Wednesday, October 21, 2020

185. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! පස් වැන්න)

CCC ක්‍රිකට් ඇකඩමියේ පැවැත්වූ නිවාසාන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ 11 න් පහල කණ්ඩයේ හොඳම පිතිකරු හා අවසන් තරඟයේ වීරයා ලෙස.
(පාසලේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පෙර !)
පුංචි කාලෙ ඉඳන්ම ඔයා හරිම ක්‍රීඩාශීලී දරුවෙක්.
ඔයා අල්ලපු ගෙදර සුමිත් අංකල්ගේ පුතා; තිළිණ අයියත් එක්ක හවසට ක්‍රිකට් ගැහුවා.
ඔයා ඒකාලේ දුව ගෙන දුවගෙන ඇවිත් අත නමලා නිපන්දු යැව්වාම ඔයා අත කරකවලා පන්දු යවන්න ඉගැන්වූවේ මමයි.
ඔයාට ඒක කියලා දීලා තහංචියක් දැම්මා.
හරි විදියට පන්දු යවන්න බැරිනම් සෙල්ලම් කරණ්න යන්නට ඉඩ නොදෙන බවට.
ඔයා දවසක් විතර අඬ අඬා ඉඳලා නිවැරදි අකාරයට පන්දු යවන්න පුරුදු උනා.
මට ඕන උනා ඔයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙනවා දකින්න.
මුල් කාලෙ ඔයාට පරණ මේස් එකකට බෝලයක් දාලා එල්ලලා දුන්නා බැට් කරණ්න.
දවසක් මම බොරැල්ලේ ගොල්ෆ් පිට්ටනියට ගියා ගොල්ෆ් බෝලයක් ඉල්ලගෙන එන්න.
එතන පිට්ටනියේ වැඩකරණ කෙනෙක්  දුන්නා පරණ බෝල හයක් විතර.
 ඉන් එක බෝලයක් ගෙනල්ලා වඩු මඩුවකට දීලා අක්ෂය දිගේ සිහින් සිදුරක් විද ගත්තා.
ඔයාට මතකද අපේ ගෙදර මිදුලේ තිබුනු වෙරළු ගහ.
ඒකෙ  මේ ගොල්ෆ් බෝලය එල්ලුවා බිම ගෑවෙන නොගෑවෙන උසින්.
ඊට පස්සෙ ඔයාට බැට් එකක් උසට ගැලපෙන උසට කොහු මිටක් කපලා දීලා ඒකෙන් ගොල්ෆ් බෝලයට ගහන්න උනන්දු කලා.
ඔයා පැය ගානක් යන කොට හරි අපූරුවට ගොල්ෆ් බෝලයට කොහු මිටෙන් පහර දුන්නා.
මේක තමයි සර් ඩොනල්ඩ් ඩොන් බ්‍රැඩ්මන්ගේ තාත්තා බ්‍රැඩ්මන්ට දීලා තියෙන අභ්‍යාසයත්.
වෙනසකට තියෙන්නේ බ්‍රැඩ්මන්ගේ තාත්තා: බ්‍රැඩ්මන් අතට දීලා තිබුනේ විකට් පොල්ලක් හෙවත් ස්ටම්ප් එකක්.
ඇත්තෙන්ම ස්ටම්ප් එකටත් වඩා කොහු මිටෙන් ගහන එක අමාරු කාර්‍යයක්.
පසුව ඔයා මම වේගයෙන් එවන ගොල්ෆ් බෝලයට කොහු මිටෙන් පහර දෙන තරමට "ඇස" දියුණු කර ගත්තා
මේ ගොල්ෆ් බෝලෙ තාම තියෙනවා මගේ ලඟ!
ඔයාව ක්‍රිකට් පුහුණුව සඳහා යොමු කරණ කොට ඔයාට අවශ්‍ය ක්‍රිකට් බැට් එක, පෑඩ් සෙට් එක ඇතුළු අංගෝපාංග ගන්නේ වැල්ල වත්තේ සැවොයි සිනමා ශාලාව අසලින් රුපියල් 3500 කට වගේ මිලකට. ඇත්තටම ගත්තේ තරමක බාල බඩු කට්ටලයක්! ඒ ඒකාලේ අපිට ඒ වෙනුවෙන් වියදම් කිරීමට හැකි පමණ හා ආරම්භයක් සඳහා ලොකු ආයෝජනයකට තිබුනු අකමැත්ත.

බන්ධුල වර්ණපුර, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ ත්‍රිත්වයේ අච්චුව 
නෙල්සන් මෙන්ඩිස් සර්
ඔයාට ක්‍රමානුකූලව ක්‍රිකට් අත්පොත් තියන්නේ නෙල්සන් මෙන්ඩිස් මහතා. 
බන්ධුල වර්ණපුර, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ බිහිකල  ක්‍රිකට් ගුරුවරයා.
ඒ සී සී සී ක්‍රිකට් ඇකඩමියේ.
ඔයා CCC ඇකඩමියට එක්කගෙන ගිහින් පුහුණුව අවසන් වෙනතුරා මම බෝලෙන් බෝලෙට බලාන ඉන්නවා.
ඒ  ඉවර වෙලා එනතුරු මට තේරෙණ මට්ටමෙන් පොඩි පොඩි අවවාද, තරවටු, බැනුම් ඔයාට මගෙන්!

