Wednesday, June 14, 2017

ගඟක් දිගේ ගිය ගමනක් 6

හක්බෙල්ලාවක යකඩ පාලම

අලි වත්තේදී උදෑසන ආහාරය ගත් අප එතැනින් ඉදිරියට යාත්‍රා කලත් මොහොතකට අවසර Rapid එකක රූපරාමු ටිකක් කැටිව දොඩමළු වන්නට . මීට කලකට පෙර ඔරුවකින් එතෙර මෙතෙර ගිය  තොටුපොලට මීටර 50 ක් පමන පහලින් හක්බෙල්ලාවක යකඩ පාලම ඉඳිවූවා .
මා කලින් සඳහන්  කල Rapid එක පිහිටා ඇත්තේ මෙම ස්ථානයට එනම් පාලමට යටින් කීවොත් බොහෝ දුරට නිවැරදි වෙනවා. මෙම ස්ථානයේදි ගඟ අංශක 90 කට ආසන්න කෝනයකින් හැරී ගමන් ගනී .


A අප  පිටත් වුනු තොටුපොල    B හක්බෙල්ලාවක යකඩ පාලම   C Rapid එක

 ඕනෑම දිය පහරක් කිසියම් කෝනයකින් හැරෙණාවිට එම වක්‍රයේ පිටත දාරය , අයින නොහොත් පථය ගැඹුරින් වඩා වැඩිවේ. මේනිසාම එම ඉවුර ආසන්නයේ ජලයේ වේගය සාපේක්ෂව වැඩිය. මෙසේ ගඟ හැරවී සරල රේඛීය ගමන් මාර්ගයකට එලඹෙන්නේ මෙම පාලම අසලින්‍ය.  එසේම ගඟ මෙම පාලම  ඇරඹෙත්ම මෙන්ම  පසුකරත්ම තරමක ගල් පර්වථ ද්විත්වයක් වෙතට යොමුවේ. එනිසාම ගඟ සුලු මොහොතකට  දෙවරක් දෙකට බෙදී යයි. මෙම ගල්  නිසා ගඟේ ගමන් මග හරස් වී යයි . මෙනිසාම ගඟේ පිටත ඉවුරත් ගලත් අතර ජලය අධික වේගයකින් ගලා යයි .
භෞතික විද්‍යාවේ ඉගැන්වීමක් වන බර්නූලි මූලධර්මයට අනුව බැලුවද මෙම කපොල්ල වෙන්චූරියක් සේ ක්‍රියා කරණු ලබයි. එහිදී ඇති වන පීඩන වෙනස නිසා ඉවත්වන විභව ශක්තිය  ; චාලක ශක්තිය බවට හැරී දිය පහරේ වේගය වඩාත් වැඩි කරයි.
“යම්  තරලයක් , එනම් ද්‍රවයක් හෝ වායුවක් හෝ , සුමට පaෂ්ඨයක් උඩින්  අනවරතයෙන් ගලා    යන විටදී එහි පටු ස්තර , අනාකූල රේඛා යනුවෙන් හැඳින්වෙන සුමට පථ අනුව ගමන් ගනී. මේ ප්‍රවාහය විශාල අක්‍රමිකතා හමුවට ආව  හොත් අනාකූල රේඛා කැඩී ගොස් ප්‍රවාහය අක්‍රමික හෙවත් ආකූල බවට පත් වෙයි.පත්ලෙන් උඩට නෙරා ආ විශාල ගල්  ඇති  හරියකින් ගලා යන ඇළක් දෙස බැලීමෙන් මේ බව පැහැදිලි වෙයි.”
  මූලික භෞතික විද්‍යාව , ඩබ්ලිව්  එල් වයිට්ලි  129 ,130 පිටු

අප පිටත් වන තොටුපොල සිට මීටර 50 – 75 ක් අතරදි වංගුව හමුවේ .එතැන තරමක ජලාශයක් සේය.එතැනින් හැරුණු  ගඟ යොමුවන්නේ පාලම දෙසටයි.

අප පිටත් වූ තොටු පොලේ සිට ගං වංගුව පෙනෙන හැටි. රූපයේ ඉදිරි  පසින් දොඩංගස්තැන්නේ සිට එන කෙටළ පත් ඔය  ගඟට එක්වන හැටි  . ගඟ ගලන්නේ වමෙ සිට දකුණටය .

