මේ ලිපියේ බොහෝ කරුණු මට සාපේක්ෂ හා මට සිතෙන පරිදි විනා බොහෝ කාරණා කාරණා සඳහා මූලාශ්‍ර සොයා වෙහෙස නොවන මෙන් මෙයින් බය පක්ෂපාතව ඉල්ලා සිටිමි.
මෙම පෝස්ටුව ලියන්නට මූල බීජ සැපයුනේ මහා බිරිතානියේ සිට බ්ලොග් ලියන අජිත් ධම්මගේ ආසන්නයේ ලියන ලද ලිපියකි. ඒ ලිපියෙන් සාක්ච්ඡාවූයේ; බිරිඳ විසින් සැමියා හට කෑම බෙදා දිය යුතුද නැද්ද සහ ඒ පිළිබඳව කථිකාවක්ය. මේ පිළිබඳව සැපයෙන කමෙන්ටුද ලිපියද කියවා බැලූ විට මාහට සිතුනේ එවන් සිදුවීමක් කෙතරම් දුරකට සත්‍ය ලෙස හෝ ප්‍රබන්ධ නො එසේ නම් හිතළු සේ ගොඩ නැංවිය හැකිදැයි කියාය.
මේ ගැන හිතන විට මතක් වෙන සුපිරි කථාවක් වෙයි. එය හැකි පමණ සභ්‍ය ලෙස ලියන්නට මා උත්සාහ කරණ්නම්.
දිනක් කුඩා පාරක සිරිපාල හට වේලාව දැනගැනීමේ අවශ්‍යතාවයක් ඇති විය.
තමා අත ඔරලෝසුවක් නොමැති හෙයින් ඔරලෝසුවක් ඇති අයෙකු සොයමින් වට පිට බලනා කල අසල ගසක් යට තම බර කරත්තය නවත්වා ඒ යට එල්ලා ඇති ගෝනි පඩංගුවේ හාන්සිවී සිටිනා කරත්ත කරුවෙකු දුටුවේය.
"මේ මනුස්සයා ලඟවත් ඔරලෝසුවක් තිබේදෝ"යි සිතා ඔහු වෙත නැඹුරු වී "මේ ලොකු උන්නැහැ වෙලාව කීයද දන්නෑ!? නේද?" යි විමසීය.
"වෙලාවද?" ආපසු මදක් හැරුණු කරත්ත කරු තමා අසල වූ; ගොණුන් දක්කන කෙවිටෙන් එක් ගොණෙකුගේ වලිගය පැත්තකට කර "12.20 යි" කියා පැවසීය!
මේ කාරණය හොඳින් බලා එය ගණනකට නොගත් සිරිපාල තවත් පියවර කිහිපයක් ඉදිරියට යත්ම සයිකලයක් පැදගෙන ආ අයෙක් මුණ ගැසුනි.
වේලාව සැක හැර දැන ගැනීමට අවශ්‍ය වූ සිරිපාල ඔහුගෙන්ද වේලාව විමසීය.
"12.21 යි!" සයිකල් කරුවා පවසද්දී මගියාට තරු පෙණුනි.
"අප්පට සිරි අර යකා කොහොමද අර විදියට වෙලාව කිව්වේ!? අපේ ගෙදර ගොන්නු කීයක් නම් ඉන්නවාද? මේ සාස්තරේ දැන ගත්තොත්නං ආයේ ගෙදරට කවදාවත්ම වේලාව බලන්න ඔරලෝසුවක් නං ඕන වෙන්නේ නෑ!" යි සිතූ සිරිපාල තව කිලෝ මීටර භාගයක් පමණ ඉදිරියට ගමන් ගනිද්දී ඉදිරියට යාමේදී හමුවූයේ මෝටර් සයිකලයක් පැදගෙන ආ තමාගේ මිත්‍රයෙකි.
"මචං වෙලාව කීයද?" සයිකලය තමා අසල නවත්වනවා සමගම ඔහු ඇසීය!
"12.35 යි!"
"මචං මාව පොඩ්ඩක් උඹ යන පැත්තට දාපං කෝ!" කියා සයිකලයේ එල්ලුනු සිරිපාල නැවත කරත්තය නවතා ඇති තැනට පැමිණියේය!
"මචං වෙලාව කියපංකෝ පොඩ්ඩක්! ඔහු සයිකලයෙන් බසින ගමන් මිත්‍රයාගෙන් ඇසීය!"
"ඇයි බං මං ඉස්සෙල්ලා කිව්වේ! 12.42 යි!"
