Tuesday, July 21, 2020

178. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (දෙවැනි එක)


ඉතිං;
ඔයා නම් කැමති නෑ මම ඔයා ගැන ලියලා බ්ලොග් පෝස්ට් එකක් විදියට දානවට.
ඒත් මේ ලියන දේවල් බලන්න ඔයා වගේම තවත් දෙතුන් දෙනෙක්ම ඉන්නවා.
අද ඔයා ඉන්න විදිය දැකලා එයාල හිතනවා; මම ඔයාව පෙළ ගස්වපු විදිය; පුතෙකු හොඳ මිනිහෙකු කරණ්න පුළුවන් එක් හොඳ විදියක් ලෙස.
ඔයාට කියන්න රුෂාන් (අයියා) එයාගෙ පුතා අවුරුදු පහක් හයක් උනාම අපේ ගෙදර එවනවා කිව්වා.
මටම හිනා! (පව් නේද?)


ඔයාව පුංචි කාලෙම අපි එක්කගෙන ගියා කතරගම.
තාම පිංතූර තියෙනවා - දවසක මම ඔයාට පෙන්වන්නම්.
ඒ ගියාම මම ඔයාව; කිරිවෙහෙරේ කරඬුව වඩමවන ඇතාගේ බඩ යටින් එක්ක ගෙන ගියා.
ඇතාගේ බඩ යටින් ගියාම දරුවන්ගේ බය ඇරෙණවා, හීනෙන් බයවෙන්නේ නෑ -  ඔය වාගේ පැරණි විශ්වාස  නිසයි මම ඒක කලේ.
මට ඒ වෙලාවේ ඕන උනේ නෑ; මා තුල තිබුනු හේතුවාදී මනුෂ්‍යයාට අවනත වන්නට.
ඔයා වෙනුවෙන් කරණ්නට කිසිවක් ඉතිරි නොකිරීමයි මාහට කරණ්නට උවමනා වූයේ.
ඒවා මතක් වෙනකොට හරි සුන්දර මතක!


ඔයා පුංචිම වයසේ පටන් ස්වාධීන දරුවෙකු උනා. අවුරුදු දෙකකටත් කලින් ඔයා; සිදුරු කල තැඹිළි ගෙඩිය  අතට අරණ් ඒක කටේ තියාන තනිවම බොන්නට පුළුවන් කමක් තිබුනා.
මම කවදාවත්ම ඔයාට "මාළු අල්ලලා දෙන තාත්තෙක්" උනේ නැහැ! මම කලේ ඔයාට "බිලී පිත්තක් හදලා දෙන එක" පමණයි.

මට මේ ලියාගෙන යන කොට එක එක රස මතක හිතට ගලනවා.

ඒත් ෆිල්ටර් කර-කර ලියන්නම්.

ඔයා වැටුනාම මම කිසි දවසක නැගිට්ට වන්න ලඟට ගියේ නෑ.

"ගනං ගන්න එපා පුතේ! නැගිටින්න!!" කියලා ඔයාම උත්සාහයෙන් නැගිට ගත්තාම වැලි පිහලා දානවා මිසක්.
ඔයාගෙ කකුල මේස පුටු වල වැදුනා කියා වෙන තාත්තලා වාගේ දරුවාව නළවගන්න මේසෙට පුටුවට තඩිබාන පුරුද්දක් මට තිබුනේ නෑ.

එසේ කිරීමෙන් දරුවා තමා අතින් සිදුවන වැරදි අන් අය පිට පටවා ලීමට උත්සාහ ගන්න බවක් මා අසා තිබුනා.

කිසි දවසක "බිල්ලන්", "හප්පන්","හොල්මං", "අවතාර", භූතයින්", යක්ෂයින්" පිළිබඳව පවසා ඔයාව බිය ගන්වන්නට කිසිවෙකුටවත් ඉඩ දුන්නේ නෑ.
ඔයාව කිසිම දෙයකින් බියට පත් කලෙත්නෑ.
ඒ නිසාම ඔයා ඉස්කෝලේ දෙකේ තුනේ පංතියේ ඉඳන්ම තනියම ඔයාගේ කාමරේ නිදා ගත්තා.
ඔයා කරුවලට බියක් දැක්වූයේ නෑ.
"දවල් තියෙන ලොවමයි රෑටත් තියෙන්නේ. වෙනස ඉර නැති ඒක විතරයි!' මම ඔයාට අඳුර ගැන කියා දුන් හැටි.
දවසක් ෂානක අංකල් අපේ ගෙදරට ඇවිත් ඔයාගේ අතට විදුලි පන්දමක් දී මිදුල කෙළවරේ ගසක් අල්ලා එන ලෙස පවසූ වෙලා වේ; ඔයා ඒක කලාම මට දැනුනේ පුදුමාකාර සතුටක්.

