Monday, July 22, 2019

146. කළු ගඟදිගේ . . . . . . 9

කාල නදී ගං ඉවුරේ

වෙලාව දහවල් 2.00 ට පමන වන්නට ඇත.

අවට පරිසරය දැඩි උනුසුමකින් ආක්‍රමණය කරගෙනය.

අප සිව් දෙන කාත් කවුරුවත් නොමැති පාළු ගං ඉවුරක තුරු වදුලක් යට සිට තදින් සිසිල් කල බීර පානය කොට හොඳින් අහාර ගෙන තරමක වේලාවක් එහිම ඇලවී සිටියෙමු. (මෙහිදි "ඇලවී" යනු මැලියම් හා සම්බන්ධ හෝ ගංගා ආදිය සම්බන්ධ දෙයක් නොව ඇඳන් පැදුරු කොට්ට මෙට්ට  හා බැඳුනු "ඇල වීම" ය. මා මෙතරම් හොඳින් අවධාරණය කරණ්නේ මෙම ලිපි කියවන රහස්පරීක්ෂක ලේඛක ලේඛිකාවන් වඩාත් උනන්දු වන්නේ ලිපියේ අන්තර්ගතයට වඩා එහා මෙහා වී ඇති උක්ත ආඛ්‍යාතයන් පිළිබඳ වීම කරණ කොට ගෙන ය!)

ජීවිතයෙ මෙවන් දිනයක් මතකයයේ ඇත්නම් මෙසේම වන ගතවූ දිනෙක පමණය.
 කාල සටහනක් ඇති මුත් ඊට; අප අපගේ සතුට තෘප්තිය විවේකය අතික්‍රමණය කරණට ඉඩ නොදුන්නෙමු. මන්ද මේ අපගේ විනෝදාංශය වූ බැවිනි.
එහෙත් අප අතරම සිටි කිසිවෙකු අවස්ථානු කූලව නායකත්වය ගනිමින් අපගේ මූලික සැලස්ම විනාශ නොවන්නට අන් පිරිස නියාමනය කිරීමේ යෙදුනේය.

ඒවන විට තරමක හිරු දමනය වී තිබුනු ලෙසකි.

 හිරු රැස් තරමකට තිබිය යුතුය.මළාණික හිරු රැස් අපව මන්ද ගාමීන් කරණු ලබයි.  "තරුණ බව දිනයේ උදෑසන 8-9 ත් අතර හිරු රැස් මෙන්" යැයි වරෙක මාවෝ සේතුන්ග් පවසා ඇත.
එසෙරම හිරු ගිලුණු මන්දාරමේ යත්‍රා කිරීම මාහට නම් සුන්දර අත් දැකීමක් නොවේ. චන්ඩ හිරු රැස එන්නට මත්තෙන් හෝ බැසගිය දෙවන හෝරාව  පැදීමට සුදුසු වාතාවරණයක් සකසයි.
 හිරු බැස යන්නට පටන් ගත්  දෙවන හොරාව එළබ ඇති මුත් දිනය බොහෝ සෙයින් මහළුව ගිය සේයාවක් පෙන්නුම් කලේය. ඒ වැහි වළාකුළු අහස පිරීගිය වේලාවකි. ඒවා වැසිබර කළුව ගිය අළු පැහැති වලාකුළු නොව සුදු පැහැති වළාකුළුය. එනිසාම වායුගෝලයේ අර්ද්‍රතාවය ඉහල ගොස් දැඩි උනුසුමක් අපට දනවමින් විය.

එතැන් සිට අප සෙමෙන් ගඟ දිගේ පහලට එන විට ගඟේ අයිති කරුවන් අඩුවී ගිය සේයාවක් දක්නට ලැබුණි. ඒ මන්ද වැළි ගොඩ දැමීමේ සිට සියළුම මෙම පංතියේ ක්‍රියා කාර කම් කරණ්නේ බොහෝ විට උදය වරුවේ පමණක වීම නිසාය. හවස් වන විට ගං දිය සිසිල් වත්ම කෙන්ඩා පෙරලීමේ සිට විවිධ අතුරු ආබාධ නොමිලේ තමන් කරා පැමිණෙන හෙයින්ය.

ගඟෙන් බොහෝ ඉඩක්  හරස් කොට; උණ ලී හෝ වෙනත් ලී සිටුවා තැනින් තැන සකසා තිබුනු වැටි එලෙසින්ම විය.
මෙසේ තිබුනු වැටවල් අතරින් පැද යාමට නොහැකි උසකින් යුක්ත විය. එම වැටවල් අතර හෝ කෙළවරකින් තිබුණු ඉඩකින් කයාකය පදවාගෙන යාම කල යුතුව තිබුනි. සමහර ස්ථාන වල වැට නවතා තිබුනේ; නො එසේ නම් කපොල්ලක් ඉතිරිව තිබුනේ වැට සිටුවීමට නොහැකි ගල්  පිහිටා තිබුනු ස්ථානයන්හීය!
අත් අඩංගුවෙන් මිදුනු ගඟ; පන එපා කියා හැකි උපරිම වේගයෙන් පස්ස නොබලා එතැනින් දිවයන්නේ මෙම ගල් පර්වත අතරිණි. මෙනිසා කපොල්ලක් තිබුනත්; මෙම ජල ප්රවාහයට වැටෙන කයාකය නිවැරදි මාර්ගය සොයා ගනිමින් යාත්රා කරවීම තරමක් අසීරු කර්තව්‍යයකි.

බොහෝ විට මග ඇරීමෙන් මග ඇරෙණ්නේ දිය මතු පිට ඇති ගල් නොවේ. දියෙන් වැසුනු එහෙත් දිය මතු පිටට නුදුරේම ඇති ගල් ය. පර්වතයන්ය. හොඳින් ඉර එලිය නොමැති විට මෙසේ දියෙන් වැසී ගිය බාධක දකින්නට ඉඩක් නොමැත. එහෙයින් අපගේ ගමන බොහෝ සෙයින් දුෂ්කර එකක් විය.

 බොහෝ ස්ථානවල පසිඳුලා පැද ගිය අළුත් කයාකය සීරුවෙන් ගමන් කලද මමත් ඇනොත් පැද ගෙන ගිය පැරණි ෆයිබර් ග්ලාස් කයාකය සිර වුනි.

 සාපේක්ෂව අපේ කයාකය බරින් අධික වීම, ඉදිරියේ පදින ලද ඇනෝගේ බර මට සපේක්ෂව වැඩි වීම, අපේ කයාකය ට්‍රයෑකයක් එනම් තිදෙනෙකුට ගමන් කල හැකි අයුරින් නිපදවූවක් බැවින් එහි; අපගේ අමතර අමුද්‍රව්ය තොගයක් ගොඩ ගසා තිබීම යන කරුණු කරණකොට ගෙන මෙසේ සිරවීමට පසුතලය සකසමින් විය.

කයාකය සිර වූ විට හැකි හැම උත්සාහයක්ම ගත් පසු අවසානයේ කල යුතුව ඇත්තේ කයාකය මතු පිටින් පදින්නන් ඉවත් වීම නොහොත් දියට බැස; වඩා හොඳින් නිදහසේ පාවෙන කයාකය බාධකයෙන් මුදා ගැනීමය. එහෙත්  ඇනෝව දියට බැස්සවීමට මා අකමැති විය. ඔහුට පිහිණීම පිළිබඳව මනා පරිචයක් නොමැති වීම මීට ප්රධාන හේතුවය ය.
ජීවිතාරක්ෂක කබායකින් සන්නාහ සන්නද්ධ වී සිටියද අහම්බෙන් දියට වැටීමකදී  විනා එය මත පමනක් සම්පූරණ විශ්වාසය තබා නන්නාදුනනා තැනක, හැඩපහරක ඇනෝව බැස්සවීමට මා කිසිසේත්ම කැමති නොවීමි. ඔරලෝසුව වොටර් පෲෆ් වූ පමණින් මම එය බැඳගෙන නාන වැඩ කරණ්නේද නැත!

එසේම තරමක පුරුද්දකින් තොරව දියේ සිට කයාකයට ගොඩවීම කල නොහැක්කකි. සැබැවින්ම කයාකය මතට ගොඩ වීමක් නොව එය මතට පැනීමකි සිදු වන්නෙ! බරසාර ශරීරයකට හිමිකම් කියූ ඇනෝ හට එය එතරම් පහසු කට යුත්තක් නොවනු ඇත!
එසේ හෙයින් සිරවූ සෑම ස්ථානයකදීම මා දියට බැස ඇනෝ මත සිටියදීම කයාකය ගලවා ගන්නට කටයුතු කලෙමි.
මේ සියළු බාධා මෙන්ම වැහි බීරමද අපව  තරමක මන්දගාමී ස්වරූපයකට යොමු කලේය. ඒ සමගම අප සිව් දෙන අද රාත්රියේ කඳවුරු බඳින තැන සොයා ගැනීමට ඉවුරු වලට ඉව ඇල්ලීමට පටන් ගත්තෙමු.

කඳවුරු බැඳීමට සුදුසු බොහෝ ස්ථාන තිබෙන්නට ඇත; මිනිසුන් ගඟ ආක්‍රමණය කරණ්නට පෙරාතුව!

ගං ඉවුරක කඳවුරු බඳින විට ගඟට තරමක උසකින් පවතින බිමක් තෝරා ගැනීම යෙහෙකි. මන්ද හදිසි ජල ගැල්මකට මුහුණ දීම සඳහාය.
 එසේම අප හැම විටෙකම උත්සාහ කරණ්නේ ජනශූණ්‍ය පෙදෙසක්ය. ඒ අනවශ්‍ය ගැටලුවලින් මිදීම සඳහාය. 

