුතරයේ කැමැත්ත හිමිවිය .

තවත් දින කිහිපයක් ගතවෙත්ම මාහටද රුපියල් 30000 කට ට්‍රක් රථයක් සොයා ගැනීමට හැකිවිය. ඒ කඩවතින්ය. සැප්තැම්බර් 18 ප්‍රියන්ජන් නැවත කොළඹ පැමිනීමට යොදාගෙන තිබුනි. ට්‍රක් රථය රුපියල් 28000 කට සැපයීමට ලොරි හිමියා  එදින මා සමග එකඟ විය. සැප්තැම්බර් 19 හො 20 උදෑසන නැවත ප්‍රියන්ජන්, තෙශාන්ත,  අම්රාන්, වසික හා මා දියවන්නාව අසල පුරුදු සෙවනේදි හමු වුනෙමු. අම්රාන් එම ස්ථානයට පැමිණියේ ඔහුගේ Trek පා පැදියෙන්ය. තෙශාන්ත ඔහුගේ XR 250 යතුරු පැදියෙන් එහි පමිනියේය. අප බොහෝ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිට වෙන්වූයේ ඉතිරි දින කිහිපය තුලදී මහියංගනයේ නිපෝන් පාලම අසලදී හමුවන බලාපොරොත්තුව හිත තබාගෙනය.

ඊට දින කිහිපයකට පෙර ප්‍රියන්ජන් තම හිතමිතුරු යොහාන්ගේ සහයෙන් කයාකයක් පැද කිසියම් හුරුවක් ලබා ගත් බවද හේ සිනහ වෙමින් පැවසීය.
සැප්තැම්බර් 22 ව්න විට අප ගේ සැලැස්මේ උච්ඡතම ස්ථානයට පත්ව තිබුනි.
 තවත් කල් ගතවුව හොත් වැසි පටන් ගැන්ම සමග අපගේ සැලැස්ම තවත් මාස 6 කින් හෝ වසරකින් පමා කරණ්නට සිදුවනු ඇත!

අප සියළු කටයුතු සැලසුම් කරගෙන දිනය යොදා ගැන්මට වඩා දිනය සැලසුම් කරගෙන එයට අදාල වන සේ අනෙකුත් සියළු කරුණු  සකසා ගැනීම වඩාත් සාර්ථක බව තෙරුම් ගනිමින් විය.
අප දිනය ස්ථිර කර ගත්තෙමු!

ඔක්තෝබර 2 , 3 , 4 මේ සඳහා යොදා ගැන්මට අප එකඟ විමු!




51. නෙත දුටු දේ................!




              
                      විවර වූ කවුළුවෙන්
                      සඳ එබී බැලූ සඳ ;
                      කළුවරින් වැසී ගිය
                     ලෝකයම එකලු විය..........!





Tuesday, September 19, 2017

50. පොලීසියේ මහතෙකු ගැන කථාවක්....!





මහතා උපන්නේ හිනිඳුම් පත්තුවේය.
ගමේ ඉස්කෝලෙන් මහින්දයට ආවේය.
 විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රස්සාව සොයා ගත්තේ පොලීසියෙනි .

ඔහු කිසි දිනෙක මත්පැන කටේ නොතිබ්බේය.
සිගරැට් නොබිව්වේය.
ගෑනුන් හඹා නොගියේය.
පගා නොගැසුවේය.
කොටින්ම පොලිසියේ හිටියාට “පොලිස් කාරයෙකු ” නොවීය.
ඒනිසාම දේසපාලුවන් අතර ජනප්‍රිය චරිථයක් නොවීය.

භීෂන සමයයන් දෙකකදීම ඔහු පොලිසියේ විවිධ කොට්ඨාශයන් හට නායකත්වය ගෙන දුනි.

කිසිදු දිනෙක හේ තම දැත්වල ලේ තවරා නොගත්තේය.


හොර ඡන්ද දමන්නට ඉඩ නොදුන්  තැන හිටපු අධ්‍යාපන ඇමතියා මහතාට රෙද්ද උස්සා පෙන්වීය.
මේ ඇමතියා පාටියකදී සූර් වී හෝටලයේ තඨාකයට දෙනෝ දාහක් ඉදිරියේ සුළු දිය පහකල ප්‍රින්සිපොල්මය!
පෙන්වූවාට දකින්නට තරම් දෙයක් එහි නොවන්නට ඇත.

