Friday, September 13, 2019

149. ගිණිහලට බැඳි පෙම . . !

ආමරියේ ප්‍රේමය . . . !

සිංහල ගීත සාහිත්‍යයේ එක් එක් කාල වකවාණු වල බිහිවී; පවතින ගීත ලියන ලද සුළු පිරිසක් වේ.

කලාව කලාකරුවාගේ භාව ප්‍රකාශණ මාධ්‍යය වන විට; ඔහු තුල එම භාවයන් බිහිවීමට හේතු භූත වන කරුණ මෙය යයි ලඝු කොට දැක්විය නොහැක.
තමන් ගේ හෝ අන් අයෙකුගේ  ජීවිත අත්දැකිම් හෝ තමා තුලම හට ගන්නා හැඟිමක් මිට හේතු විය හැක.
තමන්ට හෝ අන් අයෙකුගේ ජිවිත අත් දැකීමක් මෙන් නොව පුවතක් කවියක් ලෙසට උද්දිපණය වන්නේ කවිකොල යුගයේදීය.
එහෙත් පසුකාලීනව ඇන්ටන් ජෝන්ස් ගායකයා විසින්ද මෙරට - නොරට පුවත් සිද්දි සිදුවීම් මෙලෙස තම ගායනයට එක් කර ගත්තේය.

සමකාලීන ගීතරචකයින් සොඳුරු පුද්ගල ප්‍රේමය, විරහව වියෝව විප්‍රයෝගය තුල තම රචනා කොටු කර ගනිද්දී රත්නශ්‍රී විජේසිංහයෝ සියඹලාන්ඩුව කච්චේරිය මුල  ගොවි නැගිටීම තම ගීතයට ප්‍රස්ථූතය කර ගනිමින්  සාර්ථක ගීතයක් ලෙස බිහි කරයි.

හැත්තෑව දශකයේ එනම් ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී තරුණ ජවය පිළිබඳ ගොවිබිම් පිළිඹඳව මහපොලවට දහදිය හෙලන ගොවියා කම්කරුවා පිළිබඳව ලියැවුනු රචනාවන්ට පසුව ප්‍රේමයට එහා ගිය ගීතයේ නිම් වළලු පුළුල් කල රචනාවන් බිහි වූයේ ඉතා මන්දගාමීවය. 

සොඳුර මට සමු දෙන්න - සමුදෙන්න . . // - ඩී ඩී ගුණසේන / සමන් චන්ද්‍රණාත් වීරසිංහ / ප්‍රේමසිරි කේමදාස

අඳුරු කුටිය තුල - දොර ගුළු ලාගෙන . . - ටී එම් ජයරත්න / ප්‍රේමදාස ශ්‍රී අලවත්ත / ප්‍රේමසිරි කේමදාස

සඳ මඬලේ සිට - තරු මඬලේ සිට . . - මාළණී බුලත්සිංහල / සමන් චන්ද්‍රණාත් වීරසිංහ / ෂෙල්ටන් ප්‍රේමරත්න

පසු කාලීනවද . . . . . . . . ;

කරදිය ගැඹරේ - තුන් යම ගෙවුනේ . . එඩ්වඩ් ජයකොඩි / ප්‍රේම කුමාර ජයවර්ධන / රෝහණ වීරසිංහ

ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා . .  එඩ්වඩ් / කුමාරදාස සපුතන්ත්‍රී / රෝහණ වීරසිංහ

විවෘථ වෙළෙඳ පොලේ ඉල්ලුමක් නොමැති සංධර්භය තුල මාකට් කල නොහැකි ගීත ලියන්නන් බිහි වන්නේ කෙලෙසද?

අමරදේවගේ දුක්බර හඬට "සුදු පියුම" ලියන රත්නශ්‍රී;
කපුගේ ගේ අඬහැරයට ලියන්නේ "බිම්බරක් සෙනෙඟ" ය!
මේ සියල්ල පුවත් හෙවත් නිව්ස් ය!
ලංකාදීප පත්තරේ පලවන; ප්‍රාදේශීය වාර්ථාකරුවකු විසින් සැපයුනු; හරි හමන් හෙඩිමක් පිංතූරයක් වත් නැතිව පලවූ නිව්ස් කෑලිය.

