Monday, May 22, 2017

26. ගඟක් දිගේ ගිය ගමනක් 2

සැමදා මගේ ආදරය . . !
අපගේ ආච්චි අම්මා කියන්නේ අපේ තාත්තාගේ අම්මා ආගන්තුක සත්කාරයට බොහෝ සෙයින් ලැදි වූ කෙනෙක් . ඉස්සර බයිසිකල් වල  ශ්රී පාදයේ යන  කණ්ඩායම් දැක්කාම ; ආච්චි අම්මා  පාරට පැනලා  ;  කෑ ගහලා  නවත්තලා කන්න දෙනවා මට මතකයි.

පිං තකාද නැතිනම් හුදු විනෝදාශ්වාදය කරණ කොට ගෙනද කියලා මට හිතා ගන්න බෑ අදටත්! අපේ තාත්තලාගේ ගේ වටේම තිබුනේ කොස් ගස්. ගේ පිටි පස්සේ කොච්චි ගස් බොහොමයක් තිබුනා. පොල්ගස් කොකොවා ගස් එහෙමත් සරුවට තිබුනු අක්කරයක විතර බිම් කඩක තමයි මේ ගේ තිබුනේ

මේ ගේ පිටිපස්සෙන් තමයි කැළණි ගඟ ගැලුවේ. ගෙට ඉස්සරහින්  A 7 මාර්ගය . මම මේ කියන කාලෙ මේ පාර නිකිම්ම නිකන් පටු තාර පාරක් ! ඊට උඩින් කන්ද . ඒකෙ තමයි  අපේ ගෙදර තිබුනේ . මේ ගෙවල් දෙකම පල හතරේ ගෙවල්. අපේ ගෙදරට ඉහලින් අර මා කලින් කිව්ව නාහේන මූකළාන.

ඉතින් මම අර කලින් කිව්වා වගේ ගෙදරට පැමිනෙන ඕනෑම කෙනෙකුට කෑම බීම සැපයීම ඇගේ සිරිතක්. නිසාම එම නිවස අපගේ නෑදයින් හා හිත්මිතුරන් ගෙන්;  බොහෝ සති අන්තයන් පිරී පැවතුනා

ගෙදරට එන තම අමුත්තන්ට තේ පිළිගැන්වීමෙන් පසු ඊළඟට ලබදෙන්නේ තුවායක් සහ සබන් පෙට්ටියක් වීම අනිවාර්ය දෙයක්. ගඟට ගොස් හොඳින් ස්නානය කොට ; මහන්සිය දුරු කරගන්නට අවස්ථාව සැලසීමටද නො එසේනම් ආහාර සූදානම් කරණාතුරු ඔහුව  හෝ කණ්ඩායම නිවසින් ඈත් කොට තබන්නටදෝ යන්න අදත්  මාහට විසඳාගත නොහැකි ගැටළුවක් !

මා පාසලේ 4-5 පන්තිවල උගෙන ගනිද්දී අපගේ පියාගේ රැකියාව අහිමි විය. සමගම එතෙක් නිළ නිවස්නයන්හි ජීවත් වූ අප නැවතත්  යටියන්තොට - හක්බෙල්ලවකට රොක්විය
කැළණි නදිය මගේ ජීවිතයට බොහෝ සෙයින් සමීප වන්නේ මේ අවධියේදීය.අම්ම සමග ගඟට බසින මා පිහින්න්නට පටන් ගන්නේද මේ අවධියේදීය
බොහො කලක් එංගලන්තයේ විසූ ඌරල ජිනදාස විජේතුන්ගයන්ගෙ සුප්‍රසිද්ධ නව කතාව වන Grass for My Feet - මා පයට තණ නිල්ල පොතෙහි පළමු පරිඡේදයේ එන ආකාරයටම මාගෙ ළමා කාලයේ ; නෑම සඳහා යෑම නො එසේ නම් නාන්න යෑමට විශේෂ ස්ථානයක් ලැබුනි.
මා පිහිනන්නට ඉගෙන ගත අයුරුද අපූරු කථාවකි. අප නැවත අපගේ නිවසට පැමිනෙන අවධියේ එතෙක් එය කුළියට ගෙන තිබුනු කිතුල්ගල මහ විදුහලෙහි විදුහල්පති වරය සතුව වෙස්පා වර්ගයේ ස්කූටරයක් තිබුනි
ඔවුන් නිවසින් බැහැරවද්දී  එනම් ඔවුන් නිවෙස නැවත ආපවෙත භාර දිමෙන් පසු එහි යන මාහට දක්නට ලැබුනේඔවුන් දමා ගිය මහ අනර්ඝ වස්තුවකි.