"හරි! උඹ පලයං මම එන්නං!" කී මගියා නැවත කරත්ත කරුට ළඟා වී "ලොකු උන්නැහැ වෙලාව පොඩ්ඩක් බලලා කිව්වානං!" කීවේය.
නැවතත් පෙර පරිදීම කෙවිටෙන් ගොනුගේ වලිගය පැත්තකට කල ගැල් කරු 12.43යි!" කියා ටක්කෙටම වේලාව කිව්වේය.
සිරිපාල මහත් පුදුමයට පත්ව ගැල් කරු ළඟ ඇන තබාගෙන කථාව පටන් ගත්තේය!
"අනේ ලොකු උන්නැහැ අපේ පරම් පරා ගනනාවක්ම ගෙදර හරක් හිටියා! හොඳ පට්ටි ගොන්නු, එළදෙන්නු, කිරි හරක්, මීහරක්, නාම්බෝ නොහිටිය එකෙක් නෑ! අපේ අත්ත මුත්තාගේ ඉන්නදන්ම ගේ වටේම හරක්! ඒත් අපි කවුරුවත් දන්නෑ නොවැ; ලොකු උන්නැහැ වගේ ගොන්නුන්ගේ වලිගය එහා මෙහා කොරලා වෙලාව කියන්න!"
"මොන පිස්සුද ඕයි! එහෙම සෑස්තරයක් නෑ. අර ඈත පේන ඔරලෝසු කනුව මේකගෙ මේ වලිගෙන් වැහිලා නොවැ තියෙන්නේ! මම කෙවිටෙන් වලිගෙ මෙහා කොරන්නේ කනුව පෙනෙන්න!" ගැල් කරු පහදා දුන්නේය!
කථාවට තවත් ලුණු ඇඹුල් ඕනෑ අයට; ගොනාගේ වලිගය වෙනුවට; වෙනත් ඕනෑම සරීරාංගයක් යොදාගෙන රහ බැලුවාට අපේ තරහක් නොමැත. (මම කිව්වේ ඇත්ත කථාව!)
මේ විදියට කොහේ හෝ කවුරුන් හෝ කවදා හෝ කරණු කියනු ලැබූ දේකට විවිධ අර්ථ කතන දීමට අපි බොහෝ දස්සය. ඒ තමාගේ වටහා ගැණීමේ ශක්ති ප්‍රමාණයෙන්ය.
"සඳකඩපහනක කැටයම් ඔපලා!" යනු; ලාංකීය ගීත සාහිත්‍යයේ සුවිශේෂී ගීතයකි. මෙම ගීතය කුළුඳුලේ සෑදූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගෙ "මාතර ආච්චි" චිත්‍රපටයේ ගීතයකි. මෙහි සංගීතය වික්ටර් රත්නායකගේ වන අතර ඒ ඔහුගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් සංගීතය වනාතරතුර සුනිල් එදිරිසිංහගේ ප්‍රථම චිත්‍රපට ගීතය හා එය රචනා කල වොලී නානායක්කාරගේ ප්‍රථම හා එකම ගී පද නිර්මාණයයි!
චිත්‍රපට කථාව තුල බලවතකු තම හැකියාව යොදවා තරුණියක් තම වසඟයට ගැනීමට උත්සාහ කිරීම හා ඇයට සැබෑ ලෙසම ආදරය කරණා තරුණයා ඒ පිළිබඳව දුකින් පසුවීමේ පුවත ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේශණය කිරීම සඳහා මෙම ගීතය යොදා ගනී.
විප්‍රයෝගය පිළිබඳව ගැයෙන මේ ගීතය අපගේ ගීත සාහිත්‍යයේ කිසියම් කඩයිම් ලකුණක් ලෙස ගත හැක. ඒ මන්ද එතෙක් සරල ශාස්ත්‍රීය ගී යැයූ අමරදේව කුලකයේ ගායකයෙකු ලෙස සුනිල්ගේ කළ එළි මංගල්‍යය ලෙස මේ ගීතය ගත හැකි වනු නිසාය.
එහෙත් මෑතකදී මෙම ගීතයට නව අර්ථ කථනයක් සපයන අයෙකු; මෙම ගීතය "අභිසරු ලියක" විසින් ඇයගේ චර්යාවන් හා විඳින ගැහැට පිළිබඳව ගැයෙන ගීතයක් ලෙස යූ ටියුබය තුලින් ප්‍රකාශ කර සිටියි.