ඔහුට පොලිස්පති කම ලබාදී පොලිසියට ලබාගන්නට තිබූ ගෞරවය ට පොලීසිය පයින් ගැසුවේය.

හොරඡන්දයක් වත් දාගන්න ඉඩක් නොතබන එකෙකු පොලිස්පති කරණ්නට තරම් දේසපාලුවෝ බූරුවන් නොවෙති.
මහතාට ඒවා බැරි වුවද ; පුළුවන් එව්වෝ පොලිසියේ ඕනෑතරම්‍ය.

මහතා සියල්ල අළුයම ලූ කෙළ පිඩක්සේ ඉවතදමා විශ්‍රාම ගියේය.
සියළු දරු මුණුපුරු මිණිපිරියන් මැද විශ්‍රාම සුවයෙන් හේ විසීය.
හේ මීට මස ගනනාවකට පෙර තම චරිතාපදානය එළි දැක්වීය.
නමින් එය "අන්න ඒකයි හරි!" විය.
එදින ඔහු නොසිතූ තරම් පිරිසක් එයට සහභාගී වූහ.
එය  දේසපාලුවන්ගෙන් තොර චාම් උත්සවයකි.

 පසුගිය මාසයේ හදිසියේ ඔහු මලේය

අවමංගල සභාවේ තබා මල ගෙයි හතර මායිමේ දේස පාලුවෙකු නොවීය.
පැරණිවී අවලංගුවූ පලාතේ මංතිරියකු ආවායැයි ; තබා තිබුනු පොතේ වූ සටහනෙන් කියැවේ.

මලගෙදර කතා කල හාමුදුරුවන්  කෙනෙකුද නිළධරුවකුද ඉකි ගැසීය .
බොහෝ හාමුදුරුවන් අතර ඉකිගැසූ කෙනා සොයා ගැනීමට අපොහොසත් වුනෙමි.
නිළධරයාගේ  නම නම් මතකය

ඒ   පූජිත ජයසුන්දර නම් වූ   අයෙකි!

මැරුනු මිනිසෙකු ගැන මැරෙන මිනිසෙකුගේ සටහනක්!



මිනිසෙකුගේ නික්ම යාම!

Saturday, September 16, 2017

49. ගඟක් දිගේ ගිය ගමනක් 9

ගංගා තරණයටඑන්න මගේ ප්‍රිය මිතුරෝ..........................!

ජාතියට බත සපයන මහවැළි නම් මව!

    බොහෝ ලේඛකයින් පෙර වදන ලියන්නේ ; මුල්කෘතිය ලිවීමෙන් පසුවය.
පෙරවදන් කියවීමේදී මේ වග පසක් වෙයි. පසුව නොලීවද ;පෙරවදන සම්පූර්ණ කරන්නේ මුල්කෘතිය ලිවීමෙන් අනතුරුවය. 

“ගඟක් දිගේ ගිය ගමනක්”හෝ එහි පෙරවදන නොහොත් පෙරගමන එවන් වූවක් නොවේ. මන්ද පෙරගමනින් සෑහෙන කලකට පසු කතාවට ප්‍රස්තූථවූ ගමන යන්නට කරුණු යෙදුනෙන් පෙරවදන සම්පූර්ණ කිරීමට අවශ්‍ය තරම් කාලය තිබුනි.
සත්‍ය වශයෙන්ම සිදුවූයේ මුලදී පෙරවදන නොහොත් පෙර ගමන; ප්‍රධාන ගමන යැයි  සිතා  ලියා තැබූවද; දෙවන ගමන යන්නට සූදානම් වෙත්දීම මුල් ගමනට එතෙක් තිබූ වටිනාකම අඩුව ගොස් එය පෙරවදන බවට ස්වයංක්‍රීයව පරිවර්ථනය වීමය!
කැළණි ගං  චාරිකාව නිමාකල දිනයේ පටන් මාගේ මිතුරන් දෙදෙනාගේ ඊළඟ අභිලාෂය වූයේ තවත් එවන්ම වූ ගවේශනයක  යෙදීමය. මෙවන් ගවේශනයක නියම වින්දනයක් ලබන්නට නම් තෝරාගත යුත්තේ කිසියම් ප්‍රථිමාමය අපූර්වත්වයකින් යුත් ගංගාවකි.
එසේ නොමැතිව තමන්ට පහසුවෙන් කල හැකි වූ පමනින්;  ගමන නිමකල විට තමට උපරිම සතුටක් වින්දනයක් ගෙනදෙන්නේ නැත.   
එය; කිසිවෙකු තමන්ගේ අපල උප්ද්‍රවයන්ගෙන් මිදීමට  පිටකොටුවේ බෝධියට  බෝධිපූජාවක්  පවත්වන්නට යනවා වැනිය ! 
කිසිවෙකු පිටකොටුවේ බෝධිය බලන්නට වන්දනා ගමන් යන්නෙද නැත !