රූපයේ වම්පස කෙළවරින් මෙම ස්ථානයට ගඟ ඇතුල් වේ . ගඟ ගලා එන්නේ  වම් පසිනි. ඉදිරි පසින් පෙනෙන්නේ දොඩංගස්තැන්නේ පෙදෙසේ සිට ගලා එන කෙටළ පත් ඔය ගඟට එක්වන ආකාරයය .

අප පිටත්වූ තොටුපොල පාලම අසලට  නොපෙනේ එම තැනට ගොස් බැලුවහොත් අප පිටත්වූ තොටුපොලත් ඈතින් කඳු පංන්තිය තෙක් දිවෙන ගඟත් පෙනෙනු ඇත.

කැළණි නදිය සමනළ සිරස තෙක්

 වංගුවේ අඩක්  දුර පැමිනි පසු ගඟ කඳු වලල තෙක් දිවෙන  අයුරු පෙනෙයි.
Rapid එකකට කලින් තරමක නිසල ජල සංචිතයක්  නොඑසේනම් තරමක විලක් , ජලාශයක්  වන් ස්ථානයක් පැවතීම ස්වභාවික තත්වයකි. මන්ද ඉදිරියේ කිසියම් බධාවක් ඇතිවිට ජලය එතැනින් ගලන්නෙ තරමක මන්දගාමී ස්වරූපයකින්  වන හෙයිනි.

පාලම යට Rapid එක ඈතට පෙනෙන අයුරු.

Rapid එක ආසන්න වන විට ජලයෙ ඇතිවන සියුම් කැළඹිලි සහගත ගතිය දුර සිට හොඳින් නොපෙනේ .

යකඩ අතරින් දියඹ දකිමින්
පාලම නිසාම එය හිඳින් නිරීක්ෂනය කිරීමේ හැකියාවක් ලදිමි .

Rapid එක ඇරඹී ඇත .

ගඟ පලමු ගල හමුවී ප්‍රථම වතාවට දෙකට බෙදී යයි. 

වතුර අඩු  දිනෙක මීට වඩා ගල් මතුවී තිබේ. Rapid තරණයේදී වතුර බෙහෙවින් වැඩි දිනයකදී වේගය අධික  වුවද කයාකය පැදයාමේදී  දිශානතියන් වෙනස් නොකරමින් පැදයාමට පුලුවන . වතුර අඩුවූ විට වේගය අඩු වුවද නිරන්තරයෙන් දිශානතියන් වෙනස් කරමින් පැදීමට සිදුවේ . කයාකය ගල් අතර සිරවීමට වුවද පුලුවන.

Rapid එක මුරන්ඩු වී  ඇත.

 මෙවන් අවස්ථාවකදී මෙම කුඩා ගල් කුළු දෙක මැදින් කයාකය ගෙන ආ යුතු ය . මෙවන් තරමක විශාල රැලි සහගත පෙදෙසක් පැද යාමේදී බොහෝ අවස්තා වලදී කයාකය මත ජල පaශ්ඨය මගින් එතෙක් ඇතිකල ඝර්ෂනය නොමැති වීමෙන් පාලනය තරමක් අපහසු විය හැක.

 විසල් රැළි

දෙවන වරට තවත් ගලක් අභියස .

කිසිවක් නොවුනු ලෙසට කැළණි ගං කොමලිය නැවත ගලා යන අයුරු .

උදෑසන අහාර ගැනීමෙන් පසු සිතියම් නිරීක්ෂනය කිරීමෙන් ඉක්බිතිව නැවතත් ගමන් ඇරඹූයෙමු .


