Wednesday, October 14, 2020

183. හතරවැනි ඇන් ඇක්සිඩන්ට් එක!

 

                                                           සයිකලයෙන් පියෑඹීම!

අනතුරු ගැන කියන කොට; මට සිද්ධ වුනු සුපිරිම ඇක්සිඩන්ට් එකක් තමයි; රත්මලානෙ මැලිබන් හංදියේදී උනේ.

ඒක රසවත් නොවුනත් එක විදියක කථාවක්.

2018 වසරේදී මා සේවය කල ආයතනයෙන් මාහට හදිසි මාරුවක් ලබෙනවා රත්මලාන ශාඛාව ට.

මේක තිබුනේ රත්මලානෙ සොයිසා පුර මහල් නිවාස ඉදිරිපිට මාලිගාව පාරේ.

ඒ කාලෙත් මම කඩවත ඉඳන් ඔරුගොඩවත්තට වැඩට ආවේ සයිකලයෙන්.

ඉතින් මාව හදිසියේ රත්මලානට දැම්මා කියලා සයිකල් පදින එක නවත්වන්න මම කැමති උනේ නෑ.

මම දිනපතා කඩවත ඉඳන් රත්මලානට වැඩට ගියා.

ඔව් යන්න විතරක් කිලෝමීටර 40 ක් !

යන්න එන්න 80 ක් !!

ඉතින් මේ විදියට දිනපතා සයිකලයෙන් මම වැඩට යන්න පටන් ගත්තා.

කඩවතින් උදේ 6.00 ට පිටත් වෙන මම බම්බලපිටියට එනවා පැයට.

එතනදි උනුසුම් හුස්මක් ගෙන ලය සැහැල්ලු කරගෙන ආයෙමත් ගාලු පාරදිගේ පදිනවා රත්මලානට.

රත්මලාන කිව්වාට කටුබැද්දේ වැට මායිමට.

එදා ගෙදරින් පිටත් වීමටම පරක්කුවූ දිනයක්.

මම බම්බලපිටියේ ඉඳන් එකසිය ගානට පැද්දා.

වැල්ලවත්ත විලියම්ස් මිරිස් මෝල ලඟ ඉඳන් දෙහිවල නිහඬ අරණ හෙවත් කනත්ත පහු කරනකල් සයිකලයක් පදිනවා කියන්නේ උපරිමයට මල පනින සීන් එකක්.

ප්‍රයිවෙට් බස් උතුමන්ලා, ත්‍රීවීල් දෙවි වරු, මෝටර් සයිකල් පදින අයියලා එකී මෙකී නොකී සියල්ලෝම එක පොදියට රේස් පදින ඉසව්ව මේ කිලෝ මීටර දෙක තුන.

මේ සියල්ලටම වඩා එළකිරිම සිද්ධිය උනේ පේමන්ට් එකේ වෙලහෙළදාම් කරණ බාප්පලා පුංචි අම්මලා දෙන ආතල් එක !

මොකද සයිකලයෙන් වැඩට යන්න පුරුදු  පුහුණු වුනු මුල් කාලයේදිම මම ඉගෙන ගත්තු එක පාඩමක් තිබුනා. ඒක තමයි බස් පස්සෙ ගිහින් කවදාවත්ම වෙලාවට වැඩට යන මිනිහෙක් වෙන්න බැරි බව !

ඒනිසාම පාර හිරවී ඇහිරී ගිය අවස්ථා වලදී පේමන්ට් එක උඩට දාගෙන පැදගෙන යෑම මගේ පුරුද්දක් උනා.

ලොකු බස් අතර කුඩා මෝටර් රථද ඒ අතර ඉඩට රිංගවූ ත්‍රී වීල්ද ත්‍රී වීල් යන්නට ඉඩක් නැති තැන සක්ක ගැසූ මෝටර් සයිකල් ද සිරවුනු මහ පාර දිස්වුනේ; තේ වතු හරහට හෝදා පාළුව වලකා ගන්න බැන්ද සක්ක ගල් බැම්මක් වගේ.