CCC ක්‍රිකට් ඇකඩමියේ පැවැත්වූ නිවාසාන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ 11 න් පහල කණ්ඩයේ හොඳම පිතිකරු හා අවසන් තරඟයේ වීරයා ලෙස.
ඔයාගේ වයසේ බොහෝ ලමයි හෙමන්ත දේවප්‍රියගේ "දේවාස් ප්ලේස්" යන කොට ඔයාව යොමුකලේ නෙල්සන් මෙන්ඩිස් සර් වෙතයි.
මට ඕන උනා ක්‍රිකට් වගේම ක්‍රිකට හා බැඳුනු සංවර බව මහත්මා ගතිය, කොටින්ම ක්‍රිකට් සංස්කෘතියට ඔයාව අනුගත කරණ්න.
ඔයාව ඉස්කෝලෙ ක්‍රිකට් ඇකඩමියට තෝරගෙන තිබුනා.
ඒක භාරව හිටියේ ලෙස්ලි නාරංගොඩ සර්.
ඔයා හොඳට ඒකේ සෙල්ලම් කලා.
එතනින් ඔයා දහතුනෙන් පහල කණ්ඩායමට තෝරගත්තා.
කණ්ඩායමේ උප නායකත්වයත් ඔයාට ලැබිලා.
එහෙම දිගටම ඔයා ක්‍රිකට ගැහුවා.
ඒ අතර පෝතක බාලදක්ෂයෙකුද උනා.
පිහිනුම්, මළල ක්‍රීඩා වගේ තවත් ඉසව් කිහිපයකටත් ඔයා සහ භාගී උනා.
මේ කාල වක වානුවේදී ඒ කියන්නේ මට මතක විදියට ඔයා දහතුනෙන් පහල දෙවන වසරේ ක්‍රීඩා කරමින් ඉන්නා කාලේ  අවාසනාවන්ත දෙයක් උනා.
මම ඔයාට තහනම් කල ක්‍රීඩා ඉසව් දෙකක් තිබුනා.
ඒ රගර් සහ ෆුට් බෝල්.
දවසක් හවස මට ආරංචියක් ආවා ඔයා කකුල ඇමැට්ටි වෙලා පිට්ටනියේ ඉන්නවා කියලා.
ඉක්මණින් ඇවිත් බලන කොට ඔයා ග්‍රවුන්ඩ් එක මැද්දේ බිම වාඩි වෙලා ඉන්නවා වගෙයි මට මතක.
බලන කොට ඔයා ෆුට් බෝල් ගහන්න ගිහින් කකුලේ මැණික් කටුව සන්ධියට හානියක් වෙලා.
මම පිට්ටනිය ඇතුලේ ඉඳන්ම ඔයාව හරහට වඩාගෙන ආවා බැන බැන!
එක්කගෙන ගියා මරදානේ හිටපු සිංහල වෙද මහත්තයෙකු ලඟට.
එයා පත්තුවක් බැන්දා තෙල් එහෙම ගාලා.
පත්තුව ඉවර වෙන කල් සතියක් විතර ඔයා ඉස්කෝලේ ගියේ නෑ.
ඒක නිවාඩු කාලයක්ද මන්දා.
පස්සේ පත්තුව ගලවලා  ඔයාව එක්කගෙන ගියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රංජිත් මහත්තයා ලඟට.
ඔහුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන භෞතචිකිත්සක.
ඔහු ඔයාව පරීක්ෂා කරලා එතනට උනු වතුර හා අයිස් තියන්න කිව්වා මාරුවෙන් මාරුවට.
ඒකත් එක රටාවකට.
සති දෙකක් විතර යන කොට ඔයා සුවපත් උනා !
ඊළඟට ක්‍රිකට් පුහුණුවට ගියාට ඔයාට ඒ තරම් පිළිගැනීමක් තිබුනේ නෑ.
ඊළඟට තිබුනු තරඟ කිහිපයකම ඔයාට සිදු උනේ පිටිය මැද්දට වතුර ගෙනියන්න.
මොකද ඔයා කොයිතරම් හොඳට ක්‍රීඩා කලත්; ඒ වෙන කොට සවිවී තිබුණු සමබර කණ්ඩායමක් විසුරුවා ඔයාව ඇතුලට ගන්න පුහුණුකරුට අවශ්‍යතාවයක් නොමැතිවීම  ඊට හේතු වෙන්න ඇති.
ඔයා හැම මැච් එකටම ගියා.
කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් නැතිවූ පමණින්; කවදාවත්ම ඔයාට තරඟයකට සහභාගී නොවී ඉන්නට අපි ඉඩ සැලසුවේ නෑ.
ඔයාට එහෙම නොයා ඉන්න උවමණාවකුත් තිබ්බේ නෑ.
ඒකට ප්‍රධාන හේතුව ඔයා ක්‍රිකට් ලෝලියෙක් වීමම වෙන්න ඇති.
අනිත් අය ක්‍රිකට් ගහනවා බලන එකත් ඔයාට සතුටක්!
කොහොමත් මම ඔයාට පෙන්නලා තිබ්බා 1984 ඒංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී සිදත් වෙත්තමුනිගේ ලකුණු 190 යෝධ ඉනිම.