 එතැන් සිට යටියන්තොට නගරය තෙක් පැමිනීමට අපට සෑහෙන වේලාවක් ගතවිය . එයට ප්‍රධාන හේතුව වන්නේ එම ප්‍රදෙශයේදී  ගඟෙ බැස්ම හෙවත් අනුක්‍රමණය ඉතා අවම ලෙස පැවතීමය .
 යටියන්තොට පාලම යටින් ආ අප පිවිසියේ වී ඔය  හා කැළණි ගඟ හමුවන ස්ථානයටය.  
මේ යටියන්තොට ; කැළණි ගඟට උඩින්  පාලම යොදා ඇත්තේ නගරයේ සිට ගරාගොඩ , පනාවත්ත පලාත් වලට එතෙර වන්නට ය .යටියන්තොට පොලීසිය ස්ථාපනය කොට ඇත්තේ පැරණි දුම්රිය නැවතුම් පොලේය .කොළඹ සිට ගමන් ඇරඹූ කැළණිවැලි දුම්රිය අවිස්සාවේල්ලේදී මාර්ග දෙකකට බෙදීගොස් ඇත . ඉන් එකක් ඇහැළියගොඩ , කුරුවිට  ,රත්නපුර ,දෑල , නිවිතිගල, කහවත්ත  , ඕපනායක දක්වා විහිදී  තිබී ඇත . අනෙක් දුම්රිය මග දෙහිඕවිට, මාගම්මන හරහා යටියන්තොට දක්වා ද යොදා තිබුනි. මෙම යටියන්තොට තෙක් ඇදුනු  දුම්රියමග මාගම්මන (කරවනැල්ලත් දෙහිඕවිටත්  අතර ගමකි .) සිට  යටියන්තොට තෙක් ගමන් ගන්නේ ප්‍රධාන  මාර්ගයට බොහෝ ඈතින් කැළණි ගඟේ වම් ඉවුර ඔස්සේය. ප්‍රධාන මාර්ග කරවනැල්ලේදී කැළණි ගඟ මතින් වැටී ඇති පාලමෙන් එතෙර වී දකුණු ඉවුර ඔස්සේ හැටන් දක්වා දිවෙයි. 

Aපැරණි දුම්රිය ස්ථානය දෙසට ඇති  යකඩ පාලම  B වී ඔය    C වී ඔයට යොදා ඈති පාලම
පාලම අසලින් ගඟ වමට හැරෙන අයුරු!

යටියන්තොට සිට අදටත් කුඩා ගම් ප්ර්දේශයක්ව පවතින ගරාගොඩට විශාල යකඩ පාලමක් දැමීමෙන් බ්‍රිතාන්‍යයෝ අපේක්ශා කරණ්නට ඇත්තේ දුම්රිය යටියන්තොට නැවතුම්පලේ සිට කැළණි ගඟ හරහා දකුණු ඉවුරට ගෙන එතැනින් නාවලපිටිය හෝ හැටන් වෙත ගෙනගොස් ප්ර්ධාන දුම්රිය ධාරාවට සම්බන්ධ කරවීමට විය හැක.
යටියන්තොට නගරයට කොළඹ දෙසින් ගමන් කරන්නෙකු හට නගරයට පෙර හමුවන තවත් පාලමක් ඇත . ඒ පාලම වැටී ඇත්තේ වී  ඔය හරහාය. පාලම මතින් ගමන් ගනිත්ම දකුණු දෙස බැලුවහොත් පාලමට ඔබ්බෙන් ගලන කැළණි ගඟ දිස්වේ. කැළණි ගඟ  තමා සමග එක්වන වී ඔය සමග වම් පැත්තට හැරේ. ඒ දකුණු ඉවුරේ ; තාප්පයක් බැන්දාක් මෙන් ඇති ස්වභාවික විසල් ගලක් හේතුවෙනි. මෙතැන වම්පසින් තරමක වැළි තලාවකි. අපගේ ඊළඟ නැවතු පොල වූයේ මෙම වැළි තලාවයි. එම විවේකය මිනිත්තු 15 කට පමන සීමා විය. ගිමන් නිවා , දිය බී, සියල්ල කැමරාවක සටහන් කරගෙන අප පිටත් වුනෙමු. අපගේ කැමරාව වූයේ අම්රාන් අතාස් ගේ දූරකථනයයි. මෙය වූයේ මාගේ කයාකයේ ඉදිරියේම වූ Hatch (මෙය හච් නොව හැච් ය .) එකේ Dry Bag එකක් තුල තිබුනු පොලිතීන් කවරයක් තුලය ! ඒ වැඩි පරිස්සමටය! මේ නිසාම හදිසියේ ඡායා රූපයක් ගැනීම යනු රූස්ස පුවක් ගසකට  වළලලක් නොමැතිව නැග පුවක් වල්ලක් කඩා ගෙන බිමට බහිනවා සේ අසීරු කට යුත්තක්ම විය! අපට Go Pro වක් තබා  water proof කැමරාවක් වත් නොතිබුනි !