දැං වගේ (මෝඩ) පෙනුමක් නෙවේ ඔයාට ඒකාලේ තිබුනේ.

හරිම තීක්ෂණ පෙනුමක් තිබුනේ.
ඇත්තටම මා විශ්වාස කලා දරුවෙකු වැඩෙන අවදියේදී අධික ලෙස ප්‍රෝටීන් ලබාදිය යුතු බව.
ඒක මම උගත්තේ චන්දන කීර්ති බණ්ඩාරගෙන්
සමකාලීන රුසියානුවෙකුට වඩා ලෙනින්ගේ  හිස වඩාත් විශාලව පිහිටියේ ඔහු කුඩා කල ඔහුට ප්‍රෝටීන් සපිරි ගුණවත් ආහාර වේලක් ලැබුනු හෙයින් යැයි වරක් චන්දන කීර්ති බණ්ඩාර මාසමගින් පැවසුවා.
ප්‍රෝටීන් හොඳින් ලබාදීමෙන් දරුවාගේ මොළය හොඳින් වර්ධනය වේයැයි සිතුවිල්ලක් මා තුල තිබුනා.
ඒනිසාම නිසාදෝ ඔයා බොහෝ විට ඉතා කල්පණාකාරීව සවන්දෙනු, තීක්ෂණව බලා සිටිනු, සිහි බුද්ධියෙන් කටයුතු කරනු අප නිරීක්ෂණය කරණු ලැබුවා.
ඒ නිසාම ඔයා කුඩා කාලේ පටන්; සාපේක්ෂව ඔබට වඩා කුඩා දරුවෙකු පරිස්සමින් රැක බලා ගැනීමට හැකියාවක්  පෙන්නුම් කලා.
ඔබ කිසි දිනෙක ඔබට වඩා කුඩා හෝ වෙනත් දරුවෙකු පෙළා නැහැ.
"තමා උපමා කොට සිතන්න!" යන බුදු වදන ඔහුගේ හිතට කුඩා කල සිට කාවද්දා තිබුනා.
ඔබට කුඩා කාලේ සිට අනුගමනය කලයුතු අචාර ධර්මයක් මා පුරුදු පුහුණු කොට තිබුනා.
ඔයාට මතකද ඒක?
"මොකද්ද පුතේ ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද?" මම ඇහුවාම ඔයා;
"බොලු කීන එක!" කියන්නට ඔයා සැදී පැහැදී සිටියා.

ඔයාව පොඩිම පොඩි කාලේ වත්; වෙනත් ගෙදරකට ගිය අවස්ථාවකදී ; එම නිවසේ තිබෙන සෙල්ලම් බඩු අරුමෝසම් අපගේ අවසරයකින් තොරව ඇල්ලීමටවත් ගියේ නෑ.
එසේම ඔයාට එහෙම ආශාවක් ඇවිත් ඒ පිළිබඳව "පොඩි කරු කුරුවක්" අප වෙත ඉදිරි පත් කලත් අප ඔහුට උපදෙස් දුන්නේ  "ඒ අංකල් ගෙන් අහන්න!", "ඒ මල්ලිගෙන් අහන්න!!" ලෙසටය.
අප ඒවා ඉල්ලා දෙන්නට ගියේ නැත.
එසේම එසේ ණයට ඉල්ලාගත් සෙල්ලම් බඩුවක් හෝ වෙනයම් ඕනෑම අරුමෝසමක්; සතුටින් තබා ඒමට ඔබ පුරුදු පුහුණු වී සිටියේය.
"ඒක ඔයාගෙ නෙවෙයි! ඒක එයාගෙ!!" මෙය අප ඔබට හොඳින් වටහා දී තිබුණි.
ඔයා මුල් කාලේ සුපිරි වෙලෙඳ සල් වලට ගියාම පොඩි පොඩි කාර්, ජීප්, ට්‍රක් වගේ ඒවා ඉල්ලුවා.
අපි කියලා දුන්නා අම්මටත් තාත්තටත් ගොඩක් සල්ලි නැති වග ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්නට.
මාසෙකට වතාවක් හෝ සෙල්ලම් බඩුවක් අරන් දීමට එහි "මිළ" කියන සාධකය බල පාන බව ඔයාට මා අවබෝධ කොට දුන්නා.
ඉන් පසුව ඔයා එවන් අවස්ථාවලදී සෙල්ලම් බඩුවක්; එය ප්‍රදර්ශනයට තබා තිබුනු රාක්කයෙන් රැගෙන ඇවිත් එහි යටි පැත්තේ අලවා තිබෙන; එහි මිළ සඳහන් කොට ඇති ස්ටිකරය අපට දක්වා "මේක ගන්න පුළුවන්ද?" කියා සුහදව විමසීමට පුරුදු වූවා.
ඒ ඔයාට "මිළ" කියන සාධකය තේරුම් ගියත් අංක පිළිබඳව වැටහීමක් නොමැති අවධියේ.
එය මිළදී ගැනීමට අපහසු බව මා ඔබට දැන්වුවහොත් ඔබ එය සීරුවෙන් තිබුනු තැනින්ම තබනු බොඳවූ ඇස් වලින් මා බොහෝ විට දැක තිබුනා.