එසේම මොනම අවස්ථාවකදීවත් කයාක ගඟේ තබන්නේද නැත. මන්ද කිසිවෙකුට එය පහසුවෙන් පැහැර ගැනීමට ඇති ඉඩ කඩ මග අරවා ලීමටය! 
මෙනිසාම උස් ඉවුරක් තෝරා ගත්තද එයට කයාක ඔසවාගෙන ගොඩවන්නට හැකි මගක්ද තිබිය යුතුය. 

මේ සියල්ලටම ගැලපෙන"ලංකෙම් රොබියුලැක්" වැනි ස්ථාන සොයා ගනීම තරමක අසීරු කට යුත්තකි. 

මෙසේ වට පිට බලමින් අප ගමන් ගන්නේ හවස හතරේ කණිසමට ගොඩ යන්නට බලාය. මන්ද ඒ වේලාවෙන් පසු ගඟ අයිති වන්නේ හෝ හපුටුවන්ටය! හෝ හපුටු ප්‍රහාරය දෙවෙනි වනවා නම් ඒ කිඹුල් ප්‍රහාරයකට පමණක්ම විය යුතුය. 

ගං ඉවුරේ කඳවුරු බැඳීමේදී මෙම හෝ හපුටුවන්ගෙන් ගැලවීම සඳහා ගිනි මැළයකින් සිදුවන සේවාව අති මහත්ය. එය මදුරුවන්ටද එකසේ ප්‍රථිඵල ගෙනදේ. 
මේ සියල්ල සඳහා පඟිරි තෙල් වැනි විවිධ ආලේපන වර්ග තිබුනද ගිනි මැළයකින් කඳවුරකට ලබෙන ප්‍රබෝධය, ප්‍රාණවත් බව, උද්යෝගය මොනම ආලේපනයකින්වත් ලඟාකරදීමට නොහැක.

මහ කැළයේ කඳවුරු බඳිද්දී මෙම ගිණි මැලයෙන් තවත් ප්‍රයෝජන රාශියක් ගත හැක. තෙත ඇඳුම් වේලා ගැනීම, ආහාරයක් පිස ගැනීම, සිගරට් සුරුට්ටු දල්වා ගැනීම, පසුවදා තේ කෝපි සාදා ගැනීම වැනි සියල්ල අභිබවා යන වන සතුන්ගෙන් ආරක්ෂා වීම ගෙන හැර දැක්විය හැක.
කඳවුරක ගිණි මැළයක් යනු රාත්‍රිය මුළුල්ලේ ඇවිළිය යුතු දෙයකි. එය මහා ගිනි ජාලාවක් නොවිය යුතුය. එසේම හඳුන්කූරු හතර පහක් වැනි මළාණික එකක්ද නොවිය යුතුය. මෙය පාලනය කල හැක්කේ තරමක් විශාල කඳන් ගිණි මැළයට එක් කිරීමෙනි.

ගිණි මැළය අවුළුවා ගන්නේ හොඳින් ඇවිලෙන ද්‍රව්‍ය මත අවුළුවාගත යුතු දේ අතුරා ගැනී මෙනි. පලමුව වහා ගිනි ඇවිලෙන සුළු දේ ගිනි තබා ගත් විට එමගින් ගිනි අවුළුවාගත යුතු ප්‍රමාණයෙන් විශාල කඳන් ඉබේම ඇවිලේ. 
මේ වහා ගිණි ගන්නා සුළු ද්‍රවය ලෙස කඩදාසි, පොල් අතු, ගස්වල වියලි පොතු හා අතු,  ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ඉවත දමන සෙරෙප්පු වැනි රබර් කැබැලි, පොල් කටු, රෙදි කැබැලි වැනි දෑ උපයෝගී කර ගත හැක.

බොහෝ කඳවුරු බඳින්නන් මුහුන දෙන විශාල ගැටළුවක් වන්නේ BBQ ලිපෙහි අඟුරු වලට ගිණි අවුළුවා ගැනිමය. කඩේ සාප්පුවෙන් ගන්නා BBQ අඟුරු මල්ලේ ඇති ස්ටාටර් එක ට වඩා මේ සඳහා  තුනී පොල් කටුවක් දෙකක්,  මහතට කඹයක් සේ අඹරා පොල්තෙලෙහි පොඟවා ගත් පහන් තිරයක් ප්‍රයෝජනවත්ය. 

උඳුන මත අතුරා ගත් අඟුරු මතම තබා ගත් පොල්කටුව තුල තැන්පත් කල තිරය අවුළුවා ගැනීමෙන් උඳුන සක්‍රීය කරගත හැක. පොල් තෙල් වෙනුවට "නැටුම් තෙල්, සිංදු තෙල්" හැරෙණ්නට වෙනත් ඕනෑම තෙලක්, ඉන්ධනයක් වැඩේට ලං කර ගත හැක!

මේ කුමන ගිණි තැබීමකට උවද හුලං අත හෙවත් සුළං හමන දිශාව නිශ්චය කරගත් යුතුවේ. මෙයට පහසු ක්‍රමදෙකක් බේඩ්න් පවල් සාමී වරයා විසින් රචිත "බාලදක්ෂ විද්‍යාවේ මූලධර්ම" නමැති ග්‍රන්තයේ ඒ. 

මෙහිදී  හුලං අත නිශ්චය කර ගැනීමට උගන් වන්නේ; සතෙකුවෙත  ඔහුගේ ඉවට හසු නොවී ලංවීමට ය.එම ක්‍රම දෙක වන්නේ සුළඟේ පාවීයන කුඩා කොල කබැල්ලක් වැනි දෙයක් පාවී යෑමට සැලසීමෙන්ය.

 අනෙක් ක්‍රමය වන්නේ තෙත් කරණ ලද දබරැඟිල්ල ඉහලට ඔසවා බැලීමය. මෙහිදී ඇඟිල්ලේ; හුලං හමන පෙදෙසට විවෘථ පෙදෙස වඩාත් සිසිලසක් දනවයි.

මෙම ඇඟිල්ල තෙත් කර ගැනීම සඳහා කටේ ඇඟිල්ල දමා ගැනීමේ සිට ඕනෑම උපක්‍රමයක් තම තමන්ට ඇති හැකි පහසු හා කැමති ආකාරයට කරගත හැක!

මේ කොයි හැටි වෙතත් ගිණි මැළය කඳවුර බිම තුල කූඩාරමට තරමක දුරකින් විය යුතුය. ඒ ගිණි පුළිඟු වලින් ආරක්ෂා වීමටය!

තවත් පැය භාගයක පමණ කාලයක් යාත්‍රා කිරීමෙන් පසු අප; අපගේ රාත්‍රී නවාතැන් පොල සොයා ගතිමු. එම ස්ථානයේ ගඟ තරමක වක්‍රව ගමන් ගත් ස්ථානයකි. වක්‍රය දකුණු දෙසට හැරී තිබුනු අතර අප තොර ගත්තේ ගඟේ දකුනු ඉවුරයි. එහා ඉවුරේ කුඩා නිවෙසක් හෝ දෙකක් තිබෙනු යාන්තමින් පෙනෙන්නට විය. 

ඉවුරට සේන්දු වී අප නැවතුනු අතර තෙශාන්ත ඉවුර මතු පිටට නැග ඉව අල්ලා බලා අපට ගොඩ බසින්නට අවසරය දුනි. අප කයාක ඉවුර අද්දරට ගෙන බැඳ දමා ඒවා මතු පිට තබා  ගැට ගසා  තිබුනු අපගෙ කූඩාරම් ප්‍රමුඛ සියළු අඩුම කුඩුම ඉවුර මතු පිටට ගෙන ආවෙමු.

එම ස්ථානය වැලි තොටුපොලක් ලෙස භාවිතාකල බවක් අසල ගොඩ ගසා තිබුනු; සල්ලඩයෙන් හලා ඉතිරි වුනු බෝල ගල් ආදිය කියා පෑවේය. ගඟේ සිට අඩි 20 ක පමන ඉහලක එම සමතලා බිම පිහිටා තිබුනේය.  

ගඟේ සිට තරමක ආනතයක් දිගේ අහලට තිබුණු පටු පාර කෙළවර වුයේ මෙම බිමෙනි. මෙම ඉඩ කඩ පලලින් අඩි 10 ක පමනද දිගින් අඩි 30 ක පමනද විය . 
අතහැර දමා තිබුනු වැලි තොටු පොලක්වූ  බැවින් පොලව සියුම් වැල්ලෙන් වැසී තිබුනි. ගඟපෙදෙස තරමක උස් පඳුරින්ද ගොඩබිම පෙදෙස බොහෝ උස්වූ ගස් වැල් වලින්ද ආවරනය වූ මෙමඉඩ කඩ තුල පෞද්ගලිකත්වය ඉහලින්ම ඉතිරී පැතිරී තිබුණි.


හෙට වනතුරු සාමදානයේ සැතපෙන!

සියළු බඩු බාහිරාදිය කඳවුරු බිමට ගෙන ගිය අප ඊළඟට සිදු කලේ දිනයේ අධිකතම වෙහෙස දනවන කාර්‍යයට උර දීමය. ඒ අනෙකක් නොව කයාක දෙක ඔසවා කඳවුරු බිමට ගෙන ඒ මය.  මමත් පසිඳුත් එම කාර්යය සිරිත් පරිදි ඉටු කල අප එවා මුනින් නවා; ඒ තුල ජලය වෙත්නම් ඉවත් වන සේ කඳවුරු බිමේ පසෙකින් තැබුවෙමු.

ඉන් පසු අප සිව් දෙන සිත්සේ ගඟේ බැස නෑවෙමු. ගඟේ දිය තරමක උනුසුමකින් යුක්තවිය. එම ස්නානය  දිනයේ සිරුර තුල වූ වෙහෙස මහන්සිය ගං දියේ දිය කර හරිණ්නට සමත් විය! සත්තකින්ම එය සැපවත් නෑමකි!

