Monday, September 21, 2020

181. තෙවැනි ඇන් ඇක්සිඩන්ට් එක !



මමත් බල්ලනුත් අතර ඇත්තේ අපූරු සබඳතාවයකි.
එය ප්‍රධාන වශයෙන් දෙ ආකාරය.
එදිනෙදා හමුවන බොහෝ බල්ලන් මාගේ කරේ පමනක් නො නගිති!
උන් එකෙන්ම මගේ එළකිරි වන් ෆ්‍රෙන්තන්ය.කොටින්ම මා දුටු විට පතෝල වාගේ ඔහේ යන, පැත්තකට වී සිටිනා බල්ලන් මා දක නැත!

මහ පාරේ ඉඳ හිට හමුවන; කිසිවෙකු හට හෝ කිසිදු වරදක් නොකරණ උපාසක බල්ලන් අතුරින් කිහිප දෙනෙකු මාව දකින්නේ බීෆ් මැරබෝන් කට්ටක් ලෙසය!
උන් එලෝ මෙලෝ නැතිව එලෝ - එලෝ මා පසුපස හඹා ඒ!
කරුමයක මහත යනු උන් හට මා කිසි දිනෙක තුන් හිතකින් වත් උඹ නොදකිං කියා වත් නැති වීමම නොවේ.
මෙලෝ එකෙක් එම බල්ලන් ගැන මා කියන කථා පිළි නොගැනීමය!
ඒ මන්ද?
ඒ බල්ලන්; උන්ව අපි හැපුවත් නොහපන වර්ගයේ චරිතවත් ජීවිත ගත කරණ උන් නිසාය.
ඒ උන් ටය.
ඒත් උන්ට මා අරහං ය!

සිරිත් පරිදි මාගේ පල්හෑලි කියැවීමට අතින් ඩේටා වියදම් කරගෙන ආ මාගේ ආදරණීය පාඨක පාඨකාවියනට උදේ පාන්දර මාගේ "බලු කථා" අහන්න සිද්ධ කරවීම ගැන කමාව!
"බලු කථා" පටන් ගත යුත්තේ "බලු කථාවකින්ම" විනා අන් කවරෙකකින්ද?

මේ ජාතියේ මාගේ පරණ ණය කාරයන් වන් බල්ලන් කුළකය පටන් ගන්නේ අල්ලපු ගෙදරින්ය!
එම ගෙදර සිටිනා බල්ලන් තිදෙනාගෙන් එක් බල්ලෙකු හට මා දුටු විගස "ඉත්තෑවා" මතක් වේ!
ඌට; ග්‍රවුන්ඩ් සපෝට් එකක් ලෙස අනෙක් දෙදෙනාද මා වෙත ගොරවාගෙන පනිති!
ඊළඟට  හතරෙ කණුවේ රේල් ගේට්ටුව අසල විදුදය පිරිවෙණ් පහස ලබන කළු හා සුදු වර්ණැති බල්ලෙකු මා එන තුරු උදෑසනට මග බලා සිටියි.

මීට වසර දෙකකට පෙර මා කඩවත සිට රත්මලානට සේවය සඳහා සයිකලයෙන් යද්දී  ගාලුපාරේ බල්ලන්' කිසිම "බලු වැඩක්" මට නොකලත් ආපසු එන ගමනේදී වැල්ලවත්ත පාලම අසල බුදු පිළිමය අසල සිටින දඩෝරි බල්ලාට මා සහ මගේ පාපැදිය දුටු විට උගේ නෑදෑයෙකු මතක් වූ කලෙක මෙන් මාව සුප් හැදීමට පාරට පනියි!

මේ සියළුම බල්ලන් ගෙන් මම බේරි බේරි පදිමින් දැනට වසර දහයකට කිට්ටුවී ඇත.
එම කාල වකවාණුව තුලදී සිදුවූ තවත් එක් සුපිරිම "ඇන් ඇක්සිඩන්ට්" මතකයක් හිත තුල පච්චා කොටන්නට බල්ලෙකු සමත් විය.
ඒ අනෙකෙකු නොව කඩවත ගනේමුල්ල පාරට හැරෙන හංදියේ  සිටිය "ට්‍රැෆික් පොලිස්" බල්ලාය!