අම්රාන් අමාරුවෙන්  සටහන් කර ගත් පසිඳුගෙ රුව

ඉදිරියට ගඟ එතරම් වේගයකින් තොරව නිහඬව ගලා බසින්නීය. Rapid කිසිවක් හමුනොවේ. හක්බෙල්ලාවක සිට යටියන්තොටටත් ; යටියන්තොට සිට කරවනැල්ලටත් මහ පාරේ ඇත්තේ සමාන දුරකි . එනම් සැතපුම් 4 නොඑසේනම් කිලෝ මීටර 6.4 ක පමන දුරකි . මින් පලමු කිලෝමීටර 6.4 ට සාපේක්ෂව දෙවැනි එම දුර වඩාත් ඉක්මනින් පැමිනියෙමු . ගඟ බොහෝ සෙයින් පලල්ව ගොස් ඇත. මේ නිසාම ගඟේ  ගැඹුර තරමක් අඩුය. කරවනැල්ල පාලම යට තරමක සැඩ පහරකි. මෙම සැඩ පහරේ අප තිදෙන වේගයෙන් පැද්දෙමු. මන්ද එසේ නොවුනි නම් කයාකය අලුත් පාලමේ හා පරණ පාලමේ නෂ්ඨාවශෙෂයන්ගේ ගැටෙන්නට තිබුනු බැවින්‍ය.

යටියන්තොට නගරයේ සිට කරවනැල්ල නගරයට පැමිනෙන අයෙකු යොමු වන්නේ “ T” හැඩයේ මංසංදියකටය. කොළඹ  දෙසට ගමන්ගන්නෙකු තම වම් පැත්තට හැරී කරවනැල්ල පලම මතින් වැටී ඇති මාර්ගයේ පැමිනිය යුතු අතර නිට්ටඹුව දෙසට යන්නෙකු දකුණු පැත්තට හැරී රුවන්වැල්ලට පැමින ඉන් වමට හැරී ගුරුගොඩ ඔය මතින් එතෙර විය යුතුය . නමුදු කැළණි ගඟ දිගෙ පැමිනෙන්නෙකු කරවනැල්ල පාලම යටින් ගඟ දිගේ ගොස් දකුනට හැරෙන්නට සිදුවේ . ගඟ දිවෙන්නේ එසේය .

Aකරවනැල්ල පාලම   B  පැරණි දුම් රිය මාර්ගය
 A7 මාර්ගය පසෙකින් දිවේ
කරවනැල්ල පාලම අසලින් ගඟ යලිත් අංශක 90 කින් දකුනට හැරී රුවන් වැල්ල දෙසට

කරවනැල්ල පාලම

 කරවනැල්ලේ සිට ගඟ දිවෙන්නේ රුවන්වැල්ලට ය. කරවනැල්ලේ සිට ගඟ   ගලන්නේ ප්‍රධාන මාර්ගයෙන්  ඈත්වය . එම පැති බොහෝ සෙයින් ජන ශූනයය. රබර් වතු  පාළුවට ඇරුණු ඉඩම් ගෙවල් දොරවෙඅල් ගම්මාන පසු කලෙමු .අපගේ ඊළඟ නැවතුම් පල වූයේ රුවන්වැල්ල නගරය ආසන්නයේ වැළි තලාවකි .  එතැනින් ගඟට එක්වන්නේ දකුණු පසින් එන ගුරුගොඩ ඔයය. 

A ගුරුගොඩ ඔය මතින් රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගය දිවෙන පාලම   ගුරුගොඩ ඔය

අප නැවතත් ජලය පානය කොට ඉතිරි  පාන් ස්වල්පය බෙදා හදගෙන පිටත් වුනෙමු . මේ වනවිට අප ගමන පිටත් වී පැය හතරකට ආසන්නවී තිබුනි . හිරු රැස් අපව පෙළන්නට පටන් ගෙන තිබුනි.                   