සොඳුරු කඳවුරු !

 පසිඳුත් තෙශාන්තත්  පුරුදු පරිදි දඩයමේ ගිය අතර මමත් ඇනෝත් කූඩාරම් අටවා ගිනි මැලය සඳහා අවශ්‍ය දැව කඳන් ගෙන ගොස් සකසා  තැබුවෙමු. තෙශාන්තටත් පසිඳුටත් ඉටු කර ලීමට කිසිවක් ඉතිරි නොකර සියල්ල සකස් කොට මොහොතකින් ඔවුන් දෙදෙන පමිණියේ තවත් ආගන්තුකයෙකු සමගිනි.

 එය එසේ නොවුනා නම් තමාය පුදුමේ! තෙශාන්ත ගිය තැනෙක අවසානය මෙසේමය!

රාත්‍රී කෑම සඳහා බත් මුල් හතරක්ද අලියා සෝඩා රජ මුසුවක්ද; සෝඩා නිකංම පානය කිරීමට නොහකි බැවින් ඊට අඩු වැඩියද  පසිඳුලා ගෙනවිත් තිබුනි. 
සොඩා බෝතලයේ ඉව පාරේ පැමිණි ගම් වාසියකුද අඩු පාඩුවට කැඳවාගෙන පැමිණීම මාගේ මහත්වූ "පහන් සංවේගයට" හේතුවක් විය.

'මූ මොකාද බං . . .මොකට එක්කගෙන ආවද  !?"

"ගමේ එකෙක් මචං . . .  ඌ ඔහොම ඉඳලා ඉඳලා යයි . . . පොඩ්ඩක් හිටාං කො මැරෙණ්නෙ නැතිව!" තෙශා මගේ ඉවසීම ගැන හොඳින් දන්නා නිසාම  මම "මැරෙයි" යන බියෙන්ද මන්දා කීවේය!

යාලුවෙක් කිව්වාම නොකර බැරි නිසාම මමද "මැරෙණ්නේ නැතිව" ඉවසා ගෙන සිටියෙමි. සෝඩා බෝතලය ගෙන එන්න ඇත්තේ බඩ පිපුමකට බොන්නට යයි සිතා දෝ නො එසේනම් එළු- නරි කතාව කුමාරෝදයෙන් නැතිනම් මොන්ටිසෝරියේදී හෝ අසාඅ ඇති නිසාදෝ ගම් වාසියා "යන්නං" කියා තොලොන්චි විය! 

මට නිවැරදි රටාවට හුස්ම වැටෙන්න පටන් ගත්තේ ඉන් ඉක්බිතිවය!

අප රැඳි බිමේ බොහෝ ප්ලාස්ටික් සුන් බුන් හා පැරණි සෙරෙප්පු කබැලි නයිලෝන් කඹ ගැටයක් වැනි අඩුම කුඩුම රාශියක් විය. මෙවා සියල්ල අපගේ ගිණි මැළයට හොඳ ආරම්භයක් ලබා දුනි. 

අප ගෙනවිත් තිබුනු විශාල කඳ හා වෙනත් දැව එක් කොට තැනුණු ගිණි මැළය හොඳින් ඇවිළෙන්නට පටන් ගති. 

ඒ අසල මා රැගෙන ගිය ෆෝම් කැබැල්ල හෙවත් ට්‍රැවල් මැට් එක අතුරා අප එහි ඈඳි ගතිමු.
සෝඩා රජ මුසුව අපගේ ප්‍රාථමික එහෙත් අතිශයින් සුන්දර රාත්‍රියට අත්වැල් සපයමින්ය. 
මා බොහෝ කලකින් ලබන මෙම සංතර්පනයට හදවත එකඟ වී ඇත.


සෝ ඕ ඕ ඕ . . . . .ඩා !

අප ගීත ගායනා නොකලා මෙන් මතකය!
 එහෙත් රස බර කතාවලින් එම සන්ධ්‍යාව අනූන විය. දිනය පුරා වෙහෙස වුනු සිරුරට දින දෙකකින් ලැබිය යුතුව තිබුණු ණයක් විය. ඒ  නින්දය. පසුගිය දින රාත්‍රිය පුරා ලොරි පොඩ්ඩා පදවා තිබුණු වෙහෙසත් නින්දත් මේ කුඩා සාදයත් විසින් මඩනා ලද මා මේ වන විට අඩ නින්දේය!


නිදි මතේ මරු කියවමින් !

රත්‍රී අහර සඳහා කුමක් තිබුනාද කෑවාද නොකෑවාද මතකයක් නැත! අවසානයේ කුඩාරම තුලට  කූඩු වුනා යාන්තමින් මතකය. ජීවිතයේ තවත් අතිශය සුන්දර දිනයක් මතක මං පෙතට එක්විය! 

ජීවිතේ සුන්දරද මෙතරම් . . . !

අප බලාපොරොත්තුවන ලෙසින්ම  ජීවිතය සුන්දර ගීතයක්ම වේවා! 


ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට !

Monday, July 8, 2019

145. ළඳුනේ; මේ බජාර් එකේ ලලක්කා !


“I believe that sex is one of the most beautiful, natural, wholesome things that money can buy.” 
― Steve Martin
පසු ගිය සති අන්තය ගෙවී ගියේ ඉතාමත්ම අවිවේකීව.

රැකියාවේ එදිනෙදා වැඩ වලට අමතරව ඥාතියෙකුගේ නිවසක තිබූ ආගමික කටයුත්තකට සක්‍රීයව මැදිහත් වීම; මෙම අවිවේකී බවට ප්‍රධාන අමුද්‍රව්‍යය සැපයූවා යැයි කීවොත් නිවැරදියි.

මේ සර්ව රාත්‍රික පිරිත් දේශණය අතර තුර මාහට මගේ නෑදෑ මිතුරෙකු සමග හෝරා කිහිපයක් දොඩමළු වීමට ලැබීම කිසියම් භාග්‍යයක් උනා.

ඔහු සහන් විජේසිංහ - ජනාධිපති විදුහලේ ඉතිහාසය හා මාධ්‍යය ඇදුරිඳු කීවොත් වඩාත් නිවැරදියි.
 කතාව ඇරඹුනේ ඔහුගේ අලුත් අත් දැකීමක් කියන්නට ගොසින්.

"අයියේ මේ ළඟදි දවසක් මම පංතියට ගිහින් කොල්ලො ටිකත් එක්ක පොඩි තෙලකට සෙට් උනා.

 නිකමට දැන ගන්න ඕන උනා උන්ගේ රසාඥ්ඥතාවයේ නිම් වළලු කොතනදැයිද කියා. එක එකාගෙන් උන් කැමතිම ගීත අහගෙන යන කොට කියැවුනේ "ගෑනිට වඳින ගාථා" වගේ අඳෝනාවල්!
ඒ අතර එකෙක්ගෙන් කියැවුනා "ළඳුනේ . . " ගීතය. ඇත්තටම මටත් හරිම සතුටුයි. මම මේ ගීතය ගැන උන් එක්ක මගේ පමණට පොඩි සංවාදයක් ඇරඹුවා!


'ලැම පමනක් ලොවට පෙනෙන . . . . .'
'අඳුරේ පව් කරණ දනා . . . . . . . . .'

ඔය වගේ වැකි මම ඔවුන් එක්ක කතාවට ගත්තා.

ම්හු! මුන්ට ගානක් වත් නෑ.  මට තේරුණා මුන් එක්ක මේ සිංදුව ගැන කතා කරණ එක මෙලෝ තේරුමක් නැති කාරණයක් කියලා!
 භාගෙට භාගයක් මේ සිංදුව අහලාවත් නැති ගානයි.

පස්සෙ මගේ ඔළුවට ආවා මරු අදහසක්. මම ඇහුවා උන්ගෙන්  " දැන් ඔයාලා අහල තියෙනවද 'බජාර් එකේ ලලක්කා . . . . ' සිංදුව?"

අප්පට සිරි ඔක්කොම අහලා තියෙනවා !


"මම පටන් ගත්තා ලලක්කා විචාරය . . !

බජාර් එකේ ලලක්කා -මල්ලි හිත හොඳ අක්කා
සුර සැප වින්දා - කාගෙත් වත ගොත රැක්කා . . '

මෙවන් වෘථිමය කාන්තාවක සතුව ඇති වඩාත් වටිනා කියන ගතිගුණය වන්නේ තම පාරිභෝගිකයින් පිළිබඳව දක්වන රහස්‍ය භාවය.
මේ ලලක්කා එය තදින් අරක්ෂා කල කෙනෙක්. . . . . . . . . . . . 

'නංගි රොසක්කා - එතනම කසිප්පු වික්කා
දැක්කා නොදැක්කා වාගෙයි නංගිට අක්කා . . . . '

මේ ලලක්කා ඉබේ මේ සමාජය තුලට පැමිණි චරිතයක් නොවේ. ඇය පැමිණෙන්නේ තම සමාජ පසුබිම තුලින්.
අක්කාගෙ රැකියාව නංගීත්; නංගිගේ රැකියා ස්වභාවය අක්කාත් එකිනෙකාට නිවැරදිව හා අවභෝධයකින් යුතුව දනී. 
එය ගැටළුවක් වී නොමැත.
මන්ද එය දෙදෙනාගෙ මව වන  ඉසක්කාද එම අවකාශය තුලම සිට
'නෝන පලා ගන්නවාද අසා' එළවළු විකුනණ බැවින්!

කොල්ලන්ට වැදුනා කියන්නකො අයියෙ සුපිරියටම! "

සෑහෙන්න ට්‍රයි කරලා එකම අච්චුවේ යන්ත්‍රාණුසාරයෙන් ගී ගයන අමරසිරි!