කිසිදු වරදක් නොකරණ අවස්ථාවලදී; නඩු එකතු කර ගැනීම සඳහා නිරපරාදේ දඩ කොල දෙන රාළහාමිලා හැඳින්වීමටද විවිධ නාම විශේෂනය යෙද වූවාට මම මේ කියන්නට යන කථාවේ කතෲ වන දඩෝරියා හැඳින්වීමට "ට්‍රැෆික් පොලිස් බල්ලා" යනුවෙන් යෙදීම හා දඩ කොළ හෝ ජරාව හෙවත් පගාව අතර කිසිදු සම්බන්ධයක් නොමැත!

"ට්‍රැෆික් පොලිස් බල්ලා" රාළහාමි රැක්මේ!

මා පෙර කී ගනේමුල්ලට හැරෙණ හංදියේ සිටින රාළහාමි උදෑසන සිට පැය ගානක් මාර්ගයේ රථවාහන තදබදය මෙහෙය වන මුළු මහත් කාල පරිච්ඡේදය පුරාවටම මෙම බල්ලා ඔහු අසල රැඳේ!
වැල්ලවත්තේ බල්ලාද මෙවන් බක පණ්ඩිතයෙකි.
උන් දෙදෙනාටම "පොලිස් උණ" සේය.
රාජගිරිය "යහ පාලන" පාලම යටද පොලීසිය සමග ගැවසෙන බල්ලෙකු අදද දක්නට ලැබෙන බව හදවත මතක් කලාය!
මා නිවසේ සිට කිලෝමීටර 4 ක් පමණ සයිකලය පැදගෙන කඩවත නගරයට සේන්දුවී නගරය හරහා පැදයන කිහිප වතාවකදීම; මෙම බල්ලා හා රාළහාමි පසුකර යන විටදී බල්ලා තම නොසතුට කිහිප වතාවක් මා වෙත කොට පලකොට තිබුණි.
ඒ; පොලිස් රාළහාමිගේ දෙපා අසල වැතිර සිට සියුම් ගෙරවීමකින්ය.

මෙදිනද මා සිරිත් පරිදි නිවසෙන් පිටත්ව නගරය හරහා පදිමින් විය.
නගරයට නුවර දෙසින් ඇතුළු වන විට තිබෙන සියුම් අනුක්‍රමණය ඔස්සේ සෙමෙන් පදිමින් ශරීරය උනුසුම් කරගන්නා මා වෙගයකට එළබෙන්නේ කඩවත නගරයේ සිටි කොළඹදෙසට ඇති පල්ලමේ දීය.
නගරය හරහා දිවෙන මාර්ගයේ "පිට කොන්ද" වන්නේ මෙම බල්ලා රැඳී සිටින ස්ථානය නුදුරේය.
එම කලාපය මා පසු කරණ්නේ ඉතා සාමාන්‍ය වූ වේගයකිනි.
එදිනද මා ඉතා සරල වේගයකින් බල්ලා හා පොලිස් නිළධරයා පසු කර යන විටම; බල්ලා සිටි තැනින් නැගිට  එනම් පේමන්ට් එක මතින් මෑත්ව; සයිකලය පදින මාර්ගයට අවතීර්ණ විය.
ඌ කුරුමාණම් අල්ලන්නේ සයිකලයේ පැඩලය සමග කරකැවෙන වම් පාදයටය.
සයිකලයෙ ගමන් මගට පිළිපන් හේ දත් විලිස්සගෙන කකුල හපා කෑමට පැන්න මුත් මා ක්ෂණිකව වේගය වැඩිකරමින්ම මාර්ගය මැදට සයිකලය හැරවූවෙමි.
ඊළඟ මොහොතේ තමාව පසුකරගෙන යන ඉලක්කය වෙත නැවත පහර දුන් බල්ලාහට එවරද තම අභිප්‍රාය මග හැරී ගියේය.
එහෙත් තෙවන උත්සාහය අපතේ නොගියේය.
හරියටම මාගේ පාදයේ යටිභාහුවේ ඉහල කෙලවරෙ සම සිදුරු කිරීමට ඌ සමත් විය.
ඒක්ෂණයෙන් බල්ලා ඉවතට දිව ගිය අතර මා අනතුරින් ඈත්වී පහලට පැද ආවෙමි.