කුඩා ටියුබයක්ය

හුලං බැස තිබුනු ටියුබයට මා හුලං ගැසුවේ කටින් පිඹීමෙන්ය!  ගෙල වටා දමා ගන්නා ටියුබයේ වෑල්ව්කර කට කොනක රඳවාගෙන පහල හනුවේ රදනක දතකින් වෑල්වය ඔබාගෙන ටියුබයට හුලං ගැසීම මට එකල "කජු කන" වැඩකි. මෙසේ  හුලං පුරවා ගත් ටියුබය තුලින් රිංගා ගත් මාහට අප නාන තොටුපලේ පිහිටි වක්කලමේ පිහිනීම පහසු කට යුත්තක් විය

වක්කලමක් යනු ගලාගෙන යන දිය පහරේ ඇති ගල්පරයක් වැනි කුමන හෝ  විදියේ බාදකයක් කරණ කොට ගෙන ; එයට පහලින් හැදෙන දිය ගලායෑම නැවතුනු හෝ වේගය අඩුවූ සථානයකි. මෙවන් ස්ථාන පතුලේ රොන්මඩ පවතී . ඒ දිය පහර නැවතී ඇතිහෙයින්ය. බොහෝ රොඩු කොල  වැනි ශාක කොටස් යනාදී ගං  දියෙන් එතෙක් දුර රැගෙන ආ අවශේෂ දෑ තනිකොට යන්නේ මෙවන් වක්කලම් වලය.මසුන් තම වාසස්ථාන තනා ගෙන සිටින්නේද මෙවන් ස්ථානයන්හිය.සෙමෙන් ජලය භ්‍රමනය වන සුලි ස්වභවයක් ඇති ස්ථානයක්  වන  වක්කලම් වල  දිය නෑම බොහෝවිට නොකරයි.එහෙත් මා පීනනට පුරුදුවූ ස්ථානයේ පිහිටියාවූ කුඩා වක්කලම බොහෝ සෙයින් ශාන්තවූ එකක් වූ අතර එය අඩි 15 -15 කාමරයක් තරම් විය. ගලා නොයන මෙම දිය පිරුණු පොකුනේ ටියුබය මගින් පාවෙන මා පිහිනීමේ අසිරිය විඳිමින් කාලය ගෙවුනි . ක්‍රම ක්‍රමයෙන් මා පුහුනු වෙත්ම ටියුබයේ  හුලං ටිකින් ටික මුදා හරිද්දී දිය මතුපිට ඉතිරිවූයේ හොඳින් පීනන්නට හැකි වූ  ළමයෙකි !

කුඩා කල සිටම ම කියැවීමට යොමු විය .එකල මා වඩාත් සිත් ගත් කථාව වූයේ “මඩොල් දූවය”.
අබලන් ඔරු කබලක් පිරියම් කොට උපාලිත් ජින්නාත් යන ගමන; එය කියැවීමෙන් ලැබූ වින්දනය අදත් මා තුල වේ. පසු කලෙක සත්‍ය වශයෙන්ම මඩොල් දූව නැරඹීමට මා හට අව්ස්ථාවක් ලැබුනද; උපාලිගේත් ජින්නාගේත් තොටුපළ  ඊට හාත්පසින්ම වෙනස් වූත් චමත්කාර ජනක වූත්  සුන්දර වටපිටාවක් අපූර්ව චිත්‍රයක් ලෙස තව මත් මා සිතතුල චිත්‍රණය  වී ඇත. එම චිත්‍රයට පදනම වී ඇත්තේ මාගේ ඥාතියකුට එවකට සතුව  පැවති  කුඩා දූවකි. එය සැබෑ මඩොල් දූවට වඩා බෙහෙවින්ම අලංකෘත වූ ස්ථානයකි.

පසු කලෙක මම කියවන ලද ඇලන් ක්වාටර්මන් (එච් රයිඩර් හැගාර්ඩ්), සම්පත් දූපත (ආර් එල් ස්ටීවන්සන් ), කොරල් දූපත (ආර් එම් බැලන්ටයින් ) වැනි සුන්දර ළමා කථා; මා ගෙන යන ලද්දේ තව තවත් ජලයටයි, ජලාශයන් වෙතටයි. 

