15. සුදලිය මරුවල්ලිය සිට කරාටේ කුංෆු දක්වා

ලංකාවේ සටන් ක්‍රම  විකාශනය.

අපේ රට ජපානේ නොවුනාට , චීනය නොවුනාට , ගම ෂැවොලින් හංදිය ලඟ වුනේ නැති  උනාට මුල ඉඳලාම  වලියට බරයි කියලා ඉතිහාසය බැලුවාම අපට පෙනෙන දෙයක් . මං මෙහෙම  කියන්නේ පශ්චාත් භාගයේ කහඹිළියා  ගෑවිලා කියලා කාට උනත් හිතෙන්නට පුළුවන්‍ය .
            පරංගි, ලන්දේසි, ඉන්ග්‍රීසි වගේ ඒරොප්පේ අය අපේ රට සමඟ කේස් දාගත් විට ඒකාලේ රටේ හිටපු රජුන්  කලේ අද වාගෙ වයසට ගිය නඩු කාරයෙක් මුල් පුටුවට දාලා කොමිසමක් පත් කරපු එක නම් නෙවෙයි . කලේ ගමේ රටේ හිටපු අපි වගේ මාමලාට බාප්පලාට  එන්න කියලා රජුගේ  හමුදාව එක්ක සෙට් කරගෙන  අරුන්ට මරෝ කියලා පන්න පන්න ඉස්ම යන්න නෙලපු  එක තමයි . ඉතින් පංසලේ සිල්  අරන් හිටයත් ගේම ඇදිච්ච්  වෙලාවට ඒ කාලේ හිටපු අයියලා පස්ස ගහලා නෑ . ගෙදර ගිහින් එච්චරකල් කොස් කොටපු කඩුවේ කොහොල්ලෑ ටිකත් එක්කම යුද්ධෙට ගිය එක තමයි කරලා තියෙන්නේ . ඉතින් වැඩිය ඕනනැහැ 1848 මාතලේ කැරැල්ලට ; ගොංගාලේ ගොඩබණ්ඩා හෙවත් පෑලියගොඩ ඩේවිඩ්  හා මොරටුවේ ෆ්රැන්සිස්කු ප්‍රනාන්දු හෙවත් පුරන් අප්පු  නායකත්වය දෙන්නේ කුඩාපොල හාමුදුරුවන්ගේ බැකින් එක හින්දා නෙවෙයි කියලා කාටවත් කියන්න පුලුවන්ද ? දැං තේරෙනවානේ මේ කයිවාරුවට කහඹිළියා වල කිසිම සම්බන්ධයක් නැති බව .! ඉතින් ඔය ඇම්මම තමයි නවසිය පනස් තුනේ අගෝස්තුවේදි හර්තාලයක් විදියට , හැත්තෑඑකේ අප්‍රෙල් මාසෙ ,අසූනවයෙ එහෙම එලියට ආවේ !