සිදත් වෙත්තමුනිගේ ඉනිම.
එහිදී සිදත් තාක්ෂණිකව එල්ල කරණ සෑම පහරදීමකටම බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂකයෝ අත් පොලසන් දෙනවා.
ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගොස් ක්‍රීඩා මණ්ඩපයට එන විට ඔවුන් හුන් අස්නෙන් නැගිට ඔහුට ගෞරව කරණවා.
ඔයාට මේ දේවල් පෙන්නලා  පෙන්නුවා "ක්‍රිකට් සංස්කෘථිය"!
ඒ නිසාමදෝ ඔයාට හැකියාව තිබුනා ඔයා වතුර ගෙනියන තරඟයක් උනත් විඳින්න.
හැමදාම  ඔයාගෙන් අහනවා හවසට "පුතේ ඔයා අද සෙල්ලම් කලාද?"
ඔයා කිසි ගානක් නැතිව උත්තර දෙනවා"අනේ නෑ තාත්ති!"
"කමක් නෑ! ඊළඟ මැච් එකට ගනී!"මම මගේ දුක සඟවා ගත්තා.
වතුර ගෙනගිය එක උනත්; පුතේ ඔයා කලේ සතුටින් වගකීමකින්.
ඔයා ඒ ගැන අසතුටක් දුකක් පෙන්නුවේ නෑ.
ඔයා හවසට කියන දේවල් වලින් මට එහෙමයි තේරුණේ.
මෙහෙම මාස කිහිපයක කාලයක් යනකොට ඔයාට කන කැස්බෑ විය සිදුරින් අහස බලන්නාසේ ලැබුණු තරඟයකදීත් ඔයා අසමත් වෙනවා!
මේ ගැන හිතලා හොඳ පෞද්ගලික පුහුණු කරුවෙක් හොයා ගන්නවා රාගමින්.
රාගම ක්‍රීඩා සමාජයේ පුහුණු කරු සංජීව මහතා.
ඔහු කාලයකට පෙර නාලන්දාවේ පුහුණු කරු.
පාසලේ පාලන අධිකාරියේ හා ආදි ශිෂ්‍යයන් සමග සිදුවූ මත ගැටුමකින් ඔහු පාසලෙන් ඉවත් වී සිටියා.
ඔහුගේ පුහුණු සැසි පැවැත්වූවේ රාගම බැසිලිකා පිටියේ ඉරිදා දිනයන් හී.
මම දවසක් සංජීව සර්ව හමුවෙන්න ගිහින් ඔයාට වෙලා තියෙන අබ්බගබ්බය අකුරක් නෑර කිව්වා.
ඔහු කීවා ඔයාව හැකි දිනෙක එක්කගෙන එන ලෙස!
ඔය කාලේ ඔයාටයි නංගිටයි ඉංග්‍රීසි පංතියක් තියෙනවා මහරගම.
ඒක නවත්වන්න අම්මගේ පොඩ්ඩක් වත් සතුටක් තිබ්බේ නෑ.
ඒ නිසාම ඒකට උදේ වරුව මිඩංගු උනා.
මහරගම; ඉංග්‍රීසි පංතිය අවසන් වෙලාවත්; රාගම ක්‍රිකට් පුහුණුව පටන් ගන්නා වෙලාවත් අතර තිබුනේ විනාඩි ගනනක පරතරයක්.
 ඔයාව මහරගම ඉඳන් රාගමට විනාඩි 30 ක් ඇතුලත ගෙන ආ යුතුය.
මට ඕන වෙනවා මහරගම ඉඳන් රාගමට එන්න ලඟ පාරක් හොයා ගන්න.
මේ පිළිබඳව එක එක අයගෙන් ඇහුවාම දෙන්නේ එක  එක පිළිතුරු.
ඔය කියන කාලේ අධිවේගී මාර්ගයෙන් කොට්ටාවයි කඩවතයි සම්බන්ධ වෙලා නොතිබූ කාලේ.
මම කරණ්නේ බස්නාහිර පලාතේ අඟලේ සිතියමක් හොයා ගන්න එක.
තවමත් ඒ සිතියම මා ලඟ!
ඒකෙන් හොයා ගන්නවා මහරගම සිට රාගමට එන්න තියෙන කෙටිම මාර්ගය.
ඔය කියන කාලේ  අපි ගාව තිබුනේ ඉසූසූ පැන්තර් වාහනයක්.
ඒ වාහනෙන් මේ ගමන එතරම් වේගයකින් යන්නට බැරිබව   දන්නා නිසාම  ඒක පාඩුවට විකුණලා ගන්නවා අපි ගාව කාලයක් හිටිය ටොයෝටා 106  ඩබල් කැබ් එක.
ඊළඟට  බහිනවා වැඩේට!
රාගම ක්‍රිකට් ඇකඩමිය තිබුනු බැසිලිකා ක්‍රීඩාංගනයට අපි දෙන්නා ගිහින් හමු වුනා සංජීව සර්ව.
සංජීව සර් කියන්නේ ග්‍රවුන්ඩ් එකටම පිච්චුනු කට්ට කලු අයෙක්.
ඔයාව මම සංජීව සර් ලඟට එක්කගෙන ගිහින් හඳුන්වලා දුන්නා!
එයා ඔයාට පෑඩ්ස් දාගෙන එන්න කියලා එයාගෙ පන්දු යවන බල ඇනිය ක්‍රියාත්මක කලා !
පලමුවෙන්ම පන්දු එවන්නේ 17න් පහල වගේ දරුවෙක්.
එයා තමන්ගේ සීමාවට ඇවිදගෙන යනකොට ඔයා මා දිහා බැලුවා මතකයි.
මම ඔයාට මගේ දකුණු අත තදින් මිට මොලවා මුහුන ඉදිරියට ගෙනඔයාව දිරිමත් කලා.
ඔයා කිසි චකිතයක් නැතිව වේගයෙන් දිවගෙන ඇවිත් යොමු කල පන්දුවට වැරෙන් පහරක් එල්ල කලා මට මතකයි.
මේ විදියට ඔයා හොඳින් පන්දු විස්සකට  තිහකට පමන මුහුණ දුන්නා නානාප්‍රකාරයේ පන්දු යවන්නන්ගේ.
පසුව ඔයාව විකට්ටුවෙන් ඉවතට ගන්නා සංජීව සර් මා හටත් කථා කලා !
සර් කථා කරණ කොට මම එතන!

"මෙයාට හොඳට බැට් කරණ්න පුළුවන්. අයි එක හොඳට තියෙනවා. හොඳට බෝලෙට එලවලා ගහනවා. ඒත් මෙයා ලඟට බෝලෙ එනකොට මෙයා කන්ෆියුස් වෙනවා මේ ෂොට් එක ගහන්නද- අර ෂොට් එක ගහන්නද කියලා! මෙයාගෙ ෂොට් සිලෙක්ෂන් එක හරි නෑ! මේ වයසෙදි ඕනෙවට වඩා ෂොට් ප්‍රැක්ටිස් කලාම ඔහොම වෙනවා! අපි ඒක හිමීට හදමු! මෙයාගෙ උසෙන් ප්‍රයෝජනයක් අරණ් බෝලර් කෙනෙක් විදියට ටීම් එකට රිංගවමු!" මේ සර්ගේ වචන!

ඔයා එදා ඉතිරි පැය දෙක තුන වේග පන්දු යවන්නෙක් ලෙසට පුහුණු උනා.
ඉන් පසුව යෙදුණු සෑම ඉරිදා දිනයකදීම පාහේ අපි දෙන්නා හවස් වරුව ගත කලේ රාගම බැසිලිකා විදුහල් ක්‍රීඩා පිටියේ.
ඔයා පන්දු යවන්නෙක් ලෙසටත් පන්දුවට පහර දෙන්නෙක් ලෙසටත්  ටිකෙන් ටික වැඩෙනවා.
මේ අතරේ පාසලේ ක්‍රිකට් පුහුණුවීම් වලදි ඔයා පන්දු යවන්න පටන් අරණ්.
ඊළඟට එළඹුනේ අවිස්සවේල්ල සීතාවක මහා විදුහල සමග එම භූමියේ පැවති තරගය.
අනේ දෙයියනේ!ඔයාව පන්දු යවන්නෙක් විදියට කණ්ඩායමට තෝරා ගෙන තිබුනා.
මමත් ඔයාගෙ අම්මාත් තව දෙමව්පියන් බොහෝ දෙනෙකුත් සමග අපි ගියා තරගය බලන්න අව්ස්සවේල්ලේ!
කාසියේ වාසිය දිනාගත්තේ සීතාවක කණ්ඩායම.
ඔවුන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.
විනිසුරුවන් දෙපල ක්‍රීඩා පිටිය මැදට ආවා.