තමාගේ යූ ටියුබ් නාලිකාවේ නැරඹුම් ගණන වැඩි කර ගැනීම සඳහා ඕනෑම තක්කඩි වැඩක් කිරී මට මැලි නොවන මෙවන් තක්කඩීන්ගේ අදහස් හිස මුදුණින් පිළිගන්නා හා එය තව තවත් සමාජ ගත කිරීමට; සිතා හෝ නොසිතා උල්පන්දම් දෙන අය ගැන කල හැක්කක් නොමැත!
මේ ගීතය සම්බන්ධයෙන් දී ඇති සැබෑ විචාරය. මෙතැනින් රස විඳින්න.
ගීතයක සැබෑ අරුත නමින් බ්ලොග් අඩවියක් පවතී. එයට ලිපියක් සපයන; කොට්ටාවේ සමිත නම් වූ යතිවරයෙක් මෙම ගීතයේ අර්ථය; චිත්‍රපටයේ කථාවට සමගාමීව ගලා යන ආකාරය දක්වයි.
එම පෝස්ටුවට යටින් කමෙන් වැලකි. ඔබම කියවා බලන්න! චිත්‍රපටයකට පසුබිම් ගීතයක් ගැයෙන්නේ එහි රූප රාමුවලට යානොහැකි ඉමකට ප්‍රෙක්ෂකයා ගෙන යාමට වුවත් එය චිත්‍රපටයේ අන්තර්ගතයට එකඟව ඊට සමාන්ත්‍රව ගලා යා යුතුමය. මෙම බ්ලොග් අඩවියට ගොඩ වී බලන්න. යූ ටියුබ් තක්කඩින් විසින් ජන මනස කෙතරම් දුරකට විනාශ කොට ඇත්දැයි ඔබටම සිතා ගත හැක.
ගීතයක සැබෑ අරුත බ්ලොග් අඩවියට මෙතැනින් පිවිසෙන්න.
වරක් මා මේ ගීතයත් අමරදේවයන්ගේ "වක්කඩ ළඟ දිය වැටෙන තාලයට" ගීතය පිළිබඳවත් ප්‍රවීන ගීත රචක සහ ගීත විචාරක ධම්මික බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ; වොලී නානායක්කාර අවසන් කාලයේ ජීවත්වූ නිකවැරටියේ නිවසට ගොස් ඔහුව තමා මුණ ගැසී ඇති බවත් එහිදීද වොලී තම ගීතයේ අන්තර්ගත අර්ථය චිත්‍රපටයේ කථාවට සමාන්තරව දිවෙනසේ පබැදූ බව ප්‍රකාශ කල බව ය!
ඊනියා විචාරක තක්කඩීන් විනාස කරණ ඊළඟ ගීතය අමරදේවයන්ගේ "වක්කඩ ළඟ දිය වැටෙන තාලයට" ගීතයයි. මහගම සේකරයින්ගේ මිහිරි ගී පදමාලාවට මේ විචාරකයින් නවා කරකවා තබන්නේ ගායකයාගේ බිරිඳගේ ආර්ථව චක්‍රය මතයි!
පෙර කී ලෙස ධම්මික බණ්ඩාර මහතාගෙන් මේ ගීතය පිළිබඳව මාකල විමසීමේදී ඔහු පැවසුවේ සේකරගේ කිසිදු ගී පබැදුමක එවන් අදහසක් හෝ ඊට ආසන්න නැඹුරු තාවයක් දක්වන නිර්මාණයක් දක්නට නොලැබෙන බවයය.
එසේම ඔහු වැඩිදුරටත් පැවසූවේ
"පුංචි බලු රාලේ - මම ගෙදර නැති වේලේ
කවුද මගෙ බෝලේ - පෙරල පෙරලා හිටියෙ මිදුලේ"
කවියටත්; හිමි ගෙදර නොමැති වේලාවක අනියම් සැමියාගේ නිවසට පැමිණීම පිළිබඳව ලියැවුනු එකක් ලෙස අලුත් අර්ථ කතනයක් දිය හැකි බවයි!
ඒ ගීත විචාරය පිළිබඳවයි. ගීත පමණක් නොව ඕනෑම කලා කෘථියක් සම්බන්ධයෙන් මෙවැනි අරුත් සැපයීම් දැකිය හැක. ජෝර්ජ් බර්නාඩ් ෂෝ ලක්දිවට පැමිණි මොහොතේ එක් හිමිදිරි උදෑසනක ඔහු හමුවීමට ගිය පුවත් පත් වාර්ථා කරුවෙකු ෂෝ ගෙන් මෙසේ ඇසීය.