            ඒකාලෙ ඒකියන්නෙ රජකාලෙ හිටපු පරණම කෙළි කාරයො කවුද කියලා හොයා බලන කෙනෙකුට මුළින්ම මාට්ටු වෙන්නේ දුටුගැමුනු රජතුමාගේ ඵුස්සදේව මහතාය . සුපිරියටම දුන්නෙන් විදින්න පුලුවන් මෙයාට ශිල්පෙ දීලා තියෙන්නෙ උන්නැහැගේ තාත්තා. මේ  ගැන බලා හිටියා වාගේ ඇහේ පැලවන්න කියන ‘මහවංශය’ ; “ ඔහුගේ පියා ස්වකීය වංශයෙහි  පැවත ආ ධනුග් ශිල්පය ඔහුට ඉගැන්වීය.ශබ්ධානුසාරයෙන්ද , විදුලි එළියෙන්ද  විදීමට මෙන්ම ලෝම විදීමට ද හෙතෙම සමර්ථ විය. වැලි පිරවූ ගැලක බඳින ලද සම් සියක් පටද, අටඟුල් පියා ලෑල්ලද  හා සොලෙසඟුල්  දිඹුල් ලෑල්ලද , දෑඟුල් යපටද,  සතරඟුල් ලොහො පටද  හීයෙන් විද්දේය . එසේම ඊය අට ඉස්බක් තැන්ද දියේ ඉස්බක් තැන්ද ගියේය !” යනුවෙන් ගුණපාල වීරසේකර සංස්කරණයේ 23 වන පරිච්ඡේදයේ 230, 231 පිටුවල පවසයි  .               ඒකාලේ අපේ රටේ තිබිලා තියෙන සටන් කලාව ගැන අමෙරිකානු මානව විද්‍යාතනයේ අනුශසක , ලංකා ආසියාතික සංගමයේ සභාපති හා ලංකා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ආදී තනතුරු හෙබවූ ප .එ .ප . දැරණියගල මහතා ලියන ලද “සිංහල ත්‍රාස ජනක ක්‍රීඩා ” පොතේ හොඳටම ලියලා ඇත . ඒ පොතේ විධියට ඒකාලේ මිනිසුන් මිනිසුන් මෙන්ම මිනිසුන් සතුන්  අතරද සටන් කෙරී ඇත . (බලාන ගියාම දැන් හොඳයි වගේ !) එකල “ඇඟේ සටන් - අංගම් පොර යනුවෙන් ශාරීරික සටන් තිබී ඇත . ඒකාලේ ලංකාවේ තිබුනු පාරම්පරික සටන් කණ්ඩායම් දෙකක් වන “සුදලිය ” හා “මරු වල්ලිය ”අතර බොහෝ විට සටන් පැවති බව ජේ . ඩේවි විසින් 1821 දී ලියැවුනු විස්තරයක දැක්වෙන බව දැරණියගල මහතා පෙන්වාදේ.
              අද උනත් බොරැල්ල නුගේගොඩ බස් එකකට නැගලා “අංගම්පිටිය පාර” කියලා ටිකට්  ඉල්ලුවොත් ඉතුරු සල්ලි  දී  හෝ නොදී කොටුබැම්ම හෝල්ට් එකෙන් බිමට පත බාවනු ඇත . පාර පැන්න සැනින් ඡන්ද  කාලයක් නොතිබුනහොත් “අංගම්පිටිය පාර ” බෝඩ් එක පෙනෙනු ඇත . (ඡන්ද කාලයට මෙම බෝඩ් එක නොවේ කොයි  බෝඩ් එකත් පොර කුකුළන්ගේ මුහුනු වලින් වැසී  යාම මා අමුතුවෙන් ඔබට කිව  යුතු නොවේ යැයි මා සිතමි .)                     අපේ රටේ  හිටිය සුපිරිම ජූඩෝ වැඩ්ඩෙකු වන දැරණියගල උන්නැහැ අර පොතේ පෙර වදන ලියන්නට පටන් අරන් තියෙන්නේ  මෙන්න මෙහෙම ! “ තොරතොංචියක් නැතිව පැවති විදේශිකයින්ගේ තාඩන  පීඩන ආදියෙන් මුළුමනින්ම වාගේ හීන මාන වී ගොස් දැන් පවතින තත්වයට පත්වීමට පෙර ……….යනුවෙන් ! එම පෙර වදන (පොර වදන එහෙම නෙවෙයි ) අවසාන කොට ඇත්තේ  “සිංහලයාගේ කඩු ශිල්ප හසලත්වය අන්තිම වරට ප්‍රදර්ශනය කරණ ලද්දේ ඉංග්‍රීසින්ට රට යටත් වීමෙන් අවුරුදු පහකට පසු මහනුවර යුධාංගන වලදීය ….! කියාය .
             
               ඊට පස්සේ ඉතින් රටේ තිබුනේ ජීවිත සටන විතරක් බව මා  අමුතුවෙන් කියන්නට යන්නේ නැත .
             
