Sunday, October 27, 2019

153. හඳ වැහැරුණු සඳ . . . . !











                                                           ඔව්,
                                                           මේ මමම මයි . . . . !

                                                           එදා නුඹ
                                                           පිරුණු හඳ ලෙස
                                                           දැක . . . ;

                                                           ආදරය කල  . . . . . . . . !



Monday, October 21, 2019

152. කළු ගඟදිගේ . . . . . . 13

"ජීවිත ආරක්ෂාව පෙරදැරි කරගෙන!"

පසිඳු පැමිණියේ යාල සිටය.
තම බුරුත මල්ල ඔසවා ගෙන ඔහුට වඩා විශාල කොට කලිසමක් ඇඳගෙන ටීෂර්ට් එකකින් උඩුකය වසා ගත් ඔහු පැමිණියේ සුපුරුදු සිනහව සමගිනි.

ඒ මාගේ වැඩපොලටය.

පසිඳුත් මමත් මාගේ වැඩපොලේ අඹයා වූ රුෂානුත් වැඩපොල අසල පිහිටි කඩයකට ගොස් ප්ලේන්ටි තුනක් බී කියවමින් සිටිමින්ම තෙශාටත් සුදා හෙවත් සුදාරකටත් කතා කොට රාත්‍රියේ පිටත් වන්නට සූදානම් වන ලෙස දැන්වූයෙමු.

තෙශා තම මාර්ග ඥානය යොදා පසුදා; එනම් 11 දා  උදෑසන 4 ට පිටත්ව  යන්නට යෝජනා කලද මා තරයේ කියා සිටියේ උදෑසන 1 ට පිටත්විය යුතු බවයි.

අපගේ සැළසුම වූයේ උදෑසන 1.00 වන විට කඩවතින් පිටත්ව උදෑසන 3.00 වන විට ඉහල නාරගල පාලම අසලට කයාක දෙක ප්‍රවාහණය කිරීමයි.
පසිඳුත් තෙශාත් අනෙකුත් සියළු අඩුම කුඩුමත් පාලම මත නිදහස් කරණ මා; ලොරි පොඩ්ඩාව ගෙන පානදුරට උදෑසන 4.00 වන විට යායුතුය.

සුදාට කතා කොට ඔහුට පසුදා; එනම් 11 උදෑසන 4 වන විට පානදුර නගරයේදී මා හමුවන ලෙසට  එකඟ කර ගත්තෙමි.

එතැනින් මම සුදා සමගින් ලොරිපොඩ්ඩා; කළුතර දකුණ පොලීසිය පසුපස වෙසෙන  මාගේ මිත්‍ර විෂ්වගේ නිවසට ඇරලවා; එතැනින් පානදුරට පැමිණ; පානදුර සිට බැල්ලපිටියට ද එතැනින් ත්‍රී වීලරයකින් ඉහල නාරගල පාලම අසලදී තෙශාත් පසිඳුත් කයාක් දෙකත් හා එකතු වීමටය.

සියල්ල එක් එකඟ තාවයකට එලඹුනෝය. පසිඳු කිසියම් අඩුම් කුඩුම කිසිවක් ගැනීමට බොරැල්ලට ගිය අතර මමද ලද ඇසිල්ලේ සිත කය ඒකාග්‍ර කරගැනීම තුලින් පසු දින කාර්‍යය සඳහා සිත කය පුබුදුවා ගත්තෙමි.

පසිඳු හා මම හවස 5.00 ට පමන වැඩපොලින් පිටත්ව නිවෙසට පැමිණියෙමු. අප දෙදෙන කයාක දෙක ලොරි පොඩ්ඩා මත පටවමින් වන අතර රාත්‍රී 7.00 පමණ තෙශාන්ත පැමිණ සුවදුක් විමසා නික්මිණි.

ජීවිතයට මාහට දෙවියන් ගෙන් ලත් විශෙෂ වරප්‍රසාද යුගලයක් වේ. ඉන් එකක් ඉතා අඩු ඇල්කොහොල් මාත්‍රාවකින්; මොළයේ සියළු සෛල පොපියන්නට පටන් ගැනීමය. මෙනිසා අඩු වසකින් උපරිම තෘප්ථියක් ලබා ගැනීමට මාහට ඉඩ ප්‍රස්ථාවක් ලැබේ. එය සෞඛ්‍යමය අතින් මෙන්ම ආර්ථිකමය අතින්ද වාසිදායක තත්වයකි.

දෙවැන්න වන්නේ හෙට දිනයේ මාහට එල්ලුම් ගස් නැගීමට තිබුනද අද දින රාත්‍රියේ හොඳින් නින්ද යෑමය!

මෙම දෙවියන්ගෙන් ලත් දෙවන දායාදය කරණ කොටගෙන මාහට හොඳින් නින්ද ගියේය. පසුදා එනම් 2019 අගෝස්තු 11 වන දින පාන්දර 12.30 ට පමණ පිබිද පසිඳුවාද ඇහැරවාගෙන ලොරි පොඩ්ඩාව පන ගැන්වූයෙමි.

ලොරි පොඩ්ඩාගේ ප්‍රධාන ලාම්පු වලට  එවකට සවිකොට තිබුනෙ වොට් 100/90 සීල් බීම් ලයිට් දෙකකි. සහයක ලාම්පු තුල දැල් වුනේද වොට්100 ක ධාරිතාවයකින් යුත් බල්බයන්ය. 
ප්‍රධාන ලාම්පු වල තිබුණු සීල් බීම් ලාම්පු වල ආයුකාලය මෙරුවෙකුගේ ජීවිත කාලයකටත් අඩක් සේය. ඉතා ඉක්මණින් ඒවා දැවී ගියේය. එදින වන විටදී ද ප්‍රධාන ලාම්පු දෙකින් එකක් දැවී ගොස්ය.
පොලීසිය්ට එක් ලාම්පුවකින් ධාවනය වෙන වාහන අරහංය. එම නිසා ප්‍රධාන ලාම්පු මුළු මණින්ම නිවා දමා; අමතර ලාම්පු වල පිහිටෙන් අප දෙදෙන නිවෙසින් පිට වුනෙමු.

නිවසෙන් පිට වීමට පෙර ආගමික කටයුතු වල යෙදීමට පෙරම තෙශාන්තට දැනුම් දු නිසාදෝ; අප ගල්වල හංදියට පැමිණෙනවාත් සමගම තෙශාද එම ස්ථානයේ ප්‍රාණිභූත විය! 
ඔහුවද නංවා ගත් අප එතැනින් සපුගස් කන්ද පාර ඔස්සේ කඩුවෙලට පැමිණියෙමු.
මග දිගට කියවූ පල්හෑලි වලට අමතරව සිදුවූ එක වැදගත්  සිද්ධියක් ලෙස  බෙල්ල කපාපු හංදිය අසලදී බිත්තර රොටී කා කෝපි බොන ලද සිද්ධිය ගෙන හැර  දැක්විය හැක.

අප තරමක වේගයකින් පැමිණියෙමු.

තෙශාන්ත ඉන්න තැනක පිටකොටුවට ගියත් ඒ යායුත්තේ ඔහුගේ මාර්ගෝපදේශකත්වය මතය. මෙම ගමනේදීද වැඩි වෙනසක් නොවීය.

"මචං ඔතනින් දකුණට - අතණින් වමට " යනාදී වශයෙන් ගිය ගමන අදටත් මාහට මතකයට එන්නේ නැත.දෙයියනේ කියා යන්නට කාපට් ඇතුරූ  A ශ්‍රේණියේ ප්‍රධාන පාරවල් අතැර ලඳු ඕවිටි කලල් මතින්; පාළු සොහොන් පිටි රබර් වතු බඩ වැටි අතරිණ් දිවුනු පාරවල් ජාලයක එහා මෙහා ගමන් කිරීමෙන් අනතුරුව ඉහළ නාරගල පාලම අසලට පැමිණියෙමු.

ඉහළ නාරගල යනු ගමක් මැද්දෙන් දිවුනු කුඩා, ග්‍රාමීය මාර්ගයක් මාධ්‍යයේ හමුවන නොමේරූ කුඩා ගම්මානයකි. එහි විදුලි බලය තිබුනමුත් වීදි ලාම්පු හෙවත් පාරෙ ලයිට් නොතිබුනි.
එසේම ඉහළ නාරගල පාලම පිහිටියේද තරමක ජන ශූන්‍ය පෙදෙසකය. මේ නිසාමදෝ; අප ඉහළ නාරගලට ගොඩ බැස්සේ ඇට පල් කලුවරේය!
අප තිදෙනාගේම හිසේ රැඳවී තිබුණු විදුලි පන්දම් එළි උප කාරයෙන් කයාක ගොඩ බෑමට පටන් ගතිමු. 

පසිඳුගේ නලලත් රැඳුනු හෙඩ් ටෝච් එක හෙවත් විදුලි පන්දම එක විදියක එකකි!

