Saturday, October 27, 2018

117. පුලතිසිපුර ටිකිරි මොළේ !





ඡන්දයෙන් වෙනසක් කල හැකි වේනම් කිසිදා එය ඔවුන් අපට භාවිතා කරන්නට ඉඩ තබන්නේ  නැත!
(ඊයේ මහ රාත්තිරියේ;නිදිමරගාතේ මධුශාන්  පොළොන්නරු යන්නට 
 අක්කරපත්තුව බසයකට ගොඩකරණ්නට එන අතරදී ඔහු විසින් උපුටා දක්වන ලදී.)

ඊයෙ හවස හරි අපූරු වැඩක් සිදු වූවේය. මේ රටම දන්නා ඒත් මා එතෙක් නොදන්නා ආරංචියක් කිලෝමීටර 8000 ක් එහා සිටි වසික කථා කොට මගෙන් ඇසීමය.ඔහු ඇසූ වගන්තියේ ප්රශ්ණාර්ත ලකුණට ආසන්න වචන තුන වූයේ "එහෙම වෙන්න පුළුවන්ද?" කියාය.
ඇත්තටම "එහෙම වෙන්න පුළුවන්ද?" කියා අප කොරවී සිටියාට ඩී.බී. විජේතුංග ජනාධිපති වූ, මෛත්රිපාල සිරිසේන ජනාධිපති වූ රටක මෙහෙම දෙයක් නොවන්නට කිසිදු සාධාරණ හේතුවක් මානම් දකින්නේ නැත.
"දෙශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරණ් නොමැත!' කීවේ මෙය කියවන ඔබ හෝ මම නොවේ. එය ඩබල් ඩොක්ටර් ඇන්. ඇම්. පෙරේරා ගේ සුප්රසිද්ධ ප්රකාශයකි.

මෛත්රීව ජනාධිපති කරවූ  මැතිවරණයේදී  ඔහුට ලැබුණු යූඇන්පී ඡන්ද ඇරුණුවිට සෙස්ස මේ රටේ කිසියම් සාධාරණත්වයක් යුක්ති සහගත බවක් බලාපොරොත්තුවූ සුළුතරයේ කැමැත්තය. ඔවුන් අතුරිණ් අති මහත් බහුතරය එක් වරක් හෝ දෙවරක් මහින්ද ඉදිරියේ අත එසවූ අය වෙති. එහෙත් මහින්දගේ දෙවන වර පත්වීම සමග ඔහුගෙන් බලාපොරොත්තු වූ විනිවිද භාවය  නොමැතිවූ තැන රනිල්-මෛත්රී දෙස හැරුණු අය වූහ.
මෙසේ රනිල්-මෛත්රී දෙසට හැරුණු බොහෝ දෙනා අතර සිටි ජාතිකත්වය පිළිබඳව බරපතලව සිතන පිරිස මුල සිටම රනිල් දෙස විචිකිච්ඡාවෙන් බැලූවද "මෛත්රී ඉන්නවානේ!' කියා හිත හදාගෙන තම රබර් ඇහැ සඟවා ගත්හ. එය හුදෙක් ආත්ම වංචාවක් බව ඔවුන් දැන දැනම බලා සිටියහ. එහෙත් "වලිගය බල්ලා සොලවන" බව ඉතා ටික කලකින්ම ඡන්දය දුන් අය කෙසේ වෙතත් මෛත්රී හටම තේරුම් යන්නට ඇත.
1977 ව්යවස්ථාව පිළිබඳව ආචාර්ය කොල්වින් ආර් සිල්වා දුටු අනාගතය අපගේ කාලය තුල අප කිහිපවරක් පුනයනරාවර්ථනය වනු දුටුවෙමු. ජනාධිපති හා අගමැති පක්ෂ දෙකකින් පත්වීම ; ඕමි ගැසීමේදී එක අතකට වංස දෙකකින් බූරුවන් ලැබීම වැනිය්! එයින් සිදුවන්නේ බූරුවෝ දෙන්නාම පිටියේදී දෙපාරට බාල්දු වීමය!