                අද අපේ රටේ අයියලා චීනෙට අම්ම මෝ නැතිව බැන අඬගැහුවාට ; අපෙ ඊළඟ සටන් ඉතිහාසය ලියැවෙන්නේ චීනුන් වෙළඳම සඳහා  අපේ රටට පැමිනීමත් සමග ! නෑ නෑ  පෝට් සිටි වැඩේටවත් , හම්බන්තොට වරාය හදන්නවත් ආපු චීන්නු ගැන නෙවේ මේ කියන්නේ ! මේ කියන්නේ ජපනා  ලංකාවට බෝම්බ දාපු කාලේ වගේ චීන්නු අපේ රටට ඇවිත් තියෙනවා සේද රෙදි , නූඩ්ල්ස් වගේ දේවල්  ; බයිසිකලයක් පැදගෙන ගම් වලට ගිහින් විකුනන්න . (දැං අහන්න එපා කොන්ඩෙ බැඳපු චින්නුද ? කියලා කට තියෙනවට! මේ අය ගැන මතක වැඩිහිටියන් තවමත් ඇති.) මේ අහිංසක චීනුන් ගේ මුදල් කොල්ල කන්නට ඒකාලේ හිටපු අපේ අහිංසකම අහිංසක හොරු ට්ර්යි කරපු  අවස්ථාවලදී සිදුව ඇත්තේ අම්බානක පෝරියෙල් එකක සුව විඳීමටය . එය එසේ  මෙසේ කෑමක් නොව චයිනීස්  එකක්ම  විය යුතුය!
                මීට  කාලයකට පෙර අපේ රටේ සිටියේ ඔරිජිනල්ම අයියලාය .මේ අය පලාත් වෙන් කරගෙන සිටියහ . පරණ අයෙකුගෙන් ඇසුවහොත් ඒ අය දේශ සීමා නිර්ණයයන් සමග කතාව කියනු ඇත . “බොරැල්ල ,පුන්චි බොරැල්ල , මරියකඩේ ,මරදාන ෆස්ට් ඩිවිශන්, සෙකන්ඩ් ඩිවිශන් චොප්පෙගේය ! එතනින් එහාට මදාවි සෝමෙගේය ” යනාදි වශයෙන්! කටපුරා චන්ඩි කියා කිව හැකි මේ අයියලා මේ පලාත් වල මෆියා ජීවිත ගත කලහ .ගංජා අබිං වෙළඳාම පොර කුකුළන් කෙටවීම කප්පම් එකතු කරමින් සිටි  මේ අය අතරට මෙම කලාව කාලයත් සමග කාන්දු විය . චීනුන්  ගෙන් මෙම සටන් කලාව චොප්පෙලා මදාවි සෝමෙලා අතට ගියෙ; හුදෙක් හිත්වත්කම මතද , මුදලටද  නොඑසේනම්  සහජීවනය මතද කියා සිතා  ගත නොහැකි වේ . මෙම ශිල්පය ; චන්ඩින් ඉගෙන ගත්තා කියනවාට වඩා සාධාරණ  ප්‍රකාශය වන්නේ මෙම ශිල්පය ඉගෙන ගත් අය චන්ඩින් උනාය කීමය . කෙසේ වෙතත් එම කාලයේ මෙම ශිල්පයට සමාජය තුල විශාල පිළිගැනීමක්, භය පක්ෂපාත භාවයක් තිබුනි .
                  එදා විසූ ඔවුනට තම පය  වේගයෙන් ඔසවා ; පිටිපතුලෙන් ප්‍රථිවාදියාගේ ගෙල ප්‍රදේශයට පහර එල්ල කිරීමට හැකිවූ  බව තතු දන්නෝ පවසති .මෙය  Roundhouse  kick හෙවත් “මවාශි ගේරි”  යනුවෙන් වර්ථමානයේ හැඳින්වෙන පා පහර විය යුතුය . මේවා චීන සටන් ක්‍රමයේ නශ්ඨාවශේෂයන්‍ය . මෙම සටන් ක්‍රමයට එකල සුවිශේෂී නමක්ද විය . චීනා  ගෙන් උගත් අඩි - චීන අඩි  හෝ චීනාඩි විය .එය දකුණු  ඉන්දියාවෙන්  පැමිණි ද්‍රවිඩයන් ගෙනා “කළරි ” සටන් ශිලපයෙන් හා එවකට පැවති ප්‍රකට ආයුධයක් වන “කළා කිරිඥ්ඥයෙන්”(Knuckle Duster)  හෝ “සිලම්බරන්”( දකුණු ඉන්දීය පොලු සටන් ක්‍රමයක් )  වැනි ආයුධ වලින් වඩාත් ඔපවත් වන්නට ඇත .