ඔහුට එය කෙතරම් ගෝචර වී තිබේද යත් ගෙයක් ඇතුලත සිටියත් බිං කරුවල වැටෙන වෙලාවට එය හිසේ තිබිය යුතුමය. එය; බීබීසියේ මාධ්‍ය සාකච්චාවකට ගියද තිසා හාමිගේ කරේ පොරෝ කෙටිය දක්නට ලැබෙනවා වැනිය!

මෙසේ මහ රාත්‍රියේ නන්නාඳුනනා ගමක පාළු පාලමක් උඩ වාහනයක් නවතා බෝට්ටු බෑම ගම් වැසියෙකු කෙසේනම් තේරුම් ගනීද?
අපේ මේ ඇඟේ අමාරුවට, කාලා ගෙදරට වෙලා ඉන්න බැරුවට කොරණ අටමංගල්ල ඔවුනට කෙසේ නම් තේරුම් කර දෙන්නද?

හවහට කසිප්පු අඩියක් ගසා බහින කලාවට නිදා සිටින් එකෙක් දෙන්නෙක් ඇහැරුණෝතින්; ටික දවසක් යනතුරු ඝන ආහාර වලින් වැලකී දියර පමණක් පානය කරමින් නාගොඩ ඉස්පිරිතාලයේ මෝචරියට අල්ලපු වාට්ටුවේ ලගින්නට වෙන විනම්බෑසියකි!

මේ නිසාම අප ඉතා හැකි උපරිම නිහඬ තාවයකින් සියල්ල නිමවන්නට පටන් ගතිමු. බොහෝ අවස්ථාවලදී අප මෙවන් දේ අත් දැක ඇති නිසාම එය අපට එතරම් අසීරු කටයුත්තක් නොවුනි.
 පෙර හුරුවකින් යුත් අප තිදෙන ඉතා සූක්ෂම ලෙස කයාක දෙක බිමට වඩම්මවා අනිකුත් අඩුම කුඩුම සියල්ලද බිමට බා ගත්තෙමු.


කට්ට කරුවලේ - හුරතලේ !

අනතුරුව ඔවුනට සමු දුන් මා තනිව එතැනින් පානදුර බලා නික්මුනෙමි.
බැල්ලපිටිය හංදියට එන තුරු එන්ජිම සැර නොදමා අකම් වේගයෙන් ධාවනය වන්නට සලස්වා බැල්ලපිටියේ සිට ඉගිලෙන්නට පටන් ගත්තෙමි.
යමින් ගමන්ම මා සුදාරක ඇමතූවෙමි.

"මල්ලි! මම පානදුරට එන ගමන්. උඹ හංදියට වරෙං! මම එන්නේ රතු පාට නිසාන් පැට්‍රොල් ට්‍රක් එකක!"

'හරි අයියේ මම ලොකේශන් එක දාන්නම්කෝ . . .!?"

ලොකේශන් එක් හෙවත් ඔහු සිටින් ස්ථානයේ අනන්‍යතාවය මාහට එවන්නට ඔහු සූදානම් වන්නේ කුමකටද? මා දැන් සිටින්නේ හොරණ නගරය පසු කරමින්ය. "මම මෙහේ ඉඳන් පානදුරට යන තුරු මේ යකාට ඉන්න තැනක ඉඳන් පානදුර හංදියට එන්නට බැරිද?"

මාගේ කේන්තියේ සේව නූලට ගිණි ඇවිලෙමින්ය!

"මොකෙක්ද මූ? " මා මගෙන්ම අසා සිටියෙමි. "මූව වඩම්මන්න යන්නත් වෙනවද?"

මා අධික වේගයෙන් පැදවූ වෙමි.
අඩු වේගය නින්දට අත වනයි. වේගය සමග තියුණු ලෙස ක්‍රියා කාරී වන මගේ මනසට හා දෙනෙතට නිදි සුව විඳින්නට අවසරයක් නොමැත. ඒ මගේ ස්වභාවයය!

එක එල්ලේ දිවෙන මාර්ගයෙ පස් වන ගියරයෙ උපරිම වේගයෙන් එන්ජිම කරකැවෙමින්ය. මේ වේගයේදී එන්ජිමේ පිස්ටන් කෙතරම් වේගයකින් ඉහල පහල යනවා ඇත්ද? එන්ජිම හිරවී යයිද? මේ මගේ සිත මගෙන් ඇසූ දේ ය.
මොනවා නැතත් වේලාවට මා කන බොන දේ පිළිවෙලටම කරණවා සේම එන්ජිමට ගියර පෙට්ටියට හා ඩිෆරෙන්ශල දෙකට දෙන සැප සාත්තුව අනවශ්‍ය තරම් උනන්දුවකින් කරණ්නෙමි.
එන්ජිම බොහෝ විට නියමිත කිලෝමීටර ගනනට පෙර;  අධික දුර ධාවනය සඳහා නිර්මිත ඉස්තරම්ම  ලිහිසන තෙල් වලින් සාත්තුව ලබයි.
බොහෝ බාසුන්නැහැලා මෙන්ම කාර්මිකයින්ගේ විරෝධත්වය මධ්‍යයයෙ සෑම තෙල් මාරු කිරීමකටම පෙරම එන්ජිම "විරේක"  (Flush) කරමි. මේ නිසාම එන්ජිම  තුල කොලෙස්ටරෝල් තැන්පත් වීමට ඉඩක් නොමැත!

මා තවත් වේගයෙන් පැදවූයෙමි. ලොකු කුඩා වංගු වලදි පහත් ගියරය මගින් පාලනය වන රථය නැවතත් නිමෙශයකින් සුපුරුදු වේගයට අවතීර්ණ වේ. ටර්බෝ චාජරය ඊට මහඟු පිටු වහලක් වන්නට ඇත.

පානදුර නගරයට එළඹෙත්ම ඇති යුනිචෙලා කර්මාන්තශාලාව  අසලදී මා නැවත සුදාරක ඇමතූවෙමි.

'අයියෙ ඔයා කොහේද . . .?"

"මම පාන්දුර බං! උඹ හංදියට ආවාද?"

"අයියෙ මම තාම කාමරේ. මම ඔයාට ලොකේශන් එක එව්වා!"

"මගුලයි! හරි ලොකෙශන් එක පැත්තක තියලා එන හැටි කියාංකො!"

" . . . . . . . . . .  . . ."

" . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . "

තවත් විනඩි 10 කින් පමන සුදාගේ කාමරේ අසල බුදු පිළිමය අසලට පැමිණියෙමි. තවත් විනාඩි 10 ක් පමණ කා දමමින් සුදාරක එලියට වැඩම කලේය.

"පරක්කු උනා බං . . !" මම මාගේ කේන්තිය අකුරු වලට පරිවර්ථනය කලෙමි. සුදාරක මොන මොනවාදෝ කියනු මට ඇසිනි. එහෙත් මාගේ කේන්තිය එලෙසින්ම විය!

"අයියේ මේක නේද ගන්න කිව්වේ . . ? " ඔහු ඇස්බැස්ටෝස් ටේප් පටියක්   පෑවේය. පෙර දින හවස් වරුවේ අප සියල්ල සකස් කරමින් සිටිනා තුර ඇස්බස්ටෝස් පටි කැබැල්ලක් ගන්නට මා සුදාරකට කීවෙමි. කයාකයක් සිදුරු වුවහොත් එය පිරියම් කර ගැනීමට හැකි සරලම පහසුම දේ වන්නේ ඇස්බැස්ටෝස් ටේප් භාවිතයය.

එතැන් සිට වාද්දුව හරහා ගාලු පාර ඔස්සේ කළුතරට යන්නට විය. මාගේ කේන්තිය ගියේ අහිංසක එන්ජිම පිටිනි. එක වේගයෙන් එය අඬ දීගෙන සිටියි. ට්‍රක් රිය පාර දෙපස වූ පොල් ගස්, ලයිට් කණු, වැටවල්, බෝක්කු, කිලෝ මීටර කණු, තාප්ප, ගෙවල් දොරවල් පහු කරමින් ඉදිරියට ඇදෙමින්ය.

සුදාරක තොර තෝංචියක් නැතිව කියවමින් ය. ඒ කියවිල්ලේ ප්‍රථිඵලයක් ලෙසට ඒ වනවිට මගෙ කේන්තිය ටිකින් ටික තනුක වෙමින් පැවතුනි.