ඔයා පොඩි කාලෙදිම ඔයාට අපි පොඩි බයිසිකලයක් ගෙනත් දුන්නා.
එම සයිකලය දෙපස; එය පෙරළීමෙන් වැළකීම සඳහා ආධාරක රෝද දෙකක් සවිකර තිබුනා.
ඔයා මේ සයිකලේ හොඳින් පදින්නට පුරුදු වූ පසු; දිනක් මා එහි එතෙක් පැවති ආධාරක රෝද දෙක ගලවා දැම්මා.
මට අවශ්‍ය වුනේ ඔයාට බයිසිකල් පදින්න උගන්වන්න.
මම රෝද දෙක ගලවා දමා නිවස තුලට පැමිණ විනාඩි 10 කින් පමණ ආපසු යන විට ඔයා සයිකලේ තනිව පදිනවා!
ඔයා ඉතා ඉක්මනට ඕනෑම දෙයක් ග්‍රහණය කර ගත් දරුවෙක්.

ඕනම දෙයක් ඉතා ඉක්මණින් ඉගෙන ගත්තා.

බයිසිකල කීවාම මට නියම කථාවක් මතක් උනා.
මම මේ කියපු සයිකලේ ඒ තරම් ම හොඳ තත්වයක  එකක් නොවුනි.
ඒක කාලය සමග අබලන් වී ගියේය.
ඒ අබලන් වූ විට එය නැවත සකසා දුන්නේ අල්ලපු ගෙදර "අප්පච්චි"  විසින්.
එක් සෙනසුරාදා දිනෙක උදේම සයිකලයේ හුලං ගසා ගැනීමට අප්පච්චිලාගේ ගෙදරට ගිය ඔයා ආපසු පමිණියේ මූණ බෙරි කරගෙන!
ඒ සයිකලයේ ටයර් ටියුබ් ඒ තරමටම අබලන් වෙලා නැවත අළුත්වැඩියා කර ගැනීමට බැරි තරමට!
මම ඉතින් ඔයාවයි සයිකලෙයි අරණ් පාරට ආවා.
මගේ හිතේ තිබුනේ ජපානෙ සයිකල් ගෙන්වන තැනකින්  ඔයාට සයිකලයක් අරණ් දෙන්න.
ඒ වුනාට මම මම ඒක ඔයාට කියන්න ගියේ නෑ.
ඔයා ඒ කාලේ ඉස්කෝලෙ එකේ දෙකේ  විතර.
ඉතින් අපි දෙන්නා ජපන් සයිකල් ගේන තැනකට ගියා.
මට පේනවා වැටට අස්සෙන් නිල්පාටයි කහ පාටයි බ්‍රිජ්ස්ටන් බයිසිකලයක්.
බයිසිකලේ අපි දෙන්නා දිහා බලාන හිටියා!
දැක්ක ගමන් මගේ හිත ගියා.
මම ඔයාට ඒ බයිසිකලේ පෙන්නලා ඇහුවා "පුතේ ඔයා අර බයිසිකලේට ආසද?" කියලා.
ඔයාගේ දෑස් ආශාවෙන් දිළිසුනා!
"ඔව්!ඒක ගම්මුද?"ඔයා  උත්තර දුන්නා.
"හරි පුතේ! ඔයා ගිහින් ගාන අහගෙන එන්නකො! මා ගාව රුපියල් 3000ක් තියෙනවා!"
මම හොඳටම දැන ගෙන හිටියා 3000 ට ඒ සයිකලේ ගන්න බැරිවෙන බව.
ඔයා ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ඒ යාඩ් එකේ හිටපු කෙනෙක් ගෙන් සයිකලේ ගාන අහලා පිම්මේ දුවගෙන ආවා මාගාවට!
"තාත්ති! ඒක 6500ක් ලු!"
"අම්මෝ හොඳටම වැඩියි! එච්චර සල්ලිත් මාගාව නෑ! ඔයා පුළුවනම් ගිහින් 3000 කට ඉල්ලන්න!"
ඔයා ආයෙත් ඇතුලට ගියා. ගිය පයින්ම ආපසු ආවා.
"අන්තිම 5000ක් දෙන්නලු!"
"ඉතිං අපි ගාව එච්චර සල්ලි නෑනෙ! අන්තිම 3500 ක් දෙන්නම් කියන්න. ඔයා කියන්න අපි ගාව එච්චර සල්ලි නැති බව!"
මේ විදියට ඔයා දෙතුන් වතාවක් ඒමේ අතට ගියාට පස්සෙ සයිකලෙ 4000 කට ගණං බැස්සා.
"ගන්නවා නං අන්තිම රුපියල් 4000ක් දෙන්න කිව්වා!" ඔයා මට කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන!
ඊට පසුවයි මම ඒක ඔයාට අරං දුන්නේ.
ඒක අයිතිකර ගන්න ඔයා කරපු කැපවීමකුත් තිබුනා!
ඔයා ඒක ගන්න සෑහෙන කට්ටක් කාපු නිසාම ඔයා ඒක  ආදරෙන් පරිස්සම් කලා.
ඒ සියල්ල මම ඔයාට ජීවිතේට එකතු කල පාඩම්!