                 කෙසේ හෝ මෙම චීන අඩි සටන් කලාව හුදෙක්  තුන්වන පන්තියට අයත් ක්‍රීඩාවක් ලෙසින්ම පැවති අතර ඉතාමත් කළාතුරකින් දොස්තරවරුන් වැනි අයද මෙම සටන් කලාව උගත් බවට  ආරංචි පවතී .එසේම ඔවුන් දත් ; උගත් එම ශිල්පය තවත් පරම්පරාවකට උගැන්මට උනන්දුවූ බවක්ද  නොපෙනේ . එම නිසාම කුකුළන් කෙටවීම , අජූත ගැසීම ලෙසින්ම සමාජයෙන් තුරන් වී ඇත .එහෙත් අද පවා  වැඩිහිටියන් අතර “හතර මුල්ල පැන ගැහීම” , “කන්නප්පුඩි පහර”  (boxing සටන් වලදී භාවිතා කරන upper cut පහර ලෙසින් ඉතා තදින් එල්ල කරණ මෙය ඉලක්ක  කරනුයේ ප්‍රථිවාධියාගේ කන  අවට නිලස්ථානයක් වන අතර එහිදී සටන් ශිල්පියා භවිතා  කරන්නේ තම මිට මෙලවූ අතෙහි පිට පැත්තෙන් නෙරා ආ knuckle පෙදෙසය.) වැනි යෙදුම්  ශේෂ වී  ඇත්තේ මේ නිසාය . මෙසේ දෙවන  සටන් කලා පරිච්ඡේදයත් ඉතිහාසයෙන් තුරන්වුවත් හැත්තෑව දශකයේ “සිළුමිණ” පුවත් පතක් ගෙන බැලුවද  “ චීන අඩි ” උගන්වන පන්ති පිළිබඳ වෙළෙඳ දැන්වීම් දැකිය හැකි විය.                                        
                නැවත සටන් කලාව මෙරටට පැමිනෙන්නේ ජපානය දෙවන මහා ලෝක යුද්ධයෙන් අන්ත ලෙස පරාජ වීමත්  සමගය . ඔවුන් එදා මුළු මහත් ලෝකයෙන් කොන්වූ පිරිසක් ලෙස ; අන් රටවල් සමග සහ සම්බන්ධ වීමට යන්ත දැරූ අවධියක් විය . එකල තම කලා හා ක්‍රීඩා කෞශල්‍යයන් රැගෙන රටින් රට සැරි සැරූ ජපනුන් ලංකාවටද පැමිනියහ . ඔවුන් මෙරටට තිළිණ කල  සටන් කලාව වනුයේ ජූඩෝ ය .කිතුදහම මෙරට පැතිර වීමට පල්ලිය මහත්සේ වෙහෙස දැරූ එම අවදියේ ; තරුණයන් ආකර්ෂනය කල හැකි එවන් ශිල්පයක් රැගෙන ආ යමෙක් වේද ; ඔහුට එම කටයුතු කරගෙන යාමට ඇවැසි සියලු යටිතල පහසුකම් සැපයීමට ඉදිරිපත්වූයේ තරුණ ක්‍රිස්තියානි සංගමය විය . බොහෝ විට උපදේශකවරයා අයකල ගාස්තුවක් වේනම් එයද තම සංගමය විසින් දරා  ගනිමින්  තරුණයන් හට නොමිලේ පංති පවත්වා ඇත . සටන් ශිල්පයේ මූලාරම්භය බෞද්ධ ආරාම උවද මෙරට එය පැතිර ගියේ ක්‍රිස්තියානි පල්ලිය හා YMCA ශාලා හරහාය .
                  මෙසේ එම ස්ථාන වල පංති පැවැත්වීමට පැමිනි උපදේශකයින් තම විවේක කාල වලදී ඔවුනොවුන් පුහුණුවූ වෙනත් සටන් සම්ප්‍රදායක් දුටු සිසුන් ඔවුන්ගෙන් පුද්ගලිකව උගත් ශිල්පය හිස් අත - කාතා හේ  හෙවත් කරටේ විය .
               