තවත් විනාඩි ගනනකින් අප කළුතර දකුණ පොලීසිය ලඟට පැමින තිබුනි.
ගිය වර රත්නපුර සිට ඉහළ නාරගල දක්වා පැමිණි අවස්ථාවේදිද ලොරි පොඩ්ඩා පරිස්සමට නවතා ගියේ කළුතර විෂ්වලාගේ ගෙදර බව ඔබට මතක ඇති. 
විෂ්වගේ ගෙදර තිබුණු ඉසව්ව මීට පෙර කියාතිබුනේද කියා මගේ මතකයට නො ඒ! එම නිවස තිබුනේ කළුතර දකුණ පොලිස්ථානය අසලින් පිහිටි ගැමුණු මාවතේය. "ගැමුණු මාවත" කියා ලීවේ මතකයෙනි. එම මාර්ගය පංසල පාර හරහා ගොස් ගම ඇතුලට වක්‍රාකාරව විහිදුනි.

ලොරි පොඩ්ඩා; විෂ්වගේ ගෙදරට පරිස්සමට  ඇරළවූ අප දෙදෙන ඇවිදිමින් දුවමින් වේගයෙන් ගාළු පාරට පැමිණියෙමු.

එතැනින් කළුතර සිට හොරණ බලා දිවුනු බසයකට ගොඩවී බැල්ලපිටිය බලා පියාසර කලෙමු. 
අප දෙදෙන ඉඳ ගත්තේ බසයේ පසුපස අසුනේය. බසයේ සෙනග නොසිටියේය. බසයේ වේගයත් සමග පසුපස අසුනේ සිටි අප බොහෝ විට රැඳී සිටියේ අභ්‍යවකාශයේය.

අප බසයට ගොඩවූ වහාම කොන්දොස්තරවරයා අමතා අපව බැල්ලපිටියෙන් බස්සවන මෙන් ඉල්ලා සිටිමු.
එතැන් පටන් ඔහුව දකින දකින මොහොතක් මොහොතක් පාසාම නැවත් නැවතත් "බැල්ලපිටිය" මෙනෙහි කිරීම; ඔහු බසයේ පසු පසට ඒම නවතා ලීමට හේතුවක් වන්නට ඇත.

බසය කළුතරින් පිටත්වී ටික දුරක් ගමන් ගනිත්දී එම මාර්ගය කළු ගඟ අසළින් දිවේ. මාර්ගය හා ගඟ අතර පිහිටි ගෙවල් දොරවල් හා ගස්  වැල් නිසා ගඟ පෙනෙන්නේ අතරිණ් පතරය. ආවරණය කඩතොළු වූ ස්ථානයකින් පෙනෙන ගඟ මහේශාක්‍ය ලීලාවෙන් ගලා බසී. එය තව දුරටත් ගං කොමළියක් නොව ගංගා රාජිණියක්වී තිබුණි. 

"අපිට එන්න තියෙන්නේ මේ ගඟේ තමයි මචං!"

මම සුදාරක අමතා දැනමුත්තෙකු සේ කීවේය. සුදාරක එයට සාර්ථක ප්‍රථිචාරයක් නොදැක්වූ බව මට මතකය.

බසය කෙමෙන් බැල්ලපිටිය හංදියට ලඟාවිය. බැල්ලපිටියෙන් මහ පොලොවට පය තබන විට උදෑසන 6.00  පමන වන්නට ඇත. දිනය ඉරිදා දිනයක් වුනු නිසා දෝ හංදිය පාළු ස්වභාවයක් ඉසිලීය.  බැල්ලපිටිය යනු ඉංග්‍රීසි ටී අක්ෂරයේ හැඩය ගත් කුඩා කඩමණ්ඩියකි. කළුතර සිට පැමිනෙන්නෙකු හට සෘජුවම හංදිය පසු කර හොරණ දෙසට ගමන් ගැනීමට හැක.

හංදියෙන් දකුණට හැරුණු විට මාර්ගය කඳන හරහා නාගොඩ කලවැල්ලාව දෙසට දිවේ.   අප පාර පනිනවාත් සමග එහි පැමිණි ත්‍රීවීලරයක නැගී ඉතිරි කොටස යන්නට විය.

"බැල්ලපිටියේ සිට!"

එම මාර්ගය ඔස්සේ පැමිණ කඳන ජල පවිත්‍රාගාරයට ටික දුරකට මත්තෙන් පිහිටි අංශක අනූවේ වංගුව අසලින් වමට හැරී ගම් මැද්දට පිවිසියේය. 

පටු පාරදිගේ එමේ අතට හැරෙමින් පැමිණි අප තවත් විනාඩි 20 කින් පමණ ඉහල නාරගල පාලම අසලට පැමිණියෙමු. 

පෙරදින රාත්‍රියේ පටන් හරි යමන් නින්දක් නැතිව  විරව පට්ටං ගසා ගෙන සිටින තෙශා හා පසිඳු කූට්ටම දැකීමේ බලා පොරොත්තුවෙනි. පාලම අයිනේම කුඩා ජංගම කූඩුවක් තිබුනි. මහ රාත්‍රියේ මා එය යාන්තමින් දුටුවා මතකය. එය බලුකූඩුවක ක්ෂේත්‍රඵලයකින් හා වැඩි උසකින් යුක්තවිය. අප එහි යන විට එහි සාමාන්‍ය කටයුතු පටන් ගෙන තිබුනි. එය කැඳ හා බුලත් විට විකුණන කුඩා කඩ පොඩ්ඩකි. 

අප එහි යන විට එතැන කුඩා ලොරියක් නවතා කැඳ පිළිබඳව තෙශාගෙන් විමසමින්ය. කඩේ මුදලාලි පෙනෙන්නට නොමැත. ඒ අඩුව මකමින් තෙශා ලොරියට කැඳ විකුණමින්ය.


කැඳ කඩේ වැඩ !

පසිඳු තෙශා හට සහය දෙමින්ය. ඔවුන් අසීමිත සතුටකින් කෑ කෝ ගසමින් විය. 

අපි එතැනට ගිය සැනින් අපටද කැඳ බොන්නට ලැබුනි.

"මචංලා මූ තමයි සුදා! කොල්ලො මේ තෙශා! මේ පසී!" මම එකිනෙකාට හඳුන්වා දුන්නෙමි.

"කෝ බං මේ කඩේ කරන එකා?"

"ආ! මං ඌ අපිට බත් හතරක් ගේන්න ගියා. මං පොරව බැලන්ස් කර ගත්තා!" තෙශා කියාගෙන ගියේය.

"අයියේ ගඟ දැක්කද?" පසිඳු ය. මම පාලමේ ගැට්ටෙන් එබී බැලුවෙමි.

 නොමග ගිය ගඟ! 
(6.30 am)

"අම්මට සිරි. මේක එකසිය ගානට  කෙලගෙන යනවානෙ" මට කියැවින. ගඟ බොර පාටින් වේගයෙන් ගලයි.පාලම යට කයාක දෙක පසිඳුත් තෙශාත් පෙලගස්වා සකස් කොට තිබුනි. පාලම යට සිට මමත් සුදාත් එකිනෙකාට පසු පස හරවා ගෙන ඇඳුම් මාරු කර ගත්තෙමු. 

ටික වෙලාවකින් වයස් ගත මාමා කෙනෙකු බත් මුල් හතරක් ගෙන පාලම අසලට පැමිණෙනු දුටිමි. තෙශා ඊට මුදල් ගෙවා අප හා එක් විය. ගඟේ කිසිදු අවනත භාවයක් දක්නට නැත. එය වේගයෙන් ගලයි. කොටින්ම හැඩ පහරක්ය. 
පාලම අසලදී කෙට්ටුවන ගඟ; නැසින්නකින් පිටවන ජල පහරක් සේ වේගයෙන් ගලා යයි. ගඟ මුළු මණින්ම බොර වී ඇත. වැහිබර ගතිය එලෙසින්ම පවතී. අවට පරිසරය තෙත් සහගතය. පෙරදින රත්‍රී වට වැස්සෙන් පෙඟුනු බිම එලෙසින්ම තෙත් ගතියකින් යුක්තය. මේ සියල්ල හිතට ගෙන ආවේ කම්මැලි නො එසේනම් අලස ගතියකි. 
ඒ කෙසේ වෙතත් අප ගමන යායුතුය. අප කළු ගඟ ජය ගතයුතුය. රත්නපුරයෙන් පටන් ගත් ගමන නිමා කල යුතුව ඇත්තේ කළුතරින්ම විනා ඉන් මෙපිට නොවේ. 

ඔව් සියල්ල සූදානම්ය. 

දියට බසින තුරු සිහියක් නැතිව!

පුරුදු පරිදි හබලක් අතින් ගත් මා සුදාට තෙල බෙදුවෙමි. අන්තිම වගන්තියද ප්‍රකාශයට පත් කලෙමි.
"මොනවා උනත් බය වෙන්න එපා උබට මරෙණ්න දෙන්නේ නෑ. මොනවා උනත් පැනික් වෙන්නේ නැතිව සීන් එකේ හිටපං! හරි සුදා මාත් එක්ක පරන කයාක් එක පැදපුවාවෙ. උඹලා අනික ගනිල්ලා! මම  සියල්ල අවසානයේ පසිඳු ඇමතීමි.