ඩීසල් දුමින් සුගන්ධවත්ව , වීදි ලාම්පු එලියෙන් එළිය වී , වට වැස්සෙන් නැහැවෙමින්  සියල් සතට සෙවන ස ;කපුටන් දහසකට නිවාසය වෙමින් - පිට කොටුවේ බෝ ගස!
(එතකොට මේවා බෝධීන්නාන්සෙලා නොවෙයිද?)

මේ සියලු ගවේශන චාරිකා යනාදිය; කියවන ලද පොත් , නරඹන ලද චිත්‍ර පටි , අසන ලද කථාන්දර  හා සිතේ ඇතිවන සිතුවිළි යනාදිය මත ගොඩනැගෙන , ගොඩනංවන ලද සුන්දර තීන්දු , තීරණ , ක්‍රියාන්විත ලෙස දැක්විය හැක. 

බොහෝ පරිසරයට ආදරය කරණ , ගවේශකයින් සංචාරකයින් මෙවන් ගමනක් සඳහා ගඟක් තෝරා ගැනීමේදී, වැඩි  අවදානමකින් තොරව වැඩි දුරක් ගමන් කිරීමට හැකිවීම, ගමන් මග වැටී ඇති පරිසර පද්ධතිය, වැනි දේ පලමුව සොයා බලති.
මේ සියල්ල සමග නොකී තවත් රහසක් ඇත! ගමන ගිය පසු පෞද්ගලිකව තමන්ටත්; පසුව අන් අය හා  දොඩමළුවනවිට ඒ අයටත් කිසියම් වීරත්වයක්,  අපූර්වත්වයක්, විචිත්‍රත්වයක්, සුන්දර්ත්වයක් ,දැනෙන කතාවක් ගොඩනැංවීමට හැකි ගමනක් විය යුතුමය.
මේවා සියල්ල එකෙක් අයට එකෙක් ප්‍රමාණයන්ගෙන් හැඟෙන දැනෙන ඒවා විනා කිසියම් සම්මත් නීතියක් රීතියක් අනුව ගොඩනැගෙන සිතුවිලි නොවන්නේය ! 
පුද්ගල භාවන්  වන්නේය !

“අනින ගොනා වැඩට දස්සයි !” යනු පැරණි ආප්තෝපදේශයකි. මින් අදහස්  කරණ්නේ සියළු හීලෑ ගොනුන් අලසයින් යන්න නොවේ.
එසේම මෙවන් වැඩ කරණ්නේද එවන්ම වූ වෙද පොතේ බෙහෙත් නැති ; බටහිර වෛද්‍ය විද්‍යාව තුලින්ද තේරුම් ගැනීමට නොහැකිවූ “මුදල් අමාරුව” වැනිම වූ තවත් රෝගයකින් පෙළෙනවුන්‍.

මේවා කල පමනින් නොසිට ඒවා කියවීමෙන්ද; කියවා පමනක් නොසිට ලිවීමෙන්ද; ලියා පමන්ක් නොසිට ඒවා ප්‍රසිද්ධියේ පලකිරීමෙන්ද; “අසනීපයේ” තරම ගැන හුදී ජනයාට සිතාගැනීමට හේතු සපයනවා ඇත.

වැඩක් ඇති දේ එමට තිබියදී මේවා කියවන සහුර්දයන්ටද මේ “ලෙඩ” බෝවීමට
 බොහෝ සෙයින් හේතුවිය හැක ! සමහර විට මේවන විටත් රෝග කාරක 
විෂ බීජ ශරීර ගතවී තිබීමට ද  පුළුවන !