ඉතින් මේ නිසාම බයිසිකලයකට, පා පැදියකට හෙවත් පුටාර් එකකට තබා පයින්  යන එකෙකුටවත් ඉදිරියට යෑම වැළකුනා.

මේ වගේ අවස්ථාවලදී අර පේමන්ට් එක උඩට සයිකලය නංවාගෙන ඉගිලී යාම පොඩි ආතල් දනවන කාර්‍යයක්.

මිලියන ගනන් වියදම් කරලා ගත්තු බෙන්ස්, බීඇම්ඩබ්ලිව්, ලෑන්ග් කෲසර් වී එයිට් වල පුපුර පුපුරා අසරණව ඉන්නා නෝන මහත්වරු පහු කරගෙන ගැම්මට පැදගෙන යන එකේ තියෙන්නෙත් අමුතුම ආතල් එකක් !

මේ කියන කිසිදු සෙල්ලමක්; මම අර කලින් කියපු ස්ට්‍රෙච් එකේදී දාන්න බෑ.

මොකද දෙහිවල හන්දියේදී පේමන්ට් එක උඩ සයිකල් පදිනවා කියන්නේ; කොස් මැල්ලුම් ලියන ලෑල්ලක් උඩ මැල්ලුම්  වෙන සයිස් කේස් එකක් ! 

නැතිනම් මාළු ලෑලක් උඩ !!

ඉතිං ඒ නිසාම මේ හරිය ඉක්මනින් පහුකරගෙන යන්න ඕන දවස මෝරන්නට කලින්.

සීරුවට ! මාරුවට !!

ඒත් එදා නොසිතපු විදියට පරක්කු වෙලා දෙහිවල පහුකරණකොට පරක්කුව "වර්ග" වෙලා තිබුනේ.

මම ගල්කිස්ස  හෝටල් පාර අසල ලයන් පබ් එකේ සිංහයා පහු කරන කොටත් අට හමාරට කිට්ටුවෙලා.

දෙහිවල හංදිය පහු කරන තැන ඉඳන් පටන් ගන්න කන්දේ උච්චස්ථානය කෙළවර වෙන්නේ ගල්කිස්ස උසාවිය ලඟින්. එතැන් ඉඳන් පොඩි බැස්මක් තියෙනවා. ආයෙත් නැග්ම පටන් ගන්නවා ගල්කිස්ස හංදියට වෙන තුරු!

මේ නැග්ම අත්විදින්නනම් සයිකලයක් පදින්නම වෙනවා.

ඒ නැග්ම නැග්ගාම ඒකට පොලියත් එක්ක ලැබෙන්නේ පල්ලම.

ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාර ලඟ ට්‍රැෆික් ලයිට් එක ගාළුපාරට අවනත වෙලා තිබුනෝතින්; හංදියේ සුපර් මාර්කට් එක ලඟින් ගන්න ගැම්ම රත්මලාන පහුවෙන කල් තියා ගන්නට පුළුවන්.

එදාත් පුරුදු පරිදි වේගය වැඩිකරමින් පල්ලමට එන්ටර් වුනු මට කොල එළිය ආශිර්වාදයක් වුනා.

ගල්කිස්ස  පොලීසිය  පහුකලේ ඊ ගහේ වේගෙන්. 

එතන ඉඳන් පොඩි ට්‍රැෆික් එකක් තියෙනවාමයි මැලිබන් හංදිය පහු කරණා තුරු.

නමුත් ඒ හරියේ පාර තරමක් පළල් නිසාත් මැද පේමන්ට් එක නැති නිසාත් සයිකල් කරුවෙකුට එය ඒතරම්ම බාධාවක් උනේ නෑ.

මම ඒ වෙලාවේ පැද්දේ ගාල්ල දෙසට දිවුනු මං තීරුවේ මැදින්.

ඉදිරියේ තිබුණු වෑන් රියත් බසයත් අතරින් උපරිම වේගයෙන් පැදගෙන ආ මම එක වරම අවතීර්ණ උනේ පෙර කී පරිදි සක්ක ගල් බැම්මක් ඉදිරියේ.