Monday, July 13, 2020

177. පලවෙනි ඇන් ඇක්සිඩන්ට් එක


මීට වසර ගනනාවකට පෙර ඒ කියන්නේ ලංකාවේ සී.ටී.බී බස් රජ කල සමයේ රියැදුරෙක් ගෙන් "මේ බස් එක කීයට  විතර එහාට යයිද?" කියා විමසුව හොත් උත්තර වලට ලැබෙන්නේ සුද්ධ සිංහලය.
ඒ කාලෙ හැටියට නොවෙයි දැන් උනත් රියැදුරෙක්ගෙන් "ඔයා අතින් ඇක්සිඩන්ට් එහෙම වෙලා නැද්ද ?" කියා විමසුව හොත් එයටහොඳ ප්‍රථිචාරයක්නම් නොලැබෙනු ඇත.
එහෙත් මා සේවය පිණිස වැඩ පොලට බොහෝවිට යන්නේ බයිසිකලයෙන් දැනගත් විට "ඇක්සිඩන්ට් වෙලා එහෙම නැත්ද?" කියා කට පුරා අහන අය මට බොහෝ විට මුණ ගැසී ඇත.
මා එයට පිළිතුරු ලෙස පවසන්නේ "ඔයා අහන කල් නම් වෙලා තිබුනේ නෑ!" කියාය.
එවිට බොහෝ විට ප්‍රශ්ණය අහපු අය බොහෝ සෙයින් විස්සෝපයට පත්වේ.
එහෙත් මම ඊළඟ මොහොතේ "මොකද නැත්තෙ වෙලා තියෙනවා!" කී විට යාන්තමින් සාමාන්‍යය තත්වයට පත්වේ.

මා සයිකල් පදින්න පුරුදු වෙන කාලේ සිදුවුනු අපූරු සිදුවීමක් මාහට තාම මතකයේ පවතී.
ඒ සිද්ධිය මා මෙසේ පෙල ගස්වන්නම්!