ගිතය; ලාලිත්‍යයෙන් පිරුණු කලා කටයුත්තක් වන තැන සේකර "මුනිසිරිපා සිඹිමින්නේ" ලියයි. 
එයට අමරදේව එක් කරණ්නේද පුළුන් රොදක් යාන්තමින් පාවයන සිහිල් පවන් පොදක් වන් සංගීත රාවයකි, නන්දා හා එක්ව සුමියුරු ගැයුමකි - කටහඬකි, තනුවකි!
එම ගිතයේම තවත් වරෙක අන්තරාවේදී ගැයෙන "ජාතික රණ දෙරණ මතේ කැපී වැටී මල මොහොතේ . . //" ගැයෙන විට එම කටහඬෙහි ඇති රණ කාමීත්වය!?
එය ගිතයට ලැබෙන්නේ කට හඬින් පමනක්ද?
නැවතත් මා ලියන්නම් වෙහෙස නොබලා.
තනිව ඔබම ගායනා කොට බලන්න ඒ වචන පෙල නැවතත්.

"ජාතික රණ දෙරණ මතේ කැපී වැටී මල මොහොතේ . . //"

එම රිද්මය, එම හඬ, එම අදීනත්වය, එම ප්‍රෞඩත්වය,එම සටන් කාමිත්වය එම වචන තුල සැඟව නොතිබේද?


"සුදු නෙළුම කෝ සොර බොර වැවේ . ." කියා රත්නශ්‍රී අප කැඳවා ගෙන යන්නේ; හේ ගිය ගොක් කොල වලින් දෙපස සැරසූ මගක බව මාහට දැනේ.
දියණියගේ වියෝව වෙනුවෙන් වත් හෙලීමට කඳුළු ඉතිරි නොවූ ඇස් කෙවෙණි වලින් මව අප එන මග බලා සිටියි.

මරණය ගීතය තුල චිත්‍රණය කල අවස්ථා අතර සනත් ගේ "එදා මෙදා තුර . . . "ට හිමිවන්නේ මහත්වූ රසික ප්‍රසාදයකි.
කපුගේ "සුමනෝ . . " ගයන්නේ වෙස්සන්තර ජාතකේ කියන්නට කෙනෙකු සොයාගත නොහැකි වූ තැනද? එතරම්ම සෝචණීය හඬකි එය.
කලකට පෙර යොවුන් සිත් වසඟ කල නාමල් උඩුගමද මරණය ගීතය තුලට කැඳවාගෙන ආවේය. "නිසල වෙලා හද - නොසැලේ හසරැල් . . " ගීතය බිහිවන්නේ ඒ තුලිනි.


මේ සියළු ගීත අතර රත්නශ්‍රී ගේ තෙලි තුඩෙන් චිත්‍රණය වන "සිංහල සිංදු කියන . . නළලේ තිලක තියන කිරිල්ලී " ගීතය අතිශය ප්‍රේමයේ සුන්දරත්වය සනිටුහන් වන ශෝචනීය කථාවක්  අපට මතක් කර දෙයි.

වරෙක අන් පෝස්ටුවකට කඩදාසි කොලේ ලියන ලිඛිතා ලියන ලද කොමෙන්ටුවකට මා ලියන ලද මගේ අදහස ලෙසට මෙම ගීතය උදාහරණයකට ගතිමි.
"සකල සිරිණ් පිරි සිරි ලංකාවේ කඹුරුපිටිය නම් ගම සොබනා . . . " යනුවෙන් කවිකොලයකට නගන්නට තිබුනු අදහසක් රත්නශ්‍රී කවියා ප්‍රේමණීය පද ගෙත්තමක් බවට ආදරණීය වියමනක් බවට පත් කරයි.


ඒ ඔහු තුල ඇති වචනකෝෂයේ දිග පලල නිසා නොව තම සරල සුගම වදන් වලින් කෙරෙණ්නාවූ ගීතය නම් වූ දුම්බර පැදුර තුල දක්වන වදන් හැසිරවීමේ බුහුටි බව නිසාම බව මා සිතමි
ඒ නිසාමයි මා දක්වන්නේ ඔහු වෙතින් කෙරෙණ්නේ පද ගෙත්තමක් කියා!?

එම ගීතයේ ජාතක කතාව හෙවත් නිධානය අතිශයින් විචිත්‍ර වූ කතා පුවතකි. අපි ටිකකට ඔහු සමග දොඩමලු වෙමු.