මේ තැන හරියටම කියනවානම් මැලිබන් හංදියේ මැලිබන් ෆැක්ටරියට මෙහා පැත්තෙන් යන ධර්මාරාම පාර ගාව.

සයිකලය හරවා ගැනීමට වත් වෙලාවක් තිබුනා නොවේ.

ඉදිරියෙන්ම වූයේ  "ඇරගෙන එන්නේ ඇනගෙන යන්නද?" මොඩලයේ සොඳුරු ආමන්ත්‍රණයක් ලියැවුනු ත්‍රී වීලරයකි.

මා එක වරම බ්‍රේක් ගැසුව මුත් සයිකලය හරස් වී ගිය වේගයෙන්ම ත්‍රී වීලරය දෙසට හිම ක්‍රීඩා කරමින්ය.

ත්‍රී විලරය පාර් මැද නොසෙල්වී ලැගගෙනය.

ත්‍රී වීලරය දුටු මොහොතේ සිට ඉන් පසු සියළු ජවනිකා ෆාස්ට් ෆෝවර්ඩ් වීය.

සයිකලය මත ඉගිල්ලෙන මා සිතා හෝ නොසිතා ගැටීම වලකා ලීමට හෝ අනතුර අවම කරගැනීමට දකුණු අත දිගු වුනෙමි.

වේගයෙන් ඇදී ගිය සයිකලය හා මා හෙන ගහන්නාක් සේ නවතා තිබුණු ත්‍රී වීල් රාජයාගේ පශ්චාත් භාගය මත පත් බෑ වුනේය.

වඩාත්ම සිත් ගන්නා සුළු කාරණය වූයේ මාගේ හුදු මහත් ශරීරය හා සයිකලය ත්‍රීවීලරයේ පසුපස පතබෑවීමට පෙර දකුණු අත සියල්ල පෙරදැරි කරගෙන ගොස් ත්‍රී වීලරයේ පසුපස වීදුරුව මතට සියලු සම්ප්‍රයුක්ත බලයයන් මුදා හැරීමයි.

කොටින්ම මුළු ඇඟේම බර වීදුරුව මත අත මගින් අත ඇරීමය !

ක්ෂණිකව වීදුරුව බිඳී ගියේය.

උල් පිහි සේ තියුණුව බිඳී ගිය වීදුරු කෑලි අතරින් මාගේ දකුණු අතෙහි ඉහළ බාහුව තෙක් ත්‍රී වීලරය තුලට කිඳා බැස්සේය!

මාගේ දකුණි අතෙහි ඉහල මස් ගොබය හරස් අතට කැපී ලේ ගලමින් විය!

කුමන ආශ්චර්‍යයකින්හෝ මා බිම ඇද නොවැටුනි. එසේ වූවානම් වීදුරුව බිඳී යාමේදී තුවාල වූවා සේම නැවත අත එලියට ඇදී ඒමේදීද හානි වීමට ඉඩ තිබුණි.

වීදුරු කටු අතරින්ම මා අත බේරා ගත්තෙමි.

මාගේ දෙ අත් වැසී තිබුණු ආදරණීය අත් වැසුම් වලට පින් සිදුවන්නට අත්ලට සීරීමක් හෝ නොවීය.

ගැලු රුධිරයෙන් ත්‍රී වීලරය තුල රත් පැහැ ලප කැලල්ය!

ආත්ම පූජා!

වට පිටාවේ සිටි හුදී ජනයා මොහොතකින් එතැන.

මා සයිකලය කෙලින් කරගෙන අසල කඩයක බිත්තියට හේත්තු කර ගත්තෙමි.

කැපුනු ස්ථානයේ රතු මස් විවර වී ගොසින් ය!