මේ ප්‍රස්තූතය ගැනම කපුගේ කියා තියෙන්නේ මොන තරම් ලගන්නා සුළු භාවය කින්ද කියා මේ පෝස්ටුව ගුවන් ගත කොට දිනක් ගත වෙද්දී මට හිතුනා! "සීත පිනි බිඳු කඳුලු සලනා - මලානික තරු වැළපෙනා " 

ගීතය තුල ඇයගේ දුක්ඛිත භාවය, ඇගේ අසරණ කම, ඇය ලක්වූ සමාජ අසාධාරණය මොනවට චිත්‍රණය වෙනවා. ඒ වචන වලින් ඔබ්බට ගිය හඬින් - වොයිස් එකෙන්! වචන වලින්, මෙලඩි එකෙන් සවන් දෙන්නා යන උපරීම දුරෙන් ඔබ්බට ඔහුව හෝ ඇයව ගෙන යන්නේ මේ මම කියන වොයිස් එකයි. මිනිස්සු හින්දි අනුකාරක ගී ඇසුවේ මෙලඩියටමද? වචන වලටමද? උත්තර එපා. එම සින්දුවේම ඔරිජිනල් හින්දි සින්දුව කලින් රස වින්දේ මෙලඩිය නිසා පමනක්ද?වොයිස් එක නිසාමය. 


භාරතයේ ගෝල්ඩන් වොයිස් සම්මානය දිනා ගත් රාජේන්ද්‍ර කපූර් "ගීත්" චිත්‍ර පටයට එක් ගීතයක් ගායනා කරණවා - ජිස් කෙ සෆ්නේ කියලා. අසා බලන්න එම කෝමල මධුර හඬ කෙතරම් සුන්දර දැයි කියා!


ගීතයක් ගායනයේදී ජෙෆ් බෝයිකොට් බැට් කරණවා වගේ කඩුල්ල ඉදිරියේ නොසිට තම භාව ප්‍රකාශනය; වචන වලින්, හඬින්, එහි උස් පහත් කිරීම් තුලින්, ටෙම්පො එක , පිච් එක යනාදී වශයෙන් කී නොකී සියළු කාරණා වලින් විචිත්‍ර කල යුතුයි කියන එක තමයි මම නම හිතන්නේ.

 (තරඟාවලියකින් පසු අසන්ත ද මැල් ගෙන් ජෙෆ් බෝයිකොට් පිළිබඳව විම සීමේදී ඔහු ප්‍රකාශ කොට සිටියේ "ඒක හරියට තාප්පයකට බෝල් කරණවා වගේ" කියාය. මන්ද විකට් කූරු තුනට ඔබ්බෙන් යන කිසිදු පන්දුවකට ඔහු පහර දීමට නොපෙලබෙන ක්‍රීඩකයෙකු ලෙසට ප්‍රසිද්ධය!)


"එළ! පෞද්ගලිකවම මම උනත් 'ළඳුනේ' ට වඩා 'ලලක්කාට' කැමතියි. මම මගේ කට හඬ අවදි කලා. 

සහන්ට පිළිතුරක් දිය යුතුය! සහන් මල්ලි; 'මේ මොකක්ද මේ?' කියන්නාක් මෙන් බලා ඉන්නවා.

අපරාදෙ කියන්න බෑ; ඒ කැමැත්තට ලොකුම දායකත්වය කරණ්නේ  අමරසිරි පීරිස් මයි!
මොකද එයා සිංදු කියන නැත්නම් කියවන කෙනෙක් මිසක් ගායනා කරණ කෙනෙක් කියල නම් නොදැනෙණ බැවින් !"

"ඇයි අයියේ එහෙම කියන්නේ?" මගෙන් ලද බලාපොරොත්තු නොවූ ප්‍රකාශය නිසා සහන් ඉච්ඡාභංගත්වයට පත් වෙලා වගෙයි මට පෙනුනේ.

"දැං බලන්න සිංහල තේරෙණ්නෙ නැති කෙනෙකුට 'ලඳුනෙ' යි 'කණ්‍යාවී' යි 'ඇපල් මලයි' මොකක් ඇහුවත් එයාට හිතෙන්නේ ගෑනි මැරිලා මිනිහා කියන සිංදු විදියට නේ?

මේ ළඟදි අමරසිරි කලානේ ප්ලෙ බැක් එකක් මොකද්ද ෆිල්ම් එකකට. අර 'මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා . . . ' කියන්නේ. හිතන්නකො ඕක වැඩිය ඕන නෑ පුන්සිරි සොයිසට දුන්නා නම් ඕක අහන්න පුළුවන් විදියට කියාවි.
ඒකෙ අඳෝනාවක් මිසක ඒ දුකට මුල්වූ ආදරය , ප්‍රේමය එහි සුන්දරත්වය හැඟෙන්නේ නෑනෙ!"

"හරි කවුද අයියේ ඔයා කියන විදියේ වේරියේශන් එකක් ඇතුව සිංදු කියලා තියෙන්නේ?"



මුද්දරේ එන්නට කලින්ම "පීච්ං" සීල් එක වැදුනු ජෝති !

"අපෝ සෑහෙන්න ඉන්නවා. වැඩිය ඕන නෑ ගන්නකො ජෝතිව. 'අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ . . ' එකයි 'රොබින් හුඩ් වගේ ලක් දිව පතල උන නමයි'  කියන සිංදුවයි 'සොභාව හංගා මේ ලෝ තලේ . . . . . ' කියන එකයි ගැයෙන හඬ කොයි තරම් වෙනස් ද?

 අමරපෙම් ලතාවෙ ඩුවට් එක!
  ඇන්ජි 'අමරපෙම් ලතාවේ - රණ් මලක් උදාවේ
 අඳුන් සඳුන් සුව මැවේ - මනෝ මන්දිරේ'   කියලා සිංදුවේ පිච් එක නවලා පාත් කරලා තිබ්බාම කෝමද ජෝති  

'ඉසුරුමුණි කතාවේ - යුවල දැන් සිනාසේ '  කියන කොට ඒ හඬේ තියෙන ප්‍රේමණීය බව?



ජොතිගේ සිංදු කියා ජීවත්වන දෙන්නෙක් !?

 ඔය වගේ සිංදුනම් කොච්චර තියෙනවද? ඔයා අහලා තියෙනවද 'කන්දෙන් කන්දට - ලන්දෙන් ලන්දට' කියන සිංදුව?"

"ම් . . . මට මතකයක් නෑ . . !"

"එතකොට
'සමනොළ මුදුනේ සිරිපද සිඹසිඹ - උදා ඉරක් පායයි
සැණසිළි සුවදෙන - නවමල් සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි . . . //'  සිංදුව?

හැත්තෑහතේ ජේආර් ගෙ ආණ්ඩුව ධර්මිෂ්ඨ සමාජයක් උදා කලා නොකලා ඒ සිංදුව හරිම ආකර්ෂණීය ගීතයක්. හරියට හැත්තෑදෙකේ ජනරජ සීන් එකත් එක්ක එලියට ආපු වික්ටර්ගේ 'අපි ඔක්කොම රජවරු . . . . ' ගීතය වගේ . . "

"ඔයා මොකද හිතන්නේ වික්ටර් ගැන?" සහන් කථාව තවත් දුරකට ගෙන ගියා.



වයසට නොගිය - හඬ, හැඩ හා වැඩ

"වැඩ්ඩෙක්නෙ !? දැන් ඔය 'ඔක්කොම රජවරු' සිංදුවයි, 'තනිවෙන්නට මගේ ලොවේ ' සිංදුවයි අරණ් බලන්නකො වෙනස හඬ ආරේ . . !?"

"ඔව් ඇයි 'සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා' ?

'සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ඝනඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ඝනඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමනියි . . .

ජීවිතයම සතු එකම සුවේ

හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ . . . " අප දෙදෙනාම සෙමෙන් මිමිණීය.

"ඒ භාව ප්‍රකාශනය තම හඬින් මතු කල නොහැකි නම්;  අපිත් ගායක ගායිකාවෝත් අතර වෙනසක් නැති වෙනවාකියන එකද ඔයා මේ කියන්නේ?" මම අමාරුවෙන් කියන්න හදපු දේ සහන් හරියට ෆ්‍රේම් කරගෙන තිබුනා. ඒක මට ලොකු දෙයක්!

"අනිවා! මේ කියන්නේ මධුර මනෝහර කටහඬක් තිබිය යුතුයි කියන එක නම් නොවෙයි.  අවකාශයේ තියෙන ශබ්ද අතුරින් මිහිරි හඬවල් 'නාද' වෙනවා. මේ නාද කිසියම් රටාවකට හැඩයකට පෙල ගැස්වීමයි සංගිතයෙන් කෙරෙණ්නේ. ඒ නිසාම කිසියම් මිහිරියාවක්, හැඩයක් තිබිය යුතුමයි. මම කියන්නේ සංගීතයේ මහා සම්ප්‍රදාය ගැන!"මම පැහැදිලි කලා!

මේ කාලයේ සිංහල සංගීතය තුල සක්‍රීයව සිටින ගායකයින් ගෙන් කවුද අයියා හිතන්නේ ඔය වේරියේශන් එක  කරණ අය ඉන්නේ?

"ඉන්න අයියලා ගෙන් මං නං හිතන්නේ සුපිරියටම ඒ වේරියේශන් එක තියෙන්නේ එඩ්වඩ් ගේ කියලයි." මම කීමි.

"ඔව් මාත් හිතන්නේ 'කැරකෙන රෝදේ . . ', 'මාරම්බරී . . ', 'පින්න මලෙ . . .' , 'පලංචියෙ . . ', ඔව් ඇත්තටම වෙනස් තමයි. සහන් ගීත කිහිපයක් මතක් කලේය.