"පසිඳු; දෙවියන්ට  කොල අත්තක් එල්ලපාං!"

සියල්ල අතර මා සමන් දෙවිඳු මතක් කර ගත්තෙමි. හදවතට ගමන පිටත් වීම දැන්වූයෙමි. සියලු පෙනෙන නොපෙනෙන , හැඟෙන නොහැඟෙන,දැනෙන නොදැනෙන ආශිර්වාද ප්‍රාර්ථනා මැද අප ගමන පිටත් වන්නට පටන් ගත්තෙමු.


එහෙනං මං !

මගේත් සුදාගේත් කයාකය දියත් කලෙමි. පාලම අසල ඇත්තෙ අඩි 25 කටත් වඩා වැඩි ගැඹුරකි. කයාකයෙ ඉදිරිය දියට දියත් කොට ඊට සුදාරකව නැංවූයෙමි. කයාකය දියේ ඉගිලෙන්නට සූදානමින්ය. හැඩ පහර කයාකය මගෙන් උදුරමින්ය.
මමද කයාකය  දියට තල්ලු කරමින්ම පසු පස කෙලවරට සීරුවෙන් පැන ගත්තෙමි. 


ගං දෑල දෙපසම
කැලෑ මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට 

Monday, October 14, 2019

151. කළු ගඟදිගේ . . . . . . 12

ඉහල නාරගල තියෙන්නේ නාරගලට ඉහලින්! පුදුමයි නේද?

ඉහල නාරගලින් ගොඩවූ අප ලොරි පොඩ්ඩා සමග බැල්ලපිටියට  පැමිණ එතැනින් කළුතරට පැමිණියෙමු.

පසුදින අප සියළු දෙනාහට රැකියා සඳහා පිටත් වන්නට තිබුනි. මේ නිසාම අපට තවත් දිනයක් මිඩංගු කිරීමට නොහැකිව තිබුණි. මටත් තෙශාටත් ඇනෝටත් නිවෙස් වල සිට කිලෝමීටර 25 ක 30ක දුරක සේවා ස්ථාන වලට යාමට තිබුනද පසිඳුහට රපෝර්තු කිරීමට තිබුනේ යාල ඔහු සේවය කල කඳවුරු බිමටය!

ඒ කළුතර සිට; ගෙඩි පිටින් කිලෝමීටර 175 ක් දුරිණ් පිහිටි ස්ථානයකය!

අහසින් යනවානම් මෙන්න පාර!

ඔහුට එදින රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට පසුදා උදැහැනැක්කේ එහි යාමටත් සේවය කිරීමටත් නියමිතව තිබුනි. එනිසාම ඔහුව කළුතරින් කතරගම බස් රියකට නැංවීමේ වගකීමක් මාවෙත තිබුනි.
 මෙනිසාම කළුතරට ගොස් ඔහුව බසයකට ඇරලවා මමත් තෙශාත් ඇනෝත් ලොරි පොඩ්ඩාගේ නැගී බණ්ඩාරගම හරහා කඩවතට පමිණියෙමු.

ඔනෑම කටයුත්තක් මග නතර කිරීම බත් මුට්ටිය ඇට්ටකුණා වීමට බොහෝ සෙයින් සමානය. සමහර වැඩ හා පුද්ගලයින් වළං කටු සේය! එනම් එයින් කිසිදා නැවත වළඳක් සෑදිය නොහැකිවනවා සේම කිසිදා පස් වන්නේද නැත!

අපගේ කළු ගඟ චාරිකාව නිමකලේ;එකිනෙකාට සමුදුන්නේ  ඉදිරි සති කිහිපය තුල නැවත ඉහල නාරගලින් ගමන් අරඹා කළුතරට පා තබා අපගේ චාරිකාවට පරිපූර්ණ අවසානයක් ලබා දීමටය.

 දින සති ගෙවීගියේ කිසිදු අස්වැසිල්ලකට ඉඩ නොතබාය.
වැසි වැස්සේය!
තෙශාට රැකියාවට අමතරව ඉගෙනීමේ කටයුතු හරස් විය!!
මාගේ රැකියාව තුල නිවාඩු යනු නිකිණිය!!!
අප සියල්ලන් හටම හැකිවූ දිනයක් වෙතොත් පසිඳු හට එදින ඔරු පදිනවා තබා බාල්දියෙන් නා ගැනීමට වත් නිවාඩුවක් නොමැති විය!!!!

මේ සමගම අප්‍රේල් 21 වන දින බෝම්බ පිපිරී ගියේය!

2019 මාර්තු 16 රත්නපුරෙන් දියට බට අප මාර්තු 17 නාරගලින් ගොඩට පමිණියෙමු. එතන් පටන් ඉතිරි කිලෝමීටර 20ක 30ක දුර ගමන් කිරීමට ගතවූ කලක් නම්.

මේ සියල්ල සමගින් ගමන මාස ගනනාවක් ඇදිනි.

කළු ගඟේ ගමන් චාරිකාව ගැන සිත් තුල මුල් බිජුවට වැපුරුණුදා; අප සිව්දෙනා අතර සංනිවේදනය සඳහා සැකසුනු "River Expedition" වට්ස් අප් ජාලයට පණිවිඩයක් මුදාහරිමින්; ජුනි මස 18 වන දින අනෝපිලිස් පවසා සිටියේ "2019ජුලි මස 14 වෙනි ඉරිදා කලු ගඟ කයක් සවාරියේ ඉතිරි කොටස දියත් කිරීම සඳහා සූදානම් වන්න" කියාය!

මම එයට ඌණ පූර්ණයක් එක්කලේ මෙලෙසිනි.



පසිඳු පලමුවෙන්ම මට හමුවන්නේ"Lakdhasun"  ෆෝරම් එකෙන් සංවිධානය කල; හැමිල්ටන් ඇල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකදී. එදා මම පසිඳුගේ දූරකථන අංකය ගබඩා කර ගත්තේ "Lakdhasun" කියලා. ඒ මීට අවුරුදු 8 කට විතර ඉස්සෙල්ලා මං හිතන්නේ. ඒත් තාම දූරකථන ගබඩාවේ පසිඳුගේ අංකය තියෙන්නේ එහෙමමයි!


ඊට පිළිතුරුලෙස පසිඳු ඔහුට එදින සහභාගී වීමට ඇති නොහැකියාව පවසා ජුලි මස 7 වන දින පවසා සිටියේ ජුලි 14 වනදින ඔහුට නොහැකි බවය.


ජුලි16 වෙනි පෝය දින තෙශාන්ත විසින් යෝජනා කර තිබුනු අතර ඒය ඇනෝ විසින් ස්ථිර කර තිබුනත් එයට පිළිතුරු ලෙස මා පැවසූවේ වැඩේ අගෝස්තු 11 වනදිනට කල තැබීමටය.
වැඩේ එයින් මෙයින් කල්  ගිහිං ගිහිං අගෝස්තු 11 ට යන්නට පිඹුරුපත් සැකසුනි.


අනපේක්ශිත ළෙස ඇනොට උන වැළඳී තිබුනි.

එයට ඇනෝගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොලද්ද අතර ජුලි 29 වෙනිදින ඔහු පවසා සිටියේ "මට සහලෝල උණ!' කියාය. එසේම තවම උණ බැස නොමැති අතර ඉන් ඉක්බිති සති දෙකක් වත් විවේකීව සිටිය යුතු බවය!

වැඩේ හැමදා වගේම අවුල් වී ඇත!



2018 නොවැම්බර් 16 වෙනි දින එනම් හරියටම ඊට මාස  අටකට පමන පෙර මාගේ බ්ලොගයේ දකුනු පස ඉහල කෙලවරේ ඇති "යොමුව" තුලින් මා ලද ඉල්ලීමක් විය.එය සැකවින් මෙසේය:

"ඔබ නැවත බෝට්ටු චාරිකාවක යෙදෙනවාද? එයට අපටද එකතු විය හැකිද?
මගේ දූරකථන අංකය:.................. මගේ ඊ ලිපිනය.................... 
මීට සුදාරක! "

සුදාරක යනු මගේ හිතේ පැලපදියම් වුනු චරිත නාමයකි. ඒ; ජී බී සේනානායකගේ රසාලිප්ත නවකතාවක් වන "වරදත්ත" නවකතාවේ එන චරිතයකි.

 අපගේ බ්ලොග් ලෝකයේ හා ඉන් පරි භාහිරව සැරිසරන අනේක විදි "අයියලා"ගැන මාහට යම්තාක් දුරට අදහසක් තිබුනු බැවින් සුදාරක "රොබෝවකු" නොවන බව තහවුරු කර ගැනීමට; මා මගේ අනන්‍යතාවය හෙළිනොකර ඔහුගේ කරුණු විමසූවෙමි. ඒ සඳහා මා යොදාගත්තේ කාර්යාලයේ ස්ථාවර දුරකථනයයි. සුදාරක ඔහු පදිංචිව ඉන්නා ස්ථානය හැරෙණ්නට වෙන කිසිදු තොරතුරක් ලබා දීමට අකමැතිවිය. එවිට මා මාගේ අනන්‍යතාවය හෙලිකොට දූරකථනය විසන්ධි කර දැමුවෙමි.