සිද්ධිය ට නරඹන්නන් සිටියද අවස්ථාව කළමනාකරණය කර දෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවේ. එහෙයින් මා සිහිය එළවා ගත යුතු ව ඇත. පලමුව මා මගේ හදවත අමතා මා පත්වී ඇති තත්වය පහදා දුනිමි. හදවත සිද්ධිය කළමනාකරණය කිරීමට මාගේ බුද්ධිය මෙහෙයවමින් විය. බුද්ධිය විසින් මාහට මත්ක් කල යමක් විය.

ඒ මාකලක සිටන් දිනපතා පුරුද්දක් ලෙස ගිල දමන කාඩිප්‍රීන් පෙත්ත පිළිබඳවයි.

කාඩිප්‍රීන් යනු ඇස්ප්‍රීන් අන්තර්ගත ඖෂධයකි.

එයින් සෘජුවම කරණු ලබන්නේ රුධිරයේ කැටි ගැසීම පමා කිරීම හෝ වැලැක්වීමය. එයට බාධාකිරීමය. මග ඇහිරීමය.

එසේනම් මා වාහාම කලයුතු වන්නේ හැකි ඉක්මණින් ලේ ගැලීම නවතා ගැනීමය.

ඒ සඳහා රෝහලක් වෙත යෑමය.

මගේ වාසනාවට  ධර්මාරාම පාර අයිනේම  ත්‍රී වීල් නැංගූරම් පොලකි.

එහෙත් එතන ඒ වෙලාවේ තිබුනේ එකම එක යාත්‍රාවක් පමණි.

සයිකලය හේත්තු කල බිත්තිය අයත් කුඩා කඩයටම සයිකලය බාර කල මා පෙර කී ත්‍රී වීලරය දෙසට ඉක්මණින් දිව ගියෙමි.

" අනේ මාව ඉක්මනින් ඉස්පිරිතාලෙකට දානවාද? "

"මට දැන් හයර් එකක් තියෙනවානේ!"

"මගේ ලේ කැටි ගැහෙන්නේ නෑ! ඒ හින්දා ඉක්මණින්ම යන්න ඕන!"

"අනේ වෙන එකක් බලන්නකෝ!"

බලාපොරොත්තු හිතුවාටත් වඩා සාර්ථක ලෙස කඩා වැටෙද්දී මා නැවත පාර දෙසට හැරුණෙමි.

සරමකින් හා කමිසයකින් සැරසුනු වයසක පහේ තලතුනා මහත්මයෙකු - මමා කෙනෙකු පැදගෙන ආ ත්‍රීවීලරයක් අතුරු පාරෙන් ගාලු පාරට අවතීර්ණ වෙමින් විය.

ඔහු සිද්ධිය පිළිබඳ විපිළිසර වෙමින් විය.

මා එහි විපුල පල නෙලාගන්නට ඔහු දෙසට නැඹුරු වුනෙමි.

"අංකල් අනේ මාව . . . ."

"දෙයියනේ හොඳටම ලේ ගලනවා නේද? නගින්න! නගින්න!! ඉක්මනට කළුබෝවිලට යමු"

රතු ලේ!

ලේ නොනවත්වා ගලමින් අවට පොලොව මත රටා මවමින්ය!

කියනු පමාවෙන් මා ත්‍රීවීලරයට නැග ගත්තෙමි.

ත්‍රී වීල් මාමා ස්වකීය තරුණ කාලය නැවත ආරෝපනය කරගනිමින් ධාවනයේ යෙදෙන්න විය.
මමාගේ වයසට සාපේක්ෂව ඔහුගේ තරුණ කාලයේදී රථවාහන ධාවනය කලේ වේගයෙන් වුවත් වඩාත් ප්‍රවේශම් සහගත හා වගකීමකින් යුතුවය.

ඔහු කිසිම අවස්ථාවක වගකීමකින් තොර; අපරික්ෂාකාරී ලෙසකින් ධාවනය නොකලේය.
ගාලු පාර මග ඇර මා නොදන්නා එහෙත් ඔහු මනා කොට දන්නා කුඩා පාරවල, වීථි, දෙවැට වල්, අතුරු මාර්ග අතරින් පදවා පැමිණ කළුබෝවිල රෝහල අසලින් මතුවිය.