මෛත්රී ගොවි පුතෙකු වූවද ආරිය සිංහල සූට් එකට යටින් අමුඩය ඇන්දා කියා මා සිතන්නේ නැත. එහෙත් රනිල්, රවී මෙන්ම  බොහෝ දෙනා සිතා සිටියේ එලෙසය. ඩේවිඩ් කරුණාරත්නයන් එදා හෙළදිව නමින් මෙරටට පරිවර්ථනය කල රොබට් නොක්ස්ගේ ලංකා වාර්ථාවේ  "මඩ සෝදාගත්කල සිංහලයා රජකමට වුව සුදුසුය!' කියා අප පට්ට පතුරු ගහන වැකියේ වත් එවිට එතෙක් ඔහු ඇඳි අමුඩයට කලයුතු දෙ ගැන ලියා නොතිබුනි.
බලයට පත්වූ සැනින් මෛත්රී හට "රාජපක්ෂ" භීතිකාව නොදැනුනා කියන එක සමාන කල හැක්කේ; තමන්ගේ ගේ ඉස්සරහ පොලිස් ජීප් එකක් නතර කල විට "මටනම් භය හිතුනේ නැහැ , මොකද අපි වැරදි වැඩ කරණ මිනිස්සුයැ?" කියා බොරු පොර ටෝක් දෙන අයගේ සම්මප්රලාප වලටමය. රාජපක්ෂලාහට වෙඩි තබන්නට තුවක්කුව හා පතරොම් සියල්ල මේසය මතින් තබා "අපිට මොකද අපි අටසිරි උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට" කියාගෙන  සිල් අරණ් එන හොර උපාසකයෙකු ; ගිනි මැලයක් මත යටිකුරුව තබා පුළුස්සන ඉබ්බෙකු දැක කට තියාගෙන ඉන්නට බැරිව කී අයුරින් මෛත්රී සිටියේය.

තවමත් ආසාවට පියෙකු වන්නට නොහැකිවූ රනිල් හට බොඩි ලැංවේජ් පුළුවන් කමක් තිබේයැයි සිතන්නට හේතුවක් නොපෙනේ. තමා වටේ සිටින නාඹර කොල්ලන්ගේ විනා; වයසක මලික් සමරවික්රමගේ හැරුනුවිට වයසක තලත්තෑනි මෛත්රීගේ බොඩිලැංවේජ් ඔහුට තේරුම් නොගියේය. ඔහු ජනාධිපති මන්දීරයේ ඉස්තෝප්පුවේ කණප්පුව මත තබා තිබුනු පතුරම් පුරවන ලද බෝර දොලහේ රිපීටරය දුටු විට "ආනේ ටුවක්කුවක් නේද?"  කියා එයට ඈතින් ගියා මිසක දෙස කෙලින් බැලු වගක් වත් නොපෙනුනි.

මහින්ද විසින් කල කී දෑ දෙවෙනි වන්නට වැඩ පෙන්නූ යූ ඇන් පී අයියලාට එසේ  කිරීමට හැකිවූ එකම  සිද්දිය වූයේ මහ බැංකු මංකොල්ලය පමණි. අපරාදෙ කියන්නට නොහැකි වන පරිද්දෙන් A4  කොලයක හරස් අතට නොව දිග් අතටවත් ලියා අවසන් කල නොහැකි බිංදු ගනාවක් සහිත අංකයකින් එය සිදු කොට අවසන් කොට හැඳි ගෑරප්පු දෙපසින් තබා එතෙක් ගෙලෙහි රුවා සිටි ලේන්සුවෙන් කට දෙපැත්තද පිසදාගෙන හමාර වී ඇත. මීට කලකට පෙර මා කියවූ එල්.ටී.ටී විසින් අතුරුදහන් කලායැයි සැක කරණ මූ අරුක්ගොඩ සම්පාදිත "මනහර"  සඟරාවක පලවූ එක් ලිපියක දක්වා තිබුනේ ලෝකයේ විශාලතම සංඛ්‍යාව පිළිබඳවය. ලොව විශාලතම සංඛ්‍යාව ලෙස එහි හඳුන්වා දුන්නේ "ගූගෝලය" Google . එය සමන්විත වන්නේ 1 ඉලක්කමට පිටුපසින් බින්දු 197 ක් පෙල ගැස්වීමෙනි.(ඒක හරියට 1 ඉලක්කම පිටුපසින් බින්දු තුනක් පෙල ගස්වා එයට "දහස"කියනවා වැනිය!")  එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුනේ එම සංඛ්‍යාවත් විශාල මදි බැවින් ගූගෝල් ප්ලෙක්ස් Google Plex නමින් තවත්සංඛ්‍යාවක් හඳුන්වා දී ඇති බවත් එය සකසා ඇත්තේ ; 1 ඉලක්කමට පිටු පසින් බින්දු ගූගූලයක් පෙලට තබා කියාය. මෙවන් සුපිරි ගනයේ විජ්ජා කුමක් සඳහාද?, මේවා හිතෙන්නේ කාහටද?, මේවා කාගේ වැඩදැයි මාහට තිබූ සැක සංකා සියල්ල හිරු දුටු කදෝ පැණියන් සේ දුරු කර ලීමට ඇලෝසියස් තාත්තලා පුතාලා සමත්විය! ලොකු හොරකමක් කල විට තමා අත දැන් කියක් ඇත්දැයි ගනන් කිරීමට අපහසු විට හොරුන් කරන්නේ පසුදා උදෑසන දවසේ පත්තරය එලිදකිණ තුරු කල් මැරීමය!  ඇලෝසියස්ලාද තමන් කල කී දෑ පිළිබඳව නියමිත දිග පලල ; වපසරිය දකින්නට ඇත්තේද පත්තරෙණ් වීමට බොහෝ ඉඩ කඩක් ඇත!
මේ සියල්ල අතර පොඩි කාලෙ පොළොන්නරුවේ අල්ලපු ගෙදර යාලු මිත්තරයන් එක්ක "එළුවං කෑම" කල හැටි  මෛත්රීට සිහිවන්නට ඇත. එදා කොටියා විලස "එළුවන් කන්නයි මං ආවේ . . .//" යැයි තාලයට ගැයූ මෛත්රී හට ලැබුණු "එළුබෙටි කාපන් ගොන්දීරේ . . . .//" පිළිතුර රනිල්ගේ පිරිසෙන් ලැබුණු අයුරු මෛත්රී පමනක් නොව මහින්දද නුදුටුවා යැයි කාහට නම් කිව හැකිද?