ලංකාවේ යාපන අර්දධ්වීපය ඇතුළු සුලු ප්‍රදේශ කිහිපයක හැරෙන්න ; 
අන් සෑම ප්‍රදේශයකම පාහේ ගංගා ඇළ දොළ දක්නට ලැබේ. එහෙත් ඉන්බොහොමයක් ගලන්නේ නගර ගම්දනව් සිසාරාය.


නම් ගම් ටික  මං දන්නෙත්නෑ!


මෙවන් ගඟක කරණ චාරිකාවක් බොරැල්ල- කොටුව බසයක් පුංචි බොරැල්ලේ ගිනි මද්දහනේ  නවතාගෙන “ඔටුව! ඔටුව!!” ගගා ලෝඩ් කරද්දී; ඒ තුල හිරවී  හිටගෙන  රේඩියෝ එකේ යන  වික්ටර් රත්නායකගේ “සිහිල් සුලං රැල්ලේ….” අහනවා වාගේය. එනිසාම ගලන පරිසරය බෙහෙවින්ම වැදගත් වේ. 



සමහර ගංගා වල වතුර වලට වඩා තියෙන්නේ ගල් පර්වත , වැලිතලා , ආදී බාදකයන්‍රැට වසා තැබෙන නයිට් කඩ  වාගේ ගලා යන ජල ප්‍රවාහයක් නොමැති තැනෙක කෙරෙන  කයාක චාරිකා වල මෙලෝ රහක්  නැත. 

තවත් සමහර ගංගා තනි කෙලින් ; කිසිදු විවිධත්වයකින්  තොරව ගලයි. එවායේ කෙරෙන චාරිකා කරකවන්න බැරි කතුරු ඔංචිල්ලාවේ වාඩිවී  සිටිනවා වාගේය.
මේසියලුම පෙරහන් වලින් පෙරී එන නිල්වලා  වාගේ ඟගක කයාකින් කිරීම කිඹුලන්ට පාටියක් දානවා වගේය!



පාටියට එනගමන්...! 
බිස්කට් පැකට් එකක් ගන්න කඩයක් ලඟ ඉන්න හැළයා!



මේ පිළිබඳ මූලික වටයේ කථිකා  හා දොඩමළුවීම් කෙරෙණ අතරේ ඊළඟ ගමනට සූදානම්ව පිට පොට (Wrong Thread එහෙම නොවේ ; මේ කියන්නේ වලාපට) 
ගසාගෙන සූදානම් වූ අයෙකු සිටියේය. 
ඒ දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වසන වසික ය. කැළණි ගවේශනය අවසන් කල හෝරාවේ පටන් ඊළඟ චාරිකාව සඳහා ඔහුවද සහභාගී කරගන්නා ලෙස හේ මාහට දැඩි බලපෑම් එල්ලකරවන්නට විය.   


වසිකයා කම්මලේ කිණිහිරය මත පන්නරය ලබමින්!

එවකට උසස් පෙල විභාගයට සූදානම්ව සිටි ඔහුද පසිඳු මෙන්ම හර්මන් ලූස් කැඩෙට්  වරයෙක්.  තවත් ලෙසකින් පවසනවානම් වසර තිස් ගනනකට පසු කොළඹ නාලන්දා විදුහල හර්මන් ලූස් පලිහ දිනනා අවස්ථා වේදී ඔහුත් ප්ලැටූනයේ ඉදිරි පෙල සාමාජිකයෙක්. එසේම හොඳ පිහිනන්නෙක්, බාලදක්ෂයෙක් , මලල  ක්‍රීඩකයෙක්, ජීවිතාරක්ෂකයෙක් , ඒ සියල්ලටම වඩා හේ නිර්භීත , අතිශයින් විශ්වාසවන්ත ගමන් සගයෙක්.

ගමන සඳහා උචිත “මගක්” තෝරා ගැනීමට  පෙරම  අපේ කණ්ඩායම 4 ක් උනේ මෙලෙසින් .

මේ ගමන ගැන මා සොයා බැලුවේ ඉන්  අනතුරුව.
දිනක් Lakdasun Forum එකේ පිටු අතර සැරිසරණා මොහොතක මානෙත ගැටුනු අපූරු මාතෘකාවක් විය. 
එය දක්වා තිබුනේ සුන්දර යෝජනාවක් මිශ්‍ර කරගත් අභියෝගයක් ලෙසය.

“Mahaweli Expedition” Shall we do ?