ඔයාට වාසනාව ගෙන ආ ඉටු දෙවි දෙපල!
ඔයා ඇතුළු නාලන්දා 13න් පහල කණ්ඩායම නායකයා පෙරදැරි කරගෙන පිටිය මැදට ගොස් තම තමන්ගේ පන්දු රකින ස්ථාන කරා ගියා.
කඩුළු රකින්නා කඩුල්ල පසුපස.
ආරම්භක පන්දු යවන්නා අත පන්දුව.
ඔහු පන්දුව රැගෙන තම පන්දු යවන සීමාව තෙක් පියවර මනිමින් ගොස් ස්ථානය ලකුණු කර ගත්තා.
එතැන් සිට ඔහු පන්දුව ගෙන  දිව ගෙන ඇවිත් පන්දුව කඩුළු රකින්නා අතට යනසේ  යොමුකලාකිසිදු හේතුවක් නැතිව.
පන්දුවට පහර දෙන සීතාවක පිලේ ආරම්භක පන්දුවට පහරදෙන්නන් ඒ වන විටත් සිටියේ ක්‍රීඩාගාරය තුල.
ඉහත අපගේ ආරම්භක පන්දු යවන්නාගේ විනය විරෝධී ක්‍රියාව දුටු ප්‍රධාන විනිසුරු නාලන්දාවේ නායකයාව කැඳවා; අපගේ ආරම්භක පන්දු යවන්නා හට පැයක පන්දු යැවීමේ තහනමක් පැනවූවා!
අපගේ කණ්ඩායමේ නායකයා හට ඊළඟට කුමක් කලයුතු දැයි හිතා ගන්නට නොහැකිව කලබල වෙලා!
නායකයා විසින් හතරේ සීමාවෙන් ඔබ්බෙහි සිටි අපගෙ කණ්ඩායමේ පුහුණු කරු ඉමල් බොතෙජු වෙත දැන්වූ අතර ඔහු; කිසිදු කලබලයකින් තොරව ආරම්භක පන්දු ඕවරය යැවීමට වෙනත් ක්‍රීඩකයෙකු නම් කලා.

ඉමල් බොතෙජු මහතා
"වසිකට දෙන්න දාන්න!"
මට "අම්මට සිරි!" කියැවුනා පුතේ.
මම අම්මාට කථා කොට පවසුවා "වසික බෝල් කරණ්නේ! වසික බෝල් කරණ්නේ!!" කියලා.
මටම හිතා ගන්න බෑ මේක හීනයක්ද කියලා!
ඔයා පන්දු යවන් සීමාව වෙත සෙමෙන් සෙමෙන් පිය මැන්නා.
සුපුරුදු පරිදි දිව ඇවිත් පළමු පන්දුව එව්වා.

ලකුණක් නෑ!

නැවතත් දෙවන පන්දුව එවීමට සූදානම්.
දෙමව්පියන් සියල්ල ඔයාට චියර් එක!
මම නිහඬව බලා හිටියා.

දෙවන් පන්දුවෙන් ඔයා වාසනාව නෙලා ගත්තා.
ඔව් ස්ලිප් ක්‍රීඩකයෙකු වෙත උඩ පන්දුවක් !

තෙවන පන්දුව විකට්ටුවේ වැදුනා.

දැන් ඔයා පලමු ඕවරයෙන් විකට දෙකක් අරණ් ඉවරයි.
සිව්වන පන්දුවට උඩ පන්දුවක් ලබා දුන්නත් එය රැක ගනීමට බැරි වූවා.
නැවතත් ඔයාගේ දෙවන හෝ තෙවන පන්දු වාරයේදී විකට්ටුවක් ලබා ගත්තා.
සියල්ල විකට් තුනක්!

තරගයෙන් ජයගත් කණ්ඩායම. දෙවන පෙල වමේ සිට දෙවැනියා 
වසික
තරඟය නිමා වූයේ නාලන්දාවට ජය ගෙනදෙමින්.
ඊළඟ තරඟය්යේ සිට ඔයා සුපුරුදු ලෙස පිත්තෙන්ද දස්කම් දක්වමින් කණ්ඩායමේ ඔයාට ස්ථානයක් වෙන් වූවා!


Sunday, October 18, 2020

184. යතුරු . . . . . . !




දොර 

විවර 

කල

    යතුරු  ;

දොර 

වසා

ඇත  

 මිතුරු !

Wednesday, October 14, 2020

183. හතරවැනි ඇන් ඇක්සිඩන්ට් එක!

 

                                                           සයිකලයෙන් පියෑඹීම!

අනතුරු ගැන කියන කොට; මට සිද්ධ වුනු සුපිරිම ඇක්සිඩන්ට් එකක් තමයි; රත්මලානෙ මැලිබන් හංදියේදී උනේ.

ඒක රසවත් නොවුනත් එක විදියක කථාවක්.

2018 වසරේදී මා සේවය කල ආයතනයෙන් මාහට හදිසි මාරුවක් ලබෙනවා රත්මලාන ශාඛාව ට.

මේක තිබුනේ රත්මලානෙ සොයිසා පුර මහල් නිවාස ඉදිරිපිට මාලිගාව පාරේ.

ඒ කාලෙත් මම කඩවත ඉඳන් ඔරුගොඩවත්තට වැඩට ආවේ සයිකලයෙන්.

ඉතින් මාව හදිසියේ රත්මලානට දැම්මා කියලා සයිකල් පදින එක නවත්වන්න මම කැමති උනේ නෑ.

මම දිනපතා කඩවත ඉඳන් රත්මලානට වැඩට ගියා.

ඔව් යන්න විතරක් කිලෝමීටර 40 ක් !

යන්න එන්න 80 ක් !!

ඉතින් මේ විදියට දිනපතා සයිකලයෙන් මම වැඩට යන්න පටන් ගත්තා.

කඩවතින් උදේ 6.00 ට පිටත් වෙන මම බම්බලපිටියට එනවා පැයට.

එතනදි උනුසුම් හුස්මක් ගෙන ලය සැහැල්ලු කරගෙන ආයෙමත් ගාලු පාරදිගේ පදිනවා රත්මලානට.

රත්මලාන කිව්වාට කටුබැද්දේ වැට මායිමට.

එදා ගෙදරින් පිටත් වීමටම පරක්කුවූ දිනයක්.

මම බම්බලපිටියේ ඉඳන් එකසිය ගානට පැද්දා.

වැල්ලවත්ත විලියම්ස් මිරිස් මෝල ලඟ ඉඳන් දෙහිවල නිහඬ අරණ හෙවත් කනත්ත පහු කරනකල් සයිකලයක් පදිනවා කියන්නේ උපරිමයට මල පනින සීන් එකක්.

ප්‍රයිවෙට් බස් උතුමන්ලා, ත්‍රීවීල් දෙවි වරු, මෝටර් සයිකල් පදින අයියලා එකී මෙකී නොකී සියල්ලෝම එක පොදියට රේස් පදින ඉසව්ව මේ කිලෝ මීටර දෙක තුන.

මේ සියල්ලටම වඩා එළකිරිම සිද්ධිය උනේ පේමන්ට් එකේ වෙලහෙළදාම් කරණ බාප්පලා පුංචි අම්මලා දෙන ආතල් එක !

මොකද සයිකලයෙන් වැඩට යන්න පුරුදු  පුහුණු වුනු මුල් කාලයේදිම මම ඉගෙන ගත්තු එක පාඩමක් තිබුනා. ඒක තමයි බස් පස්සෙ ගිහින් කවදාවත්ම වෙලාවට වැඩට යන මිනිහෙක් වෙන්න බැරි බව !