අපගෙ උප්පැන්න සහතික වල අපගේ පියාගේ රැකියා ස්වභාවය ලියන්නට ඉඩක් වෙන්කොට ඇත. එසේම ජාතික හැඳුනුම් පතේද පාස්පෝට් එකේද ඉඩ කඩක් වෙන් කොට ඇත.  පාරේ එහා මෙහා අවිනීතව දුවන ප්රයිවෙට් බස් ඩ්රයිවර් කෙනෙකුගේ මේ ලියවිල්ලක් ගතහොත් එහි කොටුව පුරා "රියැදුරු" කියා ලියා තිබෙනු දක්නට ලැබෙනු ඇත. මෛත්රීගේ, මහින්දගේ, රනිල්ගේ මෙහි කුමක් ලියා තබා ඇතිද? බොහෝ අයගේ මෙම කොටුව තුල ලියා ඇත්තේ "දෙශපාලක" කියාද? නෝසේනම් එය හුදෙක් එය හිස් කොටුවක්මද? හිතන්න විමල් වීරවංස ගේ කුමක් ලියා ඇත්ද?

අප තෙරුම් ගතයුතු යථාර්තය වන්නේ එයයි.මා නොබෝදා වසර 11 සේවය කල ආයතනයෙන් ඉල්ලා අස්වීමි. දෑනට මා පෙරට වඩා වැඩි වැටුපකට සේවය කරමි. එසේ කිරීමේ සාධාරණ අයිතියක් මාහට ඇතැයි මා විශ්වාස කරමි. කිසිවෙකු ඊට අභියෝග කරණ්නේද නැත!අප අපගේ රැකියාව බේරා ගැනීමට කුමක්ද නොකරණ්නේ? උන්ද එසේමම ය! එයට සහතික ඕනෑ තරම්ය! රැකියාව ලෙස දේශපාලනය කරන තවත් පෘථග්ජනයෙකුගෙන් සාධාරණ, යුක්ති යුක්ත, අවංක, ප්රථිපත්තිගරුක වැඩ කිඩ බලාපොරොත්තුවීම තරම්  අමන කමක් තවත් වෙත්නම් පොලිමේ ගොස් ඡන්දය පාවිච්චි කිරීම පමනක්ම විය යුතුය!

තුවක්කුව තිබුනද එයින් වැඩක් නොගන්නා රනිල් බබෙක්ම නොවේ.  මහින්දට වෙඩි තබනවාට වඩා; සතුරා කොටස කර විනාශ කිරීම ඔහුගේ අභිලාශය වුනි යැයි මා විශ්වාස කරමි. තනි හමුදාවකට මුහුන දෙනවාට වඩා කුඩා කොටස් දමනය කරමින්, විනාශ කරමින්, සංග්රාම භූමිය ජය තහවුරු කර ගැනීම වඩා පහසු බව දන්නේ සරත් ෆොන්සේකා පමනක් නොවේ. රනිල්; මහින්ද මගින් මෛත්රීද, මෛත්රී මගින් මහින්දවද අවසානයේ මුලු මහත් ශ්රිලනිපයම හැඳිගාවා ගන්නට සිතා සිටියත්  පසුගිය පලාත් මැතිවරණයෙන් වූයේ අනෙකකි.එයින් වත් පාඩමක් උගෙන් නොගත් රනිල් කලේ තම න්‍යාය පත්‍රය තුලම පිටිය සකස් කිරීම පමනකි.