37 comments:

  1. අදත් ලස්සන විස්තරයක් .ඔය rapid තරණය කරද්දි කයාක් වලට හානි වෙන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. මචං ඔයා මුලට ගිහින් කයාක් ගැන විස්තරේ බැලිවානම් තේරෙයි - LDPP , PE වගේ ඒවා මේ ගැටුම් වලට ඔරොත්තු දෙනවා. ඒත් අපි වගේ දුප්පත් එවුන්ගේ ෆයිබර් ඒවට නම් දෙයියන්ගෙම පිහිටයි. මේ හැමටම පිලිතුරු ඉදිරියේ. එතෙක් මා සමග මේ ගමනේ යෙදෙන්න අත් නොහැර! බොහමත්ම ස්තූතියි!

      Delete
  2. අදටත් මාගම්මන පැත්තෙ තියනවනේ රේල්පාර කියල පාරවල්
    ඇත්තටමඇති ⁣⁣ රේල්පාර ක් නෑ ඒත් නමට කියනව
    ඉතුරු ටිකත් ඉක්මණටඕනේ

    ReplyDelete
  3. මච්ං ඒක වෙනමම කථාවක්. අර දෙහිඕවිට ඉඳන් පාර දිගට තියෙන පරණ රේල් පාරෙ තියෙන ගල් බෝක්කු , අරුක්කු පාලම් දැක්කාම ඇත්තටම පපුව හෝස් ගාලා පත්තු වෙනවා. ඒවා විනාස කරලා අපි මොන අපරාදයක් කරගෙනද කියලා!

    ReplyDelete
  4. Replies
    1. ඔබගේ පැසසුම ; අකණ්ඩව ලිවීමට මා උනන්දු කරවයි. බොහොමත්ම ස්තූතියි!

      Delete
  5. ගඟ දෙපැත්තේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහොමද? නීතිමය ගැටලු මුකුත් ආවේ නැද්ද? මේ ගමන යන්න කලින් විශේෂ අවසරයක් මොනවා හරි ගන්න සිද්ද උනාද? රාෆ්ටින් යන්න පාවිච්චි කරන බෝට්ටුවකිනුත් මේ ගමන යන්න පුලුවන්ද?
    ජය වේවා ... දිගටම ලියන්න !!

    ReplyDelete
    Replies
    1. මචං අපේ රටේ තවමත් ගෙවල් හදන්නේ ගඟ පැත්තට පස්ස හරවලා පාරට මුහුනලා! ඉතින් මේ ගමන ගියේ ගෙවල් වල පිළිකණ්න පැත්තෙන් කිව්වොත් නිවැරදියි. ඒ නිසාම බොහොමයක් අපිඅව දැක්කේ නැහැ. දැකපු අයගේ සෘජු ප්‍රථිචාර ඊළඟ පෝස්ටුවේ තියෙනවා.
      විශේෂ අවසරයක් නම් ගන්න උනේ නැහැ; මොකද මේ ගඟ ගලන්නේ කිසිදු වන රක්ෂිතයක් හරහා නොවන බැවින්.අනෙක එහෙම ගන්න ගියොත් ඒ අය කියාවි අවසරය ගන්න "කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනෑ !" කියලා. ඒ නිස අපි ඒක අමතක කලා.
      මචං රාෆ්ටින් කරණ බෝට්ටුවකින් ඒ කියන්නේ රබර් ඩින්ජි / ඩින්ගි එකකින් මේ දේ කරණ්න පුලුවන්. ඩින්ජි එකක එන ගමනකයි කයාක් එකක එන ගමනකයි වෙනස මම දකින්නේ ; පාරෙ දුවන බස් එකක නුවර එලියේ යන එකයි ට්‍රේල් බයික් එකක යන එකයි අතර වෙනස වගේ. මොකද ඩින්ජි එකක යන කොට ගස් ගල් හෝ වෙනත් බාධක ගැන විශාල අවබෝධයක් ඇවැසි වෙන්නේ නැහැ. ඒත් කයාක් එකක් පැදගෙන එනවා කියන්නේ ඊට වඩා වෙනස් අත් දැකීමක්. ඉස්සරහා යන එකා යන විදිය කියවලා පස්සෙන් එන එකාට තීරණ ගන්න , නොගන්න , වෙනස්කරණ්න පුලුවන්. දිගටම කියවගෙන යන්න. තාම පෙරවදන (පෙරගමන) නොවැ. මෙච්චර කියන්නේ තව එකෙකු හරි මේ වැඩේ කරාවි කියන විශ්වාසෙට!