"මට මතක හටියට නවසිය අනූ හතරෙ වගේ කාලේ මට රාත්‍රියේ කපුගේ ගෙන් ඇමතුමක් එනවා.
ඒ දවස් වල ගුණසිංහ මහත්තයා පලකල සඟරාවක් තිබුනනෙ සිව්දෙස කියලා. මේ සඟරාවේ පලවුනු ආර්ටිකල් එකක් ගැන මේ කියන්නෙ එයා.

මගෙන් අහනවා කියෙව්වද කියලා !

මම කියනවා නැහැ කියලා !

ඒ පාර එයා කියනවා හොයාගෙන කියවන්න.ඒකෙ තියෙනවා අළුත් දෙයක් කියලා.
සඟරාව හොයාගෙන කියවන කොට ඒකෙ තියෙනවා දකුණු පලාතෙ ඉඳලා කාන්තාවක්; පොලිස් නිළධාරිනියක් විදියට කොළඹ යනවා. 
කොළඹ දී එයා වැඩකරනවා කිරුළපනෙයි මිරිහානෙයි. 
කිරුලපනේදී එයාට හම්බෙනවා උතුරෙ ඉඳලා ආව ද්‍රවිඩ ජාතික පොලිස් නිළධාරියෙක්. 
ඒ දෙන්නා අතර දැන හැඳුනුම් කමක් ඇතිවෙලා  ඒක ප්‍රෙමයක් දක්වා වර්ධනය වෙනවා. . . . . . . . . !"

ආදරය ප්‍රේමය යන කාරණාවන් හට ජාති බේධයක් නොමැත. එය සංගීතය වැනිම වූ විශ්ව ධර්ම තාවයකි. නඩේසන් තරුණවියේ කඩවසම් නිළධරයෙකු විය. ඔහු තරුණයෙකු සේ  පොලිස්ථානයට එන විට ඔහුට කොලඹ නුහුරු පරිසරය තුල හිතෛශී අයෙකු ලඟ පාතක නොමැති විය. වැල්ලවත්ත කිට්ටුව සිටින ද්‍රවිඩ ජනතාව අසලදී පමණක් ඇසෙන කනට හුරු පුරුදු බස පොලීසියේදී නොඇසුනේය.

ඔහුගේ දෙසවනට හුරු හඬක් පොලීසිය තුලදී නොඇසුනද හදවතට හුරු පුරුදු දසුනක් පොලීසිය තුලදීම දක්නට ලැබෙන්නේ කාලය සමගය. දෙමළ නඩේසන් දෙනෙතින් කෙරෙණ ආමන්ත්‍රණයට; සිංහල විනීතා දෙනෙතින්ම කෙරුණු පිළිතුරු කියවාගන්නට නඩේසන්හට සිංහල දැනුමක් අවශ්‍ය නොවන්න්නට ඇත. නඩේසන්ගේ ප්‍රේමණීය ස්වරය ඇයට ආත්මීය හඬක් විය.

"දිව නුහුරු බසින් පෙම් කවි කී - කුරුල්ලාට වශී වී  . . . . . . . //"

රත්නශ්‍රී ගේ ගෙත්තම වියැවෙන්නට පටන් ගත්තේය.

මීට දශක ගනනාවකට පෙර භාරතයේ ශාන්ති නිකේතනයට සංගීතය හදාරණ්නට හෙළයේ සිට පිවිසෙන සූර්‍යය කුමාර් මොල්ලිගොඩ තරුණයා පෙමින්වෙලෙන්නේ හින්දු භක්තික සුන්දරාවියකටය. 
ඔවුන් ආදරය කරණ්නට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වන්නට ඇතැයි මට සිතේ.
ඇයට අනිවාර්‍යයෙන්ම යුරෝපීය බස තම පියා වන ජ්වහල්ලාල් නේරු විසින් උගන්වන්නට ඇතැයි සැකයක් නැත.
ඇය ඉන්දිරා ගාන්ධි නමින් පසු කලෙක; අගමැතිනිය ලෙසින් භාරතය පාලනය කලාය!

මාගේ මතකය නිවැරදිනම් ගායන වාදන විශාරද ටී ෂෙල්ටන් පෙරේරාද විවාහ වූයේ ඉන්දීය තරුණියක් සමගය.

පෙම්වතා හා පෙම්වතිය එකම රටක එකම බසක් හුරුවූ අයවළුන් වූවද පළමුව කෙරෙණ්නාවූ ආමන්ත්‍රණය  කෙරෙණ්නේ දෙනයණෙනි!