මේ එම යෝජනාවයි !
   
http://www.lakdasun.org/forum/index.php?topic=12409.0

මෙම යෝජනාව ගෙනැවිත් තිබුනේ විශ්‍රාමික ගුවන් හමුදා නිළධරයකුවූ ප්‍රියන්ජන් ද   සිල්වා   නමැති අංක එකේ සැරිසරුවා විසිනි.


අප සතුව ඇති ප්‍රියන්ජන්ගේ එකම ඡායාරූපය!
(ගුවන් හමුදාවේ හැඳුනුම් පතින් උපුටා ගන්නා ලදී!)

වරෙක පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට  “පාද යාත්‍රාවක” යෙදුනු ඔහු තවත් වරෙක සංගමන් කන්ද තුඩුවේ සිට කල්පිටිය තෙක් පාපැදියෙන් සැරිසැරූ අයෙක්.
මා මෙම පෝස්ටුව බලන විටත් මෙම යෝජනාවට විවිධ අදහස් යෝජනා රාශියක්  එක්වී තිබුනි. Lakdasun හි වැඩිම කාලයක් හා වැඩිම සහභාගීත්වයකින් යුතුවූ පෝස්ටුව  මෙය  යැයි මට එය කියවාගෙන යනවිට සිතුනි.


 මා පසිඳු  ඇමතිමි.


“මල්ලි මොකද කියන්නෙ ? මෙන්න යනවනම් ගමන ! මම උඹට ලින්ක් එක එව්වා. බලල කෝල් එකක් දියං.. ආ! අම්රාන්ටත් මට කෝල් එකක් දෙන්න කියපං !”

විනාඩි වලින් 10 ක් යන්න ඇති ! කෝල් එකක් පියාඹා ආවේ !
 ඒ පසිඳු ගෙන්‍ .
 ඒකට කථාකරද්දිම තව එකක් පොරොත්තුවෙන්‍ !  
ඒ කාගෙන්දැයි කියන්නට ඕනෑ නැත! කිසිදු ඇදයක් නැත. 
ඒ අම්රාන්  අතාස් ගෙන්‍  .

“අප්පට සිරි එළනෙ !” 

පසිඳු  වැඩේට ලැහැස්තිය. අම්රානුත් එකෙන්මය .

හවස මා  වසිකට ද වැඩේ ගැන යාන්තමින් කිය පෑවේය. 
හරියටම කිව්වොත් මට එවෙලේම ගඟට බහින්න වෙන බව සහතිකය.
අප ගේ මීළඟ ඉලක්කය, ඊළඟ අභිලාශය, අළුත්ම බලාපොරොත්තුව, එකම ප්‍රාර්ථනය වූයේ මහවැළි ගවේශනය ය.
පසුදින මා කන්තෝරුවට ගියේ වැඩ කරන්න  නොවේය. 
මහවැළි ගඟේ දිග පලළ සොයා බැලීමටය.  

මහවැළි ගඟ



ඇය ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් රටටත් එහි වසන මිනිසුන්ටත්  දිවිහිමියෙන් සේවය කල ජනනායිකාව වූවාය !  

ඇය රැජිනකි කිසිදු දිනෙක කිරුළ නොගිලිහෙන! 
අපගේ ආදී මුතුන් මිත්තෝ ඇය  ඇමතුවේ "මහා වාළුකා නදී" යනුවෙනි. 
කිලෝමීටර 335 ක් දිගැති මෙය ලක්දිව දිගම ගංගාව වේ. හොර්ටන් තැන්නේ කිරිගල් පොත්ත හා තොටුපොලකන්දේ
 ජල පෝෂක වලින් උපත ලබන ඇය 
කෙත්වතු වර්ග කිලෝ මීටර1000ක් අස්වද්දන්නීය. 
ඇයරැජිනක් වන්නේ ඒ නිසාම නොවේ. 
ඇය මහා වන පෙතක් හා එහි වසන මහා සත්ව ගහනයක් ජීවත් කරවන හෙයින්ය.
සතියක් හමාරක් යනවිට
 මා මනෝමයෙන් චාරිකාව දහ දොලොස් වතාවක් ගොස් තිබුනි.   
 සෑම රත්‍රියකම වාගේ 
නිදි වර්ජිතව මා ගමන ගැන මෙනෙහි කලෙමි. 
අද සිතට එන දේට වඩා වෙනස් දෙයක් පසු දින සිතට ගලා ඒ. 
පසුදින එය මා වසිකටත් පසිඳුටත් අඩු වැඩි වශයෙන් කියමි. ඔවුන්ගේ අදහස් වලින් පෝෂනයවූ සිහින ලෝකයක පසුදින රාත්‍රියේ මා සැරි සරමි!
තවත් දින කිහිපයකින් අපගේ අදහස 
මා තවත් මාගේ මිත්‍රයෙකු හට කීවෙමි.
ඒ තෙශාන්ත මුල්කිරිගල වෙතටය. 
තෙශාටත් මේක කලෙක ඉඳන් තිබුනු ආශාවක් ලු !