      Delete
    2. මෙච්චර අහන්නේ මටත් ඔය වගේ ගමනක් යන්න ආස නිසා..

      Delete
    3. අනේ බන්ඩා මට ඔයාගේ දෙවෙනි කොමෙන්ටුව මිස් උනා. එකසිය ගානට සොරි වෙන්න ඕන. වැඩේට කැමති නම් කරණ්නකෝ. මට මේල් එකක් දාන්න. ඉස්සෙල්ල ඇවිත් පොඩ්ඩක් පදින්න. එතකොට ටෙක්නික් ටික ගොඩ දා ගන්න. පස්සෙ වැඩේ කරමු.

      Delete
  6. ගින්දර ගින්දර මෙව්වනෙ බොල බොග් කියන්නෙ. දකිද්දිත් සනීපයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ! තැන්කූ!!

      Delete
  7. ගෙදර ගියා වගේ දැනෙනවා කියවගෙන යනකොට. අර යටියන්තොට පොලිසිය තියෙන්නේ පරණ කොච්චි ස්ටේසමේ කියල දැනගත්තේ අදයි .

    ReplyDelete
    Replies
    1. ලලිත් , ඔයා කරවනැල්ලේ ඉන්දන් එනකොට පාලම පහු කරලා කිලෝමීටරයක් ඇතුලත වමට පාරක් තියෙනවා දැකලා තියෙනවාද? දෙපැත්තේ මාරගස් එහෙමත් තියෙනවා. මේ පාරෙ මීටර 500 විතර යනකොට බිමට ගල් අල්ලලාත් තිබුනා. මේ පාර ඉවර වෙන්නේ කරවනැල්ල ඉස්ටේසමෙන්. මචං ඒක තාම තියෙනවා. එතන ඉස්කෝලයක් දාලා. ඔයාට කියන්න එතන කෝච්චි පෙට්ටියකුත් තිබුනා කිව්වොත් විශ්වාසද? උඹ විශ්වාසෙට ගනින් මෑතක් වනතුරු එක පන්ති කමරයක් පැවැත්තුවේ ඒක ඇතුලේ!

      Delete
    2. මට හරියටම මතක නෑ , සමහරවිට කාලයක් යද්දී රේල් පාර ආයෙත් හදයි, දැන් අවිස්සාවේල්ලේ පුංචි කෝච්චියත් නවත්වළලු නේද?

      Delete
    3. මම නම් හිතන්නේ නෑ ආයෙ කවදාකවත් ඔය පුංචි කෝච්චිය හරි ලොකු කෝච්චිය හරි අවිස්සාවෙල්ලෙන් අඩියක් ඉස්සරහට යයි කියලා. එහෙම වෙන්න නම් ලංකාවේ දේශපාලන සංස්කෘථියේ හැටියට යටියන්තොට එකෙක් හරි ඕපනායක එකෙක් හරි ජනාධිපති වෙන්න ඕන! පුලුවන් උනොත් ඒ ගැන ලියන්නම් කවදා හරි කාහට හරි දැක බලා ගන්න.

      Delete
  8. අපි පදිමු පදිමු ඔරුව පදිමු එගොඩ බලාලා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! දිගටම මා එක්ක ගඟදිගේ යන්න එන්න.

      Delete
  9. ඔය රුවන්වැල්ලේ ගුරුගොඩ ඔය වැටෙන තැන කම්බපාලම හදන්ඩ කලින් එගොඩට ගියෝ ඔරුවෙන් ... ඔතනත් ගගේ ටිකක් බයානක තැනක් .... අපරාදේ ගුරුගොඩ ඔයේ පරණ පාලම .... ඒක සංරක්ෂණය කරන්ඩ ඕන වස්තුවක් ....අපේ ආතා කිහිප විටක්ම ..මට කියාපු දෙයක් තමයි ඔය පාලම නට් 32ක් ගලවලා ගංවතුරේ ගහගන යන්ඩ ඇරතහැකි කියලා.... රුවන්වැල්ල මගේ අම්මගේ ගම .... තල්දුව තාත්තගේ ගම