ත්‍රී වීලරයෙන් බසින සුනංගුවට මා ගේට්ටුවෙන් ඇතුලට අඩියට දෙකට ගියෙමි.

"අනේ දෙයියනේ . . . . . . !?"

ලේ ගලන අත ඉහලට ඔසවා ගත් මම ඇටන්ඩන් නංගී කෙනෙකුගෙන් හදිසි අනතුරු අංශය සොයාගෙන එතැනට ගියෙමි.

"ඉස්සරහ කාමරේ ටැප් එකක් තියෙනවා. තුවාලෙ හොඳට හෝදගෙන එන්නකෝ!"
එතැන සිටි වෛද්‍ය වරිය පැවසුවාය.

මා ඉදිරිපස වූ කාමරයට ගොස් කරාමයට අත අල්ලා හෝදා ගතිමි. 
අනේ දැනුනු අධ්‍යාත්මික සුවය . . . . . .!

ඉක්බිතිව කුඩා වාට්ටුවේ ඇඳක හොවා මසන්නට විය.

දම්වැල් මැස්ම

මැහුම් දහයක්; ඉරුණු සරමක් මසන ලීලාවෙන් වෛද්‍යතුමිය බුහුටි ලෙස මසා නිම කලේය.

ඒ වන විට රැකියා ස්ථානයෙන් බ්‍රේක් ඩවුන් සඳහා දුවන  මිට්සුබිශි L200 සිංගල් කැබ් එක ගේට්ටුව ලඟය.

මා ඔවුන් සමගින් නැවත රත්මලාන මැලිබන් හංදියට ගොස් සයිකලය පැදගෙන වැඩට ගියෙමි.

වැඩපොලේ හිත මිත්‍රාදීන්ට කයි කතාන්දරේ කියා වරුවෙන් සයිකලේ පැදගෙන ගෙදර ආවෙමි.

ඉස්පිරිතාලයට ගොස් නැවත සයිකලය ගැනීමට මම කීයට හෝ එනතුරු බලා සිටි අයෙකු විය.
ඒ අන්කිසිවෙකු නොව මා ගැටුනු ත්‍රී වීලරයේ පදවන්නාය!

ඒ වෙන කිසිවකට නොව  බිඳුනු වීදුරු කෑල්ලට අලාභය වශයෙන් රුපියල් 300ක් ඉල්ලා ගැනීමටය!

අපරාදෙ වීදුරු කෑල්ල . . . . !


22 comments:

  1. ඇක්සිඩන්ට් පෙරහැරක් වගේ එනවනේ

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්! මේවාත් ජීවිතයේ අමතක නොවන සිද්ධීන් නොවැ! ඉතින් කොහේ හරි ලියා තියන්න හිතුනා! ස්තූතියි බොහොමත්ම !

      Delete
  2. Or my god, you should upgrade to ABS.

    Yes, 3 wheelers are like that they are good/bad/ugly.

    Once I hit a 3 wheeler in Jubilee Post roundabout (I forgot SL roundabout rule, give way to no one) he entered from left. He ask me for money, I took a photo, ask him to take the vehicle number and call the police and drove off.
    Wijebahu

    ReplyDelete
    Replies
    1. " I forgot SL roundabout rule, give way to no one!" හිනා කාලා මැරෙණ කථාව! බලාන ගියාම හෙන ගැහුවා වගේ ඇත්තම කියලා තියෙනවා! ඇති යන්තම් ඔබ තුමා ඔයින් ගියා! ස්තූතියි!