සනත් නන්දසිරිට ගීතයක් ලියන කරුණාරත්න අබේසේකරයන්;
"ආයාචනාත්මක බැල්මෙන් - ආයාචනාත්මක කැල්මෙන්
ගොළු හදවත තුල ගොනුවුනු සිතුවිළි
අපමණ තෙරපෙන බව වැටහේ . . //"
කියා ලියාදෙන්නට ඇත්තේ මෙනිසා විය යුතුය

ප්‍රේමය හා ගීතය අතර ඇත්තේ ඉතා කිට්ටු සබඳතාවයකි. 
ඒ අති බහුතරයක් ගීතයනට ප්‍රේමය පස්ථූතය වන කාරණාව නිසා නම් නොවේ. 
ගීතයක් කියන්නට හැකි නොහැකි ඕනෑම  මවක තම දරුවා නළවා ගන්නට නැලවිළි ගීතයක් ගයන්නාසේ ආදරයෙන් බඳුණු පසු තරුණයෙකු කිසිවෙකුට නොඇසෙන සේ හෝ ගීත  මිමිණීම කරණු ලබයි! 
බොහෝ විට පෙම්වතුනට ගීත ඇසෙන්නේ තමා වෙනුවෙන් ලියැවුණු කියැවුනු සේය.

නඩේසන්ද දෙමළ ආදර ගීත විනීතාට ඇසෙන්නට ගයන්නට ඇත. ඒවා තේරුම් ගන්නට ඇත්තේ බුද්ධියෙන්න් භාෂා ඥානයෙන් නොව හදවතිනි. ඇයට එම ගීත තේරුම් යන්නට ඇති; තමාට නුහුරු බසකින් කියැවුනත්.
තමාගේ හදවතේ ගැඹුරින්ම ලියලා වැඩුණු ප්‍රේමය පිළිබඳව නඩේසන් ගයද්දී විනීතා දෑස් දල්වා බලා සිටින්නට ඇත. තාල අල්ලන්නට ඇත. සෙමෙන් ඔහුගේ උරහිසට බරවන්නට ඇත.

මේ සියළු ප්‍රේමණීය සිහින අතර එක් බියකරු සිහිනයක් දැක ඔවුන් තිගැස්සී අවදි වෙයි. කොළඹ නගරයේ බොහෝ ස්ථාන වලින් අහසට නැගුණු පුළුටු ගඳැති දුම් රොටු නඩේසන් හට තමාගේ ප්‍රෙමය කෙතරම් අස්තීර දැයි මතක් කරදෙන්නට විය.

තමා ප්‍රේම කරණ්නේ තමාගේම ඥාතීන් සිය ගනනක්; දෙමළුන් වූ පමණට; අමුවේ මරා දැමුණු ජාතියකට අයත් එකියකට නොවේද? කළු ජූලිය සිංහල අන්තවාදීන්ගේ පමණක් නොව සමහර  පොලීස් නිළධරයන්ගේ පවා පක්ෂග්‍රාහී පිළිවෙත නඩේසන්හට පෙන්වා දුන්නේය.

"ඉතින් මා යා යුතුය! මා මගේ නිජබිම වෙතට යායුතුය!! මාහට ආරක්ෂාව ඇත්තේ උතුරේ විනා දකුණේ නොවේ. මා එහි ගොස් තරුණයන් හා එක් වන්නෙමි!!!! ඇය කුමක් කරයිද? " නඩේසන් දවල පුරා මෙන්ම රාත්‍රිය පුරාද අනුලෝම ප්‍රථිලෝම වශයෙන් තමා දිනාගත් සිංහල ප්‍රේමය ගැනත් තම නිජ බිම ගැනත් සිතන්නට විය.

"මම යාපනේ යෙනවා . . ! පොලීෂියෙනුත් යෙනවා . . . !!"

"යාපනේට යනවා . . ? තනියෙමද . . ? එතකොට මං . . . !?'

" නේ . . .නේ!  යේක තනියෙම නෙවෙයි . . !! ඔයාත්  තෙක්ක!!! ඔයා යෙනවා නේද . . ?

කිසිවෙකුට නොඇසෙන සේ ඔහු ඇයව තම මතයට එක් කර ගන්නට ඇත. එක වරම ඇය වචනයක් නොකීවත් දින ගනනාවක් නඩේසන් කරණ්නට වුනු කනපිංඳුන් වල ප්‍රථිපලයක් ලෙස ඇය පලා යන්නට එක්වන්නට ඇත.
නඩේසන් කිසිදාක; ඇය තමා සමග තල් අරණට ඒ යැයි මොහොතකට වත් නොසිතුවේය. ඇය ඊට එකඟ වීම ඔහුට අදහා ගත නොහැකි විය.