                  කාලය ගෙවීයත්ම එළඹි හැත්තෑව දශකය මෙරට අත්මාරක්ෂක සටන් කලාවේ කැපී පෙනෙන සංධිස්ථානයක් විය .සේවයට වඩා මුදලට නොඑසේ නම් ආශ්වාදය පිණිස ඉගැන්වුනු  සටන්කලාව රටේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරුනි .එතෙක් මානසික ඒකාග්‍රථාවය හා ශරීර සෞඛ්‍යය උදෙසා ශිල්පය ප්‍රගුණ කල පිරිස අභිබවා සටන් උදෙසාම මෙම කලාව  ඉගෙන ගන්නවුන් නැගී ආවේය .“ ගම් දනව් සැරිසරණ සටන් සංස්කෘතිය” යන මැයෙන්1987 අප්‍රේල් මස “පෙරමග” සඟරාවට ලිපියක් සපයන චන්ද්‍රරත්න බන්ඩාර එහි ; “කිසියම් ගැඹුරු ශිල්ප භාවනාවක් ලෙස සැලකූ කරාටේ ශිල්පය 70 දශකයේ මුල් භාගය වන තුරුම ඒ තත්වයට හුරුවූ දෙයක් සේ ජනතාව අතර පිළිගැනීමක් විය .1974 වසරේදී  Enter the Dragon චිත්‍රපටිය මෙරට ප්‍රදර්ශනය කිරීමත් සමග මෙරට ජන සමාජය තුලට Bruce Lee ගේ ආගමනයත්  භාවනාමය නිම්වළල්ල පුළුල් කිරීමටත් අපට හේතු සාධක සපයා දුන්නේය. උනන්දුවෙන් අවශ්‍යම  කොටස් සොයා ගිය කරාටේ ක්‍රීඩාව එතැන් පටන් ඊට අඩු මට්ට්ටමේ කොටස් තුලත් රණ කාමිත්වය අවුළුවන්නක් බවට  පත්විය.” යැයි සදහන් කොට ඇත. Bruce Lee ගේ ආගමනයත් සමග කරාටේ වලට තිබුනු පිළිගැනීම බොහෝසෙයින්  දෙදරා ගියේය .
              Bruce Lee තම සටන් තුලින්  ඉදිරිපත්  කලේ  Jeet kune – Do නම් වූ ඔහුගේම කලාවකි. මෙය Win –Chuan, Thai Boxing වැනි වෙනත් ආත්ම ආරක්ෂක සටන් ක්‍රම රාශියක එකතුවකි .මෙම නව සම්ප්‍රදායේ පා චලන බොහොමයක් boxing ක්‍රීඩාවෙන් හා fencing (කඩු සටන් ) වලින් මංකොල්ල කෑ  ඒවාසේ පෙනේ . කරාටේ මෙන් තදින් අත මිට මොලවාගෙන මුළු ඇඟේම වෙර යොදා එල්ලකරන punch එකට වඩා දනන්  සිත් ඇදී ගියේ Bruce Lee ; Win –Chuan වලින් ණයට ඉල්ලාගෙන  ;  අම්ම අප්පගේ බූදලයෙන්, තම  ප්‍රවේණියෙන් බුක්තියට සවි වූවා යැයි සලකන සැහැල්ලුවෙන් හා වේගයෙන් එල්ල කරණ  Vertical Punch එක බැලීමටය . (පසු ගිය වසර වල බොහෝ සෙයින් ජනප්‍රිය වූ Ip Man චිත්‍රපටයේ මුල සිට අගටම පෙන්වන්නේ Win –Chuan වල වැඩ කිඩය ! Ip Man යනු පුංචි Bruce Lee කොළුවාගේ ගුරුතමාය.!)
             හරක් 50 ක් සමග සටන් කොට රැකෝඩ් පිට රැකෝඩ් තියපු කරාටේ ලෝකයේ නොම්මර එකේ කෙළි කාරයෙකු වූ කියෝ ශින් කායි කාන් නිර්මාතෘ Mas Oyama ද එක් වරක් කුංෆු වැඩ්ඩෙකුට ඇඹරුන කට කතාවක් පවතී . මෙම කතාව කිව්වේ නිකම්ම නිකම්  කයිවාරු කාරයෙකු   නොව ; එතෙක් කියෝ  කුශින් කායි කාන් මෙරට උපදේශකව  සිටි වෙල්ගම මාස්ටර්ට “ගේම ”දී ඩීලර් ශිප් එකට කෙළා වැදෑරූ කොහුවල යෝගාශ්‍රමයේ ඍෂිවරයා වීමම නිසා මෙය මේ කනෙන් අසා අනිත් කනෙන් අහක දැමිය හැකි කතාවක්    නොවන්නේය.