ඒනිසාම පාර හිරවී ඇහිරී ගිය අවස්ථා වලදී පේමන්ට් එක උඩට දාගෙන පැදගෙන යෑම මගේ පුරුද්දක් උනා.

ලොකු බස් අතර කුඩා මෝටර් රථද ඒ අතර ඉඩට රිංගවූ ත්‍රී වීල්ද ත්‍රී වීල් යන්නට ඉඩක් නැති තැන සක්ක ගැසූ මෝටර් සයිකල් ද සිරවුනු මහ පාර දිස්වුනේ; තේ වතු හරහට හෝදා පාළුව වලකා ගන්න බැන්ද සක්ක ගල් බැම්මක් වගේ.

ඉතින් මේ නිසාම බයිසිකලයකට, පා පැදියකට හෙවත් පුටාර් එකකට තබා පයින්  යන එකෙකුටවත් ඉදිරියට යෑම වැළකුනා.

මේ වගේ අවස්ථාවලදී අර පේමන්ට් එක උඩට සයිකලය නංවාගෙන ඉගිලී යාම පොඩි ආතල් දනවන කාර්‍යයක්.

මිලියන ගනන් වියදම් කරලා ගත්තු බෙන්ස්, බීඇම්ඩබ්ලිව්, ලෑන්ග් කෲසර් වී එයිට් වල පුපුර පුපුරා අසරණව ඉන්නා නෝන මහත්වරු පහු කරගෙන ගැම්මට පැදගෙන යන එකේ තියෙන්නෙත් අමුතුම ආතල් එකක් !

මේ කියන කිසිදු සෙල්ලමක්; මම අර කලින් කියපු ස්ට්‍රෙච් එකේදී දාන්න බෑ.

මොකද දෙහිවල හන්දියේදී පේමන්ට් එක උඩ සයිකල් පදිනවා කියන්නේ; කොස් මැල්ලුම් ලියන ලෑල්ලක් උඩ මැල්ලුම්  වෙන සයිස් කේස් එකක් ! 

නැතිනම් මාළු ලෑලක් උඩ !!

ඉතිං ඒ නිසාම මේ හරිය ඉක්මනින් පහුකරගෙන යන්න ඕන දවස මෝරන්නට කලින්.

සීරුවට ! මාරුවට !!

ඒත් එදා නොසිතපු විදියට පරක්කු වෙලා දෙහිවල පහුකරණකොට පරක්කුව "වර්ග" වෙලා තිබුනේ.

මම ගල්කිස්ස  හෝටල් පාර අසල ලයන් පබ් එකේ සිංහයා පහු කරන කොටත් අට හමාරට කිට්ටුවෙලා.

දෙහිවල හංදිය පහු කරන තැන ඉඳන් පටන් ගන්න කන්දේ උච්චස්ථානය කෙළවර වෙන්නේ ගල්කිස්ස උසාවිය ලඟින්. එතැන් ඉඳන් පොඩි බැස්මක් තියෙනවා. ආයෙත් නැග්ම පටන් ගන්නවා ගල්කිස්ස හංදියට වෙන තුරු!

මේ නැග්ම අත්විදින්නනම් සයිකලයක් පදින්නම වෙනවා.

ඒ නැග්ම නැග්ගාම ඒකට පොලියත් එක්ක ලැබෙන්නේ පල්ලම.

ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාර ලඟ ට්‍රැෆික් ලයිට් එක ගාළුපාරට අවනත වෙලා තිබුනෝතින්; හංදියේ සුපර් මාර්කට් එක ලඟින් ගන්න ගැම්ම රත්මලාන පහුවෙන කල් තියා ගන්නට පුළුවන්.

එදාත් පුරුදු පරිදි වේගය වැඩිකරමින් පල්ලමට එන්ටර් වුනු මට කොල එළිය ආශිර්වාදයක් වුනා.

ගල්කිස්ස  පොලීසිය  පහුකලේ ඊ ගහේ වේගෙන්. 

එතන ඉඳන් පොඩි ට්‍රැෆික් එකක් තියෙනවාමයි මැලිබන් හංදිය පහු කරණා තුරු.

නමුත් ඒ හරියේ පාර තරමක් පළල් නිසාත් මැද පේමන්ට් එක නැති නිසාත් සයිකල් කරුවෙකුට එය ඒතරම්ම බාධාවක් උනේ නෑ.

මම ඒ වෙලාවේ පැද්දේ ගාල්ල දෙසට දිවුනු මං තීරුවේ මැදින්.

ඉදිරියේ තිබුණු වෑන් රියත් බසයත් අතරින් උපරිම වේගයෙන් පැදගෙන ආ මම එක වරම අවතීර්ණ උනේ පෙර කී පරිදි සක්ක ගල් බැම්මක් ඉදිරියේ.

මේ තැන හරියටම කියනවානම් මැලිබන් හංදියේ මැලිබන් ෆැක්ටරියට මෙහා පැත්තෙන් යන ධර්මාරාම පාර ගාව.

සයිකලය හරවා ගැනීමට වත් වෙලාවක් තිබුනා නොවේ.

ඉදිරියෙන්ම වූයේ  "ඇරගෙන එන්නේ ඇනගෙන යන්නද?" මොඩලයේ සොඳුරු ආමන්ත්‍රණයක් ලියැවුනු ත්‍රී වීලරයකි.

මා එක වරම බ්‍රේක් ගැසුව මුත් සයිකලය හරස් වී ගිය වේගයෙන්ම ත්‍රී වීලරය දෙසට හිම ක්‍රීඩා කරමින්ය.

ත්‍රී විලරය පාර් මැද නොසෙල්වී ලැගගෙනය.

ත්‍රී වීලරය දුටු මොහොතේ සිට ඉන් පසු සියළු ජවනිකා ෆාස්ට් ෆෝවර්ඩ් වීය.

සයිකලය මත ඉගිල්ලෙන මා සිතා හෝ නොසිතා ගැටීම වලකා ලීමට හෝ අනතුර අවම කරගැනීමට දකුණු අත දිගු වුනෙමි.

වේගයෙන් ඇදී ගිය සයිකලය හා මා හෙන ගහන්නාක් සේ නවතා තිබුණු ත්‍රී වීල් රාජයාගේ පශ්චාත් භාගය මත පත් බෑ වුනේය.

වඩාත්ම සිත් ගන්නා සුළු කාරණය වූයේ මාගේ හුදු මහත් ශරීරය හා සයිකලය ත්‍රීවීලරයේ පසුපස පතබෑවීමට පෙර දකුණු අත සියල්ල පෙරදැරි කරගෙන ගොස් ත්‍රී වීලරයේ පසුපස වීදුරුව මතට සියලු සම්ප්‍රයුක්ත බලයයන් මුදා හැරීමයි.