"ඇයි 'මුව මුක්තා ලතා . . ' වැඩිය එපා 'කටු අකුලේ . .' සිංදුවයි 'මගෙ කඳුලින් නිමාවූ ' එකයි 'සිරි යහනෙ යි . . . '  . . . . "



සදා තරුණ - අමරදේව

"එතකොට අමරදේව මාස්ටර්?"

"ඔව් එයාට තිබුනේ අතිශය ශෝකා කූල හඬක් තමයි. ඒත් කොහොමද 'පාවෙනා නිල් වලාවේ', එතනින් ගියාම 'ස්වර්න විමානෙට . . .' වගේ සිංදු?"

"අයියෙ මම කැමතිම සිංදුවක් 'සීතාදේවි' ෆිල්ම් එකේ 'නිම් හිම් සෙව්වා  . . .' සින්දුව !"


"ඔව් එක සුපිරිම සිංදුවක් තමයි. ඇයි 'සත් සමුදුරේ' සිංදු දෙක අරණ් බලන්නකෝ වෙනස?"


"අන්න ඔයාව හොයනවා.  . . . . ! හාමුදුරුවන්ව පංසලට ඇරලවන්න . . . . " තවත් කුඩා ඥාතියෙකු අපෙ අඹ කයිය අල කලේය !

"අප්පට සිරි! මම ගිහින් එන්නම් අයියේ . . . . !"

 "එළ! "

මේ තව එකක් "ආලෙ බැන්ද මගෙ පනේ සෝමාවතී මාගෙ සෝමාවතී . ." ඒක කොහොමද? එතනින් නැගිට යන සහන්ට ඇසෙන්නට මා කීවෙමි.

"ඒකත් මාස්ටර්ගෙ නේද?"


"ඒකනේ !?"


සරමට බැස - බිම ඉඳගෙන - බජව් දැම්ම - අතීතයක් !









Monday, July 1, 2019

144. කළු ගඟ දිගේ . . . . . 8

ඉර ඇවිත් හාත් පස එකළු කොට බැස     ගියද
ගඟ ලඟින් වැතිර දුක අසන්නේ සඳ          නිබඳ

පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ //
දෙගොඩතලා යන වතුරේ
තරඟ නැගී පෙණ විසිරේ
කිරි බැබලෙන හඳපානේ
පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ

සුනිල් දියේ සඳ කැලුම් වැදීලා
දිය රැලි හා රඟ දෙන්නේ
සුදට සුදේ සුදු කෙකටිය ගාලක්
දිය මතුපිට ලෙලදෙන්නේ
පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ

ඕලු නෙළුම් මල් දෝත පුරාගෙන
සුදු ඇඳුමින් සැරසීලා
ඉවුරැ දිගේ සිරි බෝ මළුවට නොවැ
මේ මහ පිරිස ඇදෙන්නේ
කිරි බැබලෙන හඳපානේ

පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ //
දෙගොඩතලා යන වතුරේ
තරඟ නැගී පෙණ විසිරේ
කිරි බැබලෙන හඳපානේ
පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ

ලංකාවේ විවිධ ගංගා ඇල දොළ අරබයා කවි ගීත සුළු වශයෙන් ලියැවී ඇත. හෙළයේ මහා ගාන්ධර්වයානන් වූ  ඩබ්ලිව් ඩී අමරදේවයන් ප්‍රමුඛ සමූහ ගායනාවක් ලෙස මීට දශක ගනනාවකට පෙර අතීතයේ ගැයුණු ඉහත සඳහන් ගීතය විශෙෂයෙන් කළු ගඟ විෂයෙහි නිර්මාණය වූවකි.

මෙවන් සෞන්ධර්යාත්මක රස භාව පුබුදන ගීතයක් නොවූවත් මහගම සේකරයන් විසින් ලියැවුනු අමරදේවයන් විසින්ම ගැයුණු මහවැළි ගීතයද; පෞද්ගලිකව මා බොහෝ සෙයින් ඇළුම් කරණ ගීයකි.


රජ රට දෙසට නොව - රජ රට මෙ දෙසට

මහාවැලී . . . . . මහවැලී . . . . 
මහවැලි මහවැලි     මහාවැලී . . . . . . 

සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී . . . . .//
මහවැලි මහවැලි     මහාවැලී . . . . . . 


ගිරි කුළු විනිවිද නව මං මතුකොට
නව ලොවකට ඔබ ගලා බසී
අතීත රජ රට සිරි සර ඇසහැර
ඔබ එන තුරු මග බලා හිඳී
මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
ඔබගෙන්  යළි නව පණ ලැබුවෝ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී

සිරි දුව හෙට මෙහි වඩිනා මඟුලට
මග පාදා පියවිලි අතුරා
ඔබ බැස එනු දැක 
හිනැහෙයි සිරි ලක
අනාගතය කිරි දිය උතුරා . . . .

සිරිපද ලස සමනොළ සිරසේ . . .


කළු ගඟ විෂයෙහි ගැයුනු ගීතයෙන් එහි සෞන්දර්යාත්මක බව චිත්‍රණය කරණ අතර  මහවැළි ගීයෙන් ඉන් එහා ගිය ජවසම්පන්න බවක් අපේ සිතට ඇතුළු කරවයි.



පැරකුම්බා - රටට මහත් සේවයක් කල නම දත් කුඩු වලට 

ගිරිකුළු විනිවිද නව මං මතුකොට ඇය එන තුරා; රජ රට මග බලමින් සිටියි. ඒ විතරක්ද නොවේ. ඇය ගලන්නේ; අපේ රට ස්ව්‍යංපෝෂනය  කොට මේ දෙරණ මත සැතපුණු රජ දරුවන්ට හුස්ම පිඹිමින්ය. 

මීට සරිලන මෙවන්ම ජවයෙන් යුත් තවත් ගීත කිහිපයක් සිංහල ගීත සාහිත්‍යයේ පවතී.


ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ . . (කොහොමද ගැම්ම ?)

"රත්න දීප ජන්ම භූමි - ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මේ අපේ උදාරවූ - මාතෘ භූමියයි
මාතෘ භූමියයි",
https://www.youtube.com/watch?v=b8vmxhylxGo
මෙන්න ඔරිජිනල් එක 
 පහතින් තියෙන එකත් බලා මැදිහත්ව කියන්න. 
- ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේද?


න්නරය ! 
සමුරායි කඩුවක් ලෙස - සියුම් හඬ - තියුනු සිත්තම !

 "පාවී පාවී මේ එන්නේ
 අතීතයේ සිට එන සුළඟයි
  ඈත අතීතේ අසිපත් සිප ගෙන
 අතීතයේ සිට එන සුළඟයි
 අතීතයේ සිට එන සුළඟයි",
https://www.youtube.com/watch?v=OrzzkrGl8V0


අයිවො - තනකොළ නුබුදින  සුනිල පැටව්!

"අභිමානනීයවූ නවෝදයේ
හිරු හෙට උදයේ පායනවා
සැකයේ පිණි බිඳු සිඳිලා යනවා
අළුත් දැයක් හෙට උපදිනවා"
සත්තකින්ම අප මොන තරම් අපේ මේ මාතෲ භූමියට, එහි වසන සතා සීපාවාට, ඔවුනට නිවෙස්වන ගහ කොල වැලට, ඒවා පෝෂනය කරණ්නාවූ ඇල දොළ ගංගාවනට ආදරය කරණ්නවුන්ද? එහෙත් කෝ පෙනෙන තෙක් මානයක මේ සියල්ල විනාශයට යන ගමනේ හැරවුම් ලක්ෂයක් !?

කතාවක් ගිය දුරක් නේද . . . . . . !?

තවත් විනාඩි 20 ක් පමණ ගත වෙද්දී ඉවුරට ඉඅහළින් වූ බූටෑව සිසාරා තෙශාගේත්; ඔවුන් කැටිව ගිය "අයියා"ගේත් පසිඳුවා ගේත්; බංඩි කියතක් පීරෙන් අතුල්ලන්නාක් වැනි වූ  මිහිරි කට හඬ ත්‍රිත්වය ඇහෙන්නට විය.



හරිම මිහිරි හඬක් !

එවිටම තිදෙනා ඉවුර උඩින් මතුවිය. එන විට තිදෙනා; තිදෙනා හට චක්‍රීය ලෙස සම තුලිත වෙමින් එකාට එකා "මචං - හුචං" කියමින් අඩුපාඩුවට ග්‍රාම්‍ය හා නාගරික නොසරුප් වදන්ද අඩු පාඩු නැතිව කියමින් පහලට බසිමින් විය.

"මොන එස් ටී එෆ් ද බං!?අපි මේ සොමියට ඉන්න බැරි අමාරුවට මේවා පැදං  කළුතර යන  එවුං ටිකක් බං . . . !



ඔන්න ඉතිං  අපි එස් ටී එෆ්  කියල නම් හිතන්න ඔට්ටු නෑ - ඕං !

තෙශා ගේ පිළිතුරෙණ් සිද්දිය හිමින් හිමින් බුද්ධියට කාන්දු වෙද්දීම කඬාඩුව කැඩුනු කලෙක මෙන් සිද්දිය තෙශාගේ වක්කඩින් ගලා ආවේය.

" මරු වැඩේ බං! මුං හිතලා තියෙන්නේ හොරෙං ගරණ උං අල්ලන්න ආපු එස් ටී එෆ් එකෙන් කියලා ! ඒකයි මෙතන හිටපු එවුන් ටිකත් මෙතනින් වාෂ්ප වෙලා තියෙන්නේ!"

"අම්මට සිරි . . . ! ඉතිං . .  හරි ඒක තමයි අර ගඟේ වැලි ගොඩදාන සීන් එකේ හිටපු එවුනුත් ටික වෙන්න මග ඇරලා ඉන්න ඇත්තේ!" මගේ අදහසත් පොදු අදහසට එක් කලෙමි.