අපේ පරම්පරාවේ බයිසිකල් කෙළිකාරයා උනේ අපේ අයියාය.
උන්නැහැ මම ඔය කියන සිද්ධිය වෙන කොට වැඩ කලේ බිංගිරියේ. 
එයා වැඩකලෙත්  තාත්තා වාගේම ෆොරස්ට් එකේ. 
ඒ කියන්නේ  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. 
නැවතිලා උන්නේ රජයේ නිළ නිවාසෙ.
ඒ කාලේ එයාව බලන්න මම එන්නෑ කියලා එකම අඬෝ වැඩියාවයි. 
එක නිවාඩු කාලෙක මමත් මගෙ ඇඳුම් කැඩුම් ටිකත් දාගෙන ගියා මුන්නැහැ එක්ක දවසක් දෙකක් ඉඳලා එන්න. 
අපේ අයියා මහ කේන්ති කාරයා. 
හොස්ස අගින් මැස්සෙකුට නෙවෙයි කෝඳුරුවෙකුටවත් යන්න බෑ එයා පරළ වෙනවා.
මම ඉතින් එහාට සම්ප්‍රාප්ත වෙලා දවසක් දෙකක් යනකොට අයියාට රාජකාරිමය වැඩකට හලාවතට යන්න උවමනාවක් ආවා.
එයා ගියේ මට පරිස්සම්ව ගෙදරටම වෙලා ඉන්න අවවාද කරලා.
බිංගිරිය කියන්නේ තරමක තැනිතලාමය  භූගෝලීය ලක්ෂණ පෙන්නුම් කෙරෙණ ගමක්.
ඒ මුළු පලාතම පිහිටියේ පොල්ත්‍රිකෝණෙ මැද්දේ බැවින් පොල් වතු යායවල් එමට.
එසේම ගම ඇතුලට දිවෙන ගුරු පාරවල් කිහිපයක්ද තිබුණා.
අපේ අයියා බොහෝ විට ගමන් බිමන් ගියේ එයාගෙ මහානර්ඝ ෆ්ලයිං පිජන් සයිකලයෙන්.
අයියා හලාවතට ගිහින් එන තුරු නිල නිවාසේ ඇතුලෙ හිටිය මගෙ හිත තිබුනේම මේ යකඩ ගොඩ සමග.
ඒක එයාගෙ නිළනිවාසෙ ඇතුලෙ විරාජ මානව මා දිහා බලාන ඉන්නවා.
හිත තදකරගෙන ඉඳලා ඉඳලා ඉන්න බැරිම උනු මොහොතක; මේක පොඩ්ඩක් පැදලා "ඉංදියාවේ හිරේ ගියත් සැපයි" කියලා හිතිලා හිත තද කර ගෙන ගේමට බැස්සා.
ඉතින් මමත් හීං සීරුවේ සයිකලේ එලියට අරං දොරපලු දෙකත් හොඳට අඩවල් කරලා පාරට කිට්ටු කලා.
ඔය කියන කාලෙ මම ඉස්කෝලෙ අට වැන්නෙ විතර ඇති.
ඒත් උස තිබුනා රිටකට පොඩ්ඩක් අඩුව වගේ.
බයිසිකලේ පාරට ඒ කියන්නේ කුරුණෑගල හලාවත ප්‍රධාන පාරට දාලා දෙතුන් විටක් එහාට මෙහාට ගිහින් බැලුවා.
බයිසිකලේ පැදෙනවා හිටු කියලා.
ඔය කාලේ ආපු ෆ්ලයිං පිජන් බයිසිකල වල ෆ්‍රී වීල් එකේ ඒ කියන්නේ දම්වැල දිවෙන පිටුපස දැති රෝදේ; දැති 20 කින් සමන් විත වුනා. 
කොග් වීල් එක දැති 44. 
ඉතින් ඕනෑම කන්දක් ගේමක් නැතිව පදින්න පුළුවන් කම තිබුනා.
අපේ අයියාගේ නිළ නිවාසේ එහෙමත් නැතිනම් ක්වාටස් එක ඉදිරියෙන් තිබුණු පාර තිබුනේ තරමක ආනතයකට.
කොටින්ම පොඩි නැග්මක් සහිතව දිග කන්දක්.
මේ නිසාම සයිකලේ කන්දට පැදලා අනිත් පැත්තට පල්ලමේ  රූමයා වගේ යන එක තමයි එකම විනෝදෙ උනේ.
ටික වේලාවක් ඔය පැදිල්ල පැදලා කන්දට පදින එක; ටික වෙන්න වාතයක් වෙමින් තිබුනු නිසා සයිකලේ පදින්නට ඊළඟට මම තෝරා ගත්තේ ගම ඇතුලට විහිදුනු ගුරු පාර.
තද මෙරූන් පාටැති ඒ පාර අයියාගේ පාලනය යටතේ තිබුණු තේක්ක වගාවක් ඔස්සේ ගම දෙසට ඈතින් ඈතට ගියා.
මම සයිකලය ගුරු පාරට ගෙන වේගයෙන් ඒ මේ අතට පදින්නාට පටන් ගත්තා.
පළමුව ප්‍රධාන පාරේ සිට කෙටි දුරක්. . . !
ඉන් පසු ඊට මදක් වැඩි දුරක්. . . . !!
ඊළඟට තවත් දුරක්. . . . . . . !!!
මෙලෙසින් වටයෙන් වටය වැඩි වන දුරින් යුතුව මා සයිකලය පදිමින් විය.
ගමක තබා අගනුවර වත් ත්‍රී වීල් නොතිබූ අවධියේ යතුරු පැදියක් වුවද ඉතා දුලබ දසුනක් වූයෙන් මාහට මගේ සතුට මට ඇවැසි පරිදි ගැනීමට බාධාවක් නොවීය.

