Wednesday, May 17, 2017

ගඟක් දිගේ ගිය ගමනක් 1

කැළණි ගඟ දිගේ ………………………….

(ගඟක් දිගේ ගිය ගමනට පෙර ගමන  හෙවත් පෙරවදන )



සමනොළ සිරසින් ඇරඹෙන කැළණි නදිය හක්බෙල්ලාවක ග්‍රාමය වෙත ලංවන ලාලිත්ය!

ජලය හා මිනිසා යනු කෙදිනකවත් වෙන්කල නොහැකි වනසේ එකිනෙක හා බැඳී පවතින යුගලයක් . එකිනෙක හා තදින් බැඳුනු කිසියම් එකතුවක් හැඳින්වීමට අප “ගසට පොත්තසේ” යන උපමාව යොදාගත්තද ; මා සිතන්නේ ගසත් පොත්තත් අතර ඇති බැඳීම පිළිබඳව හඳුන්වාදීමට ගත හැකි  හොඳම උපමාව වන්නේ “මිනිසා හා ජලය” නැතහොත් වතුර යන්නයි .
තම ජීවිතයේ මුල්ම අවදිය එනම් තම මවගේ කුසය තුල ගෙවන කාලය තුල ;  ඔහු හෝ ඇය ජීවත්වන්නේ තරළය පිරුණු පැසකවේ .නවීන විද්‍යාවට අනුව ; දරුවකු කුස තුල පිළිසිඳ ගත් දින සිට මව කරන්නාවූ ක්‍රියාකාරකම් , ලබන්නාවූ අත්දැකීම් , විඳින්නාවූ දුක්ඛ දෝමනස්සයන් , මෙන්ම ආදරය , කරුණාව , මයිත්‍රිය , ඇසෙන්නාවූ සංගීතය වැනි හැඟිම් දැනීම් දරුවාට සම්ප්‍රේශනය වන්නාසේම ; තමාගේ ජීවය රැදී පවතින තරළයටද බැඳීමක් ඇතිකර ගැනීමට කුඩා දරුවා කලළ අවදියේ පටන් උගෙන ගන්නවා විය හැක.
ජීවයේ සම්භවය පිළිබඳ කරුනු ගෙනහැර දක්වන බොහෝ විද්වතුන්ගේ අදහසට අනුව සත්වයා බිහිවන්නේ සාගරයේ නොඑසේනම් ජලය තුලය.
  ජීවය තමන් විසූ කාලයට වඩා බොහෝ සෙයින්ම ඉදිරි අනාගතයට හුරු අදහස් දැරුවාවූ චාල්ස් ඩාවින්ගේ මතය වූයේ  කිසියම් උනුසුම් පොකුණක ජීවය හටගත් බවය -ජීවයේ සම්භවය - 18 පිටුව
 (The Origins of Life By Prof. Cyril Ponnamperuma.)
තවත් අයුරකින් ජීවයේ ඇරඹීම පිළිබඳව කරුණු දක්වන විද්වතුන් ජීවය පටන් ගත් සුපයක නැතහොත් සුප් එකක් ගැන අනුමාන කරති .
ජේ බී එස් ගොල්ඩෙන් නමැති බ්‍රිතාන්‍ය ජීව විද්‍යාඥයා අනුමාන කලේ ජීවය ඇතිවන්නට ඇත්තේ “ආරම්බක සුපය”තුල බවය - ජීවයේ සම්භවය 20-21 පිටු
මේ සියල්ලෙන්ම ප්‍රථ්‍යක්ෂ වන මූලික කරුණ වන්නේ මිනිසා  සහ වතුර යනු මේ පෘථිවියේ ආරම්භයේ පටන් එකට බැඳුනු කාරණා දෙකක් බවය .
සියළුම මිනිස් ශිෂ්ඨාචාරයන් ඇරඹී ඇත්තේද ජලය මුල් කරගෙනය . මොහෙන්දෝජාරෝ , හරප්පා , සින්ධු පමනක් නොව ලංකාවේ පවා ජලය මුල් කර ගෙන ඇතිවූ ශිෂ්ඨචාරයන් පිළිබඳව කරුණු ගෙන හැර දැක්විය හැක .

පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ඨාචාරය නමැති ග්‍රන්ථයෙහි කතු මහාචාර්‍ය එච් ටී
බස්නායක මහතා මහාවංශය ගෙනහැර දක්වමින් මෙසේ පවසයි . “විජය රජු හා 
ඔහුගේ පිරිස මල්වතු ඔයේ දකුණු තීරයට අවතීර්ණ වී තම්බපණ්නි නගරය
 අගනුවර කර ගනිමින් මෙරට රාජධානියක්  පිහිටුවා ගනු ලැබූ බව වංශ කතාවේ දැක්වේ . ඉන්පසු අනුරාධ  නම් ඇමතිවරයා විසින් යොදුනක පමන උතුරින් පිහිටි කදම්බ නදී තීරයේ අනුරාධ නම් ගමද , ගම්බ්හිර නදී තීරයෙහි උපතිස්ස නමැති ඇමතිවරයා විසින් උපතිස්ස නම් ගමද ,ඌරුවෙල නම් ඇමතිවරයා විසින් කළා ඔය මෝය ප්‍රදේශයේ ඌරුවෙල නම් ගමද , විජිත නම් ඇමතිවරයා විසින් මහවැළි  ගඟ අසබඩ උපතිස්ස නම් ගමද , දීඝායු  නම් ඇමතිවරයා විසින් දීඝායු නම් ග්‍රාමයද කිරිඳි ඔය අසබඩ මහා ගාම නම් ගම්මානය රෝහණ නමැති ඇමති විසින්ද පිහිටුවා ගන්නා ලද බව දැක්වේ. (මහා වංශය පරි : 9 ගාථා 9-11)

මෙසේම “ සියළුම මිනිස් සත්වයින් ” නමැති මහා කුලකයේ ඉතා කුඩා අවයයක් වන මමද වතුර හෙවත් ජලය සමග ඇත්තේ නොසිදෙන බැඳීමකි . උදෑසන අවදිව පානය කරණ වතුර වීදුරුවේ පටන් රාත්‍රී නින්දට යෑමට සූදානම්ව බොන අවසාන වතුර පොද  අතර ස්නානය කරණ,පවිත්‍රතා කටයුතු වලින් ඔබ්බට ගිය මෙම බැඳීම; ජලයට බැසීම , ගිලීම , පිහිනීම , කිමිදීම , යාත්‍රා කිරීම , ගවේශනය වැනි අටෝරාශියක් ක්‍රියාකාරකම් වලින් සැදුම්ලත් එකක් වේ.
බොබ් මාලේ වරෙක පවසා සිටියා
Some people feel the rain,
Others Just get wet!
සමහරු වැස්ස විඳිති ,
අන් අයට එය හුදෙක් තෙමීමක් පමණි !
යනුවෙන්.
සත්‍ය වශයෙන්ම ඇත්ත මෙයයි ! ගංවතුරක් ගැනසිතා බැලුවහොත් මේ පිළිබඳව  කදිම උදාහරණ ගෙනහැර දැක්විය හැක .තමාගේ ගෙවල් දොරවල් යට කරමින් ගංගා දෙගොඩ තලා යද්දී; එම වතුරේ ඔරු පදින අය ටියුබ් පදින අය  කෙතරම්ද ? මේ විදියට සිතා බැලුවහොත් මිනිසා තම දිවිය පුරාම ජලය එක්ක පවත්වා ගෙන යන්නේ නොසංසිඳෙන සඹඳතාවයක් . මෙසේම පෞද්ගලිකව මමද වඩාත්ම රිසි භෞතික පරිසරය වතුරයැයි කීවොත් වඩාත් නිවැරදියි .