සුදාරක දෙතුන් විටක් මා ඇමතීමට උත්සාහ කලද එය මාගේ ස්ථාවර දූරකථන අංකය බැවින් මා එයට නතු නොවීමි.

මෙම සිදුවූ සිදුවීමට හදවතින් මට කුනු බැනුම්ය! මා අනවශ්‍ය තරම් "ස්මාට්" වීමට ගියා වත්ද? කම්ක් නෑ මම තව දවසකින් දෙකකින් කතා කරණ්නම්. මා හදවතට පොරොණ්දු උනෙමි!


හිතවත් කමෙන් ඔතා බෙහෙත් දෙන තැනක්!

ඔබට මතකද මේ රූප රාමුව? "සයිකලයෙන් තල් අරට 1" පටන් ගන්නෙම  මෙම රූප රාමුවෙන්. මේ ෆාමසියට අධිගෘහිත දේවතාවා තමයි සුසන්ත !

සුදාරකව ඇමතූ දිනට හරියටම දිනකට පමණ පසු දිනෙක මාහට "පුරසඳ ෆාමසියේ" සුසන්ත ගෙන් ඇමතුමක් ලදිමි. 
"අයියෙ ඔයාට කතා කරණ්න ඕනෑ කියලා එක්කෙනෙක් මොබයිල් එකේ නොම්මරේ ඇහුවා මම දෙන්නද?"
තල් අරණ තෙක් මා සමග සයිකල් පැදපු ගමන් සගයෙකු වූ නිශාන්ත නම් අතිශයින් ප්‍රයෝජනවත් මිත්‍රයා මාහට සපයා දීමේ ගෞරවය හිමිවිය යුතුවන්නේද සුසන්තටම වන බැවින් මා දෙවරක් නොසිතුවෙමි.

"අවුලක් නෑ දෙන්න මල්ලි!" මම කීවෙමි.

අනේ අපරාදෙ කියන්න බෑ විනාඩි ගනනක් යන්නට ඇත. මගේ ජංගමයට නන්නාදුනනා අංකයකින් ඇමතුමක් ගලුවේය.

"අයියෙ මම සුදාරක! . . . . . ." (අප්පට සිරි!)

කතාව නිම වූයේ ඊළඟ කයාක් සංචාරයට ඔහුව එක් කර ගැනී මේ පොරොන්දුව ඔහු මත මා තබමිනි!

මේ වන විට ඇනෝගේ උන ගැනීම අපේ ගමනට ඇන ගැනීමක් වී අවසානය! පසිඳුගේ දකුණු අප්‍රිකානු ගමන කරණ කොට ගෙන මෙම ගමන ඇනෝගේ උන බසින තුරු කල් දැමීමටද නොහැක!

පසිඳුහට FGASA (The Field Guides Association of Southern Africa)  පාඨමාලාව සඳහා පිටව යන්නට ඇත්තේ සැත්තැම්බරයේය! එයද සැලකිල්ලට ගත යුතුය. එසේම වැසි නැති දිනයක් වියයුතුය. දැඩි ඉඩෝරයද ගමනට බාධා පමුණුවයි.

මට එකවර සුදාරක මතක් විය! මම ඔහුට ඇමතුමක් ගතිමි.

සුදාරක එකෙන්ම වැඩේට ගැලපී ගියේය. ඒ මොහොතේ උවද ඇඳං සිටි ඇඳුම පිටින් හෝ ගමනට ඔහු එකඟය! එළය!
කිසිදා ඇහැට දැක නැති එකෙක් සමග කයාක් සංචාරයකට යෙදෙන පලමු අවස්ථාව මෙය නොවේ. මහවැළියේ "ගඟක් දිගේ"  ගමනට මෛත්‍රීව සහභාගී කරගත්තේද එලෙසමය! 

ඇනෝගේ සිත නොරිද්දාම මා සුදාරක පිළිබඳව; වට්ස් අප් ජාලය හරහා ඔහුට හා අනෙක් දෙදෙනා හට දැනුම් දුන්නෙමි.



එදින රාත්‍රියේ අප දූරකථන සම්මන්තරණයක යෙදුනෙමු. ඔහුව හැකි උපරිමයෙන් අප් දැනුවත් කලෙමු. 

අපගේ සියළු බලා පොරොත්තු සුන් කරලමින් මහ වැසි පටන් ගැනුනි. මේ වැසි රත්නපුරයට ඇතුළු කළු ගඟේ ඉහත්තාවට, ජල පෝෂක ප්‍රදේශ වලට හෝ ගංගා ධාරයට  කඩා වැටුන හොත් අප හට කයාක පදින්න වන්නේ සංචාරයට නොව ආධාර බෙදීමටය.


ගමනේ මුල සිටම කළු ගඟ මා සිත් ගත් එකක් නොවීය! එනිසාම මා කිසිවෙකුට යන්න කියන්නේද නැත! එනිසාම වැසි වැටීමෙන් එම හැඟීම තවත් උද්දීපනය වීමට ඉඩකඩක් ඇත. එසේම කලු ගඟේ නොගැඹුරු තැනක් හමු නොවීය. එනිසාම වැසි සමග එය වඩාත් ගැඹුරු විය හැක.
සත්තකින්ම යත්‍රාවක් තුල සිටිනා අයෙකු ගැඹුර ගැන කලබල විය යුතු නැත. මන්ද එය පාවෙන්නේ මතු පිට බැවිනි. එහෙත් අධික ගැඹුරක් පවතින ස්ථාන හරහා පැදයාමේදී සිතට දැනෙන බිය කිසිදු තර්කයකින් අස්වසාලිය නොහැක. 
කෙතරම් ශක්තිමත්ව නිර්මාණයකල; විශාල උසකින් සමන්විත ගොඩනැගිල්ලක සිට පහත් බැලූ විට සිතට දැනෙන බියට එය සමානය. 
මේ කාරණා නිසාම වැස්ස විසින් මගේ උප විඥ්ඥානය මත ඇති කල ප්‍රථිරෝධය සෙසු පටු නැත!


වැසි නිසාම අගෝස්තු 11 ගමනට මගේ සිත තුල තරමක ප්‍රථිරෝධයක් පැවතුනි. එනිසා අගෝස්තු 10 වනදින දහවල් වනතුරුද පසුදින ගමන පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට අපට නොහැකිවී තිබුනි! ඒවන විටත් පසිඳු යාලින් පිටත් වී කොළඹ බලා පැමිනෙමින් විය.ඒ පසුදින යාත්‍රා කිරීමටය. හෙට දින යාමට නියමිතව තිබෙන ගමන; අද දිනය තුලදී අවලංගු කිරීමේදී සැළකිය යුතුව තිබුණු එකම කරුණ වන්නේ පසිඳුගේ කාලය, මහන්සිය හා මග වියදම පමණි.


අප දෙපසට වැනෙමින් "මස් කනවද? මාළු කනවද??" කියමින් දෙපැත්තට අදිමින් සිටිනා විටදී මගේ වැඩපොලට පසිඳු කඩා වැදුනි. 

"දැන් හෙට යනවද?" මම දෙපැත්තටම නැති ගන්ධබ්බ ප්‍රශනයක් ඇසුවෙමි.

"නැතුව!? යනවා! යනවා!!" 

මට තවදුරටත් ගමන ගැන හිතන්නට දෙයක් නොමැත. හිතන්නට ඉඩ කඩක්ද නොමැත. 

සීතාවක රාජසිංහයන් කල සිටි අරිඨ්ට කී වෙන්ඩු "රාජා හෝ මා හෝ ගංගාවෝ" කීවාසේ; මමද "කයාකයෝ පසිඳුවෝ ගංගාවෝ" කියා සිතාගෙන මගේ අළුත්ම අදහස මෙන්ම යෝජනාව ජාලයට එක් කලෙමි.

මැරෙණ්න එකෙන්ම!

සුදාරක මා ඇමතීමි! මම පසුදින ගමන යන බව අවධාරණය කලෙමි. ඒ ගමන්ම තව පුංචි පහේ ඉල්ලීමක්ද කලෙමි!

"කොල්ලො එවපංකො උඹේ පොඩි පිංතූරයක් උඹ කොයි වගේද කියලා දැක බලා ගන්න"

හොර බළල් මූණත් තහඩුව!

මා ඇනෝව අමතා පසුදින අප නව ගමන් සගයෙකු සමග ගමන් අරඹන බව හෙමි හිමීට කියා දැමුවෙමි. 