"ඔබ තුමා මේ මොහොතේ කල්පණා කරමින් ඉන්නේ කුමක් ගැනද?"
"උදෙ කෑමට බිත්තරයක් තම්බලා නකවද බැදලා කනවද කියලා!" ෂෝ ගත් කටටම පැවසීය.
බොහෝ කලා කෘථීන් හෝ වේවා වෙනයම් පාරම්පරික සිරිත් විරිත්, හුරු පුරුදු කම් වල මූලාශ්‍රය ඉතා සරළ එකක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර ඒවාට දැන් සැපයෙන අර්ථ කතන දුටු විට පුදුම සහගතය!
කලක සිට; ශුභ කටයුත්තක් කිරීමට පෙර කිරි ඉතිරවීමේ පුරුද්දක් ඇත. මේ සඳහා අප්පා මුත්තා කාලේ සිට භාවිතා කලේ "එළ කිරි" ය. මෙම කිරි ඉතිරවීමේ පුරුද්ද මෙන්ම ඒ සඳහා එළ කිරි යොදා ගැනීම යන කාරණාව; අනෙක් බොහෝ පුරුදු සිරිත් පැමිණි ලෙසම ඉන්දියාවෙන් ලැබුනු එකක් විය යුතුය!
මීට කලකට පෙර මෙරට පණ්ඩිතයින් මීට වෙනත් අර්ථ කථනයක් සැපයීය.
"කිරි කියන්නේ ලේ! කිරි ඉතිර වීම යනු ලේ ඉතිරවීමක්ය! මේ නිසා කිරි උතුරවන්නේ නම් ඒ සඳහා උපයෝගී කරගත යුත්තේ පොල් කිරි මිස එළ කිරි නොවේ!" ඔවුන් මතයක් සමාජ ගත කලෝය!
සමාජය තුල හෝ පවුල් සංස්ථාව තුල ස්ථාපිත වී ඇති බොහෝ කාරණා සඳහා මහා විශාල අර්ථ කතන නොමැත. එසේම කලා කෘථියක් ගත්තද එය එසේම මය. සියවස් ගනනාවක් පුරා අපේ ගෙවල් වල ඉදුනු "මල බත" සඳහා එකතු කර ගන්නා සාම්ප්‍රදායික දේවල් වලට මෙකල විවිධ අර්ථ කතන සපයනු දක්නට ලැබේ.
ලේන්සුව හතරැස් වීමට තුඩු දුන් හේතුවක් ඇතත් මේ ලෝකයේ තිබෙන සෑම සියළු දේ සඳහාම "මහා විශාල" හේතුවක් නොමැත! සමහර සිරිත් විරිත් ගති පැවතුම් සමාජගත කිරීමට කුමක් හෝ "සාධාරණය කරණ ලද" හේතුවක්ද සමග ඉදිරි පත් වේ.
"තමාගේ ගිණි අවිය සැමදා පිරිසිදුව තබා ගත යුතුයි! තමාගේ ගිණි අවියේ අංකය තමාට මතක නැති නම් සමහර විට; තමාගේ ගිණි අවිය යැයි පිරිසිදු කරණ්නේ අනුන්ගේ ගිණි අවියක් විය හැක!
අනුන්ගේ ගිණි අවියක් තමන් පිරිසිදු කරණ්නේ මන්ද?
එබැවින් තමාගේ ගිණි අවිය හඳුනා ගැනීමට නම් තමාගේ ගිණි අවියේ අංකය මතක තබා ගත යුතුය!"
මේ එවන් අවස්ථාවකි!
මීට කලකට පෙර "නවයුගය" පුවත් පතේ පලවූ කෙටි විකට පොකට් කාටූන් එකක දැක්වූයේ මොනාලීසාගේ ආලේඛ්‍ය චිත්‍රය අඳින ලියනාඩො ඩා වින්සි ගේ චිත්‍රයකි.
එක් වරම ඩාවින්සි මොනාලීසාගෙන් ප්‍රශ්ණයක් අසයි!
"මොකද ඔයා අමුතු විදියට හිනාවෙන්නේ?"
"ඩාවින්සි! ඔයාගේ නහය උඩ තීන්ත බින්දුවක්!"
අද අප මොනාලීසාගේ සිනහව පිළිබඳව කෙස් පැලෙන තර්ක නගති! බොහෝ අය සිතන්නේ සෑම සියළු දේටම හේතුවක් තිබිය යුතුයි කියාය!