ඇනෝද මොන මොනවාදෝ කියණු ඇසුනි. එහෙත් කට පුරවා ගත් බුලත් විටෙන් පිරිපහදු වී එලියට ආ වගන්ති තෙරුම් ගැනීමට බ්‍රෙල් අක්ෂරය ලොවට දායාද කල ලුවී බ්‍රේල්ට තබා සීගිරි කුරුටු ගී කියැවූ සෙනරත් පරණවිතාන මහතාට හෝ ගෝවේ ඉපැරණි  පෘතුගීසි ලිපි ලේඛන කියැවූ ආචාර්ය ටිකිරි අබේසිංහයන්ටවත් නොහැකි වනු ඇත!


කෙලින් නොබැලුවාට වැඩ කෙලින් !
 නම පමණක්  පරණ විතාන

අප ගඟ දිගේ පහලට යාත්‍රා කරද්දී; ගඟ පුරා සිදු කෙරුණු අටෝරාසියක් නීති විරෝධී කට යුතු වල යෙදුන වුන්; අප විශේෂ කාර්ය බලකායේ පිරිසක් යැයි සිතා  අපව මග ඇරිය ආකාරය මාහට මතක් විය.

සත්තකින්ම මේ ලියන්නේ අතිශයෝක්තියකින් නොවේ.

 මුළු ගඟ පුරා බැලූ බැලූ අත කිසියම් හෝ  නීති විරෝධී කටයුත්තක යෙදෙන හතර පස් දෙනෙකු දක්නට පුළුවන!

තැනෙක වැලි ගොඩ දමයි. තවත් තැනෙක ගොඩ දමූ වැලි ඉවුරට ගොඩ බායි. තැනෙක වැලි හලයි.වැලි  ලොරියකට පටවයි.

ඉල්ලම් හාරයි. ඉල්ලම් හෝදයි.

සමහර ස්ථාන වල ගඟේ සිට ඉවුරේ ඈතට ජලය විශාල බටයක් මගින් ඇද නැවත තවත් බටයකින් තදින් බොරවූ ජලය ආපසු ගඟට එක් කරයි. ඉහලට අදින ලද ජලය මගින් පස් සෝදා වැලි ගැනීම හෝ ඉල්ලම් සේදීම සිදු කරණ බවක් පෙන්නිම් කෙරේ.

 ඔබ පිලිගන්නවා දයි මට සිතා ගත නොහැක; සමහර තැනෙක ඉවුර යකඩ ඉනි උදළු ආදියෙන් හාරති.

බොහෝ ගං ඉවුරු හෝදා පාළුවී ගොසිනි.

ඉවුරේ ඉඩ ලද බොහෝ ස්ථාන වල පතල් හාරාදමා තිබුණි. බොහෝ පතල් අකර්නණ්‍ය වූ ඒවාය.
ඒවායෙ පිරුනු වතුර කොල පාට වී ගොස්ය.
ඇතුලත බිත්ති ශක්තිමත් වීමට යොදා ගෙන තිබූ පුවක් කොට ඇතුලට කඩා වැටීය.

මෙවන් දූෂිත ජල ධාරාවක් තව කොහිනම් වෙත්ද?

අපට දුරාවාරයේ කතා කිරීමට ඉඩ ලද අයද මෙම පරිසර දූෂන නියැඳිය පිළිබඳව සුළුවෙන් හෝ කණගාටුවන බවක් නොපෙනුනි.

කෙසේ හෝ වේවා තෙශා  හා පසිඳු අපගේ ක්ෂුදා ගින්න නිවාදමන්නට ප්‍රමානවත් මෙන්ම ගුණාතමක අහාර වේලක් හෙවත් තඩි බත් ගෙඩි හතරක් ගෙනැවිත් තිබුණි.


බත් ගෙන ඒමේ සොඳුරු අවස්ථා කිහිපයක් !





මොකාගෙ මොකක් උනත් මූට එකයි ! 
නන්නාඳුනනා කුස්සියක බිත්තර බදිමින් !


ඔවුන් මාර්ගයට ගොස් එතැනින් ත්‍රීවීලරයක නැග තවත් ඉමකට ගොස් එහිවූ කුඩා අවන්හලක කුස්සියට වැදී බිත්තර බැදගෙන අඩුවැඩිය සපයාගෙන පැමිණ තිබුණි.

සත්තකින්ම  සැපයුම් කළමණාකරණය ඉතා ප්‍රශස්ථ මට්ටමක විය. එහි සම්පූර්ණ ගරුත්වය ඔවුන් දෙදෙනා හට සෑම කලෙකම හිමි විය යුතුය.

අප බඩ කට පුරා කා; කයාකයේ පිපිරී ගොස් ඇතැයි යන්තමින් පෙනෙන තැන හා එසේ වීමට ඉඩක් ඇතයි සිතට දැනුනු සාම සියළු තැනක්ම පාහේ ඇස්බැස්ටෝස් පටි හෙවත් නෝලීක් පටි වලින් පිරියම් කර ගත්තෙමු.

මඩොල් දූවට යෑමට පෙර උපාලි හා ජින්නා එකතුව ඔරු කබල පිරියම් කරගන්නට ඇත්තේද මෙලෙසින් වියයුතුය.



බදාම යනු මේවා පමණක්ම නොවේ !

ඔරු පිරියම් කිරීමට දුම්මල ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන සැකසූ බදාමයක් උපයෝගී කර ගනු ලබයි.

ඩොල්කි, තබ්ලා වැනි අවනද්ද භාන්ඩ වල හම මතුපිට ඇති බදාමය නො එසේනම් කළු පැහැති රවුම  සෑදීම සඳහා මාධ්‍යය ලෙස ගන්නේ බිත්තර සුදුමදයය.

එසේම දකුණු පලාතෙදී බිඳුනු නො එසේනම් ඉරිතැලුණු මැටි භාන්ඩ; හට්ටි, මුට්ටි පිරියම් කරණ්නේ ඉතා සිහින්ව අබරා ගත් පිඟන් කටු කුඩු සීනි සමග; සීනි උනුවන තෙක් රත්කර ගැනීමෙනි.

අද වාගේ ෆයිබර්, පීවීසී වැඩ කිඩ නොමැති එකල ඔරු සාදන ලද්දේ වල්දෙල් කොටයක් බොකු නියනෙන් හාරා දමාය. පිට හැඩය ගත්තේ වෑයෙන් ඇස (අහිනවා යන්නෙයි අතීත කාල කෘදන්තය), රාස්කුවෙන් මට්ටම් කොට, යතු කැටයෙන් මතුපිට සිනිඳු කිරීමෙනි.

එහෙත් බෝට්ටු නිපදවන්නේ 2X2 තේක්ක හල් මිල්ල් වැනි රාමුවකට එම ලෑලි වද්දා ලෑලි අතර හිඩසට හණ නූල්  කොටා පෙරකී බදාම වලින් පුරවා ලීමෙනි.

එකල මාළු ජාඩි දමන්නට, එසේම රා එකතු කිරීමට පාවිච්චි කලේද හල්මිල්ල භාජනයන් ය. හල්මිල්ල මගින් අහාර විෂ වීමක සිදු නොවනා අතර  එය නිපදවන්නාගේ අභිමතය පරිදි අවශ්‍ය පරිදි හැඩය වෙනස් කර ගත් හැකි ආකාරයේ කීකරු දැවයකි!

බඩ කට පිරෙණ්න ඇඹරූ අප නැවත යත්‍රා මත සියල්ල අඩුක් කොට හොඳින් ගැට ගසා ගෙන යලිත් ගමනට වැටුනෙමු.

පෙර ලැබූඅත් දකීමේ පරිදිම අප ලං ලං වත්ම හුදී ජනයා අප කෙරෙණ් ඈත්වන බවක් පෙනුනි. ඔවුන් පත්වන "අසීරුව" පිළිඹඳව  හදතුල උපන් දැඩි සංවේගය මැඩගත නොහැකිවූ තෙශා "මචං අපි එස් ටී එෆ් නෙවෙයි බං!' කියනු ඇසී මගේ ඇඟේ මාළු ගඟේ නොව ඇඟේම නටන්නට විය.
 බැලුවාම තෙශා කියන දේත් ඇත්තය. අපි උන් මත ත්‍රස්ථය නොහොත් බය මුදා හැර ලැබෙනා දෙයක් හෝ සිදුවන සේවයක් නොමැත.


Gray Headed Fish Eagle (ලු !)
- Google


ගමන පිටත් වූ තැන පටන් පසිඳුගේ නෙත් යොමුවී තිබුනේ අහස් කුසටය. එසේ යොමුව විමසිලිමත්ව බලා සිට "ආං ග්‍රේ හෙඩඩ් ෆිෂ් ඊගල් කෙනෙක්, අර බලහංකො වයිට් බෙල්ටඩ් සී ඊගල් කෙනෙකුත් . . .!" යනාදී වශයෙන් නුබ සිසාරා පියාඹා යන; ඈත අතු පතර ලැග සිටින කුරුල්ලන් බලමින් හඳුන්වමින් අපට පෙන්වමින් විය.

 එය ඔහුගේ රැකියාවෙන් ඔහු ලැබූ ආභාෂය ය. ඊට යම් පමනකට හෝ අලගු තැබීමට හැකි ඥානයක්, අදහසක්, දැනුමක්, බුද්දියක් වූයේ තෙශාන්තටය. ඇනෝද දුරාවාරේ අවම වශයෙන් පසිඳුගෙන් කියවුනු කුරුළු නාමය පුනරුච්ඡාරණය කිරීමට හෝ පුළුවන් විය. මාහට සියල්ල එළදෙනෙකුට අවකලනය කියාදෙනවා මෙන් විය!