මේ සම්බන්ධය ගැන විනීතාගේ ගෙදරට යාන්තම් ඉවක් වැටුනු දින සිට ඇයව මාතර පොලීසියට අනුයුක්ත කරගැනීමට ඇයගේ දෙමව්පියන් සියළු වෙහෙස මහන්සි දැරුවාය!

"ඔය්යා දාසක මාව දාලා අම්මා අප්පා ගෙදර යයි.  . . . . .!"

නඩේසන් එහෙම කී අවස්ථාවලදී විනීතා පළමුව තරහක් පෙන්නුවේය. 

"ඔයා හැම තිස්සෙම කියන්නේ ඕකමනේ! කියනකොට කියන කොට ඕකම වෙයි!! ඔයාට කර ගන්නට ඕනත් ඒකමනේ . . .!!! නඩාට තෙරුණත් නොතෙරුණත් ඒ ගැන කිසිදු තැකීමකින් තොරව විනීතා කියවාගෙන ගියාය.
පසුව හිස පහත් කර ගත්තීය.
මහත් වෑයමෙන් නඩේසන් ඇගේ හිස ඔසවා බැලූ විට ඇයගේ දෙනෙත් කඳුළින් පිරී තිබෙනු දැක නඩේසන් හට සතුටක් මෙන්ම දැඩි දුකක්ද ඇති විය.
 එදිනම ඇය ව වැල්ලවත්ත කෝවිලට එක් කරගෙන ගොස් ශිව - පාර්වතී ඉදිරියේ වැඳ නළල මත තිලකයක් තැබුවාය.

"සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී . . ."

විනීතාගේත් නඩාගේත් විවාහය ඉතාමත් චාම්ව කෙරිණි. චාරිත්‍රයක් ලෙස කෙරුණේ කෝවිලට පය තැබීම පමණි. විනීතාගේ වත් නඩා ගේ වත්  නිවස් වලින් කිසිවෙකු පැමිණ සිටියේ නැත.

 විවාහට ටික කලකට පෙර දිනක් උදෑසන ඔවුන් දෙදෙන කෝවිලට ගියෝය. කොවිලෙන් එලියට පැමිණ සයිවර් කඩයකට  ඔවුන් ගොඩ වැදුනි. සුදු වේට්ටියකින් සැරසී කඩේ කෑම බෙදන මැදිවියේ සේවකයා පැමිණ  හැරුණේ විනීතා දෙසටය.

"උංගලක එන්න් සාපාඩ කොණ්ඩු වරුනම් . ?"

විනීතාට එක වරම හිනා ගියේය. කොණ්ඩයේ පැළඳි මල් මාලාව හා නළලේ තැබූ තිලකය ඇය දෙමළියක් කර ඇත. ඇය එක වරම නඩේසන්ගේ උරහිස අල්ලා සිනහ වීය.

" ඉවල් සිංගල පිල්ලෙයි . . ! නාන් කලියානම් මුඩික්ක ඉරුප්පද අන්ද පිල්ලෙයි . . . . !! "

නඩේසන් කඩේ සේවකයා හට තත්වය පැහැදිළි කර දෙන්නට ඇතැයි විනීතාට සිතුනේ එම සේවකයා ඉතාමත් විනීත ලෙස තමා දෙස බලා සිටිය අයුරිණ්ය.

"ඒ මනුස්සයාවත් මේ යක්කු මරලද දන්නේ නෑ!" විනීතාට සිත්විය. එම කඩය අළුගොඩක් වන්නට ඇති. ඇය තනිවම සිතුවාය. මෙහේ පමණක් නොව උතුරද ගිණිගෙන ඇත. ත්‍රස්තවාදීන් කුඩා කණ්ඩායම් ලෙස රජයේ හමුදාවට හා පොලීසියට පහර දෙන්නට පටන් ගෙන ඇත. නඩේසන්හට දුන් පොරොන්දුවේ බරපතල කම  විනීතාට සිහිවිය.

"මං සිංහල කියලා යාපනේ මිනිස්සු මාව මරලා දායි . . !"