මාගේ පියාගේ දෙමව්පියන් ජීවත්වූයේ යටියන්තොට . හරියටම  කියනවා නම් හක්බෙල්ලාවක .හක්බෙල්ලවක පිහිටා ඇත්තේ යටියන්තොටට කිලෝමීටර් 6 ඈතින් .ඔවුන් මේ ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත්තේ දෙවන ලෝක මහා යුද සමයේ ජපනුන්  කොළඹ නගරය ආසන්නයට බෝම්බ හෙලීමත් සමගම . මාගේ සීයාත් ආච්චීත් කොළඹ කොල්ලුපිටියේ බගතලේ පාරේ  තිබුනු නිවසට සමුදී ඇත්තේ එක් මොහොතක සීයා ගත් දැඩි තීරණයක් කරණකොට ගෙනය. වනසංරක්ෂණ දෙපාරතමෙන්තුවේ  අඩවි වන නිලධරයකු වූ මාගේ පියාගේ රැකියාව නිසාම අපට නිශ්චිත වාසස්ථානයක් නොමැති විය . පියා විසින් සාදා නිම කරණ ලදනිවසක් හක්බෙල්ලාවක පැවතියද අපගේ වාසස්ථාන වූයේ දෙපාරතමෙන්තුවේ නිල නිවාසයන්‍ය . එහෙත් අවුරුදු නිවාඩුවට හෝ වෙනයම් හේතුවකට “ගමේ යෑම” ඉලක්ක වූයේ යටියන්තොට හක්බෙල්ලාවක නමැති සුන්දර ග්‍රාමය මය .
ගමක් වූවාට මෙය අප පත් පොතින් දකිනා  ගමක ලක්ෂණ මෙහි නොවූයේ ; එහි භූගෝලීය පිහිටීම නිසාය .ගම පිහිටා තිබුනේ  හැටන් - කොළඹ  පාර දෙපසය . ඈත් ඉම වූයේ නුවර එළියය . A-7 මාර්ගය දෙපස  මෙම ගම් මණ්ඩිය පිහිටන්නේ 25, 26, 27 කිලෝ මීටර් කණු අතරය. A-7 මාර්ගය යනු අවිස්සවේල්ල - නුවර එලිය මාර්ගයයි . ගමට ඉහලින් පිහිටන්නේ කොස් -මහෝගනී මිශ්‍ර වගාවකින් සමන්විත “නා හේන” මූකළානයි .මෙම මූකළානට සමාන්තරව A-7 මාර්ගයද එයට සමාන්තරව ඊට  පහලින් කැළණි ගංගාවද ගලා යයි .ගංගාවෙන් එපිටට නැවත දිවෙන්නේ කඳු පංතියකි. පනාවත්ත , දොඩංගස්ලන්ද , පැලැල්ලේගම යනාදී වශයෙන් කුඩා ජනාවස කිහිපයක් ගඟෙන් එගොඩ පිහිටියේය. වර්ථමානයේ පාලමකින් දෙඉවුර යාකොට ඇතත් එකල එගොඩ මෙගොඩ ගියේ         ඔරුවකිනි.

ගඟෙන් එගොඩ පැලැල්ලේගම පුරාණ පත්තිනි දේවාලය පිහිටා තිබුනි.


පැලැල්ලේගම පුරාණ පත්තිනි දේවාලය
කිසිදු ගං වතුරකට මෙම ස්ථානය යටවී නොමැති අතර ; කිසිදා යටවන්නේද නැති බවට ගම් වාසීන් අතර අචල විශ්වාසයක් පවතී !

මෙම දේවාලයේ වාර්ශික දිය කැපීමේ උත්සවය පවතින කාලයේදී හක්බෙල්ලාවක ප්‍රධාන තොටුපොලට පහලින් තවත් යාත්‍රාවක් ගඟ හරහා දෙඉවුර අතර දිවෙයි . ඒ දේවාලය කෙලින්ම පිහිටි තොටුපොලවල් දෙකක් හරහාය . ඒ දිවෙන්නේ ඔරුවක් නොව අඟුලකි . ඔරු දෙකක් හරස් අතට ලී දඬු මගින් යාකොට ඒමත ලෑලි අතුරා අඟුල සාදා තිබුනේය. බොහෝවිට මෙසේ යා කිරීමට ගත්තේ පොල් පරාල ය.

නිවාඩු කාල වලදී අප හක්බෙල්ලවක - ගමේ ගිය විට ; පියාගේ සොහොයුරන් එනම් බාප්පලා මාව ගඟේ නාන්න , ඔරු පදින්න එක්කර ගෙන ගියෝය . මේ සෑම කරුණකින්ම මා පොදුවේ වතුරටත් ; හුදෙක් කැළණි ගඟටත්  සමීප විය .

3 comments:


  1. හරි! හරි!! එනවා .............. එනවා...............

    ReplyDelete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...