එදින පොල දවස. 
බිංගිරිය කඩ මණ්ඩිය ආසන්නයේ පැවති පොලට පැමිණි ගැහැනුන් කිහිප දෙනෙකු හා පිරිමින් අත ලොස්සක් හැරෙණ්නට මා හට ගුරු පාරේ මෙලෝ බාධකයක් නොවීය.
 මහ පාරේ සිට ගම දෙසටත් නැවත ගම ඇතුලේ සිට මහ පාර දෙසටත් සයිකලය පදින මා හට; පොලේ සිට බඩු මලු කර පින්නා ගෙන ගෙවල් බලා යන එකම පිරිසක් පසු කර යාමත් මුහුණට මුහුණ හමුවීමත් නිරන්තරයෙන් සිදු වුනි.
තේක්ක වගාව ගම තුලට බොහෝ දුරක් විහිදුනි.
"තේක්ක වගාව" කීවාට එය විශාල ගස් වලින් හෙබි කැලෑ කුට්ටියකි.
තේක්ක ගස් වල විශාල කොල වලින් මුළු මහත්මාර්ගය මෙන්ම වන පෙතද සෙවන වී තිබුනි.
පුරවා ගත් බඩු මළු අතින් කටින් එල්ලා ගත් ගැමි ගැහැණුන්  පිරිමින් තුන් හතර දෙනෙක් මද්ධහනට කලින් ගෙදෙරට යන්නට පාර දිගේ සෙමින් සෙමෙන් ගාටමින්ය.
ඔවුන් යන්නේද දෙතුන් දෙනා ලං ලංව කියවමින්ය.
බුලත් සපමින්ය.
පාත්ත ගමනින්ය.
මේවන විට පැය භාගයකට අධික කාලයක් සයිකලය පදිමින් සිටි මා සිටියේ සයිකල් පැදීම පිළිබඳව මනා පරිචයකින් ය.
මෙය ඇත්තක්ද?
නැත ඒ සිතට දැනෙනා හැටිය.
"සයිකලය අතට හොඳට හුරුය!" මේ සිතට දැනුනු හැටිය.
මෙසේ ඒ අතටත් මේ අතටත් සයිකලය පදිමින් සිටි මා වටයෙන් වටය තේක්ක වන වගාව පසු කොට ගම තුලට අවතීර්ණ වෙමින් සිටියෙමි.
මා ඒ වන විට අධික වේගයකින් පදිමින් විය.
අවසන් වතාවට මා ගම ආසන්නයෙන් සයිකල හැර වූයේ විශාල පල්ලමක් අභියසදීය.
ගම තුල සිට ප්‍රධාන මාර්ගය දෙසට පැමිණි මා හැකි උපරීම වේගයෙන් ගම තුලට දිවුනු ගුරු පාරේ පා පැදිය ධාවනය කලෙමි. 
මගේ බලා පොරොත්තුව මා දුටු පල්ලමේ සුපිරි වේගයකින් ගමන් ගැනීමටය.
සයිකලය වංගු වලින් හැරෙමින්, කෙලින් වෙමින් වේගවත් ගමනකය.
අද මෙන් නොව එදා හිස පුරා වැවී තිබුනු කෙහෙ රැලි හුළඟේ ලෙල දෙමින්ය.
මෙතෙක් මෙම මාර්ගය ඔස්සේ ඒ අතටත් මේ අතටත් සරක්කාරං කරද්දී දුටු ගැමියන්, ගැමි ලියන් වඩ වඩාත් ගම දෙසට ලං වී සිටියහ.
පෙනෙන්නට නැත්තේ පාත්ත ගමනින්, බුලත් සපමින්, බඩු මලු හිස මත සමතුලිත කර ගනිමින්, අතක කළ පොඩියක් ගෙන ගිය බවලතී හා ඇය හා දොඩමළුව ගිය උස් ගැහැණිය පමණි.
බවලතී වයස අවුරුදු 50 ක පමණ වන්නට ඇත.