බජාර් එකේ හොඳ කකුලක් 
(නොව අහිංසක මගේ දුප්පත් කකුල!)

ආත්ම පූජා!

ලෝකය මොනතරම් දියුණු වුවද අදටත් පිස්සු බලු හෙවත් ජලභීතිකා  විෂබීජය ශරීර ගතවූ පසු එයට ප්‍රථිකාරයක් නොමැති බව මාහට මතක් විය.
ඊට දශක ගනනාවකට පෙර අගනුවර විසූ එක් ඉහළ නාගරික  පංතියේ යුවතියක ඇඳ සිටි දිගු ගවුමේ එල්ලුනු ස්වකීය බලු පැටියා විසි ඉරාදැමුණු ස්ථානය අත් ඉඳිකට්ටකින් එළලා අවසන නූල කටින් විකා කඩාදැමූ පසු ජලභීතිකාව වැළඳී මියගිය පුවතක් මාගේ මව විසින් මාහට කුඩා කල පවසා තිබුනි.
එම කථාව ජීවිත කාලය මුළුල්ලේම මාතුල ජල භීතිකාවට මහත්වූ බියක් ඇතිකර ලීමට සමත් විය. කුඩා බලු පැටවාගේ ඛේඨයේ ගැබ්ව තිබුනු ජලභීතිකා විශබීජ තැවරුණු  රෙදිකැබැල්ල මැසූ නූලට ව්‍යාප්තවුනු රෝග බීජ; නූල කටින් කඩා දැමීම සමග ඇයට ශරීර ගතව ඇත.
ඉන්පසු බොහෝ දුක් පීඩා විඳ ඇය මිය ගියේලු!

එදින පොලිස් බලු ප්‍රහාරය සමගම මාගේ සිත තුල අකුණු පිපිරුවේ මෙම කථාවය!
වහාම නගරයේ පහල කෙළවරට වන්නට පිහිටි මංකඩ පාරට පිවිසුණු මා එහි වූ නිවෙසක් වෙතට ගොස් සබන් යොදා තුවාලය සොදා ගත්තෙමි.
එයද තුවාලය අසල හොඳින් පිරිකා රුධිරය ගලා යාමට ඉඩ දීමෙන් අනතුරුවය.
තුවාලය සෝදා පිරිසිදු කර ගත්තද මට එය තරම් නොවීය.
දඩාවතේ අතහැර හදන බල්ලන් පිළිබඳව පැටිකිරිය කියා පෑමට හැක්කේ සයිකල්, යතුරු පැදි කරුවන් හා මනු කියවන්නන් හටය.
"බල්ලන් බිරූවද; සඳ අහසේ බබළයි හෝ තවළම ගමනේ යයි!" කියනවාට වඩා අද කාලේ ගැලපෙන ආප්තෝපදේශය වන්නේ "බල්ලන් බුරා පැන්නද ලයිට් බිල නොවරදවාම නිවසට ලැබේ!"  යන්නය!