කොටින්ම මුළු ඇඟේම බර වීදුරුව මත අත මගින් අත ඇරීමය !

ක්ෂණිකව වීදුරුව බිඳී ගියේය.

උල් පිහි සේ තියුණුව බිඳී ගිය වීදුරු කෑලි අතරින් මාගේ දකුණු අතෙහි ඉහළ බාහුව තෙක් ත්‍රී වීලරය තුලට කිඳා බැස්සේය!

මාගේ දකුණි අතෙහි ඉහල මස් ගොබය හරස් අතට කැපී ලේ ගලමින් විය!

කුමන ආශ්චර්‍යයකින්හෝ මා බිම ඇද නොවැටුනි. එසේ වූවානම් වීදුරුව බිඳී යාමේදී තුවාල වූවා සේම නැවත අත එලියට ඇදී ඒමේදීද හානි වීමට ඉඩ තිබුණි.

වීදුරු කටු අතරින්ම මා අත බේරා ගත්තෙමි.

මාගේ දෙ අත් වැසී තිබුණු ආදරණීය අත් වැසුම් වලට පින් සිදුවන්නට අත්ලට සීරීමක් හෝ නොවීය.

ගැලු රුධිරයෙන් ත්‍රී වීලරය තුල රත් පැහැ ලප කැලල්ය!

ආත්ම පූජා!

වට පිටාවේ සිටි හුදී ජනයා මොහොතකින් එතැන.

මා සයිකලය කෙලින් කරගෙන අසල කඩයක බිත්තියට හේත්තු කර ගත්තෙමි.

කැපුනු ස්ථානයේ රතු මස් විවර වී ගොසින් ය!

සිද්ධිය ට නරඹන්නන් සිටියද අවස්ථාව කළමනාකරණය කර දෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවේ. එහෙයින් මා සිහිය එළවා ගත යුතු ව ඇත. පලමුව මා මගේ හදවත අමතා මා පත්වී ඇති තත්වය පහදා දුනිමි. හදවත සිද්ධිය කළමනාකරණය කිරීමට මාගේ බුද්ධිය මෙහෙයවමින් විය. බුද්ධිය විසින් මාහට මත්ක් කල යමක් විය.

ඒ මාකලක සිටන් දිනපතා පුරුද්දක් ලෙස ගිල දමන කාඩිප්‍රීන් පෙත්ත පිළිබඳවයි.

කාඩිප්‍රීන් යනු ඇස්ප්‍රීන් අන්තර්ගත ඖෂධයකි.

එයින් සෘජුවම කරණු ලබන්නේ රුධිරයේ කැටි ගැසීම පමා කිරීම හෝ වැලැක්වීමය. එයට බාධාකිරීමය. මග ඇහිරීමය.

එසේනම් මා වාහාම කලයුතු වන්නේ හැකි ඉක්මණින් ලේ ගැලීම නවතා ගැනීමය.

ඒ සඳහා රෝහලක් වෙත යෑමය.

මගේ වාසනාවට  ධර්මාරාම පාර අයිනේම  ත්‍රී වීල් නැංගූරම් පොලකි.

එහෙත් එතන ඒ වෙලාවේ තිබුනේ එකම එක යාත්‍රාවක් පමණි.

සයිකලය හේත්තු කල බිත්තිය අයත් කුඩා කඩයටම සයිකලය බාර කල මා පෙර කී ත්‍රී වීලරය දෙසට ඉක්මණින් දිව ගියෙමි.

" අනේ මාව ඉක්මනින් ඉස්පිරිතාලෙකට දානවාද? "

"මට දැන් හයර් එකක් තියෙනවානේ!"

"මගේ ලේ කැටි ගැහෙන්නේ නෑ! ඒ හින්දා ඉක්මණින්ම යන්න ඕන!"

"අනේ වෙන එකක් බලන්නකෝ!"

බලාපොරොත්තු හිතුවාටත් වඩා සාර්ථක ලෙස කඩා වැටෙද්දී මා නැවත පාර දෙසට හැරුණෙමි.

සරමකින් හා කමිසයකින් සැරසුනු වයසක පහේ තලතුනා මහත්මයෙකු - මමා කෙනෙකු පැදගෙන ආ ත්‍රීවීලරයක් අතුරු පාරෙන් ගාලු පාරට අවතීර්ණ වෙමින් විය.

ඔහු සිද්ධිය පිළිබඳ විපිළිසර වෙමින් විය.

මා එහි විපුල පල නෙලාගන්නට ඔහු දෙසට නැඹුරු වුනෙමි.

"අංකල් අනේ මාව . . . ."

"දෙයියනේ හොඳටම ලේ ගලනවා නේද? නගින්න! නගින්න!! ඉක්මනට කළුබෝවිලට යමු"

රතු ලේ!

ලේ නොනවත්වා ගලමින් අවට පොලොව මත රටා මවමින්ය!

කියනු පමාවෙන් මා ත්‍රීවීලරයට නැග ගත්තෙමි.

ත්‍රී වීල් මාමා ස්වකීය තරුණ කාලය නැවත ආරෝපනය කරගනිමින් ධාවනයේ යෙදෙන්න විය.
මමාගේ වයසට සාපේක්ෂව ඔහුගේ තරුණ කාලයේදී රථවාහන ධාවනය කලේ වේගයෙන් වුවත් වඩාත් ප්‍රවේශම් සහගත හා වගකීමකින් යුතුවය.

ඔහු කිසිම අවස්ථාවක වගකීමකින් තොර; අපරික්ෂාකාරී ලෙසකින් ධාවනය නොකලේය.
ගාලු පාර මග ඇර මා නොදන්නා එහෙත් ඔහු මනා කොට දන්නා කුඩා පාරවල, වීථි, දෙවැට වල්, අතුරු මාර්ග අතරින් පදවා පැමිණ කළුබෝවිල රෝහල අසලින් මතුවිය.

ත්‍රී වීලරයෙන් බසින සුනංගුවට මා ගේට්ටුවෙන් ඇතුලට අඩියට දෙකට ගියෙමි.

"අනේ දෙයියනේ . . . . . . !?"

ලේ ගලන අත ඉහලට ඔසවා ගත් මම ඇටන්ඩන් නංගී කෙනෙකුගෙන් හදිසි අනතුරු අංශය සොයාගෙන එතැනට ගියෙමි.

"ඉස්සරහ කාමරේ ටැප් එකක් තියෙනවා. තුවාලෙ හොඳට හෝදගෙන එන්නකෝ!"
එතැන සිටි වෛද්‍ය වරිය පැවසුවාය.

මා ඉදිරිපස වූ කාමරයට ගොස් කරාමයට අත අල්ලා හෝදා ගතිමි. 
අනේ දැනුනු අධ්‍යාත්මික සුවය . . . . . .!