පෙර කී පරිදි නෑම , කිමිදීම ,යාත්‍රණය ,ගවේශනය ,මේ සියල්ල මාගේ කුඩා සිත තුල රෝපනය කරණු ලබන්නේ මේ පත පොත විසින්ය. 


පාසැල් සමය තුලදී ගිනිය නොහැකි තරම් වාර ගනනාවක් මුල සිට අගටත්, අග සිට මුලටත් කියැවූ බේඩ්න් සාමි වරයා විසින් රචිත “ බාලදක්ෂ විද්‍යාව” පොතේ පළමු පරිඡ්චේදය ඇරඹෙන්නේ කුඩා චිත්‍රයකිනි. ඒ ළමුන් තිදෙනෙකු කුඩා කැනූ (canoe) ඔරුවක නැගී ජලාශයක් ඔබ්බෙහිවූ දේවදර වනයක් වෙත හබල් ගානා ආකාරයකි. මෙවන්ම වූ තවත් චිත්‍ර ගනනාවක් එම පොතේ තැන් තැන්  වල පවතී. 

මේ සෑම එකකින්ම  සිදුවූයේ මා තව තවත් වතුරට තිබෙන බැදීම වැඩිකරලීමයි. මා මෙහිදී මෙතෙක් භාවිතා කල “ජලය” යන වචනය වෙනුවට වතුර යන වචනය භාවිතා කලේ සැබැවින්ම “ජලයට” වඩා  “වතුර” අපගේ ජීවිතයට වඩාත් ලඟ එසේම අපට හුරුපුරුදු වචනය වීමයි. 

එකල මාගේ සිහිනය වූයේ කවදා හෝ දිනයෙක ; කිසිවෙකු නොදන්නා දූපතක් සොයා යාත්‍රා කිරීමයි !

කාලය ගෙවී  යත්ම පාසැල් අඩ්‍යාපනයෙන් ඈත්ව රැකී රක්ෂාවනට යොමුවී; දුවා  දරුවන්ලැබ කුඩා පවුල් ඒකකයක් මවිසින් තනා ගත්තද මාගේ විනෝදාංශය වූයේ සංචාරය හා එළිමහන් ජීවිතයමය. වාසනාවකට;  මා මෙන්ම මාගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ද කඳවුරු කරණය (Camping) වලට දැක්වූයේ නොමඳ ආශාවකි. 

LN 106
වන රොද වලද , ගං ඉවුරුවලද , සයුරු මායිමේද අප කඳවුරු බැන්දෙමු .

කලින් කල මාවෙත තිබුනු TOYOTA  LN106 පැරණි කැබ් රථයද  Land Cruiser  BJ60 රථයද මේ ගමන් වලදී තම වයස ගැන නොසිතා අප සමග අපේ සතුට වෙනුවෙන් කැප වුනු අතිශයින්ම  විශ්වාසවන්ත ගමන් සගයන් විය. 

ඒවා ඩීසල් නැතිව හිට්ටේ කිලෝ මීටර පන් හයසීයේ ගමන් ගොස් මහ  රෑ  ගෙදර  මිදුලට ආවිටය! සමහර දාට එවන් ගමනකින් පසු පසුදා ඇහැරී බලන විට රෝදයක දෙකක හුලං බැස ගොස්ය! මගදී මෙවන් ආපදාවක් වුවහොත් ඒ ටයර් කඩයක් ඔහොම මෙහෙම තිබියදීය! මා විටක මාගේ  ප්‍රිය බිරිඳ අමතා කීවේ “ මම නැති කලෙක ඔය දරුවන්ට, ඒගොල්ලන්ගේ දරුවන්ට කියලා දෙන්න එයාලගෙ තාත්තා ගැන සීයා ගැන. කියන්න ටයර් නැතිව ටියුබ් වලින් එයා ලංකාව වටේ ගියා කියලා!” 
මාගෙ පුතා ඒ කාලේ රසවත් කථාවක් ගොතා තිබුනි !