      Delete
  3. වීල් බුවා අපරාදෙ 300 ක් ඉල්ලගන්න එතන හිටියෙ. මිනිහ පාක් එකට දැම්මනං ඒ කාලෙට ඊට වැඩිය ගානක් හොයාගන්න තිබ්බ. එහෙම නැත්තං මිනිහටම තට්ටයව හොස්පිටල් එකට එක්කං ගිහිල්ල හයර් එකත් එක්කම වීරුවෙ ගානත් ගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ කථාව ! ඒ යකා එතනට වෙලා බලා ඉඳලා පැය තුනකට වඩා! ඉතින් වෙච්ච හොඳම හරිය ලිව්වේ නෑනේ; මොකද මෙහෙම හිටියට විළිලැජ්ජාව කියලා බේතකට හරි පොඩ්ඩක් අපි ලඟත් තියෙනවානේ!
      දැන් මූ මංගාවට ඇවිත් සල්ලි ඉල්ලුවාම අර මාව එක්කගෙන යන්න ආපු බුවාලා පැනපු ගමන් කිව්වා "හරි අයියේ ඔයා එන්න කෝ අපේ වැඩ පොල ගාවට! දෙන්නං කො එතනට හයර් එකත් එක්කලා!" කියලා.
      උන් ලෑස්ති උනේ සයිකලේ කැබ් එකට දාගෙන එන්න.
      ඒත් මම කැමති උනේ නෑ ඒකට . මම කිව්වා මම පැදගෙන යන්නම් කියලා.
      "හරි අයියේ ඔයා ඉස්සර වෙන්නකෝ!" කියලා කැබ් එක මගේ පස්සෙන් ආවා.
      දැන් ත්‍රී වීල් බුවා ඊටත් පිටිපස්සේ.
      මම සයිකලේ ගත්තු ගමන් වැඩ පෙන්නන්නත් එක්ක විද්දා ඊ ගහ වාගේ.
      මම රත්මලාන එයා පෝට් එක එහෙම පහු කරලා ගොළු මඩම හංදියේදී බැලුවා අපේ එවුන් කොහේද කියලා.
      ම්හු!
      උන් පේන තෙක් මානෙක නෑ.
      මං වැඩ පොලටත් ඇවිත් යාළු මිත්‍රාදීන්ට තෙල බෙද බෙද ඉන්නකොට මෙන්න මුං දෙන්නා එනවා බක බක ගගා හිනා වෙවී!
      " කොහෙද බං උඹලා ගියේ? කෝ අරූ!?"
      " ඌ පිළියන්දල පැත්තේ අපිව හොයනවා ඇති!"
      අනේ මුං ඒ ත්‍රීවීල් මහත්තයාව ගොළු මඩම හංදියෙන් හරවලා බොල් ගොඩ පාලමෙන් එගොඩට ගෙනිහිල්ලා පාරවල් දෙක තුනකින් හරවලා ආපහු ඇවිල්ලා!
      මොනවා කරණ්නද ඉතිං මං කියලා!

      Delete
  4. කෙලින්ම 300ක් ඉල්ලුවද?
    සාමාන්‍යයෙන් එතුමන්ලා බොහෝදෙනෙක් ලොකු ගාණකින් පටන් ගන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ! ඌ තුන් සීයෙන් පටන් ගෙන තුන්සීයෙම හිටියා! ඌ "සාධාරණ කොටා" වගේ බුවෙක්!

      Delete
  5. Ane ammapa ohetamane me serama dewal wenne!
    Mata panne Angulimala rahathan wahanseta unyi kiyanawa wage ahaka yana wahanath awilla ange hapenawa athi.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සරත් මහත්තයා. මේක නම් හරියටම ඒකෙ අනිත් පැත්ත! මම ගිහින් පැත්තක නවත්තලා තිබ්බ එකක ඇන්නා නොවැ!? ස්තූතියි පැමිණියාට!