ගඟේ වාඩියීදී පියාසර කිරීමී පෙර හුරුවකට සහභාගී වී සිටින අතරතුර!
තෙශා!

මේ අනෙකෙකු නොව මීට මාස ගන්නකට පෙර “දවස් දෙකයි! ළිං තිහයි!! තේ පණහක් හැටක් විතර!!! පෝස්ටුවේ කියන තෙශාන්තමය. තෙශාන්ත යනු ඇඟ පුරා ට්‍රිප් කැසිල්ල තියෙන උපන්ගෙයි සංචාරකයෙක්.

බොගවාන්තලාවේ සිට හොර්ටන් තැන්න තෙක් දිවුනු  Bridle Trail නමැති; වසර එකසිය  ගනනකට පෙර  සැඟවගිය ගමන් මග සොයා ගිය ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙක්. 



ඇම්ම  Grade III (සපිරි ඇම්ම)

තමාගේ Toyota 107 4WD cab  එකෙන් Land Rover Series 2  එකෙන් Honda XR 250 එකෙන් පමනක් නොව ස්ටෑන්ඩර්ඩ් පාපැදියකින්ද කැබිලිත්තේ දේවාලය වඳින්නට ගිය අමුතුම තාලයේ “සතෙක්” ලෙස තෙශාව හඳුන්වන්නට පුළුවන.

 ඇම්ම  Grade II (සුපිරි ඇම්ම)


ඇම්ම  Grade I (සුපිරිම ඇම්ම)

 ප්‍රියන්ජන් ද සිල්වාගේ මිතුරෙකුවූ තෙශාට වන දිවිය හා කඳවුරුදිවිය ගැන තිබුනේ හොඳ කල පුරුද්දක්. බියගම Agio Cigar  දුම්කොල සමාගමේ පරිඝනක අංශයේ සේවයකරණ ඔහු ජීවත් වූයේ මගේ නිවසට කිලෝ මීටර තුන හතරක දුරකින්.
ඔහුට මගේ අදහස කියු පමනින් එයට එකඟ වුනා පමනක් නොව ගමනට ප්‍රියන්ජන්ව එකතුකර ගැනීමේ කාර්‍යයද භාර ගත්තේය.




මහියංගනයේ නිපොන් පාලම ( සකුරා පාලම) 
මෙය මීටර224 දිග වූ අතර 1999 දී මහජන ප්‍රයෝජනයට එක්විය.

මහවැළි ගවේශනයට නොහොත් චාරිකාව සඳහා බොහෝ දෙනා තෝරා ගත්තේ මහියංගනය නිපෝන් පාලම අසල සිට මනම්පිටියේ පාලම තෙක් කිලෝ මීටර 50 කට අධික දුර ප්‍රමානයි.


 මනම් පිටියෙ 1922 දී පිහිටවූ පාලම. 
(නව පාලම 2007 ඔක්තෝබර් 25  ජනතා අයිතියට පත් කෙරිණි.) 

 මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ එම මුළු දුරම වැටී ඇත්තේ වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළින් වීම විය යුතුය.

මෙම කිලෝ මීටර 72 ගමන් කරණ්නට අවම වශයෙන් දින දෙකක් ගතවීම අනිවාර්‍යය වේ. 

මේ නිසා එක්දිනක් මහා වනාන්තරය තුල කඳවුරු බැදීම කලයුතුම අංගයක් වේ.
මෙවන් පරිසරයක් තුල විශේෂයෙන් අලි ඇතුන් වග වලසුන් කුළු හරකුන්  සිටිනා මහා වනන්තරයක කඳවුරු බැදීමේදී වැදගත්ම සාධකය වන්නේ ආරක්ෂාවයි!