මෛත්රී මෙන් ආසාවට වත් මලගෙදරක ඕමි ගසා නොතිබුනු, හංදියේ කඩේ දාම් ඇද නොතිබුනු රනිල් විශ්වාසකලේ මෛත්රීගේ ආරිය සිංහල සූට් එක කිසියම් මොහොතක බිමට කඩා වැටී  යටින් තිබුනු අමුඩය දිස්වේ යැයි කියාය. මෛත්රී පසු ගිය කාලය පුරාවටම කලේ අමුඩය අමතක වූවත් සරමේ ගැටය හොඳින් තදකොට තබා ගැනීමටය. දිනෙන් දින තමාගේ ජනාධිපති සිහිනය වෙත ලංවෙනවා යැයි කටයුතු කල රනිල් වෙතින් රාජපක්ෂ දමනය සිදු නොවන බව දකින මෛත්රීගේ ටිකිරි මොළේට ; තව කෙටි කලකින් රාජපක්ෂවරයෙකු හෝ ඔවුන්ගේ අනුගාමිකයෙකු යටතේ බෝඩිං බත් නොකා සිටින්නට ම් කල හැකි හොඳම හා පහසුම කට යුත්ත ඊයේ රත්රියේ එළිදැක්වීය!

පැරණි එක් කතාවක් වේ. කතාවේ නිවැරදි අක් මුල් දැක්වීමට  කාලය මදිය. කතාව මෙසේය. රාජ කුමාරවරු දෙදෙනෙක් සමග පුරෝහිතයෙකු වනගත වූයේ සතුරන් ගෙන් බේරීමටය. ඔටුන්න හිමි කුමරා වැඩි මහල්ලාවූ අතර ඔහු රාජ්ය පාලනයේ දක්ෂයෙකු බව  පුරෝහිත නොදුටුවේය.  වඩාත් සුදුස්සා වූයේ බාල කුමාරයාය. වැඩි මහළු කුමරාගේ ගෙලේ තැල්ලක් විය. දිනක් පුරෝහිත බාල කුමරු කැඳවා නිදා හුන් වැඩිමහළු කුමරු පෙන්වා පවසූවේ "අයියාට නොඇහැරෙණ්න තැල්ල ගලවාගෙන ආවොත් මා ඔබට රජකම ලබා දෙන්නෙමි!" කියාය. බාල කුමරා වඩාත් ස්මාට් පොරක් වූවේය. ඔහු "සිම්පල්!" කියා එතැනින් නික්මී ගොස් එක් කඩු පහරිණ් තම අයියාගෙ ගෙල සිඳ තැල්ල ගලවාගෙන පැමිණ පුරෝහිතට පෑවේය.අපරාදේ කියන්න බැරිය. අයියා අහැරුණේ නැත. මල්ලී හට රජකම ලැබුනි

මේවා තිබුනේ "රඹෑවේ මුදළිහාමි මීටර සියය" දිව්ව හැටි තිබූ පෙළ පොත් කියැවූ අපේ කාලයේ පොත්වල මිසක ඔක්ස්ෆර්ඩ්, කෙම්බ්රිජ්, ටෙක්ස්ට් බුක්ස් වල නොවේ.පොළොන්නරුවේ සිරිසේන ජනාධිපතිතුමාද මෙය අනිවාර්යයෙන්ම කියවා තිබිය යුතුය!

අවසාන වශයෙන් රනිල්ට කියන්නට ඇත්තේ අවසාන වශයෙන් ගුත්තිලය සොයාබලා මේ කවිය කටපාඩම් කරගන්නා ලෙසයි.

                                           ඉඳ ඉඳ එක වෙහෙර
                                           විඳ විඳ දහම් මනහර
                                           සිඳ බිඳ දුක් සසර
                                           අහෝ දෙව්දත් නොදුටි මොක්පුර !

මා හේලිගේ වලගාතරුව පායන කාලයේ ජීවත් වූවෙක්මි. නැවත එය දකින්නට මා ජීවත්ව නොසිටින බව හේලිටත් වඩා මට විශ්වාසය.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...