      Delete
  6. මමත් කවදහරි ලන්කාවෙ ජොබ් එකක් කරන කාලෙට සයිකල් එකෙන් වැඩට යන්න ඉන්නේ. බුදාම්මො බයත් හිතෙනවා පින්තූර ටික දැක්කහම. හැබැයි ඉතින් මේ ඇක්සිඩන්ට් එක නම් ඔයාගෙ වරදින් උන දෙයක්නේ. හිම ක්‍රීඩා වගේ ලෙස්සලා ගියා කියන්නේ ඉතින් හිතා ගන්න පුලුවන් ස්පීඩ් එක. මමත් ඔය වගේ ලෙස්සලා ගියා ගිය අවුරුදු වලට ආව කාලේ ඔයාගෙ trek fx 1 1 n. පිටිපස්සෙ ටයර් එක වැලි කඩදායකින් මැද්ද වගෙ එක තැනක් ගෙවිලා තිබ්බා. හැබැයි කොහෙවත් හැදුනේ වත් වැටුනෙ වත් නෑ පූරුවේ පිනකට. මම හිතන්නේ මම සයිකල් එක බාරදෙන කොට ඔයාගේ අහින්සක ටයර් එකට උන අලාබහානිය ගැන කිව්වා.

    ReplyDelete
    Replies
    1. මටනම් එදා ලෙසටම පැටලුනා ඉස්සරහ බ්‍රේක් එකයි පිටිපස්සෙ බ්‍රේක් එකයි. සාමාන්‍යයෙන් ඉස්සරහ බ්‍රේක් එක තමා ඔය වගේ වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ. හැබැයි සයිකලේයි හැඩල් එකයි බැලන්ස් එකේ තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඇදගෙන නෑම්ස් තමා.😂 වමෙන් පදිනවා වගේ තමා මෙහෙ සයිකල් වල බ්‍රේක් තියෙන්නෙත්. (වම් අතෙන් ඉස්සරහ බ්‍රේක් දකුනු අතින් පිටිපස්ස බ්‍රේක් 😁)

      Delete
    2. නිකං අපහාසෙ දාන්න එපා! දැන් අලුත් ටයර්බ් සෙට් එකක් දාලා ඒකත් පරණ වෙලා තියෙන්නේ! කොයි වෙලේ හරි මේ පෝස්ට් එකට පහලින් කමෙන්ට් කරණ DSI එකේ නිශාන් මල්ලිගෙන් ටයර් දෙකක් ලැබුනු කාලෙක අප් ග්‍රේඩ් කරණ්න ඕන! ඒක නෙවෙයි කවදා විතරද මේ පැත්තේ එන්න ලැබෙන්නේ?

      Delete
    3. අනේ අපහාසයක් කියලා හිතන්න එපා. මම කලුද සුදුද කියලාවත් දන්නෙ නැති ( ඒ කාලේ ප්‍රොෆයිල් පින්තූරයක් වත් මම දාලා තිබ්බේ නෑ)මේ වගේ පෝස්ට් කොම්මෙන්ටුවකින් අදුර ගත්ත මට ඔබගේ දකුනු අත වගේ තිබ්බ සයිකල් එක මට මාසෙක ව්‍යයාම් ( නොමිලේ. පාස්පෝර්ට් කොපියක් වත් නැතුව 😁) සදහා දුන්න එකම කොච්චර දෙයක්ද. ඇත්තටම ඒක ඔයා කිව්වත් වගෙ පොලොවෙ ගගහ හරි පදින්න පුලුවන් සුපිරි සයිකල් එකක්.
      ඉක්මනින් එන්න නම් අදහසක් තියෙනවා. කොහෙද මේ කොරෝනා ප්‍රශ්නේ නිසා තාම දිනයක් නියම කර ගන්න බැරුව ඉන්නේ. ආවත් ඉතින් මාසයක්ම නිරෝදානේ වෙන්න ඕනනේ. (14+14) ඉතින් එහෙම ඇවිත් වැඩක් නෑ කියලා තමා දැනට හිතන් ඉන්නේ.

      Delete
  7. බයිසිකලේ වැඩට යනකොට දාඩිය දාන්නේ නැද්ද? බස් වල දුම, දුවිලි එක්ක උදේම කොහොමද ඔෆිස් එකට ගිහින් වැඩ කරන්නේ? ඔයාගේ පරණ ලිපි කීපයකුත් කියෙව්වාම මට ආපු ගැටලුව ඒක.

    ReplyDelete
    Replies
    1. ඇහුවෙ නැතුවට මටත් ඔය ප්‍රශ්නෙම ආව මේක කියෝනකොට.