ඉක්බිතිව කුඩා වාට්ටුවේ ඇඳක හොවා මසන්නට විය.

දම්වැල් මැස්ම

මැහුම් දහයක්; ඉරුණු සරමක් මසන ලීලාවෙන් වෛද්‍යතුමිය බුහුටි ලෙස මසා නිම කලේය.

ඒ වන විට රැකියා ස්ථානයෙන් බ්‍රේක් ඩවුන් සඳහා දුවන  මිට්සුබිශි L200 සිංගල් කැබ් එක ගේට්ටුව ලඟය.

මා ඔවුන් සමගින් නැවත රත්මලාන මැලිබන් හංදියට ගොස් සයිකලය පැදගෙන වැඩට ගියෙමි.

වැඩපොලේ හිත මිත්‍රාදීන්ට කයි කතාන්දරේ කියා වරුවෙන් සයිකලේ පැදගෙන ගෙදර ආවෙමි.

ඉස්පිරිතාලයට ගොස් නැවත සයිකලය ගැනීමට මම කීයට හෝ එනතුරු බලා සිටි අයෙකු විය.
ඒ අන්කිසිවෙකු නොව මා ගැටුනු ත්‍රී වීලරයේ පදවන්නාය!

ඒ වෙන කිසිවකට නොව  බිඳුනු වීදුරු කෑල්ලට අලාභය වශයෙන් රුපියල් 300ක් ඉල්ලා ගැනීමටය!

අපරාදෙ වීදුරු කෑල්ල . . . . !


Monday, October 5, 2020

182. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (සිව්වැන්න)

ඔයයි නංගියි ලක්ශිකායි මධුශිකායි

ඔයා මුල්කාලෙ ගියේ කිරිබත්ගොඩ සත්මග පෙර පාසලට. ඔයා පෙර පාසලේ හොඳින් ඉගෙන ගත්තා.

චිත්‍ර ඇන්දා. පාට කලා. අකුරු ලිව්වා. කවි ගීත ගායනා කලා.

මේ කොයි දේ කොහොම උනත් මම ඔයාව නාලන්දා මව් තුරුලට යවන්න වෙනමම උත්සාහයක නිරත උනා. මම නාලන්දාවේ ආදි ශිෂ්‍ය සංගමයට බැඳෙන්නේ විවාහයටත් කලින්. මට පුදුමාකාර විශ්වාසයක් තිබුනා මට හමුවන පළමු දරුවා පුතෙක් වේවි කියලා. අවුරුදු ගනනාවක සිට;ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධාන කල සෑම ඉසව්වකම මා ක්‍රියාකාරී කාර්‍යයක් ඉටු කලා.

පාසැල් වලට දරුවන් ඇතුල් කරගන්නා කාලය එළඹෙන විට අප අයදුම් පත් දැම්මේ නාලන්දාවට විතරයි. දැං හිතන කොට ඒක අමනෝඥ්ඥ ක්‍රියාවක් වගේ පෙනුනත් ඒක සිදු වුනේ නොසිතාම වගේ. ඔයාට කියන්න; ඉස්කෝලෙ පංති දෙකයි ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් වෙන් උනේ. ඒ කියන්නේ; අවස්ථා  96 ක් වගේ. 100ක් කියලා හිතමුකෝ!

ඒක තෝර ගත්තේ ලකුණු  රටාවකින්. ඒකට ආදි ශිෂ්‍ය සංගමයෙන් අපට ලබාදුන්නා පිටු 10ක විතර අයදුම් පත්‍රයක්!පාසලේ මා සිටි වසර ගනන, මම සමත්වූ විභාග, සම්බන්ධව කටයුතු කල සංගම් සමාජ ආදී කටයුතු, ශිෂ්‍යනායක, පංති නායක වැනි පදවි, කල ක්‍රීඩා, හෙබවූ නිළතල ඊළඟට ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය දැරූ වසර ගනන, දැරූ නිළ තල, සහභාගී වූ ව්‍යාපෘථි, පාසලට කල ද්‍රව්‍යමය ආධාර ඔය වගේ පරාමිති/ නිර්නායක රාශියක් ඔස්සේ ලකුණු එකතු කරලයි මේ දරුවන් 96 තෝරා ගත්තේ!

ඉතිං ඔයාට කියන්න මමත් මේ අයදුම් පත්‍රයේ ඡායා පිටපතක් එහෙම අරගෙන පුරවන්න පටන් ගත්තා. පුරවගෙන බාගෙට පුරවාගෙන හිස්තැන් තියාගෙන නැවත ආදිශිෂ්‍ය රැස්වීම පැවැත්වූ දිනෙක  අරගෙන ගියා.

මෙම අයදුම් පත්‍රයේ තිබුනා කොටස් දෙකක් ලකුණු 5 බැගින් ලැබෙන.

1.පාසලට කල ද්‍රව්‍යමය ආධාර

2.පාසලේ ව්‍යාපෘථි සඳහා කල අධාර; යනුවෙන්.

සමිතියේ ලේකම් තැන විසින් මෙහි පලමු කොටස විග්‍රහ කොට දැනට පාසලේ පවතින අඩුපාඩු ගැන විස්තර කරණ විට මා අසල සිටි ආදි ශිෂ්‍යයෙක් සිමෙන්ති කොට්ට 400ක ලොරි ලෝඩ්  එකක් භාර ගත්තු හැටි මට අද වාගේ මතකයි. එකිනෙකා පරයමින් මෙසේ ද්‍රව්‍යමය ආධාර භාර ගනිද්දී මා නිහඬව සිට සතියකට පසු පාසලේ පුස්ථකාලයට "මලලසේකර" ඉංග්‍රීසි - සිංහල ශබ්ධකෝෂයක් ලබාදී එම මුළු ලකුණු ප්‍රමාණයම ලබා ගත්තා!

ව්‍යාපෘථියත් එසේමමයි.

උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියන්නාක් මෙන් මා වැඩි වියදමකින් තොරව අයදුම් පත්‍රය සාර්ථකව පුරවාගත්තා. මේ හැම කටයුත්තකදීම සිසිර දාබරේ මිත්‍රයා මට බෙහෙවින් උදව් උපකාර කලා! ඔහු ඒකාලෙ සංගමයේ ප්‍රධාන ලේකම්!

පාසැලට දරුවන් ඇතුළු කරගන්නා සම්මුඛ පරීක්ෂන දිනයත් එළඹුනා කියන්නකෝ. මමත් ඔයාගෙ අම්මාත් ඔයාව ලස්සනට අන්දගෙන එක්කගෙන ගියා නාලන්දෙට. ඉන්ටර්වීව් එක පැවැත්වුනේ මලලසේකර ශාලාවේ ඉදිරිපස කොටසේ - ලෝන්ජ් එකේ.