"ඉෂ්ශෙල්ලා මාව මරණ්න වෙයි එයාලට . . ! නේ! නේ!! අපිලගෙ අම්මා ඔයාට ගොඩාක් ආදරේ වෙයි!"

කුමන දෙයක් කීවත් ඇය යාපනයට යන්නට පය ඔසවන්නේ දහසකුත් එකක් දුක් කම්කටොළු  කරපින්නා ගෙනය. තමා මෙතෙක් කල් ලොකු මහත් කල අම්මා තාත්තා සියල්ල යලිත් කිසිදු දිනෙක දකින්නට වත් නොහැකි වනු ඇත.

"සිංහල සින්දු කියන නළලේ තිලක තියන  කිරිල්ලී . . . . . 
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී . . . . . ."

රත්නශ්‍රීගේ කවීත්වය හිස් කරදාසිය පුරා රටා මවමින්ය.

ඇය තල් අරණ වෙත යන ගමන  සීමා මායීම් රාශියක් හරහා යෙදුනු එකක් විය. 
ඇය අළුත ගෙනා මනාළියකි. හුළවාලි චිත්‍ර පටියේ ආරම්භක ගීතය ලෙස බන්ධුල විජේවීරයන් ගයනා සේම; දුම්බර මැණිකක් නොවුනත් කුළගෙදරින් කැන්දාගෙන එන කුළ කතකි.

එහෙත් ඇය ඔසවන පියවරක් පියවරක්  පාසාම ගමට, හැදුනු පරිසරයට, දෙමාපිය සෙනෙහසට තිබුනු ඇල්ම , බැඳීම ටිකින් ටික තුනී වී යනවා වෙනුවට තව තවත් ඝන වීමක් වනු ඇයට දැනුනි.

 ගතවන සෑම මොහොතක් මොහොතක් පාසාම ඇයට ඇසුණු කතා බහ ටිකින් ටික නොතේරී යමින් විය.

ඇය නඩේසන් වෙතට තව තවත් තෙරපිනි.
ඒ හිත වෙලා ගනිමින් තිබුනු තනිකම බිය පත් බව අසරණ කම නිසාමය. 

ජීවිතේ කිසියම් දිනෙක සුවඳ මලින් සැදුම් ලත් මල් කළඹක් දෝතින් ගෙන සුදු සේලයකින් සැරසී දෙමාපිය ආශිර්වාදය මැද; අෂ්ඨක, ජයමංගල ගීත ගායනා ගයද්දී පෝරුවක් මත දෑඟිලි පටලා ගැනීමට ඇය සිතා සිටියාය.

දිනක් ඇයට කලකට පෙර නැරඹූ "සරුංගලේ" චිත්‍ර පටය  මතක් විය. 
ඒ සමගම ඇය ඉදිරියේ "ඉසුරු දෙවිඳු - උමයාංගන සේ පෑහෙන්නයි . . "  ගීතයේ රූපරාමු සිහිනයක් සේ පෙනෙන්නට විය. ඇත්තටම අපිටත් ඒවගේ දෙවිදියටම මගුලක් ගන්නට අත්නම් . . !" ඇය සිතීය. 

ඊළඟ දිනයේ පොලීසියේ ආපන ශාලාවේදී නඩේසන් හමුවූ විඅට පලමුව විනීතා පවසුවේ එම අදහසය. නඩේසන් අහිංසක ලෙස සිනහ වුනා පමණි..
ඔහුගේ පවුලෙන් මෙම සම්බන්ධයට තහංචියක් නැතත් තමන්ගේ ගෙදරිණ් කිසිදු ලිහිලක් නැතිබව නඩේසන් දන්නා නිසා එසේ සිනහවකින් පිළිතුරු දුන් බව විනීතාට රහසක් නොවීය.

"කවදා හරි අපිට අපේ අම්මලා ඉඩ දෙයි නඩා . . එතකල් අපි වෙනස් නොවී ඉම්මු . . !"

ටිකින් ටික විනීතා හට තල් ගසින් පිරුණු යාය යන් දර්ශණ පතයට එක්වෙමින් විය. 

ඇය පැතූ සුදෝ සුදු සුවඳවත් මල් කලඹ ඇයගෙන් මිදී විසිරී ගොසිනි. 

ටිකෙන් ටික අවිළෙණ ජාති වාදයේ ගිනි දල් සමග ඇය අත රැඳුනු මල් පොකුර පිළිබඳව රත්නශ්‍රී මෙසේ දකිමින්ය.

"දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී . . . . "

මේ පටන් ගනිමින් වී ඇති ගිණි දැල් සමග ඇයගේ මධු සමය කෙසේ විය හැකිද?

යුධ සෙබළුනට මෙන්ම ගරිල්ලා සටන් කාමීන් හට ප්‍රේමය අකැප මාතෘකාවක්ද? ප්‍රේමය සියල් සතුන් ගේම සිත් සතන් තුල හට ගන්නා සුන්දර හැඟීමකි. 

එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමළිණී ජෙයක්කුමාරන් විසින් ලියැවුනු ස්ව්‍යං චරිතාපදානය - "තියුණු අසිපතක සෙවන යට" පොතේ; යොවුන් ගරිල්ලා සෙබලියන්ගේ පුද්ගල ප්‍රේමය ගැන යාන්තමින් ලියවී ඇත. 

"කාන්තා සාමාජිකාවන්ගේ විවාහයන් සහ විවාහයට පසුව ඔවුන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ ප්‍රශ්න අතිවිය. ස්ංවිධානය තුළ සටන්කාමී ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධතා සහ විවාහ සම්බන්ධතා ඇතිවිය." 

" දහ අට වියෙහි දී තම ආයුධ සන්නද්ධ අරගලකාරී ජීවිතය ආරම්භ කල විදූෂා අවසන් යුද්ධයේ ආරම්භක අවස්ථාවේ දී හතළිස් වන වියට ආසන්නව උන්නාය. 'අපිට විතරක් ඇයි බං, මේ වගේ ජීවිතයක්?"

යාපන අර්ධද්වීපයේ දිවියට ඇය ඉක්මනින්ම පුරුදු පුහුණු වෙමින්ය. උතුරට පය තැබූ පළමු මොහොතේ පටන් නඩේසන් තරුණ සටන් කාමීන් හා එක් විය. 
තමා සේම හිරිමල් වයසේ උන් බොහෝ තරුණියන් ගිනි අවි සමග පෙමින් වෙලී සිටියෝය.
කුමනහෝ දෙශපාලනයක් විසින් ඔවුන්ගේ යොවුන් විය සොරා ගනිමින් විය. 
එය කඳුළු කථාවකි.
කඳුළු වලට ජාතියක් නොමැත.
ඒවා ගලන්නේ ඇස් කෙවෙනිවළිණි ඇස් දෙමළ උනත් සිහල උනත්! 
ඒවා ලුණු රසය කුම ජාතියකට අයත් වුවත්.
එහෙත් ඒ කඳුළු කථාව විනීතාට හොඳින් තෙරුම් යන්නට ඇත. 

කාලය විසින් කඳුළු හෙලූවන්ද; එම කඳුළු කථාව අපට තේරුම් කර දෙන්නට සිටි විනීතාද ඇගේ ආදරණීය නඩේසන්ද අපෙන් ඈත් කොට හමාරය.
එහෙත් විනීතාගේත් නඩේසන්ගේත්  සුන්දර මෙන්ම ශෝචණීය වූ කථාව අපට ඉතිරිවී ඇත. ඒ කපුගේගේ දුක්බර හඬිනි.

ඒ හඬ මැවෙන්නේ මා කලින් "ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ . ." ගීත කණ්ඩය ගෙන හැර පෑ ලෙසින්ම රත්නශ්‍රීගේ පද ගෙත්තම මත සිටය.

විනීතාගේත් නඩේසන්ගේත් ප්‍රේමයට කුමණ අර්ථකතන සැපයුනද ප්‍රේමයට සීමා මායිම් නොමැත.

"ප්‍රේමය නම් අසෙණිය කුසුමක්වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්" 

යැයි  එදිරිවීර සරච්චන්ද්‍රයන්  පැවසුවේ එනිසා විය හැක!


"සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුනු විහඟ සෙනඟ හඬාවී
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය පියාවී
ආදරේ නුඹට බාරයි රැක ගන්න දේවතාවී "


නඩේසන්

 කපුගේ 












                                                                                                                                                                                                                                                            රත්නශ්‍රී                                                                                                                                                 


                     මෙම සුන්දර ගීතය අකුරුකල රත්නශ්‍රී ගීතය ගැන කියන කතාව

"මට මතක හටියට නවසිය අනූ හතරෙ වගේ කාලේ මට රාත්‍රියේ කපුගේ ගෙන් ඇමතුමක් එනවා.
 ඒ දවස් වල ගුණසිංහ මහත්තයා පලකල සඟරාවක් තිබුනනෙ සිව්දෙස කියලා. මේ සඟරාවේ පලවුනු ආර්ටිකල් එකක් ගැන මේ කියන්නෙ එයා.