      Delete
    2. ඇනෝ තුමෝ! ප්‍රසන්න මහත්මයාණෙනි: ඒක හරි පහසු කටයුත්තක් මට! මගේ සපත්තු කුට්ටම තියෙන්නේ ඔෆිස් එකේ. මම උදේට වැඩට අඳින ඇඳුම ඉස්තිරික්ක කරලා ඒක හොඳට නවලා බැක් පැක් නැතිනම් පිටේ එල්ලාගෙන යන මල්ලක දාගෙන ගම්පහ දිස්තිරික්කයෙන් කොළඹ දිස්තිරික්කය බලා පිටත් වෙනවා. වැඩ පොලේදි හොඳට වතුර මලෙන් නා ගන්නවා. ඊට පස්සේ ගෙනියපු ඇඳුමත් ඇඳගෙන මුකුත් නොදන්නා එකාවගේ වැඩපොලේ පුටුවෙන් ඉඳ ගන්නවා. ආපහු වැඩ ඉවර වෙලා සයිකල් කලිසමටයි ටී ෂර්ට් එකටයි මාරුවෙලා ගෙදර එනවා. ආයේ ගෙදර වතුර මලෙන් නාගන්නවා! කොහොමද නෑම? අති විශිෂ්ඨයි නේද?

      Delete
    3. ඔෆිස් එකේ වතුර බිල වැඩි කරනවට අකමැති නැති බොසාල ඉන්නවනං මක්ක වෙනවැයි.

      Delete
  8. බයිසිකලේ පොඩි First Aid Kit එකක් තියාගන්න එක හොඳ අදහසක්. බයිසිකලේ විතරක් නොවෙයි, ඕනෑම වාහනයක එහෙම එකක් තියෙන එක හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනවත්.
    දම්වැල් මැස්මෙන් මහලාද? එම්බ්‍රොයිඩර් කරලාද ?

    ReplyDelete
    Replies
    1. දුර පදින කොට අනිවාර්‍යයෙන්ම අපි ගෙනියනවා ප්‍රථමාධාර මල්ලක්! වැඩට යනකොට ගෙනියන්නේ නම් නෑ. ඔව්! ඒක නිදහසට කාරණාවක් නම් නෙවෙයි තමයි. මේ දවස් වල මෙහේ ගිණි ගහන්න වහිනවා! පායන්න පටන් ගත්තාම තමයි ආයේ සයිකල් පදින්නේ. අනිවාර්‍යයෙන්ම බේත් හේත් ටිකක් දාගත්තු ප්‍රථමාධාර මල්ලක් එතකොට ගෙනියන්න මම මේ මොහොතේ ඔබ තුමාට පොරොන්දු වෙනවා! ස්තූතියි! Chain stitch!

      Delete
  9. කොළාම්පුරයාගේ වැයික්කියටම ඇවිල්ලත් හමුවෙන්න බැරිවෙච්චි එකත් කණගාටුවක්. දෙහිවල නිහඩ අරණ නොවෙයි ඒ ගල්කිස්ස නිහඩ අරණ. එතැනින් පටන්ගන්නා නැගිම ලොකුවට පෙන්නේ නෑ තමයි පාපැදිකාරුවෙක්ට ඇරෙන්න. ගල්කිස්ස හන්දිය තියෙන්නේ කන්දක් උඩ කියන දේ තේරෙන්නේ මුහුදු මට්ටම කොපමණ පහළින්ද කියලා බැලුවාම.
    ඊළග දවසෙත් ඔය ත්‍රිවිල් අයියා මැලිබන් හන්දියේ බලාගෙන ඉන්න ඇති බයිසිකල්කාරයා අල්ල ගන්න බලාගෙන. එ හින්දාද රත්මලානෙන් ඉක්මණටම මාරුවුනේ?

    ReplyDelete
  10. ගියා ඔයින් මදැයි කියා - තියන්න වෙනවානෙ ලියා - පව් ත්‍රී වීල් අසරණයා - බලන්න යළි, ගිහින් සොයා

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...