 “අපේ තාත්තා ටයර් කඩේට ගියාම කඩේ හිටපු කෙනා  කිව්වාලු මම ටියුබ් එකට පැච් එක දාලා තියන්නම් . මහත්තයා ගිහින් මේකෙ තිබුනු ටයර් එක අරන් එන්න කියලා ! ”





old faithful campaigner BJ60


මෙසේ චාරිකාවේ යෙදීමට ඇවැසි මූලාශ්‍ර සොයා අන්තර් ජාලයේ සැරිසරණ මා නෙත ගැටුනු වෙබ් පිටුවක් විය . ඒ අනෙකක් නොව මෙරට තුල සංචාරේ යෙදෙන සියල් සතුන් ගේ මිතුරා වන Lakdasun විය. 
 Lakdasun යනු ලක්දිව ස්වභාව සෞන්ධර්‍යය අගයන සියල්ලන්ගේ එකතුවක් කිව්වොත් මා නිවැරදියි. මෙම   Lakdasun එකතුවෙන් 2014 අගෝස්තුවේ මුතුරාජ වෙල හැමිල්ටන් ඇල හා දෙපස පිරිසිදු කිරීමේ වැඩ මුළුවක් නොඑසේ නම් ක්‍රියාන්විතයක් පැවැත්වුනි. 
මහා මුරුගසං වරුසාවේ එතැන් සිටි දුටු නුදුටු පිරිස කණ්ඩායම් දෙකක් ලෙස  ඇල දෙපස පිරිසිදු කරණ්නට විය . එකම වර්ගයේ  කුරුල්ලන් එකම අත්තක ලගින්නාසේ පෙරකී කණ්ඩායම තුල; අප තිදෙනෙක්  තවත් උප කණ්ඩායමක් නොනිළ මට්ටමෙන් පිහිටුවා ගත්තෙමු! ඉබේට එක්වූ අප පිරිසිදු කිරීමේ ක්‍රියන්විතය අතරේ අසල පෙට්ටි කඩයෙන් වඩේ තුනක් කා ප්ලෙන්ටි තුනක් ගසමින් අල්ලාප සල්ලාපයේ යෙදුනි. 
මෙසේ මා හා  එක්වූයේ පසිඳු අමරසිංහ හා අම්රාන් අතාස් නම් මගේ වයසින් අඩක් පමනවූ තරුණයන් දෙදෙනාය. පසිඳු කුරුණෑගල මළියදේව විදුහලේ ආදි සිසුවෙකු විය .පුරා වසර ගනනවක් විදුහල් ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයකු වී ඇති අතර දෙවරක් හර්මන් ලෝස් පලිහ විදුහල දිනන විට එහි සාමාජිකයකුව සිට ඇත. පසුගිය කාල වකවානුව පුරා තම මිතුරා - අම්රාන් සමග බොහෝ සති අන්ත ගතකොට තිබුනේ කැලෑ රොදකය. වන වදුලකය. කඳු මුදුනකය. කිරිගල් පොත්තේය. හෝර්ටන් තැන්නේය. යනාදී වශයෙන් දිග ලැයිස්තුවක මතකයක් ඔවුන්  වෙත තිබුනි.

මා දන්නා හඳුනන තරුණයෝ දෙදෙනෙක් විය.කලෙකට පෙර ඔවුන් සේවය කලේ එකම අයතනයකය. Hiking සඳහා ඇවැසි පලමු කූඩාරම ඔවුන් මිලට ගන්නේ දිවා ආහාරය සඳහා වැයවන මුදල කාලයක් පුරා එකතු කිරීමෙනි! 

පසුව හැම සති අන්තයකම පාහේ වන වැදීමට ; කොටුව දුම්රිය පොලෙන් සිකුරාද රාත්‍රියේ පිටව යති.ඒ සඳහා ස්ථානයක් තෝරා ගැනීමට ඔවුන් කදිම ක්‍රම වේදයක් අනුගමනය කලෝය. කොටුව දුම්රිය පොලෙන් ගමනාන්තය තෙක් ගමන් කිරීමට ඇවැසි අවසර පත් මිලදී ගන්නා ඔවුන් දුම්රියට ගොඩවී නින්දට වැටෙති.
පාන්දර යාමයේ ඔවුන් පිබිදෙන්නේ කුමන නැවතුමකද; එතැනින් බැසගන්නා ඔවුන් පාද චාරිකාව Hike එක පටන් ගනිති! මේ තරුණයින් දෙදෙනා අන් කවෙරකුවත් නොව පසිඳු හා අම්රාන් යුගලයම විය !!