මේ බල්ලා කාගේද? මේ බල්ලා ගෙදරක හදන බල්ලෙක්ද? මූට  බෙහෙත් විද ඇත්ද? මාගේ සිත පුපුරු ගැසුවේය.
මේ විදියට බල්ලන් දඩාවතේ යෑමට ඉඩ හැරීම සාධාරණ තත්වයක්ද?
මා මගෙන්ම විමසමින්ය.
හැමදා තමා සමග සිටිනා බල්ලා ගැන යම් වැටහීමක් එම ස්ථානයේ රාජකාරි වල නියැලෙන පොලිස් රාළහාමි දන්නවා විය යුතුය.
මා වහාම සයිකලය ආපසු හරවා ගෙන තල්ලු කරගෙනම ආපසු බල්ලා මා හට පහර දුන් ස්ථානයට  පැමිණියෙමි.
රාළහාමි ඒ වන විටත් රාජකාරි කෙසේ වෙතත් වාහන ඒ මේ අත ය්ගමන් කිරීම නරඹමින්ය!
බල්ලාද ඔහු අසලය.
මා තමා වෙතට එනු ; ඈත සිටම දුටු රාළහාමි
"ගොඩක් තුවාලද?" යි සැපදුක් විමසීය.

අනේ අප්පේ ඌවා උනාද?

එක් වරක් ගේම ඇද්ද බල්ලා මා ළඟට පැමිණීම මීටරෙන් ඉන්නා සෙයකි.
මා ඈත සිටම පිළිවදන් දුන්නෙමි.
"තුවාලෙ සයිස් එක නෙවේ වැඩේ. මූට බෙහෙත් වත් විදලාද දන්නේ නෑ! කාගෙද දන්නෑ!?"
"අපෙ මේ පොලීසියේ බල්ලානේ. මම නං දන්නේ නෑ මූට බෙහෙත් විදලාද කියලා. මම මෙහාට අළුත්. පොඩ්ඩක් අහලා බලනවාද?"
මේ; පුංචි අංකුර පොලිස් පොඩ්ඩෙකි. තවම කට්ට කෛරාටික වී නොමැත. පාරට ගේමට ජරාවට හුරුවී පදම් වූ අයෙකු නොවේ. 
"අම්මට සිරි ඒකත් එහෙමද?"
මට දැන් මල් යායකි!
"අම්මප මුන්ට මොලයක් තියෙනවද මෙහෙම හපාකන බල්ලෙක්ව නිදහසේ අතාරින්න? බල්ලාට තියා මුන්ට වත් පොඩිකාලෙ පනු බේත් වත් දීලද දන්නෑ!" මෙසේ සිතමින් මා සයිකලය තල්ලු කරගෙන ම  කඩවත පොලීසිය වෙත ගියෙමි.

සයිකලය පැදගෙන යාමටවත් හිතක් නැත!
මම ගිය වේගයෙන්ම සයිකලය තල්ලු කරගෙන ඇතුලට ගියෙමි.
සයිකලය අසල තිබුනු බැම්මකට හේත්තුකල මා පොලීසියේ ඇතුලට හොම්බ දැම්මේය.
" අර මෙහේ පොලීසියේ හදන බල්ලා හංදියේදී මාව කෑවා! ඌට ඉන්ජෙක්සන්වත් ගහලද?"
මම ගිය වේගෑන්ම අසල මේසයක් ඉදිරියේ නිදි කිරමින් හිටියෙ මෙලෝ හැඩයක් නැති රාළහාමිගෙන් විමසීය.
"මොන බල්ලෙක්ද! මෙහේ කොහෙද බල්ලො?"
"ඇයි අර හංදියේ  ගනේමුල්ල පාර හැරෙන තැන ඩියුටි කරණ රාළහාමි කිව්වේ එතන හිටියේ පොලීසියෙ බල්ලා කියලා!"
"මොන පිස්සුද? ඌ මේ එහා පැත්තේ කඩේ බල්ලා. හිටපු ගමන් මෙහේට ඇවිත් විසි කල මගුලක් කාලා යනවා ඇති!"

මේ යකා සමග තව දුරටත් කථා කිරීමෙන් පලක් නැත. මම ගියාට වඩා වැඩි වේගයකින් එළියට ආවෙමි.
"ඔය සුවසැරියෙන් බේත් ටිකක් දාගන්න! එතන හිටිය තවත් රාළ කෙනෙක් පසුබිම් ගායනයෙන් සහය විය!
"බම්බුව! මගුලක් කථා කරණවා!" මම ඇහෙන නෑහෙන ගානට කියා ගෙනම එළියට බැසසෙමි.
මට දැන් ඇවැසි වන්නෙ බේත් හේත් නොව බල්ලාගේ අයිතිකාරයාගේ මව හමුවීමටය!