"අනෙ අයියේ ලොකු දෙයක්! මට ඔයාට කියා ගන්න බැරිව හිටියේ වෙන එකෙක් දාගෙන යන්න කියලා!"

මදුරුවෙකුගේ සමු ගැනීම!

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට 

මියෙන්නට පෙර දිනෙක 
එතෙක් හද; ඉවසන්න

විඳින අපමණ දුක් ගැහැට












Monday, October 7, 2019

150. කළු ගඟදිගේ . . . . . . 11

ඉංගිරිය, හල්වතුර - හෑගල් ඔය මාර්ගයේ ඇති පාලම

ඇල්ලෙන් නික්මීම සමගම ගඟ අවතිර්ණ වන්නේ කුඹුක් ගස් වලින් තරමක් ආවරණය වූ පෙදෙසකට.

 "කුඹුක්" කියා ලිව්වේ මතකයෙනි!

ගඟ මීටර 50-100 ක් ගලන්නේ ගලින් කල කාණුවක් දිගේ. ඉවුර ලෙස දෙපසම ඇත්තේ තනිකරම  ගල්. ගල් කීවාට පටන් ගත් තැනක් - අවසන් වූ තැනක හොයා ගැනිමට හිස දෙපසට හරවන්නට වන තරම් පර්වත.

ඒ අසලම මිනිසුන් දෙදෙනෙක් පමණ හිටි බව මතකයි.
ඇත්තටම ඔවුන් එහි රැඳුනේ කුමක් සඳහාද කියා සිතා ගැනිමට අපහසුයි දැන් සිතන විටදී වත්!?
මමමෙහෙම කියන්නේ ඔවුන් තුල කිසියම් ආගන්තුක බවක් තිබුණු බව නම් මට හොඳටම මතක බැවින්! ඔවුන් මාළු අල්ලන්නන් නම් නොවෙයි.

සමහර විට ඔවුන් පැමිණියේ; ඇල්ලෙන් අප විඳින දඬුවම හොඳින් බලා ගන්නට විය හැක. ඔවුන් සරම් හා කමිස ඇඳ සිටි බව මතකය.
 එසේම එම ඇඳුම් කිසියම් බැහැරක යෑමට සුදුසු ප්‍රසස්ථ බවකින් යුක්ත වූ බව මාහට තේරුම් ගියේය. එතරම් ජේත්තුවට හැඩවී පාලමක් පල්ලේ ඉවුරක බැරි අමාරුවෙන් ඉන්නේ කුමකටද? සොයන්නේ මොනවාද?

ඇල්ලෙන්; අවුලකින් තොරව අප යාත්‍රා කිරීමේ සතුට තියෙන්නේ ඇනෝ නිසා විය.

ඇනෝ සිටි හෙයින් අප වඩාත් අරපරිස්ස්මෙන්, සැකසුරුවමින් යුතුව කයාකයන් හැසිරවූ නිසා පෙරලීයාමට තිබූ වාසනාව අප වෙතින් ගිලිහී ගියේය.

  කයාකය පෙරළීයාම හෝ අවසාන මොහොත වන තුරු ජල කඳ සමග සටන් කිරීමට වීම තරම් සතුටක් වින්දනයක් කයාක පැදිමේදී තවත් නැත.

මෙයට පහදාලීමට මා දිය යුතු උදාහරණය කුමක්ද?

"ට්‍රේල්" බයිසිකලයකින් මහ පාරක ගමන් කරණවා වැනි තත්වයකි.
සාමාන්‍යයෙන් කයාක මෙවන් රැපිඩයක් තරණයෙදී එය පෙරළී නොයා පදවාගෙන යෑම දක්ෂ තාවයකි.
 එය සතුට දනවන කටයුත්තකි.
"හොඳම දේ විවාහ නොවී සිටීම! ඊළඟට හොඳම දේ විවාහ වීම" සේ පෙරළී යෑමට ඉඩ නොතබා කයාකය පැදයාම සතුට දනවන දෙයක් වනවා සේම ඊළඟට වඩාත්ම සතුට දනවන දේ වන්නේ කයාකය පෙරළී යාමය!

ඇල්ල පසු කොට පැමිණීමේදී අපට හමුවූ වැලි ගොඩ දමන්නන්, ඉල්ලම් හෝදන්නන්, පතල් කණින්නන්  අතර සිටියවුන්ගෙන් බොහෝ දෙනා අපෙන් විමසූ පොදු විමසීම් කීපයක් විය!

"ඇල්ලෙන් කොහොමද ආවේ?"

"යට ගැහුවේ නැද්ද???"


රැපිඩයක් සාර්ථකව පසු කල පසු කණ්ඩායම එක් තැනකට නො එසේනම් එක් පොදියකට කයාක සියල්ල එක් කොට හබල් එකිනෙක ගැටීම සිරිතකි. එය බොන්නට පෙර චියර්ස් කියනවා වාගේමය.

අප එකිනෙකා අත වූ හබල් එකට වද්දා ගමනට නැවත එක් වුනෙමු.

ගංගාව මේ වන විට තම නමට ගැලපෙන වේශයකට අවතීර්ණ වී සිටියාය.
 එය තරමක පලලකින් යුතු වපසරියක් තුල තම අණසක පතුරුවාය.
එසේ වඩාත් වැඩි පලලක් ගත් ස්ථාන යන් හීදී ගංගාව විලක ස්වරූපයක් ගත්තේය. එම ස්ථාන සිසාරා ගමන් කිරීමේදී වඩාත් වැඩි වෙහෙසකින් මහන්සියකින් යුතුව පැදීමට සිදු විය. ගංගාව ජන ශූන්‍ය පෙදෙස් හරහා ගමන් කලේය.

අප කෙමෙන් කෙමෙන් පහලට බසිත්ම ගඟ හරහා ගමන් කල නිල් පැහැ ගත් අඟුලක් දක්නට ලබීය.
 මුළුමණින්ම කෘථිමව හෙවත් ෆයිබර් වලින් නිපදවා තිබූ අඟුලේ යකඩින් සාදන ලද ඇඳි දෙකක්ද විය. අප කෙමෙන් කෙමෙන් ගඟේ වම් පස වූ තොටු පොලේදී අඟුල පදවන ලද  අඟුල හමුවිය.
එය කළු ගඟේ ඓයිතිහාසික දුම්බර තොටුපොලයි.


ඔහුගේ නම නිමල් මෙන් මා හට මතකය! තොටු පොලෙහි ජල මට්ටම තුල නොපෙනී යන විසල් ගල් කුට්ටි මගින් සීමා වූ ගල් ඇල්ලූ පටු මගකි.
මීට අඩ සිය වසකට පමන පෙර මෙම ස්ථානය ඉතා සාර්ථක ප්‍රවාහන මධ්‍යයස්ථානයක්ව තිබුණු බවක් පැවසේ.
 ඒ අසල පිහිටි මිණිරන් පතලෙන් උඩට ඇදෙන මිණිරන් කොළඹ බලා යැවුනේ මෙම තොටුපල හරහා කලු ගඟ ඔස්සේ බව කියැවේ. 

සමහර රට වල මෙසේ අභාවයට කිය කර්මාන්තයක සංස්කෘථිය අද පරපුරට බලා ගන්නට හකි අන්දමට පවත්වාගෙන යනු ලබයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි බෙලරාත් ප්‍රදෙශයද එවන් ප්‍රදර්ශන මධ්‍යස්ථානයකි. 
මීට වසර ගනනාවකට පෙර පැවති නගරය සියැසින් දැක ගැනීමේ අවස්ථාව සංචාරකයන්ට හිමිවේ. 

ඔය ලියලාම තියෙන්නේ!

මේ පාර පනින්නේද ප්‍රදර්ශන භාණ්ඩයක්ම තමයි.

 1850 ගනන් වල මෙම පලාතේ භාවිතා කල ඇඳුම් පැළඳුම්, කොන්ඩා විළාසිතාවන් වලින් සැරසුනු මෙවන් කාන්තාවන් හා පිරිමින්; නරඹන්නන් අතරින් එහා මෙහා ගමන් කරණු නිරණ්තරයෙන් දක්නට ලැබේ. විටෙක මාර්ගය ඔස්සේ ගමන් කරණ්නේ අශ්ව කරත්තයකි!

ප්‍රථි නිර්මිත බෙලරාත් නගරය!

මාවනැල්ල අසල සර්දියෙල් ගම, අපේ ගම වැනි ස්ථාන කිහිපයක් ඇති වූවාට මෙම මිනිරණ් කර්මාන්තය හා බැඳුනු උප සංස්කෘථිය සුවිශෙෂී ප්‍රදර්ශන භාන්ඩයක් වනු ඇත.

කලකට පෙර මෙරට ප්‍රේක්ෂකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ "බෝගල සවුන්දිරිස්" ටෙලි කථාව  තුල චිත්‍රණය වූයේ මෙම උප සංස්කෘථියයි.