අපේ කාලෙත් හිටපු පැරණි ගුරුවරු ගුරුවරියන් කිහිප දෙනෙක්, එකල විදුහල්පති, උප විදුහල්පති, ආදිශිෂ්‍ය සංගමයේ  ප්‍රධාන සංවිධායක වැනි මඩුල්ලක් ඉදිරියේ අපි වාඩි උනා.

එතන හිටියේ ඈපා සර් - අපේ කාලයේ ගුරුභවතෙක්.

"ආ! තමුසෙ?"

එහෙම තමයි මාව පිළි ගත්තේ.

ඈපා සර් මුළු ෆයිල් එකම උඩින් පල්ලෙන් බලලා අනිත් අය වෙතට දුන්නා. ආදිශිෂ්‍ය සංගමයේ එකල ප්‍රාධන සංවිධායක සමන්ත ජයවීර; මා කල කී දෑ ගැන හොඳ වර්ණනාවක් කලා.

අන්තිමට ඈපා සර් මගෙන් ඇහුවේ මාර ප්‍රශ්ණයක්.

"මොනවාද තමුසෙ ඉස්කෝලෙට කරලා තියෙන්නේ?"

මම මගේ සාක්කුවේ තිබුණු ලේ බැංකුවෙන්; නාලන්දාවේ පැවැත්වුනු ලේ දන්දීමේ පිංකමකදී නිකුත් කල; රතු පැහැති කුඩා පොත් පිංච එලියට ගත්තා.

"සර්! මම මගේ ලේ මස් නහර පවා ඉස්කෝලෙ වෙනුවෙන් දන් දුන්නු කෙනෙක්!"

සර්ටයි එතන හිටිය තව ගුරු භවතුන්ටයි හිනා!

"හරි දැං තමුසෙ මේ ඉන්ටර්විව් එකෙන් පාස් උනොත් ඔයා ඉස්කෝලෙට මොනවද කරණ ආධාර?"ඊළඟට ඈපා සර් ඇහැව්වා!

"ඉතිං සර් මේ ඉන්ටර්විව් එක පාස් උනොත් මම මේ ඉස්කොලෙට දෙන්නේ මගේ ජීවිතේ තියෙන ලොකුම වස්තුව තමයි - මේ මගෙ දරුවා!"

සර්ටයි අනිත් අයටයි බඩ අල්ලං හිනා.

ඊට මාස ගනනාවකට පස්සේ ගෙදරට ලියුමක් ආවා - ඔයාව ඉස්කෝලෙට තෝර ගත්තා කියලා. 96ක් අතුරින් තිස් ගනනකට මට ලකුණු ලැබී තිබුනා.

ඒවා මතක් කරණ කොටත් රසබර මතක!ඉස්කෝලෙට ඔයා තේරෙණ්නට කලිනුත් මම ඔයාව එක්කගෙන ගිහින් තිබුනා නාලන්දෙට. එක වරක් පාගමනට. ඒනිසා ඔයාට ඉස්කෝලෙ වැඩි අමුත්තක් නොතිබෙන්නට ඇති.


ඔයාව වැටුනේ ලීලාරත්න ටීචර්ගෙ පන්තියට. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරු මවක්. එතුමිය කිසිදු දරුවෙකුගේ හිත නොරිදවා යහ මගට ගත් ගුරුවරියක්. මට අද වගේ මතකයි ඔයාලට පලමුවෙන්ම ලිලාරත්න ගුරුතුමිය ඔයාලට ඉගෙන්වූ පාඩම. ඒක තමයි බුදුන් වඳින හැටි!දෙ අත් නළලේ තබා වඳින හැටියි ඉගැන්වූයේ.


ඔයාගෙ පලමු පාසල් මිතුරා උනේ සනෝජ්;.

ඔයා කුඩා කාලේ ගෙදර රූපවාහිණියේ ඔයාට බලන්න ඉඩ දීලා තිබුනේ ළමා වැඩ සටහන්  සහ ප්‍රවෘථි විතරයි. ඒකාලේ රුපවාහිණී චැනල් එක විතරයි අපි බැලුවේත්. රූපවාහිණියේ ගිය ටයිටස් තොටවත්ත මහත්තයාගේ හා අතුල රන්සිරිලාල් මහත්වරුන්ගේ හඬකැවීම් පෙළහර මත ගොඩනැගුනු ලස්සන වැඩසටහන් බොහොමයක් තිබුනා. ගීත සඳහා නිර්මාණය වුනු රූප රචනා උවත් කිසියම් සංවරයකින් තමයි ඉදිරිපත් වූයේ. මේ ප්‍රවෘථි බැලීම තුලින් ඔයා ලොකය හා රට පිළිබඳව කරුණු කාරණා රාශියක් ඉගෙන ගෙන තිබුනා. ඒකාලේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරුන් වූ  කොෆී අන්නන්, බැන් කී මූන් වැනි අයව පවා හඳුනාගෙන තිබුනා.

මට තාම මතකයි ඔයා වයස අවුරුදු 10ක විතර කාලේදී; දවසක් ශානක අංකල් ගෙන් අහනවා "අංකල් දන්නවාද එක්සත් ජාතීන්ගේ මහලේකම් කවුද කියලා?

ශානක ඒකට උත්තර දුන්නේ "අනේ නෑනෙ! ඔයාම කියන්නකෝ!" කියලා.

"බන් කී මූන්!" ඔයා උත්තර දුන්නා. ඊට පස්සෙ  ඔයා ශානක අංකල්ගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවා.

"අංකල් දන්නවාද ඒක මම මතක තියාන ඉන්න හැටි?"

"ඒ කොහොමද?"

"බනිස්, යතුර, හඳ කියලා......! තාත්ති කියලා දුන්නේ...............!!" 

ඇත්තටම මම එහෙම ලේසි විදියට තමයි ඔයාට මතක තියාගන්න කියලා දීලා තිබුනේ. ඒ උනත් ඔයා එහෙම ශානක අංකල් ඉස්සරහ කිව්වාම මට පොඩි ලැජ්ජාවකුත් ආවා!

ඔයාට මතකද ශානක අංකල් ඒකට දුන්නු උත්තරේ? ඇත්තටම එයා උත්තර දුන්නේ ඔයාට නොවේ - මට!

"මචං දැන් අළුතින්ම හොයාගෙන තියෙන්නේ යමක් මතක තියාගන්න ඕන නම් අන්තිම මෝඩ විදියට ලේබල් කරගන්න කියලා තමයි!"

මම එහෙම එයා කිව්වාට පස්සෙ නම් පොඩිත්තක් විතර ආඩම්බර උනා; දැන හෝ නොදැන මම ඔයාට හරි විදියට කියලා දීලා තියෙන හැටි දැනිලා.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...