උස් ගැහැණිය ඊට තරමක් ලා බාල බවක් පෙන්නුම් කලාය.
ඊළඟ වංගුව අවසාන වන්නේ; මෙතෙක් පුල පුලා බලා සිටි ඒ අසිරිමත්මොහොත එළඹෙමින්ය.
ඔව් ඒ පෙරකී සීඝ්‍ර බෑවුමය.
පාර විහිදී තිබුනේ උස් ඉවුරු දෙකක් අතරිනි.
අවට සමතලා බිමට වැසි වැටෙන විට එම වැසි ජලය පහලට ගලා ගියේ මෙම ගුරු පාර ඔස්සේය.
එම නිසාම පටි පාරේ එක් පසක් ගැඹුරට හෑරී කාණුවක් නිර්මානය වී තිබුණි.
වංගුව අසුරු සැණින් පසුවී ගොස් පල්ලමට සෙට මෝල් වුනේ ඊ ගහක් මෙනි.
පල්ලම අඩි 50-60 ක් පමණ විය.
පල්ලමට අවතීර්ණ වී හැකි උපරීමයෙන් පදිමින් උපරීම වේගයක් සයිකලයට දෙමින් සිටි මාගෙ  නෙත ගැටුනේ පෙර කී කාන්තවන් දෙදෙනා පුරුදු ගමණින් පල්ලමේ අවසානයට කිට්ටු කරමින් සිටිනා අයුරුයි.
සයිකලය පෙර නොවූ විරූ වේගයකින් ගමනේය.
කාන්තාවන් දෙදෙනාත් මාර්ගයේ දෙපස ඉවුර ආසන්නයෙන් ගමනේය.
ඔවුන් දෙදෙනා අතරින් සයිකලය ධාවනය කිරීම මාගේ අරමුණ් විය.
ඔවුන් පසු කර යාමට තත්පරයක්  දෙකක් තිබියදී වයසින් වැඩි තරබාරු බවලතී ; හෝදා පාළුවූ මාරගයේ පසෙක වූ කාණුව මග ඇරීමට පාර මැද්දට පාවී ආවේය.
ඔබ ජීවිතයේ එක් වරක් හෝ තමා පදවන ලද වාහනයක් ක්ෂණික අනතුරකට පත්වී ඇත්නම් මෙනෙහි කොට බලන්න. 
අනතුර වලක්වා ගැනීමට තිරිංග පාගනවා වෙනුවට සිදුවන්නේ තම අත රැඳි සුක්කානම හෝ සයිකලයේ හැඬලය තමා වෙතට ඇද ගනිමින් වාහනයේ ධාවනය නවතා ලීමට උත්සාහ කිරීමයි.
මෙය කියවන විට විහිළුවක් සේ හැඟුනද බොහෝ විට සිදු වන්නේ එයයි.
මාගේ ඇස් මනා පිට එක් අවස්ථාවක දී සිදුවූ මෝටර් රථ අනතුරකදීද මෙය මා මනාව දුටුවෙමි.
මොටර් රථ පදවන විට සිදුවන ක්ෂණික අනතුරකදී; තමන් නොසිතාම සිදුවන  සිදුවන මෙම පට ලැවිල්ලේදී; සුක්කානම තමාවෙතට ඇද ගැනීමට වෙර දරද්දී ඇක්සලරේටරය නිරායාසයෙන්ම තදින් පෑගේ.
"බ්‍රේක් එක කියලා කලබලේට ඇක්සලරේටරේම පෑගුනා!' කියා පවසන්නේ මෙම ක්‍රියා දාමය යැයි මා සැක කරමි.