සත්තකින්ම මා හුදෙක් හබල් ගසන්නෙකු, සංචාරකයෙකු විනා ගවේශකයෙකු නොවුනි. එය මහත් අඩුපාඩුවක්  ය.
ගහ කොල සතා සීපාවාට ආදරය කරණ මිනිසෙකු ලෙසට කුරුල්ලෙකු හඳුනා ගැනීමට නොහැකි වීම විශාල අඩුපාඩුවක් සේ මාහට සිතුනි. සත්තකින්ම එය මාහට මහත්වූ ලජ්ජාව ගෙන දුන් කාරණයකි.

මෙම ගඟේ කිසිදු ජීවියෙකු එනම් මත්සයෙකු මානුදුටු වෙමි. එයට ප්‍රධාන හේතුව  ලෙස මා දකින්නේ; වැලි ගොඩ දැමීමම් මැණික් ගැරීම, ඉල්ලම් හෑරීම ඇතුළු සමස්ත සියළු ක්‍රම සහ විධි මගින්දූෂනයට ලක් වන ගංගාවක සිටින මත්සයින් හට තම ගහනය වැඩි කර ගැනීමට හෙලන බිත්තර වලට අවශ්‍ය ස්වභාවික රැකවරණය අවම බැවින් ඔවුන් වඳවී හෝ අඩුවී ගොස් ඇති බවය!

ගංගා, ඇල දොළ වැනි ජල මාර්ගයන්හී මෝටර් බෝට්ටු ධාවනයට ඉඩ නොදෙන්නේද එමගින් ඇතිවන තරග වෙතින් මත්ස්‍ය බිත්තර විනාශයට ලක්වීම හා ඉවුරු ඛාදනය අවම කර ගැනීම සඳහාය.


බන්ධුල ආඳා !

ශ්‍රී ලංකාවට ආවේනික අතිශය දුර්ලභ මත්සයෙකු වන "බන්ධුල පෙතියා" (හිටපු ඇමතියෙකු නොවේ!) දැනට ජීවත්වන්නේ කෑගළු දිස්ත්‍රික්කයේ, ගලපිටමඩ, අල්ගම ග්‍රාමයේ බව මා අසා ඇත!


න්ධුල පෙතියා

මීට කලකට පෙර මා එම ස්ථානයට ගිය විට දක්නට ලැබුනේ එම ස්ථානයේ වැදගත්කම කියා පාන්නට සවිකල A4 පිටු දෙකක පමන වැහැරී ගිය බෝඩ් ලෑල්ලකි.


ඔරු පැදිල්ලට වඩා බන්දුල පෙතියා ගැන දැන ගන්නට :

එම මසුන් සිටිනවා යැයි සලකන කුඩා ඇල පාර අඩි 3-4 ක පලලකට සීමාවූ එකකි.
එය ගලන්නේද පුරණ්ව ගිය ලියදි කිහිපයක් මැදිනි. එහෙත් එම කුඹුර හෝ ඒ අසල ප්‍රදේශය රජය මගින් අත් පත් කරගත් බවක් නොපෙනේ!

යම් දවසක පුරණ් කුඹුර අස්වද්දන්නට එහි අයිති කරුවනට සිත්වී වල් නාශක යෙදූ විට බන්ධුල පෙතියාට දෙයියන්ගේම පිහිටය!

 ඒ අවට සිටි ප්‍රදේශ වාසියෙකුගෙන් මා කල විමසීමකදී මාහට දැන ගන්නට ලබුනේ කලකට පෙර එහි සිටි මසුන් මේ වනවිට බොහෝ ලෙසකින් වඳ වී ඇති බවය!

 මෙවා මොන තරම් දුක්බර සේම මල පනින කතාද?

ගඟ බොහෝ සෙයින් නැමි සහිතව ගලා ගියේය. එහි ජලය බොර පාටින් යුක්ත විය. දෙපස ඉවුරු මත හා වතුරේ විවිධ ක්‍රියා කාරකම් වල යෙදුණු මිනිසුන් දැකිය හැකි වුවද මිනිස් වාසස්ථානයක් දක්නට නොලැබුනි.

කළු ගඟ; එකල බොහෝ විට;  පිටාර ගලන ගං වතුර මවන දිය දහරාවක් වීම ඊට හේතුව වන්නට ඇත. එසේම බොහෝ ස්ථාන වල දක්නට ලැබුනෙ වන බූටෑවක්, ලවල් කැලයක්, කුඩා පඳුරු වලින් ගැවසී ගත් පරිසරයක් විනා කිසියම් වගාවක් හෝ විශාල වන අරණක් නොවේ.

 හිර කෙමෙන් කෙමෙන් හිස ඔසවමින්ය. අපායේ ඉන්ටවල් එක අවසන් වූ ලෙසින්ම දැන් දැන් හිරු අපව දවන්න පටන් ගෙනය. අතින් ගං දිය ගෙන මුහුණත් දෑත් දෙපාත් දෝවනය කර ගන්නවා හැරෙණ්නට වෙන කලයුතු අන් පිළියමක් නොවීය.

අප සිව් දෙනාගෙන් දෙපා වැසෙන්නට ආවරණයක් යොදා නොගෙන සිටියේ මා පමණි. ඒ පණ්ඩිතකම නිසාද?
අප අසල තිබුනු වතුරද බොහෝ සෙයින් රත්වී ගොස්ය.

මහවැළියේ මෙන්ම කැළණි ගඟේ යාත්‍රා කරද්දී අප ගඟේ වතුර පරිභෝජනයට ගත්තෙමු. කොටින්ම බීවෙමු. එහෙත් කළු ගඟේ වතුර බීමට අපට සිත හදා ගැනීමට අපහසු විය.

මාගේ ආදරණීය පියා පිළිබඳව ලියා තැබුණු "තාත්තා නොම්මර 1" කතා පෙලෙහි ලියා තබන්නට නොහැකිවූ කයිවාරුවක් මෙහි ලියා තබන්නට අවසර!

මාගේ පියා සේවය කලේ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේය.
 ඔහු තෙත් කලාපයේ හා වියළි කලාපයේ සේවය කොට ඇති අතර බොහෝ කාලයක් හබරණ අවට වන අලින් ගහන මහ වනය තුල සේවය කොට ඇත්තේය. ඔහුගේ දණ හිසින් පහත කොටස මත තුවාල කැළලක් නොතිබූ එක් වර්ග අඟලක් සොයා ගැනීමට නොහැකි විය!

 වරක් හබරණ හුරුළු රක්ෂිතය තුලදී ඔහු හා ගිය කිහිප දෙනා සමග අතරමං වී ඇත. ගෙන ගිය වතුර හා අහාර සියල්ල අවසන් වී දැඩි අව් රෂ්මිය මැද වනාන්තරය තුල ඒ මේ අතට ඇවිද ගිය තාත්තා ඇතුළු පිරිසට හිඳී ගිය ඇල පාරක් හමුවී ඇත.
 වනාන්තරයක් තුල අතර මං වූවෙකු දකින සුභ සිහිනයකි; ඇලක්, දොළක් හෝ ගංගාවක් යනු!

 මන්ද එසේ හමුවන් ඕනෑම දිය පාරක් දිගේ පහලට ගමන් කිරීමෙන් මිනිස් වාසස්ථානයක් වෙත ගමන් කල හැකි බව පිළිගත් මතයකි. එම හිඳී ගිය ඇල අවට  තිබුනු ගස් වැල් හා ගල් මත රැඳුණු සුන් බුන් වෙතින් ගලන දිශාව නිශ්චය කරගත් පිරිස ගමන අරඹා ඇත.
 දැඩි පිපාසය මහත් සේ දනෙන්නට විය. ඇල අයිනේ වූ පුලින තලාව මත අලින් අවිද ගිය පාසටහන් ගැඹුරට සනිටුහන් වී තිබී ඇත.



අනේ මගේ තාත්තා වතුර බොන්න ඇත්තේ මෙන්න මේ වගේ එකකින් වෙන්න් ඇති !

මාගේ ආදරණීය පියා තම පිපාසය සංසිඳුවාගෙන ඇත්තේ ඇත් අඩියට යාන්තමින් ඉනූ දිය සීරාව තම ලේන්සුවෙන් පොඟවා ගෙන කටට මිරිකා ගැනීමෙනි !

මේ මොහොතේ මාහට තවත් දුක්බර  මතකයක් සිහියට එන්නේ නිරායාසයෙනි. මා එයද ලියා තබන්නම්. මේ ටිකත් කියවාගෙන යමු ! තරහ අවසර!

ඒ ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කල දිනයයි.



මේ ගැන අදහස් දැක්වීමෙන් වළකිමි !

හරියටම කියනවා නම් 1987 ජුලි 29 වනදාය.

එදින රාජීව් ගාන්ධි මහතා හා ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා අතර මෙම ගිවිසුම අත්සන් කෙරෙද්දී එයට සමගාමීව එයට විරෝධය දක්වනු වස් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය  විසින් සත්‍යක්‍රියාවක් කොටුව බෝධීය  අසල ඇරඹුණි.
මෙම ගිවිසුමට මුල පටන්ම විරොධය පෑවෝ ජාතික විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ද කොටුව දුම්රිය පොල අසල හා ඒ අවට පතිරී ගිය මහා ජන ගංගාව මැවීමට එක් වන්න ඇතැයි මා සිතමි.

මමද මාගේ එකම හා වැඩි මහළු සොහොයුරු එනම් මා සමග තල් අරණට, පොළොන්නරුවට සයිකල් පදින ලද මධූගේ පියා ද පිට කොට්ටේ සිට කොටුවට පැමිණියේ කුමන කරුණක් අරබයා දැයි අදටත් මාහට මතකයක් නොමැත.