            ඕනේම හොඳ දෙයක්  සමග කවලම් වී  එන්නේ අනුකරණයන්‍ය . මෙතෙක් කරටේ උගැන්වූ බොහෝ ගුරුවරුන්ටත් ජීවත් වීමට අන් මගක් නොවීය . ඔව්හු තම පෝස්ටරයට අලුතින් වචනයක් එක් කලහ . මිල්ටන් පෙරේරා ; “එකම නමයි මා  දන්නේ…..ඒ නමආදරේ…” කීවා සේ ඔවුන් එක් කල එකම වචනය “කුං ෆු” ම  විය ! (මේ තත්වයට  ඇද නොවැටුන ගුරුවරුන් නොඑසේ නම් උපදේශකයින් ලෙසට ජී ඒ ටී ලිවෙරා , එම් බී ඩී සිල්වා, ශොරින් රියූ කල ජයකොඩි මාස්ටර්, කියෝ ශින් කල නන්ද සිරිවර්ධන, මාස්ටර් ගාමිනී සොයිසා , ටයිකොන්ඩෝ කල වත්තල සිරිල් ඇන්ටනි ,තම කියෝ  කුශින් කිරුළ අහිමිවූ පසු අශිහාරා මෙරට  උපදේශකත්වය ලද වෙල්ගම මාස්ටර්  වැනි අතලොස්සක් දෙනා පෙන්වා දිය හැක .) අනෙකුත් අවශේෂ අයියලා තමාගේ පෝස්ටර් මුද්‍රණය කලේ      “කුං ෆු” නම් වචනයද  එක්කොටය.
             ඉස්කෝල සිතියම් පොතෙන් පමනක් චීනය, ජපානය, හොං කොං දැක තිබුනු ,සිතියමකින් වත් ෂැවොලින්  දැක නොතිබුනු අය ; තම පෝස්ටර් නිර්මාණයේදී  Bruce Lee ගේ ඡායා රූප හා තමන්ගේ රූප එක් කොට යොදා ගත්තේය.අලව්ව ,පොල්ගහවෙල ,කුරුණෑගල පලාත්වල තාප්ප බිත්ති වැසී ගියේ Bruce Lee ගේ kik  එකකට on guard එකක් දාගෙන ඉන්නා අපේ “Lee” කෙනෙකුගේ රුව රැගත් පෝස්ටර්‍යකින්‍ය . එය හුදෙක් මුද්‍රණ තාක්ෂනික මයාවක් යැයි සිතා ගැනීමට පවා හැකි වූයේ අතලොස්සකට පමනි . මේ “ඇන්දිල්ල” තවත් ඉහලට යත්ම මේ  අය තම නම ලියන ආකාරය පවා  වෙනස් කර ගත්හ .කිංස්ලී ,ෂර්ලී වැනි නම් ඇති අය තම නම ලිව්වේ Kings Lee , Sher Lee ලෙසට හැඩ ගන්වාය ! උදාහරණයක් ලෙස කලෙක තරුණ පිරිස අන්දවා ගෙන සිටි සීවලී වික්‍රමාරච්චි නමැති කුංෆුං ගුරුවරයෙක් තමාගේ නම  පෝස්ටර් මත මුද්‍රණය කරවූයේ Sivaa Lee ලෙසටය .! මෙය Bruce Lee සමග සිරාවටම ගැලපී ගියේය. සටන්
             කඩ ඉතා හොඳ ආදායම් මාර්ගයක් වී කුං ෆු   ගුරාලා ලී ලා වෙනවිට සමහර කරාටේ ගුරලා ඛාන් ලා විය .Khan යනු පාසැල යන්නය . Shotho Khan යනු ෂෝතෝගේ පාසැල යන්නය . මුල් කාලයේ කරාටේ ගුරුවරුන් ගෙන් සටන් ශිල්ප යංතං රං කිරි කට ගෑ සමහර බාල ගෝලයෝ තම  නම ගම එහා  මෙහා කොට අවසනට ඛාන් එක් කොට තමාගේම සටන් ශිල්ප හදා වඩා ගත්හ . අනුර එස් ක්ත්‍රිඅරච්චි නමැත්තා තම ශිල්පය නම් කොට තිබුනේ “කර - බල -ඛාන් ” ලෙසය! සමහරුන් තම පොස්ටර් තුල බ්‍රේක් ඩාන්ස් ශිල්පීන්ගේ රූපද යොදා  තිබුනි .  නුන් චකු ,ජිජුට්සු ,ත්‍රී  සෙක්ශන් නුන් චකු , ඩබල් ඩ්‍රැගන් ස්ටික් , බ්‍රෝඩ් ස්වෝඩ් , වැනි සටන් ශිල්පයට සම්බන්ධිත වචන අමු අමුවේ වරද්දමින් දැන්වීම්  ගැසූහ ! ඇත්තටම ඒ ඔවුන් බිත්ති , තාප්ප , ලයිට් කනු , කම්බි කනු , ටැලිෆෝන් කනු  පුරා ඇලවූයේ ඔවුන්ගේ පංති දැන්වීම්  නොව ලංකාවෙ ආත්ම අරක්ෂක සටන් කලවේ මරණ දැන්වීම් විය !