තවත් නිමේශයකින් සිදුවන අනතුර මග අරවා ගැනීමට මාහට බ්‍රේක් ගැසීමට සිහියක් නොවීය.
මමද කලේ හඬලය හැකි වෙර යොදා මාදෙසට ඇද සයිකලයේ ගමන නැවැත්වීමට උත්සාහ ගැනීමයි.
පරණවී ගිය චීත්ත රෙද්දකින් හා හැට්ටයකින් සැරසී සිටි තරබාරු කාන්තාවගේ සිරුරේ සමමිතික රේඛාව හා මාගේ සයිකලයේ ඉදිරිපස ටයරය හා සයිකලයේ ගමන් පථය ඒක රේඛී වෙලාය.
ඒ මා සයිකලය  පැදවූ වැරදි ආකාරයක් නිසා නොව ඇය කාණුව මග ඇරීමට ගොස් මාර්ගයේ මැදට පැමිණ ස්ථාන ගතවූ අයුරුය.
මතක් වෙන විටත් කියන්නට, ලියන්නට නොව හිතන්නට පවා බිය උපදවේ.
සයිකලයේ ඉදිරිපස ටයරය කාන්තාවගේ දෙපා අතරින්; ඇය විළි වසාගෙන සිටි චීත්තයද එයට යටින් වූ අවශේෂ වස්තරයද දෙපළු කරමින්; ලී ඉරන මඩුවක බංකු කියතක් දැව කඳක් ඉරාගෙන මතුවන්නාසේ  ගමන් ගත්තේය.
හැඬලය ඇගේ ඉඟටියේ හෝ පිට මැද්දෙ වැදී ඇය පසෙකට වීසිවී ගියේය.
සයිකලය සමග මා කරනම් ගසා බිමට වැටුනේ ඇගේ අතක තිබුනු කළය බිම වැටී සුන් බුන් වූ තැන අසලමය.
පල්ලම දිගේ තලන බටු, ඉන්නල, දෙහි තරග දිවුමේය.
බණ්ඩක්කා කරල්; වම්බොටු අත නොහැර අප අසලම තිබුනේය.
කාණුවේ පසෙක වූ පං මල්ලේ ඉතිරිව තිබුනේ වට්ටක්කා බෑයකි.
එයද ඇයට යටව ගොස් තිබුණු නිසා විය යුතුය.
එයද පැවතියේ චප්පව ගොස්; එය විකුණූ වෙළෙන්දාටවත් හඳුනාගත නොහැකි වන ලෙස විකෘථිවී ගොසින්ය. 

"මේ  (teek) කොල්ලාට මගේ රෙද්ද අස්සෙ යන්නෙ නැතිව වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද යකො .ඕ . . ඕ . . (teeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeek) "

ඇය මට මිශ්‍ර සිංහල හෝඩියෙන් අමතන්න විමි.

"(teek) අම්මේ මගෙ තුනටිය! (teeeeeeek)!!

මා ඇය දෙස කෙලින් බලන්නට වත් නොගියාට ඇය සිටින්නේ දෙපළුවී ගිය චීත්තය නිසා හිරි ඔත්ප් බිඳී ඇති  බව ඇස් කොණින් මා දුටුවෙමි.
ඇය  විළි වසා ගැනීමටවත් උත්සුක නොවී හිටි වනම සිටිමින් මාගේ දයාබර මෑණියන්ව සිහි කරමින් විය.
මා සයිකලය කෙළින් කර ගත්තේ ලෙලි ගිය දනිස්සෙන් කොර ගසමින්ය.
සයිකලයේ හැඬලය ආපසු ගෙදර යන්නට මෙන් හැරී ගොස්ය.
මා එය කෙලින් කරගන්නටවත් වෙලාව අපතේ නොහැර සයිකලයෙ බාරයට උඩින්  කකුල දමා පල්ලමේම පදින්නට විය.

වියෝග ප්‍රවේගයෙන් ගමන් ගත් මා විනාඩි ගනනකින් තවත් සෑහෙන දුරක් ගමන් කොට සයිකලය අනතුරේ ගුරුත්වාකර්ශණයෙන් ගැලවී යාමට සමත් විමි.

මාගේ දණිස් - බනිස් වාගේ ඉදිමී ඇවිත්ය.
සයිකලයෙන් බැස ඉදිරිපස රෝදය කකුල් දෙකට මැදි කොට හැඬලය යතා තත්වයට පත් කර ගත් මා එම මාර්ගයේම ඉදිරිය ට පැද මතු වූයේ; බිංගිරිය  - කුළියාපිටිය මාර්ගයෙන් ය. 
එතැන්සිට සෙමෙන් සෙමෙන් ගාටමින් පදිමින් වාසස්ථානයට පැමිණෙන විටත් අයියා පැමිණ නොසිටියේය.
වහ වහා සයිකලය හොඳින් පිසදැමූ මම අයියාගේ සරමකට ගෙවැදුනෙමි.
ඒ අනෙකක් නිසා නොව දනිස් සඟවා ගැනීමටය!
අදටත් අයියා මේ වගක් දන්නේ නැත.

ඔහු බ්ලොග් කියවන්නෙක් නොවන බැවින් එය ජීවිත කාලයටම රහසක් වේවි!
අපරාදෙ චීත්තේ!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...