    ReplyDelete
  10. මචං ඔතන තිබුනු යකඩ තනි ආච් එකක් උඩට තිබිනු පාලමක් නෙ. මචං මම දැකපු හැමදේම ඔය පෝස්ටුවේ ලියන්නේ කවදාහරි වස්තුව නැතත් පින්තූරයක් ඇසින් දුටුවකුගේ විස්තරයක් හරි මේ අව්කාශයේ පවතී කියන විශ්වාසයෙන්. ඒ වෙනුවෙන් ලැබෙන දිරිය තමටි උඹලගෙ මේ කොමෙන්ටු. බොහොමත්ම ස්තූතියි . රුවන්වැල්ල කියන්නෙ සුපිරිම තැනක් තමයි හැමදේකටම!

    ReplyDelete
  11. +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  12. පොඩ්ඩක් ඉවසපන් මලේ!

    ReplyDelete
  13. හප්පට සිරි මම ආපු නැති දවස් දෙක තුනට ළිං ඉහල ගඟ දිගෙත් සෑහෙන්න පල්ලං බැහැලනෙ.
    ෆලෝවර් එකට ඇඩ් උනා. දැං දිගටම එන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒත් මම බැලුවා ඇයි ගඟේ යන්න ආවෙ නැත්තෙ ඇයි කියලා. දැන් දිගටම අපි එක්ක යමු.

      Delete
  14. මචං. නියම ඇඩ්වෙන්චර් එක. උබේ කලින් කමෙන්ට් එකේ දාල තිබ්බ information ඔක්කොටම ස්තුතියි.
    මම ගාල්ලේ කරිජ්ජ ඉස්සරහ ඉපදුනත් තාත්ත අම්ම අක්ක ඇරෙන්ට මට පිහිනන්ට බැහැ.
    මගේ උණවටුනේ, හික්කඩුවේ, මිරිස්සේ, අරුගම්බේ ඉන්නේ සුපිරිම surfing කරන යාළුවන්. උන් දැන් ගොඩක් යුරෝපේ විසිරිලා ඉන්නෙ. උන් ගොඩක් දෙනෙක් master divers ල ගේ සෙට් එකේ අය. උන් surf board එකේ නැගල surf කරද්දි මම board එක උඩ වාඩි වෙලා කරිජ්ජ පැද්ද එකෙක්.
    මාතරදි පද්දෙ කයාකි වගේ සීන් එකක්. පැයට ඒ දවස්වල 2000ක් විතර දීල. බෑන්ක් එකෙන් ටුවර් එකක් ගිහිල්ල.
    මම උබේ පොස්ට් කියවලම ආසාවට ලංකාවට එවන්න කයාකි එකක් ඇමේසන් එකෙන් ගන්න හදලත් නිකන් හිටිය.
    මම ලොකු කමට නෙමෙයි මේ කියන්නේ, මචෝ නේචර් එක එක්ක ගන්න ආතල් මම හොඳටම අරං තියෙනව මෙහේ. මට කරන්න බැරි උන දෙකක් තියෙනව.
    1. fishing
    2. කයාකින්
    මම වතුරට පුදුම බයයි. හැබැයි රොක් ෆෙස්ටිවල් ගියහම අනිත් මිනිස්සු කරන්න බය උස පහත යන ඇඩ්වෙන්චර් ඇක්ටිවිටිස් මම හැම දෙයම අත්විඳල තියෙනව.

    2002 දී වගේ වැද්දාගල එකෝ ඇඩ්වෙන්චර් එකකට අපි ගිහිල්ල බොහොම ලොකු කට්ටක් කෑව. ලංකාවේ ටුවරිසම් බෝර්ඩ් එකේ ෆොටෝග්‍රෆික් සීන් එකකට ගිහින් උදේ නැගිටලා බලද්දී කැම්පින් ටෙන්ට් එක හොයාගන්නවත් නැහැ. කාර් එක තිබ්බේ පැත්තකට විසිවෙලා කානුවක.