තොටුපොල කරා බඩු බාහිරාදිය ගෙන ආ මාර්ගය පමනක් සිහිවටනයක් ලෙස ඉතිරිවී ඇත.
 අප එම ස්ථානයෙ නැවතී ස්වල්ප වේලාවක් සිටියෙමු. තෙශාන්ත විසින් ගොඩ බිමට ගොස් බීමට ඇවැසි ජලය රැගෙන ආවේය. තවත් ස්වල්පවේලාවකින් අප නැවත ගමන් අරඹූයෙමු.

ගමේ බඩු ! - පිරිසිදු ජලය


දුම්බර දුම්

කොතැන උනත් නැත නින්දට බාධා !

ඉංගිරිය, හල්වතුර - හෑගල් ඔය මාර්ගයේ ඇති පාලම  අසලට එන අතරමග අප නැවතුනේ එක් ස්ථානයකදී පමණි.
ඒ ගඟේ දකුණු ඉවුරේ වූ රමණීය ගල් තලාවක් මතය.
එම ගල් තලාව හුදෙකලා එකක් නොවීය.
 පරිවාර ගල් කිහිපයකින් සෑදුනු ගල් දිවයිනක් නො එසේ නම් සංකීර්ණයක් සේ දිස් විය.

එම ස්තානයේ සුවදායක පරිසරයේ මිහිර අප කිසිවෙකුටත් වඩා ඇනෝ විඳිනු දැකිය හැකි විය. ඔහුට එම ගල් තලාව සුව යහනක් විය. ඇනෝගේ නින්දට කුඩා ඉඩක් වෙන්කල අප එතනින් නික්මෙන විට දවල් ආහාරය සිරුරු අපෙන් ඉල්ලමින් විය.

 පාලම පසු කරණ විට දැඩි හිරු රැසින් සිරුර දැවෙමින් විය. වෙනදා මෙන්ම ගඟේ ඇල් දියෙන් දෑත් හා දෙපා දොවා ගන්නවා විනා වෙන කල හැකි හා කල යුතු වෙනත් කිසිවක් නොවීය.

අප පිළිගැනීමට නිර්මිත තොරණක් !

සයිකල් පැදීමේදී කිලෝමීටර් කනු, මං සල්, කඩ මණ්ඩි; විශේෂයෙන්  මාර්ග සංවර්ධන අධිකාරියෙන් නගර සීමාවේ සවිකොට ඇති කොල පැහැති; නගර නාම පුවරු දැකීමේදී සිතට දැනෙන සතුට සැහැල්ලුව යම්සේද එවන්ම වූ සතුටක්; කයාකින් පැදීමේදී පාලම් දැකීමේදී සිතට දැනෙන්නේ නිරායාසයෙනි!

තවත් කිලෝමීටරයක් පමණ දුරක් අප ගඟ දිගේ පහලට බසිත්ම කුඩා වැලි තොටුපොලක පිරිමින් හා හරි හරියට වැලි ගොඩට අදින කාන්තා රූප දෙකක් අපේ කාචයේ සටහන් කර ගැනීමට සමත් විමු. 
ඒ මා ඔවුන් අසලට කයාකය හරවා ගෙන ගොස් ඡායා රූපයක් ගන්නට අවසර ගෙන ලබා ගත් එකකි. වැළි තොටුපොලේ සිටි සියල්ලෝම ඊට අවසරය ලබාදී  හා ඇයගෙන් ඉල්ලීම කලද ඇය ඊට දැක්වූයේ වස කුලෑටි කමකි. 
එබැවින් අපට සාර්ථක ඡායා රූපයක් ගැනීමට තිබුණු අවස්ථාව මග ඇරී ගියේය.




හිරු මුදුන් වී ආපසු ගමට යන්නට පටන් ගෙන තිබුණි. අප ගං ඉවුරකට සේන්දු උනෙමු. ආසාවට ගහක් තබා හෙවනකට වතුපාළු වැලක් වත්  එම ස්ථානයේ නොවීය.
 තෙශාන්ත හා පසිඳු සිරිත් පරිදි දිවා ආහාරය සපයා දීමට ඉවුරේ කපොල්ලක් තුලින් නොපෙනී ගියේය.
 ඒ වන විට මාගේ හිස තදින් රිදුම් දෙන්නට පටන් ගෙන තිබුණි. 
මා බොහෝ විට බියපත් වන තර්ජනය මෙම හිසේ රුදාවය. 
සැමදා එය; මා බිම හෙලන්නට සමත් පෙළීමකි!  

මේ සියල්ල අතර ඇනෝ ගං දියේ ගිලෙමින් සිත්සේ නා ගනු මා දුටුවෙමි. 
ජීවිතාරක්ෂක කෑනය ලබාදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කර ගත් මා ඔහු නෑම අවසන් කරණා තුරු ඒ අසල නවතා තිබූ වැලි ගොඩ දමන ෆයිබර් බෝට්ටුවේ බඳින් සැකසුණු කුඩා සෙවනැල්ල තුල හිස තබා ගෙන බිම වැතිරී සිටියෙමි. 

දෙනෙත් තෙත් වන තරම් අමාරුවකින් සිටි මා හිස එසවූයේ ඇනෝ නෑම අවසන් කොට ගොඩට පැමිණීමත් සමගය. 
ඇනෝ මා ඔහු අසල බිම වාඩිකරවා හිසේහි දෙපස ඇති නිල නැතහොත් පීඩන ස්ථානයන් තෙරපමින් නිල වෙදකම්ක් කලේය. 
එය එම අවස්ථාවේදී මිළ කල නොහැකි අස්වැසිල්ලක් විය.




දිවා ආහාරය අසල වැලි බෝට්ටුවේ තට්ටුව හෙවත් ඩෙක් එක මත දිග ඇර ගත් අප තවත් ටික වේලාවකින් ගමනට පිටත් විය.
දිනය අතිශයින් උනුසුම්  වාතාවරණයක් සියල් කල්හිම අපවටා ගොඩනගමින් විය. 
අප දිවා ආහාරය ගෙන එතනින් පිටත් වී නොබෝ වේලාවකින් හාත් පස පවති කාළගුණික තත්වයේ කැපී පෙනෙන වෙනසකට මුල පුරණ්නට විය.

එතෙක් අප දවාලූ චන්ඩ හිරු රැස් වළාකුල් තුල සැඟව ගියේය. 
තවත් ටික වේලාවකින් වැහි බීරිමකින් අහස බර විය.
 දහවල් 3ට පමන වන්නට ඇතැයි සිතේ. 

එක් වරම මහා වරුසාවක් කඩා වැටෙන්නට විය. වැහි බිඳු සිරුර මත යකඩ බෝල පොලා පනින්නා සේ දැනුනි. මහ වැස්ස නොතකා අප තවත්; තව තවත් පැදගෙන ගියෙමු. 

මාගේ හිස පුපුරණ්නට තරම් වේදනා දෙමින්ය.

 ඒ වන විටත් මා පැදවූයේ බරසාර ෆයිබර් ට්‍රයෑකයය. "මචං! ඉන්න බෑ ඔළුව පුපුරන්න වගේ අමාරුයි!" හැම මොහොතකම මගේ මුවින් පිටවුනු ශෝකාලාපයයි. මෙය අසා ඉන්නට බැරිම තැනදෝ; කයාක දෙක මාරු කිරීමට පසිඳුත් තෙශාන්තත් මා හට යෝජනා කලෝය. ඔවුන් පදින ලද LDPP - කයාකය පැදීම වඩාත් පහසු කටයුත්තක් විය. තවත් ටික දුරක් පැදගිය මා; ඔවුන්ගේ කීමට අවනත විය. 

මහවැළි ගඟේ, කැළණි ගඟේ මෙන් සිතෙන පරක්කුවෙන් ගොඩ බිමට බැසිය හැකි තැන් කළු ගඟේ නොවීය. මන්ද ගං ඉවුරට ඉතාමත් ඉතාමත්ම ආසන්නයේ වුවද අපේ උස පොවන්නේ නති තරම් ගැඹුරකින් යුක්ත විය!මෙය අතිශයෝක්තියක් නොවේ. බොහෝ තැන් වල පතුල රොන් මඩ හෝ ඉල්ලං ගල් වලින් පිරී ගොස් තිබුණි. මේ සියල්ල මිනිස් ක්‍රියා කාරකම් වල අනිසි පල විපාකයන්ය!

මහ වැස්සේම වම් පස ඉවුරට අපසේන්දු විය. කයාකය ඉවුරටම ලංකර ඉදිරියේ සිටිනා අය ඉවුරේ කිසියම් ගහක් වැලක් හෝ වෙනයම් ස්ථාවර වස්තුවක් අල්ලාගෙන ගොඩ බිමට පැනිය යුතු වේ. 
මන්ද ඉවුර අසල ගැඹුර නිශ්චය කර ගත නොහැකි නිසාය. 