කඩවත පොලීසියට පහලින් පිහිටියේ "ආර්පිකෝ" සුපිරි වෙළෙඳ සැලය!
ඉහලින්; පොලීසියට දඩ කොළගෙවා ලයිසන් ගැනීමට පැමිණ රස්තියාදුවන හුදී ජනයාට ඥාණ කථාවක් කා ප්ලේන්ටියක් ගැසීමට පුංචි කඩ පොඩ්ඩක් ද ඊට යාබදව වීනස් ස්ටුඩියෝවද තවත් මොන මොනවාද  ස්ථාපිත වී තිබුනි.
මේ කියන බල්ලා "ආර්පිකෝවේ" බල්ලා වීමට ඉඩක් නොමැත.
එසේනම් ඉතිරිව ඇත්තේ තවත් පිළිතුරු දෙක තුනක් පමණි. ආර්පිකෝවේ බල්ලන් නැති අතර හිටියද; ඒ මෙවන් දඩෝරියෙක් නොව සුපිරි එකෙක් විය යුතුය. එසේනම් අනිවාර්‍යයෙන්ම අල්ලපු කඩේ බල්ලා  යනු මේ අහිංසක ඥාන කථා කඩේ හෝ ඉන් ඔබ්බෙන් ඇති අවශේෂ කඩේක එකෙක් විය යුතුය.

සුවසැරිය පසෙක ලා මා කඩේට හොම්බ පෙව්වේමි.
" අර පොලීසියේ ඉන්නේ ඔයාඅලගෙ බල්ලාද?"
" මොන බල්ලෙක්ද? . . . බල්ලෙක් දෙන්නෙක් මෙහෙන් විසි කොරණ ඒවා කනවා. ඒ එකෙක් වත් අපේ නෙවෙයි! ඔය අල්ලපු සැලූන් එකෙන්   අහලා බලන්න. එහේ එකෙකුත් හිටියා රැලේ වැටිලා"
"අම්මට සිරි!" වැඩේ  හිතන තරම් ලේසි පාසු නැත. මම අල්ලපු සැලූන් එක දෙසට හැරුණෙමි. 

අති බිහිසුණු කොණ්ඩා මෝස්තර සමග (මෝඩයාට) ඇන්දීම!

දොරට තට්ටු කිරීමෙන් අනතුරුව අඟනක් මුහුණ පෑවාය.
"අර පොලීසියෙ ඉන්න ඔයාලගෙ බල්ලට ඉන්ජෙක්සන් ගහලාද?" මම යෝජණාවක් සමගින් පැනයක් නැගුවෙමි.
"අනේ ඔව්! එකක් නම් විද්දා වගේ මතකයි. ඒ ගිය අවුරුද්දේ. මේ මහර ප්‍රාදේශීය සභාවෙන්ද? කවද්ද බල්ලන්ට බෙහෙත් විදින්නේ?"
(මගුලක් කථා කරණවා!) 
 "අනේ මම මොන සභාවෙන් වත් නෙවෙයි! ඔයාලගෙ බල්ලා මාව කෑවා!"
"කොයි වගේ එකෙක්ද?"
"පොඩ්ඩක් ඉන්න මම් උගෙන් අයිඩෙන්ටිය ඉල්ලගෙන එන්නං!" තවත් මේ යක්කු එක්ක කාලය කා දමා වැඩක් නැත! ඉක්මණින් මා රෝහලකට යායුතුව ඇත. ඊට කලින් 'සුව සැරියෙන්' බෙහෙතක් නැතත් ප්ලාස්ටරයක් වත් දාගතහොත් හොඳය! මා නැවතත් පොලීසිය තුලට ගියෙමි. සුව සැරිය ගිමන් හරිමින් විවේක සුවයෙන්ය. රියැදුරු මහතා හා නව යොවුන් තරුණියක් එහි ඉදිරිපස ආසන දෙකේ සිට පැඟිරි කථා බහකය! 