කෙසේ හෝ අප ද කොටුව දුම් රිය පොල ඉදිරියේ ජනසංනිපාතයට එක් වීමු.


බල -කොටුව !

 ගිවිසුමට; ජනතාව වෙතින් පමනක් නොව එවකට අගමැතිවූ වූ ආර් ප්‍රේමදාස මහතාගේ පවා දැඩි ඝර්ෂණයක් ප්‍රකට විය. මේ නිසාම ඇතිවිය හැකි කැරළි කාර තත්වය මැඩ පැවැත්වීමට පොලීසිය ඕල්කොට් මාවත පුරා සීරුවෙන් විය. ඒ අසල බස් රියකට ගිනි තැබුනා වාගේ මතකය.

 පොලීසිය වෙතින් කඳුළු ගෑස් ප්‍රහාරයක් නිකුත් කෙරිණ!

මිනිසාගේ මුඛය තුල ඛේට ග්‍රන්ථි පිහිටා තිබෙන්නේ හුදෙක් අහාර හැපීම පහසු කිරීමට, ගිලීමේ පහසුව වෙනුවෙන් ගුලි සෑදීමට කියා සෞඛ්ය පාඩමේදී; පන පිහිටුවා ජයමහ සර්  කීවාට ඉන් තවත් ප්‍රයෝජන රාශියකි.

කුඩා කාලේදී ගල් ලෑලි මැකීමට, සිදුවන කුඩා තුවාල මත ආලේපනයට, ඉඳිකටුවට නූල ඇමිණීමට, මුද්දර ඇලවීමට, ඉස්තිරික්කය රත්වී ඇත්දැයි බලා කියා ගැනීමට හා මෙහි දැක්විය හැකි  නොහැකි එකසිය එකක් කාරණා කාරණා අතර තවත් කාරණා දෙකක් මා එක්කරණ්නම්!

ඉන් පලමු වැන්න කිමිදුම් කටයුතු වලදී ඇස් හා නාසය ආවරණය වන පරිද්දෙන් පලඳින මාස්ක් එක, ගොගල් එක නොහොත් ආවරණය තුල  වාෂ්ප ඇතිවීම වැලැක්වීම ඛේටය හෙවත් කෙළ ආලේපනයෙන් මග අරවා ගත හැක.

දෙවන හෙවත් අපේ කතාවට අදාල ප්‍රයෝජනය වන්නේ කඳුළු ගෑස් ප්‍රහාර වලදී; දෙනෙත් මත කෙළ  හෙවත් ඛේටය ගැල්වීමෙන් එයින් තරමක ඉසිඹුවක් ලැබීමට පුළුවන! මෙය මා ඉගෙන ගත්තේ බී බී සියේ චන්දන කීර්ති බණ්ඩාරයන් වෙතිනි!

අදාල දිනයේ පොලීසිය වෙතින් එල්ලවුණු දරුණු කඳුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දීමට මා; මගේ දෑස් මත කෙළ තවරා ගත් අතර මාගේ සොහොයුරා එම ක්‍රියාව පිළිකුලෙන් ප්‍රථික්ෂේප කලේය.
  ඉන් පසු මා ඔහු සමග කොටුව දුම් රිය පොල ඇතුලට ගොස් ඔහු කමිසය යටින් ඇඳ සිටි වෙලෝනා බැනියම වතුර කරාමයකින් තෙත් කර එයින් දෑස් තෙමා ගන්නට ඔහුට කියා දී නැවතත් ජනයා අතරට එක් විය.

එකල වාසුදේව නානායක්කාර හා වික්‍රමභාහු කරුණාරත්න එක පතේ කාගෙන සිටින කාලයේ කඳුළු ගෑස් වලට මුහුණදීමේදී වාසු මගේ ක්‍රමය අනුගමනය කල අතර භාහු එයට මුහුණ දෙන්නට තෙත ලේන්සුවක් ඉටිකවරයක බහා ගෙන යාමට පුරුදුව සිටියේය.

මිනිසුන් තම අතට අසුවන දෙයින් පොලීසියට පෙරලා පහර දෙමින් විය. පොලීසිය  විසින් පහර දෙන කඳුළු ගෑස් කෑන් නැවත ඔවුන් වෙතටම දමා ගසන්නට එහි වූ පිරිස ක්‍රියා කලහ. මේ සියල්ල අතර තුරේ විටින් විට සිහින් පුපුරණ හඬක් ඇසිණි.

"උන් වෙඩි තියනවා!  කවුදෝ කියනු ඇසිණි!

මා සිතුවේ රබර් උන්ඩ වලින් කරණ ලද ප්‍රහාරයක් ලෙසය. කොටුව දු රිය පොලට සම්මුඛව පිහිටි ගොඩ නැගිල්ලේ "අලිඩොන් රත්ඥ්ඥා" නාම පුවරුවක් විය.
එයට ඉහල මහලේ ජනෙල්  වෙත කිසිවෙකුගේ ඇස් යොමු වී "උන් වෙඩි තියන්නේ අන්න අර බිල්ඩිමේ ඉඳන් . !" කියා කෑ මොර දුන්නේය.

එහෙත් වෙඩි තිබ්බේ එතැන් සිට නොව මැක්ලම් පොත් සාප්පුව අසල එක පෙලට තනි පයින් දන බිම ඇන සිටි පොලිස් නිළධරයින් පෙලක එක් කෙලවරක සිටි සාමාන්‍ය පොලිස් නිළ ඇඳුමට වඩා තරමක ලා පැහැයෙන් යුත් නිළ ඇඳුමක් ඇඳගත් අයෙකු විසින්ය!

තවත් පුපුරණ හඬක් නැගිනි. එකවරම මා අසල නොව මා අසලින්ම සිටි නන්නාඳුනන මිනිසාගේ පපුවට වෙඩි වැදිනි. ඔහු සිටියේ මාගෙ උරෙනුර ගැටෙමින්ය!
ඒ සමගම හේ බිම පතිත විය.
 මිනිසුන් කිසිවෙකුට ඊට තම අවදානය යොමු කරලීමට උනන්දුවක් නොවීය. මමත් මගේ සොහොයුරාත් තවත් කිහිප දෙනෙකුත් ඔහු වෙත් නඹුරු විය!

"ව .තු .ර . !" ඔහු  කෙඳිරි ගෑවේය.

ඒ අවට වතුර සොයා ගැනීමට ඒ මොහොතේ නොහැකි විය. මා මාගේ සොහොයුරා අත තිබූ වතුර පෙඟවූ බැනියම ගෙන ඔහුගේ කටට මිරිකුවෙමි.

තවත් මොහොතකින් ඔහු නිහඬ විය.

ජලයෙහි වටිනා කම වඩාත් දැනෙන්නේ කාන්තාරයකදීද  නොඑසේ නම් ගං වතුරකට මැදිව පාණීය ජලය නොමැතිව සිටින විට දී දැයි දන්නේ සිගරට්ටුවක් අත තිබී ගින්දර සොයා ගැනීමට නොහැකිව  මොහොතක් හෝ ලත වූ අයෙක් පමණි!

අපද සිටියේ ඒහා සමාන තත්වයකය. හාත් පසම ජලය සපිරි ගංගාවක් අප; බීමට සිසිල් දිය පොදක් නොමැතිව ගමනේය.

අපගේ සිතියම සටහන් වලට අනුව අප සිටියේ කිරි ඇල්ලට ආසන්නවය. මේ වන විට දිවා ආහාරය පිළිගැනීමට කුස සූදානම් බවක් දැණින.
ඉතා ඉක්මණින් අප කිරි ඇල්ල නගරය හෝ  ඒ අවට ආපන ශාලාවක් සොයා ගත යුතුය! හාත් පස ඉව ඇල්ලීමේදී අවටින් දිවෙන මාර්ගයක හඬ ඇසිනි. අප සෙමෙන් සෙමෙන් දකුනු ඉවුර ආසන්නයෙන් ගමන් කලෙමු.
එක් ස්ථානයක තරමක වැලි තලාවක් හා ඉවුර හරහා ගම තුලට දිවෙන මාර්ගයක් දිස් විය.
 අප කෙමෙන් එම ස්ථානයට සේන්දු වුනෙමු. මමත් ඇනෝත් සුපුරුදු ලෙස කයාක ගොඩට ගෙන ඉවුරේ වූ වන වදුල යට සැතපුනෙමු.

හිසට උඩින් තුරු වදුලය. සිරුරට යටින් සිහින් සේද වන් වැල්ල මත වැවුනු තණ  පලසය! මටත් අනෝටත් විවේකය විඳීමට ඉඩ හල පසිඳු හා තෙශාන්ත සුපුරුදු පරිදි දඩ බිම් සොයා ලඳු කැළය අතරින් විහිදුනු මාර්ගයේ නොපෙනී ගියේය.

ගංගාව වෙතින් ගලා ආ සිහිල් සුළඟ විසින් මා අඩ නින්දකට ගෙන යමින් විය! පෙරදින රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතව සිටි මාහට නින්ද තබා දෑස් වසා සිටීම පවා අතිශය සුවය ගෙන දෙන තත්වයක් විය!

"කාටද ඕනා කූල් එකක්! කාටද ඕනා කූල් එකක්!?" නින්ද සිසාරා ඇසුනේ පසිඳු ගේ ලේංගතු කට හඬය.

මා දෑස් විවර කර බලත්ම අතකින් බත් පාර්සල් හතරක් එල්ලා ගත් තෙශාන්තත් ඊට පිටු පසින් සුරතින් අධික ශීතලෙන් පිණි වෑස්සෙන කාල්ස්බර්ග්  කෑන් හතරක්  ගත් පසිඳුද විය!

"සිහිනයක්ද මේ . . . . . . ? හාදු වැස්සක් අරණ් . .  ! "

 Black & White වුනාට Colourfull මතක !


ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට !

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...