ඉවුරට බට ඇනෝ "තව පොඩ්ඩෙන් . . .!" යැයි කීවේය. 

කයාකය ගොඩ බිම සිට; ඇනෝ විසින් අල්ලාගත් පසුව මමද ඉවුරට පැන ගත්තේය. 

"අම්මට සිරි!' මටද කියැවුණි.

ඉවුරට අඩි එකහමාරක පමණ සමීපයේ  හාරණ ලද අඩි 4 X 4 පමණ අත හැර දැමුණු පතලකි. 
පුවක් ගස් මගින් ඉවුර කඩා වැටීම නවතා තිබුණු මෙම පතලේ කට මට්ටමට ජලය පිරිලාය. 
අත හැර දමා තිබුණු එහි වතුර කොලම කොල පැහැය ගෙන තිබුණි. සත්තකින්ම එය  මර උගුලකි.
 පසිඳු හා තෙශාන්ත පරිස්සමින් ගොඩ බෑ පසු; .මා තන බිස්සේ මදක් වැතිරුණෙමි.එය කිසිසේත්ම සුවයහනක් නොවුණි. එහෙත් මාගේ හිසේ රුදාව විසින් මා කපා හෙලූ ගසක තත්වයට පත්කොට අවසානය.

එක වරම ඇද හැලුණු ධාරානිපාතය සමග දසත් ගිගුරුම් දෙමින් හෙන පුපුරණ්නට විය. මෙවන් එළිමහනක සිටින අප හෙන සැරයකට ඉලක්ක වීමට ඇති ඉඩ කඩ අති මහත්ය. නිඹඳවම පුපුරා හැලෙන විදුලි කෙටීම් වලින් අඳුර විටෙන් විට කපා දැමුණි.


මා තරමක වේලාවක් දෑස් පියාගෙන සිටියෙමි. 
ඔර්ලෝසු වේලාව ගැන කිසිදු හැඟීමක් අප කිසිවෙකුට තිබුනාදැයි මාහට නොසිතේ. එහෙත් හාත්පස කරුවල වැටෙන්නට පටන් ගෙනය. ඒ දිනය මහළු වීම අතික්‍රමණය කල වැහි වළාකුළු හා වැස්සය. 

කිසිවෙකු මා හට බාධා නොකලේය. එහෙත් අප ඉක්මණින් පිටත්ව යා යුතුය. අපගේ ගමනාන්තය වන කළුතරට තවත් කිලෝමීටර 30 ක් පමන ඉතිරිව ඇති බව සිතියම කියා පෑවේය. කළුතරටම යන්නේ නම් තවත් පැය 8 ක් පමණ ගත වෙනු ඇත. 
ගඟ බොහෝ සෙයින් නිසලව ඇත. කළුතරටම ඇත්තේ පැදීමක්මය! එය අතිශයින් වෙහෙසකාරී ක්‍රියාවකි.  

මෙම ගඟේ බිම පය ගැටුණු තැනක් නොමැත. එතරම්ම ගැඹුරකින් යුක්තය. එනිසාම රාත්‍රී කාලයේ සංචාරයට සුදුසු මෙම ගඟ නම් නොවේමය. 
අප තීරණයක් ගත යුතුව ඇත. ගඟ  ගලන්නේ ජන ශූන්‍ය පරිසරයක් තුලින්ය. ගඟෙන් අත් මිදෙන්නට නම් පාලමක් හමුවිය යුතුම විය. 

"මචං! මං හිතන්නේ අපි ඉක්මණින්ම ඊළඟ පාලම ලඟින් ගොඩට යන්න ඕන කියලා! අපි භාරයක් ඔප්පු කරණ්න වගේ පැදලා වැඩක් නෑ!!  මේ ගඟත් කිසිම ශුවර් එකක් තියන්න පුළුවන් එකක් නෙවෙයි ගැඹුරත් එක්ක! මොකද උඹලා කියන්නේ!?"

"............................................................................................"

සියළු දෙනාම මාගේ අදහස සමග එක් විය. 

"එහෙනං ඉක්මන් කරලා යමු. වෙලාවක් නෑ!"

"අයියේ ඔයා මේක පදින්න!"

 පසිඳු ඔවුන් එතෙක් පැද ආ කයාකය මා වෙත ප්‍රදානය කලේය. තෙශාත් එය අනුමත් කලේය. මමද එය අකමැත්තෙන් වුවද භාර ගතිමි.  

නැවත අප දියට බටහ! එතැන් සිට ගසන් ගසන හබල් පහරක් සමගම ටිකින් ටික අඳුර අප වෙතට පැමිනෙමින් විය. නොපෙනෙන අරමුණක් හමුවන තෙක් අප වෙහෙස නොබලා හබල් ගසන්නට ගැසීමු. 

තවත් ටික වේලාවකින් වැස්ස තරමක් තුරල් විය. ඊට සමගාමීව වැසි බර වළාකුළු තරමක් ඈත් මෑත්ව අපේ ගමනට සුළු සහ යෝගයක් දක්වමින් විය. කිලෝ මීටර 4 ක පම ණ දුරක් හබල් ගැසූ පසු ඈතින් කුඩා පාලමක් දිස් වන්නට විය. අප සීරුවෙන් එතැනට සේන්දු විය. 


ගොඩ බෑ සතුට !

අප සිටින්නේ කොහිද?
ගූගල් සිතියම උප කාරයෙන් අප සිටින ඉසව්ව සොයා ගත්තෙමු. එය ඉහළ නාරගල පාලමය. අපේ ලොරි පොඩ්ඩා සිටින්නේ කළුතරය. කළුතරට යන්නට නම් අප මෙම ස්ථානයෙන් බැල්ලපිටිය හංදියට ගොස් එතැනින් බසයක නැගිය යුතුය.

මමත් තෙශාන්තත් ලහිලහියේ ඇඳුම් මාරු කර ගත්තෙමු. කයාක තවම පාලම යටය. එතැන සිට පාලම මතුපිටට ඇත්තේ සීඝ්‍ර කන්දකි. කයාක දෙක පාරට ගෙන සියල්ල අසුරා ගැනීම පසීටත් ඇනෝටත් භාර කල අප දෙදෙන බැල්ල පිටිය හංදිය බලා පාගමනෙන් ඉගිළුනෙමු.

අප පාම් හෙවත් කටු පොල් වගාවක් තුලින් ගමන් කලෙමු. සොහොන් පිට්ටනි අසල සිට සෙල්ෆි ගැසුවෙමු. විකාර කියවමින් නාඹර ගැටව් දෙදෙනෙකු ලෙස සිනහ වෙමින් ඉදිරියටම පැමිණියෙමු.

පසු කල දිගු මං මාවත් !

ඔබ මාගේ මෙම බ්ලොගය මුල සිට බලා ඇත්නම් "දවස් දෙකයි ළිං තිහයි" යනුවෙන් ගං වතුරට අසුවූ ළිං ඉසීමකට මෙම පැත්තේ අප මීට කලකට පෙර කරක් ගැසූ බව මතකයට එනු ඇත. 

එම සත් ක්‍රියාව සම්බන්ධීකරණය කල හොරණ, කඳන, ජල පිරිපහදුවේ ඉංජිනේරු තැන්පත් සාගර මහතාවද ඔබට මතක ඇත. 

තෙශාන්ත; සාගරව ඇමතූවේය. අපේ වෙලාව තවමත් හොඳින්ය. සාගර නිවසේය. ඔහු අපව බැල්ල පිටිය හංදියට ඇරලවන්නට එන්නට පොරොන්දු වූවේය.  

ත්වත් කිලෝමීටර දෙකක් පමණ ගමන් ගනිත්දී අපගේ ඉටු දෙවියා අප ඉදිරියේ විය. ඔහු අපව බැල්ලපාන හංදියට ඇරලුවේය. 

අප මුදා ගැනීම ගොඩට ගැලූ සාගර !

අප දෙදෙන එතැනින් කළුතරට පැමිණ ලොරි පොඩ්ඩා රැගෙන ඉහළ නාරගල බලා යන්නට විය.! අප නාරගලට යන විට ඇනෝත් පසිඳුත් ඇටපල් කරුවලේ පාලම් ගැට්ට මත "මරු" කියවමින් සිටිනි දක්නට ලැබුනි. හරවා ගත් ලොරි පොඩ්ඩා මත සියල්ල තබා ගට ගසා ගත් අප කරුවලේම සිට සෙල්ෆිය ගසා ගම රට එන්නට පිටත් වුනෙමු!


කළු ගඟට සමු දෙමින්; විරාමයකට . . .  !

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ

සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම - කළුතරට 

මියෙන්නට පෙර දිනෙක 

එතෙක් හද; ඉවසන්න

විඳින නෙක දුක් ගැහැට





23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...