චූචි තුවාලේ දයියාද අයියා ? 
(බෙයියා සමග සුරතල්!)

මා අවශ්‍යතාවය කී පමණින් මාගේ තුවාලය සේලයින් වතුරෙන් සෝදා හැර වසුනක් හෙවත් පැලැස්තරයක් ඇලවූයෙමි! මේවන විට වැඩට යෑම පහුවෙලාය. දහවල් වී සයිකලය පැදීමේ උපයෝගීතාවය බින්දුවට බැස ගොස්ය.

නෑම ගැටළුවකට ලබාදෙන පිළිතුර - පැලැස්තරය

මා තුවාලයට ප්ලාස්ටරය දමා අවසන් වන විට එතැනට පැමිණි පොලීසියේ සිටි රාළ දත් විලිස්සාගෙනය.

ඒවන විට මා සේවා ස්ථානය අමතමින් සිටියේය.
"ඔව් බං! මේ ගොල්ල නෑ කිව්වාට පොලීසියේ බල්ලා තමයි කාලා තියෙන්නේ . . !"
" . . . . . . . . . . . . . . . . . "
"බල්ලා හිටිය තැන හිටපු රාළහාමිම කිව්වානේ පොලීසියේ බල්ලා කියලා!"
" . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  . .?"
"ඔව් අනිවා නඩු යන්න පුළුවන් කේස් එකක් තමයි! හරි දැං මම මෙහෙන් පිටත් වෙනවා!"
" . . . . . . . . "

මේ දෙබස් ඇහෙද්දී පොලිස් රාළහාමිගේ හදවත උනුවී තිබුණු සේයාවකි!
"මහත්තයා! මහත්තයාගේ නොම්මරේ දීලා යන්නකෝ! අපි බලන්නම් මොකාද සතා කියලා!"
මම මගේ දූර කථන අංකය ලබා දී කඩවතින් නික්මිනි.
එන ගමන් මා මගේ හදවත සමග සිදුවූ සියල්ල මතක් කලෙමි.
"ඔව් හොඳම වැඩේ ඉස්පිරිතාලෙ යන එක තමයි. අමාරු උනත් නැතත්!" හදවත මා හට උපදෙස් දුනි.
"ඔව් ඒක තමයි කරණ්නට තියෙන්නේ!" මොළයද එය අනුමත කලේය!
මා සේවා ස්ථානයට නොයා කොළඹ මහ රෝහල වෙතට ගියෙමි!
"ජලභීතිකා එන්නත් ලබාදෙන අංශය" වෙතට මා යොමුකලේය.
එතැනින් එන්නත ලබා ගත්තේය.
(එතැන් පටන් දින තුන කින්; නැවත දින හතරකින්; හා මාසයකින් බෙහෙත් විදගත්තෙමි.)

එන්නත ලබාගෙන නැවත සේවා ස්ථානයට පැමිණ පමාවී දිනයේ වැඩ ඇරඹීය.
දිවා අහාරයෙන් පැයකට පමණ පසු මාහට දූරකථන ඇමතුමක් ලැබුණි.
මා ඇමතුම හා සම්බන්ධ වීමත් සමග අනෙක් කෙළවර ඇසෙන "පොලිස් ඝෝෂාව"; කතා කරණ්නේ කවුරුන්දැයි පෙර දැනුම් දීමක යෙදිනි.

"ආ! මහත්තයා!! ඔබ තුමාව නේද අද උදේ කඩවතදී බල්ලෙක් කෑවේ!?" 

"ආ ඔව්! ඔව්!!?"

 හරි! දැන් අපි ඌව අල්ලලා ජීප් එකේ දාගෙන වත්තල මූද අයිනට ගිහින් දැම්මා! දැං අව්ලක් නෑ!!"

"ඇං!? @#$!%^&$*())_&^%$# ?"






23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...