    2012 දී මම Lake District ගිහිල්ල එක photo එකක් ගන්න ගිහිල්ල bus එක මිස් වෙලා Windermere ඉඳල Ellerthwaite Lodge එකට winter එකේ පයින් ආව පය 9ක් -2 සීතලේ. pitch dark එකේ. ඔක්කොටම අතේ තිබ්බේ GPS වැඩ කල iPhone එක විතරයි. මම අදටත් holiday යන්නේ trip advisor app එක සහ phone එක එක්ක විතරයි.

    මගේ යාළුවන් මම holiday ගිහින් එනකන් බොහොම බයෙන් ඉන්නෙ. උන් හිතන්නේ මට පිස්සු කියල තනියම දන්නේ නැති තැන් වල යන්න. මොකද මම holiday රටවල් දෙක තුනක ඉන්න අපේ පවුලේ සාමාජිකයන්ට කියල මම holiday යනව කියල phone එක off කරනව.

    වෙලාවක කතා කරමු. මගේ බ්ලොග් එක.

    http://tikikatha.blogspot.ca

    ජය වේවා.

    ReplyDelete

  15. මචං හෙට උදේම උඹට ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මචං ඊයේ හවස උඹගේ බ්ලොග් එකට යාන්තම් ගොඩ වැදිලා ගියා.
      මචං water sports කරණවානම් පීනන්න පුළුවන් වෙන්න ඕනෙම නෑ. මොකද මොන ස්විමර් වුනත් මේ වගේ සීන් එකකට බහින කොට ලයිෆ් ජැකට් එකක් අඳින එක Golden Rule එකක්. ඒක හරියට එංගලන්තෙ ජෙෆ් බොයිකෝට් උනත් බැට් කරණ්න එනකොට බෝල් ගාඩ් එකක් දාගෙන එනවා වගෙ. ඉතින් ලයිෆ් ජැකට් එකක් තියෙනවානම් පීනනව කියන එක නතිං නේ! නමුත් පීනන්න පුලුවන්නම් ඒක Added Qualification එකක්.
      Fishing නම් මම කරන්නේ නැහැ ප්‍රථිපත්තියක් විදියට.
      උඹ ලංකාවට ආපු වෙලාවක කියපන්. Kayaking කරමු.
      උඹ දැනට කොහේද ඉන්නේ?

      Delete
  16. Replies
    1. තැන්කිව්! තැන්කිව්!!

      Delete
  17. පෙර ගමන මෙහෙම නං පසු ගමන කොහොම ඇද්ද ..??
    මේව කියවන්නත් සනීපයි ....

    ReplyDelete
  18. ඒකෙ මචං මහා ලොකු ඇඩ්වෙන්චරස් බවක් නම් නැහැ. ඒත් ඒක කරණ්න යනකොට වෙන දහසකුත් එකක් කේස් ගොඩදාගත්ත හැටි තමයි තියෙන්නේ. උඹ බැලුවානම් අපි ළිං ඉහපු සීන් එක උඹට තේරෙණවා ඇති මුළු පෝස්ට් එකෙන් 90% ක් ම තියෙන්නේ වැඩේ කරණ්න යන කොට මුහුන දුන්නු බාධාවන් ගැන කථා කරණ්න. මොකද අපි හැමෝටම මේ ඕන ඉවෙන්ට් එකක් ගොඩ දා ගන්න බැරි කමක් නැහැ. මම නෙවෙයි මළ මිනියක් කයාක් එකක් උඩ තියලා ගැට ගැහුවත් ඒක මාස ගනනාවකින් හරි මුහුදටම වැටෙයි. ඒත් වැඩේ තමයි වැඩේට සෙටමෝල් වෙන එක. උඹම කල්පනා කරලා බලපන් අපි ; අපේ ජීවිතේ මොනතරම් වැඩ පටන් අරණ් මග නවතලා දාලා තියෙනවාද කියලා. ( මේ පොර ටෝක් නෙවේ. මේ හැම දේම උඹලට අපිට කරණ්න පුලුවන් අතිශය සාමාන්ය වූ දේවල්!)

    ReplyDelete
  19. නියමෙට ලියවිලා තියෙනවා

    ReplyDelete
  20. මගේ ලියවිල්ල වගේම මට බ්ලොග් එක කරණ්න ටෙක්නිකල් සපෝට් එක දෙන එකාටත් මේකේ ගෞරවය යන්න ඕනෙ!

    ReplyDelete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...