               (මේ බොහෝ විකට පෝස්ටර් වල සාම්පල් එකතුවක්; තම මෑණියන් ජපන් තනාපති කංතෝරුවේ වැඩකල පිනෙන් ෂැවොලින්  පැත්තේ කරක් ගසා ; එහි සිට නන්ද සිරිවර්ධනට රත්ත්‍රං  ගොනෙකුගේ රූපය රැගත් පික්චර් පෝස්ට් කාර්ඩ් එකක් එවූ  මෙරටට Win –Chuan නම හඳුන්වා දුන් ප්‍රසන්න ජයවීර ලඟ එකල තිබුනි ! මේ රං ගොං රුවටත් පසු බිම් වූ කතාවක් වේ . ඒ නන්ද සිරිවර්ධන එකල පුවත් පතකට ; මෙරට කුං ෆු ගුරුවරුන් ෂැවොලින් තබා ජපානයවත් පියවි ඇසින් දැක  නැතැයි කියා දුන්  statement එකට  return එකක්  හැටියටය  !)                 එයද ; මේ කාලයේ A/L ටියුෂන් ගුරාල ලඟ තිබෙන ආකාරයේම දීන ස්වභාවයකි . පංතියේ කාලයෙන් වැඩිම කාලයක් වැය කරන්නේ තමා සමග තරඟ කාරීව පංති කරන් අනෙක් ගුරාව පදිරි කරන්නටය !             මේ තත්වය කොයි තරම් සිරාවට නැගල ගියේද කියනවා නම් ලංකාවේ  කරාටේ මුල්  ගුරුතුමා වූ ; ඒවන විටත් හැට පැන්න  ජේ ඒ ටී ලිවේරාට Sivaa Lee වික්‍රමාරච්චි පැඟිරා ; ගෝල්ෆේස් පිට්ටනියේ ගහගන්නට කතා කලේය. මේ  උඩබලාන කෙළ ගසා ගැනීම නැවතුනේ “අමුඩයක්’’ හරස් වීමෙනි ! දෙදෙනාම සටන් කල යුත්තේ පිට පොට ගසා අමුඩය ඇඳගෙන  බවට ඉන් එක් අයෙක්  ඉදිරිපත් කල කොන්දේසිය අනෙකා විසින් ප්‍රථික්ෂේප  කල බැවින්‍ය!   (මාගේ මතකය නිවැරදිනම් මේ කොන්දේසිය ඉදිරිපත් කලේ Lee පාර්ශවයෙන්‍ය - සදොස් නම් නිදොස් කල මැන !)    මේ ජඩ වැඩය පිටුපස සිට Sivaa Lee ව ෆෝම් කොට ඇත්තේ කුං ෆු සම්මේලනයට කලක සිට අරක් ගෙන සිටින භහිරවයකුවූ මා වැනිම තවත් නොම්මර එකේ තට්ට්‍යකු වූ මානෙල් ධර්මකීර්ති බව ඔහුගේම ශ්‍රී මුඛයෙන්  වීරාභිවන්දනයෙන් යුතුව දෙසා වදාලනු  මා අසා ඇත !
               මේ හැම දෙයකින්ම  වූයේ සටන් කලාව විහිළුවක් වීම පමනකි .පෙරදින රාත්‍රියේ තමා නරඹන කුංෆු චිත්‍ර පටියෙ දැක්වෙන ශයිලීන් පසුදින පංතියේදී  තමාගේ style එක ලෙස පෙන්වන ගුරුවරුන් ; උදේ සිට හවස් වන විට ඔවුනට ඔවුන්ගේම style අමතකවී වෙනස්වී තම තමන්ට ඇවැසි ඇවැසි ලෙසට උගන්වමින් සිටියහ . jackey chan  රැඟූ  Snake in the Eagle’s Shadow චිත්‍ර පටිය (මාගේ මතකය නිවැරදි නම් මෙය ප්‍රදර්ශනය කලේ වැල්ලවත්ත Savoy  සිනමාහලේය.) ප්‍රදර්ශනය ඇරඹුනු සිකුරදා දිනට පසුදින එනම් සෙනසුරාදා උදේ කෑගල්ලේ පංතියේ Lee ; තම Snake Style එක එලි දැක්වීය .!
             