මගෙන් අහනවා කියෙව්වද කියලා !


මම කියනවා නැහැ කියලා !

ඒ පාර එයා කියනවා හොයාගෙන කියවන්න.ඒකෙ තියෙනවා අළුත් දෙයක් කියලා.


සඟරාව හොයාගෙන කියවන කොට ඒකෙ තියෙනවා දකුණු පලාතෙ ඉඳලා කාන්තාවක්; පොලිස් නිළධාරිනියක් විදියට කොළඹ යනවා. 
කොළඹ දී එයා වැඩකරනවා කිරුළපනෙයි මිරිහානෙයි. 
කිරුලපනේදී එයාට හම්බෙනවා උතුරෙ ඉඳලා ආව ද්‍රවිඩ ජාතික පොලිස් නිළධාරියෙක්. 
ඒ දෙන්නා අතර දැන හැඳුනුම් කමක් ඇතිවෙලා  ඒක ප්‍රෙමයක් දක්වා වර්ධනය වෙනවා.
 හැබැයි මේ ප්‍රේමයට දෙපැත්තෙම නෑයො බර පතල විදියට විරුද්ධ වෙනවා.
විශෙෂයෙන් කාන්තාවගෙ පැත්තෙන් ලොකු විරෝධයක් එනවා. 
ඔවුන් දෙන්නා ඒ විරෝධය නොතකා විවාහ වෙනවා. 

විවාහ වෙලා ඉන්න කොට තමයි 83 ජූලි කලබල පටන් ගන්නේ.
 ඒ කළබලවලදි සිද්ධවෙන දේවල් ගැන කළකිරෙණ මනමාළයා පොලිස් සේවයෙන් ඉවත් වෙනවා. 
ඉවත් වෙලා තමන්ගෙ අළුත් මනමාළිත් එක්ක තමන්ගෙ ගමට යනවා.

ප්‍රේමය කියන එක  ඇත්තටම මම විශ්වාස කරණ විදියට ඇත්තටම ජාති කුළ ගෝත්‍ර ආගම් වර්ණ ආගම් ආදී සියල්ල ඉක්මවා පවතින මානව ධර්මයක්! 
ඒකෙදි එකක් වත් අදාල වෙන්නේ නෑ ප්‍රේමය විතරමයි!

සටන් විරාම කාලයේදි; ලක්බිම පත්තරේ එක මාධ්‍යවේදියෙක් උතුරෙ ගියා. 
ගියාම ඉස්සෙල්ලා පොලිස් පති පස්සෙ දෙශපාලන අංශයේ නායක නඩේසන් හමුවෙලා තියෙනවා. 
මට මතක හැටියට රමේෂ් වරල්ලගමද කොහෙද!? 
එයා කියනවා ඔයා දන්නවද ඔයාල ගන සිංදුවක් තියෙනවා කියලා සිංහලෙන්? 
නඩේසන් අහනවා ඇයි අපිට බැනලද කියලා!?
 නෑ! නෑ!! සිංදුව මම එවන්නම් කියලා පොරොන්දුවෙලා එයා එනවා.
 සතියකට පස්සෙ එයා අහන කොට පහුවෙනිදාම නඩේසන් සිංදුව කොළඹින් ගෙන්නගෙන අහලා!  දෙන්නගෙ දුවට ඒ සිංදුව ලස්සනට කියන්න පුළුවන්ලු! 

 ඇය විනීතා සමරසිංහ ගුණසේකර.ඇත්තටම ඔය විවාහයට අස්සන් කරලා තියෙන්නේ වාසු!
 ඔය නඩේසන් නව සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්! 

කොහොම හරි අවසන් සටනෙදි ඔය දෙන්නාම මැරුනා කියලා තමයි ආරංචිය!
රත්නශ්‍රී ශෝකී හඬින් පැවසීය.




මෙයට පෙරද මෙම ගීතය ගැන ලියැවුනු බ්ලොග් සටහනක් හමුවිය: වැඩි දෙනාගේ පහන් සංවේගය වෙනුවෙන් එහි ලින්කුවද මෙහිම බහා ලමි!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...