අපගේ මුතුරාජවෙල ක්‍රියාන්විතය නිමවන විට අප තිදෙන  එකිනෙකා බොහෝ සෙයින් හදුනාගෙන  තිබුනි. එසේම යටියන්තොට  හක්බෙල්ලාවක ; කැළණි ගං ඉවුරේ පිහිටි  මාගෙ කුඩා ඉඩම ගැන කිවූ සැනින් ඔවුන් එහි යන්නට එක පයින් කැමති වූවෝය . එදින අප වෙන්වූ අතර එතැන් පටන් කාලාන්තරයක් අපගේ මිතුදම රැඳීතිබුනේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ට පින්සිදු වෙන්නටය .


දිනක් අන්තර් ජාලය තුල සැරිසරණ මොහොතක මා නෙත ගැටුනු ලිපියක් විය. ඒ Kon-tiki Expedition නමින් හැඳින්වෙන කොන්ටිකි ගවේශනය පිළිබඳ  ලිපියකි. ඒ මෙයට  වසර ගනනාවකට පෙර එනම් ආදී යුගයේ සිටි අපගේ මුතුන් මිත්තන් පීරු සිට ඊස්ටර් දූපත් දක්වා මහා  සාගරය තරණය කරන්නට ඇති ආකාරය නැවත ක්‍රියාවට නැවීමක් ලෙස දැක්විය හැකියි. 
මෙය සිදු වන්නේ 1947 අප්‍රේල් 28 දින. 6 දෙනෙකුගෙන් සමන්විතවූ කණ්ඩායමක් දකුණු අමෙරිකාවේ පේරු හි කාලෝස් වෙරළින්  පිටත් වී  දින 101 ක මුහුදු  සංචාරයකින් පසුව කිලෝ මීටර් 6980 මග ගෙවා තුඅමොටු වලට ගොඩ බසිනවා. 

මෙහි විශේෂය වන්නේ ඒ සඳහා ඔවුන් නවීන තාක්ෂණයට අයත් කිසිවක් උපයෝගී කරනොගෙන පෙර ඈත අතීතයේ භාවිතා කල උපකරණ, උපාංග මෙවලම්, පමනක් භාවිතා කොට මෙම වීර චාරිකාව සම්පූර්ණ කිරීමය. 

මෙම සාගර  තරණයට ඔවුන් භාවිතා කරණ්නේ බල්සා කඳන්  වලින් සැදුම් ලත් පහුරක්! 


මම මේ කථාව කියැවීමෙන් මෙයට කලකට පෙර කුඩා අවදියේ කියැවූ පොත පතින් දැන ඉගෙනගත් වීර චාරිකා ගවේශන පිළිබඳව එතෙක් මඬනා ලදුව තිබූ ආශාව , උනන්දුව යලිත් ජීවය ලද්දේය . 
ලක්දිව සතර අතට දිවෙන ගංගා ඇළ දොළ රාශියක් තිබුනද මෙවන් ගමනක් සඳහා පළමුව තෝරාගත  යුත්තේ මා හොඳින් දන්නා,  ඇළකි, දොළකි, දිය දහරකි, ගංගාවකි. 
ඔව් මා හොඳින් දන්නා ගංගාවක් විය . ඒ අන් කිසිවක් නොව කැළණි නදියම විය.

 ඉන් පසු කාලය ගෙවී ගියේ ඒ සඳහා සුදුසු යාත්‍රාවක්  මිළදී ගැනීමටය. යාත්‍රාවක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දැනුවත් විය යුතුය . එතැන් පටන් මාස ගනනාවක් ගෙවී ගියේ තොරතුරු එක් රැස් කිරීමටය .

මෙයට වසර10 කට පමන පෙර විජිත යාපා  පොත් ප්‍රාශකයින් විසින් පැවැත්වූ පොත් ප්‍රදර්ශනයකදී ඉතා අඩු මුදලකට මා මිළදී ගත් පොත් පිංචක්; මාගේ පොත් එකතුවේ තිබෙනු මට මතක් විය .එය නමින් Take Up Canoeing නම් විය. 

මුල් ප්‍රකාශනය හා මුද්‍රණය එංගලන්තයේ වූ මේ පොතෙහි ; මා අතවූ  ඉන්දියානු පිටපතෙන් මා කැනූ  (Canoe) හා  කයාක් (Kayak) පිළිබඳව උගැන්මට පටන් ගතිමි .

මෙන්න ඒ පොත

2 comments:

  1. මට බැනේ තාම හරියට පීනන්ඩ

    ReplyDelete

  2. බොහොමත්ම ඉස්තූතියි මචං මම " ගඟක් දිගේ 4" රිප්ල්යි එකක් දැම්මා!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...