                 එකල සිටි එළම කොමිටලයක් වූ නිහාල්  සිල්වා “ මේවාත් කරාටේ ” යනුවෙන්  රූපවාහිනියට කොමඩියක්ද කල අතර එකල තිබුනු සටන් කඩ වල හැටියට නිහාල්ගේ කොමඩියේ පංතිය ඉතා ප්‍රශස්ථ මට්ටමක පැවතුනි ! (බොරු නම් You Tube එකේ  “නිහාල්  සිල්වා මේවාත් කරාටේ ” කියා කොටා බලා කොමෙන්ටුවක් දමන්න. )

                 අවසානයේ සිදුවූයේ අබමල් රේණුවක් තරම් හෝ මොලේ මංචාඩි භාගයක් වත් තිබුනු තරුණ බොහෝ පිරිසක් සටන් කලාවට හතර  හන්දි කැඩෙන්නට ගසා සමාජයෙන්  එලවා දැමීමය !
                 මෙකල අප මුහුණ පා සිටින හා ඉදිරියේ තවත් කුණු ප්‍රශ්ණයක් වන්නේ අධික ස්ථුල භාවය හා ඒහා අත්වැල් බැඳ ගත් රෝගී තත්වයට වේගයෙන් ගොදුරුවන බහුතරයය .මේ නිසාම සෑම සියළු පුරවැසියනට කලහැකි ක්‍රීඩාවක්  රටට හඳුන්වා දීමට ඇවැසිවේ . ළමයින් 4000 ක් සිටින පාසලක සාමාජකයින් 15 ක් සිටින ක්‍රීඩාවක් ගෙන බැලුවහොත් 13 න් පහල සිට 19 න් පහල දක්වා  සිසු සහභාගීත්වය ; සමස්ථයෙන් 1.5% පමණි ! සියලුම ක්‍රීඩා ගෙන බැලුවහොත් එය 20% ඉක්මවා යන්නෙ ඉතා කලාතුරකිනි.
                 මේනයින්  ගත්  කල උපකරණ  සඳහා නොසැලකිය හැකිතරම් කුඩා පිරිවැයක් යන ඉතා සීමිත ඉඩක උවද වැඩි පිරිසකට සහභාගී විය හැකි ක්‍රීඩාවක් වෙත්නම් ඒ සටන් කලාවම පමනි .
                   සමාජය නිරෝගි කිරීමේ කිසියම් උවමනාවක් වෙත්නම් හෝ තමාට නිරෝගී හා තම ආත්ම විශ්වාසය ඉහලනංවා ගැනීමට උවමනාවක් නොඑසේ නම් ආත්ම ආරක්ෂක සටන් ක්‍රමයක නියැලීමට බලාපොරොත්තුවන  යමෙක් වේනම්  ඔහුට හෝ ඇයට අද  වන විට ඇති  ප්‍රධානථම  ගැටළුව වන්නේ ටිකක්  හෝ අඩුවෙන් බොරුව කරන්නේ කවුරුන්දැයි සොයා ගැනීමයි .
                    මේ නිසාම ආත්මාරක්ෂක සටන් ශිල්පයට හොඳ කල දවසක්  ලැබීමට  නම් චීනයෙන් ජපානයෙන් නැතිනම් බලුකිස්ථානයෙන්හෝ නිවැරදි ශිල්පය දන්නා , ගුරුවරුන්, උපදේශකවරුන් මෙහි ගෙන්වා ඔවුන් ලවා ; අපරට සිටිනා  හොර ලී ලා හා  ඛාන් ලා ශිහාන්ලා   සෙන්සෙයිලා , සී ෆු ලා ,ටීචර්ලා   පුහුණු  කලයුතු වේ .


සෙස්ස පස්සට -  තට්ටයා

3 comments:

  1. හත්වලාමයි...

    සටන් කලාව ගැන මේ තරම් දත්ත තියෙන ලිපියක් දැක්කමයි. මාර වැඩේ..... කුංග්ෆු.... (ඔන්න ඉතින් මගේ කට නලියනවා) සෙස්ස පස්සේ මමත් එහෙනම්!

    ReplyDelete
  2. මතකද අපේ එවුන් මේ ලඟකදී ස්ට්‍රීට් ෆයිට් එකක් කළා .කොහොමද මුන් ටික ඔක්කොම කරාටේ ,කුන්ගුෆු වලින් නෙලා ගත්තානම් ...

    ReplyDelete
  3. angam kiyala ada kale karanne boruwak.indiyawe kalari satan kalawa balannako

    ReplyDelete

04. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...