අපේ ලොකු මහත්වරුන් මුන්ගෙ ජාතකේ හොයන නිසා උන් කැලෙට වහං උනා විළි ලැජ්ජාවෙ!

සවස 7 – 8 කණිසමේ සිට පසුදින උදෑසන වන තෙක් මුළු රාත්‍රිය පුරාවට නිදිවර්ජිතව කඳවුර මුර කිරීම කලයුතුම කරුණක් වේ. මේ නිසාම මෙම “මහවැළි ගවේශනය; කැළණි ගඟ දිගේ කල සංචාරය මෙන් පානුයි වතුරයි රැගෙන ගොස් 
කල හැක්කක් නොවන බව ප්‍රථ්‍යක්ෂ වී තිබුනි. මේ නිසාම අපට කණ්ඩායමක් අවශ්‍ය විය. එම කටයුත්ත සඳහාද අප පාදක කර ගත්තේ Lakdasun Forum එකමය.
මේ නිසාම 2015 /06/017 දින මා Lakdasun Forum එකේ
 Trip Invitation පිටුව තුලින්  විවෘත ආරාදනාවක් කලෙමි.
   
http://www.lakdasun.org/forum/index.php?topic=12409.90   

අප බලා පොරොත්තුවූ තරම් ඉහල ප්‍රථිචාරයක් නොලැබූ අතර ; කැළණි ආරාධනාවට අප ඇමතූ ධම්මික මහේන්ද්‍ර අප සමග එකතු වන්නට කැමැත්ත පල කරන්නේ එහි ප්‍රථිපලයක් ලෙසට.
ඔහු එක්වන්නේ තවත් ඔහුගේ මිතුරෙකුවූ කෙන් ද සමගිනි.
පිරිස අව්ශ්ය මොහොතක අපහා එක්වූ මෙම දෙදෙනාව අප ; අපගේ  කණ්ඩායමට සාදරයෙන් එකතු කරගනු ලැබුවෙමු.

කෙන් ; මෙම මහවැළි ගවේශනය වරක් දෙවරක් සිදුකොට ඇතිබව ධම්මික ගෙන්ද කෙන් ගෙන්ද කියැවුනි. අපේ කණ්ඩායම මුල සිටම කෙන් ව සැලකුවේ අපට ලැබුනු වටිනා කියන ගමන් සගයෙක් විදියට. එයට හේතුව වූයේ  එයාගේ   පලපුරුද්ද අප කණ්ඩායම  සාර්ථක ගමනාන්තයකට යොමු කරණු ඇතැයි තිබුනු බලාපොරොත්තුව ය. තවත් දින කිහිපයකින් පසිඳුගේ මිතුරෙකුවූ දිමුතුද අපගේ කණ්ඩායමට එකතු විය.
මෙසේ අප කණ්ඩායම; මමත්, පසිඳුත්, අම්රානුත , වසිකත්, තෙශාත්, ප්‍රියන්ජනුත්, ධම්මිකත්, කෙනුත්, දිමුතුත් ලෙස  නව දෙනෙකු වීමට සති ගනනක් ගතවිය.
E-mail මගින් අප අතර තොරතුරු ජාලයක් ඇතිවී තොඉබුනු අතර;  මාගේ දින සටහන් වලට අනුව අප කණ්ඩායම මුලින්ම හමුවන්නේ 2015 ජුලි 18 වන සෙනසුරාදා දින සැන්දෑවේදීය.

ස්ථානය වූයේ  පාර්ලිමේන්තුව අභියස දියවන්නා උද්‍යානයේ සවිකොට තිබූ 
තාවකාලික පියස්සක් යට දීය. එදින අප බොහෝ දෙනා එකිනෙකා හඳුනා  ගත්තෙමු.මම මාගේ අදහස හා සැලැස්ම ගැන පැවසීමෙන් කතිකාව ඇරඹිනි.

මගේ කතාව මා අවසන් කල අයුරු මාහට අද මෙන් මතකය.


“ඔව් ! අපිට ඒක කරණ්න පුළුවන් !!  
අපි ට ඉන්නේ ඉතා ශක්තිමත් සමබර කණ්ඩායමක් !”
          
ශක්තිමත්කණ්ඩායමක් මීටත් වඩා ශක්තිමත්!!!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...